Wednesday, July 5, 2017

516. ඉයන්ගේ පොල් මැල්ලුං කතන්දර සහ ඉක්බිති හතරවන අසරුවා පැමිණියේය…..


ගාළු කොටුපවුරෙහි දර්ශනයක් - Google Images



මේ ඉයන් එක්ක මේ ලෝකෙ දෙයක් කොරන්ට බැරි හැටියක් දෙයියම්පා..එක එක කාලෙට එක එක රැළි ගේනව. ප්‍රියතම සිංදු දාසයක් ගැන එක පාරක් ලියල මේකෙ ආය වෙන වැඩක් කොරන්ට උනේ නෑ. හැමෝම එක්කල සිංදු තෝරන්ට ගත්ත හිටු කියල. ඒ කොහොම උනත් ඒ රැල්ලෙං අවාසියක් උනේ නෑ. අපූරු සිංදු බර ගාණක් අපිට අහන්ට ලැබුන. ඒ වගේම සමහරු නිකම්ම සිංදුව දාන්නෙ නැතුව ඒ ගැන සුට්ටං පසුබිම් කතාවක් වගෙ එහෙකුත් ලියල තිබ්බ. ඒ සමහර කතන්දර හරිම චමත්කාරජනකයි.


ඔන්න මේ ඊයෙ පෙරේදා ආයම ඉයන් අභියෝගයක් කලා පොල් මැල්ලුම් ෂානරයෙ කතාවක් ලියන්ටය හොඳම කතාවට ඉයන් ගානෙ තෑග්ගකුත් දෙනවය කියල. ඉතිං ඔය තරඟයෙ විනිශ්චය බාරවුනේ මට. දැං ඉතිං බාරදුන්නු වැඩේ කොරන්ටත් එපාය. අනික වැඩක් කරනකොට පිළිවෙලක් තියෙන්ට එපාය. ලෙඩා මළත් බඩ සුද්ද වෙන්ට ඕනනෙ. 

ඒ හින්ද මේ පොල් මැල්ලුම් ෂානරයෙ කතන්දර කියන්නෙ මොනවද? එව්වයෙ නිර්ණායක (Criteria) මොනවද කියල යම් අදහසක් ගන්ට එපාය. ඒ හින්ද තරඟෙට ඉදිරිපත් කරපු කතන්දර කියවන්ට ඉස්සරවෙලා මම කලේ මේ අභියෝගය ඉදිරිපත් කරමින්  ඉයන් ලියපු සටහන ආයම බලන එක. ඒ සටහනේ මෙන්න මෙහෙම කියනව ඉයන්...



උපුටාගැනීම 

එකිනෙකට සම්බන්ධ නැති කෙටිම කෙටි කෙටිකථා තුනක් කලින් ලියන්න. ඒ සඳහා ඔබ දැනටමත් ප්‍රසිද්ධ කර ඇති කථා එකකුත් හෝ දෙක තුනකුත් යොදාගත්තට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒ කථා තුන එකිනෙකට වෙනස් කථා තුනක් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ආදර කථාවක්, අතීතකාම කථාවක්, ත්‍රාසය, සත්‍ය කථාවක් වගේ වෙනස් කථා තුනක් ගන්න එක වඩාත්ම හොඳයි. එහෙම නොවුණත් ප්‍රශ්ණයක් නැහැ.



ඊලඟට එක කථාවක එක ඡේදයක් මැල්ලුම් කථාවට කට් පේස්ට් කරන්න. දෙවෙනි ඡේදය හැටියට අර තුනෙන් වෙන කථාවකින් ඡේදයක් කට් පේස්ට් කරන්න. ඊලඟ ඡේදයට තව කථාවකින් ඡේදයක් දෙකක් ආදී වශයෙන් කට් පේස්ට් කරමින් මේ කථා තුන එක මැල්ලුම් කථාවකට හොඳට අනන්න. මැල්ලුම් වගේම අනන තරමට තමයිළු රස. පොල් මැල්ලුම හොඳට ඇනුවම පොල් කොටස මුල ඉඳලම ඒ පාටට, ඒ රසට තිබුණ වගේ පේනවනෙ. ඒ නිසා හොඳට ඇනීම තමයි මේ තියෙන්නේ කථා තුනක් නොව එක කථාවක් කියල කියවන්නා හිතන්නේ. 


මේ අවස්ථාවෙදී හෝ කථා තුන ලියන මුල් අවස්ථාවෙදී කථා තුනම සම්බන්ධ කරන දෙයක් පාවිච්චි කළොත් මැල්ලුමට හොඳට දෙහි දැම්ම වගේ තමයි. ඒ කියන්නේ මුලින් ලියපු කථා තුනේම එක පොදු ස්ථානයක් එකතු කිරීම. ඒ කියන්නේ ඒ තුනේම විහාර මහා දේවී පාක් එකේ යමක් වෙනවා. එහෙම නැත්නම් කථා තුනේම කථා නායකයා හෝ එක චරිතයක් එකම නමකින් ඉන්න එකම කෙනෙක් ආදී වශයෙන්. එහෙම නැත්නම් කථා තුනේම එක වෙලාවක වෙන එක සිද්ධියක් පොදු කරන්න. උදාහරණයකට බෝම්බ පිපිරීමක් වගේ. එහෙම නැත්නම් එක කථාවක කෙනෙක් සිගරට් එකක් බීල විසිකරණකොට ඒක අනික් කථාවේ චරිතයේ ඔඩොක්කුවට වැටිල ගිණිගන්නව වගේ දෙයක්. 

/උපුටාගැනීම අවසන්



ඉතිං මේ සටහන කියවගෙන යද්දි මට එක පාරටම මතක් උනා දෙයියන්ටම ඔප්පු වෙච්චාවෙ..මේ විදිහෙ කතාවක් මම කලිං ලිව්වනෙ අවුරුදු තුනකට වගෙ ඉස්සර කියල.


මේ කතාව මම ලිව්වෙ හැබැයි ඔය පොල් මැල්ලුං ෂානරයක් ගැන හිතල නම් නෙවෙයි. මගෙ තුංහිතකවත් එහෙම කල්පනාවක් තිබ්බෙ නෑ. මට ඕන වුනේ එදිනට කලින් එකිනෙකා ඇහැටවත් නොදුටු මිනිසුන් හා ගැහැණුන් පස් ගොල්ලක් දෛවෝපගතව සොබා දහම විසින් නිර්මිත බිහිසුණු ව්‍යසනයකට මුහුණදී එකම තැන එකම ආකාරයට මියයන අන්දම පිළිබඳව සටහනක් තබන්නටයි.

මෙන්න මෙහෙමයි ඒ කතාව....



එදින හතරවන අසරුවා පැමිණියේය....When the Fourth Horseman came riding on the second wave... 


මුහුද දෙසින් එක වරම හමා ආ සුළං රැල්ල නයනිගේ කෙහෙරැල් අවුල් කර දැමීය. කණිෂ්කගේ වමතට සිරවී තිබුණු සුරත මුදාගත් ඈ නොඉවසිල්ලෙන් කෙස් රොද හිස පසුපසට තද කලාය. එහෙත් ඇගේ ඇඟිලි වලින් මිදුනු කෙහෙරල නැවත ද දඟ කරන්නට වූයේ ඇයට කරදර කිරීමටම ඉටාගත් කලෙක මෙනි. 

මෙලෙස අකීකරු කෙස් හා ඇය පොරබදන අතර හිටිහැටියේම හැමූ සුළඟ අතුරුදන් වූයේ යතුරක් ඔබා විදුලි පහනක් නිවා දැමූ පරිද්දෙනි. 

සුසුමක් හෙලූ ඇය කණිෂ්ක දෙස නෙත් කොණින් බැලුවේ ඔහුගේ වමතෙහි මෙතෙක් දැවටි සුරත උකුල මත තිබූ පොත් කිහිපය මත තබා ගණිමිනි. 

ඔහු ඉදිරියට නැවී දෙදණ මත රඳවාගත් දෑත මතට බරදුන් මුහුණින් යුතුව ඈත මුහුඳ දෙස බලා සිටියේය. 

කොටු පවුර අසල වූ කොන්ක්‍රීට් අසුනෙහි එකිනෙකා ගැටෙන නොගැටෙන පරිදි හිඳ සිටි ඔවුහු තවත් මිනිත්තු දහයක් පමණ නිහඬතාවයේ වෙලී ගත කලෝය. 

අවසන නිහඬ බව තවත් ඉවසිය නොහැකිවූ කල නයනී සිතට දිරිගෙන හඬ අවදිකලේ ඈත මුහුද දෙස අරමුණකින් තොරව බලා සිටිමිනි. 

"කණිෂ්ක.....'' 

''ම්ම්......'' ඔහු පිළිවදන් දුන්නේ ඇසෙන නෑසෙන හඬිනි. 

''අපි මොකද දැන් කරන්නෙ? '' 

''මට තේරෙන්නෙ නෑ නයනී...මට තේරෙන්නෙ නෑ...'' එවර ඔහුගේ හඬ මඳක් උස් වූවාසේම ඔහු කතා කලේ අසුනෙහි කෙළින් වී ඇගේ වත දෙස ඉඳුරාම බලමිනි. 

''එහෙම කියල බැහැනෙ අනේ... මේකට අපි මොනව හරි කරන්න එපාය....'' 

''කරන්න ඕන නම් තමයි ඒත් අපි මොනව කරන්නද?...දැන් කොච්චර දවස්ද දින පහුවෙලා ?'' 

''සුමාන තුනකටත් වැඩියි..මගෙ කවදාවත් එහෙම වෙන්නෙ නෑ...මේ උනාමයි'' 

නැවත දෙදණ මතට වාරුකල දෑතට හිසෙහි බර දුන් ඔහු කෙස් අතරින් ඇඟිලි යවා හිස පිරිමදින්නට වූයේ ආවේශ වූ කලෙක මෙනි. 

"තාත්ති අද උදේ මගෙන් ඇහුව අලුත් අවුරුද්ද පටන්ගන්ටත් ඉස්සරවෙලා මේ ඉක්මනට ආයෙම ක්ලාස් පටන් ගන්නවද කියල...ටිකක් සැකෙන් වගේ තමයි ඇහුවෙ....'' 

'' .................................'' 

''මට තව වැඩි කාලයක් මේ වැඩේ වසං කරගෙන ඉන්න බෑ.....කණිෂ්ක,'' 

'' .................................'' 

'' මට මැරෙන්න තමයි වෙන්නෙ මූදටවත් පැනල.....'' 

එක්වරම තිගැස්සුණු ඔහු නැවතද කෙලින් වී ඇගේ දෑස් දෙස බලා සිටියේ විපිළිසර වූ දෑසිනි. 

ඔහුගේ හැඟීම් බර දෑස දෙස තවත් බලා සිටිය නොහැකිවූ ඇය දෑස ඉවතට ගෙන අරමුණකින් තොරව වමතෙහි බැඳි අත් ඔරලෝසුව දෙස බැළුවාය. .....පෙ.ව.9.25 

**************************************** 

''ජගත්, කවදද හරියටම නැකත තියෙන්නෙ?......'' කොටු පවුර අසල තණ බිස්සේ එලූ කලාලය මත හිඳසිටි පුෂ්පා ඇසූයේ ඒ අසල හිටගෙන ඔවුන්ගේ කුඩා දරුවන් දෙදෙන මහත් ප්‍රීතියෙන් සිනාසෙමින් එකිනෙකා හඹායන අන්දම සිනාමුසු මුහුණින් නරඹමින් සිටි තම සැමියාගෙනි. 

''ජනවාරි හයට දාගත්ත....බ්‍රහස්පතින්දනෙ...දවසත් හොඳයි.....අනික දවස් දහයක් විතර තියනවනෙ... වැඩ ටික කළබලයක් නැතුව හෙමිහිට කරගත්තෑකි.'' 

වසර හතකට පෙර වැඩිහිටියන්ගේ දැඩි අකමැත්ත මධ්‍යයේ තනි කැමැත්තට විවාහ වූ ඔවුන්ගේ විවාහ දිවියේ මුල් වසර දෙක ගතවූයේ අනන්ත දුක් කම්කටොළු විඳිමිනි. හරි හැටි නිවෙසක් පවා නොමැතිව හිතවතුන්ගේ නිවෙස් වල කාමරයක දිවි ගෙවූ ඒ කාලය නිමා වූයේ ජගත් ට මැද පෙරදිග රැකියාවක් ලැබීමෙන් අනතුරුවය. වසර පහක් එහි ගතකල ඔහු මෙවර පැමිණියේ නැවත තම කුටුම්භයෙන් වෙන්ව නොයන්නෙමැයි යන අදිටනිනි. මුල් වසර තුනෙහි ඉතිරි කරගත් මුදල් නව නිවෙසක් තැනීමට වැයවූ අතර ඉතිරි වසර දෙකෙහි ඉපයූ මුදල් ඔවුන් දැඩි අරපරෙස්සමින් ඉතිරි කලේ තමන්ගේම වූ ව්‍යාපාරයක් ඇරඹීමටය. 

කන්දක් නැඟිවිට අනිවාර්යයෙන් පල්ලමක් හමුවේය යන්න සත්‍යයක් බව ස්ඵුට කරමින් ඔවුන් සිතූ ලෙසම ප්‍රමාණවත් මුදලක් ඉතිරි කරගැනීමට මේ අවසන් වසර දෙක තුලදී ඔවුහු සමත් වූහ. එහෙයින් සති දෙකකට පෙර ජගත් ආපසු දිවයිනට පැමිණියේ රැකියාවට සමුදීමෙන් අනතුරුවය. තමන්ට සුපුරුදු ඉඳිකිරීම් ක්ෂේත්‍රයෙහි නියැලීමට ඉටාගත් ඔහු මිතුරන් දෙදෙනෙකුද හා එක්ව ඉඳිකිරීම් සමාගමක් ඇරඹීමෙහිලා යුහුසුළුවිය. නොබෝ දිනකින් එනම් ජනවාරි හයවන දින විවෘත වන්නේ ඒ සමාගමයි. ජීවිතය මෙපමණ විගස ජයගත හැකිවේයයි සිහිනෙනුදු නොසිතූ හෙයින් පුෂ්පාගේ සිත තුල වූයේ උතුරා ගලා යන තරමේ ප්‍රීතියකි. 

නිදැල්ලේ දුව පනින කුඩාවුන් දෙදෙනාගේ සුරතල් සිනාපිරි වතින් යුතුව මොහොතක් නැරඹූ පුෂ්පාගේ නෙත යොමුවූයේ ඊට මඳක් ඔබ්බෙන් කොටු පවුර යාබද බංකුවක හිඳ සිටි ලාබාල පෙම්වතුන් යුවල වෙතය. තවමත් පාසල් වියෙහි යයි නිසැකවම අනුමාන කල හැකි ඔවුන් දුටු ඇගේ සිත නිතැනින්ම බොහෝවිට සුන්දර එසේම විටින්විට අසුන්දර මතකයන්ද කැටිවුණු ඔවුන්ගේ අතීතය කරා මොහොතක් දිව ගියේය. 

''ජගත් අර කපල් එක දැක්කම ඔයාට මොනව හරි මතක් වෙනවද? '' 

''පව් අර අහිංසක කොල්ලා....'' ජගත් පැවසුවේ හඬ නගා සිනා සෙමිනි. 

පුෂ්පා ද ඒ සිනහවට හවුල් වූවාය.

''ඒත් මට පේන්නෙ ඒ දෙන්න මොකක් හරි බරපතල ප්‍රශ්නයකට මැදිවෙලා වගෙ....'' යුවළ දෙස මොහොතක් පරීක්ෂාවෙන් බලා සිටි ජගත් පැවසුවේ ඈ අසලම හිඳගනිමිනි. 

''ප්‍රශ්න නැත්තෙ කාටද?...ඒ කාලෙ අපටත් මොකෝ ප්‍රශ්න තිබ්බෙ නැතුවය?'' 

''අපි යමුද එහෙනම්.....පුතා ....'' ජගත් දරුවන්ට අඬගසමින් නැඟීසිට අත් ඔරලෝසුව දෙස බැලීය. 

උදෑසන නිවසින් පිටත්ව එද්දී ඔරලෝසුව අමතක වූ බව ඔහුට සිහි වූයේ හත්වන හෝ අටවන වතාවටය....'' කීයද පුෂ්පා වෙලාව?.....'' 

''ම්ම්ම්....9.25 යි ...'' තම අත් ඔරලෝසුවේ දෙස බැලූ ඈ එසේ කියමින් නැඟී සිටියාය...'' යමු එහෙනම්...'' 

*************************************** 

කළු පැහැති ප්‍රාඩෝ රථය කොටු බැම්ම පේන තෙක් මානයේ නතර කල රිචඩ් මුදලාලි අත් තිරිංග ක්‍රියාත්මක කොට, රියදුරු අසුනින් බැස රියේ බොනට්ටුවට හේත්තු වී කලිසම් සාක්කුවෙන් ගත් ගෝල්ඩ් ලීෆ් පැකට්ටුවෙන් සිගරටයක් ගෙන දල්වා ගන්නට උත්සාහ කලේය. දැඩි සුළඟ නිසා දෙතුන් වරක්ම උත්සාහය අසාර්ථක වූ ඔහු එවර දකුණු පස දොර විවෘත කොට රිය තුලට හිස රුවා සිගරටය දල්වා ගත්තේය. 

එතෙකුදු රථයෙන් නොබැස වම් පස අසුනේ සිටි විල්බට් දෙස ඔහු හෙලූයේ නොපහන් බැල්මකි. ''මොකද බං තවත් මේක ඇතුලෙ කරන්නෙ?. බැහැපං.. අද මේ වැඩේ කතා කරල ඉවරයක් කරන්න ඕනෙ.'' 

විල්බට් රියෙන් එළියට බැස්සේ තවත් ස්වල්ප වේලාවක් රිය තුල රැඳී සිටීමෙන් අනතුරුවය. 

''හරි ....මුදලාලි දැන් මොකද කියන්නෙ?'' 

දුම් උගුරක් දෙකක් පිටකල රිචඩ් හාත්පස නීරීක්ෂණය කළේය. යම් දුරකින් සුදු පැහැති මෝටර් රථයක් අසල තණ බිස්සේ එලූ කලාලයක් වැනි යමක හිඳසිටිනා යුවලක් හැරුණු විට ඔහුගේ දෙනෙතට කිසිවෙකු හසු නොවුනද ඔහු කතාකලේ හැකිතරම් පහත් ස්වරයෙනි. 

''මට වැඩේ කෙරෙන්ඩ ඕන....හැබැයි මගෙ නම ගෑවිලාවත් තියෙන්න බෑ....ගෙදර කොල්ල කන්ඩ ගිහිල්ල වෙච්චි දෙයක් විදිහට වැඩේ කරපං..... දන්නවනෙ.....යසපාල ලබන සතියෙ සඳුද වෙනකොට ඉවරයක් කරල තියෙන්න ඕන, බාර් එකේ ටෙන්ඩර් එක සඳුද දෙනව....මම ලොක්ක එක්ක කතාකලා...ලොක්ක කියන්නෙ අපි දෙන්නම චන්දෙදි උදව් කරපු නිසා පැත්තක් ගන්ඩ බෑ කියල....යකෝ මම වියදම් කරපුව හම්බ කරගන්ඩ වෙන ක්‍රමයක් නෑ....'' 

''මෙතන බාගයක් තියනව ඇඩ්වාන්ස්.....ඉතුරුව වැඩේ අවුලක් නැතුව කෙරුනට පස්සෙ....'' රියේ පසුපස අසුනේ රබර් කලාලය ඔසවා දුඹුරුපැහැ ඝන කඩදාසියකින් හොඳින් එතූ පාර්සලයක් ඉන් පිටතට ගෙන විල්බට් දෙසට දිගු කරමින් රිචඩ් වමතෙහි උදෑසන හිරු එළිය පතිතව දිදුලන රන් ආලේපිත ඔරලෝසුව දෙස බැලීය. ..9.25 

**************************************** 



ක්‍රිස්ටෝපර් නොහොත් කිට්ටා ද තණ බිස්ස මත වැතිර සිටියේය.එහෙත් අවට සිදුවන දේ හෝ අවම වශයෙන් මුහුදු සුළඟ විටින්විට අඩු වැඩි වන හඬ හෝ ඔහුට නෑසුණි. දින දෙකකින් හරි හැටි අහරක් හෝ නින්දක් නොලැබුණ ද ඔහුගේ ගත මෙන්ම සිතද දඬු අඬුවකින් තෙරපා මිරිකා හරින්නාක් මෙන් දැනෙන ඉවසිය නොහැකි වේදනාවට හේතු වූයේ ඒ එකද කරුණක් හෝ නොවේ. කිට්ටා පෙළෙමින් සිටියේ නිෂ්ක්‍රමණ ලක්ෂණයන්ගෙනි. (withdrawal symptoms) 


ගාලු පුරවරයෙහි ප්‍රධාන බෙදාහරින්නා දින දෙකකට පෙර කිට්ටා සොයා ඔහුගේ නිවහනටම පැමිණියේ කිට්ටා අවදි වීමටද පෙරාතුවය. 

''අඩෝ, ****** පුතා, තෝ දැන් දවස් තුනක් සල්ලි නොදී බඩු ගත්තා, කෙඳිරි ගාන නිසා මමත් අනුකම්පා කරල දුන්න...අදිං පස්සෙ ඒ සෙල්ලං බෑ හරිද?.....හිඟ සල්ලි ඔක්කොම ගෙනත් දීපං එතකල් බඩු නෑ......'' 

ඒ තහනම් නියෝගය එලෙසම ක්‍රියාත්මක විණි. කිට්ටාට දිව ඔසුව බෙදාහරින සෑම තැනකම දොර වැසී ගියේය. ඒ දින දෙකකට ඔබ්බෙනි. 

මුළු සිරුරම වෙව්ලන හෙයින් කිට්ටා නැඟී සිටියේ අසල තිබූ පහන් කණුවකට බර දීමෙනි. කෙමෙන් දැඩි වන උදා හිරු රැසින් රත් පැහැවී කඳුළු ගලන දෙනෙත් මුවාකර ගැනීමට සුරත දිගහැර නළලට තැබූ හෙතෙම අවසඟ දෙපා වාරුවෙන් පහන් කණුවට බර දී අවට බැලීය. කොටු බැම්ම අසල නවතා තිබූ කළු පැහැති වාහනයක් ඉදිරිපස දෙදෙනෙක් කතා කරමින් සිටියහ. එතරම් දුරක නොවුනද දැඩි සුළඟ හේතුවෙන් ඔවුන් කතාකරන හඬ නෑසිණි." සල්ලි කාරයෙක් වගේ, හෙමිහිට වාහනෙං මොනව හරි ඉස්සුවොත්......... " මිනිසුන් දෙදෙනා සිටියේ රථයේ ඉදිරිපස බැවින් ඔවුනට නොපෙනී වාහනයේ පසු පසට ලඟාවීමට නම් කොටුබැම්ම දිගේ ගමන් කල යුතුය. 

කිට්ටා සෙමින් සෙමින් කොටුබැම්මට මුවාවී එදෙසට ලඟාවන්නට විය. කිසි දිනක ඔරලෝසුවක් භාවිතා නොකලද වේලාව පිළිබඳ කිසිදු හැඟීමක් නොවූවද කිට්ටා ඒ මොහොතේ අත් ඔරලෝසුවක් පැළඳි යමෙකුගෙන් වේලාව විමසුවේ වී නම් මෙසේ පිළිතුරු ලැබෙනු ඇත. 9.25 යි. 

**************************************** 

ඔහුට නමක් නොවීය. මෙලොව කිසිදු ඥාතියකු හෝ මිතුරකු ද නොවීය. අතීතය පිළිබඳ පැහැදිළි කිසිදු මතක සටහනක් ද නොවුනු හෙයින් ඔහු කවුරුද යන්න අන් කිසිවෙක් තබා ඔහු ද නොදන්නේය. විටින් විට මිහිදුම් සළු අතරින් මතුවන අපැහැදිලි ඡායාවන් රැසක් මෙන් සුවිසල් මන්දිරයක්, විශාල වතු යායක් සහ යාන වාහන රැසක් ඔහු මනසේ මොහොතක් දිස් වී අතුරුදන් වුවද ඒ මොනවාද යන්න පවා ඔහුට හැඟීමක් නොවීය.එහෙත් කිසිදු දුක් දොම්නසක් නොවූ ඔහු මෙලොව වාසය කල ප්‍රීතිමත්ම මිනිසා විය. 

අනුකම්පා කලවුන් බොහෝ වූ හෙයින් ඔහුට හාමතින් ගත කිරීමට සිදුවූයේම නැති තරම්ය.එළෙසම හාමතින් වේලක් හෝ දෙකක් ගත වූවද එ ගැන ඔහුට කිසිදු හැඟීමක් ද නොවීය. 

නත්තල් දින සවස් භාගය .....කොටුවේ දෙව් මැදුරේ ප්‍රධාන පියතුමා නත්තල් දේව මෙහෙයෙන් පසු විවේක ගනිමින් සිටියේය. 

''ඩේවිඩ්... අන්න අර මනුස්සය එනව,'' පියතුමා බිරිඳගේ හඬින් අසුනින් නැඟී සිටියේය. 

'' කවුද? '' 

'' හිහ්, හිහ්, නමක් නැති මනුස්සය...ඔයාගෙ යාළුව,'' 

''එහෙමද?....සැන්ඩ්‍රා,,....ලන්ච් එකෙන් ඉතුරු එව්වයින් පාර්සලයක් හදන්න.....'' 

බිරිඳ සකස් කරදුන් පාර්සලය සහ මත්පැන් බෝතලයක් ද රැගෙන පිටතට පැමිණි පියතුමා මෙලොව ප්‍රීතිමත්ම මිනිසා පියවරින් පියවර ලඟා වනු බලා සිටියේ සිනාමුසු මුවිනි. 

කොටු බැම්ම පාමුළ රෑ කල ගත කල ප්‍රීතිමත්ම මිනිසා අවදි වූයේ මුහුණට පතිත වූ දැඩි හිරු රැස් කරණ කොටගෙනය. ඊයේ රාත්‍රිය ගත වූ අන්දම පිළිබඳව කිසිදු මතකයක් ඔහුට නොවීය. සෑම අතින්ම සාමාන්‍ය පුද්ගලයෙකු වුවද ඔහු පෙරදින රාත්‍රිය ගත කල අයුරු ගත කලේ නම් කිසිදු මතකයක් ශේෂ නොවන බවට කිසිදු සැකයක් නොමැති කල ඔහු පිළිබඳව කවර කතාද?...වැතිරී සිටගෙනම අතපත ගා අඩක් අවසන් වූ මත්පැන් බෝතලය සුරතට ගත් ලොව ප්‍රීතිමත්ම මිනිසා සුන්දර සිනහවක් මුවට නගා ගනිමින් බෝතලය මුවට ඇල කොට ගත්තේය. 

ඒ සමඟම  ඔහු වැතිර සිටි තැනට පියවර දහයකට පමණ නුදුරින් කිසිවෙක් කොටු බැම්මට මුවා වෙමින් හොර බළලකුමෙන් ඔහු පසුකර යනු ඔහුට යම්තමට ඇස්සර වැටුනු නමුදු ඒ කවුද හෝ කුමන හෙයින්  එසේ හැසිරෙන්නේද යන්න පිළිබඳව ඔහුට කිසිදු ගනිච්චියක් නොවීය.

වේලාව යන්න පිළිබඳව හැඟීම් මාත්‍රයකුදු ඔහු තුල නොවූ බව සැබෑවකි. ඒ එසේ වුවද මේ වන විට වේලාව උදෑසන 9.25 වූ බව ද ඒ ලෙසම සැබෑවකි. 

**************************************** 

ගාළු පුරවරයට බොහෝ ඈත දේශ දීපංකරයකට එපිට සුමාත්‍රාව අසල කල්ප අසංඛ්‍යය සංඛ්‍යාවක් දැඩි නිද්‍රාවක ගැලී සිටි මෘගයෙකු මේ වන විට තම අති දීර්ඝ කාලීන නිද්‍රාවෙන් ඇඟ මැලි කඩා අවදි වූයේ, සත් සමුදුර තරණය කොට බටහිර දෙසට ගමන් කරමින් සිටියේය. ගාළු කොටු බැම්ම අසල තම විවිධ ප්‍රශ්න විසඳා ගැනීමට තැත් කරමින් හා / හෝ ජීවිතයේ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සුබ සිහින මවමින් හා / හෝ ඒ කිසිත් නොමැතිව ජීවිතය සිතූ පරිදි විඳිමින් හා / හෝ සිටි කිසිවෙකු මේ මෘගයා පිළිබඳව හාංකවිසියක් හෝ නොදැන සිටි බව වෙසෙසින් පැවසිය යුත්තක් නම් නොවේමය. 

**************************************** 



නොගිනිය හැකි කලෙක සිට නිසලව උන් සයුර එක් වරම සෙමින් සෙමින් ගොඩට ගලන්නට විය. 


''කණිෂ්ක...අර මුහුද ගොඩට ගලනව නේද?....'' නයනී ගේ බියපත් හඬින් හිස ඔසවා බැලූ කණිෂ්ක වහා නැඟී සිටියේය. 

''ඔව් නේද?......මේ මොකක්ද වෙන්න යන්නෙ? '' 

**************************************** 

''ජගත් අනේ ඉක්මනට එන්න මුහුද ගොඩ ගලනවා..'' පුෂ්පා කෑගැසුවේ පිස්සියක මෙන් දරුවන් දෙසට දිවයමිනි. 

**************************************** 

''මුදලාලි අර මූද ගොඩට එනව නේද?......'' 

''මොකක්?......අම්මප ඇත්තම නේද?.....මේ මොනවද වෙන්න යන්නෙ? නැගපං, නැගපං, විල්බට්...යමං හනිකට මෙතනිං'' 

**************************************** 

මේ වන විට කිට්ටාගේ පූර්ණ අවධානය වාහනයේ පසුපස අසුන මත වූ කළුපැහැ ගමන් මල්ල දෙස යොමු වී තිබූ හෙයින් මුහුද ගොඩ ගැලීම පිළිබඳ ව ඔහු කිසිසේත්ම නොදත්තේය. 

**************************************** 

මුහුද ගොඩ ගලනවා දුටුවද ලොව ප්‍රීතිමත්ම මිනිසාට එහි අරුමයෙක් නොවන බව නිසැකය. කෙසේ වුවද ඔහු මේ කිසිවක් නොදුටුවේය. වැතිරී සිටි අයුරින්ම මත්පැන් උගුරක් නැවත මුවෙහි ලාගත් ඔහු ඒ ගිල දමා මහත් ප්‍රීතියෙන් සිනාසුණේය. 

**************************************** 

සුමාත්‍රාවේ සිට ගමන් ඇරඹූ යක්ෂයා ගාල්ලට ළඟාවී සිටියේය. කලකින් නොදුටු තම ඥාතී හිතවතුන් බැහැදැක සතුටු සාමීචියෙහි යෙදෙනුවස් දෝත පුරා තෑගි බෝග දුර බැහැරක සිට පැමිණෙනා ඥාතියකු/හිතවතකු පැමිණියාක් මෙන් ස්වල්ප දුරක් ගොඩ බිම අභ්‍යන්තරයට ගමන් කල හෙතෙම අහිංසක ලෙසම ආපසු සයුරු තෙරටම බැස ගියේය. සයුරෙහි මෙතෙක් රඳවාගෙන සිටි සීමා මායිම් පසුකොට බොහෝ දුරකට බැස ගියේය.

මේ සයුර සිඳීයන ආශ්චර්යය නරඹනු වස් නයනී සහ කණිෂ්ක ද, පුෂ්පා සහ ජගත් සමඟ දරු දෙදෙනා ද, රිචඩ් මුදලාලි සමඟ ඇල්බට් ද අයාගත් මුවින් යුතුව සයුරු තෙර වෙත රොක් වූහ. 

කිට්ටා ප්‍රාඩෝවෙහි පසුපස අසුන මතවූ ගමන් මල්ල අතට ගත්තේය. ලොව ප්‍රීතිමත්ම මිනිසා තවත් මත්පැන් උගුරක් ගිල දමා නැවත ද සිනා සුණේය. 

සමුදුරෙහි බොහෝ ඈතට ගමන් කල යක්ෂයා අවසන් ප්‍රහාරය උදෙසා බලමුළු තරකරමින් ශක්තිය කුළුගන්වා ගනිමින් මොහොතක් ගත කලේය. ඉන්පසු කන් බිහිරිකරවන ඝෝෂාවකින් හාත්පස වෙවුලුම් කවමින් ගාළු පුරවරයට කඩා වැදුනේය. 

වේලාව - පෙරවරු 9.30..... දිනය - 2004 දෙසැම්බර් 26, 

***************************************** 


ඉනික්බිති දෙවන රළ පැමිණියේය. 

Lo and behold...... there comes the second wave with the Fourth horseman on a pale horse named death riding upon it….

Sunday, July 2, 2017

515. තාපසයා සහ සූටි කයියා සමඟ වැඩිහිටියන්ගේ කතා ...... 2 ( අවසාන කොටස )


හිමාල වනයේ තපස් රකිනා යෝගී තාපස තුමෙක්
ඉහත දැක්වේ. ඡායාරූපය - Google Images


පළමුවෙන්ම අපේ කමෙන්ට් කරුවන්ගේ සංගමයෙ ගරු සභාපති තුමාට ස්තූතිවන්ත වෙලා ඉන්ට ඕන. මොකද එතුමා තමයි මට මේ තාපසයගෙ කතාව ගැන නිතර දෙවේලේ මතක් කලේ..කෝ? කෝ?..කෝ? කියල. ඊයෙත් උදේ මතක් කරල තිබ්බ. ඒත් වැඩේ කියන්නෙ ඊයෙ සහ අද අපේ එපාට්මන්ට් එකේ අන්තර්ජාලය ෆුල්ම අබ්ලික්. හිටපු ගමං එනව. ඒ එක්කම යනව. සිකුරාද සෙනසුරාද නිවාඩු දවස් හින්ද හදන කට්ටියත් එන්නෙ නෑ. අන්න ඒකයි තාපසයගෙ කතාව පරක්කු වුනේ. 

අර බයියන්ට තාමත් ලංකාවෙ ජනාදිපති නීලකාසය වගේ ඔය වෙන කාට කමෙන්ට්ස් වලට තෑගි හම්බ උනත් මට නම් අදටත් ප්‍රසන්නයම තමයි සංගමයෙ ගරු සබාපතිතුමා...ඒක හෙටත් එහෙමයි..අනිද්දටත් එහෙමයි...හෙහ්,හෙහ්,

දැම්මේ තාපසයගෙ කතන්දරේ ඇදුන බොහොම වැඩියි. ඒ හින්ද අද මම මේ කොම්පීටරේ ඉස්සරහ ඉඳගත්තෙ එක හිත් හිතාගෙන. අර බුදු හාමුදුරුවො ඇසතු රුක මුල ඉඳගත්තෙ බුදුබවට පත්වී මිස මම මෙතැනින් නොනැඟිටිමි කියල අදිස්ටාන කරල. "මාගේ සම්මස් ඇට නහර වියලේවා..එහෙත් බුදුබව නොලැබ මෙතැනින් නොනැඟිටිමි" කියලනෙ කිව්වයි කියන්නෙ. හපොයි...ඇස්ට්‍රීම්ලි සොරි හොඳේ.........ටෙක්නිකලි පොඩි වැරැද්දක් තියනවනෙ. ඒ කිව්වෙ මෙහෙමයි. ඇසතු රුක මුල ඉඳගත්තෙ බුදු හාමුදුරුවො නෙවෙයිනෙ. බුදු හාමුදුරුවො කියන්ට බුදු වෙලා ඉන්ට එපාය. එතන ඉඳගත්තෙ සිධාර්ථ තාපසය..

මෙතන ඉඳල මම ඔන්න සිද්ධාර්ථ තාපසය ගැනයි, සුජාතා සිටුදුව ගැනයි, බුද්ධත්වයට පත්වීම ගැනයි මෙලෝ සිහියක් නැතුව ලියා ගෙන ලියාගෙන ගියා කියමුකො. අන්තිමට නතර වෙලා බැලින්නං ඒ ලියපු ටික කොහොමටවත් අද මාතෘකාවටනම් ගැලපෙන්නෙම නෑ. ඔබ තමුන්නාන්සෙල හොඳාකාරවම දන්නව ඕක ඉතිං මට කොහොමටවත් අලුත් දෙයක් නෙවෙයිනෙ. ඒත් ඇත්තම කිව්වොත් අදනම් මටම හිතුන මේක හරියන්නෙ නෑ කියල. ඒ හින්ද මම තීරණය කලා මෙහෙම කොරන්ට. කොහොම කොරන්ටද? ඒ ලියපු ටික හෙට අනිද්ද දිහාට වෙනම පෝස්ට් එකක් හැටියට පලකරන්ට. එහෙම හොඳයි නේද? ඒ හින්ද එහෙනං ආයම වැල් වටාරං නැතුව බහිමු තාපසයගෙ කතන්දරේට.......

තාපසයගෙ කතාව ලියන්ට ඉස්සරවෙලා මම කිව්ව මතකද ඒ වගේම ඇලික් හා සම්බන්ධ කතාවක් තියනවය කියල. මම එන්න ඒ කතාව බාගෙට කියල තමයි අන්තිමට නැවැත්තුවෙ. එහෙනං ඔන්න අද එතැන් සිට....

හරි ඒ අතුරු කතාව මෙහෙමයි. මේක සිද්දවුනේ ඈස් ෆා ඈස් අයි කැන් රිමෙම්බර් නමසිය අනූහතේ වගේ. චන්ද්‍රිකා නෝන අනූ හතරෙ බලයට ආවනෙ. අනූ හතරෙ අප්‍රේල් වෙනකොට ප්‍රාදේසීය සබා මන්ත්‍රීකමක් වත් නොතිබිච්ච ඒ අම්මණ්ඩි මෙන්න ඉස්සෙල්ල බස්නාහිර මහ ඇමතිවුනා. ඊලඟට මාස දෙකක්ද කොහෙද ගියේ අගමැතිවුනා. තව මාස තුනයි ගියේ මෙන්න එච්චී වෙච්චී. එහෙම තමයි ඉස්ටාර් එක කියන එක. පක්සිය රජකරන කොට බමරා වැල්ලෙත් කැරකෙන කොට ආය මොනව කරලවත් නවත්තන එක බොරු. විජේ අකාලෙ මැරුනෙ එතකොට ලලිත් මලේ ඔය ඔක්කොම චන්ද්‍රිකාගෙ බලසම්පන්න ග්‍රහයෝග හින්දයි කියල බොහොම දෙනෙක් කියනව.

ඉතිං කොහොම හරි අනූහතේ තිබ්බ මොකක්ද මන්ද චන්දයක්. පලාස්සබා වෙන්න ඕන බොහෝවිට. ඒ චන්දෙට ප්‍රචාරක කටයුතු කරද්දි නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රී තුමාට වෙඩි තියල මැරුව. මැරුවෙ ඒ කාලෙ යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය පුංචි නිලමෙ කියල තමයි රටපුරා කතාව පැතිරුනේ. ඒකට නඩුවකුත් තිබ්බද කොහෙද. මට මතක විදිහට පුංචි නිලමෙ ඒ නඩුවෙං නිදහස් වුනා.

හරි ඒ මොකක් හරි මම මේ කියන සිද්දිය වුනේ ඔය මිනීමැරුම වෙච්චි අලුතම වගෙ. පුංචි නිලමෙ හැංගුනා. දැං පොලීසිය රටපුරාම මිනිහව හොයනව. මේ දවස්වල අර වහං වෙලා ඉන්න නානෙව පොලීසියෙං හොයනව වගෙ. ආණ්ඩුවත් මට පේන්නෙ මේ නානෙගෙ හැංගිමුත්තමෙදි ඔලුව පාවිච්චි කරල වැඩ කරනව වගෙ. ඒ කියන්නෙ දැං කරන්ට තියෙන හොඳම වැඩේ තමයි නානෙ ඉන්න තැන දැනගත්තත් මනුස්සයව අල්ලන්නෙ නැතුව දන්නෙ නෑ වගෙ ඉන්න එක. දැං නානෙට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බළලට වෙච්චි දේ. එළියට ඇවිල්ල ගොන් පාට් දාන්නත් බෑ. ඔය ඉන්න තැනකට වෙලා සද්ද වහල ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.

ඉතිං ආයම එමු අර නාලන්ද කේස් එකට. ඔය පුංචි නිලමෙ ආගිය අතක් නැතුව ඉන්න කාලෙ මාතලේ ප්‍රදේසය පුරා හාහෝවක් පැතිරුනා පුංචි නිලමෙ හංගාන ඉන්නෙ ඇලික්ය කියල. ඇලික් දන්නව නේද? බොහොම පරණ යූ.එන්.පී. කාරයෙක්. කැබිනට් ඇමති කෙනෙක්. ඒ කාලෙ මාතලේ ආසනයෙ මන්ත්‍රී. 

ඉතිං ඔය කාලෙ මාතලේ හිටිය හොඳ වැදගත් ප්‍රභූ කාන්තාවක්. චන්ද්‍රිකා එක්ක ලඟ සම්බන්ධකම් තිබ්බ නිසා ජනාධිපති කාර්යාලෙ සම්බන්ධීකරණ ලේකම්ද කොහෙද තනතුරකුත් හම්බවුනා කියමුකො. මේ මනුස්සය ඉතිං කරපු වැඩේ අපිත් මේකට නිකං ඉන්න හොඳ නැතය මොනවාම හරි කරන්ට ඕනමය කියල දවසක් මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එක ගාව (ඔය මාතලේ දේසපාලන රැස්වීම තියන්නෙ එතන.කොළඹ හයිඩ් පාක් එක, කැම්බල් පාක් එක වගේ) රැස්වීමක් සංවිදානය කලා. "පුංචි නිලමේ එළියට දමනු" කියල. අන්න ඒකයි මාතෘකාව.

ඉතිං ඔය රැස්වීම ඉවරවෙලා අර මම කිව්ව ලේඩීස් ප්‍රමුක අනික් බබලත්තු නඩේ (එතන බහුතරයක් ඉඳල තියෙන්නෙ පෙයාරර් සෙක්ස් එකේ අය) වාහන පෙළපාලියක් ගියාලු මාතලේ ටවුම මැදිං.."පුංචි නිලමෙ දියව් දියව්..මිනීමරුව දියව් දියව්" කියල. මාතලේ ගැන දන්න කියන අය දන්නව ඇති ඇලිකගෙ ගේ තියෙන්නෙ මාතලේ ටවුම පහුවෙලා මීටර් පන්සීයක් හයසීයක් වගෙ දඹුල්ල පැත්තට යනකොට මහ පාර අයිනෙමයි කියල. ඉතිං මේ රත පෙලපාලිය ඇලිකගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ නතර කරල එතනත් දෙකක් වෙන්ට කෑහැහුවලු අර විදිහට කොයි විදිහටද?

"පුංචි නිලමෙ දියව් දියව්..මිනීමරුව දියව් දියව්"

ඇලික්ගෙ ගේ තියෙන්නෙ ටිකක් වත්ත ඇතුලට වෙන්ට වගෙ. සද්දෙ ඇහිල තමංගෙ ගෝල බාලයොත් එක්ක ඇලික් මිදුලට බහිනකොට අර රත පෙලපාලියෙ ආපු කට්ටිය වාහන සැර දමාගෙන ඇදල ගිහිල්ල. දඹුල්ල පාරෙ තව කිලෝ මීටර් හය හතක් ගියාම තියනව පළාපත්වල හන්දිය කියල ජන්කන් එකක්. එතනිං තමයි කුණ්ණෑගල පාරයි අනුරාජපුරේ පාරයි දෙකට බෙදෙන්නෙ. ඔතන ඉඳල ඒ හැටි දුරක් නෑ කවටයාමුණ පන්සලට.

ඔන්න ඔතනින් තමයි මම ට්‍රැක් පැනල අර නිරුවත් යම පල්ලෙක් ගැන කියන්ට තියාගත්තෙ…. මතකෙයි? අද ට්‍රැක් පනින්නෙ නෑ ඔන්න. කෙලින්ම කතන්දරේ...

ඉතිං පළාපත්වල හන්දියෙ වාහන නවත්තල එතන කඩ මණ්ඩියට සිගරට් එකක් බුලත් විටක් නැත්තං සීනි දෙසිය පණහක් ගන්ට ආපු මිනිස්සුන්ට "පුංචි නිලමේ දියව් දියව්" කියල පැය කාලක් විතර වෙලා සත්තම දාල අපේ වීරෝදාර කාන්තා පිරිස වාහන වලට නැඟල ආපහු පිටත්වුනා මාතලේට. ඒ එන්නෙත් ආයම ඇලික්ගෙ ගෙදර ඉස්සරහින්නෙ. එහෙම වෙන්ටම එපාය නැද්ද?

ඉතිං යන ගමනත් කිසි ගින්නක් නැතුව ඇලික්ගෙ ගේ ගාවම සත්තම දාල ගිය එකේ බබලත් කට්ටිය හිතුව ආයම එන ගමනත් එහෙම කරල ආතල් එක තවත් වැඩි කරගත්තොත් මොකද කියල. එහෙම හිතල එන ගමනත් ඇලික්ගෙ ගේ ඉස්සරහ වාහන ඔක්කොම නැවැත්තුව. නවත්තල බබලත් කට්ටියම බැහැල ආයම පටං ගත්ත අර සටන් පාට කියවිල්ල. "පුංචි නිලමෙ දියව් දියව්.. පුංචි නිලමෙ දියව් දියව්.."

හැබැයි මේ පාර වැඩි වෙලා කෑගහන්ට වුනේ නෑ. මේ බබලත්තුන්ට හෝදිසියක් නැතිඋනාට ඇලික් ඉඳල තියනව ඒ ළඟම. 

ඇලික්ට මාරාවේස වුනේ නැද්ද? ආව ගේට්ටුව ගාවට.."ආ...පුංචි නිලමෙද උඹලට ඕන? ඉඳා මේ ඉන්නෙ පුංචි නිළමෙ" කියල සරම උස්සල පෙන්නුව.........හෙහ්..හෙහ්..ආය මොනවද බබලත්තු කට්ටිය දනි පනිගාල පොර කකා වාහන වලට නැග්ගයි කියන්නෙ. එහෙම කරල වහාම ක්‍රියාත්මක වන පරිදි එතනින් පලාගියේල.

එසඳ "තාපස තෙමේගේ අන්දරය ලිවීමට පෙර එවන් තවත් අන්දරයක්වේමැයි සබඳ එබැවින් ඒ අතුරු අන්දරය පළමුව ලියනු උදෙසා මාහට අවසර" යනුවෙන් ඔබගෙන් අවසර ගෙන ලියන්නට යෙදුනු ඇලික් සහ පුංචි නිලමේ පිළිබඳ අන්දරය මෙතෙකින් නිමියේය. එසේ හෙයින් ප්‍රස්තුත ප්‍රධාන කථා පුවත එනම් තාපස තෙමේගේ අන්දරය ලියන්නට මට අවසර...

අන්න දැක්කනේ? අපි ඇවිල්ල අන්න එහෙමයි. ආචාරසීලීත්වය දෙකංසෙං පෙරෙනව. නිහතමානී කම කිව්වැහැකි ගමං කරන විලාසයෙං. ඕනම කතාවක් කියන්ට ඉස්සර වෙලා ඔබ තමුන්නාන්සේලාගෙන් අවසර ගන්නව. ආඩම්බරයි නම් ෂෙයාර් කරන්න...

රයිට් දැං ඔය තාපස තුමාගෙ කතන්දරේ මෙහෙමයි.

බොහෝම ඉස්සර කාලෙක හිමාල වනයේ ගල් ගුහාවක තාපසයෙක් වාසය කලාලු. මොකද එතුමා ගල් ගුහාවෙ කලේ කියල ඇහුව? තාපසයො ආය වෙන අහවල් දෙයක් කරන්නද කැළේ ගල්ගුහා වලට වෙලා තපස් රකිනව ඇරෙන්ට. අනේ ඉතින් අපේ මේ කතා නායක තාපස තුමාත් කලේ තට්ට තනියම ගල් ගුහාවට තපස් රකින එක. එතුමා හොඳ කඩවසම් තරුණය. තරුණ කාලෙම ජීවිතේ ගැන කළකිරිලයි මේ ඇවිදිල්ල හිට තපස් රකින්නෙ. එහෙම දේවල් වෙනව මේ ලෝකෙ.

මේ ගල් ගුහාව පිහිටි මහ වනේ ඉවර වෙච්චි හැටියෙම තියනවලු ගම්මානයක්. ඔය කියන ගම්මානෙ උදවිය මේ අපේ කතානායක තාපස තුමාට බොහොම ගෞරවයෙන් සැලකුවාලු. පුද සත්කාර කලාලු. ගමේ කට්ටිය අර අපේ තියෙන්නෙ ගම්වල සිරිතක් සළාක දානෙ දෙනව කියල, අන්න ඒ විදිහට මාසෙ දවස් බෙදාගෙන තාපස තුමාට දානෙ ගිහිල්ල දුන්නලු.

අපේ ගම්වල ඔය සළාක දානෙ කෙරෙන්නෙ මෙහෙමයි. ඕකට සීට්ටු දානෙ කියලත් කියනව පමණක් පළාත්වල. ඒ කියන්නෙ මාසෙ දවස් තිහ ගමේ ගෙවල් වලට බෙදල දීල තියෙන්නෙ සම්මුතියෙන්. ඒ දවසට පන්සලේ ඉන්න හාමුදුරුවරුන්ට දානෙ ඒ ගෙදරින් දෙන්න ඕන. 

ඔය සලාක දානෙ දෙනව කියන එකත් සෙල්ලං කෙලියක් එහෙම නෙවෙයි. කලිං දවසෙ රෑ බෝ වෙන්ට ඇරල පන්සලට ගිහිල්ල පහුවදා හීල් දානෙ අරං යන්ට ඕන කරන බාස්කට් බාජන අරව මෙව්ව අරගෙන එන්ට ඕන. පන්සලේ ඇබිත්තයෙක් ඉන්නවනම් උන්දැ එව්ව ගෙනත් දෙනව. එහෙම නැත්නම් සළාක දානෙ බාර ගෙදරින් කවුරු හරි ගිහිල්ල එව්ව අරගෙන එන්ට ඕන. 

ඊට පස්සෙ පහුවෙනිද උදේම හීල් දානෙ උයල කරල ගිහිල්ල දෙන්ට ඕන පන්සලට. ආපහු එනකොට දවල් දානෙ ගෙනියන්ට ඕන කරන ආම්පන්නත් ඒ එක්කම අරගෙන එනව. ඊලඟට දවල් එකොලහ වෙනකොට දවල් දානෙ ලෑස්ති කරල බුද්ධ පූජාවයි දැහැත් වට්ටියයි එක්ක ගිහිල්ල පූජා කරන්ට ඕන. අපෙ එතුමීලගෙ ගමේ පන්සලට ඔය සළාක දානෙ මමත් හත් අට සැරයක්ම අරගෙන ගිහිල්ල තියනව. හෙහ්..හෙහ්...

ඉතිං තාපස තුමාගෙ කතාවට ආයම ආවොත් ඔන්න දවසක්දා හවසක මහ අනෝරා වැස්සක් කඩා හැලුනලු. ඔය වෙලාවෙ ගමේ ගැටිස්සියො හතර පස් දෙනෙක් ඔය ගල් ගුහාව අහල පහල කැළේට දරකඩන්ට ගිහිල්ලලු හිටියෙ. එක පාරටම ආත බූත නැතුව වරුසාව කඩා වැටුනම ඒ කෙල්ලියො හිස් ලූලූ අත දිව්වලු. එයිං එක ගැටිස්සියක් කලබලේම දුවල තියෙන්නෙ ගල්ගුහාව පැත්තට. වෙන කරන්ට දෙයක් නෑනෙ වරුසාවත් කඩා වැටෙනව කල්පාන්තෙට වහින වැස්ස වගේ. ඕන දෙයක් වෙච්චාවෙ කියල කෙල්ල රිංගුවලු තාපසයාණෝ ඉන්න ගල් ගුහාවට.

මේ අනෝරා වැස්සෙ ඇහැට කණට පේන ගැටිස්සියක් එක පාරට තමං වැඩ වාසය කරන ගල්ගුහාවට කඩාපාත් උනහම අපේ ගරු කටයුතු තාපස තුමත් එක පාරටම නිකං කරකවල අතෑරිය වගෙ උනාලු. ඒත් එතුමා ඒ බවක් පෙන්නන්නෙ නැතුව ඒ තරුණියට ඇඟපත පිහිදාගන්ට පරණ රෙද්දක් එහෙම දීල සත්කාර කලාලු. දැං ඔන්න තාපසය ගුහාව ඇතුලෙ බද්ධ පර්යංකයෙන් වැඩ ඉන්නව. තරුණිය ගල් ගුහාවෙ දොර අබියසට වෙලා බලා ඉන්නව කොයි වෙලේ වැස්ස පායයිද කියල. මොන පෑවිල්ලක්ද? වැස්ස එක සීරුවට වහිනව. ඇඟ පත පිහගත්තට තරුණියගෙ ඇඳුම් තවමත් තෙතයි. ඇඟටම ඇලිල. ඔන්න අපේ තාපස තුමාටත් කාමාසක්ත සිතුවිලි පහල වෙන්ට ගත්තය කියමුකො. ඒත් එතුමා ඒ පාපී සිතුවිලි යටපත් කරගත්ත.

දැං හොඳටම රෑත් වෙලා. තාමත් එක සීරුවට වහිනව. කොහොමත් අර තරුණියට දැන් මේ වෙලාවෙ ගම්මානෙට යාගන්ට විදිහක් නෑ. තාපසය ඒ පාර ඒ තරුණියට අතින් සංඥා කාල ඇතුලට ඇවිල්ල වාඩි වෙන්ට කියල. තරුණියත් ඇවිල්ල තාපස තුමා ලඟින්ම වාඩිවෙලා ගල්ලෙනේ බිත්තිය හේත්තුවෙලා ඇස් දෙක පියාගත්ත. 

දැං තමං ලඟින්ම ඉන්න තරුණියගෙ රූපය දැකල තාපස තුමාගෙ කාම සිතුවිලි ආයම අවදිවෙන්ට ගත්ත. හැබැයි වැඩේ කියන්නෙ තාපස තුමාගෙ සූටි කයිය කිසිම ප්‍රතිචාරයක් නෑ. හිටිය වගේම සලුව අස්සට වෙලා ඉන්නව වගේ වගක් නැතුව. ඒ අතරේ මේ ගල්ගුහාම ඇතුලෙ අඩ අඳුරයි එළියෙ ධාරානිපාත වැස්සයි හීතළ හුළඟයි එක්ක අර තරුණියගෙත් ආසාවන් අවදිවෙන්ට ගත්ත. ඈ ඇස් ඇරල යටැසින් තාපසතුමා දිහා බලල යම්තමට හිනාවුනා. ඒ වනාහී නිසැකවම තමන්ට කෙරුනු ආරාධනාවක් කියල දන්න තාපස තුමාගෙ හිත ආයමත් කුල්මත්වුනා. මේ වගෙ අවස්ථාවක් ආය කවදාකවත් ලැබෙන එකක් නෑ. එහෙම හිතල එතුමා සූටි කයිය අවදි කරවගන්ට ෆුල් ට්‍රයි එකක් දුන්න. දන්න සෙල්ලං දැම්ම. මොන? සූටි කයිය එහෙම්මමයි.

ඉතිං කොහොමහරි එළිවෙනකල්ම තාපස තුමා සූටි කයිය නැඟිට්ටවගන්ට ඒකා එක්කලා දැඟලුවට සූටි කයිය නෙවෙයි ඔලුව උස්සල බැලුවෙ. බාම් එකේ වේලෙන්ට එල්ලල තියන දුංකොළයක් වගෙ ඔහෙ හිටිය කරබාගෙන. 

(Note - දුම්කොළ වේලන්ට හදනව අඩි තිහක් හතලිහක් වගෙ දිග ගොඩනැඟිලි. එව්වයෙ ඇතුලෙ ළණු බැඳල දුම්කොළ එල්ලල තමයි වේලන්නෙ. ඔව්වට කියන්නෙ Tobacco Barns කියල. අපේ මිනිස්සු කියන්නෙ දුංකොළ බාම් කියල, ඔය පල්ලෙහ පින්තූරෙ තියෙන්නෙ අන්න ඒ බාන් එකක්. මෙහෙ නම් නෙවෙයි ඇමරිකාවෙ...)

ඔය පෝටොස් එකේ තියෙන්නෙ ඇමරිකාවෙ දුම්කොළ බාන් එකක්.
අර පේනව නේද දුම්කොළ එල්ලල තියෙනව වේලෙන්ට?
අර තාපසතුමාගෙ සූටි කයියත් රෑ තිස්සෙ හිටියෙ
ඔහොම තමයි. Google Images

ඔයිංමෙයිං ඔන්න වටිං ගොඩිං එළියත් වැටීගෙන ආව. රෑ පුරා වැහැපු වැස්සත් තුරල් කරල. අර තරුණිය තාපසය දිහාවෙ දෙතුන් පාරක් නෝන්ඩියට වගෙ බලල ගල් ගුහාවෙං පිටවෙලා යන්ට ගියා. තාපසයට නේද? සූටි කයියව මරාගෙන කන්ට තරං කේන්තිය. ඇයි දෙයියෝ සාක්කි. දෙන දෙයියෝ ගෙට ගෙනත් දුන්නු අවස්ථාවනෙ මේ මඟ ඇරුනෙ...

"හපොයි මට එන කේන්තියක්. මූව හම ගැහුවට හිත් වදීද?" ඔහොම තොල මතුර මතුර තාපස් තෙමේ ඔන්න ගියා ඔය ගල් ගුහාව කිට්ටුවෙන්ම ගලාගෙන යන දොළපාර අයිනට උදෑසන සිරුරු කිස උදෙසා. දන්නවනෙ සිරුරු කිස කියන්නෙ මොකක්ද කියල නේද? ශරීර කෘත්‍යය නොහොත් මළපහ කිරීම. 

ඉතිං ඔන්න දොළ පාර අයිනෙ වැල්ලෙ උක්කුටිකයෙන් ඉඳගෙන තාපසය වැඩේ කරනව. බෝම හිත කනස්සලෙං ඉන්නෙ. ඊයෙ රාත්තිරියෙ වෙච්චි වැඩේට.

වේලිච්ච දර කෝටුවකුත්කඩාගෙන ඒකෙං වැල්ලෙ ඉරි ඇඳ ඇඳ ඔහොම වැඩේ කරගෙන යද්දි අප්පද බොල..මෙන්න එක පාරටම සූටි කයියා තෙමේ මොහොල් ගසක්සේ ප්‍රාණවත්ව නැඟීසිටි සේක. තාපසයගෙ කටත් එක්ක ඇරුන පුදුමෙං. ඇයි දෙයියෝ සාක්කි ඊයෙ රෑ අච්චර දඟලල වගක් වත් නැතුව හිටපු එකා මෙන්න බලමුකො. 

ඒත් එක්කම තාපසයගෙ හිතට ආවෙ දරාගන්ට බැරි මහ විසාල කේන්තියක් අර කියන්නෙ මාරාවේස වුනා කියල. අන්න ඒ ජාතියෙ කේන්තියක්. 

ඒ කේන්තියෙම්ම අතදාල සූටි කයියගෙ ඔලුවෙන් අල්ලගත්ත තාපසය "ආ..උඹට ඊයෙ රෑ මම වැඳපු නැති එක විතරයි. ඒත් උඹ වගෙ වගක් නැතුව හිටිය. දැං වැඩ පෙන්නල මක් කරන්ටද? දැං තෝ කාපිය මෙව්ව...කාපිය මෙව්ව" කියල සූටි කයියව අර තමංගෙම මලපහ ගොඩේ අතුල්ලගෙන අතුල්ලගෙන ගියා.

Thought for the day - When one of your own appendages conspire to thwart fulfilling your desire, there is nothing else but to rub it in your own shit…..

Monday, June 26, 2017

514. මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි…...


මහනුවර දළඳා පෙරහැරේ දසුනක් ප්‍රති නිර්මාණය
කල සිතුවමක් ඉහත දැක්වේ. - Google images

රමසාන් උපවාසය අවසන්වුනේ ඊයෙ. ඊයෙ හඳ දැක්කට පස්සෙ. අද ඉඳල අපිට දවස් තුනක් නිවාඩුයි. මේ නිවාඩුව ඇතුලත අර තාපසයගෙ කතන්දරේ ලියනවයි කියල මම පොරොන්දු වුනානෙ. අපි ඇවිල්ල පොරොන්දුවක් උනොත් ආය නෑ බෙල්ල ගහල ගියත් ඉස්ට කරනව. යහ පාලනේ වගේම තමයි...හෙහ්,හෙහ්, අර කඩදහි කොලේ කියල බ්ලොග් එකක් ලියන ලිකිතා නෝනා මට පහුගියදා නෝන්ඩියකුත් දාල තිබ්බ. ඔහෙත් හරියට යහපාලනේ වගේම තමයි කියල. ඒ කියන්නෙ පොරොන්දු කඩකරනව කියන එක.

ඉතිං ඒ නෝනගෙ චෝදනාව ඇත්තක් වෙන්ටයි යන්නෙ. ඒ කිව්වෙ තාපස තුමාගෙ කතාව තව දවසකට කල් යනව. හරි..හරි..ඉන්ටලාකො පොඩ්ඩක් විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු ඉදිරිපත් කරන කල්. මිනීමරුවෙකුට උනත් තමංගෙ නිදහසට කරුණු කාරණා කියා හිටින්ට චෑන්ස් එකක් දෙන්ට එපාය..නැද්ද? ඒ ඇවිල්ල මිනීමරුවෙකුගෙ අනුල්ලංඝනීය අයිතිය. ඉතිං මගේ විත්ති වාචකය මෙහෙමයි.

ජීවිතේ අපි හීනෙකින්වත් නොහිතන දේවල් සිද්ද වෙනව හදිස්සියෙම. මටත් මේ ඊයෙ එහෙම එකක් සිද්ද වුනා. හරි මෙන්න මෙහෙමයි ඒ කතාව......

70 දශකයෙ මැද භාගයෙ අපි එදවස හිටියෙ කෑගල්ලෙ හොඳද? ඔය ටී.වී. එහෙම ඒ කාලෙ නෑනෙ. රේඩියෝ එකෙත් හැටහුටහමාරක් චැනල් තිබ්බෙ නෑ. තිබ්බෙ දෙකයි. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙ පළමුවන සේවය සහ දෙවන සේවය. පස්සෙ ඔය දෙක ස්වදේශීය සේවය සහ වෙළඳ සේවය කියල නම් මාරු කලා. මට හරියට මතකනම් නෑ ඒ නම් මාරුව කලේ මැතිණිගෙ ආණ්ඩුව කාලෙමද නැත්නම් ජේ.ආර්. ලොක්ක ඇවිල්ලද කියල. හරි කොහොමහරි ඒකෙන් වැඩක් නෑ. ඉතිං ඔය වෙළඳ සේවයෙ සතියෙ හැමදාම වගෙ රෑ 8.30 ට හඬ නළුවක් ප්‍රචාරය වුනා. ගුවන් විදුලි නාට්‍ය වලට හඬ නළුව කියල නම දැම්මෙ මට මතක විදිහට සුගතපාල ද සිල්වා මහත්තය නොහොත් සොඳුරු ආඥාදායකයා.

බ්‍රහස්පතින්දා හවස අටාමාරට විකාශය වුනේ ගජමුතු.  කතාව ලිව්වෙ ධර්ම ශ්‍රී මුණසිංහ. මෙහෙමයි කතන්දරේ ඔන්න. කන්ද උඩරට මහනුවර නගරයට තදාසන්න ගම්මානයක්. කතාවෙ කියවෙන විදිහට කටුගස්තොට කිට්ටුව. 

ගමේ බහුතරයක් ඉන්නෙ හීන කුළේ මිනිස්සු. බෙර වාදනය සහ නර්තනය තමයි ඔවුන්ගෙ ජීවිකාව. ගමේ කුඹුරු ඉඩම්වලින් වැඩි හරියක් අයිති ගම ඉහත්තාවෙ තියන වළව්වට. මොරපාතොට වළව්වට. ඒ කුඹුරු වල අඳේට වැඩකරනව අර හීන කුළේ මිනිස්සු.

ඒ මිනිස්සුන්ගෙ නායකය වගෙ ඉන්නෙ මට මතක විදිහට උක්කුවා වෙන්න ඕන. උක්කුවා නැටුම් සාස්තරේ සහ බෙර වාදනය පුහුණු කරනව ගමේ අනික් තරුණ තරුණියන්ට. ඒත් තරුණ වයසෙ බහුතරයක් ඒ පැරණි සාස්තර ඉගෙන ගන්ට කැමැත්තක් නෑ.

උක්කුවට ඉන්නෙ එකම දුවයි. ඇගේ නම මුතූ. මොරපාතොට නිළමෙට ඉන්නෙ දුවයි පුතයි. කතන්දරේ පටන් ගන්නෙ නිළමෙගෙ පුතා නොහොත් මොරපාතොට අප්පො ඉගෙන ගන්ට ගමෙන් පිට ගිහිල්ල ඉඳල ආපහු ගමට එන තැන ඉඳල. අප්පොට ඕන වෙනව නැටුම් සාස්තරේ ඉගෙන ගන්ට. නිළමෙයි මැණිකෙයි දෙන්නත් එහෙමට කුළ ගර්වය ඉහ උඩ තියාගත්තු උදවිය නෙවෙයි. ඒ හින්ද කලින් හොරෙං හොරෙං නැටුම් ඉගෙන ගන්ට ගියත් මොරපාතොට අප්පොට පස්සෙ නිළමෙගෙ අවසරය ලැබෙනව.

අප්පොට නැටුම් පුහුණු කරන්ට බාරවෙන්නෙ මුතූට. ඒ දෙන්න අතරෙ සෙනෙහසක් ඇතිවෙන්නෙ එයාලවත් නොදැනිම. 

"අනේ අප්පො මේ වග විත්තිය මහ නිළමෙට එහෙම ආරංචි වුනොත් අපි ඔක්කොමල ගමෙං පන්නල දායි අපෙ ගෙවල් වලටත් ගිණි තියල" දවසක නැටුම් පුහුණුවෙන් පස්සෙ නැටුම් මඩුවෙ බිත්ති කන්ද උඩ වාඩිවෙලා ඉන්න අප්පො ලඟම බිම ඉඳගෙන මුතූ එහෙම කියන්නෙ ඔලුව හරවල අප්පොගෙ මූණට එබිල. 

"හෙහ්.. බයවෙන්ට එපා. එහෙම උනොත් මම මුතූව කොළඹ එක්ක යනව. නිකම්ම නෙවෙයි කසාද පොතේ අත්සන් කරල…"

"අපෙ අප්පෝ විහිලුවටවත් එහෙම කියන්ට එපා මයෙ දෙයියො.."

"නෑ මුතූ බයවෙන්ට එපා. අපෙ අප්පච්චි එහෙම දරුණු තීරණයක් ගන්න එකක් නෑ. අනික එහෙම දෙයක් උනත් ඔයා බයවෙන්ට එපා. මම ඔයාට කරදරයක් වෙන්ට ඉඩ තියන්නෙ නෑ"

කතාවෙ අන්තිමට මොකද වෙන්නෙ කියල අඳෝ සංසාරයක් මට මතකනම් නෑ. සෑහෙන කාලයක්නෙ දැන්. ඒත් මගේ හිතේ මෙච්චර කාලයක් නොමැකී රැඳී තියෙන කතාවක් ඕක. ප්‍රධාන චරිතවලට හඬ කැව්වෙ කරුණාරත්න අමරසිංහ (මොරපාතොට අප්පෝ) සහ නිරංජලා සරෝජිනී (මුතූ) ධර්ම ශ්‍රී වික්‍රමසිංහ සහ ඇග්නස් සිරිසේන එහෙමත් හිටිය වගෙ මතකයි. හරි දැන් මම මේ කියන්ට ආවෙ ඉතිං ඔය වගෙ කතාවක් ලියන්ට ඕමනයි කියල කාලෙක ඉඳල මගෙ හිතේ තිබ්බ.

මම අර හැමදාම ලියනව කියල කියන්නෙ...අර කුමරියකට පෙම් කළෙමි.....ඒ කතාව කියවෙන්නෙ වළව්වෙ කුමාරිහාමිට පෙම් කරන සාමාන්‍ය ගැමි තරුණයෙක් ගැනනෙ. මෙතන ඒකෙ අනික් පැත්ත. වළව්වෙ අප්පො සහ කුළහීන යුවතියක්.

ඉතිං ඔය කතාවෙ මෙහෙම සීන් එකකුත් මගෙ හිතේ ඇඳිල තිබ්බ. අර අප්පො බස්නායක නිළමේ කෙනෙක් වෙලා දළඳා පෙරහැරේ යනව බොහොම ගරු ගාම්භීර තාලෙට. කුලහීන යුවතියටත් පෙරහැරේ රාජකාරී පංගුව විදිහට නටන්ට වෙනවා ඔහු ඉස්සරහම. ඒ වෙලාවෙ මේ දෙන්නගෙ හිත්වල මොනවගෙ හැඟීම් ඇතිවෙයිද?

ඉතිං ඔන්න දැන් එනව මම අර කියපු හීනෙකින්වත් නොහිතපු සිද්ධියට. ඒ කිව්වෙ දන්නව නේද අර පොකුරු වැහි නොහොත් වත්සලා විජයලත් නෝනා. එතුමී පහුගිය දවස්වල මුහුණු පොතේ බොහොමත්ම අපූරු කවි පංති දෙකක් පළ කරල තිබ්බ.

මේ එකක්.....

කරඬුවක් හිස නොලා පෙරහැරේ දුර ආව 
බොරු කකුල් ලූ පතුල් රිදුම් දෙයි හිත ගාව 
දියවඩන නිළමෙ නුඹ කරද්දී තේවාව 
වැටුන කඳුළක් අදත්...ඇති නුවර වැව ගාව

සංසාර පුරුදු අත හරිනු බැරි වෙන්නැතී 
වෙස්සන්තර වෙලා... මාව දන් දෙන්නැතී 
නා කපන වැස්සකත්...වැටුනෙ නැති දුක් ඇතී 
තරුවක් මියැදුනත්...මහ පොළොව දන්නැතී

මගෙ හිතේ උඩ මළුවෙ සක්මනේ හිඳීයන් 
ගව් පුරා නුඹ නමින් රන් විමන් මැවීයන් 
හීනයක පේ වෙලා මං ලඟින් පිපීයන් 
පාරමී පිරෙන දා....මටම මුණ ගැහීයන්...

මේ ඊට පස්සෙ එක...

රන්දෝලියේ උඹ සැඟවිලා හිත ගාව 
තිස්සේම හද ගැස්මෙ ඇහෙනවා තේවාව 
රඟ හලක සෙනසුනක් මවා දී අරුමැසිව 
බවුන් වඩනා හිතට උඹයි සක්මන් මළුව...

කොච්චරක් ඇස් අස්සෙ තියාගත්තත් තරුව 
දුර ඉන්න මට වඩා උඹට ළඟ සඳ පළුව 
අසා ඉමි උඹේ දුක කියන විට වැහි කළුව 
කදෝ පැණි එළියටත් ආදරෙයි මහ පොළොව...

සංසාරෙ කොහේ හරි කමටහන් බිඳෙන්ටැති 
වෙස්සන්තරව හෝ මං උඹව පතන්ටැති 
ප්‍රේමයේ හේවිසිය හෙටත් දියවඩනු ඇති 
රන්දෝලි මං හෙටත් තේවාව කරනු ඇති...

ඉතිං ඒ නෝනා මොනව හිතාගෙන ලිව්ව උනත් කවි පංති දෙක කියවපු සැණින් මගෙ හිතේ ආයෙම ඇඳුනෙ අර මම කලින් කිව්ව පෙරහැරේ දර්ශනය. ඒ කිව්වෙ තම සෙනෙහෙවන්තයා ඉදිරියේ නටන ඒ යුවතිය. ඒ Inspiration එකත් එක්කම මගෙ අතින් ලියවුනා ඒ ප්‍රස්තුත මොහොතෙ ඒ කුලහීන යුවතියගෙ සිතුවිලි මෙහෙම වෙන්න ඇති කියල. 

නුවර වැව් පතුලෙ වැලි කැටත් ඉකි බිඳීවී
රැජින හෝටලේ ලඟ සුළඟ දෙස් තියාවී
මහ මලුවෙ අතුල ගල් උනත් දුක් දරාවී
නුඹ ඉදිරිපිට රඟන මගෙ දුකට හඬාවී

ස්නේහයේ නගරයේ ඇවිදගිය වීදි දිග
ප්‍රේමයක් දැවුනු චිතකයෙ විසිරි අළු මතින
මේඝයක් වැටුනු මුත් මිහිමඬල තෙමාගෙන
ළසෝගිනි නොනිවේය වැස්සටත් කපනහන

කස්තිරම් අල්ලද්දි සිනාසුනු නුඹෙ දෑස
බිම්බරක් මේ සෙනඟ මැදත් මසිතේ මැවෙන
මැදිදුරම් තේවාවෙ රඟන අතරේ මසිත
සීවරම් දෙවියන්ට යදිමි නුඹ රකිනු මැන

සංසාරෙ පතා ආ සෙනෙහසක සුව විඳිමි
නිම්තෙරක මතු බවෙක හමුවන්ට පතන්නෙමි
පින්පුරන්නට දළඳාව ඉදිරිපිට රඟන්නෙමි
මසිත් අහසේ පෑයු හිරු මඬල නුඹය සකි

ඉතිං ඔන්න ඔයාකාරයි මගෙ විත්ති වාචකය නොහොත් නිදහසට කරුණු...............

පලි - තාපසයගෙ කතාවත් හැකි ඉක්මනින් ලියන්නං හොඳද?

Sunday, June 25, 2017

ශිෂ්‍ය අරගල ගැන වෙනස් කියවීමක්


පසුගියදා පැවති විශ්ව විද්‍යාල ශිෂ්‍ය උද්ඝෝෂණයේ
අවස්ථාවක් - Getty Images

කේ.ජී.පිලිප් ශාන්ත විසිනි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නායකත්වය දුන් ශිෂ්‍ය විරෝධතාවක දී පවතින නීතිය උල්ලංඝනය කිරීම මත ශිෂ්‍ය නායකයන් තිදෙනකු අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ. එම ශිෂ්‍ය උද්ඝෝෂණයට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු වාමාංශික දේශපාලන කණ්ඩායම් කිහිපයක් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද සහාය දැක්වූහ. සහායදෙන කණ්ඩායම්වල අරමුණ කවරාකාරයේ වුවද මේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දේශපාලන අරගල කරන්නේ අවංකවම බව නම් ස්ථිර ය. එහෙත් ඒ අවංකකම ඉක්මවා ඔවුන්ගේ දේශපාලනයේ ගර්භිතකම ඉස්මතුවීම නිසා මේ අරගලකරුවන්ට සාධාරණය ඉෂ්ඨ වන්නේ නැත.

මේ ශිෂ්‍යයන් අරගල කරන්නේ නිදහස් අධ්‍යාපන ක්‍රමයත් නිදහස් සෞඛ්‍යය ක්‍රමයත් ආරක්ෂා කර ගන්නට ය. ඒ අරගලයේ පදනම සමාජවාදී දේශපාලනය වුවත් ඔවුන්ගේ අරගලයට පාදක වන සංකල්පයන් දෙකම සමාජවාදීන් විසින් නොව ධනපතියන් විසින් මෙරටේ ස්ථාපිත කළ සමාජ සුභසාධනවාදී සංකල්පයන් දෙකකි. ඉතිහාසයේ එක් නිශ්චිත මොහොතක ධනේශ්වර සමාජ ක්‍රමයේ පැවැත්මට අභියෝගයක් එල්ල වූ මොහොතක මේ දේශපාලන සංකල්පයන් දෙකම ප්‍රායෝගිකව ක්‍රියාත්මකවීම ආරම්භ වුණි. එය ධනේශ්වරයේ කේන්සියානු ක්‍රමයේ අග්‍ර ඵලයකි.

ශිෂ්‍යයන් වැරදි දෘෂ්ටියක

මේ කේන්සියානුවාදී දේශපාලන සංකල්පයන් දෙකම මේ වනවිට පැවැත්ම පිළිබද අර්බූදයකට මුහුණ දී ඇතැයි කීවොත් එය වඩා නිවැරැදි ය. මේ යුගය තුළ ධනේශ්වර ක්‍රමය කේන්සියානුවාදයෙන් දුරස්ව පවතී. එසේම සමාජ සුභසාධනවාදය තවදුරටත් වලංගු වුවත් එහි උපාය උපක්‍රම වෙනස් වී ඇත. ධනේශ්වරයේ ආර්ථික වෘද්ධියත් සමග විශාල මැද පන්තියක් බිහිවූ අතර මේ මැද පන්තිය විසින් සමාජ ක්‍රමයේ ගතිකය විශාල ලෙස වෙනස් කරන ලදි. එසේම සමාජ සංස්කෘතික හැසිරීම් ද වෙනස් වූයේ ව්‍යුහාත්මකව ය. මේ නිසා සමස්තයක් ලෙස භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ ආකාරය වෙනස් විය.

ඒ නිසා තවදුරටත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවය මගින් ප්‍රතිලාභ ලබන්නේ සමාජයේ ආන්තික තීරුව පමණක් නොවන අතර එනිසා විශාල ලෙස රාජ්‍ය ධනය විනාශවීමක් සිදුවෙන්නට පටන් ගත්තේ ය. මිල දී ගැනීමේ හැකියාව ඇති පිරිස් වලට පවා මහජන මුදලින් එම සේවා හා භාණ්ඩ නොමිලයේ ලැබුණ අතර ඇත්තටම එම සේවාවන් නොමිලයේ ලැබිය යුතු ආන්තික සමාජ තීරුවට ප්‍රමාණවත් ලෙස ඒවා නොලැබීමෙන් අසාධාරණයක් වුණි. එනිසා ධනේශ්වර පාලන ක්‍රමය තුළ සමාජ සුභසාධන ව්‍යාපෘතියේ ව්‍යුහාත්මක වෙනස්වීමක් තාර්කිකව අවශ්‍ය වුණි. නමුත් ඒ වෙනස්වීම නිවැරැදිව කියවා ගැනීමට සමාජයට නොහැකි වුණි.

එක්තරා යුගයක ධනේශ්වර සමාජ ක්‍රමයේ ස්ථාවරභාවය වෙනුවෙන් හදුන්වාදුන් සමාජ සුභසාධනවාදී උපාය උපක්‍රමයන්ගේ වටිනාකම එම ක්‍රමයේම නොනවතින ගතිකය නිසා අවලංගු වී තිබේ. එමගින් අදහස් කරන්නේ ඒ සමාජ සුභසාධනවාදී සංකල්පය මුළුමනින්ම අවලංගු වී ඇතැයි යන්න හෝ එනිසා අහෝසි කළ යුතු යැයි යන්න නොවේ. තවදුරටත් සමාජ සුභසාධනවාදී සංකල්පයන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ යුතුය. එනම් සමාජ සුභසාධනයන් ඉල්ලා සිටින අවකාශයක් සමාජයේ පවතී. නමුත් ඒවා ක්‍රියාත්මක කරන ව්‍යුහය අනිවාර්යෙන් ප්‍රතිසංස්කරණයකට ලක් කළ යුතු ය. ඒ ප්‍රතිසංස්කරණයන් මොනවාදැයි කියවා ගැනීම සමාජයට ගැටළුවක් වී තිබේ.

සමාජ අරගලය වෙන එකක්

1978න් පසුව ශ්‍රී ලංකාවට ප්‍රාග්ධනය ගලා ආ අතර ඒ නිසා සමාජ ව්‍යුහයන් වෙනස් වෙමින් සමාජය අලුතින් ප්‍රති නිර්මාණය වුණි. මේ අලුත් සමාජයට අවශ්‍ය වන්නේ අලුත් සමාජ සුභසාධන අඩංගු ආර්ථික ප්‍රතිසංස්කරණයන් ය. නමුත් ශිෂ්‍ය දේශපාලනය විසින් අවලංගු වෙමින් පවතින නිදහස් අධ්‍යාපන ක්‍රමයත් නිදහස් සෞඛ්‍යය ක්‍රමයත් වෙනුවෙන් පෙනී සිටී. ඉතිහාසයේ පැරණි දේ ඉවත් වෙමින් අලුත් දේ ස්ථාපිතවීම සමාජ ප්‍රගමනයේ දී අනිවාර්යෙන් සිදු වේ. පෙරටුගාමී දේශපාලන ව්‍යාපාරයක් කළ යුත්තේ ඉවත්වන පැරණි දේට ඉවත්වන්නට ඉඩ දී ස්ථාපිත වෙන අලුත් දේට ස්ථාපිත වන්නට සහාය දීමයි. එහෙත් වත්මන් ශිෂ්‍ය ව්‍යාපාරය විසින් මහන්සි වී කටයුතු කරන්නේ ඉතිහාසයේ අවලංගු වී ඉවත්වෙමින් පවතින දෑ බලය යොදවා නතර කිරීමටයි. ඒ අර්ථයෙන් ශිෂ්‍ය දේශපාලනය අරගල කරන්නේත් සටන් වදින්නේත් අලුත් දේ වෙනුවෙන් නොව පැරණි දේ වෙනුවෙනි. එනිසා එය ශිෂ්‍ය දේශපාලනයේ දෘෂ්ඨිමය වරදක් ලෙස හැදින්විය හැකිය.

ධනේශ්වර සංවර්ධනය පිමි ගණනින් වර්ධනය වන්නේ කේන්ද්‍රයේ රටවල ය. පරිධියේ රටවල ඒ හැටි තරම් සංවර්ධනයක් සිදු නොවුනත් ප්‍රාග්ධන ගලා ඒමේ ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් ලෙස සාපේක්ෂ වර්ධනයක් ඇති නොවෙනවාම නොවේ. එනිසා මිල දී ගැනීමේ හැකියාවට සාපේක්ෂව සමාජ සුභසාධන ක්‍රමයන් නැවත ස්ථාපිත කිරීම අනිවාර්ය අවශ්‍යතාවකි. ධනේශ්වර සංවර්ධනයේ අතුරු ඵලයක් ලෙස ආන්තීකරණයට ලක්වන සමාජ තීරුවේ ශක්තිමත් පැවැත්ම සදහා තවදුරටත් සමාජ සුභසාධන ක්‍රමයන් අවශ්‍ය ය. එහෙත් ඒ මගින් මැද පන්තිය සතුටු කිරීම අවශ්‍ය දෙයක් නොවේ. මැද පන්තියට පවතින මිල දී ගැනීමේ හැකියාව මත යහපත් භාණ්ඩ හා සේවා මිල දී ගැනීමේ මධ්‍යස්ථානත් ආන්තික සමාජ තීරුවට රජයේ අනිවාර්ය මැදිහත්වීම මත සමාජය විසින් පිරිවැය දරන්නා වූ අධ්‍යාපන හා සෞඛ්‍යය සේවාවකුත් ඇති කළ යුතුය. එය පවතින රාමුවෙන් ඔබ්බට ගොස් නිර්මාණය කළ යුතු අලුත් ව්‍යුහයකි.

නමුත් මෙකී විකල්ප දේශපාලන අවකාශය පිරවීමට නම් සමාජයට අලුත් කියවීමක් අවශ්‍ය වේ. ඒ අලුත් කියවීම තුළ නිර්මාණය වන නව දැනුම් පද්ධතිය මගින් මෙම දේශපාලන අවකාශය පුරවා ගැනීම සදහා දේශපාලනික සබුද්ධිකයන්ගේ ශක්තිමත් මැදිහත්වීම අනිවාර්යෙන් අවශ්‍ය වේ. ශිෂ්‍ය දේශපාලන ක්‍රියාකාරීන් මේ මොහොතේ කළ යුත්තේ ඒ කියවීම නිර්මාණය කර ගැනීමයි. එහෙත් ඔවුහු තම ජවය, ශක්තිය හා බලය ඒ සදහා වැය නොකරති.

දේශපාලන හිඩැසක්

ශ්‍රී ලංකාවේ ධනපති දේශපාලන ක්‍රමය තුළ පවතින ලොකුම අඩුපාඩුව වන්නේ නිර් ධනේශ්වරකරණය සදහා ශක්තිමත් දැක්මක් සහිත දේශපාලන ව්‍යාපාරයක් නොවීමයි. වමේ කියා ගන්නා වූ බොහොමයක් දේශපාලන ව්‍යාපාරයන් කරන්නේ ධනපති දේශපාලනයකි. ඒවා දෘෂ්ඨිමය වශයෙන් එක්කෝ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී වේ. එහෙමත් නැත්නම් විකල්ප ධනපති පක්ෂ වේ. ලංකාවේ වමේ පක්ෂ සියල්ලේ ෆැන්ටසිමය අභිලාශය වන්නේ 1970 -77 සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික සමාජ ක්‍රමය ස්ථාවර කර ගැනීමයි. සමගි පෙරමුණු ආණ්ඩුව කළේ වාම හැඩරුවකින් යුතු රාජ්‍ය කේන්ද්‍රගත සුභසාධනවාදය ශක්තිමත් කිරීමයි. ලංකාවේ වම ව්‍යුහාත්මකව දකුණෙන් වෙනස් නොවී උපක්‍රමිකව පමණක් දකුණෙන් වෙනස් වෙමින් එතැනම රැදී සිටී.

නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යය සේවය ආරක්ෂා කර ගැනීමේ ශිෂ්‍ය අරගලයන් වල දී ඔවුන්ගේ මූලික පදනම වන්නේ ආණ්ඩුවට දේශපාලනික බලපෑමක් කර ඉල්ලීම් දිනා ගැනීමයි. ආණ්ඩුවට දේශපාලනික බලපෑමක් කිරීම මූලික කරුණක් වුවද ඒ බලපෑම කරන ආකාරය මේ වනවිට වෙනස් වී ඇති නිසා එය ද විවාදාත්මක ය. ප්‍රාග්ධනය ලංකාවට ගලා එන්නට කලින් ජාතික රාජ්‍යයේ ආණ්ඩුවට එසේ යම් බලපෑමක් කර ඉල්ලීම් දිනා ගැනීම වලංගුව තිබුණි. 1978 වනතෙක් විපක්ෂය දේශපාලන ජයග්‍රහයන් ලබා ගත්තේ එලෙසිනි. නමුත් 1978න් පසුව ගෝලීය ප්‍රාග්ධනය ලංකාවට ගලා එන්නට පටන් ගැබුණි. එවිට රාජ්‍යයේ ආකෘතිය ද වෙනස් කරගෙන තිබුණි. ඒ අනුව ආණ්ඩුවට බලපෑමක් කර දේශපාලන අරමුණු ජයග්‍රහණය කර ගැනීම උගහට ය. එසේ වන්නේ ආණ්ඩුව ශක්තිමත් කර ගැනීමට විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කර ඇති නිසා ය.

අලුත් උපක්‍රම වලට යා යුතු වීම හා ප්‍රති හෙජමොනික ක්‍රම

දැන් පරණ අර්ථයෙන් ආණ්ඩු මට්ටු කිරීම අවලංගු වූ සංකල්පයකි. ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම සදහා ඉහළින්ම පවතින විධායක ජනාධිපති ක්‍රමය සබදතා පවත්වන්නේ මහ ජනතාව සමග නොවේ. ආණ්ඩුව හා මහ ජනතාව අතර එතෙක් තිබූ සබදතා බිද දමා ඒ අවකාශය තුළට ප්‍රාග්ධනය පැමිණ තිබේ. ප්‍රාග්ධනයේ නියෝජිතයන් ලෙස විධායක ජනාධිපති ධූරය හා ගනුදෙනු කරන්නේ බහුජාතික සමාගම් හා ප්‍රාග්ධන අයිතිකරුවන් ය. එනිසා මහජනතාවගේ බලපෑමට ආණ්ඩුව නොනැමේ.

පොදු ජනතාවගේ බලපැමට නොනැමෙන ආණ්ඩුවක් මට්ටු කරන්නට සම්ප්‍රදායි අරගල ක්‍රමයන් කෙරෙහි රදා පැවතීම පෙරලා හානි කරන්නේ මහ ජනතාවටම ය. විවිධ හේතූන් මත වැඩවර්ජනය කරන සෞඛ්‍යය ක්ෂේත්‍රය තුළ අරගල වලින් වඩාත්ම පීඩාවට පත් වන්නේ සමාජය ය. ඒ වැඩ වර්ජනයන් ආණ්ඩුවට පීඩා ඇති නොකරන අතර ශාරීරික පීඩාවක් නිසා සමාජයට බරපතල ලෙස හානිකරයි. සෞඛ්‍යය ක්ෂේත්‍රයේ වැඩවර්ජනයක දී සමාජයට සිදුවන පීඩාව ගැන තමන්ට වගකිව නොහැකි යැයි ද ඒ වගකීම ආණ්ඩුව විසින් භාර ගත යුතු යැයි වගකිව යුතු දේශපාලන ව්‍යාපාරයකට කිව නොහැක. මේ යුගය තුළ බලයට පත්වූ ආණ්ඩු සංවේදී වන්නේ මහජන බලයට නොව ප්‍රාග්ධනයට ය. එය දැන දැනත් මහ ජනයාගේ බෙල්ලට පිහිය තබා ඉල්ලීම් දිනා ගැනීමට අරගල කිරීම දේශපලාන ව්‍යාපාරයන්ගේ නොමේරුම්කමකි.

1978 න් පසුව ආණ්ඩු විරෝධී දේශපාලනයට ඇති ලොකුම ගැටළුව වන්නේ ආණ්ඩුවට සංවේදී වන දේශපාලන විරෝධයක් ගොනු කර ගන්නා අන්දම කියවා ගත නොහැකිවීමයි. තාමත් කරන්නේ පැරණි අර්ථයෙන් ආණ්ඩු මට්ටු කරන්නට යෑමත් එනිසා සමාජය අඩත්තේට්ටම් වලට ලක් කිරීමත් ය. ආණ්ඩු මට්ටු කිරීමේ අලුත් උපාය උපක්‍රමයන් සොයා ගැනීම පහසුවෙන් කළ නොහැක. ඒ සදහා නොනවතින අධ්‍යයනය අවශ්‍ය වේ. 1978 න් පසුව කිසිම ආණ්ඩුවක් පරාජය කළේ මහජන විරෝධයකින් පමණක් නොවේ. ඒ සදහා එක්කෝ ආණ්ඩුවේ අභ්‍යන්තර පිපිරීමක සහාය අවශ්‍ය විය. නැතිනම් ආණ්ඩුව වෙනස් කිරීමේ ජාත්‍යන්තර අවශ්‍යතාවක් ඇතිවී එමගින් ආණ්ඩුව පිරිහී තිබිය යුතුය. ඒ හැරෙන්නට සාමාන්‍ය මහජන විරෝධයකින් ආණ්ඩු මාරුවී නොමැත. ආණ්ඩු එසේ මාරු වන්නේ ද නොවේ. පවතින හෙජමොනික දේශපාලනය පරාජය කිරීමට ප්‍රති හෙජමොනික දේශපාලනයක් අවශ්‍ය අතර ඒ සදහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් නිර්මාණය කරගත යුතුය.

ජෙනින්ස් අනුව යමින් ශිෂ්‍යයන්ට නිදහස

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති සර් අයිවර් ජෙනින්ස් එකල ශිෂ්‍ය කැරලිකරුවන් දෙස ත්‍රස්තවාදීන් දෙස බලන කෝණයෙන් නොවේ. තම දරුවන් වරදක් කර ඇතිවිට ඊට තමනුත් දෙමව්පියන් වශයෙන් වැරැදිකරුවන් බව ජෙනින්ස් කල්පනා කළේය. ඒ අනුව ජෙනින්ස් තීන්දු තීරණ ගත් අතර වරදකරුවන්ට දඩුවම් දුන්නේ දෙමව්පියන් තම දරුවන් වැරැදි කළ විට දඩුවම් දෙන සෙනෙහෙබර ආකල්පයෙනි. මේ මොහොත තුළ විශ්ව විද්‍යාලයේ තරුණ තරුණියන් දේශපාලන වශයෙන් වැරදි දෘෂ්ඨිමය රාමුවක හිදිමින් වැරදි දේශපාලනයක් කර තිබේ. එහෙත් ඔවුන් අපේ දරුවන් හා සහෝදර සහෝදරියන් ලෙස සලකමින් ඔහුන්ව දෘෂ්ඨිමය දේශපාලන වරදින් මුදවා ගනිමින් නිවැරැදි දේශපාලන ගමනක් ආරම්භ කිරීම සමාජයේ වගකීමයි.

ඒ සදහා අලුත් සබුද්ධික දේශපාලන ව්‍යාපාරයක් ගොඩනගා ගත හැකිනම් මේ යුගය තුළ ලොකුම ජයග්‍රහණය එය වනු නො අනුමානය.


Shan.info1978@gmail.com

Friday, June 23, 2017

513. තාපසයා සහ සූටි කයියා සමඟ වැඩිහිටියන්ගේ කතා.....1

වැවුරුකන්නල පන්සලේ අඹා ඇති අපායෙහි
යම රජතුමා සහ යමපල්ලන් තිදෙනෙක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ

අද නං ඔන්න අර මම කලිං කියපු තාපසයගෙ කතාව කියන්නයි තනන්නෙ. මේක මම ගුරුවරියක සමඟ කතා මාලාවට දාන්නෙ නෑ. එහෙම දාල අපෙ උන්දැ බැරිවෙලාවත් මේක කියෙව්වොත් එහෙම මම වසල හමාරයි.

"මොනවද මනුස්සයො අර ගුරුවරියක සමඟ මගේ ජීවිතය කියල අර ලියල තියෙන බහුබූත? මේ මම නොකිව්වයි කියල කියන්න එහෙම එපා ඔන්න. ඕන එකක් ලියාගන්නව මගෙ නම ඈඳගන්නෙ නැතුව…"

ආය දෙකක් නෑ ඔන්න ඔහොම කියල කෑගහනව මේක දෙකක් වෙන්ට. ඒ හින්ද ඒ මනුස්සදූගෙ නම ඈඳන්නෙ නැතුව අපි මේකට තාපස කතාව කියමු හොඳද?

ඔය තාපසයො ගැන මම හිච්චි එකා සන්දියෙ හිතාගෙන උන්නෙ තාපසයො කියන ජාතිය කරන්නෙ කැලේට ගිහිල්ල සිතාර් එකක් ගගහ ඉන්න එක කියල. එහෙම හිතුනෙ අර සුනිල් අයියගේ සිංදුව මට ඒ කාලෙ ඇහුනෙම මෙන්න මෙහෙම හින්ද "තාපසයාණනි, ඔබේ සිතාරය සත් සර නංවන දුක් ගී රාවය....දුක් ගී රාවය..."

තාපස කකුළුවො කියල ජාතියකුත් ඉන්නවනෙ. Hermit Crab. අපි හතේ පන්තියෙ වගෙ ඉන්දැද්දි කොළඹ ට්‍රිප් එකක් ගියා ඉස්කෝලෙං. වන්ඩේ එඩියුකේෂනල් ටුවර් එකක්. ඒකෙදි සූ එකටත් ගියා. ඒ ඔය මින් මැදුර එහෙම හදල හාපුරා කියල විවෘත කරපු අලුත.

අර "මින් මැදුරේ හෝ පුංචි පැලේ හෝ ඈත බවේ හෝ මා ඔබ හමුවී තිබුනා...හමු වී තිබුනා.." කියල සිංදුවක් එහෙම කිව්වෙ මම හිතන්නෙ ඔය මින් මැදුර විවෘත කිරීමේ උත්සවයට වෙන්න ඕන. 

හරි ඉතිං අර ටාපෂ කකුලුවගෙ විස්තරේට ආයම ආවොත් මින් මැදුරෙ තාපස කකුලුවයි කියල බෝඩ් එකක් ගහපු ටැංකියක් තිබ්බට ඒකෙ මොනම සතෙක්වත් අඩුගානෙ ගොම්බෙල්ලෙක්වත් හිටියෙ නෑ. අපිත් එක්ක ගියපු ජයසිංහ සර් කිව්ව "ළමයි තාපස කකුළුවයි කියන නමෙන්ම තේරෙනවනෙ ඒ සතා වැඩිය එලි පෙහෙලියට එන්නෙ නෑ. ඒ හින්ද ඔය තාපස කකුළුව බලන්ට මෙතන පොරකන වෙලාවෙ යමු අනික් සත්තු බලමු" කියල. බලාගෙන යනකොට ඒකත් ඇත්ත තමයි කියල අපි ඉතිං තාපසය බැලිල්ල පැත්තක තියල ඉස්සරහට ගියා.

හරි එහෙනං තව එහාට මෙහාට අදින්නෙ නැතුව බහිමු කතන්දරේට. ආ.....ඊට කලිං වෙරි ඉම්පෝටඩ් කතාවක් කියන්ටම ඕමනයි. මම අද මාතෘකාව ලිව්වෙ ඩබ්ලිව්. ජයසිරිගෙ කෙටිකතා පොතක නමේ අනුසාරයෙන්. " සිරිසේන, තෙපානිස් සමඟ වැඩිහිටියන්ගේ කතා...." ඒ තමයි ජයසිරිගෙ පොතේ නම. ඩබ්ලිව්. ජයසිරි දන්නව නේද? මේ දවස්වල ඔය බොහොම ජනප්‍රිය වෙලා තියන සිදූ ටෙලි චිත්‍රපටයෙ ලොකු හාමුදුරුවන්ගෙ චරිතය කරන්නෙ ඩබ්ලිව්. ජයසිරි... බඹරු ඇවිත් ෆිල්ම් එකේ උදුම්බරා හිනැහෙනවා ගීතයෙ රචකයත් ජයසිරි.

රායිට් ඔන්න එහෙනං කතාව...ආ...මම කලින් කිව්ව නේද තාපසයගෙ කතන්දරේ කියන්ට ඉස්සෙල්ල ඒ වගේම තව කතාවක් තියනව ඒකත් ඒ එක්කම කියන්නම්ය කියල. හරි..ඉස්සෙල්ල එහෙනං ඒ අතුරු කතාව කියල ඉමු. අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු හෙට්ටියා...අපි පොඩි දවස්වල කරපු සෙල්ලමක් ඔය. ඔය කවිය පබැඳිල තියනවයි කියන්නෙ සීතාවක රාජසිංහ රජ්ජුරුවන්ගෙ අවසාන කාලෙ අගමැති වෙලා හිටිය අරිට්ඨ කීවෙන්ඩු නොහොත් මාන්නපපෙරුම මොහොට්ටාල අරභයා..,,,

හරි ඒ අතුරු කතාව මෙහෙමයි. මේක සිද්දවුනේ ඈස් ෆා ඈස් අයි කැන් රිමෙම්බර් නමසිය අනූහතේ වගේ. චන්ද්‍රිකා නෝන අනූ හතරෙ බලයට ආවනෙ. අනූ හතරෙ අප්‍රේල් වෙනකොට ප්‍රාදේසීය සබා මන්ත්‍රීකමක් වත් නොතිබිච්ච ඒ අම්මණ්ඩි මෙන්න ඉස්සෙල්ල බස්නාහිර මහ ඇමතිවුනා. ඊලඟට මාස දෙකක්ද කොහෙද ගියේ අගමැතිවුනා. තව මාස තුනයි ගියේ මෙන්න එච්චී වෙච්චී. එහෙම තමයි ඉස්ටාර් එක කියන එක. පක්සිය රජකරන කොට බමරා වැල්ලෙත් කැරකෙන කොට ආය මොනව කරලවත් නවත්තන එක බොරු. විජේ අකාලෙ මැරුනෙ එතකොට ලලිත් මලේ ඔය ඔක්කොම චන්ද්‍රිකාගෙ බලසම්පන්න ග්‍රහයෝග හින්දයි කියල බොහොම දෙනෙක් කියනව.

ඉතිං කොහොම හරි අනූහතේ තිබ්බ මොකක්ද මන්ද චන්දයක්....පලාස්සබා වෙන්න ඕන බොහෝවිට. ඒ චන්දෙට ප්‍රචාරක කටයුතු කරද්දි නාලන්ද එල්ලාවල තරුණ මන්ත්‍රී තුමාට වෙඩි තියල මැරුව. මැරුවෙ ඒ කාලෙ යූ.එන්.පී. පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා හිටිය පුංචි නිලමෙ කියල තමයි රටපුරා කතාව පැතිරුනේ. ඒකට නඩුවකුත් තිබ්බද කොහෙද. මට මතක විදිහට පුංචි නිලමෙ ඒ නඩුවෙං නිදහස් වුනා.

හරි ඒ මොකක් හරි මම මේ කියන සිද්දිය වුනේ ඔය මිනීමැරුම වෙච්චි අලුතම වගෙ. පුංචි නිලමෙ හැංගුනා. දැං පොලීසිය රටපුරාම මිනිහව හොයනව. මේ දවස්වල අර වහං වෙලා ඉන්න නානෙව පොලීසියෙං හොයනව වගෙ. 

ආණ්ඩුවත් මට පේන්නෙ මේ නානෙගෙ හැංගිමුත්තමෙදි ඔලුව පාවිච්චි කරල වැඩ කරනව වගෙ. ඒ කියන්නෙ දැං කරන්ට තියෙන හොඳම වැඩේ තමයි නානෙ ඉන්න තැන දැනගත්තත් මනුස්සයව අල්ලන්නෙ නැතුව දන්නෙ නෑ වගෙ ඉන්න එක. දැං නානෙට වෙලා තියෙන්නෙ අර ගලේ පහරපු බළලට වෙච්චි දේ. එළියට ඇවිල්ල ගොන් පාට් දාන්නත් බෑ. ඔය ඉන්න තැනකට වෙලා සද්ද වහල ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ.

ඉතිං ආයම එමු අර නාලන්ද කේස් එකට. ඔය පුංචි නිලමෙ ආගිය අතක් නැතුව ඉන්න කාලෙ මාතලේ ප්‍රදේසය පුරා හාහෝවක් පැතිරුනා පුංචි නිලමෙ හංගාන ඉන්නෙ ඇලික්ය කියල. ඇලික් දන්නව නේද? බොහොම පරණ යූ.එන්.පී. කාරයෙක්. කැබිනට් ඇමති කෙනෙක්. ඔය මං කියන කාලෙ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී. 

ඉතිං ඔය කාලෙ මාතලේ හිටිය හොඳ වැදගත් ප්‍රභූ කාන්තාවක්. චන්ද්‍රිකා එක්ක ලඟ සම්බන්ධකම් තිබ්බ නිසා ජනාධිපති කාර්යාලෙ සම්බන්ධීකරණ ලේකම්ද කොහෙද තනතුරකුත් හම්බවුනා කියමුකො. මේ මනුස්සය ඉතිං කරපු වැඩේ නාලන්දගෙ මිනීමැරුම ගැන අපිත් මේකට නිකං ඉන්න හොඳ නැතය මොනවාම හරි කරන්ට ඕනමය කියල දවසක් මාතලේ පල්ලෙහා බස් ස්ටෑන්ඩ් එක ගාව (ඔය මාතලේ දේසපාලන රැස්වීම තියන්නෙ එතන.කොළඹ හයිඩ් පාක් එක, කැම්බල් පාක් එක වගේ) රැස්වීමක් සංවිදානය කලා. පුංචි නිලමේ එළියට දමනු කියල. අන්න ඒකයි රැස්වීමේ තේමා පාඨය.

ඉතිං ඔය රැස්වීම ඉවරවෙලා අර මම කිව්ව ලේඩීස් ප්‍රමුක අනික් බබලත්තු නඩේ (එතන බහුතරයක් ඉඳල තියෙන්නෙ පෙයාරර් සෙක්ස් එකේ අය) වාහන පෙළපාලියක් ගියාලු මාතලේ ටවුම මැදිං. "පුංචි නිලමෙ දියව් දියව්. මිනීමරුව දියව් දියව්" කියල. 

මාතලේ ගැන දන්න කියන අය දන්නව ඇති ඇලිකගෙ ගේ තියෙන්නෙ මාතලේ ටවුම පහුවෙලා මීටර් පන්සීයක් හයසීයක් වගෙ දඹුල්ල පැත්තට යනකොට මහ පාර අයිනෙමයි කියල. ඉතිං මේ රත පෙලපාලිය ඇලිකගෙ ගෙදර ගේට්ටුව ඉස්සරහ නතර කරල එතනත් දෙකක් වෙන්ට කෑහැහුවලු අර විදිහට. කොයි විදිහටද?

"පුංචි නිලමෙ දියව් දියව්. මිනීමරුව දියව් දියව්"

ඇලික්ගෙ ගේ තියෙන්නෙ ටිකක් වත්ත ඇතුලට වෙන්ටවගෙ. සද්දෙ ඇහිල තමංගෙ ගෝල බාලයොත් එක්ක ඇලික් මිදුලට බහිනකොට අර රත පෙලපාලියෙ ආපු කට්ටිය වාහන සැර දමාගෙන ඇදල ගිහිල්ල. දඹුල්ල පාරෙ තව කිලෝ මීටර් හය හතක් ගියාම තියනව පළාපත්වල හන්දිය කියල ජන්කන් එකක්. එතනිං තමයි කුණ්ණෑගල පාරයි අනුරාජපුරේ පාරයි දෙකට බෙදෙන්නෙ. ඔතන ඉඳල ඒ හැටි දුරක් නෑ කවටයාමුණ පන්සලට.

ඔන්න බලමුකො ඒකෙත් හැටි දෙයියම්පල්ල ඔය කවටයාමුණ පන්සලත් අද කතාවෙ මාත්තුරුකාවට බොහොමත්ම අදාල වෙනව. ඒ කොහොමද ඒ? ඒ මෙන්න මෙහෙමයි. ඔය පංසල ඉතාම ප්‍රසිද්දයි චිරාත් කාලයක ඉඳල අපායෙ වද දෙන සීන් අඹපු රූප තියෙන තැනක් හැටියට. ඒ කිව්වෙ ලෝදිය පෙවීම, කටු ඉඹුලේ නැග්ගවීම, අතපය කැපීම, ගින්නෙන් පිච්චීම යනාදී අපායෙ ඔය දෙනවයි කියන දරුණු දඬුවම් අඹාපු රූප තියනව වෙනම විහාර මන්දිරයක අපාය කියල ලොකු බෝඩ් එකක් එහෙමත් ගහල.

මේ පහුගිය පාර නිමාඩුවට සී ලංකාවට ගිය වෙලාවෙ.... සී ලංකාව කියල තමයි මෙහෙ ඉන්න පොඩි එකා කියන්නෙ. මම කියල තියනවනෙ නේද මම මෙහෙ ඉන්නෙ යාලුවෙක් එක්ක එපාට්මන්ට් එකක් ෂෙයාර් කරගෙන කියල. ඒ යාලුවගෙ පොඩි පුතා තමයි ඔය සී ලංකාව කියල කියන්නෙ. තව ඔය මෙහෙ තියනව ලුලූ කියල සුප්‍රසිද්ධ සුපර් මාකට් චේන් එකක්. ඒකෙ අයිති කාරයො ඉන්දියාවෙ. කේරළ. ඔය ලුලූ එකට අර පොඩි එකා කියන්නෙ ලුනූ එක කියල...හෙහ්,හෙහ්, "රවි අංකල් තාත්ති ඇහුව ලුනූ එකට යනවයි කියල ඔයත් එනවද? කියල"

මෙහෙ ඉස්කෝල සමර් එකට නිවාඩු දුන්නනෙ ගිය සුමානෙ. පොඩි එකා අම්මයි අයියයි එක්ක පෙරෙයිද උදේ ගියා බෑක් ටු සී ලංකා. මට තමයි පාළුව. මට හරි පාඩුයි ළමයෝ...


බැක් ටු ද ට්‍රැක් වන්ස් අගේන්......ඉතිං මේ පහුගිය විඩේ මම සී ලංකාවට යනකොට ඔය මම කියපු ටී-රෙක්ස් ගොයියයි එයාගෙ අම්මයි තාත්තයි ඇතුලු කට්ටියමත් ගියා. සී ලංකාවට ගිහිල්ල එයාල අපේ ගෙදරත් ඇවිල්ල දවසක් නතරවෙලා ඉඳල ඊට පහුවද නුවර එළියෙ ගියා. 

නුවර එළි ගමනට අපිට එකතු වෙන්ට බැරිවුනා. ඒ මොකද කියනවානං.....(ප්‍රසිද්ධ කතා පවත්වනකොට නිතරම ඒ මොකද කියනවානං කියල කියන අපේ රටේ හිටපු නායකයෙක් ගැන ඔබ තමුන්නාන්සෙලා අහල තියනවනෙ නේද?) ඊට පහුවෙනිද අපෙ ඕ තොමෝගෙ අර මම කිව්ව මලල ක්‍රීඩා සංගමේ....අන්න ඒකෙ වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්දා ක්‍රීඩා උළෙල පවත්වන්ට සියළු කටයුතු සූදානම් කරල තිබ්බෙ බෝගම්බර පිටැන්නෙ.

පිටැන්න කියල කියන්නෙ දකුණෙ ඈයො. දකුණෙත් හද්ද ඩොටේ කට්ටිය. ඩොටේ කියන වචනෙ හැදුන හැටි ගැන දන්න කෙනෙක් ඉන්නවනං හා කියමු අපිට දැනගන්ටත් එක්ක. ඔය ඩොටේම වැඩ වාසය කරන කට්ටිය ඒ ගැන දන්නව ඇතිනෙ නේද? හෙහ්..හෙහ්..

රයිට් බෑක් ටු ද ට්‍රැක් අගේන්...ඉතිං අර මගෙ යාලුවා සහ ඔහුගේ සුතනඹුවන් (සුතනඹුවන් කියල කියන්නෙ කාටද?) අපේ ගෙදර ආහම අපි ගියා මේ අහල පහල තියෙන ප්‍රසිද්ධ සිද්ධස්ථාන කීපයක් වන්දනා කරන්ට. එක දවසයිනෙ තිබ්බෙ. වැඩි දෙයක් බලන්ට බැරි වුනා. කොටිම්ම කිව්වොත් පේරාදෙණිය මල් වත්තට යන්ට උනෙත් නෑ.

ඔය පේරාදෙණියෙ මල්වත්තට කියන්නෙ රෝයල් බොටනිකල් ගාඩ්න්ස් කියල. ඒ කියන්නෙ රාජකීය උද්භිද උද්‍යානය........මේ ඊයෙ පෙරේද අර ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවො ගැන පොතක් ලියපු ආචාර්ය ගණනාත ඔබේසේකර මම දැක්ක කියල තියනව ඔය පේරාදෙණිය මල්වත්ත පටන් ගත්තෙ සුද්දො නෙවෙයිය ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොය කියල. බොහෝවිට ඇත්ත වෙන්නැති. ඒ මොකද කියනවනං කන්ද උඩරට රජකම ලැබෙන්ට ඉස්සෙල්ල කන්නසාමි කුමාරය කාලෙ ඔය යෝදය පේරාදෙණිය පැත්තෙ තම්පලා කොටුවක් වවාගෙන හිටියය කියල මම කොහෙ හරි කියවපු මතකයක් තියනව. ඒ හින්ද රජවුනායින් පස්සෙ ඒ තම්පලා කොටුව තිබ්බ හරිය රාජකීය මල් වත්තක් කරන්ට ඇති. මෝස්ට් ප්‍රොබබ්ලි නෝ? වඩියුසේ? ඇග්‍රීඩ් ඕ නොට්?

මම අද ඕ තොමෝට කතා කරපු වෙලාවෙ ආඥාවක් නිකුත් කලා මේ හෙට අනිද්ද කැන්ඩි සිටි සෙන්ටර් එකේ තියෙන පොත් සල්පිලට ගිහිල්ල අර ආචාර්ය ගණනාථගෙ පොත ගන්ටය කියල. දන්නවද උන්දැ කියපු එක. "පොත් ගන්ට නම් බැරිය. මට එහෙනං සල්ලි ටිකක් එවන්ට හොඳද?"...ඔන්න දැක්කද? කාටද ඉතිං මෙව්ව කියන්නෙ?

හරි හරි එව්ව ඕන නෑ. අර කියාගෙන ආපු කතාව කියල ඉමුකො. දැනටම මට හිතෙන්නෙ වචන එක්දාස් පන්සීයක් වගෙ වෙලාද කොහෙද. ඒකත් සෙල්ලං කෙලියක් නෙවෙයි දන්නවද? මම මේ කිව්වෙ වචන දාහකට වගෙ එහා පැත්තෙ නිකං ඔය වල්පල් වැල්වටාරං දොඩවන එක ගැන. හුහ් ඔහෙල හිතාගෙන ඉන්නෙ ඒක සෙල්ලමක් කියලද? ලියල බලන්ටලාකො එහෙනං කොහොමද කියල. ලේසි නෑ හොඳේ...

හරි ආයම එහෙනං දෙයියනේ කියල කතාවට ප්‍රවිෂ්ඨ වෙමුකො. ඉතිං මගෙ යාලුව සහ ඔහුගේ පවුලේ උදවිය අපෙ ගෙදර ආවය කියල මම කිව්වනෙ. එක දවසයි හිටියෙ. ඒ හින්ද අපි ගියේ අළුවිහාරෙ පන්සලටයි, කවටයාමුණ විහාරෙටයි විතරයි. හවස ගියා දළඳා මාළිගාවට..

ඉතිං ඔය කවටයාමුණේ සහ සූටි කයියගෙ සම්බන්දයක් තියනවයි කියල මම කලිම්ම කිව්වනෙ. ඒක මෙහෙමයි. කවටයාමුණේ අඹල තියෙන අපායෙ සීන්ස් වල ඉන්න එක යමපල්ලෙක්ගෙ යටිකය සම්පූර්ණයෙන්ම නිරුවත්ව අඹල තියෙන්නෙ. යස් ටෝටලි ඕපන් ඇන්ඩ් එක්ස්පෝස්ඩ්. ඔය නිරුවත් යකා අපි පොඩි කාලෙ එහෙම හරි ප්‍රසිද්දයි. ඒ කාලෙ ඔය වගෙ දේවල් බලන්ට අපිට ඉන්ටනැට් යනාදිය තිබ්බෙ නෑනෙ. ඉතිං ඔහොම දේවල් ගැන අපේ කුතුහලය උපරිමයි. පෝය දවසට එහෙම ඔය යමපල්ලගෙ යටිකය බලන්ඩම සෙනඟ එනවලු ඊස් මීස් නැතුව.

ඉතිං අනේ මේ පාරත් අපි ගියානෙ කවටයාමුණ. මොන යටි කයක්ද? ඒ යමපල්ලට අන්න දැං රෙද්දක් අන්දවල...හෙහ්,හෙහ්, ආ..ඔය කවටයාමුණ ෆුල් මොන්ටි යම පල්ල ගැන තව සෝක් කතාවක් තියනව 

එක දවසක් මම ඔය ඕ තොමෝ එක්ක කයියක් ගහගෙන සාලෙ ඉන්දැද්දි කොහොමින් කොහොමින් හරි ඔය කවටයාමුණ යමපල්ලගෙ කතාව ඇදිල ආව.

ඒ පාර මම නිකමට වගෙ ඇහුව.."මේ ඒකාලෙ ඔය මාතලේ ඉස්කෝලවල ගෑණු ළමයි ක්ලාස් යනවයි කියල ගෙවල් වලට කියල ඇවිල්ල කවටයාමුණ යනවයි කියල කියන්නෙ ඇත්තද? නෑ මම මේ නිකමට වගෙ ඇහුවෙ...ඔයත් යාලුවොත් එක්ක එහෙම ගියෙ එහෙම නැද්ද නිකමට වගේ?" කියල...

ආය මොනවද? හෙහ්..හෙහ්..ඔයාල හිතන්නෙ ඕ තොමෝ මට පස් පඩංගුවෙ බැණ අඬගැහුව කියලද? මොන? එක වචනයක් කතා කරේ නෑ එතුමී..අන්න එහෙමයි ගුණයහපත්කම..එක වචනයක්වත් කිව්වෙ නෑ.

අපෙ ගෙවල් ගාව හන්දියෙ තියනව සමණල හෝටලය කියල හෝටලයක්. ඊට පස්සෙ දවස් තුනක් මම උදේ දවල් රෑ තුන් වේලම කෑවෙ එන්න ඒ සමණල හෝටලෙං...ඒක වෙනම කතාවක්. කවටයාමුණ යකාට ඒක කොහෙත්ම අදාල නෑ..හෙහ්,හෙහ්,

හරි එහෙනං අදට ඇති හොඳේ? දැනටම මයෙ හිතේ වචන එක්දාස් පන්සීය පැන්න. මෙහම දිගට මාගල් වගෙ ලියනකොට වැල් වටාරං උනත් එපා වෙනව..නැද්ද හා? ඒ හින්ද අපි මෙහෙම කරමු.ඇලික්ගෙ කතාවයි, තාපසයගෙ කතාවයි ඊලඟ එපිසෝඩ් එකෙං නොහොත් කථාංගයෙන් බලාපොරොත්තු වන්න..

ආ...නෑ..නෑ..නෑ..ඒ හැටි කාලයක් යන එකක් නෑ..දැං කොහොමත් රාමසාන් උපවාස සමය ඉවරවෙලා ලබන ඉරිද නැත්තං සඳුද ඉඳල අපිට නිවාඩු දවස් තුනක් තියනව. ඒ හින්ද අවුලක් වෙන එකක් නෑ.. විගැහිං ඊලඟ කොටස ලියන්නං..ගෝඩ් ප්‍රොමිස්...

පලි - ආ අර කවටයාමුණ යම පල්ල බලන්ට ගියාද කියල ඇහුව එක වගෙ මොකක් හරි  ඊට පස්සෙ මට අහන්ට ඕන උනාම මම අනුගමනය කරන ක්‍රමවේදය    මෙන්න මෙහෙමයි........

"මේ ඔයාගෙන් පොඩි කාරණයක් අහන්ටත්නං තියනව"

"මොකක්ද?"

"ඉන්ටකො පොඩ්ඩක්.." මම ගෙට ගිහිල්ල සරම ගලවල කලිසමක් ඇඳගෙන එනව.

"ඔය මොකටද අනේ කළිසමක්?"

"නෑ මම මේ කල්පනා කලේ මම අර කියපු කාරණාව ඔයාගෙං අහන්ට ඉස්සර කෝකටත් හන්දියට ගිහිල්ල සමණල හෝටලේ මුදලාලිට හෙට ඉඳල දවස් තුනකට කෑම ඕඩර් කරලම ආවනං හොඳයි කියල....."

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...