Thursday, March 28, 2019

630. රබරෝසි මල් පලස........2 - ගම්පෙරළිය, නිළියක් යයි කියාගන්නා චාන්දනී සහ සිංහලේ අත්තා…



"කවද වගේද දැං සිංහලේ යන්ට හිතාගෙන ඉන්නෙ?" 
ජිනදාස තමන් වෙළඳාමක් කිරීමට සිංහලේ යාමට අදහස් කරන
බව පැවසූවිට නන්දා කණස්සළු මුහුණින් යුතුව විමසුවාය. 

"ජයසේන ඉලන්දාරිය...ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව…."

වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.......

ඔය ජී.ඒ. මහත්තය හරිම හිත හොඳ මනුස්සය. තමන් යටතෙ ඉන්න සේවකයින්ට හරිම හොඳ ස්වාමියෙක්. ඒ වගේම  කච්චේරියට වැඩක් කරවගන්ට එන සාමාන්‍ය මිනිස්සුන්ට හොඳ සේවකයෙක්. 

"මනුස්සයො අපි මෙතන්ට ඇවිල්ල ඉන්නෙ ඒ අහිංසක මිනිස්සුන්ට වැඩ කරන්ට. ඒ මිනිස්සුන්ගෙ උවමනා එපාකම් ඉස්ට සිද්ද කරල දෙන්ට. තමුන් ගැනනම් මම කියන්ට දන්නෙ නෑ. ඒත් මම නම් දෙණියායටත් එහා හද්ද පිටිසර ගමක ඉපදුනු මිනිහෙක්. මේ මිනිස්සුන්ගෙ සල්ලිවලින් ඉගෙනගෙන මගේ හැකියාව හින්ද මෙතනට ආපු මිනිහෙක්. එහෙම එකේ මට පුලුවන් මට්ටමින් ඒ මිනිස්සුන්ට වැඩක් කරන එක තමයි මගේ ප්‍රතිපත්තිය. මම එක්ක මෙතන තව දුරටත් වැඩ කරන්ට උවමනාවක් තියනවනම් තමන්ටත් අන්න ඒ විදිහට හිතන්ට වෙනව තේරුණාද? ආය මම නරක මිනිහයි කියල කියන්ට එහෙම එපා..මම හොඳට බොහොම හොඳයි වගේම තමයි යකා වැහුනම මම බොහොම දරුණුයි.."

වගාව ආරක්සා කරගන්ට ගිණිඅවි බලපත්‍රයක් ගන්ට ආපු අඹගහවැව මනුස්සයෙක්ගෙන් සුංගමක් ඉල්ලපු කලින් හිටපු සී.සී. මහත්තයට ජී.ඒ. මහත්තය එහෙම ගෝරනාඩු කලාය කියල මට දවසක් කිව්වෙ අපේ ලැම්බට් අයිය.

ජී.ඒ. මහත්තය කොච්චර ගුණ යහපත් මනුස්සයෙක්ද කියනවනම් ඔහොම සී.සී. මහත්තයගෙ ඇඟට ගොඩ වුනෙත් කච්චේරියෙදි එහෙම නෙවෙයි.  හවස නිල නිවාසෙට ගෙන්නල. කච්චේරියෙ ඔය විදිහට ගෝරනාඩු කලාම ආය ඒ මනුස්සයට රෙද්දක් ඇඳන් රාජකාරියට එන්ට බැරිවෙන විත්තිය දන්න හින්දයි ජී.ඒ. මහත්තය එහෙම කරල තියෙන්නෙ. අර මනුස්සයට තමංගෙ වැරදි හදාගන්ට අවස්තාවක් දෙන්ට ඕන කියල තමයි එතුමා හිතල තියෙන්නෙ. 

ඒත් ආය මොනවද එතුමාගෙ ගෝරනාඩුව ඊට පහුවදා දවල් කෑම පැය වෙනකොට කච්චේරියෙ මුලු වසක්කං පැතිරිල ගියා කිවුවම. ඒක උනේ ඔය නිල නිවාසෙ තිබ්බෙත් කච්චේරිය පේන මානෙ. ජී.ඒ මහත්තය ඒකෙ හිටියෙ තනියම. නෝනයි දරුවොයි ගාල්ලෙ. ගෙදර වැඩට හිටියෙ ජේමිස් කියල වයසක මනුස්සයෙක්. ඒ මනුස්සය අපෙ ඔය තේනබදු අයියලගෙ එහෙම හොඳ කූටාලිය. ඉතිං ආය අහන්ටත් දෙයක්ය පහුවදා උදේ සී.සී. මහත්තය වැඩට එන්ටත් ඉස්සර වෙලා ගෝරනාඩු ආරංචිය සේවයට වාර්තා කලා..හෙහ්..හෙහ්..සති දෙකක් ගියේ නෑ සී.සී. මහත්තය අනුරාදපුරේට මාරුවක් හදාගෙන ගියා.

"ජයසේන දන්නවත් ඇති මයෙ හිතේ මොකක් ගැනද මම කියන්නෙ කියල.." ජී.ඒ. මහත්තය යම්තමට හිනාවෙලා කිව්ව.

විස්තරේ සහසුද්දෙන් දන්නව උනාට එහෙම කියන එක හරි නැති හින්ද මම ඒ බවක් කියන්ට ගියේ නෑ.

"නෑ සර් මම දන්නෙ නෑ…" මම බිම බලාගෙන කිව්ව.

"මේ නිර්නාමික පෙත්සමේ තියෙන්නෙ ඔය ඉළන්දාරිය අර පලුගස්දමන පැත්තෙ කොහෙද තැනකට නිතරම යනව එනවය, දැං එහෙ ස්ථිරවම පදිංචි වෙලා වගෙ ඉන්නෙ කියල"

මම උත්තරයක් නොදී එක එල්ලේ ජී.ඒ. මහත්තයගෙ මූණ දිහා බලාගෙනම හිටිය. 

"ලොකු පුතේ..කවදාවත් උඹ වරදක් කරල නැත්නම්..මම මේ කියන්නෙ රටේ ලෝකෙ නීතිය අනුව නෙවෙයි උඹේ හර්ද සාක්ෂිය අනුව..හර්ද සාක්ෂිය අනුව උඹ වරදක් කරල නැත්නම් මහ රජ්ජුරුවන්ගෙ උනත් කමක් නෑ කෙලින්ම ඇස් දෙක දිහා බලාගෙන කතා කරපන්.."

අපෙ අප්පච්චි දවසක් එහෙම කිව්වෙ මම හතේ පන්තියෙ ඉන්න කාලෙ  හතේද අටේද කියල මට හරියට මතකයක් නම් නෑ ඉස්කෝලෙ හවස වොලිබෝල් පුහුණුවක් තියනවයි කියල අම්මට බොරුවක් කියල යාලුවො දෙන්නෙකුත් එක්ක නුවර වේල්ස් හෝල් එකේ "කස්තුරි සුවඳ" චිත්‍රපටය බලන්ට ගිහිල්ල ඒ සිද්ධිය අප්පච්චිට දවස් දෙක තුනකට පස්සෙ ආරංචි උනහම ඒක හගිස්සවද්දි.

"උඹ අම්මට බොරු කියල නුවර ගියයි කියල කියන්නෙ ඇත්තද ලොකු පුතේ?"

එදා රෑට කෑම කාල ඉස්තෝප්පුවෙ උන්දැගෙ ඇඳි පුටුවෙ දිග ඇදිල ඉන්න ගමන් අප්පච්චි මගෙන් ඇහුවෙ එක එල්ලේම මගෙ ඇස් දෙක දිහා බලාගෙන. මගෙ හිතේ තියෙන පහුතැවිලි චිත්තෙ හින්ද මට කොහොමවත් උන්දැගෙ මූණ දිහා බලාගෙන කතාකරන්ට පුලුවං කමක් තිබ්බෙ නෑ. 

ඇත්තම කියනවනං ඔය ගමන යන්ට මයෙ හිතේ කොයියම්ම විදියකවත් කැමැත්තක් තිබ්බෙ නම් නෑ. ඕවිටේ ගෙදර රන්බණ්ඩගෙයි සමූපෙ ගෙදර වික්‍රමසිංහගෙයි වදේ බැරුවමයි මම උං දෙන්න එක්කලා ගියේ. එවුං දෙන්න පළවෙනි කැලෑසියෙ ඉඳල මයෙ අඹ යාලුවො නෙව. ඉතිං අන්තිමට අන්තිමට කොහොමිං කොහොමිං  හරි මට  මඟාරින්ටම බැරි වුනා.

මම හොර බළල වගෙ බිම බලාගෙන එහාට මෙහාට ඇඹරෙද්දි තමයි අපෙ අප්පච්චි මට අරෙහෙම දැනමුතුකං දුන්නෙ. කතා කරනකොට ඇස් දෙක දිහා බලාගෙන කෙලිං කතා කරන්ටෙයි කියල. 

අපෙ අප්පච්චි කෙලිං වැඩ කරන කෙලිං මනුස්සය..උන්දැ පාතයෙක්. ඒ කිව්වෙ පාතරට මනුස්සයෙක්..අකුරැස්සෙ ඉඳල දෙණියාය පාරෙ හැතැම්ම හත අටක් වගෙ යන්ට ඕන උන්දැගෙ මහගෙදරට. ඒ හරියට කියන්නෙ මලිදුව.

අපේ ගමට හැතැක්ම බාගෙකට වගෙ එහා තියන පොඩි කඩමණ්ඩියෙ හාල් සිල්ලර තුනපහ කඩයක් දාගෙන ඉඳල තියනව ඒ දවස්වල අපෙ අප්පච්චිගෙ බාප්පොච්චි කෙනෙක්. ඒ බාප්පොච්චිට අප්පච්චි කිවෙ සිංහලේ බාප්ප කියල. එහෙම නම වැටුනෙ ඒ කාලෙ පාතරට මිනිස්සු උඩරට හැඳින්නුවෙ සිංහලේ කියල. 

(මගේ සටහන - මතකයි නේද ගම්පෙරළිය? ගම් පෙරළියෙ ජිනදාස ගමේ ඉඳල කරන කිසිම දෙයක් හරි යන්නෙ නැතිකොට අන්තිමට දවසක් රාත්තිරියෙ නිදාගන්ට ගිහිල්ල කියන්නෙ "නන්දා.... මම හිතුවෙ සිංහලේ පැත්තෙවත් ගිහිල්ල වෙළඳාමක් කරන්නෙයි කියල..."

එදා දවල් කෑමට තිබ්බ මාලු පිණි හරි නැතිය කියල නන්දා අනුලට (අනුලා මතකයිනේද? නන්දගෙ අක්ක..ගම් පෙරළිය ටෙලි චිත්‍රපටයෙ අනුලට රඟ පෑවෙ මේ පහුගිය සතියෙ හොඳම රූපවාහිණී නිළිය විදිහට සම්මාන ලබපු චාන්දනී සෙනෙවිරත්න..ඔව්..ඔව්...අර සිරස නැති සිරසට අනුව තමන් නිළියක් යයි කියාගන්න චාන්දනී සෙනෙවිරත්න ගැන තමයි මම මේ කියන්නෙ...හෙහ්..හෙහ්) දොස් කිව්වම අනුලටත් තරහ ගිහිල්ල ජිනදාසට බණිනව හරි හමං රස්සාවක් කරන්නෙ නෑය කියල. අනුලගෙ ඒ කතාවට හිත අමාරුවෙලා තමයි ජිනදාස අරෙහෙම කියන්නෙ...

එහෙම කියල තමයි නන්දගෙන් සල්ලි වගේකුත් ඉල්ලගෙන වෙල්ලස්ස දිහාවෙ යන්නෙ. ඒ ගියා ගියාමයි ජිනදාසට ආපහු ගමට එන්ට බැරිවෙනව. රත්නපුරේ ඉස්පිරිතාලෙ ඇඳක් උඩ කාත් කවුරුවත් නැති අසරණයෙක් වගෙ ජිනදාස ළමාහේවාගෙ පණ යනව.

ඔය සිංහලේ කතාවට මම හිතන්නෙ අවුරුදු දෙතුන් සීයක අතීතයක් තියනව. පෘතුගීසීන්, ලන්දේසීන් සහ ඊටත් පස්සෙ ඉංග්‍රීසීන් පහතරට ප්‍රදේශ අත්පත් කරගෙන පාලනය කරද්දි උඩරට සිංහලයො කොහොමින් කොහොමින් හරි පරදේසක්කාරයින්ට උඩරට යටත් කරගන්ට නොදී 1815 වෙනකල්ම උඩරට නිදහස් සිංහල රාජ්‍යය ආරක්ෂා කරගෙන ආව. ජෝන් ඩොයිලිගෙ සටකපට ඥාණය නැත්නම් බොහෝවිට 1815 උනත් කන්ද උඩරට ඉංග්‍රීසින්ට යටත් නොවෙන්ට තිබ්බ.

සති අන්තයෙ ප්‍රචාරය වෙන සිරස ලක්ෂපති වැඩ සටහන ඔබ තමුන්නාන්සෙලා බලනවද? මේ සතියකට  දෙකකට වගෙ කලින් ජෝන් ඩොයිලි කියන්නෙ  ඉංග්‍රීසි ආණ්ඩුකාරයෙක්ය කියල ඒ වැඩසටහනෙදි කිව්වය කියල මම දැක්ක අපේ ලක්ෂ්මන් ඉලංගකෝන් මහත්මය කියල තිබ්බ මුහුණු පොතේ. 

මිනිස්සුන්ට වැරදීම් වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් සිරසෙ ඉන්න බක පණ්ඩිතයින්ට නම් ඔහොම වෙච්චි එක ගැන මට නම් ඉතාම සතුටුයි. මතකනෙ අර මාස දෙක තුනකට ඉස්සෙල්ල රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍ය භාවිතය ගැන තමන්ගෙ විරෝධය පලකරන්ට ලිපියක් භාරදෙන්ට ආපු කලා ශිල්පීන් කණ්ඩායමක් ආපු වෙලාවෙ  සිරසෙ ඉන්න මෝඩ යක්කු  හැසිරුණු විදිහ. 

"තමන් නිළියක්යැයි හඳුන්වාගන්නා චාන්දනී සෙනෙවිරත්න නමැත්තිය" කියලයි චාන්දනීව හැඳින්නුවෙ. චාන්දනී සෙනෙවිරත්න කියන්නෙ මම හිතන්නෙ දහ වතාවකට වැඩිය ලංකාවෙ හොඳම ටෙලි නාට්‍ය රංග ශිල්පිනිය සම්මානෙ දිනපු ඉතාම දක්ෂ නිළියක්. මේ පහුගිය සතියෙත් ආයම පාරක් 2018 වර්ෂයෙත් හොඳම ටෙලිනාට්‍ය නිළිය සම්මානය දිනුවෙ ඇය. ඒ සහෝදරයා ටෙලි චිත්‍රපටයෙ ඇගේ රඟ පෑම් වෙනුවෙන්. 

ඉතිං සිරසෙ ගොන් පාට් අතෑරල දාල ආයම අර සිංහලේ කතාවට ගියොත් පාතරට මිනිස්සු පරදේසක්කාරයින්ට යටත් වෙලා උංගෙ නම් ගම්, පට්ටම් තානාන්තර අරගෙන ආගම අදහගෙන හිටියට  මොනව උනත් යටිහිතෙං තියෙන්ට ඇති උඩරට මිනිස්සු නිදහස්ව නිවහල්ව ඉන්න එක ගැන සුට්ටං ආඩම්බරයක් වගේ මොකක්ද එකකුත්. 

ඒ හින්දනෙ ඔය උඩරටට සිංහලේ කියල කටපුරා ගෞරව පුරස්පරව කිව්වෙ. ඒ කාලෙ එහෙම උනාට දැන්නං පාතරට එවුවො කියන්නෙ "යකෝ සුද්ද ගල විදල උඩහට ඇවිල්ල බොලාගෙ නැටි කපල ගත්තෙ නැත්තං එහෙම බොලා තාමත් අමුඩ ගහගෙන පොලු අරගෙන මීමින්නො පස්සෙ එළවනව..." කියල. ඒ තනිකරම අපහාස මුඛයෙන්...

ඔය මම මහවැලියෙ එහෙම ඉන්න කාලෙ අපේ චමරියෙත් හිටපු ගමං ඔය උඩරට පාතරට වාද විවාද ඇතිවෙලා කොල්ලො මරාගන්ට යනව. මම එහෙම වෙලාවට අර වවුල වගෙ තමයි වැඩ කරන්නෙ. අපෙ අප්පච්චි පාතරට හින්ද මම පාතරට පැත්තටත් කතා කරනව. අම්ම උඩරට සහ පදිංචි උඩරට හින්ද උඩරටත් සපෝට් එක දෙනව..හෙහ්..හෙහ්..අන්න එහෙමයි අපි...)

දකුණෙ මිනිස්සු උඩරට පැත්තෙ වෙළඳාමට හරි රැකී රක්සා වලට හරි එනවට ඒ කාලෙ කියල තියෙන්නෙ සිංහලේ යනව කියල. එහෙම ගිය අය අඳුන්වල තියෙන්නෙ සිංහලේ මල්ලි, සිංහලේ බාප්ප, සිංහලේ මාම අන්න ඒ විදිහට. අන්න ඒ විදිහටයි අපෙ අප්පච්චිගෙ දෙවෙනි බාප්ප අප්පච්චිට සිංහලේ බාප්ප සහ මට සිංහලේ අත්ත වුනේ...

ඉතිං ඔය සිංහලේ අත්තව මට  හරියකට මතකයක් එහෙම නෑ. මම ඉපදෙනකොට උන්දැ ආපහු අකුරැහි යන්ට ගිහිල්ල හාල් සිල්ලර කඩේ අප්පච්චිට බාර දීල.මට අවුරුදු හතර පහක් වගෙ කාලෙදි උන්දැට මරණාසන්නයි කියල අප්පච්චිගෙ ගමෙන් පණිවිඩයක් ඇවිල්ල අප්පච්චියි අම්මයි මා යි තුන්දෙනා ගියා ඒ අත්තගෙ ගෙදර. උන්දැ පදිංචි වෙලා හිටියෙ ඒත් අකුරැස්සට කිට්ටුව දියලපේ කියන ගමේ.

අපෙ අප්පච්චි අටේ කැලෑසියෙං ඉස්කෝලෙ ගමන නවත්තල ගමේ එහෙම මෙහෙ කොල්ලො තලේට වැටිල නඩලං ගගහ ඉන්නකොට තමයි ඔය සිංහලේ අත්ත "වරෙං කොල්ලො මා එක්ක සිංහලේ යන්ට..."  කියල එක සිංහල අවුරුද්දකට ගමේ ගිහිල්ල ආපහු එද්දි අප්පච්චිව එක්කං ඇවිල්ල තියෙන්නෙ. ඒ වෙනකොට අප්පච්චිට වයස දාහතක් අහ අටක් වගෙ ඇතිය කියල පස්සෙ දවසක අප්පච්චිම මා දැක්ක කිව්ව.. 

"ඉතිං අප්පච්චි කැමැත්තෙංම ආවද සිංහලේ අත්ත එක්ක?"  ඔය විස්තරේ කියනකොට මම ඇහුව. 

අපෙ අම්මත් මට මතකයි ඒ වෙලාවෙ බිත්ති කොණේ ලොයි බංකුව උඩ ඉඳගෙන යම්තමට හිනාවීගෙන අහගෙන උන්න. අපෙ අම්මට මතක් වෙන්ට ඇති ඒ සොඳුරු අතීතෙ  ආයමත් පාරක්...

"ආය මොනවද බං?...මටත් ඒ කාලෙ ගමේ ඔය නඩලං ගැහිල්ල අපෝ වෙලයි තිබ්බෙ...අනික ගමේම ඉන්ටය කියල එහෙමට හේතුවකුත් මට තිබ්බෙ නැතිකොට රටේ ලෝකෙ ටිකක් ඇවිදල කරල බලාගත්තොත් ඒත් නරකක් වෙන්නෙ නෑනෙව කියල හිතල මම සිංහලේ බාප්ප එක්ක මෙහෙ ආව..." 

අප්පච්චි එහෙම කියල හක හක ගාල හිනාවුනා...

අප්පච්චි කියන විදිහට උන්දැ ඔහොම ගමෙං ඇවිල්ල තියෙන්නෙ 1957 අවුරුද්දෙ සිංහල අවුරුදු පහුවෙලා....

Friday, March 15, 2019

629. රබරෝසි මල් පලස........1

මහනුවර නගරාසන්නයේ ගැටඹේ ප්‍රදේශයේ
රබරෝසි මල් පිපී ඇති අයුරු -
ඡායාරූපය - මුහුණු පොතෙන්....

මහ පාන්දර තුනට අරලගංවිලෙන් පිටත්වෙන කළුනදී මුදලාලිගෙ අසෝක් ලේලන්ඩ් එක ආය නෑ පාරෙ යනව නෙවෙයි විදිනව. අපේ ගේ ඉඳිකඩේ ගාව ඉඳල බඹ දෙසීයක් වගෙ එපිටිං තියෙන රත්මල්තැන්න හන්දියට ඒ බස් එක එනකොට තුනයි විස්සට වගෙ වෙනව.

දෙකහමාරට එලාම් එක තියල ඇහැරිල කට්ට හීතලේම ගේ පිටිපස්සෙං ගලන ඩී හතර ඇලේ ඩ්‍රොප් එක ගාවට ගිහිල්ල මූණ කට හෝදල හිමිදිරි පාන්දර හීතලේම නාගත්ත. මගෙ නාන්ඩ අඳින නිල් ඉරි වැටිච්චි සෝට් බෑය දැන් ලූණු සිවියක් තරමටම සිනිඳු වෙලා ගිහිල්ල. වෙලාවක හරියට මැන්නොත් එහෙම ඒකෙ වා කවුළුවල වර්ග පලේ මම හිතන්නෙ කලිසමේ ඉතිරි හරියෙ වර්ග පලේට වඩා වැඩියි.

"මහත්තෙයගෙ මේ ප්‍රියතම  කොට කලිසම මහ රෑක මිසක්කා දවල් ඇහැ කණ පේන වෙලාවක නං අඳින්ට බෑ හිහ් හිහ්.."

මේ පෙරෙයිදද කොහෙදත් හවස් කරේ  පිළිකන්නෙ සේරු ගහේ ඉඳල එතන එහා පැත්තෙ තිබ්බ යකිනාරං ගහට බැඳල තිබ්බ නයිලෝං ලනු දෙපටෙ වනල තිබ්බ මගෙ ඔය සෝට් එක අතට අරගෙන ඇස් මානෙං උඩට අල්ලල හරව හරව බලන අතරෙ  වසන්ති කියාපි කට කොණකිං හිනාවෙවී.

"මේ ...හලෝ...නිකම් කෝචොක් දදා ඉන්න වෙලාවෙ  බොට නරකයි ඉදිකට්ටකුයි නූල් පොටකුයි අරගෙන නිකං ඉන්න වෙලාවක ඔය ඉරිච්චි තැං මහල දැම්මම?" 

මම රවාගෙන කිව්ව. ඒ යෝදි දන්නව ඔය මගෙ බොරු පාට් කෑලි කියල

"මහන්ට පුලුවං කමක් තියෙනවනං මම නොමහ ඉන්නවද මහත්තය? මේක මහන්ට බෑ. ඉදි කට්ටක් ගැහුවයි කියන්නෙ ආයමත් එතනිනුත් ඉරෙනව. …"

වසන්ති මට එදා ඉඳලම කියන්නෙ මහත්තය කියල..දැං අවුරුදුම මයෙ හිතේ තිස් දෙකක් වගෙ වෙනව..සෑහෙන කාලයක්..ඔව්..ජීවිත කාලෙකින් බාගයක් විතර…

කදුරුවෙල මහ ඉස්පිරිතාලෙ ඉස්සරහ ඒ දවස්වල තිබ්බ පී.එච්. ඉන් එක කියල බියර් අරක්කු එහෙම තියන රෙස්ටුරන්ට් එකක්. ඕකෙ උඩ තට්ටුවෙ බිලියඩ් මේසෙකුත් තිබ්බ. බිලියඩ් ගහන්ට සාමාජික ගාස්තුවක් හැටියට ඔය පොඩි ගාණක් අය කලාට පල්ලෙහා රෙස්ටුරන්ට් එකේ යාවජීව සාමාජිකයින්ට විසේස වරප්‍රසාදයක් හැටියට බෝල මේසෙ නොමිලේම සෙල්ලං කරන්ට අවස්තාව දීල තිබ්බ.

මම එතකොට වැඩ කලේ නව නගරෙ තිබ්බ කච්චේරියෙ. කච්චේරිය කිව්වෙ පොළොන්නරුව මහ දිසාපති කාර්යාලය. ප්‍රේමදාස මහත්තය ජනාධිපති වෙලා දිසාපතිල ඔක්කොමල දිස්ත්‍රික් ලේකම්ල කරපු කාලෙ උදාවුනේ  තව අවුරුදු පහක් හයක් වගෙ අනාගතේදි... 

මගෙ තනතුර ර.ලි.සේ දෙවන පෙළ "ආ" ඛණ්ඩය රජයේ ලිපිකරු. එහෙමත් නැත්නම් ඔය ඉඩම් බලපත්‍රයක් ගන්ට නැත්නම් ඇල්.ඩී.ඕ. බලපත්තරේ වැඩුමල් කොලුවගෙ නමට හරෝල දෙන්ට කියල හිතාගෙන උදේ ඉඳං කච්චේරියෙ රස්තියාදු වෙන අහිංසක මිනිස්සු කියන විදිහට කලාක් මහත්තයෙක්.

ඒ කාලෙ සතියකට දෙතුන් සැරයක් මම ලැම්බට් අයියයි පියතුංගයි එක්ක පී.එච්. ඉන් එකට ගිහිල්ල බොනව. ලැම්බට් අයිය හක්මණට එහා වලස්ගල. එතකොටත් මයෙ හිතේ අවුරුදු හතළිස් පහක් වගෙ ඇති. ජීවිතෙං අවුරුදු විස්සක් විසිපහක් විතරම ලංකාව පුරහම තියන කච්චේරි දහයක දොළහක විතර වැඩ කරලම මනුස්සය අන්තිමටම හෙම්බත් වෙලයි හිටියෙ. දරු මල්ලො බලන්ට යන්නෙ මාස දෙහෙකට සැරයක්. පඩිය අරගෙන විස්ස විසිදෙක වගෙ ගෙදර ගිහාම ආයෙ එන්නෙ ඊලඟ මාසෙ තුන හතරවත් පහුවෙලා.

"මල්ලිලා කිව්වට විස්වාස කරන එකක් නෑ...මම ගෙදර ගිහාම මගෙ ළමයින්ට නිකං මහ අමුතු දෙයක් වගෙ. කොටින්ම මගෙ බාල කෙල්ල...දැං ඒකිගෙ වයස යන්තමට හතරක්ද පහක්ද කොහෙද... මුල්ම සතියක් හමාරක් විතර මාදිහා බලන්නෙ අමුතු සතෙක් දිහා බලනව වගෙ. ඒකිට මාව පුරුදු වෙන්ටයි මට ඒකිව පුරුදු වෙන්ටයි ඔන්න කොහොමත් අඩුම තරමෙ දවස් එක දහයක් දොළහක් විතරවත් යනව...."

ලැම්බට් අයිය අපි එක්ක ඔහොම කිව්වෙ වරක් දෙවරක් නෙවෙයි. ඒත් එහෙම කිව්වෙ දුකකින් කණගාටුවකින් එහෙමනම් නෙවෙයි...හිනාවෙවී..මනුස්සයගෙ හැටි එහෙම තමයි...

"ඒත් වැඩේ කියන්නෙ කෙල්ලට අයියව පුරුදු වෙනකොට අයියට ආයම මෙහෙ එන්ට කාලෙ හරි"

පියතුංගය එහෙම කියල හක හක ගාල හිනාවෙනව. පී.එච්. ඉන් එකේ කෙලවරේම මේසේ ඉඳගෙන තට්ට තනියමම ගල් බාගයක් ගහන කාකි ෂෝටක් ඇඳපු ලංසි පෙනුමක් තියන වයසක අංකල් එක විඩේම ඔලුව උස්සල බලල ආයෙම රවුම් මේසේ උඩ තිබ්බ බාගෙට හිස් වෙච්චි වීදුරුව දිහාට ඔලුව පාත් කර ගත්ත.

සති අන්තෙ සිකුරාද ඔය මධු සාදයෙන් පස්සෙ පියසේනයයි ලැම්බට් අයියයි අනිවාර්යයෙන් යන ගමනක් තියනව. පළුගස්දමන ඉස්කෝලෙට පොඩ්ඩක් මෙහායින් තියෙන තැනකට තමයි ඔය දෙන්න යන්නෙ. ආය ආපහු අපෙ නවාතැනට ඔවුං දෙන්න එන්නෙ සෙනසුරාද දහය එකොළහ වගෙ වෙනකොට…

"ඒයි ජයේ උඹත් යමං බං...ඕක මේ ඔය හැටි සීරියස් හිතන්න ඕන දෙයක් නෙවෙයි බං...ජීවිතේට එහෙම ආතල් එකකුත් තියෙන්න ඕන.."

ලැම්බට් අයිය අනන්ත මා එක්ක එහෙම කියල ඇතිි. ඒත් මට කොහොමවත් එහෙම ගමනක් යන්ට හිත හදාගන්ට බැහැ. සුබා පිළිබඳව සොඳුරු  මතකය කාලාන්තරයක් ගත වෙලත් තවමත්  වරකපිටිය රජමහ විහාරෙ  වස් පිංකම් දා රෑ දොරගමු කන්ද ඒකාලෝක කරගෙන  පිපිරිලා යන මල් වෙඩිල්ලක් වාගෙ දවසකට හත් අට සැරයක් වත් මගේ පපුව පුරා පිපිරිලා සුවඳ හමන එකේ මම කොහොමද එහෙම දේකට හිත හදා ගන්නෙ?

ඒත් ඕනම දෙයක් වෙනස් වන සුළු අවස්ථාවක් අවසානයේදි එළඹෙනවයි කියල කියනවනෙ. එහෙමද ඒත් නැත්නම් ඒ අදාල දිනයෙදි මගේ මධුවිත ගැනීම පමණ ඉක්මවා ගියද කියල මට තව වෙනකලුත් හරියටම කියන්ට අමාරුයි. බොහෝ විට මේ කාරණා දෙකම සම සමව හෝ අඩු වැඩි වශයෙන් බලපාන්ටත් ඇති. කොහොම හරි අන්තිමේ දි සිද්ද වුනේ මම පහුවදා උදේ ඇහැරිනකොට හිටියෙ  නුහුරු නුපුරුදු සයනයක  වැතිරිලා. 

මම එහෙමමම විපිළිසර වෙලා වටපිට බලනකොට නිල්පාට මල් වැටුනු ගවුමක් ඇඳ ගත්තු තරුණියක් හිනාවීගන කාමරේට ආව. 

"ආ මහත්තය නැඟිට්ටද? මම මේ කහට එකක් හදන්ට වතුර ලිපේ තියන්ට ගියා…."

එදා ඉඳල ඒ කියන්නෙ මේ වෙනකොට අවුරුදු තිස් දෙකක් වෙනව. තවමත් වසන්ති මට කතා කරන්නෙ මහත්තය කියල..ඊට පස්සෙ මගෙ ජීවිතේ මොන තරම් දේවල් වෙනස් වුනාද? 

සිරිලාල් කොඩිකාර මහත්තය ලියපු  ස්වයං ලිඛිත චරිතාපදානය එතුමා නම් කලේ "දියවැලක් ඔස්සේ ..." කියල. ඒ පොතේ ප්‍රස්තාවනාවෙ ඒ මහත්තය ලියල තිබ්බ දිය වැලකට අහු උනහම අපිට ඊට විරුද්ධව පීනන්ට බැහැ. ඔහෙ කොයිම වෙලාවක හරි දියවැලේ බලය සහ ශක්තිය හීන වෙලා යනකල් කොහොමින් කොහොමින් හරි ජීවිතේ ආරක්සා කරගෙන දිය වැලත් එක්කම ගහගෙන යන්ට ඉඩ දීල උපේක්ෂා සහගතව බලා ඉන්න එකයි කරන්න තියෙන්නෙ කියල. 

මමත් කවදක හරි මගේ ජීවිත කතාව ලියනවනම් සුදුසුම නම තමයි ඒක. "දිය වැලක් ඔස්සේ..." මොකද මගෙ ජීවිතෙත් එදා ඉඳලම සිද්ධ වුනේ දියවැල්වලට අහුවෙලා මම නොහිතූ පැති වලට ගහගෙන යන එක. මම කලේ එහෙම ගහගෙන යන්ට ඉඩ දීල නිසොල්මන්ව සන්සුන්ව උපෙක්ෂා සහගතව ඒ දිහා බලා ඉඳපු එක..

"ජයසේන මහත්තයට දිසාපතිතුමා එන්න කිව්ව …"

අපේ පියන් නොහොත් කාර්යාල කාර්ය සහායක තැන්පත් තේනබදු අයියා මගේ මේසෙ ළඟට ඇවිල්ල පහත්වෙලා රහසින් වගෙ කිව්ව. 

"හ්ම්ම්ම්ම්.....හරි තේනබදු අයිය.....මම ගිහිල්ල බලන්නම්කො.."

මම එහෙම කියල මම කර කර හිටපු ඉඩම් සංවර්ධන බලපත්‍ර නාම ලේඛණය හැදීමේ වැඩේ නතර කරල  අදාල  ලිපි ගොනුව එහෙම්මම වහල දාල අසුනින් නැඟිට්ට.

"මොකක්ද මහත්තය කේස් එක?"

තේනබදු අයිය ආයෙමත් මගෙ කණට ලංවෙලා ඇහුව. හීං මත්පැන් සුවඳක් හමාගෙන ආව. ඔය වැඩේ ඔෆිස් එකේ කාටවත්ම රහසක් නෙවෙයි. හවස දෙක පහුවෙන කොටම තේනබදු අයිය හැල්මෙ දුවන්නෙ කුසුමක්කගෙ හොර පොට් එකට. ඊට පස්සෙ තුනට ආයම යනව. හතරට වැඩ ඉවර වෙලා යන ගමං ආයමත් කුසුමක්කගෙ සැපදුක් බලල තමයි මනුස්සය ගෙදර යන්නෙ. ගෙදර තිබ්බෙ ඔන්න ඔය උණගලා වෙහෙර දිහාවෙ. දඹුල්ල පාරෙ තියෙන ජයන්තිපුර හන්දියෙන් හැරිල යන්න ඕන තවත් හැතැක්ම හත අටක් විතර.

"මම කොහොමද බං ඒක දන්නෙ?"

මම හිනාවෙලා එහෙම කිව්වට ජී.ඒ. මහත්තය කතා කරන කාරණේ මම සහසුද්දෙන්ම දැනගෙන හිටිය. අපේ ඔෆිස් එකේ ඔය ප්‍රයිවට් ඇන්ඩ් කන්ෆිඩෙන්ෂල් නොහොත් පෞද්ගලිකයි රහසිගතයි වැඩ නෑනෙ. විශේෂයෙන්ම ලැම්බට් අයියගෙ තිබ්බ ඉතාම ප්‍රබල රහස් ඔත්තු ජාලයක් නොහොත් ස්පයි නෙට්වර්ක් එකක්. ඒ රහස් ඔත්තු ජාලය හරහා ලැම්බට් අයියට ඔෆිස් එකේ වෙන දේවල් වගේම ඉස්සරහට වෙන්න යන දේවල් ගැනත් ඉතාව නිරවද්‍ය තොරතුරු අසුරු සැණෙන් ලැබෙනව.

"ජයේ මල්ලි උඹට විරුද්ධව පෙත්සමක් ඇවිල්ල තියනව ජී.ඒ.ට.."

දවස් දෙක තුනකට ඉස්සෙල්ල රෑට කාල මිදුලෙ සේරු ගහ යට පිටපළුවකින් හදපු බංකුවෙ ඉඳගෙන තෝපාවැව දිහායින් හමාගෙන එන හීතල හුළඟින් කමිස රහිත උඩුකය කිළි පොලද්දී ගෝල්ඩ් ලීෆ් එකක් අදින ගමන් ලැම්බට් අයිය මා එක්ක එහෙම කිව්ව....ඒ පෙත්සමේ තියෙන්නෙ මොනවද කියලත්  අකුරක් නෑර ඒ එක්කම මා එක්කල කිව්ව.

ජී.ඒ. මහත්තයගෙ කාර්යාල කාමරේ තිබ්බෙ මම වැඩ කරපු ඉඩම් අංශය තිබුනු තනි තට්ටුවෙ ගොඩනැඟිල්ලෙ නෙවෙයි. යාර තිහක් හතළිහක් වගෙ දුරින් තට්ටු තුනට අලුතින් හදපු ආයත චතුරස්‍රාකාර ගොඩනැඟිල්ලක තුන්වන තට්ටුවෙ. තුන්වෙනි තට්ටුවට යන්ට සෝපානයක් තිබුනත් මම කවදාවත් ඒ සෝපානය පාවිච්චි කලේ නෑ. තට්ටු තුන හෙමිහිට නැඟල දිසාපති තුමාගෙ ගාම්බීර කාමරේ ඉස්සරහ මම නැවතුනා.  

සුනිල් ගුණසේකර...දිසාපති පොළොන්නරුව... ශ්‍රී ල.ප.සේ.

"ආ..ඉලන්දාරිය..එනව එනව.."

කාමරේ ඇතුලෙන් ජි.ඒ. මහත්තයගෙ ගැඹුරු කටහඬ ඇහුන. මම හිතන්නෙ වවුල් දොර නොහොත් සැලූන් දොර පලු දෙක අස්සෙන් මාව දකින්න ඇති. මම හෙමීට වවුල් දොර පළු දෙක තල්ලු කරගෙන ඇතුලට ගියා.

දිසාපතිතුමා පුටුවෙ හරි බරි ගැහිල ඉඳගෙන බිලියඩ් මේසයක් විතර විසාල මේසෙ ඉස්සරහ තිබ්බ පුටු දිහාට අතක් දික් කරල මට ඉඳගන්ට කියල සංඥා කලා. 

"ස්තූතියි සර්.." මම එහෙම කියල ඉඳගත්ත.

"ජයසේන ඉලන්දාරිය...ඔහෙට විරුද්ධව බොහොම බරපතල චෝදනාවක් ඇවිල්ල තියනව…."

වැලමිටි මේසෙ උඩ තියල දෑතෙ ඇඟිලි දහය පටලවල ඒ උඩ නිකට තියාගෙන එතුමා කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.......

පසු සටහන - 

ජීවිතේ අමතක කරන්ට කියල හිතාගෙන හිතේ මුල්ලක සවිකරල තියන පරණ අනවශ්‍ය මතක සේප්පුවෙ දොරගුළු දාල වහල දාපු පැරණි සොඳුරු මතක සටහන් එක සැණෙකින් සේප්පුවෙ අගුළුත් කඩාගෙන දොරත්  බිඳගෙන එළියට ඇවිල්ල අපි ඉස්සරහ සමච්චලේට හිනා වෙවී එහාට මෙහාට සක්මන් කරන්ට පටන් ගන්නව. එහෙම වෙන්ට මහ ලොකු භූමිකම්පාවක් යමහල් විදාරණයක් වගෙ බරපතල සිද්ධියක් වෙන්ටම ඕන නෑ. මේ බොහොම සුළු දෙකයි පණහෙ කේස් එකක් සීන් එකක් හොඳටම ඇති . කොටින්ම වැඩිත් එක්ක.

ආතර් සී. ක්ලාක් මහත්තයගෙ මම කියවපු පළවෙනි පොත "Deep Range"... සිංහල පරිවර්තනය "ගැඹුරු මුහුද" පරිවර්තනය කලේ සිරිල් සී. පෙරේරා මහත්තය.

ඒ කතාවෙ ප්‍රධාන චරිතයෙ නම ප්‍රෑන්ක්ලින්. ප්‍රෑන්ක්ලින් අභ්‍යාවකාශ ගාමියෙක්. සෙනසුරු ග්‍රහයා වෙත ගිය අභ්‍යාවකාශ ගමනකදි යානයෙ අළුත්වැඩියාවකට යානයෙන් පිටතට එන ප්‍රෑන්ක්ලින් යම් අනපේක්ෂිත සිද්ධියක් හේතුකොටගෙන අභ්‍යාවකාශයෙ අතරමං වෙනව. 

එහෙම අතරමංවෙලා ඔහුට ඉන්න වෙනව පැය දොළහක වගෙ කාලයක්. ඊට පස්සෙයි ඔහුව බේරාගනු  ලබන්නෙ. මේ සිද්ධිය ඔහුගේ මානසික තත්වයට ඉතාම දැඩිව බලපානව. තමන්ව කවදා බේරාගනීවිද එහෙම නැත්නම් ඔක්සිජන් සැපයුම ඉවරයක් වෙනකල් අනන්ත තරු පිරි අභ්‍යාවකාශෙ පාවෙවී කොච්චරකල් නම් ගෙවන්ට සිද්ද වෙයිද කියල හිතෙනකොට මනුස්සයෙක්ගෙ ඔලුව නරක් උනේ නැත්නම් තමයි පුදුමෙ. 

ප්‍රෑන්ක්ලින්ව බේරගත්තට පස්සෙ ඔහු මේ මානසික අවපාතනයට ඉතාමත්ම දැඩි ආයාසයකින් මුහුණ දීල හිතපාලනය කරගෙන රෝගී තත්වයෙන් මිදෙනව.  පස්සෙ ඔහු අභ්‍යාවකාශගාමී ජීවිතයෙන් සමු අරගෙන කසාදයක් එහෙමත් කරගෙන අවුලක් නැතුව ජීවත් වෙනව. ප්‍රෑන්ක්ලින් කරන්නෙ ඒ අමිහිරි මතකය තමන්ගෙ හිතේ කොනක යතුරු දාල වහල තියල එහෙම දෙයක් සිද්ධ වුනේ නෑ කියල දැඩිවම හිතාගෙන ජීවත්වෙන එක....

ඒත් එක දවසක ඒත් එක දවසක තම පෙම්වතිය එක්ක මුහුදු වෙරළක සිටියදී ඇය වතුර උණු කිරීම පිණිස දල්වන උදුනක ඉන්ධන සුවඳින් ඔහු නැවත වාරයක්  ඒ අමිහිරි අතීතය වෙත බලෙන්ම කැඳවාගෙන යනු ලබනව. එයින් ඔහුගේ මානසික තත්වය යලි අවුල් වෙනව. ඔහු ඒ තත්වයට මුහුණදෙන ආකාරය තමයි පොතේ කථා තේමාව. තමන්ගේම අමිහිරි අතීතය සමඟ යම් එකඟතාවයකට, සමාදානයකට  එළඹීම.... Coping with your own unpleasant past....

ප්‍රෑන්ක්ලින්ට සිද්ධ වුන දේම මටත් සිද්ධ වුනා මේ පහුගිය දවස් හතර පහකට ඉස්සෙල්ල. ඒකට හේතු පාදක වුනේ හැබැයි තීන්ත සුවඳක් එහෙම නෙවෙයි. මුහුණු පොතේ පළවූ ඡායාරූප කීපයක්. මේ දවස්වල මහනුවර නගරය වගේම ඒ තදාසන්න ප්‍රදේශවලත් රබරෝසියා මල් පිපිල. ඔය රබරෝසියා මල් හැම අවුරුද්දෙම පිපෙන්නෙත් නෑ. සමහරවිට අවුරුදු හත අටකට සැරයක් වෙන්න පුලුවන්. එහෙම නුවර නගරය පුරා රබරෝසියා මල් පිපිලා තිබුනු එක්තරා දුර අතීතයේ දවසක  මතක සැමරුම් ගැන තමයි මම මේ ලියන්න ගත්තෙ....

Friday, March 8, 2019

628. The Age Of Pure Innocence




The age of pure innocence,
When your mind is free of any bias,
Your heart is filled with happiness, tolerance and love for all beings,
Oh for a world where  no one would grow up!

ඡායාරූපය ශාන්ත කේ. හේරත්ගේ "පන්තියක්ම නොවන චිත්‍ර පන්තිය" වෙබ් පිටුවෙනි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...