ඉතිං ඔය මිනුම් සළකුණු හෑන්ඩ් ඕවර් කරනකොට වැලිකන්දෙ ඉඳල කිලෝමීටර් දොළහක්ද කොහෙද ටේක් ඕවර් කරල තියෙන්නෙ අපෙ නිව්ටනය. ඉතිං ZD එකෙන් අර පාලමේ ලොකේෂන් එක ගැන දැනගන්ට එයාලගෙ එන්ජිනියර් කෙනෙක් එවන්නම්ය කිව්වම නිව්ටන්ගෙ ලොක්ක නිව්ටන්ට කතා කරල කිව්වලු…........
"නිව්ටන් අන්න අර ත්‍රිකෝණමඩු පාරයි මේන් කැනල් එකයි ක්‍රොස් වෙන තැන හරියටම බලාගන්ට හෙට උදේ ZD එකෙන් එන්ජිනියර් කෙනෙක් එයි."
"හරි බොස්"
"නිව්ටන් නේද ඔය හරිය ටේක් ඕවර් කලේ සර්වේ ඩිපාර්ට්මන්ට් එකෙන්?"
"ඔව් බොස්.."
"එහෙනම් හෙට උදේ අර එන මනුස්සය එක්ක ගිහිල්ල හරියටම පාරෙයි ඇළෙයි සෙන්ටර් ලයින් ක්‍රොස් වෙන තැන පෙන්නන්ට."
"ඕකේ බොස්.." නිව්ටනයත් එහෙම කියල වැඩේ බාරගත්ත.
එදා රෑ චමරියට (චමරිය කියන්නෙ අපි නවාතැන් ගෙන හිටපු නේවාසිකාගාරය) ඇවිල්ල රෑට කන ගමන් නිව්ටනය අපිට කිව ඔය විස්තරේ…..
"අඩෝ උඹල දන්නවද? අපෙ ආර්.ඊ.මට බාරදුන්න අර ZD එකේ එන්ජිනියර් කෙනෙකුට ත්‍රිකෝණමඩු පාරයි මේන් කැනල් එකයි ක්‍රොස් වෙන තැන ලොකේෂන් එක පෙන්නන්ට"
(R.E. = නේවාසික ඉංජිනේරු නොහොත් Resident Engineer)
අපි ඉතින් ඔය අනම්මනම් විකාර ටිකක් කියෝල නිව්ටන්ව පොඩ්ඩක් බයිට් එකට ගත්ත.. හෙහ්..හෙහ්…
"යකෝ...බලාගෙන...ZDඑකේ එන්ජිනියර් කෙනෙක් නම් අනිවා දඩ සුද්දෙක් එනව ඇත්තෙ.......උඹ පොඩ්ඩක් පරිස්සං වෙයං.." සමරෙ කිව්ව.
"පලයං බං යන්න මම මොනවට පරිස්සං වෙන්නද?" නිව්ටන් එහෙම කිව්වෙ නැඟිටල බත්හැන්දක් බෙදාගන්න ගමන්.....
ඒ කාලෙ ඔය ZD එකේ වැඩ කලේ ඔක්කොම අටේ දහයෙ සුද්දො..අත් නැති ටී ෂර්ට් වගේ එව්වයි කාකි කොට කළිසමුයි ඇඳගෙන ඇන්කල් බූට්ස් දාගෙන හිටපු එවුංගෙං බහුතරයකගෙ අත් පපුව පුරා පච්ච කොටල තිබ්බ. ඒ පැත්තෙ අවුරුද්ද පුරා තියෙන කට්ට අව්වෙ ඉඳලම ඔය ඇමරිකන් කාරයින්ගෙ හම රතුවෙලා දිලිසි දිලිසි තිබ්බෙ.
ඒ දිලිසිල්ලට නම් හේතුව මම හිතන්නෙ අව්වෙ සැරකමට එවුං මොනව හරි ක්‍රීම් ජාතියක් උලල වෙන්න ඕන. පස්සෙ කාලෙකදි ඔය මම කියවපු සමහර පොත් වල රෙඩ් නෙක්ස් (Red necks) කියල වචනයක් දැක්කම මට එක පාරටම මතකයට ආවෙ ඔය ZD කොම්පැනියෙ වැඩකරපු ඇමරිකන් කාරයො. අමරිකාවෙ "Red necks" කියල කියන්නෙ හරි හමං අධ්‍යාපනයක් රහිත, විශේෂයෙන්ම ගොවිතැනින් වගෙ ජීවත්වෙන පහළ පංතියෙ සුදු අමරිකානුවන්ට. ඒක අපහාසාත්මක වචනයක් විදිහටයි හැඳින්වෙන්නෙ.
ආ ඔය ZD එකේ අමරිකන් කාරයො හැමෝම වගෙ පාවිච්චි කලේ කහ/දුඹුරු පාට (Beige Color) සීට් දෙකේ ජීප්. ඒ කාලෙ ලෝකෙ පුරා ජපානෙ හදන මිට්සුබිෂි ජීප් එක ජනප්‍රිය වෙලා තිබ්බට ජීප් කියන්නෙ ඇත්තටම අමරිකන් සන්නාමයක්. ජීප් සමාගමෙන් මිට්සුබිෂි එකට "Jeep" සන්නාමය යටතෙ වාහන හදන්ට දුන්නු අයිතිය අවසන් උනාට පස්සෙ තමයි මිට්සුබිෂි සමාගම පජෙරෝ එක නිෂ්පාදනය කරන්ට පටන් ගත්තෙ. ජීප් වලට අමතරව අමරිකන්කාරයො පාවිච්චි කලා දඩ G.M.C. ඩබල් කැබ් පිකප්. එව්ව ආය නෑ පොඩි ලොරියක් විතර ඇති. ටයර් එකක් අඩි දෙකක් වගෙ පළලයි. G.M.C. කියන්නෙ සුප්‍රසිද්ධ අමරිකන් වාහන නිෂ්පාදන සමාගමක්. (General Motors Company)
ඒ දවස්වල ZD එකේ සුද්දො පාවිච්චි කලේ මේ G.M.C. පිකප්. හැබැයි එව්ව මීට ටිකක් වෙනස්. මොඩිෆයි කරල තිබ්බෙ Off Road විදිහට... |
ඒ දවස්වල අපේ කෑම්ප් එක මායිමෙන්ම තමයි ඔය ZD ඇළ වැටිල තිබ්බෙ. අපේ කෑම්ප් එකේ වැටත් එක්කම තිබ්බ ZD එකේ සුද්දො රෑ වැඩ කරද්දි එහෙම පොඩි නින්දක් දාන්ට ගෙනාපු කන්ටේනර් තුන හතරක්. ඒ පිටිපස්සෙ සමහර දවස් වලට එවුං මස් එහෙම පුච්චගෙන කනව බොනව එහෙම. රෑට හුලං අත අපේ කෑම්ප් එක දිහාට හැරෙනකොට අපිටත් එනව මස් පිච්චෙන සුවඳ...
අපි ඔය ඒ කාලෙ බාබකිව් ගැන එහෙම අහලවත් තිබ්බෙ නෑ. වැට අයිනෙ තිබිල එක දවසක් අපේ චමරියෙ උයන්ට හිටපු ගෝලය ගෙනල්ල තිබ්බ හිස් ජැක් ඩැනියල්ස් බෝතල් දෙක තුනක්. අපේ කට්ටිය එව්ව ගත්ත වතුර පුරවල රෑට බොන්ට ඇඳ ඉහත්තාවෙ තියාගන්ට.
ජැක් ඩැනියල්ස් විස්කි බෝතලයක්... |
ඉතිං පහුවදා අපි දවල්ට කන්න එනකොට මෙන්න නිව්ටනය ඉන්නව අපෙ සාලෙ ඇඳි පුටුවක පත බෑවිල..අපි කට්ටිය කොහොමත් දවල්ට කන්න එනකොට එකහමාරවත් වෙනව. මොකද අපි එක එක්කෙනාගෙ සයිට් තියෙන්නෙ එකිනෙකින් සෑහෙන්න දුරින්. ඉතිං අපේ ජීප් එක කිලෝ මීටර් විස්සක් විතර ඔය වටේ ගහල එනකොට කොහොමත් ඔය වෙලාව යනව. ඒත් පුරුද්දක් විදිහට නිව්ටන් එකොලහ වගෙ වෙනකොට චමරියට එනව. ඇවිල්ල අපි දාඩිය පෙරාගෙන එද්දි නාල කරල කාරිය කුරුල්ල වගෙ ෂපාන් එකේ ඉන්නව. ඒත් එදා උගෙ මූන ඉදිල බිමට වැටෙන්ට ඔන්න මෙන්න වැලගෙඩියක් වගෙ වෙලා තිබ්බෙ.
"මොකෝ බං?" මම ඇහුව..
"බලපංකො අර දහදුරා සුද්ද කරපු වැඩේ…"නිව්ටන්ට ඒ වෙනකොටත් උපරිම මල.
"හරි හරි බං...කාම් ඩවුන් කාම් ඩවුන්...ඒ කියන්නෙ සන්සුන් වෙන්න සන්සුන් වෙන්න …"
"සන්සුන් තමයි අම්මප මට ඕකට.." නිව්ටන් බර බර ගාල දත්මිටි කෑව...
දැන් එදා මගෙ අර මහවැලි යාලුවො එක්ක තිබ්බ සුහද හමුවෙදි කවුරු හරි එකෙක් ඔය නිව්ටන්ගෙයි සුද්දගෙයි කතාව මතක් කලා..
"ඒයි මතකද උඹලට අපේ නිව්ටනය අර ZD එකේ සුද්දට මහ ඇළේ පාලමේ ලොකේෂන් එක පෙන්නන්ට ගිහිල්ල වෙච්චි ජංජාලෙ?"
"යන්තම් මතකයි වගෙ .."
"හරි හරි ඉඳපංකො වීරෙට තමයි ඔය කතා මතක..අනික මූ ඔය කතන්දර ලියනවලුනෙ අර බ්ලොග් එකක්ද මොහොකටත්.."
"ඔව් බං ඔය දන්නැද්ද? කතන්දර දෙක තුනක් ලියනව..." මම එහෙම කියල ෂේප් වුනා...එතන හිටපු එවුන්ගෙන් මගෙ බ්ලොග් එක ගැන දැනගෙන හිටියෙ ඔය සමරෙ විතරයි...ඒකත් ඊට කලින් දවසෙ මම ඌට කියල තිබ්බ හින්ද.
"වීරේ එහෙනම් උඹ කියපං කතාව මුල ඉඳලම…" ඔන්න ඔක්කොම කට්ටියගෙන් ඉල්ලීමක් ආව..
"මේ... උඹ කතාව කිව්වට කමක් නෑ.. බොරු එහෙම කිව්වොත් බලාගං...අඬු කඩනව අම්මාපල්ල.." නිව්ටන් මට ඒ වෙලාවෙ තර්ජනයකුත් කලා.
"පිස්සුද බං? ආය බොරු කියන්නෙ කොහොමද? උඹත් මෙතන ඉන්නවනෙ...බොරුවක් නම් ඒ වෙලාවෙම කියපං..අඩෝ බොරු කියන්ට එපා.. එහෙම නෙවෙයි උනේ මෙන්න මෙහෙමයි කියල…" මම නිව්ටන්ගෙ පිටට පාරක් ගහන ගමන් එහෙම කිව්ව.
ඉතිං ඔන්න මම එදා කතාව කියාගෙන ඇවිල්ල ඔය නිව්ට අපේ චමරියෙ මූණත් තහඩුව කුණ්ඩ හට්ටියක් වගෙ කරගෙන සුද්දගෙ හත්මුතු පරම්පරාවටම අම්ම මෝ නැතුව බැණ බැණ ඉන්න වෙලාවෙ මෙසේ උඩ තිබ්බ මගෙ ෆෝන් එක රිං වුනා. මම කතාව නවත්තල අතට අරං බලනකොට නාඳුනන නොම්මරයක්…..
"එක්ස්කියුස් මී.." එහෙම කියල මම ෆෝන් එකත් අරගෙන එළියට ගියා.."හෙලෝ...."
"හෙලෝ...මේ මිස්ට රවිද?"
"ඔව් මම තමයි රවි.."
"රවි අයියෙ...මම මේ කසුන්…"
"ආආආ....කසුන්? කසුන් කිව්වෙ?"
"මම අර අහසින් එන්න.... අන්න ඒ කසුන්.."
"අම්මට උඩු මේ මේ අපේ කසුන් මල්ලිනෙ..ඉතිං ඉතිං..කොහොමද බං සැප සනීප කාරිය?"
"වරදක් නෑ අයියෙ හොඳින් ඉන්නව...අයිය ලංකාවට ආවයි කියල ආරංචි උනා..ඒකයි මේ කතාකලේ…"
"අනේ බං කතා කරපු එක කොච්චර දෙයක්ද?..මේ ඒක නෙවෙයි කාගෙන්ද මගෙ නොම්මරේ හොයා ගත්තෙ?"
"රන්දිකා අක්ක දුන්නෙ...අයිය එහෙ ගියයි කියලත් කිව්ව"
"ඔව් බං.. පහුගිය සඳුද කොලඹ ගියානෙ... ඒ ගමන රන්දිකාලගෙ ගෙදරත් ගියා.."
"ඉතිං අයියෙ මම මේ කතා කලේ අපි දෙන්න මේ දවස්වල නුවර ඉන්නෙ…"
"ආ..එහෙමද?"
කසුන්ගෙ භාර්යා තොමෝ ඒ කිව්වෙ සත්‍යා නිර්මාණි නුවර කියල මම දැනගෙන හිටියට හරියටම කොහෙද කියල මට අයිඩියා එකක් තිබ්බෙ නෑ.
"හරි හරි සත්‍යා නුවර නේද?"
"ඔව් නුවර කියන්නෙ ගම්පොළ…"
"අහ්..එහෙමද? මම ඉන්නෙත් පේරාදෙණිය පරණ ගම්පළ පාරෙ..පැණිදෙණියෙ.."
"ඔව් මට මතකයි අයිය කීප සැරයක් බ්ලොග් එකේ ඒ ගැන ලියල තිබ්බනෙ..ඉතිං අයියෙ මම මේ කතා කලේ අපි දෙන්නට අයියව මුණගැහෙන්ට ඕන…"
"කසුන් මම ලබන බදාද ඒ කියන්නෙ දාහතරවෙනිද ආපහු යනව..ඔයාල දෙන්න කවද වෙනකල් මෙහෙ ඉන්නවද?"
"අපි හිතාගෙන ඉන්නෙ අඟහරුවාද හවස වගෙ ආපහු කොළඹ යන්න.."
"හරි එහෙමනම් හෙට හෝ අනිද්ද අපි හම්බවෙමු. ගම්පළට මහ ලොකු දුරක් නෑනෙ..මම එන්නම් ඔයාලගෙ ගෙදර..එහෙම නැත්නම් නුවර පැත්තෙ යැවෙනවනම් වරෙං අපේ ගෙදර..කෑම ටිකක් එහෙම කාල යන්ට බැරිය නිදහසේ.."
"හරි අයිය..එහෙනම් මම තියන්නම්.."
"හරි හරි බායි…" මම කසුන්ට එහෙම කියල ආපහු ගිහිල්ල වාඩි වුනා.
"ඒයි මොකද බං මෙච්චර වෙලා? කියපං කියපං කතාව කියපං…" කට්ටිය කෑගැහුව..
"හරි බං හරි මගෙ යාලුවෙක් ඒ කතා කලේ..හරි මම කොතනද කතාව නැවැත්තුවෙ?"
"ආ..අර පහුවදා දවල් කෑමට උඹල චමරියට එනකොට මූ හිටිය කිව්වෙ අර මොනවද කාපු එකා වගෙ..අන්න එතන" එකෙක් නිව්ටව පෙන්නල කිව්ව..
නිව්ට ඉන්නව මා දිහා රවාගෙන මූණත් වැලේ වගෙ කරගෙන..
"අඩේ මෙන්න බලාපං..මෙන්න මේ විදිහටම තමයි එදත් මුගෙ මූණ තිබ්බෙ…" මම නිව්ටගෙ මූණ පෙන්නල හිනා වුනා..
"යකෝ කතාව විදිහට උඹ මූණ හදාගන්න ඕන නෑ බං..නෝමල් එකේ ඉඳහං.." මම ආයම කිව්ව..
"නෝමල් එකේ? හුහ්...මම උඹට කිව්වය කියල හිතාගං..යකෝ මූ හින්ද ගෙට් ටුගෙදර් එකක් ඕගනයිස් කරල මම අහගන්න පඩත්තර කතා..අපිට ගහන්න ඕන අර හරකගෙ වේලපු මොකක්ද එකෙං…" නිව්ටන් එහෙම කියල දත්මිටි කෑව..
ආ මට කලින් කියන්ට අමතක මතක බැරි වුනා නෙව..නිව්ට ඇවිල්ල සුහද හමුවෙ ප්‍රධාන සංවිධායකයෙක්...
"හරි හරි බං වීරෙ උඹ ඔව්ව ගණං ගන්න එපා..නිව්ට ඔය බොරුවට කෑගහන්නෙ උඹ කතාව කියහං.." අනික් එවුං කෑගැහුව...
පහුවදා උදේ නමයට විතර සුද්ද ආව. ආර්.ඊ. නිව්ටන්ට කතා කරල කිව්ව...එහෙනම් මේ මහත්තය එක්ක එයාගෙ වාහනෙන්ම ගිහිල්ල ඒ පාළම එන ලොකේෂන් එක පෙන්නල එන්නකො.නිව්ටනුත් ඕකේ බොස් කියල සුද්ද එක්කම පිටත්වුනා. සුද්ද ඇවිල්ල තිබිල තියෙන්නෙ දඩ G.M.C. පිකප් එකක.