![]() |
| Image - Sunday Observer Online |
මේ පහුගිය සිකුරාදා දවාලෙ යාලුවෙක් කතා කලා. මේ දවස් ටිකේම බොහොත් බිසීවෙලා හිටියට මනුස්සය එක්ක මිනිත්තු පහක් දහයක් වගෙ කතානොකරම බැරිවුනා.මොකද මගෙ කිට්ටුම මිත්‍රයෙක්.... මාස එකහමාරක් විතර නිවාඩුවකට ලංකාවට ගිහිල්ල පහුගිය සතියෙයි ආපහු ආවෙ..මනුස්සයගෙ ගෙවල් පන්නිපිටියෙ..දෙව්රම් වෙහෙර කිට්ටුව..." දෙව්රම් වෙහෙරේ.... හිමි වැඩ සිටි සමයේ.... මා සිටියානම්.." කියල වික්ටර් කිව්වලු.ඒ ඔය කොහෙද ගම් උදාවක අවසාන රාත්‍රියෙ සංගීත ප්‍රසංගයෙදි. " හුහ්, උඹ හිටියනං?... උඹ හිටියනං කොරයි..." කියල කිසිම අංගපුලාවකට නැති වරත්තු කොල්ලෙක් කෑගහල කිව්වලු.
" ඉතිං..මල්ලි කොහොමද නිවාඩුව? "
" නියමයි රවි අයියෙ... කියල වැඩක් නෑ......මරු....දැං අවුරුදු හතර පහක ඉඳලම නිවාඩුවකට ගියාම අනුරාධපුරේ යන්ට කියල හිතාගෙන උන්නට ඒ වැඩේ කොහොමින් කොහොමින් හරි මඟ ඇරුන. "
" ඉතිං බං .මේ පාරවත්…………"
" ඔව්..ඔව්..මේ පාර දැම්ම දවස් දෙකක අනුරාධපුරේ ට්‍රිප් එකක්..පොඩි දෙන්නට මාර සතුටුයි….."
මේ පහුගිය අවුරුද්ද වෙනකල් එරන්ද ( යාලුවගෙ නම එරන්ද ..මම කලිං කිව්වෙ නෑ නෙවද ? ) පොඩි දෙන්නයි බිරිඳයි එක්ක මෙහෙ හිටියෙ. මම ඉන්න එපාට්මන්ට් එකේ ඉඳල පාද චාරිකාවෙන් මිනිත්තු පහයි වූ හිටපු එපාර්ට්මන්ට් එකට. ( ඌ කියන වචනෙ වෙනුවට සමහර අය වූ කියල කියනව අහල තියද ? )
ලොකු දුව ඉස්කෝලෙ දාගන්ට වයස සම්පූර්ණ උනහම එරන්දගෙ භාර්යා තොමෝ දරු දෙදෙනාද කැටුව පෙරළා ලංකාව බලා ගියාය. පොඩි කාලෙ දිනමිණ පත්තරේ මෙහෙම සිරස්තලයක් තිබ්බම මට මාර ප්‍රශ්නයක් " චීනයේ සංචාරයකට ගිය ඇමතිතුමා පෙරළා දිවයිනට පැමිණේ." අප්පටසිරි ඇමතිතුමා චීනෙදි මොනවහරි පෙරළන්ට ඇති ඒ හින්ද මනුස්සය කලින්ම ආපහු එව්වද දන්නෙත් නෑ. " ඔන්න මට තිබ්බ පුරස්න....
මැදපෙරදිග රැකියාකරන තමන්ගෙ සුතනඹුවන් ( සුතනඹුවන් කියන්නෙ කුණුහරුපයක් වගෙ උනාට එහෙම එකක් එහෙම නෙවෙයි හොඳද? කලිනුත් දවසක මම කිව්ව මම හිතන්නෙ ..සුතනඹුවන් කියන්නෙ අඹුදරුවන් කියන එක..ඊටත් සරලව කිව්වොත් බිරිඳ සහ දරුවන් ) හා සමඟ මෙහෙ පදිංචි වෙලා ඉන්න කට්ටියට දරුවො ඉස්කෝලෙ යන්ට වයස සම්පූර්ණ උනහම තෝරගන්ට විකල්ප තුනක් තියනව. එකක් තාවකාලිකව හෝ ස්ථිරව මැද පෙරදිගට සමුදීල ලංකාවෙ පදිංචියට යන එක.
එහෙම යන අය බොහෝවිට අවුරුදු තුනහතරකින් ආපහු එනව තමන් විතරක්. දෙවෙනි විකල්පය භාර්යා තොමෝ සහ දරුවන් ලංකාවට පිටත් කරන එක. අවසාන විකල්පය තමයි මෙහෙදිම අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන එක.විගමණික ශ්‍රමිකයින්ගෙ දරුවන් උදෙසාම පවත්වාගෙන යන ඉහළම මට්ටමේ අධ්‍යාපන ආයතන බොහොමයක් මෙහෙ තියනව. ශ්‍රී ලාංකික දරුවන් වෙනුවෙන්ම පවත්වාගෙන යන අධ්‍යාපන ආයතනයකුත් තියනව. ඔය Sri Lankan School එකේ නිර්මාතෘ ඇවිල්ල අපේ අරූගෙ බොහෝම ඉස්සර පැරණි යාලුවෙක්...අරූ ඔබ්රෝයි ඉන්න කාලෙ...
අරූ මතකයි නේද? ඔව් ඔව් වූ තමයි..අර පවුල් අවුල් වන්නට පෙර ද මොකක්ද කියල බයිල වගයක් ලිව්වෙ ඒ දවස්වල. මිනිහ දැං ඒ අටල්පහුර ලියන්නෙ නැත්තෙ මනුස්සයට පොඩි කේස් එකක් වෙලා. ටිකක් වැඩි වෙච්ච දවසක බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩට නැඟල කෑගහල දෙකක් වෙන්ට.චාලිස්ට එලිසබෙත් අක්ක රජකම දෙන්නෙ නෑය කියල තමයි අරූ දෝස්මුරේ දාල තියෙන්නෙ.ඔය චාලිස් ඇවිල්ල අරූගෙ බොහොම හිතේසිවන්තයෙක්ය කියනවනෙ. ඉතිං දෙන්න හවහට සෙට් වෙනවයි කියන්නෙ හයිඩ් පාක් එකේ තියනව දාර සයිස් ඕක් ගහක්. අවුරුදු තුන් හාර සීයක් පරණ රජ බඩුවක්. ඔන්න ඕක යට.
ඔහොම සෙට් වෙච්චි වෙලාවක චාලිස් කියල අරූට තමංගෙ දුක්ගැනවිල්ල..මමී රජකම දෙන පාටක් නැතය..අවුරුදු 63 ක්ම ඔ.හි.කු. වෙලා ඉඳල එපා වෙලාය තියෙන්නෙය,,,අරකද? මේකද? සියලු පට්ටන්තරේ දිගඇරල.අපෙ ඔය අරූස් ඉන්නව නේද? හිත හොඳ ගොබිලා. යාලුවෙක් වෙනුවෙන් පිත්තාසෙ උනත් දෙයි මේං කියල. අරූ ඒ පාර කියල උඹ නාඩ ඉඳිං එච්. ආර්. එච්. උඹට රජකම අරන්දෙන සැටි මම දනිම්වේදැයි හයිඩ් පිටිය එකනින්නාදවන අයුරු සිහනද පවත්වාලාපියා....පවත්ලාපියා..තිලාපියා...හරි ඊට පස්සෙ..ඊට පස්සෙ ගිහිල්ල බකිංහැම් මාළිගාවෙ ගේට්ටුව උඩ නැඟල මාළිගාව දෙකක් වෙන්ට කෑගහල..අඩෝ..එළිසබෙත් ..මේ අහපං...උඹ චාලියට රජකම දෙනවද නැත්තං..නැත්තං..නැත්තං....
පස්සෙ එලිසබෙත් අක්කගෙ ආරක්සක බල සේනාව ඇවිල්ල වූ ගේට්ටුවෙං බස්සගෙන අරගෙන ගිහිල්ල කූඩු කරල.. තාම නඩුව යනව..මේ දවස්වල ඕක අර පවුල් අවුල් වන්නට පෙර ලියන්නෙ නැත්තෙ අන්න ඒකයි. ඔය කේස් එකේ තව සීන් කෝන් බොහොම තියනව. වෙන වෙලාවක ලියන්නංකො අරූට වෙච්චි දේ කියල තනිකර පෝස්ට් එකක්ම...හෙහ්,හෙහ්,
අම්මටවූඩු කොහොමද පාරෙන් පිට පැනල තැලුව පඳුරු තැලිල්ල?...පිස්සු හැදෙයි යළි හොඳවෙයි ආයෙ හැදෙයි කිව්වලු...හෙහ්...හෙහ්...රයිට් බෑක් ටු ද මේන් ස්ටෝරි..ආපසු ප්රස්තුත මැයට එළඹෙමු.
ඉතිං එරන්ද මට කෝල් එකක් දුන්නය කියල මම කිව්වනෙ නේද? රයිට් ඒක කිව්ව...
" ඉතිං බං? වෙන කොහෙවත් එහෙම ගියේ නෑ? "
" ආ...ඉඳපංකො කියන්ට..මේ මෙහෙ එන්ට දවස් තුනකට ඉස්සෙල්ල අයියෙ, අපි හතර දෙනයි මල්ලිගෙ ෆැමිලි එකයි ..අපි දෙගොල්ල ගියානෙ කුකුලේගඟ හොලිඩේ රෙසෝට් එකට.."
" නෑ?....කොහොමද නියම පොට් එක නේද? "
" අප්පට සිරි...කියල වැඩක් නෑ බං ..මාර ලස්සනයි.."
" උඹල ගියේ කොහොමද? කලුතරට ගිහිල්ලද? "
" හෙහ්, ඒ මොකටද බං කලුතර යන්නෙ? සදර්න් හයිවේ එකේ ගිහිල්ල දොඩංගොඩ ඉන්ටර්චේන්ජ් එකෙන් මතුගම, අගලවත්ත පහුකරල අපි ගියෙ…"
" රයිට් ඊට පස්සෙ බදුරලිය, ලත්පඳුර...මට මතකයි...."
" ඒක තමයි …….මට මතකයි අයිය කලින් කුකුලේ වැඩ කලාය කියල...මම ඒත් එහෙදිත් කිව්ව සංජීවනී එක්ක අර රවි අයිය කලින් මෙහෙ වැඩ කරල තියනවය කියල. " සංජීවනී වූ කලී එරන්දගේ භාර්යා තොමෝ වන්නීය.
" ඕකෙ පවර් ස්ටේෂන් එක අන්ඩග්‍රවුන්ඩ්. උඹල ඇතුලටත් ගියාද? "
" ඇතුලටනම් දැන් යන්න දෙන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් පවර් ස්ටේෂන් එකට යන ටනල් එක පටන් ගන්න තැනට ගියා. "
" අඩේ ඔය ටනල් එක පටන් ගන්න තැනම එලියෙන් තමයි අපේ ඔෆිස් එක තිබ්බෙ. ඔය ටනල් එකට ඒ දවස්වල කිව්වෙ මේන් ඇක්සස් ටනල් කියල අපේ ඔෆිස් එකට කිව්වෙ මේන් ඇක්සස් ටනල් ඔෆිස් එක කියල."
ඒ දෙදහස් එක වසරයි.විවාහපත්ව සිව්වසරක් ගෙවුනු ඉක්බිති, වසර සතක් වන මැද සහ එමෙන්ම ඉන්පසුව වසර අටක් ගොවි ජනපදයක කල සේවයෙන් පසුව 1994 වසරේ බලයටපත් පොදු පෙරමුණු රජය විසින් ක්‍රියාත්මක කල ස්වේච්ඡාවෙන් සේවයෙන් ඉවත්වන්නන් හට වන්දි ලබා දීමේ වැඩ පිළිවෙලින් උපරිම ඵල නෙලාගත් මම වසර පහළවක රාජ්‍ය සේවයෙන් ඉවත්වූයෙමි.ඉනික්බිති කටුගස්තොට-අලවතුගොඩ සහ පේරාදෙණිය- ගම්පොළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘතීන් හා සම්බන්ධව වසරකට මදක් අධික කාලයක් සේවය කොට දෙදහස් එක වසරේ ජනවාරි මස කුකුලේගඟ ව්‍යාපෘතියෙහි සේවයට බැඳුනෙමි.
මිහිකත අභ්‍යන්තරයෙහි ඉදිකල මෙගවොට් 80 ක ධාරිතාවයකින් යුතු කුකුළේගඟ ජලවිදුලි බලාගාරයට ජලය සැපයෙනුයේ කිලෝ මීටර 7.5 දිගු උමඟකිනි. ඒ ජල සැපයුමේ ආරම්භය කලවානේ මීපාගම ඉදිකල අමුණකින් කුකුළේගඟේ ජලය හැරවීමෙනි.ජල විදුලි නිෂ්පාදනයෙන් පසුව තවත් කිලෝ මීටර් 1.6 දිගු උමඟක් හරහා එම ජලය මාකෙළි ඇල්ල අසලදී යලි කුකුළේගඟටම එකතුව කළුගඟ ඔස්සේ කළුතර බෝධිය අසලින් සත් සමුදුරට එකතුවේ. ඒ උදෙසාම ජලාශයක් ඉදිනොකොට, අමුණක් මඟින් ගලායන ජලය හරවා ජලවිදුලිය නිෂ්පාදනය කිරීමට සැලසුම් කල ලංකාවේ ප්‍රථම ව්‍යාපෘතිය කුකුළේ ගඟ ව්‍යාපෘතියයි. ඒ ඉංගිරිසි බසින් හැඳින්වෙනුයේ Run Of The River Project ලෙසිනි. මේ මෑතක ඉදිකිරීම් නිමවී ජාතික විදුලිබල පද්ධතියට එක්වූ ඉහළ කොත්මලේ ව්‍යාපෘතියද ඒ මාදිලියේ තවත් ව්‍යාපෘතියකි.
ඉදිකිරීම් ක්ෂේත්රය තම ජීවනෝපාය ලෙස තෝරාගත්තෙකුට පොළව අභ්‍යන්තරයෙහි උමං කැණීම් කටයුතු කෙරෙන ව්‍යාපෘතියක සේවය කිරීමට ලැබීම සත්‍යය වශයෙන්ම දුර්ලභ ගණයේ භාග්‍යයයකි..පුරා වසරකට මඳක් අධික කාලයක් පුරා ලබාගත් ඒ මිලකල නොහෙනා අත්දැකීම, මගේ ජීවිතයේ තවත් එක් ස්මරණයෙන් කිසිදින ගිලිහී නොයනා සංසිද්ධියකි.
කුකුළේගඟ ව්‍යාපෘතියෙහි ගතකල කාලය අළලා සවිස්තර සටහනක් ලිවීමට අපේක්ෂාකොටගෙන සිටිමි. එබැවින් ඒ වෙනුවෙන් වැඩිමනත් කාලය වැය නොකොට එහිදී මවිසින් අසන ලද එක් සිද්ධියක් පමණක් මේ සටහනෙහි ලියන්නෙමි.
කුකුළේගඟ අපිට නැවතිල ඉන්ට වෙනම කෑම්ප් එකක් හදල තිබ්බ.ප්‍රධාන ගබඩාව පැත්තක තිබ්බ කඳු ගැටය විවිධ මට්ටමින් එකදිගට, එකට ඈඳල හදල තිබ්බ එක පේළියක කාමර 12 වගෙ තියන කාමර පේළි. කාමරේ පිටිපස්සෙත් ඒ වගේම තව කාමරයක්. ඒ කියන්නෙ එක පේළියක කාමර 24 තියනව. කාමරේක දෙන්නයි. ඇඳන් දෙකයි, ඇඳුම් දාගන්ට දීල තිබ්බ පොඩි යකඩ අල්මාරි දෙකයි දැම්මම ආය කාමරේ වෙන ඉඩක් නෑ. ඉදිකිරීම් ඉවරවුනාට පස්සෙ කුකුලේ ජලවිදුලි බලාගාරයෙ ආරක්ෂාවට යොදවල තිබුණු හමුදා අනුඛණ්ඩයෙ නිලධාරීන් නවාතැන් ගත්තෙ ඒ අපි හිටපු කාමරවලය කියල පස්සෙ කාලෙක කවුද මට කිව්ව.
ඔය හයිටි රටට එහෙම යැව්වනෙ එක්සත් ජාතීන්ගෙ සාම සාධක හමුදාවට අනුයුක්ත කරල අපේ හමුදාවෙ අය. ඒ ගොල්ලන් එහෙම යවන්ට කලින් විශේෂ පුහුණුවක් දුන්නයි කියන්නෙත් ඔය කුකුළේගඟ කඳවුරේ. එතකොට අර මේ කතාව පටන්ගද්දි මගෙ යාලුව එරන්ද කිව්වෙ කුකුළේගඟ හොලිඩේ රිසෝට් එකක් ගැන. කුකුළේගඟ නිවාඩු නිකේතනය. ඒක දැන් පිහිටවල තියෙන්නෙ ඉදිකිරීම් කරන කාලෙ ස්කන්ස්කා සමාගමේ සේවය කරපු ස්වීඩන් ජාතිකයො නැවතිල හිටපු නිවාස සංකීර්ණයෙ. අපි ඒ කාලෙ ඒකට කිව්වෙ Expat Camp කියල.
ස්කන්ස්කා කියන්නෙ ස්වීඩනයෙ සුප්‍රසිද්ධ ඉදිකිරීම් සමාගමක්. ඒ ගොල්ල ලෝකෙ පුරාම ප්‍රසිද්ධයි උමං හෑරීම් කටයුතු වලට. ඒ වගේම පොළව අභ්‍යන්තරයෙ පිපිරවීම් වලට. මතකනෙ ඩයිනමයිට් හොයාගත්තෙත් ස්වීඩන් ජාතිකයෙක්නෙ. ඇල්ෆ්‍රඩ් නොබෙල්.
ස්කන්ස්කා ලංකාවෙ ඉදිකිරීම් ක්ෂේත්රයට මුලින්ම ඇතුලුවුනේ කොත්මලේ ජලාශය නිර්මාණය කරල. ඉක්බිති රන්දෙනිගල රජ මාවත, කළුතර පාළම වගෙ එව්වත් කලේ ස්කන්ස්කා සමාගම.ඊටත් පස්සෙයි කුකුළේගඟ ව්‍යාපෘතියට එයාල සම්බන්ධ වුනේ. අපි ඔය කුකුළේගඟ ඉන්න කාලෙ එහෙ වැඩකරපු අය බොහොම බලාපොරොත්තු තියාගෙන හිටිය ඉහළ කොත්මලේ සහ බ්රෝඩ්ලන්ඩ්ස් ජල විදුලි ව්‍යාපෘතිවල ඉදිකිරීම් කටයුතුත් ස්කන්ස්කා සමාගමට ලැබෙයි කියල. ඒත් එහෙම වුනේ නෑ. ඉහළ කොත්මලේ කලේ ජපන් කම්පනි එකක්. කුමගායි ද කොහෙද මට මතක විදිහට. බ්රෝඩ්ලන්ඩ්ස් මේ දවස්වල කෙරීගෙන යනව. ඒක කරන්නෙ චීන්නු.
හරි ස්කන්ස්කා සමාගම ගැන, කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන තව බොහොම දේවල් කියන්ටතියනව. එව්ව පස්සට. දැන් අර කියනවයි කියල කියාපු කතාව කියල ඉන්නංකො එහෙනං...හොඳද?
උමං හෑරීම කෙරුනෙ ජෙලිග්නයිට් යොදල පිපිරවීම් කරල. බ්ලාස්ටීන් ටීම්ස් දෙකක් ෂිෆ්ට් දෙකක් වැඩකලා. දවල් වැඩ මුරය උදේ 7.00 - සවස 6.00 සහ රාත්‍රි වැඩ මුරය සවස 6.00 - උදේ 7.00. ඒ හින්ද උමං හෑරීම දවසෙ පැය 24 පුරාම අනවරතව සිදු වුනා. සති දෙකකට සැරයක් සෙනසුරාදා සහ ඉරිදා නිවාඩුයි. ඒකට කියන්නෙ ෂට් ඩවුන් එක කියල. අනික් අතරමැද සතියෙ සෙනසුරාද වරුවයි ඉරිදයි නිවාඩුයි.
වැඩ කරපු ෆෝර්මන්ල, චාජ්හෑන්ඩ්ස්ල, ඩ්‍රිලර්ස්ල 95% විතරම ස්කන්ස්කා එකේ කොත්මලේ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරල පළපුරුදු අය. මේ ගොල්ලන්ගෙන් මම බොහොම ප්‍රයෝජනවත් දේවල් ඉගෙන ගත්ත, කුකුළේ ගතකරපු කාලය තුල. ඉතින් ඔහොම ෂිෆ්ට් දෙකට වැඩ කරපු ටීම් වලට වෙන වෙනම ටයිම් කීපර්ස්ල දාල හිටිය. කණ්ඩායමේ සාමාජිකයින්ගෙ පැමිණීම පිටවීම සටහන් කිරීම ඒ වේලා සටහන්කරුවන්ගෙ ප්‍රධානම රාජකාරිය.ඊට අමතරව ටනල් එකේ බ්ලාස්ට් එකක් කලාම ඒ වෙලාව සහ ලොකේෂන් එක සටහන් කර ගන්න එක.
මා එක්ක වැඩ කරපු එක ටයිම් කීපර් කෙනෙක් සුවිශේෂී පුද්ගලයෙක්. කොටින්ම මිනිහගෙ නමේ ඉඳලම..නම ඇවිල්ල රමණි.අපි ඉතින් මිනිහට කතාකලේ රමණි කියල නෙවෙයි. රමණි කියන්ට පුලුවන්ය හැබෑටම පිරිමියෙකුට ? . මිනිහට අපි කතා කලේ වැන්දා කියල. වැන්දා ඇවිල්ල මිනිහගෙ වාසගම කෙටිකරල හදාගත්තු නමක්. ඔය වැන්දා වෘත්තියෙන් බාර්මන් කෙනෙක්.
බාර්මන් කියන්නෙ හෝටල්වල එහෙම මද්‍යසාර අඩංගු බීමවර්ග ඒ නියමිත අනුපාතයට මිශ්‍ර කරල සර්ව් කරන්නා. කුකුළෙ රස්සාවට මිනිහ ඇවිල්ල තියෙන්නෙ ඒ කාලෙ වෙනකොට සංචාරකයින්ගෙ පැමිණීම තරමක් අඩුවෙලා තිබුනු නිසයි කියලයි වැන්ද මා එක්ක කිව්වෙ. වැන්ද මරු කතා කාරයා.මිනිග කළුතර, වාද්දුවෙ, අහුංගල්ලෙ, හික්කඩුවෙ, ඔය හැම තැනම හෝටල්වල වැඩ කරල තියනව. ඊට අමතරව ආරුගම්බේ,නිලාවෙලි, කල්කුඩා වගෙ නැහෙනහිර වෙරළ තීරයෙත් කාලයක් වැඩ කලයි කියල මා එක්ක කිව්ව.
ඔෆිස් එකේ ඔන්න බොහොම වෙලාවට ඉන්නෙ අපි දෙන්න විතරයි. මම ඔන්න කම්පියුටරේ බ්ලාස්ටිං රිපෝට් එකේ විස්තර ටික එන්ටර් කරල ඉවර වෙලා පුටුව හරවල වැන්ද දිහා බැලුව. වැන්ද ඊයෙ ටයිම් කාඩ් ටික පොතේ එන්ටර් කරනව.
මම හාපුරා කියල කම්පියුටර් එකක වැඩ කලේ කුකුළෙ රස්සාවට ආවට පස්සෙ. අර කැළේ මැද රස්සාවට ආයුබෝවන් කියල ආවට පස්සෙ මම හිතුව මේ වැඩේ හරියන්නෙ නෑ. කම්පියුටර් කෝස් එකක් කරන්ටම ඕනය කියල. මොකද ඒ වෙනකොටත් කම්පියුටර් භාවිතය හැම ක්ෂේත්රයකම වගෙ ව්‍යාප්ත වෙමින් පැවතුනෙ. ඉතිං හොඳ තත්ත්වයෙ රැකියාවකට පරිගණක දැනුම අත්‍යාවශ්‍යය වෙමින් තිබුනෙ ස්ලෝලි බට් ෂුවර්ලි.ඒපාර මම නුවර තිබ්බ N.I.B.M. ආයතනයෙ ( ජාතික ව්‍යාපාර කලමණාකරන ආයතනය ) තුන්මස් පරිගණක සහතිකපත්‍ර පාඨමාලාවක් කලා. ඒ කෝස් එක කලාට හරියට පරිගණකයක් පාවිච්චි කරන්නට ලැබුනෙ ඔය කුකුළෙ රස්සාවට ආවට පස්සෙ.
වැන්දා ඔන්න වැඩේ ඉවරවෙලා පුටුවෙන් නැඟිටල අතපය දිග ඇරල හිරිඇරගත්ත.
" බොස් අර හෙඩ්රේස් ටනල් එකේ අර මොකක්ද තරඟෙට දැම්මද? "
හෙඩ්රේස් ටනල් එක කියන්නෙ මීපාගම අමුණෙ ඉඳල ජල විදුලි බලාගාරයට වතුර අරගෙන එන උමඟ. හෙඩ්රේස් ටනල් එක අමුණෙ ඉඳල පහලටයි, ජලවිදුලි බලාගාරයෙ ඉඳල උඩහටයි දෙපැත්තෙන්ම බ්ලාස්ට් කරගෙන ගියා. ඔය මම කියන දවස්වෙනකොට දෙපැත්තෙං හාරාගෙන එන උමඟ හාවෙන්ට තිබ්බෙ තව මීටර් දෙසීයක් විතර. අන්තිමට දෙපැත්ත හාවෙනවට කියන්නෙ බ්ලාස්ට් තෲ කියල. ඔය බ්ලාස්ට් තෲ එක වෙන්නෙ හරියටම කොයි වෙලාවටද කියල අනුමාන කරන්ට ව්‍යාපෘතියෙ සේවකයො අතරෙ තරඟයක් තියනව. ඒක ඇවිල්ල සම්ප්රදායක්.
ඒතරඟෙදි තමන් අනුමාන කරන Blast Through වෙලාව ඒ අනුමත පත්‍රිකාවක ලියල සංවිධායක මණ්ඩලේට භාරදෙන්ට ඕන.පත්‍රිකාවක මිල මට මතක විදිහට රු. 100 වගෙ ගාණක්. නිවැරදි හෝ ආසන්නම වෙලාව අනුමාන කරපු තරඟ කරුවාට හෝ තරඟ කාරියට අර පත්‍රිකා විකුණල එකතුවෙච්චි මුළු මුදලම ලැබෙනව ජයග්‍රාහී ත්‍යාගය විදිහට. මම ඔය කියන පාර තෑග්ග රුපියල් 12,100 වගෙ ගාණක් හම්බ වුනා.
" නෑ බං තව දවස් තියනවනෙ. අනිද්ද දවල් දොලහ මම හිතන්නෙ ක්ලෝසිං ටයිම්. මම ඊට කලින් වෙලාව ලියල දෙනව. "
ආ..තව එකක් කියන්න ඕමනයි. ඔය මම කියපු හෙඩ්රේස් ටනල් එකේ ඒ දවස්වල ෆෝමන් කෙනෙක් විදිහට වැඩකලා රොෂාන් පිලපිටියගෙ අයියා. රොෂාන් පිලපිටිය දන්නවනෙ නේද? අර නළුවා......අයිය කියන්නෙ එක්කුසේ උපං බාප්පගෙ පුතා...හෙහ්..හෙහ්..බොරු හොඳද? රොෂාන්ගෙම අයිය. මේ දවස්වල හිරු ටී.වී. එකේ යන දේවී කතාවෙ රොෂාන් දකිනකොටම මට මතක්වෙන්නෙම මිනිහගෙ අයිය චතුර.
" බොස් කෙස්කැෆේ එකක් බොනවද? "
වැන්දා ආයෙම ඇහුව අපෙ තේ, කෝපි, සීනි එහෙම තියන පොඩි කබඩ් එක අරින අතරෙ. ඒ දවස්වල අපිට දුන්නෙ ස්විඩන් වලින් ගෙන්නපු නෙස්කැෆේ..අම්මට සිරි එව්ව තමයි නෙස්කැෆේ..බොරැල්ලෙ නෙස්කැෆේ එක හදනකොට මරදානට සුවඳ ගහනව.
" හදපං බං හදපං...අර නැද්ද බිස්කට්?.."
බිස්කට් ජාතියකුත් ස්වීඩන්වලින්ම ගෙනල්ල අපිට දුන්න. මට දැන් එව්වයෙ නම මතක නෑ. ලිබෙනෙට්ස් ද ලීබෝර් ද මොකක්ද ඔන්න ඔය වාගෙ නමක්.
" තියනව..තියනව..මම ඊයෙ මේන් ස්ටෝස් එකෙන් ගිහිල්ල ගෙනාව.."
බිස්කට් හපමින් කෙස්කැෆේ තොලගාමින් වැන්දයි මායි ඔහෙ එක එක දේවල් කතා කරකර හිටිය.
" බොස් දන්නෙ නෑනෙ...පෙරෙයිද අපේ ගම පුරාම කැලෑ පත්තරයක් ගහලනෙ…"
වැන්දගෙ ගම වැලිපැන්න කිට්ටුව. දැන් ඔය දක්ෂිණ අධිවේගී මාර්ගයෙ එක ඉන්ටර්චේන්ජිං පොයින්ට් එකක් තියනව වැලිපැන්නෙ.
" නෑහ්?? ඒ මොනව ගැනද? "
" හෙහ්..අපේ ගමේ කඩයක් කරනව ගෑණු කෙනෙක්. මනුස්සය මැරිල..ඒ හැටි වයසකුත් නෑ..තිස් පහක් වගෙ ඇති වැඩිම උනොත්.අනික හොඳ පෙනුම තියන ඉස්තිරියාව. ඒ මනුස්සය අපේ ග්‍රාමසේවක එක්ක සැට්වෙලයි කියලයි කවිකොලේ ගහල තියෙන්නෙ. "
" මම හිතුවෙ නෑ ඔය කැලෑ පත්තර කාරයො තවමත් ඉන්නවයි කියල. "
" බොස් දන්නෙ නෑ... මේ අපේ ගමේ එව්වොද? පුදුම ජාතියක්...අනික මේ කැලෑ පත්තරේ ගහල තියෙන්නෙ කවියෙන්.."
" නෑහ්..අඩේ මට ගෙනත් දියංකො වැන්දා ඒ කවි කොලයක්.."
" හරි මම බලන්නං බොස් …" වැන්දා නැඟිටල මගෙ කෝප්පෙත් ඉල්ල ගත්ත හෝදල තියන්ට.
ඒ කොහොම හරි වැන්දා මට ඒ කවි කොලේ ගෙනත් දුන්නෙ නම් නෑ. අමතක උනාද නැත්නම් වෙන හේතුවක්ද මන්දා කොහොමහරි වැඩේ සිද්ද වුනේ නම් නෑ. එච්චරයි මම දන්නෙ...
කෝප්ප හෝදල පිහදාල කබඩ් එක ඇතුලෙ මුනිං නවල ඇවිල්ල වැන්දා ආයෙම මා ඉස්සරහ ඉඳගත්ත.ඕකා බාර්මන් හින්ද ඒ චාරිත්‍ර වාරිත්‍ර අකුරට කරනව. දවසට දහපාරක් විතර මේස පිහදානව. අතුගානව. මට වෙලාවකට විකාරෙ හැදෙනව.
" වැන්ද දන්නවද දැනට අවුරුදු විස්සකට විසිපහකට වගෙ ඉස්සෙල්ල ඔය කවිකොල මාර ජනප්‍රියයි..මම අනුරාධපුරේ ඉන්දැද්දි ඉරිද පොළට ගියොත් කොහොම හරි අම්මට කෙඳිරි ගාල ඔය කවිකොලයක් ගන්නවමයි. මට හොඳටම මතක කවිකොලයක් තමයි මතුගම සමන් කුමාර මිනීමැරුම ගැන ගහපු කවි කොලේ. ඒ කාලෙ හෙණ ප්‍රසිද්ධ වෙච්ච මිනීමැරුමක් තමයි මතුගම සමන් කුමාර කේස් එක..වැන්දට මතක ඇතිනෙ ඒක නේද? "
අසූව දශකයෙ මුල්භාගෙ දිවයින පුරා ලොකු ආන්දෝලනයක් කල මිනී මැරුමක් ඔය මතුගම සමන් කුමාර සිද්ධිය. කප්පම් ඉල්ලා පැහැරගෙන ගොස් සිසුවකු මරා දැමුනු දිවයිනේ පළමු සිද්ධිය ලෙස එය ලංකා අපරාධ ඉතිහාසයට එකතුවෙලයි තියෙන්නෙ.
" හප්පෝ...ඒක මතක නැත්තෙ මොකද බොස්? මේ පැත්තෙ විතරක් නෙවෙයි ලංකාව පුරාම මාර විදිහට ප්‍රසිද්ධ වුනානෙ ඒ කේස් එක. මම ඒ කාලෙම වගේනෙ ඔය හෝටල්වල බාමන් රස්සාවට එහෙ මෙහෙ යන්ට පටං ගත්තෙ, හික්කඩුව, ගාල්ල, අම්බලංගොඩ දිහා එහෙම. ඒ පැත්තෙ මිනිස්සු උනත් මම මතුගම කිව්වම නිකං අමුතුවිදිහට තමයි බලන්නෙ......"
" ඒ කියන්නෙ නිකං මේ මතුගම එවුං ඔක්කොම අංගුලිමාල ටයිප් වසවර්තියො, මිනීමරුවො වගෙ තමයි රබර් ඇහැ දාල බලන්නෙ...එහෙමද?...හෙහ්..හෙහ්…"
" අන්න හරි බොස් කියල වැඩක් නෑ..ඉන්ටකො මම මරු කතාවක් කියන්න..මටම වෙච්චි එකක්. මේක වුනේ මම හිතන්නෙ ඔය මතුගම සමන් කුමාර මිනීමැරුමට අවුරුදු පහක් වගෙ පස්සෙ. ඒ දවස්වල මම වැඩ කලේ බෙන්තොට. කොහොමහරි ගෙස්ට්ල අඩුවෙලා ( වැන්දා මෙතන ගෙස්ට්ල කියල කිව්වෙ සුද්දන්ට, එහෙම නැත්තං ටුවරිස්ට්ලට ) මැනේජර් අපිට කතා කරල කිව්ව දැං ගෙස්ට්ල අඩුනිසා කට්ටිය අඩුකරන්ට වෙනවය..ඒ හින්ද තියන පඩි අරං යන්ටය, මාසෙකින් වගෙ ආපහු ඇවිදිල්ල හිට බලන්ටය කියල. ඉතිං වෙන මොකක් කරන්ටද? අපි දෙන්න හිඟ පඩියත් අරගෙන එන්ට ආව.."
මතු සම්බන්ධයි............
කුකුළේගඟ ව්‍යාපෘතිය ගැන පොඩි විස්තරයක් බලන්ට කැමතිනම් මෙන්න පල්ලෙහා තියනව වීඩියෝ එකක්.





