![]() |
| ඇහැළ මල් |
කුකුලව ආයෙම දකුණු අතිං අරගෙන මම ඒ පාරනං ආයම කිසි අවුලක් නැතුව එලියට පැනගත්ත. අමරෙ කෝ? මේකා නෑනෙ පේන්ටවත්..ම්ම්ම්..මොකක්ද අර මංගල සබාව පැත්තෙං මහ ගාල ගෝට්ටියක් ඇහෙන්නෙ? දෑවැද්ද මදිය කියල මනමාලයගෙ පැත්තෙ උදවිය වලියට ඇවිල්ල වත්ද? අඩෝ එහෙම කොහොමද? සුජිතා අක්ක වෙනුවෙන් අපි ඕනම වෙලාවක රෙඩි අපි ඇවිල්ල අජිතයගෙ යාලුවො..පට ගාල තව එකක් දාගෙන ගිහිල්ල බලන්ට ඕන අජිතය කොහෙද කියල...ඒ වෙලාවෙ ඌට අපේ උදව් ඕන වෙලාව..එතකොට කුකුළා?...ආය කෙහෙල්මල් කුකුළෙක්..කුකුළා වගේද අජිතය...
අජිතය හොයන්ට යන්ට ඕනය කියල හිතල මම පොඩි එකක් දාගත්ත විතරයි. එතනට කඩාගෙන පැනපි නිමලය. නිමලය අර මම කලිං කිව්වෙ ඔය ඒ කිට්ටුවම වාගෙ නවක දම්පතීන් බවට පත්වෙච්චි එකෙක්. ඒ කිව්වෙ මේ ඊයෙ පෙරෙයිද බැඳපු එකෙක්. ඔය එහූ එවුං කරන්නෙ යන්තමට දෙකක් නවාගෙන " මචං එහෙනං අපි යඤ්ඤං බත් කන්ට" කියල මාරුවෙනව. අපිත් එහෙම යන එවුං නවත්තගන්ට ට්රයි කරන්නෙ එහෙම නෑ. ඕකේ මචං කියල සමුදෙනව. නැත්තං අනිවාර්යයෙං සිද්ද වෙන්නෙ ඩිංගක් බලල පොලීසියෙං කසිප්පු අල්ලන්ට පයින්නැහෙ ඒ බිරින්දෑවරු කඩාපනිනව මුංව ඇදගෙන යන්ට.
ඉතිං නිමලය කඩාගෙන පැනපි අර රිතූ ආකර්සා පාර්ලිමේන්තුවෙ බැරියර් කඩාගෙන ගියා වගේ. රිතූ ආකර්සා මේ දවස්වල ඉන්නව අර ආදර වස්සා කතාවෙ. සොරි ආදර වස්සා නෙවෙයි ආදර වැස්ස...අර තේමා ගීතයක් තියෙන්නෙ ආ..ද..ර... වැ...ස්...ස..ආ..ආ..ආ..ආ..ආ... කියල. මම නොවැරදීම බලන කතාවක් ඔය.
"මොකද බං?" මම ඇස් ලොකු කරගෙන ඇහුව.
ඔය සුට්ටක් විතර වැඩිඋනහම මම ඇස් ලොකු කරගෙනලු ඉන්නෙ. මයෙ ඔය අතිජාත මිත්තරයො තමයි එහෙම කියන්නෙ. "මේ ***** ට වැඩිවීගෙන එනකොට කිව්වැහැකි. මූ ඇස් ලොකු කර ගන්නව උණහපුළුවෙක් වගෙ...හෙහ්,හෙහ්, " එහෙම කියල උං හිනාවෙනව.
"මොකද තමයි..වරෙං යන්ට විජහට…"
"කොහෙ යන්ටද බං?"
( මම ඔය වචන ඔක්කොම පටලැවිලැවි කිව්වෙ හොඳද? ඒත් එහෙම ලියන්ට ඕන නෑනෙ නේද? ඔබ තමුන්නාන්සෙලා එහෙම හිතාගන්ට. අර හෝතඹුව කිව්ව වගෙ ඉමැජිනේෂන්කම්පාල එහෙම....හෙහ්,හෙහ්, )
"මේ... වරෙංකො... කතාකරකර ඉන්ට වෙලාවක් නෑ....ඔය ඔතන කාමරංගා ගහ ගාවින් ගිහාම වැට පැනල දෙවටට වැටෙනව. උඹ වරෙංකො යන්ට."
නිමලය ඒ ගමේම එකෙක්. අජිතයලගෙ අම්මලගෙ පැත්තෙං දුර නෑ කමකුත් තියනව.
"ඉතිං බං,….. කොහෙද යන්නෙ මේ? "
"උඹ යමංකො කෑගහන්නැතුව. වරෙං වරෙං...." නිමලය මගෙ අතකිනුත් අල්ල ගත්ත.
"එතකොට මේ බෝතලේ? "
"ආය මඟුලක් කතා කරනව. ඔය කෙහෙල්මල හින්ද තමයි මේ ඔක්කොම..මෙන්න මෙහෙ වරෙං...."
"අඩේ බං අච්චර අමාරුවෙං අරගෙන ආපු කුකුළ?"
"මේ යකෝ....උඹ එනවද නැද්ද? "
"හරි...හරි.........කෑගහන්නැතුව ඉඳහං..එතකොට අජිතයට කියන්නෙ වත් නැතුව?"
"අජිතයට මම කියන්නං…"
ඒ වෙනකොට කතා කර කරම අපි වැට ගාවටත් ඇවිල්ල. එතන කම්බි පොටවල් දෙක තුනක් එහා මෙහා කරල පොඩි කපොල්ලක් වගෙ හදල තිබ්බ. එතනිං නිමලය මාව පරිස්සමට රිංගවල එතනිං එහා තිබ්බ දෙවටට මතුවුනා. දෙවට දිගේ කහපාට ඇහැළ මල් පිපිල හුළඟට හෙමිහිට හෙලවුනා.
ඇහැළ මල් පිපෙනා දෙවට දිගේ නුඹ පිය මැන්නා..
පුන් පෝය දාට සඳ විලසින් මුහුණ පෙනෙන්නා.
ඈත මෑත..
"ඒ පාර සිංදු කියන්ට ගත්තද? පිං සිද්ද වෙයි කට වහගෙන යමං.."
"ඇයි බං සිංදුවක් කිව්වම මොකද වෙන්නෙ? අනික කුණු හරුප නෙවෙයිනෙ…"
"සිංදු තමයි ..මෙන්න මෙහෙ යමං කිව්ව නේද කට වහගෙන දැං එක පාරක්...."
"හරි මේක කියාපංකො මට….කොහෙද මේ යන්නෙ? "
"අර වෙලෙං එහා වෙහෙරක් පේනව නේද?
"ඔව්..ඔව්...ඒත් උඹ කියන්නෙ කොයි වෙහෙර ගැනද? වම් පැත්තෙ එකද? දකුණු පැත්තෙ එකද? නැත්තං මැද එක ගැනද?"
නිමලයට ඒ පාර නම් නෝත් සවුත් මාරු වුනා.
"තෝ මගෙං කුණු හබ්බ අහගන්ට එපා , මැද එකද?....හුහ් …. මැද එක ගැන මම දැං මෙතන කියන්ට ගත්තොත්...."
"හෙහ්...හෙහ්...හෙහ්..."මම එතනම නැවතිලා දෙකට නැවිල හිනාවෙන්ට ගත්ත.
"මොකෝ කබ්රාල්ද? "නිමලෙ ඇවිල්ල මගෙ පිට අතගාන්ට ගත්ත.
"නෑ බං ..එහෙමවත් නම් එකක්.මට මේ උඹ මට බණින විදිහට හිනා ගියා..හෙහ්,හෙහ්.."
"බණින්ට නෙවෙයි තියෙන්නෙ උඹට...අම්මප බං උඹත් කරන වැඩ…"
"ඇයි මොකද්ද මම කරපු වැඩේ?"
"හරි හරි ඒක අපි හෙට උදේට කතා කරමුකො...මේ ඒක නෙවෙයි..ඇත්තම කියපං..උඹට වෙහෙරවල් තුනක් වගෙ පේනවද අතන? "
"වෙලාවකට එකක් පේනව..ආයම දෙකකුත් පේනව..පෙලක් වෙලාවට තුනකුත් පේනව.."
(අර ග්රේස්ගෙ අම්මගෙ රෙද්ද වගෙ. වෙලාවකට නිල්පාටයි කලු රේන්ද අල්ලල..ආයම වෙලාවකට සුදු පාටයි රේන්ද රත්තරං පාටයි)
"හරි….හරි..එක හරි…. දෙක හරි…. තුන හරි කීය හරි දැං යම.. "
"ඉතිං කොහෙද කියල තාම කිව්වෙ නෑනෙ…"
"අපෙ මහගෙදර තියෙන්නෙ ඔය වෙහෙර පහුකරල ඒ ඊමම එහෙ ඉන්නෙ අපෙ ලොකු අයිය විතරයි. උඹ අද රෑට එහෙ ඉඳහං .මම රෑට බත් ගේන්නං අයියටයි උඹටයි දෙන්නටම."
"ඇයි බං මම එහෙ ඉන්නෙ? අනිද්ද සුජිත අක්කගෙ හෝම් කමිං එක. කොච්චර වැඩ තියනවද ඊට කලිං කරන්ට"
"හරි හරි බං ඒ වැඩ ගැන හෙට උදේ කතා කරමුකො."
නිමලය මාව එක්ක ගිහිල්ල උගෙ ලොකු අයියට අඳුන්නල දුන්න. ලොකු අයියත් හරිම තැන්පත් ගුණයහපත් මනුස්සයෙක්ය කියල බැලූ බැල්මට පේනව. අවුරුදු පණහක් වගෙ ඇති. මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙ වැඩ කරල තියෙන්නෙ. වාකරේ පැත්තෙ මහ කැළෑව මැද්දෑවෙ පලු ගහකිං වැටිල දකුණු කකුල කැඩිල ගෙදර ඇවිල්ල මාස හයක් විතර බෙහෙත් කරද්දි තමයි අම්මයි අප්පච්චියි දෙන්නම නැතිවෙලා තියෙන්නෙ. ඊට පස්සෙ මහ ගෙදර සහ අවට වතු පිටි බලාකියා ගන්ට කවුරුවත් නැති හින්ද එහෙම්මම රස්සාවට නොගිහිං නැවතිල. බැඳල එහෙමත් නෑ.
"මම කියන්ටද? උඹ ටිකක් එහෙනං නිදාගනිං..මොකවත් කනවද? මොනවද ලොකු අයියෙ තියෙන්නෙ? "
"දවල් උයපු බත් නම් ටිකක් වගෙ ඉතුරු වුනා.මම සම්බෝලයක් හදල කරවල කෑල්ලක් පුච්චල ගන්නං විජහට." ලොකු අයිය කිව්ව.
පොල් සම්බෝලයි කරවල පුච්චපුවයි ගැන ඇහෙනකොට ඉස්සෙල්ල මගෙ කටෙං කෙළ වැටුන. ඒ එක්කම ආමාසයෙ ඉඳල උගුරත් පිච්චීගෙන වගෙ ආව මහ අමියාවක්.
"එපා බං මම නිදාගන්නං ටිකක්."
"හරි පොඩි මල්ලි යන්න. මේ මල්ලි ටිකක් නිදාගත්තාවෙ. නිදාගෙන ඇහැරල පල්ලෙහා කොරටුව ගාව ළිඳෙං වතුර ටිකක් කාරිය නාගත්තම ඔය අමාරු ඔක්කොම ඇරිල යයි."
නිමලෙය ගිහාම ලොකු අයිය මට සරමක් ගෙනත් දුන්න.කලිසමයි කමිසෙයි ගලවල දාල සරම යන්තමට ඉණට දාගෙන ඉස්සරහ කාමරේ පලු තුනේ ජනේලෙත් හායි ගාල ඇරල දාල ඇඳ හරහට වැටෙනව විතරයි මතක.නින්ද ගියයි කියන්නෙ ආය නෑ...කොහොමද දන්නවද?...හෙහ්,
ලොකු අයිය මට කතා කරනව නින්දෙං නොනින්දෙං වගෙ ඇහිල වදෙං පොරෙං ඇස් ඇරල බලනකොට යම්තමට කලුවරත් වැටිල.
"මල්ලිට හොඳටම නින්ද ගියානේද? "
ලොකු අයිය උළුවස්සට බරවෙලා ඉඳගෙන ඇහුව. අර ගහෙං වැටිච්චි සිද්ධිය හින්ද මනුස්සයකො එක කකුලක් සුට්ටක් වගෙ කොටයි. ඇවිදිනකොට ඒ අඩුව යන්තමට වගෙ පේනව.
"මොනව කියනවද අයියෙ මළා වගෙ තමයි….."මම සරම පටලවගෙන ඇඳෙං නැඟිට්ට.
"මල්ලිට තේ එකක් හදන්ටද?"
"එපා අයියෙ කරදර වෙන්ට එපා මම හදාගන්නං අනික ඊට කලිං නාගත්තොත් හොඳයි. "
"හරි හරි ඉන්න මම තුවායක් ගෙනත් දෙන්නං"
ලොකු අයිය ගෙනල්ල දුන්න කහපාට තුවායෙං හැමුවෙ සැවැන්දරා සුවඳ.
සැවැන්දරා සුගන්ධයෙන්,
හිමාලයේ සිසිල් සුවේ,
මගේ හිතයි ගතයි වෙළා,
සිනා සඳෙන් කැලුම් පෙරා,
ඔබයි බලන්නේ …. මේ ඔබයි බලන්නේ….
එම්.එස්. ප්රනාන්දුගේ ගීතයක්...
තුවායෙං සැවැන්දර සුවඳ හැමුවම මට එක පාරටම මතක් වුනේ අපේ අත්තම්මගෙ රෙදි දාල තිබ්බ කබට්ටෙක. උන්දැ කබඩ් එකට කිව්වෙ කබට්ටෙක කියල. අවුරුදු ගාණක් පරණ ඔහොරි හතර පහකුයි, බෝරිච්චි අත්දාපු හැට්ට තුන හතරකුයි සිල් රෙදි දෙකක් වගෙ..ඊට අමතරව ඒකෙ තිබ්බෙ උන්දැ ඔය එක එක වැඩ කරද්දි ඇඳපු චීත්ත සහ හැට්ට. ඒ රෙදි අතර තිබ්බ වේලපු සැවැන්දරා මුල් පදාස රවුමට ඔතල ඒ මුල් වලින්ම ගැට ගහල.
උන්දැ මාසෙකට වගෙ සැරයක් ඔය කබඩ් එකේ රෙදි ඔක්කොම එළියට අරගෙන ගසල කරල කාරිය ආයෙම නමල තිබ්බ වගේ තැම්පත් කරනව. ඒ වෙලාවට උන්දැගෙ ඇඳේ දිගාවෙල ඒ දිහා බලා ඉන්ට මම හරිම ආසයි.
"මොනවද අත්තම්මෙ ඔය?" සැවැන්දර මුල් ගුලිය පෙන්නල මම අහනව.
"මෙව්වට තමයි සුට්ටි පුතේ සැවැන්දර මුල් කියන්නෙ. ඇයි අපෙ මහ ගෙදර ගිහාම පුතා දැකල නැද්ද? අර පල්ලෙහා ලිඳ එහා පැත්තෙ කණ්ඩිය දිගට වවල තියෙන්නෙ. එව්ව තමයි සැවැන්දර.මේ එව්වයෙ මුල්."
"ඉතිං රෙදි අස්සෙ ඔව්ව දාන්නෙ මොකටද?"
"මෙව්ව රෙදි අස්සෙ දැම්මම රෙදි කාවො කන්නෙ නෑ. එතකොට රෙදි පරණ ගඳ පුස් ගඳ ගහන්නෙ නෑ. අනික හොඳට සුවඳයි."
සැවැන්දර මුල් වෙනුවට තමයි පස්සෙ කපුරුබෝල ආවෙ. පස්සෙ මහ ගෙදර ගිය දවසක අත්තම්ම මට සැවැන්දර ගාල පෙන්නුව. සැවැන්දර මුල් අඩි හය හතක් පොළව යටට වැවෙන හින්ද පස් හෝදගෙන යනවට හොඳ ප්රතිකර්මයක්. උඩරට තේ වතුවල සැවැන්දර ඒ කාලෙ වැව්වලු බහුලව ඔය වැඩේටම.
නිමලයලගෙ මහ ගෙදර වත්ත පහළ ළිඳේ අතිං ගන්ට පුළුවං මට්ටමට වතුර. නිල්කැටේ වගේද කියල නං දන්නෙ නෑ මොකද ඒ වෙනකොට කැටේ නිල් ද මොකද කියල නොපෙනෙන තරමට කලුවරයි. වතුර විස්සක් තිහක් නාගන්නකොට ඇඟේ පතේ කෙඩෙත්තුව සෑහෙන දුරට අකා මකා ගියා.ඔලුව පුපුරන්ට වගෙ තිබ්බ ඉසේ රදෙත් අඩුවෙලා ඔලුව ඇතුලෙ විඩෙං විඩේ ඩස් ඩිස් ගාල පිටි කෙටිල්ලක් ගාණට ඉතුරුවුනා.
"මල්ලි තේ එකක් බොමු"
කහපාට තුවායෙ සැවන්දරා සුවඳ නාහෙ ඇතුලට ගිහිල්ල හිත කුල්මත් කරද්දි ඔලු ගෙඩිය පිහ දමමින් මම ගෙට ගොඩ වෙනකොටම කුස්සියෙ ඉඳල තේ කෝප්පෙකුත් අරගෙන එළියට ආපු ලොකු අයිය කිව්ව. ලොකු අයිය කතාකරපු ඒ දයාබර ස්වරය මගෙ පපුව පතුලටම වැදුන සරුවාංගෙම හෙල්ලිල යන්ට. ඔහොම වෙලාවට මගෙ ඇස් වලට කඳුළු එන්නෙ ඉබේටම වගෙ.
"ලොකු අයිය තේත් හැදුවද? අනේ මොකට කරදර වුනාද?"
තුවාය කරේ දාගෙන තේ එක අතට ගන්න ගමං මම කිව්වෙ එයයිට කඳුලු නොපෙනෙන්ට ඇස් තද කරල පියාගන්න අතරෙ.
"ඕක මොකක්ද මල්ලි? පොඩි මල්ලිගෙ යාලුවො ඉතිං මගෙත් මල්ලිල වගෙ තමයි."
තේ බීල අපි දෙන්න ඉස්තෝප්පු කෑල්ලෙ වේවැල් පුටු දෙහෙකට වෙලා ඔහෙ කතාකරකර හිටිය.
"මම කොහොමත් රෑට උයන්නෙ නෑ මල්ලි. ඔය දවල් ඉතුරුවෙච්චි මොනවහරි කනව. එහෙම නැත්තං රොටියක් දෙකක් හදාගෙන කාල කහට එකක් බොනව." ලොකු අයිය මා දිහා බලල හිනාවුනා. "ඒත් අදනම් පොඩි මල්ලි රෑට කන්ට ගේනවයි කිව්ව"
"ආ.. එහෙම කිව්වද නිමල්?"
"හෙහ්..කිව්ව නේන්නං..මල්ලිට මතක නෑ..නේද?" ලොකු අයිය ආයෙම හිනාවුනා.
මාත් බිම බලාගෙන හිනාවුනා. බිම බලාපු පාර ඔලුවෙ කැක්කුම වැඩි වුනා.මම එක ආරටම ඔලුව උස්සල උඩ බලාගෙන ඇස් තදින් පියාගෙන ඔලුව දෙතුන් පාරක් ගැස්සුව.
"තවම අමාරුයි නේද? දවල්ට කෑවෙත් නෑ කියල පොඩි මල්ලි කිව්ව. යංකො කුස්සියට. මල්ලි නිදාගෙන හිටපු වෙලාවෙ මම මේ ලඟ තියෙන කඩෙං රෝස් පාන් ගෙනාව. ඒ කරල පොල් සම්බලක් හැදුව. ….යමු…. බඩට මොනවහරි වැටිච්චහම ඔය අමාරු ගතිය ඇරිල යයි."
ආයෙම මගෙ ඇස් වලට කඳුලු පුරාගෙන ආව. "යමු අයියෙ."
ඒ වෙලාවෙ තෙල් සුවඳ හමන රෝස් පානුයි උම්බලකඩ දෙහි යහමින් දාල ගලේ අඹරපු පොල් සම්බෝලෙයි රස නහර පිනා ගියා කටට ගන්නකොටම. ඒත් උගුරෙං පහළට බස්ස ගන්න එක තමයි ටිකක් කේස් එකක් වුනේ.ඔහොම උනහම එහෙම වෙනව. ඔහොම උන අය ඒ ගැන දන්නව ඇති. ඔහොම වෙලා නැතිඅයට ඉතිං මං කියන එක පිළිගන්ට වෙනව.
රෝස් පාන් සහ සම්බෝල චුට්ට චුට්ට බඩට වැටෙනකොට බඩත් නිකං එක විදිහක් වුනා. ඒ එක්කම දවල් වෙච්ච අලකලංචිය මගෙ මතකයට එන්ට පටං ගත්ත. ඒත් ඇත්තම කිව්වොත් ඒ වෙනකොටත් මම කරපු දේ බරපතලකම මට හරියටම තේරුම් ගිහිල්ල තිබුනෙ නෑ.
හරි හරි ටිකක් විතර වැඩිවුනා තමයි. ඉතිං මොකද? මිනිස්සුංට බිව්වම වැඩි වෙන්නෙ නැද්ද? මමද ලෝකෙ බීල වැඩි වෙච්චි පළවෙනි මනුස්සය? ඊගාවට කුකුළා...අන්න ඒකනම් ටිකක් විතර කේස් එකක් තමයි...
මීට කලින් කාටවත්ම මේ ලෝකෙ බීල වැඩි වෙලා නැද්ද? මම ද එහෙම වෙච්ච පළවෙනියා? කියල අහන්ට පුලුවන් උනාට කුකුළගෙ කේස් එක ගැන එහෙම හානිපූරණ තර්කයක් (Mitigating Argument) ගේන්ට පුලුවන් කමක් තිබ්බෙ නෑ. එතනදි මම සම්පූර්ණ අනාථයි සහනාධාරයි.
හරි ඉතිං ඔහොම දේවල් වෙන්නෙ නැත්තෙමත් නෑනෙ. වෙන්නෙ නැතුවමය කියමුකො. හරි ඉතිං අද වුනානෙ. (There is s first time for everything isn't it?) ඒකෙං කාටවත් හානියක් කරදරයක් වුනේ නෑනෙ. ආ..හරි…අර කුකුළ ඔඩොක්කට වැටිච්චි ගෑණු ළමයට සාරිය හරි ඔසරිය හරි මොකක් හරි ඇඳගෙන හිටපු එක ලොන්ඩරියට දාල ඩ්රයි ක්ලීන් කරගන්ට වෙන්ට ඇති. ලොන්ඩරියෙ බිල ඕනනම් මම ගෙවන්නංකො. සාරිය හරි මොකක් හරි ඇඳගෙන හිටපු එක මට ඔතල දෙනව නං නුවර ක්වීන්ස් ලොන්ඩරි එකට දාල ටිප් ටොප් එකට වැඩේ කරවල දෙන්ටත් පුලුවන්.ඒකෙ මැනේජර් අපේ ගෙවල් පැත්තෙ.රයිට් ඔය තියෙන්නෙ විසඳුම්.
එතකොට මඟුල් මේසෙං කුකුළ අරං ගිය එක? ආ..එතනිං කුකුළ අරගෙන ගියා තමයි. මම නෑ කිව්වෙ නෑනෙ. අනික නෑ කියන්ටත් බෑනෙ. මේ දෙනෝ දාහක් බලාගෙන ඉන්දැද්දි කුකුළ එල්ලගෙන ගිය එක නෑ කියන්නෙ කොහොමද? ඒත් මම කුකුල අරගෙන ගියාට ඌ මඟුල් ගෙදර පරිශ්රයෙන් (Wedding house premises) බැහැරට අරගෙන ගියාද? නෑනේ. අපි පාටිය දාපු මඩුවෙ ඌ මම තියල ආව. එතකොට මම හිතන්නෙ නෑ එතන සාපරාධී අපරාධයක් සිද්ද වුනාය කියල.
අනියම් පැහැර ගැනීමක් වගෙ වෙලා තියනව කියල කියන්ට නම් පුලුවන්. ඒත් චේතනාන්විත අපරාධයක් වුනාය කියල සාක්ෂි නෑ කියලයි මගේ කල්පනාව. අනේ උඹල බම්බු ගහගනිල්ල කියල මට නිකා ඉන්ට තිබ්බ. ඒත් මේ අසෝකා හින්ද එහෙම කරන්ට විදිහක් නෑ. ඒකනෙ..ඒ අම්මණ්ඩි ඒ තරමට මගෙ හිත අරක්ගෙනනෙ.
"මොකද මල්ලි කල්පනාව? දැන් නම් අමාරුව ටිකක් අඩුයි නේද? "
මේ දහපදුරා කූතාඬියො ඔක්කොම ආණ්ඩුවට දාගෙන යහපාලනය කොරන්නෙ කොහොමද? කියල මුණත් විරවගෙන කල්පනා කරන ජනාධිපතිතුමා වගෙ මම බර කල්පනාවක ඉන්නව දැකල ලොකු අයිය ඇහුව.
"ඔව් අයියෙ පොඩි ඔලුවෙ බර ගතියක් තියනව. ඒ අරුණම දැන් වෙනනම් අවුලක් නෑ." මම හිනාවෙලා නැඟිට්ට.
"ඔය ඔහොම හැදෙන ඔලුවෙ කැක්කුමට එකම බේතයි තියෙන්නෙ. මොකද කියන්නෙ?" ලොකු අයිය යන්තමට හිනාවෙල ඇහුව. "අටුකොස් වගයක් තිබිල මම ඔන්න මැල්ලුමක් හැදුව ඒක නියමයි ඔය වැඩේට."
කුකුළගෙ ප්රශ්නෙට සාර්ථක විසඳුමක් සොයාගැනීම කරණකොටගෙන මගෙ හිත ප්රීතියෙන් උද්දාම වෙලයි තිබ්බෙ.
"හරි අයිය අටුකොස් තියනවනම් ඉතිං සුට්ටක් වගෙ මොනවහරි ..හෙහ්,හෙහ්.."
මම එහෙම අටුකොස් පිට වැඩේ දැම්මෙ, යකෝ මේ යකා මේ දවල් දවසෙ කන්නෙත් නැතුව අච්චර බීල දැනුත් දැක්කද කියපු පරක්කුවට හාය කියාපු ලස්සන. කියල ලොකු අයිය හිතයි කියල හිතල.ඒත් ලොකු අයිය ඇත්තටම එහෙම කැත හිතක් තියෙන මනුස්සයෙක් නෙවෙයි ඇත්තම කිව්වොත්.
"ඉන්නකො එහෙනම්" එහෙම කියල ගේ ඇතුලෙ කාමරේකට ගිහිල්ල ලොකු අයිය ආපහු ආවෙ ඩබල් ඩිස්ටිල්ඩ් බෝතලේකුත් අරගෙන. "මේක හොඳයි නේද?"
"අපෝ හොඳටම හොඳයි" මම එහෙම කියල වේවැල් පුටුවක් ඇදල කනප්පුවට ලං කරගෙන ඉඳ ගත්තා.


