හරි පේමදාස මහත්තෙයගෙ පිළිම කතාව අහවරයිනෙ.ආපහු යමු අර අවුකන කිට්ටුව මළගෙදර කතාවට. ඒක ඉවරයක් කරල ඉන්ට එපාය ආයෙම වාං පතුල් කතාවට ප්‍රවිස්ට වෙන්ට ඉස්සර...එක්කො අර තැචර් නෝනා මහත්මිය ගැන කියනකොට බාගෙට කියාපු දොස්තර සහ වහ බීපු කෙල්ල ගැන කියනවද?....නෑ ..මළගෙදර ගැන කියලම ඉමු එක්කො....
දැං මම කිව්වනෙ කලාවැවේ බන්ඩ් එකේ ජීප් එක නවත්තල අවුකන පිළිමෙ පේන තෙක් මානෙ ඉඳගෙන අපි පොඩි කර්මාන්තයක් කරන්ට පටං ගත්තය කියල. මතට තිත තියන උදවිය ඒ වැඩේ පටං ගත්ත නොපමාව.අප්පමාදෝ අමර පදං…
අර ඇඩ්ඩස් ලියාපු තුණ්ඩු කෑලි සාක්කුවෙ දාගෙන ආපු එවුං....ඒ වෙනකොට මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන්ස් උනත් ඒ හැටි සුලබ නෑ.ඊටත් කාලෙකට පස් සෙ තමයි ගඩොල් බාග වගෙ මොබයිල් ෆෝන්ස් ඇවිල්ල මොබයිල් පිස්සුව ගහපු අපෙ එවුං සිගනැල් යන්තං එන තැං හොයන්ට ගඩොල් බාගෙත් කණේ ගහගෙන ගම මුළුක්කාදියෙ ඇවිදින්ට පටං ගත්තෙ...
සමහර වෙලාවට සිගනැල් තියෙන්නෙ ගමේ ඔන්න එකම තැනකට විතරයි.
" රපියෙල් ආතගෙ ගේ පිටිපස්සෙ දෙණිය පල්ලෙහ දිය වරකාවෙ තුං බලේ දකුණු අත්තෙ මැද්දෑවට විතරයි ඔන්න අහල ගං හතකටම සිගනැල් අහුවෙන්නෙ. "
මේ වගෙ අවුරුදු කාලෙට ඉතිං කොලඹ රටේ රස්සාවල් කොරන්ට ගිය කොල්ලො බල්ලො ඔක්කොම ආයෙම ගමට ඇවිල්ල නෙව ඉන්නෙ. කීයක් හරි හොයාගත්තු හැම එකාම ඔන්න ගඩොල් බාගෙකුත් ඇන්න තමයි ගමේ එන්නෙ. ගමේම ඉන්න ඔය ගොයිතැනක් බතක් කරාන ඉන්න යාලුවොන්ට වැඩ පෙන්නන්ටත් එපාය.අනික ගමේ ඉන්දැද්දි සෙනේවන්තකොම පොරකාස කරල " මට නං බැහ් " ගාපු අංගනාවියංට අගේ පෙන්නන්ටත් මේක හොඳ චෑන්ස් එක.
ඔක්කොම හොඳයි.මුක්කම නරකයි කිව්වැහෙ එකම පරහක් තියෙන්නෙ ඔය කොයි එකටත්, සිදාදියෙං හොයා ගත්තු කෙළි පැටික්කිට අයි ලව් යූ කියන්ටද එහෙම නැත්තං හතර දිබ්බාගෙ ඉන්න යාලුවොන්ට හැපී නිව්වියර් කියන්ටද ඔය කෝකටත් එකම තැනයි තියෙන්නෙ. අන්න හරි. එතන තමා. රපියෙල් ආතගෙ දිය වරකාවෙ තුං බලේ........
ඉතිං ඔන්න පෝං හිමියො ඔක්කොම එකතුවෙලා අර කිව්ව වරකාව උඩ හදපි ලී මැස්සක්...
විගැහිං මැස්සට නගින්ට එවුම්ම එකතුවෙලා හදාගත්ත ලණු ඉණිමඟකුත්....දැං ඔන්න එකා එකා මාරුවෙං මාරුවට අර මැස්සට නඟිනව... කෝල් ගන්න...ව බහිනව..ඊළඟට පෝලිමෙ ඉන්න එකා ඊට පස්සෙ.
මල් කඩන්ට ගිහාම දන්නවනෙ කොල්ලො.. ආය වෙලාවක් කලාවක් නෑනෙ. අනික ඔය මැස්සට උනත් සිගනැල් එන්නෙ හුළං අත මේ පැත්තට ඇල්ලුවහම විතරයි. ඉතිං මල් කැඩිල්ල මඟදි හුටස්..ආයම හුළං අත අල්ලනකල් බලා ඉඳල ඕන මල් කැඩිල්ල පටං ගන්ට. එහෙම ඉවසන්නෙ කොහෙද පල්ලෙහා පෝලිමේ ඉන්න එවුං " ඒයි අඩෝ ඔය මදැයි, බැහැපං බිමට, අපිත් මෙහෙ ඉන්නවා " ඔහොම කැක් ගගහ අර ලණු ඉණිමඟ හොල්ලනව. වැඩේ කියන්නෙ ඒ ඉණිමඟ හොල්ලනකොට අර මැස්සත් එක්කමයි හෙල්ලෙන්නෙ...
" ඉඳපල්ල බං ටිකක්..කාළකන්නි...මොන මඟුලක්ද මේ?..."
මැස්ස උඩ ඉන්න පුෂ්පහාරකට ( Flowers picker හෙවත් මල් කඩන්නා ) මල.
" මොකක්ද ඔයා කිව්වෙ?..... කාලකන්නි? කාටද එහෙම කිව්වෙ?...."
ඔන්න එහා පැත්තෙ ඉන්න කෙල්ලටත් මල පැනල..
" දෙයියෝ සාක්කි ඔයාට නෙවෙයි ළමයො.... මේ පල්ලෙහ ඉන්න වසවර්තියන්ට මම කාලකන්නි කිව්වෙ... ඔයාට එහෙම නෙවෙයි "
මොන? ….කෙල්ල ෆෝන් එක ඕෆ් කරල. ඉතිං ආය ගනිංකො මුල ඉඳල කෝල් එක..ඒ අස්සෙ පල්ලෙහා ඉන් න එවුං ඉණිමඟ හොල්ලනව මැස්සත්තෙක්ක කඩාගෙන දෙරිගහගෙන පල්ලෙහාට පත බෑවෙන සයිස් එකට.
රපියෙල් ආත ඊයෙ අවුරුදු ආතල් එකට හැළි අරක්කු වඩියක් දෙකක් ගසල ඇරල ඉස්තෝප්පු කෑල්ලෙ බූරු ඇඳේ දපා තියල සපාන් එකේ බුදියාගෙන උන්නෙ. මේ කොල්ලොංගෙ කැම්බැල්ලෙට උන්දැගෙ නින්ද කැඩුනා.
" මොකාද යකෝ ටිකක් නිදියගන්ට දෙන්නෙ නැතුව මේ මරහඬ තියන්නෙ? "
කියාල කැක් ගහගෙන උන්දැ බැස්ස එළියට.ගෙදර ඉන්නෙ උන්දෙයි උන්දෙගෙ මනුස්සය මැරිච්චි ලොකු දුවයි විතරයි. වයලට් ලොකු අම්ම…
" මොකද අප්පච්චි මේ කෑහැහිල්ල? "
ලොකු අම්ම කුස්සිය පැත්තෙං දොට්ට බැස්ස.
" කවුදෑ බං අර දිය වරකාව ගාව එහාට මෙහාට වෙනව පේන්නෙ? ….මොකදෑ උං එතන කරන්නෙ? "
" ආ..ඒ අර ගම් මංඩියෙ කොල්ලො ටික නෙව.උං ඇවිල්ල ඇත්තෙ ඔතන ටැලිපෝං කොරන්ට."
" ඈ?? ටැලිපෝං කොරන්ට?....මේ අපෙ දිය වරකාව ගාවට?..ටැලිපෝං කොරන්ට තැපැල් කංතෝරුවට යනව මිසක මෙතන කොහොමද ටැලිපෝං කොරන්නෙ? "
" අප්පච්චිට ඔව්ව තේරෙන්නෙ නෑ. උං එතන කරගන්න දෙයක් කර ගත්තාවෙ අප්පච්චි මෙහාට වෙල ඉන්ට…"
ඔය රපියල් ආතා ඇවිල්ල හිට අපෙ උන්දැගෙ අප්පච්චිගෙ ( මයෙ මාමණ්ඩිගෙ ) දුරිං මාම කෙනෙක් වෙනව.
ඔය මොබයිල් සිග්නල් නැති කේස් එකට හේතුව ඇවිල්ල අපෙ උන්දගෙ ගම තියෙන්නෙ සම්පූර්ණයෙන්ම කඳු වලල්ලකිං වට කොරල. පාත්තරේ වාගෙ ඔන්න කොටිම්ම. මහනුවර රජ්ජුරු ගොල්ල ඔය එක එක වැරදි වලට අච්චු කොරපු සුද්දො එහෙම පදිංචි කෙරුවයි කියන්නෙ ඔය එවුන්දලයෙ ගමේ ඒ කාලෙ. ඒ කියන්නෙ එහෙ පදිංචි කලොත් ආය පැනල ගිහිල්ල එහෙම හමාරයි. එච්චරටම දුස්කරයි ඒ පළාත... දැනට උනත් ඒ ගමේ ඉන්නව බෝම සුදු පාට නිල් ඇස් එහෙම තියන අපූරු ළමිස්සියො.....
අපෙ උන්දැත් එක්ක පයුරු පාසානෙ පටං ගත්තු මුල් කාලෙම ඔය හිරකාරයො පදිංචි කොරපු විස්තරේ මට කිව්වෙ මගෙ හොඳම යාලුවෙක්ගෙ අයිය කෙනෙක්. මිනිහ ඇවිදිල්ල හිට නුවර යුගයෙ ඉතිහාසය ගැන පස්චාත් උපාදියක් එහෙම කොරල ඔය ගැන හොඳටම දන්නව. මටත් ඉතිං කට එක විදිහකට තියාන ඉන්ට බැරි හැටියක්...ඊලඟට අරුන්දැ හම්බ උන මුල් දවසෙම දීල ඇරිය..
" මේ ඔයාලගෙ ගම සෙංකඩගල රජ කාලෙ පාවිච්චි කොරල තියෙන්නෙ හිරකාරයො පදිංචි කරන්ටෙයි කියල දන්නවද? "
ඔන්න ඔහොම….. මම හිතුවෙ අනේ මේ මනුස්සය අපේ ගම ගැනත් හොයල තියනව. කොච්චරනං හොඳද? කියල හිතල සෙනෙහෙ තව මෝරාවිය කියල..කොහෙද?
" හුහ්, හිරකාරයො එතකොට නේද? අපිත් එතකොට හිරකාරයොංගෙං පැවත එන කට්ටිය වෙන්ට ඇති එහෙනං…"
ඔහොම කියල මා දිහාවෙ රවාගෙන ඉඳල එයාලගෙ ඉස්කෝලෙ ගාවදි ගස්සගෙන බැහැල ගියෙ නැත්ද බස් එකෙං...මම ඉතිං අර මොනවද කාපු රිළව වගෙ බලං උන්න කටත් බාගෙට ඇරගෙන. ( පැහැදිලි කිරීමයි - ඒ කාලෙ සඳුදා උදේට වැඩට ගියෙ දෙන්නම එක බස් එකේ. එයයි මඟදි ඉස්කෝලෙ ගාව බහිනව. මම තව දුර ගිහිල්ල අපෙ ඔෆිස් එක ගාවිං බහිනව )
පස්සෙ " අනේ අපහාසයක් කොරන්ට මයෙ තුං හිතකවත් තිබ්බෙ නැතිය. ඉතිහාසය විෂයය ගැන මම බොහොම උනන්දු නිසා ඒ විස්තර හොයල බැලුවය.මට ඒ ගැන තොරතුරු දුන්නු යාලුවගෙ අයිය එක්ක ආයෙම වචනයක් වත් කතා කරන්නෙ නැත. ඒ යාලුවටත් වෙඩිං එකට ඉන්වයිට් කරන්නෙ නැත. මිං මනත ඔය හිරකාර සීන් එක ගැන කිසිම වචනයක් කියන්නෙ නැත " කියල දහ අතේ පොරොන්දු වෙලා නොවඳිනා වැඳුං වැඳලයි එවුන්දැ ෂේප් කොර ගත්තෙ..අනෙ අම්මප මොකටදෑ ආය බොරුවක් මුසාවක් කියන්නෙ ?
අම්මප පුදුම වැඩේය කියන්නෙ. ඔහොම වැඩම නෙව මට වෙන්නෙ. මේ බොහෝම සද් බාවයෙං පිරිසිදු හිතිං කොරන වැඩ. කැරකිල එන්නෙම හිනෙකිංවත් නොහිතූ විදිහට නොපිටටමයි. අර කතාවක් තියෙන්නෙ වඳින්ඩ ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනවය කියල.මට වෙන්නෙ වඳින්ට ගිය දේවාලෙ ඉහේ කඩා වැටෙනව මදිවට දේවාලෙ කඩා වැටුනෙ මම හින්දය කියල ඒ අබූත චෝදනා වලටත් උත්තර දෙන්ට වෙන එකයි...අනෙ අම්මප ....
හැබැයි ඔය හිරකාර කේස් එක මොකක් උනත් උන්දලයෙ ගම නම් මාරම ලස්සනයි.හීතල කාලෙ උදේ අට නමය වෙනකල්ම අර වටේටම තියන කඳුවැටිවල බාගෙයක් විතර මීදුමිං වැහිල. කියල වැඩක් නෑ. මහජන සම්පතවත් ඇදුනොත් ඔන්න පොඩි ගේ කෑල්ලක් හදාගෙන පදිංචියට යන්ට මරු පළාත.
අහ්හ්...ඔන්න මීදුම කියනකොට මතක් උනේ...අපෙ ලොක්කිලගෙ ගෙවල් පහු කරල හැතැක්ම හතරක් විතර කන්ද උඩස්කරේට ගිහාම හම්බ වෙනව ඔන්න ගම්මානයක්.ඒ තමයි ලංකාවෙ වැඩියම ...ලංකාව පැත්තම තිබ්බාවෙ ...මුලු ලෝකෙම වැඩියම මීදුම තියෙන ගම...දවසෙ විසිහතර පැයේම ඔහොම මෙහෙම පේන්නෙ නැති තරමට මීදුම ඔන්න කොටින්ම කිව්වොත්. කොච්චර මීදුමද කිව්වොත් ඒ ගමේ ගෙවල් කීයක් තියනවද පවුල් කීයක් ඉන්නවද කියල උනත් කිසි කෙනෙක් දන්නෙ නෑ හරියටම.
කොටිම්ම වෙන මොකවත් ඕන නෑ කිසිම කෙනෙක් දන්නෙ නෑ ඒ ගම්මානෙට කියන නම මොකක්ද කියලවත්...ඔන්න වැඩේ හැටි...දැං අවුරුද්දකට විතර ඉස්සර ආව ගිනෙස් පොතෙං සුද්දො දෙන්නෙක්...මේ ගම්මානෙ ගැන ගිනෙස් පොතට දාන්ට..ලෝකෙ වැඩිම මීදුම තියෙන ගම්මානෙ හැටියට.ඒත් වැඩේ පොටෝ එකක්වත් ගහගන්ට තියා ඒ අහල හතර මායිමට වත් යන්ට බෑ නෙව. මෙලොව දෙයක් පේන්නෙ නෑ.. උං දෙන්න තාම ඉන්නව මයෙ හිතේ සීමොං ආතලගෙ ගේ පිටිපස්සෙ පරණ කඩ කෑල්ලෙ නැවතිලා..මීදුම අඩුවක් වෙනකල්..පොටෝ එකක්වත් අරගෙන ගිහිල්ල ගිනෙස් පොතට දාන්ට.
හරි ඒ මීදුං කේස් එක එතනිං ඉවරයි කියමුකො. ආපහු එමු කලාවැවේ ඉවුරට. ඈත පේනව මහ විසාල නුගයක් වගෙ ගහක් යට පොඩි දේවාලයක් වගෙ එකක්. ඕක වටේ ඉන්නව පේනව සෙනඟ සෑහෙන්ට.
" මචං අන්න අරෙහෙට යමං….." අර මම කිව්වෙ රෑ දෙගොඩහරියක් වෙනකල් තුණ්ඩු ලියාපු එවුං....ලියාගෙන ආපු තුණ්ඩු කෑලි ආයෙම අරං යන්ටය. කාට කාට හරි දීල දාන්ට එපාය...නැද්ද මං අහන්නෙ?
ඔය කාලෙට ඉතිං ඔහොම තමයි...පාර දිගේ ඉන්න කෙල්ලංට අනම් මනම් කියන්ට, කෝචොක් කොරන්ට , ඇඩ්රස් ලියපු තුණ්ඩු කෑලි විසි කරන්ට ඔව්ව ඔය නාඹර වයසෙ ඉන්න කොයි කොල්ලත් කොරන වැඩ. හැබැයි ඔව්වයිං මෙහෙම දේවලුත් වෙන්ටත් බැරිකමක් නෑ.
ඔන්න එක පාරක් අලුතෙං ආව අපිට ජීප් ඩැයිවර් කෙනෙක්.එච්චර වයස එහෙම නෑ. ඔන්නම් අවුරුදු විසි පහක් වගෙ ඇති. ආහ්..ඊට කලින් ඉන්න තව ඩැයිවර් කතාවක් කියල ඉන්න...මේ මනුස්සයත් අලුතෙන් ජීප් පත්වීමක් අරං ආවෙ...ඒත් ඊට කලින් අපෙ ආයතනයෙම ට්‍රැක්ටර් රියදුරු විදිහට අවුරුදු පහලවක් වගෙ වැඩ කරල තියනව.වයස ඇති හතලිහක් හතලිස් පහක් වාගෙ.
නම පොඩි මහත්තය...අපි කියන්නෙ පොඩි මහත්තයා මහතා කියල.මේ මනුස්සය ජීප් එක ඩ්‍රයිව් කරද්දි ඇඟේ ලේ නෑ. ට්‍රැක්ටර් එළෝල පුරුද්දට මේ යස්සය මඩ වලක් උඩිං යද්දි කකුල් දෙකම උස්සනව. සමහර වෙලාවට ඔහොම ඇක්සලරේටරෙන් එක පාරටම කකුල ගත්තම ජීප් එක හිටිනව අර මඩ වල මැද්දෑවෙ. ඉතිං බැහැල තල්ලු කොරපල්ලකො අර මඩ ගොඩේ...අරූව කන්ඩ පුළුවන් නං කනව කොල්ලො අමුවෙම්ම. ඕකා බේරුණේ වෙන මොකවත් නෙවෙයි අවුරුදු හතළිහක් හතළිස් පහක් උනයි කියන්නෙ බ්‍රොයිලර්ල නෙවෙයිනෙ. කරි චිකන් වාගෙ. හපන්ඩ ගිහිල්ල දත් කඩා ගන්නෙ මොකටද කියල අපි නිකං හිටියෙ.
හරි පොඩි මහත්තයගෙ කතාව ඉවරයි.දැං අර කලිං කියාපු තරුණ පහේ ඩ්‍රයිවර්ගෙ කතාව. නම ගුණතිලක.... මනුස්සය ගැන කතා දෙකක් තියනව. . මේ පලවෙනි කතාව. …
ඔන්න ගුණතිලක පත්වීම බාරගෙන දවස් දෙකයි නැත්තං තුනක් ඇති. අපෙ එක ජීප් එකක් වැඩ කරපු ඩැයිවර් ගියා නිවාඩු.ගුණතිලක තමයි නිවාඩු කොලේ අත්සන් කලේඇක්ටිං විදිහට. ඔන්න ගුණතිලක ඉස්සෙල්ලම අපෙ ඔෆිස් එකට ආවට පස්සෙ වාහනයක් එළෝනවමයි මේ..
උදේ අපි කට්ටිය නැග්ග වාහනේට වැඩ බිම් වලට යන්ට. ෆීල්ඩ් යනව කියල තමයි ඒකට කිව්වෙ.එදා අපේ නේවාසික ඉංජිනේරු තුමාත් ( හෙළ වදනින් කිව්වොත් වැසි මැවිසුරුවාණෝ ) ඔන්න ගොඩ උනා වාහනේට ..." යමුකො ....මමත් එනව අද " කියල. දෑන් ඔන්න යනව බොරළු අතුරපු පාරක් දිගේ. ඔය අපි වැඩ කරපු හරිය මහ කැළෑවෙයි කිව්වට තැනින් තැන විතරයි එක යායට මහ ගස් තිබ්බෙ. වැඩිපුරම තිබ්බෙ මාන තලාවල්. කාලාන්තරයක් තිස්සෙ හේං කොටපුවගෙ ප්‍රතිපල තමයි ඒ.හේනක් කොටන්නෙ අළුතින් කැළේ කොටහක් කපල දාල ගිනි තියල වටේට දඬු වැටක් ගහල ඒකෙ ඔය කැකිරි, තියඹරා, බටු, බඩ ඉරිඟු,, කුරක්කං වගෙ බෝග ජාති වගා කරල.අර කපාපු කැලේ ගිනි තිව්වම පස හොඳට සාරවත් වෙනව.එක හේනක අස්වැන්න කපා ගත්තම මිනිස්සු කරන්නෙ ඒ යාබදව තව කැලෑවක් කොටල ආයෙම අලුතෙං හේනක් හදා ගන්න එක.
ඔහොම කාලාන්තරයක් කලාම අන්තිමට ඉතුරු වෙන්නෙ පඳුරුයි මාන ඉලුක් විතරයි. අපි මම ඔය කියන දවසෙ ගියෙත් අන්න එහෙම සරුවට හැදිච්ච මාන තලාවක් මැදිං ඩෝසර් කරල පස් සෙ ග්‍රෙවල් දාල හදාපු පාරක.ඔන්න අපෙ වැසි මැවිසුරු තුමා ඉස්සරහ සීට් එකේ. අපි කට්ටිය පිටි පස්සෙ. ඒ දවස්වල අපි හදාගෙන ගිය එක වැවකට යන්ට ඔය පාරෙ මඟක් දුර ගිහිල්ල වමට හරවන්ට ඕන. දෙපැත්තෙම අඩි හයක් වගෙ උසට මාන ගාල නිසා ඒ අතුරු පාර ළඟට එනකල්ම හොයන්ට අමාරුයි.ඒ නිසා ඉස්සරහ හිටපු අපෙ ලොක්ක ඩ්‍රයිවර්ට කිව්ව මීටර් පනහක් තරම මෙහාදි, " ගුණතිලක... ඔය ඉස්සරහිං වමට හරවන්ඩ " කියල.
දන්නවද මේ යක්සය කරපු වැඩේ.ජීප් එක ඒ වෙලාවෙ කිලෝ මීටර හැටකට වගෙ ආවෙ. මේ ගොං වස්ස ආපු වේගෙම්ම කැපුවෙ නැද්ද ජීප් එක වමට..අර හෙණ මාන ගොල්ල මැද්දෑවට.
ජර බර බරාස් බර..බරාස්...බරාස්..බර...බරාස්....ගෑව..එක පාරට හතර අතම අඳුරු වෙල ගියා. අර මාන ගොල්ල උසයි අඩි හයක් හතක් තරම.වාහනයක් එළවද්දි මොකක් හරි බලාපොරොත්තු නොවිච්චි දෙයක් උනාම බොහෝවිට ඉබේම වෙන දෙයක් තමයි ත්වරකය ( Accelarator ) පෑගෙන එක. මේ යකාටත් ඒකම උනා. ඒත් අර මාන ගොල්ල පොඩි කරගෙන යන්ට මොකෝ මේක ඩෝසර් එකක් වත් යුද්ද ටැංකියක් වත් නෙවෙයි නෙව. ඒත් එන්ජින් පවර් එකට මීටර් දහයක් විතර ගිහිල්ල එහෙම්මම නැවතුනා. ඒත් අර මනුස්සය බයටම ඇක්සලරේටරේ පාගගෙන. එන්ජින් එක මරහඬ දෙනවා. ඔන්න එතකොට තමයි අපි කාටත් සිහියක් පතක් ආවෙ. ලොක්ක කෑගැහුව ඉස්සරහ සීට් එකේ ඉඳගෙන හොඳ කුණු හරපෙකුත් කියල.
" අත ඇරපං ******, ඇක්සලරේටරේ."
මොන සමයංද?....... ඒක ඉන්නව ඉස්සරහ බලාගෙන ස්ටියරිං එකත් ලෑල්ලටම පාගගෙන අත්දෙකත් එක්කලා දරදඬු වෙල. ඒ පාර ලොක්ක ගැහුව මුගෙ කම්මුලට එකක්. ඔන්න ඒ පාර තමයි මූට හරි සිහිය ආවෙ. අත්දෙකත් අත ඇරුන ස්ටියරිං එකෙං, ඇක්සලරේටරෙනුත් කකුල ගන්ට ඇති. එන්ජිමත් එහෙම්මම බග් ගාල හිටිය.දෑන් ඔන්න අර සද්ද බද්ද ඔක්කොම නැවතිල මීයට පිම්බ වගෙ නිස්සබ්දතාවයක් ආව. අපි ඔක්කොම ඉන්නව බලාගත්තු අත බලාගෙන මොකද උනේ කියල හිතාගන්ට බැරුව. ඔන්න එක පාරටමමගෙ දකුණු කණ ගාවිම්ම..
" බුදු අම්මෝ, අපි ඉවරෝ, අයියෝ, අප්පෝ, අම්මෝ…"
කියල මර විලාපයක් පටං ගත්තෙ නැද්ද?
ඒ ඇන්ටා....ඕකට තිබ්බ පොඩි ලෙඩක්...මේ යස අගේට අපි එක්ක ඉන්නව කෑගගහ හිනා වෙවී. වාහනේකට නැඟපං...එක විනාඩි දෙකයි යන්නෙ මූ කට කපල බුදි. ජීප් එකෙත් එහෙමයි. ගෙදර යන්ට බස් එකට නැග්ගත් එහෙමයි. ආය නෑ සමාවක්.
අච්චර වල ගොඩැලි උඩිං විසික්ක වෙවී යද්දි උනත් ඇන්ට ආය නෑ බබා වගෙ නිදි. වෙලාවකට අපට ඊරිසියත් එක්ක. ඕකගෙ ගෙවල් ඔන්න ඔය දිගන පැත්තෙ. වැඩට යන්න ඕකා නුවරට ඇවිල්ල නඟිනවනෙ කදුරුවෙල බස් එකේ. මොනවද ට්‍රිනිටි එක පහු වෙනකල් ඇහැරං ඉඳියි. ඊට පස් සෙ කෙලිම්ම බෙල්ල කඩා වැටෙනව ( මහනුවර පිළිබඳව හාංකවිසියක් නොදන්නා දුහුණන් දැනුම් උදෙසා - ඔබ මහනුවර සිට කදුරුවෙල බලා ගමන් කරද්දී බස් නැවතුම්පලින් පිටත්වී විනාඩි දහයක් පමණ ඇතුලත ත්‍රිත්ව විද්‍යාලය පසුකල යුතුය )
ඕකගෙං ඉස්සරෝම රස්සාවට ගිය දවස්වල උංගෙ අම්ම ඇහුවලු
" නුවර ඉඳල කදුරුවෙල යනකොට මොනවද පුතේ පහු වෙන්නෙ?.." .
" ඒ හැටි දෙයක් නෑ අම්මෙ ඔන්න ට්‍රිනිටි එක පහුවෙනව, ඊට පස් සෙ කදුරුවෙළ " ඕන්න ඇන්ටගෙ උත්තරේ.
" හෑ..කදුරුවෙලය කියන්නෙ ඒ හැටි මේ ඊමමද? "
අම්ම පැයක් විතර කටත් ඇරගෙන උන්නයි කියලයි ඔන්න කියන්නෙ..
" හෑ..කදුරුවෙලය කියන්නෙ ඒ හැටි මේ ඊමමද? "
අම්ම පැයක් විතර කටත් ඇරගෙන උන්නයි කියලයි ඔන්න කියන්නෙ..
ඕං ඔය ඇන්ට තමයි අර විලාප ගැහුවෙ. වෙනද වගේම ඒක නාවල කිරි දීල නිදි කෙරෙව්ව බබා වගෙ නිදාගෙන ඉඳල තියෙන්නෙ. එක පාරට සර..බර..බරාස් ගාන සද්දෙට මූ උඩ ගිහිල්ල බිම වැටිල එකත් එකටම ජීප් එක පෙරළිලා තමයි.. එහෙම හිතලයි මූ මේ විලාප තියන්ට ගත්තෙ.
" ඔන්න ඕකගෙ විලාපෙ නවත්තන්ට කියනවද කවුරු හරි...."
ලොක්ක ආයෙම කෑගැහුව. මම ඇන්ටගෙ උරහිස අල්ලල හෙලෙව්ව. ඌ ඇස් දෙකත් පියාන ජීප් එකේ වහලෙ කැන්වස් රෙද්ද රඳෝල තියෙන යකඩ බට දෙකක එල්ලිලා එක සීරුවට කෑගහනව.
" බුදු අම්මෝ,…. අපි ඉවරෝ…., අයියෝ, අප්පෝ, අම්මෝ "
" ඒයි ඇන්ටො කට වහගං බං...ජීප් එක පෙරලුනේ නෑ...."
දෙතුං පාරක් උරෙස්සෙං අල්ලල හෙල්ලුවට පස්සෙ තමයි ඕන්න උගෙ අඳෝනාව ටික ටික අඩුවෙලා නැතිම වෙලා ගිහිල්ල ඒකා ඇස් දෙක ඇරල වටපිට බැලුවෙ..
" ආ පෙරලුනේ නැද්ද?... එහෙනං මොකක්ද අර ජර බර ගාල ඇහිච්ච සද්දෙ? "
ඔන්න මානගාල යන්තං එහාට මෙහාට කරල අපි බැස්ස ජීප් එකෙං. අපරාදෙ කියන්ට බෑ ජීප් එකනං හොල්ලන්ට වත් බෑ. පොඩි පල්ලමක වගෙ අපි ඇවිත් තියෙන්නෙ පාරෙ ඉඳල. එතන තියන විදිහට හරවන එක නම් බොරු. මාන ගාලෙ රිවර්ස් කරන්ඩත් බෑ. ඒ පාර අනික අය එතනම ඉන්දැද්දි මමයි තව එහෙකුයි පයිම්ම ආව ආපහු කෑම්ප් එකට. ඒ දවස්වල හොඳ වෙලාවට කුඹුරු ලෑන්ඩ් ලෙවලිං වලට ගෙනාපු ඩෝසරයක් තිබ්බ අපි ගාව. ඒක අරගෙන ගිහිල්ල ටෝ රෝප් එකක් ( වාහනයක් මඩෙහි එරුනු වැනි අවස්ථාවක ඩෝසරයක් හෝ වෙනත් වාහනයක් යොදා ගොඩට ඇදීමට යොදා ගන්නා කුඩා යකඩ තන්තු අඹරා සැදූ යකඩ කඹය ) ඒකට අමුණල ඇදල තමයි අර ජීප් එක ආයෙම පාරට ගත්තෙ...




