ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙම ලාවට හෝ සල්ලි ගෑවිලා... කොටින්ම ඒවායින් 10%ක පමණ විතරයි ලාවට ගෑවිලා තියෙන්නේ. ඉතිරි ප්‍රශ්න 90% ම ඇති වෙලා තියෙන්නේ සල්ලි නිසා.
ආදරය, බැඳීම්, මිතුරුකම් මේ හැම දේම මැනෙන ප්‍රධාන මිම්මක් බවට අද සල්ලි පත් වෙලා. පවුලක් නඩත්තු කරන්න කොච්චර නං සල්ලි ඕනෑද? ගෙදර මහ දෙන්නම හම්බ කලත් යාන්තන් දිවි ගැටගහන්න වෙලා තියෙන යුගයක, කුටුම්භයට පිටින් තියෙන නෑදෑකම්, මිතුරු කම් වෙනුවෙන් මුදලක් වැය කරගන්න බැරිව ගියහම තමයි තේරෙන්නේ මේ හැමදේම මැනෙන්නේ සල්ලි වලින් නේද කියලා.
"එච්චි කමට ඉතිරි කරනවා. අම්මාට තාත්තාට වියදම් කරන්නේ නැත්තං කාටද වියදම් කරන්නේ? ගුණයක් නැති දරුවෝ"
"ඕකුන්ට සල්ලි තියෙනවා, ඔය නැති බනේ ගැහැව්වාට. කථාව නං පණ දෙන්න වගේ. හදිසි අතමාරුවක් ඉල්ල ගන්න ගියහම පස්ස ගහනවා"

ඉතිං හද්දෙය්යනේ, සල්ලි ඉල්ලන්න යන මනුස්සයාට වගේම අනිත් කෙනාටත් හදිසි තත්ත්වයක් ඇති වෙලා වෙන්න බැරිද? ඒ මනුස්සයාට ඇත්තටම මුදල් අමාරුකමක් නිසා නැහැයි කිව්වා වෙන්න බැරිද? මොක වුනත් අන්තිමට ඉල්ලපු දේ දෙන්න බැරි වුනා නං බැණුම් අහන්න ලැහැස්ති වෙලා ඉන්න එක තමයි තියෙන්නේ.
ඔන්න බොරු නං කල්පනා කරලා බලන්න. ගෙදර දොරේ දානෙකට, මළ ගමකට, මගුළකට දහදිය මුගුරු හෙලාගෙන, දවල් රෑ නොබලා, වෙහෙස මහන්සි නොබලා බැහැගෙන කොටසක් වැඩ කරද්දි, තවත් කොටසක් ඇවිත් මුදල් විසි කරලා ඇඟ බේර ගන්නවා.
"අනේ කිසි ලෝභ කමක් නැතුව සල්ලි වියදම් කලා, ලෝස් බෝස් නැහැ, ඕනේ තැනදි ඕනෑ හැටියට සල්ලි වියදම් කලා. සල්ලි තියේ නං වැඩ කරන්නද මිනිස්සු නැත්තේ. කට්ටිය වැඩ කරන මුවාවෙන් හොඳට ගැහැව්වා" දෙපිරිස ගැන බොහොම විට අහන්න වෙන්නේ ඔය වගේ කථා. ඕක තමයි ඇත්ත.
ඇත්ත කොහොම වෙතත්, කාවටත් අතනොපා, හදිසි අවස්ථාවකදී හදිසි වෙලා එහේ මෙහේ නොදුවා, කොහොම හරි ජාමේ බේරගන්න පොඩි ක්‍රමයක් ගැන අදහසක් දෙන්නයි මං මේ හදන්නේ. මේ ක්‍රමේ ගැන කියන්න ටිකක් කල් ගන්න මට සිද්ධ වුනා. ඒකට හේතුව ක්‍රමේ ඔළුවට වැටුනට, අත්හදා නොබලා ප්‍රකාශ කරන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා.
මුලින් ම කියන්න ඕනෑ, මේ ක්‍රමය ගැන මුලින්ම අදහස දුන්නේ මගේ මහත්තයා. ඒ 2007 වසරේ පෙබරවාරි මාසේ දවසක. එයාගේ යතුරුපැදිය මිලදී ගත්තේ 2007 පෙබරවාරි 3 වනදා. අලුත් ම අලුත් යතුරුපැදිය නිසා අලුත් සෙල්ලම් බඩුවක් ලැබිච්චි දරුවෙක් වගේ උද්දාමයෙන් හිටපු එයාගේ හිතට තමයි මේ අදහස මුලින් ම ආවේ.
"රන්දි, සාමාන්‍යයෙන් අපි දවසකට කිලෝමීටර් 50ක් විතර බයික් එකේ යනවා එනවා. හැමකිලෝමීටරයට රුපියල ගානේ සාමාන්‍ය ගාණක් විදිහට දවසට රුපියල් 50ක් කැටේකට දැම්මා නං බයික් එකේ සර්විසස් වලට අපිට ගන්න සල්ලි ඉතිරි වෙනවානේ" ඔන්න එයාගේ ඒ අදහස.
මාත් ඉතිං හාඃ කිව්වාට මොකද ඒ කාලේ අපි බැඳලා හිටපු නැති නිසාත්, එයාට ඔය වැඩේ කරගෙන යන්න අමතක වෙන නිසාත් වැඩේ මාසයක් වගේ ඇතුලතදී ඇණ හිටියා. එහෙම කරගෙන ආවා නං, මේ දැන් මං ගණන් හදලා බැලුවා, පහුගිය 3 වෙනිදා වෙද්දි අපේ අතේ රුපියල් 91,250ක් තියෙන්න තිබුනා. හැබැයි අර කිව්වා වගේ සර්විසස් වලට වියදම් නොකලා නං තමයි ඔය ඉතිරිය.
ඉතිං යාළුවෝ බොහොම දෙනෙක් දන්නා පරිද්දෙන්, පසුගිය වසරේ පෙබරවාරි 11 වෙනිදා අපි මටත් ස්කූටරයක් මිලදී ගත්තා. ඉතිං ඔන්න දැන් අර යටගිය වැඩේ මතුකරගන්න නැවතත් අවස්ථාවක් උදා වෙනවා. අපි දෙන්නා නැවතත් පටන් ගත්තා ඉහත කියපු විදිහේ ඉතිරියක් කරන්න.
මාසයක් දෙකක් දිනපතා මුදල් ඉතිරි කරගෙන යනවිට අපට දළ අදහසක් ලැබුනා මාසයකට සාමාන්‍යයෙන් ස්කූටරය ගමන් කරන දුර පිළිබඳව. ඒ සාමාන්‍යයෙන් කිලෝමීටර් 1500ක් පමණ. රුපියල ගණනේ තැබුවොත් රුපියල් 1500ක්.
ඉතිං පස්සේ පස්සේ මං කලේ මාසේ පඩිය ගත්තහම රුපියල් 2000ක් වෙන් කරන එක. ඉතිං කොහොම හරි මේ මාසේ පඩියෙන් රුපියල් 2000ක් වෙන් කලාට පස්සේ මගේ ගාව ස්කූටරයේ මුදල් වශයෙන් රුපියල් 22,000ක් තියෙයි. තාම ලීසින් කාලසීමාව ගෙවෙන නිසා සම්පූර්ණ රක්ෂණාවරණයම ගතයුතු වෙනවා. ඒ සඳහා අවුරුද්දට ම රුපියල් 10,000කට මදක් වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. ඉතිං බලන්න. අපි දෙන්නාට දැන් අමුතුවෙන් මාසේ පඩියෙන් ඒ සඳහා වැය කරන්න වෙන්නේ නැහැ. ස්කූටර් බැංකුවෙන් අපට ලෝන් එකක් ගන්න විතරයි තියෙන්නේ. පොළි රහිත ණයක්.
ඔව්... ලෝන් එකක්. ණයක්. මං එහෙම කියන්නේ හේතුවක් ඇතිව. ඉතිරි කරපු මුදලින් රුපියල් 10,000ක් ගත්තාට පස්සේ ඉතිරි වන්නේ රුපියල් 12,000යි. එතකොට ස්කූටරය ගමන්ගත් මුළු දුරට සමානුපාතික මුදලක් අප සතුව නැති වනවා. ඒ මුදල පියවන්න අවශ්‍යයි නේද? මොකද මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ, නිකමට හරි අපි අතේ ඔය ඉතිරිය නොතිබී අපි කොහෙන් හරි ණයක් ගත්තා කියලා හිතමු. සමහරවිට පොළියකුත් එක්ක ණය ගෙවන්න වෙන්නේ. ඊට නරකද අපේ ම බැංකුවට පොළි රහිත ණය ගෙවලා, මුදල පියවාගන්න එක.
ඉතිං අපි ඒ ණය මුදල පියවා ගන්න මාසෙකට වැඩිපුර වැය කරන්න බලාපොරොත්තු වන්නේ රුපියල් 1,000ක් පමණයි.
2,000 x 24 = 48,000
{(2,000 x 11 = 22,000) - 10,000)} + (3,000 x 12 = 36,000) = 48,000
ඉතිං කොහොම හරි දෙවසර අවසන් වෙද්දි රුපියල් 48,000ක පමණ මුදලක් අප අතේ තියේවි.
දැන් මං කියන්නම්කෝ මේ බැංකුවෙන් තියෙන ප්‍රතිලාභ.
1. අවශ්‍ය ඕනෑම මොහොතකදී භාවිතයට ගැනීම පිණිස සුළු හෝ මුදලක් අත තිබීම.
2. කොච්චර හම්බ කලත් ඉතිරියක් නැහැ කියන වදන ටිකින් ටික අහෝසි වී යෑම.
3. පවුල තුල සාමුහිකව මුදල් ඉතිරිය වෙත ටිකින් ටික හිත යොමු වීම. (මොන වියදම තිබුණත් ගෙදර බැංකුවට රුපියල් 2000 වෙන් කල යුතුයි යන්න කල්පනාවේ නිරතුරු තිබීම)
4. සිට්ටු ක්‍රම, ණය ක්‍රම ආදියට මිනිසුන් ඇදෙන්නේ මුදල් ඉතිරි කිරීමේ පුරුද්දක් නැති කමින්. ඇයි අපට බැරි සීට්ටුවට හරියට ම මාසෙට මුදල් දෙනවා නම්, ගෙදර බැංකුවක් පිහිටුවාගෙන එහි ඒ විදිහට ම මුදල් තැන්පත් කරන්න. ඔව් අපට එහෙම පුළුවන්. සහභාගී වී සිටි අවසන් සීට්ටුවේ අවසන් කොටස ගෙවා අවසන්. සීට්ටු වලට සහභාගී නොවී අපේම ඉතිරියක්, හිතුනු හිතුනු වෙලාවට වියදම් කර නොගෙන රැක ගන්න අපට පුළුවන් බව වැටහී යාමද ගෙදර බැංකුවෙන් අප ලද එක් ප්‍රතිලාභයක්.
5. අවසන් සහ මේ වැඩෙන් අපි බලාපොරොත්තු වුනු ප්‍රධානම කාරණය තමයි කවදා හරි වෙනත් වාහනයක් මිලදී ගැනීමේදී අතැති මුදල් ප්‍රමාණවත් නොවුනහොත් ගෙදර බැංකුවෙන් ණයක්.
කොහොම වුනත් ඉතිරි කරන මුදල් රජයේ සම්මත බැංකුවක තැන්පත් කිරීම අනිවාර්යයෙන් කලයුතු වෙනවා. නැත්නම් ඔබේම උපදෙස් පිළිපදින කෙනෙක් ඔබගේ නිවසේ බැංකුව බිඳ මුදල් පැහැරගෙන යා හැකියි.
දැන් ඉතිං කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, මේ තියෙන අටෝරාසියක් මූල්‍යමය ගැටළු එක්ක ඔය වැඩේට මාසෙකට රුපියල් 2000ක් හෝ ඊට වැඩි මුදලක් වෙන් කරන්නේ කොහොමද කියලා. ඉන්ධන, ලීසින්, තව තව වියදම්........... අපි හිතන්නේ මෙහෙමයි. අපිට අපි දිනපතා යන එන වාහනය වෙනුවෙන් ඒ වගේ මුදලක් ඉතිරි කරන්න බැරි තරම් ආර්ථික අහේනිය නම්, වඩාත් සුදුසු දේ බයික්කේ ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවයක පිහිට පතන එක තමයි. හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.
දැන් මං මේ උඩ කිව්වේ රුපියල් ලක්ෂ දෙකකට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් යතුරුපැදි වගේ වාහන සඳහා වන ගෙදර බැංකුව ගැනයි. අපි හිතමු තව ඉදිරිය ගැන. ඒ කිව්වේ රුපියල් ලක්ෂ දෙකත් පහත් අතර වාහන ගැන. ඕවාට බොහොම දුරට අයිත් වෙන්නේ ත්‍රීරෝද රථ සහ ඉන්ධන වැඩියෙන් දහනය කරලා දාන බෲම්ම්ම්ම්ම්......... හඬින් ඉගිලෙන බයික්ක........... ඒ බයික්ක ගැන වැඩි කථාවක් ඕනෑ නැහැ. අපි ත්‍රී රෝද රථ ගැන කථා කරමු.
මගේ ගණනය කිරීමට අනුව නං ත්‍රී රෝද රථයක් කියන්නේ දවසට ගමන් ගන්නා දුර ප්‍රමාණයෙන් 80%ක් පමණ ම මුදල් උපයන එකක්. ඉතිං එයාලා කැමති නං එයාලාට පුළුවන් එක කිලෝමීටරයකට රුපියල් 2-5ක් අතර මුදලක් ඉතිරි කරන්න. කිලෝමීටරයකට මීටර ටැක්සි එකක අය කිරීම රුපියල් 30-35ක් අතර ප්‍රමාණයක්. ඉතිං ඔය මුදලින් රුපියල් 10ක් ඉන්ධන වලට වෙන් කලත් රුපියල් පහක් ගෙදර බැංකුවට වියදම් කලත් තව රුපියල් 20ක් ඉතිරියිනේ. දන්න දන්න අයට කියලා දෙන්න. නැති බැරි කම් නැති වෙලා යන හැටි බලන්න. ඔය විදිහට එයාලා එක හිතින් එක කිලෝමිටරයට රුපියල් 5 ගණනේ ඉතිරි කලොත්, දිනකට අවමය කිලෝමිටර් 100ක් ධාවනය කලොත්, අවුරුදු පහකදී,
5 x 100 x 365 x 5 = රුපියල් 912,500යි
ත්‍රී රෝද රථය තියෙද්දීම ඔහුට හොඳ මෝටර් රථයක් ලීසින් මගින් හෝ මුල් රථය විකුණා සියලුම මුදල් යොදා අලුත් මෝටර් රථයක් අත්පිට මුදලට හෝ ඔහුට ගන්න පුළුවන් නේද?
ඒ අතරේදීම නොයෙකුත් ආයෝජන වලටත් මේ ගෙදර බැංකුව භාවිතා කරන්න පුළුවන්. කොටස් වෙළඳ පොළට, රත්‍රං උන් හිටි හැටියේ අවමිල වන අවස්ථා වලදී රත්‍රං මිලදී ගැනීමට, ඉඩම් මිලදී ගැනීමට ආදී වශයෙන් වැඩ කොච්චරක්ද?
ඉතිං ලක්ෂ 5ට අඩු වාහන ගැන කථාව ඔහොමයි.
ලක්ෂ 5- 10ත් අතර (ඩිමෝ බට්ටා, අලුතින් ආපු ටාටා කාර් එක ආදිය) කිලෝමිටරයට රුපියල් 10ක් විතර පුළුවන් වෙයි. දිනකට අවමය කිලෝමීටර් 100 වුනොත්, වසර පහකදී, රුපියල් 1,825,000
ලක්ෂ 10-20ත් අතර වාහන, කිලෝමීටරයට රුපියල් 20ක් වුවහොත් වසර පහකදී, රුපියල් 3,650,000
මේ සේරම ගණනය කිරීම් කරන ලද්දේ දිනකට අවම කිලෝමීටර් ගණන 100ක් ලෙස ගනිමින් වසර පහකට. සමහර දිනවල වාහනය ධාවනය නොවනවා මෙන්ම ධාවනය වන දුර ප්‍රමාණ අඩු වැඩි වෙනවා. ඒ කොහොම වුනත් ලොකු ඉතිරියක් නං සිද්ධ වෙනවාමයි.

මතක තබා ගන්න. ඔබට එක කිලෝමීටරයකට රුපියල් 20ක් වෙන් කරන්න බැරි නම්, ඔබ භාවිතා කරන රුපියල් ලක්ෂ 10-20ත් අතර වාහනයට ඔබ සුදුසු අයිතිකරුවෙක් නොවෙයි.




