Saturday, July 20, 2024

695. බෙරේකිම් නිවුස් නොහොත් මෙන්න ළමයි මැටිවරන කොමිෂමෙං මේ දැන් නිකුත් කල අති විසේස නිවේදනයක්



සී ලංකාවේ ජනාපෙතිවරනයකට ඉදිරිපත්වන සෑම අපේක්ෂකයෙක්ම රාහු කාලය මඟහැර තම කේන්දර අනුව සුබ මුහුර්තයකිං නාම යෝජනා බාරදීම මෙතෙක් පැවති චාරිත්රයකි.

එබැවින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාපෙතිවරනයට ඉදිරිපත්වීමට අපේක්සා කරන සෑම අපේක්සකයෙක්ම තම කේන්දර පිටපතක් සහ උපන් වේලාව නොපමාව මැටිවරන කොමිසම වෙත ඉදිරිපත් කරන ලෙස මෙයිං දැනුං දෙමු.

එම කේන්ද්ර පිටපත සහ උපන් වේලාව රජයේ ලියාපදිංචි දෛවඥ මහතකු හෝ මහත්මියක විසින් සත්ය පිටපතක් ලෙස සහතික කොට තිබිය යුතුය.

එම කේන්දර පිටපත අනුව ඒ ඒ අපේක්ෂක/ෂිකාවන්ට නාම යෝජනා භාරදීමට සුදුසු දිනය සහ වේලාව කොමිෂම විසින් ඒ සඳහා විසේසයෙන් පත්කරන දෙස් විදෙස් පතල කීර්තිමත් දෛවඥ මහතකු/මහත්මියක විසින් ගනනය කොට ප්රකාසයට පත් කරනු ලැබේ..

ඒ අනුව මෙවර ජනාපෙතිවරන නාම යෝජනා බාරදීම මීට පෙර සිදුවූ පරිදි එක් දිනයක නියමිත වේලාවක් තුලදී නොව මාස කිහිපයක් තුලදී වුවද සිදුවිය හැක.

ජනාපෙතිවරනය පැවැත්විය යුතු කාලසීමාව ව්යවස්තාවෙන් පැහැදිලිව නියම කොට ඇති බැවින් මේ සඳහා ව්යවස්තාව සංසෝදනේ කොට එම සංසෝදනය පාර්ලිමේන්තුවේ 2/3 බහුතර චන්දයකින් මෙන්ම ජනමතවිචාරනයකින්ද අනුමතකොටගත යුතුය.

ඒ සඳහා අතිගරු ජනාපෙතිතුමා තම නොමසුරු සායෝගය සහ පූර්න අනුග්රහය ලබාදෙන බවට දැනටමත් කොමිසමට දිව්රා සහතික වී ඇත.

මේ හේතුකොටගෙන යම්ම යම්කිසි අපහසුවක් ඔබට සිදුවුවද පුරාන චාරිත්ර අකුරටම ඉටුකිරීමේ පරම අබිලාසයෙන් කෙරෙන මෙම සත්කාර්යයට සී ලම්කා වාසී ඔබ සැමගේ ආසිර්වාදය හිමිවනු ඇති බව මැටිවරන කොමිෂමේ අදහසයි..

තවද පුරාන චාරිත්ර රැකීමේ තවත් එක් ඉදිරිගාමී පියවරක් වසයෙං යම් අපේක්සක මහතකුට/මහත්මියකට කැමැත්තේ නම් වස්ත්රාභරණයෙන් සැරසූ ඇතකු හෝ අලියකු හෝ වෙනත් එවන් ඕනෑම සතෙකු පිට නැඟී පංච තූර්ය නාද සහිත පෙරහැරකින් නාම යෝජනා බාරදීම සඳහා පැමිණීමටද අවසර ඇත.

කේන්දරය සහ උපන් වේලාව අනුව නාම යෝජනා බාර දියයුතු සුබ මොහොත එලෙඹෙනුයේ රාත්රි කාලයක නම් පෙරහැර සඳහා විලක්කුද අලි ඇතුං සඳහා LED බලුප්ද භාවිතා කල හැක. මෙම පෙරහැරට රාජගිරිය මංසන්දියේ සිට මැතිවරන කොමිසම් කාර්යාලය දක්වා පැමිනීමට අවසර ඇත.

එලෙසම නාම යෝජනා බාරදීමට පෙර අවසන් මොහොතේ තම ආගමික චාරිත්ර ඉටුකිරීමට අවශ්ය යම් අපේක්සකයකු/ අපේක්සිකාවක වෙතොත් ඒ සඳහා මැතිවරන කොමිසම් පරිස්රයේ තාවකාලික සර්ව ආගමික මද්යස්තානයක් පිහිටුවීමටද කටයුතු කෙරෙනු ඇත.

Wednesday, July 17, 2024

694. මැයි මාර ප්‍රසංගය සහ තවත් අදාල සහ අදාල නොවන කතා...


මැයි මාර ප්‍රසංගය කියවන්ට බොහොම ඕන කමක් තිබ්බට අන්තිමට නුවර පොත් ප්‍රදර්ශනේ වෙනකල්ම ඉන්න උනා ඒ ආසාව ඉස්ට වෙන්ට..වැඩේ උනෙ මම නුවර ගියොත් සාමාන්‍යයෙන් ගිය රාජකාරිය අහවරක් කරල අනිවාර්යයෙන් යන තැන් දෙකක් තියනව..

එකක් KCC එකේ සරසවි පොත් සාප්පුව..කලින් නම් ඒකට අල්ලල තිබ්බ විජිත යාපා එකටත් යනවමයි...ඒත් දැන් අවුරුදු තුනකට වගෙ ඉස්සර විජිත යාපා එක එතනිං අයිං කරගෙන පේරාදෙණිය පාරෙ ආර්පිකෝ සුපර් මාකට් එක පහුකරල මීටර් 50 වගෙ එහා තැනකට ගෙනිච්ච..එතනට යන්ට ඕනය කියල මම අනන්තවත් හිතල ඇති ඒත් අන්තිමට දැං මාස හයකට වගෙ ඉස්සර ඒක වහල දානකන්ම මට එතනට යන්ට බැරි උනා කියහල්ලකො..

සාමාන්‍යයෙන් එහෙම වෙනව..ඉතාම අත්‍යාවශ්‍ය භාන්ඩයක් ඇරෙන්න වෙන දේකට අපි පුරුදු පාරෙං වෙනම යන්ට ඉතාම කම්මැලියි..මම වගෙ පොත් පිස්සෙක්ට උනත් ඒ ධර්මතාවය පොදුයි..

සරසවි එක නුවරට ඇවිල්ල දැං අවුරුදු විසි පහයි..මේ පහුගිය දවස්වල ඒ වෙනුවෙන් සරසවි ප්‍රකාශන 25%ක්  මිල අඩුකරල විකුණුව KCC සරසවි එකේ වගේම ත්‍රිකුණාමල වීදියෙ ඔරිජිනල් සරසවි එකේ..මම හිතන්නෙ අවුරුදු 50 සංවත්සරේට එයාල 50% මිල අඩු කරල විකුණයි..ඒ වගේම අවුරුදු 100 සංවත්සරේට නොමිලේම පොත් දෙයි..එහෙම තමයි එයාල හිතාගෙන ඉන්නෙ මහිතේ..

ඉතිං ඔය 1999 අවුරුද්දෙ සරසවි එක නුවරට එන්ට ඉස්සෙල්ල 86/87 කාලෙ ඉඳල විජිත යාපා එක නුවර තිබ්බ..ඒ කාලෙ තිබ්බෙ කාසල් ස්ට්‍රීට් එකේ..කාසල් බාර් එක ඉස්සරහම..මම ඉතිං ඒ කාලෙ වැලිකන්දෙ මහවැලියෙ වැඩ කරන කාලෙ මාසෙකට සැරයක් නිවාඩු දාල ගෙදර ආහම පහුවදාම නුවර ගිහිල්ල විජිත යාපා එකෙං අලුතෙං ආව පොත් හත අටක් ගන්නව..ඒ කරල ඒ එක්කම ඉස්සරහිං තියන කාසල් බාර් එකට ගිහිල්ල මුල්ලක් අල්ලගෙන කාලක් සහ බියර් එකක් ගහන ගමං ගත්තු පොතේ පරිච්ඡේදයක් දෙකක් කියවල ඉවර කරනව..ක්ලාක් ලොක්කගෙ ස්පේස් ඔඩිසි තුන් ඈඳුත්ත, එතකොට ජෙෆ්‍රි ආචර්ගෙ , මයිකල් ක්‍රයිටන්ගෙ එහෙම පොත් බර ගාණක් මම ඔහොම විජිත යාපා එකෙං ගත්ත..

ඒ කාලෙ කාසල් එකේ වැඩ කරපු වේටර්ල ඔක්කොමල මම අඳුනනව එතෙන්ට ගිහිල්ලම.....කාසල් එකේ කතා දෙක තුනක් මම මීට කලිං බ්ලොග් එකේ ලියලත් ඇති..ඒ කාලෙම වගෙ කාසල් බාර් එක වැහිල එතන වන් ප්ලස් වන් කියල ඇඳුං කඩයක් දැම්ම..දැන්නම් ඒකත් නැද්ද කොහෙද..මොන ක්ලබ්ද කියල එකක් ඒත් ඇඳුං ක්ඩයක් මහිතේ එතන දැං තියෙන්නෙ..කාලෙකිං ඒ පැත්තෙ ගියේ නෑ..විජිත යාපා එකත් වැහුනට පස්සෙ ඉතිං යන්ට උවමනාවක් නෑනෙ..

එතකොට නුවර ආවම යන අනික් තැන.... ඒ ඇවිල්ල මාකට් එකේ යට තට්ටුවෙ දකුණු පැත්තෙ තියන මිඩ්ලන්ඩ්ස් හෝටලේ..එතනිං එළවළු රොටියක් හෝ මාළු පාන් එකක් කාල ටී එකක් ගැහුවෙ නැත්තං නුවර ආවයි කියල දැනෙන්නෙ නැති ගතියක් මට තියෙන්නෙ..

ආ..ආය එතනම එළියෙ උඩ තට්ටුවට යන පඩිපෙල ගාව වඩේ විකුණන මනුස්සයගෙන් වඩේ 20 ක් විතරත් අනිවා ගන්නව..පොඩි වඩේ එකක් රුපියල් දහයයි..වඩේ අරගෙනම මිනිහ දැං මගෙ ගජ යාලුව...ගෙවල් ඒ ලඟම මල්ලිකා ස්ටුඩියෝ එක පිටිපස්සෙ..මිනිහ මුස්ලිම්..එයයි තව සිංහල හාදයෙකුයි හවුලේ තමයි බිස්න්ස් එක කරන්නෙ..

එතන මිනිහට වාඩි වෙන්ට පොඩි පකිස් පෙට්ටියක් තියනව..මම ඉතිං ඕක උඩ වාඩිවෙලා මනුස්සය එක්ක පොඩි කයියක් එහෙම ගහල තමයි එන්නෙ..ආ..මේ ඒක නෙවෙයි පකිස් පෙට්ටියට ඒ නම හැදුන හැටි දන්න කවුරු හරි ඉන්නවද? මට කලිං ඕක මතක තිබ්බ වගෙ මතකයි..දැං අමතකයි..

හරි මැයි මාර කතන්දරේට ආපහු එමු..ආ..ඊට කලිං මැයි මාරෙ එක්කම මම ගත්ත ෆීල්ඩ් මාර්ෂල් සරත් ලොක්කගෙ සොයං ලිකිත චරිතාපදානෙ.."යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව"..මේ දවස්වල කියවගෙන යනව..

වැඩේ කියන්නෙ පිටු 612ක්..සයිස් එකත් 9"x7" වගෙ..බරත් කිලෝ එකක් විතර..මම සාමාන්‍යයෙන් පොත් කියවන්නෙ ඇඳේ දිගාවෙලා හින්ද පැයක් වගෙ කියවන කොට අත් රිදෙන්ට ගන්නව..ඒ හින්ද පොත පැත්තක තිබ්බම ආය දවස් දෙක තුනකිං තමයි කියවන්ට ගැනෙන්නෙ..මම නම් කියන්නෙ ඔය වගෙ විසාල පොත් මිලදී ගන්න වයසක පාඨකයින්ට උප්පැන්නෙ චෙක් කරල නොමිලේ සිද්ධාලේප ඩප්පියක් හෝ වින්ටොජිනෝ ටියුබ් එක දෙන්ට ඕන..

පොන්සේකා ලොක්කට කිව්වනම් එයා උනත් එව්වට යන වියදම දෙයි එයා ගානෙ..

"යුද හමුදාපති ජාතියට දුන් පොරොන්දුව" ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ ස්වයං ලිඛිත චරිතාපදානය - සමඟ වයස්ගත ඔබට සිද්ධාලේප 100g ඩප්පියක් සහ වින්ටෝජීනෝ 100ml ටියුබයක් නොමිලේ..

හරි ඒක මොකක් හරි මැයි මාර සීන් එක මෙහෙමයි..මම මැයි මාරෙ කියවලා ඒ ආතල් එකේ ඉන්නකොට ඔන්න පුදුම වැඩේ කියන්නෙ මූණු පොත කළඹවගෙන මැයි මර රැල්ලක් ආවනෙ..ඒ කියන්නෙ MMP එක හෙණ වාව් පොතක් කිව්වට එයාලට එහෙම දැනුනෙ නෑ කියල..ඒක ඉතිං එහෙම තමයි..එක එක්කෙනාගෙ රස වින්දනය, යමක් ග්‍රහණය කර ගැනීමේ හැකියාව වෙනස්නෙ..

දැං ඔය ගුරුගීතය තියෙන්නෙ Teacher's Song... ඒක මාරම පොතක් කියල දෙනෝදාහක් උඩ දාන හින්දම මම තුන් හතර පාරක්ම කියෙව්ව මොකෝ බොලේ මේ කට්ටිය මේක ගැන මේ හැටි මැරෙන්න හදන්නෙ කියල හොයා ගන්ට ම්හු..මට නං එහෙම් වාව්නස් එකක් ආවෙ නෑ..එව්ව එහෙම තමයි..

අනික තමන්ට ඒ වගෙ ඇත්තම ජීවන අත්දැකීමක් එහෙම තිබ්බොත් පොත තවත් හදවතට සමීප වෙනව..ඒ අතර අපේ සන්මිත්‍ර ප්‍රබල සූපවේදිනියක් Cum සම්මානලාභී ලේඛිකාවක්ද  වන සානිකා සසීපියා මහත්මිය (එතුමියගෙ ඇත්තම නම ශානිකා ශෂීප්‍රියා  හොඳද ?) අපූරු කව් පෙලක් ලියල තිබ්බ MMP ගැන..මමත් ඒකට කමෙන්ට් එකක් එහෙමත් දැම්ම..


මේ ශානිකාගෙ කව්පෙල...


සංචරණි ඔයා....!!


සුදු පාට මීඳුමේ දුහුල් තිර ඉරාගෙන

අවාරෙත් රතු පාට මැයි මාර හිනාවෙන

ඈත දුර ගවරවෙල කන්ද දෙස බලාගෙන

ඇබිති තුත්තිරි මලකි ජීවිතේ කියාදෙන


ආදරෙත් රැගෙන නිති පෙත් මඟට වඩින්නී

ඉගුරු මල් සුවඳක්ව හාත්පස පිරෙන්නී

මුඳු මන්දහාසයක් කන්ද වෙත පුදන්නී

අනුප්‍රාසම රසට සුදු පාද තබන්නී


හරිත පැහැ කඳු විළුඹ පාමුලෙන් මැකී

සළඹක්ව දුර ඇදෙන දුම්‍ රියේ නැගී

කියන්නට කලින් මගෙ සෙනෙහසේ හැටී

නොඑන්නට ගියපු නුඹ මීඳුමක් වැනී


ඔබ නැතුව කල්පයක් කඳු අතර ගෙවුණී

ඔබ නැතත් ඔබෙ නමට මැයි මාර පිපුණී

කොහේ හෝ ඔබ ඉතින් වෙසේනම් සුවෙණී 

නොකී හින්දාම පෙම රහයි  සංචරණී


මේ මගේ කමෙන්ට් එක...


කවදාකවත් ඔබව හමුනොවෙන බව දනිමි,

සිහිනයෙන් ගෑ පමණ සෙනෙහසක සුව විඳිමි,

මිහිදුමින් වෙලුනු ඔබෙ රුව සැඟව යනු දකිමි,

හැමදාම හිමිදිරියෙ කවුළු දොර හැර තබමි,


මැයි මාර ප්‍රසංගය මම ගත්තෙ සති දෙහෙකට ඉස්සෙල්ල කැන්ඩි බුක් ෆෙයාර් එකෙං..පෙරෙයිද තමයි කියෙව්වෙ..තාම ඒ මූඩ් එකේ ඉන්නකොට තමයි ඔයයිගෙ මේ කවි පෙල දැක්කෙ....

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...