දැල්වෙන පොල්තෙල් පහන් දෙකක් ඉහත සේයාරුවෙහි දැක්වේ. Google Images
ඊයෙ රෑ යාමෙ ඔය පොඩි එකක් ගන්න ගමං යූ ටියුබ් එකේ ඉබාගාතෙ සැරිසරද්දි අසංක ප්‍රියමන්ත සහ මාලිනී බුලත්සිංහලගෙ "සඳ දිය දෙවුනුසේ සිනහව පිපුනාම...." ගීතය ආයෙම ඇහුව. සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්....
ගීතය අහද්දි මට හිතුන ඒ ගැන කතාවක් ලිව්ව නම් කොතරම් අපූරුද කොතරම් අපූරුද කියල...ඒ ගමන මගෙ හිතට ආවෙ ජයසේන සහ චුට්ටි මැණිකෙ..මගෙ සදාදරණීය පෙම් යුවල...හෙහ්,හෙහ්
*******************************
"ආහ්..ජයසේන මාම...මොකෝ මේ සමන්පිච්ච මල් වට්ටියකුත් අරගෙන?"
"අද පසළොස්වක පෝයනෙ පොඩි මහත්තය...."
"හරි හරි...මට අමතක උනානෙ....මමත් මේ පෝය නිවාඩුවට ගෙදර ආව…"
"කවදද ආවෙ? අද වෙන්න ඇති..ඊයෙ හවස්කරේ මම මේ පැත්තෙ ඇවිල්ල ගියා දැක්කෙ නෑනෙව.."
"ඔව්..ඔව්..අද උදේ ආවෙ…"
"නෝන එහෙමත් ආවය?"
"නෑ..නෑ..මේ එක දවසට ඒ ගොල්ලො එක්ක එන එකේ තේරුමක් නෑනෙ…"
"පොඩි මහත්තය අදම යනවද?"
"ඔව්... නමයට දහයට වගෙ පිටත් උනහම පැය තුනකින් වගෙ ගිහෑකි. රෑට පාරෙ වාහනත් අඩුයිනෙ…"
"ආ..ජයසේන ආවද? මම මේ ඒත් බැලුවෙ මොකෝ පරක්කු කියල... මල් අරං ආව නේද? මම පොල්තෙලුයි පහන්තිරයි ගත්ත"
චුට්ටි මැණිකෙ එහෙම කියාගෙන වලව්වෙ ආලින්දෙට ගොඩවෙන පඩි හත අට බැහැගෙන ආවෙ පාළොස්වක හඳ වගේම හිනාවීගෙන. චුට්ටි මැණිකෙට මේ ලබන බිනර මහට පණස් තුනක් වයස. මමත් ඒ පළෝලෙ. මට පණස් තුන ලැබුනෙ පොසොන් මහේ.
"ලොකු පුතා රෑට කාලනෙ යන්නෙ නේද?"
"ඔව් අම්මෙ …"
"මම පන්සලට ගිහිල්ල විගැහින් එන්නම්කො…"
"හරි හරි අම්මල ගිහිල්ල එන්නකො...ආ...මම ඕනනම් කාර් එකේ ගිහිල්ල දාන්නම් පන්සලේ මකර තොරණ ගාවටම…"
චුට්ටි මැණිකෙ මගෙ මූණ බලල ඒ එක්කම ආපහු පොඩි මහත්තය දිහාට හැරුන.
"නෑ..ඕන නෑ..ජයෙයි..නෑ මේ ජයසේනයි මායි ඉම නියර දිගේ ගිහිල්ල සපත්තු පාළමෙන් එගොඩ වෙලා යන්නම්.එහෙමට දුරක් නෑනෙ.."
"හරි හරි අම්මගෙ කැමැත්තක්...මම කොහොමත් දන්නව අම්ම බැහැයි කියල කියනව කියල. මම මේ නිකමට වගෙ ඇහුවෙ.."
පොඩි මහත්තය එහෙම කියල මා දිහා බලල හිනාවෙලා පඩි පෙළ නැඟල වලව්ව ඇතුලට ගියා.
ඉම නියර පුරාවට පාළොස්වක හඳ එළිය දෝරෙ ගලල තිබ්බෙ යටිපහු කරගෙන යන්ට ලෝබ හිතෙන විදිහට.
"පොඩි මහත්තය මොකවත් හිතුවද මන්ද…" ඉම නියරෙං එගොඩ වෙලා ජේමිස් බාප්පලගේ වත්ත ඉමේ හැදිල පාරත් එක්ක වහගෙන වැඩ වසන මහා නුග ගස් රාජය ගාවින් පන්සල පැත්තට හැරෙනවත් එක්කම මම ඇහුවෙ ඔලුව හරවල චූටි මැණිකෙ දිහාවෙ බලන ගමන්.
"හිහ් හිහ් …" චුට්ටි මැණිකෙ හිනාවුනා.
ඒ හිනහව තාමත් අවුරුදු හතළිහකට ඉස්සෙල්ල හිනහවමයි. ඇරපු අතක් නෑ. ඒ දවස්වලත් ඔහොමමයි. මොනව හරි පොඩි දෙයක් ඇති චුට්ටි මැනිකෙට කැකිරි පළන්ට…
"මොකද අනේ ඔය හිනාවෙන විදිහ?" මම නලල රැළිකරගෙන අහනව.
"ඇයි මොකක්ද මම හිනාවෙන විදිහෙ වැරැද්ද?"
"නෑ..මම මේ කිව්වෙ වළව්වක මැණිකෙ කෙනෙක් නේද? ඔහොම හිනාවෙන එක හොඳද?"
"ආය මැණිකෙලට කියල වෙනම හිනාවෙන්ට විදිහක් නෑ මනුස්සයො..වළව්කාරයොයි අනික් අවසේස මිනිස්සුයි ඔක්කොම හිනාවෙන්නෙ එකම විදිහට.."
"හ්ම්ම්ම්...ඒ උනාට.."
"මේ කට වහගන්නවද මාව තරහ ගස්සන්නෙ නැතුව...තමුං අපේ අම්මටත් එහානෙ..අපෙ අම්මවත් මට ඔහොම නීති දාන්න එන්නෙ නෑනෙ…"
"ඇයි මම නීති දාන්න ආවොත් මොනවද මට කරන්නෙ?" මම කට කොණකින් හිනාවීගෙන ඇහුවෙ හම්බවෙන උත්තරේ දැනගෙනමයි…
"කරන්නෙද? කරන්නෙ අපේ අලිය ලව්ව පාගවන එක...හිහ්..හිහ්...හිහ්…"
"අර කැහැටු අලිය ලව්ව? හුහ්...ඌට මිනිහෙක් පාගන්න තියා ඇඟේ වහන මැස්සෙක් එළව ගන්ට පණක් තියන එකක්ය…"
ඒ වෙනකොටත් හොඳටම අබල දුබල වෙලා හිටිය කණ්ඩුලයා ඒ කිව්වෙ වලව්වෙ අලියා වලව්වෙම පිටිපස්සෙ ඌටම හදපු මඩුවක මරණාසන්නව හිටියෙ. ඌට වෙදකම් කරන්ට මහ නිළමෙ ඔන්න ඔය හෙම්මාතගම පැත්තෙන් ගෙන්නපු නම් දරාපු අලි වෙදෙක් ඒ දවස්වල වළව්වෙම නැවතිල ඌට පහිණිපත් කලා.
"හිහ්..හිහ්..ජයේට බයවෙන්ට දෙයක් නෑ..ලොකු පුතා දන්නව…"
"මොකක්ද දන්නෙ?" මම ඇසුත් ලොකු කරගෙන ඇහුව.
"දන්නෙද? දන්නෙ දැනගන්ට ඕන එව්ව ඔක්කොම…" චුට්ටි මැණිකෙගෙ හිනහව ආයමත් පිං කනත්තෙ දෙණිය පුරහට විහිදුනා.
පන්සල පාවුල ඇළේ ඒ කාලෙ වගෙ එහෙමට වතුරක් නෑ. අවුරුදු විස්සකට විතර එහා තරම ප්‍රාදේසීය සබාවෙන් ඇළ හරහට සපත්තු පාළමක් දැම්ම. ඊට කළින් මයෙ මතක ඇති කාලෙක ඉඳල අපි එගොඩ මෙගොඩ වුනේ දියවරණ කොට දෙකකින් දාපු ඒ දණ්ඩකින්. යම්තමට වගෙ අත්වැලකුත් තිබ්බ උනාට ඒ ඒ දණ්ඩෙන් එගොඩ වෙන එක නුපුරුදු කෙනෙකුට ලේසි නෑ.
නුවර කොන්වන්ට් එකට ගිය චුට්ටි මැණිකෙ වළව්වෙ අඟහිඟකම් හින්ද අස් කරගෙන ඇවිදින් ගමේ ඉස්කෝලෙට දාල නිළමෙ අපෙ අප්පච්චිට පණිවිඩයක් එවල තිබ්බ වළව්වට එන්ටෙයි කියල. ඉතිං අප්පච්චි තකහණියක් වළව්වට ගිහාම මහ නිළමෙ කිව්වලු චුට්ටි මැණිකෙත් මගෙ පංතියෙ හින්ද පාර තොට ඩිංගක් පුරුදු පුහුණු වෙනකල් මට වළව්වට ඇවිල්ල චුට්ටි මැණිකෙව ඉස්කෝලෙට එක්කල යන්ටෙයි කියාල.
ඉතිං ඔන්න චුට්ටි මැණිකෙ ඉස්කෝලෙට එක්ක යන මුල්ම දවස. උදේ පානු පැයට මම වළව්වට ගියහම චුට්ටි මැණිකෙ මා එක්ක ආවෙ මට රටේ නැති ආඩපාලි කිය කිය. මගෙ කොණ්ඩෙ දිග වැඩියි කිව්ව. එයයිගෙ ඇස් දෙක දිහා කෙලින් බලල කතා කරන්ට තහංචියි කිව්ව.
"අපෙ අප්පච්චිටත් පිස්සුද කොහෙදනෙ..අපේ ගමේ ඉස්කෝලෙට යන්ට මට මොකටද මාර්ග උපදේසකයො..ඊටත් ඒ වැඩේ පංගනාතු කොරල තියෙන්නෙත් මේ යස්සයටනෙ..හැටි විතරක්..." ඔන්න ඔහොම මට ඇහෙන්ටම තොල මතුර මතුරයි චුට්ටි මැණිකෙ මා එක්කලා ආවෙ.
ඒ දවස්වල අපි පිරිමි ළමයි ඉස්කොලෙට ඇන්දෙ සුදු බැනියමයි සරමයි. ගෑණු ළමයි ළමා සාරිය.
ඔන්න ඉතිං අපි දෙන්න ඒ දණ්ඩ ගාවටත් ආවය කියමුකො. චුට්ටි මැණිකෙ මඟ දිගටම සුටු පුටු ගගා මට ආඩපාලි කිය කිය ආවෙ. මම නෑහුනා වගෙ අහක බලාගෙන ආව. අහක බලාගෙන ආවෙ ඒ ආඩපාලි අහල මට හිනායන හින්ද. ආය හිනා වෙනව දැක්කොත් මට දමල අනින්ටත් බැරි කමක් නෑ මේ අම්මණ්ඩි කියල මට බයහිතුන.
ඇළේ එදා වතුර පාර අඩුයි. යාය පුරාම මහ කන්නෙ අස්සැද්දුං පටන්ගෙන හින්ද ඇළ දිගටම ඇනිකට් හරස් කරල ගොවියො වතුර හරව ගන්නව. වතුර අඩු ඒකයි.
"චුට්ටි මැණිකෙ ඇළට බැහැල එගොඩ වෙනවද? අද ඒ හැටි වතුරකුත් නෑ.." මම අහක බලාගෙනම ඇහුව…
"ඇයි මට ඒ දණ්ඩෙන් එගොඩ වෙන්ට බෑයි කියල හිතුවද? මේ එකක් මතක තියාගන්නව..මට මේ තමුන්ල කියන කරන එව්ව ඔක්කොම පුලුවන් දන්නවද? වළව්වල මැණිකෙල කියන්නෙ මොකවත් කර කියාගන්ට බැරි අත දරුවො කියලද තමා හිතාගෙන ඉන්නෙ?" චුට්ටි මැණිකෙ මට පිප්පුව.
චුට්ටි මැණිකෙට මේ තමා කතාව කොහෙන් පුරුදු වෙලාද මන්ද..නුවර කොන්වන්ට් එකේදි එහෙමද මන්ද ළමයි ලමයි කියාගන්නෙ..වෙලාවක අහල බලන්ට ඕන...මම එහෙම හිතුව..ඒ එක්කම අප්පේ ඔව්ව අහන්ට ගිහිල්ල ආයම බැණුං අහන්ට වෙයි කියලත් හිතුන.
පස්සෙ දවසක මම ඇත්තටම් චුට්ටි මැණිකෙගෙන් ඕක ඇහුව..
"මේ ඔයා අර මුලම දවස්වල මට තමා කියල කිව්වෙ..මතකද?"
"ඔව්..ඉතිං?" චුට්ටි මැණිකෙ හිනාවුනා.
"කොහෙන්ද ඒ වචනෙ පුරුදු වුනේ හැබෑට? මම හිතුවෙ නුවර කොන්වන්ට් එකෙන්ය කියල.."
"පිස්සුද මනුස්සයො..ඔන්න කිව්ව එකක්..ඔය අපෙ අප්පච්චි ගමේ මිනිස්සුන්ගෙ සුලු සුලු පැමිණිළි විබාග කරනකොට ඒ මිනිස්සුන්ට කතා කරන්නෙ තමා තමා කියල..තමා මොකද එහෙම කිව්වෙ? තමාට කොහෙන්ද ඒ සල්ලි? අන්න ඒ වගෙ..අප්පච්චිගෙන් තමයි මම ඒ වචනෙ පුරුදු වුනේ.."
"ඔන්න බලාගන්නව මම ඒ දණ්ඩෙන් එගොඩ වෙන හැටි…"
එහෙම කියල චුට්ටි මැණිකෙ ඒ දණ්ඩට පය තියල අඩි පහක් හයක් විතරයි යන්ට හම්බවුනේ...සමබරතාවය නැතිව ගිහිල්ල අත්දෙක එහාට මෙහාට වනල බොහොම අමාරුවෙන් ඇළට නොවැටි බේරිල ආපහු මෙගොඩට පැනගත්ත. මූණකටත් එක්ක රතුවෙලා තිබ්බෙ මහිතේ ලැජ්ජාවටද කෙන්තියටද මන්ද..ඒ දෙකටමත් වෙන්ට ඇති බොහොමයක් වෙලාවට...
"මොකද මනුස්සයො හිනාවෙන්නෙ?" මෙන්න මේ අම්මණ්ඩි මෙගොඩට ආපු ගමං මගෙ ඇඟට ගොඩ උනේ නැතැයි..
"අනේ මම නම් හිනා උනේ නෑ.." මම විගහට කිව්ව.
ඇත්තම කිව්වොත් මට හිනාගියානම් තමයි. කාටද අප්පා හිනා නොයන්නෙ එහෙම වෙලාවකට. ඒත් මම විගැහිං හිනාව මූණෙං අකාමකා දැම්ම. ඒ හින්ද චුට්ටි මැණිකෙ මට බැණ අඬගැහැව්වෙ ඒ හිනාව දැකල වෙන්ට බෑ. ලැජ්ජාව වහගන්ට වෙන්ට ඕන.
පස්සෙං පහු මම එයයිට ඒ දණ්ඩෙන් සමබරව එගොඩ වෙන හැටි කියල දුන්න. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ජීවිතේ සමබරව ගෙනියන අන්දම ගැන තවත් බොහෝ දේවල් එයැයි මටත් මම එයැයිටත් කියල දෙන තරමට අපි දෙන්න කිට්ටු වෙලා හිටියෙ...
සපත්තු පාළමෙන් එගොඩ වෙන හැමදාකම අපි දෙන්නටම ඔය ඒ දණ්ඩෙන් එගොඩ වෙන්ඩ ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව මතක් වෙනව. අදත් එහෙමයි. මම හොරැහින් චුට්ටි මැණිකෙ දිහා බැලුවෙ හරියටම එයැයිත් මා දිහා බලන මොහොතෙමයි. ඊලඟ මොහොතෙ අපි දෙන්නගෙම හිනහ ව පිපිරුනේ එකටමයි.
පන්සලේ එහෙමකට කියල සෙනඟක් හිටියෙ නෑ. නුවර කොළඹ දිහා රස්සාවල් කරන කොල්ලො කෙල්ලො නම් පෝයට ගෙදර ආවත් පන්සලට එන්නෙම නෑ. පෝයට වතාවතක් වගෙ පන්සලට ඇවිල්ල මලක් පහනක් පූජා කරන චාරිත්තරේ මම හිතන්නෙ අපේ පරම්පරාවෙන්ම ඉවර වෙලා යාවි.
මම අපේ මිදුලෙ සමන් පිච්ච පඳුරෙන් කඩාගෙන ආපු මල් අපි දෙන්නම බුදුගෙයි මලසුන උඩ තිබ්බ. ඊට පස්සෙ පස්සට වෙලා දෑත් එක්කරල බුදු පිළිමෙ වන්දනා කලා.
පන්සල් වත්ත වටේටම තිබ්බෙ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කරවපු දැවැන්ත ගල් ප්‍රාකාරයක්. ඒ ගල් ප්‍රාකාරෙ තැනින් තැන තුන් හුළස් හැඩේට හදල තිබ්බ පොල්තෙල් පහන් පත්තු කරන්ට පුලුවන් විදිහට කවුළු.
චුට්ටි මැණිකෙයි මමයි එක ආසන්නෙම ඒ පහන් කවුළු දෙකක පහන් දෙකක් තියල පත්තුකලා. තිරේ පොල්තෙල් උරාගත්තම දැල්ල එක විඩේම වැඩි උනා. ඒ කහපාට පහන් එළියෙන් මම දැක්ක චුට්ටි මැණිකෙගෙ මූණ රත්තරන් පාටට දිළිසෙනව.
"බුදු හාමුදුරුවන්ට මල් තියල වැඳල ඔයා මොනවද ජයේ ප්‍රාර්තනා කලේ?" චුට්ටි මැණි කෙ පහන් දැල්ල දිහා බලාගෙනම යම්තමට ඇහෙන නෑහෙන හඬින් ඇහුව.
"ඔයා කරපු ප්‍රාර්තනාවම තමයි සුබා.." මම දිග සුසුමක් හෙලල හෙමිහිට කිව්ව...
*******************************
සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමුවී වැලපෙමු ද මෙලෙසින් හැමදාම
නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම
දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන
ඒ හඳ ඇයි ද දියවක වී ගොළු රෑක
දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව
ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ
සෝදා හළ හැකි ද ගැරහුම් රළ ගාව
කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම
මට අත වනාපන් නළියන නල සේම...
අසංක ප්‍රියමන්ත පීරිස් - මාලිනී බුලත්සිංහල
නිලාර් එන්. කාසිම් / සමන්ත පෙරේරා
VIDEO