මාස හතකට ආසන්න කාලයක් බිත්තර තම්බමින් බලා සිටි අවස්ථාව උදාවීමට ඇත්තේ තව එක් දිනක් පමණී. සංදීපගේ හදවතේ මතුව ඇති නොසන්සුන් භාවය ඔහුගේ මුහුණ දකින ඕනෑම කෙනෙකුට මොනවාට පැහැදිලි වෙයි. වෙනදා රිවිදින හැන්දෑව ඔහු යොදා ගන්නේ කසුනි මුණ ගැසීමට යාමටය. එහෙත් අද දින ඒ සඳහා ඉස්පාසුවක් හෝ උවමනාවක් සංදීප හට නැත. කසුනි ද ඒ බව දන්නා නිසා දුරකථන ඇමතුමක්වත් දීමට නොසිතුවාය. ඔහුගේ අම්මා ගුණරත්න හාමිනේද සිය පුතුට උද්ගතව ඇති අවස්ථාව මැනවින් අවබෝධ කරගත්තී, මුවින් නොබැන ඔහුගේ හැසිරීම වෙත මනස යොමාගෙන සිටියාය. විටෙක ඉස්තෝප්පුවේ එහාටත් මෙහාටත් පියමං කරන ඔහු තවත් විටෙක පරම්පරාවෙන් පරම්පරාවට දයාද වුනු ඒ තේජාන්විත හාන්සි පුටුව මත වාඩි වී කල්පනා කරයි. ‘ කොහොම වුනත් සර් මාව ඩිස්මිස් කරන එකක් නැහැ. මම හිටිය සම්පූර්ණ කාලයම මගේ උපරිමයෙන් වැඩ කලානේ. ස්ටාෆ් එක කිව්වාට මම කොච්චර හොඳට හිටියත් වැඩක් නැහැ සර්ගේ අතේ තමයි තීරණය කියලා, මගේ තියෙන කොලිෆිකේෂන්ස් දැක්කම මෑන්ස් කැමැත්තෙන්ම මාව තියා ගනී කියලා මට හන්ඩ්‍රඩ් පසන්ට් ෂුවර්’ තමන්ගේ වාසියට කරුණු රැස් කරමින් මෙදා සති අන්තයම සංදීප ගත කලේ ඒ අයුරිනි. මොන තරම් කරුණු ගොනු වුවත් කිසිදාක නොදැකපු, කථා නොකරපු මනුස්සයෙක් ගැන කොහොම විශ්වාස තියන්නද? ඒ සිතුවිල්ලත් සමගම ගොනු වූ කරුණු විසිර යන්නේ අසුරු සැනෙකිනි. ‘දෙයියනේ මේ වගේ රස්සාවක් ආයේ කවදාවත් ලැබෙන්නේ නැහැ. මගේම කොලිෆිකේෂන්ස් තියෙන අය විතරක් නොවෙයි ඊට වඩා තියෙන සමහර අයටත් මට තරම් බෙනිෆිට්ස් නැහැ වෙන තැන්වල. දැන් ප්‍රෙබේෂන් පීරියඩ් එක ඉවර නිසා ඉක්මනටම මට ඔෆිස් වෙහිකල් එක ලැබෙයි. ඒත් දෙයියනේ බොස් මං ගැන මොනවගේ තීරණයක් ගනීද?’ හාන්සි පුටුවෙන් ඉබේටම නැගිට ගත් සංදීප නැවතත් ඉස්තෝප්පුවේ එහා මෙහා සක්මන් කරන්නට වුයේ නොසන්සුන් බව මොනවට කියා පාමිනි. ඔහු පසු ගිය සතිය පුරාම වැඩ ඇරී සුපුරුදු ලෙසින් කාර්යාලයෙන් සපයන ලද ප්‍රවාහන සේවා රථයෙන් කෙළින්ම නවාතැනට ගොස්, විගස සූදානම් වී ආසන්නයේ පිහිටි පන්සල වෙත ගියේය. පැයක් හමාරක් වතාවත් වල යෙදී දේවාලයට ද ගොස් පඬුරුද දමා ඔහු නිරතුරු යැදුවේ සිය ආයතනයේ සභාපතිවරයාගේ සිත නොබිඳී තමන් කෙරේ පැහැදීමක් ඇති වේවා!!! එමගින් (තත්ත්වය උසස් වීම කෙසේ වෙතත්) රැකියාව රැකේවා!!! යනුවෙනි. සභාපතිවරයා සමඟ තිබෙන්නට තිබෙන සම්මුඛ පරීක්ෂණයට යහපත් ලෙස මුහුණ දීමට තමන්හට ශක්තිය ලැබීමෙන් අනතුරුව ඒ සඳහා කෘත ගුණ දැක්වීමට සිය මෑණියන් හා සමඟ කතරගම වන්දනාවේ යෙදෙන බවට කතරගම දෙවියන් ඉදිරිපිටදී ඔහු භාර වූයේය. වෙනදාට සිකුරාදා සවසම ගම එන්න පිටත්වන ඔහු මේ සතියේ සිකුරාදා පන්සල් යාමට ඇති නිසාවෙන් සෙනසුරාදා පාන්දරම පිටත්වන බව අම්මාට දැනුම් දුන්නේය. සෙනසුරාදා හවස ගමේ පන්සලට ගිය ඔහු පුරුදු ලෙස වතාවත් වල යෙදී, වුනු භාර නැවතත් සිහිකර දෙවියන්ගෙන් පිහිට ඇයැදියේය. සාමාන්‍යයෙන් මෙවන් දේවල නොයෙදෙන සංදීප අවම තරමින් සිය විභාග කටයුතු සාර්ථක කර ගැනීම වස්වත් පන්සල් නොගිය කෙනෙකි. ඔහුගේ තීරණය වූයේ විභාගය යනු දෙවියන් අත නොව තමන් අත පවතින දෙයක් බවයි. අම්මා කොතෙක් කීවද, වැඩි හොඳට වත් පන්සලට ගොස් භාර හාර වී තෙරුවන් සරණ දෙව් රැකවරණය ලැබීම සඳහා ඔහුව ගෙන යා නොහැකි වූ නිසාවෙන් එකල අම්මා ඒ කටයුතු වල තනිව යෙදුනාය. විශ්ව විද්‍යාලයේ ඉගෙනුම් කටයුතු අවසන් වනතුරුවත් කෙදිනකවත් මෙවන් කටයුතු වල නොයෙදුනු සංදීපගේ මෙවර වෙනස් වීම අම්මාට නම් සතුටක් එක් කරන ලදී. විභාගය යනු තමන් අත පවතින දෙයක් වුවද වෙනෙකෙකුගේ සිතත් තීරණත් ඒ වෙනකෙනාගේ කැමැත්ත මත මෙන්ම දෙවියන්ගේ බල මහිමය මත තීරණය වන නිසාවෙන් පන්සල වෙතත් දේවාලය වෙතත් සංදීප ඇදුනු බව අම්මා නොදැන සිටියාය. කෙසේ හෝ කවදාත් ආගමට දහමන නැඹූරු වූ ගුණරත්න හාමිනේ මේ සිදුවීමෙන් සතුටට පත් වූවාය. පසු දින මුහුණ දීමට සිදුවන තත්ත්වය අබග්ගයකින් කෙළවර නොවේවා යනු අම්මාගේත් පුතාගේත් කසුනිගේත් ඇයගේ පවුලේ සැමගේත් එකායන ප්‍රාර්ථනය විය. ************************************************************************************ ගමේ වැදගත් යැයි පිළිගත් පවුලක උපන් සංදීප සාමාන්‍යය පෙළ දක්වා උගත්තේ ගමේ පාසලෙනි. පාසල තුලත් පවුලේ වැදගත් කම මත ඔහුට වඩා වැඩි පිළි ගැනීමක් තිබිණ. බොහොමයක් ළමුන් 'සංදීප පොඩි මහත්තයා' යනුවෙන් ඔහු ඇමතිය යුතුවිය. සමහර ගුරුවරුන් එයට විරුද්ධත්වයක් එළිපිට නොපෑවද හිතේ නෝක්කාඩුවෙන් පසුවිය. තවත් ගුරුවරයෙක් 'සංදීප පොඩි මහත්තයා' යනුවෙන් ඔහු ඇමතීම හේතු කරගෙන ඇමතු ළමයාටම දඬුවම් කිරීමෙන්, ගහෙන් වැටුනු මිනිසාට ඇන්න ගොනා ව නිරූපණය කල අවස්ථාවන්ද විරල නොවීය. මේ අතර විදුහල්පතිතුමා ඇතුළු බොහොමයක් ගුරුමහත්ම මහත්මීන්ද සංදීපට වැඩි පිළි ගැනීමකින් යුතුව සැළකූබව නොරහසකි. ඔහු ඇති තැන 'සංදීප පොඩි මහත්තයා' යනුවෙන් කටපුරා ඇමතුවද, නැති තැන නම් ඔහු හඳුන්වන්නට 'පොඩි මහත්තයා' කොටස තබා සංදීප කියන කොටසවත් ළමුන් භාවිතා කළේ නැත. “අලි ඔළුවා, බකයා, බකමූණා, ...........” ආදී විවිධාකාර සත්ත්ව නාම සේම, අමුතුවෙන් නිර්මිත නාමද බොහොමයක් ඔහු නොදැනම ඔහු සතුවිය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංදීප අලි ඔළුවෙක් වීය. පුංචි සංදියේ පටන් පිය පරපුරෙන් මෙන්ම මව් පාර්ශවයෙන්ද ඔහුට උරුම වූයේ අලි ඔළුකම්මය. ඒ උරුමය මනාව ගෙන යාමට ඔහුද ඒ සංදියේ පටන්ම උත්සහ දැරුවේය. ඉගැනුම අතින් ගත් කල සත්‍යය වශයෙන්ම ඔහු සියල්ලම අභිබවා ඉදිරියෙන් සිටි බව කිව යුතුය. අනෙක් ළමුන් ලියන්න පටන් ගන්නා විට ඔහු ලියා අහවරය. එයද ඔහුගේ අලි ඔළුව තව තවත් උදුම්මන්නට හේතූ භූත වීයැයි පැවසුවොත් නිවැරදිය. ඒ නිවැරදි කොටසට තවත් යමක් එකතු කරනවා නම් කියන්නට තිබෙන්නේ ඔහුට ආසන්න වීමට අනෙක් ළමුන්ට ඔහු කිසිවිටෙක ඉඩ නොදුන් බවය. මානසිකව ඔවුන්ව තලාපෙලා පාගා දමා විනාශ කිරීම ඔහු මැනවින් පුරුදු පුහුණු වූ දෙයකි.'සංදීප පොඩි මහත්තයා' ට විරුද්ධ පිළේ සිටින සිංහල මහත්තයා බොහෝවිට 'සංදීප පොඩි මහත්තයා' මොන තරම් අගනා ලෙස රචනා රචනා කලත් ඒවා තුට්ටුවකට මායිම් නොකරයි. වෙනත් දරුවකුගේ රචනාවක් වර්ණනා කල හැකි මට්ටමේ නොතිබුනොත් මිසක සංදීපගේ රචනා සිංහල මහත්තයාට රචනා නොවේ. උඩ හේනේ සිසිරත්, පහල වත්තේ සඳාත්, ඇල්ල පාරේ කමණිත්, මෙලෙසින් සිංහල මහත්තයාගේ අගය කිරීමට බොහෝවිට ලක්වෙති. එදාට ඔවුන් ඉඳ හමාරය. සිසිරගේ පියා වෙන ස්ත්‍රියක සමඟ පැන ගිය බව පාසලට ආවේ මෙවන් දිනකදීය. සඳාගේ සීයා රොඩියෙකු බව ප්‍රකට වූයේද මෙවන් දිනකදීය. කමණි ගේ අම්මා නිසා ඔවුන්ගේ නිවසට මසකට කිහිප වරක්ම ගල් වරුසාවක් ලැබෙන බව ළමුන් දැන ගත්තේද මෙවන් දිනකදීය. කරගත දෙයක් නොමැතිව අසරණව වෛරයෙන් පිඩීත වූවෝ නහය අසලට ආ වතුර කඳ ඉහට ඉහලින් ගියත් මොකෝ යැයි සිතා මෙන් තව තවත් ධෛර්යයයෙන් යුතුව කටයුතු කළහ. මේ දරුවන් සංදීපගේ ප්‍රහාරයට ලක් වූයේ සිංහල නිසා පමණි. නමුත් චාමර විද්‍යාව, ගණිතය, බුද්ධ ධර්මය ඇතුළු බොහොමයක් විෂයයන් නිසා නිරතුරු සංදීපගේ ප්‍රහාරයට ලක් විය. බොහෝ ගුරුවරු චාමරව ගණන් ගත්තේද නැත. එහෙත් සංදීප ගණන් ගත්තේය. තමන්ගේ පොතේ හරි වැරදි වලට වඩා චාමරගේ පොත පිළබඳව නිරතුරු ඔහු අවධියෙන් පසු විය. අඩුකුළේ හාලින්ට එහෙම නැගෙන්න දිය නොහැකිය. ඔවුන් පාගා දැමිය යුතුය. පියතුමාගේ ආදර්ශය මැනවින් පාසල තුළ ක්‍රියාවට නංවන්නට පත්කල නියෝජිතයා සංදීප විය. නගරයේ පාසලට දැමිය හැකි වුවද ගමේ පාසලට ඔහුව ඇතුලත් කර ගුණරත්න මහත්තයා බලාපොරොත්තු වූයේද එයයි. සංදීප උගත්තද නැතද කම් නැත. ඔහුට දේපළ ඇත. එහෙත් ගමේ කොල්ලෝ කුරුට්ටොන්ට ඉහල යෑමට ඉඩ දිය නොහැකිය. මහගස් වීමට පෙර ම කපා දැමීම සඳහා පාසලේ පත්කල නියෝජිතයා මැනවින් සිය කාර්යය භාරය ඉටුකරන බව ගුණරත්න මහත්තයාට විටින් විට ආරංචි වෙයි. එය ඔහුට සතුටට කරුණුය. ඇත්තටම චාමර හීන යැයි සම්මත කුළයක උපන්නෙකි. චාමර දුටු දුටු තැන සංදීප “අඩු කුලේ කියාලා චාමරලා...................” යනුවෙන් ඇද පැද ගායනා කරයි. පුංචි සන්දියේදී බොහෝ දිනවල චාමර නිවසට යන්නේ අඬාගෙනය. අම්මා අසලට ගොස් පාසල් යාමට නොහැකියි පවසමින් ඔහු හඬා වැටෙයි. අම්මා විස්තර අසා පවසන්නේ ‘ඉතිං පුතේ උන්දැ සිංදු කියලා තියෙන්නේ උන්දැලාටමනේ’ යනුවෙනි. මේ අපබ්‍රංසය චාමර බොහෝ කාලයක් යන තුරු වටහා ගත්තේ නැත. ඇත්තටම ඒ කාලයේ අඩුකුලය යනු කුමක්දැයි ඔහු දැන සිටියේද නැත. ඒ ගීතයේ නියම තේරුම සංදීප දැන සිටියේද නැත. එනමුදු ඒ ගීතයෙන් තමන් රිදවා ගතයුතුබව නම් චාමරට වැටහිණි. ඒ සංදීප එය තමන්ට රිදවන්න සිතාගෙනම කියනා බව දන්නා නිසාය. සංදීපට වැදගත් වූයේ ගීතයේ පළමු පදය පමණි. කෙසේ හෝ එලෙසින්, සංදීප අදහස්කරන අරුතට සම්පූර්ණයෙන් විරුද්ධ තේරුම ඇති එම ගීතය නිසා චාමරට බොහෝ කාලයක් යනතුරු රිදුනි. සංදීපට තමන් උඩබලාගෙන කෙළ ගසාගෙන ඇති බව වැටහුනේ ගුණරත්න මහත්තයාගේ අතින් හිස හිල් වී යන තරමේ ටොක්කක් සමඟ ගීතයේ තේරුම පැවසුනු පසුය. ඒ වනවිට ගීතයේ තේරුම චාමර දැන සිටියේය. එබැවින් සංදීප ලවා ඔහු එය බොහෝවිට කැමැත්තෙන්ම කියවා ගත්තේ අකමැති බව සංදීපට දැනෙන ලෙසිනි. කෙසේ හෝ ටොක්කෙන් පසු නැවත එය අසන්නට නොලැබුනත් චාමරගේ සිතේ පහළව තිබූ වෛරය නම් එලෙසින් නොනැවතිණි. සාමාන්‍ය පෙළින් පසු එය සමත් වූවෝ නගරයේ පාසලටත් අග නගරයේ පාසල් වලටත් අවතිර්ණ වූවෝය. සංදීප වෙනස්ම කෙනෙකු වූයේ මෙහිදීය. පෙරතිබූ මහන්තත්ව කම සමනය විය. අග නගරයේ ප්‍රධාන පෙළේ පාසලක උසස් පෙළ හැදෑරු ඔහු තමන් බිංකුන්ඩෙකු බව ඒ දරුවන් අතරදී මැනවින් වටහා ගත්තේය. සමාජය තුල දී හැසිරිය යුතු ආකාරය තමන් සිතුවාට වඩා බෙහෙවින් වෙනස් බව ඔහුට වැටහින. ඔහු ගේ සිතුම් පැතුම් වෙනස් විය. කුල භේදය යනු කරපින්නාගෙන යායුතු නොවන හණමිටියක් බව ගුණරත්න මහතාට වටහා දිමට ඔහු ගත් උත්සහයන් මතගැටුම් බවට පත් වී පියපුත් වාද දක්වා ඇදී ගිය වාර ගණන වැඩිවිය. කුළ මානයෙන් හිස පුරවා ගත් පියාගේ බෞද්ධ කමට ද ඔහු අභියෝග කලේ වරක් දෙවරක් නොවෙයි.'වියළි දඬු නැමිය නොහැකිය. කැඩිය හැකිය. ' පියා නිසා කඩා දැමිය නොහැකිය. එම නිසා සංදීප නිහඬවිය. පියාද, පරම්පරා ගණනක් තිස්සේ උපයා තිබූ ධන සම්භාරයෙන් වැඩි ප්‍රමාණයක් සුව කල නොහැකි වූ ඔහුගේ මාරාන්තික රෝගයට වියදම් කර, කුළ ගර්වය පමණක් ඉතිරි කොට සංදීප විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ උගැනුම ලබද්දී සදහටම නිහඬවිය. ************************************************************************************ පසුදින උදෑසන හතරට තිබෙන බසයෙන් සංදීප කොළඹ බලා පිටත්විය. අම්මාගේ අනුදැනුම පරිදි වෙනදා තබන බුදු පහනට අමතරව එදින පඬුරක්ද තැබූ ඔහු නැවතත් වුනු භාර සිහිකර ඒවා නොවරදවා ඉටු කරන බවට නැවත නැවතත් හිතින් දිව්රුවේය. කොළඹ එන අතරතුරදී ඔහුගේ සිතපුරා වෙනදා මෙන් සිටියේ කසුනි නොවෙයි. නොදුටු, ආයතන ප්‍රධානී සභාපතිවරයාය. කියන ආකාරයට නම්, අකුරට වැඩ කරන, සේවකයින් ගැන මනාව සොය බලන පුද්ගලයෙකි. එනමුදු ගත් තීරණය කිසිදා වෙනස් නොකරන්නෙකි. සංදීපගේ සම්මුඛ පරීක්ෂණ පැවති කාලයේ ඔහු මක්කම වන්දනාවේ ගොස් සිටියේය. එසේ නොවුනා නම් මේ වන විට දෙකින් එකක් සිදු වී බොහෝ කල්ය.අල්ලාහාජ් අලී මොහොමඩ් හුසේන්’ සංදීප මේ දිනවල මතුරන එකම නම එයයි. සාමාන්‍යයෙන් සංදීප වන් ඉහළ පෙලේ නිලධාරියෙකු පත්කර ගැනීමේදී එම ආයතනයේ පටිපාටිය නම් ප්‍රථම අදියරේ සම්මුඛ පරීක්ෂණ තුනකින් සමත් වූ පසු ආයතනයේ සභාපතිවරයා හමුවේ අවසාන සහ තීරණාත්මක සම්මුඛ පරීක්ෂණය පැවැත්වීම වුවද ඒ සමයෙහි සභාපති තුමා මෙරට නොසිටීමත්, පුරප්පාඩු වූ අසුන වහා පිරවිය යුතුම ආකාරයේ අසුනක් වීමත් නිසා අවසාන සම්මුඛ පරීක්ෂණය කල් ගියේය. එම භාරදූර අසුන බාර දෙන විට සිදුකරන ආකාරයට, ආයතනයේ නීතී උපදේශක පෙරකදෝරු මහතා ඉදිරිපිට ගිවිසුම් අත්සන් කලද රස්සාව ලැබුනා යැයි සංදීප හට සතුටු වීමට නොහැකි විය. එයට හේතුව යම් හෙයකින් සභාපතිවරයා නොසතුටු නම් ඕනෑම අවස්ථාවක දොට්ට දැමිය හැකි බව දැක්වෙන වාක්‍යය කණ්ඩයක්ද එම ගිවිසුමට පැහැදිලිවම ඇතුලත් වී තිබීමය. සභාපතිතුමාගේ සතුට දිනා, සංදීපගේ අත්සන දැනට යොදා ඇති ඒ වැදගත් ලිපියට එතුමාගේ අත්සන යෙදුනේ නම් වසර පහක් යනතුරු රැකියාව ස්ථිරය. ඉන් අනතුරුව නැවතත් ගිවිසුම් අළුත් කල යුතුය. මේ වනතුරු ආයතනය ඇරඹී දා පටන් කිසිම සේවකයකු එය අත්හැර ගොස් නැත. සංදීපගේ දැක්ම අනුව, ‘යම් හෙයකින් සේවකයා විසින් ගිවිසුම් ප්‍රකාර වසර පහ ඇතුලත ආයතනය අතහැර යන්නේ නම්, ආයතනයට අවැසි නම් නෛතික ක්‍රියාමාර්ගයක් ගත හැක’ යන වාක්‍යය කණ්ඩය ගිවිසුමට ඇතුලත් කර ඇත්තේ වඩා හොඳ සේවක පිරිසක් ආයතනය වෙත බඳවා ගැනීමට විය යුතුය. ගෙදරදී තම්බන ලද බිත්තරත්, මගදී තම්බන ලද බිත්තරත්, තම්බන්නට තිබෙන බිත්තරත් යනාදී සියලුම බිත්තර සමගින් උදෑසන 7 .45 පමණ වනවිට සංදීප කාර්යාලයට සැපත්විය. වෙනදා රථගාලේ දැක නුපුරුදු ඒ මහේශාක්‍ය රථය අද තේජමානව නිසොල්මනේ රථගාලේ රැඳී සිටියි. ‘සභාපතිතුමා ඇවිල්ලා’ හිතින් වුවද තුමා කොටස නොමැතිව නොහිතන්නට අනෙක් සේවකයින් මෙන්ම සංදීපද පුරුදු වී ඇත. ඒ තරමට සේවකයින් හට හිතෛෂි ලෙස කටයුතු ඉටු කැරෙන ආකාරයට ‘සභාපතිතුමා’ ආයතනයේ කටයුතු හසුරුවයි. සේවකයින් සියල්ලෝම සිනා මුසුව ප්‍රබෝධමත්ව සිටියි. මුළු ආයතනයම වෙනදා නොමැති ආකරයේ උද්යෝගයකින් ඇළලී ගියා සේය. “හී කේම් මචං හී කේම්” ක්‍රිෂාන් ඔහු දුටු වනම අත අල්ලාගෙන පැවසුවේය. “යෙස් අයි කැන් සී ඉට්” සංදීප පුටුව ඇද අසුන් ගන්නා ගමන් පැවසුවේය. “සී......... අයි ටෝල්ඩ් යූ, වෙන් හී ඉස් ඇට් ඔෆිස්, ඕල් ද ඔෆිස් ලුක්ස් ජස්ට් ලයික් දෙයා ඉස් අ වෙඩින් ෆන්ෂන්” ක්‍රිෂාන් පොදු උද්යෝගයෙන් ඇලලී ගොස් ඇත. “බට් නොට් ෆෝ මී මචං” සංදීප වායු සමීකරණය කරන ලද කාමරය තුලදීත් නැග ආ සිහින් දාඩිය බිඳු පිසලමින් බිම බලාගෙන පැවසුවේය. ක්‍රිෂාන් ඔහුගේ මේසය ඉදිරිපිට වූ අමුත්තන් සඳහා වුනු ආසනයක අසුන් ගත්තේය. “ඩෝන්ට් වොරි මචං ඩෝන්ට් වොරි. යූ නෝ? හී අස්ක්ඩ් මී අබව්ට් යූ.” සංදීපගේ හිස කෙස් කෙලින් වූවා සේ ඔහුට දැනින. “දෙන්?” “දෙන් වට්? අයි ගේව් හිම් අ ග්‍රේට් රෙකමන්ඩේෂන්. අයි තින්ක් යූ මේ හැව් අ ප්‍රමෝෂන් ටූ මචං” ක්‍රිෂාන් පවසන කිසි දෙයක් සංදීපගේ සවනට පතිත වූවාදැයි සැක සහිතය. එය මිතුරාටත් වැටහුනා විය හැක. “ඕකේ මචං. සී යූ ලේටර් විත් අ බෙටර් මූඩ්” කියමින් ක්‍රිෂාන් පිටව ගියේය. නැවතත් බිත්තර තම්බන්නට වේලාවයි. කඩදාසි කොලයක් ගෙන එය කුරුටු ගාමින් තීරණාත්මක දුරකථන ඇමතුම එනතුරු ඔහු බලා සිටියේය. වෙනදාට නිනව් නොමැතිව හඬන දුරකථනය ද අද නිහඬය. ආයතනයේ සියලුම දෙන අද සංදීපට තීරණාත්මක දිනයක් බව දන්නා නිසාදෝ ඔහුගේ දුරකථනය අද මෙසේ නිහඬව සිටනවා විය හැක. සවන් ගුල් තුලට කිසිම ශබ්දයක් නොයනු සේ ඒවා අගුල් වැටී දැයි විටෙක ඔහුට සිතුනි. ඒ තරමටම පරිසරයද නිහඬ වතක් අනුගමනය කරනු සේය.කෙසේ හෝ අවසානයේ පැයකට පමණ පසු දුරකථනය නාද විය. ටිකෙන් ටික මැරෙනවාට වඩා එක්වරම මැරෙන එක කොයි අතිනුත් හොඳ දෙයකි. ‘අම්මෝ ඇති යාන්තම්’ සංදීපට එසේ සිතෙන්නට ඇත. “ගුඩ් මොර්නින්. සංදීප හියර්” හැකිතාක් දුරට සිය වදන් තුලට සංයමය කවමින් ඔහු පැවසුවේය. “යර්ස් ගුඩ් මෝර්නින්. අයි තින්ක් දිස් ඉස් මිස්ටර් සංදීප සුදර්ශන ගුණරත්න? ඇම් අයි කරෙක්ට්?” මිතුරන් පැවසුවා නිවැරදිය. මුස්ලිම් වූවාට වදන් භාවිතය සිංහල අප වාගේමය. “යර්ස්. හව් මේ අයි හෙල්ප් යූ?” සාම්ප්‍රදායික පැනය සුදුසුය. “අලී මොහොමඩ් හියර්. අයි තින්ක් යූ කැන් කම් ටූ මයි ඔෆිස් ෆෝර වයිල්” “යස් සර් ෂුවර්” අවසානයේ, සත් මසක් ඇවෑමෙන් ඒ දිනය එළඹ ඇත. දැන් එයට මුහුණ දිය යුතුය. ත්‍රිවිධ රත්නයේ පිහිටත්, දෙවි දේවතාවුන්ගේ පිහිටත්, ආදරණීය අම්මාගේ ආශිර්වාදයත් සිහිකොට ඒ සැම සරණින් මේ මුසල්මානුවාගේ සිත තමා කෙරෙහි පැහැදේවා!!! යි පතමින් සංදීප ටයි පටිය සකසමින් සිය කාමරයෙන් පිටත්විය. “මේ අයි කමින් සර්........?” සේවකයා සේව්‍යයාගේ කාමරයේ දොර අසලය. සිංහල ගීතයක් සිහින් රාවයෙන් වාදනය වෙමින් පැවතින. සිය පරිගණක තිරයට මුහුණ ඔබාගෙන සිටින සේව්‍යයා හට සේවකයා දෙස බලන්නටවත් ඉස්පාසුවක් නැති සේය. “යස් කමින්” සංදීප කාමරයට ආ බව අලී හට දැනුනි. “ටේක් අ සිට් සංදීප” සටහන් කරමින් සිටි විද්‍යුත් ලිපිය තවදුරටත් සටහන් කරමින් අලී පැවසුවේය. සභාපතිතුමාගේ සිරුරෙන් සංදීපට පෙනෙන අර්ධයට අනුව නම් මිතුරන් පැවසූ ලෙසින් ඔහු තමන් හා සම වයස් වෙතැයි ඔහුට කොයි ලෙසකින්වත් සිතාගත නොහැකි විය. තරබාරු පුද්ගලයෙකු වූ සභාපති තුමා, මුහුණ පුරා වවා සිටි රැවුල නිසා තමන්ට වඩා මුහුකුරා ගිය පෙනුමක් ගනී යැයි පසුව ඔහුට සිතිණ . “ඉතිං සංදීප කොහොමද? අපේ ආයතනය හොඳද?” “මම ඇත්තම කියන්න ඕනේ සර් මං හිතන්නේ නැහැ මට කිසිම දාක මේ වගේ ආයතනයක් මේ රටේ වෙන කොතැනකවත් දකින්න ලැබෙයි කියලා.” සංදීප අවංකව ම සිය සිතැඟි පැවසුවේය. “එහෙමද?” සභාපතිතුමා සිනා වෙයි. තවමත් ලිපිය අවසන් වී නැත. “ඒ කියන්නේ සංදීප කැමතියි අපිත් එක්ක දිගටම, අයි මීන් අවම වශයෙන් අවුරුදු පහක් වත් වැඩ කරන්න?” “සර්. ඔව් සර්, අවුරුදු පහක් නෙමෙයි. හැමදාටම වුනත් ඉන්න කැමතියි මම. ඒ තරමට මේ ආයතනය ගැන පැහැදීමක් තියෙනවා මගේ හිතේ. මෙහේ ඉහල සිට පහළට ඉන්න සියලුම සේවකයින්, පරණම සේවකයින්ගේ ඉඳන් අලුත්ම කෙනා දක්වා සියලුම දෙනා කවදාවත් වැරැද්දක් නම් කියන්නේ නැහැ, හොඳම විතරයි සර්. ඒ හැමදේම සලකලා මම කැමතියි ආයතනයට හැමදාමත් මගේ සේවය සපයන්න” තමන් කියෙව්වා වැඩි දැයි සංදීපට සිතිණ. “බොහොම හොඳයි බොහොම හොඳයි, සංදීප මගේ වැඩේ පහසු කලා. මම අහන්න හිටපු ප්‍රශ්න කිහිපයකටමත් සංදීප උත්තර දුන්නා” සිය ජංගම පරිගණකය දෙනෙත් ඉවතට ගත් අලී සංදීප දෙසට හැරී සිනා මුසුව පැවසුවේය. සංදීපගේ පාද වෙවුලා ගිය බවක් ඔහුට දැනින. ආගන්තුක හැඟීමකින් සිත පිරී ගියේය. අලී දෙනෙත් නොසලා සංදීප දෙස බලා සිටියේය. කාලාන්තරයක් තිස්සේ බලාසිටි අවස්ථාව එළඹ ඇත. දැන් එයට පෙර සිටම සැළසුම් කල පරිදි මුහුණ දිය යුතුය. අද ඔහු මෙතුවක් කල් බලා සිටි තීරණාත්මක දිනයයි. යම්කිසි ඉලක්කයක් කරා විගස හෝ කෙමෙන් කෙමෙන් හෝ ළඟා වීමට ඔහුට කුඩා කල සිටිම මනා වූ පුහුණුවක් ලැබී ඇත. මේ ජීවන මග ඔහුට ඒ ජීවන පරිචය මැනවින් ලබා දුන්නා යැයි පැවසුවොත් නිවැරදිය. ඔහුගේ සිත ප්‍රීතියෙන් ප්‍රමුදිතව ඇත. ඔහු සෙමින්, වාදනය වන සිංහල ගීතයේ රාවය වැඩි කළේය.‘පුහු මානය හර්දේ පුරවන්නේ.......... දස පාප ක්‍රියාවේ පැටලෙන්නේ...............’ වියරු වූ සිනාවක් මුවතුල සිරවී එළියට පනින්නට නලියයි. “'සංදීප පොඩි මහත්තයා' ............. ඉතිං කොහොමද?” ඇසෙන්නට වූ ගීතයේ පද විසින් කූරු ගෑ හදවතේ බර දරාගත නොහැකිව බිම බලාගෙන සිටි සංදීප එම ඇමතුමෙන් උඩ විසීවී බිම වැටුනේය. “ආ............ මොකද මේ ? ඉඳ ගන්න ඉඳ ගන්න................" “කොහොමද? හිතට මාර සනීපයක් දැනෙනවා ඇති නේද 'සංදීප පොඩි මහත්තයා' ? මං ජීවිත කාලයක් පුරා නොවිදිනා දුක් විඳලා, මට වඩා අවුරුදු 7ක් වැඩිමහල් මුස්ලිම්ගෑණියෙක් බැඳගෙන මගේ ආත්මය මාගේ ආගම පවා දීලා, තමුසෙව මේ විදිහටඋගුලට අහු කරගන්න ගහන්න තියෙන සේරම දහංගැට ගහලා දිනා ගත්ත අද දවස සමරන්නේ නැතිව යන්නද නැගිට්ටේ? එහෙම කොහොමද? අද විතරක් නොවෙයි තව ඉදිරියට අනිවාර්යය අවුරුදු පහක්.......... තේරුනානේ. අනිවාර්යය අවුරුදු පහක් අපි ඒ සතුට සමරමු. හැබැයි මම එපා කියන්නේ නැහැ ගැලවෙන්න පුළුවන් දෙයක් කරලා බලමු මගේ කිසිම විරුද්ධත්වයක් නැහැ” අවසාන තර්ජනාංගුලිය සංදීපගේ සවනට වැකී මොළය කම්පනය කර ගොස් හදවත පතුලේ ඊයම් බරුවක් සේ රැඳින. එතැන සිටි සභාපතිතුමා දැන් එතැන නැත. තිබෙන්නේ පුංචි සංදියේ 'සංදීප පොඩි මහත්තයා'ට කොතෙක් කැපුවත් විනාස කරගත නොහැකි වූ පැළයකින් වැඩුනු අතුපතර විහිද ගිය මහා වෘක්ෂයකි. ඔහු ගැන අනුකම්පාවෙන්, පසුගිය සතිය පුරා වූ භාර, දෙවි දේවතාවුන් භාර නොගත්තත් දැන් නම් පළක් නොවන බව ඉර හඳ සේ විශ්වාසය.