අන්තිම දවසේ රිංකු සමඟ |
මැදපෙරදිග වසර එකොළහක් ගත කරල පහුගිය මාසෙ ආපහු සිරි ලංකාද්වීපයට සැපත් වුනෙමි. වැඩේ සිද්ද වුනේ නොසිතූ නොපැතූ ලෙසට කියල තමයි කියන්න තියෙන්නෙ. මම හිතං හිටියෙ තව අවුරුද්දක්, උපරිම දෙකක් වගෙ ඉඳලම නැවත නොයන්නම ආපහු එන්නෙයි කියල. පහුගිය ජූලි මාසෙ වාර්ෂික නිවාඩුවට ලංකාවට ආපු වෙලාවෙ හම්බ වෙච්චි හිතමිතුරන්ටත් මම එහෙමයි කිව්වෙ..
එවුං හුඟ දෙනෙක් (විශේෂයෙන්ම මහවැලියෙ මා එක්ක වැඩ කරපු එව්වං) ප්‍රතිචාර දැක්කුවෙ මෙන්න මේ විදිහටයි.
"මොන මඟුලක්ද බං? උඹ හැමදාම කියන්නෙ ඔය බණේනෙ...තව අවුරුද්දයි මචං තව දෙකයි බං..කවද්ද බං ඔය කියන අවුරුද්ද හරි දෙක හරි ගෙවෙන්නෙ? මෙන්න මෙහෙ වරෙං බං ඔය මදැයි හිටිය......."
ඉතිං තව අඩුම ගානෙ අවුරුද්දක්වත් ඉන්නම්ය කියල හිතාගෙන ආපහු ගියාට ගිහිල්ල සතියක් යන්ට ඉස්සෙල්ල මගෙ අතිජාත මිත්‍රයෙක්වන අජිත් අභාවප්‍රාප්ත වෙච්චි ආරංචිය ඇහුවට පස්සෙ මගෙ හිත නිකං එක පාරටම අප්සට් ගියා. යකෝ මේ අපිට වැඩිය අතපය හයිය ඇතුව හොඳ උස මහතට හිටිය හැම්සන් හාදයා..ඔලුවෙ එක කෙස් ගහක් පැහිල එහෙම නෑ. මට වැඩිය අවුරුද්දක් වගෙ තමයි වැඩිමල්.
ඉතිං අර ගහක් ගලක් වගෙ හිටිය අජිතයට එක පාරටම සිද්ද වෙච්චි දේ ගැන කල්පනා කරනකොට මටත් ඉබේටම වගෙ හිතුන යකෝ සාක්කි ජීවිතේ කියන්නෙ මොන තරම් අස්ථිර දෙයක්ද කියල.
ඔය ජීවිතේ අනිත්‍යය කියන එක කොච්චරදෝ නම් මෙනෙහි කලා වුනත් තමංගෙ කිට්ටු ඥාතියෙකුට, නැත්නම් ඉතාම හිතමිත්‍රයෙකුට එහෙම දෙයක් උනහම තමයි ඒ කතාවෙ සනාතන සත්‍යය කිතුල් පොල්ලකින් ඔලුව මැද්දෑවට පත බෑව වගෙ සාක්ෂාත් වෙන්නෙ. දැන් ඉතිං වයසත් ඒ හැටි හොඳ වයසක් නෙවෙයි. අනික අසනීප කටයුතු, හන්දි කැක්කුං එහෙමත් ඕසෙට. එතකොට එන්න එන්න එලොවට කිට්ටුවෙනව මිසක මොකෝ ආය තිරිහං වෙන එකක්ය?
ඔන්න ඔයාකාරව හිතමින් ඉන්දැද්දි මෙන්න අපේ කොම්පැණියෙ මානව සම්පත් කළමණාකරු නොහොත් එච්.ආර්.මැනේජර් ගොයිය මට පණිවිඩයක් එවල තිබ්බ ඇවිල්ල උන්දැව මුණ ගැහෙන්ටය කියල. මමත් ඉතිං උඩ තට්ටුවට ගිහිල්ල මනුස්සයව මුණ ගැහුන.
"Mr. Weerasinghe, I am really sorry…as two or three projects we were hoping to start within the next month or so have been put on hold, our management has decided to terminate some of our employees…"
"So you are saying…"
"Yes, unfortunately, you are also on that list..but we can extend your resident permit for another 2 or 3 months if you want to look for some other employment here…."
ඔක්කොම වෙන්නෙ හොඳටයි කියල හිතල මම ක්ෂණික තීරණයක් ගත්ත.
"No, I will be leaving…."
ඉතිං ඔන්න ඔය විදිහට මම වසර එකොළහක විදේශ සේවයෙන සමුගෙන බෑක් ටු ශ්‍රී ලංකා සැපත්වුනෙමි.
කටාර්වල මට අමතකම කරන්ට බැරි මොකක්ද දන්නවද? හිනාවෙන්ට එහෙම ඔට්ටු නෑ හොඳේ…What I miss most about Qatar is a head massage…
එහෙ ඉද්දි මම දැන් අවුරුදු හත අටක් තිස්සෙම රැවුල සහ කොණ්ඩෙ කපන්ට යන්නෙ මම හිටපු එපාට්මන්ට් එකේ ඉඳල පයින් යන දුරින් ඒ කිව්වෙ මීටර් හාර පන්සීයක් එහායින් තියන කරණවෑමි හලකට නොහොත් බාබර් සාප්පුවකට. කේරළයෙක් තමයි ඒකෙ අයිතිකාරය. ඉන්දියන් සහ බංග්ලාදේශ් වැසියන් තමයි එතන වැඩකරන අයගෙන් බහුතරයක්.
එතන කරණවෑමියන්ගෙන් මා එක්ක බොහොම හිතවත් වුනා රිංකු කියල බංග්ලාදේශී/ඉන්දියානුවෙක්. ඒ කිව්වෙ මිනිහ උපතින් බංග්ලාදේශ්. ඉපදිල හැදිල වැඩිල තියෙන්නෙ තියෙන්නෙ චිතගොංවල. පස්සෙ මනුස්සය ඉන්දියාවෙ කොල්කතාවලට ඇවිල්ල පදිංචි වෙලා.ඒ ආදරයක් පසුපස ආපු ගමනක්.
රිංකුගෙ පෙම්වතියගෙ මව්පියෝ සහ නෑදෑ සනුහරය මේ දෙන්නගෙ සම්බන්ධයට තදින්ම විරුද්ධ වෙලා. මිනිහ මට ඒ විරුද්ධත්වයට හේතුවක් හරියටම කිව්වෙත් නෑ. මම හාර හාර ඇහුවෙත් නෑ. බොහෝ විට මට හිතෙන්නෙ කුළ කේස් එකක් වෙන්න ඇති. කොහොම හරි ඒ ගෑණු ළමයගෙ අම්මගෙ පවුලෙ හැමෝම වගෙ බංග්ලා දේශයෙන් පිටවෙලා සෑහෙන කාලයක් තිස්සෙ පදිංචි වෙලා ඉඳල තියෙන්නෙ ඉන්දියාවෙ කොල්කතාවල.
සුද්දො ඉන්දියාව යටත් කරගෙන හිටපු කාලෙ කාලෙ කල්කටා කිව්වෙත් ඔය කොල්කතාවලටම තමයි. එහෙම සුද්දන්ගෙ කාලෙ භාවිතාවුනු නගර නාම බොහොමයක් එකදාස් නමසිය අසූ ගණං වල වගෙ ඉන්දීය ආණ්ඩුව වෙනස් කලානෙ. මැඩ්‍රාස්-චෙන්නායි, බැංගලෝර්- බෙංගලූරු, බොම්බාය-මුම්බායි, ඒ එහෙම උදාහරණ කීපයක්...
ඉතිං රිංකුගෙන් කෙල්ල බේරගන්න ඕන නිසාම කෙල්ලගෙ අම්මයි තාත්තයි පවුල් පිටින්ම ඇවිල්ල කොල්කතාවල පදිංචි වෙලා. රිංකුත් වැඩේ අත ඇරල නෑ. මිනිහත් කොහොම හරි අවුරුද්දක් දෙකක් මහන්සිවෙලා සල්ලි ටිකක් ඉතුරු කරගෙන කොල්කතාවටම ඇවිල්ල. කොහොම හරි අන්තිමට මේ යකාගෙන බේරෙන්නම බෑනෙව යකෝ..කියල හිතලද නැත්තං කෙල්ලගෙ අම්මටයි තාත්තටයි මේ මනුස්සය ගැන අනුකම්පා හිතිලද මන්ද කැමැත්ත දීල. දැන් මිස්ටර් ඇන්ඩ් මිසිස් රිංකුට දරුවො දෙන්නෙකුත් ඉන්නව.
මම ඔය පස්පොළ කලුවෙන්ට ගත්තු කාලෙ ඉඳලම රැවුල කපන්නෙම බාබර් සාප්පුවකින්. අපෙ ප්‍රියම්බිකාතොමෝ එහෙමත් මට සෑහෙන්න වගපල කියනව "මොකක්ද අනේ මේ වැඩේ තේරුම? සතියකට සැරයක් බාබර් සාප්පු හොය හොය දුවන්නෙ..හැමදාම උදේට ගෙදරදි රැවුල කපාගන්ට පුරුදු වෙන්නකො..." කියල.
ඒත් මට ඔය රැවුල කපන එක මහ මරන්නා වගෙ වැඩක්. ඊට වඩා කොච්චර පහසුද බලමුකො සනීපෙට පුටුවක් උඩ දිග ඇදිල ඉන්න ගමං බාබරය ලව්ව රැවුල කප්පව ගන්න එක.
මම ඔය බකමූණෙ ඉද්දි එහෙ ලර්නර්ස් එකක් කරපු කොලුවෙක් අපි එක්ක සෑහෙන්න පෑල් වුනා. අපි කිව්වෙ මතකනෙ ..මම සහ මගෙ මිත්‍රයා සුමනෙ...ඔය ලර්නස් පොරගෙ නම විජිත. විජිතගෙ යාලුවෙක් පස්සෙ විජිතගෙ ඇඳුනුම් කමට ඇවිල්ල බකමූණෙ බාබර් සාප්පුවක් දැම්ම..
"අයියා ඔන්න බලන්නකො වජිරයගෙ බාබර් සාප්පුවට ගිහිල්ල එක දවසක්..ඌ හෙඩ් මසාජ් එකක් දෙනව අයිය ආය නෑ ඇස් දෙකෙං කඳුළු පයිනව…" විජිතය දවසක් සුමනෙයි මායි එක්ක කිව්ව හවසක මධුර හෝටලේ කිඹුලෙක් කාල ටී එකක් ගහන ගමං..
"පලයං බං..මසාජ් වල මොනවද ආය ඔය හැටි අරුමෙ?...කොයි බාබර් සාප්පුවෙත් කරන්නෙ එකම මසාජ් එකනෙ බං.." මම එහෙම කිව්ව.
"නෑ..නෑ..අයිය මම කිව්වට එක දවසක් ගිහිල්ල බලන්නකො..මූ සිංගප්පූරුවෙ බාබර් සාප්පුවකත් අවුරුදු තුනක්ද කොහෙද වැඩ කරල තියනව..සුපර් වැඩ කාරය ඔන්න බලන්නකො.."
ඉතිං විජිතයගෙ යාලුව වජිර බාබර් සාප්පුව ඇරියම මමත් ඌ එක්කම ගියා ඇරපුදාට පහුවදාම. අම්මට වූඩු කියල වැඩක් නෑ..ඈ..උගෙ මසාජ් එක තමයි මසාජ් එක..විජිතය කිව්ව වගේම කඳුළු පනිනව...මසාජ් එක ඉවර වුනාම ආය නෑ ඔලුවෙන් රැස් විහිදෙනව වගෙ දැනෙනව. ඔය බුදු හාමුදුරුවන්ගෙ එතකොට යේසුස් වහන්සෙගෙ ඔලුව වටේ අර චිත්‍ර වල එහෙම තියෙන්නෙ රැස් වලල්ලක් විහිදෙනව. අන්න ඒ විදිහමයි.
මට ඉතිං බකමූණෙං එන්ට උනාට පස්සෙ ඔය රැස් වලලු වැඩේ එහෙම්මම අහෝසි උනා. වජිරගෙන් පස්සෙ ඔය රැස් විහිදෙන්ට මසාජ් එකක් දෙන්ට පුලුවන් හාදයෙක් මට හම්බ උනේ ඔන්න ඔය රිංකු. ඔය රැස් විහිදෙන්ට මසාජ් එක දෙන අතරෙ තමයි මනුස්සය එයයිගෙ ජීවිත කතාව මා දැක්ක කිව්වෙ...
ඉතිං ඔය මගේ කරණවෑමි කතා කියල සීරීස් එකකුත් මම පටන්ගත්තනෙ. ඒත් ඒකෙ මට මතක විදිහට එපිසෝඩ් හතරයි නැත්නම් පහයි ලියන්ට උනේ. ආයම ඒ සීරීස් එක පටන් ගත්තහම රිංකු ඔහුගේ ආදර කතාව සහ ඔහුගේ රැස් විහිදෙන සම්බාහනය ගැන සවිස්තරව ලියන්නම්ය.
පලි- මම ආපහු ලංකාවට ඇවිල්ල පහුවදාම අර මොනවද බං උඹ කවද්ද ආපහු එන්නෙ දැං මදැයි ඔය හිටිය කියල නාහෙං අඬපු එකෙක්ට කෝල් එකක් ගත්ත…
"හලෝ.."
"හලෝ වීරෙ..උඹ ආයෙමත් ආවද? මෙච්චර ඉක්මනට?....අඩේ මේ ඊයෙ පෙරෙයිද නේද නිවාඩුවට ඇවිල්ල ආපහු ගියේ?"
"හුහ්...නිවාඩුවට ඇවිල්ල? නිවාඩුවට ඇවිල්ල තමයි..යකෝ උඹලගෙ ඇඬියාව හින්ද අන්න මට කෙලවුනා…"
"ඈ ඒ කොහොමද?"
"කොහොමද තමයි..ආපහු ගිහිල්ල සති දෙකයි ගියේ..උං මාව අස්කලානෙ.."
"නෑ?"
"නෑ නෙවෙයි ඔව්..අප්පෝ උඹල කොහෙද මෙතන පොළවෙ පස් කෑවනෙ ..ඒ මුස්පේන්තු කම හින්දම තමයි තමයි මට ටිකට් එක ඇදුනෙ...උඹල තමයි දවසකටවත් යාලුවො.."
"හෙහ්..හෙහ්..හෙහ්…"