Saturday, April 24, 2010

46-04. හදවිල කළඹන පෙම් ජල රේඛා............. ගීතයේ අන්තර් කොටසේ තාලයට..............

මේ ගීත පෙරළිය මට මුලින්ම අහන්න ලැබුනේ මගේ අතිජාත මිතුරියක් වන පුබුදු ගෙන්. එතකොට අපි 7 වසරේ. මේ වගේ දේවල් කියන්න එයා හරි දක්ෂයි. (හැබැයි එයත් කොහෙන් හරි අහුල ගත්ත ඒවා තමයි). ඉතින් ඒ කාලේ වනපොත් කරගත් ආකාරයටම අද සටහන් කරන්නයි සූදානම.

හදවිල කළඹන පෙම් ජල රේඛා.............

ලෝකේ වටේ ඇති දිශාංශ රේඛා
ලංකාවේ ඇති සමෝච්ච රේඛා
පාරේ හැම තැන................ හරහට රේඛා
යොවුන් ගීත කෑවේ............ අපේ චන්ද්‍රලේඛා

හදවිල කළඹන පෙම් ජල රේඛා.............

දුප්පත් වෙනකොට නළලේ රේඛා
පෝසත් වෙනකොට බෙල්ලේ රේඛා
මේ ගැන කියනා................ අල්ලේ රේඛා
ලංකාවේ ඉහලයි................ ජීවන රේඛා

හදවිල කළඹන පෙම් ජල රේඛා.............

46-03. මෙන්න තවත් අගනා සුභාෂිතය කවියක්

තමන් හට නොසමයන් වන කලට සම
මුවින් නොබැණ ඉවසනු සුදන ගරු කම
නොමින් කුමුදු විකසිත වනු දැක දැකම
විළින් මෙන් තඹුරු මුකලිත වේය සැම

තමන්ට සමාන නොවන අය සමතැන් ගන්නට සුදානම් වන විට කුමුදු පිපෙනු දැක පරව යන නෙළුම් මල් මෙන් යහපත් මිනිසුන් නිහඬ භාවයම රකී.

46-02. මා වනපොත් කල තවත් සුභාෂිතය කවියක්

නපුරු කලට සත හට වෙයි විපත
එදුරු නොවෙයි කල කම් පල දෙවා මිස
තඹුරු වනය විකසිත වන බව සවස
කවුරු විසින් වැලකිය හැකි මෙදිය කුස

සවසට නෙළුම් මල් පරවීම වැලක්වන්නට හැකි කෙනෙකු මේ දියතේ නැත. එසේම නරක කලක් ඇතිවූ කලට කෙනෙකුට සිදුවන කරදර පල දීම ද වැළකිය නොහැක.

46-01. මම මුලින්ම පාඩම් කරපු සුභාෂිතය කවිය

පින් මද පුතුන් සියයක් හැදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
කෙන තරු රැසින් එලෙසට නොම වේය දුරු

මෝඩ, ගුණ මකු දරුවන් සියයකට වඩා එක් ගුණවත් දරුවෙකු හැදීම වටින්නේ තරු කොතරම් ප්‍රමාණයක් පායාවත් මකන්න බැරි අඳුර එක් පුන් සඳකින් දුරු කරන්නා සේය.

Friday, April 23, 2010

45. සතුටු වෙමි, සිහින දකිමි, සසල වෙමි, දුක් වෙමි, බිය වෙමි, එහෙත් අවසානයේ සැනසෙමි




සතුටු වෙමි මම.................
මා ලය මඩලෙන් දොරේ ගලනා
අපරිමිත වූ ස්නේහයෙන්,
නොඅඩු වූ ක්ෂීර සාරයෙන්,
පෝෂණය වී දිනෙන් දින
පිය නගන්නට වෙර දරන
මා දූ සිඟිත්තිය...................
සිඟිති දසන් පෙන්වා
පාන සිනාවෙන් ප්‍රමුදිතව
අපිරිමිතව
සතුටු වෙමි මම.....................


සිහින දකිමි මම.....................
අපේ ලොව එළිය කරමින
මිණි පහනක්ව හිනැහෙන
අපේ රං මැණික මතු දිනෙක................
ලබැඳිව අප රකින
ලබැඳියක වී,
දයාවෙන් කුටුම්භය රකිනා
දයාබර මවක වී,
යහපතම ඉත සිතින් ඉටු කරනා
යහපත් කාන්තාවක වී,
පා තැබූ හැම තැනම දුල්වන
මිණි පහනක්ම වේමැයි
පියවි දෙනෙතින්
සිහින දකිමි මම.....................


සසල වෙමි මම.....................
සිනිදු පෙරවන පෙරවා,
මෘදු ඇඳුම් අන්දා,
පා වැසුම් පළන්දා,
හිස් වැසුම් රන්දා,
අවැසි හැම දැය නොඅඩුව,
සුදු දෝණිය මගට
ගෙනියන සඳ..................................

ඒ කිසිත් නොමැතිව
සැඩ හිරු රැසින් දැවී ගිය නගරයේ
කැබලි වී ගිය ඇඳුම් අන්දා
දුගී වූත් එනිසාම අසරණ වූත්
මව් තුරුල්ලේ හාමතින් නිදිබරව
ගුලී ගැසී ගිය පඬරලා පතක්වන්
දූ සිඟිත්තක් පුත් සිඟිත්තෙක් දැක
හදවතේ මහා බරකින් යුතුව
සසල වෙමි මම.....................



දුක් වෙමි මම.....................
අප දයාවිය අප දෙදෙන
මැදට වී
සුව යහනේ සුභ සිහින
හා සිනා පාමින්
නිදි සුවය ලබන කල.....................

රෑ අහසින් හෙවිල්ලා
රළු පොළොවෙන් යහන් සදා
හුළං පොදින් කුස පුරවා
සීත පින්නෙන් ගත පෙරවා
නින්දත් නොන්දත් අතර
හඬා වැටෙන දූ සිඟිත්තන්
පුත් සිඟිත්තන් සිහිව
දෙනෙතට නැගෙන කඳුලින් යුතුව
දුක් වෙමි මම.....................



බිය වෙමි මම.....................
අප සඳවතිය වැඩිවියට පත්
දැනුම් තේරුම් ඇත්තියකව
ලොවට පා නගන මතු දිනයේ.....................
අද මා දුකට පත් කරන
මා සිත සසල කරවන
ඒ සිඟිත්තියන් ද සිඟිත්තන් ද
වැඩිවියට පත් ව
මා දියණියගේ ලොවට
විස මුසු කරන
විෂම සමාජයක්ම වේදැයි
සිතින් සැලී සැලී
බිය වෙමි මම.....................

සැනසෙමි මම.....................
ඊයෙත් අදත් හෙටත්
හැමදාමත්
එවන් වූ සමාජයක්
පැවතියේමැයි පවතින්නේමැයි............

ඒ විසෙන් මා දූ රකින්නට
දූගේ පියාණන් වැනිම වූ
දයාබර සැමි සඳක්
මා දූගේ ලෝකයට
සොමි සඳ කිරණක්
මතු දිනෙක ගෙනෙනු
දකින රිසියෙන්
අදට
සැනසෙමි මම.................




Tuesday, April 20, 2010

44. ඉර පායන්නට පෙර........

ඉර පායන්නට පෙර
අසන්නට අවැසිය යමක්

ඔයා මට තවමත්
ඉස්සර වගේම ආදරෙයිද?
ඔව් මම ආදරෙයි
ඉස්සර වගේම ආදරෙයි

ඇත්තටම ආදරෙයිද?
ඔව් මම ඇත්තටම ආදරෙයි

එහෙනම් මොනවද මේ මිනිස්සු කියන්නේ?
ඉර පායන්නට පෙර කියන්න මට

මිනිස්සු මොනවා කිව්වත්
මම ඔයාට ආදරෙයි

මුළු හදවතින්ම?
ඔව් මුළු හදවතින්ම

කිසිම අඩුපාඩුවක් නැතිව?
ඔව් කිසිම අඩුපාඩුවක් නැතිව

එහෙනම් මොනවාද මේ මිනිස්සු කියන්නේ?
ඉර පායන්නට පෙර කියන්න මට

මිනිස්සු කියන්නේ එයාලාට පේන දේ,

ඒ කියන්නේ......................?

ඔව් ඒක තමයි.............!!!!

ඒ කියන්නේ උඹ ඌටත් ආදරෙයි?
ඉර පායන්න කලින් මට ඇත්ත කියපන්

ඔව් මම ආදරෙයි,
ඇත්තටම, මුළු හදවතින්ම, කිසි අඩුපාඩුවක් නැතිවම
ආදරෙයි.........................


**********************************************

ඉර පායා ආවේය
වෙනදා වාගේම ඉර පායා ආවේය

හිරුගේ සැඩ රැස් දරාගත නොහැකිව
රැයේ වට පිණිබිඳු සැනින් වියැකී ගියසේම
සින්නකරව ආදරය ලියා නොදුන් වරදට
පිහි තුඩින් වට ලේබිඳු සෙමින් කැටි වූ වගයි

Wednesday, April 7, 2010

43. මිලින වූ හසිතය

ඔබ මා මුල් වරට මුන ගැසුනු
අවධිය මා හට සිහිවෙයි
කළු වුනත් දැකුම්කළු යනු කුමක්දැයි
පුංචි කෙල්ලක වුනත් මා
මුල් වරට වටහා ගත්තේ ඔබ නිසාවෙනි

නමටම ඔබිනා වූ
ඔබේ සිනාව
දෑස් පුංචි කර මුතුවන් දසන් පෙන්වා
ඔබ පෑ සිනාව
දැනුත් මැවී පෙනෙන්නා සේය
නමටම ඔබිනා වූ
ඔබේ ඒ සිනාව
දැන් දැන් මා හඬවනු දැනේ

හවැන්නේ දී මුල් වරට
අප එකම පංතියකදී මුන ගැසීමු
දෙවන වරට මුන ගැසුනේ
නම වැන්නේදීය
එදාත් මා දුටුවේ හවැන්නේදී දුටු
සුපුරුදු සිනාවමය

මිතුරියන් ඔබ වෙතට ඇදෙනා වූ
ලකුණක් ඔබ වෙත වීය
මිතුරියන් පමණක්ද?
අපේ සදාදරණීය ගුරුතුමිය
ඉඳුමිණි මහත්මිය පවා
ඔබට ඉමහත් දයාවකින් බැඳුනාය

එකොළොස් වසරකට පසු
මුල් වරට
ඔබේ ඒ සිනාව
මූණු පොතින් දිටිමි
මිතුරු ඇරයුම් එව්වෙමි
නැවතත් දකින රිසින් සැබෑවටම
සිනා පිරි ඔබේ මුව
ඒ ඇරයුම පිළි නොගෙනම
ඔබ අප අතහැර ගියාය
සදහටම අප අතහැර ගියාය

ආදරණිය මිතුරිය
හසිතා
මතු අත් භවයේදී හෝ
ඔබේ පැතුම් ඉටු වේවා යි
පතනෙමි ප්‍රිය මිතුරිය

(මෙයින් ඔබ්බට තවත්
වදන් නොමැත මා හට)
‍




LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...