![]() |
| ජලයෙන් පිරෙමින් පවතින මොරගහකන්ද ජලාශය... |
ගුරුවරියක සමඟ මගේ ජීවිතය ගැන මම ලියනවා බොහොම හොරයි කියල චෝදනාවක් එල්ල කරනව අපේ මානවික්ස් මෙනෙවිය. බලාගෙන යනකොට ඒ කතාව බොරුමත් නෙවෙයි. ඒ හින්ද මම හිතාගත්ත මින් මනත ගුරුවරිය සම්බන්ධ කතන්දර මාසෙකට දෙකක් වගෙ තරමවත් ලියන්ට උවමනයි කියල.
හරි එහෙනම් පහුගිය සවුද ලියපු කතන්දරේටම ඈඳල අද කතන්දරෙත් ලියන්නංකො. ඉතිං ඔන්න අපි ආස්සරේ කරන්ට පටංගෙන අවුරුද්දක් තරම ගෙවිල ගියාට පස්සෙ චරිත්‍රානුකූලව යෝජිත මනාල මහත්මියගෙ ගෙවල් දොරවල් ජනෙල් ෆෑන් ලයිට් එහෙම බලන්ට යන කාලෙ උදාවුනා.
"මේ ඔයා මේ සෙනසුරාද නිවාඩු දානවද?"
සඳුද උදේ මාතලෙං හයට පිටත් වෙලා කදුරුවෙල යන මේල් බස් එකේ හාමුදුරු සීට් එකට පස්සෙ සීට් එකේ ඉඳගෙන යන අතරෙ ඈ ඇහුවෙ බහින්ට කිට්ටු වෙනකොට. ඈ බහින්නෙ ඈලගෙ ඉස්කෝලෙ ගාවිං. ඇලගමුව මහ විදුහලේ ඈ ඒ දවස්වල ඉගැන්නුවෙ. අද ඈ දරුවන්ට අකුරු උගන්නපු පංති කාමරවල මාළු පීනනව ඇති. ඒ කිව්වෙ ඇලගමුව මුලු ගම්මානෙම සම්පූර්ණයෙන්ම මොරගහ කන්ද ජලාශෙට යට වුනා. මෙදා නිවාඩුවට ගියහම අපි දෙන්නගෙ අංක එකේ මුදුන්පමුණුවා ගත යුතු කාර්ය භාරය නොහොත් ඉලක්කය තමයි ජලයට යට වෙච්ච ඇගේ පරණ ඉස්කෝලෙ නරඹන්නට යන එක.
නයින්ටීන් නයින්ටි පයූව් වල අපි බැඳල නයින්ටීන් නයින්ටි නයින්වල මම රස්සාවෙං අස්වෙලා ගෙදර එනකල්ම ඈ සේවය කලේ ඔය ඉස්කෝලෙ. මම අස්වෙලා ආවට පස්සෙත් මාස හයක් තරම ඈ ඒ ඉස්කෝලෙම වැඩ කලා නුවරට ස්ථාන මාරුව හදාගන්නකල්. ඒ කාලෙ එයාලගෙ මහ ගෙදර ඉඳල වැඩට ගියේ බඳින්ට කලින් කාලෙ විදිහට.
පස්සෙ අන්තිම දවස්වල මාතලේ ටවුන් එකේ අපේ හිතවත් අක්ක කෙනෙක්ගෙ ගෙදර නැවතිලා හිටිය. දෙදාහෙ ජනවාරි මාසෙද කොහෙද නුවර ගෝතමී එකට මාරුව හදාගෙන ආව.
ඉතිං මම මේ කියන්ට ආවෙ ඔය ඇලගමුවෙ දැනට මොරගහකන්ද ජලාශයට යට වෙලා තියෙන ඉස්කොලෙ ගැන බොහොම සුන්දර මතකයන් රැසක් ඇයට වගේම මටත් තියනව. අපි එහෙ ගත කරපු අවුරුදු හතරක තරම කාල සීමාවෙදි ඒ පාසලේ විදුහල්පතිතුමා එතකොට ඇගේ සහෝදර ගුරුවර ගුරුවරියො මම එක්කත් බොහොම හිතවත් වුනා. මම ඒ කාලෙ ඇතුලත අධ්‍යාපන චාරිකා තුන හතරකටම වගෙ සහභාගිවුන ඒ ස්ටාෆ් එකේ සහෝදර ගුරුවරු ගුරුවරියො සහ සිසු දරු දැරියන් සමඟ.
ඒ ගිය එක චාරිකාවක විස්තර මම ලිව්ව සිත්තරාගේ සමාධිය කියල කාලෙකට ඉස්සෙල්ල. ඒ අපි කොළඹ ගිය චාරිකාවක්…
ඔන්න ආයම දවසක් එයාලගෙ ඉස්කෝලෙ වාර්ෂික ක්‍රීඩා උත්සවය. වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්ද...ඔව්..මට මතක විදිහට දැං ඉස්කෝලවල ස්පෝට්ස් මීට් තියන්නෙ අවුරුදු දෙකකට සැරයක්. ඒ ඒ අතරට වැටෙන අවුරුද්දෙ කරන්නෙ අධ්‍යාපන චාරිකාවක් යන එක. ඔන්න ඔහොම මොකක්ද තමයි දැං ක්‍රියා පටිපාටිය.
ඉතිං අර මම කිව්ව ස්පෝට්ස් මීට් එක දවසෙ දහයට වගෙ එයාලගෙ ඉස්කෝලෙට ගියා. කට්ටිය ඉතිං මාව සාදරයෙන් පිළිඅරගෙන සංග්‍රහ කරල මමත් වේදිකාවෙ පිටිපස්සට වෙන්ට ඉඳගෙන හිටිය. ඈට ඉතිං ඕං දහසක් රාජකාරි. ක්‍රීඩා භාර ගුරුතුමියනෙ. හැමදේම හොයල බලන්ට එපාය...එහාට දුවනව මෙහාට දුවනව ඔලුවෙ කැප් එකකුත් දාගෙන පයිල් මිටියකුත් කිහිල්ලෙ ගහගෙන...හෙහ්,හෙහ්,
ටිකකිං ඈ ඇවිල්ල මම ලඟම අසුනෙ ඉඳගත්ත. "හප්පේ පණ යනව අප්ප..මේ කට්ට අවුවෙ එහෙ මෙහෙ දුවන්ට ගියාම…."
"ඒක නම් ඇත්ත..මමත් මොනවහරි කරන්න තියනවනම් කියන්න.."
"නෑ..දැන් ආය එහෙමට වැඩක් නෑ..ආ..මේ ඉන්ඩකො මරු වැඩක් කියන්ට.. අර අතන ළමයි උස පනින තැන ඉන්නව නේද සුදු උස පිරිමි ළමයෙක්.."
"කෝ කවුද? කොයි එක්කෙනාද? "
"අර අත්දෙක පස්සට බැඳගෙන ඉන්නෙ..අන්න..අන්න..දැං මේ පැත්තට හැරුන.."
"හරි හරි මම දැක්ක.. ඉතිං මොකක්ද ඒ ළමයගෙ විශේෂෙ? "
"හිහ්..මොකක්ද දන්නවද විශේෂෙ? විශේෂෙ ඇවිල්ල ඒ ළමයගෙ නම…"
"මොකක්ද නම?"
"දිවංගත බණ්ඩාරනායක…"
"මොකක්?" මගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා…"දිවංගත බණ්ඩාරනායක? බොරු කියන්ට එපා අනේ..එහෙමත් නං තියනවද ආය?"
"ආය බොරු කියන්නෙ මොකටද මං? ඔය ළමය මගෙ පංතියෙ ඉන්නෙ. සම්පූර්ණ නම එච්. එම්. ඩී. බණ්ඩාරනායක. හේරත් මුදියන්සේලාගේ දිවංගත බණ්ඩාරනායක…."
මම පස්සෙ විදුහල්පතිතුමාගෙන් විස්තරේ ඇහුව. එතුමාගෙ නම හේරත් අයිය. කේ.බී. හේරත්..එතුමා ඒ ගමේම කෙනෙක්. එහෙම මගෙ කුතුහලය සංසිඳව ගන්ට ඇහුව උනත් එතකොටත් මම හිතාගෙන ඉවරයි වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. හේරත් අයිය මගෙ අනුමානය තහවුරු කලා.
"ඔව්..මල්ලි...කතාව සම්පූර්ණ ඇත්ත.... ඔය ළමයගෙ අම්ම නෑකමට මගෙ දුවෙක් වෙන්නෙ. තාත්ත නම් මෙහෙ මනුස්සයෙක් නෙවෙයි ඔන්න ඔය කළුන්දෑව පැත්තෙ…."
(කළුන්දෑව ගැනත් වචනයක් කියන්න ඕන. කළුන්දෑව තියෙන්නෙ දඹුල්ල -බකමූණ පාරෙ... ලංකාවෙ දැනට ස්ථිර සාක්ෂි සහිතව පිළිගතහැකි අඛණ්ඩව මිනිසුන් පදිංචිව සිටින පැරණිම ගම්මානයක් කියලයි කළුන්දෑව සැලකෙන්නෙ. මම කොහෙදි හරි ඔය ගැන කියෙව්ව මතකයි මොකක් හරි පර්යේෂණයක් ගැන ලියවුනු පොතක. මුළු ලෝකෙම වැඩිම කාලයක් එක දිගටම මිනිස්සු පදිංචි වෙලා හිටිය නගරය මොකක්ද කියල දන්නවද? ඒ සිරියාවෙ අගනුවර....ඩැමස්කස් නගරය. අවුරුදු 11,000 කට කලින් ඉඳල ඩැමස්කස් නගරයෙ මිනිස්සු ඉන්නවය කියල තමයි විද්වතුන්ගෙ පිළිගැනීම)
"ඉතිං මේ මනුස්සයගෙ පරම්පරාවම ඇටුවම් බැහැපු ශ්‍රී ලංකා කාරයො. බණ්ඩාරනායක මහත්තයට තාම දෙයියන්ට වගෙ සලකන්නෙ. හැබැයි මහ මෝඩය. ඔය පත්තරවල එහෙම ලිපි පලවෙනවනෙ දිවංගත බණ්ඩාරනායක මහතා කියල. එව්ව දැකල මේ යස්සය කල්පනා කරල තියෙන්නෙ දිවංගත කියන්නෙ බණ්ඩාරනායක මහත්තයගෙ මුල් නම කියල. ඉතිං කෙල්ලො තුන්දෙනෙකුට පස්සෙ කොල්ලෙක් ඉපදුනහම දැම්ම නම දිවංගත බණ්ඩාරනායක කියල ..." හේරත් අයිය සවිස්තර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කලා.
"හෙහ්,හෙහ්, හොඳ වෙලාවට මිනිහ දැකල තියෙන්නෙ පත්තරේ ඔච්චරයි ඒ කියන්නෙ ඔය දිවංගත කෑල්ල විතරයි. කොහොමද හේරත් අයියෙ මෙහෙම නම දැම්මනං? හේරත් මුදියන්සේලාගේ පොදුජන යුගයේ නිර්මාතෘ ජනතා නායක දිවංගත බණ්ඩාරනායක කියල හෙහ්,හෙහ්," හේරත් අයියයි මායි දෙන්නම හක හක ගාල හිනාවුනා.
ඉතිං ආයම ප්‍රධාන කතාවට ආවොත්....ඒ එළඹෙන ඉරිදා අපේ කට්ටිය එයාලගෙ ගෙදර යන්ට දින යොදාගෙන තිබ්බෙ.
"මේ ඔයා මේ සෙනසුරාද නිවාඩු දානවද?" ඈ ඇහුව.
"ඕනෙ නැහැනෙ. මම සෙනසුරාද වරුවත් වැඩ කරලම ගෙදර යනව. සෙනසුරාද අපේ බ්ලොක් මීටිං එකත් තියනවනෙ ඒකට ඉන්නම ඕන"
පහුගිය සතියෙ වැඩ කටයුතු ප්‍රගති සමාලෝචනය සහ ඉදිරි සතියේ සැලසුම් සාකච්ඡා කරන්නෙ සෑම සෙනසුරාදම උදේ වරුවෙ අපේ ප්‍රධාන කාර්යාලයෙ පැවැත්වෙන බ්ලොක් මීටිං එකේදි නැත්නම් කොට්ඨාශ රැස්වීමෙදි. ඒ ජනවාරි මාසෙ අන්තිම වගෙ. මහේ ගොයම කිරිවදින කාලෙ. කුඹුරු වලට වතුර සැපයීම බොහොම ක්‍රිටිකල්. වතුර මදිවෙලා ගොයම මැරුනොත් එහෙම ගොවි මහත්වරු අපේ ඔෆිස් වටලන්නෙ අන්තරේ කට්ටිය මෙලෝ සිහියක් නැතුව දුවගෙන ගිහිල්ල සයිටම් වහපියාව් කියල බෙරිහන් දීගෙන අධ්‍යාපන අමාත්‍යංශෙ වටලනව වාගෙ.
"මේ දවස්වල කුඹුරුවලට වතුර දෙන එක ටිකක් කේස්. අනික සම්ටයිම්ස් ලබන සතියෙ දවස් දෙක තුනක් නිවාඩු දාන්ට වෙයිද කියන්ටත් බෑනෙ.." මම ඈ දිහා හොරැහින් බලල අහල බලාගත්ත.
"ඇයි ඒ ලබන සතියෙ නිවාඩු දාන්නෙ? "
"නෑ කියන්ට බෑනෙ ඔයාගෙ අම්ම අප්පච්චි කිව්වොත් අනේ පුතේ එහෙනං ආය තවත් බල බල ඉන්නෙ මොහොකටද? මේ එක්කම මේ යෝදිවත් එක්ක යන්ටකො කියල."
"හෙහ් හිතේ ඇති. අපෙ අම්මලට එහෙමට අහේනියක් නෑ දන්නවද?"
"හරි හරි මම කිව්වෙ එහෙම වුනොත්වත් කියලනෙ...මේ ඒක නෙවෙයි ඔයාලගෙ ගෙදර හොයාගන්න එක තමයි වැඩේ.."
"මොකද අනේ එහෙම අමාරුවක් නෑ ගේ හොයාගන්ට...අනික ඔයා හිතුවද අපි මේ ඉන්නෙ බැදි මූකලාණක කියල. එහෙම නෑ. එහෙත් ඉන්නෙ හොඳට කාල ඇඳල ඉන්න මිනිස්සු…"
"හරි හරි මම එහෙම එකක් හිතල කිව්ව නෙවෙයි ඔන්න. අනික අවුලක් වෙන එකක් නෑ සුමනෙත් අපිත් එක්ක එනවනෙ."
සුමනෙ කියන්නෙ මාත් එක්ක එකට වැඩ කරන මගෙ අතිජාත මිත්‍රය. සුමනෙ පදිංචි වෙලා හිටියෙ අළුවිහාරෙ. අළුවිහාරෙ තමයි දන්නවනෙ නේද? අර ත්‍රිපිටකය පළමුවරට ග්‍රන්ථාරූඪ කලේ එහෙම.
සුමනෙ අළුවිහාරෙ ගේ හදද්දි ගෙදෙට්ට ඕන ලී අරගෙන තියෙන්නෙ ඔය අපෙ උන්දැගෙ ගමත් පහු කරල තව කන්ද උඩහට ගිහිල්ල. ඒ හින්ද ඒ හරිය ගැන සුමනෙ යමක් කමක් දන්නව.
"දූල්ලෑව ඉස්කෝලෙ කිව්වනම් ඕන කෙනෙක් කියයි පාර. ඉස්කෝලෙට පොඩ්ඩක් එහා තමයි ගොපල්ලව මහත්තයගෙ පාරම්පරික වලව්ව තියෙන්නෙ. පාර අයිනෙම. තව හැතැම්ම බාගයක් ඇති අපේ ගෙදරට."
"හූ කීයක් විතර? "
"හූ? මොන හූද?"
"ඇයි අනේ මම හිතාගෙන හිටියෙ ඔයාලගෙ ගම් පැත්තෙ දුර මනින්නෙ හූ වලින්ය කියල"
"ඔව් ඔව්..හූ වලින් තමයි..මම කිව්වයි කියල හිතා ගන්නකො"
ගොපල්ලව මහත්තය ගැන අහල තියනව නේද? ශ්‍රී ලංකාවේ පළමුවන ජනාධිපතිතුමා. 1962 අවුරුද්දෙ මැතිණිගෙ ආණ්ඩුව බලයෙන් පහ කරන්ට කරපු අසාර්ථක හමුදා කුමන්ත්‍රණයට එවකට හිටපු අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලකගෙ සහයෝගය ලැබුණයි කියන සැකය මත ඔහු ඉවත් කරල විලියම් ගොපල්ලව මහත්මයව අග්‍රාණ්ඩුකාර ධුරයට පත් කලා. විලියම් ගොපල්ලව කියන්නෙ සිරිමා මැතිණියගෙ මාම වෙන්නෙ. මැතිණිගෙ මල්ලි දොස්තර මැකී රත්වත්තගෙ භාර්යාව විලියම් ගොපල්ලවගෙ වැඩිමහල් දියණිය.
විලියම් ගොපල්ලව මහත්තය ඉපදුනෙ ඔය අපෙ ප්‍රියම්බිකා තොමෝලගෙ ගෙවල් අහල පහල තියෙන දූල්ලෑව මහ වලව්වෙ උනාට සෑහෙන කාලෙක ඉඳලම ඒ කිව්වෙ එයාලගෙ අප්පච්චි පොඩි දවස්වල වගෙ ඉඳලම ඒ වලව්වෙ ඒ පවුලෙ කවුරුවත්ම ඉඳල නෑ. වලව්ව බලාගන්ට බාරදීල හිටපු පවුලක් විතරයි ඉඳල තියෙන්නෙ.
ජනාධිපති විලියම් ගොපල්ලව කියල එතුමාගෙ චරිතාපදානය බොහොම අපූරුවට ලියල තියනව ගුණදාස ලියනගේ මහත්මය නොහොත් ගුලි. ඒ පොතේ ඔය දූල්ලෑවෙ වලව්ව ගැන බොහොම අපූරු විස්තරයක් තියනව. පස්සෙ මම දන්න කාලෙ ඒ වලව්ව ප්‍රතිසංස්කරණය කරල තරුණ තරුණියන්ට රැකියා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන ගියා. ඒකට මූලිකත්වය ගත්තෙ එතුමාගෙ පුතා මොන්ටි ගොපල්ලව මහතා.
"මොනවද දවල්ට උයන්න එහෙම ඕන? "
"ඔය එහෙමට විශේෂයක් නෑ. මොනවහරි ටිකක් රහට තිබ්බනං ඇති..ආ..මේ අර එක දවසක් මාළු බැදල ඔයා අරගෙන ආවෙ…"
"ආ..හරි හරි අර ඔයා රහයි කිව්වෙ.."
"අන්න හරි අන්න ඒ විදිහට මාළු බැදල තිබ්බනං ඇති...ටිකක් යහමිං බදින්ට. පහුවදා සඳුද උදේ එනකොට ඔතාගෙන එන්ටත් එක්ක ඇතිවෙන්ට."
"හාකො හාකො…" ඈ හිනාවෙලා අත වනාගෙන ඉස්කොලෙ ගාවින් බැස්ස.
ඔය මම කිව්වෙ මාළු බැදපුව එහෙම විශේෂයක් මොකවත් නෙවෙයි. මේ සාමාන්‍ය අර බිස්කට් කුඩුවල දවටල මාළු ගැඹුරු තෙලේ බදින්නෙ.අන්න එහෙම බැදපුව.
ඔයිට මාසෙකට දෙහෙකට වගෙ කලිං සවුඳ දවසක එවුන්දැ මට දවල්ට බත් එකත් ඔතාගෙන එද්දි අර කිව්ව මාළු පෙති හත අටක් ගෙනල්ල තිබ්බ වෙනම ටිෂූ කොලේක ඔතල අයිස්ක්‍රීම් ගෙනාපු පෙට්ටියක දාල. මමයි සුමනෙයි දවල්ට එයිං අ මාළු කෑලි දෙකක් කෑව. හොඳ රසයි..
"මචං මේ ඉතුරු මාලු කෑලි හත අට නිකම්ම කන එක හරි නෑ. හවස අපි හීන්වට වගෙ මොකවත් කරමු මාලුත් එක්ක.." සුමනෙ මා දැක්ක එහෙම කිව්වෙ බත් කාල ඉවරවෙලා නැඟිටින ගමං.
එදා අපි දෙන්න ඔය සුට්ටක් ගත්ත අපේ ක්වාටර්ස් එකේ මිදුලෙ තණ බිස්සෙ වේවැල් පුටු දෙකකුත් තියාගෙන.
"ෂෙහ්...මාර රසයි බං...දවල්ට වඩා දැන් තමයි රස…" සුමනෙ එහෙම කිව්ව දෙතුන් පාරක්ම. මම ඉතිං ඔන්න ඔය සීන් එක මතක් වෙලා තමයි අරම පොඩි බාසාවක් දාල බැලුවෙ.
ඉතිං ඒ කියපු දවසෙ ඒ කිව්වෙ ඉරිද කිසිදු අතුරු අන්තරාවක් අබග්ගයක්, කසිලියක්, හාහෝවක් විනම්බෑසයක් කැම්බැල්ලයක් නැතුව මමයි අම්මයි අප්පච්චියි සුමනෙයි එතුමීලගෙ ගෙදර ගිහිල්ල දවල්ට බැදපු මාළු පෙති හත අටක් එක්ක යහමිං බත් කාල ආපහු ගෙදර ආව. එන ගමං අළුවිහාරෙං සුමනෙව බස්සල ආව.
පහුවදා ඒ කිව්වෙ සඳුදා උදේ ඈ එනකොට බැදපු මාළු දහයක් පහළවක්ම ඔතල ගෙනල්ල මට දුන්න. රෑ වෙන්ට ඇරල සුමනෙයි මායි ගමනෙ ඊයෙ ගමනෙ විස්තරත් කතා කරමින් යංතං සංතං පදං අබිසමෙච්ච වෙන අල්ල පනල්ලෙ බැදපු මාලු සුට්ට සුට්ට හැපුව.
ඊට පස්සෙං පහු හරියටම දවස් දෙකයි ගතවුනේ. ඒ කිව්වෙ බදාදා... හීනෙං වත් නොහිතුව වැඩක් නෙව සිද්ද වුනේ. ඒ විස්තරෙත් ඇතුලුව තව ගොඩක් දේවල් කියන්ට තියනව එහෙනං ඊලඟ කතන්දරේදි ඒ විස්තර කියන්නංකො.



