Friday, June 16, 2017

512. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 38 -රෝහණ අයියා, යසෝදරා සහ දස්කොන්-ප්‍රමිලා........


විහාරස්ථානයක බෝ ගසක බෝපත් කිහිපයක්
ඉහත ඡායාරූපයෙන් දැක්වේ.
ඡායාරූපය - ටී.ඩී.ආර්. ලක්මාල් (Picture.lk)
"ලාදළු බෝපත් සෙමෙන් සැළෙන සේ යසෝදරා දේවී..."

මේ දවස්වල ඇඟ පතට කිසිම ගතියක් නෑ. ඒකට හේතුව මෙහෙ මේ දවස්වල බල පවත්වන දේශපාලන අස්ථිරත්වයද නැත්නම් මේ දවස්වල තියන අධික උණුසුම් කාළගුණයද එහෙමත් නැත්නම් ඔය දෙකේම සම්මිශ්‍රණයක්ද දෙයියො තමයි දන්නෙ කොහොමින් කොහොමින් හරි හවස ගෙදර ආහම ආය ලැප් එක දිහා ඇහැක් ඇරල බලන්ට හිතෙන්නෙ නෑ. 

පහුගිය සතියෙම වගේ ඕ තොමෝට ස්කයිප් එකෙන් කතා කලෙත් පොහොං එකෙං ඔන්න කොටිම්ම.

"ආ..දැං ෆෝන් එකෙන්මයි නේද කතාව?" අද ඒ අම්මණ්ඩි කතාව පටන් ගත්තෙ ඔහොම කියල. 

"ඔව් අනේ..හවස ඇවිල්ල තේ එකක් බීල ටිකක් ඇලවුනා. දන්නෙම නැතුව නින්ද ගියා. ඔයාගෙ කෝල් එකේ සද්දෙට තමයි ඇහැරුනෙ."

"මම කතා කරපු එකත් හොඳයි එහෙනං නේ?"

"එහෙනං එහෙනං මොනවද මේ කතා?..ඉතිං? ඉතිං? මොනවද තොරතුරු? අර මොකක්ද රැස්වීමකට යනව කිව්ව නේද අද හවස? ගියාද?"

"ගියා ගියා ටිකක් හවස් වුනා එනකොට…."

"ආ...ඒ මොකෝ? වෙනද හතරහමාර පහ වෙනකොට ඔයාලගෙ ඔය රැස්වීම් ඉවර වෙනව නේද?"

"ඔව් අනේ ඒත් අද මේ පොඩි ප්‍රශ්නයක් වෙලා රැස්වීම ටිකක් ඇදුන.."

"ඈ? ප්‍රශ්නයක්? ඒ මොකක්ද?"

"නෑ මේ රෝහණ අයිය පහුගිය ක්‍රීඩා උත්සවේ අයවැය හරියට පිළිවෙලට නෑ පොඩි කචල් එකක් දැම්මනෙ"

"හෙහ්,හෙහ්, ආය අහන්ඩත් දෙයක්ය? ඔය මනුස්සයට ඉතිං අයුක්තිය අසාධාරණේ කියන එක පෙන්නන්ට බෑනෙව..මම දන්නෙ නැද්ද රෝහණගෙ හැටි"

රයිට් දැන් පොඩි පැහැදිලි කිරීමක් කරන්ට ඕමනයි. නැත්තං ඔබ තමුන්නාන්සේලා නිකං අර වාචාල චතුරයගෙ කතන්දරයක් අහගෙන හිටිය වගෙ උතුර දකුණ මාරුවෙලා තුස්නිම්බූත වෙලා ආලකමන්දා වෙලා යන මම දන්නව. 

හරි ඒ පැහැදිලි කිරීම නොහොත් පාපෝච්චාරණේ මෙන්න මෙහෙමයි. අපේ ඔය ඕ තොමෝ ඇවිල්ල සමාජ සේවයට කප් ගහපු ලලනාවියක්. දේස දීපංකරවල පවා ඇගේ ශ්‍රී නාමය ඒ අතිං ජනාකීර්ණයි. ජනප්‍රියයි. ඇගේ ඔය සමාජ සේවා කටයුතු ගැන දවසක් මම කලිනුත් ලිව්ව. 


ඉතිං අපෙ ඔය උන්දැ සමිති සමාගම් බර ගාණක නිලතල දරනව. ඉතිං ඔව්වැයෙ රැස්සීං වලට එහාට මෙහාට දුව පනින්ට ගියාම ඔවුන්දැට දවසෙ පැය විසි හතර මදි.

දැන් මේ ඔය ළමයි හොඳ විස්වාසෙට ගන්ට පහුගිය අවුරුද්දෙ මම මාසෙක නිවාඩුවකට ඇහිල්ල ගියානෙ. ඒ මාසෙං ඔන්නං මැක්ස් දවස් පහක් නැත්තං හයක් ඔවුන්දැත් එක්ක නිවී සැනසිල්ලෙ වචන දහයක් කතා කරන්ට ඇති. අනික් හැම දවසම මෙවුන්දැ උදේම ලෑස්ති වෙලා ඔන්න දොට්ට බහිනව.

"මේ මම දවල්ටත් එක්ක උයල තියෙන්නෙ හොඳද? අර ඉඳිආප්ප තියනව පොල් මැල්ලුමත් එක්ක ඒ ටික උදේට කන්ට. දවල් මම එන්ට පරක්කු උනොත් බත් බෙදාගෙන කන්ට. මම එනකල් ඉන්ට එපා."

එහෙම කියල දොට්ටත් බැහැල ආයම ආපහු හැරෙනව.. 

"ආ..මට කියන්ටත් බැරි උනානෙ. අද අපේ ප්‍රවීණයන්ගෙ ක්‍රීඩා සංගමේ විසේස මහ සබා රැස්වීමක්. ඔයා අද කොහෙවත් යන්නෙ නෑ නේද?"

"දැනට නම් එහෙම කල්පනාවක් නෑ. ඇයි එහෙම ඇහුවෙ?"

"ඔයා මේ දවස්වල ඇවිල්ල ඉන්නෙ කියල මම කිව්වම්, රෝහණ අයියල කට්ටිය ඔයාව බලන්ට එන්ට ඕනය කියලත් කිව්ව. සම් ටයිම්ස් රැස්වීම ඉවර වෙලා එන්ට බැරිත් නෑ කට්ටියත් එක්කම හිහ්..හිහ්…"

ඔය රෝහණ අයිය කිව්වෙ අපට වැඩිය අවුරුදු පහක් හයක් වගෙ වැඩුමල් මනුස්සයෙක්. හරිම අවංක ඒ වගේම හිත හොඳ මනුස්සය. අපෙ උන්දැ නුවරට මාරුවෙලා ආපු අලුතම ඔය ප්‍රවීණයන්ගේ (Veterans) සංගමේ වැඩ කටයුතු වලට ගිහිල්ලයි ඔය රෝහණ අයියව අඳුනගත්තෙ.

පස්සෙ අපි අර ඉස්කෝලෙ ක්වාටර්ස් වල ඉන්න කාලෙ දවසක් එහෙටත් ඇවිල්ල තේකක් කාරිය බීල ගියා. ඒ කාලෙ මගෙ ඔය පොත් පත් හරියාකාරව තියන්ට තැනක් නැතුව කෑම මේසෙ උඩයි, ටී.වී. එක උඩයි, ෆ්‍රිජ් එක උඩයි. ඒ මදිවට සාලෙ මුල්ලක කඩ්බෝඩ් පෙට්ටියක් මුනිං අතට තියල ඒක උඩත් පොත් ගොඩගහල තිබ්බ කිව්වම...හෙහ්,හෙහ්

ඒක දැකල රෝහණ අයිය පොතක් දෙකක් පෙරළල එහෙමත් බැලුව…"ආ..මල්ලි ගොඩක් පොත් කියවනව වගේ.."

"දන්නෙ නැද්ද අයියෙ ඉතිං ඔය?..පොඩි කාලෙ ඉඳලම මගෙ පුරුද්දක් ඒක...හෙහ්,හෙහ්,"

"හෙහ්..හෙහ්..ඒක හොඳයි..මල්ලි කියවනව විතරද? ලියන්නෙ එහෙම නැද්ද?"

"ම්ම්ම්..ඔය කෙටිකතා කවි එහෙම නම් ඉඳහිටල ලියනව අයියෙ…" මම එහම කිව්ව.

"ආ..ඒක හොඳයි..මල්ලිට වෙලාවක මම කියන්නංකො මගෙ ජීවිත අත්දැකීම්...මල්ලිට හොඳ කතාවක් ලිව්වැකි ඒකෙං…"

"ඔව් ..ඔව්...ඔව්.. මට ආරංචියි...මට ආරංචියි" මම අපෙ ඕ තොමෝ දිහා බලල හිනාවුනා.

"ඔය රෝහණ අයිය ඔයා දන්නවද 88/89 කාලෙ ආමි එකෙන් අල්ලගෙන ගිහිල්ල මාස හයක් විතර තියාගෙන ඉඳල යන්තං බේරිල ඇවිල්ල තියෙන්නෙ" ඕ තොමෝ මට කලින් දවසක එහෙම කියල තිබ්බ.

ඊට මාස දෙහෙකට වගෙ පස්සෙ බෝගම්බර ක්‍රීඩාංගණයෙ තිබ්බ අපෙ උන්දැලගෙ සංගමේ වාර්ෂික ක්‍රීඩා උළෙල. රෝහණ අයිය කලේ මීටර් හාරසීය. හාරසීය පලමු ස්ථානය එහෙම දිනල ක්‍රීඩාගාරයෙ පිටිපස්සෙ බංකුවක ඉඳගෙන රෝහණ අයිය මට ඔහුගේ ජීවිත අත්දැකීම් ගැන කිව්ව. ඒ අනුසාරයෙන් කෙටි කතාවක් ලියන්ට මගෙ හිතේ කාලෙක ඉඳල තියනව මහ මෙරක් වගේ.....

වසර විස්සක වගෙ ඉතාම කෙටි කාලයක් තුල ඇතිවුනු තරුණ සන්නද්ධ අරගල දෙකක් ඊට අමතරව ඒ සමඟම තිස් වසරක් පුරා ඇදීගිය පසුව අති බිහිසුණු යුද්ධයක් බවට රූපාන්තරණය වූ ජනවාර්ගික අරගලයක් අත්විඳි රටක ඒ සම්බන්ධයෙන් නිර්මාණය වූ කලා කෘතීන්ගේ දුර්ලභත්වය පිළිබඳව මේ පහුගිය දවස්වල මම කොහේ හෝ පුවත්පතක හෝ අන්තර් ජාලයෙ පලවූ අපූරු ලිපියක් කියෙව්ව. මට හිතෙන්නෙ ඔතන තියෙන්නෙ අපේ හිත් ඒ පිළිබඳව නිසි අයුරු කම්පනය නොවීමේ අඩුවක්. සුසර නොවීමේ අඩුපාඩුවක්.

"ළාදළු බෝපත් සෙමින් සැළෙනසේ යසෝදරා දේවී, 
වාවනු බැරි තැන රහසේ හැඬුවා,
පෙර සංසාරේ ඇසුර මතක්වී…"

යසෝදරාවෝ හඬා වැලපුනේ ලාදළු බෝපත් සෙමින් සැලෙනසේය. යසෝදරා ගේ හැඬුම කෙබඳුදැයි අසන්නට මද සුළඟක් සේම ඒ මද සුළඟේ සෙමෙන් සැළෙන්නට ලාදළු බෝපත්ද අත්‍යාවශ්‍යය. ලාදළු බෝපත් නොමැත්තේනම් මද සුළඟ කොපමණ හැමුවද ඒ සිලි සිලිය අසන්නට අපට නොහැකිවනු ඇත.

ජීවිත කාලයක් ඇහුවත් අපෝ නොවෙන ගීයක්..සුට්ටක් අහලම ඉම්මුකො.
 



මේකෙත් ඉන්නෙ පූජා උමාශංකර්. මේ දස්කොන්- ප්‍රමිලා කතාව...

සක්මන් කරන මළුව පාළුයි දේවී
මං විතරවි ඔබ කිසි දිනක නොඒවී
ඉක්මන් ගමන් එපා පා පැකිලේවී
දස්කොන් සකිසඳ මා ඔබේ කුමාරී............

සෙංකඩගල වට කළ පවුරු වළල්ලේ
පෙම් ගී ගැයු විහඟුන් හැපී වැටෙන්නේ
රන් තරු දෑස පියන රෑ හඳ පානේ
අත්තන මලක් වෙලා ඔබ ළඟ ඉන්නේ..........

වාසල මිණි බැඳි දොර හරින වෙලාවේ
දෑසින් වැටෙන කඳුළු මට සිහි නොවුණේ
ඒ ආදරය ගියත් ඉක්මන් ගමනේ
මා තනි කරන්නෙපා මතු සංසාරේ........





පලි- අපේ දයා මහත්තය දෙතුන් පාරක්ම අහල තිබ්බනෙ "කෝ රවී ගුරුවරිය ගැන ලියන්නෙ නැද්ද?" කියල...ඒ හින්දමයි අද මේ ලිව්වෙ..

අර තාපසයගෙ කතාව ගැන අහල තිබ්බ සයුරි නෝම් මහත්තය. ඒ වගේම තව කතාවකුත් එක්ක ඒක ලියන්නං එහෙනං ලබන සැරේ..හොඳේ නෝනෙ?

Saturday, June 10, 2017

511. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 37 - Champions Trophy, Face Book, An ongoing Crisis & A Requiem For A Doomed King….


මේ සටහන මම පටන් ගන්ට හිටියෙ මෙහෙම නෙවෙයි. ඒත් පෙරෙයිද අර අපේ පකිරින්තුවො ටික නටපු නාඩගම හින්ද ඒ ගැන මොකවත් නොකියම බෑ. එහෙම උනොත් අර නානසාරගෙ බොඩු බල ශේනාවෙ කස්ටිය කියනව වගෙ මමත් දේස ද්‍රෝහියෙක් වෙනව. "ඔබත් දේස ද්‍රෝහියෙක් නම් සෙයාර් කොරන්න"...හෙහ්..හෙහ්..අන්න එහෙමයි කස්ටිය දාන්නෙ පෙහෙස් බුක්කෙකේ...

දැං අලුත්ම ට්‍රෙන්ඩ් එක තමයි සියලු දහ මහ දෝසම පේස් භුක් එකේ දාන එක. ඔන්න කොහෙදි හරි වාහනේ හැප්පුනයි කියමු. පොලීසියට ඉන්ෂුවරන්ස් එකටදැනුං දෙන්නෙ දෙවනුව. ඉස්සෙල්ලම කරන්නෙ ඇස්සිඩං එකේ පෝටොස් අරගෙන පේස් භුක් දාන එක.

ඒ එක්කම ඇස්සිඩං එක ගැන පරීස්සන කරන්ට ආපු පොලිස් නිලදාරියගෙ කරට අත දාගෙන ගන්නව සෙල්පියක්. ඒ කරල දානව පේස් භුක් එකේ, "ෆීලිං ඇක්සිඩන්ටල් විත් සාජන් නල්ලතම්බි @ කොට්ටුකච්චිය හයිවේ….."


එහෙමත් නැත්තං දැං ඔන්න ඇස්සිඩන් එකෙන් පෙට්‍රල් ටැංකිය හිල් වෙලා පෙට්‍රල් දෝරෙ ගලනව. ගිණි ගැනීමේ අවදානමකුත් තියෙනව. ඒ අවදානං ඔක්කොම නොසලකා අර පෙට්‍රල් ගලන එක උඩම ඉඳගෙන ගන්නව සෙල්පියක්. සෙල්පියට ඇස්සිඩන් එක බලන්ට ආපු මනුස්සයෙකුත් අඬගහ ගන්නව. අපි හිතමු මිනිහගෙ නම සෙල්ලංසේන කියල. ඔන්න දානව පෙහෙස් බුක් එකේ "ෆීලිං ඉන්ෆ්ලැමබල් විත් සෙල්ලංසේන ඇට් තුම්මුල්ල ජන්කන්" 



හරි...හරි...ඔය පේස් භුක් නාඩගං ගැන වෙනම පෝස්ට් එකක් ලියන්නංකො....හෙහ්...හෙහ්...


රයිට් දැං පකිරින්තුවො සහ නාඩගම ගැන. පකිරින්තුවො කියල කිව්වෙ අපේ කිරිකැට් ටීම් එකට. නාඩගම කියල කිව්වෙ පෙරෙයිද උං අර කෝලි සහ දෝනි ඇතුලු ඉන්දියානුවන්ට රිඹ යන්ට නෙලුව එකට...හෙහ්...හෙහ්…



ආන්න..කොල්ලො මැච්....බොලා අපි ආතල වෙච්චි කාලෙක මුණුබුරන්ට විස්තර කරල දෙන්ට වටින මැච් තමයි එව්ව.



දැං මේ දවස්වල හිතත් එක්ක අකම්පාල වෙලා ඉන්න එකේ හිතට තංතෝසයක් අරං ආවට එතකොට සෙලිබ්‍රේෂන් ඔකේෂන් එකක් හදල දුන්නට ඇන්ජලෝ, කුසල් x 2, ධනුෂ්ක, සහ අසේල ඔබට පිං...

හරි මැච් එක ගැන ඒ ඇති. අනික මේ සවුඳ පක්කොන්ට තලාගන්ටම වෙනව සෙමි ෆයිනල් යන්ට නම්. ඉස්සරහට තියන මැචස් දෙකම දැං නිකම්ම ක්වාටර් ෆයිනල්ස් වෙලා.ඒ දෙකෙන් දිනන ටීම් දෙක තමයි සෙමි යන්නෙ. එක්කො පක්කො හෝ අපි දෙගොල්ලන්ගෙන් එක ටීම් එකක්. අනික ඉන්දියානුවන් හෝ දකුණු අප්‍රිකානුවන්. ඒ දෙගොල්ලගෙනුත් එක ටීම් එකක්.

එක අතකට පකිස්තානෙට පැරදිල ගෙදර ආවත් මොකෝ?  මැච් තුනම පරදියි කියල නෝ හෝප්ස් හිටපු එකේ මෙහෙමවත් වෙච්චි එක කොච්චර එකක්ද?


ඔය උඩහිං තියෙන්නෙ දැනට ගෲප් බී එකේ
පොයින්ට්ස් ටේබල් එක.

Ok Guys, Angelo & the team… Thanks so much for bringing on a rare smile to our faces and making life somewhat easier....No problem...what ever happens on Monday you made us proud to be Sri Lankans day before yesterday..that's all that matters.

රයිට් ඒ ඇවිල්ල හිට පෙරෙයිද මැච් එකෙන් පස්සෙ ඇඩිෂනලි ලියපු හරිය...මෙතන ඉඳල තියෙන්නෙ මම ලියපු ඔරිජිනල් පෝස්ට් එක....

මේ පහුගිය සවුඳ ඉඳල මෙහෙ (මෙහෙ කිව්වෙ මේ කටාර් රාජ්‍යයෙ) ඇතිවෙලා තියන අර්බුදය ගැන කවුරු කවුරුත් දන්නව ඇතිනෙ නේද? සවුඳ උදේ වැඩට යනකොටත් මම ඔය කේස් එක ගැන අබමල් රේණුවක තරං දෙයක් දන්නෙ නෑ ඔන්න කොටිම්ම කිව්වොත්.


මේ දවස්වල ....මේ දවස්වල කිව්වෙ දැං මාසෙක තරම ඉඳල මම යෙදිල ඉන්නෙ හදිසි සහ බාරදූර කාර්යයක....ඒ කියන්නෙ රාජකාරිය සම්බන්දව හොඳද? හෙහ්..හෙහ්...බාරදූර කිව්වම මට මතක් වෙන්නෙ මම බොහොම ආස කරන පරණ නාඩගං ගීතයක්. නාඩගම ඇවිල්ල ශ්‍රී වික්‍රම..ගීතය ඇවිල්ල මෙහෙමයි..



"රකී බුද්ද දම්ම සීල පූර්වේ රජුන් ලෙසේ ඉතිං ප්‍රීතියෙන්ම යමව් ඒ තුමා වෙතේ ඒතුමා ඒතුමා ඒතුමා වෙතේ දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාරදූරයේ.... බාරදූර... බාරදූර.... බාර දූරයේ...දන්න වංහුං අප කන්නසාමි බාර දූරයේ....." හිච්චි එකා කාලෙ මම ඔය සිංදුව කිව්වෙ ඔන්න ඔහොම...

ඔතන කන්නසාමි කියල කියන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ ගිහි කාලෙ නම...ආහ්..සමාවෙන්න ඕමනයි..ගිහිකාලෙ නෙවෙයි රජවෙන්ට ඉස්සර කාලෙ. ඒ කාලෙ ඔය කන්නසාමි කුමාරය හිටියයි කියන්නෙ පේරාදෙණිය කිට්ටුව මහ වැලි ගඟ අයිනෙ තම්පළා කොටුවක් වවාගෙන. ඒ මනුස්සයගෙ කන්ද උඩරට රජවෙන්ට කිසියම්ම ආසාවක්වත් බලාපොරොත්තුවක් වත් තිබිල නෑ. තනියම තම්පළා කොටුවෙ පොඩි ගේකුත් හදාගෙන විවේක වෙලාවට බටනලාවකුත් වාදනය කරමින් කන්නසාමි පූර්ණ තෘප්තිමත් ජීවිතයක් ගතකරල තියනව.

කන්නසාමි කුමාරය කියන්නෙ ඒ කාලෙ හිටපු රජ්ජුරුවන්ගෙ ඒ කිව්වෙ රාජාධි රාජසිංහ රජ්ජුරුවන්ගෙ රිදී දෝලියකගෙ (එදවස රජකුගේ මෞලි මංගල්‍යයකදී රජු හා සමඟම අභිෂේක කරනු ලබන අග මෙහෙසිය නොවන වෙනත් අවශේෂ මෙහෙසියන් හඳුන්වන ලද්දේ රිදී  දෝලි යන ව්‍යාවහාරයෙනි. එලෙසම අවශේෂ අන්තඃපුර කතුන් හඳුන්වන ලද්දේ යකඩ දෝලි යන නමිනි.) සහෝදරියකගෙ පුතා. ඒ කියන්නෙ රජ්ජුරුවො නෑකමට වෙන්නෙ බාප්පා.



ඒ කාලෙ පැවතිච්ච සම්ප්‍රදාය විදිහට රජ්ජුරුවන්ට පුතෙක් නැත්නම් රජකම උරුම වෙන්නෙ අග මෙහෙසියගෙ සහෝදරයට. හැබැයි එකක් කියන්ට ඕන. ඔය Rule of Succession එක අපේ රටේ එතෙක් තිබ්බ සම්ප්‍රදාය නෙවෙයි. අපේ තිබ්බෙ රජකම ඊලඟට උරුම වෙන්නෙ වැඩිමහල් පුතාට. එතකොට පුතෙක් ඇත්තෙම නැත්නම් ඊලඟට ඉන්න සහෝදරයට.



ඔය මෙහෙසියගෙ සහෝදරයට කිරුළ උරුම වෙන සම්ප්‍රදාය ඇවිල්ල තියෙන්නෙ දකුණු ඉන්දියාවෙන්. කන්ද උඩරට රජවරු සූර්ය වංශික උභය කුළ පාරිශුද්ධ කුමාරිකාවන් ඒ කාලෙ ගෙන්නගෙන තියෙන්නෙ දකුණු ඉන්දියාවෙ තන්ජෝර් පළාතෙන්. ඒ කුමරියන් එක්ක එයාලගෙ නෑදෑ පරපුරම ඇවිල්ල මෙහෙ පැල පදියං වෙන එක සිරිතක් විදිහට කෙරුනලු. ඒ හින්ද ඒ කාලෙ උඩරට රාජධානියෙ රාජ සභාවෙ එහෙම වැඩිපුර භාවිතා වුනාය කියන්නෙ දෙමළ භාෂාව. කොටින්ම 1815 අවුරුද්දෙ මාර්තු දෙවෙනිදා බ්‍රිතන්‍යයන් එක්ක අත්සන් කරපු උඩරට ගිවිසුමට අත්සන් කරපු උඩරට ප්‍රධාන නිළමේ වරුන්ගෙන් සිංහලෙන් අත්සන් කරල තියෙන්නෙ කැප්පෙටිපොළ නිළමෙ විතරයිලු.



ඉතිං ඔය රාජාධිරාජසිංහ රජ්ජුරුවන්ගෙ රන්දෝලියටත් (ආ...අවශේෂ මෙහෙසියන් රිදී දෝලි කියල හැඳින්වෙද්දි අග මෙහෙසිය හැඳින්වුනෙ රන්දෝලිය කියල. අදත් ඔය දළඳා පෙරහැරේ රන්දෝලි පෙරහැර කියල කියන්නෙ ඇත්තටම ඒ කාලෙ ඔය පෙරහැරේ ගෙනිච්චයි කියන්නෙ අග බිසවගෙ රන් ආභරණ කියලයි කියන්නෙ) සහෝදරයෙක් ඉඳල තියනව මුත්තුසාමි කියල. ඉතිං සම්ප්‍රදාය අනුව රජකම උරුම වෙන්ට ඕන ඒ මුත්තුසාමිට වුනාට මහ අදිකාරම් (ඒ කාලෙ රටේ අගමැතිට කිව්වෙ මහ අදිකාරම් කියල) පදවිය දරපු පිළිමතලව්වේ මුත්තුසාමිට රජකම නොදී කන්නසාමි රජකරවන්ට රහසේ කටයුතු කලා. 



මිනිහට ඇත්තටම ඕන කලේ තමන්ගෙ රූකඩයක් වගෙ රජෙක් සිංහාසනේ ඉන්දවල පස්සෙ හෙමීට තමන්ටම රටේ රජකම ගන්ට කියලයි කියවෙන්නෙ. පිළිමතලව්වෙගෙ කේන්දරේ ඉතා බලගතු රාජයෝගයක් තිබ්බයි කියල කියනව. එහෙම තමංගෙ කේන්දරේ රාජ යෝග තියෙනවයි කියල හිතාගෙන ඉන්න කට්ටිය කරන්නෙ මොන දහං ගැටේ ගහල හරි මොන පාවාදීම කරල හරි ඒ අනාවැකිය ඇත්ත කරවන්ට දතකන එක.


පිළිමතලව්වේ තමන්ගෙ පළවෙනි බලාපොරොත්තුව ඉස්ට කරගත්ත. ඒ කිව්වෙ කොහොමින් කොහොමින් හරි මුත්තුසාමි කපල දාල කන්නසාමි රජ කෙරෙව්ව. ඒත් උන්දැගෙ දෙවෙනි බලාපොරොත්තුව ඉස්ට සිද්ද කරගන්ට බැරුව ගියා. ශ්‍රී වික්‍රම රාජසිංහ (මේ වෙනකොට කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවෙලා) රජකමින් පහකරල තමන් රජවෙන්ට කරපු කුමන්ත්‍රණ කීපයක්ම එලිවෙලා රජ්ජුරුවො කීපවරක්ම සමාව දුන්නත් අන්තිමට බැරිම තැන රජ්ජුරුවො පිළිමතලව්වේ මරා දාන්ට අණකලා.

හරි අපි ඔය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන අහල තියෙන්නෙ අන්තිම දරුණු දුෂ්ඨ, ක්‍රෑර රජෙක් විදිහටනෙ. අර ඇහැළේපොළ කුමාරිහාමිව සහ දරු තිදෙනා මරණයට පත්කපු විදිහ ගැන එහෙම මයිල් කෙලින් වෙන කතන්දරනෙ අපි අහල තියෙන්නෙ. නේ?..."අයියණ්ඩිය බිය නොවන්න, මැරෙනා සැටි මම පෙන්වමි"  ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ අණය පතුරලා අම්ම සමඟ දරු තුන්දෙනෙකුට මරණය හිමිකලා. අන්න එහෙමනෙ නේ? ඒත් ඒ කාලෙ ඉඳලම මගේ හිතේ සුට්ටං කුකුසක් තිබ්බ මේ කියන විදිහටමද වැඩේ වුනේ කියල.

කුමාරිහාමිගෙ දරුවො තුන්දෙනා ගෙල සිඳ මරණයට පත් කලා. එතකොට ඇහැලේපොළ කුමාරිහාමි බෝගම්බර වැවේ ගිල්ලල මරල දැම්ම. අපි පුංචි කාලෙ ඔය ඇහැළේපොළ කුමාරිහාමිගෙ ආත්මය බෝගම්බර වැව වටේ පාරෙ හඳ තියෙන රෑට සැරිසරනව කියල අපිට කිව්ව. එහෙම කිව්වෙ අපෙ පොඩි අම්මගෙ දුවල. ඒ ගොල්ල ඒ කාලෙ හිටියෙ බෝගම්බර බන්ධනාගාර නිල නිවාස වල. බෝගම්බර වැවත් එක්කම තියෙන රජපිහිල්ල මාවතට ඉහලින් ඒ නිල නිවාස තිබ්බෙ. මිදුලට බැහැල යාර විස්සක් තිහක් පාර දිගේ පල්ලෙහාට ආවම හඳපානෙ බෝගම්බර වැවේ වතුර දිළිසෙනව පේනව රිදී කඳක් වාගෙ.

අපි ඒ කාලෙ හිටියෙ කෑගල්ලෙ. ඉතිං ඉස්කෝල නිවාඩු කාලෙට එයාල අපේ ගෙදර ඇවිල්ල සතියක් දෙකක් වගෙ ඉන්නව. ඊට පස්සෙ ඒ ගොල්ල ආපහු නුවර යද්දි බොහෝවිට මම එයාල එක්ක ඇවිල්ල සතියක් විතර පොඩි අම්මලත් එක්ක ඉඳල ඉස්කෝලෙ පටන් ගන්ට ඉස්සර ආපහු යනව. වේල්ස් චිත්‍රපට ශාලාව තිබ්බෙ ඔය මම කියන ක්වාටසුත් එක්කම පල්ලෙහා. ඩී. එස්. සේනානායක පුස්තකාලෙත් එක්කම. දැන්නම් ඒ ෆිල්ම් හෝල් එක කඩල දාල. ඒ පොඩි අම්මලගෙ ගෙදර ආපු එක නිවාඩු කාලෙක "වනරාජා නොහොත් සිංහල ටාසන්" ෆිල්ම් එක බලන්ට ගියා මට මේ අද ඊයෙ වාගෙ මතකයි.



ෆිල්ම් එක බලන්ට ගියේ පොඩි අම්මගෙ වැඩුමල් දුවයි මායි. පොඩි අප්පච්චි ටිකට් අරන්දීල අපිව හෝල් එක ඇතුලට දාල ආපහු ගියා ෆිල්ම් එක ඉවරවෙන්ට කිට්ටුව එක්ක යන්ට එන්නම්ය කියල. 



"අප්පච්චි නාව උනත් අපිට යන්ට පුලුවනි. අපේ ගෙවල් මේ ලඟනෙ" සුදු අක්ක මහදැනමුත්තියක් වගෙ කිව්ව මගෙ කණට කට ලං කරල. මම ඔලුව හෙල්ලුව. ඒ වෙනකොට මයෙ වයස ඔන්නම් දහයක්  වගෙ වෙන්ටැ. සුදු අක්ක මට වඩා අවුරුද්දක් වැඩුමල්.



වනරාජා ෆිල්ම් එකේ එකේ රඟපෑවෙ බැසිල් ද සේරම් සහ තලතා ගුණසේකර. බැසිල් ද සේරම් ඒ කාලෙ ප්‍රසිද්ධ වුනේ සිංහල සිනමාවේ උසම නළුවා කියල. වනරාජා ෆිල්ම් එකේ ප්‍රචාරක පත්‍රිකා වල තිබ්බෙත් සිංහල සිනමාවේ උසම නළුවා රඟපාන කියල. තලතා ගුණසේකර කියන්නෙ නදීකා ගුණසේකරගෙ අම්මා.



සුදු අක්කල ඔය ෆිල්ම් එක කලින් බලල තියනව. මං හින්දමයි ඔය ආයම බලමු කියල ආවෙ. ඉතිං වැඩේ කියන්නෙ ෆිල්ම් එක පටංගත්තු වෙලාවෙ ඉඳල මේ අම්මණ්ඩි මම ඉන්න සීට් එකට නැමිල ඊලඟට තියන සීන් එකේ විස්තරේ කියනව. මුලින්ම වැඩේ පටන් ගත්තෙ මම බයවෙයි කියල එහෙම බයවෙන සුළු සීන් ගැන වෝනිං එකකිං.


"රවි මල්ලි ඔන්න බයවෙන්න එහෙම එපා. ඊලඟට ඔය දොර අරිනකොටම කාමරේ මැදම තඩි නයෙක් ඉන්නව පෙණෙත් පුප්පගෙන. ඒත් ඌ අහිංසකයි දස්ට කරන්නෙ එහෙම නෑ.....හොඳේ?"

මමත් ඉතිං "හා මං බයවෙන්නෙ නෑ" කියල ඔලුව වනනව. ඒත් කෝකටත් ඇසුත් වහගන්නව...හෙහ්,හෙහ්, එහෙම අති බයංකාර සීන්ස් ගැන වෝනිං එකක් විදිහට පටං ගත්තු සුදු අක්කගෙ රනිං කම්න්ට්‍රි එක නොහොත් විස්තර ප්‍රචාරය ඊට පස්සෙ සම්පූර්ණ කතාවම කලින් කියන මට්ටමට දියුණු වුනා. 



"ඔතන මල්ලි ඔය ඉන්නෙ රැජිණ..නම මායා...ඊලඟට සේවිකාවෝ දෙන්නෙක් ඇවිත් රැජිනිව එක්කං ගිහිල්ල කිරි දියරෙං නාවනව.."



"මොනවා? ඇත්තම කිරි වලිං?" මගෙ කටත් එක්ක ඇරුන. ඒ ඔය සිරිමා මැතිණිගෙ ආණ්ඩුව කාලෙනෙ. බඩු බාන්ඩ එහෙම බොහොම හිඟයි. අන්න ඒකයි තනිකර කිරෙං රැජිනිව නාවනව කිව්වම මට පුදුම හිතුනෙ.



"නෑ..නෑ...මම හිතන්නෙ බොරුවට වතුරට පාටක් දාල වෙන්ට ඇති"

"එහෙම කිරි වතුරෙන් නාල ඊට පස්සෙ?" 

"ඊට පස්සෙ ලස්සන සළුවක් දෙනව ඇඳගන්ට"



"ඒක ඇඳගෙන? …"



මගේ ඒ ප්‍රශ්නෙට සුදු අක්කට උත්තර දෙන්ට ලැබුනෙ නෑ. පිටි පස්ස පේලියෙ ඉඳල බුරුසු රැවුල්ධාරී තඩි මූණක් අපි දෙන්න අතරට පාත් වුනා. 



"මේ ඔය ළමයි මේ ෆිල්ම් එක කලින් බැලුවනම් කටවල් වහගෙන ඉන්නවද? අපිටත් නිදහසේ මේක බලන්ට ඕන.."


"නෑ මම කලින් බලල නෑ මේ අක්ක තමයි කලින් බැලුවෙ.." මම සුදු අක්කව පෙන්නල බුරුසුවාට කිව්ව



"අක්ක හරි මල්ලි හරි කවුරුවුනත් කමක් නෑ...කෝ? ඔයාලගෙ නැද්ද කවුරුවත් වැඩි හිටියෙක් ඇවිල්ල?"



"නෑ අපි දෙන්න විතරයි..." මම හෙමිහිට කිව්ව.. 



"අන්න ඒකනෙ කියන්නෙ. පොඩි ළමයි තනියම ෆිල්ම් බලන්ට එවනව..මෙව්ව මේ ලමයින්ගෙ නෙවෙයි වැඩිහිටියන්ගෙ වැරදි..."



හැබැයි ඊට පස්සෙනම් සුදු අක්ක මීක් සද්දයක් නැතුව ෆිල්ම් එක බැලුව. 


ඉතිං මම අර කියපු විදිහට අපි සමහර දවස්වලට රෑට කාල ක්වාටර්ස් එකේ මිදුලෙ සෙල්ලං කරනව. හැංගිමුත්තං හෝ බට්ට පනින එක තමයි වැඩියෙන්ම කරන්නෙ. ඔන්න හිටපු ගමං සුදු අක්ක "ඔන්න ඇහැළේපොල කුමාරිහාමිගෙ අවතාරෙ එනෝ..." කියල කෑගහගෙන ගෙට දුවනව. අපි පොඩි එවුනුත් ගිරිය යටිං කෑගහගෙන ඒ පස්සෙ දුවනව. එක දවසක් එහෙම දුවද්දි එළිපත්තෙ පය පැකිලිම වැටිල මගෙ දනිස්ස තුවාල වුනා. එදානං පොඩි අම්ම සුදු අක්කගෙ පස්සට දුන්න වේවැලෙන් දෙකක්...හෙහ්,හෙහ්,

හරි ආයම කන්නසාමිගැන කතාවට ආවොත්.....මගේ හිතේ ශ්‍රී වික්‍රම රාජසිංහ නොහොත් කන්නසාමි ගැන ඇඳිල තියෙන කතාව ඔය අපි අහල තියෙන කතාවට වඩා බොහෝම වෙනස් ... කොහෙත්ම ඔය ඉතිහාස පොතේ තියන එක නම් නෙවෙයි..අපේ අතීතය ගැන මගෙ හිතේ එහෙම කතන්දර මහ ගොඩක් ඇඳිල තියනව. එව්ව බොහොම වෙලාවට අපි ඔය අහල තියන එව්වට වඩා වෙනස්. එහෙම කතන්දර දෙකක් මම මීට කලින් ලිව්ව. විජය රජ්ජුරුවන්ගෙ කතාව සහ අනුලා බිසවගෙ කතාව.

හරි ඒ මගේ කතාවට ඉස්සෙල්ල ඇහුංකං දෙන්නකො ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ට. ඔහු වනාහී මේ ලඟදි මියගිය චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකරයන්ගෙ වැඩිමහළු සොහොයුරා. ආචාර්ය ගණනාත් කියන්නෙ ලංකාවෙ කවුරුත් වැඩිපුර නොදන්නව උනාට ලෝක ප්‍රසිද්ධ මානව විද්‍යාඥයෙක්. ඔහු මේ ලඟදි ප්‍රකාශයට පත් කලා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු ගැන කල අධ්‍යයනයක්. පොතේ නම "The Doomed King - A Requiem For Śri Vikrama Rajasinha"

ආචාර්ය ගණනාත් ඔබේසේකරයන්ගේ
"The Doomed King" ග්‍රන්ථය ඉහත
ඡායාරූපයෙන් දැක්වේ.

පෝස්ට් එක නම් ටිකක් දිගවෙයි. කමක් නෑ අද සෙනසුරාද ඔය හැමෝටම වගෙ නිවාඩුනෙ..ඒ හින්ද කියවල බලන්න...හෙහ්,හෙහ්,

මේ මුලින්ම සිළුමිණේ පළවූ ලිපියක්....

ගණනාථ ඔබේසේකර, හේ ලංකාව විසින් බිහි කළ විශිෂ්ටම මානව විද්‍යාඥයාය. ඔහු උපත ලැබුවේ අලුත්ගම දර්ගා නගරයේ මීගමය. ඔහුගේ පියා ඩී. ඩී. ඔබේසේකර දේශීය වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු වූ අතර අනගාරික ධර්මපාල තුමාගේ අනුගාමිකයෙක් විය. 1955 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් ඉංග්‍රීසි සඳහා මූලික උපාධිය ලබාගත් ඔහු වරක් ඔහුගේම උසස් අධ්‍යාපනය ගැන පැවසූයේ වාමාංශිකයන් පවා ඔක්ස්ෆර්ඩ් යෑමට පසු නොබෑ යුගයක තමා තුළ වූ යටත් විජිත විරෝධය නිසා ඔක්ස්ෆර්ඩ් සහ ලන්ඩන් සඳහා ලැබුණ ශිෂ්‍යත්ව කිහිපයක්ම ප්‍රතික්ෂේප කළ බවය.

ඒ වෙනුවට ඔහු තෝරාගන්නේ ඇමරිකානු වීශ්ව විද්‍යාලයකි. නමින් ගණනාථ ඔබේසේකර නම් ඔහු ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි (1964) ලබා ගත්තේ වොෂින්ටන් විශ්ව විද්‍යාලයෙන් වන අතර පේරාදෙණිය ලංකා විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ කලක් සේවය කළේය. ඔහු කැලිපෝනියා සහ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලවලද මානව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වශයෙන් සේවය කළේය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාල මුද්‍රණාලය විසින් පළ කර ඇති Land Tenure in Village Ceylon: A Sociological and Historical Study(1966) නම් ඔහුගේ ආචාර්ය උපාධි නිබන්ධය දකුණු ලක මැදගම නම් ගම පිළිබඳවය. චිකාගෝ විශ්ව විද්‍යාලීය මුද්‍රණාලය විසින් පළ කර ඇති ඔහුගේ විශිෂ්ට කෘතීන්ගෙන් එකක් වන The Cult of the Goddess Pattini (1984) නම් පත්තිනි ඇදහිල්ල පිළිබඳ වූ කෘතිය ඉන්දීය උප මහද්වීපික කලාපයේ සංස්කෘතික ඥාතීත්වය හෙළි කරයි. රිචර්ඩ් ගොම්බ්‍රිච් සමඟ සම කර්තෘත්වයෙන් පළවූ Buddhism Transformed: Religious Change in Sri Lanka යන කෘතියත් සමඟ ඔහුගේ කතෘත්වයෙන් පලවූ කෘති දහයක් පමණ වේ.



ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාල මුද්‍රණාලය මගින් පලවූ සුදු මිනිහා ලෝකය ශිෂ්ට කිරීම පිළිබඳ මිථ්‍යාව ප්‍රශ්න කරන ඔහුගේ විවාදාත්මක කෘතියක් වූ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) යන්න සමාජ විද්‍යා හා මානව විද්‍යා ක්ෂේත්‍රයේ අද්විතීය කෘතියට හිමි සම්මාන කිහිපයක්ම ලබා ගත්තේය. පසුගිය කාලයේ විදග්ධ යැයි සම්මත නොවූ ලේඛනවලින් හෙළි වන ඉතිහාසය අධ්‍යනයේ වැදගත් කම පිළිබඳ කතා කළ ඔහු එවැනි දුර්ලභ පුස්කොල පොත් ගණනාවක් පල කිරීමට මැදිහත් විය. ජනවාර්ගික අර්බුද සමයේ ඉතිහාසකරණය පිළිබඳ ඔබේසේකර හෙලන වැදගත් නිරීක්ෂණ සහ දුටුගැමුණුගේ හෘද සාක්ෂි අර්බුදය(Dutthagamini and the Buddhist Conscience) පිළිබඳ ඔහුගේ ගැඹුරු කියවීම සමකාලීන ලාංකික සමාජය මත ආලෝකයක් හෙලනු ලැබීය.



විත්තිපොත් කඩයිම් පොත් සහ එතරම් ප්‍රචලිත නොවූ ඉංග්‍රීසි සිවිල් සේවකයන් යටත් විජිත යුගයේ තැබූ සටහන් මනාව නිරීක්ෂණය කරමින් රචිත THE DOOMED KING: A REQUIEM FOR ŚRI VIKRAMA RAJASINHA පර්යේෂණ කෘතිය ඔහු අප අබිමුවෙහි තබා ඇත. මෙමගින් ගිරාපෝතක සම්ප්‍රදායෙන් බැහැරව සබුද්ධිමය සම්ප්‍රදායක් වෙත ඔහු ඔබ අපව කැඳවාගෙන යෑමට උත්සාහ කරයි. සිංහල පාඨකයින් අතර ජනප්‍රිය නොවූ මේ විද්වතා, ප්‍රාඥයා අප ඔබට හඳුන්වාදීමට සිතුවේ එනිසාය.

ආචාර්ය ගණනාත් ඔබේසේකර


"ද ඩූම්ඩ් කිං ‘(THE DOOMED KING) පොත ලියන්න ඔබව පෙළඹවූ කාරණය කුමක්ද?"


"දළදා මාළිගාව ආසන්නයේම පිහිටි හෝටලයක් තියෙනවා. මම නුවර යද්දි නිතරම දකිනවා මේ හෝටලයේ ඉංග්‍රීසි කොඩිය ඔසවා තිබෙනවා. මොකද මේ සිංහල මිනිස්සු ඉංග්‍රීසි කොඩියක් දාගෙන ඉන්නේ කියලා මම කල්පනා කළා. මේක මගේ හිතට කාවැදුණා. ඔහොම යද්දි මට හිතෙනවා, මේ හෝටලය ඉදිරියේ රජුරුවො හදපු ලස්සන වැවක් තියෙනවා, ඇයි කවුරුවත් මේ ගැන ලියන්නෙ නැත්තේ. මෙච්චර දේවල් නුවර ගැන ලියනව නමුත් මේ ලස්සන වැව හදපු ශ්‍රි වික්‍රම රාජසිංහ ගැන කවුරුත් ලියන්නෙ නැහැ. ඇයි ඒ? නුවර වැව විතරක් නෙවෙයි ඔහු තවත් කුඩා වැව් නිර්මාණය කර ඇති බව මම මේ පොතේ පෙන්නල තියෙනවා. මිනිස්සු දන්නේ ඒ මනුස්සයා බොහෝම දරුණු, පවිටු, සල්ලාල මිනීමරු රජ කෙනෙක් විදියටයි"

"ලංකාවේ ලියවෙච්ච ඇහැළේපොළ වර්ණනාව (වඩිග හටන) සහ කිරල සන්දේශය කියන කෘතිවලත් ඔහු දරුණු පාපී රජෙකු ලෙසයි හඳුන්වා දී ඇත්තේ. ඒ වගේම මේ පොත්වල ඔහුව හඳුන්වන්නේ රුදු දෙමළා, නපුංසක දෙමළා, පවිටු දෙමළා ආදී වශයෙන් දෙමළ විරෝධයකුත් දරුණුවට ඒ කෘතිවලින් මතුවෙනවා. නමුත් ඔහු නායක්කාර් පරපුරකින් පැවත එන්නෙක්. වඩුග කියන්නේ දෙමළ නෙමෙයි. උතුරු ඉන්දියානු සම්භවයකුයි ඔහුට තිබෙන්නේ. නමුත් ඔහු උපන්නේ ලංකාවේ. ඉගෙන ගත්තේ හාමුදුරුවන්ගෙන්. ඉතිං ඔහුට දෙමළ රජකෙනෙක් කියන එකේ කිසිම තේරුමක් නැහැ."

"ඔහු සම්බන්ධයෙන් පවතින ජනප්‍රියම කතා ප්‍රවෘත්තිය වන්නේ ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන්ට දඩුවම් කළ ආකාරයනෙ. මේ අධ්‍යනය තුළ දී අපට දකින්න පුළුවන් වුණා මේ විදියට ඔහු ගේ නාමය ලාංකික ප්‍රජාව තුළ ඉතිරි කර ඇත්තේ එවක යටත් විජිත පාලකයා වූ ඉංග්‍රීසීන් විසින් කන්ද උඩරට දිනාගැනීම සඳහා දියත් කළ බොහෝම සූක්ෂම කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් විදියට බව"

"මේ කරුණු සනාථ කිරීම සඳහා මෙහි දී දේශීය මූලාශ්‍ර වගේම ඊට සමකාලීන ව ඉංග්‍රිසි ආණ්ඩුව යටතේ සේවය කරපු එතරම් අප අතර ජනප්‍රිය නොවූ ඉංග්‍රිසි ලේඛකයන්ගේ මූලාශ්‍රය ඇසුරු කරුනු ලැබුවා. ඉතිං ඇත්තට මේ දේවල් මගේ ඔළුවට ආවේ, අර හෝටලයේ ඔසවා තිබුණු ඉංග්‍රීසි කොඩිය නිසා. මට දැන ගන්න ලැබුණා මම මේ පොතට විස්තර හොයද්දි මෙහෙම පොතක් ලියනවා කියලා ආරංචිවෙලා හෝටලය අයිති උදවිය ඒ කොඩිය ඉවත් කළා කියලා."


"ඔබ සඳහන් කළා මෙය බ්‍රිතාන්‍යයන්ගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් නිසා ඇති වූවක්ය කියා?"

"මං කලින් සඳහන් කළා වගේ අප සොයා ගිය මූලාශ්‍රය තුළින් අපට දකින්න ලැබුණා ඔහු ඔය කියන ආකාරයේ බේබද්දෙක්වත් සල්ලාලයෙක්වත් මීනීමරුවෙක්වත් නොවන බව. ඊළඟට අපි කල්පනා කළා එහෙම නම් මේ දේ සිද්ධ වුණේ කොහොමද කියලා. රාජසිංහ රජුරුවන්ව අල්ලාගත් අවස්ථාවේ එක්නැලිගොඩ රජුට දරුණු අන්දමින් පහර දෙමින් රජ්ජුරුවන්ගෙ බිසෝවරුන් නිරුවත් කර කනකර ආභරණ ගලවා ගනිද්දිත් රජු බොහෝම උපේක්ෂා සහගතව බලාගෙන සිට රජෙකුට මෙහෙමද සලකන්නෙ කියලයි අහල තියෙන්නේ."

"රාජසිංහ රජ්ජුරුවන්ව පිටුවහල් කිරීම සඳහා කොළඹට රැගෙන එද්දි ඔහුගේ උදාර බව කෙසේද යත් ඔහුට ඇතුළු වන්න කොටු පවුර උඩ සිටි අයට බිමට බසින ලෙස අණකර තිබෙනවා . ජෝන්මාර්ෂල් කියලා රජුරුවන්ව බාරවෙච්ච වෛද්‍යවරයෙක් සිට තිබෙනවා. ඔහු මේ අන්දමින් පැහැදිලි කරනවා රජුරුවන්ගේ උදාර බව විශිෂ්ටත්වය. ඔහු සඳහන් කරනවා අඩු තරමින් රජ්ජුරුවෝ ඔවුන්ගේ කුඩා දරුවන් පවා බොන වයින් වීදුරුවක් හෝ පානය නොකළ බව. ඒවා ලබා දුන්නත් ඔහු ඒවා ප්‍රතික්ෂේප කර තිබෙනවා."

"මෙයින්ම පේනවා ඔහු බීමට ඇබ්බැහිව සිටි බේබද්දෙකු නොවන බව. අනෙක් අතින් ඉංග්‍රීසි ලේඛකයින් තිදෙනකුම අවධාරණය කරනවා රජු දඬුවම් දුන්න නම් දඬුවම් ලබා දුන්නේ උඩරට තිබුණු නීතිය අනුව මිසක් ඔහුගේ හිතුමනාපයට නොවන බව. අනෙක ඔහු රජ වන්නේ වයස අවු 18ක් තරම් කුඩා වයසකදි. ඒ කාලයේ දී දැඩිව පිළිමතලාවේගේ ග්‍රහණයට හසුව සිටි ආකාරය, පිළිමතලාවේගේ කුමන්ත්‍රණ පසුව දැනගෙන රජු පිළිමතලාවට අවනත නොවුණු විට ඔහුට විරුද්ධව ද්‍රෝහීකම් කරනවා. ඒ ද්‍රෝහිකම්වල ප්‍රතිඵලයක් විදියට තමයි ඇහැළේපොල එක්නැලිගොඩ වගේ පිරිසක් පිළිමතලාවේගේ පාර්ශ්වය ගෙන රජුට සතුරු වන්නේ. නමුත් මුලසිට මේ සියල්ල පිසුපස සිටිමින් මෙහෙයවන පුද්ගලයා තමයි ජෝන් ඩොයිලි."



"ඒ කාරණාව ඇහුවාම නම් මෙහෙම අහන්නේ නැතුව ඉන්න බැහැ. ඇත්තටම ඒක සිද්ධවෙන්නේ කොහොමද?"



"1798 රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ලෙස පත්වීම ලබා ලංකාවට එන්නේ. එතකොට ඒ අවුරුද්දෙම තමයි ශ්‍රී වික්‍රම රජවෙන්නේ. ඒ වෙනකොට ලංකාව එංගලන්තයේ ක්‍රවුන් කොලනියක් විදියට ප්‍රකාශයට පත්කර තිබුණා. බ්‍රිතාන්‍ය ඒ කාලේ ප්‍රංසයත් සමඟ යුද්ධයකට මුහුණ දුන්නා. ඒකට කිව්වේ ඒනියන් යුද්ධය කියලා. ඉන් විශාල පරාජයකට ඉංග්‍රීසීන්ට මුහුණ දෙන්න සිදුවුණා. ඒ නිසා බටහිර රටවල් යටත් කිරීම නවතා ආසියාතික රටවල් යටත් කරගැනීමට ඔවුන් පෙළඹුණා. එහි දී කේන්ද්‍රස්ථානයක පිහිටි රටක් නිසා මුලින්ම ඔවුන් යටත් කර ගත යුතු රටක් ලෙස සැලකුවේ ලංකාවයි. ඒ නිසා මුලින්ම ආසියාවේ ක්‍රවුන් කොලනියක් වන්නේ ලංකාව. හතරවන ජෝර්ජ් රජ්ජුරුවන්ට යටත් රාජ්‍යයක් නිසා ලංකාවේ රජ කෙනෙක් ඉන්න බැහැ. ඒ නිසා බ්‍රවුන්රිග්ට නියම වෙනවා මේ රටේ සම්පුර්ණ බලය ඔහු යටතට ගන්න. 1803 දි බ්‍රවුන්රිග්ගේ සැලසුම් අනුව උඩ රට යටත් කරගැනීමට යෑමේ දී ඔවුන් නොසිතූ විරූ ප්‍රහාරයකට ලක්වෙනවා."



"මෙලෙස දරුණු පරාජයක් ඉංග්‍රීසීන්ට අත්වෙන්නේ මෙරට රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහගේ සූක්ෂම වැඩ පිළිවෙල නිසා. ඒ අනුව 1803 දී එය මෙහෙයවන පුද්ගලයා ඇතුළු ඉංග්‍රීසීන් සහමුලින්ම කන්ද උඩරට රාජ්‍යට යටත්වෙනවා. මේ ලැබූ දරුණු පරාජයත් සමඟ ඔවුන් උඩ රට ඇල්ලීමේ අදහස සහමුලින්ම අතහැර දමනවා. එහෙම අතහැරලා හිටපු වෙලාවක තමයි හොඳින් පුහුණු කළ රහස්පරීක්ෂකයකු වූ ජෝන් ඩොයිලි ලංකාවට එන්නේ. ඔහු කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ උගත් දැනුමැති පුද්ගලයෙක්. ඔහුට පැවරෙන රාජකාරිය තමයි උඩරට රාජ්‍ය දුර්වල කර, ක්‍රමානුකූලව දියකර හැරීම. ඒ සැලැස්ම අනුව ඩොයිලි දකුණේ බලවත් භික්ෂුවක්ව සිටි මාතර කරතොට ධර්මාරාම හමුදුරුවන් ළඟ සිංහල ඉගෙන ගැනීමට යනවා. උන්වහන්සේ දේශපාලනික වශයෙන් හොඳ සබඳතාවයන් පැවැති භික්ෂුවක්. එතකොට ඉතාම පැහැදිලියි, ඔහු කරතොට හාමුදුරුවන් ළඟ නතරවෙන්නෙම ඔහුගේ සැලැස්ම උඩ. ඒ අනුව ඔහු භික්ෂූන් වහන්සේලා සමඟ සමීප සම්බන්ධතා ගොඩනගනවා. එමගින් උඩරට නායකයින්ට කිට්ටු වීමට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ක්‍රමයෙන් රජූ පිටුවහල් කරන තත්ත්වයට පත්වනකම් මේ සැලසුම් ක්‍රියාත්මක වුණේ කොහොමද කියන කාරණාව මගේ මේ කෘතිය තුළ ඉතාම විශ්වාස දායක මුලාශ්‍ර මගින් සනාථ කර තිබෙනවා."



"මොනවද ශ්‍රී වික්‍රම රජු කළ නිර්මාණ විදියට අද අපිට දකින්න පුලුවන් ?"

"පේරාදෙණියෙ තියෙන උද්‍යානය පවා රජුරුවො හදපු එකක්. ඒක රාජකීය උද්‍යානය. පස්සේ කාලේ සුද්දෝ එකට රාජකීය උද්භිද උද්‍යාන (Royal botanical Garden) කියා නම් කළා. අපේ ගොඩක් අය හිතන්නේ මේ සුද්දා හදපු උද්‍යානයක් කියලා. බෝගම්බර වැව, නුවර වැව, වලාකුළු බැම්ම, මාළිගය, සතර දේවාල ඇතුළු මුළු රාජ ගෘහයම ඔහුගේ අනුදැනුම මත නිර්මාණය වූ ඒවා. පුදුමය නම් අද මේවා ගැන කිසිවෙක් කතා නොකිරීමයි."

"ඔබ මීට ප්‍රථම දුටුගැමුණු රජු පිළිබඳව කළ ‘දුටුගැමුණුගේ හෘද සාක්ෂිය (Dutthagamini and the Buuddhist Conscience)‘ ගැන පෙරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආචාර්ය වරයෙක් වසර තිහකට පමණ පසුව පිළිතුරු කෘතියක් රචනා කර තිබෙනවා."

"ඒවා ලිව්වට කිසිම වරදක් නැහැ. මම සත්‍ය වචනයක් ලිව්වට ඒක පිළිගන්න ඕන නෑ මිනිස්සු. මම හිතනවා මේක ඇත්ත කියලා. එහෙමයි කියලා මේක පිළිගන්න වටින්නේ නැහැ. ඒකට තර්කයක් තියෙන්න ඕන විවාදයක් තියෙන්න ඕන. වාද විවාදවලට මේකෙන් උනන්දුවක් දෙනව නම් මට ඒ ගැන සතුටුයි. මටත් කීප දෙනෙක් ඒ බව පැවසුවා. නමුත් එය කියවන්න ඉස්පාසුවක් තිබුණේ නැහැ. ඇරත් මං කියෙව්වයි කියලා ඕවට උත්තර දෙන්න යන්නේ නැහැ. දැන් මේ පොත ගැන වුනත් කාට හරි වෙනත් මතයක් තියෙන්න පුළුවන්. එයාටත් මේකට මොකක් හරි ලියන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. කවුරුහරි බැරෑරුම්ව මේ කෘති කියවනව කියන එකනේ ඒකෙන් පේන්නේ. ඒක සතුටට කාරණයක්. මම කරන්නේ මම දකින දේ අධ්‍යයනයෙන් යුතුව පාඨකයාට ඉදිරිපත් කිරීම පමණයි. එය බාරගන්න හෝ නොගන්න එක පාඨකයා සතු කාර්යයක්. මේවා සිංහල ලේඛකයෝ තවදුරටත් විග්‍රහ කරලා පරික්ෂා කරලා බලන්න ඕන."

"මේ පොත කියවන කෙනෙක් ඔබ අතීතකාමය (nostalgia) පිළිබඳව අදහස් දරන්නෙකු ලෙස හැඳින් වුවොත්? ඒක ඇත්ත නේද?"



"අතීතකාමයක් නැතිව කොහොමද ජීවත් වෙන්නේ. මොකක් හරි වුණොත් අපි කල්පනා කරලා බලනවා. කවුරුවක්වත් මේ ගැන කලින් ලියලා නැහැනේ කියලා. ලියලා තියෙනවා නමුත් බොහෝම දරුණු විදියට. නමුත් එහෙම සිද්ධියක් වු‍ෙණ් නැහැ. අධිරාජ්‍යවාදය (imperialism) ඇති කිරීම සඳහා ගෙනගිය කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් කියන එකයි මට මේකෙන් පෙන්නන්න ඕනෑ කළේ. සිංහල පාඨකයන්ටත් නුදුරේදීම මේ පොත කියවන්න ලැබේවී. මගේ අධීක්ෂණය යටතේ එච්.ජී.දයාසිසිර මහත්තයා තමයි ඒ පොත සිංහලයට නඟන්නේ. ‘නෙරපූ රජු ශ්‍රී වික්‍රම ප්‍රත්‍යාවලෝකනය‘ කියන නමින්."



Friday, June 2, 2017

510. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 36 - සූටි කයියා එළියට පැනීම, කොස් පොළොස් හැත් ගැසීම සහ මගේ අත්තම්මා....


මගෙ අත්තම්මගෙ මූණ බොහෝදුරට මෙන්න
මේ වගෙ...Google images

මදැයි වෙච්චි දෙයක්. අපෙ විවාහ සංවත්සරේට ඔය පොඩ්ඩක් මොනවහරි ලියල ජාම් බේරගන්නං කියලයි මම හිතුවෙ. හෙහ්,හෙහ්....ඔන්න නොහිතූ විදිහට වැඩේ දිග්ගැස්සිල පොඩි ප්‍රොජෙක්ට් එකක් සයිස් එකට ආව. මේ ලියන්නෙ තුන්වෙනි පෝස්ට් එක. තව දෙක තුනක්වත් ලියන්ට වෙයිද මන්ද..හරි හරි අවුලක් නෑ..මක් කොරන්ටද? ලියන්ට උනොත් ලියනව. අපි එහෙමයි. 

ඔය ප්‍රොජෙක්ට් කියන ඉංගිරිසි වචනෙට කියන්නෙ ව්‍යාපෘතිය කියලනෙ. ඔය වචනෙ භාවිතයට ඇවිදිං වැඩි දවසක් නෑ මම දන්න විදිහට. ඔන්නම් වැඩිම උනොත් අවුරුදු තිහක් තිස්පහක් වගෙ ඇති. මම ඉතිං එහෙම කියන්නෙ මගෙ වයසත් එක්ක සසඳල. අවුරුදු තිහක් වගෙ වයස පුඟුලෙකුට නම් ඉතිං අවුරුදු තිහයි කියන්නෙ මහ දිග කාලයක්. 

නමසිය අසූ ගණංවල මහවැලි ප්‍රොජෙක්ට් එක හැඳින්වුනෙ මහවැලි ව්‍යාපෘතිය කියල නෙවෙයි මහවැලි ව්‍යාපාරය කියල. අපේ බොස් Resident Project Director ඇවිල්ල නේ.ව්‍ය.අ. ඒ කිව්වෙ නේවාසික ව්‍යාපාර අධ්‍යක්ෂ. 

හැබැයි ඊට කලින් මම සේවය කරපු අභයගිරි ප්‍රොජෙක්ට් එක නම් හැඳින්වුනෙ අභයගිරි ව්‍යාපෘතිය කියල. සමහරවිට අපේ අධ්‍යක්ෂවරු විදිහට හිටියෙ බොහෝවිට සිංහල මහාචාර්යවරු හින්ද වෙන්න ඇති. මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය වික්‍රමගමගේ, මහාචාර්ය රත්න විජේතුංග, මහාචාර්ය පී.ඊ.ඊ. ප්‍රනාන්දු ඒ විද්වතුන් අතරින් කීප දෙනෙක්. වාස්තු විද්‍යාව සම්බන්ධ උපදේශක කටයුතු භාරව හිටියෙ සුරත් වික්‍රමසිංහ සමාගම.

හරි දැං එමු ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවට. පහුගිය බෘහස්පතින්ද කොටසක් ලිව්වට පස්සෙ දවස් දෙක තුනකින් ආයම ලියන්නම්ය කියල හිතුවට කොහෙද?....මේ දවස්වල ඇඟට හරිම අමාරුයි. රස්නෙ ඇවිල්ල හිටපු ගමං සෙන්ටි 44 /45 ටත් යනව.

ඊට අමතරව මේ පහුගිය ටිකේ ලංකාවෙ ඇතිවෙච්චි ගංවතුර කේස් එක හින්දත් හිත ටිකක් හෝන්දු මාන්දු වෙලා තිබ්බෙ. ඇයි අප්පේ ලක්ස ගාණක් අනාත වුනානෙ. අපෙ අප්පේ ඉතිං දහදුක විඳල ණය තුරුස් වෙලා හම්බ කරගත්තු සබ්බ සකල මනාවම ගංවතුරට ගහගෙන ගියාම මිනිස්සු මොන හිතකිං ඒ දුක් ගින්දර උහුලන්ටද නේද? හිතන කොටත් හිත අකම්පාල වෙලා යනව.

අපේ ශ්‍රංග කොලුව මීට කාලෙකට ඉස්සරවෙලා ගංවතුර ගැන ලියපු පෝස්ට් එකකට මම ලියපු කමෙන්ට් එකක් මේ. මේ දිනවල අදාලත්වය කරණ කොටගෙන නැවත පළකරන ලදී.

ඔය ගංවතුරට පාර යට උනාම නිකං අතපොරෝගෙන ඉන්ට එපල්ල බොල. කොල්ලො උනහම ව්‍යාවසායකත්වය ප්‍රදර්සනේ කොරන්ට ඕන. ඒ කියන්නෙ Entrepreneurship කොටිම්ම කිව්වොත් බිස්නස් මයින්ඩඩ් වෙන්ට ඕන. ගංවතුරෙ වලවල්වල වැටිල නැවතිල තියෙන වාහන තල්ලු කරල ගතමන්ට් එකක් හොයාගන්ට තිබ්බනෙ බොලාට ඔය කාලෙට. 

ඒ කාලෙ මනම්පිටිය පාර අනිවා දෙසැම්බර් මාසෙ යට වෙනව. ඒ වැස්සට කියන්නෙ හත්දා වැස්ස කියල . දවස් හතක් එක දිගට වහිනව. අපිත් ඒ කාලෙ යනව ගංවතුර ආතල් එක බලන්ට. 

මෙන්න බලනකොට අපෙ චෙක් රෝලෙ අබූබකර්ගෙ මල්ලිත් ඉන්නව කොල්ලො රෑනත් එක්ක වාහන තල්ලු කරන වැඩේට බැහැල. ඕකගෙ නම මුස්තාපා. අබූබකර් වෙනුවට සමහර දවස් වලට වැඩට ඇවිල්ල මම ඕකව අඳුනනව. 

"මුස්තා..උඹලටනම් ගංවතුරෙං වාසියි නේද බං?" 

එතන ඇළ කණ්ඩිය උඩ ට නැඟල ගල් තලාවෙ වාඩිවෙන ගමං මම ඇහුව. ඔය පාරෙ තමයි පාසිකුඩා එහෙම යන්නෙ. කොළඹ පැත්තෙ හොඳ ඇහැට කණට පේන කෙල්ලො ජීන්ස් එහෙම උඩටම නමාගෙන සෙරෙප්පු සපත්තු අතේ අරගෙන " බ්ලඩි ෂිට්..වට් ද හෙල් සිස්. බිස්.." .කියකිය මූණු රතු කරගෙන යනහැටි බලන්ට ලස්සනයි. ඒ හින්ද අපිත් නිතර දෙවේලෙ ඔතනම තමයි. 

" ඔව් මහත්තය දන්නෙ නැද්ද ඉතිං? මිනිස්සුන්ටත් උදව්වක් කරල කියක් හරි හොයාගන්නව අපිත් ඉතිං….." මුස්තා හිනාවෙලා කිව්ව.

ටිකකිං මම දැක්ක එතනම එහා පැත්තෙ පලු ගහට හේත්තු කරල තියනව අලවංගු දෙකකුයි උදැල්ලකුයි. 

"මුස්තා මොකටද බං මේ අලවංගුයි උදැල්ලකුයි?" මම ඇහුව. "වාහනේ ගොඩගන්ඩම බැරිවුනොත් රෝදෙට තියල අල්ලන්ටද?" 

"නෑ මහත්තය….. වාහන එන්නෙ නැතිවෙලාව බලල අපි ඔව්වයින් වලවල් නැති හරියෙ වලවල් කපනව" මුස්තා කිසි ගාණක් නැතුව කිව්ව. 

ඉතිං එහෙනං ආයම එමු වර්තමානයට....

ඔෆිස් එකේ එක දිගට පැය 10 1/2 ක් වැඩ කරල එළියට බැහැපු ගමං රස්නෙ කණ හරහා වදින්නෙ හරියට නමසිය හැත්තෑවෙ දශකයෙ (යස් ඔෆ් කෝස්... දෝස් ගුඩ් ඕල්ඩ් ස්වීට් සෙවන්ටීස්.....වට් එල්ස්?...හෙහ්...හෙහ්...හෙහ්...) කෑගල්ලෙ මිරන්ඩාස් බේකරියෙ පාන් පෝරණුව ඉස්සරහ පංකොළ මල්ලත් කිහිල්ලෙ ගහගෙන උණු උණු පාං රාත්තල් තුනක් ගන්ට නොඉවසිල්ලෙං බලා ඉන්න මගේ මූණට පෝරණුවෙ යකඩ දොර ඇරිය ගමං හාෂ් ගාල හොට් එයාර් බ්ලාස්ට් එක වදිනව වාගෙ.

ඉතිං ඔහොම ඇඟපත තලා දැම්මහේ අතානාත්තු උනහම අපෙ අත්තම්ම ඒ දවස්වල කියන්නෙ.."අනේ සුට්ටි පුතේ අද මගෙ ඇඟපොත රා මටුල්ලෙං ඇදල පෙරුව වගෙ රිදෙනව අප්පා…" කියල. 

ඔය රා මටුල්ල කියන්නෙ හරියටම මොකක්ද කියල උන්දැ මියෑදෙනකනුත් මට අහගන්ට බැරිවුනා නෙව. මම හිතන්නෙ ඔය රා බොන්ට කලිං පෙරනවනෙ. මී මැස්සො එහෙම අයිං කරන්ට. එහෙම පෙරන්ට ගන්න මොකක් හරි දෙයක් තමයි මටුල්ල කියන්නෙ.

අපෙ අත්තම්මගෙ තිබ්බ ඔය වගෙ අපූරු වචන මහ ගොඩක්. 

පොළොස් හෝ කොස් හෝ මැල්ලුමට උයන්ට සුට්ටං කෑලි වලට කපන හැටි දැකල තියද? ඔය වැඩේට අපේ ගෙවල්වල තිබ්බ විශේෂ කැත්තක්. ඒ කැත්තෙ කැපෙන පැත්ත නෙවෙයි අනික් පැත්තෙ කකුල් තුනක පොඩි ආධාරකයක් යකඩෙන්ම හදල පාස්සල තිබ්බ. ඒ ආධාරකය පොළවට තිබ්බම කැති තලේ කෙලිං හිටිනව උඩ බලාගෙන. අත්තම්ම කරන්නෙ කොළොම්බක රෙද්ද එහෙම හදාගෙන පට්ටල වෙලා වාඩිවෙලා අර කැත්තෙ මිට මැදක් හරියෙං පාගගන්නව දකුණු කකුලෙං. අය නෑ කැත්ත නෝ හෙල්ලුං පොල් මැල්ලුං...

ඊට පස්සෙ දෙකට හෝ හතරට කපපු කොසේ හෝ පොළස (කපන්නෙ දෙකටද හතරටද කියල තීරණය වෙන්නෙ කොසේ හෝ පොළසෙ සයිස් එක අනුව) අරගෙන පරිස්සමට අර කැති තලේ ගහනව එක එක පැත්තට හරව හරව. එතකොට වෙන්නෙ පොළොස් හෝ කොස් සුට්ටං කෑළි කැපි කැපි වට්ටියට වැටෙනව. ආ ඒක කියන්ට බැරි වුනානෙ. ඔය කැත්ත තියන්නෙ තරමක් විසාල පං හෝ පොල්කොළ වට්ටියක් උඩ.ඉතිං කැපෙන කොස් හෝ පොළොස් කෑලි කෙලිම්ම වැටෙන්නෙ ඒ වට්ටියට. 

මම පොඩි එකා කාලෙ හරිම ආසයි ඔය වැඩේ බලා ඉන්ට. ඉතිං අත්තම්ම දුම එහා පැත්තෙ ගහල තියෙන මහ විසාල පරාළ ඇණේ රඳවල තියෙන වට්ටියකුයි, දොර මුල්ලෙං කැත්තයි ගත්තු ගමං මමත් එනව මගෙ පුංචි කොළොම්බත් කරගහගෙන.

"හා..හා..සුට්ටි පුතේ කිට්ටුවට එහෙම එන්නෙ නෑ හොඳද? මේ කැති කොටේ උඩ එහෙම වැටුනොත් මොන දෙයියන්ට කියන්ටද ආය?"

අත්තම්ම එහෙම කිව්වෙ මොකද දන්නවද? පොඩි එකා කාලෙ මගෙ තිබ්බ පොඩි Accident prone ගතියක්. ඒ කියන්නෙ හදිසි අනතුරු සිදුවන සුළු….

"නෑ නෑ අත්තම්මෙ මම පරිස්සං වෙන්නංකො…" කොළොම්බ බිම තියල ඒක උඩ පට්ටල වෙලා ඉඳගන්න ගමං මම කියනව. 

"ඔන්න සූටි කයියත් එළියට පැනල හිහ්..හිහ්.." අත්තම්ම බඩත් හොල්ල හොල්ල හිනාවෙනව. 

මම ඇඳගෙන ඉන්න බාජු කොට කලිසමෙං කොයි වෙලෙත් මයෙ සූටි කයිය එළියට පයිනව. "සික් මේ අත්තම්මත් කියන එව්ව…" ලැජ්ජාවෙං රතු වූ මුහුණින් යුතුව මම කළිසම හදාගෙන සූටි කයිය හංග ගන්නව.

සූටි කයිය කිව්වම සෝක් කතාවක් මතක් වුනා..අර අර..අර තාපසයගෙ කතාව..මම හිතන්නෙ කට්ටිය දන්නව....

ඔහොම කොස් හෝ පොළොස් කපනවට අපෙ අත්තම්ම කියන්නෙ හැත් ගහනව කියල.

"දුව.... දැං පුතා එනවත් ඇති කෑමට... මම විගැහිං මේ පොළොස් කෑල්ල හැත් ගහල ගන්නංකො..දුව අනික් එව්ව බලන්ටකො…"

අත්තම්ම එහෙම කියන්නෙ අපෙ අම්මට. පුතා කියල කිව්වෙ අපෙ අප්පච්චිට. අත්තම්මගෙ පුදුම ආදරයක් ඒ වගේම ගෞරවයක් තිබුනෙ අපෙ අප්පච්චිට.

" මේ ගෙදරට එන ඕනම කෙනෙක් හිතන්නෙ මම අම්මගෙ ලේලි...අර ඉන්නෙ අම්ම ගෙ පුතා කියල.." අම්ම සමහරවෙලාවට අප්පච්චිව පෙන්නල එහෙම කියනව හිනා වෙවී.

කවදකහරි මගෙ නැන්දම්මගෙනුත් මට එහෙම ආදරයක් ගෞරවයක් ලබාගන්ට පුලුවන් වෙයිද කියල මම ටිකක් විත ලොකු වෙලා ඔය වගෙ දේවල් ගැන දැනුම් තේරුම් වෙන කාලෙ හිතල ඇති අනන්ත. හැබැයි ඇස් වහක් කටවහක් නෑ මගෙ නැන්දම්මගෙනුත් ඒ වගේම සැළකුම් ගන්ට මට වාසනාව තිබ්බ.

ඉතිං ඔය අත්තම්ම කියන හැත් ගහන කතාව ගැන සෑහෙන දුරට කල්පනා කලාට මට ඒ කාලෙ ඒක මීටර් වුනේ නෑ. පස්සෙ කාලෙක තමයි මට හිතුනෙ අත්තම්ම මේ හැත් ගහනව කියන්නෙ "Hacking" කියන එකට නේද කියල. වර්තමානෙදි සපුරාම වෙනත් අර්ථයකින් භාවිතා කෙරුනත් හැකිං කියන වචනෙ මුල්ම තේරුම කපා කොටා දානව පෙති ගහනව වගෙ දෙයක්.

පරිගණක වලට අනවසරයෙන් ඇතුළු වීමට හැකිං කියන වචනෙ යොදාගත්තෙ මේ බොහොම පස්සෙ කාලෙක. ඇත්තම කිව්වොත් ඊයෙ පෙරෙයිද.

අපෙ අත්තම්ම ගැන ලිව්වැහැකි පෝස්ට් එකක් නෙවෙයි පෝස්ට් තිහ හතළිහක්. උන්දැ ඒ තරමට සුවිශේෂී ගැහැණියක්.

1897 අවුරුද්දෙ රඹුක්කන කංසල ගමුවෙ ඉපදිල වයසදහසයක් වගෙ වෙද්දිම තමන්ට වසර පහළවක වගෙ වැඩිමල් කලින් විවාහවී බිරිඳ මියගිය පුරුෂයකු හා දීගගොස් තම ජීවිතය කෙසේ හෝ සාර්ථක කරගත් දිරිය ගැහැණියක පිළිබඳව නොහොත් මගේ අත්තම්මා පිළිබඳව කථාව මම අනිවාර්යයෙන් දවසක ලියනව. 

මේ එතෙක් ඇය පිළිබඳව හැඳින්වීමක් වශයෙන් මම කලකට ඉස්සර ලියපු සටහනක්....

Saturday, May 27, 2017

509. ජීවිතේ ගඟුලක්, එලෙසම සෙනෙහසද කවියක්....


නුවර  වැව අබියස කසුන් සහ සත්‍යා..ඡායාරූපය - ඉඳුවර ගුණසේකර

ජීවිතේ ගඟුලක්,
ගලායන නඟා රැළි සහසක්,
සෙනෙහසත් කවියක්,
ලියැවුනු ඔබ නෙතඟ රහසක්,

ප්‍රේමයේ අබිමන්,
පසක් කල රත ලවන මදහස්,
නෙතට නොව කවදත්,
සිතට දැනුනේ ඔබේ මුදු සෙනෙහස්,

පෙර බවෙක නිකැලැල්,
සිටම බැඳි පෙම් දමක අනුහස්,
ඔබේ හද පුදසුන්,
මතම පිදුවෙමි සෙනෙහෙ මල් කැකුළක්,

දසත මල් උයනක්,
විකසිත සෙනෙහසක සුවඳක්,
සසර මඟ වෙහෙසින්,
මුදවන ඔබේ සෙනෙහස……….
මහමෙරක්,
මසිත් සනහන…..
ස්නේහයේ ගඟුලක්,

කසුන් නයනජිත් සහ සත්‍යා නිර්මාණී……

මා දයාබර සොයුර, සොයුරිය…...

ඔබ දෙදෙනගේ සෙනෙහස සසර වසන තුරු නොවෙනස්ව පවතීවා යයි ඉත සිතින් පතන්නට රන්දිකා ද මා හා එක්වන්නීය!!!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...