Saturday, August 16, 2025

711 - දිඹුලාගල මතක - 6 සමඟ සත්‍යා සහ කසුන් ගැන සොඳුරු මතක....

අර දිඹුලාගල කේස් එක ගැන මම පෝස්ට් පහක් ලිව්වනෙ..තව පෝස්ට් දෙකක් ලියන්ට ඕනය කිව්වට නොයෙක් නොයෙක් කාරණා හින්ද ඒ වැඩේ දිනෙන් දින අතපහු වෙලා ගියා...ප්‍රධානම කාරණේ මගෙ ලැප් ටොප් එකට කෙලවුනානෙ..හුටස් ගාලා ස්ක්‍රීන් එක නැති බංගස්තාන වෙලාම ගියා..අර හඳුනා ඇහුවෙ "ඉන්ටනෙට් එක හොහ් ගාලා ගියොත් මොකක්ද කරන්නෙ?" කියල..ඉතිං එහෙම්මම උනා කියහල්ලකො...

අපේ ගෙදර අපේ බිරින්දෑ තොමෝගෙ යාලුවෙක් දුන්නු තින්ක්පෑඩ් එකක් නම් තියනව..ඒකෙ මේ හිච්චං ස්ක්‍රීන් එකේ ටයිප් කරනකොට සසර කල කිරෙනව අප්පා..කලිං මයෙ ලැපා තියෙද්දි උනත් මම ඔය බ්ලොග් එක එහෙම ලිව්වෙ ලැපාට කනෙක්ට් කරපු 24" ක මොනිටර් එහෙක..ඉතිං හිටපු ගමං 12" විතර පෑඩ් එහෙක ලියන්ට ගත්තම ඔලුව නරක් වෙනව...

ඉතිං ඔහොම දැහැමෙන් සෙමෙන් කාලය ගත කරද්දි ගිය සුමානෙ හිටපු ගමං මට කෝල් එකක් දුන්නා අපේ සත්යා නිර්මාණි නැඟණිය..එයැයි එයැයිගෙ දයාබර ස්වාමි පුරුෂ තෙමේ වන කසුන් නයනජිත් දෙන්නත් එක්ක ඒ කාලෙ බ්ලොග් එකක් කලා "අහසෙන් එන්න.." කියලා..

2019 අවුරුද්දෙ (මම එතකොට කටාර්වල වැඩ කලේ) වැකේෂන් එකකට ලංකාවට ආවම සත්‍යා සහ කසුන් දෙන්නා සත්‍යාගෙ දෙමව්පියනුත් එක්ක අපේ ගෙදර ඇවිල්ල දවල්ට කාලා එහෙම ගියා.....

සත්‍යාගෙ ගම්පලාත් ඇවිල්ල අපේ ගෙවල්වල ඉඳල කිලෝමීටර් 14 වගෙ එහායිං තියෙන්නෙ..මහවැලි ගඟෙන් එගොඩ...පේරාදෙණිය යුනිවකුටි එක පහුකරල ගලහ පාරෙ කිලෝ මීටර් හයක් වගෙ ගිහිල්ල ආයම දකුණට හැරිල ගියාම ගම්පොළට ගිහෑකි..දොළුව පාර ඒකට කියන්නෙ..ඔය සත්‍යාලගෙ ගෙවල් තියෙන්නෙ ඔන්න ඔය දොළුව පාරෙ..

"අයියෙ ලබන සතියෙ අපි දෙන්නා අපේ ගෙදර එනවා...අපි හිතාගෙන ඉන්නෙ අයියලගෙ ගෙදරත් ඇවිල්ල අක්කවත් බලල යන්න.." සත්‍යා මට කතාකරල එහෙමයි කිව්වෙ..අක්කයි කිව්වෙ අපේ භාර්යා තුමී...

"අනේ බං අක්කට සනීප නෑනෙ... චිකුන්ගුන්යා හැදිල දැං මාසයකටත් වැඩියි..තාම හරියකට සනීපයක් නෑ..වලලුකර මැණික් කටුව එහෙම ඉදිමිලා තියෙන්නෙ.."

(දුහුණන් දැනුම් උදෙසා - ඔය ලෙඩේ නියම නම ඇවිල්ල හිට චිකන්ගුන්යා නෙවෙයි චිකුන්ගුන්යා..ඕක ඇවිල්ල ස්වාහිලි හරි මොකක් හරි අප්‍රිකානු බාසාවක වචනයක්)

"හප්පේ එහෙමද? ඉතිං මොකද කරන්නෙ?" 

"මෙහෙම කරමු උඹලගෙ ප්‍රෝග්‍රම් එකත් එක්ක බලල නිවාඩුපාඩු තියන වෙලාවක මම විතරක්වත් එන්නම් එහෙනම් බොලාගෙ දිහා ඇවිත් යන්න..මහ දුරක් නෙවෙයිනෙ.."

"හරි අයියා එහෙනම් දවල් කෑමට ඇවිල්ල යන්න..යන ගමං අක්කට පාර්සලයක් ඔතාගෙන යන්නත් පුලුවන්නෙ.."

"හරි හරි බාං..ඒක මොකක් හරි බැරුවාය.. "

හරි ඉතිං කොහොම හරි පහුගිය හෙනහුරාදා දවල් මම එහෙ ගියා කියහල්ලකො..ඉතිං කසුන්, සත්‍යා සහ ඔවුන්ගේ සය හැවිරිදි දියණිය සමඟ ඉතා සුහද එමෙන්ම හෘදයාංගමවූ හෝරා කිහිපයක් ගත කරල දවල් භෝජනයත් අරගෙන තව අමතර බත් පැකට් එහෙකුත් ඔතාගෙන ඔවුන්ගෙන් සමුගෙන ආපිට එන්ට ආවා..

ඒ සුහද කතාබහේදි නියත වශයෙන්ම වියයුතු ලෙස වසර දහයකට පහළොවකට වගෙ ඉස්සර බ්ලොග් ලිවීම ගැනත් අපි කතා බහ කලා..රන්දිකා, මුදිතා, වර්ෂා එහෙම සත්‍යාගෙ හොඳ යාලුවො..අපි ඉතිං එයාල ගැනයි තව ඉතිං ඉන්න අපේ මියුචුවල් ෆ්‍රෙන්ඩ්ස්ලා ගැනත් කතා බහ කලා...

"අයියා ගොඩ දවසකින් බ්ලොග් එක ලිව්වෙ නෑ නේද?" කසුන් එහෙම ඇහැව්වා..

"ඔව් බං අප්‍රේල් මාසෙන් පස්සෙ ලිව්වෙ නෑ..අන්තිමට ලිව්වෙ අර දිඹුලාගල මතක කියල පෝස්ට් පහක්ද කොහෙද..වැඩේ උනේ බං හුටස් ගාල මගෙ ලැප් ටොප් එකට කෙලවුනානෙ..ඉතිං ඊට පස්සෙ ලියන්ට වෙන්නෙ එක්කො ෆෝන් එකේ නැත්නම් අර පොඩි තින්ක් පෑඩ් එකේ..ඒ දෙකෙම ලියන එක මට මරන්නා වගේ බං..ඒ හින්ද ඉතිං දැං මාස හතරකිං විතර මොකක්වත්ම ලියවුනේම නෑ.."

"ෂහ්..අපරාදෙනෙ..මේ අපේ කසුන් අයිටී නෙ කරන්නෙ..අද අයියා ලැප් එක ගෙනාවනම් කසුන්ට තිබ්බා  මොකක්ද කරන්න පුලුවන් කියල බලන්න.." සත්‍යා එහෙම කිව්වම "ඒකනෙ මට එහෙම සීන් එකක් මතක තිබ්බෙ නෑනෙ..." මම කිව්වා..

"හරි අපි හෙට හවස ආපහු යනවනෙ..කෝච්චියෙ යන්නෙ..පේරාදෙණියෙන් අපි නඟින්නෙ...අයියට ලඟයිනෙ..ලැප් එක ගෙනත් දුන්නොත් මම කොළඹ අරගෙන ගිහිල්ල බලන්නං මොකද වෙලා තියෙන්නෙ කියල.." කසුන් ආයම කිව්වා..

"අනේ ඒක හරි නෑනෙ බං..උඹල දෙන්නට අමතර බරක්නෙ..ඔන්න ඔහෙ ඕන නෑ....එනිවේ තෑන්ක්ස් සෝ මච් ෆො ද ඔෆර්..." මම ඉතිං වැඩේට කැමති උනේ නෑ..

සත්‍යා ඉතිං මතක් කලා මම ඒ කාලෙ ලියපු අනන්‍යා එතකොට අහල්‍යා තව ඉතිං චුට්ටි ගැන එහෙම..එහෙම කියනකොට ඒ පරණ මතක ආයෙම ගලාගෙන එනකොට මටත් හිතුනා අඩේ අර සුට්ටං පෑඩ් එකේ හරි කමක් නෑ ආයම බ්ලොග් එක ලියන්ට ඕන කියල..

ඉතිං ඉරිදා උදෙත් කසුන් මට කෝල් එකක් දීල කිව්වා "අයියා ඔයාගෙ ලැප් එක ගෙනල්ල දෙන්න..මහ ලොකු බරක් නෙවෙයිනෙ ඕක..මම මහරගම අරං ගිහිල්ල බලන්නං" කියල..උං දෙන්න දැං පදිංචි වෙලා ඉන්නෙ මහරගම..

පස්සෙ ඉතිං ආයම මෙච්චර කියන එකේ කියල හිතල මම ඉරිදා දවල් පේරාදෙණිය ස්ටේෂන් එකට ගිහිල්ල ලැප් එක කසුන්ට දීල ආවා..ඒ කරල ඒකෙ දෙකිං එකක් වෙනකල් හෝ අලුතෙං ලැප් එකක් ගන්නකල් මට හිතුන අර පෑඩ් එකේ ලියන්න..

ඒ හින්ද ඔන්න දිඹුලාගල මතක සටහන් - 6 මෙතැන් සිට..

මේ කතාවටත් දිඹුලාගල හාමුදුරුවො සම්බන්ධයි..ඒත් මේක මගේ පළමෝත (First Hand) අත්දැකීමක් එහෙම නෙවෙයි හොඳද? "ඒවං මේ සුතං.." නොහොත් මා විසින් මෙසේ අසන ලදී.. 

මේකත් ඔය මහවැලියෙ 85/86 කාලෙදි වගේම වෙච්චි වැඩක්..අපේ හිටිය සීනියර් එන්ජිනියර් කෙනෙක් සිරාම බෞද්ධයා..උදේට දවසෙ වැඩ රාජකාරි පටන් ගන්න ඉස්සර ඔෆිස් එක ඉස්සරහ ස්ටාෆ් එක ඔක්කොම රැස් කරවල පන්සිල් එහෙම අරං තමයි වැඩ පටං ගන්නෙ..එහූ බුවා..

ඉතිං පොර ඔන්න අලුතෙං ගෙයක් හැදුවා..දැං ඉතිං තියෙන්නෙ ගෙවදීමේ උත්සවේ..අපේ මෙතුමාට ඕනකලා මේකට දිඹුලාගල ලොක්කට ආරාධනා කරන්ට..

ඉතිං ඔන්න වාහනයක් එහෙම යවල දිඹුලාගල ලොක්කා ගෙන්නල ගෙවදීමේ උත්සවේ පටං ගන්නයි ලෑස්තිය..

"අපෙ හාමුදුරුවනේ එහෙනං සෙත් පිරිත් සජ්ජායනේ අපි ආරම්භ කරමු නේද?" අපේ ලොක්කා දණ නවල වැදල හාමුදුරුවන්ට ආරාධනා කලා.

"හරි හරි මහත්තයෝ..ඊට කලිං අපි ටිකක් මේ මන්දිරේ ඇවිදල බලමුද? ෂුහ්..සක්‍ර බවන වගේනෙ..ඇස්වහක් කටවහක් නෑ බොහොම උදාරයි..ඒ වගේම අලංකාරයි.." දිඹුලාගල ලොක්කා එහෙම කිව්වම අපේ කථානායකයා "එහෙමයි හාමුදුරුවනේ..එහෙනම් උඩට ගිහිල්ලම එමුකො" කියල ඉස්සර උනා..

මන්දිරේ තට්ටුම තුනයි..ආය නෑ හාන්දුරුවො කිව්ව වගේම තමයි..සක්‍ර බවන පරාදයි..

ඉතිං අපේ දිඹුලාගල හාමුදුරුවො ගෙහිමියා එක්ක  උඩ තට්ටු දෙකේම අස්සක් මුල්ලක් නෑර ඇවිදල පල්ලෙහා තට්ටුවට බැස්සා කියමුකො පදම්කල තේක්ක ලීයෙන් නිමකල ප්‍රධාන පියගැට පෙල දිගේ..පල්ලෙහා ඉතිං අපේ බොස්ගෙ ඥාතී හිතමිත්‍රාදීන් රැස් කමින් බලා ඉන්නව හාමුදුරුවො මන්දිරය නරඹලා අහවරක් කරල පහළට බැහැලා සෙත් පිරිත් සඤ්ජායනා කරල නව මන්දිරයට ආශිර්වාද කරනකල්..

ආ..මට කලින් කියන්ට අමතක මතක බැරි උනානෙ අපේ ලොක්කගෙ  සදාදරණීය බාරියා  තොමෝද ආණ්ඩුවෙ මොකක් හරි උසස් රැකියාවක් කලේ..එදා ඉතිං එතුමියගෙ ස්ටාෆ් එකේ එකට වැඩ කරන නෝනා මහත්මීන්ද ඇවිදිල්ලා හිටිය ආය නෑ නිකං මිහිබට සුරඟනන්සේ සැරසිලා මේ උත්සවේට සහභාගි වෙන්ට..

හාමුදුරුවො ඉතිං පියගැට පෙලෙං බැහැල ඇවිල්ල අර සෙනඟ තලේ ඉස්සරහම අපේ ලොක්කා දිහාට හැරුනා..

"හම්මේ ඉතිං..සක්‍රයගෙ වෛජයන්ති ප්‍රාසාදය වගෙ මාළිගාවක් හදල තියෙන්නං...නන්දා නම් දිව්‍යාංගනාව වගෙ රූපශ්‍රියාවෙන් යුතු බාරියා  රත්නයකුත් මේ ඉන්නෙ.." කියල අපේ ලොක්කගෙ බිරිඳ දිහා හැරිලා බැලුවා..

"අඩු පාඩුවක් උනොත් මේ තවත් ඉන්නෙ සුරදූතියො අසූ තුන් කෙළක්ම නොවුනත් ඇතිවෙන්න .." කියල අර බිරිඳගෙ ස්ටාෆ් එකේ යාලුවංගෙ මූණු බලගෙන ගියා..

"ඉතිං මොන අඩුපාඩුවක්ද හැබෑටම ඈ? සැප..විඳින්ටයි තියෙන්නෙ..සැප..සැප..සැප ඈ " කියල අපේ ලොක්කගෙ පශ්චාත් භාගයට අත දිගඇරල පාරක් දුන්න චටාස් ගාලා..

ලොක්කගෙ මූණ කට රතු උනා ආය නෑ පිණි ජම්බුවක් වාගෙ..රැස්වෙලා උන්නු  නෑදෑ හිතවත්තු මූණිං මූණ බලාගත්තා..කාන්තා පක්ෂය විළියෙන් මිරිකී පියා මූණු හංග ගත්තා..

"හරි එහෙනං අපි සෙත් පිරිත පටංගමුකො.." හාමුදුරුවො කිසිම දෙයක් නොවුනු ගාණට කියල පනවලා තිබුනු ආසනයෙ අසුන් ගත්තා..

මේ දිඹුලාගල ලොක්කාගෙ බ්‍රේක් නැති කට ගැන තවත් කතාවක්..

අපේ ඔය අලුතින් ඕපන් කරපු මහවැලි ඔෆිස් එකකටත් සෙත් පිරිතක් කියන්ට ඔන්න දිඹුලාගල ලොක්කට ආරාධනා කලා..සෙත් පිරිත එහෙම කියලා පහුවදා දවල් දානෙට ඉස්සෙල්ල බුවා මරු අනුශාසනාවක් කලා..මෙන්න මෙහෙම...

"හ්ම් බොහොම සන්තෝසයි මේ හද්ද කැලෑවට ලංකාවෙ හතර දිබ්බාගයෙං මේ වගෙ තරුණ ගෑණු ළමයි, පිරිමි ළමයි මහ ගොඩක් ඇවිල්ල ඉන්න එක රටේ සංවර් ධනය වෙනුවෙන්..(ඒ කාලෙ ඉතිං අපේ හිටපු ස්ටාෆ් එක සීයට අනූනමයක්ම අවිවාහක යොවුන් වියේ පසුවුනු කොල්ලො කෙල්ලො) ඒත් ඉතිං කණගාටුවෙං උනත් කියන්ට ඕන මේ තරුණ තරුණියො එදිනෙදා ජීවිතේ කාරණා කාරණා ගැන දැනුවත් භාවය බොහොම අඩුයි..හරි වෙන මොකවත් ඕන නෑ..දැං අපි ස්නානය කරනවනෙ..ඒ කිව්වෙ නානවනෙ.....කවුද දන්නෙ අපි කොච්චර වෙලා නාන්න ඕනද කියල?"

ඉස්සරහ බිම පැදුරු උඩ ඉඳං හිටපු කෙල්ලො කට්ටිය මූණෙං මූණ බලාගත්තා මිසක වචනයක් කිව්වෙ නෑ..අපි කොල්ලො හිටියෙ පිටිපස්සට වෙලා හිටගෙන..

"හරි දන්නෙ නෑනෙ ..මම කියල දෙන්නං..නාන්ඩ ඉස්සෙල්ල හොඳට මුත්‍රා බොක්ක හිස් වෙනකල් මුත්‍රා කරන්න ඕන..ඊට පස්සෙ ආයම මුත්‍රා බර හැදෙනකල් නාන්ට ඕන..දැං තේරුණා නේද ඔය ළමයින්ට?.."

කෙල්ලො එකෙක්වත් සද්දයක් නෑ..මූණු රතුකරගෙන බිම බලං හිටිය..අපිට මැරෙන්ඩ හිනා.

පස්සෙ හාමුදුරුවො හයියෙං හිනාවෙලා කිව්වා "කොහෙද මේ මේ ළමයි ලැජ්ජයිනෙ..ඔහොම නම් බෑ..තව තියනව බැන්දට පස්සෙ එහෙම ඒ ඒ කටයුතු කරන ආකාරය ගැන උපදෙස් මාලාවක්..හරි අදට ඔය නිවැරදිව නාන විදිහ දැනගත්තම හොඳටම ඇති..අනික් එව්ව මම පස්සෙං පහු කියල දෙඤ්ඤම්කො.."

අපි ඉතිං ඊට පස්සෙ ඔෆිස් එකේ කෙල්ලොංගෙං දැක්ක තැන අහන්ට ගත්තා "ඒයි ළමයි බොලා දැං අර හාමුදුරුවො කියල දීපු විදිහටද නාන්නෙ එහෙම? " කියල..උං කුණුහරප කිව්වෙ නැති එක විතරයි..හෙහ්..හෙහ්..හෙහ්..


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...