Wednesday, February 8, 2012

96. ගෙදරදී ම බැංකුවක් සාදා ගන්නා අන්දම........

සල්ලි... සල්ලි... සල්ලි...

ලෝකේ තියෙන හැම ප්‍රශ්නෙම ලාවට හෝ සල්ලි ගෑවිලා... කොටින්ම ඒවායින් 10%ක පමණ විතරයි ලාවට ගෑවිලා තියෙන්නේ. ඉතිරි ප්‍රශ්න 90% ම ඇති වෙලා තියෙන්නේ සල්ලි නිසා.

ආදරය, බැඳීම්, මිතුරුකම් මේ හැම දේම මැනෙන ප්‍රධාන මිම්මක් බවට අද සල්ලි පත් වෙලා. පවුලක් නඩත්තු කරන්න කොච්චර නං සල්ලි ඕනෑද? ගෙදර මහ දෙන්නම හම්බ කලත් යාන්තන් දිවි ගැටගහන්න වෙලා තියෙන යුගයක, කුටුම්භයට පිටින් තියෙන නෑදෑකම්, මිතුරු කම් වෙනුවෙන් මුදලක් වැය කරගන්න බැරිව ගියහම තමයි තේරෙන්නේ මේ හැමදේම මැනෙන්නේ සල්ලි වලින් නේද කියලා.

"එච්චි කමට ඉතිරි කරනවා. අම්මාට තාත්තාට වියදම් කරන්නේ නැත්තං කාටද වියදම් කරන්නේ? ගුණයක් නැති දරුවෝ"

"ඕකුන්ට සල්ලි තියෙනවා, ඔය නැති බනේ ගැහැව්වාට. කථාව නං පණ දෙන්න වගේ. හදිසි අතමාරුවක් ඉල්ල ගන්න ගියහම පස්ස ගහනවා"



ඉතිං හද්දෙය්යනේ, සල්ලි ඉල්ලන්න යන මනුස්සයාට වගේම අනිත් කෙනාටත් හදිසි තත්ත්වයක් ඇති වෙලා වෙන්න බැරිද? ඒ මනුස්සයාට ඇත්තටම මුදල් අමාරුකමක් නිසා නැහැයි කිව්වා වෙන්න බැරිද? මොක වුනත් අන්තිමට ඉල්ලපු දේ දෙන්න බැරි වුනා නං බැණුම් අහන්න ලැහැස්ති වෙලා ඉන්න එක තමයි තියෙන්නේ.

ඔන්න බොරු නං කල්පනා කරලා බලන්න. ගෙදර දොරේ දානෙකට, මළ ගමකට, මගුළකට දහදිය මුගුරු හෙලාගෙන, දවල් රෑ නොබලා, වෙහෙස මහන්සි නොබලා බැහැගෙන කොටසක් වැඩ කරද්දි, තවත් කොටසක් ඇවිත් මුදල් විසි කරලා ඇඟ බේර ගන්නවා.

"අනේ කිසි ලෝභ කමක් නැතුව සල්ලි වියදම් කලා, ලෝස් බෝස් නැහැ, ඕනේ තැනදි ඕනෑ හැටියට සල්ලි වියදම් කලා. සල්ලි තියේ නං වැඩ කරන්නද මිනිස්සු නැත්තේ. කට්ටිය වැඩ කරන මුවාවෙන් හොඳට ගැහැව්වා" දෙපිරිස ගැන බොහොම විට අහන්න වෙන්නේ ඔය වගේ කථා. ඕක තමයි ඇත්ත.

ඇත්ත කොහොම වෙතත්, කාවටත් අතනොපා, හදිසි අවස්ථාවකදී හදිසි වෙලා එහේ මෙහේ නොදුවා, කොහොම හරි ජාමේ බේරගන්න පොඩි ක්‍රමයක් ගැන අදහසක් දෙන්නයි මං මේ හදන්නේ. මේ ක්‍රමේ ගැන කියන්න ටිකක් කල් ගන්න මට සිද්ධ වුනා. ඒකට හේතුව ක්‍රමේ ඔළුවට වැටුනට, අත්හදා නොබලා ප්‍රකාශ කරන එක සුදුසු නැහැ කියලා හිතුනු නිසා.

මුලින් ම කියන්න ඕනෑ, ‍මේ ක්‍රමය ගැන මුලින්ම අදහස දුන්නේ මගේ මහත්තයා. ඒ 2007 වසරේ පෙබරවාරි මාසේ දවසක. එයාගේ යතුරුපැදිය මිලදී ගත්තේ 2007 පෙබරවාරි 3 වනදා. අලුත් ම අලුත් යතුරුපැදිය නිසා අලුත් සෙල්ලම් බඩුවක් ලැබිච්චි දරුවෙක් වගේ උද්දාමයෙන් හිටපු එයාගේ හිතට තමයි මේ අදහස මුලින් ම ආවේ.

"රන්දි, සාමාන්‍යයෙන් අපි දවසකට කිලෝමීටර් 50ක් විතර බයික් එකේ යනවා එනවා. හැමකිලෝමීටරයට රුපියල ගානේ සාමාන්‍ය ගාණක් විදිහට දවසට රුපියල් 50ක් කැටේකට දැම්මා නං බයික් එකේ සර්විසස් වලට අපිට ගන්න සල්ලි ඉතිරි වෙනවානේ" ඔන්න එයාගේ ඒ අදහස.

මාත් ඉතිං හාඃ කිව්වාට මොකද ඒ කාලේ අපි බැඳලා හිටපු නැති නිසාත්, එයාට ඔය වැඩේ කරගෙන යන්න අමතක වෙන නිසාත් වැඩේ මාසයක් වගේ ඇතුලතදී ඇණ හිටියා. එහෙම කරගෙන ආවා නං, මේ දැන් මං ගණන් හදලා බැලුවා, පහුගිය 3 වෙනිදා වෙද්දි අපේ අතේ රුපියල් 91,250ක් තියෙන්න තිබුනා. හැබැයි අර කිව්වා වගේ සර්විසස් වලට වියදම් නොකලා නං තමයි ඔය ඉතිරිය.

ඉතිං යාළුවෝ බොහොම දෙනෙක් දන්නා පරිද්දෙන්, පසුගිය වසරේ පෙබරවාරි 11 වෙනිදා අපි මටත් ස්කූටරයක් මිලදී ගත්තා. ඉතිං ඔන්න දැන් අර යටගිය වැඩේ මතුකරගන්න නැවතත් අවස්ථාවක් උදා වෙනවා. අපි දෙන්නා නැවතත් පටන් ගත්තා ඉහත කියපු විදිහේ ඉතිරියක් කරන්න.

මාසයක් දෙකක් දිනපතා මුදල් ඉතිරි කරගෙන යනවිට අපට දළ අදහසක් ලැබුනා මාසයකට සාමාන්‍යයෙන් ස්කූටරය ගමන් කරන දුර පිළිබඳව. ඒ සාමාන්‍යයෙන් කිලෝමීටර් 1500ක් පමණ. රුපියල ගණනේ තැබුවොත් රුපියල් 1500ක්.

ඉතිං පස්සේ පස්සේ මං කලේ මාසේ පඩිය ගත්තහම රුපියල් 2000ක් වෙන් කරන එක. ඉතිං කොහොම හරි මේ මාසේ පඩියෙන් රුපියල් 2000ක් වෙන් කලාට පස්සේ මගේ ගාව ස්කූටරයේ මුදල් වශයෙන් රුපියල් 22,000ක් තියෙයි. තාම ලීසින් කාලසීමාව ගෙවෙන නිසා සම්පූර්ණ රක්ෂණාවරණයම ගතයුතු වෙනවා. ඒ සඳහා අවුරුද්දට ම රුපියල් 10,000කට මදක් වැඩි මුදලක් අවශ්‍ය වෙනවා. ඉතිං බලන්න. අපි දෙන්නාට දැන් අමුතුවෙන් මාසේ පඩියෙන් ඒ සඳහා වැය කරන්න වෙන්නේ නැහැ. ස්කූටර් බැංකුවෙන් අපට ලෝන් එකක් ගන්න විතරයි තියෙන්නේ. පොළි රහිත ණයක්.

ඔව්... ලෝන් එකක්. ණයක්. මං එහෙම කියන්නේ හේතුවක් ඇතිව. ඉතිරි කරපු මුදලින් රුපියල් 10,000ක් ගත්තාට පස්සේ ඉතිරි වන්නේ රුපියල් 12,000යි. එතකොට ස්කූටරය ගමන්ගත් මුළු දුරට සමානුපාතික මුදලක් අප සතුව නැති වනවා. ඒ මුදල පියවන්න අවශ්‍යයි නේද? මොකද මං එහෙම කියන්නේ? එහෙම කියන්නේ, නිකමට හරි අපි අතේ ඔය ඉතිරිය නොතිබී අපි කොහෙන් හරි ණයක් ගත්තා කියලා හිතමු. සමහරවිට පොළියකුත් එක්ක ණය ගෙවන්න වෙන්නේ. ඊට නරකද අපේ ම බැංකුවට පොළි රහිත ණය ගෙවලා, මුදල පියවාගන්න එක.

ඉතිං අපි ඒ ණය මුදල පියවා ගන්න මාසෙකට වැඩිපුර වැය කරන්න බලාපොරොත්තු වන්නේ රුපියල් 1,000ක් පමණයි.

2,000 x 24 = 48,000

{(2,000 x 11 = 22,000) - 10,000)} + (3,000 x 12 = 36,000) = 48,000

ඉතිං කොහොම හරි දෙවසර අවසන් වෙද්දි රුපියල් 48,000ක පමණ මුදලක් අප අතේ තියේවි.

දැන් මං කියන්නම්කෝ මේ බැංකුවෙන් තියෙන ප්‍රතිලාභ.

1. අවශ්‍ය ඕනෑම මොහොතකදී භාවිතයට ගැනීම පිණිස සුළු හෝ මුදලක් අත තිබීම.

2. කොච්චර හම්බ කලත් ඉතිරියක් නැහැ කියන වදන ටිකින් ටික අහෝසි වී යෑම.

3. පවුල තුල සාමුහිකව මුදල් ඉතිරිය වෙත ටිකින් ටික හිත යොමු වීම. (මොන වියදම තිබුණත් ‍ගෙදර බැංකුවට රුපියල් 2000 වෙන් කල යුතුයි යන්න කල්පනාවේ නිරතුරු තිබීම)

4. සිට්ටු ක්‍රම, ණය ක්‍රම ආදියට මිනිසුන් ඇදෙන්නේ මුදල් ඉතිරි කිරීමේ පුරුද්දක් නැති කමින්. ඇයි අපට බැරි සීට්ටුවට හරියට ම මාසෙට මුදල් දෙනවා නම්, ගෙදර බැංකුවක් පිහිටුවාගෙන එහි ඒ විදිහට ම මුදල් තැන්පත් කරන්න. ඔව් අපට එහෙම පුළුවන්. සහභාගී වී සිටි අවසන් සීට්ටුවේ අවසන් කොටස ගෙවා අවසන්. සීට්ටු වලට සහභාගී නොවී අපේම ඉතිරියක්, හිතුනු හිතුනු වෙලාවට වියදම් කර නොගෙන රැක ගන්න අපට පුළුවන් බව වැටහී යාමද ගෙදර බැංකුවෙන් අප ලද එක් ප්‍රතිලාභයක්.

5. අවසන් සහ මේ වැඩෙන් අපි බලාපොරොත්තු වුනු ප්‍රධානම කාරණය තමයි කවදා හරි වෙනත් වාහනයක් මිලදී ගැනීමේදී අතැති මුදල් ප්‍රමාණවත් නොවු‍නහොත් ගෙදර බැංකුවෙන් ණයක්.



කොහොම වුනත් ඉතිරි කරන මුදල් රජයේ සම්මත බැංකුවක තැන්පත් කිරීම අනිවාර්යයෙන් කලයුතු වෙනවා. නැත්නම් ඔබේම උපදෙස් පිළිපදින කෙනෙක් ඔබගේ නිවසේ බැංකුව බිඳ මුදල් පැහැරගෙන යා හැකියි.

දැන් ඉතිං කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්, මේ තියෙන අටෝරාසියක් මූල්‍යමය ගැටළු එක්ක ඔය වැඩේට මාසෙකට රුපියල් 2000ක් හෝ ඊට වැඩි මුදලක් වෙන් කරන්නේ කොහොමද කියලා. ඉන්ධන, ලීසින්, තව තව වියදම්........... අපි හිතන්නේ මෙහෙමයි. අපිට අපි දිනපතා යන එන වාහනය වෙනුවෙන් ඒ වගේ මුදලක් ඉතිරි කරන්න බැරි තරම් ආර්ථික අහේනිය නම්, වඩාත් සුදුසු දේ බයික්කේ ගෙදර තියලා පොදු ප්‍රවාහන සේවයක පිහිට පතන එක තමයි. හා හොඳයි මොකද කියන්නේ? එහෙම නෙමෙයිද? ඒක එහෙම නෙමෙයි කියලා ඔහෙලා කිව්වත් ඒක එහෙම ම තමයි.

දැන් මං මේ උඩ කිව්වේ රුපියල් ලක්ෂ දෙකකට වඩා අඩු මුදලකට ගන්න පුළුවන් යතුරුපැදි වගේ වාහන සඳහා වන ගෙදර බැංකුව ගැනයි. අපි හිතමු තව ඉදිරිය ගැන. ඒ කිව්වේ රුපියල් ලක්ෂ දෙකත් පහත් අතර වාහන ගැන. ඕවාට බොහොම දුරට අයිත් වෙන්නේ ත්‍රීරෝද රථ සහ ඉන්ධන වැඩියෙන් දහනය කරලා දාන බෲම්ම්ම්ම්ම්......... හඬින් ඉගිලෙන බයික්ක........... ඒ බයික්ක ගැන වැඩි කථාවක් ඕනෑ නැහැ. අපි ත්‍රී රෝද රථ ගැන කථා කරමු.

මගේ ගණනය කිරීමට අනුව නං ත්‍රී රෝද රථයක් කියන්නේ දවසට ගමන් ගන්නා දුර ප්‍රමාණයෙන් 80%ක් පමණ ම මුදල් උපයන එකක්. ඉතිං එයාලා කැමති නං එයාලාට පුළුවන් එක කිලෝමීටරයකට රුපියල් 2-5ක් අතර මුදලක් ඉතිරි කරන්න. කිලෝමීටරයකට මීටර ටැක්සි එකක අය කිරීම රුපියල් 30-35ක් අතර ප්‍රමාණයක්. ඉතිං ඔය මුදලින් රුපියල් 10ක් ඉන්ධන වලට වෙන් කලත් රුපියල් පහක් ගෙදර බැංකුවට වියදම් කලත් තව රුපියල් 20ක් ඉතිරියිනේ. දන්න දන්න අයට කියලා දෙන්න. නැති බැරි කම් නැති වෙලා යන හැටි බලන්න. ඔය විදිහට එයාලා එක හිතින් එක කිලෝමිටරයට රුපියල් 5 ගණනේ ඉතිරි කලොත්, දිනකට අවමය කිලෝමිටර් 100ක් ධාවනය කලොත්, අවුරුදු පහකදී,

5 x 100 x 365 x 5 = රුපියල් 912,500යි

ත්‍රී රෝද රථය තියෙද්දීම ඔහුට හොඳ මෝටර් රථයක් ලීසින් මගින් හෝ මුල් රථය විකුණා සියලුම මුදල් යොදා අලුත් මෝටර් රථයක් අත්පිට මුදලට හෝ ඔහුට ගන්න පුළුවන් නේද?

ඒ අතරේදීම නොයෙකුත් ආයෝජන වලටත් මේ ගෙදර බැංකුව භාවිතා කරන්න පුළුවන්. කොටස් වෙළඳ පොළට, රත්‍රං උන් හිටි හැටියේ අවමිල වන අවස්ථා වලදී රත්‍රං මිලදී ගැනීමට, ඉඩම් මිලදී ගැනීමට ආදී වශයෙන් වැඩ කොච්චරක්ද?

ඉතිං ලක්ෂ 5ට අඩු වාහන ගැන කථාව ‍ඔහොමයි.

ලක්ෂ 5- 10ත් අතර (ඩිමෝ බට්ටා, අලුතින් ආපු ටාටා කාර් එක ආදිය) කිලෝමිටරයට රුපියල් 10ක් විතර පුළුවන් වෙයි. දිනකට අවමය කිලෝමීටර් 100 වුනොත්, වසර පහකදී, රුපියල් 1,825,000

ලක්ෂ 10-20ත් අතර වාහන, කිලෝමීටරයට රුපියල් 20ක් වුවහොත් වසර පහකදී, රුපියල් 3,650,000

මේ සේරම ගණනය කිරීම් කරන ලද්දේ දිනකට අවම කිලෝමීටර් ගණන 100ක් ‍ලෙස ගනිමින් වසර පහකට. සමහර දිනවල වාහනය ධාවනය නොවනවා මෙන්ම ධාවනය වන දුර ප්‍රමාණ අඩු වැඩි වෙනවා. ඒ කොහොම වුනත් ලොකු ඉතිරියක් නං සිද්ධ වෙනවාමයි.




මතක තබා ගන්න. ඔබට එක කිලෝමීටරයකට රුපියල් 20ක් වෙන් කරන්න බැරි නම්, ඔබ භාවිතා කරන රුපියල් ලක්ෂ 10-20ත් අතර වාහනයට ඔබ සුදුසු අයිතිකරුවෙක් නොවෙයි.

Friday, February 3, 2012

97. ආදර....නිල්.....දෑසේ.......18 - I am going away with only sweet memories to keep me company for the rest of my life.....



'' රවි අයිය කොයි වගේ ද කියල බලාගන්ට මට පුදුම ඕන කමක් තිබ්බෙ....''

චුට්ටි මා දිහා බලල හිනාඋනා...

'' ඒත් ඒක පොඩි අයියට කෙලින්ම කියන්ට බැරුවයි මම හිටියෙ...ඒත් දන්නවද වෙච්ච දේ? දවසක් මම ඇඳේ පොතක් බල බලා ඉඳිද්දි පොඩි අයිය මට ෆොටෝ එකක් ගෙනත් දුන්න....එතකොට එයා ටෙක් එකෙන් අයින් වෙන්න ඔන්න මෙන්න...චුට්ටි දැක්කද අපේ ටෙක් එකේ බැච් එකේ කට්ටිය.....කොල්ලො කෙල්ලො විස්සක් විතර හිටිය ඒකෙ. මට අහන්ටත් බෑ කෙලින්ම රවි අයිය කවුද කියල...මම කවුද මෙතනින් රවි අයිය කියල හිත හිත ඉන්නකොට පොඩි අයිය කාමරෙන් එළියට යන ගමන් ඔතන මට එහා පැත්තෙ බ්රවුන් පාට චෙක් ෂර්ට් එකක් ඇඳල ඉන්නෙ රවී කියල කියාගෙන ගියා. ''

'' හෙහ්, වසන්ත එහෙම කිව්වද? ''

'' ඒකනෙ කියන්නෙ...ඒකයි මට සහතිකයි කියල මම කිව්වෙ පොඩි අයිය මේ ගැන දන්නව...එයා මේ ගැන දන්නවයි කියල මම දන්නව කියලත් එයා දන්නව...''

'' රවි අයිය ඒකෙ ඇඳල හිටියෙ පරණ හමගිය ඩෙනිම් එකක්...හි හික්...''

ඔන්න ඉතිං මේකි එක්ක බැරි ඕකනෙව...මෙච්චර සිරා කතාවක් යනව ....අපි දෙන්නගෙම ඉරණම විසඳෙන බරපතල කතාවක්....මේ කෙල්ල මම හමගිය ඩෙනිමක් ඇඳල හිටිය කෙහෙල්මලක් කියල හිකි හිකි ගානව..අම්මප, මට එන කේන්තියක්.....

'' මේ දැන් මෙතන තියන ප්රශ්නෙ මගෙ ඩෙනිම් එකද?.....ඒකද වැදගත්?.....ඔයා කතාව අද ඉවර කරන්ට කල්පනාවක් එහෙම නැද්ද?....''

මම ටිකක් සැර පෙන්නුවා....කෙල්ලො කොන්ට්රෝල් කොරන්ට බෑ එහෙම නැතුව...ටිකක් සැරට ඉන්ට ඕන....

මොන සැරක්ද?....ඒකි මාව ගනන් ගත්තෙ වත් නෑ...හෙහ්, හෙහ්,

'' ඉතිං දෙයියනේ හමගිය එකට හමගිය නොකිය වෙන මොනව කියන්නද '' කියලා ආයෙම හික් හික් ගෑවා.

' පොඩි අයිය රස්සාවට ගියා උනත් මට අයිය ගැන විස්තර ලියල එව්ව....පහුගිය අවුරුද්දක් වගෙ කාලෙදි අයිය ගැන විස්තර ඔක්කොම මම දැනගෙන හිටිය. ''

'' ඉතිං දෙය්යනේ මම ඔය මොකවත් දැනගෙන හිටියෙ නෑනෙ...''

'' නෑ තමයි...කොහොම දැනගන්නද රවි අයිය?...එක්කො මම කියන්න ඕන නැත්නම් පොඩි අයිය කියන්න ඕන...වෙන විදිහක් නෑනෙ...''

'' මගෙ හිතේ නිදන් වෙලා තියන ආදරේ අන්තිමට මට තනියම දරාගන්ට බැරි තැනට ආව මයෙ අයියෙ.....ඒක අයියට කියන්ට නොලැබුණොත් මගෙ පපුව පැලෙයි කියල මට හිතුන.....ඒ ලෙවල් විභාගෙත් ඉවර උනු එකේ මම කැම්පස් සිලෙක්ට් නොවුනොත් මට අවුරුද්දක් ඇතුලත අජන්ත අයියව බඳින්න වෙනව...මගෙ හිත පුරහට පිරිල තියෙන ආදරේ ගැන රවි අයිය හාංකවිසියක්වත් දන්නෙ නෑ කියල හිතෙනකොට මගෙ පපුව වාවන්නෙ නැතිව ගියා. ඒත් මම හුඟක් දුරට කල්පනා කලා මේක අයියට කියනවද නැත්නම් මගෙ හිතේම හිර කරගෙන ඉන්නවද කියල..මේක කිව්වොත් අයියගෙ හිතටත් මහ වේදනාවක් වෙනවයි කියල මම නොදන්නව නෙවෙයි අයියෙ...ඒත් ඒත්.....''

චුට්ටිගෙ ඇස් ....ආයෙම කඳුලු පිරීගෙන එනව....ඒ දිහා බලන්ට බෑ මට...මම ඔලුව අත්දෙකේ ගහගෙන බිම බලා ගත්ත.

'' ඒත් මට ඊට වඩා හිතට වදයක් වෙයි කියල හිතුන අයියට මගෙ ආදරේ නොකියම මට බඳින්ට උනොත්...මම දන්නෙ නෑ අයිය ඒ ගැන කොහොම හිතනවද කියල...සමහරවිට මම කල දේ සම්පූර්ණ වැරදියි කියල හිතනව ඇති..කිසිම තේරුමක් අරමුණක් නැතුව අයියගෙ හිතට නිරපරාදෙ මහ බරක් පැටෙව්ව කියල අයිය හිතනවත් ඇති...අනේ මයෙ අයියෙ එහෙම හිතෙනව නම් මට සමා වෙන්ට....'

'චුට්ටි ඔන්න වැස්සක් කඩා වැටෙන්නැහෙ ඉකි ගගහ අඩන්ට තියා ගත්ත.

මගෙ ඇස් වලටත් කඳුලු ඉනුවෙ ඉබේම....චුට්ටිව වැළඳගෙන අඬන්න එපා මගෙ රත්තරං කියන්න චුට්ටිගෙ ඔලුව හෙමිහිට අත ගාල නලල ඉඹින්ට කොච්චර ඕන කම තිබ්බත් එහෙම කරන්ට ගියොත් මටත් ඇඬෙන බව මම ඉත්තේරුවෙන්ම දැනගෙන හිටිය. ඒ නිසා චුට්ටි ඉකි ගහන දිහාවෙ ඇහේ කඳුලු පුරෝගෙන විපිළිසරව බලා ඉන්න එක විතරයි මට කරන්ට පුළුවන් උනේ...

'' චුට්ටි කරන්ට වෙන කිසිම දෙයක් ඇත්තෙම නැද්ද නංගියේ?

මම අන්තිමට ඇහුව.

'' අපි දෙන්න බඳිමු තනි කැමැත්තට....මොකද කියන්නෙ?..මට අපේ කෑම්ප් එකේ ක්වාටස් එකක් ගන්න පුලුවන් වෙයි....''

කෑම්ප් එකේ මැරීඩ් ක්වාටර්ස් හැදෙනකොට තව අවුරුද්දක් වත් යයි... ඒක මම චුට්ටිට කිව්වෙ නෑ...මම හිතුවෙ එතකල් කදුරුවෙල මගෙ හොඳ යාලුවෙක් ඉන්නව...චුට්ටි එහෙවත් නවත්තල මට දවස් දෙක තුනකට සැරයක් එන්න පුලුවන්නෙ කියල. අපේ ගෙදර එක්ක යන එක ගැන නම් කතා කරල වැඩක් නෑ. ඒ දවස් වල ගෙදර හදනව. අනික ඒ මදිවට කට්ටියත් වැඩියි එහෙ. ඔක්කෝටමත් වැඩිය අපෙ අම්ම කොහොමටවත් මම හදිස්සියෙ බඳිනවට කැමති වෙන්නෙ නැති විත්තිය මම හොඳාකාරවම දැනගෙන හිටියා.

'' බැහැ මගෙ රත්තරන් අයියෙ....ඒක කරන්ට නම් බෑ...අයිය දන්නෙ නෑ අපෙ අම්මගෙ හැටි..මම හිතුමතේට අයියව බැන්ඳොත් අම්ම පණ නහ ගන්ටත් බැරි නෑ, එහෙම දෙයක් උනොත් මගෙ මුලු ජීවිත කාලෙටම මට ඒක අමතක කරන්ට බැරිවෙයි. මම දවසක් දවසක් පාසා මැරි මැරි ඉපදෙයි...ඒ නිසා මට ඒක කරන්ට බෑ. ''

මම ආයෙම ඔළු ගෙඩිය අත්දෙකේ ගහගෙන බිම බලාගෙන කල්පනා කරන්ට ගත්ත. මොනව කියල කරන්ටද එහෙනම්... අපි දෙන්න හිතුවක්කරෙට බැඳල චුට්ටි කියන විදිහෙ දෙයක් උනොත් එහෙම අප්පච්චියේ.....ඒක අපි දෙන්න අතරෙ හැමදාටම...සදහටම මහ කළු ගල් පර්වතයක් වගෙ තියේවි.....අපි දෙන්න අතරෙ මහා බාධකයක් වෙයි....ඒ නිසා..කමක් නෑ මේක මගේ ඉරණම නම් මම ඒකට මුහුණ දෙන්නත් එපාය....මම දිග සුසුමක් හෙලුව පපුවෙ පිරිල තිබ්බ ඔක්කොම පිටවෙලා යන්ටත් එක්කලා.

එක පාරටම චුට්ටි අඬාගෙන ඇවිල්ල මගෙ කකුල් දෙක ලඟ වැටිල මට වැන්ද.....

'' පිස්සුද නංගි..මේ මොනවද කරන්නෙ?....නැඟිටින්න නැඟිටින්න... ''

කොහේ නැඟිටිනවද.....චුට්ටි අඬනව මගෙ කකුල් බදාගෙන...මට නැඟිට ගන්ටත් නෑ...ඒ අස්සෙ මටත් ඇඬෙන්ට එනව...එනව නෙවෙයි ඇත්තම කිව්වොත් මම ඇඬුවා.

ඔය වෙද්දි මම ජීවිතේ කිසිම අවස්ථාවක අඬල තිබුනෙ නෑ. ඒ කියන්නෙ එහෙම අඬන්ඩ වෙන තරම් සංවේගජනක අවස්තාවකට මම එතෙක් මුහුණ දීල තිබුණෙම නෑ...වැඩිහිටියෙක් උනාට පස්සෙ පළවෙනි වතාවට මම එදා ඒ වෙලාවෙ ඇඬුවා.

මම අඬනව ඇහිල චුට්ටි ඔළුව උස්සල බැලුව....

'' අනේ අයියෙ ඔයා අඬනවද?....''

චුට්ටි නැඟිටල මාව වැලඳ ගත්ත.මගෙ උරහිස උඩ ඔළුව තියාගෙන මගෙ කණට කෙඳුරුවා.

'' අඬන්ඩ එපා මයෙ අයියෙ අඬන්ට එපා......අයිය අඬනව මට බලාන ඉන්ට නම් බෑ. ''

අප දෙදෙන එකිනෙකා වැලඳ කඳුලු සැලූයෙමු. කාලය මොහොතකට නතර විය. ගතවූයේ නිමේශයක්ද කල්පයක්ද යන්නෙහි කිසිදු වැදගත් කමක් නොවූ එක් කාලාන්තරයකට පසු මම ඇගේ හිසකෙස් අතරෙහි හොවාගෙන සිටි හිස එසවීමි. මහේ පපුතුරෙහි මුහුණ සඟවා ඉකිබිඳිමින් සිටි ඇයද හිස ඔසවා මා දෙනෙත් දෙස එක එල්ලේ බැලුවාය.

'' චුට්ටි. මේක අහන්න....අපේ ඉරණම ඒක නම් අපි ඒ ඉරණමට මුහුණ දෙමු. වෙන කරන්න දෙයක් නෑ. ඔයා ගැන සොඳුරු මතකය මගෙ පපුවෙ හැමදාම තියේවි.මම දන්නව ඔයාටත් එහෙමමයි කියල. ඒ නිසා දැන් ඇඬුවා ඇති. මම ආයෙ අඬන්නෙ නෑ..ආයෙ කිසිම දවසක ඔයා මා වෙනුවෙන් අඬන්නත් එපා.සමහරවිට අපි ආයෙම මුණ ගැහෙන්නෙ නැතිවෙන්නත් පුළුවනි බොහෝ විට, ඒ නිසා ඔයාව මට මතක තියාගන්න ඕන කඳුලු සලමින් ඉන්නව නෙවෙයි. මා දිහා බලල මගෙ ඇස් දෙක දිහා බලල ආදරෙන් හිනා වෙන්න චුට්ටි තව එකම එක පාරක්....''

කඳුලු පිටි අල්ලෙන් පිහදාගෙන චුට්ටි හිනාඋනා....නිල් ඇස්...ආයෙම බැබලුනා තරු කැට දෙකක් වගේ.....මම චුට්ටිගෙ ඇස් දෙක දිහාවෙ බලාන් ඉඳල නලල හෙමීට සිපගත්ත. ඊට පස්සෙ චුට්ටිව මගෙ පපුවට ආයෙම තුරුළු කර ගත්ත.

චුට්ටි මගෙ පපුවට තුරුළුවෙලා ඒ විදිහට හිටිය අවුරුදු ගානක්ම.

තවම උනත් මගෙ පපුවෙ කොණක චුට්ටි ඉන්නව ඒ විදිහටම.....

කාලය ....කාලය තමයි ඕනම සිත් වේදනාවකට.....සිත් තැවුලකට නොවරදින ඔසුව.....නොවරදින දිව ඔසුව..........ඒත් කාලයටත් කරන්ට නොහැකි එකම දෙයක් තියනව. ඒ සොඳුරු මතකයන්....එහෙම නැත්නම් කාලෙකදි හද පුරා උතුරා ගලා ගිය සෙනෙහසක් සම්පූර්ණයෙන්ම මකල දාන එක. එහෙම වෙන්නෙ නෑ.....මතකයන් සදාකාලිකයි...

Time is the best healer...But even time cannot make memories go away..they may fade with time but they would always be there, somewhere inside you, A tiny tiny spark ever ready to burst in to flames.........

...I'm fifty-seven years old, but even now I can remember everything from that year, down to the smallest details. I relive that year often in my mind, bringing it back to life, and I realize that when I do, I always feel a strange combination of sadness and joy. There are moments when I wish I could roll back the clock and take all the sadness away, but I have the feeling that if I did, the joy would be gone as well. So I take the memories as they come, accepting them all, letting them guide me whenever I can. This happens more often than I let on..."



මම ගොඩක් පස්සෙ කාලෙක කියවපු Nicholas Sparkesගෙ A walk To Remember පොතේ කොටසක් ඔය........ඕක කියවද්දි මට ආවෙ déjà vu feeling එකක්. ඒ කියන්නෙ කලින් ඇසුවේ හෝ දුටුවේයයි කියල හිතට එන හැඟීමක්.

පසු කථාව -

'' මේ මොකද අනේ මේ?.....නිදි ද හැබෑටම? ''

මම දෑස් විවර කලේ බිරිඳගේ හඬිනි....

'' මේ පොතත් බිම වැටිල.... ''

පහත් වී පුටුව අසල බිම වැටී තිබූ රන් රෝස පොත අහුලාගත් ඈ එය ඒ අසල වූ කනප්පුව මත තැබුවාය.

'' නෑ..නිදා ගත්තෙ නම් නෑ මේ...මම....බාස්ල පල්ලෙහා වැඩනෙ...මම පොඩ්ඩක් මෙතන ඉඳල පොත බලන ගමන් ඒ ගොල්ල වැඩ කරන දිහාත් බලා හිටිය. ''

'' හිහ්, හිහ්, අපූරු සුපවයිසර්...ඒ ගොල්ල වැඩ නවත්තල කන්ට ගිහිල්ල මම හිතන්නෙ දැන් පැයකටත් වැඩියි...... ''

ඈ අත් ඔරලෝසුව බැලුවාය..

'' දෙකයි දහයයි... ''

අසුනින් නැඟී සිටි මම සඳළු තලයේ ගරාදියට ඉහළින් පහල කළුගල් බැම්ම ඉඳිකරන දෙස බැලීමි.

'' ඈ.... මුංව තියන්ට වටින්නෙ නෑ නෙව, බලන්ට නිකමටවත් මට කියල ගියේ නෑනෙ මේ යක්කු, ''

'' නිදාගෙන උන්නම ආයෙ ඇහැරවල කියන්නෙ නෑ ඒ මිනිස්සු...හා ඒකෙං වැඩක් නැ. මටත් හොඳටම බඩගිනියි...යමු, යමු කමු.....''

පියගැට පෙල බසිමින් ඈ පැවසුවාය. මම ද ඈ පසුපස පිය නැඟුවෙමි.

'' මොකද අද කවදාවත් නැතුව...ඔයාගෙ මූණත් අමුතුයි...නින්ද ගියෙත් නැත්නම් මොකෝ පරණ කෙල්ලෙක් වත් මතක් උනාද? ''

'' අම්මප, හරියටම හරිනෙ....කොහොමද කිව්වෙ බොලේ හරියටම ?..... ''

පියගැට පෙල අවසානයට අප පැමිණ සිටියෙමු. මම ඈ පසුපසින් ගොස් වැළඳගෙන ඇගේ ගෙල සිප ගතිමි.

'' ඔන්න ඔන්න කෝලම පටන් ගත්ත.... ''

ඇගේ දෑසෙහි වූයේ දඟකාර බැල්මකි.

'' මේ ....මෙහාට හැරෙන්නකො පොඩ්ඩක්, ''

'' ඒ මොකටද? ''

'' ඔයාගෙ ඇස් මොන පාටද බලන්න..... ''

'' ඈ. දැන් අවුරුදු දාසයක් තිස්සෙ ඒක දන්නෙ නැද්ද? ''

'' හරි හරි, මම අහල තියෙන්නෙ කාලෙන් කාලෙට ඇස් වල පාට වෙනස් වෙනව කියල. ''

ඈ මා දෙසට හැරී එක එල්ලේ මගේ දෑස් දෙස බලා සිටියාය....නිමේශයක්.... කල්පයක්....කාලය නැවතුනු මොහොතක්...විශ්වයම නැවතුනු මොහොතක්....

'' ඉතිං දැක්කද?.....මගේ ඇස් මොන පාටද?... ''

අවසන ඈ ඇසූයේ ඇසෙන් නෑසෙන හඬිනි,

'' දුඹුරු පාටයි ඔයාගෙ ඇස්....ඒත් සමහර වෙලාවට නිල් පාටකුත් මතු වෙනව මම දැක්ක.... ''

මම ඇගේ නලල සෙනෙහසින් සිපගනිමින් පැවසූයෙමි.

************************************************

ප්රිය සොයුර / සොයුරිය....

පුරා මසකට අධික කාලයක් පුරා චුට්ටි සහ රවීගේ ප්රේම පුරාණය සමඟ රැඳී සිටි ඔබට චුට්ටි වෙනුවෙන් ඇගේ හෘදයාංගම ප්රණාමය පුද කරන ලෙස ඈ මට දන්වා සිටියාය. ඒ සමඟම ඉවසිලිවන්තව මසක කාලයක් මා හා රැඳී සිටි ඔබ සැමට මගේ සෙනෙහබර කෘතවේදිත්වය.....

මාගේ දයාබර මව සමඟ පසුගිය සතියේ කල දුරකථන සංවාදයක් මෙහි සටහන් කිරීමට සිත් වූයේ කුමන හේතුවක් නිසා ද යනු මම සත්ය වශයෙන්ම නොදන්නෙමි. මගේ ප්රේම පුරාණය සහ ඒ දුරකථන සංවාදය අතර සම්බන්ධයක් ඔබට සිතාගත හැකිනම් මගේ හිතවත/හිතවතිය ඒ මවෙත දන්වන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

'' අම්මේ,.... ඉතිං කොහොමද? ..... ''

'' වරදක් නෑ පුතා හොඳින් ඉන්නව.....''

'' අම්ම... මොකෝ නිකං හෙම්බිරිස්සාව වගේ....''

'' නෑ මේ මාසෙක විතර ඉඳල උදේට උදේට කිඹුහුම් යනව පුතා හරියට...''

'' ම්ම්ම්....එකොලහමාරට විතර නේද ඔය කිඹුහුම් යන එක පටන් ගන්නෙ? ''

'' අනේ පුතේ .....කොහොමද දන්නෙ ? හරියටම හරි...ඒ වෙලාවට තමයි ඔන්න පටන් ගන්නෙ.... ඇත්තටම පුතා කොහොමද දන්නෙ? ''

'' නෑ මට නිකමට හිතුනා...බය වෙන්ට එපා අම්මෙ...මේ සුමානෙන් පස්සෙ ඔය කිඹුහුම් යන එක නිට්ටාවටම සනීප වෙයි...ඒකෙ ආයෙ දෙකක් එහෙම නෑ...හෙහ්, හෙහ්, ''

************************************

විශේෂ ස්තූතිය - මා දයාබර නැඟනිය සිත්තමීට,

For your constructive suggestions and being an inspiration.....Thanks my dear .....you are simply the best.....

Thursday, February 2, 2012

96. ආදර....නිල්.....දෑසේ.......17 - The love story.... Chutti's perspective.



'' ම්ම්..පොඩි අයිය පළවෙනි නිවාඩුවට ගෙදර ආපු තැන නේද? ''

'' ආහ්..ඔව්නෙ.....ඔන්න ඉතිං පොඩි අයිය පළවෙනි නිවාඩුවට ගෙදර ආවයි කියමුකෝ...''

'' හූම්....''

'' මම පොඩි අයිය ගෙදර එනකල් මඟ බලාන හිටියෙ.....මගෙ ඉතිං අතිජාත මිත්රයනෙ....හිහික්, හික්....''

චුට්ටිගෙ හිනාව සාලෙ ඇතුලෙ රැව් දුන්නා...

චුට්ටි එතකොටත් හිටියෙ මගෙ පපුවට තුරුල් වෙලා....ඒකිට ඒකෙ සිහියක් නෑ....සනීපෙට ඉන්නව බළල් පැටියෙක් වාගෙ......හෙහ්, හෙහ්,

දැන් අර උද්වේගකර අවස්තාව ඉවරයිනෙ.....මට තේරුනා මෙහෙම වැඩි වෙලාවක් නම් මට ඉන්න බෑ කියල...එක්කො ****** නැත්නම් ඒත් *******වෙනව වෙනවමයි.....හෙහ්, හෙහ්,

'' කොයි දැන් හූ මිටි...රවි අයියෙ? ''

'' උඹ මේ හූ මිටි ගැන කතා කොරනව....ඔහොම්මම දිගටම හිටියොත් නං ගොයියො හූ මිටි කොහොම වෙතත්........ අද මේ කතාව නම් ඉවරයක් කරන්ට වෙන්නෙ නෑ......එච්චරයි ඕං මම දන්නෙ.... හෙහ් හෙහ්,...''

'' ඈ.....අනේ සොරි.....''

ඔන්න එතකොට තමයි කෙල්ලට මතක් උනේ තාම ඉන්නෙ මගෙ පපුවට තුරුල් වෙලා කියල........

'' අනේ සොරි අයියෙ මට මතකම නැති උනා.....''

'' No, problem, madam, you are welcome, you are perfectly free to do it any time ...but sorry ...not now...... heh, heh, ''

චුට්ටි විගහට මගෙන් ඈත්වෙලා කොණ්ඩෙ එහෙම අතින්ම හදා ගත්ත. මූණ නෙව බලන්ට වැඩේ....අවුරුදු කාලෙ අපෙ දොරකඩ ගහේ පලගන්න ජම්බු ගෙඩියක් වගෙ...හෙහ්, හෙහ්,

'' මොකෝ චුට්ටි ඔය රතු වෙලා?.....''

මටත් අම්මප කට තියාගෙන ඉන්ට බැරි හැටියක්....

'' කවුද.... මම? නෑ..... මම මොකටද රතු වෙන්නෙ....ඒ අයියට පේන හැටි....''

ඒ ටික කිව්වෙ නම් අහක බලාගෙන.

'' දැන් මේ රටේ නැති සම්ප්රප්පලාප කතා කර කර ඉඳල හරි යනවය...වසන්තය එනවත් ඇති ආපහු මෙලහකට.... හරි, හරි, රතු වෙච්චි එව්ව පස්සෙ බේර ගමු...හ්ම්ම්.....කතාව කතාව.....වහාම...''

මම නියෝග කලා...

'' එසේය ස්වාමීනී, ඔබ තුමා අවසර ලබා දෙන සේක් නම් වහා කථාව නැවත ආරම්භ කරමි.....''

චුට්ටි නැඟිටල දකුණු අත පපුවට තියාගෙන ඉණෙන් නැවුන ඉස්සරහට..

මයෙ පපුව පැලෙන්ට වගෙ ආව ආදරේ පිරිල ඉතිරිල ගිහිල්ල....මම දන්නෙ නෑ තව කොච්චර වෙලා මට ඉවසං ඉන්ට පුලුවන් වෙයිද කියල.

'' මේ ළමයා....දැං...මදෑ ඔය විසිවිත්තර ....හ්ම්ම්...කතාව කතාව ...කියමු බලන්ට විගහට....මගෙ කටහඬත් නිකම් මහ රළුවට මට ඇහුනෙ......හොඳ හුස්මක් ඉහළට ඇදල මම හෙමිහිට පාතට දාල හිත පාලනය කර ගත්ත.

චුට්ටිටත් මගෙ වෙනස තේරෙන්න ඇති..... ඒ පාර කෝලං කිරිල්ල පැත්තක තියල පුටුවෙ ඉඳගෙන හරි බරි ගැහුන.

'' පොඩි අයිය එදා ආපු ගමන් මම ගියා කාමරේට. මම ගිය ගමන් පොඩි අයිය මාව බදාගෙන ඉම්බ. ඊට පස්සෙ ඇඳේ වාඩිවෙලා මටත් කිව්ව වාඩි වෙන්නෙයි කියල. ඔන්න ඊට පස්සෙ මෙන්න මෙහෙමයි උනේ....හරිද? ''

'' හූම්...කොහොමද උනේ? ''

'' පොඩි අයිය මගෙ කණට කරල කිව්ව ...... චුට්ටියේ, ඊයෙ අපෙ යාළුවො කට්ටිය පොඩි ආතල් එකක් දැම්ම තිසා වැව බන්ඩ් එකේ....දන්නැද්ද ඉතිං කොල්ලො උනාම....එතන මගෙ හොඳම යාලුවො දෙන්නගෙන් එකෙක්....මිනිහට නියමෙට සිංදු කියන්ට පුලුවන්....ආදර නිල් දෑසේ....නාරදගෙ සිංදුව කිව්වනෙ ඒ වෙලාවෙ.....ඕක ඉවර වෙලා ඔය නිල් පාට ඇස් ගැන ඔන්න පොඩි වාදයක් ගියා. මම නිකමට කිව්ව අඩේ, අපේ චුට්ටිගෙ ඇස් නම් නිල් පාටයි කියල....හෙහ්, හෙහ්, ''

'' පොඩි අයිය එහෙම කිව්වද?....මම ඇහුව.... ඒ වෙලාවෙත් මගෙ මූණ රතු උනා.....රවි අයියෙ...හි හික් ''

'' ඔව් අනේ,.... මම ඒ නිකමට කිව්වෙ...ඊට පස්සෙ අර මම කියපු යාලුව අන්තිමට මගෙං අහපි ....වසන්ත මොකක්ද බං එයාගෙ නම?....කියල...මට ඇත්තටම මතකයක් තිබ්බෙ නෑ මේකා මේ කවුරු ගැනද අහන්නෙ කියල..මම ඇහුව කාගෙද බං? කියල....ඒ පාර කියාපි උඹලගෙ චුට්ටි නංගිගෙ කියල...''

'' ඉතිං අයිය මොකද කිව්වෙ....මම ඇහුව....මගෙ පපුවෙ මොකක්දෝ නුපුරුදු හැඟීමක් ඇතිවීගන යනව ඒ හැඟීම පපුවන් පටන්ගෙන මුළු ඇඟ පුරාම දුවනව මට ඒ වෙලාවෙ දැනුන රවි අයියෙ. ''

'' ඒකට තමයි චුට්ටි කියන්නෙ.......''

මම එතනින් කතාව නවත්තල චුට්ටිගෙ මූණ බැලුවා.

'' ඔව් මම දන්නව අයියෙ ඒකට තමයි කියන්නෙ ආ...ද....රේ කියල....මම ඒ වෙලාවෙ ඒක දැනගෙන හිටියෙ නෑ...මම ඒ වෙලාවෙ දැනගෙන හිටියෙ එක දෙයයි..මොකක් උනත් ඒ නාඳුනන හැඟීමට මම ආසයි.... අන්න ඒ ටික විතරයි...එච්චරමයි....''

'' ඉතිං චුට්ටි?....''

මම ඇහුවෙ කතාවෙ ඉතිරිය දැනගන්ට නොඉවසිල්ලෙන්,

'' පොඩි අයිය කිව්ව.... ඉතිං මම කිව්ව චුට්ටිගෙ නම ගීතිකා කියල......''

'' ඊට පස්සෙ මොකද උනේ?.......මම ඇහුවෙ පොඩි අයිය ඇඳෙන් නැඟිටල ෂර්ට් එක ගලවන අතරෙ..''

'' ඊට පස්සෙ මොකවත් උනේ නෑ...එච්චර තමයි..අපි එන්ට ආව ආපහු...මම එන්නම් වොෂ් එකක් දාගෙන චුට්ටි මට හොඳ කෙල්ල වගේ තේ එකක් හදන්න හරි? ''

‘’ පොඩි අයිය තුවායත් අරගෙන කාමරෙන් පිට වෙන්න ගියා, ‘’

'' පොඩි අයියෙ..... මම කතාකලේ බොහොම හෙමිහිට කියල මට අද වාගෙ මතකයි රවි අයියෙ, ''

'' ඇයි චුට්ටි.. පොඩි අයිය දොර ගාව නැවතිල ආපහු හැරුන. ''

'' එයාගෙ නම මොකක්ද පොඩි අයියෙ? ...මට පොඩි අයියගෙ මූණ බලන්ට බෑ. මම කතාකලේ බිම බලාගෙන...''

'' කාගෙද?....පොඩි අයිය හිනාවෙලා ඇහුව.....''

'' අර සිංදුව කියපු අයියගෙ... ''

'' ආ එයාද...... එයාගෙ නම.....එහෙම කියල ටික වෙලාවක් මගෙ මූණ දිහා බලා ඉඳල .....එයාගෙ නම රවී.... කියල කාමරෙන් පිටවෙලා ගියා. ''

'' රවී......ආදර නිල් දෑසේ සිංදුව කියපු ඒ ගායකයට දැන් ඔන්න නමක් තියනව..මම එහෙම්මම ඇඳ විට්ටමට හේත්තු වෙලා ඉඳගෙන කල්පනා කලා...මගෙ හිතේ මේ පොදි කන උතුරන හැඟීම මොකක්ද?......මීට කලින් කවදාවත් මම අත් නොවිඳපු මේ හැඟීම ද ආදරේ කියන්නෙ....එහෙම වෙන්න පුලුවන්ද?.....කිසිම දවසක හීනෙන් වත් නොදැකපු කෙනෙක් එක්කලා එහෙම ආදරෙන් බැඳෙන්න පුලුවන්ද? ''

'' ඒ ප්රශ්න එකකටවත් මම උත්තර දැනගෙන හිටියෙ නෑ රවි අයියෙ...මම දැනගෙන හිටියෙ ආදරේ හරි මොකක් හරි මේ මගෙ හිත පිරිලා පිටාර ගලන හැඟීම මම මීට කලින් අත්විඳල නෑ කවදාවත්ම..ඒ වගේම ඒ හැඟීමට මම ආසයි...එච්චරයි ''

'' හ්ම්ම්ම්...''

මම දිගම දිග සුසුමක් හෙලල පුටුවෙන් නැඟිට්ට....

'' එදා ඒ මොහොතෙ ඉඳල රවි අයිය මගෙ හිතේ පදිංචි උනා ආයෙ නොයන්නම....මට ලොකු ආසාවක් තිබුන අයියගෙ මූණ බලාගන්ට.. ඒත් මට කෙලින්ම ඒක පොඩි අයියට කියන්ටත් බෑ. වෙන ප්රශ්නයක් නෙවෙයි. මට ඕනම දෙයක් පොඩි අයිය එක්ක කිව්වැහැකි. ඒත් මේ ගැන කියල ..මගෙ හිතේ රවි අයිය ගැන මෙහෙම අදහසක් තියනව කියල කිව්වනම් පොඩි අයිය මා වෙනුවෙන් ඕනම දෙයක් කරන බව මම දැනගෙන හිටිය. ඒ නිසාමයි මට මේ ගැන එයාට කියන්න බැරිත්.....''

මගෙ උගුර කටත් වේලිල මේ වෙලාවෙ....මේසෙ ළඟට ගිහිල්ල මම ගුරුලේත්තුවෙන් වතුර එකක් වත් කරගත්ත වීදුරුවකට...සීතල වතුර....මම එක හුස්මට බීගෙන ගියා.

'' අයියට තිබහද?...තේ ටිකක් හදන්නෙයි?....''

'' එපා චුට්ටි...දැන් ඕන නෑ.....වතුර බිව්වනෙ ඒ ඇති.''

මම වතුර එකක් චුට්ටිටත් ගෙනත් දුන්න.

'' තෑන්ක්ස් අයියෙ...මමත් තිබහෙ හිටියෙ......''

චුට්ටි වතුර එක බොන අතරෙ මම අත් දෙකේ ඔළුව ගහගෙන කල්පනා කලේ මොකක්ද මම මේකට දැන් කරන්නෙ කියල.

හරි, චුට්ටිට කතාව ඉවර කරන්ට දෙමුකො ඉස්සෙල්ලම..ඊට පස්සෙ එයා එක්කම කතාකරමු මොකද්ද කරන්නෙ කියල.....මම එහෙම තීරණය කරල ඔලුව ඉස්සුවා.

වතුර බීල ඉවරයි...එයා මා දිහා බලා ඉන්න බැල්ම දැක්කම මගෙ පපුව ආයෙම ගිනිදැල් වලින් වෙලිල ගියා.

'' පොඩි අයිය මේ හැම දෙයක්ම දැනගෙනයි ඉන්නෙ කියලත් මම දැනගෙන හිටිය. ඒත් එයා බලාගෙන හිටියෙ මම මේ ගැන එයාට කෙලින්ම කියයි කියල.එයාගෙ හැටි එහෙම තමයි.කවදාවත් කිසිදෙයක් අහන්නෙ නෑ. මටම .....මටම කිව්වොත් වැරදියි ඇත්තටම..මටයි ඔයාටයි තීරණයක් ගන්න එයා ඉඩ දීලයි තියෙන්නෙ. ඔන්න බලන්නකො මම කියන්නෙ බොරුද කියල...ඔයා නොකිව්වොත් කිසිම දවසක එයා ඔයාගෙන් මේ ගැන කිසිම දෙයක් අහන්නෙ නම් නෑ...එහෙම තමයි එයාගෙ හැටි.....''

Wednesday, February 1, 2012

95. ආදර....නිල්.....දෑසේ.......16 - When She said ‘’ Ravi I love You ‘’ for the first time



'' ඒකනෙ..... පොඩි අයිය කියන්නෙ ඉඳ හිටලවත් අරක්කු ටිකක් බොන්නෙ නැති අය කිසිම විස්වාසයක් තියන්ට බැරි උදවිය කියල.....රවි අයිය මොකද ඒ ගැන හිතන්නෙ?''

'' මට නම් බොලේ ඒ කතාවට එකඟ වෙන්න බෑ...බොනවද නොබොනවද කියන එකෙන් මිනිහෙකුගෙ හොඳ නරක තීරණය කරන්න අමාරුයි.......දැන් මම බොනව...මම හොඳ ද නරකද කියල තීරණය කරන්න ඕන ඒ කාරණය උඩ නෙවෙයි.....පුද්ගලයෙක් විදිහට මම හොඳ ද නරකද කියන එකයි වැදගත් බිව්ව හරි නැතා හරි....''

'' හරි, හරි..... අපි මේ වෙන අනම්මනම් නෙ චුට්ටි කතා කරන්නෙ.....අදාල කාරණයට එමු....හ්ම්, ''

මම සාලෙන් කුස්සියට යන දොරට වම් පැත්තෙ ගහල තිබ්බ බිත්ති ඔරලෝසුව බැලුව... දහයයි විස්සයි....

'' ඇයි අයිය වෙලාව බැලුවෙ බඩගිනිද?.....එහෙනම් කමු, ''

'' ආය කෑමක් කතා ගැන කතා කරනව.....මේ චුට්ටියේ....ඔය කතාව ඉවර කරල හිටිං ඉස්සෙල්ල, ''

ආයෙම චුට්ටි උකුලෙ තිබ්බ කොට්ටෙ මිරිකන්ට පටන් ගත්ත.

'' පොඩි අයියයි අම්මයි දවසක් හොඳටම රණ්ඩු උනා. අම්ම හොඳටම අඬල රෑට බතුත් නොකා නිදාගත්ත. එදා රෑ මමයි පොඩි අයියයි මේ අපි දෙන්න කතාකරනව වගෙ ගොඩාක් වෙලා කතාකලා අයියෙ. පොඩි අයිය මට පුදුම විදිහට ආදරෙයි කියල මම කලිනුත් රවි අයියට කිව්වනෙ. එදා එයා කතා කලේ හරිම කලකිරීමකින්. චුට්ටි අම්ම කලා උනත් අසාධාරණේ අසාධාරණේ මයි....ඔයා දන්නවනෙ මගෙ හැටි, මම ඔයාගෙ අකමැත්තෙන් කිසිදෙයක් කරන්ට ඉඩ දෙන්නෙ නෑ.මට කියන්න ඔයා කා එක්ක හරි සම්බන්ධයක් තියනවද? ''

'' ඉතිං චුට්ටි ඔයාගෙ ඇත්තටම එහෙම එකක් තිබුණද? ''

'' නෑ. අයියෙ, එහෙම මොකවත් තිබුණෙ නෑ. අම්මයි පොඩි අයියයි මා නිසා අමනාප වෙන එක මට දරාගන්ට බැරි නිසාම මම කිව්ව නෑ පොඩි අයියෙ ඔයා ඔය ගැන කරදර වෙන්න එපා.මම අජන්ත අයියට කැමතියි කියල.''

'' ඒත් පොඩි අයියට බොරු කරන්න බෑ...එයා මාදිහා ටික වෙලාවක් ඇහිපිය නොහෙලා බලා ඉඳල කිව්ව...චුට්ටි ඔයා ඔය කියන්නෙ බොරු කියල මම දන්නව. ඒත් කමක් නෑ, ඔයා කියනව නම් මම ඒ කතාව පිළිගන්නම්, ඒත් කවදක හරි කා ගැන හරි ඔයාගෙ හිත ගියොත් මට කියන්න.....අම්ම මාව ගෙදරින් එලෙව්වත් මම ඔයාට උදව් කරනව.....කියන්න. එහෙම එකක් ඇතිඋනොත් මට කියනව නේද? ''

'' ඒ වෙනකොට කිසිම පිරිමි ළමයෙක් ගැන මගෙ හිතේ එහෙම හැඟීමක් ඇතිවෙලා තිබුනෙම නැති නිසා මම එක පාරටම පොඩි අයියට පොරොන්දු උනා. හරි අයියෙ එහෙම දෙයක් සිද්ද උනොත් මම අයියට අනිවාර්යයෙන් කියනව. ප්රොමිස් ....''

ඊට මාසෙකට විතර පස්සෙ පොඩි අයිය අනුරාදපුරේ ටෙක් එකට ගියා.

'' ඊට පස්සෙ වෙච්ච දේ මම නොකිව්වට රවි අයිය දන්නවනෙ....''

චුට්ටිගෙ මට ඉවසන්ට බැරි හිනාව ආයෙමත්......

'' මම දන්නෙ කොහොමද?...මට දිවියඥාණෙ තියනවයි කියල හිතුවය?.....ඔය කිව්ව වගෙ ඔය කටින්ම කියමු බලන්න ඒ ටිකත්.....මම ඉන්නම් අහගෙන, ''

මෙච්චර වෙලා චුට්ටිගෙ මූණෙ තිබ්බ වැහි වළාකුළු කොහෙට්ටද පාවෙලා ගිහිල්ල.දඟකාර හිනාවක් දෙතොලෙ නටනව...

කොට්ටෙ මිරිකිල්ල නවත්තල ඒ පාර මයෙ ඇස් දෙකට එබිලයි එයයි කතා කලේ.

'' ඔන්න පලවෙනි නිවාඩුවට පොඩි අයිය ගෙදර ආවයි කියමුකෝ...හොඳේ.....කෝ ඉතිං කතන්දරයක් කියන කොට හූ මිටි තියන්ට එපාය...ඒකවත් දන්නෙ නැද්ද අප්ප?...''

'' කොහොමද හූමිටි තියන්ට ඕන?........''

මේ කෙල්ල තමයි කෙල්ල හෙහ්, හෙහ්,.......

‘’ හූම්.....කිව්වම ඇති, ''

'' හරි ඔන්න එහෙනම්....හූම්.....''

'' ඉතිං ගෙදෙට්ට ආපු ගමං ඇඳුං ගලවන්ටත් ඉස්සර කිව්වෙ මොනවයි දන්නවය? ''

'' නෑනෙ...මම කොහොමෙයි දන්නෙ?....''

'' ඒක තමයි මම මේ කියන්ට යන්නෙ...කෝ කියන්ට දෙනවය...මැදින් පනිනවනෙ....''

'' ඇයි දෙයියෝ සාක්කි උඹම නෙවද හූ මිටි තියන්ටෙයි කියල කිව්වෙ...ඒ කරල ඊළඟට මටම බණිනව මැදින් පනිනවයි කියල.....මට ඕන නෑ කතාව....''

මම බොරු තරහක් අරගෙන අහක බලා ගත්ත.

'' අනේ අයියෙ මා එක්ක තරහ උනාද?.....''

චුට්ටි නැඟිටල මා ලඟට ආව.

'' අනේ තරහ වෙන්න එපා..මම විහිළුවටනෙ එහෙම කිව්වෙ.....''

මම හිනායන්න ආවත් අහක බලාගෙනම හිටිය යටි තොල විකාගෙන.

'' අනේ රවි අයියෙ.......''

ඒ පාරනම් චුට්ටි අඬන්න ඔන්න මෙන්න...මට දැන්නම් පව් කියල හිතුනා.

මම ඔලුව හරවල චුට්ටි දිහා බලල හිනාඋනා.

'' හරි මම තරහ වෙන්නෙ නෑ එක කොන්දේසියක් උඩ කියන්න එකඟද?..''

'' හොඳම නෑ අයිය නම්...දැක්කද අන්න හිනාවෙනව.........''

'' මොකද කියන්නෙ...මගෙ කොන්දේසිය ගැන....''

'' හාකො.... කියන්නකො බලන්න...''

‘’ මට එක පාරක් රවී කියල කියන්න...චුට්ටි.......ආයෙම මේ වගෙ අවස්තාවක් ලැබෙන්නෙ නෑ කියල මගෙ හිත කියනව.....මගෙ ඇස් දෙක දිහා බලාගෙන එක පාරක් මට කියන්න රවී මම ඔයාට ආදරෙයි කියල....''

චුට්ටි නැඟිටල මා ළඟට ආව. මගේ ළඟ බිම දණ ගහගෙන ඔළුව උස්සල මා දිහාවෙ බැලුව..

'' මම ආදරෙයි රවි අයියෙ මම ආදරෙයි.....''

මම නැමිල හෙමිහිට චුට්ටිගෙ කොපුල් සිපගත්ත..ආදරෙන්.....

'' ඔය ආයෙම අයියෙ කියනව....මට රවී කියල එක පාරක් කියන්න....''

'' මම ආදරෙයි රවී...මම ආද....රෙ.....යි, ''

අන්තිම වචනෙ කියන කොට එයාට ඉකි ගැහුන.

මම අත්දෙකෙන් අල්ලල චුට්ටිව නැඟිට්ටවල මගෙ පපුවට තුරුලු කරගත්ත. චුට්ටි මගෙ පපුවෙ ඔලුව හංගගෙන හෙමිහිට ඉකි බින්දා. ටිකෙන් ටික ඉකි බිඳුම අඩුවෙලා යනකල් මම එහෙමම චුට්ටිව පපුවට තුරුලු කරගෙන එයාගෙ ඔලුව අත අතගෑවා. ඉකි බිඳුම් නැතිවෙලා ගියාම මම චුට්ටිගෙ මූනට එබුනා.

'' දැන් හරිද?....''

'' හරි අයි...නෑ මේ රවී....දැන් හරි රවී.....''

කඳුලු දෑසෙ පිරිල තිබ්බත් චුට්ටි හිනාඋනා.

'' හරි, මමත් කියන්නම් එහෙනම්....''

'' මොකක්ද? ''

'' මමත් ඔයාට ආදරෙයි....ගීතිකා....''

මම චුට්ටිගෙ නම කියල කතාකරපු පළවෙනි අවස්තාව......අන්තිම අවස්තාවත් බොහෝවිට වෙන්නත් පුලුවනි.... මට එහෙම හිතුනා.

'' මට වාවගන්ට බෑ රවී........''

ගීතිකා ආයෙම අඬන්න උනා....මම ඉතින් ඇඬීම ඉවර වෙනකල් එයාව තුරුලු කරගෙන හිස සිප ගත්තා.මයෙ කමිසෙ බාගෙකට වැඩිය තෙත් වෙනකල් අඬලයි මෙදාපාර ගීතිකා ඔළුව ඉස්සුවෙ.

'' හරි, ඔන්න දැන් අඬල ඉවරයි...ආයෙම අඬන්න ඔට්ටු නෑ හොඳද....''

මම ගීතිකාගෙ නහය මිරිකුවා.......

'' ඌයි......අඬන්නෙ නෑ කියල නම් පොරොන්දු වෙන්න බෑ....මේ කතාව කියල ඉවර වෙන්ට කලින් මට ආයෙම අඬන්ට වෙයි කියල මගෙ හිත කියනව රවි අයියෙ...අනේ සොරි අනේ...රවී, රවී,"'

'' නෑ...ගීතිකා කමක් නෑ...ඔයා මට රවී කියල එක පාරක් කිව්වනෙ.....ඒ ඇති ආයෙම අයියෙ කිව්වට කමක් නෑ....හරි චුට්ටි දැන් කතාවකියන්නකො...කොතනද අපි නැවත්තුවෙ? ''

************************************

දැන් නම් කතාව ඇති....ඔන්න හොඳද.....තව එක කොටසයි...ඉවරෙටම ඉවරයි...

Tuesday, January 31, 2012

94. ආදර....නිල්.....දෑසේ.......15 - Chutti's Story - That means my destiny......what else?

'' මේ කතාව මුල ඉඳම්ම මම පටන් ගන්නම් අයියෙ,...... අපෙ අම්මට හිටියෙ එකම වැඩිමල් සහෝදරයෙක් විතරයි.ඒ මාම අම්මට වඩා අවුරුදු හතක් විතර වැඩිමල්.අම්මට වයස දහයක් වගෙ වෙද්දි අටමස්තානෙ වන්දනාවක ගිහිල්ල එද්දි බස් එක පෙරලිල අම්මගෙ අම්මයි අප්පච්චියි..... ඒ කිව්වෙ අපෙ ආතයි අත්තම්මයි දෙන්නම අන්තරා වෙලා.අම්මයි මාමයි ඒ ගමන ගිහිල්ල නෑ.....''

චුට්ටි මා අතින් හිස් කෝප්පෙ අරන් ගිහිල්ල කෝප්ප දෙකම මේසෙ උඩින් තියල ආයෙම ඇවිදිල්ල ඉඳ ගත්ත.

ඔන්න අන්තිමට විස්තරේ. මම ඇහිපිය නොහෙලා චුට්ටිගෙ මූණ බලාගෙන උන්නා.

'' අම්මලගෙ නෑදෑයන්ගෙන් කිසිම උදව්වක් ඒ දෙන්නට ලැබිල නෑ.ඒත් ඒ ලොකු මාමගෙ හිත හරිම හයියයි. නංගි, උඹ බයවෙන්න එපා... මම ඉන්නව ඕන දේකට.... එහෙම කියල අම්මගෙ හිතත් හදල තියෙන්නෙ ඒ මාම....''

'' නංගි.... අර මේ ඊයෙ මුරුංග පොතු ගෙනියන්න ආවෙ ...ඒ මාමද?......අර මම බොහොම ආසාවෙං පරණ විස්තර අහගෙන හිටියෙ...හෙහ්, හෙහ්, ''

මට හිනා ගියා ඒ වෙලාවෙ මේ කෙල්ල කරපු විගඩං මතක් වෙලා...

'' හි, හි, '' කෙල්ලටත් හිනා....'' නෑ, නෑ...ඒ අපෙ අප්පච්චිගෙ අක්කගෙ හස්බන්ඩ්....මේ අපේ අප්පච්චිගෙ ගම...අම්මල ආනමඩුවෙ......''

'' ඒ මාමට හොඳට ඉගෙන ගන්නත් පුලුවන්ලු. ඒත් ඉගෙනීම අත ඇරල කුඹුරු කිරිල්ල පටන්ගෙන තියනව ජීවත් වෙන්න වෙන ක්රමයක් නැති නිසා. හැම වෙලේම අම්මට කියල තියෙන්නෙ මම කොහොම හරි උඹට වියදම් කරන්නම්. උඹ නංගියේ හොඳට ඉගෙන ගනිං කියලයි. ඒ මාමගෙ උත්සාහය හින්දමයි අම්මට යුනිවසිටි යන්න ලැබුනෙ කියලයි අම්ම නිතරම කියන්නෙ.කොහොම හරි අම්ම යුනිවසිටි ගියා. එහෙදි තමයි අප්පච්චිව හම්බ වෙලා තියෙන්නෙ.ඉතිං අම්මගෙ ජීවිතේ සාර්ථක උනේ ලොකු මාමගෙ කැපවීම නිසාය කියල අම්මගෙ පුදුම ගෞරවයක් භක්තියක් තියෙන්නෙ ලොකු මාමට.''

'' අයිය අහගෙන නේද ඉන්නෙ?......අයිය හිතනව ඇති මේ අම්මගෙ මාමගෙ කතා මොකටද මට දැනගන්න ඕන දේට කියල.....නෑ අයියෙ මේ කතාව මුල ඉඳල කිව්වෙ නැත්නම් අයියට හරියට තේරුම් යන එකක් නෑ කියල මට හිතෙනව. ඒකයි මම මුල ඉඳන්ම පටන් ගත්තෙ.....''

'' නෑ...චුට්ටි මම සාවධානව අහගෙන ඉන්නෙ...මට තේරෙනව. මේ විස්තර වල සම්බන්ධයක් නැත්නම් ඔයා මෙහෙම කතාව පටන් ගන්නෙ නැහැනෙ කවදාවත්....ප්රශ්නයක් නෑ....කියන්න, කියන්න,''

'' අම්මගෙ අනාගතය ගැනම කැපවුනු නිසා මාම කසාදයක් ගැනත් හිතල නෑ. අම්ම බැන්දටත් පස්සෙයි එයා බැඳල තියෙන්නෙ. ''

'' දැං එතකොට ඒ මාම එහෙම ඉන්නෙ කොහෙද චුට්ටි? ''

හීතල හුළඟක් අඩවල් කරපු දොරෙන් ඇතුලට ආව. මම නැඟිටල ගිහිල්ල දොර වැහුව.

'' අම්මලගෙ ගමේ මාම හිටියෙ. හිටියෙ කියන්නෙ අයියෙ අවුරුදු තුනකට ඉස්සර මාම නැතිඋනා කැන්සර් එහෙකින්.අම්මයි අප්පච්චියි පෙරේද ගියේ ඒ දානෙට.''

'' ඔන්න දැන් තමයි රවි අයියෙ..... කතාවෙ ඔයාට අදාල කොටස එන්නෙ. '' චුට්ටි මයෙ මූණ බලල හිනාඋනාට ඒ හිනා උනේ අඬන්ඩ බැරි නිසා කියල එයාගෙ වේදනා බර දෑස මට කිව්වා.

'' ඒ මාම මට හරිම ආදරෙයි. අන්තිමට හුස්ම යන්ට ඉස්සර අම්මට කියල තියෙනව...නංගියෙ උඹෙ චුට්ටිට මම හරිම ආදරෙයි. උඹ මට පොරොන්දු වෙයං උඹෙ චුට්ටිව මගෙ පුතාට බන්දල දෙනවයි කියල. ඉතිං අම්ම වෙන මොනව කරන්නද?....තමං වෙනුවෙන් අච්චර කැපකිරීමක් කරපු එකම අයියගෙ අවසාන ඉල්ලීම අහක දාන්නෙ කොහොමද?...අම්ම පොරොන්දු වෙලා.''

චුට්ටි මේ කතාව කියාගෙන ගියෙ මගෙ මූණ දිහාම බලාගෙන. මමත් ඇස් අහකට ගන්ට බැරුව එයා දිහා බලාගෙන හිටිය. මගෙ ඉරණම විසඳෙන හේතු සාධක.....මේ කතාව දැනගන්ට නෙව මම මෙච්චර දත කෑවෙ.....

'' අම්ම එහෙම පොරොන්දු වෙච්ච එක සාධාරණයි කියල අයිය හිතනවද?''

ඉඳගෙන හිටපු පුටුව මා ළඟටම ඇදගෙන චුට්ටි මගෙ දකුණු අත අත් දෙකින්ම අල්ලගෙන මගෙ මූණ දිහා ඇහිපිය නොහෙලා බලාගෙන ඇහුවා.

උත්තර දෙන්ට ඉස්සරවෙලා මම දිග සුසුමක් හෙලුවා. චුට්ටිගෙ අත අරගෙන සිප ගත්තා.

'' ඒ ප්රශ්නෙට එහෙම උත්තරයක් දෙන්ට අමාරුයි නංගි. අම්ම ඒ වෙලාවෙ පත් වෙච්ච තත්වෙ මට හිතාගන්න පුළුවනි.මාම ඒ වගෙ ඉල්ලීමක් නොකලානම් හොඳයි කියල තමයි මට කියන්න තියෙන්නෙ. ''

'' මගෙ හොඳ අයිය....අයිය එහෙම කරුණු තේරුම් ගත්ත එක මට ලොකු සැනසීමක්....අම්ම ගැන මට මුලුන්ම ඇති උනේ තරහක්....ඒත් දැන් මගෙ ඒ තරහ නෑ. කියාගන්ට බැරි මොකක්දෝ හිස් බවක් මයෙ හිතේ තියෙන්නෙ, ''

'' මොකක්ද මස්සිනාගෙ නම? ''

මම අහක බලාගෙන ඇහුව.

'' අජන්ත....අජන්ත අයිය අපෙ පොඩි අයියට වඩා අවුරුද්දක් බාලයි....''

'' මිනිහ මොකෝ කරන්නෙ?.....''

'' රස්සාවක් ඕන නෑ අයියෙ එයාට...කුරුණෑගල මීගමු පාරෙ එයාලගෙ තියනව ලොකු හාඩ්වෙයාර් එකක්. අපෙ මාම බැඳපු නැන්දගෙ ඒ දේපළ ඔක්කොම.''

'' ඉතිං චුට්ටි...මොකද අජන්තට කැමති නැතිවෙන්ට හේතුව කියන්නකො බලන්ට.....''

මම පුටුවෙ හරි බරි ගැහිල හේත්තු වෙලා එහෙම ඔළුව පිටිපස්සට අත්දෙක බැඳගත්ත.

'' ඒකම තමයි අයියෙ මටත් හිතාගන්ට බැරි....අජන්ත අයියගෙ කිසිම වැරැද්දක් නෑ කියන්ට .....ඒත් ...ඒත්.......''

චුට්ටි නැවිල එහා පුටුවෙ තිබ්බ පුටු කොට්ටෙ අරගෙන උකුලෙ තියාගෙන ඒක මිරිකමින් කතා කලේ.....

'' ඒත් මට අජන්ත අයිය ගැන කැමැත්තක් ඇතිවෙන්නෙම නැති හැටි......''

'' අම්ම මා ගැන පොරොන්දුවුනෙ අවුරුදු තුනකට කලින් කියල මම කිව්වනෙ... යුනිව්සිටි සිලෙක්ට් උනොත් හොඳයි. නැත්නම් තව අවුරුද්දක් දෙකක් ඇතුලත මට අජන්ත අයියව බඳින්නම වෙනව.......''

චුට්ටි මගෙ මූණ බැලුව.....මම ඉතිං මොනව කියල කියන්නද?.....එපා බං උඹ අජන්තව බඳින්න...කියල කියන්නද?....මම චුට්ටිගෙ මූණ බලාගෙන එහෙම්මම හිටිය මොකවත්ම නොකිය.

'' අපෙ පොඩි අයිය හරිම තරහයි මේ වැඩේට..දෙතුං පාරක් අම්ම එක්ක රංඩුත් උනා....අම්මලට මාමලට ඕන විදිහට චුට්ටිගැන තීරණ ගන්න එක අන්තිම අසාධාරණයි කියල පොඩි අයිය ඒ දවස්වල ඉඳලම කියනව. ''

'' වසන්ත කැමති නැද්ද අජන්තට? ඈ...චුට්ටි?''

'' පොඩි අයිය කැමතිම නෑ. මොන හේතුවක්ද මන්දා.....ඌ මට අල්ලන්නෙ නෑ. අරක්කු ටිකක් වත් බොන්නෙ නෑ ඒ යකා...කියල බණිනව....''

චුට්ටිට ඔන්න හිනාවක් ගියා සෑහෙන වෙලාවකට පස්සෙ.

සාවධානව බැරෑරුම් මූඩ් එකෙන් කතාව අහගෙන හිටියට මටත් හිනාවක් පැන්න ඉබේටම.

'' හෙහ්, හෙහ්, වසන්තය එහෙම කිව්වද?.....මේකා තියන්ට වටින්නෙ නෑ නෙව....''

Monday, January 30, 2012

93. හෘදයාංගම සුබපැතුම් සමඟ මගේ සෙනෙහස.............Heartfelt best wishes......My Heart is with you.......


සිංහල වියුණු ලිවීමට පිවිසීමෙන් මා ලද ප්රතිලාභ අතර මුදුන් මල් කඩ වනුයේ හිත හොඳ එසේම හෘදයාංගම වූ සහෘදයින් රැසක් හඳුනා ගැන්මට ලැබුනු මහාර්ඝ අවස්ථාවයි.හෘදයාංගම මිනිසුන් ඉතා සීඝ්රයෙන් මිහිතලයෙන් වඳවී යන සත්ව කොට්ඨාශයක් වූ වර්තමානයෙහි ඒ භාග්යය නම් සුළු කොට තැකිය යුත්තක් නොවේමය.

එවන් එක් හෘදයාංගම සහ එසේම සුන්දර වූ යුවතියක වෙනුවෙනි අද මේ වියුණු සටහන කැප කෙරෙනුයේ.ඇය නමින් ජනනි හංසකිංකිණි වූවාය. අද ඇගේ දිවියෙහි ඉතාම වැදගත්වූද එසේම සොඳුරුතම වූ ද දිනයයි. අද ඈ තම පෙම්බරයාණන් වූ යජිතුන් සමඟ අතිනත ගන්නාහුය.

ඔබ දෙපල වැලඳ සුබ පැතීමට පැමිණිය නොහැකිවීම පිළිබඳ ඔබෙන් සමාව අයදින අතර ජනූ, ඔබ ඒ වෙනුවෙන් මට සමාව දෙන බව හෙට හිරු නැඟෙන්නාසේම ස්ථිර බව ද දන්නෙමි.

එසේනම්.... ජනනි සහ යජිත්...... මා දයාබර සොයුරිය සහ සොයුර......
ඔබට සුබ මංගලම්!!!
දිවි ගමන මං දෙපස දහසක් මල් සුපිපේවා!!!,
සදාතන සෙනෙහසේ සුවඳ ඔබ හදවතේ සදා කල් රැඳේවා!!!
සසර සරනා තුරා බැඳුනු ඔබ සුරත් යලි කිසිදු දිනයෙක නොගිලිහී සදා රැඳේවා!!!

සෙනෙහසේ නවාතැන ඔබේ නෙතු සඟලමය.
හදවිලේ පිපුණු මල ඔබෙ නමින් සුවඳමය.
සදා ඔබ සමඟ එමි පිය නඟා අත නොහැර,
සබඳ මතු සසර අත හරිනු ඔබ සමඟමය.

Setting out today on the journey of life,
With hands held tight and stars in eyes,
Until eternity and even beyond,
Together we would be never to part,


Saturday, January 28, 2012

92. ආදර නිල් දෑසේ ......14 - Yeah, Don't ask questions if you are afraid of the answer

චුට්ටියි මමයි නිවිල තිබුනු පහන් ඔක්කොම තෙල් දාල තිර හදල පත්තු කලා....අපි දෙන්නම දැල්වූ පහන් දෙකක් අරගෙන එකින් එක පහන ලඟට ගිහිල්ල පහන් දල්වපු ඒ සුන්දර දර්ශනය දැනුත් මතක් වෙද්දි හිතට නැඟෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි පිවිතුරු හැඟීමක්.....පහන් එකිනෙක දැල්වෙද්දි, ඒ පහන් වලින් නැඟුනු ආලෝකය චුට්ටිගෙ මුහුණ පුරා තැවරිල ඒ මුහුණ දිදුලද්දි මම ඒ දිහා බලා හිටියෙ මයෙ ඇස් අහකට ගන්ට බැරි ගානට.



ඔන්න ඉතින් අන්තිමට මුළු බෝධි ප්‍රාකාරෙම පහන් ආලෝකයෙන් දිලෙන්න පටන් ගත්ත.අපි දෙන්න පස්සට වෙලා ඒ දිහා බලා හිටියෙ කියාගන්න බැරිතරම් සන්තෝසෙකින්......

" පොඩි හාමුදුරුවන්ට ආයෙ බෝධි පූජා තියන්ට කඩෙන් තමයි තෙල් ගෙනෙන්ට වෙන්නෙ''

මම චුට්ටිගෙ මූණ බලල හිනා උනා....

'' හි හි......ගේන්නෙ නැතෑ ඕනම නම්....''

'' අඩේ ඒක නෙවෙයි චුට්ටියේ.....මම මේ කල්පනා කලේ.....අද පෝයත් නෙවෙයි..මේ පගන් කැටියම පත්තු කරල අපිට ප්‍රශ්නයක වෙයිද මන්ද.....''

'' අය අහවල් ප්‍රශ්න....කවුද එහෙම ප්‍රශ්න කරන්න ඉන්නෙ.....රවි අයියගෙ කට විතරයි.... මාර බය ගුල්ලෙක්නෙ.....හි, හි, හි,''

චුට්ටි වට පිට බලල මගෙ අත අල්ල ගත්ත.

'' හුහ්, බය ....මම කොහෙද බය?.......මම ඇවිල්ල බය කියන වචනෙ තේරුම වත් දන්නෙ නැති කොල්ලෙක් නංගි තේරුණාද?......ඒ නිසා එහෙම කතා කරන්න එපා...මගෙ හදවත දහස් කඩකට බිඳිල සුනු විසුනු වෙලා යයි ඔන්න. ඔයාට තමයි කෑලි අහුලන්න වෙන්නෙ......''

චුට්ටිට බකස් ගාල හිනාගියා. ඒත් හිනාව නැවතුනා ඒ එක්කම. හප්පච්චියේ නොහිතාම උනත් මගෙ කටින් පිටවුණු වචනෙ බරපතල කම මට තේරුනෙ ඔන්න එතකොටයි.....

'' සොරි චුට්ටි...මම ඒක හිතල කිව්ව එකක් නෙවෙයි....නිකම්ම මට කියවුනා.....''

'' කමක් නෑ අයියෙ.....නොහිතා කිව්ව උනත් ඒ කතාවෙ...........''

එතනින් එහාට මොනවත්ම නොකිය චුට්ටි මගෙ මූණ ටිකවෙලාවක් බලන් ඉඳල බිම බලාගත්ත.ඉතිරි හරිය කියන්න ඕන උනේ නෑ...චුට්ටි මොකක්ද කියන්ඩ ගියේ කියල මම දැනගෙන හිටිය සහසුද්දෙන්ම.....

එයත් බිම බලාගෙන මමත් බිම බලාගෙන.....එහෙම නිහඬවම ගෙවුනු මිනිත්තුකීපයකට පස්සෙ.....බෝ පත් සිලි සිලි හඬවමින් හමා ආ සීතල සුළඟකින් මගෙ මුළු සිරුරම කිළිපොලා ගියා....

'' චුට්ටි...සීතලයි නංගි...අපි යමුද?......'' නිහැඬියාව බිඳිමින් මම කිව්වා.

'' යමු එහෙනම් අයියෙ...පොඩි අයිය මොනව කරනවද මන්ද තවම'' .....චුට්ටි තවමත් මගේ දිහා බැලුවෙ නෑ...

'' ඒයි ඔය දෙන්න කොහෙද හිටියෙ?....මම මේ හොයන්න යන්නයි ලෑස්ති උනේ....'' වසන්ත ආවාසෙන් එළියට බැහැල අපි දිහාට එනව....

'' රවී.... මචං, මේ උඹ එහෙනම් චුට්ටි එක්කල ගෙදර පලයං.....මම පොඩි හාමුදුරුවො එක්ක මේ ළඟ පන්සලකට ගිහිල්ල එන්නම්.හෙට බණට එන්න හිටිය හාමුදුරුවො අසනීප වෙලාලු. වෙන හාමුදුරු කෙනෙක් හොයා ගන්න
වෙලා. පන්සලේ ඩ්‍රයිවරුත් ගෙදර ගිහිල්ල. මට කා එක ඩ්‍රයිව් කරන්න වෙලා මචං.....මම පුලුවන් ඉක්මනින් එනව. ''

අපි දෙන්න ඒ කිව්වෙ මමයි චුට්ටියි......හෙමිහිට පඩි පෙල බහින්න පටන් ගත්ත.මට කියවුනු අර කතාව චුට්ටිගෙ හිතට බොහොම තදින් වැදුනු බව මටතේරුං ගන්න එච්චර අපහසු උනේ නෑ. මගේ හිතෙත් ඒ මට කියවුනු වචන කීපය ආයෙම ආයෙම හොල්මන් කලා. නොදැනුවත්වම කටින් පිටවෙන්නෙ හිතේ තියන අදහස්ය කියල කියන නේද?....එතකොට.....මේ මගේ හිතේ තියෙන අදහසද?.....එහෙම මගෙ යටි හිතේ කල්පනාවක් තිබ්බයි කියන එක එක අතකට පුදුම වෙන්න දේකුත් නෙවෙයි නේද?

පඩි පෙලේ මැදක් විතර බහිනකොට තමයි ඔන්න මට මතක් උනේ අපි දෙන්න අඩි කීපයක් ඈත් වෙලයි ඉන්නෙ කියල...අත් අල්ලගෙන පඩි නැග්ග අපි....පව්....මොනව උනත් මේ අවසාන මොහොතෙ චුට්ටිගෙ හිතට දුකක් දෙන්න මම කැමති උනේ නෑ...

'' සොරි නංගි...''

මම එහෙම කියල චුට්ටිගෙ අත අල්ල ගත්ත. ඒ අතේ සීතල මගෙ අතට දැනුන හොඳටම. එයත් ඒ අවස්තාව බලාපොරොත්තුවෙන් හිටිය වගෙ මගෙ අත තද කරල මිරික ගත්ත.

'' මම ලොකු කල්පනාවකින් හිටියෙ සමාවෙන්න....'' මම නැවිල චුට්ටිගෙ කණට කෙඳුරුවා.

'' කමක් නෑ..අයියෙ මට තේරෙනව...ඒකට කමක් නෑ....'' චුට්ටි තවත් මට ලංවෙලා මගෙ උරහිසට ඔලුව හේත්තු කරමින් කිව්ව ඇහෙන නෑහෙන ගානට.

පාර පුරා හඳ එළිය පැතිරිලා. හිටපු ගමන් හඳ මුවා කරගෙන පාවෙලා යන වලාකුළු වල හෙවනැල්ල පාර හරහ ඇදිල යන්නෙ හරියට කවුරු හරි පස්සෙං එලවගෙන එනකොට පණ බේරගන්ට දුවනව වගෙ. පාර දෙපැත්තෙම ගහ කොල සීතල හුලඟෙ හෙලවුනෙ කවුරුත් නොදන්න රහසක් මුමුණමින් වගෙ කියලත් මට හිතුනා. වෙන දවසක නම් මට කවියක් දෙකක් ලියන්ට මේ ඇති හොඳටෝම. චුට්ටිත් එක්ක මේ වගෙ අත් අල්ලාගෙන සඳ එළිය දෝරේ ගලා ගිය පාරක හෙමිහිට ඇවිද යන ගමන් එයාගෙ ඇස් දෙක දිහාවෙ අනිමිස ලෝචනෙන් බලාගෙන හෙමිහිට චුට්ටිට විතරක් ඇහෙන්ට මම එයා වෙනුවෙන්ම ගොතපු කවියක් කියන්න මට කවදාවත්ම නොලැබෙන විත්තිය මගෙ හිත දැනගෙන හිටියා.

සඳ දියෙන් තෙමීහිය,
මං පෙතේ ඇවිද යමි,
ඔබෙ සුරත අත් නොහැර,
අනන්තෙට පා නඟමි,

නිල් නයන යුග කැල්ම,
දකිනු යලි කෙදිනකද?
සොඳුර ඔබ මෙන් මමද,
මිරිඟුවට පෙම් කළෙමු,

සෙනෙහෙ විල් දියේ පිපි,
මුකුලිත වු රත් නෙළුම,
හදවතට තුරුළු කොට,
සුවඳ හැමදා විඳිමි,

නෙලනු නොහැකිවූ සඳ,
පිපුණු නෙලුමේ සුවඳ,
සිව් සියක් ගව් දුරක,
මට දැනෙන බව දනිමි,

යමක් අපිට අහිමිය කියල දැනගත්තට අනේ ඔන්න ඔහෙ කමක් නෑ මොනව කරන්නද ඉතිං කියල හිත හදාගන්න එක ලේසි නෑ....ඇයි මෙහෙම දේවල් ලෝකෙ වෙන්නෙ.....මෙහෙම දෙයක් වෙන්ට මොකක්ද මම කරපු වරද කියල යටිහිත වැළපෙන එක වලක්වන්නම බෑ....අපිම දන්නව ඒකෙ කිසිම තේරුමක් නෑ කියල..ඒත් දෙයියනේ හිත කියන එකට වැට කඩොළු බැඳල උඹ මෙහෙම හිතපං අරම හිතන්න එපා කියල කියන්න කාටද පුළුවන්.... මට නොදැනිම දිග සුසුමක් පිට උනා.

චුට්ටි මගෙ අත රිදෙන තරමට තදින් මිරිකපු නිසා මට ඉබේම එයාගෙ මූණ බැලුනා. අනේ ඒ කෙල්ල මා දිහා ඇහිපිය නොහෙලා බලා ඉන්නව....ඇස් දෙකේ කඳුලු බිඳු දෙකක්....කම්මුල් දිගේ ගලායන්න ඔන්න මෙන්න. මගෙ පපුව ගිනිගත්ත ඒක දැකල. මම මොනවත් කිව්වෙ නෑ...මම දන්නව අඬන්න එපා කිව්වොත් චුට්ටි අනිවාර්යයෙන් මෙතනම වැලහින්න වගෙ අඬන විත්තිය. මම පාත්වෙලා එයාගෙ නලල සිප ගත්තා හෙමිහිට.චුට්ටි ඇඬුවෙ නම් නෑ. ඒත් වෙව්ලන යටිතොල හපාගෙන මගෙ මූණ එකම පාරක් බලල ආපහු බිම බලාගත්ත.සිහින් ඉකි බිඳුමකින් ඇගේ උරහිස් ගැස්සිලා ගියා. මම මේ වෙලාවෙ කියන ඕනම දේකින් ඉකි බිඳුම හැඬීමකට පරිවර්තනය වෙන බව මට ඉවෙන් වගෙ තේරුණු නිසා මම කලේ එයාගෙ අත තවත් තදින් අල්ලාගැනීම විතරයි.

එතනින් පස්සෙ කිසිම කතා බහකින් තොරව අපි ආව ගෙදරට එනකල්.

'' පොඩි අයිය එනකල් ඉමු නේද රවි අයියෙ බත් කන්ට..එතකල් බඩගිනිනම් තේ හදන්නද? ''

'' හරි එහෙනම් තේ එකක් බොමු....''

කුස්සියෙ උදේ ඉඳගෙන හිටපු පුටුවෙ මම ආයෙම ඉඳගෙන. චුට්ටි මේසෙ ලඟ තේ වක් කරනවා. උදේ අච්චර ආසාවෙන් මම බලාපොරොත්තු උනු දේ .....හෙමිහිට පිටිපස්සෙන් ගිහින් චුට්ටිව වැලඳගෙන ආදරෙන් සිප ගන්න......මට මේ වෙලාවෙ එහෙම දෙයක් කල්පනාවට ආවෙම නෑ.....මම බලාපොරොත්තුවෙන් හිටපු මොහොත....නෑ එක අතකට එහෙම කියන එකත් වැරදියි...මම කොයි මොහොතක හරි උදාවෙයි කියල බයෙන් හිටපු මොහොත උදාවෙලා කියල මම දැනගෙන හිටියා බොහොම පැහැදිලිවම. ඊයෙ හවස ආපු වෙලාවෙ ඉඳල මම දැනගන්න බලාහිටි ඒ කාරණය...ඒ රහස ....චුට්ටිගෙ කටින්ම එයාගෙ වචන වලින්ම දැන ගන්න මොහොත උදාවෙලා.

චුට්ටි මට තේ එක ගෙනත් දුන්න.

'' යමු අයියෙ සාලෙට....''

එයත් තේ කෝප්පයක් අරගෙන ඇවිත් මගෙ ලඟම වේවැල් පුටුවෙ ඉඳගත්ත.

'' රවි අයිය මම ඔක්කොම විස්තරේ අයියට කියන්නම් අකුරක් නෑර...අයිය මට එක පොරොන්දුවක් වෙන්න ඕන හැබැයි...හොඳේ? ''

චුට්ටි මගෙ උත්තරේ බලපොරොත්තුවෙන් මා දිහා බැලුව,

'' අයිය මා එක්ක තරහ වෙන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්න ඕනෙ....කියන්න මා එක්ක තරහ වෙන්නෙ නෑ නේද? ''

'' නෑ නංගි මම ඔයා එක්ක ජාති ජාතිවත් තුන් හිතකින් වත් තරහ නෑ...''

මම කිව්වෙ අවංකවමයි....

********************

මේ කතාව අන්තිම කොටස මම ඊයෙ ලියන්නයි හිටියෙ, ඒත් පරිගණකයෙ ප්‍රශ්නයක් මතුවෙලා ඒ වැඩේ හරි ගියේ නෑ නෙව. මෙකුවි කිව්ව වගේ මමත් කල්පනා කලා කවදාවත් නැතුව මොකද එහෙම උනේ කියල..ඔක්කොම වෙන්නෙ හොඳටයි කියලත් කියල තියනවනෙ......අනික ලියාගෙන යද්දි තව ටිකක් කතාව ලිව්වොත් හොඳයි කියලත් මටම හිතුන.ඒ නිසා ඔන්න තරහ වෙන්න ඔට්ටු නම් නෑ....මගේ සහෘදයනි...තව කොටසක් ලියලම මේක ඉවර කරන්නම්...හොඳද?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...