2004 අවුරුද්දෙ මම කෙටි කාලයක් වැඩකලා ගම්පොළ - නුවර එළිය පාර හදන චීන කොම්පැණියෙ. චීන්නුත් එක්ක වැඩ කරන එක ලේසිනෑ. මමත් මහ කැලවල් මැද අලි කොටි වලස්සු අස්සෙ මැලේරියා අනම්මනම් ඔක්කොමට මූණ දීල ගිනි පූටක අව්වෙ දවස තිස්සෙ රාජකාරී කරපු මනුස්සයෙක් වෙච්චි. ඒ හින්ද ඔය කට්ට කනව කියන එක මට මහ අරුමයක් නෙවෙයි. එහූ මටත් මේ චීන්නු එක්ක වැඩ කිරිල්ල බොහොම ඉක්මනට එපා වුනා. කොටිම්ම කිව්වොත් ඒ යක්කු මිනිස්සු ගණං ගන්නෙ කුණු පොල් කුඩු ගානට.
මට හිතෙන්නෙ චීනෙ කෙල කෝටි ගානක් මිනිස්සු ඉන්න හින්දමද මන්ද උංට මිනිස්සුත් තනිකරම වැඩ ගන්න යන්තර විතරයි. ඔය චීනෙ මිනිස්සුන්ට සලකන විදිහ ගැන තේරුං ගන්ට වෙන මොකවත් ඕන නෑ එහෙ ගල් අඟුරු ආකරවල වැඩ කෙරෙන විදිහ හොයල බැලුවම හොඳටම සෑහෙනව. ගල් අඟුරු ආකරවල වැඩ කරන එක කොහොමත් අවදානමක් තමයි. ඒත් අත්‍යාවශ්‍ය ආරක්ෂක උප්ක්‍රම පිළිනොපැද මිනිස්සු වැඩට යවනව කියන්නෙ හිතාමතාම ඒ මිනිස්සු මරණෙට දක්කනව වගෙ වැඩක්.
දැං අවුරුදු දහයකට නැත්තං දොළහකට වගෙ ඉස්සෙල්ල චීනෙ ගල් අඟුරු පතල්වල පිපිරීමක් වෙලා මිනිස්සු අච්චර මැරුණයි මෙච්චර මැරුණයි කියල නිතර දෙවේලෙ අහන්ට ලැබෙන එක බොහොම සාමාන්ය සිද්ධියක් වෙලා තිබ්බෙ.
ඊට පස්සෙ නම් එහෙම ප්‍රවෘත්ති වැඩිය අහන්ට ලැබුනෙ නැත්තෙ එක්කො සේෆ්ටි ගැන චීන්නු ඉස්සරට වඩා උනන්දු වෙන හින්දද නැත්නම් ඒ ගැන ප්‍රවෘත්ති වාරණයක් පනවලා හින්දද කියලනම් හරියටම කියන්ට අමාරුයි.
ඉතිං අර මතකනෙ සුනාමිය? ඒක අමතක වෙන්නෙ කොහොමද නේද? 2004 දෙසැම්බර් 26 වෙනිදා...ඊට කලිං දවසෙ මට රෑ නවතින්ට උනා එහෙ. එහෙ කිව්වෙ ඔය ගම්පළ -නුවර එළිය පාරෙ තවලම්තැන්න හරියෙ මම වැඩකලේ. ඉතිං රෑ දහය වගෙ වෙනකල් වැඩ තිබ්බම අපිට නවතින්ට වෙනව. අපිම නවාතැන් හොයාගන්ටත් ඕන. කොම්පැණියෙ ලොක්කො චීන්නු හිටියට ඒ යක්කුංට එව්වයෙ වගේ වගක් නෑ. උඹල තේ පඳුරක් යට බුදියල හරි වැඩේ කරපල්ල. එහෙමයි උං හිතන්නෙ.
මේ සුනාමිය ගැන පොඩි කතාවක්..ගාල්ලට සුනාමිය බොහොම දරුණු විදිහට බල පෑවනෙ. වෑල්ඩිං වැඩපලක වහලේ ගහල තිබ්බ බෝඩ් එකක් " වෑල්ඩිං කරනු ලැබේ" කියල.සුනාමියට ඕක ගහගෙන ගිහිල්ල වතුර බැහැල ගිහාම ඊට එහා පාරෙ සාස්තර කියන තැනක වහලෙ ගහල තිබ්බ බෝඩ් එකට හේත්තුවෙලා නැවතුනා. එතන වහලෙ බෝඩ් එක තිබ්බෙ " දේවාරූඪයෙන් සාස්තර කියනු ලැබේ " කියල. දැං අර වෑල්ඩිං වැඩපලේ බෝඩ් එක ඇවිල්ල හේත්තු උනයි කියන්නෙ හරියටම සාස්තර කියනු ලැබේ කියන කෑල්ල ඉස්සරහ ඒක වැහෙන විදිහට.
ඉතිං කොහොමවත් චීන්නු එක්ක ඉහගහගෙන ඉන්ට බැරිතැන මම දමල ගහල එතනිං අයිං වුනා.
"ඔහොම වැඩ කරන්නෙ කොහොමද අනේ? ඔන්න ඔහෙ අයිං වෙලා එන්ට ගෙදර"...අපේ ප්‍රියම්බිකාස් තොමෝත් එහෙම තමයි කිව්වෙ.
ඉතිං චීන්නුංට සයොනාරා කියල වැලිමඩ- කොළඹ නොම්මර 79 බස් එහෙක නැඟල මම ගෙදර ආව. ලෝඩ් බකිංහැම් වගෙ රස්සාව දමල ගහල ආවට ඉතිං ගෙදර නිකං හිටියැහැක? ඒ වෙනකොට අපි දෙන්න හිටියෙ එයා උගන්නපු ඉස්කෝලෙ ගුරුනිවාසෙ. කොහෙං හරි සුට්ටං ඉඩං කෑල්ලක් ගන්න ඕන. කාමර දෙහෙකි කුස්සි කෑල්ලකිවත් අටවගන්ට ඕන. ඔව්ව නිකං කොරන්ට බෑ නෙව. එව්වට කාසි ඕන කරනව යහමිං.
ඉතිං ඔන්න මම පටං ගත්ත සන්ඩේ ඔබ්සර්වර් එක ගන්ට. සන්ඩේ ඔබ්සර්වර් එකේ තමයි ඒ කාලෙ (දැනුත් එහෙමදැයි කියල නම් නොදනිමි) රැකියා ඇබෑර්තු බහුතරයක් තියෙන්නෙ.Employment Opportunities & Vacancies .... රැකියා අවස්ථා සහ පුරප්පාඩු.පත්තරේ පිටු මයෙ හිතේ තියනව අසූවක් විතර.
ජනවාරි මාසෙ අන්තිම සතියෙ වගෙ මම මේ කියන්නෙ 2005 අවුරුද්දෙ හොඳද? ඔබ්සර්වර් (ඔබ්සර්වර් කිව්වම මට මතක් වෙන්නෙම අපේ හිතමිතුරු සනත් විජේවර්ධන මහත්මයා නොහොත් ඔබා) පත්තරේ ඔන්න දාල තිබ්බ දැන්වීමක් මහනුවර නගරයේ ඉදිකිරීමට යෝජිත සිව්මහල් ගොඩනැඟිල්ලකට සුපරීක්ෂක කාර්ය මණ්ඩලය වහාම අවශ්‍යයයි කියල. නුගේගොඩ නාවල පාරෙ තමයි ඒ දැන්වීම පළකල සමාගම පිහිටල තිබ්බෙ.
ඉතිං ඔන්න පහුවදාම මම පිටත්වුනා කොළඹ. එකොළහ වගෙ වෙනකොට තැන හොයාගත්ත. දොර ඇරගෙන ඇතුලට ගිහාම එතනම පොඩි මේසෙක වාඩිවෙලා මොනවද ෆයිල් වගේක වැඩකරමින් හිටපු බොහොම කාළවර්ණ පුද්ගලයෙක් මගෙං ඇහුව "මොකක්ද උවමනාව?" කියල. ( පස්සෙ කාලෙක මම දෑහිම්ම දැක්ක විදිහට මේ පුද්ගලයට පාටියකදි නටන්ට එහෙම අවම වශයෙන් පර්චස් 40 ක්වත් ඕන වෙනව. හරි.තව බොහොම චිත්තාකර්ෂණීය චරිත බොහොමයක් සේවය කලා ඒ සමාගමේ. ඒ ගැන විස්තර දෙවනුව. )
ඒ පාර මම කිව්ව "මම මේ ඉන්ටර්වීව් එකට ආවෙ" කියල. අර පත්තරේ තිබ්බ දැන්වීම මම කපාගෙන අරගෙන ගිහිල්ල තිබ්බෙ. ඒකත් පෙන්නුව. ඒ පාර මට ඉඳගන්ටෙයි කියල මනුස්සය ගියා පඩි පෙලක් දිගේ නැඟල උඩට.ටික වෙලාවකින් ආපහු ඇවිල්ල කිව්ව "යමු උඩට අපේ මහත්තය කතා කරනව මහත්තයට" කියල.
ඊට අවුරුද්දකට පස්සෙ ඉඳල පුරා අවුරුදු තුනක් දිනපතා දවසට අඩු ගානෙ දහ දොළොස් පාරක්වත් නැගල බැහැපු ඒ පියගැට පෙළ මම පළමුවරට නැග්ගෙ ඒ වෙලාවෙ.
ඒ වෙලාවෙ ඒ පියගැටපෙළ නැගල මම ගියේ ඒ සමාගමේ එක් හිමිකරුවකුගේ කාමරයට. මගෙන් විස්තර අහල ඒ මහත්මය ඒ සමාගමේ අනෙකුත් හිමිකරුවන් දෙන්නටත් ඒ කාමරයට කතා කරල මම ගැන විස්තර කිව්ව.ආ..ඊට කලින් මට කිව්ව ඒ සමාගමෙං නුවර ඉදිකරන්ට යන ගොඩනැඟිල්ල ගැන විස්තර. ත්‍රිත්ව විද්‍යාලයෙ නොහොත් ට්‍රිනිටි එක ඇතුලෙ හදන්ට යන පංති කාමර සහ රැස්වීම් ශාලාවකින් සමන්විත සිව් මහල් ගොඩනැඟිල්ලක්.
ඊට දවස් දෙකකට වගෙ කලිං ව්‍යාපෘති කළමනාකරුවෙක් සම්මුඛ පරීක්ෂණයකින් තෝරාගත් බවත් වැඩබිමේ ඉදිකිරීම් තත්ව පාලනය , සුපරීක්ෂණය, මිනුම් ගැනීම සහ ගෙවීම් ඉල්ලුම්පත් පිළියෙල කිරීම, මා තෝරාගතහොත් මට පැවරෙන වගකීම් බවද ඒ මහතා මට පැහැදිලි කලා. අවසාන වශයෙන් ඔහු විමසූයේ පෙබරවාරි මස මුල සතියේ ඉදිකිරීම් ඇරඹීමට කටයුතු සුදානම් කොට ඇති බැවින් මට ඒ වනවිට සේවය සඳහා වාර්තා කිරිමේ යම් අපහසුතාවයක් පවතීද යන්නයි. මම ඒ වනවිටත් රැකියා විරහිතව පසුවන බැවින් එවන් ගැටළුවක් පැන නොනගින බව මම පිළිතුරු ලෙස පැවසූවා.
"මොකද ගිය වැඩේ?" එදින සවස ආපසු නිවෙසට පැමිණි මගෙන් ඇය විමසූවා.
"සීයට අනූවක්ම හරියයි මම හිතන්නෙ." මම පිළිතුරු දුන්නා.
ඒ දවස්වල අපේ ක්වාටර්ස් එකට ටෙලිෆෝන් තිබ්බෙ නෑ. මොබයිල් එකක් තිබ්බ මෝටරෝලා එකක්. ඒක තිබ්බෙ එතුමී ගාව. මම අර කොළඹ කම්පනි එකට දුන්නෙ ඒ මොබයිල් නම්බර් එක හින්ද මම ඊට පස්සෙ ඒ ෆෝන් එක මගෙ අතේ තියාගත්ත. ඒ වගේම දවස් දෙකක් ගියේ නෑ මට එයාල කතා කරල කිව්ව මාව තෝරගත්තය, එදා හවසතුනට ට්‍රිනිටි එක ගාවට එන්ටය කියල සයිට් එක එහෙම බලල පොඩි අඳුනා ගැනීමේ රැස්වීමක් වගෙ එකක් එහෙමත් තියන්ට.
එදා තමයි මම මුලින්ම ඒ ප්‍රොජෙක්ට් එකේ පී.එම්. නොහොත් ව්‍යාපෘති කළමනාකාර මහත්මය හඳුනාගත්තෙ. රතුපාට පර්ජෝ 504 කාර් එකක ඒ මහත්මය ආවෙ. නම කුලරත්න. ඔය මොඩල් එකේ පර්ජෝ කාර් ප්‍රසිද්ධ වුනේ සමිට් කාර් කියල. මොකද ඔව්ව ගෙන්නුවෙ 1976 නොබැඳි සමුලුවෙ වැඩ වලට. ඔය නොබැඳි සමුළුව රටේ හැමතැනම ප්‍රසිද්ධ වුනේ සමිට් එක කියල. මොකද ඕකෙ නිල නාමය ඇවිදිල්ල හිට "5th Non-Aligned Heads of State Summit Conference - Sri Lanka."
කැප්පෙටිපොළ මාවතේ සමිට් ෆ්ලැට්ස්.ඒවත් එහෙමයි. සමුළුවට ආපු පුවත්පත් කාලාවේදීන්ට නවාතැන් සැපයුවෙ ඒවයෙ. සමුලුවෙන් පස්සෙ සහන මිලකට ඒ ගෙවල් දුන්න රජයේ සේවකයින්ට. අර ගෙන්නපු සමිට් කාරුත් එහෙමයි. සමුලුවෙන් පස්සෙ කොළොන්නාවෙ ගවර්න්මන්ට් ෆැක්ටරි එකට දාල රජයේ සේවකයින්ට විකුණුවා.අර කුලරත්න මහත්මය අරං තියෙන්නෙ එහෙම එකක්. ඒ මහත්මය දීර්ඝ කාලයක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙ සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරියෙ සේවය කරපු කෙනෙක්.
එදා තිබ්බෙ ඇත්තටම ව්‍යාපෘති භාෂාවෙන් කියනවනම් Kick Off Meeting එක නොහොත් සමාරම්භක රැස්වීම. එහෙම එකක් තියල තමයි සාමාන්‍යයෙන් ව්‍යාපෘතියක වැඩ පටන් ගන්නෙ.එහෙම එකක් තියන එකේ ප්‍රධාන පරමාර්ථය ව්‍යපෘතියක පරදු දරන්නන් ( Stake Holders ) එකිනෙකා හඳුනා ගැනීම සහ සාමාන්‍යයෙන් කොහොමද ව්‍යාපෘතියෙ වැඩ ඉස්සරහට ගෙනියන්නෙ කියල පොඩි අවබෝධයක් ලබා ගන්න එක. එකඟතාවයකට එන එක.
![]() |
| මේ තියෙන්නෙ ට්‍රිනිටි එකේ අපි හදපු ගොඩනැඟිල්ල..ඡායාරූපය රන්දිල් ගේ අනුග්‍රහයෙනි. |
Stake Holders කියන්නෙ ව්‍යාපෘතියට සම්බන්ධ එහි යම් කාර්ය භාරයක් දරන පුද්ගලයින් හා / හෝ සමාගම් නැත්නම් ඒ ව්‍යාපෘතිය නිසා යම් බලපෑමක් ඇතිවෙන එහෙම නැත්නම් ප්‍රතිලාභයක් අත්වෙන සියලුම දෙනා.කොළඹ අපෙ සමාගමෙන් මේ ව්‍යාපෘතිය අධීක්ෂණය කරන කොටස්කරු මහත්මයා ( Partner ) වගේම ත්‍රිත්ව විද්‍යාලයෙ විදුහල්පති තුමත් මේ රැස්වීමට සහභාගි වුනා.
ට්‍රිනිටි එකේ ඒ දවස්වල විදුහල්පති තුමා ඇවිල්ල බ්‍රිතාන්ය ජාතිකයෙක් නොහොත් සුද්දෙක්. නම රොඩ් ගිල්බර්ට්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක්. අපි එක්ක බොහොම සුහද සම්බන්ධතාවයකින් කටයුතු කලා. වැඩ කරගෙන යද්දි ගෙවීමක් එහෙම හදිස්සියෙ අවශ්‍ය වෙලාවට අපේ කුලරත්න මහත්මයාට තියෙන්නෙ පඩිපෙළ බැහැල ඔෆිස් එකට ගිහිල්ල පොඩ්ඩක් සතුටු සාමීචියෙ එහෙම යෙදිල මතක් කරන්න විතරයි.
"Sir, If you can expedite our payment it would be a great help at this time"
"Of course I understand Mr. Kularathna, you are a contractor, I know you need cash to carry on this project. I would certainly do whatever I can."
ඒ කිව්වත් වගෙ දවස් තුන හතරක් යන්ට කලින් ඔෆිස් එකෙං පණිවිඩයක් එනව ඇවිල්ල චෙක් එක අත්සන් කරල ගන්ට කියල.
ඒත් හරිම කණගාටුදායකයි මිස්ටර් ගිල්බර්ට් කොටි හිතවාදියෙක් කියල 2008 අවුරුද්දෙ වගෙ ආණ්ඩුවෙන් එයාගෙ රෙසිඩන්ට් වීසා කැන්සල් කලා. ඒ වෙනකොට ගිල්බර්ට් මහතා සහ මහත්මිය නිවාඩුවකට එංගලන්තෙට ගිහිල්ල හිටියෙ. ඉතිං එයාලට ආපහු එන්ට බැරිවුනා. ට්‍රිනිටි එකේ පාලක මණ්ඩලය (Board of Governors ) ආණ්ඩුව එහෙම කරපු එකට දැඩි විරෝධය පලකලත් වැඩක් වුනේ නෑ. හරි..ඒ ඔක්කොම අනාගතයෙ සිද්ද වෙන එව්වනෙ. රයිට් අපි යමු ආපහු කික් ඕෆ් මීටිං එකට.
ඉතිං ඒ මීටිම ඉවරවෙලා කුලරත්න මහත්තය මගෙං විස්තර ඇහුව. "ගෙවල් කොහෙද?කලිං වැඩ කරල තියෙන්නෙ කොහෙද?" යනාදී වශයෙන්. මම පැණිදෙණියෙ කිව්වම "ආ..එහෙනං කිසි අවුලක් නෑ. මම යන ගමං ගෙදර ගාවින්ම දාගෙන යන්නංකො. මමත් ඊට ටිකක් එහා ඉන්නෙ" කියල ආයම ඇහුව. " අපි දෙන්න දැං අවුරුද්දක් මෙතන මේ වැඩේ ඇදගෙන යන්ටත් එපාය. මොකද කියන්නෙ? අඳුනගන්ටත් එක්ක යමුද වික්ටරි එක පැත්තෙ? " කියල හිට.
වික්ටරි කියන්නෙ මහනුවර කොළඹ වීදියෙ තියෙන ප්‍රසිද්ධ බාර් එකක්. "මේ මොනව කියනවද? යමු යමු" කියල මාත් එක පයිං ලැහැත්ති වෙච්චි. පස්සෙ අපි දෙන්න ඔන්න ගියා වික්ටරි එකට. ඒකෙ ගිහිල්ල ඉඳගෙන විනාඩි දහයක් උනේ නෑ. ඔන්න ලයිට් ගියා.
පස්සෙ ඉටිපන්දං එළියෙං තමයි සුහද හමුව ඉස්සරහට ගෙනිච්චෙ. "මහ ජංජාලයක්නෙ රවී මේක..ෂෙහ්, මේ කලුවරේ බයිට් කියල මොනව කනවද මන්ද" කුලරත්න මහත්තය එහෙම කිව්ව. මහ ජංජාලයක්නෙ කියන වචනෙ මගෙ වාග්මාලාවට නොහොත් වොකැබියුලරි එකට එකතු කලේ ඔය කුලරත්න මහත්තය. ඊට පස්සෙං පහු අපි දෙන්න ට්‍රිනිටි එකේ ඔය කියපු බිල්ඩිම හදපු අවුරුද්දක කාලය ඇතුලත දවසකට විසි තිස් පාරකට වැඩිය කුලරත්න මහත්තය ඔය " මහ ජංජාලයක්නෙ රවී මේක" කියන වචන හතර කියන්ට ඇති.
ට්‍රිනිටි එකේ ඒ ප්‍රොජෙක්ට් එක කරපු අවුරුද්දක කාලෙ ඇතුලත වෙච්චි දේවල් සහ කුලරත්න මහත්තය ගැන තව බොහොම දේවල් ලියන්ට තියනව. ඒව ආයෙ වෙලාවක හොඳද? ත්‍රිත්ව මතක කියල ඕනනං කැටගරි එකකුත් දාන්ට බැරිය.
පලි - දැං එහෙනං කියන්නංකො ඇයි මෙහෙම එක පාරට ට්‍රිනිටි එක ගැන මතක්වුනේ කියල.
මේ "The New Indian Express" පුවත්පතේ 2016 මාර්තු 9 වෙනිද පළ වූ පුවතක්.
Christian Mission School Admits AIDS Suspect Others Shunned
COLOMBO: The two-month long impasse over the admission of AIDS suspect Rehan Dilshara to a school in Sri Lanka has ended with Trinity College, a leading Christian missionary school in Kandy, agreeing to take him and meet his expenses.
A Memorandum of Understanding to admit the six-year old from an indigent family, was signed on Wednesday by Andrew Fowler-Watt, Principal of the 159 year-old Anglican mission school, and Akila Viraj Kariyawasam, Lankan Minister of Education.
Prior to this, every school in the Kuliyapitya area of Lanka’s North Western Province, including government-run institutions, had refused to take the kid on the basis of a rumor that he has AIDS, or his mother, Chandani, has AIDS, or his father had died of AIDS. All this despite government doctors’ certificates to the contrary.
Minister Kariyawasam himself fueled the rumor by saying that the mother is HIV Positive and that she can transmit the virus to her son by simply lying beside him. He also said that he could not force schools to take the boy.
But widespread media coverage resulted in President Maithripala Sirisena’s assuring admission. While no government run or Buddhist-run school offered to admit the boy, the Christian Trinity College of Kandy, and the Muslim Zahira College of Kurunegala, offered to take him.
වෙන මොකවත් කියන්න ඕන නෑනෙ. Self explanatory නේද? සියළු සත්වයින්ට කරුණාව සහ ශාන්තිය පැතිරවූ මහා කාරුණිකයානන් දෙසූ සද්ධර්මය රාජ්‍ය ආගම වෙච්චි මේ ධර්මද්වීපයෙ, සුප්‍රසිද්ධ බෞද්ධ පාසල් සියගණනක් තියෙන මේ රටේ අන්තිමට ඒ දරුවට පිහිට වෙන්ට ඉදිරිපත්වුනේ ඉස්ලාම් පාසලක් සහ ක්‍රිස්තියානි පාසලක්.
I Rest My Case………..
All Those Gentlemen At Trinity College…Thank You So Much Again...








