Tuesday, March 15, 2016

398. චීන කොම්පැණිය, සුනාමි මතක, කුලරත්න මහතා සහ ඔබට ස්තූතියි ත්‍රිත්ව විදුහලේ මහත්වරුනි!

2004 අවුරුද්දෙ මම කෙටි කාලයක් වැඩකලා ගම්පොළ - නුවර එළිය පාර හදන චීන කොම්පැණියෙ. චීන්නුත් එක්ක වැඩ කරන එක ලේසිනෑ. මමත් මහ කැලවල් මැද අලි කොටි වලස්සු අස්සෙ මැලේරියා අනම්මනම් ඔක්කොමට මූණ දීල ගිනි පූටක අව්වෙ දවස තිස්සෙ රාජකාරී කරපු මනුස්සයෙක් වෙච්චි. ඒ හින්ද ඔය කට්ට කනව කියන එක මට මහ අරුමයක් නෙවෙයි. එහූ මටත් මේ චීන්නු එක්ක වැඩ කිරිල්ල බොහොම ඉක්මනට එපා වුනා. කොටිම්ම කිව්වොත් ඒ යක්කු මිනිස්සු ගණං ගන්නෙ කුණු පොල් කුඩු ගානට.

මට හිතෙන්නෙ චීනෙ කෙල කෝටි ගානක් මිනිස්සු ඉන්න හින්දමද මන්ද උංට මිනිස්සුත් තනිකරම වැඩ ගන්න යන්තර විතරයි. ඔය චීනෙ මිනිස්සුන්ට සලකන විදිහ ගැන තේරුං ගන්ට වෙන මොකවත් ඕන නෑ එහෙ ගල් අඟුරු ආකරවල වැඩ කෙරෙන විදිහ හොයල බැලුවම හොඳටම සෑහෙනව. ගල් අඟුරු ආකරවල වැඩ කරන එක කොහොමත් අවදානමක් තමයි. ඒත් අත්‍යාවශ්‍ය ආරක්ෂක උප්ක්‍රම පිළිනොපැද මිනිස්සු වැඩට යවනව කියන්නෙ හිතාමතාම ඒ මිනිස්සු මරණෙට දක්කනව වගෙ වැඩක්. 

දැං අවුරුදු දහයකට නැත්තං දොළහකට වගෙ ඉස්සෙල්ල චීනෙ ගල් අඟුරු පතල්වල පිපිරීමක් වෙලා මිනිස්සු අච්චර මැරුණයි මෙච්චර මැරුණයි කියල නිතර දෙවේලෙ අහන්ට ලැබෙන එක බොහොම සාමාන්ය සිද්ධියක් වෙලා තිබ්බෙ.

ඊට පස්සෙ නම් එහෙම ප්‍රවෘත්ති වැඩිය අහන්ට ලැබුනෙ නැත්තෙ එක්කො සේෆ්ටි ගැන චීන්නු ඉස්සරට වඩා උනන්දු වෙන හින්දද නැත්නම් ඒ ගැන ප්‍රවෘත්ති වාරණයක් පනවලා හින්දද කියලනම් හරියටම කියන්ට අමාරුයි.

ඉතිං අර මතකනෙ සුනාමිය? ඒක අමතක වෙන්නෙ කොහොමද නේද? 2004 දෙසැම්බර් 26 වෙනිදා...ඊට කලිං දවසෙ මට රෑ නවතින්ට උනා එහෙ. එහෙ කිව්වෙ ඔය ගම්පළ -නුවර එළිය පාරෙ තවලම්තැන්න හරියෙ මම වැඩකලේ. ඉතිං රෑ දහය වගෙ වෙනකල් වැඩ තිබ්බම අපිට නවතින්ට වෙනව. අපිම නවාතැන් හොයාගන්ටත් ඕන. කොම්පැණියෙ ලොක්කො චීන්නු හිටියට ඒ යක්කුංට එව්වයෙ වගේ වගක් නෑ. උඹල තේ පඳුරක් යට බුදියල හරි වැඩේ කරපල්ල. එහෙමයි උං හිතන්නෙ.

මේ සුනාමිය ගැන පොඩි කතාවක්..ගාල්ලට සුනාමිය බොහොම දරුණු විදිහට බල පෑවනෙ. වෑල්ඩිං වැඩපලක වහලේ ගහල තිබ්බ බෝඩ් එකක් " වෑල්ඩිං කරනු ලැබේ" කියල.සුනාමියට ඕක ගහගෙන ගිහිල්ල වතුර බැහැල ගිහාම ඊට එහා පාරෙ සාස්තර කියන තැනක වහලෙ ගහල තිබ්බ බෝඩ් එකට හේත්තුවෙලා නැවතුනා. එතන වහලෙ බෝඩ් එක තිබ්බෙ " දේවාරූඪයෙන් සාස්තර කියනු ලැබේ " කියල. දැං අර වෑල්ඩිං වැඩපලේ බෝඩ් එක ඇවිල්ල හේත්තු උනයි කියන්නෙ හරියටම සාස්තර කියනු ලැබේ කියන කෑල්ල ඉස්සරහ ඒක වැහෙන විදිහට.

ඉතිං කොහොමවත් චීන්නු එක්ක ඉහගහගෙන ඉන්ට බැරිතැන මම දමල ගහල එතනිං අයිං වුනා. 

"ඔහොම වැඩ කරන්නෙ කොහොමද අනේ? ඔන්න ඔහෙ අයිං වෙලා එන්ට ගෙදර"...අපේ ප්‍රියම්බිකාස් තොමෝත් එහෙම තමයි කිව්වෙ.

ඉතිං චීන්නුංට සයොනාරා කියල වැලිමඩ- කොළඹ නොම්මර 79 බස් එහෙක නැඟල මම ගෙදර ආව. ලෝඩ් බකිංහැම් වගෙ රස්සාව දමල ගහල ආවට ඉතිං ගෙදර නිකං හිටියැහැක? ඒ වෙනකොට අපි දෙන්න හිටියෙ එයා උගන්නපු ඉස්කෝලෙ ගුරුනිවාසෙ. කොහෙං හරි සුට්ටං ඉඩං කෑල්ලක් ගන්න ඕන. කාමර දෙහෙකි කුස්සි කෑල්ලකිවත් අටවගන්ට ඕන. ඔව්ව නිකං කොරන්ට බෑ නෙව. එව්වට කාසි ඕන කරනව යහමිං. 

ඉතිං ඔන්න මම පටං ගත්ත සන්ඩේ ඔබ්සර්වර් එක ගන්ට. සන්ඩේ ඔබ්සර්වර් එකේ තමයි ඒ කාලෙ (දැනුත් එහෙමදැයි කියල නම් නොදනිමි) රැකියා ඇබෑර්තු බහුතරයක් තියෙන්නෙ.Employment Opportunities & Vacancies .... රැකියා අවස්ථා සහ පුරප්පාඩු.පත්තරේ පිටු මයෙ හිතේ තියනව අසූවක් විතර.

ජනවාරි මාසෙ අන්තිම සතියෙ වගෙ මම මේ කියන්නෙ 2005 අවුරුද්දෙ හොඳද? ඔබ්සර්වර් (ඔබ්සර්වර් කිව්වම මට මතක් වෙන්නෙම අපේ හිතමිතුරු සනත් විජේවර්ධන මහත්මයා නොහොත් ඔබා) පත්තරේ ඔන්න දාල තිබ්බ දැන්වීමක් මහනුවර නගරයේ ඉදිකිරීමට යෝජිත සිව්මහල් ගොඩනැඟිල්ලකට සුපරීක්ෂක කාර්ය මණ්ඩලය වහාම අවශ්‍යයයි කියල. නුගේගොඩ නාවල පාරෙ තමයි ඒ දැන්වීම පළකල සමාගම පිහිටල තිබ්බෙ.

ඉතිං ඔන්න පහුවදාම මම පිටත්වුනා කොළඹ. එකොළහ වගෙ වෙනකොට තැන හොයාගත්ත. දොර ඇරගෙන ඇතුලට ගිහාම එතනම පොඩි මේසෙක වාඩිවෙලා මොනවද ෆයිල් වගේක වැඩකරමින් හිටපු බොහොම කාළවර්ණ පුද්ගලයෙක් මගෙං ඇහුව "මොකක්ද උවමනාව?" කියල. ( පස්සෙ කාලෙක මම දෑහිම්ම දැක්ක විදිහට මේ පුද්ගලයට පාටියකදි නටන්ට එහෙම අවම වශයෙන් පර්චස් 40 ක්වත් ඕන වෙනව. හරි.තව බොහොම චිත්තාකර්ෂණීය චරිත බොහොමයක් සේවය කලා ඒ සමාගමේ. ඒ ගැන විස්තර දෙවනුව. ) 

ඒ පාර මම කිව්ව "මම මේ ඉන්ටර්වීව් එකට ආවෙ" කියල. අර පත්තරේ තිබ්බ දැන්වීම මම කපාගෙන අරගෙන ගිහිල්ල තිබ්බෙ. ඒකත් පෙන්නුව. ඒ පාර මට ඉඳගන්ටෙයි කියල මනුස්සය ගියා පඩි පෙලක් දිගේ නැඟල උඩට.ටික වෙලාවකින් ආපහු ඇවිල්ල කිව්ව "යමු උඩට අපේ මහත්තය කතා කරනව මහත්තයට" කියල.

ඊට අවුරුද්දකට පස්සෙ ඉඳල පුරා අවුරුදු තුනක් දිනපතා දවසට අඩු ගානෙ දහ දොළොස් පාරක්වත් නැගල බැහැපු ඒ පියගැට පෙළ මම පළමුවරට නැග්ගෙ ඒ වෙලාවෙ.

ඒ වෙලාවෙ ඒ පියගැටපෙළ නැගල මම ගියේ ඒ සමාගමේ එක් හිමිකරුවකුගේ කාමරයට. මගෙන් විස්තර අහල ඒ මහත්මය ඒ සමාගමේ අනෙකුත් හිමිකරුවන් දෙන්නටත් ඒ කාමරයට කතා කරල මම ගැන විස්තර කිව්ව.ආ..ඊට කලින් මට කිව්ව ඒ සමාගමෙං නුවර ඉදිකරන්ට යන ගොඩනැඟිල්ල ගැන විස්තර. ත්‍රිත්ව විද්‍යාලයෙ නොහොත් ට්‍රිනිටි එක ඇතුලෙ හදන්ට යන පංති කාමර සහ රැස්වීම් ශාලාවකින් සමන්විත සිව් මහල් ගොඩනැඟිල්ලක්.

ඊට දවස් දෙකකට වගෙ කලිං ව්‍යාපෘති කළමනාකරුවෙක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් බවත් වැඩබිමේ ඉදිකිරීම් තත්ව පාලනය , සුපරීක්ෂණය, මිනුම් ගැනීම සහ ගෙවීම් ඉල්ලුම්පත් පිළියෙල කිරීම, මා තෝරාගතහොත් මට පැවරෙන වගකීම් බවද ඒ මහතා මට පැහැදිලි කලා. අවසාන වශයෙන් ඔහු විමසූයේ පෙබරවාරි මස මුල සතියේ ඉදිකිරීම් ඇරඹීමට කටයුතු සුදානම් කොට ඇති බැවින් මට ඒ වනවිට සේවය සඳහා වාර්තා කිරිමේ යම් අපහසුතාවයක් පවතීද යන්නයි. මම ඒ වනවිටත් රැකියා විරහිතව පසුවන බැවින් එවන් ගැටළුවක් පැන නොනගින බව මම පිළිතුරු ලෙස පැවසූවා.

"මොකද ගිය වැඩේ?" එදින සවස ආපසු නිවෙසට පැමිණි මගෙන් ඇය විමසූවා. 

"සීයට අනූවක්ම හරියයි මම හිතන්නෙ." මම පිළිතුරු දුන්නා.

ඒ දවස්වල අපේ ක්වාටර්ස් එකට ටෙලිෆෝන් තිබ්බෙ නෑ. මොබයිල් එකක් තිබ්බ මෝටරෝලා එකක්. ඒක තිබ්බෙ එතුමී ගාව. මම අර කොළඹ කම්පනි එකට දුන්නෙ ඒ මොබයිල් නම්බර් එක හින්ද මම ඊට පස්සෙ ඒ ෆෝන් එක මගෙ අතේ තියාගත්ත. ඒ වගේම දවස් දෙකක් ගියේ නෑ මට එයාල කතා කරල කිව්ව මාව තෝරගත්තය, එදා හවසතුනට ට්‍රිනිටි එක ගාවට එන්ටය කියල සයිට් එක එහෙම බලල පොඩි අඳුනා ගැනීමේ රැස්වීමක් වගෙ එකක් එහෙමත් තියන්ට.

එදා තමයි මම මුලින්ම ඒ ප්‍රොජෙක්ට් එකේ පී.එම්. නොහොත් ව්‍යාපෘති කළමනාකාර මහත්මය හඳුනාගත්තෙ. රතුපාට පර්ජෝ 504 කාර් එකක ඒ මහත්මය ආවෙ. නම කුලරත්න. ඔය මොඩල් එකේ පර්ජෝ කාර් ප්‍රසිද්ධ වුනේ සමිට් කාර් කියල. මොකද ඔව්ව ගෙන්නුවෙ 1976 නොබැඳි සමුලුවෙ වැඩ වලට. ඔය නොබැඳි සමුළුව රටේ හැමතැනම ප්‍රසිද්ධ වුනේ සමිට් එක කියල. මොකද ඕකෙ නිල නාමය ඇවිදිල්ල හිට "5th Non-Aligned Heads of State Summit Conference - Sri Lanka."

කැප්පෙටිපොළ මාවතේ සමිට් ෆ්ලැට්ස්.ඒවත් එහෙමයි. සමුළුවට ආපු පුවත්පත් කාලාවේදීන්ට නවාතැන් සැපයුවෙ ඒවයෙ. සමුලුවෙන් පස්සෙ සහන මිලකට ඒ ගෙවල් දුන්න රජයේ සේවකයින්ට. අර ගෙන්නපු සමිට් කාරුත් එහෙමයි. සමුලුවෙන් පස්සෙ කොළොන්නාවෙ ගවර්න්මන්ට් ෆැක්ටරි එකට දාල රජයේ සේවකයින්ට විකුණුවා.අර කුලරත්න මහත්මය අරං තියෙන්නෙ එහෙම එකක්. ඒ මහත්මය දීර්ඝ කාලයක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙ සේවය කරපු කෙනෙක්.

එදා තිබ්බෙ ඇත්තටම ව්‍යාපෘති භාෂාවෙන් කියනවනම් Kick Off Meeting එක නොහොත් සමාරම්භක රැස්වීම. එහෙම එකක් තියල තමයි සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක වැඩ පටන් ගන්නෙ.එහෙම එකක් තියන එකේ ප්‍රධාන පරමාර්ථය ව්‍යපෘතියක පරදු දරන්නන් ( Stake Holders ) එකිනෙකා හඳුනා ගැනීම සහ සාමාන්‍යයෙන් කොහොමද ව්‍යාපෘතියෙ වැඩ ඉස්සරහට ගෙනියන්නෙ කියල පොඩි අවබෝධයක් ලබා ගන්න එක. එකඟතාවයකට එන එක.

මේ තියෙන්නෙ ට්‍රිනිටි එකේ අපි හදපු ගොඩනැඟිල්ල..ඡායාරූපය රන්දිල් ගේ අනුග්‍රහයෙනි.

Stake Holders කියන්නෙ ව්‍යාපෘතියට සම්බන්ධ එහි යම් කාර්ය භාරයක් දරන පුද්ගලයින් හා / හෝ සමාගම් නැත්නම් ඒ ව්‍යාපෘතිය නිසා යම් බලපෑමක් ඇතිවෙන එහෙම නැත්නම් ප්‍රතිලාභයක් අත්වෙන සියලුම දෙනා.කොළඹ අපෙ සමාගමෙන් මේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන කොටස්කරු මහත්මයා ( Partner ) වගේම ත්‍රිත්ව විද්‍යාලයෙ විදුහල්පති තුමත් මේ රැස්වීමට සහභාගි වුනා. 

ට්‍රිනිටි එකේ ඒ දවස්වල විදුහල්පති තුමා ඇවිල්ල බ්‍රිතාන්ය ජාතිකයෙක් නොහොත් සුද්දෙක්. නම රොඩ් ගිල්බර්ට්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. අපි එක්ක බොහොම සුහද සම්බන්ධතාවයකින් කටයුතු කලා. වැඩ කරගෙන යද්දි ගෙවීමක් එහෙම හදිස්සියෙ අවශ්‍ය වෙලාවට අපේ කුලරත්න මහත්මයාට තියෙන්නෙ පඩිපෙළ බැහැල ඔෆිස් එකට ගිහිල්ල පොඩ්ඩක් සතුටු සාමීචියෙ එහෙම යෙදිල මතක් කරන්න විතරයි. 

"Sir, If you can expedite our payment it would be a great help at this time" 

"Of course I understand Mr. Kularathna, you are a contractor, I know you need cash to carry on this project. I would certainly do whatever I can." 

ඒ කිව්වත් වගෙ දවස් තුන හතරක් යන්ට කලින් ඔෆිස් එකෙං පණිවිඩයක් එනව ඇවිල්ල චෙක් එක අත්සන් කරල ගන්ට කියල.

ඒත් හරිම කණගාටුදායකයි මිස්ටර් ගිල්බර්ට් කොටි හිතවාදියෙක් කියල 2008 අවුරුද්දෙ වගෙ ආණ්ඩුවෙන් එයාගෙ රෙසිඩන්ට් වීසා කැන්සල් කලා. ඒ වෙනකොට ගිල්බර්ට් මහතා සහ මහත්මිය නිවාඩුවකට එංගලන්තෙට ගිහිල්ල හිටියෙ. ඉතිං එයාලට ආපහු එන්ට බැරිවුනා. ට්‍රිනිටි එකේ පාලක මණ්ඩලය (Board of Governors ) ආණ්ඩුව එහෙම කරපු එකට දැඩි විරෝධය පලකලත් වැඩක් වුනේ නෑ. හරි..ඒ ඔක්කොම අනාගතයෙ සිද්ද වෙන එව්වනෙ. රයිට් අපි යමු ආපහු කික් ඕෆ් මීටිං එකට.

ඉතිං ඒ මීටිම ඉවරවෙලා කුලරත්න මහත්තය මගෙං විස්තර ඇහුව. "ගෙවල් කොහෙද?කලිං වැඩ කරල තියෙන්නෙ කොහෙද?" යනාදී වශයෙන්. මම පැණිදෙණියෙ කිව්වම "ආ..එහෙනං කිසි අවුලක් නෑ. මම යන ගමං ගෙදර ගාවින්ම දාගෙන යන්නංකො. මමත් ඊට ටිකක් එහා ඉන්නෙ" කියල ආයම ඇහුව. " අපි දෙන්න දැං අවුරුද්දක් මෙතන මේ වැඩේ ඇදගෙන යන්ටත් එපාය. මොකද කියන්නෙ? අඳුනගන්ටත් එක්ක යමුද වික්ටරි එක පැත්තෙ? " කියල හිට.

වික්ටරි කියන්නෙ මහනුවර කොළඹ වීදියෙ තියෙන ප්‍රසිද්ධ බාර් එකක්. "මේ මොනව කියනවද? යමු යමු" කියල මාත් එක පයිං ලැහැත්ති වෙච්චි. පස්සෙ අපි දෙන්න ඔන්න ගියා වික්ටරි එකට. ඒකෙ ගිහිල්ල ඉඳගෙන විනාඩි දහයක් උනේ නෑ. ඔන්න ලයිට් ගියා. 

පස්සෙ ඉටිපන්දං එළියෙං තමයි සුහද හමුව ඉස්සරහට ගෙනිච්චෙ. "මහ ජංජාලයක්නෙ රවී මේක..ෂෙහ්, මේ කලුවරේ බයිට් කියල මොනව කනවද මන්ද" කුලරත්න මහත්තය එහෙම කිව්ව. මහ ජංජාලයක්නෙ කියන වචනෙ මගෙ වාග්මාලාවට නොහොත් වොකැබියුලරි එකට එකතු කලේ ඔය කුලරත්න මහත්තය. ඊට පස්සෙං පහු අපි දෙන්න ට්‍රිනිටි එකේ ඔය කියපු බිල්ඩිම හදපු අවුරුද්දක කාලය ඇතුලත දවසකට විසි තිස් පාරකට වැඩිය කුලරත්න මහත්තය ඔය " මහ ජංජාලයක්නෙ රවී මේක" කියන වචන හතර කියන්ට ඇති.

ට්‍රිනිටි එකේ ඒ ප්‍රොජෙක්ට් එක කරපු අවුරුද්දක කාලෙ ඇතුලත වෙච්චි දේවල් සහ කුලරත්න මහත්තය ගැන තව බොහොම දේවල් ලියන්ට තියනව. ඒව ආයෙ වෙලාවක හොඳද? ත්‍රිත්ව මතක කියල ඕනනං කැටගරි එකකුත් දාන්ට බැරිය.

පලි - දැං එහෙනං කියන්නංකො ඇයි මෙහෙම එක පාරට ට්‍රිනිටි එක ගැන මතක්වුනේ කියල. 

මේ "The New Indian Express" පුවත්පතේ 2016 මාර්තු 9 වෙනිද පළ වූ පුවතක්.


Christian Mission School Admits AIDS Suspect Others Shunned

COLOMBO: The two-month long impasse over the admission of AIDS suspect Rehan Dilshara to a school in Sri Lanka has ended with Trinity College, a leading Christian missionary school in Kandy, agreeing to take him and meet his expenses.

A Memorandum of Understanding to admit the six-year old from an indigent family, was signed on Wednesday by Andrew Fowler-Watt, Principal of the 159 year-old Anglican mission school, and Akila Viraj Kariyawasam, Lankan Minister of Education.

Prior to this, every school in the Kuliyapitya area of Lanka’s North Western Province, including government-run institutions, had refused to take the kid on the basis of a rumor that he has AIDS, or his mother, Chandani, has AIDS, or his father had died of AIDS. All this despite government doctors’ certificates to the contrary.

Minister Kariyawasam himself fueled the rumor by saying that the mother is HIV Positive and that she can transmit the virus to her son by simply lying beside him. He also said that he could not force schools to take the boy.

But widespread media coverage resulted in President Maithripala Sirisena’s assuring admission. While no government run or Buddhist-run school offered to admit the boy, the Christian Trinity College of Kandy, and the Muslim Zahira College of Kurunegala, offered to take him.

වෙන මොකවත් කියන්න ඕන නෑනෙ. Self explanatory නේද? සියළු සත්වයින්ට කරුණාව සහ ශාන්තිය පැතිරවූ මහා කාරුණිකයානන් දෙසූ සද්ධර්මය රාජ්‍ය ආගම වෙච්චි මේ ධර්මද්වීපයෙ, සුප්‍රසිද්ධ බෞද්ධ පාසල් සියගණනක් තියෙන මේ රටේ අන්තිමට ඒ දරුවට පිහිට වෙන්ට ඉදිරිපත්වුනේ ඉස්ලාම් පාසලක් සහ ක්‍රිස්තියානි පාසලක්. 

I Rest My Case………..

All Those Gentlemen At Trinity College…Thank You So Much Again...

Saturday, March 12, 2016

120. මිනිසුන්ට උපකාර වන්න - දෙවියන්ට උපකාර වන්න! සහ තවත් කතා


පුංචි අතයි - පුංචි හිතයි!

දිනක් පුංචි පුතෙක් දුරකථන ඇමතුමක් ගැනීමට වෙ‍ළෙඳසලකට ගියේය. එහි වූ බීම බෝතල් රඳවා තබන්නට භාවිතා කරන හිස් පෙට්ටියක් තල්ලු කර ලඟට ගත් ඔහු ඒ මත නැගී රිසිවරය අතට ගෙන දුරකථන අංකයක් එබුවේය. 

වෙ‍ළෙඳසල් හිමියා මේ සියල්ල සාවධානව බලාගෙන, දුරකථන සංවාදයට සවන් දී සිටියේය.

පුංචි පුතා : නෝනා, මට ඔබේ වත්ත පිටිය සුද්ද කරන වැඩේ කරන්න දෙන්න පුළුවන්ද?

මහත්මිය : (දුරකථනයේ අනෙක් පසින්) දරුවෝ, දැනට ම ඒ වැඩේට කෙනෙක් ඉන්නවා නෙව. 

පුංචි පුතා : නෝනා, මම එයා ගන්නවාට වඩා භාගයක් අඩුවෙන් අරගෙන වැඩේ කරලා දෙන්නම්. මට ඒ වැඩේ දෙනවද? 

මහත්මිය : අනේ දරුවෝ, දැන් ඒ වැඩේ කරන කෙනා වගේ ඔයාට ඒක කරන්න පුළුවන් වෙයි කියලා මට හිතාගන්න අමාරුයි. 

පුංචි පුතා: (උත්සහය අත් නොහරිමින්) : අනේ නෝනා, මම ඔයාගේ තාප්පෙත් පිහදාලා, අයිනෙන් තියෙන අඩිපාරත් අතුගාලා දෙන්නම්. එතකොට ඉරිදා වෙද්දි මේ පැත්ත පලාතට ම තියෙන ලස්සන ම මිදුල ඔයාගේ මිදුල වෙලා තියේවි! 

මහත්මිය : ඔයාගේ උනන්දුව ගැන බොහොම සතුටුයි. ඒත් මට ඔයාගේ සේවය අවශ්යි නැහැ. ස්තුතියි පුතා කතා කෙරුවට. 

මුහුණෙහි වූ මන්ද ස්මිතයකින් යුතුව පුංචි පුතු රිසිවරය තැබුවේය. සියල්ල අසා සිටි වෙ‍ළෙඳසල් හිමියා ඔහු වෙත ලං විය. 

වෙ‍ළෙඳසල් හිමියා : පුතා, ඔයාගේ හැසිරීම ගැන මට හරි සතුටුයි. එච්චර ප්රෙතික්ෂේප වෙලත් මේ වගේ හිනා වෙලා ඉන්න විදිහ ඇත්තට ම මට ඔයා ගැන ලොකු කතාවක් කියනවා. ඔයා එන්න, මං ඔයාට රස්සාවක් දෙන්නම් 

පුංචි පුතා : එපා. බොහොම ස්තුතියි මහත්තයා 


වෙ‍ළෙඳසල් හිමියා : ඒත්... ඒත් ඔයා දැන් විනාඩියකට කලියෙන් මෙතන කනිපින්දන් ගැහුවානේ රස්සාවක් ඉල්ලලා 

පුංචි පුතා : මහත්තයා, ඒක ඒ හැටි ගණන් ගන්න එපා. මං මේ මට දැනට ම තියෙන රස්සාව, මං හරියට ම කරනවාද කියලා හොයලා බැලුවා විතරයි. මං තමයි දැනටමත් ඒ නෝනාගේ වත්ත පිටිය සුද්ද පවිත්‍ර කරන කෙනා!





පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.




****************************************************







සතුට හිතට - හිත සතුටට!


තමන්ගේ ජිවිතය ගැන බොහොම තෘප්තිමත් සිතින් පසු වූ හුදෙකලා කපුටෙක් ඈත ඈත වනන්තරයේ වාසය කළේය. නමුත් පළමු වරට හංසයෙකු දුටු දා පටන් ඔහුගේ සිතුවිලි වෙනස් විය.

“අනේ අප්පේ, මේ හංසයා සුදු ම සුදුයිනේ” කපුටා සිතුවේය.

“ඒකට මම!, මම කට්ට කලුයි. මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා මේ හංසයා වෙන්න ඕනෑ”

අනතුරුව තමන්ගේ සිතුවිල්ල පිළිබඳ ව ඔහු හංසයා සමග පැවසීය. 

“ඇත්තටම,” හංසයා පිළිතුරු දුන්නේය. 

“පාට දෙකක් තියෙන, ගිරවෙකු දකින කං මාත් මං ගැන හිතාගෙන හිටියේ එහෙම තමයි. එයා දැකපු දවසේ මට තේරුණා ප්‍රීතිමත් ම කුරුල්ලා මං නෙමෙයි ඒ ගිරවා තමයි කියලා.” 

ඉක්බිති අපේ මේ කපුටා ඒ ගිරවා සොයාගෙන ගියේය. ගිරවා ඔහුට සිය සිතුවිලි මෙසේ පැහැදිලි කළේය. 

“මම ඉතාමත් ප්‍රීතිමත් ජීවිතයක් ගත කළ එක ඇත්ත. හැබැයි ඒ මොණරෙකු දකින කං විතරයි. මට තියෙන්නේ පාට දෙකයි. ඒකට මොණරාට! එයාට තියෙන පාට ගනින්න මගේ මේ ඇ‍ඟේ තියෙන පිහාටු මදි. ඒ තරමට එයාගේ පිහාටුවෙන් පිහාටුවට එක එක පාට” 

කපුටා මොණරා සොයාගෙන ගියේය. අවසානයේ සත්ත්ව උද්‍යානයක දී ඔහුට මොණරා මුණ ගැසිණ. සිය ගණන් මිනිසුන් වට ව මොණරා නරඹමින් සිටිනු ඔහුට දැකගත හැකි විය. 

“ඉතිං කොහොමද මොණරෝ?” මිනිසුන් පිටව ගිය පසු ඔහු මොණරා වෙත ලංවිය. 

“ඔයා නං හැබෑ ලස්සනයි නෙව. බලන්නකෝ දවස ගාණේ සිය ගණන් මිනිස්සු පේළි පේළි ඔයාව බලන්න එනවානේ. 

ඒත්... ඒත් මේ මාව දැක්ක ගමන් සූ... සූ... ගාලා පන්නනවා. මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න ප්‍රීතිමත් ම කුරුල්ලා ඔයා තමා කියලා” 

මොණරා පිළිතුරු දුන්නේය. 

“මාත් ඒ කාලේ හිතාගෙන හිටියේ මං තමා මේ ලෝකේ ඉන්න හැඩකාර ම, ඒ නිසා ම වාසනාවන්ත ම කුරුල්ලා කියලා. ඒත් මගේ ලස්සන නිසා මං මේ උගුලේ වැටුණා. 

බලන්න මේ වටේ ම කූඩු... කුරුල්ලෝ හිර කරලා... 

හැබැයි ඒවායේ එක එක ජාතියේ කුරුල්ලෝ හිටියාට එක කුරුල්ලෙක් නැහැ. බලන්න හොඳට! ඒ එක කූඩුවකවත් කපුටෙක් නැහැ. 

ඒ බව වටහා ගත්ත දවසේ ඉඳන් මට තියෙන්නේ එක ම එක හිතුවිල්ලයි. 

මොණරා පැවසූ ඒ සිතුවිල්ල ගැන සිතමින් කපුටා ඈත ඈත වනන්තරය වෙත හැල්මේ පියඹා ගියේය. මියෙනතුරා ම ඒ මොණර වදන් කපුටු හදවතේ දෝංකාර දුන්නේය. 

‘අනේ මං කපුටෙක් වුණා නං... මේ වෙනකොට නිදහසේ කැමති කැමති තැන් වල ගිහින්, හිතේ හැටියට ජීවත් වෙනවා නේද’





පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.


************************************************



මිනිසුන්ට උපකාර වන්න - දෙවියන්ට උපකාර වන්න!

සිය පංතියේ අසුන්ගෙන සිටි නම අවුරුදු වියැති පිරිමි දරුවෙකුට එක් වනම තමන්ගේ පතුල් කුඩා දිය කඩිත්තක කැලතෙන බවක් දැනෙන්නට විය. ඔහුගේ හුස්ම හිර වූයේ බිම බලන විට තමන්ගේ කලිසමේ උඩ කොටසද තෙමී ඇති අයුරු දුටු විටදීය.

ඔහුට එක්වනම දැනුනේ තමන්ගේ හදවත ක්ෂණයකින් නතර වන්නට යන ලෙසකිනි. ඒ දේ සිදුවූයේ කෙසේදැයි ඔහුට මොනම විදිහකටවත් වටහා ගත නොහැකි විය.

එයට පෙර කිසිදාක එවැන්නක් සිදු වී නොතිබුණු අතර පංතියේ කොල්ලන්ගෙන් එක් අයෙකු හෝ මෙය දුටුවහොත් කිසිදා වියැළි නොයන නින්දා ගංගාවක තමන් ගිලෙන බව හොඳ හැටි පැහැදිලිය.

එපමණක්ද? කෙල්ලන්ගෙන් කෙනෙකු හෝ දුටුවොත් ඒ රංචුවෙන් එක් අයෙකුවත් ජීවිතාන්තය දක්වා ම ඔහු සමග කිසිම ඇයි හොඳයියකට නොඑනු ඇත. ඔහුට තම හදවත එළඹෙන නිමේෂයේදී නතරවන බව ආයේ නම් සැක කරන්නට දෙයක් නැත. හිස බිමට නමා ගත් ඔහු දෙවියන් යදින්නට විය.

“අනේ දෙවියනි, ඇත්තට ම මේක හදිසියේ වෙච්චි දෙයක්, මං හාංකවිසියක් දන්නේ නැහැ. සත්තයි!.
අනේ මට උදව් කරනු මැන! තව විනාඩි පහයි, ඔබ මා දිහා නොබැලුවොත් ඊට පස්සේ මේ කටිටිය මාව එම්බාම් කරනවා සිකුරුයි!“

හිස ඔසවා බැලූ කල, අමුතු බැල්මකින් මුව සරසා ගත් ගුරුතුමිය එක එල්ලේ තමන් වෙත එන අයුරු ඔහුට දැක ගත හැකි විය.

‘මං ඉවරයි‘ ඔහුට සිතිණ.

ගුරුතුමිය ලං ලං ව එද්දී ම, පංතියේ අලංකාරයට තබා තිබූ එක් මාළුවෙකු සිටි ගෝලාකාර ටැංකිය ඔසවාගෙන ඈ පිටුපසින් එන ගැහැණු ළමයෙකු ඔහුගේ ඇස ගැටුනේය. නිතර කලබල ඇති කරන කෙනෙකු වූ ඒ ළමයා ගුරුතුමිය පියමං කොට ඉදිරියට පැන ගන්නට ගොස්, ටැංකිය කැලතී එහි තිබූ වතුර පදාසයක් ඔහුගේ උකුල මතට හැලී ගියේය.

දේව කන්නලව්ව ටක්කෙට ම හරි ගොස් ඇත. කේන්තියකින් මුහුණ පුරවා ගත් ඔහු සැනින් නැගී සිටියේ, ‘බොහොම පිං දෙවියනේ, බොහොම පිං‘ යැයි තමන්ට ම කියා ගනිමිනි.

චූදිතයෙකු වන්නට සිටි කෙනා වින්දිතයෙකු බවට පත්විය. එසේ නැතහොත් අවමානයට ලක් වන්නට සිටි කෙනා අනුකම්පාවට ලක්විය යුතු කෙනෙකු බවට පත් වූ අතර ගුරුතුමිය වහ වහා ක්‍රීඩා කාමරය වෙත ගොස් සරඹ සඳහා අඳින කලිසමක් සොයාගෙන ආවාය.

අනෙක් ළමයින් එකතු වී ඔහුගේ මේසය හා ඒ අසල බිම පිස දමන්නට විය. එය නම් හරි ම අගේ ඇති අනුකම්පාවක්!

ඒ අතරේ අවමානය ඔහු වෙතින් ඈ වෙතට ස්ථාන මාරුවක් ලබා තිබිණ!

ඇය තමන් අතින් වූ වරද නිවරද කරන්නට උත්සහ දරනු දුටු ළමෝ ඇය පන්නා ගත්තෝය. “ඇති ඇති! මේ කරපු හරිය හොඳට ම ඇති!“ ඔවුහු පැවසුවෝය.

දිනය අවසානයේ බස් නැවතුම්පොළේදී අනුකම්පාවත් අවමානයත් එකවිට වෙන වෙන ම විඳගත් ඔවුහු හමු වූවෝය.

“මේ... ඔයා ඒක හිතලම මගේ ඇඟට හැලුවා නේද?“ ඔහු ඇයට ලං වී ඉවත බලාගෙන ඇසුවේය.

“අනේ අප්පේ, මං දන්නවානේ අද ඔයා වැටිලා හිටිය අමාරුවේ තරම! මමත් දවසක් ඉස්කෝලේ ඇරෙනකම් ම කර කියා ගන්න දෙයක් නැතුව පුටුවට ඇලවිලා හිටියා අනේ“ ඇය යටැසින් වටපිට බලමින් ඔහුට පමණක් ඇසෙන පරිදි පැවසුවාය.





පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

********************************



පුළුවන් නම් නැහැයි කියන්න!

දිනක් රජ කෙනෙක් සිය අනුශාසකවරයා සමග පිළිසඳරෙහි යෙදෙමින් මාලිගා උද්‍යානයෙහි සක්මන් කරමින් පසු වූයේය. කදිමට හිරු එළිය වැටී බබලමින් තිබුණු ඒ ගිම්හාන උදයේ, කපුටන් රෑනක් බොහොම ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව උද්‍යාන ජල තටාකයේ දිය කෙළියෙහි යෙදී සිටිනු ඔවුනට දැකගත හැකිවිය.

කපුටු සතුටු සමාගම නරඹමින් සිටි රජුගේ සිතෙහි එක් වනම ගැටළුවක් පැන නැගිණ. තමන්ගේ රටේ ඒ වනවිට කොපමණ නම් කපුටන් ප්‍රමාණයක් ජිවත් වනු ඇතිදැයි ඔහු කල්පනා කරන්නට විය.

මදක් වේලා කල්පනාවේ ගැලී සිටි රජුට තමා අසල අනුශාසකවරයා සිටින බව සිහි වූයෙන් සිය පැනය ඔහු වෙත යොමු කළේය.

රජු දෙස මදක් වේලා බලා සිටි අනුශාසක උඩ බැලුවේය, බිම බැලුවේය, වට පිට බැලුවේය. දෑතේ ඇඟිලි එහෙ මෙහේ කරමින් ගණන් සෑදුවේය.

අවසානයේ පිළිතුරු දුන්නේය.

“දේවයන් වහන්ස, ඔබ වහන්සේගේ කාරුණික පාලනයට යටත් වූ මේ අධිරාජජ්‍යයෙහි මේ වෙද්දි හරියට ම කපුටන් අනූපන්දහස් හාරසිය හැට තුන් දෙනෙක් ඉන්න බව මට විශ්වාසයෙන් යුතුව කියන්න පුළුවන් ස්වාමීනි!”

ක්ෂනික පිළිතුරක්! ඇති වූ පුදුමය සැඟ වූ රජු ඊ ළඟට මෙසේ ප්‍රශ්න කළේය.

“හොඳයි, ඊට වඩා එක කපුටෙක් හරි හිටියොත් ඔබ මොකද කියන්නේ?”

එයටද නොපමාව පිළිතුරු ලැබිණි.

“දේවයන් වහන්ස, තරහ අවසර, ඕකත් අහන්න දෙයක්ද? මං කිව්ව ගාණට වඩා එක කපුටෙක් හරි වැඩි වුණොත් ඒ අහල පහල රටකින් මේ රටේ කපුටන් දැක බලා ගන්න කියලා ආපු කපුටෙක් තමයි ඉතිං”

“හරි එහෙමයි කියමුකෝ. අපි හිතමු ඔබේ ගණනයට වඩා එක කපුටෙක් හරි අඩු වුණා... එතකොට?”

“දේවයන් වහන්ස, ආයෙමත් තරහ අවසර, අහන්න දෙයක් නැහැ ඉන්තේරුවෙන් ම ඒ කපුටා ගිම්හාන නිවාඩුව ගත කරන්න කොහේ හරි ගිහින් තමයි”යි අනුශාසකවරයා ඇඟට පතට නොදැනී පැවසීය.




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.


**************************************



මහත්මා මහරජ

එක් කලෙක ඉතාමත් දරුණු, දුෂ්ට රජකෙනෙක් වාසය කළේය. ඔහුගේ යටත් වැසියන්, ඔහුගේ මරණය හෝ කවුරුන් හෝ පැමිණ සිංහාසනය අත්පත් කරගනුු දැකීම හෝ ප්‍රාර්ථනා කරමින් දිවා රෑ සන්තාපයෙන් ගෙවමින් පසුවද්දී, ඒ හැම පුදුමයට පත් කරමින් රජතුමාගේ හැසිරීමෙහි මහත් වූ විපර්යාසයක් සිදුවිය.

“දුෂ්ටත්වය නිමි, ආසාධාරණයත් නිමි“ ඔහු සිය රටවැසියන් හමුවේ දිව්රා පොරොන්දු විය. එලෙසම ඔහු තමන්ගේ වදන අකුරට ම ඉෂ්ට කරමින් දැහැමෙන් සෙමින් රාජ්‍යය විචාරන්නට වූයේය. රටින් රට ඔහුගේ කීර්ති රාවය පැතිර යන්නට වූ අතර ලොව පුරා වැසියෝ ඔහු, ‘මහත්මා මහරජ‘ ලෙසින් හඳුන්වන්නට වූහ.

එහෙත් බොහෝ කලක් යනතුරු වෙනත් අයෙකු තබා ඔහුගේ ඇමතිවරුන්ගෙන් කෙනෙකුවත් මේ විපර්යාසයට හේතු විමසා සිටින්නට නිර්භය වූයේ නැත.

අවසානයේ රජතුමාගේ අවංක හැසිරීම වටහාගත් ඇමතිවරුන් අතුරින් කෙනෙකුගේ බිය පහ වූයෙන් ඔහු ඒ ගැන විමසන්නට වූයේය.

‘මහත්මා මහරජ‘ මෙලෙසින් පිළිතුරු දුන්නේය.

“එක දවසක් මං අසු පිට නැගී වනාන්තරය මැදින් පිම්මේ දුව එද්දී, දඩයම් බල්ලෙකු, නරියෙකු පසු පස පන්නාගෙන යන හැටි දුටුවා. නරියා කොහොම හරි දුවගෙන ගෙන ගිහින් ගුලකට රිංග ගත්තත් ඊට කලින් බල්ලා නරියාගේ කකුලකින් කෑල්ලක් කඩා ගත්තා. නරියා මැරෙන්න ඇති, ජීවත් වුනත් අබ්බගාත වෙලා ඇති.

ඊට පස්සේ දවසක මං ගමක් මැදින් යද්දි, ඒ දඩයම් බල්ලා දකින්න ලැබුණා. ඌ හිටියේ මනුස්සයෙකුට පැන පැන බුරමින්. ලොකු ගලක් අතට ගත්ත මනුස්සයා ගහපු පහරෙන් බල්ලාගේ කකුල මැදින් කැඩිලා, කුඩු වෙලා ගියා.

බල්ලා දිහා බලාගෙන අනිත් අතට යන්න පය තියපු මනුස්සයාට අඩි පහ හයක්වත් යන්න ලැබුණේ නැහැ, ඒ ලඟ හිටපු අශ්වයෙකුගේ ඇඟේ හැපුනා. අශ්වයා අනිත් පැත්ත හැරුණු ගමන් දුන්නු පා පහරෙන් ඒ මනුස්සයාගේ දණහිස කුඩු පට්ටම් වෙලා, එතනම ඇදගෙන වැටුණේ ආයේ නං කවදාවත් ඇවිදින්න නෙමෙයි.

මේ අලකලංචියෙන් කලබල වෙච්චි අශ්වයා හිස හැරුණු අතේ දුවන්න ගිහින්, ලඟ තිබ්බ වලකට කකුලක් ගිහින් හිරවෙලා, එතනම ඇදගෙන වැටුණේ කකුල කඩාගෙන.

මේ දේවල් එකින් එක කල්පනා කරද්දී මට පැහැදිලි වුණා,

නපුර විසින් නපුර ම මිස වෙන යමක් නූපදවන වග,

මගේ ගමනත් කවදාහරි මටත් රටටත් අවැඩක් මිසක් හොඳක් සිද්ධ නොකරන වග,

මං දිගින් දිගට ම නපුරෙන් ම ජීවත් වුණොත් නපුරෙන් ම මා විනාශ වන වග,

ඉතිං මං එකහෙලා තීරණය කළා වහාම වෙනස් විය යුතු වග.“

මෙය අසා සිටි ඇමතිවරයා ‘කදිම වේලාව‘ උදා වූ බව තමාට ම ඒත්තු ගන්වා ගත්තේය. ඔහුගේ එකායන සිතුවිල්ල වූයේ, වහා ම මේ ‘මහත්මා මහරජ‘ පන්නා දමා සිංහාසනය පැහැරගත යුතුය යන්නයි.

මේ සිතුවිල්ලෙහි ගිලී ඇවිද ගිය ඇමතිවරයාට පිය ගැට වැරදිණි. නපුර විසින් නපුර මිස වෙන යමක් නූපදවන බව තවත් වරක් මොනවට ඔප්පු කරමින් ඇද වැටුණු ඇමතිවරයාගේ ගෙල බිඳී ‘මහත්මා මහරජ‘ ඉදිරිපිටදී ම දිවි කෙළවර විය.




පරිවර්තනය:
රන්දිකා රණවීර ප්‍රනාන්දු

කථාව සහ පිංතූර:
අන්තර්ජාලයෙනි.

Friday, March 11, 2016

397. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 30 - බෆල් රථ, වංගු කෙලිං කිරීම, "මොනවද මහත්තය කරන්නෙ?" සහ ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වූහ.


Buffel - Armoured personnel carrier


"මොකද මිස්? ඔතන කරදරයි වගේ නේද? මෙතෙන්ට එනවද? අපි සීට් මාරු කරගමු."

තුස්නිම්බූත වෙලා මම ඇස් ඇරල පිටිපස්ස හැරිල බැලුව. අප්පට සිරි ගජ...බුරුසු රැවුලකුත් වවා ගත්තු අටේ දහයෙ පොරක් පිටිපස්සෙ සීට් එකේ ඉඳගෙන ඉස්සරහට නැවිල මා දිහා කන්ට වගෙ රවාගෙන ඉන්නව.

මගෙ අභ්‍යන්තර සහ බාහිර අවයව ඔක්කොම අකර්මන්‍ය වෙලා ගියේ චංක්ෂණ මාර්ගය ඔස්සේ ඉහළට ගලාගෙන ආපු හීතලකිං පපුවත් එක්ක අයිස් පෙට්ටියක දැම්ම වගෙ කූල් වෙලා යනවත් එක්කම.

බාගෙට ඇරිච්ච කට ක්‍රමයෙන් වහගන්න අතරෙ මම ඔලුව අංසක දෙසීය හැත්තෑවක් හරවල ඈ දිහාවෙ බැලුව. ඊයෙ හවස ඉඳල විරවගෙන හිටපු මූණත්තහඩුව ඔන්න පාට වැටිල. ඈ යටිතොල හපාගෙන කටාක්ෂ නීරික්ෂනයෙන් (දන්නෙ නැති අයට නොහොත් දුහුණන් දැනුම් උදෙසා - කටාක්ෂ නිරීක්ෂණය යනු ඇස් කොණින් බැලීමයි) මදෙස බලා යලි කවුළුවෙන් ඉවත බලා ගත්තීය.යටි තොල දැඩිව සපාගත්වනම පසුවන අයුරු ඇය සිනහව වළක්වාගැන්මෙහිලා දැඩි උත්සාහයක් ගන්නා බව මොනවට කියා පෑවේය.

බස් එක දැං කොණකලගල හරිය පහුකරනව. මේ හරියෙත් මහ විසාල වංගු කීපයක් තියනව. කලිං මම ප්‍රෝග්‍රම් කරල තිබ්බෙ මේ වංගු වලදිත් ඇගේ ඇඟට තෙරපෙන්ඩ. ඒත් මේ හදිසියෙම කඩාපාත්වෙච්චි මරාලෙ හින්ද ඒ වංගුවලදි මම කලේ සීට් එකේ මෙහා කෙළවරටම වෙලා යන්තමට වගෙ නොවැටි එල්ලිලා ඉන්න එක. කොටිම්ම කිව්වොත් පස්චාත් බාගයෙනුත් බාගයයි ඔන්න සීට් එක උඩ තිබ්බෙ.වංගුවෙ උපරිම හරියෙදි ඉස්සරහ පොල්ලත් කිටි කිටියෙ අල්ලගෙන මම උපරිම ඩම් දාල අල්ලගෙන හිටියෙ වැරදිලාවත් තල්ලුවෙලා ගිහිල්ල මාව ඈට තෙරපුනොත් එහෙම අනිවාර්යයෙන් කිසි කතාවක් නැතුව පසු ආසනාරූඪ බුරුසුවාතුමා තෙමේ අම්මගෙං අවුරුදු හතළිහකට එහා බිව්ව කිරි කටිං ආපහු එන්ට මට නෙලන එකත් නෙලන බව සහසුද්දෙම්ම දන්න හින්දයි.

ඔය වංගු පාරවල්වල බස් වලින් ගමනාගමනය කිරීම ගැන අපූරු කතා පොඩ්ඩක් තියනව ඉන්ටලාකො ඒකත් කියලම ඉන්නං එහෙනං...ආය මොකටද? නැද්ද? මේක මගෙ යාලුවෙක් ගැන කතාවක්...ඉස් ඉස්සෙල්ලාම ලංකාවෙ මහා පරිමාණ මාර්ග ඉදිකීරිම් කරන්ට ආපු විදේශීය සමාගම ඇවිල්ල දකුණු කොරියාවෙ කියං නෑම් සමාගම.මට මතක විදිහට කියංනෑම් තමයි සෙත්සිරිපාය එහෙමත් හැදුවෙ.එතකොට මාතලේ ඉඳල දඹුල්ල හරහා හබරණ දක්වා පාර හැදුවෙත් කියංනෑම්.දැං අවුරුදු තිහක් වගෙ වෙලා තාමත් කියංනෑම් ලංකාවෙ වැඩ කරනව මම දන්න විදිහට.

ඉතිං ඔය දඹුල්ල හබරණ පාර කරද්දි දිගම්පතාන හරියෙ මහ විසාල වංගු හතර පහක් හම්බ වෙනව.දිගම්පතාන මතකයිද? යුද්දෙ ගන සැරේට ඇවිලෙද්දි ඔය දිගම්පතානෙදි කොටි බෝම්බ ලොරියක් පුපුරුවල මට මතක විදිහට හමුදා භටයො හැට හැත්තෑවක් ඝාතනය කලා. ඒ දවස්වල දිගම්පතානෙ තිබ්බ ට්‍රාන්සිට් කෑම්ප් එකක්.නිවාඩු ගිහිල්ල ආපහු ත්‍රිකුණාමලය දිහාවෙ රාජකාරිවලට යන හමුදා භටයො ඔය ට්‍රාන්සිට් කෑම්ප් එකට ආවම එතන ඉඳල බෆල් වලින් එහෙම ආරක්ෂාව දීගෙන ආමි ට්‍රක්ස් පෙලක් කොන්වෝයි එකක් විදිහට තමයි ත්‍රිකුණාමලේ එක්ක යන්නෙ. 

බෆල් කියන්නෙ බිම් බෝම්බවලට ඔරොත්තු දෙන භට පිරිස් ප්‍රවාහනය කරන සන්නාහ රථ වර්ගයක්.  (Buffel - armoured personnel carrier) දකුණු අප්‍රිකාව තමයි බෆල් රථයේ නිජබිම. බිම් බෝම්බයකින් වෙන හානිය වලක්ව ගන්ට බෆල් රථවල ටයර් වලට වතුර පුරවනව කියල මම අහල තියනව. මම හිතන්නෙ හමුදා සාමාජිකයින් දහස් ගණනකගෙ ජීවිත බේරෙන්න ඇති ඔය බෆල් රථ හින්ද.

හරි බෆල් ගැන ඒ ඇතිනෙ. යමු මගෙ යාලුවා සහ වංගු පිළිබඳ කතාවට. මිනිහ ටිකක් එක විදිහක මනුස්සය. අර කතාවටත් කියන්නෙ ගෙදරකටවත් එක්ක යන්ට හොඳනැති මිනිහෙක් කියල අන්න ඒ සෑම්පලේ. බස් එහෙකට නඟින්නෙ රබර් ඇහැ දාගෙන කොයි සීට් එකේද තනියම බබලතෙක් ඉන්නෙ කියල බලල අර නීල කොබෙයියා පියාඹගෙන යනව වගෙ ගිහිල්ල එතන ඉඳගන්නව.

ඉතිං එක පාරක් මේ මනුස්සයට මැලේරියාව හැදිල හොඳටම අමාරුවෙලා ගෙදර ගියා. ඔය මැලේරියාව කියන ලෙඩේ හැදුනම ආය ඕනම නෑ. මටත් මැලේරියාව දෙතුන් පාරක් හැදුනා ඒත් මම කොච්චර අමාරු වුනත් ගෙදර ගියේ නෑ. ගෙදර ගිහිල්ල ආය ගෙදර මිනිස්සුන්ට වද දෙන්නෙ අහවල් දේකටද කියල මම කලේ වැලිකන්දෙ ඉස්පිරිතාලෙං මැලේරියා කෝස් එක අරගෙන ඒ දොස්තර නෝනා කිව්ව විදිහට පෙති බීල ඔලුවෙ ඉඳල පෙරවගෙන නිදාගන්න එක. හැබැයි මැලේරියා හැදුනට වඩා අමාරුයි ඒ පෙති බිව්වම. ඒත් මොනව කරන්ටද? ලෙඩේ හොඳ කරගන්ටත් එපාය නැද්ද?

හරි ඉතිං මගෙ යාලුව මැලේරියා හැදිල ගමේ ගියාය කියල මම කිව්වනෙ නේද? මිනිහට කොහොම හරි ගමේ ගියහම තිබ්බට වැඩිය අමාරුවුනා. කොහොමිං කොහොමිං හරි මාසයක්වගෙම ගෙදර ඉන්ට වුනා. ඉතිං ඔන්න මාසයක් ගෙදර ඉඳල මිනිහ ආපහු එනව. ඔය අර මම කලිං කිව්ව කියංනෑම් කොම්පැණිය දඹුල්ල හබරණ පාර හදන කාලෙ. දිගම්පතාන හරියෙ මහ විසාල වංගු කීපයක් තිබුනයි කියලත් මම කිව්වනෙ. 

ඉතිං අපේ කතා නායක තෙමේ එදා බබලතෙක් ගාව තමයි ඉඳගෙන ඇවිල්ල තියෙන්නෙ. ඔය පාරෙ සිය දහස්වාරයක් එහා මෙහා ගිහිල්ල මනුස්සය දන්නව කොතනද පාර කෙලින් කොතනද වංගු තියෙන්නෙ කියල. ඒ හින්ද මිනිහ කරන්නෙ බොරුවට නිදි වගෙ ඇස් පියාගෙන ඉඳල වංගු වලදි තල්ලු වෙලා ගිහිල්ල අර බබලතාගෙ ඇඟට හේත්තුව දාන එක. දෙතුං පාරක් ඒ මනුස්සය රවල බැලුවට අපෙ කථානායක තෙමේ නෙවෙයි එව්ව ගනං ගත්තෙ. 

දැං ඊළඟටත් තියෙන්නෙ හෙණ වංගුවක් කියල මිනිහ දන්න හින්ද ඔන්න කලිම්ම ඇස් දෙක කාරිය එහෙම පියාගෙන සූදානං උනා කියමුකො. වංගුව හරියට එනකොට මිනිහ ගාණට ඇදිල ගිහිල්ල අර බබලතාට හේත්තු වුනා. ඒ පාරනං බබලතා කෝපාවිස්ට උනා. 

"මොකද මහත්තය වෙලා තියෙන්නෙ?" කියල මහ සද්දෙට ඇහුව. 

අපෙ මනුස්සයත් එහෙම අවස්තාවලට මුහුණ දෙන්ට සූදානං පිටනෙ ඉන්නෙ. මේ දැං ඇහැරුනා වගෙ ඇස් දෙක එහෙම ලොකු කරල වට පිට බලල "ආ සමාවෙන්න මට මේ පොඩ්ඩක් නින්ද ගියා. එතන වංගුව හින්ද ඔය පැත්තට පොඩ්ඩක්….."

එච්චරයි මිනිහට කියන්ට හම්බ වෙලා තියෙන්නෙ. " මොන කෙහෙම්මල් වංගුවක්ද මහත්තය? කොහෙ තියන වංගුවක්ද? එතන තිබ්බ වංගුව කෙලින් කරල පාර හදල දැං සති දෙකකටත් වැඩියිනෙ" කියල අර බබලතා කිව්වලු. 

හයියෝ හොදි ඕන නෑ...මේ විස්තරේ අපි දැක්ක කිව්වෙ ඒකාමයි ඊට මාස දෙක තුනකට පස්සෙ ටිකක් වැඩිවෙච්චි වෙලාවක.

ආ..ඔය වගේම තව කතාවක් තියනව..හැබැයි ඒක කියන්ට කලිං සුට්ටං වියාචනයක් තියනව. ඒක කියල ඉන්ටම ඕන. වියාචනය දන්නව නේද? ඩිස්ක්ලේමර්....


වියාචනයයි..

පහත මවිසින් ලියා ප්‍රසිද්ධ කරන්නට යෙදෙන කතාවෙහි කිසිදු චරිතයක් දැනට ජීවත් වන එමෙන්ම  ඉණෙන් පහලට අඳිනා වස්ත්‍රයක නමින් වියුණුවක් පවත්වාගෙන යන කිසිවෙකු හා සම්බන්ධ නොවන අතර එවන් සම්බන්ධයක් පිළිබඳ අදහසක් යම් පාඨකයකු තුල මතුවේනම් ඒ හුදෙක් අහම්බයක් පමනක් බවද මෙසේ සහතික කොට ප්‍රකාශ කර සිටිම්හ.


මේකත් මේ කලිං කියපු කතාව වගේම බස් එකකදි බබලතෙක්ගෙ ඇඟට තල්ලු වෙච්චි සීන් එකක්. මෙතන හැබැයි බබලතා කෑගහන්නෙ මෙහෙම. 

" මොනවද මහත්තය කරන්නෙ? "

එතනදි මහත්තය නින්දෙං ඇහැරිය වගෙ ඇස්දෙක එහෙම පිහ දම දම වටපිට බලනව. අම්මප හතර විලි ලැජ්ජාවයි. බස් එකේ ඔක්කොමල වගෙ මහත්තය දිහා බලාගෙන ඇසුත් ලොකු කරගෙන. ඒත් එකක් තියෙන්නෙ ඒ මහත්තයගෙ කිඩ්නිය හොඳයි. මහත්තය පාවිච්චි කලා කිඩ්නිය. 

"ආ..මම..මේ...දෙහිඅත්තකණ්ඩිය ඉස්කෝලෙ ඉංග්‍රීසි උගන්නනව."

"ආ..ඒක මිසක්..අපි මේ හිතුවෙ.." එහෙම කියල බස් එකේ හිටපු මිනිස්සු ආපහු තම තමංගෙ කතාබස් වලට එලඹුනාලු.

හරි ඒ බොහොම සුට්ටං අතුරු කතා දෙකෙං පස්සෙංපහු ආයම ප්‍රධාන කතාවට. ඉතිං ඔය වෙනකොට බස් එක අලවතුගොඩට කිට්ටුකරල. මම සීට් එකේ මෙහාම කොණට වෙලා යන්තමට එල්ලිලා ඉන්නව. ඈ ජනේලෙ කෙළවරේ. අපි දෙන්න මෙහෙම බොහෝම සීලාචාර විදිහට හිටියට අර පස්සෙ සීට් එකේ බුරුසුවට ඒ මදි. ඌ ඔන්න කියවන්ට ගත්ත බස් එකටම ඇහෙන්ට. මම හිතන්නෙ ඌට වීරය වෙන්ට තිබ්බ චෑන් ස් එකට අපේ උන්දැ අකුල් හෙලුව එක පොරගෙ හිතට හරි ගියෙ නෑ කොහෙත්ම.

ඒ කිව්වෙ "මිස් ඔතන කරදරයිනේද? එන්ට මෙතෙන්ට" කිව්වම අපෙ උන්දැ අඩුගානෙ "නෑ බොහොම ස්තූතියි මට මෙතන හොඳයි" කියල වත් කිව්වෙ නෑනෙ. මෙතන හොඳයි ...ඔන්න තව සුට්ටං කතාවක්.. ඒකත් කියලම ඉම්මුකො. ආය මොකෝ හදිස්සියක්ය කියලය නැද්ද? ඔය මයෙ පාටකයො බොහොමයක් දෙනෙක් මේ කතන්ද ර කියවන්නෙ ඔෆිස් එකේදිනෙ. නැද්ද? ඉතිං ආය අහවල් හදිස්සියද්ද? නැද්ද? අපිත් ඔය ඔෆිස් වලිං රාජකාරි කරව ගන්ට ගිහිල්ල නැති එකක්ය. අපි නොදන්න රාජකාරි. නැද්ද?

මේ කතාව ඇල්බට් අයිය ගැන, ඇල්බට් අයිය හවස් වෙනකොට කොහොමත් බාගයක් වගෙ වෙන්ට ගහල අප්පමාදෝ අමර පදං වෙලයි ඉන්නෙ. ගමට යන අන්තිම බස් එක ගුඩ්ස්ෂෙඩ් බස් ස්ටෑන්ඩ් එකෙං (ගුඩ්ස්ෂෙඩ් කියන්නෙ නුවර ස්ටේෂන් එක ගාව තියන බස් ස්ටෑන්ඩ් එක) අදින්නෙ අටට. ඇල්බට් අයිය අන්තිම මොහොතෙ එහා මෙහාට වැනි වැනි ඇවිල්ල බස් එකට ගොඩවුනා. ඊට පස්සෙ ගිහිල්ල ඉස්සරහම තියන හාමුදුරු සීට් එකට හේත්තු වුනා.

ඒ සීට් එකේ හිටියෙ පංසලේ ලොකු හාමුදුරුවො. බැරිවෙලාවත් පංසල පැත්ත පළාතෙ එන්නෙ නැති හින්ද හාන්දුරුවො හිටියෙ ඇල්බට් අයිය එක්ක එච්චරම හිත හොඳකිං නෙවෙයි. බස් එක ඔන්න යන්ට පිටත් වුනා කියමුකො. වංගු වලදි ඇල්බට් අයිය පැද්දිල ගිහිල්ල හාමුදුරුවන්ට හේත්තු වෙනව. ආයම ඔන්න "අවසර සමාවෙන්ට ඕමනයි" කියල බැරි බැරි ගාතෙ කෙලින් වෙලා උඩ පොල්ල අල්ලගන්නව. ආයෙම වංගුවකදි අර සන්තෑසියම තමයි. 

ආයම විඩයක් ඔන්න ඇල්බට් අයිය රූං ගාල පැද්දිල ඇවිල්ල හාමුදුරුවංගෙ කර උඩම නතර උනා. ඒ පාර නං ඔන්න හාමුදුරුවන්ට ඉන්නෙ කොහෙද කියලත් අමතක වුනා. 

"ආ..උපාසක මහත්තය...නඟිනව නඟිනව මගෙ ඔලුව උඩටම" එතුමා මහ හයියෙං කෑගැහුව.

ඒ ගෝරනාඩුවට ඔන්න ඇල්බට් අයියට ඇහැරුනා. ඇහැරුනාට හාංදුරුවො මොකක් කිව්වද කියල ඇල්බට් අයියට හරි හමං නිච්චියක් නෑ. 

" අවසර අපෙ හාන්දුන්නේ...ඔබ තුමා මට මොකවත් කිව්ව එහෙමද?" ඇල්බට් අයිය බොහොම යටහත් පහත්ව ඇහුව..

"කිව්ව නේන්නං, කිව්ව නේන්නං..මම කිව්වෙ තමුංට මගෙ කර උඩ ඉන්නෙ මොකටද? ඔලුව උඩටම නැග්ගනං ඉවරනෙ කියල."

ඇල්බට් අයිය තුං හතර පාරක් වේගයෙං ඇසි පිය ගැහුව. ඊට පස්සෙ ඇස් හීං කරල හාමුදුරුවංගෙ තට්ටෙ දිහාවෙ බැලුව. ඒ කරල කොන්ද නමල හාංදුරුවංට වැන්ද.ඊට පස්සෙ මෙහෙම කිව්ව.

"බොහොම ඉස්තූතියි අපෙ හාන්දුන්නේ ආරාදනාවට ...මට මෙතන හොඳා….. ඔතන ලිස්සංට ඇහැකි. අද අනික දන්නෙ නැද්ද මම ටිකක් වැඩියෙං අරගෙන තියෙන්නෙ. අද බෑ..වෙන දවසක බලමු."

වැදගත් - අද කාලෙ ඉන්න බහුතරයක් බුද්ද පුත්තරයිං වගෙ නෙවෙයි උං වහංසෙගෙ තිබ්බෙ තට්ටෙ.

බස් එකේ යද්දි කවදාවත් මම ඔය හාමුදුරු සීට් එකේ ඉඳගන්නෙ නං නෑ. හාමුදුරු සීට් එක විතරක් හිස්ව තිබුනත් මම ඉඳගන්නෙ නම් නෑ හිටගෙන යනව මිසක. මම එහෙම කරන්නෙ හාමුදුරු සීට් එකේ ඉඳගෙන ඉඳල හාමුදුරුකෙනෙක් නැග්ගොත් මට සීට් එක දෙන්ට වෙන හින්ද. මගෙ හිතට එකඟව මට ඒක කරන්ට බෑ. හාංදුරු ගොල්ලංට බැරියර් පෙරලගෙන ඉදිරියට වඩින්ට පුලුවන් නං, පොලීසියත් එක්ක හරි හරියට ගුස්ති අල්ලන්ට පුලුවන්නං, තාප්ප උඩ නඟින්ට පුලුවන්නං, උසාවිවල නඩු අහද්දි කඩාගෙන පැනල රාජකාරියට බාදා කරන්ට පුලුවන්නං,බස් එකක උඩ පොල්ල අල්ලගෙන හිටගෙන වඩින්ට බැරිකමක් තියෙන්ට විදිහක් නෑනෙ. ගිහියො කරන ඔය හැමදේමත් කරනව නං සමහර ගිහියොත් නොකරන දේවල් හිටං කරනව නං ඇයි අපි හාංදුරුවො ගිහියන්ට වඩා උසස්ය කියල හිතල ඒ ගරු සැලකිලි කරන්ට ඕන? මට තියන ගැටලුව ඔන්න ඕකයි.

මේ ආණ්ඩුව වෙන මොනයම්ම දෙයක් නොකලත් කමක් නෑ අර නානසාර දවසකට හරි හිරේ ඇරපු එක මට ඇති ඊලඟ ඡන්දෙදිත් කතිරෙ ගහන්ට.....හෙහ්,හෙහ් මේ ඇත්තම ඇත්ත.

හරි දැං ආයම යමු ප්‍රධාන කතාවට. මේ වෙද්දි අර බුරුසුවට හප්පියට තදවෙලා. පිටිපස්සට වෙලා ඔහේ කියවනව.

"හුහ්, දැං කාලෙ හරි වරැද්ද කතා කරන අපියි මෝඩයො...කිසිම දෙයක් නොදැක්ක වගෙ ඔය ඕන කෙහෙම්මලක් කියල කට වහගෙන ඉන්නෙ නැතුව අපිත් කරන ගොංකම්" ඔන්න ඔහොම කියවනව ඇස් දෙකත් ලොකු කරගෙන. 

එතනම එහා පැත්තෙ ඉන්න ගෑණු මනුස්සය ඒකට උල්පංදං දෙනව ඔලුවත් හොල්ල හොල්ල.."හ්ම්..හ්ම්… එහෙනං එහෙනං"

බුරුස් තෙමේ තවත් ෆෝම් වෙනව. "රටේ අද වෙලා තියෙන්නෙ ඕකනෙ. හරි වැරැද්දක් අසාදාරනයක් අයුක්තියක් ගැන කතා කරන්ට බෑ"

මේක හරියන පාටක් නෑ. මම ඈ දිහා හොරෙං බලුව. ඈත් එතකොටම මා දිහා බැලුව..කොහොමද ඈ බැලුවෙ? මතකනෙ.....කටාක්ෂ නිරීක්ෂනයෙන්...මම ඇහෙං කිව්ව උඩ රාක්කෙ තියන බෑග් එකත් අරගෙන බහිමු කියල...දැං බස් එක අලවතුගොඩ ටවුන් එකේ බෝගහ ගාව නතර කරන්ටයි යන්නෙ. මම නැඟිටල උඩ රාක්කෙං අපෙ බෑග් එක ගත්ත. බුරුස් දිහාවෙ නොබලම බස් එකේ සෙනඟ පීරාගෙන ඇවිල්ල බැස්ස. ඈත් මගෙ පස්සෙං ආව තොල හපාගෙන හිනහව තද කරගෙන.

බස් එකෙං බහිනකොටත් බුරුස් ගෙ කෑගැහිල්ල අපි පස්සෙං ආව බස් එකෙං එළියටත්. "අම්මප මෙව්වට කතාකරන අපියි රට ගොන්නු. ඔය පේන්නෙ නැද්ද දෙන්නත් එක්කම බැහැපු අපූරුව."

බස් එක පිටත් උනා විතරයි ඇගෙයි මගෙයි මෙච්චර වෙලා වදෙං පොරෙං තොල හපාගෙන ගිලගෙන හිටපු හිනාව පිපිරුනෙ එකම වෙලාවට. බෝගහ යට හෝල්ට් එකේ මිනිස්සු අපි දිහාවෙ කන්ට වගෙ බලා ඉද්දි අපි දෙන්න එතනිං ටිකක් එකාට දිව්ව හිනා වෙවීම.

පලි - ගෙදර ගිහිල්ල අපි දෙන්නම කතාකලා ඉස්සෙල්ලාම පැල්වෙහෙර එක්ක. මිනිහ කැමතිවුනා අප්පච්චිගෙං සමාව ගන්ට. අප්පච්චිත් කැමතිවුනා අර ගේට්ටුවෙ එල්ලපු දැන්වීම් පුවරුව ගලවල දාන්ට. ඉක්බිතිසියල්ලෝම සතුටින් ජීවත් වූහ. ඒ පොත කියවල තියනවද? සුගතපාල ද සිල්වා මහත්මය තමන්ගෙ ජීවිතය ඇසුරින් ලියපු බොහොම අපූරු පොතක්....

පපලි - නරකම නෑ නේද ඇගේ උපන්දිනේට ලියන්ට ගත්තු අතීතාවර්ජනේ හරියටම මාස තුනක් ගිහිල්ලයි ලියල ඉවර කලේ. එහෙම තමයි එව්වයෙ හැටි.සිතුදේ නොම වේ.නොසිතු දෙයක් වේ.ලෝදම් කැරකෙනවා. හෙහ්,හෙහ්,..එක අතකිං බැලුවම මදැයි ඔයිං ගියා...

Tuesday, March 8, 2016

396. පුවක් එෂැණිං - 8 - AIDS, Viagra, Security Guards & PHD



මේ වසරේ වයිද්දිය විද්දියාව පිළිබඳ නොබෙල් තියාගය සී ලංකාවේ අකාල කාරියවනසං ගරු අජ්ජාපන ඇමටිටුමාට ලැබීමට බොහෝ දුරට ඉඩ ඇති බව නොබෙල් තියාග කමිටු ආරංචි මාර්ග හෙලිකරයි. ඒඩ්ස් වයිරස ආසාදිත මවකගේ ඇකයේ හිඳින දරුවෙකුට ඒඩ්ස් වැලඳිය හැකි බවට එතුමා කල මහාර්ඝ සොයාගැනීම වෙනුවෙන් මේ ත්‍යාගය මෙසේ ලැබීමට නියමිතය.

වයිද්දිය විද්දියාව සම්බන්දව මෙවන් නවතම සොයාගැනීමක් කල රනිල්තුමාගේ ඇමැටි මණ්ඩලයේ පළමුවැන්නා මේ කාරියවනසං ඇමටි ටුමා නොවන බවද මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන අගමැටි කාර්යාලයේ ප්‍රවෘත්ති අන්සය පවසයි. 

මීට මාස කීපයකට පෙර රනිල්ගේ තවත් ඇමැටිවරයෙක් විසේස බෙහෙත් පෙත්තක් මාත්‍රාව වැඩිපුර ගෙන ( පෙත්ත වැඩිපුර ගත්විට ආතල් එක වැඩිවියයුතුයයි එටුමාගේ ටිකිරි මොලේට කල්පනා වන්නට ඇත.) මහ ජංජාලයකට මූණ දුන්නේය. එතුමාගේ පර්යේෂණයේ ප්‍රතිපල කොපමන සාර්තක වූයේද යත් එම ප්‍රතිපලය සාමාන්ය ප්‍රමාණයට ආපසු බැස්සවීමට ලේ ආපසු පොම්ප කරන්නට වූ බව තතුදත් ආරංචි මාර්ග පවසයි. 

මිනිස් ඉතිහාසයේ ආරම්බයේ සිට කර්තව්‍යයන් දෙකකට පමණක් භාවිතා වූ අවයවයක් මඟින් කල හැකි තවත් කර්තව්‍යයන් දෙකක් සොයා ගැනීමේ ගෞරවය ඒ ඇමැටි ටුමාට හිමිවිය යුතු බව විද්වතුංගේ විස්වාසයයි. මදුරු දැලක් රැඳවීමට ආධාරකයක් ලෙස සහ සේලයින් බෝතලයක් එල්ලිය හැකි ආධාරකයක් ලෙස අදාල අවයවය කිසිදු අපහසුවකින් තොරව ප්‍රයෝජනයට ගත හැකිබව එටුමා ප්‍රායෝගිකව ඔප්පු කොට පෙන්වූ බව සිද්ධිය ඇසින් දුටුවෝ සාක්සි දරති.


ටං...ටිං...ටුං..........


මේ අතර නිවේදනයක් නිකුත් කරන අගමැටි කාර්යාලය පවසන්නේ ගරු අජ්ජාපන ඇමටිතුමා පළමුවන ශ්‍රේණියට ඇතුලත් කර ගැනීමට කැමති පාසල් පිළිබඳ සොයාබලන ලෙස ගරු අගමැටිටුමා උපදෙස් දී ඇති බවයි. 

"දැන් මේ හැමෝම කතාවෙන්නෙ අර කුලියාපිටියෙ ළමය ගැන. ඒ ළමයගෙ ප්‍රශ්නෙත් විසඳන්න ඕන තමයි. ඒත් ඔය හැමෝටම අමතක වෙලා ඊට කලින් විසඳන්න ඕන බරපතල ප්‍රශ්නයක් තියනව කියල. අපේ ගරු අජ්ජාපන ඇමටි ටුමාව අපහු ඉස්කෝලෙ යවන එක. දැං කාලෙකට ඉස්සර ඉස්කෝලවල තිබ්බ පහළ බාලාංසෙ කියල එකක්. අන්න ඒක තිබ්බනං අජ්ජාපන ඇමැටිතුමා එතෙන්ට ටක්කෙටම ගැලපෙනව. ඒත් එහෙම පහල බාලාංසයක් දැං නැති හින්ද පළවෙනි ශ්‍රේනියටවත් යවන්ට බලමු." අගමැටිතුමා එසේ ප්‍රකාසකල බව අගමැටි කාර්යාලයේ ප්‍රකාසකයෙක් පැවසීය.


ටං...ටිං...ටුං..........


සී ලංකාවේ සිදුවන අකටයුතුකම් වලින් නොම්බර එකේ අකටයුත්ත සොයාගැනීමට රජය සමත්වෙයි. නිදහස් චතුරස්‍රයේ ඉඳ පෙම් කිරීමට ජෝඩු වලට ඉඩ නොදීමෙන් රටේ ආර්තිකය යලි ගොඩ නැඟීමට මෙන්ම විදේස සේවය ප්‍රතිසංවිදානය කිරීමටද දැඩි බලපෑමක් එල්ලවන බව විදේස කටයුතු නියෝජ්ජිය ඇමැටි ආචාර්ය හර්ස ද සිල්වා මහතා ප්‍රකාස කලේය. සී ලංකා විදේස සේවය ටෝටලි  ප්‍රතිසංවිදානය කොට ටිප් ටොප් එකට කටයුතු කිරීමට සලස්වා විදේස අමාට්ටියන්සයේ සනීප පුටුවක වැතිරී විවේක සුවයෙන් පසුවූ එතුමා පෙංවතුංහට නිදහස් චතුරස්‍රයේ සිකුරිටි අන්සයෙන් සිදුවූ අකටයුත්ත අසා දන්ඩෙන් පහර ලත් නා රජකු මෙන් කිපී චක්කර ලේකනයද වහාම සොයාගෙන නිදහස් චතුරස්‍රයට ගොස් කැමරා කාරයින්ද ඉදිරිපිට සිකියුරිටි කාරයන්ට ඇට්ටි හැලෙන්නට දුන්නේ හතර අතට නෙලන හනුමකුසේය.

සිකියුරිටි කාරයින් කල මේ මහා අපරාදය පිලිබඳව වහාම කිරියාත්මකවී සොයා බලා උංට මුලු රටම ඉදිරියේ සත්තම දැමීම පිළිබඳව නිදහස් චතුරස්‍රයේ පෙං කරන පෙංවතුංගේ සංගොමේ ඇමටිටුමාට තම හුර්දයාංගම ඉස්තූතිය පල කර සිටී. මිං ඉදිරියට මෙවං සියලු උද්ගෝසන ගැන ආරංචිවූ සැනින් එහි ගොස් රටටම පේන පරිදි ඒවා විසඳාලීමට පී.එච්.ඩී නාමදාරී ගරු නියෝජ්ජිය විදේස ඇමටිතුමාගේ ප්‍රදානත්වයෙන් විසේස ක්සනික විසදුං බලකායක්ද පිහිටුවා ඇත.


ටං...ටිං...ටුං..........


PS -You know what they say …..that PHD stands for Permanently Head Damaged….I thought it was a joke…UNTIL NOW

Monday, March 7, 2016

395. පුවක් එෂැණිං - 7 - වම දකුණ නොහඳුනන ජීවකයෝ



පේරාදෙණිය රෝහලේ සල්ලිය වයිද්දිවරයකු විසින් දැරියකගේ වම් දණහිස වෙනුවට දකුණු දණහිසට සැත්කමක් කිරීම පිළිබඳව අද ආන්ඩුවේ වයිද්දිවරුංගේ සංගොමේ විසිං පුවත්පත් සාකච්චාවක් කැඳවා තිබින. එහිදී ඒ පිලිබඳව තම අදහස් ප්‍රකාස කල එම සංගොමේ මාද්දිය ප්‍රකාසක තුමා පැවසූයේ ඒ පිලිබඳව තම සංගොමය වැඩිදුරටත් කරුනු පරීක්සාකරගෙන යන බවකි. මේ දිනවල තම සංගොමේ පූර්න කාලීනව ඉක්කා ගිවිසුම සහ මුද්‍රණ දෝස පිලිබඳව කරුනු සොයාබැලීමේ යෙදී සිටින බැවින් මේ අවස්තාවේ හරිහැටි යමක් ප්‍රකාස කිරීම අපහසු බව එතුමා තවදුරටත් පැවසීය. එහෙත් මෙවන් සිද්දීන්ගෙන් පෙනී යන්නේ පෞද්ගලික වයිද්දිය උපාදි සහ ඉක්කා ගිවිසුම යටතේ ඉන්දියානු වයිද්දිවරුං මෙරටට ගෙන්වීමේ අවදානම බව  එතුමා ප්‍රකාස කලේය. 


"දැං අපි මෙහෙම හිතමු. අපේ පලපුරුදු සල්ලිය වයිද්දිවරු යටතේ පුහුනුව ලබපු ලංකාවෙ ඉහලම බුඩ්ඩිමත් සිස්සයිං අතරිං වයිද්දි විද්දාලයට තේරුනු අපේ සල්ලිය වයිද්දිවරුංටත් වම දකුණ මාරු වෙන්ට පුලුවන් නං අපේ සංගොමේ සල්ලිය පුහුනුව ලබාදීම ප්‍රතික්සේප කරපු පවුද්ගලික වයිද්දිය විද්දාලයෙං පිටවෙන වයිද්දි වරු කොහොම වම දකුණ හරියට හොයාගනියිද? ඒකෙම්ම පේනවනෙ මේ පෞද්ගලික වයිද්දිය විද්දාලෙ තියන බයානක කම?" එතුමා පැවසීය.

"අනික ඔය ඉක්කා ගිවිසුම කියන්නෙ බොහොම බයානක එකක්.මම හිතන්නෙ ටක්කෙටම ඔය වම දකුණ මාරු වෙච්චි සල්ලිය වයිද්දිවරයා සල්ලියකරුමෙ කරන වෙලාවෙත් ඉක්කා එකෙං රටට වෙන්ට යන මහා විනාසෙ ගැන බොහොම විස්සෝපෙං ඉඳල තියෙන්නෙ වෙන්න ඕන. ඒකයි ඔය සුලු වැරදීමක් වෙලා තියෙන්නෙ. අනික මෙතන ඇත්තටම රෝගියගෙ නෑදෑයංගෙ පැත්තෙනුත් වරදක් තියනව.අර නාගොඩ ඉස්පිරිතාලෙ වම් පියයුරයි දකුණු පියයුරයි මාරු උනාට පස්සෙ අපි ඉල්ලීමක් කලා යම් රෝගියෙක් සල්ලිය කරුමෙකට බාජනය කරන්ට සල්ලියාගාරෙට ගේනකොට ඒ එක්ක රෝගියගෙ නෑදෑයෙක් අනිවාර්යයෙන්ම ඇවිල්ල සල්ලිය කරුමෙ කරන වයිද්දිවරයට අදාල අවයවය පෙන්නල දෙන්ටයි කියල. ඒ කියන්නෙ... දොස්තර මහත්තයො මේක තමා අපෙ බාප්පගෙ දකුණු කකුල.අරක එහෙම නෙවෙයි. ඒක ඇවිල්ල වම් කකුල.....ඔව් ඔව් බාප්පට කකුල් දෙකයි තමයි තියෙන්නෙ..නෑ..නෑ..කවදාකවත් බාප්පට කකුල් තුනක් තිබ්බෙ නෑ මං දන්න තරමිං... අන්න ඒ වගෙ.අනික ඔය සමහර පලාත්වලවල අපි වම් කකුල කියල කියන එකට එයාල කියන්නෙ දකුණු කකුල කියල. එහෙම දේවල් තියනව. ඒ හින්දතමයි අපේ සංගොමේ අර විදිහෙ යෝජනාවක් ගෙනාවෙ. කොහෙද මේ සවුක්කිය ඇමටිටුමා ඒ යෝජනාව පිලිගත්තෙ නෑ. ඒකයි මේ ඔක්කොම මෙහෙම සිද්ද වුනේ." එතුමා එක දිගටම කියාගෙන කියාගෙන ගියේය.

"එහෙම නැත්තං අපේ විකල්ප යෝජනාවකුත් තියනව. අපි අපේ ලාංචනෙයි ඊට යටිං සංගොමේ නමයි දාල ඉස්ටිකර් එකක් ගහල රට පුරා ඉස්පිරිතාල වලට නොමිලේ බෙදල දෙනව. එව්වයෙ තියෙන්නෙ එක එක අවයව වල නං. බාසා තුනෙම්ම තියනව. මේක ඇවිල්ල මගේ වං අත..This is my left hand ...ඉදු එනදු එඩතු කායි, මේක ඇවිල්ලා මගේ දකුණු කකුල ..This is my right leg....ඉදු එනදු වලදි කාල්... සල්ලියාගාරෙට රෝගියාව ගේනකොටම අතපය හතරෙ ඔය ඉස්ටිකර් අලවල ගේන්ට ඕන. එතකොට මේ වගෙ වැරදීම් වෙන්නෙ නෑ. අපේ සංගොමේ අරමුදල් යොදවල රෝගීංගෙ යහපත වෙනුවෙං කරන ප්‍රජා සත්කාරයක් හැටියටයි අපි මේක කරන්නෙ."

සරීරය ඇතුලත දෙක දෙක බැගින් ඇති අවයව හඳුනාගැනීමට රජයේ වයිද්දිවරුංගේ සංගොමේ කුමන පියවරක් ගන්නට යන්නේදැයි මාද්දිය වේදියකු නැඟූ පස්නයට පිලිතුරු දුන් ප්‍රකාසක තුමා මෙසේ පැවසීය.

"ඒ ප්‍රස්නෙ විසඳන්ට අපේ යෝජනාව මෙහෙමයි. දැං ඇඟ ඇතුලෙ අවයවවල සල්ලිය කරුම කරන්ට ඕන රෝගීන්ට අපි කලින් මූලික සල්ලියකරුමය කියල එකක් කරනව. උදාහරණයක් හැටියට දකුනු වකුගඩුවෙ සල්ලිය කරුමයක් කරන්ට ඕන ලෙඩෙකුට අපි කලින්ම අතිරේක සල්ලිය කරුමයක් කරල වකුගඩු දෙකේ අර ඉස්ටිකර් දෙකක් අලෝනව.මේක දකුණු වකුගඩුව..එතනිං ගිහාම මේක වං වකුගඩුව කියල. පස්සෙ දෙවනුව නියමිත සල්ලියකරුමෙ කරනව. එතකොට වයිද්දිවරයට කොහෙත්ම වරදින්ට විදිහක් නෑ."

"අවයව මාරුවෙලා ඉස්ටිකර් ඇලෙව්වොත් එහෙම මොකද කරන්නෙ?" මාද්දිය වේදියකු ඇසුවේය. "මම මේ කියන්නෙ මේ දකුණු වකුගඩුව කියල පෙණහැල්ලෙ එහෙම ඉස්ටිකර් එකක් අලවල තිබ්බොත් එහෙම."

"ආ එහෙම ප්‍රස්නයක් වුනොත් කරන්න ඕන මොනවද කියල ඉතාම පැහැදිලියි. ඒ වෙලාවට වයිද්දිය ආඥාපනතෙ 61 ( ඒ ) වගන්තිය යටතේ ක්‍රියාකරන්ටයි තියෙන්නෙ."

" මොකද්ද ඒ වගන්තිය? "

"අනික් දවසෙ වෛද්‍ය ආඥාපනත කියවල එන්ට. එතකල් මම අදට කියන්නං ඔය වගන්තියෙ මොකක්ද?.... ඒකෙං කියන්නෙ මොකද්ද කියල..,මෙහෙමයි... ශල්‍යකර්මයකදී ඉවත්කලයුතු අවයවය පිළිබඳව සැකයක් හෝ විචිකිච්චාවක් මතුවූ කල ඒ අවයව දෙකෙන්ම අර්ධයක් බැගින් ඉවත්කල යුතුය." එසේ පවසමින් ප්‍රකාසක තුමා පුවක්පක් සාකච්චාව අවසාන කලේය. 

මේ අතර සවුක්කිය අමාට්ටියන්සය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මින් ඉදිරියට රජයේ වයිද්දිය විජ්ජාල වලින් උපාදිය ලබා පිටවන සියලුම වයිද්දිවරුංට පත්තීම් දීමට පලමු රෝගීන්ගේ වම් හා දකුණු අවයවයන් වෙන්කොට නිවැරදිව හඳුනාගැනීමට සතිදෙකක පුහුණුවක් ලබාදීමට ඇමටිතුමා තීරනය කර ඇති බවකි.

එම විසේස පුහුනුවෙන් සමත්වන වයිද්දිවරුන්ට M.B.B.S. උපාධි නාමයට අමතරව V.D.H. යන අකුරු තුනද බාවිතා කිරීමට අවසර ඇති බවද නිවේදනයේ වැඩිදුරටත් සඳහංවේ.

V.D.H. = වම දකුණ හඳුනන

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...