Thursday, August 18, 2016

434. හද බැඳි ගී සොළොස - 2 ...වසන්තයේ අග සිට කුසුම් කැකුළ නිදනාතුරා....

හරි... හදබැඳි ගී සොළොසේ දෙවන භාගය නොහොත් නවයේ සිට දහසය දක්වා ගීත ගැන කියන්නයි මේ ලැහැත්තිය.

නමය මෙහෙමයි...මගේ ජීවිතේ කාර්මික විද්‍යාල යුගය අහවර වෙලා ඊට පස්සෙ හාපුරා කියල ඔන්න රැකියාවක් ලැබුනා. ඒ අභයගිරි ව්‍යාපෘතියෙ. ඒ කාලෙ තිබ්බ උපාධිධාරී ස්ථාපන සේවය කියල එකක්. විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන්ට රජයේ වෙනත් ස්ථිර රැකියා ලබාදෙනතෙක් අභයගිරිය වගෙ ව්‍යාපෘතිවල තාවකාලිකව සේවයේ යෙදෙව්ව.

ව්‍යාපෘති කාර්යාලයෙ අපේ සැලසුම් අංශයත් එක්කම අල්ලපු කාමරේ තමයි Pottery Unit එක. Pottery Unit එක නොහොත් අපි විහිලුවට කියපු පරිදි වළං කඩේ අංසෙං කරේ කැණීම් වලින් මතුවෙන වළං කැබලිති ඇතුලු වෙනත් පිළිස්සූ මැටි බඳුන් කැබලිති පිළිබඳව සියලු විස්තර ලොග් පොතක සටහන් කරගෙන එව්වා පසුකාලීනව පර්යේෂණවලට යොදාගැනීමට හැකිවන පරිදි සුරක්ෂිතව ගබඩා කරල තියන එක.

ඔය පොටරි යුනිට් එකේ වැඩ කලේ යුවතියන් තුන්දෙනෙක්. පොටරි අක්කල කියලයි අපි ඔවුන්ව හැඳින්නුවෙ. ඒ කාලෙ අපි මේ යන්තං අවුරුදු විස්ස පාස් කරපු කජුකිරි කොල්ලො. ඔය පොළවෙන් මතුවන වළං කැබලිති (ආ...තව දෙයක් කියන්ට ඕන. කැබලිති කියල කියන්ට පුලුවන් ගින්නෙන් පුළුස්සාගත් වළං හෝ ඒ වගෙ වෙනත් මැටි භාජනයකින් බිඳුනු කැබැල්ලකට පමණයි.ඇට කැබලිති, ගල් කැබලිති, නූල් කැබලිති කියල කිව්වොත් වැරදියි) සුරක්ෂිතාගාරයෙ තැන්පත් කරන්ට ඉස්සර එව්වගෙ සම්පූර්ණ ප්‍රමාණයට (Full scale) ඩ්‍රෝයිං එකක් අඳින්න ඕන.අක් කෙවුම (Front View) පැති කෙවුම (Side View) ඔය වගෙ එව්ව. එව්ව කලේ අපි නිසා වළං කඩේ අක්කල අපි එක්ක ෆුල් පෑල්.

ගෙදරින් අරන් යන කෑම එකත් උස්සගෙන මම යනව දවල්ට උං එක්ක හවුලේ දිවා ආහාරය ගන්ට. අපේ සේනකය එතනම පිටිපස්සෙ කාමරේක ඉන්නෙ. ඌත් "ඉඳපං මාත් එනව" කියල දවල්ට උයපු බත් සාස්පාන පිටිම්ම උස්සගෙන එනව එලවලු ඇතිලිත් ඒ උඩ තියාගෙන.අපි ඉතිං කෑම බීම හුවමාරු කරගෙන කනව.

එහෙම එක දවසක අපි ඔය ගායකයො ගීත ගැන එහෙම කතා කරමින් ඉන්න අතරෙ එක අක්ක කෙනෙක් තවත් අක්ක කෙනෙක්ව පෙන්නල කිව්ව "ඔයාල දන්නෙ නැතුවට මෙයා දක්ෂ ගායිකාවක්. යුනිවර්සිටි ඉන්නකොට ගීත ගායනා තරඟවලින් හැමදාම කප් එක ගහන්නෙ මෙයා තමයි" කියල. පස්සෙ අපේ බලවත් ඉල්ලීම පරිදි ඒ අක්ක එදා කිව්ව බොහොම අපූරු ගීතයක්. හැබැයි එකක් තියෙන්නෙ ගායිකාවක් ගයන ගිතයක් නොව ගායකයෙක් ගයන ගීතයකි. 

මට තාමත් ඇස් දෙක පියාගත්තම හිතේ මැවෙනව එදා ඒ යුවතිය ඉතාමත්ම මනබඳින ලෙස ඒ ගීතය ගැයූ අපූරුව. එදා ඒ ගීතය එක්ක බැඳුනු ප්‍රේමය අදටත් එසේමයි. ඒ "නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී"  - ගායකයා එඩ්වඩ් ජයකොඩි. මේ ගීතය තව කීප දෙනෙක්ගෙ තේරීම් වල තියනව දැක්ක නිසා මම හිතුව පසුබිම් කතාව ඒ වෙනකොට ලියලත් තිබ්බ එකේ කතන්දරේ විතරක් දාලා ගීතය නොදා ඉන්ට. ඒ වෙනුවට එඩ්වඩ් ලොක්කගෙම තවත් මියුරු ගීයක් මෙන්න...

තව කාරණේකුත් මෙහෙම්මම කියල ඉන්නංකො.අමරසිරි පීරිස්ගෙ "ඇය යන්න ගියා මැකිලා", එතකොට අමරසිරියි මැණික් ජයසේකරයි කියන "ස්නේහයේ නගරයයි හිත මගේ" සහ මර්වින් පෙරේරාගෙ "මේ නගරය මා ඔබ මුණ ගැහුණු නගරයයි" යන ගීත තුනත් මගේ ඔරිජිනල් ලිස්ට් එකේ තිබිල වෙනත් සහෘද/සහෘදිනියන්ගෙ තේරීම් වල තියනව දැකල මම අයින් කරල දැම්ම.

හරි එහෙනං මෙන්න නවය....

වසන්තයේ අග හමුවෙමු සොඳුරියෙ
ලවැලි තලාවක විසුල කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අළුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ගිමන් නිවන්නට ජීවිතයේ
යලි කෙදිනද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

ගායනය, සංගීතය - එඩ්වඩ් ජයකොඩි
ගී පද - කපිල කුමාර කාලිංග




ඊගාවට දහයත් ඇවිල්ල හිට ඒ කාලෙ දෙකක් දාගත්තද සේනකයගෙ බත් උයන සාස්පාන රොටි තැටියක් වගෙ වෙනකල් තඩි ගගහ කියපු ගීතයක්...බණ්ඩාර අතාවුද....ආශාවේ මල් වැටෙන් එබී....

මේ ගීතයට තව පසු ඉතිහාසයකුත් තියනව. පස්සෙ කාලෙක මම බැන්දට එහෙම පස්සෙ මාත් එක්ක වැඩ කරපු පොඩි එකෙකුට ඒ පැත්තෙ කෙල්ලෙකුට හිත ගියා. ඒ පාර ඌ මට කිව්ව "අයියෙ මට ලියුමක් ලියල ඒ ගෑණු ළමයට දෙන්ට ඕන. ඒත් ලියන්නෙ මොනවද කියල හිතාගන්ට බෑ" කියල. ඒ කෙල්ල කට්ට කලුයි. මම කිව්ව "අර ආශාවේ මල් වැටෙන් එබී සිංදුව ලියල දීපං" කියල.ඒ යකා ෂුවර් එකටම මම හිතන්නෙ එහෙම කරන්ට ඇති මොකද ඊට පස්සෙ ඒ පලහිලව්ව එහෙම්මම නැතිවුනා.

ආශාවේ මල් වැටෙන් එබී
නිලුපුල් දෑසින් මදෙස බැලූ
නයන කලූ ඔබ මගේ කලූ
නයන කලූ ඔබ මගේ කලූ

රෑ නිල් අහසේ නිදන සඳවතී
අඳින සළු මිදුලෙ එලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

පායන සඳ සේ රුසිරු හසරැලී
දෙතොල වෙලූ නයන කලූ
සුන්දර මොහොතේ මා සිහිවෙනවද
කියනු කලූ මට කියනු කලූ

ගී පද මාලාව : ඩෝල්ටන් අල්විස්
සංගීතය: විශාරද ගුණදාස කපුගේ
ගැයුම: විශාරද බණ්ඩාර අතාවුද




ඊගාවට එකොළහ - 1978 තිරගතවුනු සීතාදේවී චිත්‍රපටයේ කථා තේමාව වුනේ රාම,රාවණ සහ සීතා තුන්කොන් ප්‍රේමකතාව. රාවණට රඟපෑවෙ ගාමිණී ෆොන්සේකා. සීතාගෙ චරිතය කලේ ඉන්දියානු නිළියක්... මම්තා ශංකර්...චිත්‍රපටයෙ අන්තිමට රාවණ මියයනවා. රාවණගෙ සිරුර මුහුදු රළ මත සෙමින් පාවෙද්දි පසුබිමින් ඇහෙනව අමරෙ මාස්ටර්ගෙ තෙදවත් කටහඬ...මම ඔය ෆිල්ම් එක බැලුවෙ දෙමටගොඩ මානිල් හෝල් එකේ.

නිම් හිම් සෙව්වා මා සසරේ 
හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
ළං වී වෙන් වී වරින් වරේ
ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැවුදීලා 
ඔබ මා නෙතගේ රැඳුනා

ඉර හද සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා 
සටනින් අද මා දිනුවා

ගී පද - ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය - නිමල් මෙන්ඩිස්
ගායනය - ඩබ්.ඩී. අමරදේව




දැන් දොළහ.... මම අර මහ කැළේ මැද වැඩ කරද්දි ඒ කියන්නෙ කාලවකවානුව ඇවිල්ල අසූව දශකයෙ මැද භාගය වගෙ පොළොන්නරුව පැත්තෙ තරුණයෙක් ඇවිල්ල අපේ ඔය පොඩි පොඩි ඇළවල් එහෙම කොන්ත්‍රාත් කලා. පස්සෙ කාලෙක ඒ තරුණයා දිවයිනේ ඉතාම ජනප්‍රිය ගායකයෙක් බවට පත්වුනා. ඒ ජානක වික්‍රමසිංහ...පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ ඛෙදාන්තය විස්තර කෙරෙන මේ ගීතයේ රචනය රත්න ශ්‍රී විජේසිංහ...

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

දිලිසෙනා සේම කරලිය දිලෙන්නේ නැති
වන්නමක් සේම සුමිහිරි තානමක් නැති
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි
සකියණි ගිරෙන් ගිරට පැන යන්නට
ජීවිතෙන් බැරි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

රඟ බිමෙන් බහින විට ගෙයි සන්තකව ඇති
නළල් පට මාල හත් පට සින්න වී ඇති
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි
සකියණි රිදී කාසි සොලවන්නට
බෙර පදය මදි

කිරුළ මුතු ලිහී සර සර හඬින් වැගිරෙනා
සුළු මැදුම් දෙතිත පැටලී ගිගිරි වැලපෙනා
නටනවා නොවෙයි වැහැරුණු දෙපා වෙව්ලනා
තන තන තාන තම් දෙනා
තන තන තාන තම් දෙනා

ගායනය - ජානක වික්‍රමසිංහ
සංගීතය - එච්.එම්.ජයවර්ධන
පද - රත්න ශ්‍රී විජේසිංහ




දහතුන නොහොත් තුදුස...අනූවෙ දශකයෙ මැද වගෙ මම වැඩකලා ගොවිජනපදයක. ඒ ගැනත් විස්තර මම කලින් කියල තියනව. ඉතිං කුඹුරු පැහෙන කාලෙට වතුර ප්‍රශ්ණ විසඳන්ට අපිට සමහරවිට දවස තිස්සෙ කුඹුරු ගානෙ ඇවිදින්ට වෙනව. එහෙම දවස්වලට දවල්ට ඔය කොහෙ හරි ගොවි සංවිධාන සභාපති මහත්තයෙක්ගෙ ගෙදරින් දිවා ආහාරය සප්පායං වෙන එක එච්චර දෙයක් නෙවෙයි. 

මම එක පාරක් එහෙම ගිය වෙලාවක මට ඇහුන ඒ ගෙදර පොඩි එකා (අවුරුදු හයක් හතක් වගෙ ඇති ඌට වයස) "සිරිකඳුයාය මටයි නීල කොබෙයියා උඹටයි" කිය කිය එහෙ මෙහෙ දුවනව. ඒ කිට්ටුව සිරිකඳු යාය කියල ගමකුත් තියනව. පස්සෙ මම ඇහුවම "මොකක්ද අර පොඩි එකා කියන්නෙ?" කියල සභාපති මහත්තය කියාපි "අනේ මහත්තයො මේ ලොකු කෙල්ල ගෙනාපු කැසට් පීස් එහෙක තියන සිංදුවක්නෙ මූ මේ කියන්නෙ" කියල. ඊට පස්සෙ මම ඒ කැසට් එක ඉල්ලගෙන ඇවිල්ල ඇහුව මොකක්ද යකෝ මේ නීල කොබෙයියගෙ සිංදුව කියල.......

දුර කඳු යාය මටයි - නිල්ල නිලන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි - මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැඳ බැඳ දුවන තුරා
මලකට සිත් පීඩා නෑ.....
ගහමල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඬුවෙ නෑ.....

දුරකඳු යාය මටයි........

වියළුණු කතර බිමේ දිය බිඳ බිඳ වැටෙන තුරා
කතරට සයුරක් මදි නෑ.....
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහි කරන තුරා
මගෙ හිතටත් නිවනක් නෑ.....

දුර කඳු යාය මටයි.....

ගායනය - උපාලි රන්තිලක
ගී පද - යමුනා මාලිනී පෙරේරා




මේ දහහතර... මේ ගීතයෙ මුල්පද තිසරු ලියන් කියලයි මම මේ මෑතක් වෙනකල් හිතාගෙන හිටියෙ. පස්සෙ බොහොම අහම්බෙන් තමයි එතන කියවෙන්නෙ බිසරු ලියන් කියල දැනගත්තෙ. ඒ ගැන මම මීට කලින් තනිකරම පෝස්ට් එකක්ම ලිව්ව නිසා ආය වැඩි විස්තර අවශ්‍ය නෑ.

බිසරු ලියන් මැද රුසිරු සුපුල් වත, 
සසල කරයි හද මානනියේ, 
මදන තෙදින් ඉඳු සදිසි යොවුන් ලඳ, 
බඳිනු තදින් හිත දේහිනියේ, 

රතදර පියුමෙහි රොන් සුණු වැගිරෙත, 
කෙලෙසද හැඟුමන් මැඩලන්නේ, 
උතුරා යද්දෙන් රොන්කඳ මදුයහනේ, 
හිමකර සෙවණේ එකහීනේ, 
නුඹ සතපමි නාවා අමරති රණලෝලේ, 

විපුලිත ලැම රණ හංස තුඩට කිම, 
දුහුල් සළුව හිරිහැර දෙන්නේ, 
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ, 
මගේ සරාගී සෝතාපා, 
නුඹ රන්බඳ මා හා සයනත රෑ යාමේ

පද රචනය : බන්දුල නානායක්කාරවසම්
ගායනය : සමන් ජයනාත් ජිනදාස
සංගීතය : නවරත්න ගමගේ




මේ Penultimate එක නැත්නම් පහළව. (BTW - Penultimate කියන වචනෙ ගැන මධුරගෙං ඇහුවම කිව්වෙ උපාන්ත කියල)

මිනිස්සු සහ ගැහැණු තම කලත්‍රයාට අවංකව ජීවත් වෙන්න කොච්චර උත්සාහ කලත් හිත කියන එක එහෙ මෙහෙ වෙන්න යන්නෙ උසේන් බෝල්ට් ගොයියට මීටර් දහයක් දුවන්ට ගතවන කාලෙටත් අඩු කාලයක්. මම හිතන්නෙ ඔය එක් සහකාරියකගෙන් / සහකරුවෙකුගෙන් සෑහීමට පත්නොවීම පරිණාමික සංසිද්ධියක්. ඩෙස්මන්ඩ් මොරිස් මොකද මේ ගැන කියල තියෙන්නෙ කියල නිවාඩු වෙලාවක හොයල බලන්ට ඕන. හරි ඒ කොයිහැටි වෙතා එහෙම අවුලක් උනාම මේ වගෙ දෙන්න එක්ක සිංදුවක් කියල වැඩේ ගොඩින් බේරගන්ට තියේනම් ආතල් ද බ්‍රේව් නේ?

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද ...//
පුළුලුකුලේ සුව යහනේ නිදි වැරුවේ මං විතරද //
උර තලයේ හිස රන්දා සුව වින්දේ මං විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද
ඉඟ නෙරියේ රැලි බින්දේ පිය ළඳුනේ මං විතරද //
ඉඟ නෙරියේ රැලි සැදුවේ හිමි සඳුනේ මට විතරද

මුදු මුහුණේ සුව දැණුනේ පිය ළඳුනේ මට විතරද
ඔබෙ සුසුමේ සුව දැණුනේ හිමි සඳුනේ මට විතරද

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
තනුව හා සංගීතය - ගුණදාස කපුගේ




බොහොම අසීරුවෙන් දාසයටත් ආපි එහෙනං… අන්තිමටම ඔන්න තවත් අපූරු ගීතයක්...මගේ විසිවන විවාහ සංවත්සරය වෙනුවෙන් පසුගිය අවුරුද්දෙ ලියපු වියුණු සටහන අග්ගිස්සට මම ඇමිණුවෙත් මේ ගීතය..මේ ඩබ්.ඩී. ආරියසිංහ...

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ, 
සැතැපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ, 
මහලු වෙලා අද සඳ වාගේ,
යෞවන රෑ සඳු,
බලාන උන්නාවේ, 

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා, 
අපි යමු මේ රෑ අනාගතය සොයලා, 
නලමුදු සුවඳේ නිදන මලේ,
මට මල් රොනවුලු,
සුවඳ දැනේ ළඳුනේ,

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,



අවසාන වශයෙන් හිතාදර ඉයන්ට මගේ බලවත් ස්තූතිය මෙවන් රසවත් කර්තව්‍යයක් උදෙසා අප සැම යොමු කරවීම පිළිබඳව.

Thanks Boss, I enjoyed doing this so much. It was such a pleasure going down memory lane & re-living those unforgettable memories..:)

Wednesday, August 17, 2016

433. හද බැඳි ගී සොළොස - 1 - මින්දද හී සර සිට ආදර නිල් දෑස තෙක්…..

ඉයන් අපූරු සටහනක් ලියල තිබ්බ ඔහු කැමති ගීත දහසයක් පිළිබඳව. ඒ එක්කම ඔහු අභියෝගයකුත් කරල තිබ්බ තමන් ප්‍රියකරන ගීත 16 ගැන ඒ වගෙ සටහනක් ලියන්නෙයි කියල. කළ්‍යාණ මිත්‍ර සහ හංසි ඒ අභියෝගය භාරගෙන දැනටම ලියල පබ්ලිෂ් කරලත් අහවරයි. ආ නිර්මාණිත් තමන්ගෙ සිත්ගත් ගී දහසය ගැන ලියල තිබ්බ. 

රයිට් දැන් මගේ වාරය... මෙතන අමාරුම වැඩේ ඉතිං ජීවිත කාලයක් අහල තියෙන ගීත හාර පන්සීයක් අතුරින් 16ක් තෝරන එක. ඒත් එහෙම දෙයක් කරන්න පුලුවන් වෙන්නත් එපාය. නැද්ද හොඳයි? 

මේ ඊයෙ පෙරේද සිත්තමීගෙ පෝස්ට් එකක මම දැක්ක නවකථාවක් ලියන්නෙ කොහොමද කියල උපදෙස්. ඒ ඇත්තම කියනවනම් සිත්තමී ලියපු උපදෙස් මාලාවක් එහෙම නෙවෙයි. තවත් රචකයෙක් ලියපු ලිපියකින් උපුටාගත්තු සටහනක්. ඒකෙ කියන්නෙ නවකතාවක් රචනා කිරීමේ පලමු පියවර වෙන්න ඕන තමන් ලියන්නට බලාපොරොත්තුවන කතාව වචන 15 වගෙ වෙන තනි වාක්‍යයකින් ලියන එක කියල.

ඒ කියන්නෙ පිටු හාර පන්සීයක නවකතාවක් වුනත් වචන පහළවක වාක්‍යයකට ගොනුකරල, සංක්ෂිප්ත කරල සාරාංශගත කරන්න පුලුවන් වෙන්න ඕන සහ එහෙම කරන්න පුලුවන් කියන එක.

හරි අර කාලෙකට ඉස්සර දුලීකා මාරපන අර මොනවද රෙදි හෝදන කුඩු ජාතියක ඇඩ් එහෙක කිව්ව වගෙ දැන් කතා ඇති වැඩට බහිමු.

දැන් මේ ඉතාම අසීරු කර්තව්‍යය මෙහෙම කරනවය කියල මම හිතාගත්ත. ඒ කිව්වෙ එක ගායකයෙකු හෝ ගායිකාවකගෙ එක ගීතයක් විතරයි තෝරගන්නෙ. මොකද එහෙම නැත්තං අමරදේව මාස්ටර්, වික්ටර්, සනත් ගාවින්ම ගීත දාසය ඉවරවෙයි. 

ඒ වගේම මේ සටහන මම ලියන්නෙ කාලානුක්‍රමණික පිළිවෙලට. නැත්නම් Chronological Order එකට. සාමාන්‍යයෙන් මෙහෙම තේරීමක් කරනකොට අග ඉඳල ඉහලට එන එකයි සාමාන්‍ය ක්‍රියා පටිපාටිය. ඒ කිව්වෙ අංක 16 ට තෝරපු ගීතය ඉස්සෙල්ලාම ඊලඟට අංක 15 අන්න ඒ විදිහට. ඒත් මෙතන එහෙම කරන්න අමාරුයි. ඒ කිව්වෙ මගෙ කැමැත්තේ ප්‍රමුඛත්වයක් නෑ කියන එක නෙවෙයි. ඒත් ඊට ලේසියි අර කිව්ව විදිහට කාලානුක්‍රමණික පිළිවෙලට ගීත පෙළගස්වන එක.

හරි එහෙනම් පටන් ගමු අංක එකෙන්......

සිංදුවක් කියන්නෙ මොනවගේ දෙයක්ද කියල යම්තමට අවබෝධයක් ලැබෙන වයසට එනකොට ඒ කියන්නෙ වයස අවුරුදු එකොළහක් දොළහක් වගෙ වෙනකොට සිංදුවක් අහන්ට අපිට තිබ්බ එකම ක්‍රමය ලක්ෂපාන බැටරි කෑලි හයක් දාපු ට්‍රාන්සිස්ටර් රේඩියෝ එක විතරයි. මම මේ කියන්නෙ අපි කෑගල්ලෙ ජීවත් වුනු කාලෙ ගැන. දවල් දවසෙ මම කොයිම වෙලාවකවත් ගෙදර නෑ. එක්කො අහල පහල ගෙදරක යාලුවො එක්ක ක්‍රිකට් ගහන්ට ගිහිල්ල නැත්නම් අපෙ ගෙදර පල්ලෙහ තිබ්බ ලඳු කැලෑවෙ ඔය මොනවහරි සෙල්ලමක් කරනව. ඒ හින්ද සිංදුවක් කණට ඇහෙන්නෙ හවස හයෙං පස්සෙ වගෙ තමයි.

හවස හයට ප්‍රවෘත්ති අහන්ට ක්‍රියාත්මක කරන රේඩියෝ එක ඊට පස්සෙ රෑ එකොළහට "සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා, සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං" කියල නිදාගන්ට යනකනුත් සමාන්‍යයෙන් එක දිගටම කතා කලා. සිංදු කිව්ව. කතන්දර කිව්ව.

ඔය සබ්බ පාපස්ස අකරණං ගාථාව ගැනත් පොඩි අතුරු කතාවක් තියනව. ඒ ඕක කියන්නෙ කවුද කියල අපි යාලුවො අතර ලොකු විවාදයක් තිබ්බ. මට හිතුනෙම අමරදේව මාස්ටර් කියල. ඒත් මගෙ යාලුවො බහුතරයක් කිව්වෙ සබ්බ පාපස්ස ගාතාව කියන්නෙ ගුවන් විදුලි සංස්ථාවෙ ප්‍රවෘත්ති එහෙම කිව්ව සිරිල් රාජපක්ෂ කියල. "ටං ටංට ටං ටංට ටං ටංට ටානා, බඩ පැත්ත සුදුවෙන්ට කිරිමැට්ට ගෑවා....මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයයි. මෙන්න මධ්‍යාහ්න ප්‍රවෘත්ති..ප්‍රකාශය සිරිල් රාජපක්ෂ විසින්...."

ඉතිං මට කියන්ට ඕන කලේ ඔය කාලෙ අපිට සිංදු ඇහුනෙ ඔය රෑ රේඩියෝ එක දාල තිබ්බ කාල වකවානුවෙ විතරයි. එව්වයිනුත් හිතේ ඇඳුනෙ සිංදු බොහොම ස්වල්පයයි. අමරදේව මාස්ටර්ගෙ සන්නාලියනේ, වික්ටර්ගෙ පොඩි කුමාරිහාමියේ, ටී.එම්ගෙ රත්තරන් නෙත් දෙකින් සහ ජීවිතේ අමධාරා. ඔන්න ඔය වගෙ එව්ව. 

ඒ කාලෙත් තාලෙකට සිංදුවක් කියන්ට පුලුවන් එකාට හොඳ පිළිගැනීමක් තිබ්බ එක පලෝලෙ කොල්ලො කෙල්ලො අතර. ඒත් වැඩේ තිබ්බෙ ඔය සිංදුවල වචන හරියටම දැනගන්න එක. යූ ටියුබ්, අයි ටියුබ්, රෙඩ් ටියුබ් තියා කැසට් එකක්වත් නොතිබිච්චි අපිට සිංදුවක වචන ලියාගන්ට තිබ්බ එකම ක්‍රමේ ඇවිල්ල රේඩියෝ එකේ සිංදුව ප්‍රචාරය වෙන වෙලාවට දනිපනිගාල කඩදාසියකුයි පැන්සලකුයි අරගෙන ලියාගන්න එක. ඒත් ඒක කොහොමටවත්ම ප්‍රායෝගිකව කරන්ට පුලුවන් වැඩක් නෙවෙයිනෙ.

කොහොමහරි ඔය කාලෙ මගෙ ප්‍රියතම ගීතයක් වෙලා තිබුනෙ අමරදේව මාස්ටර්ගෙ මින්දද හී සර වැදී සැලෙන හද....ඒකෙ "මින්දද හීසර වැදී සැලෙන හද, නංවන දුක්ගී ඔබට ඇසෙනවද?" කියන මුල් පද විතරයි මම කොලේක ලියාගෙන පාඩම් කරගෙන තිබුනෙ.ඉතිං කොයි වෙලෙත් ඕක කිය කිය මම එහෙ මෙහෙ ගියා. දවසක් අප්පච්චි ඇහුව "කොයි වෙලෙත් ඕක කිව්වට දන්නවද මින්දද කියන්නෙ කවුද කියල?" මම ඉතිං දන්නෙ නැතය කියල කිව්ව. 

ඒ පාර අප්පච්චි මට මින්දද කියන්නෙ කවුද? මින්දදට එහෙම කියන්නෙ ඇයි? එතකොට අපේ සාහිත්‍යයෙ මින්දදගෙ කාර්ය භාරය ග්‍රීක සාහිත්‍යයෙ කරන්නෙ ඊරෝස්ය, රෝම කාලෙ වෙනකොට ඒ වැඩේ බාරගත්තෙ කියුපිඩ්ය යනාදී වශයෙන් සියලු විස්තර කියල දුන්න.

කුමාර කරුණාරත්න ලියපු තුන් ඈඳුතු ආදර කතාවක් ඒ කාලෙ බොහොම ජනප්‍රිය වුනා. ඇතුගල්පුර පසුබිම් කොටගෙන ලියැවුනු පාසල් ප්‍රේමයක් තේමා කරගත් "සිතට සිතක්" "අතුරු මිතුරු" සහ "ඔබයි මමයි" ඒ පොත් තුන.

එයින් එක පොතක තියනව පාසලේ වාරාවසාන ප්‍රසංගයේදි කථා නායකයා "මින්දද හී සර" ගීතය ගායනා කරන අවස්ථාවක්. ඒ ගීතය සම්පූර්ණයෙන්ම ඒ පොතේ පළකරලත් තිබ්බ. ඉතිං මගේ ප්‍රියතම ගීතය සම්පූර්ණයෙන්ම වචනත් සහිතව පලකරල තියනව දැක්කම මට පුදුම සන්තෝසයක්. වහාම සම්පූර්ණ ගීතයම පිටපත් කරගෙන මම ඔය නිකං ඉන්න වෙලාවට කියන්ට ගත්ත. ඉතිං කොහොම හරි මට ඔය ගීතය බොහොම ඉක්මනට කටපාඩම් වුනා. මම කලින් ලියපු මගෙ අතීත මතක සටහන්වල කීප තැනකත් මම මේ ගීතය ගැන කියල ඇති.අදටත් මගෙ ප්‍රියතම ගීතයක් මින්දද හීසර....

මින්දද හීසර වැදී සැළෙන හද 
නංවන දුක්‌ ගී ඔබට ඇසෙනවද 
චන්දන මල් අතුරා ඇති යහනට 
කන්ද කපා පායන් රන් පුන් සඳ 

තුරඟෙකු පිට නැගි නීල වලාකුළු 
ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ 
පිබිදුනු දෑසින් බලා හිඳිමි මම 
සතුටු සිනා කැන් හද පුරවා 

මෙතුවක්‌ කල් මුව මඬල වසා සිටි 
අන්ධකාර සළු පටින් මුදා 
නෙත් මිණි පහනින් පහන් කරනු මැන 
අනාගතේ මං පෙත පාදා 

ගී පද - මඩවල එස්. රත්නායක
ගායනය - ඩබ්.ඩී. අමරදේව



හරි කාලානුක්‍රමණික පිළිවෙලට අංක දෙක....අවුරුද්ද මට මතක විදිහට 1974 නැත්නම් 75 වෙන්න ඕන. වික්ටර්ගෙ "ස" ප්‍රසංගය පටන්ගෙන අවුරුද්දක් වගෙ ගතවෙලා තිබ්බෙ. ලංකාවෙ පළමු ඒක පුද්ගල ප්‍රසංගය හැටියට වික්ටර්ගෙ "ස" මහත්සේ ජනප්‍රිය වුනේ හේතු කීපයක්ම හින්ද. එකක් ගීත හඳුන්වාදීමේ නිවේදන කටයුතු කල බණ්ඩාර කේ. විජේතුංගගේ අපූර්ව ආකර්ෂණීය ගැඹුරු හඬ, අනික වේදිකාවේ පසෙක රැඳවූ සුදු පැහැ තිරයක් මත වික්ටර් ගයන ගීතවලට අදාල රූපරාමු දිස්වීම. එයින් මට අද මතකයේ ඇත්තෙ වික්ටර් කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න ගීතය ගයන විට තිරයේ දිස්වූ කුරුල්ලන් සමූහයක් ඉගිලී යන දර්ශනය පමණයි.

අහ්..ඊට කලින් කියල ඉන්ට එපාය මට "ස" ප්‍රසංගය නරඹන්නට අවස්තාව ලැබුනු හැටි ගැන.කෑගල්ලෙ අපේ ගෙදර නැවතිලා කාර්මික විද්‍යාලයෙ ගිණුම් සම්බන්ධ පාඨමාලාවක් හැදෑරුවා අපේ ලොකු අම්මගෙ වැඩිමල්ම පුතා. ඒ අයිය ගැන මම මීට කලින් ලියල තියනව. ඒ අයිය තමයි මාව එක්ක ගියේ "ස" බලන්ට. ප්‍රසංගය පැවැත්වුනේ කෑගල්ල නගර ශාලාවෙ. හරි ඉතිං ඕනම කරන එක ගැන මම කිව්වෙ නෑනෙ. වික්ටර්ගෙ ගීතවලින් මම කැමතිම ගීතය ආදරයේ උල්පතවූ අම්මා.....

අසීමිත මව්ගුණ ගැන කියවෙන අපූර්වතම ගීයක්. මේ පහුගිය මාසෙ මම ලංකාවට ගියේ වසර හතරකට පස්සෙ. නොයෙක් නොවැළැක්විය හැකි හේතු හින්ද ඒ ගමන කල්ගියා. මම ඒ ගැන කලින් දවසක විස්තර කිව්ව. කටුනායකින් ගොඩ බැහැල ගෙදර යන ගමන්ම මම අම්ම බලන්ට ගියා අපේ මහගෙදර. අම්ම මාව වැළඳගෙන ඇඬුව. ඒ වෙලාවෙ මගෙත් ඇස් තෙත් උනේ ඉබේටම. මව් සෙනෙහස එහෙමයි. අපි කොච්චර වයස්ගත වුනත් අම්මලට අපි තවම පොඩි එවුන්. 

ආදරයේ උල්පතවූ අම්මා
මා ඔබගේ පුතුවූ…
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී…..

සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිවමතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරිදී පණදී
මා දැඩි කළ අම්මා…….

තුරුළට ගෙන අත්පා හැඩගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩි කළ අම්මා……

ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්
ගායනය - වික්ටර් රත්නායක



ඊ ළඟට අංක තුන. විජය ධර්ම ශ්‍රීගෙ දුහුළු මලක් චිත්‍රපටය තිරගත වුනේ 1976 අවුරුද්දෙ. එතකොට අම්මල කට්ටිය අනුරාධපුරේට ගිහිල්ල. මම කෑගල්ලෙ. ඉස්කෝලෙ ගියෙ මගෙ හොඳම යාලුවගෙ ගෙදර නැවතිලා. 

දුහුළු මලක් තිරගතවුනේ කෑගල්ලෙ ඡායා චිත්‍රපට ශාලාවෙ. මගේ මිත්‍රයගෙ පවුලෙ කට්ටියත් එක්ක දුහුළු මලක් බලන්ට ඔවුන්ගේ වෝක්ස්වාගන් බීට්ල් රථයෙ ගිය හැටි මට තාම මතකයි. දුහුළු මලක් අපිට බොහොමත්ම නැවුම් අත්දැකීමක් වුනා. දුහුළු මලක් වඩාත්ම අපේ හිත් ඇදගත්තෙ එහි වූ මන බන්ධනීය ගීත නිසයි. ඒ අතරිනුත් නන්දා මාලිනීගෙ මේ ගීතය අදටත් මගේ ප්‍රියතම ගීතයක්.

රන් කෙන්දෙන් බැඳ
අතැඟිලි එක්කළ ආදරයයි
පෙම් රැහැනින් බැඳ
සිතුම් වසඟ කළ ආදරයයි..

කිරිලිය සේ දුර පියා සලාලා
අත්තටු රිදුණා පමණයි
දෑල විදාහළ දෑත මගේ
ඔබටත් ඔහුටත් උරුමයි
හිරු සඳු එකවර දෙපස නැඟේ
කළුවර ඇයි විජිතයම මගේ...

කණාටු සුළඟේ
දුහුළු මලකි ඈ
වල්මත් වී පාවෙන්නේ
ඔබගෙන් දෝ
ඔහුගෙන් දෝ
මා හෙට දින 
සමුගන්නේ...

ගී පද - අජන්තා රණසිංහ
ගායනය - නන්දා මාලිනී



ඊලඟට අනුපිළිවෙලට එන්නෙ අංක 4 - කෑගල්ලට සමුදීල මම කොළඹ ආවනෙ. ඒ වෙනකොට ඉතිං ඔය යොවුන් ප්‍රේමණීය හැඟීම් එහෙමත් චිත්ත සන්තානයේ අහුමුළු තුල එහෙං මෙහෙං අවදිවෙන්ට පටන්ගන්න කාලෙ.

මේ ඊයෙ පෙරේදා රුවන් නොහොත් ට්‍රාන්සිල්වේනියා ලියල තිබ්බ සටහනක් උපනන්ද සේනාරත්න නම් ගුරුතුමා ගැන. ඔහු අපි උසස්පෙල ඉගෙන ගන්න කාලෙ කොළඹ සුප්‍රසිද්ධ භෞතික විද්‍යා ටියුෂන් ගුරුවරයෙක්. තිඹිරිගස්යායෙ අශෝකාරාමයෙ පැවැත්වුනු ඔහුගේ භෞතික විද්‍යා පංතියට මම ගියා. එහෙදි ඒ පංතියටම ආපු යුවතියක් එක්ක පොඩි සම්බන්ධකමක් වගෙ එකක් ඇතිවුනා. මාස තුන හතරක් පැවති ඒ ඇසුර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සම්බන්ධයක්ය කියල කියන්නත් බෑ. කොහොම හරි පොඩි මෙව්ව එකක් කියල කියමුකො.

ඉතිං මට කියන්න ඕන කලේ ඈ කලා කටයුතු වලට බොහොමත්ම උනන්දුයි. ඒ කාලෙත් කවි නිසඳැස් එහෙම ලිව්ව. එයාලගෙ විද්‍යාලයෙන් පලකල සඟරාව සංස්කරණය කලෙත් ඇය. ඒ දවස්වල ඔය වයසෙ යුවතියන් අතර යම් නැඹුරුවක් (A trend) තිබ්බ සටහන් පොත්වල අන්තිම පිටුවෙ තමන්ගෙ සිත්ගත් ගීතයක් ලියන්ට. එක දවසක් අපි කතා කරමින් ඉන්න අතරෙ මම නිකමට ඇගේ සටහන් පොතක් පෙරලුවා. ඒ පොතේ අන්තිම පිටුවෙ ලියල තිබ්බෙ "සඳකඩ පහනක කැටයම් ඔපලා" ගීතය. එය ඇගේ ප්‍රියතම ගීතය බව ඇය මා සමඟ පැවසුවේ අපූරුවට සිනහසෙමින්. 

මාතර ආච්චි චිත්‍රපටය සහ සඳකඩ පහනක ගීතය ගැන මම බොහෝ විස්තර දැනගෙන හිටියට ඒ ගීතයෙ සම්පූර්ණ පද මාලාව මම ඒ වෙනකල් දැනගෙන හිටියෙ නැහැ. ඒ වචන වල අර්ථය පිළිබඳව අපි දෙන්න එදා කතාකලා. මමත් ඉතිං හතර අතට අඹරවල දුන්නා ආය නෑ වොලී නනායක්කාර හීනෙන්වත් නොහිතපු දේවල් හිට. (වොලී නානායක්කාර කියන්නෙ ඒ ගීතයේ රචකයා )

මගේ ඉල්ලීම පරිදි ඇය සඳකඩ පහනක ගීතය පිටපත් කරල ඊට පස්සෙ පංති ආපු දවසෙ මට ගෙනත් දුන්න. ඒ සොඳුරු මතක සැමරුමත් එක්ක මට ඒ ගීතය සුවිශේෂී එකක් වුනා. ඇත්තටම ඊට කලින් උනත් මගෙ ඒ ගීතයට බොහොම කැමැත්තක් තිබ්බා. 

සඳකඩ පහනක කැටයම් ඔපලා
පාවෙන දේදුණු ලැගුම් ගනී
කැලැතුනු රසයක පැන ආ බුබුලක්
අකුරු වැලක් දෙහදක ලියැවී
යුගයෙන් යුගයට නොමියෙන දහනක 
දිවියක පදනම මතු වෙද්දී
නොපෙනෙන ඈතක ඈ ගෙන යනවා
සියුමැලි කැකුළක් මැළවෙද්දී
සියුමැලි කැකුළක් මැළවෙද්දී.....

දහසක්පෙතිමත රහසක් කොඳුරා
තුඩින් තුඩට ගෙනයන බින්දූ
ගවුවක් ඉහලක ගොනු කොට රඳවා 
පොපියන දෙතොලක් එහි කැන්දූ
අහසක් ගුගුරා කළුවක් වපුරා 
ඒ හා මුහු වුන වැහි බින්දු
ඈ ගෙන යද්දී නටඹුන් අතරෙක 
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ
තවෙකෙක් ඈ වෙත හඳ රැන්දූ....

සඳකඩ පහනක කැටයම් ඔපලා......

හදවිල ඉපැදුණු කැකුළක් නොකලට
නටුවෙන් ගලවා දුරක යවා
මිහිලිය තෙත් කොට ගිලිහුණු කඳුළක්
සත් සමුදුරකට මුහුව ගියා
ඔබට උරුම වූ රිදුණු තැවුණු හද 
එක්ටැම් මැදුරක කවුළු අරා
රුවන් විමානෙන් පියඹා එනතුරු
පොපියන හදවත සිටී බලා...
පොපියන හදවත සිටී බලා...

පද රචනය - වොලී නානායක්කාර
ගායනය - සුනිල් එදිරිසිංහ



ඊළඟට අංක 5 - කොළඹින් සමුගෙන මම ආව අනුරාධපුරේට. ඊට පස්සෙ අනුරාධපුර කාර්මික විද්‍යාලයෙ සැලසුම් ශිල්පී පාඨමාලාවට ඇතුලත් වුනා. ඒ 1982/83 වර්ෂයේ. රජරට සේවයේ සජීවී වැඩසටහන් කීපයක් නැරඹීමට මට සහ මගේ යාලුවන්ට අවස්ථාව ලැබුනා අපේ පංතියෙ සගයෙකුගෙ පියා රජරට සේවයෙ නිවේදකයෙක් වශයෙන් කටයුතු කරපු නිසා. ඒ ආගිය ගමන් වලදි ගුණදාස කපුගේ හා කතාබහ කරන්නත් අවස්තාවක් උදාවුනා. ඔහුගේ භාර්යාව මගේ බාල සහෝදරියන්ගේ නැටුම් ගුරුවරිය අනුරාධපුර ස්වර්ණපාලී බාලිකා විද්‍යාලයෙ.

ටෙක් එකේ අපේ පන්තිය තිබ්බෙ දිග කොරිඩෝවක කෙළවර. ඒ හින්ද සද්ද බද්ද කලාට එතරම් අනික් පංති වලට බාධාවක් වෙන්නෙ නෑ. ඒ නිසා ගුරුවරයකු නොපැමිණෙන කාල පරිච්ඡේදවල අපි කලේ ඩෙස්ක් වලට හෙමිහිට තට්ටු කරමින් සිංදු කියන එක. කපුගේ එක්ක කතාබහ කරන්ට අවස්ථාවක් ලැබුනනම් එදා ඉඳල සතියක් විතර යනකල් එක දිගටම කිව්වෙ කපුගේගෙ සිංදු. මේ කපුගේගෙ ගීතවලින් මම කැමතිම ගීයක්. සුභ ප්‍රාර්ථනා කියමන්.....

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
මා වටකර සතර දෙසින්
ගිලිහෙන මුත් මුවට මුවින්
ඔබේ මුවින් නැති පැතුමන්
මට නැත අගනේ

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා 

මා ඈ කර මාල බඳින්නේ
ඔබේ නෙත් තරු සැලී දිලින්නේ
මා ඈ ගත සළු පළඳන්නේ
ඔබේ නෙත් අග කඳුළු පිරෙන්නේ
ගිගුම් හඬින් මගුල් සිලෝ 
පෝරුව දෙදරයි

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා 

මධුසමයට මගට බහින්නේ
ඔබෙ නෙත් පෙර මග හමුවන්නේ
රහසින් බැඳි පෙම සිහිවන්නේ
අප මින් මතු නැත හමුවන්නේ
ඔබ අන්සතු ළඳක් කියා 
ඇයි මට කීවේ

සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා කියමන්
සුබ ප්‍රාර්ථනා 

ගායනය, සංගීතය - ගුණදාස කපුගේ
පද රචනය : ලූෂන් බුලත්සිංහල



අංක හය - ඔය කාලෙ වෙනකොට රජරටින් බිහිවුනා ඉතාම දක්ෂ ගායකයෙක්. ගුණදාස කපුගේගෙ මගපෙන්වීම හින්ද ඔහු ඉතාම සුලු කාලයකින් දිවයිනේ ජනප්‍රියම ගායකයෙක් වුනා. අපි ටෙක් ගිය මුල් කාලෙ තමයි ඔහුගේ පළමු කැසට් පටය නිකුත් වුනේ. කැසට් පටයේ නම "ඇසට අසුවන මායිමේ" ගායකයා මේ දිවුල්ගනේ කියල එක්කෙනෙක්.

ඇසට අසුවන මායිමේ 
බඹර සැණකෙළි මල් විලේ 
ලසෝ ලැව් ගිනි ඇව්ලුනා සිත 
ඔබ මගෙන් වෙන් වූ දිනේ 

සියපතක් මත විසුල පිණි කැට 
සැඩ සුළං වැද සර සරින් හෙත
මගෙන් රිදවුම් දෙවුණු මොහොතක
ඔබේ වත මට නැගෙයි සිහියට 

සතර අත පෙති විහිද විකසිත
මලේ මල් මී මමණයුරු දැක
ඔබේ ලවනත සැදුන මීවිත 
මත් කලා මතකයි මගේ සිත

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
ගේය පද: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ



දැන් අංක හත - ටෙක්නිකල් යන කාලෙ අපි කට්ටිය හැම පෝයටම වගෙ රුවන්වැලි සෑය, ජයශ්‍රී මහා බෝධිය, එතකොට අභයගිරිය, ජේතවනාරාමෙ පැත්තෙ මහ රෑ වෙනකල් කරක්ගහනව බයිසිකල් වල. බොරු කියන්නෙ මොකටද බුද්ධාලම්බන ප්‍රීතියකින් ඔද වැඩිල සර්දාවෙන් නිවී සැනහුනු  සිතින් ගිය ගමන් නම් නෙවෙයි ඉතිං. හෙහ්,හෙහ්, 

ඒත් ඒ ගිය හැම දවසකම වගෙ මගෙ හිතට අප්‍රමාණ දුකක් එකතුකල දර්ශනයක් තමයි ථූපාරාම පන්සලේ වැඩ වාසය කරපු සුට්ටි හාමුදුරු නමක්. වයස මගෙ හිතේ වැඩිම උනොත් අවුරුදු හතක් වගෙ වෙන්ට ඇති. 

බොහොම සාන්ත දාන්තව දෙවියතක් ඉදිරිය බලාගෙන සලපතල මළුවෙ හැමතැනම ඇවිදල පොල්තෙල් ඉවරවෙලා හෝ සුලඟට නිවීගිය පහන් යලි දල්වන මේ කුඩා හාමුදුරුවන් දෙස තෙත්වූ නෙතින් යුතුව මම බලාහිටියෙ වරක් දෙවරක් එහෙම නෙවෙයි. යාලුවොත් එක්ක බයිසිකල්වල නැඟල බුද්ධගයා මාවත දිගේ හඳපානෙ ආපහු එනකොට මට මේ ගීතය මිමිණුනේ මමත් නොදැනුවත්වම. මේ සනත් නන්දසිරි.

බෝ මළුවේ මල් සුවඳක පැටලී
අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ
සුපුරුදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝවිටියා කැලේ මැදින්
එන්න හිතයි නුඹ ලඟට සැනින්...

එතෙර කරන්නම් සතර වරිගයම 
සංසාරේ යන මේ ගමනේ..
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද 
පුරුදු යහළුවන් හා සැනිනේ...
එහෙම ගියත් ඒ අය පොඩි සාධු 
කියා කියන විට වැද වැටිලා..
කොහොම අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා...

බෝ මළුවේ මල්....

භවයෙන් භවයේ පෙරුම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ..
දිනයක මතුදා හතර වරිගයම
එතෙර කරන්නම් සංසාරේ...
ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ලඟ
ඉන්නම් කිරි සුව‍‍ඳේ එතිලා...
කොහොමද අම්මේ එහෙම කරන්නේ
අම්මත්... සසරින්... එතෙර වෙලා....

ගායනය : සනන් නන්දසිරි
පද රචනය : ප්‍රියානන්ද විජේසුන්දර
සංගීතය : සනත් නන්දසිරි



අංක අට ඇවිල්ලා නාරද දිසාසේකරගෙ ආදර නිල් දෑසේ. ඒ ගීතය මට විශේෂ වෙන්නෙ ඇයි කියල මම බොහොම දීර්ඝ විස්තර සහිතව ලියල තියෙන නිසා ආයෙම මෙතන ලියන්න යන්නේ නැත.

ආදර නිල් දෑසේ ආ..දර නිල් දෑ‍සේ
මැණික් රුවක් ඇඳී තිබේ ආ..දර නිල් දෑසේ...
ආදර මල පිපී වැනේ 
ඇගෙ පෙම් හද පොකුනේ..
මගේ ලමැද පලඳින්නයි 
ඒ රන් මල පිපුණේ...
ආදර නිල් දෑසේ...
ආදර නිල් දෑසේ....

විමානයේ කදුළු දොරින් 
නෙත් හී සැර විදලා..
කුමාරියක් කතා කරයි 
කාටද අත වනලා...
ආදර නිල් දෑසේ...
ආදර නිල් දෑසේ....

සිනහ දෙතොල් යහනාවේ 
වැතිරෙමි රස උරලා...
හද ලෙන් දොර වසනු මැනවි 
මා එහි සිර කරලා...

ආදර නිල් දෑසේ...
ආදර නිල් දෑසේ....

ගායනය : නාරද දිසාසේකර 
පද රචනය : ධර්මසිරි ගමගේ
සංගීතය : ප්‍රේමසිරි කේමදාස



ගීත අටක් ඉවරයි..සටහනත් බොහොම දීර්ඝ වුනා නේද? ඒ හින්ද අපි මෙහෙම කරමු. ඉතුරු අට ගැන හෙට ලියන්නම්. කමක් නෑනෙ නේද?

පසුව එකතු කළෙමි,


මමත් පොඩි තරඟයක් පවත්වන්ට කියල හිතුව. මගේ ප්‍රියතම ඉතිරි ගීත 8 ගැන ඔයාල මොකද හිතන්නෙ? කැමතිනම් අභියෝගය භාරගෙන ඒ ගීත 8 නම් කරන්න. ආසන්නම නිවැරදි පිළිතුරට රු. 10,000 /= ක මුදලක් හිමිවෙනවා.

Monday, August 15, 2016

432. එෂැණිං පුවක් 13 - අලි උපවාස, පාද යාත්‍රා, බන්ධනාගාර නම් කිරීම සහ මුරලිගේ පින.

අපේ බහුද්ද සඟිස්කුරුතිය ආරක්සා කරගනු උදෙසා
මහනුවර වීදි දිගේ දක්කාගෙන යාමට සිව්පයටම යදම් ලා
සූදානම් කෙරුනු ලෙයින් මසින් සැදුනු අප මෙන්ම
හැඟීම් වේදනාවන් දැනෙනා අහිංසක සත්වයෙක්...
Image  - Ian Lloyd

මහනුවරදී අලි සංගමයේ උපවාසයක් පැවැත්වෙන බවට ආරංචියක් එෂැණ පුවක් වෙත ලැබිණි. 

තමන්ගේ පිට උඩ කරඬු පටවා වෛවර්ණ නුපුරුදු ඇඳුම් අන්දවා, ඒ මදිවට බලුප් වැල් ද එල්ලා, ගිණි පන්දම් සහ විලක්කු වටකොටගෙන හුදෙක් මිනිසුන්ගේ බුද්දාලම්බන පිරීතිය කලම්බවා කුල්මත් කොට ගැනීම වෙනුවෙන් මහ රෑ තාර පාරවල් දිගේ කකුල් හතරට විලංගු දමා දක්කාගෙන යෑමට දැඩි විරෝදය පලකරනු වස් හීලෑ අලි ඇතුන් විසින් මෙම උපවාසය සංවිදානය කොට ඇති බව සිතා එය වාර්තා කිරීම උදෙසා ගිය අපේ එෂැණ පුවක් මහනුවර වාර්තාකරුට දැකගත හැකිවූයේ චීවරදාරීන් පිරිසක් පෙරටුකොටගත් ඇත්ගොව්වන් සහ හීලෑඅලි හිමිකරුවන් පිරිසක් උපවාසයේ යෙදී සිටින බවකි.

වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගත් සියලු අලි ඇතුන් පෙරහැරේ දක්කාගෙන යෑම සඳහා නිදහස් කරන තෙක් තමන් මෙම උපවාසය කරන බව අලි ඇතුං සුරැකීමේ සංගොමේ කියා එකක් අටවාගෙන තමන්ම එහි සබාපති පදවියට නිතරඟයෙං පත්වී සිටිනා එක්තරා චීවර දාරියෙක් දැඩිලෙස වදාල සේක.

පෙරහර සමයෙහිදී කුඩා දරුවන් අලින්ගේ බඩ යටිං රිංගවීම මතු අනාගතයට සුබපල දෙන පවසා මූඪ දෙමව්පියන් රවටා විශාල මුදලක් උපයාගන්නා ඇත්ගොව්වන් තමන් මේච්චල් කල අලි ඇතුන් අහිමිවීම ගැන විරෝධයපා උපවාස කිරීම වටහා ගැනීම එතරම් අසීරු නොවේ. 

එලෙසම අලි ඇතුන් කොටන් ඇදීම්වන් නොයෙක් බර වැඩට යෙදවීම මඟින් උපයාගන්නා මුදල් අහිමිවීම නිසා විස්සෝපයට පත් අලි හිමියන් පෙරහැර ඉදිරියට දමා හෝ අලින්ගේ අයිතිය නැවත ලබාගැනීමට උත්සාහ කිරීමද වටහා ගත හැක. එහෙත් මේ චීවරදාරීන් අලි ඇතුන් පෙරහරේ දක්කාගෙන යෑමට මෙපමණ උත්සාහ කරන්නේ මන්ද යන්න ගැටලුවකි.

බුදු බණේ කොතැනක අලි ඇතුන් පෙරහරවලට දක්කාගෙන යා යුතුයැයි සඳහන් වන්නේදැයි ඒ චීවරදාරී උතුමා පැහැදිලි කලේද නැත.

සියලු සත්වයින්ට කරුණාව දක්වන ලෙස දේශනාකොට වදාල ශාස්තෲවරයකුගේ ධර්මය පිළිපදින්නන්/අනුගාමිකයින් ලෙස මෙසේ අලින් පෙරහැරට යොදාගැනීම ඒ අසරණ සතුන්ට කරන මහත් හිරිහැරයක් බව මේ චීවරදාරී උතුමංට නොතේරෙන්නේ මන්ද යන්නද පිළිතුරු නැති ප්‍රශ්නයකි.

අලිඇතුන් නොමැති පෙරහරක් පැවැත්වීමෙන් දළඳාවට අගෞරවයක් මෙන්ම බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායන් බිඳ දැමීමක්ද සිදුවන බව එම අලි රැකගැනීමේ සංගමේ සබාපති චීවරදාරී තෙමේ දේසනා කොට වදාලෝය. 

පසුගිය සමයේ මහානායක හිමිවරුන්ගේ දැඩි විරුද්දත්වය පවා නොසලකා පාරක් පාරක් ගානේ බියර්හල් විවෘත කොට නුවර වැව වටේ රජපුත්තුන් කාර් රේස් පදින කල මෙම බෞද්ධ සම්ප්‍රදාය බිඳ නොවැටුනු අන්දම සහ දළඳාවට කිසිදු අගෞරවයක් සිදු නොවුනු අන්දමද මේ චීවරදාරී තෙමේ මෙලෙසින්ම පැහැදිලි කරන්නේනම් ඒ පිලිබඳව ඇති බොහෝ විචිකිච්චාවන් හිරු දුටු පිණිබිඳු මෙන් දුරලීමට ඒ බොහෝසේ උපකාරීවනු නියත බව බොහෝ බෞද්ධයින්ගේ මතයයි.

බුදුන් වහන්සේට ගෞරව කල යුත්තේ වසරකට වරක් උන්වහන්සේගේ දතකට පුදපූජා පිණිස හෝ  බෞද්ධ සංස්කෘතිය රැකගැනීමේ මුවාවෙන් හෝ අසරණ අලින් යදම් විලංගු  ලා මහනුවර වීදි දිගේ දැක්කීමෙන් නොවන බව මොවුන් තේරුම් නොගන්නේ අලින්ගේම අවාසනාවට විය යුතුය. 

එසේම ඒ අසරණ සතුන් මේ දඬුවමින් නිදහස්කොට දළඳාව රථයක තබා මේ චීවරදාරීන්ටම මහනුවර වීදි දිගේ ඇදගෙන යාමේ විකල්පයක් ද ඇත. හින්දු ආගමික පෙරහරවල වේල් කරත්තය ඇදගෙන යන්නේ සතුන් නොව හින්දු බැතිමතුන් විසිනි.

තම ශාස්තෲවරයාට ගෞරව දැක්වීමට අලි ඇතුන් යොදාගන්නවාට වඩා ඒ කර්තව්‍යය තමන්ම ඉටුකිරීම කොහොමත් ඇඟට ගුණදායකය.අවම වශයෙන් දුටු මනතින් සුමෝ ක්‍රීඩකයින් සිහි ගන්වන අපේ ජාතියේ මුර දේවතාවුං වන චීවර දාරීන්ගේ නහුතයටම ඉහල නැඟ ඇති කොලෙස්ටරෝල් මට්ටම හෝ ඉන් පහල බසිනු ඇතිබව සහතික කොට පැවසිය හැකිය.

ටං.....ටිං....ටුං...............

පාදයාත්තරාව ඉතාම සාර්තක බව මේ අතර හිටපු මහරජතුමා සාඩම්බරව පවසයි. 

පාදයාත්‍රාවට සහබාගී නොවූයේ ශ්‍රී ලංකා ජනගහනයෙන් 96,323 දෙනෙකු පමණක් බව තම ගණනය කිරීම අනුව ඉස්තිර බව ජී. කුමාරසිංහ සංඛ්‍යා ලේඛන විශේෂඥවරිය මේ අතර අවධාරණය කරයි. මිලියන විස්සක් පාද යාත්‍රාවට සහබාගී වූ බවට ඉස්තිරවම පවසන්නේ කෙසේද යනුවෙන් විමසූ විට ඇය පැවසූයේ එය එතරම් අමාරු කාර්යයක් නොවන බවකි. 

පාද යාත්‍රාවට සහභාගී වන්නන්ගේ කකුල් ගණන් කිරීමට තමන් අති විසේස සංගණන කණ්ඩායමක් යෙදවූ බවත් පසුව ඔවුන්ගෙන් ලබාගත් ගණන් හිලව් සියල්ල එකතු කොට දෙකෙන් බෙදූ විට මිලියන විස්සක අගයක් ලැබුණු බවත් ඒ අනුව ලංකාවේ මුලු ජනගහණය වන 20,096,323 න් පාද යාත්තරාවට සහබාගී වී නොමැත්තේ 96,323 දෙනෙකු පමණක් බවද ඇය අවදාරනය කලාය. 

සංගණනයට යෙදවූ තම හිතවත් ඇල්පිටියේ චන්ද දායක දායිකාවන් පාද යාත්තරාව ගමන් කරන මඟ දෙපස උක්කුටිකයෙන් හිඳගෙන කකුල් ගණං කිරීමේ නිරතවූ බවත් ඒ අනුව එම ගණං හිලව්වල නිවැරදිබාවය ගැන තමන්ට සහතික වියහැකි බවද එතුමිය පැවසුවාය.

මුලු කකුල් සංඛ්‍යාව දෙකෙන් නොව හතරෙන් බෙදුවේ නම් වඩාත් නිවැරදි පිලිතුරක් ලැබෙනු ඇති බවට සාකච්ඡාවට සහබාගීවූ වූ පුවත්පත් කලාවේදියෙක් කල කට කැඩිච්ච කතාවට ඇය පිළිතුරු දුන්නේ සිංහලෙන් නොව සංස්කෘත බාසාවෙනි.

මේ අතර පාද යාත්තරාව පිළිබඳ විස්ලේසනයක් කරන විද්වතුං පෙන්වා දෙන්නේ වසර දෙක තුනකට පෙර ඔලුව පාවිච්චි කලේනම් මහරජතුමාට මේ අයුරින් අද කකුල් පාවිච්චි කිරීමට සිදුනොවන බවකි.එහෙත් නැති දෙයක් පාවිච්චි කරන්නේ කෙසේද? යන පැනයද ඒ සමඟම මතුවන බව තවත් විද්වත්හු පිරිසක් පෙන්වා දෙති.

ටං.....ටිං....ටුං...............

බැසිල් රාජපක්ස මහතා පසුගියදා යලි අත් අඩංගුවට ගැනිනි. රාජපක්ස පවුලේ සාමාජිකයින් බහුතරයක් මේ වනවිට එක්කෝ සිරගතව හෝ නැතහොත් අත් අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටින්නන් බැවින් ඔවුන් රටට කල මහාර්ඝ සහ අනුපමේය සේවය පිළිබඳව මතු පරපුර දැනුවත් කීරිම උදෙසා වැලිකඩ බන්ධනාගාරය "මහින්ද රාජපක්ෂ බන්ධනාගාරය" ලෙස නම්කිරීමේ යෝජනාවක් ඉදිරිපත්වී ඇත. 

මැද මුලන පොල් වත්තෙන් කැඩෙන පොල්, සරමකිං හා බැනියමකිං සැරසී ඔලුවේ සුම්බරයක්ද බැඳගෙන එලෙසම සැරසුනු තම අයිය මලෝ තුං දෙනාද සමඟ හම්බන්තොට ඉරිදා පොලේ විකුණා ඉන් ලද ආදායම රටේ ජනතාව වෙනුවෙන් නොමසුරුව රජයට පරිත්‍යාග කොට ඉදිකල හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොල සහ නෙලුම් පොකුණ මහින්ද රාජපක්ස අන්තර් ජාතික ගුවන් තොටුපොල, මහින්ද රාජපක්ස වරාය සහ මහින්ද රාජපක්ස රඟහල ලෙස නම් කල ඒ මහා දේශමාමක දානපතියාහට රටේ පොදු ජනතාවගේ කලගුණ සැලකීම පිණිස එසේ වැලිකඩ බන්ධනාගාරය මහින්ද රාජපක්ස බන්ධනාගාරය ලෙස නම් කල යුතු බව බොහෝ කලගුණ දන්නා ශ්‍රී ලාංකිකයින්ගේ බලවත් ඉල්ලීමයි.

ටං.....ටිං....ටුං...............

ඕස්ට්‍රේලියාව සමඟ පැවති පළමු සහ දෙවන ටෙස්ට් තරඟ දෙකෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ පූරුවේ පිනක් පලදීමක් අනුව සිදුවූවක් බව මේ අතර ක්‍රීඩා විස්ලේසකයෝ එක හෙලාම පවසති.

ඕස්ට්‍රේලියාව හා සමඟ තරඟ මාලාව ආරම්භ වීමටද පළමු ශ්‍රී ලංකා කණ්ඩායම අන්ත පරාජයක් ලබන බවට උපකල්පනය කල ලංකාවේ අංක එකේ රේස් ඔට්ටු ව්‍යාපාරයේ හිමිකරු කුම් නියෝජ්ජිය කතානායක කුම් ක්‍රිකට් සබාපති පැවසූයේ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ දඟපන්දු උපදේසක ලෙස තරඟාවලිය ආරම්භයට දවස් දහයකට පෙරසිට හෝ කටයුතු කිරීමට මුත්තයියා මුරලිදරන් එකඟ වීම කිසිසේත් සමාව දිය නොහැකි දේසද්‍රෝහී ක්‍රියාවක් බවයි. 

එය විබීසන රාවනා රජු පාවාදීම සහ ඇහැලේපොල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පාවාදීම යන මහා පාවාදීම් වලට නොදෙවෙනි පාවාදීමක් බවද එතුමා වැඩිදුරටත් පැවසීය.

මේ චෝදනාවෙන් ගැලවීම පිණිස මුත්තයියා මුරලිදරන්ට පුවත්පත් සාකච්ඡා පැවැත්වීමට පවා සිදුවිය. කෙසේ හෝ ශ්‍රී තරඟාවලිය ලංකා කණ්ඩායම ජයග්‍රහණය කල බැවින් තත්වය සතුටු දායක ලෙස අවසන් විය. 

එසේ නොමැතිව ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජයග්‍රහණය කලේනම් සියලුම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ සහබාගිත්වයෙන් මහා පාද යාත්තරාවක් ක්‍රිකට් මූලස්තානයේ සිය මහනුවර මුරලිදරන්ගේ නිවස වෙත යාමට සියල්ල සැළසුම්කොට තිබූ බව ද තතු දත් ආරංචි මාර්ග පවසති.

ටං.....ටිං....ටුං...............

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...