Sunday, January 1, 2012

78. සුබ නව වසරක් !!!.....Happy New Year !!!

සු වාසූ දහසක් දනන් නිති,
ලා සිටිනා නෙතු අයා,

වානූ අටසිය කෙලක් වූ,
සත් කල් සපැමිණි යුගේ,

යන ජීවන යසෝ රාවය,
වන් රැව්දේ ගීගිරි ගීතය,
ඟනු වස් කල්පාන්තය තෙක්,
වර බාදා වැට කඩොළු වෙද?

පැ
හැබරය නිලඹර උදාගිර,
තු
සර බිඳු මිණි සේම දිලිසෙන,
ලින් පිරි තුරු ලතා මණ්ඩප,

නාතන දිවිගමන අබියස,
පි
පුණු සුපැතුම් මලින් බරවුන,
රේ
ණු මඳ නල සමඟ විසිරෙන,
වා
සනාවන් උදාවන වස,

******************************

H
eart brimming with a thousand hopes,
A
s well as numerous untold wishes,
P
erpatually expecting them to come true,
P
ersonifying your countless dreams,
Y
onder on those hills of life,

N
ever give up however hard you fall,
E
ver and ever bouncing back,
W
ith a heart full of vim and vigour,

Y
ear that went by is now past,
E ndless pains gone forever,
A
s of today pledge to yourself,
R
emember life is but a sheer joy,

******************************

ඔබ සැමට දහසක් පැතුම් සපිරෙන, සහසක් සිතුම් ඉටුවන සුබ නව වසරක්.....

රවී / සඳා සමඟ රන්දිල් / වාසනා .......


Tuesday, December 27, 2011

77. එදින හතරවන අසරුවා පැමිණියේය....When the Fourth Horseman came riding on the second wave...

මුහුද දෙසින් එක වරම හමා ආ සුළං රැල්ල නයනිගේ කෙහෙ රැල් අවුල් කර දැමීය. කණිෂ්කගේ වමතට සිරවී තිබුණු සුරත මුදාගත් ඈ නොඉවසිල්ලෙන් කෙස් රොද හිස පසුපසට තද කලාය. එහෙත් ඇගේ ඇඟිලි වලින් මිදුනු කෙහෙරල නැවත ද දඟ කරන්නට වූයේ ඇයට කරදර කිරීමටම ඉටාගත් කලෙක මෙනි.

නොඉවසිල්ලෙන් අකීකරු කෙස් හා ඇය පොරබදන අතර හිටිහැටියේම හැමූ සුළඟ අතුරුදන් වූයේ යතුරක් ඔබා විදුලි පහනක් නිවා දැමූ පරිද්දෙනි.

සුසුමක් හෙලූ ඇය කණිෂ්ක දෙස නෙත් කොණින් බැලුවේ ඔහුගේ වමතෙහි මෙතෙක් දැවටි සුරත උකුල මත තිබූ පොත් කිහිපය මත තබා ගණිමිනි.

ඔහු ඉදිරියට නැවී දෙදණ මත රඳවාගත් දෑත මතට බරදුන් මුහුණින් යුතුව ඈත මුහුඳ දෙස බලා සිටියේය.

කොටු පවුර අසල වූ කොන්ක්රීට් අසුනෙහි එකිනෙකා ගැටෙන නොගැටෙන පරිදි හිඳ සිටි ඔවුහු තවත් මිනිත්තු දහයක් පමණ නිහඬතාවයේ වෙලී ගත කලෝය.

අවසන නිහඬ බව තවත් ඉවසිය නොහැකිවූ කල නයනී සිතට දිරිගෙන හඬ අවදිකලේ ඈත මුහුද දෙසට අරමුණකින් තොරවූ බලා සිටිමිනි.

'' කණිෂ්ක.....''

'' ම්ම්......'' ඔහු පිළිවදන් දුන්නේ ඇසෙන නෑසෙන හඬිනි.

'' අපි මොකද දැන් කරන්නෙ? ''

'' මට තේරෙන්නෙ නෑ නයනී...මට තේරෙන්නෙ නෑ...'' එවර ඔහුගේ හඬ මඳක් උස් වූවාසේම ඔහු කතා කලේ අසුනෙහි කෙළින් වී ඇගේ වත දෙස ඉඳුරාම බලමිනි

'' එහෙම කියල බැහැනෙ අනේ මේකට අපි මොනව හරි කරන්න එපාය....''

'' කරන්න ඕන නම් තමයි ඒත් අපි මොනව කරන්නද?...දැන් කොච්චර දවස්ද දින පහුවෙලා.....''

'' සුමාන තුනකටත් වැඩියි..මගෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ...මේ උනාමයි''

නැවත දෙදණ මතට වාරුකල දෑතට හිසෙහි බර දුන් ඔහු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට වූයේ ආවේශ වූ කලෙක මෙනි.

'' තාත්ති අද උදේ මගෙන් ඇහුව මේ ඉක්මනට ආයෙම ක්ලාස් පටන් ගන්නවද කියල...ටිකක් සැකෙන් වගේ තමයි ඇහුවෙ....''

'' .................................''

'' මට තව වැඩි කාලයක් මේ වැඩේ වසං කරගෙන ඉන්න බෑ.....කණිෂ්ක,''

'' .................................''

'' මට මැරෙන්න තමයි වෙන්නෙ මූදටවත් පැනල.....''

එක්වරම තිගැස්සුණු ඔහු නැවතද කෙලින් වී ඇගේ දෑස් දෙස බලා සිටියේ විපිළිසර වූ දෑසිනි.

ඔහුගේ හැඟීම් බර දෑස දෙස තවත් බලා සිටිය නොහැකිවූ ඇය දෑස ඉවතට ගෙන අරමුණකින් තොරව වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස බැළුවාය. ......9.25

****************************************

'' ජගත්, කවදද හරියටම නැකත තියෙන්නෙ?......'' කොටු පවුර අසල තණ බිස්සේ එලූ කලාලය මත හිඳසිටි පුෂ්පා ඇසූයේ ඒ අසල හිටගෙන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙන ප්රීතියෙන් සිනාසෙමින් එකිනෙකා හඹායන අන්දම සිනාමුසු මුහුණින් නරඹමින් සිටි තම සැමියාගෙනි.

'' ජනවාරි හයට දාගත්ත....බෘහස්පතින්දනෙ...දවසත් හොඳයි.....අනික දවස් දහයක් විතර තියනවනෙ වැඩ ටික කළබලයක් නැතුව හෙමිහිට කරගත්තෑකි.''

වසර හතකට පෙර වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්යයේ තනි කැමැත්තට විවාහ වූ ඔවුන්ගේ විවාහ දිවියේ මුල් වසර දෙක ගතවූයේ අනන්ත දුක් කම්කටොළු විඳිමිනි.හරි හැටි නිවෙසක් පවා නොමැතිව හිතවතුන්ගේ නිවෙස් වල කාමරයක දිවි ගෙවූ ඒ කාලය නිමා වූයේ ජගත් ට මැද පෙරදිග රැකියාවක් ලැබීමෙන් අනතුරුවය.වසර පහක් එහි ගතකල ඔහු මෙවර පැමිණියේ නැවත තම කුටුම්භයෙන් වෙන්ව නොයන්නෙමැයි යන අදිටනිනි. මුල් වසර තුනෙහි ඉතිරි කරගත් මුදල් නව නිවෙසක් තැනීමට වැයවූ අතර ඉතිරි වසර දෙකෙහි ඉපයූ මුදල් ඔවුන් දැඩි අරපරෙස්සමින් ඉතිරි කලේ තමන්ගේම වූ ව්යාපාරයක් ඇරඹීමටය.

කන්දක් නැඟිවිට අනිවාර්යයෙන් පල්ලමක් හමුවේය යන්න සත්යියක් බව ස්ඵුට කරමින් ඔවුන් සිතූ ලෙසම ප්රමාණවත් මුදලක් ඉතිරි කරගනීමට මේ අවසන් වසර දෙක තුලදී ඔවුහු සමත් වූහ. එහෙයින් සති දෙකකට පෙර ජගත් ආපසු දිවයිනට පැමිණියේ රැකියාවට සමුදීමෙන් පසුවය. තව සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්රයෙහි නියැලීමට ඉටාගත් ඔහු මිතුරන් දෙදෙනෙකුද හා එක්ව ඉඳිකිරීම් සමාගමක් ඇරඹීමෙහිලා යුහුසුළුවිය. නොබෝ දිනකින් එනම් ජනවාරි හයවන දින විවෘත වන්නේ ඒ සමාගමයි. ජීවිතය මෙපමණ විගස ජයගත හැකිවේයයි සිහිනෙනුදු නොසිතූ හෙයින් පුෂ්පාගේ සිත තුල වූයේ උතුරා ගලා යන තරමේ ප්රීතියකි.

නිදැල්ලේ දුව පනින කුඩාවුන් දෙදෙනාගේ සුරතල් සිනාපිරි වතින් යුතුව මොහොතක් නැරඹූ පුෂ්පාගේ නෙත යොමුවූයේ ඊට මඳක් ඔබ්බෙන් කොටු පවුර යබද බංකුවක හිඳ සිටි ලාබාල පෙම්වතුන් යුවල වෙතය. තවමත් පාසල් වියෙහි යයි නිසැකවම අනුමාන කල හැකි ඔවුන් දුටු ඇගේ සිත නිතැනින්ම බොහෝවිට සුන්දර එසේම විටින්විට අසුන්දර මතකයන්ද කැටිවුණු ඔවුන්ගේ අතීතය කරා මොහොතක් දිව ගියේය.

'' ජගත් අර කපල් එක දැක්කම ඔයාට මොනව හරි මතක් වෙනවද? ''

'' පව් අර අහිංසක කොල්ලා....'' ජගත් පැවසුවේ හඬ නගා සිනා සෙමිනි.

පුෂ්පා ද ඒ සිනහවට හවුල් වූවාය.....

'' ඒත් මට පේන්නෙ ඒ දෙන්න මොකක් හරි ප්රශ්නයකට මැදිවෙලා වගෙ....'' යුවළ දෙස මොහොතක් පරීක්ෂාවෙන් බලා සිටි ජගත් පැවසුවේ ඈ අසලම හිඳගනිමිනි.

'' ප්රශ්න නැත්තෙ කාටද?...ඒ කාලෙ අපටත් මොකෝ ප්රශ්න තිබ්බෙ නැතුවය?''

'' අපි යමුද එහෙනම්.....පුතා ....'' ජගත් දරුවන්ට අඬගසමින් නැඟීසිට අත් ඔරලෝසුව දෙස බැලීය.

උදෑසන නිවසින් පිටත්ව එද්දී ඔරලෝසුව අමතක වූ බව ඔහුට සිහි වූයේ හත්වන හෝ අටවන වතාවටය....'' කියද පුෂ්පා වෙලාව.....''

'' ම්ම්ම්....9.25 යි ...''තම අත් ඔරලෝසුවේ දෙස බැලූ ඈ එසේ කියමින් නැඟී සිටියාය...'' යමු එහෙනම්...''

***************************************

කළු පැහැති ප්රාඩෝ රථය කොටු බැම්ම පේන තෙක් මානයේ නතර කල රිචඩ් මුදලාලි අත් තිරිංග ද ක්රිපයාත්මක කොට, රියදුරු අසුනින් බැස රියේ බොනට්ටුවට හේත්තු වී කලිසම් සාක්කුවෙන් ගත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවෙන් සිගරටයක් ගෙන දල්වා ගන්නට උත්සාහ කලේය. දැඩි සුළඟ නිසා දෙතුන් වරක්ම උත්සාහය අසාර්ථක වූ ඔහු එවර දකුණු පස දොර විවෘත කොට රිය තුලට හිස රුවා සිගරටය දල්වා ගත්තේය.

එතෙකුදු රථයෙන් නොබැස වම් පස අසුනේ සිටි විල්බට් දෙස ඔහු හෙලූයේ නොපහන් බැල්මකි. '' මොකද බං තවත් මේක ඇතුලෙ කරන්නෙ. බැහැපං.. අද මේ වැඩේ කතා කරල ඉවරයක් කරන්න ඕනෙ.''

ඇල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය.

'' හරි ....මුදලාලි දැන් මොකද කියන්නෙ? ''

දුම් උගුරක් දෙකක් පිටකල රිචඩ් හාත්පස නීරීක්ෂණය කළේය. යම් දුරකින් සුදු පැහැති මෝටර් රථයක් අසල තණ බිස්සේ එලූ කලාලයක් වැනි යමක හිඳසිටිනා යුවලක් හැරුණු විට ඔහුගේ දෙනෙතට කිසිවෙකු හසු නොවුනද ඔහු කතාකලේ හැකිතරම් පහත් ස්වරයෙනි.

'' මට වැඩේ කෙරෙන්ඩ ඕන....හැබැයි මගෙ නම ගෑවිලාවත් තියෙන්න බෑ....ගෙදර කොල්ල කන්ඩ ගිහිල්ල වෙච්චි දෙයක් විදිහට වැඩේ කරපං..... දන්නවනෙ.....යසපාල ලබන සතියෙ සඳුද වෙනකොට ඉවරයක් කරල තියෙන්න ඕන,බාර් එකේ ටෙන්ඩර් එක සඳුද දෙනව....මම ලොක්ක එක්ක කතාකලා...ලොක්ක කියන්නෙ අපි දෙන්නම චන්දෙදි උදව් කරපු නිසා පැත්තක් ගන්ඩ බෑ කියල....යකෝ මම වියදම් කරපුව හම්බ කරගන්ඩ වෙන ක්රමයක් නෑ....''

'' මෙතන බාගයක් තියනව ..ඇඩ්වාන්ස්.....ඉතුරුව වැඩේ අවුලක් නැතුව කෙරුනට පස්සෙ....'' රියේ පසුපස අසුනේ රබර් කලාලය ඔසවා දුඹුරුපැහැ පාර්සලයක් ඉන් පිටතට ගෙන ඇල්බට් දෙසට දිගු කරමින් රිචඩ් වමතෙහි උදෑසන හිරු එළිය පතිතව දිදුලන රන් ආලේපිත ඔරලෝසුව දෙස බැලීය. ..9.25

****************************************

ක්රිස්ටෝපර් නොහොත් කිට්ටා ද තණ බිස්ස මත වැතිර සිටියේය.එහෙත් කාලය අවට සිදුවන දේ හෝ අවම වශයෙන් මුහුදු සුළඟ විටින්විට අඩු වැඩි වන හඬ හෝ ඔහුට නෑසුණි.දින දෙකකින් හරි හැටි අහරක් හෝ නින්දක් නොලැබුණ ද ඔහුගේ ගත මෙන්ම සිත් ද දඬු අඬුවකින් තෙරපා මිරිකා හරින්නක් මෙන් දැනෙන ඉවසිය නොහැකි වේදනාවට හේතු වූයේ ඒ එක කරුණක් හෝ නොවේ. කිට්ටා පෙළෙමින් සිටියේ නිෂ්ක්රමණ ලක්ෂණයන්ගෙනි. ( withdrawal symptoms )

ගාලු පුරවරයෙහි ප්රධාන බෙදාහරින්නා දින දෙකකට පෙර කිට්ටා සොයා ඔහුගේ නිවහනටම පැමිණියේ කිට්ටා අවදි වීමටද පෙරාතුවය.

'' අඩෝ, ************ පුතා, තෝ දැන් දවස් තුනක් සල්ලි නොදී බඩු ගත්තා, කෙඳිරි ගාන නිසා මමත් අනුකම්පා කරල දුන්න...අදිං පස්සෙ ඒ සෙල්ලං බෑ හරිද?.....හිඟ සල්ලි ඔක්කොම ගෙනත් දීපං එතකල් බඩු නෑ......''

ඒ තහනම් නියෝගය එලෙසම ක්රියාත්මක විණි. කිට්ටාට දිව ඔසුව බෙදාහරින සෑම තැනකම දොර වැසී ගියේය. ඒ දින දෙකකට ඔබ්බෙනි.

මුළු සිරුරම වෙව්ලන හෙයින් කිට්ටා නැඟී සිටියේ අසල තිබූ පහන් කණුවකට බර දීමෙනි. කෙමෙන් දැඩි වන උදා හිරු රැසින් රත් පැහැවී කඳුළු ගලන දෙනෙත් මුවාකර ගැනීමට සුරත දිගහැර නළලට තැබූ හෙතෙම අවසඟ දෙපා වාරුවෙන් පහන් කණුවට බර දී අවට බැලීය. කොටු බැම්ම අසල නවතා තිබූ කළු පැහැති වාහනයක් ඉදිරිපස දෙදෙනෙක් කතා කරමින් සිටියහ. එතරම් දුරක නොවුනද දැඩි සුළඟ හේතුවෙන් ඔවුන් කතාකරන හඬ නෑසිණි.සල්ලි කාරයෙක් වගේ, හෙමිහිට වාහනෙං මොනව හරි හොරකං කරගත්තොත් මිනිසුන් දෙදෙනා සිටියේ රථයේ ඉදිරිපස බැවින් ඔවුනට නොපෙනී වාහනයේ පසු පසට ලඟාවීමට නම් කොටු බැම්ම දිගේ ගමන් කල යුතුය.

කිට්ටා සෙමින් සෙමින් කොටු බැම්ම දිගේ පියවර තැබීමට පටන් ගත්තේය. කිසි දිනක ඔරලෝසුවක් භාවිතා නොකල ද වේලාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවූවද කිට්ටා ඒ මොහොතේ අත් ඔරලෝසුවක් පැළඳි යමෙකුගෙන් වේලාව විමසුවේ නම මෙසේ පිළිතුරු ලැබෙනු ඇත. 9.25 යි.

****************************************

ඔහුට නමක් නොවීය. මෙලොව කිසිදු ඥාතියකු හෝ මිතුරකු ද නොවීය. අතීතය පිළිබඳ පැහැදිළි කිසිදු මතක සටහනක් ද නොවුනු හෙයින් ඔහු කවුරුද යන්න අන් කිසිවෙක් තබා ඔහු ද නොදන්නේය. විටින් විට මිහිදුම් සළු අතරින් මතුවන අපැහැදිලි ඡායාවන් රැසක් මෙන් සුවිසල් මන්දිරයක්, විශාල වතු යායක් සහ යාන වාහන රැසක් ඔහු මනසේ මොහොතක් දිස් වී අතුරුදන් වුවද ඒ මොනවාද යන්න පවා ඔහුට හැඟීමක් නොවීය.කිසිදු දුක් දොම්නසක් නොවූ ඔහු මෙලොව ප්රීතිමත්ම මිනිසා විය.

අනුකම්පා කලවුන් බොහෝ වූ හෙයින් ඔහුට හාමතින් ගත කිරීමට සිදුවූයේම නැති තරම්ය.හාමතින් වේලක දෙකක් ගත වූවද එ ගැන ඔහුට කිසිදු හැඟීමක් නොවීය.

නත්තල් දින සවස් භාගය .....කොටුවේ දෙව් මැදුරේ ප්රධාන පියතුමා නත්තල් දේව මෙහෙයෙන් පසු විවේක ගනිමින් සිටියේය.

'' ඩේවිඩ්... අන්න අර මනුස්සය එනව,'' පියතුමා බිරිඳගේ හඬින් අසුනින් නැඟී සිටියේය.

'' කවුද? ''

'' හිහ්, හිහ්, නමක් නැති මනුස්සය...ඔයාගෙ යාළුව,''

'' එහෙමද?....සැන්ඩ්රා,....ලන්ච් එකෙන් ඉතුරු එව්වයින් පාර්සලයක් හදන්න.....''

බිරිඳ සකස් කරදුන් පාර්සලය සහ මත්පැන් බෝතලයක් ද රැගෙන පිටතට පැමිණි පියතුමා මෙලොව ප්රීතිමත්ම මිනිසා පියවරින් පියවර ලඟා වනු බලා සිටියේ සිනාමුසු මුවිනි.

කොටු බැම්ම පාමුළ රෑ කල ගත කල ප්රීතිමත්ම මිනිසා අවදි වූයේ මුහුණට පතිත වූ දැඩි හිරු රැස් කරණ කොටගෙනය.ඊයේ රාත්‍රිය ගත වූ අන්දම පිළිබඳව කිසිදු මතකයක් ඔහුට නොවීය. සාමාන්ය පුද්ගයයෙකු වුවද ඔහු පෙරදින රාත්රිය ගත කල අයුරු ගත කලේ නම් කිසිදු මතකයක් ශේෂ නොවන බවට කිසිදු සැකයක් නොමැති කල ඔහු පිළිබඳව කවර කතාද?...වැතිරී සිටගෙනම අතපත ගා අඩක් අවසන් වූ මත්පැන් බෝතලය සොය ගත ලොව ප්රීතිමත්ම මිනිසා සුන්දර සිනහවක් මුවට නගා ගනිමින් බෝතලය මුවට ඇල කොට ගත්තේය.

වේලාව යන්න පිළිබඳව හැඟීම මාත්රයකුදු ඔහු තුල නොවූ බව සැබෑවකි. ඒ එසේ වුවද මේ වන විට වේලාව උදෑසන 9.25 වූ බව ද ඒ ලෙසම සැබෑවකි.

****************************************

ගාළු පුරවරයට බොහෝ ඈත දේශ දීපංකරයකට එපිට සුමාත්රාව අසල කල්ප අසංඛ්ය සංඛ්යාවක් දැඩි නිද්රාවෙහි ගැලී සිටි මෘගයෙකු මේ වන විට තම අති දීර්ඝ කාලීන නිද්රාවෙන් අවදිව සත් සමුදුර තරණය කොට බටහිර දෙසට ගමන් කරමින් සිටියේය. ගාළු කොටු බැම්ම අසල තම විවිධ ප්රශ්න විසඳා ගැනීමට තැත් කරමින් හා / හෝ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුබ සිහින මවමින් හා / හෝ ඒ කිසිත් නොමැතිව ජීවිත සිතූ පරිදි විඳිමින් හා / හෝ සිටි කිසිවෙකු මේ මෘගයා පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි බව වෙසෙසින් පැවසිය යුත්තක් නම් නොවේමය.

****************************************

නොගිනිය හැකි කලෙක සිට නිසලව උන් සයුර එක් වරම සෙමින් සෙමින් ගොඩට ගලන්නට විය.

'' කණිෂ්ක...අර මුහුද ගොඩට ගලනව නේද?....'' නයනී ගේ බියපත් හඬින් හිස ඔසවා බැලූ කණිෂ්ක වහා නැඟී සිටියේය.

'' ඔව් නේද?......මේ මොකක්ද වෙන්න යන්නෙ? ''

****************************************

'' ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි.

****************************************

'' මුදලාලි අර මූද ගොඩට එනව නේද?......''

'' මොකක්?......අම්මප ඇත්තම නේද?.....මේ මොනවද වෙන්න යන්නෙ? නැගපං, නැගපං, යමං හනිකට මෙතනිං''

****************************************

මේ වන විට කිට්ටාගේ පූර්ණ අවධානය වාහනයේ පසුපස අසුන මත වූ කළුපැහැ ගමන් මල්ල දෙස යොමු වී තිබූ හෙයින් මුහුද ගොඩ ගැලීම පිළිබඳ ව ඔහු කිසිසේත්ම නොදත්තේය.

****************************************

මුහුද ගොඩ ගලනවා දුටුවද ලොව ප්රීතිමත්ම මිනිසාට එහි අරුමයෙක් නොවන බව නිසැකය. කෙසේ වුවද ඔහු මේ කිසිවක් නොදුටුවේය. වැතිරී සිටි අයුරින්ම මත්පැන් උගුරක් නැවත මුවෙහි ලාගත් ඔහු ඒ ගිල දමා මහත් ප්රීතියෙන් සිනා සුණේය.

****************************************

සුමාත්රාවේ සිට ගමන් ඇරඹූ යක්ෂයා ගාල්ලට ළඟාවී සිටියේය. අහිංසක ලෙස ඥාතීන් හමු වීමට පැමිණියාක් මෙන් ස්වල්ප දුරක් ගොඩ බිම අභ්යන්තරයට ගමන් කල හෙතෙම අහිංසක ලෙසම ආපසු සයුරු තෙරටම බැස ගියේය. සයුරෙහි මෙතෙක් රඳවාගෙන සිටි සීමා මායිම් පසුකොට බොහෝ දුරකට බැස ගියේය. මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ.

කිට්ටා ප්රාඩෝවෙහි පසුපස අසුනෙහි වු ගමන් මල්ල අතට ගත්තේය. ලොව ප්රීතිමත්ම මිනිසා තවත් මත්පැන් උගුරක් ගිල දමා නැවත ද සිනා සුණේය.

සමුදුරෙහි බොහෝ ඈතට ගමන් කල යක්ෂයා අවසන් ප්රහාරය සඳහා බලමුළු තරකරමින් ශක්තිය කුළුගන්වා ගනිමින් මොහොතක් ගත කලේය.ඉන්පසු කන් බිහිරිකරවන ඝෝෂාවකින් හාත්පස වෙවුලුම් කවමින් ගාළු පුරවරයට වැද හොත්තේය.

වේලාව - පෙරවරු 9.30..... දිනය - 2004 දෙසැම්බර් 26,

*****************************************

ඉනික්බිති දෙවන රළ පැමිණියේය.

Lo and behold...... there comes the second wave with the Fourth horseman on a pale horse named death riding on it,

Monday, December 26, 2011

76. කෝ..... නැද්ද වෙන කවුරුවත්?...Where are the others?

ආදි මානවයා සිතීමේ ශක්තිය උපදවාගත් දින සිට වර්තමානය දක්වා දහසකුත් එකක් බාධක කම්කටොළු මැඩගෙන පැමිණි උත්තරීතර ගමන් මඟේ ඒ හැම මොහොතක් පාසාම ඔහුගේ සිත තුල වද දුන් පිළිතුරු නොමැති බොහෝවිට කිසිදාක නිසැක පිළිතුරු සොයාගත නොහැකිවේයයි අනුමාන කලහැකි නිරන්තර සහ සදාකාලික ගැටළු කිහිපයකි.

මිනිස් වර්ගයාගේ සහ ලෝකයේ එසේම විශ්වයේ ආරම්භය කෙලෙසක වීද?.....ඒ එක් සදාතනික ගැටළුවකි......ඊට පිළිතුරු වශයෙන් ඇත්තේ න්යායයන් සමූහයක් පමණි.

පරස්පර විරුද්ධ න්යායයන් සනාථ කිරීමෙහිලා එම න්යායයන් ප්රයවර්ධනය කරන විද්වතුන් නොයෙක් තර්ක සහ සාධක ගෙන ආවද බහුතරයකට එකඟ විය හැකි මතයකට මිනිස් වර්ගයාට කෙදිනක හෝ ළඟා වියහැකිද යන්න අවිනිශ්චිතය.

එසේම විසඳුමක් නැති ඒ හා සමාන අනෙකුත් ගැටළුව නම් අපි මේ විශ්වයේ තනිවී සිටින්නෝ වෙමුද?.....අනන්තය කරා පැතිර ගිය ඉමක් කොණක් සිතාගත පවා නොහැකි මේ අපරිමිත විශ්වයේ ජීවීන්ගේ පහස ලබනුයේ අප වසනා අපගේ තොටිල්ල වන මේ පෘථිවිය නම් නිල්පැහැ ග්රහලොව පමණක්මද යන්නයි.

පළමු ගැටළුව සමඟ සැසඳීමේදී දෙවන ගැටළුවෙහි කැපී පෙනෙන වෙනස නම් ඊට පිළිතුරු හෙට දිනයේ වුවද පැහැදිලි ලෙසම ලැබීමට ඇති අපූර්ව හැකියාවයි.

'' බටහිර ඕස්ට්රේලියාවේ පර්ත් නගරයේ සිට කිලෝමීටර හාරසියයක් නැගෙනහිරින් පිහිටි ජනශූන්ය ප්රදේශයකට මීට සුළු මොහොතකට පෙර නොහඳුනන යම් අභ්යාවකාශ යානයක් වැන්නක් ගොඩ බට බව වාර්තා වේ. කිසිම රේඩාර් තිරයක හෝ සටහන් නොවුනු මේ යානය දුටු කාන්තාරයේ සංචාරයේ යෙදුනු පර්ත් නගර වාසීන් පිරිසක් ඒ වෙත ළඟාවීමට තැත්කල නමුදු කිසියම් මෙතෙක් මනුෂ්ය වර්ගයා නොදන්නා ශක්ති ක්ෂේත්රයක් හේතුකොටගෙන ඒ උත්සාහය වැළකී ගිය බව ද වැඩිදුරටත් වාර්තා වේ. ''

මෙහෙම ප්රවෘත්තියක් නිකමට හිතන්න සිරසෙ එහෙම නැත්නම් දෙරණේ සාමාන්ය විකාශය අතර තුර විශේෂ ප්රවෘත්තියක් හැටියට විසුරුවා හැරියය කියල....මිනිස් වර්ගයා තම මුළු මහත් ඉතිහාසය තුල වර්ධනය කරගත් චින්තනය...එහෙම නැත්නම් දර්ශනය එක නිමේශයකින් උඩු යටිකුරු කරවන ප්රවෘත්තියක් නොවන්නේද ඒ?

අපි මේ විශ්වයේ තනි වෙලා නැහැ....තවත් අප වගේ හෝ අපිට හාත්පසින්ම වෙනස් ජීවීන් මේ විශ්වයේ ඉන්නවයි කියල ස්ථිරව දැන ගත්ත දවස මිනිස් ඉතිහාසයේ මෙතෙක් නොවූ වීරූ සාතිශය වැදගත් දවසක් වේවි අනිවාර්යයෙන්ම.

************************************************

කුඩාවුන් නින්දෙන් නඟන කෙඳිරිලි හඬ හේතුකොටගෙන නින්දට පිවිසීමට අපොහොසත් වූ හඳයා ගල්ගුහාවෙන් පිටතට පැමිණියේය. ගුහාව ඉදිරිපස වූ ගල් තලාව මත හිඳගත් ඔහු සඳ නැති රැයෙහි දීප්තිමත්ම බබලන තරු කැට දෙස හිස ඔසවා බලා සිටියේය.


සිතුවිලි එකිනෙක පැටලී නොයෙක් අපැහැදිලි සිතුවම් මැවූ හෙයින් තරු යනු කිමෙක්ද පිළිබඳව ඔහුගේ අර්ධ වානර අර්ධ මනුශ්‍ය ප්රාථමික මනස තුල වූයේ බොඳ වී ගිය සිතුවිලි සමුදායකි.තමනට සිතීමේ ශක්තිය ගෙන දුන්නේ ඒ තරු වලින් පැමිණි අමුත්තන් පිරිසක් බව දැනටම ඔහුගේ මතකයෙන් ගිලිහී ගොසිනි. ඒ ද ඒ තරු වලින් පැමිණි අමුත්තන්ගේම සැලසුමක් පරිදි බව ද ඔහු කිසි දාක දැන නොගනු ඇත.
( Arthur C. Clarke - 2001 A Space Odyssey ඇසුරිනි )


***************************

ක්රි. පූ. 4000, මිසර අධිරාජ්යයේ ප්රධාන පූජකයා සහ තාරකා ශාස්ත්රඥයා වූ ටයිටා මිසරයේ ඉතාම උස් වූ පිරමීඩයේ ඉහල මාලයේ තම ආකාශ වස්තු නීරීක්ෂණාගාරයේ සිට තම හස්තයෙන් ස්පර්ෂ කලහැකි සේ බබලන තාරකා නීරීක්ෂනය කරමින් සිටියේය.

ඉතාම දියුණු ප්රඥා බල මහිමයකින් යුතු වූ හෙතෙම මේ වනවිට තාරකා යනු තවත් සූර්යයින් සමුහයක් බව දැන සිටියේය. මේ වනවිට ඔහු තම විචාරාක්ෂිය යොමු කරමින් සිටියේ මෙම තරු රාශියෙහිද මිනිසුන් වැනි ජීවීන් සිටිය නොහැකිද යන සදාතනික පැණයට පිළිතුරු සෙවීමටය.
( Wilbur Smith – River God ඇසුරිනි)


***************************

අනුරාධපුර අහසෙහි පුරා සඳ පායා තිබිණි. පුරා සඳ රැසින් වුවද මැකී නොගිය තරු රැසක් අහස මුදුනත බැබළිණි. රූපවාහිනියෙහි අභ්යාවකාශයෙන් පිටත ජීවීන් සෙවීම පිළිබඳ වැඩ සටහනක් නරඹා මිදුලට පැමිණි එක් තරුණයෙක් ඉහල අහසෙහි දිදුලන තරු නරඹමින් මෙසේ සිතුවේය ‘’ මම දැන් මෙ මොහොතේ අර තරුව දිහා බලාගෙන ඉන්නවා....ඒ තරුව කියන්නෙත් තවත් සූර්යයෙක්. ඒ තරුව වටා ගමන් කරන තවත් මේ පෘථිවිය වගෙ ග්රහ ලෝකයක් තියනව කියල හිතමු. ඒ ග්රහලෝකයෙ දියුණු ජීවීන් කොට්ඨාශයක් ඉන්නව කියලත් හිතමු. එතකොට මේ මොහොතේ ඒ ග්රහ ලොවේ ඉඳල මම වාගෙම කවුරුහරි ඈත අභ්යාවකාශයෙ පුංචි තිතක් වගෙ දිළිසෙන අපෙ සූර්යයා දිහාවෙ බලාගෙන ඉඳල මම හිතනවිදිහටම හිතනව වෙන්න බැරිද? ‘’

‘’ අර පේන පුංචි තරුව වටා ගමන් කරන ග්රහලෝකයක ජීවීන් ඉන්න බැරිද?....ඒ ජීවීන්ගෙන් කෙනෙක් මේ මොහොතේ අපේ සූර්යයා දිහාවෙ බලාගෙන අර තරුව වටා යන ග්රහලොවක ජීවීන් ඉන්න බැරිද? කියල තමන්ගෙන්ම විමසනව වෙන්න බැරිද? ‘’

එසේ ඈත දිදුලන තරු දෙස බලා තමන්ගෙන්ම එලෙස විමසූ තරුණයා මම වෙමි.

***************************

හඳයා, ටයිටා සහ මම......මිනිස් සංහතියේ දුර ඈත අතීතයේ සිට වර්තමානය දක්වා දිවෙන අනවරත කතාවේ චරිත තුනක්.....කල්පිත චරිත දෙකක් සහ සත්යවූ එක් චරිතයක්....මිනිසුන් වීම හැරුණුවිට ඔවුන් තිදෙනාටම පොදු එක් තවත් සාධකයකි. එනම් මේ සුවිසල් විශ්වයෙහි ජීවත්වන්නේ අප පමණක්ද යන සදාතනික ගැටළුවට පිළිතුරු සෙවීමට ඔවුන් තිදෙනම යම් වෑයමක් තැතක් උත්සාහයක් දැරීමය. අවම වශයෙන් තමන්ගෙන්ම හෝ ඒ පැණය විමසීමයි.

ඒ පැණයට පිළිතුරු සැපයීම තම ජීවිතයේ එකම අභිලාෂය කොටගත් තවත් එක් උත්තරීතර මිනිසෙක් පිළිබඳව ඔබට පැවසීමටය මම මේ පූර්විකාව උපයෝගී කොට ගත්තේ.....

රූපවාහිනියේ මම නැරඹු එම වැඩසටහනෙහි නිර්මාතෘ ඔහුය.....ඔහු..ඒ අද්වීතීය මිනිසා නමින්
කාල් සේගන් ය.
එම වැඩසටහන වූ කලී Cosmos - A Personal Voyage
නම් වූ විශ්වය පිළිබඳ දැනුම් සම්භාරයක් ලොවට ලබාදුන් සුවිශේෂී රූපවාහිනී වැඩ සටහනයි.




පුරා පැයකට ආසන්න කාලයක් පුරා දිවෙන කොටස් 13 කින් සමන්විත එම වැඩ සටහන් මාලාව මෙතෙක් රූපවාහිනියේ විකාශය වුනු මගේ ප්රියතම වැඩසටහන් අතර මුල් තැනක් ගන්නා බව එකහෙලා ප්රකාශ කල හැක....විශ්වයේ උපත, මහා පිපුරුම් න්‍යායය, ජීවයේ උපත, SETI ( Search for Extra-terrestrial Intelligence ) නොහොත් විශ්වයේ වෙනත් බුද්ධිමත් ජීවීන් හා සබඳතා ඇතිකරගැනීමේ ව්යාපෘතිය,කාලය සහ අවකාශය වැනි මිනිස් බුද්ධියේ ගැඹුරුම අහුමුළු ස්පර්ශ කරන විෂයයන් රාශියක් පිළිබඳව සවිස්තරාත්මක සහ විචිත්ර ලෙස විවරණය කෙරෙන මෙම වැඩ සටහන් මාලාව ඔබ මෙතෙක් නරඹා නැතිනම් කරුණාකර කාලවේලාව කෙසේ හෝ කලමණාකරනය කොටගෙන ඒ නරඹන්න. ඒ ඔබට කිසිදාක අමතක නොවන අත්දැකීමක් වනවා නොඅනුමානය.

Episode 1 - The Shores of the Cosmic Ocean

Episode 2 - One Voice in the Cosmic Fugue

Episode 3 - The Harmony of the Worlds

Episode 4 - Heaven and Hell

Episode 5 - Blues for a Red Planet

Episode 6 - Travellers' Tales

Episode 7 - The Backbone of Night

Episode 8 - Journeys in Space and Time

Episode 9 - The Lives of the Stars

Episode 10 - The Edge of Forever

Episode 11 - The Persistence of Memory

Episode 12 - Encyclopaedia Galactica

Episode 13 - Who Speaks for Earth?

Personally, I would be delighted if there were a life after death, especially if it permitted me to continue to learn about this world and others, if it gave me a chance to discover how history turns out.
- Carl Sagan

***********************************

කාල් සේගන් නම් වූ ඒ අපූර්ව මිනිසා මියගොස් දෙසැම්බර් විසිවන දාට වසර පහළොවක් සපිරුනි.

Thursday, December 22, 2011

75. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........4




ඕලු මලේ කතන්දරේ.........1

ඕලු මලේ කතන්දරේ.........2

ඕලු මලේ කතන්දරේ.........3

" ඇයි විජේ මම කිව්වෙ අද වීරෙගෙ උපං දිනේට හදනව කියල විසේස කෑමක්.....ඕළු මල් වෑංජනයක්...මතක නැද්ද? '' සෝමෙ අයිය කුස්සිය පැත්තෙ ඉඳල මතු උනා තිබ්බ ලොකුම පොල්කටු හැන්දත් වන වන....

'' හරි... ඒක හරි කියමුකො....දැං මොකටෙයි ඔය පොල්කටු හැන්ද? ''

'' මේ වගෙ හැන්දකිං තමයි මේක බෙදන්න ඕන.....හරි වීරේ ඉඳගන්නකො......'' සෝමෙ අයියම මට බත් හැඳි හතර පහක් බෙදල අර මහ පොල්කටු හැංදෙන් කට කපල තුනක් විතර ඒ උඩට බෙදුවනෙව ඕළු මල් වෑංජනේ.....

අනික් එවුන් වට වෙල බලාගෙන ඉන්නව ඇසුත් ලොකුකරගෙන මාදිහාවෙ......'' ඒයි උඹලත් වාඩි වෙයල්ල...'' මම බැගෑපත් උනා....මට බය හිතුනෙ මුං එකෙක්වත් වාඩි නොවුනොත් සෝමෙ අර ඕළු පළංගානම මට කවයි කියල.....ඔන්න කට්ටියම ඕළු මල් වෑංජනෙයි සෝමෙ අයියයි දිහාවෙ හොරැහිං බලන ගමං එකා දෙන්න වාඩි උනා......සෝමෙ අයිය උන්ටත් බෙදුව අර පොල්කටු හැංදෙං දෙක ගානෙ .....ඔන්න කට්ටියම කන්ට පටං ගත්ත....මම කෝකටත් කියල ඕළු මල් පොඩ්ඩක් බතුත් එක්ක යහමිං අනල හපල බැලුව...හප්පච්චියේ.....යාන්තමට ගම්මිරිස් රහක් විතරයි...වෙන මේ ලෝකෙ රහක් නෑ....ඒ මදිවට සෙවල උපත.....

වදෙං පොරෙං කටට ගත්තු ටික හපන ගමං හොරැහිං බැළුව සෝමෙ දිහා....මා ළඟම ඉඳගෙන ඉන්නව බොහොම උනන්දුවෙන් මගෙ ප්රතිචාරය දැන ගන්ට.....ඉතිං වෙන මක් කොරන්ටද?.....කටේ තියන ටික වදෙං පොරෙං ගිරියෙං පල්ලෙහාට යවල හිට සෝමෙ අයිය දිහාට හැරිල ලස්සනට හිනාඋනා....'' නියමයි අයියෙ.... අයියට කියන්න මේ බොරුවක් එහෙම නෙවෙයි......අපෙ හිච්චි නැන්ද ඉන්නවනෙ...අප්පච්චිගෙ බාල නඟා....එයයි උයන කෑම කෑවයිං පස්සෙ මේ ඒ විදිහෙ කෑමක් කෑවමයි '' කියල සෝමෙට වමතෙ මහපට ඇඟිල්ලත් උස්සල පෙන්නුව....පව් අප්පා....සෝමෙගෙ මූණ බලා ඉන්දැද්දි එළිය වැටුනෙ අපේ වොචර් හට් එකේ ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කලා වගේ.....ඒත් මම නොකිව්ව කාරණේ තමයි අපෙ නැන්දගෙ ඉවිල්ල අන්තිමයි...... අන්තිම චාටර්.....කටේ තියන්ට බෑ... එයයිට කුස්සිය පළාතෙ යන්ට තහනං කරලයි තියෙන්නෙ..... හෙහ්, හෙහ්,

ඔන්න කොහොම හරි පිඟානට බෙදපු අර ගොසරෑව කාගෙන කාගෙන ගියාය කියමුකො....කාල ඉවර උනාම වැඩේ අහවරයිනෙ කියල.....මොන සමයංද?......'' වීරෙ මල්ලිටනං ඕලු වෑංජනේ අල්ලල ගියා වගෙ '' කියල සිනාමුසු මුවින් යුතුව සෝමෙ බෙදුවෙ නැද්ද තව පොල්කටුහැංදෙං දෙකක් මයෙ පිඟානට....මට අපෝ එපා සෝමෙ අයියෙ කියන්ටවත් විදිහක් නෑ ඔන්න කටෙත් පිරිල ඕලු වෑංජනේ.......ඔය අස්සෙ අපෙ අනික් එවුන් මම දැක්ක සෝමෙට නොපෙනෙන්ට බෙදාපුව වීසි කරනව ජනේලෙං එපිටට.......මම කොහෙ ඒ සෙල්ලං කරන්ටද සෝමෙ මගෙ ලඟම ඉඳගෙන......

ඔන්න කොහොමින් කොහොමින් හරි උපං දින බෝජන සංග්රදහයත් ඉවර උනා...වැඩේ ඉවරයක් වෙනකොට මගෙ වෙරි බැහැල.....සෝමෙ අයියට මාර හැපි....මූණෙං එකයි හිනාව......'' මල්ලි කොහොමද මගෙ ඕලු මාළුව ? '' කියල අහන්ට ඇති එක සිය වතාවකට වැඩිය...ඒ හැම වෙලාවෙම මම මගෙ සුපුරුදු හිනාව පානව....මාපටඟිලි දෙකම උස්සල පෙන්නනව....සෝමෙ අයිය ආයෙම හිනාවෙනව හඳ පෑව්ව වගෙ....

ඔන්න වදෙං පොරෙං සෝමෙගෙං ගැලවිල අපි හැමෝම ගියා ටිකක් නිදියාගන්ට.....මයෙ බඩ නිකං හුළං ගහපු බැළුම වාගෙ ....ඇයි අර වැවේ තිබ්බ ඕළු මල් වලින් තුංකාලක් මයෙ බඩේනෙව දැං.....වමනෙට ආව නං ඒකත් එකක්...කරුමෙට එහෙමත් නෑ....ඇඳේ එක විදිහකට ඉන්ටත් නෑ...එහාට පෙරළෙනව මෙහාට පෙරලෙනව අර ගෝන්නු ගිලපු පිඹුරො ඇඹරෙන්නැහෙ....කරූ මගෙ රූමා..... ඌට මැරෙන්ඩ හිනා.....

'' අම්මප වීරේ උඹට ලැබුවයිං ලැබුවෙ නැතුව ඇති මෙහෙම උපං දිනයක්.......දෙයියෝ සාක්කි උඹ කොහොමද බං අර ඕළු කැටිය කෑවෙ?.....කිඹුල කිරිමැටි ගිලින්නැහෙ...උඹ එව්ව කනහැටි දැකල මයෙ බඩ දගලන්ඩ ආව.....'' ඒක මුනිං අතට පෙරළිල කොට්ටෙත් විකාගෙන හිනා වෙනව.....මට ඌ කන්ට කේන්තිය......

'' නොකා කොහොමද බං අර ********* මයෙ ලඟට වෙලා ඕලු මයෙ පිඟානෙ ගොඩ ගහපු එකනෙ කලේ......උගෙ මූණට මොකවත් කියන්ටත් බෑ...මොනව උනත් හොඳ එකානෙ...කමක් නෑ....අසනීපයක් නොවී මදෑ ඕළු කේස් එක ඉවර උනා......'' මම දිග හුස්මක් පහලට හෙලල කිව්ව.

කොහොමින් කොහොමින් හරි මට නින්ද ගියා...ඇහැරෙන කොට වටින් ගොඩින් කළුවරත් පාත් වෙලා....යන්තම් බඩ එහෙම එක විදිහක්.....මම සාලෙට යනකොට අනික් කට්ටිය ඉඳගෙන කතාව...සෝමෙ පේන්ඩ නෑ.....මාතෘකාව ඉතිං වෙන මොකක්ද සෝමෙගෙ ඕලු වෑංජනේ තමා.....මම ඕලු කාපු හැටි කියල උං ටික හිනාවෙන්ඩ පටං ගත්ත ගේ දෙකක් වෙන්ට....මොනව කරන්ටද වැඩේ ඇත්ත කොට.....මමත් කට්ටිය එක්ක එකතුවෙලා හිනාඋනා.......හෙහ්, හෙහ්, හෙහ්, හෙහ්,

ඔන්න ටිකකිං කාටත් මතක් උනා සෝමෙව..... '' කෝ බං මේ යකා.....කොහේ ගියාද?.....ජයවර්ධන දැක්කෙ නැද්ද සෝමෙ මහත්තයව? ''

'' නෑනෙ..මමත් ටිකක් නිදාගත්ත...ඊට පස්සෙ දැක්කෙ නම් නෑ...'' ජයවර්ධන මට කහට එකක් දෙනගමන් කිව්ව...

'' වීරෙ අද රෑට කන්ට එපා ....කෝපි එකක් බීල නිදාගනිං '' ඒ විජේගෙ උපදෙස්...

'' ඔව්....ඔය ඕළු වල මොන මොන වස විස තියනවද කවුද දන්නෙ?.......'' කරූ අදහස ඉස්තිර කලා....

' පිස්සුද ?....ඕළු වල කොහෙද වස විස.... ''සෝමෙ අයිය ගෙට ගොඩවෙනකල් අපි කවුරුවත් දැක්කෙ නෑ......

අපි හැමෝම තුස්නිම්බූත උනේ සෝමෙ අයියගෙ අතේ තිබ්බ දේ දැක්ක පාර.....තවත්...ඔව්..තවත් මිටියක්.....මල් මිටියක්.....ඕළු මල් මිටියක්.....

'' මොකද සෝමෙ මේ?.....'' සිහි එලවාගත්තු ඇසිල්ලෙ ඇහුවෙ විජේ.....

'' නෑ.... විජේ දවල් අපෙ මේ වීරෙ මල්ලි බොහොම ආසාවෙං ඕළු කාපු හින්ද මට හිතුන රෑටත් ටිකක් හදන්ඩ ඕනය කියල.ඒ පාර මම ගිහිල්ල මේ ටික කඩාගෙන ආව.....'' සෝමෙ එහෙම කියාගෙන ගියා කුස්සිය පැත්තට.

ජයවර්ධන මම දැක්ක හිනාව නවත්ත ගන්ට බැරුව පිපිරෙන්ට තනනව. ඌට මොකෝ ඌට බැරිය හිනාවෙන්ට...මම රවල බැලුව....ඒ කරල අපි එකිනෙකා මූණින් මූන බලාගෙන හිටිය ටික වෙලාවක් ඉස්සෙල්ලාම නැගිට්ටෙ විජේ.. '' ජයවර්ධන මට රෑට කෑම එපා...මම පල්ලිය ගාව කඩෙං පාං කනව රෑට...''

මම අර කලිං කිව්වෙ මුස්ලිම් ගම්මානයක්.....ඒකෙ තිබුන පොඩි තේ කඩයක්....පාන්, රොටි...පරිප්පු වඩේ එහෙම ඒකෙ තිබ්බ....අපි හිටපු ගමං පොඩි චේන්ජ් එකකටත් එක්ක ඒකෙං රෑට කාල ජයවර්ධනටත් අරගෙන එනව. විජේ කිව්වෙ ඔන්න ඔය කඩේ ගැන.

'' මමත් එනව...'' කරුත් නැගිට්ට...අනික් එවුනුත් එකා එකා නැගිට්ට....මමත් නැඟිටින්ඩ හදනකොටම සෝමෙ අයිය ආව...'' වීරෙ මල්ලි පැය බාගයක් මට දෙන්න.... දවල්ට වැඩිය රහට මම හදන්නම්....ඔන්න බලන්නකො බොරුද කියල....'' එහෙම කියල මගෙ මූණ බලල හිනාවෙල ආපහු කුස්සියට ගියා....ඉතිං දෙයියනේ මොනවද මම කරන්නෙ?

'' ජයේ...වැව පැත්තෙ ගිහිල්ල අරං වරෙං බෝතලයක්....'' මම හෙමිහිට ජයවර්ධනගෙ කනට කෙඳිරුව.

***********************************

පසු වදන -

දැන් හැමෝටම ප්රශ්නයක් මතුවෙලා ඇති මම හිතන්නෙ ඕළු මල් කියන්නෙ ඇත්තටම කන්ට ගන්න දෙයක්ද කියල.....අපිටත් ඇත්තටම ඔය ප්රශ්නෙ ආව....සෝමෙලගෙ ගෙවල් අහ තව කීපදෙනෙක්ගෙන් අපි ඇහුව...ඒ හැමෝම කිව්වෙ ඕළු මල් කනවයි කියල අහලවත් නෑ කියල.

ඒත් සෝමෙ අයිය දහ අතේ දිවුරුව ඕළු ලපටි මල් උයනවයි කියල....කොහොම හරි වෙච්චි දේ වුනා....ඕළු මල් කියන්නෙ කන දෙයක් වෙතා නැතුවා මගෙ ජීවිතේට අමතක නොවන අත්දැකීමක් එකතු උනා.....ගිනස් වාර්තාවක් එහෙම තියනව නම් ඕළු මල් කෑම පිළිබඳව අනිවා මම ඉදිරිපත් වෙනව...ආයෙ නෑ කප් එක බුදු ෂුවර් ඇන්ඩ් ෂොට්.......

අහ්.....මේ කතාවෙ තව පසු කාලීන අතුරු කතාවක් තියෙනව කියන්ටම ඕනෙ.....මගෙ මංගල්ලෙ තිබ්බනෙ...සෝමෙ අයියට ඒකට එන්ට බැරිඋනා.....අපේ ඔපරේෂන් ඕළු මල් එකේ අනික් එවුන් ඒකට ආව....ඔන්න බලන්න මයෙම නරක වෙලාව කියන්නෙ දෙවෙනි දවසෙ හෝල් එකේ තිබ්බ මහ විසාල ඕළු මල් සැරසිල්ලක්.....අප්පට සිරි ගජ...නැන්දට කජු මද කිව්වලු...අපේ *********** ලට මදෑ ඕක.....මුං ඕළු මලේ කතාව අතිනුත් කෑලි දාල කියන්ට පටං ගත්ත.....

හතර විලිලැජ්ජාවයි......කියලා වැඩක් නෑ.....ඔක්කොමල අර ඕළු මල් දිහා බලනව ...මා දිහා බලනව ....හිනා වෙනව.මම ඉතිං මොනව කරන්නද?.....උන්ට රව රව හිටිය.......

ඔක්කොම සීන් කෝන් අහවර වෙලා ගෙදර ගියාය කියමුකො....මම අනෙ අප්පේ ඇති ඔයිං ගියා කියල සැනසුම් සුසුමක් පහල දැම්ම විතරයි...මගේ අළුත ගෙනා මනමාලි මාළඟට ඇවිල්ල " ඒයි අනේ මම මේ ඔයාගෙන් අහන්නමයි හිටියෙ" කිව්ව. මමත් ඉතිං අනේ මොකක් හරි බොහොම ආදරණීය දෙයක් වෙන්න ඕන මේ අහන්න යන්නෙ කියල හිතල '' ඉතින් අහන්න අනේ'' කිව්ව පොඩ්ඩක් ඇදල පැදල එහෙම ..හෙහ්, හෙහ්,

'' කොහොමද අනේ ඔයා අච්චර කැටියක් ඕළු කෑවෙ?....අනික මම කවදාවත් කාල නෑ අනේ...මොන රහද එව්ව?...''

මුවන් පැලැස්සෙ කෝරලේ මහත්තය ඒ කාලෙ කිව්ව වගෙ...."ඈ....දීපල්ලකො පුළුවන්නං උත්තර.......''

ඕළු මලේ කතන්දරේ මෙතෙකින් සමාප්තයි........

Wednesday, December 21, 2011

74. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........3

ඕලු මලේ කතන්දරේ.........1


ඕලු මලේ කතන්දරේ.........2



"මල්ලිල බලන්ඩ අද මම වීරෙ මල්ලිගෙ උපං දිනේට හදනව මේ ටික ....ආයෙ නෑ ඔයාල හැමදාම ඉල්ලයි......"

"එහෙනම් අද දවල්ට ටිකක් වැඩිය බොන්ඩ වෙයි වාගෙ ...." විජේ තොල මැතිරුව....

"මොකක්ද විජේ කිව්වෙ?....." සෝමෙ හැරුණ ඒ පැත්තට...

"නෑ නෑ. මේ අද දවල්ට පොඩ්ඩක් ගන්ඩ ඕන කියල කිව්වෙ..... මේකගෙ උපං දිනේට එහෙම නැතුව පුළුවන?" විජේ කිව්වෙ මයෙ කරට අතක් දාගන්න ගමන්...

"හෙහ්...හෙහ්..ඔයාල ඉතිං මේ ටිකේම කලේ ඒකනෙ....හැබැයි ගානකට ගන්ට අද....නැත්නම් මම මේ හදන එකෙනුත් වැඩක් නැති වෙයි ".....සෝමෙ මල් ටික පිටිපස්සෙ ටැංකියෙ බැම්ම උඩ තියාගෙන සුද්ද කරන්ට පටං ගත්ත....

මයෙ උපං දිනේ නිසාවෙං එදා අපි ගියෙ නෑ වැවේ දිය කෙළියට....බඩු ගෙන්නගත්ත ජයවර්ධන යවල.....

අපි ඔන්න සුපුරුදු පරිදි පටන් ගත්ත කර්මාන්තෙ.....හෙහ්, හෙහ්,කර්මාන්තය සමගම කාඩ් සෙල්ලම.....ඔය දෙක එකටමනෙ යන්නෙ....වැඩිපුරම ඕමි..ඒ අතරට තුන්සිය හතර...ඉඳහිටල පන්සියහතර.......

ඉතිං ඔන්න ටික ටික වෙලාව ගත උනා.....කාඩ් කුට්ටමේ වැඩේ අම්බානක නැඟල ගියා........බෝතලුත් ඒ වගේම තමයි එක දෙක උනා...දෙක දෙක හමාර උනා...දැන්නම් කට්ටියම බමරු වගේ...හෙහ්, හෙහ්,මම මුල් ගේම දෙක සෙල්ලං කරල අයිං උනා...... පැත්තකට වෙලා ගානට දෙකක් දාගෙන මුංගෙ ආතල් බලන එක සෙල්ලං කරනවට වැඩිය සොමි.......

"ඒයි කොහොමද ඒ අත උඹලගෙ උනෙ? "

"ඇයි බොල ......... මම කැපුවනෙ......."

"මොකෙන්ද කැපුවෙ?..."

"කැපුවෙ හාරත බූරුවගෙං..."

"යකෝ...හාරත බූරුවො එකයි ඉන්නෙ එක පැක් එහෙක....දෙවෙනි අත උඹ කැපුවෙ හාරත බූරුවගෙං....නෑ කියන්ඩ එපා...මට හොඳට මතකයි...."

"අඩෝ මේ **** පාට් දාන්ඩ එපා හරිද?..........කීඩෑව නං කීඩෑව...වංජාව හොඳ නෑ.....වීරේ ගනිං බං බෝතලේ මෙහාට......උඹ පැත්තකට වෙලා ළඟ ළඟ නවනව වගෙ මට පේන්නෙ...."

ඒ එක සීන් එකක්...මේ දෙවෙනි එක,

"අඩේ මේ....... ඒ අත අපේ...."

"උඹලගෙ වෙන්නෙ කොහොමද මම කැපුවනෙ ඉස්කෝප්ප බූරුවගෙං,"

"ඉතිං මම දැම්මෙ ඉස්කෝප්ප ආසියනෙ..... ආසිය ලොකුයිනෙ,"

"ඒ කොහොමද එහෙම වෙන්නෙ......බූරුවනෙ ලොකු,"

"උඹට පිස්සුද *********, උඹ හිතාගෙන ඉන්නෙ අපි මේ ගහන්නෙ මොනවයි කියලද?..."

"තුන්සිය හතර නෙවෙයිද?......දෙයියෝ සාක්කි මම මෙච්චර වෙලා හිතාන හිටියෙ තුන්සිය හතර කියලනෙ...."

ඔය මට්ටමට එනකොට ඒ කියන්නෙ වැඩේ නවත්තල දාල ආහාර අනුබවයට සුදුසු කාලය කියලයි.....කාලෝ අයංතේ...අහර අනුබවංච......

"මේ කස්ටිය....දැං ඔය මදෑ....බොලාට හාරතයි කලාබරයි පැටලෙන්ඩ කලින් වැඩේ නවත්තල කාල හිටිමු..." ඒ උපදේසෙ කාලෝචිතයි කියල හැමෝම පිළිඅරගෙන බැරි බැරි ගාතෙ ඔන්න නැගිට්ට......

ඔන්න දවල්ට කන්ඩ කලින් ආයෙම වටයක් මට සුබ ප්රාර්තනා....." හැපි බර්ත් ඩේ මචං..." "ඕ කේ...ඕ කේ තෑන්ක්ස්....." වෙරි මරගාතෙ මයෙ මූණ ඉඹිනව....බදාගන්නව එක ජංජාලයයි....ඔය වෙලාව වෙනකොට මද්දහන....ඒත් එක්කම කරපට් වෙන්ඩ වැදිල හැමෝගෙම දෙකංසෙං ගලනව දාඩිය පොල්ල හිටු කියල.....එව්ව ඔක්කොම මගෙ මූණ පුරා......මටත් ඒ වෙලාවෙ ඔව්වෑ ඒ හැටි හසරක් නෑ...මොනව උනත් යාලුවොනෙ...... හිත හොඳින් නෙව මේ ඔක්කොම කරන්නෙ.....

සුබ පැතිලි අනම් මනං ඔක්කොම අහවර වෙලා ඔන්න ඉඳගත්ත මේසෙට.....ජයවර්ධන ගොයිය බත් මාළු ඔක්කොම බෙදල පත්තරේකිං වහලයි තිබ්බෙ.....ඔන්න ඇරිය පත්තරේ.......මයෙ උපන්දින බෝජන සංගරහය...මේ කෑම ගැන විස්තර කරනව වැඩිය කියල මල් මිටියාවත දිහාවෙං ආඩපලියක් ඇහෙන නිසා තිබිච්චි කෑම ගැන විස්තරයක් කරන්නෙ නෑ ඔන්න...ඒත් මේසෙ මැද්දෑවෙම බත් දීසිය ළඟිම්ම බැබලි බැබලි තිබ්බෙ මොකක්ද? වෙන මොකක්ද ටුඩේ ඉස්පැෂල්......මහා සූපවේදී ගෞරවාර්හ ධුරන්ධර රාජාංගනේ සෝමසිරි ශ්රීමතානන්ගේ පෞද්ගලික ධන පරිත්යාගයෙන්...අහ්, සමාවෙන්න...පෞද්ගලික උත්සාහයෙන් නිෂ්පාදනය වූ අති රමණීය කමණීය........පපර...පපර පෑං....පෑං. ම.....හා ඕ.... ළු ම...ල්... වෑං.......ජ...න...ය....



අපෙ තිබ්බ ඔය හදිස්සියකට පාටියකට වගෙ කස්ටිය වැඩි උනාම මස් මාළු බෙදල මේසෙට අරින්ට රතුපාට ලොකු පළඟානක්.....දෙයියෝ සාක්කි සෝමෙ අයිය ඒ පළඟානෙං එකක් හදල අර ඕළු මල් වෑංජනේ.......අපි කට්ටියම, ඒ කිව්වෙ සෝමෙ ඇරෙන්න වටේ තිබ්බ පුටු ඇඳි අල්ලගෙන....( මේ වෙලාව වෙනකොට ස්ව උත්සාහයෙන් පොළවට ලම්බකව ඉන්න පුලුවන් කමක් තිබුනෙ නෑ කාටවත්ම )තප්පරේට දහපාර ගානෙ ඇසිපිය ගහමිං කටවලුත් බාගෙට ඇරගෙන බලා හිටිය මේ මේසෙ මැද්දෑවෙ බැබලෙන අරුම පුදුම වෑංජනේ දිහා.....නිකම් ඔන්න හිතාගන්ටකො බණ්ඩක්ක බාගෙට තම්බල මජර වෙනකල් හැඳිගෑවය කියල. ඒ කරල ඔන්න ඕකට දැම්මය කියල හිතන්න මොනවහරි සුදුපාට...ම්ම්...අරලිය මල් කියමු...හරි අරලියමල් පෙති අහුරක් කඩල......දැන් මොකක්ද ඔයාලට මැවෙන චිත්ත රූපෙ?........

හරි දැං ඒ මැවිච්ච චිත්ත රූපෙට තව දාන්ට ලූණූ කෑලි කීපෙකුයි.....ගම්මිරිස් අබ අනම්මනං ටිකකුයි......ඒ කරල ආයෙ පාරක් හොඳට පත්ගාල ගන්ට....( පත්ගානව කියන්නෙ හොඳට හැඳි ගානවට.....ඔය දොදොල් එහෙම හදද්දි කරන්නෙ පත් ගාන එක........)....අන්න ඒ අවසාන ප්රතිපලය තමයි ඔන්න එදා අපේ මේසෙ මැද්දෑවෙ බැබලි බැබලි තිබ්බෙ....මයෙ උපන් දින බෝජන සංගරහයෙ සුවිශේෂී වෑංජනේ හැටියට......

මට මතක තිබ්බට මේ ඕලු සීන් කෝන් එක විජේට ඕකෙ සිහියක් තිබ්බෙ නෑ....." ජය.....වර්දන මොම්....මොනවද බං මේ මේසෙ මැද තියෙන්නෙ?" විජේ ගෝලය දිහාට හැරිල ඇහුව.

"මම එහෙම නෙවෙයි ඔන්න මේ සෝමෙ මහත්තය ඕක හැදුවෙ..." ජයවර්දන හිනාව ගිලගෙන හෙමිහිට කුස්සිය පැත්තට ගියා.


මතු සම්බන්ධයි......

Tuesday, December 20, 2011

73. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........2




ඕලු මලේ කතන්දරේ.........1

අපි ගෙදර එනකොට ජයවර්ධන ( මතකනෙ අපෙ ගෝලය...අර පුහුල් වැල්ලෙ ...හරි මතක් උනා නේ? ) දවල් ට උයල....අපි වටේට ඉඳ ගන්නව....පරිප්පු හොද්දක් වරදින්නෙ නෑ, ආය ජයවර්ධන ලොක්කගෙ ෆේවරිට් ඩිශ් එකක් තමයි තිබ්බටු සහ කොස් ඇට එකට දාල මලවල....ඔය අතරට කට්ට කරවල කෑල්ලක්, දෙකක්, තුනක් ලූණු එහෙම යහමින් දාල තෙලේ බැදල අරගෙන ආයෙ දෙහි ලුණු පදමට දාපු ගොටු කොළ සම්බෝලෙකුත් එක්කහු උනාම කොහොමද? හපෝයි මගෙ ඔලුවත් එක්ක නරක් වෙනව අප්පා....

ආයෙම පාරක් කනව කලිසං බොත්තං බුරුල් කරමින්...ඒ කරල බුදියෙනව හවස හය විතර වෙනකල්.....ඊලඟට ඒ කිට්ටුවෙම්ම ගලාගෙන ගියා කුඹුරු වලට වතුර දෙන්ට හදාපු අඩි හයක් විතර පලල ඇලක්...ඕක වැතිරිල ඉන්නව මී හරක් වතුරෙ ලැගල ඉන්නැහෙ....ඒ කරල ආපහු ඇවිදිල්ල හිට ගහනව කහට පාරක් හකුරු එක්ක...හතට අටට වාගෙ හෙමීට තව අඩියක් ගහන ගමං කාඩ් අතකුත් සෙල්ලං කරනව...බොහෝ විට ඕමි තමයි....ඒ ඇරුනම 304....දහය එකොලහ වෙනකොට ඇඳං උඩ.....ආයෙම පහුවදා ඔය විදිහමයි......ඔහොම ගෙවිල ගියා මාස ගාණක්....

ඔන්න එක දවසක් අපි රෑ කතා කර කර උන්න එලියෙ පුටු තියාගෙන...දන්නවනෙ ඉතින් මොනවද කරමින් හිටියෙ කියල,....අපෙ ගෙදර ඉස්සරහ තිබ්බ මහ විසාල පලු ගහක් ඕක යට පිට ලෑල්ලකින් හදල තිබ්බ බංකුවෙ ඉඳගෙන හිටිය සෝමෙ....කට පුරා විටක්...ආ තව එකක්..... සෝමෙ විට කන්ඩ මරුව.....රෑට නිදාගන්නෙත් හපයක් හක්කෙ තියාගෙන.

'' මල්ලිල කාල තියද ඕලු මල් වෑංජනේ? '' සෝමෙ ඇහුවෙ කටත් උඩට හරවගෙන...ටික ටික විට හැපෙනකොට කෙල පාර ගහන්ට ඉස්සර ඔහොම කට උඩට හරවගෙන තමයි සෝමෙ කතා කරන්නෙ...වමතින් පපුවෙ මයිල් අත ගාන ගමන්...ජීවිතේට මනුස්සය නෙවෙයි කමිසයක් අඳින්නෙ ගෙදර ඉන්නකොට.

'' ඕලු මල්?.....ඕලු මල් කොහෙද බං කන්නෙ? '' මම නම් ඇහුවෙත් අදයි විජේ කිව්වෙ එකක් උගුරට හලාගෙන කෙල පාරකුත් ගහන ගමන්,

'' ඕන්න ඕක නෙව ඉතින් කියන්නෙ, ඔයාල නොදන්න දේවල් කොච්චර තියද? ඕලු මල පිපෙන්න ඔන්න මෙන්න කියල පොහොට්ටුව තමයි උයන්න ගන්නෙ....ගාණට පහේ එහෙම දාල හින්දල ගත්තම ආයෙ කියල වැඩක් නෑ.....අද මම දැක්ක වැවේ තියනව නියම ගාන ඕලු මල් යායක් ''

' එහෙනම්.... මේ වීරෙගෙ උපන්දිනේ හෙට....'' කරූ කිව්වෙ මාව පෙන්නන ගමන් මට එහෙදි කිව්වෙ වීරෙ කියල '' සෝමෙ අයියා හෙට හදමු ඔය කිව්ව වෑංජනේ ...''

'' අන්න හරි මල්ලි මම හදන්නම් හෙට '' සෝමෙ තාමත් කට උඩට හරවගෙන

'' යකෝ කෙළ ගහල හිටු..... උඹ දැන් මෙතන හපේ ගිලිල වල කජ්ජ ගැහුවොත් එහෙම....මේ ඩීසලුත් නැති වෙලාවෙ...මෙතනම වලක් කපල වල දාන්ඩ තමයි වෙන්නෙ '' කරූ කෑ ගහපු පාරට පලු ගහේ වහලට නැමිල තිබ්බ අත්තෙ හිටපු බස්සෙක්ද කොහෙද බයවෙලා ඉගිලිල ගියා වැව පැත්තට.

එදා ටිකක් වැඩි වෙන්ඩ ගැහුව නිසා පහුවදා අපි අට විතර වෙනකල් නිදාගත්ත, වෙනද උදේම ඇහෙන සෝමෙගෙ සද්ද පූජාව ඇහුනෙත් නෑ. මම නැගිටල සරමත් ඇඳ ඇඳ එලියට එනකොට ජයවර්ධන කුස්සියෙ මුංඇට තම්බනව උදේ කෑමට,

'' ජයේ....කෝ බං සෝමෙ මහත්තය?.....අද මොකෝ සද්දයක් නැත්තෙ? තාම නිදිවත්ද කවදාවත් නැතුව.''

'' මොන පිස්සුද?....උදේම තේ එක බීපු ගමන් ඔන්න ගියේ වැව දිහාවෙ.....''

' ඒ මොකටද මේ පාන්දර....'' මම කල්පනා කලා.....ඊයෙ අර ඕලු මල් සීන් එක මගෙ සිහියෙ තිබ්බෙ නෑ....

'' ඕලු මල් කතාවක් නම් කිය කිය තමයි ගියේ '' ජයවර්ධන මුංඇට වතුර පෙරන ගමන් කිව්ව.

අප්පට සිරි හරි නේන්නම්..... ඔන්න මට මතක් උනා ඕලු කේස් එක.... ඒ එක්කම මතක් උනා අඩේ අද මගෙ උපන් දිනේ නේද කියලත්...ලේසි වයසකුත් නෙවෙයි බලාගෙන ගියාම...හෙහ්, හෙහ්,

ඔන්න කට්ටිය නැඟිටල ආව එලියට.... '' හැපි බර්ත් ඩේ මචං.....'' '' සේම් ටු යූ..සේම් ටු යූ....''

මූණත්තහඩු කාරිය හෝදල උදේට කාල අහවරක් වෙනකල්ම සෝමෙ නෑ පේන්ඩ.....

'' යකෝ මේක ගිලිල මලාවත්ද වැවේ...'' විජේ කිව්වෙ කරූ දිහා බලන ගමන්....'' ඔන්න පුතෝ එහෙම දෙයක් නම් උඹ තමයි වග කියන්න ඕන''

'' ඇයි ඒ මම වග කියන්නෙ? ''

' ඇයි කියන්නෙ ?..... උඹ තමයි මේ වීරෙගෙ උපන් දිනයක් ගැන කියල අරූව කුල්මත් කලේ....හරි නෑ කියපන් බලන්ට....''

'' මම එහෙම කිව්වට ඌට වැවේ ඕලු මල් කඩන්ට යන්ටෙයි කිව්වෙ නෑනෙ.''

'' හරි හරි අන්න සෝමෙ මහත්තය එනව....'' එළියෙ පළු ගහ යට බංකුවෙ උන්නු ජයවර්ධන කිව්ව.... හැබැයි බොහොම අමාරුවෙං හිනාව නවත්තගෙන කියල අපිට තේරුනා.

අපි ඔක්කොම එළියට ගියා...මෙන්න සෝමෙ අයිය එනව ඉහිං කනිං වතුර බේරෙනව....සරම කැහැපට ගහගෙන. විලිවැහිල තියෙන්නෙ ඉතාම සේසෙකින්, දකුණු කර උඩ ඕලු මල් හෙන මිටියක්. මම හිතන්නෙ අඩුම ගානෙ එක සීයක් වත් තියෙන්ඩ ඇති.

ඔය සෝමෙ අයිය සරම කැහැපට ගැහුවම ඇත්තටම විළි වැහෙන නොවැහෙන ගානයි....ඌට නං වගේ වගක් නෑ.....දෙනෝ දාහක් මැද්දෙ යයි කිසිම ගානක් නැතුව...ඒක එක්ක යන අපිටයි හතර විලි ලැජ්ජාව.....අපේ කෑම්ප් එකට කිලෝමීටර් දෙකක් විතර එහා තිබුන පරණ මුස්ලිම් ගම්මානයක්....ඔය ගම්මානේ කට්ටිය විශේෂයෙන් ගෑණු උදවිය අපෙ කෑම්ප් එක හරහා කෙටි පාරක් හදාගෙන තිබුන.මේ සෝමෙගෙ කැහැපොට ගැහිල්ල ගැන එක පාරක් ඒ ගම්මානෙං අපිට පැමිණිල්ලකුත් ආව. ඇත්තටම බැලුවොත් ඒ අයට අපේ කෑම්ප් එක මැදින් යන්න කොහෙත්ම අයිතියක් නෑ...ඒ නිසා අර අබ්බගාත් බාසාවෙං කියනවනං නඩු නිමිත්තක් ඇත්තෙම නෑ...ඒත් එයාල එක්ක ඇරගෙන බැරිනිසා අපි සාමකාමීව කතාකරල වැඩේ ගොඩිං බේරගත්ත,...

හදිස්සියට සබං කෑල්ලක් ටූත් පේස්ට් එකක්, බිත්තරයක් කාරිය ගන්ට යන්නෙත් ඒ ගමේ තිබ්බ කඩ දෙකට...එයිනුත් ලස්සන කෙල්ලෙක් හිටපු කඩේට තමයි අපි වැඩිපුර ගියේ ඒකෙ බඩු ටිකක් ගනං උනත්.... නම මෙන්න මේ මාර ලස්සන නමක්.....සමීනා ද කොහෙද වගෙ මතක..........ඔන්න ඔන්න ඕකනෙව කියන්නෙ....වැරදි විදිහට හිතුව නේද ඔයාල?......එහෙම වෙන මොහොකටවත් නෙවෙයි.....මම ඒ දවස්වල කලා පොඩි අධ්යයනයක්...ඒ කිව්වෙ මේ රීසර්ච් එකක්....උතුරු මැද සහ නැගෙනහිර පළාත් මායිමෙහි පාරම්පරික කුඩා ගම්මානවල වෙළඳපළ මිල හැසිරීම උච්චාවචනය සහ ඒ කෙරෙහි ක්රය ශක්තිය බලපාන අන්දම පිළිබඳ ක්ෂේත්ර අධ්යයනයක්...කොහොමද සිරා මාතෘකාව නේද?.....ඔය රීසර්ච් එකට අවශ්ය දත්ත ගොනු කොර ගන්ටයි මම ඒ කඩේට ගියෙ.....නැතුව ආයෙ.......හෙහ්, හෙහ්,

හෙහ්...ආයෙම කතාවෙං පැන්න පිට....හරි සමාවෙන්න.....ආයෙම කතාවට...

ඉතිං සෝමෙ අයිය ඕළු මල් මිටියකුත් කරේ තියාන ආපු තැන නේද මම අන්තිමට කිව්වෙ?....ඔව්..හරි එතන තමා.....

මතු සම්බන්ධයි......

Monday, December 19, 2011

72. උපන් දින මතක සැමරුම්...........ඕලු මලේ කතන්දරේ.........1

මගේ උපන්දිනේ තිබුනනෙ පහුගියදා.... පහුගියදා කිව්වට මාසෙකටත් එහා පැත්තෙ...මේ අවුරුදු බර ගාණකට ඉස්සරවෙලා මගෙ එක උපන්දිනයක සිද්ද වෙච්ච දෙයක්......

අර නොහැඟවූ ආදරය කතාව අහවරයක් කරල ඉන්ට ගිය එකයි ඒ මදිවට පහුගිය දවස්වල වැඩ රාජකාරි ඉහ මතට නොසෑහෙන්ඩ කඩන් වැටුන එකයි යන කාරණා දෙකම නිසයි මේ කතාව ලියන්ට ප්‍රමාද උනේ... ඒ නිසා සමා වෙන්ට ඕමනයි ඔය කට්ටිය..හා ද?

හරි චරිතාපදානය ඔය මදෑ....අහ්...චරිතාපදානය නෙවෙයි නේද?.....හරි, හරි පූර්විකාව.....පූර්විකාව....

උපන්දිනේ කතාව කියල ඉම්මුකො එහෙනම්....

මේ සිද්ධිය උනේ ඔය නොහැඟවූ ආදරය කතාවෙ කියන කාල වකවානුවට අවුරුදු තුනකට විතර පස්සෙ. ඒ දවස් වල මම වැඩ කරේ නොහැඟවූ ආදරය කතාව වෙච්චි කෑම්ප් එක ( කැලේ මැද ඉඳි කරපු අපි ජීවත් වුනු නිවාස සමූහයට අපි කිව්වෙ කෑම්ප් එක කියල )තිබ්බ හරියෙනුත් තවත් එහා, කැලේ ඇතුලෙ අන්තිමටම තිබ්බ කෑම්ප් එකේ.

ජ.වි.පෙ. සහ රජය තරඟයට භීෂණය වැපිරීමේ ව්‍යාපාරයක් ගෙන ගියෙ ඔය කාලෙ. හංදි ගානෙ මල සිරුරු උදේ පාන්දර දකින එක බොහොම සාමාන්‍ය සිද්ධියක් වෙලා තිබුනෙ. ගෙවල් වලින් අපිට කියල තිබුනෙ නිතරම එන්න අවශ්‍ය නැහැ, කෑම්ප් එකට වෙලා ඉන්න ඒක ආරක්ෂා සහිතයි කියල.අපි වැඩි දෙනෙක් විවාහ වෙලා නොසිටිය නිසා ඒ අතින් ගැටළුවක් තිබුනෙත් නෑ ඇත්තටම.

ඉන්ධන බෙදාහැරීම අඩාල වෙලා තිබුණු නිසා අපෙ ව්‍යාපෘති වැඩත් ඇණ හිටල තිබුනෙ. හදිසි අසනීපෙකට කදුරුවෙල නගරෙට යාගන්ට විතරයි ඩීසල් නිකුත් කලේ.ඉතිං ඔය කාලෙ මොනවද අපිට රජ මඟුල් තමයි.

අපි ඒ දවස් වල හිටිය කෑම්ප් එක ළඟම තිබුන පරණ වැවක්...ඕළු නෙළුම් ඔන්න ඔය වගෙ රටේ නැති මල් ඔක්කොම වාගෙ ඒකෙ තිබුණ.වැඩත් නැති නිසා අපි කලේ අපේ චෙක් රෝලෙ ( චෙක් රෝල කියන්නෙ අනියම් කම්කරුවන්ගෙ පැමිණීමේ ලේඛනය, චෙක් රෝල අනුව තමයි එයාලට පඩි ගෙව්වේ ) කොල්ලො ටික දාල දේශීය නිෂ්පාදන පෙරපු එකයි අර වැවේ....හෙහ්, හෙහ්, නිකම්ම ඉන්න එකේ දේශීය කර්මාන්ත නගා හිටුවන්ට එපාය කියන සද් චේතනාවෙන් තමයි එහෙම කලේ...වෙන මොකවත් එහෙම නෙවෙයි ඔන්න.

හපොයි ඒ කාලෙ මතක් වෙනකොටත් නිකම් හිතට හීතල පවන් රැල්ලක් හමනව වාගෙ...ඔන්න අහගන්නකො අපේ දින චරියාව...නැඟිටිනව හයට විතර....ඊට එහා බුදියන්ට හම්බ වෙන්නෙ නෑ..අපේ ඉන්නව නින්ද යන්නෙ නැති හාදයෙක්....සෝමෙ අයිය කියල....හෙහ්, හෙහ් සෝමෙ අයිය තමයි මේ කතාවෙ ප්‍රධාන චරිතයත්....

ඔන්න රෑ දෙගොඩ හරියෙ හිටපු ගමන් එක නින්දක් නිදාගෙන නැඟිටිනකොටත් ඇහෙනව සෝමෙ එලියෙ පිලේ ඇවිදිනව සිංදුවක් එහෙම උරුවම් බාන ගමං....මගෙ කාමරේ සගයා කරූ....ඌත් ඇහැරල...... හෙමිහිට මොනවද කිය කිය බණිනව සෝමෙට..." මේ ****** එක්කො බුදියන්ට ඕන....නැත්නම් ****** නැතුව අපිට බුදියෙන්ට දෙන්න ඕන"...ඔහොම තමයි කරූ දත්මිටි කකා කියන්නෙ....

''කරූ, මම සෝමෙට කියන්ටද ගිහින් නිදා ගන්නෙයි කියල " මම හෙමිහිට අහනව.

" පිස්සුද බං...සද්ද නැතුව හිටහං, අපි ඇහැරල කියල දැන ගත්තොත් ඔය ***** එනව මෙතනට...ඇවිල්ල පටන් ගන්නව කතාව...ඊට පස්සෙ කොහොමත් නිදියල ඉවරයි...." කරූත් යන්තම් මට ඇහෙන්ඩ කියනව.

සෝමෙ අයියගෙ තව ආවේණික ලක්ෂණයක් තමයි කතාව....හප්පා....කවුරු හරි හූ මිටි තියනව නම් මනුස්සයට රෑ වෙනව එළි වෙනව තේරෙන්නෙ නෑ කතා කරන්ට ගියාම.....මාව තමයි ඔය වැඩේට හැමදාම පංගාර්තු වෙන්නෙ.අනික් එවුන් යනව නැගිටල....මම තමයි එතන හිටපු වයසින් බාලය...මට එක පාරටම නැගිටල යන්ටත් බෑ....හප්පොච්චියේ...ඔන්න අර ත්‍රි.ක්‍රි.වි.රෝගය මතු උනා.....තිරිංග ක්‍රියා විරහිත වීමේ රෝගය...මෙහෙම ගියොත් ලබන උපන් දිනේ වෙන කල් වත් මේ කතාව ඉවරයක් කරන්ට වෙන්නෙ නෑ.හරි සෝමෙ ගැන තියෙන කතා අනන්තයි...අප්‍රමාණයි. එව්ව පස්සෙං පහු කියනකල් බෑක් ටු ද ට්රැ ක්...උපන් දිනේ කතාවට නැවතත්,

දින චරියාව ගැන නෙව මම කිය කියා හිටියෙ, මේ සෝමෙ අයිය ගැන කියන්ට ගිහිල්ල කැලේ පනින කොට........ඉතිං සෝමෙ අයිය නිදියන්ට දෙන්නෙ නෑ අපිට " හා, හා මල්ලිල නැගිට පල්ල, නැගිට පල්ල, උදේ ඉර පායන වෙලාවට එලියට බැහැල ඉන්ට ඕන, නැත්නම දවසම මහ මුස්පේන්තුයි...." ඔන්න ඔහොම කෑගහනව ගේ දෙක වෙන්ට...මම කියන්නෙ සෝමෙ අයිය නම් බුදුන් ජේතවනාරාමෙ වැඩ ඉන්න කාලෙ ගන්ටාර නෙවෙයි සයිරන් පූජ කරලයි තියෙන්නෙ කියලයි....

හරි ආයෙම දින චරියාවට...අපි ඉතිං සෝමෙ අයියගෙ මාතෘ දිව්‍යාංගනාවට පිං අනුමෝදන් කරමින් නැගිටල මූණ හෝද ගන්නව,ගේ පිටිපස්සෙ හදල තියෙන මහ විසාල ටැංකි රාජයාගෙං, ඒකට අපේ බව්සරෙං ගහනව නෙව වතුර,ඒ කරල වාඩිවෙනව පාතරාසයට......ඔය දවස්වල අපේ ඉවුම් පිහුම් වලට හිටිය වයස තිස් පහක හතළිහක තරමෙ චෙක් රෝලෙ ගෝලයෙක්.ඉවුම් පිහුම් කරන හැමෝටම පොදුවෙ කිව්වෙ ගෝලය කියල. පස්සෙං පහු කොහොමිං හරි අපේ එවුං යාළු වෙලා ඉන්න කෙල්ලන්ටත් ගෝලයයි කියන්ට පටං ගත්ත.මොන හේතුවක් නිසාද නම් මන්දා.

ඕං ආයෙම කැලේ පැන්න...ඉතිං ඒ දවස් වල අපේ ගෝලය, ඒ කිව්වෙ ඉවුම් පිහුම් කරපු ගෝලය හොඳද?....නම ජයවර්ධන...ගම මාතර පුහුල්වැල්ලෙ....උයනව ආයෙ නෑ පිඟානත් එක්ක කෑවහැකි.ජයවර්ධන ඔන්න ගෙනත් තියනව සුදු කැකුළු හාලෙ බතුයි පොල් සම්බෝල කරපිංච එහෙම දාල මලවල...ආ, මලවද්දි දානව කීරමිං තුනට හතරට කඩල....ආය කිරිහොද්දක් කහම කහ පාටට.....දෙයියෝ සාක්කි කෙලත් වැටිච්චි කී බෝඩ් එකට...කෝ මේ මගෙ පරණ සරං කෑල්ල...කෙල පිහදාල ඉන්ට එපාය ඔක්කෝටම කලිං නැත්නම් මේක ෂෝට් වෙල මහ ජංජාලයක් වෙනව ඒ පාර...

හරි ඒ දවස් වල අපෙ ක්වාටස් එකේ ඔක්කොම හිටිය හය දෙනෙක්.අපි ඉඳගෙන දෙනව කුඩා බඩ වැල් මහ බඩ වැල් එකට පටලැවෙන කල්...හෙහ්, හෙහ්,

කාල එහෙම ටිකක් ඔහෙ වල් පල් කියව කියව ඉන්නව බත් ඇට හරහ වැටෙනකල් කාරිය....එකොලහ වාගෙ වෙද්දි යනව සබං තුවා එහෙම ඇරගෙන අර මම කිව්ව වැව දිහාවට....ඔය වෙලාවට තමයි අපෙ චෙක් රෝලෙ ගෝලයො ටික වඩිය පෙරන්නෙ......අපිත් ගිහිල්ල වැවට පැනල නානව.නාගෙන ගොඩට ඇවිත් වැව ඉවුරෙම තියනව ගල් තලාවක්..... දාරානිපාත කුඹුක් ගහක් ඔය ගල් තලාව බාගයක් හෙවණ කරනව. කුඹුක් ගහ යට ඉඳගෙන ඉන්න අතරෙ, ඔන්න එනව උණු උණු බඩු......ඇත්තටම වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම උණු උණු බඩු තමයි, කටේ තියන්ඩ බෑ රස්නෙ. කට පිච්චි පිච්චි ගසල අරිනව හෙහ්...හෙහ්....නිවෙනකල් ඉන්ඩ බෑ තදියම....

ඒ අතරෙ ගෝලයො වැවෙන් අල්ලපු මාළු එහෙම්මම සුද්ද කරල ලුණු ඩිංගක් ඉහල ගිනි ගොඩක් ගහල පුච්චනව.....හෙහ්, හෙහ්, අන්න නියම බාබකිවු....මතක් වෙනකොටත් සුවඳ දැනෙනව වගෙ අනෙ අම්මප.....අර ෂෝක් සිංදුවක් තියෙන්නෙ මම හිතන්නෙ මේ වගෙ සීන් කෝන් එහෙකටම ලියාපු එකක් ද කොහෙද " සුවඳ දැනී....දැනී...දැනෙනවා....එදා වැව් පිටියේ...මාළු පුලුස්සාලා....උණු උණුවෙම ගැසුවා...මතකයි...ජීවිතේ සුන්දර ද මෙතරම්.....සුවඳ දැනී දැනී දැනෙනවා....."

ඒ අතර හෙමිහිට සිංදුවක් දෙකකුත් කියවෙනව....ගීතා...දයාබර ගීතා...අහසෙ තාරකා මල් පිපිලා නෑ.....එහෙම නැත්නම් ඇසට අසුවන මායිමේ බමර සැනකෙලි මල් විලේ ලසෝ ලැව් ගිනි ඇවුලුනා සිත ඔබ මගෙන් වෙන් වූ දිනේ....... ලාලල් ලලලා....ලාලල් ලාලා...ලාලල්ලා ලා....ලා....ලා...ලා...

ඔන්න එක දෙක වෙනකොට ඔරේ මංදං...නාග සලං....

" ලම්මායි, අප්පි ගියා එහ් හෙන්නං '' ගෝලයන්ට ගහනව අපි සැලියුට් එකසිය ගානට.....

" මහත්..ත ය...ය...ය න්ට ඇහැකි නේද?....'' එකෙක් බොහොම අමාරුවෙන් වචන ගැට ගහ ගන්නව....'' නෑ, නෑ බං අපි යන්නං මේ ඊමමනෙ....''අපි ඔන්න ආපහු එනව පාර පුරාම " හා, හා, පාර පුරා මල් ඉහිරෙයි ඇඳපු චීත්තේ...හා...හා..ඇඳපු චීත්තේ"


මතු සම්බන්ධයි......( ආයේ කියන්ටත් දෙයක්ද.... නැද්ද හා?....හෙහ්, හෙහ්....)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...