Thursday, December 31, 2015

379. පුවක් එෂැණිං…………….





ඇන්රිකේ නම් ගායන සිල්පියා සිංදු කියද්දී ඔහුට තනපටයකින් දමාගැසූ යුවතිය සෙවීමේ මහා මෙහෙයුමක් දියත් කොට ඇති බව පොලිස් මාද්දිය ප්‍රකාසක තුමා අද පැවසුවේය. හිරුනිකා මන්ත්‍රීවරිය තරුණයකු පැහැරගැනීම ගැන පරීක්සන පවැත්වීමට යොදවා තිබූ පොලිස් කන්ඩායම ඉන් ඉවත්කොට මේ සඳහා යොදවා ඇති බවද ඔහු තව දුරටත් කීවේය.

ඇන්රිකේ වෙත දමාගැසූ තනපටය අත්ඩංගුවට ගෙන ඩීඇන්නේ පරීස්සන මඟින් එය දමාගැසූ දේස ද්‍රෝහී තරුනිය සොයාගැනීමට පොලීසිය බලාපොරොත්තුවන බවද මාද්දිය ප්‍රකාසක තුමා පැවසීය. ඒ සඳහා මන සහාය අපේක්සා කරන බවද එතුමා වැඩිදුරටත් පැවසීය. තනපට රහිතව පාරේ ගමන් කරන තරුනියක් දුටු වහාම පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට අමතා ඒ පිළිබඳව දැනුම් දීම දේසීය සබ්බියත්වය අගයන සියලු දෙනාගේම යුතුකම බවද එතුමා පැවසීය. 

අදාල තනපටය මාද්දියවේදින්හට නැරඹීමට අවස්තාව ලබාදෙන ලෙස කල ඉල්ලීමට ප්‍රතිචාර වසයෙන් එතුමා පැවසුවේ එම තන පටය ඇන්රිකේ විසින් ඉස්පාඤ්ඤයට ආපසු යනවිට රැගෙන ගිය බවට තොරතුරු ලැබී ඇති නිසා එය නැවත ගෙන්වා ගැනීමට ජාත්‍යන්තර පොලීසියේ සහය ඉල්ලා සිටින බවයි.

ටං.....ටිං....ටුං...............

තරුනයකු පැහැර ගැනීම සම්බන්දව හිරුනිකා මන්ත්‍රී තුමිය අත් අඩංගුවට නොගන්නේ මන්දැයි මාද්දියවේදියකු ඇසූ ප්‍රස්නයකට පිලිතුරු දුන් මාද්දිය ප්‍රකාසක තුමා පැවසූයේ සීසීටීවී දර්සනවල එතුමිය නොමැති බවයි. සුදුම සුදු ඉටි කිරිස් කස්ටිය සීසීටීවී කැමරාවල සටහන් නොවන බව විසේසඥයින් පවසන බවද එතුමා පැහැදිලි කලේය.

ඒ පිලිබඳව වැඩිදුර අධ්‍යයනය සඳහා උසස් පොලොස් නිලදාරීන් දහ අට දෙනෙක් තම අඹු දරුවන්ද කැටුව සති දෙකක යුරෝපා සංචාරයකට යෑමට සූදානමින් සිටින බවද මෙහිදී ප්‍රකාස විය.

" හිරුනිකා මන්ත්‍රීතුමිය කරපු වැඩේ අපි අපක්සපාතව සලකල බැලුවොත් ඒ හැටිම වැරැද්දක් නෑ. මොකද සිංහල ජාතිය ආරම්බ වෙලා තියෙන්නෙම ඔය වගෙ... ඇත්තම කිව්වොත් එක තරුණයෙක් නෙවෙයි තරුණයො හත්සීයක් පැහැරගැනීමෙන්. එහෙම දෙයක් වුනේ නැත්නම් අද සිංහල කියල ජාතියක් නැතිවෙන්නත් තිබුනා." පොලිස් ප්‍රකාසක තුමා ඉතාම හැඟුං බරව පැවසුවේය.

ටං.....ටිං....ටුං...............

සී ලන්කා ජනාදිපතිතුමාගෙන් මඩු වල්ග වෙලඳාමට ලද දහිරිය ඉතා අගය කරන බව මේ අතර විසේස නිවේදනයක් නිකුත් කරන අන්තර් ජාතික මඩු වලිග අපනයනය කරන්නන්ගේ සංගමයේ ගරු සබාපති මාධූ වාලධී මහතා කියා සිටී. අන්දමන්ද දූපතේ පිහිටි එම සංගමයේ මූලස්තානයේ සිට එතුමා වැඩිදුරටත් කියා සිටියේ එම සංගමයේ ඉහලම ගහුරව නාමය වන මෑඩ් යූ. වල්ඝා (MAD U WALGHA ) නාමය සී ලංකා ජනාදිපති තුමාට ප්‍රදානය කිරීමට තමා ඒකමතිකව තීරනය කල බවයි.

මේ සතුටුදායක පුවත අසා ප්‍රීතියෙන් පිනා ගිය ජනාදිපතිතුමා තමන්ගේම පස්චාත් බාගයට රන්කම්කල මඩු වලිගයකින් ගසාගත් බව සැළවේ. එසේම මෙම ජනවාරි අටවන දින එලබෙන යහපාලන උදාවේ පලමු සංවත්සරයේදී පසුගිය ජනාදිපතිවරනයේදී තමන්ට චන්දය දුන් සියලු චන්දදායකයින්ට තමන්ටම පහරදීගැනීම පිනිස මඩු වල්ගය බැගින් තෑගි කිරීමටද එතුමා තීරනය කොට ඇත. මේ සඳහා බරපැන එතුමාගේ සහෝදරයා සබාපති පදවිය දරන ටෙලිකොම් සමාගමේ අනුග්‍රහයෙනි.

තම සහෝදරයාට රුපියල් කෝටියක් වැටුප් ගෙව්වාට රජයට කිසිදු පාඩුවක් සිදු නොවන බවත් ඔහු එපමන දක්සයෙක් බවත් ලන්කාවේ ජනාදිපති යනුවෙන් තමා හඳුන්වනවාට වඩා ටෙලිකොම් සබාපතිගේ අයියා යනුවෙන් තමා හඳුන්වනවාට තමා වඩාත් කැමති බවත් එතුමා ඉතා සංවේදීව පැවසූ බවද වාර්තා වේ.

ටං.....ටිං....ටුං...............

පත්තර කලාවේදීන්ට ඉතා සතුටු දායක ආරංචියක් මේ අතර පසුගියදා වාර්තා විය. හොඳ ප්‍රවෘත්ති නැතුව ඇටි කෙහෙල් කාපු උගුඩුවන්සේ හිඳිනා පත්තර කලාවේදීන් මින්පසු කල යුත්තේ ගොම්මංපිල මංත්‍රීතුමාට දුරකතන පනිවිඩයක් දීම පමනකි. එතුමා හැරෙන තැපෑලෙං පුවත්පත් සාකච්චාවක් සංවිදානය කොට පුවත් මවා දීමට කටයුතු කරනු ඇත.

ගරු ගොම්මංපිල මහතා පුවක් මැවීමේ විකාරදයෙක් බව මීට පෙරද ඔප්පුකොට ඇත. බස්නාහිර පලාත් සබා චන්ද වියාපාරය සඳහා රුපියල් සීය බැගින් එකතු කිරීමේ ගොන් පාට් එක සහ පාර්ලිමේන්තුව අබියස සිංහයා ඔලුවෙන් හිටවූ කොඩි වැනීම මීට පර ඔහු මැවූ පුවක් දෙකකි.

ටං.....ටිං....ටුං...............

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීයයි චෝදනා ලබා අත් අඩංගුවේ පසුවන රන විරුවන් වහාම නිදහස් කිරීමට පාලකයින්ට ඥානය පහල වේවා යයි පාර්තනා කරමින් මහා සන්ග රත්නේ සන්විදානය කල සත්තියගිරහයක් ඊයේ පැවැත්වුනේය. මෙහිදී අදහස් දැක්වූ ලා නක හිමියෝ රටේ නීතිය කුමක් වුවත් රන විරුවන්ට අතතැබීමට ඉඩ දිය නොහැකි බව එකහෙලාම පැවසූහ.

භික්ෂූන් තමන් ජීවත්වන රටේ නීතියට අනුගත වියයුතු බව බුදු හාමුදුරුවන් පවා උපදෙස් දී ඇති බව මතක් කල මාද්දිය වේදියකුට එතුමා පැවසූයේ බුද්ද දර්මයේ එවන් වර්තමාන සමාජයට නොගැලපෙන තැන් තවත් ඇති බවත් කාල්ටන් බන්ගලාවේ හෝ අබයාරාමයේ ලඟදීම පැවැත්වීමට කටයුතු යොදා ඇති මෙගා දර්ම සන්ගායනාවක් මඟින් ඒ අඩුපාඩු සකස්කොට කාලානුරූපව සන්සෝදිත බුද්ද දර්මය සිරිලක පිහිටුවීමට තමන් කටයුතු කරන බවත්ය.

ටං.....ටිං....ටුං...............

**************************

ඔබ සැමට සුබ නව වසරක්!!!

Monday, December 28, 2015

378. තිසරපට වීසිකිරීමේ මහෝත්සවය නොහොත් The Girl Who Hurled Her Bra

Enrique Iglesias  And  The Bra

එන්රීක් ද එන්රිකේද කියන ගොබිලෙක් ඊයෙ පෙරේදා දර්මද්දීපයට ආවේය. ඒ ආවේ සිංදු කියන්නටය.ඒ කියන්නේ ඒ මනුස්සයා ගායකයෙකි. ගායකයෝ කරන්නේ සිංදු කියන එකය. ඒ සිංදු කියන අතර තමංගෙ ජනප්‍රියතාව තියාගන්ට ගායක ගායිකාවන් නොයෙක් අඟර දඟර විගඩං ද කරන එක සාමාන්‍ය දෙයකි.එව්ව දැක්කාම පෙර යොවුන් වියේ ගැටවුන් ගැටිස්සියන්ට උන් හිටි තැන් අමතක වෙනවාය. ඒකත් සාමාන්‍ය දෙයකි.

අපේ කාලේ අපි ඔහොම කලේ නැතේ කියන එක වලංගු තර්කයක් නොවේය.ඒ ඒ කාලේ එහෙමය. මේ මේ කාලේ මෙහෙමය.සංගීතය රස විඳින ක්‍රම කීපයක් ඇත.අමරදේවගේ, වික්ටර්ගේ, කපුගේගේ ප්‍රසංගයකදී හැසිරෙන්නේ එක විදිහකටය.

අමරදේවට කවුරු හෝ ලලනාවක් තිසර පටයකින් දමා ගැසූ බවට ආරංචියක් නැත. එහෙම දෙයක් සිද්ද වුනත් මාස්ටර් කිසිම ගාණක් නැතුව මෙහෙම සිංදුවක් කියන්නට බොහෝවිට ඉඩ ඇත."වක්කඩ ලඟ දිය වැටෙන තාලයට තිසර පැටව් උඩ පැන නැටුවා." වික්ටර්ට එහෙම අලකලංචියක් වුනොත් මෙහෙම කියන්නට බැරි නැත. "ළැම විල පියකරු හසුන් දරන්නී ඊ...ඊ...ඊ...තනපට ගලවා වීසි කරන්නී..ඊ...ඊ...ඊ "

සමන් ජයනාත් තනිකරම ඔහොම සීන් කෝන් එකක් ගැන සිංදුවක්ද කියා ඇත. එතන ඒ මගෝඩියා නම් කියන්නේ තිසර පට තදයි වගේනම් ගලවලා වීසි කරපං කියාය.

"විපුළිත ළැම රණ හංස තුඩට කිම 
දුහුල් සළුව හිරිහැර දෙන්නේ
වියැකී යද්දෙන් ඒ සළුපට වාගේ 
මගේ සරාගී සෝතාපා
නුඹ රන් බඳ මා හා සයනිත රෑ යාමේ..."

රණ හංස තුඩට හිරිහැරයි වගේනම් වියැකී යද්දෙන් ඒ සළුපට කියන්නේ ඒකය. 

මේ ඊයෙ පෙරෙයිදා මම අර කලිං කියාපු එන්රීකේගේ සෝ එක වෙලාවෙ එක ගැටිස්සියක් තිසර පට ගලවලා එන්රිකේ ගොයියට දමා ගහලා එක ගිණි විජ්ජුම්බරයක් වෙලාය.එහෙම දමා ගැහුවේ ඇයි කියන එක ගැන හරි ආරංචියක් නම් නැත. ඔය සෝ එකට ටිකට් එකක් අඩුම රුපියල් 5000 වගෙ වුනා කියලා කියන්නේය. සම්ටයිම්ස් ඇන්රිකේ ගොයියගෙ සිංදු අර ගෑණු ළමයට අල්ලලා ගියේ නැතුව වෙන්නත් පුලුවන්ය. එහෙම මල පැන්නම ඔය බබලත්තු අතට අහුවෙන එකෙං දමලා ගහනවාය.මට ඒ ගැන පලමෝත අත්දැකීම් ( First hand experience ) තියන නිසා ඔය කවුරුවත් ඒක එහෙම නෙවෙයි කියල මට ගහ පහ දෙන්ට එන්ට එපාය. ( පළමෝත වචනයේ නිර්මාතෘ ටැබූට මේ අවස්තාවේ මගේ ස්තූතිය )

ඔය බබලත්තු අතට අහුවෙන එකෙන් දමාගහන එක ගැන සුට්ටං කතාවක් මතක් උනෙමි. එක්කො ඒකත් කියලම ඉන්නම්ය.

"මොකද ළමයො මේ ගේ හැමතැනම පිඟං කෑලි?" සැපසනීප බලාගෙන යන්නට අලුත බැඳපු දුවගෙ ගෙදර ආපු අම්මා කම්මුලේ අතකුත් තියාගෙන ඇහුවාය.

"ඔය අර මිනිහගෙ වැඩ තමයි" දුව මූණ කොරහක් වගෙ කරගෙන කිව්වාය. 

"ඈ? අනේ අප්පේ ඒ පුතා දිහා බැලුවාම නං හරිම අහිංසකයි වගේනෙ. කවුද හිතුවෙ පිඟං පොළවෙ ගහන ජාතියෙ කෙනෙක් කියල." 

"හහ්, අම්ම දන්නෙ නෑ ඒ මිනිහගෙ හැටි..හෙමිජ්ජ වගෙ හිටියට බලන්ට එපාය..." 

"එතකොට ඇයි එයා මේ පිඟං පොළවෙ ගැහුවෙ?" 

"නෑ..නෑ...එහෙම දෙයක් වුනේ නෑ.."

"එතකොට කොහොමද මේ පිඟං කැඩුනෙ?"

"මම පිඟං වලිං දමල ගහන කොට ඒ මිනිහ එහාට මෙහාට පනිනවනෙ....." 

හරි ආයම එන්රිකේ සහ මහා තිසරපට අර්භූධය ගැන.එතන හිටපු බබලත්තු දාස් ගාණක් අතරෙ තිසර පටක් ඇඳං හිටියෙ ඔය බ්‍රා ත්‍රෝයිං ගර්ල් විතරක්ය කියලත් කොහෙද ගොසිප් අඩවියක තිබ්බ වගෙ මතකයක් තියෙනවාය. සම්ටයිම්ස් එහෙම වෙන්ටත් පුලුවනිය. ඒ B.T.G. ඇවිල්ලා ඇමති කෙනෙක්ගෙ දුවක්ය කියලත් හාහෝවක් පැතිරෙනවාය. දේසපාලන විස්ලේසකයෝ කියන්නෙ දැං ඉන්න ඇමතිල හැත්ත බුරුත්තෙ හැටියට ඇමති කෙනෙක්ගෙ දුවෙක් හෝ පුතෙක් නොවෙන ගැටයෙක් ගැටිස්සියෙක් හොයාගන්න එකත් ඒ හැටි ලේසි කෙලියක් නොවෙන නිසා ඒ කතාවෙ ඇත්තකුත් තියෙන්න පුලුවන් කියලාය.

මේ තිසර පට අර්බුදය කොච්චර දුර දිග ගියාද කිව්වොත් අපේ ගරු ජනාදිපතිතුමාටත් ඒ ගැන විසේස නිවේදනයක් නිකුත් කරන්නට සිද්ද වුනාය. එතුමා එක හෙලාම කියාසිටියේ අවුරුදු දෙදාස් පංසීයක් ආරස්සා කරගෙන ආ අපේ බවුද්ද සබ්බියත්තය මේ චිංචි මානවිකාවගේ තනපට වීසි කිරිල්ලෙං එක මොහොතිං නැතිබංගස්තාන වෙලා ගිය බවය. නැවත එවං අසමජ්ජාති වැඩවලට ඉඩ නොදෙන බවට එතුමා දහ අතේ දිවුරා පොරොන්දු වුනාය. 

මිං මනත ඔය එන්රිකේල බෙන්රිකේල ඇවිල්ල සංගීත සාජ්ජ දානකොට නහයට අහන්නෙ නැති කෙල්ලො තනපට ඉස්ටේජ් එකට වීසි කොරන එක වලක්වන්නට පී. ඇස්. ඩී. එකෙං ඉස්ටේජ් එක වටේටම හිටවලා උඩිං එන තනපට අල්ලන්ට කටයුතු කරන බවට එතුමා ප්‍රකාස කලාය. එහෙමත් නැත්තං සාජ්ජයට ඇතුල්වෙන දොරටුවේ පී.එස්.ඩී. එක හිටවලා ඇතුල්වෙන ගැටිස්සියං ඔක්කෝගෙම තන පට ගලවා එකතු කර ගැනීමට කටයුතු කරන්ටත් පුලුවනිය. 

සෝ එක ඉවර වෙලා ආපහු යනකොට ඒ ඒ අදාල ගෑණු ළමයාට අදාල බ්‍රා එක ආපසු දෙන්ට කටයුතු යොදනවා ඇත. පහුගිය මරාන්ඩුව කාලෙ වගෙ දැං පී.එස්. ඩී. එකට එහෙමට වැඩකුත් නැති නිසා ඔය වගෙ මොන මොනවහරි බාරදෙන එකත් හොඳය. මහජන මුදලිං නිකම්ම පඩි ගෙවන එකත් එච්චරම හරි නැති හින්දාය. 

ඊට අමතරව එන්රිකේ සාජ්ජෙ සංවිදායකවරුං ගෙනල්ල ගෝල් පේස් එකේ තියලා මඩු වලිගවලිං තලන්ටත් එතුමා ගේ අදහසක් ඇත.ඒ සඳහා මඩු වලිග මිලදී ගැනීමට වහාම ටෙන්ඩර් කැඳවීමට එතුමා උපදෙස් දී ඇත.ඒත් පොඩි අවුලකට ඇත්තේ මේ එන්රිකේ ගොයියා ගෙන්නල තියෙන්නෙ සංගක්කාර සහ මහේල දෙන්නා එකතු වෙලාය. 

සංගක්කාර කිරිකට් ගැහිල්ලෙං අයිං වෙන කොටම කොටිම්ම අන්තිම පාරට අවුට් වෙලා පැවිලියං එකට ඇවිල්ල බෝල් ගාඩ් එක කාරිය ගලෝල හිට ආසික් එකේ පොඩි හුලං පොදක් වද්ද ගන්ටත් ඉස්සර ජනාදිපතිතුමා රෙද්දත් උස්සගෙන දුවගෙන ගිහිල්ලා එංගලන්තෙ මහ කොමසාරිස්කොම සංගාට දෙන්ට ලැහැත්ති වුනාය. 

සංගා ඒ වෙලාවෙ හා, හොඳයිය කියලා ඒක බාරගත්තානම් වෙන්නේ මල කෙලියකි. ගෝල් පේස් එකට ගෙනල්ල කලිසම පාත් කරල මඩු වලිගෙං තලන්ට වෙන්නෙ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමාගේ පස්චාත් බාගයටය. එහෙම උනානං ඒක අපේ දර්මද්දීපයට මහ විසාල අවනම්බුවකි. සංගා කොමසාරිස්කම එපා කියපු හින්දා යන්තං ඒ නව නිංගිරාවෙං අපි ගැලවුනෙමු. 

දැං වුනත් හැබැයි ගෝල් පේස් එකට ගෙනල්ල ප්‍රසිද්දියේ සංගා සහ මහේල දෙන්නගෙ පස්චාත් බාග වලට මඩු වලිගෙං තලනවය කිව්වොත් රුපියල් පන්දාහ නෙවෙයි දහදාහකට උනත් ටිකට් විකුනන එක ඒ හැටි කජ්ජක් නෙවෙයි කියලා මට හිතෙනවාය. අපේ ගරු ජනාදිපතිතුමා මේ වගෙ මඩු වලිග යෝජනාවක් ගෙනාවෙ එහෙම හිතලා වෙන්ටත් බැරි නැතිය.එතුමා එහෙම හීන් නූල් ගේම් කාරයා බව අපි කවුරුත් දන්නවාය.

Wednesday, December 23, 2015

Denying Education Rights Of Others - Dr. Chandima Gomes



පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩ දීම නිසා නිදහස් අධ්‍යාපනයේ මළගම සිදුවෙනවයි කියල රට පුරා උද්ඝෝෂණ මේ දවස්වල. ඒ ගැන ලොකු කතිකාවතක් සංවාදයක් වියුණු අවකාශය තුලත් සිදුවෙනව.

මේ ඒ ගැන ආචාර්ය චන්දිම ගෝමස් මහතා ලියාපු ඉතාම තාර්කික සහ විශ්ලේෂණාත්මක සටහනක්. කරුණාකර කියවනු මැන. කියවා වටහාගනු මැන.

Sunday, December 20, 2015

377. තෘෂ්ණාවේ රඟ නොහොත් මරාගේ ස්වයං වධ බන්ධන

Image - Colombo Telegraph

පින්වතුනි, අද ධර්ම දේශනයේ මාතෘකාව වශයෙන් මම තෝරාගත්තේ කළකම් පලදීමයි.

මේ සැදැහැවත් පින්වතුන් හොඳින් මතක තියාගන්ට උවමනායි තමන් කල අකුසල කර්මයන් පලදීමෙන් කිසිම ජගතෙකුට ගැලවීගත නොහැකි බව. රටක රාජ්‍ය නායකයෙක්ව සිටියත් ඒ ධර්මතාවය පොදුයි. 

විශේෂයෙන්ම රටේ ජනතාවගේ පොදු දේපොල මංකොල්ල කෑවොත් ඒ පව ගෙවල ඉවරකරන්ට බෑ ලේසියෙන්. සමහරවිට නීතියෙන් බේරෙන්න පුලුවන්. ඒත් තමන් විසින්ම තම ශරීරයට වද දීල හරි ඒ අකුසල කර්මය ගෙවන්න වෙනවා වෙනවාමයි පින්වතුනි. 

දැන් බලන්න මේ මෙතන බෙල්ල කපල නානගෙ මස් කඩේ කොක්කෙ එල්ලපු කුකුල් කුණක් වගෙ ඉන්නෙ කව්ද? අපේ රටේ හිටපු ජනාධිපති නේද? වයස මේ ඊයෙ පෙරෙයිද හැත්තෑවත් පහුවුනා. 

Google Images
ඒත් බලන්න පින්වතුනි තවත් තියෙන තෘෂ්ණාවක මහත. තවමත් හදන්නෙ මාවවුලො ඇටඹ ගස්වල එල්ලිල ඉන්නව වගෙ එල්ලිල ඉඳල හරි තව කල්ප කාලයක් ජීවත් වෙන්න. 

Google Images

මේ වගෙ තෘෂ්ණාධික පුද්ගලයින්ට අනුකම්පා කරනව හැරෙන්න වෙන කලයුත්තක් නෑ පින්වතුනි.

පින්වතුනි, සසර වසන තුරු මෙවන් වධ විඳීමක් ඔබ සැමට නොවේවා!

Thursday, December 17, 2015

376. සුට්ටං කවි හතක්…………..



බිඳුනු යස උරහිසක,
පිපි සූරියකාන්ත මලක්,
වැහි බිඳක් වැටුනු කල,
සැතපෙයි සුවෙන් සාමෙන්.

බෝඹු කෝටු අගිස්සක,
තනි අණ්ඩෙන් ඉඳිනා,
කුහුඹුවෙක් කෑගසා,
අණ්ඩ සපා ගති හිටං.

වේගයෙන් දිවගෙන ආ,
රෑ බදුල්ලෙක්ගේ හැපී,
උඩුකුරුඤ්ඤං වීගිය,
කළාමැදිරියෙක් හැඬුවේය.


සුලඟේ ලෙල දුන්,
මගේ සුදු බැනියමක්,
සුදු රෙදි හොරෙක් අරං ගොස්,
උගේ ගෙදර දොරරෙදි වලට දාගෙන.

මයිල් පිරි ගොනාගෙන් බැස,
එඬේරාගේ කකුලට ගොඩවුනු,
මැක්කෙක් අඬා වැලපී,
ආතබූත නැතුව ඉහළටම නැඟ.

අනුමෙවෙනි බණ දෙසනා,
ලොකු හාන්දුරුවංගේ සිවුරේ,
කොණක තැවරුනු කොහොල්ලෑ,
දුටු ඈ කොට කණින් සිනාසුනි.

දෙගොඩ ගලා ගිය ගංවතුර,
බැස ගියද තැනින් තැන,
රැඳුනු මඩ දිය කඩිති,
ප්‍රීතියෙන් සිනාසෙත්.

Sunday, December 13, 2015

375. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 22 - අකලට වට මහ වරුසාවක් සේ.....


Google Images

අවසානයේ නිරුදක වැලිකතරට ශිශිරය එලඹියේය.සාමාන්‍යයෙන් ඉල්මස මුල් සතියේ පමණ උණුසුම අඩුවී ගිම්හානයෙහි අවගමනය ඇරඹෙන නමුදු මෙවර එය මසකින් පමණ කල්ගියේය. ක්‍රමයෙන් උණුසුම අඩුවී ශීතල පැමිණෙද්දී ශරීරය ඒ විපර්යාසයට හුරුවීමට සූදානම් වන නමුදු මෙවර ක්ෂණිකව ඇරඹි ශිශිරය බහුතරයක් මිනිසුන්, ගැහැණුන් මෙන්ම කුඩාවුන්ද අසනීප කලේය.පසුගිය දින කීපය මුළුල්ලේ සුව නොවනා අනවරත කැස්සකින් මම ද පීඩා වින්දෙමි.

ශ්‍රී ලංකාවෙහිද සුපුරුදු කාලගුණය විපරීත වීම ඉතා සුලභ සංසිද්ධියකි. වෙනදා අනෝරා වැසි වැටෙන සමයන්හි දැන් නියඟය පොළොව දවාලනුයේ සිත්පිත් නැති පරිද්දෙනි.එළෙසම අධික හිරුරැසින් දෙහිගස් පවා තව් මැරෙන්නට නියමිත කාල වකවානුවන්හි නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුකොටගෙන පහත්බිම්හි වසන බොහෝ දෙන ඇඳිවත පමණක් ඉතිරිව අනාථ වෙති.

ලොව පුරා බොහෝ ප්‍රදේශයන්ට බලපාන මේ කාලගුණ විපරීතතාවයට හේතුභූතවිය හැකි එක් කරුණක් පිලිබඳව මාස කිහිපයකට ඉහත මම ඉංගිරිසි බසින් පළවන එක් වෙබ් අඩවියක කියවූයෙමි. ඒ කුමන අඩවියකදැයි පැහැදිලි මතකයක් නොමැති වුවද බොහෝ විද්‍යාත්මක සහ සමාජීය තොරතුරු නිතර පළවන එලෙසම කියවීමට රුචිය දනවන්නක් බව සිතෙහි සටහන්ව ඇත. එලෙසම මේ තොරතුරු මා මීට වසර හත අටකට පමණ පෙරද කියවූයෙමි.

2004 දෙසැම්බර් මස 26 වන දින උතුරු සුමාත්‍රාවේ බටහිර වෙරලට ඔබ්බෙන් ඉන්දියන් සාගරයේ සිදුවූ රික්ටර් මාපාංකයෙහි 9.1 ලෙස සටහන්වූ මහා භූමිකම්පාව පිළිබඳව ඔබට මතක ඇති බවට මට නිසැකය. දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට මරු කැඳවමින් එමෙන්ම රුපියල් කෝටි ගණනක් වටිනා දේපළ විනාශ කරමින් ශ්‍රී ලංකාවෙහි නැගෙනහිර, දකුණු සහ බටහිර වෙරළට කඩා වැදුනු සුනාමිය එහි ප්‍රතිඵලයකි. 

බොහෝ විද්වතුන්ගේ මූලාශ්‍ර උපුටා දක්වමින් මා ඉහත සඳහන් කල වෙබ් අඩවියෙහි පළවී තිබුණේ ඒ භුමි කම්පාව හේතුවෙන් පෘථිවියෙහි චුම්බක ක්ෂේත්‍රයෙහි ප්‍රබල වෙනස්කම් රැසක් සිදුව ඇති බවකි. ලොවපුරා කාළගුණ විපර්යාස, කිසිදිනෙක භූමිකම්පා සිදුනොවන ප්‍රදේශවල සිදුවන දරුණු භූමිකම්පා, වසර සහස්‍ර සංඛ්‍යාවක් අක්‍රියව පැවති මළ යමහල් හිටිඅඩියේ විදාරණය වී මහත් විනාශයක් සිදුවීම වැනි සංසිද්ධීන්ට හේතුවනුයේ ඉහත පැවසූ භූමිකම්පාවේ අනර්ථකර බලපෑම් බව එහි සඳහන් විය. මෙහි පළකරනු උදෙසා එහි සබැඳියක් සොයාගැන්මට ගත් උත්සාහය ව්‍යාර්ථවිය.

ඒ සුනාමියෙන් වසරකට හෝ දෙකකට පසු කාලයයි. එදවස මම සේවය කලේ නුගේගොඩ අසල ප්‍රධාන කාර්යාලය පිහිටි සමාගමකය. සාමාන්‍යයෙන් ශනිදාව සේවයෙහි යෙදෙන දිනයක් වුවද ඉක්බිති එළඹෙන සඳුදින රජයේ නිවාඩු දිනයක් වී බැවින් මම ශනිදා නිවාඩු අනුමත කොටගෙන ඊට පෙරදින සවස පැණිදෙණියෙහි නිවෙසට පැමිණියෙමි.එදවස වත්මනෙහි අප වසන නිවස ඉදිකොට නොතිබූ අතර අප දෙදෙන වාසය කලේ ඇය සේවය කල විදුහල් භූමිය තුලම පිහිටා තිබූ ගුරු නිවසේය.

මා සේවයකල අර්ධ රාජ්‍ය ආයතනයෙහි සේවයෙන් ඉවත්වීමේදී ලද වන්දි මුදල යොදවා අප දෙදෙන ඒ අසළම පර්චස දොළහක කුඩා ඉඩම් කැබැල්ලක් මිලට ගත්තෙමු. එහි නිවසක් ඉදිකිරීම උදෙසා රජයේ සේවකයින්හට එකල ලබාදුන් වසර පහක වැටුපට සමාන ණය මුදල මා බිරිඳ ඉල්ලුම් කල අතර ඒ ලද වහාම නිවෙස ඉදිකිරීම ඇරඹීමේ අපේක්ෂාවෙන් අපි කල් ගත කළෙමු.

සති අන්තයේ නිවසෙහි සියළු සේදිය යුතු රෙදි පිළි සෝදා වේළා ගැනීම සහ අනෙකුත් කොට්ට මෙට්ට පොරෝණා, ඇඳ ඇතිරිලි යනාදිය අව්වේ වේලා ගැනීම බිරිඳගේ එකල ඇබ්බැහියක් විය. මේ සිරිත ගුරුවරියනටම ආවේණික සිරිතක් දෝහෝයි මට වරෙක සිතෙනුයේ අරවින්ද පොක්ඛරණියෙහි ( නොහොත් නෙළුම් විලෙහි ) අධිපතිනිය වූ ඕ තොමෝද ගුරුවරියක වූ තම වැඩිමහල් සොයුරියද පුරුද්දක් වශයෙන් සති අන්තයේ මෙසේ රෙදි පිළි සෝදා වේලීමෙහි නිරතවූ බැව් වරක් පැවසූ බැවිනි.එදවස වියට්නාම දේශයෙහි සිට බොහෝ රසවත් වියුණු සටහනින් අප ආනන්දයට පත්කල බින්දි නම්වූ ඒ ලලනාවෝ මෙදවස සිංහපුරයෙහි වසන්නී ලේඛන කලාවෙන් ඉසුඹු ලබා ඇති සෙයක් පෙනී යන්නේය.

රෙදි පිළි සෝදා වේලා ගැනීම පිළිබඳව මගේ කිසිදු විරුද්ධත්වයක් අමනාපයක් නොවීය. එහෙත් මිදුල සහ ගෙවත්ත පුරා වැල් බැඳ ඇය සෝදන රෙදි පිළි ගෙනවුත් මිරිකා එහි වැනීම සහ වියලුණු පසු ඒවා නිසි කලට නැවත නිවසට ගෙනයාම මට පැවරුණු පූර්ණ කාලීනව නිරත වියයුතු රාජකාරියක් වීම කිසිසේත්ම මගේ සතුටට හේතු නොවීය. එහෙත් ඒ පිළිබඳව මගේ අමනාපය ප්‍රකාශ කොට ඇගේ සිත් රිදවනවාට වඩා මුවින් නොබැණ පැවරුණු රාජකාරිය ඉටුකිරීම මගේ සිරිත විය.

ශනිදාව නිවාඩු අනුමත කොටගෙන මම කාර්යාලයෙන් බැහැරව නිවෙස බලා පැමිණි සති අන්තය වෙත නැවත ඔබගේ අවධානය යොමු කරවීමට මට අවසර.ඒ සති අන්තයෙහි ශනිදාව විවේකයෙන් නිවසෙහි ගතකොට ඉරු දින මාතලේට නුදුරුව පිහිටි බිරිඳගේ මහගෙදර ගොස් එදින රාත්‍රිය එහි ගතකොට සඳුදින ආපසු පැමිණීම අපගේ අපේක්ෂාව විය. ඉක්බිති පසුදින අළුයම මහනුවර සිට මාතර බලා ගමන් ගන්නා දුම්රියෙන් සේවය සඳහා පිටත්වීමට මම සැලසුම් කොට සිටියෙමි.

ශනිදා උදෑසනම ඇය සුපුරුදු රෙදි සේදීමේ කටයුතු ඇරඹුවාය. අහස එකද වළාකුලක් රහිතව නිල් පැහැයෙන් බැබලුණි. 

"මේ මම කියන්නද? ඔය රෙදි ඔක්කොම හෝදන්න ඕනද? වැල් බැඳල ඔව්ව ඔක්කොම වේලන්ට ගිහිල්ල හදිස්සියෙන් වත් වැස්සොත් එහෙම තමයි සෙල්ලම"

ඇය ලහි ලහියේ රෙදි සෝදන යන්ත්‍රයට තවත් රෙදි තොගයක් බහාලනු දුටු මම පැවසූයෙමි. 

"පිස්සුද අනේ? මේ දවස්වල කොහෙද වහින්නෙ? අර මීවතුර පැත්තෙ ළිං හිටං හිඳිල කියන්නෙ...."

"සාමාන්‍යයෙන් නම් වහින කාලෙ නෙවෙයි තමයි. ඒත් දැන් කාළගුණේ කියන එක සම්පූර්ණයෙන් දහ විහිලි වෙලා ගිහිල්ල තියෙන්නෙ. අර 2004 අවුරුද්දෙ මහ බූමිකම්පාවක් වුනේ සුමාත්‍රා දිහාවෙ…"

"ඔව්..ඔව්..අර සුනාමියක් එහෙම ආවෙ…"

"අන්න හරි ඒ භූමිකම්පාව හින්ද පෘථිවියෙ චුම්බක ක්ෂේත්‍රය පොඩ්ඩක් වෙනස් වෙලා කියලයි කියන්නෙ. ඒ හින්ද ලෝකෙ පුරාම කාළගුණෙත් වෙනස් වෙලාලු. ඒ හින්ද වහියිද නැද්ද කියල දෙයියො තමයි දන්නෙ."

"හරි හරි වැස්සත් අවුලක් නෑනෙ. පට ගාල රෙදි ටික ගෙට ගමු. වේලිල තිබ්බෙ නැත්තං ගේ ඇතුලෙ වැලක් බැඳල දාමු. මේ අද මම මගේ ඔසරි දෙක තුනකුත් හෝදනව. එව්ව හැබැයි වේලිල ආය තෙමුනොත් අප්සෙට් යනව. කමක් නෑ වහින එකක් නෑ..වැස්සොත් ඔයා මතක ඇතුව තෙමෙන්ට ඉස්සෙල්ල ගන්නකො හොඳද?" ඇය කියවාගෙන ගියාය. මම අසා සිටියෙමි.

එලෙස රෙදි සේදීමේ කාර්යය සුපුරුදු ලෙස ක්‍රියාත්මක විය. මම වැල් බැඳ රෙදි වැනීමේ කටයුත්තෙහි යෙදුනෙමි.

මධ්‍යාහ්නය පසුවී එපමණ වේලාවක් ගත නොවිනි. ඇගේ ජංගම දුරකථනය නාද විය.

"හෙලෝ......"

"………………….."

"ආ ඇත්තද? තවම අඩු නැද්ද?"

"………………….."

"හරි හරි මම එන්නං…. මම එන්නං"

ඇය ජංගම දුරකථනය ක්‍රියා විරහිත කොට හිස ඔසවා මදෙස බැලුවාය.

" අර ජයන්ති මතකද ඔයාට?"

" කවුද ජයන්ති? "

"අර මේ ඉස්කෝලෙ ඉගැන්නුවෙ අවුරුදු දෙහෙකට විතර කලිං..අර සුදු මහත...ප්‍රයිමරි එකට ඉගැන්නුවෙ…"

"මට මතක නෑ ඒයි..ඉතිං මොකක්ද දැං වෙලා තියෙන්නෙ?"

"එයා දැං උගන්නන්න ගෙලිඔය පැත්තෙ. ගෙවල් මේ කිට්ටුව දවුලගල පාරෙ."

"ඉතිං? "

"එයාගෙ හස්බන්ඩ් පොලීසියෙ ඔය කොහෙද දුරක ඉන්නෙ. මඩකලපුව පැත්තෙද කොහෙද...පුතෙක් විතරයි ඉන්නෙ. අවුරුදු දහක් වගෙ ඇති. ඊයෙ රෑ ඉඳල සහළවල උණලු ඒ පොඩි එකාට. දැං ලෑස්ති පේරාදෙණියෙ හොස්පිට්ල් ගෙනියන්ඩ. කවුරුවත් නෑ කියල මට එන්ඩ පුලුවන්ද කියල අහුව. පව්නෙ අනේ..මම කිව්ව එන්නං කියල."

ඇගේ හැටි එහෙමය. ඕනෑම කෙනෙකුට ඇප උපකාර කිරීමට ඇය එක පයින් සූදානම්ය. ඒ ඇගේ මම අගයකරන තවත් බොහෝ ගතිගුණ අතර එකකි.

"හරි. හරි ගිහිල්ල එන්නකො එහෙනං ….මාත් එන්න ඕනද?"

"නෑ..නෑ..එපා...මම පරක්කු උනොත් ප්‍රිජ් එකේ ඇති ඊයෙ උයපුව ඉතුරු….. බත් එකක් මම ගහල යන්නං රයිස් කුකර් එකේ. ඔයා බෙදාගෙන කන්න."

"හරි හරි ඒක බැරිය. දැන් ඔයා යන්නෙ කොහොමද?" 

"ජයන්ති ත්‍රී වීලර් එහෙක පාර ගාවට එන්නම් කිව්ව. මට ඇවිල්ල කෝල් එකක් දෙයි. එතකොට මම යනව පල්ලෙහාට."

අප වාසය කල ගුරුනිවස පිහිටියේ තීව්‍ර කඳු බෑවුමක ඉදිකොට තිබූ පාසලෙහි ගොඩනැඟිලි සියල්ල පසුකොට කඳුගැටය මුදුනට ආසන්නයේය. පාසල පහළින් දිවෙන පරණ ගම්පොළ පාරට ගුරු නිවසේ සිට තැනින් තැන කැඩී බිඳීගිය ගල් පඩි දෙසියයකින් පමණ සමන්විත පඩි පෙලකින් බැසිය යුතුය.ඒ පරණ ගම්පොළ පාර යනුවෙන් හැඳින්වෙනුයේ එක්දහස් නවසිය හතළිහේ දශකයේදී පමණ පේරාදෙණිය විශ්ව විද්‍යාලය ඉදිකල පසු ඉංජිනේරු පීඨය ඉදිරියෙන් දිවෙන මාර්ගය ගම්පොළ පාර බවට පත්වූ බැවිනි.එවිට එතෙක් භාවිතාවූ පැණිදෙණිය සහ මීවතුර හරහා දිවෙන පේරාදෙණිය-ගම්පොළ පාර ස්වයංක්‍රීයව පරණ ගම්පොළ පාර බවට පත්විණි.

"හරි ජයන්ති ඇවිල්ල..මේ..ඒයි..මම යනව එහෙනං..දන්නවනෙ හොස්පිට්ල් ගිහාම..කීයට එන්ට වෙයිද කියන්ට බෑ...වහින්ට ආවොත් මතක ඇතුව මගෙ ඔසරි ටික ගන්ට හොඳද? මම පරක්කු උනොත් බත් බෙදාගෙන කන්ටකො....හරි එහෙනං මම ගියා." 

ඇය ලහි ලහියේ පඩි පෙල බැසයනු මම නිවසෙහි ඉදිරි දොරටුවේ එළිපත්ත මත හිඳ බලා සිටියෙමි. ගුරු නිවසට පහලින්වූ උදෑසන රැස්වීම පවැත්වෙන සමතල සුදු වැලි අතුල භූමිභාගය හරහා කඩිනමින් පියමං කල ඕ ගෘහ විද්‍යාගාර ගොඩනැඟිල්ලට එපිටින් නොපෙනී යාමට පෙර ආපසු හැරී සුරත ඔසවා සමුගත්තාය. දොර අඩවල් කල මම සාලයෙහි වූ වේවැල් පුටුවකට බර දුනිමි.

ඇය පිටත්ව යාමට පෙර අප දෙදෙන විස්කෝතු කීපයක් සමඟ තේ පානය කල බැවින් සාගින්නක ළකුණකුදු නැත. රයිස් කුකරය විවෘත කොට බත කූරුගෑ මම එය උණුසුම රැඳී පවතින මාදිලියට මාරු කළෙමි.

සාලයෙහි වූ වේවැල් ඇඳි පුටුව බරාඳයට ඔසවාගෙන ගිය මම නවකථා පොතක්ද රැගෙන එහි දිගාවීමි. අඩවල් ඉදිරි දොරටුවෙන් හමාඑන සුළඟ එකවරම සිසිලසක් ගෙනා බව හෝ මට නොවැටහුණේ පූර්ණ අවධානය කියවමින් හුන් නවකථාවට යොමුකොට සිටි බැවිනි.හමා එන සිසිල් සුළඟට මගේ නෙත් පියවීමට බොහෝ වේලා ගත නොවීය. එසේ කොපමණ වේලා අඩ නින්දේ පසුවිනිදැයි මම නොදනිමි. එක් වරම මගේ නෙත් විවරවූයේ ධාරානිපාත වර්ෂාවක හඬිනි. මිදුලෙන් ඔබ්බෙහිවූ අලිගැටපේර ගසෙහි අතු අඹරවමින් හමන සැඩ සුළඟත් සමඟ මහ වැස්සක් ඇද හැලෙයි. 

හුටා රෙදි තාම එළියෙ නේද?...... ඒ සිතුවිල්ලත් සමඟ මම වහා හිඳහුන් පුටුවෙන් නැඟිට මිදුලට පැන්නෙමි.


*********************************

පලි - එතුමියගෙ උපන්දිනේ අද. ඒ හින්ද ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවෙ කොටසක් ඒ වෙනුවෙන් ලියන්න කියල මේ ඉඳගත්තෙ. සුපුරුදු පරිදි වැඩේ ඇදුන ඔට්ට පාලු වගේ..හරි අවුලක් නෑනෙ..දෙවෙනි කොටස දවස් දෙකකින් වගෙ දාන්නම්..හොඳෙයි?

*********************************

අකලට වට මහ වරුසාවක් සේ.....නිරංජලා සරෝජිනී......කවදාවත් අහල එපා වෙන්නෙ නැති කටහඬක්......


Tuesday, December 8, 2015

374. The Story Of My Marriage - 17 - A punjabi girl Who can dance & In addition bring 3 petrol stations.

ලෙහෙන්ගාවකින් සැරසී නර්තනයක යෙදෙන යුවතියක්.

"අනේ අම්මෙ මම හිතල කරපු දෙයක් නෙවෙයි..මට සමාවෙන්න…" මම වහා ඇය වෙත යමින් ආයාචනා කලෙමි. 

"ඒකට කමක් නෑ..ඒකට කමක් නෑ..මාව මරන්නකො..මාව මරන්නකො..අර කොහෙවත් ඉන්න කෙල්ලක් හින්ද ඔයා මාව මරනවනම් මට ඒකට කිසිම ප්‍රශ්නයක් නෑ. මාව මරන්න.මාව මරන්න….." ඇය අවසිහියෙන් මෙන් නොනවත්වා කියවන්නට වූවාය.

"අනේ අම්මෙ මේ...පොඩි ළමයෙක් වගෙ කෑගහන්නෙ නැතුව ඉන්නකො. මම එක පාරක් කිව්වනෙ ඒක මම හිතල කරපු දෙයක් නෙවෙයි කියල."

මම බලහත්කාරයෙන් මෙන් ඇගේ සුරත ගෙන රුධිර වහනය අඩුවනු පිණිස ඇගේ තුවාල වුනු ඇඟිල්ල ඉහළට එසවූයෙමි. ඇඟිල්ල ඔස්සේ පහළට ගලාගිය රුධිරය බිඳු කීපයක්  මේසය මත වූ සිටි බැංකුව විසින් සම්පූර්ණ කරනු පිණිස මවෙත එවූ විස්තර පත්‍රිකාව මත පතිත විය. දෙතොල් තරකොට පියා මුහුණ පහතට හරවාගෙන හුන් මවගේ දෑසින් ගිලිහිණු කඳුළු බිඳුවක් ඒ රුධිර බිඳුව මතට පතිතව ව්ස්තර පත්‍රිකාව මත බොඳවිය.

මේ ඇය කිරිකොට මට පෙවූ රුධිරය නොවේද? එම සිතුවිල්ල මසිතට නැඟෙනු හා සමඟම මා දෙනෙත්ද බොඳවීගියේය.

"සිටි බැංකුවට  ලියල යවනව මම කැමති දිල්ලියට කියල" මම තොල මතුරාගතිමි. 

"මොකක්ද කිව්වෙ?" මව හිස ඔසවා මදෙසබැලුවාය. 

"නෑ..නෑ..මොකවත් නෑ,,කොහෙද අර තුවාල ප්ලාස්ටර් තියෙන්නෙ?" 

"අර අතන සයිඩ් බෝඩ් එකේ මැද ලාච්චුවෙ ඇති." මව හිසින් සන්කරමින් පැවසුවාය. 

"හරි ඔහොම ඉන්න අත උඩට අල්ලගෙන……" 

ඇගේ ඇඟිල්ලේ වූ කැපුම් තුවාලය පිරිසිදු කොට මම ඒ මත ප්ලාස්ටර් කැබැල්ලක් ඇලවීමි. 

"හරි එන්නකො අම්ම ගිහිල්ල සාලෙ සෝපාවෙ ඇලවෙලා ඉන්න. මම බණ්ඩක්කා ටික හදන්නං. අම්ම හැදුවෙ උයන්නද? බදින්නද?"

"මම ලෑස්ති උනේ නම් යන්තමට තෙල් දාල අරගෙන කිරි දාල උයන්න. ඔයාට පුලුවන්ද? "

"ආ,මොකෝ මට බැරි? අම්ම මට වැඩේ බාර දෙන්නකො."

සාලයේ වූ සෝපාව කරා මව කැඳවාගෙන ගොස් එහි ඇය හිඳවූ පසු මම රූපවාහිනිය ක්‍රියාත්මක කොට දිවාකාලයෙහි අතොරක් නොමැතිව ප්‍රචාරයවන අවර ගණයේ රූපවාහිනී නාටක දහයකට අධික සංඛ්‍යාවක් දුරස්ථ පාලකයේ ආධාරයෙන් එකිනෙක වහා මාරුකරමින් සුදුසු නාටකයක් සෙව්වෙමි. රූපවාහිනී තිරයේ දිස්වන නාටකය තම මවට අකීකරුවන පුතකුගේ චරිතය රැගත් නාටකයක් නොවීමට මම උදක්ම වගබලාගත්තෙමි. මගේ භාග්‍යයකට මෙන් තම මවගේ පාමුල හිඳ ඇයට නිති ඇප උපස්ථාන කරනා පුතකුගේ චරිතයක් අඩංගු නාටකයක් ඒ මොහොතේ ප්‍රචාරය වෙමින් තිබිණි.

"අපූරු කතාව නේද අම්මෙ?" මම මව දෙස ඇස් කොණින් බැල්මක් හෙලමින් පිළිවිසියෙමි. 

"ඔහොම පුත්තු කොහෙද ඉන්නෙ? විකාර" මගේ මව වහා පැවසූයේ මදෙස යන්තමට බලා යලි ඉවත බලාගනිමිනි. 

"හ්ම්ම්ම්..හරි හරි එහෙම පුත්තු හිටිය හරි නැතුවා හරි අම්ම ඔහොම ඔතනට වෙලා විවේක ගන්නකො. මම බණ්ඩක්කා ඉවිල්ලෙ වැඩේ කරන්නං"

"කොහෙද මිරිස්, කහ, ගම්මිරිස් එහෙම තියෙන්නෙ?" 

"අර ජනේලෙ ගාව කබඩ් එකේ දෙවෙනි තට්ටුවෙ…" මව සාලයේ සිටම හඬ ගෑවාය. 

සිහින්ව ලියූ බණ්ඩක්කා කැබලි ඇතිලියට දමා එයට වතුර ස්වල්පයක් සහ තුනපහ දමා ගෑස් ලිප මෙලවූ මම මුළුතැන්ගෙයි වූ කරාමය විවෘත කොට අත් සෝදා ගතිමි.

"ඔයා දන්නවද ගෑස් ලිප පත්තු කරන්ට?" රූපවාහිනියෙන් නිකුත්වූ ගැහැණියක මහ හඬින් සිනාසෙන හඬ පරයමින් මෑණියෝ හඬ නැඟූහ. 

"හරි හරි අම්මෙ ඔච්චර හයියෙං කෑගහන්නෙ මොකටද? මගෙ කං හොඳට ඇහෙනව.අනික මම දන්නව ගෑස් ලිප පත්තු කරන්ට..අම්ම හිතාගෙන ඉන්නෙ මම පොඩි දරුවෙක් කියලද?" 

මුළුතැන්ගෙයින් සාලයට පිවිසෙන දොරටුව අසලට ගොස් මම පැවසූයේ මගේ අමනාපය ඇයට හොඳින් හැඟවෙන පරිදිය. 

අවම වශයෙන් මා දෙස හිස හරවා බැලීමට හෝ වෙහෙස නොගත් ඇය පෙර පරිදිම මහ හඬින් මා ඇමතුවාය. 

"මම දන්න පන්ජාබි ගෑණු ළමයි කීපදෙනෙක් ඉන්නව සුදුම සුදුයි. එහෙම නැත්තං මං කියන්ටද? අපි පත්තරේ මංගල යෝජනාවක් දාමු.අර වර්මා ආන්ටි මතකද පුතාට?"

ඇය එසේ ඇසූයේ මගෙන් පිළිතුරක් අපේක්ෂාවෙන් නොවන බව හොඳ හැටි දත් හෙයින් මම කිසිවක් නොපවසා නිශ්ශබ්දව පසුවුණෙමි.

"වර්මා ආන්ටිගෙ පුතා ගියේ මේ කොහෙද කිසි වැදගැම්මක් නැති විශ්ව විද්‍යාලෙකට. ඒත් පත්තරේ එයාල දාපු ඇඩ් එකට උත්තර ආව පණහකට වැඩිය. ඔව්..පණහකට වැඩිය.මම හිතන්නෙ ඔයාගෙ විස්තර දැම්මොත් අපිට උත්තර එයි අඩුම ගණනෙ පන්සීයක්වත්..ඔව්ව්ව්ව්...අඩුම ගණනෙ පන්සීයක්වත්"

ඇය මුව පුරා සිනාසෙමින් හිස ඉහළට පහළට සොළවන්නට වූවාය.

"අම්මෙ මේ මම දැන් කී පාරක් නම් කිව්වද? ඔය ගෑණු ලමයි ගැන කතාකරන එක අල්ලල දාන්ටකො. මොන වදයක්ද මේ?"

මම ආපසු මුළුතැන්ගෙට ගොස් බණ්ඩක්කා මාලුව හැඳිගාන්නට වූයෙමි.

"ඇත්තම කියනවනං ක්‍රිෂ් ඔය ඇඩ් මොකවත් ඕන වෙන එකක් නෑ. මම දන්නව ඔයාට හරියටම හරියන ගෑණු ළමය කවුද කියල…" මගේ විරුද්ධත්වය නෑසුනාක් මෙන් මව යලිත් හඬනඟා කතාකලාය.

"ක්‍රිෂ් මේ...ඔයාට මතකයි නේද පම්මි ආන්ටිගෙ දුව? අර හුරුබුහුටි කෙල්ල?" 

"මට මතක නෑ." මම වහා පැවසීමි."අනික මට ඒ කවුරුවත් ගැන දැනගන්ට කිසිම ඕන කමකුත් නෑ. "

"ඉන්නකො පොඩ්ඩක් ඔහොම…………." අනතුරුව ඇසුනේ ඇය ඉක්මන් ගමනින් කොහේ හෝ දිවයන හඬයි. 

බණ්ඩක්කා මාලුව හැඳිගෑම මොහොතකට නතරකොට මම යළිත් සාලයට පිවිසෙන දොරටුව අසලට ගොස් කරපොවා බැලීමි. ඇය ඒ මොහොතේ ඇගේ නිදන කාමරයෙන් පිටතට පැමිණෙමින් සිටියාය. ඇය ළයට තුරුළුකොටගෙන සිටියේ විශාල ඇල්බමයකි.

රූපවාහිනිය දෙස නිකමට හෝ නොබැලූ ඇය ඇල්බමයද රැගෙන මුළුතැන්ගෙට ඇතුළු වූවාය.

"මොකද ළමයො මෙච්චර මේ ගින්දර? ඔහොම ඉව්වොත් එහෙම බණ්ඩක්කා නෙවෙයි කන්ට වෙන්නෙ..අනික ඇයි අර ෆෑන් එක දැම්මෙ නැත්තෙ? මේක අස්සෙ ඉන්නෙ කොහොමද මේ රස්නෙ? "

ඇය දොර අසලවූ ස්විචය තද කොට මුළුතැන්ගෙට වාතාශ්‍රය සපයන පංකාව ( Exhaust Fan ) ක්‍රියාත්මක කලාය. 

"මෙන්න මෙහාට දෙන්ට ඕක. ඔයයි මායි උයන බණ්ඩක්කා..හිහ්…"මගේ අතෙහිවූ හැන්ද උදුරාගත් ඈ ලිපෙහි ගිනි දැල්ල අඩුකොට බණ්ඩක්කා මාලුව හැඳිගාන්නට වූවාය.

"ඔන්න ඔය ඇල්බම් එක අරගෙන බලන්න ක්‍රිෂ්...අර බරාත් එකේ යද්දි අශ්වයා ගාවම නටන ගෑණු ළමය බලන්නකො. ඔන්න රෝස පාට ලෙහෙන්ගා එකක් එයා ඇඳල ඉන්නෙ. " 

(බරාත් යනු උතුරු ඉන්දියාවේ විවාහපත් වීම උදෙසා මනාලියගේ නිවසට මනාලයා උත්සවශ්‍රීයෙන් කැඳවාගෙන යන පෙරහැරයි. අලංකාර ලෙස සරසන ලද අසෙකු පිට නැඟී යන මනාලයාගේ ඥාති හිත මිත්‍රාදීහු මෙහිදී නොයෙක් නර්තනයන්හි යෙදෙති. ලෙහෙන්ගා යනු බොහෝවිට විවාහ මංගල්‍යයන්හිදී සහ වෙනත් උත්සව අවස්ථාවන්හිදී යුවතියන් හඳිනා එම්බ්‍රොයිඩරි වැඩ දැමූ දිගු සායකින් සහ හැට්ටයක්වන් උඩුකය වැස්මකින් සමන්විත ඇඳුමකි.)

"අම්මෙ…. මට ඔය මොකවත් බලන්න ඕන නෑ මම කිව්වනෙ…"

"ක්‍රිෂ් මේ……….." ඇය බණ්ඩක්කා මාලුව හැඳි ගෑම නවත්වා මදෙසට හැරුනාය.

ඉනික්බිති ඇය කථාකලේ හැන්ද මදෙසට දිගුකොට තර්ජනාත්මකවය. "මේ පුතා..ඉඳහිටලවත් මම කියන එකත් අහනවද? දැන් ඔයා කියපු හින්දම මම ගියේ නැද්ද ජයලලිතගෙ අම්මයි තාත්තයි හම්බ වෙන්ට? "

"කවුරු කිව්ව?"

"හරි හරි ඒක ඕන නෑ ඔය ඇල්බම් එක බලන්නකො හොඳ ළමය වගෙ" 

මවගෙන් කිසිදු අයුරකින් ගැලවීමක් නොමැතිබව හොඳහැටි දත්හෙයින් ඒ අසල වූ පුටුවක අසුන්ගත් මම ඇල්බමය විවෘත කොට පිටුවෙන් පිටුව නරඹන්නට වූයෙමි. මුල් පිටු කීපයෙහිම වූයේ මනාල යුවළගේ ඡායාරූපයන්ය.මම ඔවුන් හඳුනාගතිමි.ඒ මගේ ඥාති සහෝදරයකු වූ දීපු සහ ඔහුගේ බිරිඳ දින්කි ගේ විවාහ මංගල්‍යයයි.කුමන හෝ හේතුවක් කරණ කොටගෙන මට ඒ විවාහ මංගල්‍යයට සහභාගීවීමට නොහැකිවිය.

තවත් පිටු කිහිපයකින් අනතුරුව මගේ මෑණියන් නොඉවසිල්ලෙන් බලාපොරොත්තුවූ අශ්වයා අසල නර්තනයෙහි යෙදෙන යුවතියගේ ඡායාරූපය විය. 

"ඔන්න.. ඔන්න.. ඕක.. ඕක.." ඇය යුහුසුළුව කෑගැසූයේ බණ්ඩක්කා මාලුවෙන් ඉවතට ගත් හැන්ද එහා මෙහා වනමිනි.

"හරි හරි අම්මා..මට පේනව..මට පේනව…" හැන්දෙන් විසිවූ  හොදි බිඳු කිහිපයක් මේසය මත පතිත වද්දී මම නොඉවසිල්ලෙන් පැවසීමි. " දැං ඔය හැන්ද ඔහොම වනන්ට ගිහිල්ල ඔයා හොදි විසිකරනව මේ ඇල්බම් එකට හිටං"

අදාල ඡායාරූපයෙහි වූයේ මනාලයා රැගත් අශ්වයා අසල නර්තනයෙහි යෙදෙනා යුවතියකි. ඇය ඔසවාගත් දෑතෙහි දබරැඟිලි ඉහළට යොමුකොටගත් වනම පයෙහි ඇඟිලි වලින් ඉස්සී යම් නර්තන ඉරියව්වක යෙදෙමින් හුන්නාය.අවුල්ව ලිහුනු කෙස් කළඹ හේතුකොටගෙන ඇගේ මුහුණ ආවරණය වී තිබිණි.

"මොකද කියන්නෙ? හිහ්..කෙල්ල හරිම ලස්සනයි නේද?" මගේ මෑණියන් එසේ විමසූයේ මා දෙස බලා ඉඟි මරමිනි. බණ්ඩක්කා මාලුව හැඳි ගාමින්ම ඇය අනෙක් ගෑස් ලිප දල්වා ඒ මත රොටි තැටිය තැබුවාය.

"ලස්සනද කියල කොහෙ කියන්ටද? ඒ ළමයගෙ මූණ පේන්නෙත් නැති කොට.."

"හරි හරි ඉන්නකො අපි යමු ඒ ළමය බලන්ට…. එතකොට බැරිය හොඳටම බලා ගන්ට..මේ ක්‍රිෂ් බණ්ඩක්කා එක ටිකක් හැඳිගාන්ට. දැන්නම් මයෙ හිතේ ඇතිත් වෙයි. එතකල් මම රොටි හදන්නං"

"අම්මෙ කී පාරක් කියන්ටද? ඇයි අම්ම මම කියන දේ අහන්නෙ නැත්තෙ? මට කවුරුවත්ම බලන්ට යන්ට ඕන නෑ..ඕන නෑ..ඕන නෑ."

"එක පාරක් යමු පුතේ මගෙ හොඳ පුතානෙ.."

"හරි ඔච්චරම මට බල කරන්ට මොකක්ද මේ ළමයගෙ තියෙන විශේෂෙ? "

"එයාලට පෙට්‍රල් ස්ටේෂන් හයක් තියනව. "

"මොකක්?.........." මම සවන් අදහා ගත නොහැකිව විමසූයෙමි."මොනව හයක් තියනව කියලද කිව්වෙ? මොනව හයක්?"

"පෙට්රල් ස්ටේෂන්..පෙට්රල් ස්ටේෂන්..ඇත්තම කිව්වොත් ඒ ළමයගෙ තාත්තට තියෙන්නෙ.ඔය මම කියන ගෑණු ළමයයි එයාගෙ නංගියි විතරයි ඒ පවුලෙ ඉන්නෙ. ඉතිං අනිවාර්යයෙන් ඒ ළමය බඳින මනමාලයට පෙට්රල් ස්ටේෂන් තුනක් හම්බවෙනවා හම්බවෙනවාමයි." 

"අම්මට නම් මොනව වෙලාද මන් දන්නෙ නෑ..පෙට්රල් ස්ටේෂන් තුනක්..හෙහ්…"

කඩමාලුවූ කොටකළිසමක් සහ පරණ ටී ෂර්ටයක් හැඳ පෙට්රල් ස්ටේෂන් එකින් එකට දුවමින් කඩිමුඩියේ වාහන වලට පෙට්රල් ගසන ක්‍රිෂ් මල්හෝත්‍රා මගේ සිතට නැඟුනේ සිනහවක්ද දෙතොලට ගෙනෙමිනි. 

"හිහ්..මම දැනගෙන හිටිය කොච්චර බෑ බෑ කිව්වත් අන්තිමට ඔයා කැමතිවෙනව කියල. " මගේ සිනහව දුටු මව මහත් ප්‍රීතියෙන් පැවසුවාය.

"පිස්සුද අම්මෙ? මම හිනාවුනේ ඒකට නෙවෙයි...මේ ඔය ළමය අඩුගානෙ ඉගෙන ගෙනවත් තියනවද?"


"ඔව්..ඔව්..ඒ දරුවා ඔය මොකක්ද බොහොම වැදගත් මොනවද මන්ද කරනව. මේ කාලෙ ඉගෙන ගන්නව කියන එක ඒ හැටි අමාරු දෙයක් නෙවෙයිනෙ. සල්ලි තමයි යහමිං තියෙන්ට ඕන.උපාධියක් ගත්තෑකි තැපෑලෙං ඉගෙන ගෙන වුනත්.."

"ආ..ඒ කියන්නෙ අම්ම ඔය කියන ළමයා විශ්ව විද්‍යාලයක් පළාතෙවත් ගිහිල්ල නෑ.."

"ඒක තමයි ළමයො මම කිව්වෙ. උපාධියක් ගන්න එක එයාලට මහ ලොකු දෙයක් නෙවෙයි. ඒ ළමයගෙ තාත්තට සල්ලි තියාගන්ට තැනක් නැතුව ඉන්නෙ ඔන්න කොටින්ම කිව්වොත්.."

මගේ මව පැවසූයේ හඬනඟා සිනාසෙමිනි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...