Saturday, June 5, 2010

53. “සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය” පද ගැලපීමට අද දිනට වසරයි.

මීට හරියටම වසරකට පෙර මම ලිපියක් ලියුවෙමි. මගේ වසර 30කට ආසන්න වන අතීතයෙන් වසර 10ක පමණ කාලයක් තුල මම ලැබූ කර්කශ අත්දැකීම පාදක කරගෙන ඒ ලිපිය මා අතින් ලියැවිනි.

එය අරඹන විට එය මෙසේ අවසන් විය යුතුයි, මෙපමණ කොටස් ගණනකින් යුතු විය යුතුයි, කියා පැහැදිලි අදහසක් මා සිත තුල නොවීය. මට අවැසි වූයේ මා සිත තුල කැකෑරෙමින් තිබුණු අදහස් සමුදාය පිළිවෙලකට පෙල ගස්වා, ඒ මගින් යම් කෙනෙකුට සිය ජීවිතය ගොඩ නගා ගැනීමට අවැසි වෙතැයි සිතෙන අවස්ථාවන් කිහිපයක් ඔබ වෙත ගෙන ඒමයි.

එම ලිපි මම පෙළ ගැස්වූයේ මාගේ මුල්ම බ්ලොග් අඩවිය තුලයි. අද දින වන විට මේ බ්ලොග් අවකාශය තුල සැරිසරන හිතමිතුරු ඔබ සැම අතරින් සමහර පිරිසක් එකල සිටියේ නැත. ඒ නිසා බොහොමයක් දෙනෙකු හට ඒ ලිපි මග හැරෙන්නට ඇත. මේ ගැන සිතන විට මට සිතුනේ අද පටන්, කොටස් 10කින් යුතු එම ලිපි පෙල දින දහයක් ඇතුලත නැවතත් මාගේ මෙම බ්ලොග් අඩවිය තුල ප්‍රතිස්ථාපනය කල යුතු බවයි.

ඉඳින් මිතුරු මිතුරියනි, ඇවිත් විඳින්න,
මේ මාත් ඔහුත් වින්ද වේදනාවයි.
එලෙසින්ම,
මේ මාත් ඔහුත් එක්ව ජය ගත් ජීවිතයයි.

සමසකට පෙර සවසක යුද්ධයක් නිමාවිය (LTTE යුද්ධය නොවේ)

‍මම අද පටන් එක කථාවක් බිදෙන් බිද ඔබ සැම හමුවේ දිග හරින්නට තීරණය කළෙමි. මේ කථාව මා සිතනා පරිද්දෙන් බොහෝ දෙනෙකු හට යම්කිසි යහපත් අදහසක් ඇති කරනු ඇත. අප හැම විටම නිවැරදිව සිතනා, නිවැරදිව ක්‍රියා කරනා පිරිසක් නොවන බවද, එලෙසින් ම සමහර අවස්ථාවන් වල දී අනෙක් අයගේ අදහස් පසෙක ලා අප ගන්නා දැඩි තීරණයන් අපගේ මෙන්ම ඔවුන්ගේද තවත් බොහෝ දෙනෙකුගේද යහපත උදෙසාම ක්‍රියාත්මක විය හැකි බවද, මෙයින් ඔබ හට පසක් වනු ඇත. තවද අපගේ හිතුවක්කාරී ක්‍රියාකාරකම් හේතුවෙන් අපට හිතෛෂිව ක්‍රියාකරනා ආදරණියයන්ගේ සිත්ද, ඔවුන්ගේ දැඩිමතදාරී අදහස් හේතුවෙන් අපගේ සිත් තැලෙන පොඩිවෙන ආකාරයටම තැලී පොඩිවී යන බවද මෙයින් ඔබට පවසනු ඇත. එසේම ඒ සිදුවීම් අපගේ මෙන්ම ඔවුන්ගේ සිත් තුලද දීර්ඝ කාලීන පසු තැවීමක් පමණක් ඉතිරි කරන බවත්, එය අන්‍යෝන්‍ය සහසම්බන්ධයේදී අදිසි සෙවනැල්ලක් ලෙසින් එබිකම් කරන බවත්, තේරුම් ගෙන එවැනි දේ නොසිදුවන්නට කටයුතු කලයුතු බවද ඔබට වැටහෙනු ඇත.

ලිපියේ මාතෘකාව දුටු සැනින් මේ දිනවල ජනප්‍රිය මෙන්ම ප්‍රසිද්ධ මාතෘකාව අරභයා මාද ලිපියක් ලිවීමට සැරසේ යැයි ඔබට සිතෙන්නට ඇත. නැත. මෙයින් දිග හැරෙන්නේ මාගේ 26 වසරක ජීවිත කාලයෙන් 1/4‍ට ආසන්න කාලයක් පුරා මා විදි මාගේ ජීවන අත්දැකීමයි.

අද 2009 ජූනි මස 5 වනදාය. අද දින මට සුවිශේෂි වූ දිනයකි. මට පමණක් නොව මාගේ දයාබර සැමියානන් හටද මට මෙන්ම අද දින සුවිශේෂි දිනයකි. අද දිනට අප දෙදෙනා විවහ වී සමසකි. වසර භාගයකි. එලෙසින් ම අපගේ පුංචි මාලිගාවට නැකතට ගෙවැදී අද දිනට පිරෙන්නේ ද සයවන මාසයයි. (නැකතට මා කැන්දාගෙන යාමට සියලු නෑ හිත මිතුරන් පිරිවරා අපගේ නිවසට පිටත්ව ඒමට පෙර අපගේ පුංචි මාලිගාවට ගෙවැදී ඒමට මා සැමියානන් හට නැකත් ලැබී තිබීම අප දෙදෙනාගේ ජීවිත ගමනේ උදා වූ බොහෝ විශේෂ අවස්ථාවන් මෙන්ම තවත් එක් සුවිශේෂි අවස්ථාවක් වන බව මේ ලිපි කියවා ගෙන යන කල ඔබ දකිනු ඇත).

ඒ සියල්ල යහපත් අයුරින් සිදුවිනි. ඒ මීට මාස හයකට පෙර දීය. එදා මෙදා තුර කාලය යහපත්ව සාමකාමීව ගෙවිනි. ‍මෙදෙස නෑයෝ එදෙසට යන්නෝය. එදෙස නෑයෝ මෙදෙසට පැමිනෙන්ණෝය. විනෝද සවාරි එක්ව යන්නෝය. අප දෙදෙනාගේ අවිහිංසක පැතුම සැමදා දෙපස නෑයෝ සමගිව වෙසෙත්වා ! යන්නයි.

මේ ගෙවුනු සමසක කාලයට පෙර වසර හයක් තිස්සේ අප දෙදෙනා මුහුන දුන් ගැටළුකාරී තත්ත්වයේ අපහසුකාරී බව සහසුද්දයෙන් ම දන්නේ අප දෙදෙනාම පමණි. එකම ගැටළුව විවිධ පාර්ශව අත්දකින්නේ විවිධ ස්වරෑප වලිනි. එබැවින් එම ගැටළුවෙන් පීඩා වින්දේ අප දෙදෙනා පමණක් බව මම නොපවසමි. මාගේ දයාබර දෙමව්පියන්ද ඔහුගේ දයාබර දෙමව්පියන්ද එම තත්ත්වය නිසා ඇති වූ පීඩාව ස්වරෑප දෙකකින් අත්වින්ද බව නොරහසකි. එහෙත් එකල් හී ඔවුන් පිළිබද තැවුලක් අප සිතේ වුවද, ඔවුන්ගේ තැවුල් ගැන සලකා බැලීමට අප හට අවැසි නොවීය. මන්ද යත් අප දෙදෙනා සියයට දහසකින් නිවැරදි බව අප දෙදෙනා පමණක් නොව අපගේ සියලු මිතුරු මිතුරියන් ද සැළකූ බැවිනි. දැන් දැන් දෙපස දෙමව්පියන්ගේ ඒකමතික අදහස ද එයම වූවත් එකල් හී මාගේ දෙමව්පියන් දරා සිටියේ මෙයට ඉදුරාම පටහැනි අදහසයි. ඔවුන්ගේ අදහස් මොන ආකාර වුවත් දරුවන් වශයෙන් ඔවුන්ගේ සිත් නොරිදවා සිටීමේ පරම යුතුකමක් අප උපදින විටම ‍ගෙන එන බව කිසි දිනෙක අමතක නොකළ යුතු බව එදා අපට කෙලෙසින්වත් වටහා ගත නොහැකි විය. යම් කෙනෙකු අපට වටහා දීමට උත්සහ දැරුවේ නම් ඔහු මෙන්ම ඔහුගේ අදහස්ද අප දුටුවේ සතුරන් ලෙසිනි.

අප දෙදෙනා අපගේ ප්‍රේමය දුටුවේ සර්ව සුභවාදී දැක්මකිනි. අප දෙදෙනා සෑම අතින්ම නිවරද බව අපගේ එකම අදහස විය. දැනටත් අපගේ අදහසේ කිසිම වූ වෙනසක් සිදු වී නොමැත. අප දෙදෙනාට වැරදුනේ නැත. දෙදෙන එක්ව දැඩි අදිශ්ඨානයකින් ක්‍රියා කෙරුවෙමු. එහි ප්‍රතිඵල අද අප සියලු දෙනා ම අත්විදින්නේ සතුටු සිතිනි. එනමුදු හැමගේම සිත් තුල මා පෙර කී ආකාරයේ පසුතැවිල්ලක් හොල්මන් කරන බවද මම දනිමි. ඒ මසිතේද එවැන්නක් ඇති නිසාය. අද දින කෙසේ වුවත්, මා මාගේ අම්මාගේ හිත මොන තරම් රිදෙව්වාද යන සිතුවිල්ල දැන් රිදවන්නේ මාගේ සිතයි. එලෙසින් ම අම්මා ද රිදුනු සිතින් පසුවෙතැයි මට හැගේ. අප සියලු දෙනා එක්ව වසර හයක් පුරාවට එකිනෙකාගේ සිත් රිසි සේ රිදවා ගත්තේ යැයි මට සිතේ. “වරද කොතනද? වරද මෙතනයි” යනුවෙන් එක් තැනකට අත් දික් කරනු නොහැකිය. වරද සිදු වී ඇත්තේ, වරද සිදු කර ඇත්තේ සාමුහිකවයි. සමුහයක් විසින් කරන ලද වරදක් ආයේ කිසි දින‍ නොවීමට නම් සමූහයේ සාමාජිකයින් තනි තනිව කරන ලද වරද කොටස හදුනා ගත යුතුය. මාගේ මේ වෑයම ඒ සදහා ම පමණි. මන්ද යත් අප දෙදෙනා මෙන්ම තනිව දුක් විදිනා අපමණ වූ සහෝදර සහෝදරියන් පිරිසක් අප අතර තවත් සිටිනා බැවිනි. අපගේ දයාබර දෙමව්පියන් මෙන්ම දරුවන්ගේ හිතුවක්කාරී ආකල්ප නිසා තැවෙනා සුවහසක් අම්මාවරු පියවරු අප අතර සිටිනා බැවිනි.

බ්ලොග් කියවන්නේ දරුවන් පමණක් නොවෙයි. මව්වරු පියවරු ද කියවති. මාගේ මෙම ලිපි පෙළ ඔවුන් සැම සිත් තුල යහපත් ආකල්පයක් ඇති කරත්වා ! යන්න මාගේ ඒකායන පැතුමයි.

මතු සම්බන්ධයි








Friday, June 4, 2010

52. මම රැකෙමි නුඹ නිසා, නුඹ රැකෙයි මා නිසා

වැලි, සිමෙන්ති, චිප් ගල්
සමග වතුර ද ගෙන ඇති පමන
සැලකුමෙන් නිසි පදම
ඇනූ කොන්ක්‍රීට් ගොඩ නුඹ

ලී කැබලි වටකර
ඇණ ගසා සවිමත්ව
රඳවමින් නිසිම තැන
ගැට ගැසූ කම්බි හතර මම

මා කම්බි හතර මත
දමා නුඹ කොන්ක්‍රීටය
සෑදූ 'ටයි බීමය'
නොවෙද අපගේ මේ බැඳීම

නුඹට ඉරි තැලෙනු නොහැකිය
නුඹ ‍රැකෙයි මා නිසා
මට ඇද වන්නටද නොහැකිය
මම රැකෙමි නුඹ නිසා

රකිමු අපි අප නිසා
අපෙන් පැවතෙන්නන් නිසා
සවිමත් වූ ටයි බීමය මත
හැදුනු බිත්තිය වූ අප විවාහය





Wednesday, May 26, 2010

51. තුතිපුදදුන් උණුසුම් හාදුව


ඇය ගර්භණී මාතාවක් වූවාය.
ඔහු ඇයගේ වටිනා ජීවිතය ගලවා ගත්තේය.
ඔහු ඇයගේ වටිනා ජීවිතය,
ඇයගේ නිවස වසා පැතිරෙන්නට වූ බියකරු ගිණි ජාලාවෙන් ගලවා ගත්තේය.
දෝතින් දරාගෙන, පුංචි දරුවකු ගෙන එන්නාසේ වඩා තුරුළුකරගෙන ඉදිරිපස මිදුලට ගෙන ආවේය.
ඒ ද ඒ බියකරු ගිණි ජාලා සමගින් තවදුරටත් පොර බදනා අතරතුරදීය.

ඒ ගලවා ගැනීම සාර්ථක වූ බව සක් සුදක් සේ පසක් වූ පසු
සැනසුම් සුසුමක් හෙලා ඒ සමගින් ම මහා සුසුමකින් ලයපුරවාගෙන ඔහු බිමින් වාඩි විය.
අසීරු ම කර්තව්‍ය නිමා කර, විඩා නිවන්නට ඔහු බිමින් වාඩි විය.

ඒ ඇසිල්ලේ ඔහු අසලට ලං වූයේ ඡායාරූප ශිල්පියෙකි.
ඒ ඡායාරූප ශිල්පියා යමක් දුටුවේය.

ඇය සිටියාය.
පසෙකට වී විඩාබර, බියපත් දෙනෙතින් ඔහු දෙස නෙත් නොසලා බලාගෙන ඇය සිටියාය.
සිය දිවි නොතකා තමාත් තම කුස ඔත් දරුවනුත් වෙනුවෙන් කැපවුනු
ඒ අසාහය ආදරණිය පුරුෂයා දෙස බලාගෙන,
වදනට කැටි කිරීමට නොහැකි තරම් හැඟීම් දෙනෙතින් දනවමින්,
ඇය සිටියාය.

යම් කිසි සිදුවීමක් සිදුවන්නට යන බව ඒ ඡායාරූප ශිල්පියා දුටුවේය.
ඔහු නිසගයෙන් සිය ආම්පන්නය සුදානම් කර ගත්තේය.

ඇය,තුති පළ කිරීමට කාලය එළඹ ඇති බව දත්තාය.
සෙමින් දෙපයට වාරු ගත්තාය.
සෙමින් සෙමින් පියවර මනිමින් ඒ මිනිසා වෙත ලං වූවාය.
සිය මුව ඔහුගේ මුව මතට ලං කලාය.
ඒ මොහොතේම, ඒ අමතක නොවන මොහොතේම
ඒ සිදුවීම සිය කාචය මත සටහන් කරගන්නට ඒ ඡායාරූප ශිල්පියාට හැකි වූ නිසාවෙන්,
.......................................
මේ ඡායාරූපය ඔබ වෙත ගෙන එන්නට මට හැකි විය.







Friday, May 21, 2010

50. ජීවිතය දිනන්නට වෙර දරනා උන්ට... (දිරිය පුත්‍රයෙකුගේ කථාවක්)

අවුරුදු 30කට ආසන්න වූ මාගේ ජීවිත කාලයේදී, ජීවිතය ගොඩ නගා ගන්නට උත්සහ දරණ, පවුල යනු කුමක්ද ඒ තුල තමන්ගේ භූමිකාව කුමක්ද යනුවෙන් මනා වැටහීමක් ඇතිව ජීවත් වන, තමන් ලඟා කර ගන්නට උත්සහ දරණ ඉලක්කය වෙත නොපසු බට වීර්යයෙන් යුතුව පිය මනින, පිරිමින් දැක ඇත්තේ එක අතක ඇඟිලි වලින් පමණක් ගිණිය හැකි ප්‍රමාණයකි. ඒ සමහර විට මා දන්නා පිරිමින් අතර තවත් එවැන්නන් නොසිටීම හෝ සිටියත් ඒ පිළිබඳ මා හට වැටහීමක් නැති බව විය හැකියි. මා කියන්නට යන කථාවට ඒ සංගණන වාර්තා අවැසි නැත. අවැසි වන්නේ උක්ත දක්වන ලද විශේෂන විස්තරය පමණි. ඉතින් මේ මිනිසුන් අතරින් කෙනෙකු ගැන, අද ඔබට පවසමි. අහඹු ලෙස මාගේ 50 වෙනි ලිපිය ඔහු ගැන සටහන් කිරීමට වෙන් කිරීමට හැකි වීම මට ඉමහත් සතුටකි.

මිනිසත් කම ලබා උත්පත්තිය ලබනවා යැයි කියන්නේ ඉතාමත් දුර්ලභ සිදුවීමක් වශයෙන් බෞද්ධයන් වන අප අතර පිළිගත් මතයක්ව ඇත. එහෙත් එසේ ලැබුනු මිනිසත් කමට නිගා දෙමින් ජීවත්වන මිනිසුන්නම් අප අතර දුර්ලභ නොවෙයි. අංග සම්පූර්ණ වූ මිනිසෙකු හෝ ගැහැණියක වශයෙන් මෙලොව එළිය දුටු බොහෝ දෙන රටටත් ලෝකයටත් පමණක් නොව තමන්ටවත් වැඩදායක පුද්ගලයකු වශයෙන් ජීවත් වන්නට නොසිතන ලෝකයක උපතින් දායාද කරගත් යම් ආබාධයක් සහිතව, එපමණක් නොව මිනිසකු වශයෙන් දරාසිටීමට ඉතාමත් අපහසු වූ කඩඉම් කිහිපයකටද මුහුණ දීමට සිදුව, එයින් නොසැලී ජීවිතය ජයගත් අපේ කාලයේ දිරිය ප්‍රත්‍රයෙකු ගැනයි අද මාගේ සටහන.

ඔහු, අපේ අම්මාගේ හොඳම මිතුරියන් අතරින් කෙනෙකුගේ වැඩිමහල් පුතු වශයෙන් උපත ලැබීය. ඔහු එදා, විය යුතු සේම ඔහුගේ අම්මා තාත්තා සේම පියකරු පැහැපත් සිඟිත්තකු වන්නට ඇත. එහෙත් දුටු මතින් පෙනී යන, මනුෂ්‍යයකුගේ ජීවිතයට නැතිවම බැරියයි කෙනෙකුට සිතෙන, බලවත් වූ අඩුපාඩුවක් යැයි අප සැවොම සිතන එක් අංගයක් ඔහු කෙරෙහි නොවූ බව දුටු ඒ අම්මාට මොනවා නම් සිතෙන්නට ඇතිදැයි අද අම්මා කෙනෙකු වශයෙන් මා හට මොනවට පැහැදිලි වෙයි. ඒ සිඟිති පුතු මෙලොව එළිය දුටුවේ සිය වම් අත වැලමිට අසලින් අහිමිවයි. මුල් දිනවල ඒ අම්මා අපමණ ලෙස දුක් වන්නට ඇති. දරුවාගේ අනාගතය ගැන කඳුළු සලන්නට ඇති. නමුත් නොබෝ දිනකින්ම ඇයත් සැමියාත් දරුවාගේ ජීවිතය ගොඩනගා ගන්නට ඔහුට උගන්වන්නට සිතා ගන්නට ඇති.

වෙනත් දරුවන් සේම ඉතාමත් සාමාන්‍ය ආකාරයෙන් හැදුනු වැඩුනු ඔහු කුඩා කලදීම චිත්‍ර ශිල්පයට දස්කම් ඇත්තකු බව පෙන්වන්නට විය. ඉඳින් ඒ අම්මාත් තාත්තාත් ඔහුට ඒ මග යන්නට හැරියෝය. කොළඹ ඉතාමත් ප්‍රසිද්ධ පිරිමි පාසලකට ඔහුව ඇතුලත් කරන ලදී. පුංචි වයසේ සිටම දඟකාර දරුවකු වුනු ඔහු සමඟ කරට කර සිටීමට සමත් දරුවන් සිටියේ නම් ඒ ඉතා ස්වල්ප දෙනෙකු වන්නට ඇත. පුංචි කාලයේදී කෘතිම වම් අතක් ලබා දුන්නද එයින් ඔහුගේ තිබෙන වම් අතින් කරගන්නා වූ වැඩ කොටස කරගන්නට ද ඔහුට අපහසු වූ බැවින් ඒ කාලයේදිම එය ඉවත් කර ඇත. දන්නා අය දනිති. ඔහු ඒ තරම්ම සාමාන්‍යකරණිය වී සිටියේය. අම්මා තාත්තා නෑදැයින් යහළු මිත්‍රයින් හට ඔහුගේ කිසිම වෙනසක් නොපෙණින.

‍එහෙත් අම්මා නම් තවත් දරුවන් හදන්නට නොසිතුවාය. ඇය ඒ ගැන අපේ අම්මා සමඟද වරින් වර පවසා තිබිණ. එහෙත් අපේ අම්මා ඇතුළු බොහෝ මිතුරියන් ඇය හට පැවසුවේ නැවත වාරයක් එවැන්නක් සිදු වෙතැයි සිතිය නොහැකි බවයි. කෙසේ හෝ අයියාට නංගී කෙනෙකු ගෙනෙන්නට අවසානයේ අම්මාත් තාත්තාත් සිතන්නට ඇති. ඔහුට වඩා අවුරුදු 8 ක් පමණ බාල, පුංචි සුරංඟනාවක් වන් නංගී කෙනෙකු අයියාට හිමි වුනේ ඒ ආකාරයටයි.

ඔහුගේ වැඩ කටයුතු ඔහුටම කරගන්නට දෙන්න යැයි තාත්තා විසින් අම්මාට පැවසුවේ යම් දිනෙක ඔහු ඒවා තනිවම කරගතයුතු වූ නිසාවෙනි. සිතේ අකමැත්තෙන් වුවද අම්මා ඒ සඳහා ඔහුට ඉඩ හැරියාය. අවසානයේ නිවසේ වැඩ කටයුතු බොහොමයකට ඔහුගේ උදව්ව අම්මාට නැතිවම බැරි වන ගානට ඔහු හැම දේම උගත්තේය.

සාමාන්‍ය පෙළින් පසු උසස් පෙළ ද හොඳින් හැදෑරු ඔහු පාසල තුලද ජනප්‍රිය චරිතයක් විය. පාසලේද ගමේද බොහෝ සමිති සමාගම් වල තනතුරු දැරූ ඔහු ඒවායේ කටයුතු වල ඉතාමත් ක්‍රියාශීලී අන්දමින් නිරතවිය.

සියල්ල හොඳින් සිදුවිය. තරුණ වියට එළඹෙත්ම එක් ගැහැණු ළමයෙකු කෙරෙහි ඔහුගේ සිත ඇදී යන්නට විය. සිය සිතැඟි ඇය හා පවසා ඇය හා මිතුරු වූ ඔහු සිය අනාගතය නිසි ලෙස ගොඩ නගා ගන්නට පාසල් අධ්‍යාපනයෙන් පසු වෘත්තීය මට්ටමේ අධ්‍යාපනයක් කෙරෙහි යොමු විය. ඒ සඳහා තෝරා ගත්තේ සැළසුම් ශිල්පයයි. එය කෙනෙකුට විශ්මයක් විය හැක. එහෙත් ඔහුව දන්නා අපට එහි විශ්මයක් නැත. අද ඔහු සාර්ථක සැළසුම් ශිල්පියෙකි. එහෙත් ඔවුන්ගේ ආදර සම්බන්ධයට වසර ගණනක් සපිරිණු පසුවද ඇයගේ නිවසින් එල්ල වූ බලවත් විරෝධය ලිහිල් නොවූ බැවින් ඔවුනට වෙන් වන්නට සිදුවිය. මා දන්නා පරිද්දෙන් ඔහුගේ ජීවිතයේ ඔහුට දැනුනු ප්‍රථම බලවත් පීඩාව එය විය.

එයින් අනතුරුව සිය රැකියාවේ යෙදෙමින්, ගෙදර දොර කටයුතු වල යෙදෙමින්, ඉතාමත් ලබැඳි වූ නෑ හිතමිතුරන් සමඟ ගෙවා දැමූ කාලයට නැවතත් අවාසනාව ගෙනෙමින් සිදුවූ සිය ආදරණිය මෑණියන්ගේ වියෝවට මුහුණ දීමට ඔහුට සිදුවිය. හදිසි හෘදයාබාධයකින් ඇය මෙලොවින් සමු ගත්තාය. එවකට ඔහුට වයස අවුරුදු 25ක් වූ අතර 17 වියැති නැගනිය පාසල් යන වයසේ පසු වූවාය. නැවතත් කාලය ගෙවී යන්නට විය. මේ අතර පරිගණක ආශ්‍රිත සැළසුම් ශිල්පියෙකු වූ ඔහුට එතෙර රැකියා වරමක් උරුම විය. බලන්න. සිය හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගැනුමට මිනිසෙකුට අවැසි වන්නේ උත්සහය පමණි. මොන දේ තිබුණද සිය උත්සහය නැතිනම් ඒ කිසිම දෙයකින් පලක් නොවනු ඇත.

ඔහු රට රැකියාවේ නියුතු වන අතර නැවතත් ඔවුන්ගේ ජීවිත වලට අඳුර ගෙනෙමින් ඔහුගේ නැගණිය හදිසියේ වියෝ වූවාය. යම් දිනෙක අයියාට නංගීත් නංගීට අයියාත් සෙවනැළි වන කාලයක් උදා වනු ඇතැයි අම්මාත් තාත්තාත් හිත් සනසාගෙන සිටියාත් ඒ පුංචි සුරංගනාව හදිසියේ මෙලොවින් සමු ගත්තේ අප කාටත් සිතාගන්නටත් බැරි ලෙසිනි. එතෙර සිට සිය නැගනියගේ මළ ගමට පැමිණි ඔහු හැම සිත් කම්පා කරවමින් හඬා වැටුනේය. එහෙත් පිය පුතු දෙදෙන තනිකර අම්මාත් නංගීත් නොයෙන ගමන් ගිහින් අහවරය.

මෙලෙසින් කාලය ගතවිය. නැවතත් එතෙර සිය රැකියාවට වාර්තා කල ඔහු එහි නිරතව කාලය ගෙවා දැමීය. ඒ අතරතුර පියා ඇතුළු නෑදැ පිරිස ඔහුට මනාලියක සෙවීමේ කර්තව්‍යයේ යෙදුනෝය. අවසානයේ ඔහුට හිමි ඔහුගේ සහකාරිය සොයා ගැනීමට ඔවුනට හැකි විය. ඔහුගේම මිතුරකුගේ නැගනි කෙනෙකු වූ ඇය මා තවමත් දැක නැත. ඔවුන්ගේ විවාහය මහ වැසි මැද ඊයේ දිනයේ උත්සවාකාරයෙන් පැවැත්වින. හෙට දින දෙවන දින උත්සවයට පැවැත්වෙන අතර එයට සහභාගී වීමෙන් අනතුරුව සඳුදා වැඩි විස්තර ඔබ හැමට පවසන්නම්.

මේ සියල්ල පවසා මා හට කීමට අවැසි වූයේ එක් දෙයක් පමණි. තමන් සතු නොයෙකුත් ආබාධ දක්වමින් අනුන්ගෙන් යැපෙන්නට අද සමාජයේ කොතෙකුත් දෙනා උත්සහ දරණවාද යන්න සමාජය දෙසට නෙත් හෙළු සැනින් මොනවට පැහැදිලි වෙයි. එහෙත් සාමාන්‍යයෙන් ගත් කල වඩා බලවත් ආබාධයක් ලෙස සැලකිය හැකි මෙවන් තත්ත්වයකදීද නොසැලී ජීවිතයට මුහුණ දුන් ඔහු අපේ කාලයේ දිරිය පුතුනුවකු නොවන්නේද? ජීවිතයට මුහුණ දුන්නා පමණක් නොව ඔහු ජීවිතය ජය ගත්තේය. දරා ගැනීමට අපහසු මානසික කම්පනයන්ටද ඔහුව පෙරළා දැමීමට නොහැකි විය. දැන් ඉදිරි ජීවිතය යෙහෙන් ගත කිරීමට අවැසි සම්පත් ඔහු සතුය.

යම් කෙනෙකු ජීවිතයේ පැමිණෙන නොයෙකුත් බාධා හැලහැප්පීම් මැද පසු බා යන බවක් පෙනේ නම් ඔවුනට මේ කථාව කියන්න. ජිවීතයේ එන බොහෝ බාධා වලට උදාහරණ මේ දිරිය දරුවාගේ ජීවිතය තුළ තිබේ. බ්ලොග් අවකාශයේ බොහෝ ලියැවිලි පිරී තිබෙන්නේ ප්‍රේම වියෝගයන් සහ එයින් ඔවුන් විඳින වේදනාව දැක්වෙන වදන් වලිනි. ප්‍රේම වියෝගය දරා ගත නොහැකි වේදනාවක් බව දනිමි. එහෙත් එක්ව එක තීරණයකට එන්නට බැරි වූ විට වෙන් වෙන්නට සිදු වූවා නම් එයින් අනතුරුව සිත හදා ගන්නට සිදුවන බව මේ චරිතයේ ආදර්ශයයි. මේ ලියැවිල්ල කියැවූ කෙනෙකු එයින් යම් යහපත් අදහසක් ගනු ඇතැයි මම විශ්වාස කරමි.

දැනට මේ අයියාද බ්ලොග් සටහනක් ආරම්භ කර ඇත. එහෙත් ඔහුගේ අනන්‍යතාව ඔහුගේ අනු දැනුමකින් තොරව ඉදිරිපත් කිරීම යහපත් දෙයක් නොවන බැවින් ඔහුගේ බ්ලොග් සටහනේ ලිපිනය පසුවට ලබා දෙන්නෙමි. එවිට එයට ගොඩ වැදී ඔහුට සුභ පැතුමක් එක් කරන්නට ඔබ සැමට හැකි වේවි.

ඉඳින් මා මිතුරු මිතුරියනි !!!!!!!!!! අප සමඟ එක්ව ඔහුගේ ජීවිතයේ මේ ප්‍රීතිමත් දිනය සමරන්නට එක්වන මෙන් ඇරයුම් කරමි. අප සමඟ එක්ව ඔහුට සුභ පතන්නට එක්වන මෙන් ඉල්ලා සිටිමි.


තනි දිවිය නිමවා යුග දිවිය ඇරඹුනි
ඒ දිවිය තුටින්, යෙහෙන් ගෙවන්නට
සුභාසිරි ගෙන එන්නෙමු මේ ලෙසින්

මාත් ඔහුත් අප දියණිත් පමණක් නොවෙයි
සයිබර් අවකාශයේ අප මිතුරු සැම දෙනත්
ඔබ දෙපළට සැපත, ජය, සතුට ආදී වූ සැම යහපත් දෙයක්ම
ඉත සිතින්ම පතන්නෙමු, වැජඹෙන්න යෙහෙන්

උදා වූ නව දිවිය, සතුට ම උදා කරත්වා අයියේ අක්කේ සැමදා ඔබ දෙපළට‍ !!!!!!!!!!!!






Thursday, May 13, 2010

ලාංකීය සිතුවිලි මෙහෙයවන සහෘදයනි !!!!!!! ඔබට අපගේ ප්‍රණාමය





ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය විසින් මෙහෙයවන, ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වරට සංවිධානය කරනු ලැබූ අන්තර්ජාල කවි මඩුව අද උදෑසන 8.30ට චිරගත සම්ප්‍රදායට මුල් තැන දෙමින් පොල්තෙල් පහන දැල්වීමෙන් ආරම්භ ‍කිරීමට යෙදුන අතර මේ වන විට එහි ලියාපදිංචිව සිටින සියයකට ආසන්න සාමාජිකයින්ගෙන් බහුතරයක් කවි කීමට කවි මඩුවට රැස් වී සිටී.

ඉතාමත් උද්යෝගීමත් අයුරින් ඉදිරියට ගලා යන මෙහි සංවාදශීලි අන්දමින් කිවි කිවිඳියන් සිය දක්ෂතා දක්වනු දැක ගත හැකිය. අප රටේ තරුණ පරම්පරාව, විශේෂයෙන් අන්තර්ජාලය තුල සරන පිරිස මෙවන් කාර්යයකට එක් රැස්ව සිටිනු දැකීමද ඉමහත් සතුටට කාරණයකි. එයට හේතුව අන්තර්ජාලය යනු තරුණ පරම්පරාව ව්‍යසනයට පත් කරන ස්ථානයක් වශයෙන් බොහෝ දෙනෙකු තුල මුල් බැස ඇති මතයක් වීමයි. සිංහල බ්ලොග් කරණය හරහා ලේඛනයෙහි ඇති සිය දක්ෂතාව ඔපමට්ටම් කරගනිමින් සිටින අප සහෘදයන් හට, නිසංසලේ කල්පනා කරමින් කවි පබඳීමට පමණක් නොව හිටිවන කවි ගෙතීමෙහි හැකියාවක් ද තමන් කෙරේ පවතින බව අද දින සිට ඉදිරියට පුරා සතර දිනක් පවත්වන්නට නියමිතව ඇති මේ කවි මඩුව නිසා මොනවට පැහැදිලි වනු ඇත.

ලාංකීය සිතුවිලි මෙහෙයවන සහෘදයනි !!!!!!! ඔබටයි මේ ප්‍රණාමය.

බ්ලොග් කරණයෙහි නියැලෙන අප වැනි අංකුර ලේඛක ලේඛිකාවන් හට ඔබ හවුල විසින් ඉදිරියටත් මෙවන් අත්වැල් ලබා දෙනු ඇතැයි උදක්ම අපේක්ෂා කරමු.

Monday, May 10, 2010

49. අම්මේ නුඹ.............. දරුවෝ නිසා

දනිමි ඔබද මා මෙන්ම
ගැහැණියක මවක බව
කුස ඔත් දරුවන් රකිනා........

ඔවුන් හට මෙලොව පෙන්වන්නට
ජීවිතයද මරණයද නොදකිමින්

නොවිඳිනා දුක් විඳිනා.........

අප සිතද ගතද පෙළමින්
දරු පෝෂණය කරනා.........

ජාතිය කුමක් වුවත්
ඔබද මා මෙන්ම
ගැහැණියක මවක
බව දනිමි සක් සුදක් සේම.......

එනමුදු..........................

දුටු සැනින් අතක් ඔසවා
නොහැකි නම් දෙඅතම ඔසවා
මට නොහැකි වූයේ නම් සැමි බනවා


නුඹව තලා පෙලා මිරිකා මරා දැමුවේ
අහිතකින් නොවේ නුඹ ගැන
ඇති හිත නිසාමය

අප දියණි ගැන

සමා වෙයන් මදුරු අම්මේ මට.......................






Tuesday, May 4, 2010

48. මයි කාර් මයි පෙට්‍රල් සහ අවර් චුස් අවර්ට චුස්

අප දහදියෙන් ලැබ පණ
දෙ-රෝදයෙන් දුවන
අපගේම රථයෙන
කඩිමුඩියේ අප දෙදෙන
යන කළට උදෑසන
(මයි කාර් මයි පෙට්‍රල්)

සීරුවෙන් සිටින්
නොකියා කියමින්
නළා හඬවමින්
අත පයද වනමින්
පොලිස් නිල දැරුවන්
ගෙන යති කර මතින්

අප ඡන්දයෙන
ලැබ ඉන්ධන
විදුලි එළියක් ලෙසින
අසුරු සැනකින් දිවයන
මහ රථයක් දිලිහෙන
සහ එහි ඉන්දන
ලද (ජ)(තා) (නියෝජිත)යෙක් !!! යහතින
(අවර් චුස් අවර්ට චුස්)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...