Monday, September 9, 2024

699. පුවක් එෂැණිං - 77 - මැතිවරණ කොමිසම මුහුණ දෙන ආහාරපාන ප්‍රශ්නය, දෙවන අරගලයට පහසුකම් සැපයීම සහ වැටුප් වැඩිකිරීමට අවශ්‍ය මුදල් සොයාගත් අන්දම...

ජනාදිපතිවරණ අපේක්සකයින් මැතිවරන කොමිසමේ උපදෙස් නොතකා තම පාක්ෂිකයින්හට ආහාර පාන සංග්‍රහයන් ලබාදීමට කටයුතු කිරීම නිසා මැතිවරණ කොමිසම දැඩි අපහසුතාවයකට පත්ව ඇති බව මැතිවරණ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

මේ පිළිබඳව පැමිණිළි ලැබුනු වහාම තමන් එම ස්ථාන වලට ගොස් එහි සූදානම් කොට ඇති ආහාරපාන බෙදා දීම තහනම් කරමින් ලඟම ඇති පොලීසියේ නිලධාරීන් ලවා එම ආහාරපාන අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන නමුදු එම ආහාරපාන පොලිස් ස්ථාන වලට ගෙන යාමට පොලිස් නිලධාරීන් දැඩි අකමැත්තක් දැක්වීම නිසා තමන්ට බරපතල ප්‍රශ්නයකට මුහුන දීමට සිදුව ඇති බව කොමිසම වැඩි දුරටත් කියා සිටී..

ඊට පිළියමක් ලෙස එසේ අත් අඩංගුවට ගන්නා ආහාර එම ස්ථානයේදීම ආහාරයට ගැනීමට සුදුසු පුද්ගලයින් කෙටි දැනුම් දීමකින් සැපයීමට හැකි "මෑන් පවර් සප්ලයර්ස්" ආයතන වලින් මිළ ගණන් කැඳවීමට මැතිවරණ කොමිසම තීරණය කොට ඇත.

බත් සහ වෙනත් වෑංජන වර්ග කිලෝග්‍රෑම් එකක් ආහාරයට ගැනීමට ඔබ ඉල්ලා සිටින මුදල වෙන වෙනම සඳහන් කොට සීල් තබන ලද ටෙන්ඩර් පත්‍රිකා හැකි විගස ඉදිරිපත් කරන මෙන් මේ සඳහා උනන්දුවක් දක්වන අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටිනු ලැබේ..

උදා - 

1. සම්බා බත් කිලෝග්‍රෑම් එකක් ආහාරයට ගැනීම සඳහා ඉල්ලා සිටින මුදල - රු. XXX / =

2. නාඩු බත් කිලෝග්‍රෑම් එකක් ආහාරයට ගැනීම සඳහා ඉල්ලා සිටින මුදල - රු. XXX / = 

3. කිරට උයන ලද බෝංචි කිලෝග්‍රෑම් එකක් ආහාරයට ගැනීම සඳහා ඉල්ලා සිටින මුදල - රු. XXX / = 

4. මිරිසට උයන ලද බල මාලු කිලෝග්‍රෑම් එකක් ආහාරයට ගැනීම සඳහා ඉල්ලා සිටින මුදල - රු. XXX / = 

5. මුකුණුවැන්න මැල්ලුම් කිලෝග්‍රෑම් එකක් ආහාරයට ගැනීම සඳහා ඉල්ලා සිටින මුදල - රු. XXX / = 

ආදී වශයෙන් වෙන වෙනම මිළ ගණන් සඳහන් කොට ටෙන්ඩර් පත්‍රිකා ඉදිරිපත් කල යුතුවේ.

ටං..... ටිං..... ටුං

****************************************************

මේ අතර කූඩාරම් සහ තාවකාලික වැසිකිළි සැපයුම්කරුවන් එම පහසුකම් සැපයීම සඳහා අයකෙරෙන මිළ ගණන් සඳහන් අයදුම්පත් ගරු ජනාපෙති තුමා විසින් පිහිටුවා ඇති "දෙවන අරගලයට පහසුකම් සැපයීමේ ජනාපෙති කාර්ය සාදක බලකායේ" ගරු සබාපති රුවං විජේවර්දන මහතාගෙ නමට යොමුකරන මෙන් ජනාපෙති මාජ්ජි අම්සය නිවේදනය කර සිටී. 

දුරදක්නා නුවණින් සෑමවිටම කටයුතු කරන ගරු ජනාදිපති තුමා තව මාස හයකින් එනම් 2025 මාර්තු මාසයේ ඇතිවීමට නියමිත දෙවන අරගලයයට අවශ්‍ය පහසුකම් සැපයීමේ කටයුතු සංවිධානය කිරීම උදෙසා මෙම කාර්ය සාදක බලකාය පත්කොට ඇති බවද ජනාපෙති මාජ්ජි අම්සය වැඩි දුරටත් කියා සිටී.

සැ.යු. -  අයදුම් කරුවන් මුද්‍රාතබන ලද මිල ගණන් කවරයක බහා එම කවරයේ වම්පස ඉහළින් "දෙවන අරගලය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමේ මිළ ගණන්" යනුවෙන් සඳහන් කොට ජනාපෙති ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙහි තබා ඇති ටෙන්ඩර් පෙට්ටියෙහි බහාලිය යුතුය.

ටං..... ටිං..... ටුං

****************************************************

ශ්‍රී  ලංකා මහ බැංකුව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනුයේ ජූනි මාසයේදී තම වැටුප රු. 10,000/= කින් වැඩි කරන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කල ගුරුවරුන්ට එසේ වැටුප් වැඩි කිරීමටනම් වැට් බද්ද 22% දක්වා වැඩි කලයුතු බව පවසා කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට පළවා හැරියද ජනාධිපතිවරණය ආසන්නයේදි වැටුප් රු. 20,000/= කින් වැඩි කිරීමට මුදල් සොයාගත්තේ කෙසේද යන්න පිළිබඳව මහජනයාතුල ඇතිවී ඇති කුකුස දුරුකිරීම තම වගකීම ලෙස සලකා ඒ පිළිබඳව පහත පරිදි කරුණු පැහැදිලි කරන බවයි. 

පසුගිය මහ වැසි සමයේදී මහ බැංකුවේ මුදල් තැන්පත් කරන ආරක්ෂක කුටීරයෙහි සිවිලිම වැසි ජලය කාන්දුවී තෙත් වූ හෙයින් එය අලුත් වැඩියා කිරීම සඳහා නඩත්තු සේවකයින් ඉණිමං තබා එම සිවිලිමට ඇතුලුවූවිට එහි තිබී  යූරියා පොහොර ගෝණි සිය ගණනක පිරවූ රුපියල් බිලියන හාරසියයක මුදලක් හමුවිය. 

මේ පිළිබඳව අටිගරු ජනාපෙතිතුමාට දැනුම් දුන් විය එතුමා මහත් ප්‍රීතියෙන් සිනාසී පහත්වූ කළිසමද උස්සා ඉණ පටියෙන් තද කොටගෙන පැවසූයේ "අන්න බොහොම හොඳයි..අර අහිංසක රජයේ සේවකයිංගෙ වාසනාව..එහෙනං අපි මේ වෙලාවෙ කරන්ට ඕන ඔය මුදල පාවිච්චි කරල රජයේ සේවකයින්ට වැටුප් වැඩි කරන එකයි..නන්දෙ මම කියන්ටද? අපි රුපියල් විසි දාහක්ම වැඩි කරමු හොඳද.." යනුවෙනි.

රජයේ සේවකයින්ට යෝජිත වැටුප් වැඩිවීම ලබා දීමට අපේක්ෂා කරනුයේ එසේ සිවිලිම උඩ තිබී හමුවූ මුදල් භාවිතයෙන් බව ශ්‍රී ලංකා මහ බැංකුව අවධාරණය කර සිටී.

ටං..... ටිං..... ටුං


Tuesday, September 3, 2024

698 - සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ හොයාගෙන කියවිය යුතු පොත්...


සැප්තැම්බර් ඇවිල්ල හිට සාහිත්‍යය මාසෙ නෙව......ඉතිං මේ මාසෙ ඔය ළමයින්ට හොයාගෙන කියවන්ට හොඳ පොත් කීපයක් නිර්දේශ කලොත් හොඳයි කියල මට හිතුනා..


1. "බුදුන් දවස පැවති ථෙරවාද ආර්ථික ක්‍රමය පිළිබඳව පූර්ණ විග්‍රහයක්" 

- ඉපැරණි ආර්ථික ක්‍රම පිළිබඳව ප්‍රාමාණික විද්වතකු වන ආචාර්ය ආර්.එස්. වික්‍රමසිංහයන්ගේ කෘතියකි.


2. "ජපන් බසින් කථාකොට ජපානයෙන් ආධාර ලබාගැනීමේ ක්‍රමවේදය - අනතවා නමයිවා නන්දෙස්කා, ඔය ළමයින්ට පුලුවංද ජපං?" 

-  ඇස්. ප්‍රේමදාස මහතා විසින්  මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ අංශයේ නිලධාරීන් උදෙසා  විශේෂයෙන් සකස්කල අත්පොතකි. 


3. "මන්ත්‍රී සහ ඇමති පදවිවලින් දොට්ට දැමීමෙන් පසු" 

- එච්. ප්‍රනාන්දු සහ ඇම්. නානායක්කාර මහතුන්ගේ සංවේගාත්මක ප්‍රකාශනයකි.


4. "හිල් බැනියම, හිල් ජොකා සහ තවත් කථා" 

- ඇස්. හඳුනෙත්ති මහතාගෙ කෙටිකතා සංග්‍රහයකි.  ඉතා සාරගර්භ සේ එක්වරම පෙනෙන එහෙත් මන පිණවන විහිළු කතා සංග්‍රහයකි.


5. "මහින්ද චින්තනයේ සිට ගෝඨාභය ඔල්මොරොංදම හරහා නාමල් දැක්ම දක්වා - ශ්‍රී ලංකාව බංකොළොත් වීමේ ඉතිහාසය සැකෙවින්" 

- බටුකුට්ටි ආරච්චි මහතා සහ ඇස්නිසාන්ත මහත්මියගේ සම කතෘත්වයෙනි.


6. "සීතා, ගීතා, පවිත්‍රා, කෝකිලා සහ රාජිකා - තමන් ලැබූ අනේක වරප්‍රසාදයන් අළුයමලූ කෙළ පිඩක් සේ පිළිකෙව් කොට රට වෙනුවෙන් අංගුලිමාලයන් සරණ ගිය අපේ කාලයේ පංච මහා වීරවරියන්ගෙ චරිතපදානයන්" 

- ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රකාශනයකි.


7. "බාල බෙහෙත්, මානසික අවපාතනය සහ සියදිවි නසාගැනීම" 

- කේ. රඹුක්වැල්ල මහතුන් විසින් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියදී  රචිත සැහැලි කවි කොළයකි.


8. "කප්පම් නඩුවක වැරදිකරුවෙකුට කීර්ති නාමයක් තිබිය හැකිද? අපහාස වන්දි  ඉල්ලමින් නඩුවක් ගොනු කිරීමේදී සැළකිය යුතු මූලික කරුණු" 

- සාධාරණය වෙනුවෙන් නීතිඥයෝ සංවිධානයේ ප්‍රකාශනයකි.


9. "මාස දෙකකට පෙර කිසිම අයුරකින් වැඩි කල නොහැකිවූ රාජ්‍ය සේවක වැටුප් හදිසියේ 25% කින් වැඩි කල හැකිවූ ඒ මහා ආශ්චර්යය කුමක්ද?- ආර්ථික විද්‍යානුකූල විවරණයක්" 

- ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් රාත්‍රිය මුලුල්ලේ මහ බැංකු ගොඩනැඟිල්ලේ  විදුලි බුබුළු දල්වාගෙන නිදි මරමින් රචනා කරන ලද්දකි.


10. "ධර්ම චක්‍රය සරණ ගිය ජාතියක් ගෑස් සිලින්ඩරය සරණ යාම පිළිබඳව බෞද්ධ ධර්මය ආශ්‍රයෙන් විග්‍රහයක්" 

-  බෞද්ධ මහෝපාසක, ධර්මාචාර්ය, සුමධුර ධර්ම දේශක කොල්ලුපිටියේ රනිල මහරහතන් වහන්සේගේ ධර්ම දේශනාවන්හි එකතුවකි.


11. "ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඔබට විරුද්ධව තීන්දුවක් ලැබුණු පසු ඔබගේ හිතවතකු හෝ සේවකයකු අග විනිසුරු සමඟ සාකච්ඡා කිරීමට යවා එම තීන්දුව වෙනස් කොට ගැනීමේ නවතම වික්කමසිම්හ ප්‍රොසීඩියර් පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක්" 

- නීතිඥයකු ලෙස දිවුරුම්දී අඩසියවසක් සපිරි මහා නීති විකාරද ආර්. වික්කමසිංහ (ඇල්ලැල්බී කොලබම්බෝ) මහතාගේ සාරගර්භ කෘතියකි.


12. "උපාය මාර්ගික පොල් රොටියක්, උපාය මාර්ගික ලුණුමිරිසක් සමඟ ආහාරයට ගෙන උපාය මාර්ගික ප්ලේන්ටියක් බී වෙනස්  රටක් බිහි කරමු - කැළණි නයාගෙන් ඔබ්බට යමු" 

- කැළණි නයාගේ සහ  කෝවිඩ් එන්නතේ නිර්මාතෘ ඩී. ජයවීර මහතා.


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...