Tuesday, January 31, 2012

94. ආදර....නිල්.....දෑසේ.......15 - Chutti's Story - That means my destiny......what else?

'' මේ කතාව මුල ඉඳම්ම මම පටන් ගන්නම් අයියෙ,...... අපෙ අම්මට හිටියෙ එකම වැඩිමල් සහෝදරයෙක් විතරයි.ඒ මාම අම්මට වඩා අවුරුදු හතක් විතර වැඩිමල්.අම්මට වයස දහයක් වගෙ වෙද්දි අටමස්තානෙ වන්දනාවක ගිහිල්ල එද්දි බස් එක පෙරලිල අම්මගෙ අම්මයි අප්පච්චියි..... ඒ කිව්වෙ අපෙ ආතයි අත්තම්මයි දෙන්නම අන්තරා වෙලා.අම්මයි මාමයි ඒ ගමන ගිහිල්ල නෑ.....''

චුට්ටි මා අතින් හිස් කෝප්පෙ අරන් ගිහිල්ල කෝප්ප දෙකම මේසෙ උඩින් තියල ආයෙම ඇවිදිල්ල ඉඳ ගත්ත.

ඔන්න අන්තිමට විස්තරේ. මම ඇහිපිය නොහෙලා චුට්ටිගෙ මූණ බලාගෙන උන්නා.

'' අම්මලගෙ නෑදෑයන්ගෙන් කිසිම උදව්වක් ඒ දෙන්නට ලැබිල නෑ.ඒත් ඒ ලොකු මාමගෙ හිත හරිම හයියයි. නංගි, උඹ බයවෙන්න එපා... මම ඉන්නව ඕන දේකට.... එහෙම කියල අම්මගෙ හිතත් හදල තියෙන්නෙ ඒ මාම....''

'' නංගි.... අර මේ ඊයෙ මුරුංග පොතු ගෙනියන්න ආවෙ ...ඒ මාමද?......අර මම බොහොම ආසාවෙං පරණ විස්තර අහගෙන හිටියෙ...හෙහ්, හෙහ්, ''

මට හිනා ගියා ඒ වෙලාවෙ මේ කෙල්ල කරපු විගඩං මතක් වෙලා...

'' හි, හි, '' කෙල්ලටත් හිනා....'' නෑ, නෑ...ඒ අපෙ අප්පච්චිගෙ අක්කගෙ හස්බන්ඩ්....මේ අපේ අප්පච්චිගෙ ගම...අම්මල ආනමඩුවෙ......''

'' ඒ මාමට හොඳට ඉගෙන ගන්නත් පුලුවන්ලු. ඒත් ඉගෙනීම අත ඇරල කුඹුරු කිරිල්ල පටන්ගෙන තියනව ජීවත් වෙන්න වෙන ක්රමයක් නැති නිසා. හැම වෙලේම අම්මට කියල තියෙන්නෙ මම කොහොම හරි උඹට වියදම් කරන්නම්. උඹ නංගියේ හොඳට ඉගෙන ගනිං කියලයි. ඒ මාමගෙ උත්සාහය හින්දමයි අම්මට යුනිවසිටි යන්න ලැබුනෙ කියලයි අම්ම නිතරම කියන්නෙ.කොහොම හරි අම්ම යුනිවසිටි ගියා. එහෙදි තමයි අප්පච්චිව හම්බ වෙලා තියෙන්නෙ.ඉතිං අම්මගෙ ජීවිතේ සාර්ථක උනේ ලොකු මාමගෙ කැපවීම නිසාය කියල අම්මගෙ පුදුම ගෞරවයක් භක්තියක් තියෙන්නෙ ලොකු මාමට.''

'' අයිය අහගෙන නේද ඉන්නෙ?......අයිය හිතනව ඇති මේ අම්මගෙ මාමගෙ කතා මොකටද මට දැනගන්න ඕන දේට කියල.....නෑ අයියෙ මේ කතාව මුල ඉඳල කිව්වෙ නැත්නම් අයියට හරියට තේරුම් යන එකක් නෑ කියල මට හිතෙනව. ඒකයි මම මුල ඉඳන්ම පටන් ගත්තෙ.....''

'' නෑ...චුට්ටි මම සාවධානව අහගෙන ඉන්නෙ...මට තේරෙනව. මේ විස්තර වල සම්බන්ධයක් නැත්නම් ඔයා මෙහෙම කතාව පටන් ගන්නෙ නැහැනෙ කවදාවත්....ප්රශ්නයක් නෑ....කියන්න, කියන්න,''

'' අම්මගෙ අනාගතය ගැනම කැපවුනු නිසා මාම කසාදයක් ගැනත් හිතල නෑ. අම්ම බැන්දටත් පස්සෙයි එයා බැඳල තියෙන්නෙ. ''

'' දැං එතකොට ඒ මාම එහෙම ඉන්නෙ කොහෙද චුට්ටි? ''

හීතල හුළඟක් අඩවල් කරපු දොරෙන් ඇතුලට ආව. මම නැඟිටල ගිහිල්ල දොර වැහුව.

'' අම්මලගෙ ගමේ මාම හිටියෙ. හිටියෙ කියන්නෙ අයියෙ අවුරුදු තුනකට ඉස්සර මාම නැතිඋනා කැන්සර් එහෙකින්.අම්මයි අප්පච්චියි පෙරේද ගියේ ඒ දානෙට.''

'' ඔන්න දැන් තමයි රවි අයියෙ..... කතාවෙ ඔයාට අදාල කොටස එන්නෙ. '' චුට්ටි මයෙ මූණ බලල හිනාඋනාට ඒ හිනා උනේ අඬන්ඩ බැරි නිසා කියල එයාගෙ වේදනා බර දෑස මට කිව්වා.

'' ඒ මාම මට හරිම ආදරෙයි. අන්තිමට හුස්ම යන්ට ඉස්සර අම්මට කියල තියෙනව...නංගියෙ උඹෙ චුට්ටිට මම හරිම ආදරෙයි. උඹ මට පොරොන්දු වෙයං උඹෙ චුට්ටිව මගෙ පුතාට බන්දල දෙනවයි කියල. ඉතිං අම්ම වෙන මොනව කරන්නද?....තමං වෙනුවෙන් අච්චර කැපකිරීමක් කරපු එකම අයියගෙ අවසාන ඉල්ලීම අහක දාන්නෙ කොහොමද?...අම්ම පොරොන්දු වෙලා.''

චුට්ටි මේ කතාව කියාගෙන ගියෙ මගෙ මූණ දිහාම බලාගෙන. මමත් ඇස් අහකට ගන්ට බැරුව එයා දිහා බලාගෙන හිටිය. මගෙ ඉරණම විසඳෙන හේතු සාධක.....මේ කතාව දැනගන්ට නෙව මම මෙච්චර දත කෑවෙ.....

'' අම්ම එහෙම පොරොන්දු වෙච්ච එක සාධාරණයි කියල අයිය හිතනවද?''

ඉඳගෙන හිටපු පුටුව මා ළඟටම ඇදගෙන චුට්ටි මගෙ දකුණු අත අත් දෙකින්ම අල්ලගෙන මගෙ මූණ දිහා ඇහිපිය නොහෙලා බලාගෙන ඇහුවා.

උත්තර දෙන්ට ඉස්සරවෙලා මම දිග සුසුමක් හෙලුවා. චුට්ටිගෙ අත අරගෙන සිප ගත්තා.

'' ඒ ප්රශ්නෙට එහෙම උත්තරයක් දෙන්ට අමාරුයි නංගි. අම්ම ඒ වෙලාවෙ පත් වෙච්ච තත්වෙ මට හිතාගන්න පුළුවනි.මාම ඒ වගෙ ඉල්ලීමක් නොකලානම් හොඳයි කියල තමයි මට කියන්න තියෙන්නෙ. ''

'' මගෙ හොඳ අයිය....අයිය එහෙම කරුණු තේරුම් ගත්ත එක මට ලොකු සැනසීමක්....අම්ම ගැන මට මුලුන්ම ඇති උනේ තරහක්....ඒත් දැන් මගෙ ඒ තරහ නෑ. කියාගන්ට බැරි මොකක්දෝ හිස් බවක් මයෙ හිතේ තියෙන්නෙ, ''

'' මොකක්ද මස්සිනාගෙ නම? ''

මම අහක බලාගෙන ඇහුව.

'' අජන්ත....අජන්ත අයිය අපෙ පොඩි අයියට වඩා අවුරුද්දක් බාලයි....''

'' මිනිහ මොකෝ කරන්නෙ?.....''

'' රස්සාවක් ඕන නෑ අයියෙ එයාට...කුරුණෑගල මීගමු පාරෙ එයාලගෙ තියනව ලොකු හාඩ්වෙයාර් එකක්. අපෙ මාම බැඳපු නැන්දගෙ ඒ දේපළ ඔක්කොම.''

'' ඉතිං චුට්ටි...මොකද අජන්තට කැමති නැතිවෙන්ට හේතුව කියන්නකො බලන්ට.....''

මම පුටුවෙ හරි බරි ගැහිල හේත්තු වෙලා එහෙම ඔළුව පිටිපස්සට අත්දෙක බැඳගත්ත.

'' ඒකම තමයි අයියෙ මටත් හිතාගන්ට බැරි....අජන්ත අයියගෙ කිසිම වැරැද්දක් නෑ කියන්ට .....ඒත් ...ඒත්.......''

චුට්ටි නැවිල එහා පුටුවෙ තිබ්බ පුටු කොට්ටෙ අරගෙන උකුලෙ තියාගෙන ඒක මිරිකමින් කතා කලේ.....

'' ඒත් මට අජන්ත අයිය ගැන කැමැත්තක් ඇතිවෙන්නෙම නැති හැටි......''

'' අම්ම මා ගැන පොරොන්දුවුනෙ අවුරුදු තුනකට කලින් කියල මම කිව්වනෙ... යුනිව්සිටි සිලෙක්ට් උනොත් හොඳයි. නැත්නම් තව අවුරුද්දක් දෙකක් ඇතුලත මට අජන්ත අයියව බඳින්නම වෙනව.......''

චුට්ටි මගෙ මූණ බැලුව.....මම ඉතිං මොනව කියල කියන්නද?.....එපා බං උඹ අජන්තව බඳින්න...කියල කියන්නද?....මම චුට්ටිගෙ මූණ බලාගෙන එහෙම්මම හිටිය මොකවත්ම නොකිය.

'' අපෙ පොඩි අයිය හරිම තරහයි මේ වැඩේට..දෙතුං පාරක් අම්ම එක්ක රංඩුත් උනා....අම්මලට මාමලට ඕන විදිහට චුට්ටිගැන තීරණ ගන්න එක අන්තිම අසාධාරණයි කියල පොඩි අයිය ඒ දවස්වල ඉඳලම කියනව. ''

'' වසන්ත කැමති නැද්ද අජන්තට? ඈ...චුට්ටි?''

'' පොඩි අයිය කැමතිම නෑ. මොන හේතුවක්ද මන්දා.....ඌ මට අල්ලන්නෙ නෑ. අරක්කු ටිකක් වත් බොන්නෙ නෑ ඒ යකා...කියල බණිනව....''

චුට්ටිට ඔන්න හිනාවක් ගියා සෑහෙන වෙලාවකට පස්සෙ.

සාවධානව බැරෑරුම් මූඩ් එකෙන් කතාව අහගෙන හිටියට මටත් හිනාවක් පැන්න ඉබේටම.

'' හෙහ්, හෙහ්, වසන්තය එහෙම කිව්වද?.....මේකා තියන්ට වටින්නෙ නෑ නෙව....''

Monday, January 30, 2012

93. හෘදයාංගම සුබපැතුම් සමඟ මගේ සෙනෙහස.............Heartfelt best wishes......My Heart is with you.......


සිංහල වියුණු ලිවීමට පිවිසීමෙන් මා ලද ප්රතිලාභ අතර මුදුන් මල් කඩ වනුයේ හිත හොඳ එසේම හෘදයාංගම වූ සහෘදයින් රැසක් හඳුනා ගැන්මට ලැබුනු මහාර්ඝ අවස්ථාවයි.හෘදයාංගම මිනිසුන් ඉතා සීඝ්රයෙන් මිහිතලයෙන් වඳවී යන සත්ව කොට්ඨාශයක් වූ වර්තමානයෙහි ඒ භාග්යය නම් සුළු කොට තැකිය යුත්තක් නොවේමය.

එවන් එක් හෘදයාංගම සහ එසේම සුන්දර වූ යුවතියක වෙනුවෙනි අද මේ වියුණු සටහන කැප කෙරෙනුයේ.ඇය නමින් ජනනි හංසකිංකිණි වූවාය. අද ඇගේ දිවියෙහි ඉතාම වැදගත්වූද එසේම සොඳුරුතම වූ ද දිනයයි. අද ඈ තම පෙම්බරයාණන් වූ යජිතුන් සමඟ අතිනත ගන්නාහුය.

ඔබ දෙපල වැලඳ සුබ පැතීමට පැමිණිය නොහැකිවීම පිළිබඳ ඔබෙන් සමාව අයදින අතර ජනූ, ඔබ ඒ වෙනුවෙන් මට සමාව දෙන බව හෙට හිරු නැඟෙන්නාසේම ස්ථිර බව ද දන්නෙමි.

එසේනම්.... ජනනි සහ යජිත්...... මා දයාබර සොයුරිය සහ සොයුර......
ඔබට සුබ මංගලම්!!!
දිවි ගමන මං දෙපස දහසක් මල් සුපිපේවා!!!,
සදාතන සෙනෙහසේ සුවඳ ඔබ හදවතේ සදා කල් රැඳේවා!!!
සසර සරනා තුරා බැඳුනු ඔබ සුරත් යලි කිසිදු දිනයෙක නොගිලිහී සදා රැඳේවා!!!

සෙනෙහසේ නවාතැන ඔබේ නෙතු සඟලමය.
හදවිලේ පිපුණු මල ඔබෙ නමින් සුවඳමය.
සදා ඔබ සමඟ එමි පිය නඟා අත නොහැර,
සබඳ මතු සසර අත හරිනු ඔබ සමඟමය.

Setting out today on the journey of life,
With hands held tight and stars in eyes,
Until eternity and even beyond,
Together we would be never to part,


Saturday, January 28, 2012

92. ආදර නිල් දෑසේ ......14 - Yeah, Don't ask questions if you are afraid of the answer

චුට්ටියි මමයි නිවිල තිබුනු පහන් ඔක්කොම තෙල් දාල තිර හදල පත්තු කලා....අපි දෙන්නම දැල්වූ පහන් දෙකක් අරගෙන එකින් එක පහන ලඟට ගිහිල්ල පහන් දල්වපු ඒ සුන්දර දර්ශනය දැනුත් මතක් වෙද්දි හිතට නැඟෙන්නෙ වචනයෙන් කියාගන්න බැරි පිවිතුරු හැඟීමක්.....පහන් එකිනෙක දැල්වෙද්දි, ඒ පහන් වලින් නැඟුනු ආලෝකය චුට්ටිගෙ මුහුණ පුරා තැවරිල ඒ මුහුණ දිදුලද්දි මම ඒ දිහා බලා හිටියෙ මයෙ ඇස් අහකට ගන්ට බැරි ගානට.



ඔන්න ඉතින් අන්තිමට මුළු බෝධි ප්‍රාකාරෙම පහන් ආලෝකයෙන් දිලෙන්න පටන් ගත්ත.අපි දෙන්න පස්සට වෙලා ඒ දිහා බලා හිටියෙ කියාගන්න බැරිතරම් සන්තෝසෙකින්......

" පොඩි හාමුදුරුවන්ට ආයෙ බෝධි පූජා තියන්ට කඩෙන් තමයි තෙල් ගෙනෙන්ට වෙන්නෙ''

මම චුට්ටිගෙ මූණ බලල හිනා උනා....

'' හි හි......ගේන්නෙ නැතෑ ඕනම නම්....''

'' අඩේ ඒක නෙවෙයි චුට්ටියේ.....මම මේ කල්පනා කලේ.....අද පෝයත් නෙවෙයි..මේ පගන් කැටියම පත්තු කරල අපිට ප්‍රශ්නයක වෙයිද මන්ද.....''

'' අය අහවල් ප්‍රශ්න....කවුද එහෙම ප්‍රශ්න කරන්න ඉන්නෙ.....රවි අයියගෙ කට විතරයි.... මාර බය ගුල්ලෙක්නෙ.....හි, හි, හි,''

චුට්ටි වට පිට බලල මගෙ අත අල්ල ගත්ත.

'' හුහ්, බය ....මම කොහෙද බය?.......මම ඇවිල්ල බය කියන වචනෙ තේරුම වත් දන්නෙ නැති කොල්ලෙක් නංගි තේරුණාද?......ඒ නිසා එහෙම කතා කරන්න එපා...මගෙ හදවත දහස් කඩකට බිඳිල සුනු විසුනු වෙලා යයි ඔන්න. ඔයාට තමයි කෑලි අහුලන්න වෙන්නෙ......''

චුට්ටිට බකස් ගාල හිනාගියා. ඒත් හිනාව නැවතුනා ඒ එක්කම. හප්පච්චියේ නොහිතාම උනත් මගෙ කටින් පිටවුණු වචනෙ බරපතල කම මට තේරුනෙ ඔන්න එතකොටයි.....

'' සොරි චුට්ටි...මම ඒක හිතල කිව්ව එකක් නෙවෙයි....නිකම්ම මට කියවුනා.....''

'' කමක් නෑ අයියෙ.....නොහිතා කිව්ව උනත් ඒ කතාවෙ...........''

එතනින් එහාට මොනවත්ම නොකිය චුට්ටි මගෙ මූණ ටිකවෙලාවක් බලන් ඉඳල බිම බලාගත්ත.ඉතිරි හරිය කියන්න ඕන උනේ නෑ...චුට්ටි මොකක්ද කියන්ඩ ගියේ කියල මම දැනගෙන හිටිය සහසුද්දෙන්ම.....

එයත් බිම බලාගෙන මමත් බිම බලාගෙන.....එහෙම නිහඬවම ගෙවුනු මිනිත්තුකීපයකට පස්සෙ.....බෝ පත් සිලි සිලි හඬවමින් හමා ආ සීතල සුළඟකින් මගෙ මුළු සිරුරම කිළිපොලා ගියා....

'' චුට්ටි...සීතලයි නංගි...අපි යමුද?......'' නිහැඬියාව බිඳිමින් මම කිව්වා.

'' යමු එහෙනම් අයියෙ...පොඩි අයිය මොනව කරනවද මන්ද තවම'' .....චුට්ටි තවමත් මගේ දිහා බැලුවෙ නෑ...

'' ඒයි ඔය දෙන්න කොහෙද හිටියෙ?....මම මේ හොයන්න යන්නයි ලෑස්ති උනේ....'' වසන්ත ආවාසෙන් එළියට බැහැල අපි දිහාට එනව....

'' රවී.... මචං, මේ උඹ එහෙනම් චුට්ටි එක්කල ගෙදර පලයං.....මම පොඩි හාමුදුරුවො එක්ක මේ ළඟ පන්සලකට ගිහිල්ල එන්නම්.හෙට බණට එන්න හිටිය හාමුදුරුවො අසනීප වෙලාලු. වෙන හාමුදුරු කෙනෙක් හොයා ගන්න
වෙලා. පන්සලේ ඩ්‍රයිවරුත් ගෙදර ගිහිල්ල. මට කා එක ඩ්‍රයිව් කරන්න වෙලා මචං.....මම පුලුවන් ඉක්මනින් එනව. ''

අපි දෙන්න ඒ කිව්වෙ මමයි චුට්ටියි......හෙමිහිට පඩි පෙල බහින්න පටන් ගත්ත.මට කියවුනු අර කතාව චුට්ටිගෙ හිතට බොහොම තදින් වැදුනු බව මටතේරුං ගන්න එච්චර අපහසු උනේ නෑ. මගේ හිතෙත් ඒ මට කියවුනු වචන කීපය ආයෙම ආයෙම හොල්මන් කලා. නොදැනුවත්වම කටින් පිටවෙන්නෙ හිතේ තියන අදහස්ය කියල කියන නේද?....එතකොට.....මේ මගේ හිතේ තියෙන අදහසද?.....එහෙම මගෙ යටි හිතේ කල්පනාවක් තිබ්බයි කියන එක එක අතකට පුදුම වෙන්න දේකුත් නෙවෙයි නේද?

පඩි පෙලේ මැදක් විතර බහිනකොට තමයි ඔන්න මට මතක් උනේ අපි දෙන්න අඩි කීපයක් ඈත් වෙලයි ඉන්නෙ කියල...අත් අල්ලගෙන පඩි නැග්ග අපි....පව්....මොනව උනත් මේ අවසාන මොහොතෙ චුට්ටිගෙ හිතට දුකක් දෙන්න මම කැමති උනේ නෑ...

'' සොරි නංගි...''

මම එහෙම කියල චුට්ටිගෙ අත අල්ල ගත්ත. ඒ අතේ සීතල මගෙ අතට දැනුන හොඳටම. එයත් ඒ අවස්තාව බලාපොරොත්තුවෙන් හිටිය වගෙ මගෙ අත තද කරල මිරික ගත්ත.

'' මම ලොකු කල්පනාවකින් හිටියෙ සමාවෙන්න....'' මම නැවිල චුට්ටිගෙ කණට කෙඳුරුවා.

'' කමක් නෑ..අයියෙ මට තේරෙනව...ඒකට කමක් නෑ....'' චුට්ටි තවත් මට ලංවෙලා මගෙ උරහිසට ඔලුව හේත්තු කරමින් කිව්ව ඇහෙන නෑහෙන ගානට.

පාර පුරා හඳ එළිය පැතිරිලා. හිටපු ගමන් හඳ මුවා කරගෙන පාවෙලා යන වලාකුළු වල හෙවනැල්ල පාර හරහ ඇදිල යන්නෙ හරියට කවුරු හරි පස්සෙං එලවගෙන එනකොට පණ බේරගන්ට දුවනව වගෙ. පාර දෙපැත්තෙම ගහ කොල සීතල හුලඟෙ හෙලවුනෙ කවුරුත් නොදන්න රහසක් මුමුණමින් වගෙ කියලත් මට හිතුනා. වෙන දවසක නම් මට කවියක් දෙකක් ලියන්ට මේ ඇති හොඳටෝම. චුට්ටිත් එක්ක මේ වගෙ අත් අල්ලාගෙන සඳ එළිය දෝරේ ගලා ගිය පාරක හෙමිහිට ඇවිද යන ගමන් එයාගෙ ඇස් දෙක දිහාවෙ අනිමිස ලෝචනෙන් බලාගෙන හෙමිහිට චුට්ටිට විතරක් ඇහෙන්ට මම එයා වෙනුවෙන්ම ගොතපු කවියක් කියන්න මට කවදාවත්ම නොලැබෙන විත්තිය මගෙ හිත දැනගෙන හිටියා.

සඳ දියෙන් තෙමීහිය,
මං පෙතේ ඇවිද යමි,
ඔබෙ සුරත අත් නොහැර,
අනන්තෙට පා නඟමි,

නිල් නයන යුග කැල්ම,
දකිනු යලි කෙදිනකද?
සොඳුර ඔබ මෙන් මමද,
මිරිඟුවට පෙම් කළෙමු,

සෙනෙහෙ විල් දියේ පිපි,
මුකුලිත වු රත් නෙළුම,
හදවතට තුරුළු කොට,
සුවඳ හැමදා විඳිමි,

නෙලනු නොහැකිවූ සඳ,
පිපුණු නෙලුමේ සුවඳ,
සිව් සියක් ගව් දුරක,
මට දැනෙන බව දනිමි,

යමක් අපිට අහිමිය කියල දැනගත්තට අනේ ඔන්න ඔහෙ කමක් නෑ මොනව කරන්නද ඉතිං කියල හිත හදාගන්න එක ලේසි නෑ....ඇයි මෙහෙම දේවල් ලෝකෙ වෙන්නෙ.....මෙහෙම දෙයක් වෙන්ට මොකක්ද මම කරපු වරද කියල යටිහිත වැළපෙන එක වලක්වන්නම බෑ....අපිම දන්නව ඒකෙ කිසිම තේරුමක් නෑ කියල..ඒත් දෙයියනේ හිත කියන එකට වැට කඩොළු බැඳල උඹ මෙහෙම හිතපං අරම හිතන්න එපා කියල කියන්න කාටද පුළුවන්.... මට නොදැනිම දිග සුසුමක් පිට උනා.

චුට්ටි මගෙ අත රිදෙන තරමට තදින් මිරිකපු නිසා මට ඉබේම එයාගෙ මූණ බැලුනා. අනේ ඒ කෙල්ල මා දිහා ඇහිපිය නොහෙලා බලා ඉන්නව....ඇස් දෙකේ කඳුලු බිඳු දෙකක්....කම්මුල් දිගේ ගලායන්න ඔන්න මෙන්න. මගෙ පපුව ගිනිගත්ත ඒක දැකල. මම මොනවත් කිව්වෙ නෑ...මම දන්නව අඬන්න එපා කිව්වොත් චුට්ටි අනිවාර්යයෙන් මෙතනම වැලහින්න වගෙ අඬන විත්තිය. මම පාත්වෙලා එයාගෙ නලල සිප ගත්තා හෙමිහිට.චුට්ටි ඇඬුවෙ නම් නෑ. ඒත් වෙව්ලන යටිතොල හපාගෙන මගෙ මූණ එකම පාරක් බලල ආපහු බිම බලාගත්ත.සිහින් ඉකි බිඳුමකින් ඇගේ උරහිස් ගැස්සිලා ගියා. මම මේ වෙලාවෙ කියන ඕනම දේකින් ඉකි බිඳුම හැඬීමකට පරිවර්තනය වෙන බව මට ඉවෙන් වගෙ තේරුණු නිසා මම කලේ එයාගෙ අත තවත් තදින් අල්ලාගැනීම විතරයි.

එතනින් පස්සෙ කිසිම කතා බහකින් තොරව අපි ආව ගෙදරට එනකල්.

'' පොඩි අයිය එනකල් ඉමු නේද රවි අයියෙ බත් කන්ට..එතකල් බඩගිනිනම් තේ හදන්නද? ''

'' හරි එහෙනම් තේ එකක් බොමු....''

කුස්සියෙ උදේ ඉඳගෙන හිටපු පුටුවෙ මම ආයෙම ඉඳගෙන. චුට්ටි මේසෙ ලඟ තේ වක් කරනවා. උදේ අච්චර ආසාවෙන් මම බලාපොරොත්තු උනු දේ .....හෙමිහිට පිටිපස්සෙන් ගිහින් චුට්ටිව වැලඳගෙන ආදරෙන් සිප ගන්න......මට මේ වෙලාවෙ එහෙම දෙයක් කල්පනාවට ආවෙම නෑ.....මම බලාපොරොත්තුවෙන් හිටපු මොහොත....නෑ එක අතකට එහෙම කියන එකත් වැරදියි...මම කොයි මොහොතක හරි උදාවෙයි කියල බයෙන් හිටපු මොහොත උදාවෙලා කියල මම දැනගෙන හිටියා බොහොම පැහැදිලිවම. ඊයෙ හවස ආපු වෙලාවෙ ඉඳල මම දැනගන්න බලාහිටි ඒ කාරණය...ඒ රහස ....චුට්ටිගෙ කටින්ම එයාගෙ වචන වලින්ම දැන ගන්න මොහොත උදාවෙලා.

චුට්ටි මට තේ එක ගෙනත් දුන්න.

'' යමු අයියෙ සාලෙට....''

එයත් තේ කෝප්පයක් අරගෙන ඇවිත් මගෙ ලඟම වේවැල් පුටුවෙ ඉඳගත්ත.

'' රවි අයිය මම ඔක්කොම විස්තරේ අයියට කියන්නම් අකුරක් නෑර...අයිය මට එක පොරොන්දුවක් වෙන්න ඕන හැබැයි...හොඳේ? ''

චුට්ටි මගෙ උත්තරේ බලපොරොත්තුවෙන් මා දිහා බැලුව,

'' අයිය මා එක්ක තරහ වෙන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්න ඕනෙ....කියන්න මා එක්ක තරහ වෙන්නෙ නෑ නේද? ''

'' නෑ නංගි මම ඔයා එක්ක ජාති ජාතිවත් තුන් හිතකින් වත් තරහ නෑ...''

මම කිව්වෙ අවංකවමයි....

********************

මේ කතාව අන්තිම කොටස මම ඊයෙ ලියන්නයි හිටියෙ, ඒත් පරිගණකයෙ ප්‍රශ්නයක් මතුවෙලා ඒ වැඩේ හරි ගියේ නෑ නෙව. මෙකුවි කිව්ව වගේ මමත් කල්පනා කලා කවදාවත් නැතුව මොකද එහෙම උනේ කියල..ඔක්කොම වෙන්නෙ හොඳටයි කියලත් කියල තියනවනෙ......අනික ලියාගෙන යද්දි තව ටිකක් කතාව ලිව්වොත් හොඳයි කියලත් මටම හිතුන.ඒ නිසා ඔන්න තරහ වෙන්න ඔට්ටු නම් නෑ....මගේ සහෘදයනි...තව කොටසක් ලියලම මේක ඉවර කරන්නම්...හොඳද?

Thursday, January 26, 2012

91. ආදර....නිල්.....දෑසේ.......13 - A heartfelt moment that made an everlasting memoir,

චුට්ටි මොනවද කියන්න හදනව කියල මට තේරුණා.

'' ඉන්න නංගි මට කියන්න දෙන්න....මම ඔයාට ආදරෙයි.....ඊයෙ ඉස්සෙල්ලාම මම ඔයාව දැක්කෙ....එතකොට අද වෙනකොට මම ආදරෙයි කියල කියන එක මහ විහිළුවක් වගෙ පේන්ට පුළුවන්.....මම දන්නව මම මෙහෙම කිව්වොත් ඊයෙ ජීවිතේ ඉස්සෙල්ලම දැක්ක කෙල්ලෙකුට මම මගෙ පණටත් වඩා ආදරෙයි කියල සීයට අනූ නමයක් මට හිනා වෙයි...පිස්සුද තමුසෙට කියල අහවි.''

'' ඒත් ඒක තමයි ඇත්ත. මම ඔයාට ආදරෙයි...මම දන්නව ඔයත් මට ඒ වගේම ආදරෙයි කියල....එතකොට මට සීයට සීයක් සහතිකයි වසන්ත මේකට කිසිම අකමැත්තක් නෑ කියල. එතකොට ඔයාගෙ අම්ම අප්පච්චිගෙන් ප්රශ්නයක් ඇතිවෙයි කියල ඔයා හිතනව නම් මම කෙලින්ම එයාල එක්ක කතා කරන්නම්.මට මේ කරන්නෙ තාවකාලික ආදරයක් නෙවෙයි.මගෙ ජීවිතය ඔයා කියල මගෙ පපුවට දැනෙනව චුට්ටි. මීට කලින් මට කවදාවත් එහෙම දැනිල නෑ. කෙල්ලො ඕන තරම් මම කිට්ටුවෙන් ආශ්රය කරල ඇති. ඒත් ඒ කවුරු ගැනවත් මට මෙහෙම හැඟුනෙ නෑ.''

මට තව දුරටත් එක දිගට කතා කර ගන්ට බෑ....මම කතාව නවත්තල දිග හුස්මක් ගත්ත ඉහලට පපුව පිරිල ඉතිරිල යන්ට.

මගෙ දකුණත අල්ලගෙන ඉන්න චුට්ටිගෙ නියපොතු වලින් මගෙ අල්ල රිදුම් දෙන තරමට එයා වැරෙන් මගෙ අත මිරිකුව. හිතට ආපු දැඩි හැඟීමක් පාලනය කරගන්න චුට්ටි උත්සාහ කරනව කියල මට තේරුන නිසා මම නිහඬව එයාට ඉඩ දුන්න.

'' මගෙ සුදු අයියෙ...මම කියන එක අහන්න, මමත් ඔයාට ආදරෙයි..ඒ ආදරේ මගෙ පපුව පුරාම පිරිල ඉතිරිල දෝරෙ ගලා යන්නෙ මේ හඳ එළිය ගල් පඩි දිගේ ගලනව වගෙ.ඒකෙ ආයෙ කිසිම සැකයක් නෑ...මම ඒක දන්නව හෙට ඉර පායනව වගේ...''

'' ඉතිං දෙයියනේ එහෙනම් මොකක්ද ප්රශ්නෙ?''

'' අයියෙ මම අයියට ඔක්කොම කියන්නම්...අද පන්සල් එමු කියල පොඩි අයියට කිව්වෙත් මම. මට ඕන උනා රවි අයිය එක්ක මේ වගෙ හිත නිවෙන තැනකට එන්න. ඇවිල්ල මහෙ හිතේ තියන ප්රාර්තනාවන් කවදාක හෝ ඉස්ට වේවා කියල අයියත් එක්කම මල් පූජා කරල ප්රාර්තනා කරන්න. අනේ මයෙ අයියෙ මම හෙට යන්ට කලින් අයියට ඔක්කොම කියන්නම්. අපි මේ මොහොතෙ ඔය ගැන කතා නොකර සන්තෝසෙන් ඉමු.මගෙ හිතේ සතුට පිරිල ඉතිරිල යන මේ මොහොත මට නැති කරන්න එපා මගෙ රත්තරන් අයියෙ, අයියගෙන් මම ඉල්ලන්නෙ එච්චරයි. කියන්න අයිය එහෙම කරන්නෙ නෑ නේද? ''

චුට්ටි එහෙම කිව්වෙ මා දිහාවෙ ඇහිපිය නොහෙලා බලා ඉඳිමින්.... අර නිල් ඇස් දෙක...ඒ වෙලාවෙ දිලිසුණා....කඳුලු.......මගෙ පපුව වාවන්නෙ නැතුව ගියා ඒ කෙල්ල එහෙම කියපු විදිහට.

'' හරි චුට්ටි හරි ආයෙ ඔයාම කියනකල් මම ඔය ගැන වචනයක් වත් කතා කරන්නෙ නෑ නෑ නෑ මයි...සත්තයි.''

'' මගෙ හොඳ රවි අයිය. මම දන්නවනෙ අයිය මම කියන දෙයක් අහක දාන්නෙ නෑ කියල.''

'' අම්මප උඹ තමයි දවසකටවත්........හෙහ්, හෙහ්, '' මට හිනා නොවී බැරිම උනා.මේ කෙල්ල එක්ක නම් බෑ අප්පා......

'' අන්න හොඳයි....අයිය මට උඹ කියනවට මම ආසයි....හි, හි, එතකොට අනික් කාටවත්ම නැති සමීප ගතියක් කිට්ටු ගතියක මට දැනෙනව අයියත් එක්ක..'' චුට්ටි කිව්වෙ මගෙ අතේ එල්ලිල ඇස් දෙකෙනුත් එක්ක හිනා වෙමින්.

ඔන්න අපි විහාර මලුවටත් ආව කියමුකො. වසන්ත හිටිය අපි එනකල් ගන්ඨාර කුළුණ ලඟ.

'' මේ, ඔය දෙන්න එහෙනං මල් පූජ කරල වඳින්න. මගෙ පරණ යාළුවෙක් පොඩි හාමුදුරුවො. මම පොර හම්බ වෙල එන්නං.''

වසන්ත එහෙම කියල ආවාසෙ පැත්තට ගියා.,මේ වැඩෙත් මුං දෙන්න කතාවෙල කරපු දෙයක්ද කොහෙද?....මම වසන්ත පිටුපාල යන දිහාවෙ බලා ඉඳල චුට්ටිගෙ මූණ බැලුව. හරියට ඒ වෙලාවෙම චුට්ටිත් ඔලුව උස්සල මගෙ මූණ බලල හිනාඋනා. ආයෙ හෝදන්ඩ දෙයක් නෑ. මේ වැඩෙත් අනිවාර්යයෙන්ම මුං දෙන්නහ්ගෙ කුමන්ත්රණයක්ම තමයි.

ඒ උනාට ඒ වගේ කුමන්ත්‍රණ වලට මම ආසයි...හෙහ්, හෙහ්,

මළුව මැද තිබ්බ වතුර මලක්. අපි දෙන්න ඒකෙන් මල් වලට පැන් ඉහල එහෙම විහාරගෙට ගියා.හත් අට දෙනෙක් විතරයි මුළු විහාර මළුවෙම හිටියෙ.ඒ නිසා අපි දෙන්නට ඕන තරම් නිදහස තිබ්බ හිතේ දෙගිඩියාවක් නැතුව නිදහසේ හැසිරෙන්ට.

මල් ආසනේ උඩ චුට්ටි පිළිවෙලට පිච්ච මල් ටික තිබ්බ. මමත් එයාට උදව් උනා.විහාර මළුව මැද උස කණුවක එක විදුලි බුබුලක් විතරක් දැල්වුනා. ඒත් ඒ ආලෝකය අපි ඉන්න හරියට ගලා ආවෙ බොහෝම මලානික විදිහට. බෝ ගහේ මඳ සුලඟට හෙලවෙන කොළ අතරින් පෙරී ගලාගෙන ආපු සඳ එළිය ඒ අඩු පාඩුව මකල දැම්ම.

පස්සට වෙලා චුට්ටි වැඳගෙන හිටිය සෑහෙන වෙලාවක්. හෙමිහිට ගාතා කියනව මම අහගෙන හිටියෙ හිතේ පිරිල උතුරල යන භක්තියකින්, සෙනෙහසකින්.

මම කිසි දවසක ගාතා කියල බෝධියකට බුදු පිළිමෙකට වැඳපු මනුස්සයෙක් නෙවෙයි.මම පන්සලකට විහාර මළුවකට ගියානම් ගියේ හැමදාම හිතට නිස්කලංකයක් අනිවාර්යයෙන්ම ලැබෙන නිසා ඒ අදහසින් මිසක වැඳල කිසිම දෙයක් ප්රටර්ථනා කරන්න නම් නෙවෙයි.ඒත් එදා මම ජීවිතේ පලවෙනි වරට බුදුන් වැඳල ප්රාර්ථනාවක් කලා............

වැඳල ඉවර වෙලා හෙමිහිට මොනවද කියල චුට්ටි ඔලුව ඉස්සුවා. සඳරැස් වැටිච්ච ඒ මූණ.....මා එක්ක හෙමිහිට හිනා වුනු නිවී සැනසුනු ඒ මුහුණ මගෙ මතකෙ හැමදම රැඳී තියෙන බව මට සහතිකයි.

'' රවි අයිය මොනවද වැඳල ප්රාර්ථනා කලේ....''

විහාරගෙයින් වැලි මලුවට බහින ගල් පඩි පෙල බහින අතරෙ චුට්ටි ඇහුවෙ සෙනෙහස කැටි වෙච්ච දයාබර ස්වරයකින්.

'' මම සාමාන්යයෙන් බුදුන් වැඳල මොනවත් ප්රාර්ථනා කරන්නෙ නම් නෑ කිසි දවසක.ඒත් චුට්ටි මම අදනම් ප්රාර්ථනාවක් කලා.''

'' මම දන්නව අයියෙ...කවදාක හරි අයියගෙ ඒ ප්රාර්ථනාව ඉෂ්ඨ වෙන්නෙයි කියල තමයි මම ප්රාර්ථනා කලේ.......''

චුට්ටි ඒ කතාකල ස්වරය අනුව ආයෙ මට කියන්න දෙයක් ඉතුරු වෙලා තිබුනෙ නෑ...මම චුට්ටි එක්කම වැලි මලුවෙ කෙලවර බෝධි ප්‍රාකාරය ළඟට ගියා.

'' ෂහ්..අපිට තෙල් ටිකක් ගේන්න බැරි උනානෙ....''

මට කියවුනේ බෝධි ප්රාකාරයෙ පොල්තෙල් පහන් දැල්වීමට හැදූ ත්රිකෝණාකාර කවුළු ආලෝකයකින් තොරව ගන අඳුරෙන් වැහිල තියෙනව දැක්කමයි.

'' අහ්...ඉන්නකො අයියෙ......''

චුට්ටි බෝධිය ලඟ තිබ්බ පොඩි මේසයක් වගෙ මොකක්ද එකක් යටට අත දාල පොල්තෙල් බෝතලයක් අරන් මට දුන්න.

'' මේ බෝධි පූජා වලට එහෙම හදිස්සියෙ ඕන උනාම ගන්න පොඩි හාමුදුරුවො පොල්තෙල් තියල තියන තැන. පොඩි අයියගෙ හොඳ යාළුවනෙ ඉතින් අපිත් දන්නව...හිහ් හිහ්....'' .චුට්ටි හිනාඋනා.

බෝධි ප්රාකාරෙ එහා පැත්තෙ තිබ්බ පහන් කවුළු වල පහන් බොහොමයක් නිවිල ගිහිල්ල. එක්කො තෙල් ඉවර වෙලා, නැත්නම් හුළඟට....මම ටිකක් එහායින් දැල්වුණු එකම පොල්තෙල් පහන අරගෙන ආව. චුට්ටි තෙල් නැති පහන් වලට තෙල් වක්කරල තිරේ හැදුව. මම පහන් කීපයක් පත්තු කරල චුට්ටිට දුන්න පහන.

'' හරි චුට්ටි... ඔයත් පත්තු කරන්න....''

චුට්ටි පහන දල්වන අතරෙ මම ඇහිපිය නොහෙලා බලා හිටියෙ එයාගෙ මූණ දිහා.

දවසක්දා බෝමළුවේ
හමුවූ දාකදී අපි දෙන්නා,
පහනක් දල්වා එකම හිතින්,
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ,
බවෙන් බවය පෙර ආත්මේ,
බවෙන් බවය මතු සංසාරේ,
නිවන් දක්නා ජාති දක්වා,
එකට බැඳී ඉන්නයි පැතුවේ.....

මමත් දන්නෙ නැතුවම ඇත්තටම හෙමිහිට ඒ ගීතය මගෙ මුවින් මිමිණුනා....චුට්ටි ඇස් පියාගෙන හුස්ම ඉහලට ඇදගත් ගමන් එහෙම්මම ගල්වෙලා වගෙ අහගෙන හිටියා.

'' මමත් ආසම සිංදුවක්....ඒත් රවි අයිය පටන් ගත්තෙ මැදින්නෙ.''

'' මෙතනට අදාල කොටස විතරයිනෙ මම කිව්වෙ.......ඕනනම් මුල ඉඳලම කියන්නද?''

'' හා..අනේ කියන්න.....හැබැයි හෙමිහිට...මට විතරක්ම ඇහෙන්න,''

'' හරි, මම කියන්නෙ ඔයාට විතරක් ඇහෙන්න තමයි චුට්ටි.....''

දේදුන්නෙන් එන සමනලුනේ,
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ,
රෑන් රෑන් ඇවිදිල්ලා,
අපේ ළඟින් ඉඳහල්ලා,

දවසක්දා බෝමළුවේ
හමුවූ දාකදී අපි දෙන්නා,
පහනක් දල්වා එකම හිතින්,
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ,
බවෙන් බවය පෙර ආත්මේ,
බවෙන් බවය මතු සංසාරේ,
නිවන් දක්නා ජාති දක්වා,
එකට බැඳී ඉන්නයි පැතුවේ.....

ආදරයේ සුවඳ ලෙනේ,
තනිවී උන්නා අපි දෙන්නා,
කාන්සියක් හෙම නෑ දැනුනේ,
පෙති දිලුනා වන මල් තොරණේ,
අප පය පාමුල සතුටු ගඟේ,
තවමත් ආදර රැළි හිනැහේ,
කියව් කුරුල්ලනි මලින් මලට යන,
අපේ අහිංසක කතන්දරේ...

**************************

ඔන්න තව එක කොටසයි......කලාස්.....මුඩිංජි.......ඉවරයි.........अंत,

Wednesday, January 25, 2012

90. ආදර....නිල්.....දෑසේ.......12 – To Climb the steps of life holding your hand was my solitary wish....


දැං එක පාරට බෑ කියන්නත් බෑ නෙව..... '' එතකොට වසා...චුට්ටි විතරයි තනියම ගෙදර නේද? ''

'' ඒක නම් එච්චර ප්රශ්නයක් නෑ බං....මේ ගම් වල එහෙම බය වෙන්න දෙයක් නෑ...කෝකටත් මේ ළඟ ඉන්නව චුට්ටිගෙ හොඳම යාලුව...එයාට එන්න කියල පණිවිඩයක් යවමු. ''

පාන් කන ගමන් වසන්ත මේ විස්තරේ කිව්ව....

'' චුට්ටි නංගි...අපි දෙන්න අජිත්ගෙ ෆාම් එකට ගිහිල්ල එන්නම්.....ඔයාට පුළුවන් නේද නදීකට එන්න කියන්න මෙහෙට..... අපි එනකල්,''

චුට්ටි මා දිහා බලල ආයෙම වසන්ත දිහා බැලුව...

'' ඕනෙමත් නම් නෑ අයියෙ..ඒත් කමක් නෑ...... ඉන්න මම නදීකට එන්න කියල පණිවිඩයක් යවන්නම්....රවි අයියෙ තව පාන් කෑල්ලක් කන්න '' මට පාන් දීසිය දික්කරන ගමන් කිව්වෙ.

පාන් කාල සම්බෝලෙත් එක්ක, ඒ කට දන පිටම උණු පෙලේන්ටියක් ගැහුවම අප්පා දිවිය ලෝකෙ ගියා වගේ..........

වසන්තයි මායි යන්න සූදානං වෙනකොට ඔන්න චුට්ටිගෙ යාළුව ආව....නදීකා...ඒ අම්මණ්ඩි චුට්ටිට එහා......පාරෙ ඉඳම්ම කෑගහගෙන ආවෙ....වසන්ත බයික් එකට නැඟල ස්ටාට් කරන අතරෙ මම ආපහු හැරිල දොරකඩ ඉන්න චුට්ටි දිහා බලල යන්නම් කියල ඔළුවෙන් කිව්ව.නදීක චුට්ටිගෙ කනට කරල මොනව හරි කියල ගේ දෙකක් වෙන්ට හිනා උනා.මොකක් හරි කට කැඩිච්චි කතාවක් ....ආයෙ ඒකෙ නෑ හෝදන්ට දෙයක්...මම දැක්ක චුට්ටි නදීකගෙ පිටට දෙනව හොඳ පාරක්....ඒ කරල දෙන්නම ගෙට දිව්ව හිනා වෙවී....

වසන්තගෙ යාළුවත් නියම කොල්ල. හේ, හේ, මම වගේම තමයි ඔන්න කොටින්ම....උගෙ ෆාම් එක ටිකක් මහා පරිමාණෙ වැඩක්....කුඹුරු ඇරුනු කොට වැඩි පුරම තිබ්බෙ බඩ ඉරිඟු.....හරක් කුකුළොත් ඔය හිටියෙ.....වී මෝලකුත් තිබ්බ....තම්බාපු වී වේලන්ට හදල තිබුන සිමෙන්ති දාල මහ විසාල කමතක්...අපි ඔය කමතෙ ක්රිකට් ගැහුව.අජිතයගෙ තව අහල පහල යාලුවො හත් අට දෙනෙක් ඇවිල්ල හිටිය. මම සෙල්ලං කලාට හිත තිබ්බෙ වෙන කොහෙවත්ය කියල ආය කියන්ට ඕනය නේද?.....මට මතක විදිහට දහයකට එහා පැත්තෙ ගහ ගන්ට බැරි උනා.හෙහ්, ඒකටත් එක්ක වසා. හනුම දර පලන්නැහෙ නෙළුව හතර අතටම. අසූවකට එහා පැත්තෙ ගැහුව එදා.ඌට මොකෝ?....බැරියැ ගහන්ට.....හෙහ්, හෙහ්,

සෙල්ලං කරල ඉවර වෙලා ඒ ළඟම තියෙන ඇළ පාරෙන් අපි මූණ කට හෝද ගත්ත...නාන්ට තරම් නම් වතුර මදි ඒකෙ...ඒ කරල අජිතය ගල් බෝතල් දෙකක් ගෙනල්ල තිබ්බ...ඒ දෙක හෙමිහිට ගැහුව..... මයියොකු තමයි ඔන්න බයිට් එක....බිව්වට මට නම් නෑ කිසිම ආසාවක් ....හෙට ආපහු යන්ට කලින් මේ කෙල්ලගෙං විස්තරේ අහ ගන්නෙ කොහොමද කියල තමයි හිතේ විචිකිච්චාව.....ඉර හැරුනට පස්සෙ බත් ඩිංගකුත් කාල අජිත් සහ අනික් යාළුවංගෙං සමු අරගෙන අපි දෙන්න එන්ට ආව.....

ගෙදර එනකොට හවස හතරත් පහුවෙලා.....අනේ මන්ද..හෙට උදේම යන්ටත් ඕන....හරි අද චුට්ටිගෙන් විස්තරේ අහගන්ට බැරි උනොත් මෙහෙම කරනව...හෙට යන ගමන් වසන්තගෙන් විස්තරේ අහ ගන්නව....මොකක්ද ප්රශ්නෙ කියල හරියටම දැනගෙන තීරණයක් ගන්නව වසන්තට මේ ගැන කියනවද නැද්ද කියල...මම අන්තිමට ඔන්න ඔහොම හිතල හිත එකලාසයක් කර ගත්ත.

ඇවිත් වසන්තයි මායි ළිඳෙන් නා ගත්ත.සාලෙ ඉඳගෙන අපි තුන්දෙනා තේ බිව්ව.

'' රවී උඹ හෙට යන්නම ඕන නේද? අම්මල එයි මචං දෙක වාගෙ වෙනකොට..මමත් හවස් වෙලා යනව වැඩට. ''

'' ඔව් වසා, යන්නම ඕන. වැඩ ගොඩ ගැහිල...'' මම චුට්ටිගෙ මූණ බැලුව...කෙල්ල බිම බලාගෙන තේ එක බොන ගමන් ඔලුව උස්සල මා දිහා බලල ආයෙම බිම බලාගත්ත.

'' මේ මචං හෙට පෝය නේද?.....හෙට උඹත් නෑ මාත් නෑ...චුට්ටි මොකෝ කියන්නෙ?....යමුද ගලේ පන්සලට......රවී යමං මචං මාර ලස්සන තැන.....''

මම චුට්ටිගෙ මූණ බැලුව ඔලුව උස්සල මා දිහා බලල අර අහිංසකම විදිහට හිනා වෙලා වසන්තට මෙහෙම කිව්ව.

'' යමු පොඩි අයියෙ...මම පිච්ච මල් ටිකක් කඩා ගන්නම්.......''

ගලේ විහාරෙ ඇත්තටම හරිම ලස්සනයි.ගල් පඩි නගින්ට තියෙනව මයෙ හිතේ හාරසීයකට එහා පැත්තෙ.......පඩි පෙල දෙපැත්තෙම සුදු අරළිය ගස්.මට එක විඩේම මතක් උනේ මිහින්තලේ.....පඩි පෙලේ අරලිය මල් වැටිල තිබ්බෙ හරියට සුදු පාවඩයක් එලල වගෙ. පෝය හෙට උනාට සෙනඟ කවුරුවත්ම නැති ගානයි....හඳ එළිය මුලු පඩිපෙල පුරාම දෝරෙ ගලල තිබුනෙ කිරි වත්කලා වගෙ....වසන්ත පඩි දෙකක් තුනක් ඉස්සරවෙලා ගියා. චුට්ටියි මායි ඒ පස්සෙන්...චුට්ටි ඇඳල හිටියෙ සුදු කමිසෙකුයි දුඹුරු පාට වගෙ ස්කර්ට් එහෙකුයි. ලා පාට මොනවත් මම ගෙනල්ල තිබ්බෙ නැති නිසා මම වසන්තගෙ ලා නිල් පාට ටී ෂර්ට් එකක් ඉල්ලගත්ත.

චුට්ටිගෙ අතේ පිච්ච මල් වට්ටිය. මම එයාගෙ ඇස් දිහා බලන බලන වාරයක් ගානෙ එයා අර පිච්ච මල් වට්ටිය පරාද වෙන තරමට අහිංසක විදිහට මා එක්ක හිනා උනා.මගෙ පපුව හිරවෙනව වගෙ දැනුන ඒ හිනාවට.

'' ඔහොම හිනා වන්න එපා, දෙයියනේ මට වාවන්නෙ නෑ.....'' මම පහත් වෙලා එයාගෙ කණට කෙඳුරුවා.චුට්ටි මල් වට්ටිය දකුණතට අරගෙන වමතින් මගෙ අත අල්ල ගත්ත. ඒ කරල ආයෙම මා දිහා බලල හිනා උනා...ඒ විදිහටම....

චුට්ටි කොටයි....ඒ නිසා අපි දෙන්නට වසන්තගෙ වේගෙන් පඩි නගින්ට බෑ...අපි පහු උනා.මම පිච්ච මල් වට්ටිය ඉල්ල ගත්ත.වෙන කවුරුත්ම අහල පහලක නෑ..ඈත හතර පස් දෙනෙක් පඩි නඟිනව පේනව හඳ එළියට යාන්තමට..වසන්ත පඩි පනහකට විතර ඉස්සර වෙලා මඟ නැවතිල අපි දෙන්න දිහා බලා ඉන්නව ආපහු හැරිල...මම අතින් කිව්ව වසන්තට යන්න කියල. වසන්ත හැරිල ආපහු පඩි නඟින්න පටන් ගත්ත.

චුට්ටි මගෙ අතේ එල්ලුණෙ කල්ප කාලාන්තරයක් මේ වගෙ අවස්තාවක් එනකල් බලා හිටිය වගෙ.

'' චුට්ටි, අපි ටිකක් මේ අරලිය ගහක් යට ඉඳගෙන ඉඳල යමුද? ''

'' උඩටම යමු අයියෙ....විහාර මළුවෙ ඕන තරම් තියනව නිස්කලංක තැන්..අනික අද සෙනඟත් එච්චරම නෑනෙ.''

'' ඔයාට මහන්සිනම් මම ඔයාව වඩාගෙන යන්නද? '' මම එයා දිහාට නැවිල ඇහුව,

'' හා......'' චුට්ටිගෙ කටත් බාගෙට ඇරුන. '' ඔට්ටුයි බැරුවට....''

'' හෙහ්, එහෙමයි හිතන්නෙ නේද?....මට බෑ කියල....ඉන්නකො එහෙනං.....''

'' ඒයි පිස්සුද?....අර පල්ලෙහා කවුද කට්ටියකුත් එනව......'' චුට්ටි කෝකටත් ටිකක් ඈතට උනා.

'' හෙහ්, චණ්ඩිය වගෙ එහෙනං හාය කිව්වෙ?...''

අපි නිහඬවම පඩි නැග්ග.අරලිය මල් යටි පහු වෙන්ට නොදී පරිස්සමට.

වෙහෙර දැන් පේන මානෙට ඇවිල්ල. ආයෙම චුට්ටි එක්ක හුදකලා වෙන්ට මේ වගෙ අවස්තාවක් ලැබෙයි කියල හිතන්ට අමාරුයි.

මම දිග සුසුමක් හෙලුව පපුවෙ පිරිල තිබ්බ ඔක්කොම එළියට යන තරමෙ. චුට්ටි එක පාරටම ඔලුව හරවල මයෙ දිහා බැලුව.

'' ඇයි අයියෙ? ''

'' නංගි මම මේ කියන දේ හොඳට අහගන්ට...හෙට උදේ මම යනව ආපහු....ආයෙම මට මේ වගෙ කියන්ට අවස්තාවක් එන්නෙ නැතිවෙයි කියල මට මගෙ හිත කියනව.ඊයෙයි අදයි මගෙ ජීවිතේ අමතක නොවන දවස් දෙකක්....මම මැරෙන තුරාවට මේ දවස් දෙක මගෙ හිතේ තියෙයි...''

තව දවස් දෙකයි...හොඳද?.......චුට්ටිගෙ කණට එකක් දීල හරි කතාව අහගෙන මම ඔයාලට කියන්නම්....දෙයියම්පා.........

Tuesday, January 24, 2012

89. ආදර....නිල්.....දෑසේ.......11 – You are driving me crazy , Do you know that?


හිතේ නලියන හැඟීම් පාලනය කරගන්ට උත්සාහ කරමින් ගතවුනු විනාඩියකට විතර පස්සෙ මම තේ එක අතට ගනිමින් චුට්ටි දිහා ඔලුව උස්සල බැලුව....පව්...කෙල්ල තාමත් බිම බලාගෙන.......

'' හරි, හරි.... පොඩි අයිය කිව්වම මතක් උනේ...... කෝ හැබෑට වසන්ත?''

'' පොඩි අයිය ගියා එයාගෙ ඉස්කෝලෙ යාලුවෙක්ගෙ ගෙදර....උදේම එහෙ එන්නෙයි කියල පණිවිඩයක් එවල තිබුණ.ඒ ගමන් පානුත් ගේන්නම් කිව්ව උදේට කන්න......මම මේ සම්බෝලයක් හදන්නයි ලෑස්ති උනේ.....''

'' අයිය තේක බොන්න මම ඇඳුම් මාරුකරගෙන එන්නං....'' රතුවෙච්ච මූණෙ ආයෙම ඔන්න හිනාවක්.........

චුට්ටි කුස්සියෙං ගියාට පස්සෙ මම හෙමීට තේ එක බොන ගමනුත් කල්පනා කලේ මේ කෙල්ල ගැන.....අනේ මට තේරෙන්නෙ නෑ අප්පා....

මම කුස්සියට එනකොට චුට්ටි රතුලූණු වගයක් සුද්ද කරකර ඉඳල තියෙන්නෙ. මම ඒ වැඩේ ඉවරයක් කරන්න පටන් ගත්ත.

'' අනේ අයිය ඔය මොකද කරන්නෙ?....ඉන්න ඉන්න මම ඕක කරන්නං....''

පස්ස හැරිල බලනකොට චුට්ටි ඇවිල්ල නිල්පාට මල් වැටිච්චි ගවුමකුත් ඇඳගෙන.

'' නෑ, නෑ, ඉන්න මම මේක කරන්නම්........''

'' නෑ අයිය මම කරන්නං,....''

'' මේ නොකිව්වයි කියන්න එපා ඔන්න, ළඟට ආවොත් අල්ල ගන්නව,...... පොඩි අයිය නෙවෙයි සක්කරය ආවත් මෙදා අල්ලගත්තොත් නම් අත අරින්නෙ නෑ නෑමයි,''

දබරැඟිල්ලත් උස්සලයි මම තර්ජනය කලේ...

'' අප්පද බොල, මෙයාගෙ ගෑස් බලාපල්ලකො....අපේ ගෙදර ඇවිල්ල අපිටම දාන පාට්.........හා, හා, එහෙනං ඕක කරන්නකො ඔච්චර ආසනං..හිහ්, හිහ්, හිහික්....ඉන්න මම පොල් ගාන්නම්.......''

හිරමණේ හයි කරල තිබ්බෙත් මම ලූණු සුද්ද කර කර හිටපු මේසෙ කොණකමයි....පොල් අඩලෙකුයි මැටි කෝප්පෙකුයි අරගෙන චුට්ටි මේසෙ ළඟට ආවෙ හොරැහිං මා දිහා බල බල,

'' මේ ඔන්න, රවි අයියෙ .....නොකිව්වයි කියන්න නම් එපා..කෝලං කරන්න එහෙම ඔට්ටු නෑ ඔන්න.......'' ඒ ඇස් දෙකේ තිබ්බ හිනාව.........

'' හරි, හරි, හැබැයි මා දිහා බලන්න සම්පූර්ණයෙන් තහනම් හරිද?.....හොරෙං හරි බලල අහු උනොත් දැඩි දඬුවම්...එකඟද ඒ කොන්දේසියට...''

'' හාපෝව් ..වැඩේමයි මෙයා දිහා බලන්න....මම බලන්නෙ නෑ.''

'' හා, හරි අපි බලමුකො....'' මම ලූණු වැඩේ දිහටම කරගෙන ගියා.

චුට්ටි පටංගත්ත පොල් ගෑවිල්ල.....මම විඩින් විඩේ හොරැහිං බැළුව.. මා දිහා බලන්නෙ නම් නෑ. ඒත් කට කොනක අර මට ඉවසන්ට බැරි හිනාව.

මම ආපහු පාඩුවෙ මගෙ වැඩේ කරන්ට පටන් ගත්ත.චුට්ටියි මායි එක මේසෙ දෙපැත්තෙ...මම ලූණු සුද්ද කරනව..එයා පොල් ගානව.....පොල් ගාන සද්දෙන් විතරක් නිහඬ තාවය බිඳිල යන අතරෙ..... මගෙ හිත....මටත් නොදැනිම.........තව අවුරුදු පහකින්, ඔව් තව අවුරුදු පහකින් කියමු...මගෙ ජීවිතේ කොයි වගෙ වෙයිද?....තව හරියටම අවුරුදු පහකින් මේ වගේම උදෑසනක් ගැන හිතමු. එතකොටත් මම ලූණු සුද්ද කරමින් ඉඳිද්දි, මා ළඟ චුට්ටි ඉඳියිද පොල් ගාමින්.....මම එහෙම සිතුවමක්...... තව අවුරුදු පහක් අනාගතයෙ සිතුවමක්..... මගෙ හිතේ ඇඳ ගන්න වෑයම් කලා.

When visualizing your life in five years , in ten years or for that matter in twenty years time can you see her in the picture, beside you?....is she part of your life configuration? She should be if she is the one for you , your partner for life, your soul mate,

කල්පනාව පිටම මම චුට්ටි දිහා හැරිල බැලුව...මෙන්න මේ කෙල්ල........පොල් ගාන එකත් නවත්තල මා දිහා ඇහිපිය නොහෙල බලා ඉන්නව.

'' ආ...හරි කොන්දේසිය කඩ කලා...දැන්නම් සමාවක් නෑ....ඔහොම ඉන්නව...'' මම චුට්ටිව අල්ලගන්ට හැදුව.

කෙල්ල පොල් බෑයත් එහෙම්මම දාල දොර පැත්තට දිව්ව හිනා නවත්තා ගන්ට බැරුව.

'' ඒක ඔට්ටු නෑ...ඒක ඔට්ටු නෑ...ඔයා වැඩෙත් නවත්තල බර කල්පනාවක හිටිය නිසයි මම බැලුවෙ..අනේ ඒක ඔට්ටු නෑ......''

'' එව්ව කොහෙද මා එක්ක...කොන්දේසිය නම් කොන්දේසිය...කඩ කලානම් දඬුවමකුත් විඳින්ටම ඕන.''

දොර ලඟදි මම ඒකිව අල්ල ගත්ත. ඇත්තටම නම් චුට්ටි දිව්වෙත් නෑ....දොර ගාවට වෙලා හිනාවෙවී හිටිය මිසක....

මම ඉස්සෙල්ල වගෙ නලල,කම්මුල් සිප ගත්ත..ඒක තමයි මගේ දඬුවම....

'' ඈ බොල චුට්ටියෙ මේ වගෙ දඬුවම් නම් එපා කියයි නේද?.....'' මම චුට්ටිගෙ තොල් සිපගත්ත ....

'' රවි අයියෙ...'' චුට්ටි කෙඳුරුවා.

එතකොටම ඔන්න ඇහුණ වසන්තගෙ බයික් එකේ සද්දෙ

'' පොඩි අයියා......'' චුට්ටි මගෙන් මිදිල ඉස්සරහට ගියා.

මමත් ඒ පස්සෙන්ම ගියා.

වසන්ත ගෙට ගොඩ උනා පාන් මල්ලකුත් අරගෙන

'' ආ, කීයටද බං නැඟිට්ටෙ?'' මම දැක්ක ගමන් ඌට හිනා ගියා

'' මොකද බං හිනා වෙන්නෙ?....හෙහ්, හෙහ්,.... මම දැන් සෑහෙන වෙලා නැඟිටල,''

'' චුට්ටි මේකට තේ එකක් කාරිය දුන්නය? ''

'' දුන්න, දුන්න මොකෝ නැතුව...'' චුට්ටි පාන් මල්ලත් අරගෙන ගෙට යන ගමන් කිව්ව.

'' මචං මේ පොඩි ගමනක් යන්න වෙනව...අජිත් කියන්නෙ මගෙ ඉස්කෝලෙ හොඳම ගජය...ඌ දැන් මේ කිට්ටුව ෆාම් එකක් කරනව...වැඩි දුරක් නෑ....කිලෝ මීටර් හයක් විතර ඇති...මරු තැන ....මම මේ ඌ හම්බ වෙන්න ගියේ....අද එහෙ යං කියල උගෙං බේරෙන්ටම බෑ...මම ඒත් මඟ අරින්නමයි බැළුවෙ...උඹත් ඇවිල්ල ඉන්නවය කියල...කොහෙද...ඒ පාර කියාපි උඹත් එක්ක එන්නෙයි කියල...මොකද කරන්නෙ?....ගිහිල්ල එමු නේද?..''

ඔය තියෙන්නෙ...ඔය තියෙන්නෙ.....ආයෙ මොනවද......කෙලල ඇරල තියෙන්නෙ තාප්පෙටම.....මටමයි වෙන්නෙ..මටමයි වෙන්නෙ....හෙට ආපහු වැඩට යන්නත් වෙන එකේ මම හිතාගෙන හිටියෙ අද කොහොමිං හරි චුට්ටිගෙං මේ අපබ්බ්රංසෙ මොකක්ද කියල සහසුද්දෙම්ම අහල දැනගෙන මොකක් හරි දෙකිං එකක් තීරණයක් ගන්න...ඔන්න ඒකටත් වැඩේ හරි....ඉතිං මොකේදැයි දං වළඳන්නෙ කියල ඇහැව්වළු, ලොකු හාමුදුරුවො.....

Monday, January 23, 2012

88. ආදර....නිල්.....දෑසේ.......10 – Memories are so sweet ; All the same they are only...... memories,




උදේ මට ඇහැරුනේ එක පාරට නෙවෙයි. රෑට බිව්වම උදේට මට ඇහැරෙන්නෙ ටිකෙන් ටික.මුලින් ඔන්න මොකක් හරි සද්දයක් කනට රිංගනව. ඒ සද්දෙ මොකක්ද කියල තේරුං ගන්ට හිත උත්සාහ කරන අල්ල පනල්ලෙ ඔන්න ඇස් දෙකත් හෙමිහිට ඇරෙනව.....එදත් උනේ ඒකමයි.....

ඇස් ඇරිය ගමන් මුලිම්ම දැක්කෙ අසූදෙකේ අපෙ මුල්ම ටෙස්ට් තරඟෙ ටීම් දෙකම, ඒ කිව්වෙ එංගලන්තෙයි ලංකාවයි සමූහ ඡායාරූපයක්....පෝස්ටර් එකක්....... ඇඳ එක්කම ඉස්සරහ බිත්තියෙ ගහල තියෙනව. එක කොණක් ගැලවිල පාතට එල්ලෙනව.

ඒ පෝස්ටරේ සුපුරුදු බවකුත් එක්කම මම මේ ඉන්නෙ කොහෙද කියල නිනව්වක් නැතුව හිතට පොඩි විචිකිච්චාවකුත් ආපි.

ඉස්සරෝම මීටර් උනේ අර පෝස්ටරේ...වසන්තය අපෙ ගෙදර ආපු දාක මම ඌට දුන්නු එකක් ඕක.......

ඔන්න ටික ටික ඊයෙ සිද්දීන් දාමය චිත්තරපටියක් වගෙ හිතට එන්ට ගත්ත. හපුච්චියේ...ඊයෙ වරුවට වෙච්චි දේවල්.....ජීවිත කාලයක් පුරාවට වෙන්ට ඕන දේවල් එක වරුවකට උනා කිව්වම....පිස්සු හැදිල බේරුනොත් ලොකු දෙයක්.

මම ඔය ඔළුව නරක් වෙන තරමට පොත්පත් කියවල තිබ්බත් මෙහෙම සීන් එකක් ඒ පොතකවත් තිබ්බයි කියල මට නම් මතකම නෑ...සත්යය ප්රබන්ධයට වඩා විශ්මයජනකයි කියන කතාව නම් සහසුද්දෙම්ම ඇත්තෙයි කියල මට ඒ වෙලාවෙ ඒත්තු ගියා කිසිම සැකයක් නැතුවම.

ඊයෙ රෑ......අපි තුන් දෙනා...වසන්ත, මම සහ චුට්ටි.....වැඩි වෙලාවක් එළියෙ හිටියෙ නෑ.....එකක් දිහටම බොන්ඩ තරම් මූඩ් එකක් මට තිබ්බෙත් නෑ වසන්තට තිබ්බෙත් නෑ...අනික එච්චර රෑ වෙන්ට කලින්ම සීතල ගලාඑන්ට පටංගත්ත හතර අතිම්ම.....පස්සෙ අපි ගෙට ඇවිත් ....කාල නිදාගත්ත....

වසන්තගෙ කාමරේ ඩබල් ඇඳේ මමයි වසන්තයි නිදාගත්තෙ.....කෝ මේ මනුස්සය?.....උදේ පාන්දර කොහෙ ගියාද?....මම ඇඳ ළඟම මේසෙ උඩ තිබ්බ මගෙ අත් ඔරලෝසුව බැලුව...අඩේ ඒ හැටි වෙලා හිහිනුත් නෑ...හත හමාරයි......

නැඟිටල කමිසෙකුත් දාගෙන මම ගියා කුස්සිය පැත්තට.

චුට්ටි දොරට පිටුපාල මේසෙ ළඟ මොනවද කරනව. හරියටම පේන්නෙ නෑ මොකද කරන්නෙ කියල.....කහ පාට වගෙ නයිට් ඩ්රස් එකක් ඇඳල කොණ්ඩෙ පිටි පස්සට කරල පෝනි ටේල් එකක් ගැට ගහල.

පපුවට අත් දෙක බැඳගෙන මම එහෙම්මම හේත්තු උනා උළුවස්සට. ඇසිපිය නොහෙලා බලා හිටිය චුට්ටි දිගාවෙ....... සෙමින් හඬ නොනැඟෙන සේ පියවර තබා ගොස් ඇගේ කෙස් කළඹ මඳක් මෑත්කොට ඇත්දත් පැහැති සුමුදු ගෙල සිප ගැනීමට මසිත උපන් දැඩි ආශාව මා මැඩ ගත්තේ බලවත් අසීරුවෙනි......එහෙම කියනවට වඩා මෙහෙම සරලව කියන එක හොඳයි නේද?.....මොකද ඔයාල කියන්නෙ?..........හෙමිහිට පිටිපස්සෙං ගිහිං පෝනි ටේල් එක මෑත් කරල ඇගේ ඇත් දල පාට බෙල්ල ඉඹින්ට ඇතිවූ ආසාව මම කොන්ට්රෝල් කරගත්තෙ බොහොම අමාරුවෙන්......

තමන් දිහා කවුරු හරි බලාඉන්නකොට ඒක දැනෙනව කියල කියනව නේද?....මම හිතන්නෙ ඒක ඇත්ත...චුට්ටි එක පාරට ආපහු හැරුණ..මාව දැක්ක ගමන් හිනා උනා එකවර හිරු දහසක් පෑව්ව වගේ.

'' රවි අයිය....දැන්ය නැඟිට්ටෙ? ''

'' මොන පිස්සුද?....මම දැන් පැය බාගෙකටත් වැඩියි නැඟිටල...මම මෙතන ඉඳන් ඔයයි දිහාවෙ බලා හිටිය චුට්ටි.....'' මම එහෙම්මම දොර ගාව ඉඳන් කිව්ව.

'' මොකද අප්පා ඔච්චර බොරු කියන්නෙ?......මම දැන් ටිකකට ඉස්සර වෙලා ගියානෙ බලන්ට...හිහ්, හිහ්, බබා වගේ නිදි ඒ වෙලාවෙ....''

'' හෙහ්, හෙහ් බබා වගේ නේද?....ඇත්ත, ඇත්ත, මම නිදාගත්තම නං බබා වගේ තමයි.....''

'' ආ. ඒ බබා කතා වලින් වැඩක් නෑ..අයියට තේ එකක් හදන්නද?''

'' දැම්ම එපා චුට්ටි.....මම උදේට තේ බොන්නෙ දත් කුස්ටම එහෙම මැදල.....ඉන්න මම මූණ හෝදගෙන එන්නම්.''

මම දත් මැද මැද ගියා වත්තේ කොණේ තිබ්බ ළිඳ ගාවට.

චුට්ටි ආව තුවායකුත් අරගෙන.

'' මේ මට අහන්ටත් බැරිඋනා...කෝ වසන්ත? ''

'' ඔන්න මතක් වෙච්චි වෙලාව ,අපූරු යාළුව...'' චුට්ටි තුවායත් කරේ දාගෙන හිනාඋනා.

'' කොහෙද මිනිහෙකුට හොඳ සිහියෙං ඉන්ට දෙන එකක්ය? ''

ළිඳෙං වතුර බාල්දියක් ඇදල බිම තියල මම මූණ හෝදගන්ට නැවුනා.

'' අනේ අයියෙ, වතුර ගහන්ට එහෙම එපා ඔන්න....'' චුට්ටි අත්දෙකෙන් මූණ වහගත්ත.

අනෙ අම්මප..මේකිගෙ තියන හුරතලේක මහත....මට චුට්ටිව අල්ලල ගිලින්ට තරම් හිතුන.

එපාමත් කියපු එකේ වතුර ටිකක් නොගහ හරි නෑනෙ...මම චුට්ටිගෙ මූණ තෙමෙන්ට වතුර ටිකක් ගැහුවා.

'' හරි හොඳ නෑ අප්ප...එපා කියන එකමයි කරන්නෙ මම තරහයි ඔන්න...'' තුවායත් මා දිහාට වීසිකරල චුට්ටි ගේ දිහාට දුවනව මම බලා හිටියෙ කියා ගන්ට බැරිතරමේ සෙනෙහසක් පපුව පුරා හිරවෙද්දි......

මූණ හෝදං ගිහිල්ල මම කුස්සියෙ තිබ්බ පුටුවෙ වාඩිඋනා තුවායත් කරේ දාගෙන.....

චුට්ටි තේ එක මට දුන්නෙ අහක බලාගෙන.

'' මොකෝ බොල මේ? උඹ තරහද මා එක්ක... ?''

'' ෂිහ්, කතාකරන විදිහ....බොල, උඹ,..... හරිම නරකයි,''

'' වෙන කොහොමද බොල උඹට කතා කරන්ට කියන්නෙ?.... මෙන්න මෙහාට වර,''

මම තේ එක වමතින් අරන් මේසෙ උඩ තියල අනිත් අතින් චුට්ටිව මා ළඟට ඇදල ගත්ත.

ඒකිත් එහෙම්මම ඇදිල ඇවිත් මගෙ උකුල උඩ ඉන්දවුනා. මම චුට්ටිගෙ කම්මුල් හෙමීට සිපගත්ත.තොල් සිප ගන්න ඉස්සරවෙලා එයාම මගෙ බෙල්ල බදාගෙන මගෙ තොල් එක පාරක් ඉඹල නැඟිට්ට.

'' පොඩි අයිය එයි..... රවි අයියෙ...''

චුට්ටි එතනම බිත්තියට හේත්තු වෙලා කොඳුරල කිව්ව.

*******************************

සමාවෙන්න ඕමනයි යාළුවනේ..මටත් මේ කතාව ඉවරයක් කරන්න හරිම හදිස්සියි..ඒත් වැඩ රාජකාරි එක්ක වැඩේ ටිකක් අමාරුයි. අපෙ ලොක්කට මම ගිහිල්ල කිව්ව මම මෙහෙම කතාවක් ලියනව....දවසක් දෙකක් වැඩ වලින් රිලීස් කරන්නෙයි කියල...අනේ බලන්නකො..මගෙ ඇඟට කඩා පැන්න නෙව උන්දි...උන්දි කිව්වෙ ලොක්ක බබලතෙක්....මම හිතන්නෙ වෙන මොකවත් නෙවෙයි ඊරිසියාව...ඊරිසියාව...අම්මප මේ ගෑණු එක්ක කොහොම ඉහ ගහල ඉන්ටද කියල මට නම් තේරෙන්නෙ නැතුවා.

උන්දැ ඉස්පාංඤ්ඤ බාසාවෙං කිව්වෙ මේං මෙහෙම.....

" Ravi, vete al infierno hijo de puta..."

අනේ මංද මොකක් කිව්වදැයි කියල........මොක උනත් හොඳ දෙයක් නම් වෙන්න බෑ...අපෙ අම්මට කෝල් එකක් දාල බලන්න ඕන මේ ටිකේ කිඹුහුං එහෙම වැඩිපුර ගියාදැයි කියාල......

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...