පහුගිය පෝස්ට් එක විදිහට අර ජෝර්දාන් අයියගෙ ලිකර් රෙස්ටුරන්ට් එකේ විස්තරේ ලියන්ට ගත්තට ජේ.ආර්. සහ කැරපොත්තා එතකොට අරක්කු පෝළිමේදී මාමා හමුවීම යනාදී සිද්ධීන් ගැන ලියන්ට වෙච්චි හින්ද කොහොමින් කොහොමින් හරි අන්තිමට වුනේ රෙස්ටුරන්ට් එකේ කතාව තවත් දවසකට කල් ගිය එක.ඒ ගැන මම බොහොම නිහතමානීව සමාව එහෙම ඉල්ලුවත් එක්ක.
හුහ්..මදැයි කොලා...නිකම්ම මොකවත් නොකියම පෝස්ට් එක ඉවර කලාකලානං මීට හොඳයි කියලයි මට හිතුනෙ...ඒ කියන්නෙ මෙන්න මෙවුං කට්ටියම එකතුවෙලා මගෙ ඇඟට ගොඩවුනා නෙව. ඉස්සෙල්ලම පෙරහැරේ කසකාරය වගෙ ආවෙ අර නෙලුං විලේ අම්මණ්ඩි. උන්දැ කියාපි එහෙම පොලයිට් වෙන්ට ඕන කමක් නැතය අපි කොහොමත් මාත්තුරුකාවෙ රෙස්ටුරන්ට් කියල තිබ්බට ඔහේ අද හෙට රෙස්ටුරන්ට් එක ගැන විස්තරේ කියයිය කියල කොහොමවත් බලාපොරොත්තු උනේ නැතය...ඔන්න ඔහොම...
ඊට පස්සෙ ශ්රංග, තිසර,කම්මල සහ කසුන් යන අයවලුන් ඒ කතාවට සම්මාදම් වුනා නොහොත් මල් වට්ටියට අත ගැහුව. මට හීන් නූලෙන් කෝචොක් පාරකුත් දැම්ම. ඒ කිව්වෙ කට්ටියම වැඩේට එකතු වුනා.
දැං ඔය එප්පෙං නාලිකා වලට ලයිෆ් කතා කලාම එහෙං අහනවනෙ කවුද තව එකතු කොර ගන්නෙ සිංදුව අහන්ට? කියල හිට.
"මේ මම කතා කරන්නෙ කොට්ටුකච්චියෙ පන්සල පිටිපස්සෙ බූරු පිටියෙ ඉඳල..මගේ නම ජොන්කොලොස් මීවනපලාන..මම කැමතියි අර සුදු අරලියා මල සිංදුවට…"
"හරි බෝම ඉස්තුතියි අපට කතා කලාට. අපි ඔබ සමඟ සෙමදා රෙඳී ඉන්න ගෙවලයකා එප්පෙම්...හරි අපට කියන්න ජොන්කොලොස් ඔබ ඇයි සුදු අරලියා මල ගීතයට මෙතරම් කැමති? ඒ ගීතයේ කියවෙන යොවුන් පේමයේ අසදුරුස ඕලාරික බවට ඔබ කැමතිද? එහෙමත් නැත්නම් එහි ගැබ්වෙන බීහත්ස රස සපිරි සවුන්දරියට....?"
"නෑ...නෑ..ඔය මොන රෙද්දක් වත් නෙවෙයි…"
"එහෙනං ?"
"ඔය සුදු අරලියා මල ගීතය හත් අට පාරක්ම මගෙ ජීවිතය බේරාගත්තු ගීතයක්.ඇත්තම කියනවානම් මම අද ජීවත් වෙලා ඉන්නෙ ඔය ගීතයටත් ඒ වගේම ඔය ගීතය ගයන අර අජිත් මහත්මයටත් පිං සිද්ද වෙන්ට…"
"ඇත්තෙන්ම අපූරු සුසංසේචනයක්...සමාවෙන්න අපූරු සුසංයෝගයක්..ජොන්කොලොස් මහත්මයාගෙ ජීවිතය බේරාගත් ඒ නම්බර් වන් ගීතය අපි දැන් අහමු. ආ..ඊට කලින් අපට කියන්නකො කොහොමද ඒ ගීතය ඔබේ ජීවිතය බේරාගත්තෙ කියල…"
"දැං ඒක මෙහෙමයිනෙ. මම නිතරම බූරු ගහල පරදිනව. අතේ සතේ නැතිවෙන්ටම පරදිනව. එතකොට මට ජීවිතේ නැතිකරගන්ට හිතෙනව. එතකොට මම කරන්නෙ ඔය සිංදුව අහනව..සුදු අරලියා මල අ..අ...අ..අ... පිපුනේ ඇයි තනි..ව..අ..අ..අ..අ...ලෙම්ගතු ඇසුරකට...අ...අ..අ...අ."
"හරි හරි ජොන්කොලොස් මහත්තය සිංදුව කියන්න නම් ඕන නෑ."
"ඇයි මම සිංදුව කියනව එච්චරටම අජූතයිද? "
" ආ..නෑ..නෑ..එහෙම එකක් නම් නෙවෙයි. කොහොමත් ඔය සිංදුව ඕකෙ ඔරිජිනල් ගායකය, අර අජිත් කියන බුවා කියනවට වැඩිය අජූතෙට මම හිතන්නෙ නෑ වෙන කාටවත්ම කියන්ට පුලුවනිය කියල. මම සිංදුව ඕන නෑ කිව්වෙ වෙලාව ගතවෙන හින්ද.."
"ආ ඒක මිසක්…"
"හරි මම දිවි නහගන්ට හිතුනම කරන්නෙ ඔය සිංදුව අහන එක. ඕක එක පාරක් ඇහුවම කිව්වට විස්වාස කරන්ට මගෙ දිවි නහගැනීමේ කල්පනාව එහෙම්මම පහව යනව."
"ඒ කොහොමද? "
"නෑ මට හිතෙනව අනේ උදේ හවහ බස්සෙකේ යමිං එමිං ගමන මේ වගෙ එලොවටත් නැති මෙලොවටත් නැති විකාර සිංදු අහලත් එව්ව විඳ දරාගෙන දිවිනහ ගන්නෙ නැතුව දෙනෝ දාහක් මිනිස්සු සෝක් එකට ජීවත් වෙන එකේ මම මොකටද මේ බූරු ගහල පැරදුනහම දිවි නහ ගන්නෙ කියල. ඉතිං ඔහොම හිතල මම ඒ දිවි නහගන්න අදහස හිතෙං අත් ඇර ගන්නව. ඒකයි මම කිව්වෙ ඔය අරලිය සිංදුව හත් අට පාරක් මගෙ ජීවිතේ බේරුව කියල."
"හරි බොහොම සන්තෝසයි . ඇත්තටම අඩු ගානෙ මේ ගීතයෙන් ඔහොම ප්රයෝජනයක් වත් තියනවයි කියල දැනගත්තම ගායක අජිත් මහත්මයත් බොහොම සන්තෝස වෙයි නොවැරදීම."
"හරි ජොන්කොලොස් මහත්මයා ඔබ කවුද මේ වෙලාවෙ අරලියා මල ගීතය අහන්ට එකතු කරගන්නෙ? "
"ආ..මම බූරු ගහන බූරු පිටියෙ තෝං කාරයා...මනිමෙල් අයියා මම මේ මොහොතේ එකතු කරගන්නවා.. එතකොට එතන පිටිපස්සෙ හැලි අරක්කු විකුණන මාගරට් අක්කා, එතකොට මාගරට් අක්කගෙ දුව, තව බූරු පිටිය ගාව අඹගහේ රෑට රෑට පොරකන මාවවුල්ලු රංචුව, ඒ අඹ ගහේ බැඳල ඉන්න දුඹුරු පාට වහු පැටියා..අන්න ..ඒ අය ඔක්කොම මම එකතු කරගන්නවා..ආ ..තවත් ..මෙතනම එහා පැත්තෙ රඹුටං ගහේ එල්ලල තියෙන මනිමෙල් අයියගෙ කුකුල් කූඩුවෙ කුකුලො කිකිළියො ටිකයි නිතරම ඒ කුකුල් කූඩුවට කුරුමානං අල්ලන කළවැද්දයිතුත් මම එකතු කරගන්නව."
හරි දැන් ඒ ගෙවලයකා එප්පෙම් ගැන අතුරු කතාව ඉවරයි ප්රදාන නොහොත් ප්රස්තුත කතාවට නැවත සැපත් වෙමු.
කොතනද මම නැවැත්තුවෙ?
"මම හිතාගෙන ඉන්නෙ මල්ලිලා රෙස්ටුරන්ට් එකක් පටන් ගන්ට."
"ඒ කිව්වෙ මේ ෂෝට් ඊට්ස් වගෙ?" මම ඇහුව.
"නෑ නෑ නෑ මල්ලි. එව්ව කරල කාටද හරිගියේ?" ජෝර්දාන් අයිය හිනාවුනා. "මගේ අයිඩියා එක ඇවිල්ල ලිකර් රෙස්ටුරන්ට් එකක් පටන්ගන්ට. අරක්කු, බියර් විස්කි බ්රැන්ඩි ඕනම දෙයක් තියන රෙස්ටුරන්ට් එකක්. "
"නෑහ්?" ඇස් දාසයකුයි කටවල් හතකුයි ඇරුනෙ එක වෙලාවටම.
"ඉතිං අයියෙ මත්පැන් එහෙම ඔය හාල්, පිටි, සීනි විකුණනව වගෙ එලවේසමේ කරන්ට පුලුවං බිස්නස් එකක් නෙවෙයිනෙ. ඒකට පර්මිට් එකක් ගන්ට ඕනනේද?" මම ඇහුව.
"ඔව්..ඔව්..පර්මිට් එකක් නම් ඕන තමයි. මම හිතාගෙන ඉන්නෙ මල්ලි ලිකර් පර්මිට් එකක් ගන්නෙ නැතුව නිකම් නෝමල් රෙස්ටුරන්ට් පර්මිට් එකක් ගන්ට. ඒකට ඒ හැටි ගාණක් යන්නෙ නෑ. අවුරුද්දටම රුපියල් විසිදාහක් වගෙ වෙන්නෙ මම හිතන්නෙ.."
"ඉතිං ඒ රෙස්ටුරන්ට් පර්මිට් එකෙන් කොහොමද අරක්කු විස්කි විකුණන්නෙ? එක්සයිස් එකෙං පැන්නොත් එහෙම හිරෙං මෙහා පැත්තෙ නවතිනව බොරු"
"හෙහ්..හෙහ්..හෙහ්..එව්වට මල්ලි තියනව ක්රම සහ විධි..සල්ලි ටිකක් එහෙ මෙහෙ වීසි කරන්ට පුලුවන් නම් මොනව කරගන්ට බැරිද මල්ලි මේ ලංකාවෙ? මම පොලිසිය, එක්සයිස් එක එව්ව ඔක්කොම එක්ක කතාකරගෙන තියෙන්නෙ. කිසි ප්රශ්නයක් වෙන්නෙ නෑ කියල මට ෂුවර්.රේඩ් එකක් කරනවනම් මට කලින් කියනව. එතකොට තියෙන්නෙ පුලුවං ඉක්මනට බෝතල් ටික හංගන එක."
ඒ කිව්ව වගේම පහුවෙනිද ඉඳලම ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකේ වැඩ කටයුතු පටන්ගත්ත. අයියගෙ ගෙදර සාලෙ හෙණ විසාලයි. ඕකෙ පොළව හෝදල දාල වේලුනහම රතු පොලිෂ් ගෙනල්ල අතුල්ලල මැද්ද. ඒ කාලෙ ටයිල් බයිල් තිබ්බෙ නෑ. ගෙබිමට කරපු උපරිම සත්කාරය රතු හෝ කළු පොලිෂ් ගාල මදින එක. මැදිල්ලත් ටෝටලි මැනුවල්. ඒ කිව්වෙ පොලිෂර් තිබ්බෙ නෑ. පරණ කොහු මිටකට ලී කෑල්ලක් ගහල ඒකෙ ෆ්ලැනල් වගෙ රෙදි කෑල්ලක් පටලවල ඇති වීරියෙන් පොළව මදින්ටයි තියෙන්නෙ.
හප්පේ බලා ඉද්දි ජින්තු බහින වැඩේ ඒක, අපි කොල්ලො කට්ටියම තමයි ඔය හැම එකක්ම කලේ. ඒ වෙද්දි අපේ යාලුවන්ගෙන් මට විතරයි ජොබ් කට්ටක් හම්බ වෙලා තිබ්බෙ. කුමාර අනුරාධපුරේ කච්චේරි වටරවුම ගාවම තිබ්බ මහාමාර්ග දෙපාර්තමේන්තුවෙ ට්රේනිං යනව. තව එකෙක් ඉරිගේෂන් එකේ ට්රේනිං යනව. එව්වගෙ පඩි ගෙවන්නෙ නෑ. ඔන්ලි ට්රේනිං.
මම රස්සාවට යන හින්ද රෑට විතරයි අර ජින්තු බහින වැඩවලට සෙට් වුනේ. දවසක්ද දෙකක්ද මම අභයගිරියෙ ඉඳල සේනකයත් ඇදගෙන ආව වරෙං පොඩි සපෝට් එකක් දීපංය කියල. රිඹ යන්ට වැඩ තිබ්බට පාඩු නෑ. වැඩ ඉවරවෙලා වොෂ් එකක් දාගත්තම ඉතිං ජෝර්දාන් අයිය එනකොට ගෙනාපු රෙඩ් ලේබල් වලින් බෝතලයක් කඩනව. රෑට කඩ දොළහෙ අලුතෙන් දාපු කොත්තු කඩෙන් ගෙන්නල කොත්තුත් කන්ට දෙනව.
කොහොම හරි සතියක් එකහමාරක් වගෙ යනකොට ජෝර්දාන් අයියගෙ සාලෙ කෑල්ලෙ බිත්ති, සීලිං අලුතෙන් පේන්ට් කරල, දොර ජනෙල් පොලිෂ් කරල, බිම මැදල නිකං සක්ර බවන වගේ උනා. ජෝර්දාන් අයිය චාල්ස් ලී බඩු මාළිගයෙන් ඕඩර් කරල රවුම් කනප්පු විස්සක් විතරයි සහ එව්වටම හරියන පුටු පුංචවල් කනප්පුවකට තුනක් වගෙ වැටෙන්ටයි ලොරි බාගෙකිං ගෙනල්ල දොරකොඩටම කරල බෑව.
අපි කට්ටිය ලොරිය ගාව ඉඳල පෝළිමක් හැදිල කනප්පු සහ පුටු පුංචවල් සාලෙට ගත්ත.
"ඔය කනප්පුව මෙතන තියන්න මල්ලි..නෑ නෑ තව සේසයක් වමට...ඔය වම නෙවෙයි මල්ලි අනික් වම...තව පොඩ්ඩක්..ආ..අන්න හරි පර්ෆෙක්ට්…" ජෝර්දාන් අයිය ඩිකී බර්ඩ් මොඩල් එකේ කැප් තොප්පියකුත් දාගෙන අණ දුන්න.
ඩිකී බර්ඩ් කියන්නෙ අවුරුදු විස්සකට විතර එහා පැත්තෙ හිටපු එංගලන්තෙ ක්රිකට් විනිසුරු වරයෙක්. ඩිකී බර්ඩ්ට ආවේණික කැප් එකක් තිබ්බ. ඔය කැප් එක ප්රසිද්ද වුනේ ඩිකී බර්ඩ් කැප් එක කියල. පළවෙනි වර්ල්ඩ් කප් තුනේම (1975, 1979 සහ 1983) අවසාන තරඟ විනිශ්චය කලෙත් මේ ඩිකී බර්ඩ් මහත්මයා.
 |
නයිට්වරුන් දෙදෙනෙකු අතර ඩිකී බර්ඩ් O.B.E, වම්පස සර් ඉයන් බොතම් සහ දකුණුපස සර් රිචඩ් හැඩ්ලී. |
ආ..අපේ හිටපු ජනාදිපති තුමා රණසිහ පෙම්දස් මැතිසඳ ඔය ගම් උදාවල් විවෘත කරකර රට වටේ ගිය කාලෙ ඔය ඩිකී බර්ඩ් මොඩල් කැප් එකක් දාගෙන හිටිය. අර උඩ පැන පැන කතා එහෙම පැවැත්තුවෙ..අන්න ඒ කාලෙ. අප්පේ පෙම්දස්හු ගැන කියන්ට ගියොත් මේ රෙස්ටුරන්ට් එකේ කතාව මේ මහා බද්ර කල්පෙදි නම් කියල ඉවර කරනව බොරු. ඒ හින්ද එතුමා ගැන ඕන නෑ.
ආ..මේ ... ඩිකී බර්ඩ් ගැන අපූරු කතාවක් මතක්වුනා. ඒක නම් කියලම ඉන්ට වෙනවා.......
1975 ලෝක ශූරතා අවසාන තරඟය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ළකුණු 17 කින් ඕස්ට්රේලියාව පරදවා ජයග්රහණය කලාම ප්රීතියෙන් ඔද වැඩුනු බටහිර ඉන්දීය ප්රෙක්ෂකයින් දහස් ගණනක් පිටියට කඩා වැදුන.ඔවුන් සිහිවටන හැටියට හිටවා තිබ්බ විකට් විතරක් නෙවෙයි ක්රීඩකයින්ගෙ අම්පයර්ලගෙ ගලවගන්ට පුලුවන් හැම ඇඳුමක්ම ගලව ගත්තලු.
 |
| 1975 ලෝක ශුරතා අවසාන තරඟය නිමවූ පසු පිටියට කඩා වැදුනු ප්රේක්ෂකයින් |
ඕස්ට්රේලියාවෙ අන්තිම පිතිකරුවො දෙන්න ඩෙනිස් ලිලී සහ ජෙෆ් තොම්සන්. පිට්ටනියට කඩා වැදුනු සෙනඟ ජෙෆ් තොම්සන්ගෙ ජොකා විතරක් ඉතුරුවෙන්ට අනික් ඔක්කොම ගලව ගත්තය, තොම්මා ජොකා උනත් බේරගත්තෙ පණ එපා කියල පැවිලියන් එකට හුරේ රන් එකක් දීලය කියල තොම්සන්ම කියල තිබ්බ පස්සෙ කාලෙක. හෙහ්,හෙහ්,
"I thought ....OMG if they managed to take away my underwear they surely wouldn't stop there. They would go for..Ohhh no... So I ran to the pavilion as I had never run before and just got there and locked our dressing room door with about twenty people grabbing at my crown jewels...Ohhhh..it was the most terrifying experience of my life."
ජෙෆ් තොම්සන් කිව්වෙ මෙහෙමයි. "මට හිතුන දෙයියන්ටම පෙනීයං මේ යක්කු මගෙ ජොකා ගලව ගත්තොත් ෂුවර් එකටම එතනිං නතර වෙන එකක් නෑ. මෙවුං ඊට පස්සෙ හදයි ගලව ගන්ට මගෙ.....එහෙම හිතල මම පණ කඩාගෙන දුවල ගිහිල්ල අපේ ඩ්රෙසිං රූම් එකට පැනල දොර වහල අගුල දැම්ම. ඒ වෙනකොටත් විසි දෙනෙක් විතර මගෙ ලඟම පන්නගෙන එනව. මගෙ ජීවිතේටම ලබාපු භයානකම අත්දැකීම තමයි ඒ..."
ඉතිං ඔය කලබල අස්සෙ ඩිකී බර්ඩ්ගෙ කැප් එකත් කවුද පෝරිසාදයෙක් උස්සල. ඩිකී ෆුල් ට්රයි එකක් දීල තියනව කැප් එක බේරගන්ට ඒත් අන්තිමට කැප් එක දෙන්ට වෙලා තියනව. ඔයිට අවුරුදු පහකට වගෙ පස්සෙ ඩිකී ලොක්ක ලන්ඩන්වල ඔන්න බස් එහෙක යනවලු. ඒකෙ කොන්දොස්තර වෙස්ට් ඉන්ඩීස් කාරයෙක්. ලන්ඩන්වල බහුතරයක් බස් කොන්දොස්තරල සහ ටැක්සි ඩ්රයිවර්ල වෙස්ට් ඉන්ඩීස් කස්ටිය කියල තමයි කියන්නෙ. මම නං උපන් හදවියකට එංගලන්තෙ පස් පාගල නැති හින්ද ඒ ගැන කියන්ට දන්නේ නැත. ලන්ඩන් වල ජීවත්වෙන අපේ අරූ සහ අජිත කේසකම්බල වගෙ කාගෙන් හරි තමයි හගිස්සුවන්ට වෙන්නෙ.
ඉතිං අර ඩිකී ගිය බස් එකේ කොන්දා, ඒ කිව්වෙ අර වෙස්ට් ඉන්ඩීස් පොර ඔලුවෙ දාගෙන ඉඳල තියනව අර අවුරුදු ගානකට ඉස්සෙල්ල වර්ල්ඩ් කප් ෆයිනල් එක වෙලාවෙ නැතිවෙච්චි ඩිකියගෙ කැප් එක වගේම එකක්. ඔය මොඩල් එකේ කැප් වැඩිය නෑ. ඒ හින්ද ඩිකියට බුදු ෂුවර්ලු මේක උගේම කැප් එක කියල. පස්සෙ කෝකටත් කියල ඩිකිය හෙමීට අර වෙස්ට් ඉන්ඩීස් බුවාගෙං ඔය ගැන අහල.
"Buddy that's a very nice cap you are wearing.. May I know from where did you buy that? I also want to buy one for me."
The Conductor laughed out loud and said "Yo, Man…you won't never believe how I got this ..eh? Wouldn't ya now?"
Seeing Dickie's totally confused look the conductor sat down next to him and whispered conspiratorially."Ah tell yah Man. you a cricket fan? "
"Well sort of…." replied Dicky.
"Okay...this story goes back to 1975. That year our West indies team won the very first world up here at Lord's. And after the victory we all ran on to the ground to hug our men and celebrate of course to get some souvenirs"
"Souvenirs? what sort of souvenirs?" Dickie asked innocently.
"Anything Man, anything we could lay our hands on, stumps, players caps, hats, even their clothing if we could grab them Heh,heh You know man we were sort of crazy with happiness…"
"So?....." Dickie asked again.
"So I tried to grab the cap of this umpire dude. But he won't let me. He fought with me like a tiger. And finally I had to grab his balls and squeeze. only then he let go of his cap…and this is that cap...heh,heh, I feel sorry for him. It must have been very painful. Hey by the way do you ever had your balls squeezed in your life?"
"Yes" said Dickie holding the conductor's gaze waveringly. "Only once. on the very same day at the very same place you grabbed that cap. it was my balls you squeezed and my cap you grabbed. in other words that's my cap you are wearing now"
The conductor had got up with his eyes widened and mouth hanging open and had backed off mumbling repeatedly "Oh no..oh..no..oh..no Man…" And then he had just turned around and fled to the back of the bus.......
" යාලුවා, ඔයා ඔය දාගෙන ඉන්න කැප් එක නම් මාර ගති. මටත් ඕකක් ගන්ට හිතෙනව. හැබෑටම කොහෙන්ද ඕක ගත්තෙ?"
කොන්දොස්තර හයියෙන් හිනා වුනාලු මේක අහල.. " ඔහේට මම ඇත්තම කියන්නම්කො. ඒත් මට සීයට සීයක් ෂුවර් මම ඔහේට මට මේ කැප් එක හම්බවුනු විදිහ ගැන කිව්වට ඔහේ ජීවිතේට ඒ කතාව විස්වාස කරන එකක් නම් නෑ"
ඩිකීගෙ මූණෙ ඉරියව් වලින් මේ මොකවත්ම අඳෝ සංසාරයක් ඩිකීට නොතේරෙන බව කොන්දට පැහැදිලි වුනා. පොර කරපු වැඩේ ඩිකී ගාවම සීට් එකේ ඉඳගෙන සද්දෙ බොහොම අඩුකරල කතා කලා.
"හරි මම ඔහේට සම්පූර්ණ විස්තරේ කියන්නං..ඔහේ ක්රිකට් ගැන උනන්දුයිද?"
" තරමක් දුරට…." ඩිකී කිව්වා.
"හරි පළවෙනි ක්රිකට් වර්ල්ඩ් කප් එක 1975 අවුරුද්දෙදි තිබ්බෙ මෙහෙ. ෆයිනල් එක තිබ්බෙ ලෝඩ්ස් වල. ඒකෙදි අපේ වෙස්ට් ඉන්ඩීස් ටීම් එක කප් එක දිනුව. අපි ලෝක ශූරයෝ වුනා.මැච් එක ඉවර වුනා විතරයි අපිට සන්තෝසෙ ඉවසගන්ට බැරුව පිට්ටනියට දුවගෙන ගියා. අපිට ඕන වුනේ අපේ කොල්ලො බදාගෙන ජයග්රහණය සමරන්ට. ඒ වගේම සිහිවටන මොනවහරි එකතු කරගන්ට"
"සිහිවටන? ඒ කිව්වෙ මොන වගේ සිහිවටනද?" ඩිකීත් නොදන්නව වගේ ඇහුවා.
"සිහිවටන කියන්නෙ ලොක්කා අතට අහුවෙන ඕනම දෙයක්. පිට්ටනිය මැද හිටවල තියනව විකට් කූරු. එතකොට සෙල්ලං කරන අයගෙ කැප්, තොප්පි කොටින්ම අතට අහුවෙන ඕන දෙයක්..අපි සන්තෝසෙන් වියරු වැටිල හිටියෙ ලොක්කා. වියරු වැටිල හිටියෙ."
"ඉතිං?" ඩිකී ඇහුවා.
"ඉතිං මම ට්රයි එකක් දුන්න එතන පිට්ටනිය මැද හිටපු අම්පයර් බුවෙක්ගෙ කැප් එක උස්සන්ට. කොහෙද මේ යකා මා එක්ක ගහගන්ට ආවනෙ ඒක බේරගන්ට. ඒ මනුස්සය කැප් එක බේරගන්ට දඟලපු දැඟලිල්ලට ඕන කෙනෙක්ට හිතෙනව ඒක නිකං නෝමල් රෙදි කැප් එකක් වගෙ පෙනුනට හදල තියෙන්නෙ රත්තරං වලින්ය කියල.අන්තිමට මට සිද්ද වුනා මිනිහගෙ කකුල් දෙක මැදිං අත දාල මිරිකන්ට. ඔන්න එතකොටයි මිනිහ යන්තං කැප් එක අතෑරියෙ. ඒ කැප් එක තමයි ලොක්කා මේ. ඇත්තටම මට ඒ අම්පයර් බුවා ගැන දුකයි. එතන මිරිකුවහම නොසෑහෙන්ට රිදෙනව ඇති. මේ ලොක්කා..ඔහේගෙ කවුරුවත් එතන මිරිකල එහෙම නැද්ද?"
ඩිකී ඊට පස්සෙ කතා කලේ කෙලින්ම කොන්දොස්තරයගෙ ඇස් දෙක දිහාවෙ බලාගෙන. "එකම පාරක්..ඔව් එකම පාරක් මටත් එහෙම වෙලා තියනව. ඒ හරියටම තමුසෙ ඔය කැප් එක පැහැරගත්තු දවසෙමයි එතනදිමයි මට එහෙම වුනේ.ඔව්...තමුසෙ එදා මිරිකුවෙ මගෙ එතන. තමුසෙ පහැර ගත්තෙ මගෙ කැප් එක. කොටින්ම තමුසෙ ඔය අද මේ වෙලාවෙ දාගෙන ඉන්නෙ මගෙ කැප් එක."
කොන්දොස්තරගෙ ඇස් ලොකු වුනා දොඹගෙඩි වගේ. යටි තල්ල ගිහිල්ල වැදුන පපුවෙ..............."සර්..සර්. සර්…..මම..මම..මම." එහෙම ගොත ගහමින් ඉඳගෙන හිටපු තැනින් නැඟිට්ට කොන්දොස්තර පස්ස නොබලා බස් එකේ පිටිපස්ස පැත්තට දුවලා ගියා.
හරි ඩිකී බර්ඩ් කතා ඇති. ආයෙම එමුකො ජෝර්දාන් අයියගෙ රෙස්ටුරන්ට් එකට. ඔන්න සාලෙ පිළිවෙලක් එහෙම වෙලා මල් රෙදි වලින් වැහිච්චි කනප්පු තැන් තැන්වල පිළිවෙලට තැන්පත් වෙලා ඒ වටේ පුටු තියලා..හප්පා ජෝර්දාන් අයියගෙ සාලෙ බලන්ට ලස්සනයි.
ඔන්න උත්සවාකාර විවුර්තෙ හෙටයි කියල ඊට කලින්දා හවස වැඩ ඉවරවෙලා අපි කට්ටිය සුපුරුදු මධු සාදයෙ නිරත වෙලා හිටිය. "මල්ලිලා දැං අපේ විවුර්තෙට කිසිම අඩුපාඩුවක් නෑ නේද?" ජෝර්දාන් අයිය එහෙම ඇහැව්ව අපි කාගෙනුත් පොදුවෙ.
"ඔව්. ඔව්..අයියෙ ආය මෙහෙමය කියන්ට අඩුපාඩුවක් නෑ. වැඩේ සර්වප්රකාරයෙන්ම සාර්තක වෙනවා වෙනවාමයි" අපේ එකෙක් කිව්ව.
"නෑ මල්ලි මල්ලිලාට නොතේරුණාට මෙතන ලොකු අඩු පාඩුවක් තියනව. විශේෂයෙන්ම මේ වගෙ ලිකර් රෙස්ටුරන්ට් එහෙකට. මල්ලිලා ට තවම රටේ ලෝකෙ අත්දැකීම් මදි ඒ හින්දයි ඒ අඩුපාඩුව නොපෙනෙන්නෙ" ජෝර්දාන් අයිය ඒ ටික කිව්වෙ බොහොම බැරෑරුම් ස්වරයකින්.
"ම්ම්ම්ම්..මොකක්ද බං?" අපි එකිනෙකාගෙ මූණු දිහා බැලුව.
"හරි හරි ඒ ගැන හිතන්ට වෙහෙස වෙන්ට ඕන නෑ. කොච්චර හිතුවත් මල්ලිලාට ඒ කාරණේ කල්පනා වෙන්නෙත් නෑ. මම ඕන ඔට්ටුවක් අල්ලනව" ජෝර්දාන් අයිය හිනාවෙවී කිව්ව.
"හරි ඒ ගැන ඔයාල කලබල වෙන්ට උවමනාවක් නෑ. මම ඒ අඩුපාඩුව මඟහරවන්ටත් වැඩ පිළිවෙලක් යොදලයි තියෙන්නෙ. හෙට ඒ වැඩෙත් වෙයි. එහෙනම් මල්ලිල ඔක්කොම මේ ටිකේ මට ලොකු සහයෝගයක් දුන්නෙ.බොහොමත්ම ස්තූතියි හැමෝටම. මම කවදාවත් ඒ බව අමතක කරන්නෙ නෑ. හෙට එහෙනං හැමෝම නොවරදවාම එන්න ඕන. ඔය ඔක්කෝටම හෙට බොන්න පුලුවන් තරමක් මගේ ගානෙ."
අපි කට්ටිය ඉතින් ආය මොනවද පිළී හිස සිසාරවා තලප්පා අහසට වීසි කොට අහල ගම් හතම එකනින්නාද වන පරිදි ප්රීති ගෝසා කොට ජෝර්දාන් අයියගෙ ඒ නිවේදනයට අපේ සාතිශය සන්තෝෂය ප්රකාශ කලා.
පහුවදා මම ටිකක් කලින්ම වැඩ ඇරිල ආව. හතරට වගෙ. විවුර්තෙ තිබ්බෙ රෑ අටට. තව ඕන හැටිය කල් වේලා තියෙන හින්ද මම බයිසිකලේම පෑගුව කුමාරලගෙ ගෙදරට.
"අම්මට උඩු...උඹ අද කලිම්ම?"
කුමාරය මම යනකොට උංගෙ බල්ල නාවනව. ඔය බල්ල උංගෙ අම්ම ගෙනල්ල තියෙන්නෙ පොළේ ඉඳල. කොහෙද යන වල් බල්ලෙක්. ඒත් අම්ම ඌට මාර ආදරෙයි. කුමාරයට තමයි ඌ නඩත්තු කරන වැඩේ පැවරිල තිබුනෙ. කුමාරය මහා මාර්ග දෙපාර්තමේන්තුවෙ ට්රේනිං ගියාට තාම පඩියක් නඩියක් නෑ. අම්ම දෙන සල්ලි වලිං තමයි ඔය දහ මහ දෝසම පිරිමහගත්තෙ. ඒ හින්ද ඌට බලු මේච්චලෙං මඟ අරින්ටම බෑ...හෙහ්,හෙහ්, ඕක ඔය වැඩේට විඩෙං විඩේ අපිවත් අල්ලගන්ට හැදුව. හෙහ්..අපි අහුවෙයි එව්වට.
"ඉඳපං වීරෙ මම් මේ මේ බලු නෑවිල්ල පට් ගාල ඉවරයක් කරල අත් දෙක හෝදගෙන එන්නං.."
"අත්දෙක? අත්දෙක නෙවෙයි උඹ නාල වරෙං එහෙම නැත්තං උඹ මගෙ බයිසිකලේට නඟිනව බොරු. සික් මෙහාටත් එනව බලු ගඳ.." මම නහය අකුලල කට උල්කලා,
"හරි හරි. "..කුමාරය මා දිහා රවල බලල ආයම බල්ලගෙ සබං ගාන්ට ගත්ත.
ඔන්න ඌ නාගෙන ආව. "කෝ ඉඳහං මම පදින්නං. උඹට අබේගිරියෙ ඉඳල පැදල අමාරුත් ඇතිනෙ."
"හා. එහෙනං පැදහං" මම පොල්ලෙ ඉඳගත්ත.
ඔන්න දැං අපි දෙන්න යනව ජෝර්දාන් අයියලගෙ ගෙවල් දිහාවෙ…"අද නියමෙට තියෙයි විවුර්තෙ නැද්ද බං? දන්නවනෙ ජෝර්දානයගෙ වැඩ..සුද්ද වගේ තමයි." කුමාරය බයිසිකලේ පදින ගමං වක්කඩ කැඩුවවගෙ කියවනව. මම හූම්ම් කියකිය අහගෙන ඉන්නව. ඔන්න ජොර්දාන් අයියගෙ ගේ පේන මානෙටත් ආව. "මොකද්ද බං උඹ බස්ස වගෙ..." .කුමාරයගෙ කටහඬ ක්රමක් ක්රමයෙං අඩුවෙලා නැත්තටම නැතිවෙලා ගියේ හරියටම පරණ අර බැටරි දාන ට්රාන්ස්සිස්ටර් රේඩියෝ එකක බැටරි බැහැගෙන බැහැගෙන යනකොට වොලියුම් අඩුවෙලා අවසාන වසයෙන් නැත්තටම නැතිවෙලා යන ආකාරයට.
ඒ එක්කම සයිකලේ පාර අයිනෙ බොහොම සාන්ත දාන්තව වැතිරිල වමාරා කමින් හිටපු දුඹුරු පාර එළදෙනෙක්ගෙ බෙල්ල උඩිං යන්ට වගෙ ඒ පැත්තට ගියා එක පාරටම. කලබල වෙච්චි එළදෙන එක විඩේට නැඟිට්ට පාරට තව පොඩ්ඩෙං මම ඒකිගෙ කර උඩ.
"මොකද **** වෙලා තියෙන්නෙ? බලපං තව පොඩ්ඩෙං අර එළදෙංගෙ අඟක් නවතින්නෙ මගෙ බඩ ඇතුලෙ. තොට මොකවත් පිස්සුවක්වත් වැහුනද මේ එකපාරටම.?"
ඒත් කුමාරයගෙන් වචනයක් වත් නෑ.
"මොකද බං?" මම බැරිම තැන ඔලුව හරවල උගෙ මූන බැලුව. බයිසිකලේ නැවතිල තිබ්බෙ හරියටම ජෝර්දාන් අයියලගෙ ගෙදර තාප්පෙටම හේත්තුවෙලා වගෙ.
"අර..බලපං අර..." කුමාරය අත දික්කරල මට ජෝර්දාන් අයියලගෙ වත්තෙ මැද්දෑවෙ වගෙ තිබ්බ රූස්ස අඹ ගහ දිහාව පෙන්නුව. මමත් ඒ දිහාවෙ හැරිල බැලුව මොකටද මේ යකා මේ මෙච්චර අන්දොස් වෙලා තියෙන්නෙ කියල. මගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල කටත් ඇරුනෙ ඉබේම..." කවුද බං ඒ?" මම කිව්ව නෙවෙයි මට කියවුනා.
කුමාරය උත්තරයක් දුන්නෙ නෑ…"හ්ම්මම්හ්ක්" ...කටට බඹරෙක් ගිහිල්ල උගුරෙ හිරවෙලා දඟලනව වගෙ අව්යාක්ත රාවයක් උගෙං පිටවුනා. එච්චරයි..
"සි…ල්වි...යා ක්රි….ස්ට….ල් නේද බොලේ?" මගේ ප්රශ්නෙට මමම උත්තරත් දුන්න.