"තව තත්පර තිහක් ඇතුලත තමුසෙ ඔය කියන්ට තෙපරබාන මල ඉලව්ව කිව්වෙ නැත්තං දෙයියම්පල්ල මම තමුසෙගෙ හොම්බට දෙකක් අනිනව.." මම යටිතොල සපාගත්වනම එසේ සිතුවෙමි. මගේ සිතතුල මා දැනටමත් බාලාගේ ඉදිරි දත් හතරක් කැඩෙන්නට පහර දී ඔහුගේ කෙස් දෙමිටක් මගේ දෑතින්ගෙන ගලවා ඊට අමතරව මගේ දකුණු පයින් උගුරු දණ්ඩද පාගා අවසානය.
"මේ බැංකු ජීවිතේදි අපි එකිනෙකා ගැන අපි බලාගන්ට ඕන ක්‍රිෂ්. මොකෝ මෙහෙදි අපි එකිනෙකා ආරක්ෂා කරන්ට දෙමව්පියො නැත්නම් භාර්යාවො එන්නෙ නෑනෙ. ඒ හින්ද අපිට අපේම පිහිට තමයි"
මම විඩාපත් මුහුණින් යුතුව වදනකුදු නොදොඩා බාලා දෙස බලාගත්වනම පසුවූයෙමි.
"ක්‍රිෂ් දන්නවනෙ මම ඔයාගෙ බොස්..ඒ හින්ද මට ඕනම වෙලාවක් පුලුවන් ක්‍රිෂ්ට කිසිම කරදරයක් නොවෙන්ට ඔයාව රැකබලාගන්ට. එහෙම පුලුවන් විතරක් නෙවෙයි අනාගතයෙ හැමදාමත් මම එහෙම කරනව. මේ වෙලාවෙ ඇත්තමයි මම ක්‍රිෂ්ට එහෙම පොරොන්දු වෙනව"
බාලා එසේ පැවසූයේ මිට මොළවාගත් දකුනතින් ඔහුගේම ළය ප්‍රදේශයට ගසා ගනිමිනි. මගේ දෑස් විසල් වූයේ විශ්මයටත් වඩා භීතියෙනි. මට එක්වරම සිහියට නැඟුනේ මේ මෑතකදී අසල්වැසි රාජ්‍යයක දේශපාලන පක්ෂ නායකයකු එරට නායකයා තෝරාගැනීමේ ඡන්ද ව්‍යාපාරයේදී මෙසේ පපුවට ගසා ගනිමින් කථා පැවැත්වූ ආකාරයයි. N.D.T.V. ආයතනය මඟින් නිතර දෙවේලේ පෙන්වූ එම දර්ශනය පාසලේ සිව්වන වසරේදී පමණ ගුරුවරියද සමඟ නව දිල්ලියේ ජාතික සත්වෝද්‍යානයට ගිය චාරිකාවකදී එහි කූඩු කොට සිටි දැවැන්ත ගෝරිල්ලකු මහත් හඬ නඟමින් තම පපුවට ගසා ගත් අයුරු මට සිහිපත් කළේය.
"යකෝ සාක්කි මේ මනුස්සය මෙහෙම පපුවට ගහගෙන මෙතන මලොත් එහෙම මට අද රෑ නිදියන්ට වෙන්නෙ පොලිස් කූඩුවේ තමයි" එසේ සිතමින් මම අසුනින් නැඟිටින්නට තැත් කලේ බාලාගේ පපුවට පහරදී ගැනීමේ ව්‍යාපෘතිය වහා අත්හිටුවීමේ අදහසිනි. එහෙත් ඒ සමඟම ඔහු ස්වේච්ඡාවෙන්ම එම ව්‍යාපෘතිය අත්හිටුවා හති දමන්නට පටන් ගත්තේය. මම නැඟිට ගොස් ඔහු ඉදිරිපිටවූ වතුර කෝප්පය ඔහු වෙතට ළංකලෙමි.
"වතුර ටිකක් බීල ඉන්න මිස්ටර් බාලා.."
මඳ වේලාවක් දෑස් වසාගෙන හුන් බාලා වතුර උගුරු කීපයක් පානය කොට මදෙස බලා සිනාසුණේය.
"ක්‍රිෂ් ඔයා දන්නවනෙ හෙට උදේ අපේ පරිභෝගික සේවා අංශෙ මුළු ඉන්දියාවෙම ලොක්ක ඒ කිව්වෙ කස්ටමර් සර්විසස් චීෆ් මැනේජර් එනව මුම්බායි වල ඉඳල. ඒ එක්ක තවත් ලොක්කො හතර පස් දෙනෙක්වත් එයි අනිවාර්යයෙන්ම. ඒ ගොල්ල අහයි ඇයි මොකවත් නොදන්න අපේ කස්ටමර්ලට මේ ඉන්ටනෙට් ස්ටොක්ස් වික්කෙ? කියල. අනිවාර්යයෙන් ඒකෙ වැරැද්ද එන්නෙ මගේ කරපිට. ඒකෙ ආය දෙකක් එහෙම නෑ"
"එහෙම වෙන්ට එපාය. ඒකෙ ඉතිං අහන්ටත් දෙයක් ඇත?...තමුසෙනෙ එව්ව විකුණපියව් විකුණපියව් කියල පස්ස විකාගෙන දැඟලුවෙ...නැතුව එහෙනං මමයැ" බාලා දෙස බලාගත්වනම මම එසේ සිතුවෙමි.
"ඉතිං මම මේ කියන්ට ආවෙ වැරැද්ද මගේ තමයි. ඒත් ක්‍රිෂ් ඔයාට පුලුවන්නම්..." බාලා කථාව නතරකොට වතුර උගුරු කීපයක් යලි පානය කළේය.
බාලා එන පොට මට මේ වනවිට හොඳින් පැහැදිලිවී තිබිණි. එහෙත් ඔහුගේ මුවින්ම එය අසාගනු රිසියෙන් මම ඔහු දිරිමත් කළෙමි.
"ඔව් මිස්ටර් බාලක්‍රිෂ්ණන් මට පුළුවන්නම්...කියන්න මට මොකක් පුළුවන්නම්ද?"
දෙනෙත් පහතට හරවාගත්වනම තමා ඉදිරියේ ඇති වතුර කෝප්පය දෙස බලා සිටියා විනා වදනකුදු තෙපලේ බාලා නොවේ.
"හරි මමම කියන්නම්කො මිස්ටර් බාලා කියන්නෙ නැත්නම්. ඔයාට ඕන මේ වෙච්චි අලකලංචියෙ වගකීම මා පිට පවර ගන්නෙයි කියල කියන්ට. එහෙම නේද?"
හිස ඔසවා මදෙස බැලූ බාලා යම්තමට හිස සොළවා ඒ එසේයැයි හැඟවීය.
"මිස්ටර් බාලක්‍රිෂ්ණන්....මේක අහන්න.....මම මෙතන මේ ඊයෙ පෙරෙයිද වැඩට ආපු බොහොම කණිෂ්ඨ සේවකයෙක්. කොටින්ම මම තවම සිටි බැංකුවෙ වැඩ කරන්නෙ ට්‍රේනී කෙනෙක් හැටියට. අපේ දීර්ඝ කාලීන ගනුදෙනු කාරයින්ට මෙච්චර විසාල මුදලක් යටකරල ස්ටොක්ස් විකුණන්න වගෙ තීරණයක් මට තනියම ගන්න පුලුවන්ද? අනික ඔය බොම්බායෙ ඉඳල එන මොන මැනේජර්ද කවුද...ඒ මිනිස්සු එහෙම දෙයක් විස්වාස කරයිද? මොකද එයාල මෝඩයො නෙවෙයිනෙ..."
"නෑ අපිට මෙහෙම කිව්වැහැකි. ක්‍රිෂ් ඔයා I.I.M.A. පාස් අවුට් M.B.A. මාස්ටර්ස් ග්‍රැජුවට් කෙනෙක්. ඒ හින්ද ට්‍රේනී කෙනෙක් උනාට ඔයාට තමන් කැමති විදිහක් කරන්න අපි බලය දුන්නයි කියල වගෙ දෙයක්...එහෙම පුලුවන්නෙ නේද ක්‍රිෂ්..ප්ලීස්?"
බාලා මදෙස ආයාචනාත්මක බැල්මක් හෙලමින් විමසීය. බාලාගේ එම අදහස තර්කානුකූලය. ගණුදෙනුකරුවන්ට කොටස් විකිණීමේදී පලායන ඔහුගේ බුද්ධිය තම තනතුරට අනර්ථයක් වන්නට යන අවස්ථාවකදී අළු ගසාදා පියා නැඟිට සිටින අන්දම ඇත්තෙන්ම විශ්මයජනකය.
"හරි ඒක හරි කියමුකො. ඒත් මහත්මයා මම එහෙම වැරැද්ද පිළිඅරගෙන සියලු මහ දෝසෙම මගෙ කරපිට දාගත්ත කියන්නෙ සිටි බැංකුවෙ මගෙ අනාගතය එහෙම පිටින්ම ඉවරයි. මම සදාකල් මෙතනම තමයි. සමහරවිට ට්‍රේනී කෙනෙක් හින්ද රස්සාව ගහල යන්ටත් ඉඩ තියනව"
"නෑ ක්‍රිෂ් එහෙම වෙන්නෙ නෑ. කොහොමවත් ඔයාගෙ රස්සාව නැතිවෙන්නෙනම් නෑ. ඔයා ට්‍රේනී කෙනෙක් හින්දමයි ඔයාගෙ රස්සාව නැති නොවෙන්නෙ. පළපුරුදු නිලධාරියෙක් අතින් වෙනවට වඩා මේ වගෙ වැරැද්දක් ට්‍රේනී කෙනෙක් අතින් උනහම ඒ හැටි සීරියස් නෑ"
බාලාගේ එම තර්කයේද යම් සාධාරණත්වයක් ඇත. එහෙත් එක්විටම ඔහුගේ අදහසට එකඟවීමට ද මට නුපුළුවන.
"මිස්ටර් බාලා කියනව මම අහගෙන ඉන්නව. ඔය කියන විදිහටම ඔව්ව වෙයි කියල ඔයාට සහතිකද?"
"ඔව්. මට සහතිකයි. අනික ක්‍රිෂ් තවම ඉන්නෙ ට්‍රේනී කෙනෙක් විදිහටනෙ. ඔයාගෙ ප්‍රමෝෂන් එක ලැබෙන්නෙ ඔයාගෙ අංශ ප්‍රධානිය හැටියට මම රෙකමන්ඩ් කලොත් විතරයි. ඔයා හිතා ගන්නකො දැනටම මම හොඳ රෙකමෙන්ඩේෂන් එකක් දීලයි කියල තියෙන්නෙ. හැබැයි අනික් අතට මේකෙ වැරැද්ද මට බාරගන්ට උනොත් මගෙ රස්සාව පවා නැතිවෙන්ට පුලුවන්. එහෙම උනොත් ඔයාව රෙකමන්ඩ් කරන්න මම මෙතන ඉන්න එකක් නෑ"
"ඉතිං මිස්ටර් බාලක්‍රිෂ්ණන් මේක අහන්නකො...... වැරැද්ද ඔයාගෙ අතේනෙ...... ඒ හින්ද ඔයා වැරැද්ද බාරගන්ටම එපැයි.........."
"ක්‍රිෂ්, කරුණාකරල මේ වෙලාවෙ මට උදව් කරන්න.."
බාලාගේ දෑසෙහි වූයේ අසරණ යාචකයෙකුගේ දෑසෙහි දක්නට ලැබෙනා අන්දමේ බැල්මකි.
මේ වනතෙක් බාලා සහ මා අතරවූයේ ප්‍රධානියා සහ යටහත් සේවකයකු අතර පවතිනා සම්බන්ධයකි. සත්‍යය වශයෙන්ම බාලා වනාහී මගේ ප්‍රධානියා වූ බැවින් අප අතර සම්බන්ධය එසේ වීමෙහිලා කිසිදු අරුමයක් හෝ අස්වාභාවිකත්වයක් නැති. එහෙත් මේ වනවිට එක සම්බන්ධතාවය කණපිට පෙරලී ඇති බවක් මට වැටහෙන්නට විය. ඔහුගේ රැකියාව ආරක්ෂාකොට ගැන්ම උදෙසා ඔහුට උදව් කරන ලෙස මගේ ප්‍රධානියා මා ඉදිරියේ ආයාචනා කොට සිටින්නේය. ඔහුගේ ඉල්ලීමට එකඟවුවහොත් හෙට දිනයෙන් අනතුරුව මට බාලා අල්ලේ නැටවිය හැකිවනු ඇත. ඔහුගේ රැකියාව ආරක්ෂාකොට දුන්නේ මා බැවින් මගේ කිසිදු ඉල්ලීමක් ඔහුට කිසිසේත්ම ප්‍රතික්ෂේප කල නොහැකිවනු ඇත.
ඔහුගේ රැකියාව ආරක්ෂාකරදෙනු වෙනුවෙන් බාලා වෙතින් මා අපේක්ෂා කරනුයේ ඉතා සුළු ප්‍රති උපකාර කිහිපයකි. එබැවින් ඒ ඉටු කිරීමෙහි ලා බාලාට කිසිදු දුෂ්කරතාවයකට මුහුණ දීමට සිදුනොවන බව මට සහතිකය. ඒ කිසිසේත් සිටි බැංකුවේ මුදල් සේප්පුව විවෘතවන රහස් අංකය මට ලබා දීම වැන්නක් නොවේ. අනෙක් අතට මා ඉල්ලා සිටියද එම රහස් අංකය බොහෝවිට ඔහු පවා නොදන්නවා විය හැක.
මා ඔහුගෙන් අපේක්ෂා කරනුයේ ඉතා සුළු උපකාර කිහිපයකි. උදෑසන කුකුළාත් අතින්ගෙන කාර්යාලයට නොපැමිණ ලොවපුරා මාවැනිම වූ වෙනත් සාමාන්‍ය බැංකු සේවකයින් තම රාජකාරි අරඹන වේලාවට රාජකාරි ඇරඹීමට අවසර ලබා ගැනීම ඉන් ප්‍රධානතම උපකාරයයි. එළෙසම දවසේ සේවය නිමාවේදී ඝන අන්ධකාරයේ මාවවුලන් ඉබාගාතේ පියාසර කරනා වේලාව උදාවනතෙක් කාර්යාලයේ කාලය කානොදමා සාමාන්‍යයෙන් අනෙකුත් සේවකයින් සේවය නිමකරනා වේලාව නොඉක්මවා සේවය නිමකොට ඇහැ පාටින් නවාතැන වෙත යාමට අවසරය ලබා ගැන්ම දෙවන උපකාරයයි.
එසේම කලින් දින රාත්‍රියෙහි ස්වල්ප වශයෙන් පදම වැරදී දරුණු හිස රුජාවෙකින් පීඩා විඳින දිනයක මගේ කුටියෙහි දොර වසා දමා තිරරෙදිද පහතට ඇද මේසයට හිස තබාගෙන අඩ හෝරාවක් පමණ සැතපීමට අවසර ලබාදීම තෙවන උපකාරයයි.
සිව්වන සහ අවසාන උපකාරය වනුයේ සතියකට දින දෙකක් හෝ තුනක් අනන්‍යා හමුවීම පිණිස නියමිත වේලාවට හෝරාවක් හෝ අඩ හෝරාවක් පළමු කාර්යාලයෙන් බැහැරව යාමට අවසර ලබා ගැනීමයි.
මවිසින් බාලාගේ රැකියාව ආරක්ෂා කොටදෙනු ලැබුවහොත් ඔහු මවෙත මේ සියළු උපකාර නොපැකිළ කිරීමට ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත්වනු ඇති බවට මට කිසිදු සැකයක් නොවීය.
"ඔෆිස් එකේ ඩෙස්ක් එකට ඔලුව තියල පොඩ්ඩක් නිදාගත්ත.....එතකොට පැයක් හමාරක් කලින් ගියා.....එව්ව නම් මොනවද? එව්ව වගේද එයාගෙ රස්සාව. හරිනම් බාලා මට මුලු ජීවිතේටම ණයගැතියි හුහ්..." මම මහත් සතුටින් එසේ සිතුවෙමි.
"හරි ඒ ප්ලස් පොයින්ට්නෙ. මයිනස් පොයින්ටුත් තියනව. මගෙ ෆයිල් එකට මේ ගැන නෝට් එකක් වැටෙනව. ඉස්සරහට ප්‍රමෝෂන් වලදි එහෙම ඒක බලපාන්ට ඉඩ තියනව. අනේ බම්බුව.....මම කොහොමත් තව වැඩි කාලයක් මෙතන ඉන්නෙ නෑනෙ. ඒ හින්ද ඔහෙ ඕන එකක්. ඉන්න ටිකේ දෙයියනේ කියල මට ඕන විදිහට ඉන්ට තිබ්බ නම් මදැයි.."
එම චිත්තාභ්‍යන්තර සමාලෝචනයෙන් පසු මම බාලාගෙ යෝජනාවට එකඟවීමට තීරණය කළෙමි. එහෙත් එක්වරම එසේ එකඟනොවී මම තව මොහොතක් කල් මැරුවෙමි. බාලා තවත් මා ඉදිරියේ බැගෑපත්වනු දැකීම මගේ අභිප්‍රාය විය.
"ක්‍රිෂ්, චීෆ් මැනේජර් මට කොහෙත්ම කැමති නෑ. මිනිහ ඇවිල්ල උතුරු ඉන්දියානු. දකුණෙ මිනිස්සුන්ට මිනිහ කැමතිම නෑ කියල තමයි ආරංචිය. ඒත් ඔයාට ප්‍රශ්ණයක් වෙන එකක් නෑ ඔයත් උතුරෙනෙ. එයා ඔයාට සමාවක් දෙයි... ඒත් මට කොහෙත්ම සමාවක් දෙන එකක්නෑ"
බාලා හඬන්නට ඉතා ආසන්න හඬකින් පැවසීය. බාලා සත්‍ය වශයෙන්ම හඬනු ඇත්දැයි දැකබලා ගැන්මට මසිතෙහි බලවත් ආශාවක් ඇතිවුවද ඒ වනවිට අධික තෙහෙට්ටුව සහ නිදිමත කරණකොටගෙන මගේ ඇස් පියවෙන්නට ආසන්න තත්වයකට පත්ව තිබිණි.
"හරි මිස්ටර් බාලක්‍රිෂ්නන් අපි බලමු මොකද කරන්න පුල්කුවන් කියල.." මම අසුනින් නැඟිටිමින් පැවසූයෙමි.
"ඒ කියන්නෙ ක්‍රිෂ් මගේ යෝජනාවට කැමතියි කියන එකද?" බාලා ද වහා හුනස්නෙන් නැඟී සිටිමින් විමසූයේ අපේක්ෂා සහගත ස්වරයකිනි.
"සුබ........රාත්‍රියක්......මහත්මයා…" මම වදනින් වදන බරකොට පවසමින් ඔහුගේ කුටියේ දොරටුවෙන් පිටවූයෙමි.





