![]() |
| Space Junk Around Earth |
මගේ පහුගිය දවස්වල හිටිය බෝම හිතේසිවන්ත ලලනාවියක්. පහුගිය දවස්වල කිව්වට තාමත් ඉන්නව. ඔය බ්ලොග් ලියන්ට ඇවිල්ලම අඳුනාගත්තු අම්මණ්ඩියෙක්ම තමයි ආය.
මේ දවස්වල උන්දැ වියෝජනය වෙලයි ඉන්නෙ. ඒ කිව්වෙ විදේස ගත වෙලා. ඉතිං එහෙමකට කලිං වාගෙ නිතර සතුටු සාමීචියෙ යෙදිල්ලක් එහෙම නැතුවා. ඔය ඉඳ හිටල කොළේලිය බලුප් එක පත්තුවෙලා තියනව දැක්කම "ආ..කොහොමද බොල වාස දේස?" කියල අහ බලනව. එච්චරයි.
ඉතිං ඔන්න මේ පහුගිය සතියෙ වගෙ හිටපු ගමං මේ මහගෙ මට කතා කරපි චැට්ටෙකෙං."අයියෙ අනේ මේ....."
"මොකද බොල?" මම ටිකක් විතර තදේට ඇහුව අඬ එහෙම බර කරල. ඔවුන්ට සුට්ටක් වගෙ ඉන්ට ඕන පොල්ලට බල්ල වගෙ. එහෙම නැතුව ලීලෙ පෑවොත් ඔවුං හදන්නෙ කරේ නඟින්ට..ඔව්ව්ව්ව්ව්ව්..කරේ නඟින්ට..කරේ නඟින්ට ...ගෝණි නැතුවම.
"නෑ අයියෙ මම මේ කතා කලේ පොඩි කුකුසක් විසඳා ගන්ට.. "
''ඔව්... ඔව්….කියපං බලන්ට මොකක්ද ඔය කුකුස?"
"කුකුස ඇවිල්ලා මේකයි..ඔය අහසිං වැටෙන එක එක එව්ව තියනව නේද?"
"ඒ කිව්වෙ මේ...දේවතා එළි වගෙ?"
"ඔන්න කිව්ව…. ඔය කිව්වෙ ….දේවතා එළි කොහෙද බං අහසිං වැටෙන්නෙ? එව්ව පොළවට සමාන්තරව ගමං කරනව මිසක කඩා වැටෙන්නෙ කොහෙද?"
"ඒකත් හරි තමයි බලාගෙන යනකොට..එතකොට ඔය අහසිං වැටෙන මොනව ගැනද උඹ ඔය කියන්නෙ?"
"මම කිව්වෙ බං මේ ඔය රොකට් කෑලි වගෙ එව්ව ගැන. දැං බලපං මේ හෙට අනිද්දට අර මොනවද ගැජට් කෑල්ලක් ලංකාවට වැටෙන්ට යනවනෙ."
"ගැජට් කෑල්ලක්ය කියන්නෙ බං ඒ වැටෙන්ට යනවය කියන්නෙ මයිකල් කොලින්ස් නිදාගත්තු ඇල්මේනියන් බූරු ඇඳලුනෙ."
"කවුරුය කිව්ව? …"
"මයිකල් කොලින්ස් බං මයිකල් කොලින්ස්...කොහෙද උඹල එව්ව ගැන මෙලෝ හසරක් දන්නවය? මයිකල් කොලින්ස් කිව්වෙ 1969 අවුරුද්දෙ ඇමරිකන් කාරයො ඉස් ඉස්සෙල්ලාම හඳට ගියානෙ. ඒ ගමනට ඔක්කොම තුංදෙනෙක් ගියා. එයිං අර ආම්ස්ට්‍රෝං උන්නැහෙයි ඇඩ්ඩිං ඕල්ඩිරිං උන්නැහෙයි විතරයිනෙ හඳට බැස්සෙ"
"හඳට පය තියල ආම්ස්ට්‍රෝං ගොයිය ඔය මොක මොකවද කිව්වත්ලු නේද? '
"ඔව් ඔව්..මදු සඳෙන් තවත් සුපුං සඳක් උදාවේ කියලනෙ කිව්වෙ……"
"නිකං පලයං බං බොරු කියන්නෙ නැතුව. මනුස්ස සංහතිය උදෙසා යෝද පිම්මක් පැන්නද මොකද්ද නේද ඒ ගොබිල කිව්වෙ?"
"ඔව්..ඔව්..එහෙම තමයි කිව්වෙ. ඒත් ඔය යෝද පිම්මෙ කතාව කියන්ට හේතු වෙච්චි සිද්දිය උඹ දන්නෙ නෑනෙ."
"ඔව්..ඔව්...උඹනෙ ඔය ඔක්කොම දන්නෙ...ඉතිං කියාපංකො එහෙනං මොකද ආම්ස්ට්‍රෝනා එහෙම කිව්වෙ කියල."
"එහෙම කිව්වෙ මේකයි. ඔය මනුස්සය අර ඉණිමඟෙං බැහැල කෙලිම්ම කකුල තිබ්බෙ හඳේ හාවගෙ බෙල්ලට. හාවා උස්මුරුත්තාවට එනකල් කිරිපැණි එහෙම කාල ෂපාන් එකේ ඇලට් එකක් දාගෙන හිටියෙ. ඌ දන්නවය මේ යක්කු ගිහිල්ල උගෙ බෙල්ල පාගයි කියල. මූට මල පැන්න පාර ආම්ස්ට්‍රෝං කාරයගෙ බත්කෙණ්ඩ මැදිම්ම ඇල්ලුව දත් හතරක් පාර හිටින්ඩ.ඒ පාර බුදු අම්මෝයි කියල කෑ ගහගෙන ආම්ස්ට්‍රෝං කාරය පැන්න පැනිල්ලක් අර කවුද කාල් ලුවිස් පැන්න වගෙ. අන්න ඒ පිම්ම හින්ද තමයි මෙය එක් මිනිසකුගේ කුඩා පියවරකි. එහෙත් හාවා කරණකොට ගෙන මිනිස් සංහතිය උදෙසා යෝධ පිම්මක් බවට පත්විය. කියල අර කතන්දරේ හැදුනෙ. "
"හරි ඉතිං ඒ හාවගෙ කතන්තරේ හරිය කියමුකො. ඉතිං කොලින්ස් ගැන මොකක්ද උඹ කියාගෙන ආවෙ?"
"ඒ..බාං...ඔය හාමස් තියනව නේද? අම්මප කියනකොටත් මගෙ....."
"ඔය ඉතිං ආය හාමසක් ගැන ඒ පාර..ඒ හාමස පැත්තකට දාහං..කෝ අර කොලින්ස්ගෙ කතාව?.... ආං ඒක කියල හිටු…"
"ආම්ස්ට්‍රෝං ගොයියයි ඕල්ඩිරිං ගොයියයි හඳට බැහැල හාව පස්සෙ පන්නල හති වැටිල ආපහු එනකල් කොලින්ස් ගොයිය කලේ තව රොකට් එකක නැඟල හඳ වටේ රවුං ගහපු එක. ඒකට කිව්වෙ මව්යානය කියල. හඳට ගොඩ බැස්ස එකට කිව්වෙ චන්ද්‍ර යානය කියල."
(මව්යානය = Command Module & චන්ද්‍ර යානය = Lunar Module)
"මම ඔව්ව දන්න එකක් නෑ බං 1969 කියන්නෙ මම ඉපදෙන්ට හිතලවත් නෑ."
"හෙහ්..ඒකනෙ කියන්නෙ. අඩේ ඒ කාලෙනෙ ඉපදෙන්ට තිබ්බෙ. බොලා කොහෙද ඒ කාලෙ අපායෙ වලකජු ගගහ ඉඳල දැං එනව මෙතන අනේ අයියෙ අපි ඔව්ව දන්නෙ නෑනෙ කියන්ට."
1973 අවුරුද්දෙ අමරිකාවෙ නාසා ආයතනය ස්කයිලැබ් නමින් හැඳින්වුනු අභ්‍යාවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් අභ්‍යාවකාශ ගත කලා. ස්කයි ලැබ් එක අභ්‍යාවකාශගත කිරීමේදීම එහි සූර්ය බලශක්ති ජනන පද්ධතියට හානි සිදුවුනා. පසුව අභ්‍යාවකාශ ගාමීන් එහි ගිහිල්ල අළුත්වැඩියා කටයුතු කලත් පූර්ණ වශයෙන් සාර්ථක වුනේ නෑ. පොළව වටා ගමන් කරන අභ්‍යාවකාශ යානයක් ගමන් කරන්නෙ පොළවෙ වායු ගෝලයට පිටතින්. වායුගෝලයට ඇතුළු වුනොත් වෙන්නෙ ඝර්ෂණය නිසා එහි වේගය අඩාල වෙලා එක්කො පොළවට වැටෙනවා. එහෙමත් නැත්නම් මඟදිම දැවී පිළිස්සී විනාශ වෙලා යනවා. Shooting Stars කියල කියන්නෙ එහෙම පොලවෙ වායුගෝලයට ඇතුලු වෙලා දැවී විනාස වෙන උල්කාපාත.
කුඩා ප්‍රමාණයේ උල්කාපාත විනාශ වුනත් තරමක ප්‍රමාණයේ එව්ව පොලවට පතිත වෙන්න පුලුවන්.අවුරුදු මිලියන 66 කට ඉස්සරවෙලා ඩයිනෝසරයින් ඇතුලු පොලවේ ජීවී ගහණයෙන් 75 % ප්‍රතිශතයක් වඳ වුනාය කියන්නෙ එසේ නොදැවී පොළව මතට පතිත වුනු කිලෝමීටර 10 ක පමණ විශාලත්වයෙන් යුතු උල්කාපාතයකින් සිදුවූ ව්‍යසනයෙන්.
1957 අවුරුද්දෙ සෝවියට් රුසියානුවන් ස්පුට්නික් 1 චන්ද්‍රිකාව අභ්‍යාවකාශයට යවනකල් අභ්‍යාවකාශය බොහොම පිරිසිදු තැනක්. අපෙ අත්තම්ම කියනව වගෙ බත් දාගෙන කන්න වුනත් පුලුවන්. ඒත් ඊට පස්සෙ ගතවෙච්චි මේ පහුගිය අවුරුදු 58 ඇතුලත මිනිස්සු දස දහස් ගාණක් චන්ද්‍රිකා රොකට්ටු අභ්‍යාවකාශයට යවන්න ඇති. ඉතිං මෙතන පොඩි කේස් එහෙකට තියෙන්නෙ ඔය යවන එව්ව ආය අරං එන්ට කෙනෙක් නෑ. එව්ව සදාකල්ම අභ්‍යාවකාශෙයෙම තමයි.අනික අභ්‍යාවකාශය කියන්නෙ රික්තයක් හින්ද එව්ව මළකන්නෙ නෑ. දිරන්නෙ නෑ. කාලාන්තරයක් ඔහෙ පාවි පාවි තියනව.
පොළව වටේ කක්ෂගත වෙලා මේවගෙ අභ්‍යාවකාශ සුන්බුන් කැබලි 5,00,000 වගෙ තියනව කියලයි කියන්නෙ. විවිධ ප්‍රමාණවල එව්ව.මෙව්වයෙ සාමාන්‍ය වේගය පැයට සැතපුම් 17,500 වගෙ වෙනව.ඒ හින්ද ඇත්තටම අපි මේ ජීවත් වෙන්නෙ තනිකර කහළ ගොඩක් ඔලුව උඩ තියාගෙන.බ්ලූමැන්ඩල් කුණු කන්ද වගෙ ලක්ෂ වාරයක් විසාල කුණු කන්දක් අපේ ඉහ මත පාවෙනව නිතර දෙවේලෙ කොයි වෙලාවෙ දබෝරියං ගාල කඩාවැටෙයිද කියල කියන්ට බෑ. හෙහ්..සෙල්ලං නෑ නේද?
මේකෙ වැඩේ මේක අපිට ගිහිල්ල සුද්ද කරන්ටත් බෑනෙ. නැත්තං අර හිටපු ගමං එක එක කණ්ඩායම් වලින් එක එක සමාජ වලින් කරන්නෙ වෙරළ සුද්ද කිරීමේ ව්‍යාපෘති. එතකොට ගං ඉවුරු සුද්ද කිරීමෙ ව්‍යාපෘති. අන්න ඒවගෙ කට්ටියටම ගිහිල්ල පොඩි සුද්ද පාරක් දාල එන්ට තිබ්බ. ම්හු..ඒකත් බෑනෙ.
ඉතිං ස්කයිලැබ් එකට වෙච්චි වැඩේ ඒක 1979 අවුරුද්දෙ පොළවෙ වායුගෝලයට ඇතුලුවෙලා බොහොම ප්‍රමාණයක් පිච්චිලා ගියා. ඒත් පොඩි කොටස් කීපයක් බටහිර ඕස්ට්‍රේලියාවෙ කාන්තාර ප්‍රදේශයකට වැටුනා. ඒ ප්‍රදේශයෙ නම එස්පරන්ස්. එහෙ කෞතුකාගාරයක තවමත් ඒ ස්කයිලැබ් කැබලි ප්‍රදර්ශනය කරනවා.
මේ ස්කයිලැබ් වැටිල්ල පිටිපස්සෙ අපූරු කතාවකුත් තියනව. 1979 අවුරුද්දෙ ඔය ස්කයිලැබ් ඇදං වැටිල්ල කිට්ටුවෙනකොට ඇමරිකාවෙ පත්තර කීපයක් තරඟයක් සංවිධානය කරල තියනව. එයින් සැන් ෆ්‍රැන්සිස්කෝ එක්සැමිනර් කියන පත්‍රය නිවේදනයක් පළ කලාලු ස්කයිලැබ් එක වැටිල පැය 72 ක් ඇතුලත එයින් කෑල්ලක් අරගෙන පත්තර කන්තෝරුවට එන ඕනෑම කෙනෙකුට ඩොලර් 10,000 ක තෑග්ගක් දෙනවය කියල. එයාල හිතන්න නැතුව ඇති කවුරුවත් ඒ අභියෝගය භාරගනියි කියල. මොකද ඒ වෙනකොට ස්කයිලබ් එක වැටෙන්නෙ ඕස්ට්‍රේලියාවෙ බටහිර ප්‍රදේශයට කියල හරියටම දැනගෙන තිබිල තියෙන්නෙ.
අවුරුදු 17 වයස ස්ටෑන් තෝන්ටන් නම් තරුණයා එස්පරන්සෝ වාසියෙක්. එයා මහ රෑ ඇහැරල තියෙන්නෙ ස්කයිලැබ් එකේ කෑලි එයාලගෙ වහළ උඩට වැටෙන සද්දෙට. මිනිහ දැනගෙන හිටිය අර අමරිකන් පත්තරේ අභියෝගය ගැන. මිනිහ කලේ කෑලි දෙක තුනක් මිනිහගෙ පරන ජොකෙක්ගෙ ඔතාගත්ත. ඒ එක්කම පිටත් වුනා.මෙන්න පාන්දර එක්සැමිනර් කන්තෝරුවෙ දොරවල් අරිනකොට මිනිහ එතන.පස්සෙ එයාට ඒ මුදල හම්බවුනා.
ඉතිං හෙට ඒ කිව්වෙ නොවැම්බර් 14 වන සෙනසුරාදා එළිවෙන මහ පාන්දර 01.30 වගෙ දෙවුන්දර තුඩුවෙන් එහා මූදට වැටෙනව කියනව ඇපලෝ අභ්‍යාවකාශ යානයක කොටස් කීපයක්. කිලෝ මීටර් 100 වගෙ දුරකින්. දේවතා එළියක් වගෙ පාත්වෙනව පෙනෙයිද නම් මන්ද. NASA එකෙන් නම් කියන්නෙ ගිණි බෝලයක් වගෙ පේන්න ඉඩ තියනවයි කියල.ඒ හින්ද ඒ කිට්ටුව ඉන්න අය ගිහිල්ල පොඩ්ඩක් හෝදිසි කරල බැලුවට පාඩුවක් වෙන එකක් නෑ මයෙ හිතේ. අනේ ඔහෙ ( නැත්තං ඔයයි ) දැක්කෙයි ගිණි බෝලෙ? කියලවත් අහන්ට බැරුවය. මේ වැටෙන අටමගලෙට නමකුත් දීල තියනව. WT1190F. Very Appropriate Isn't it?
දෙවුන්දර මූදු වෙරළට යන්ට බැරි උදවියට මෙතන මේ සයිට් එකෙං අර බූරු ඇඳ මූදට පත බෑවෙනව බලාගන්ට පුලුවනිය කියල කියනව. එහෙම කිව්වට ඒක පෙන්නුවෙ නෑ කියල මාව මරාන කන්ට ලැහැත්ති වෙන්ට එහෙම එපල්ල.



