Wednesday, November 24, 2010

තනි තරුවට ලියූ කවිය...............


සඳ කැලුම් දිය අතුල ගෙමිදුලේ ඇවිදයමි,
පිපි කුසුම් ගොමු අතර පිණි වැටෙන හඬ අසමි,
වලා පට සලු පැළැඳි සුරඟනක් සේ අහිමි,
හුදෙකලා තරු කුමරි නොසිතු මොහොතක දුටිමි,

හිරු මැකී ගිය පසුව දිදුලනා රෑ අහස,
පෙර අඹර පහන්වන විට මැකෙන රූ දසුන,
උදෑසන හිරු එළියෙ කුසුම් ගොමු මත දිදුල,
පිණි බිංදු නොවේ ඒ ඔබ නෙතින් ගැලු කඳුල,

දයාබර තනි තරුව,ඔබ අහස මුදුනතය,
කඳුලු බිඳු පතිත වේ පිණි ලෙසින මා අවට,
උදෑසන පිය මනිනු නොහැක මල්ගොමු අතර,
ඔබෙ කඳුලු මතින් පියවර තබනු නොහැක මට,

සැම රැයම ඔබ හඬනු මම බලා සිටින්නෙමි,
ඔබෙ කඳුලු බිඳු අතර මගෙ කඳුලු හෙලන්නෙමි,
තනි තරුව කඳුලු පිස සිනා සෙනු පතන්නෙමි,
එතෙක් ඔබ හා එක්ව පිණි කඳුලු හෙලන්නෙමි,

8 comments:

  1. ලස්සන කවි ටික.

    තනි තරුව ගැන කොච්චර දුක හිතුනද කීවොත්, මගේ ඇහිනුත් කඳුලු වැලක් ගලාගෙන ආවනේ.

    ReplyDelete
  2. පෙර දිනක කුමරකුට පෙම් බැන්ඳ නිසාවෙන්
    ඔහුද නුඹ වැනිම මිහිමත සිටි නිසාවෙන්
    කුමරු හිමි කුමරියක අසල සිටි නිසාවෙන්
    තඹර මල් කැකුළු ඔහු සෙවන පැතු නිසාවෙන්

    පිදූ පෙම ළං වෙන්න බැරිව ගිය නිසාවෙන්
    හදවතට ඉනු කඳුළු දෝර ගැලු නිසාවෙන්
    අහස කොණටම වෙලා ඉකිබින්ඳ නිසාවෙන්
    කඳුළු නෙත දැනුන නුඹ මා දුටුව නිසාවෙන්

    මගෙ කඳුළ මගෙ සුසුම නුඹට කී නිසාවෙන්
    පිනි කඳුළු අතර එය දැවටූව නිසාවෙන්
    සිත සදන නෙත පිසින ලෙංගතුව නිසාවෙන්
    තනි තරුව තනි කොහිද නුඹට ලග නිසාවෙන්

    තෙත රැදුන සොඳුරු සිත හැඳුනූව නිසාවෙන්
    සතුට පිරි ලොවට මඟ පෙන්වුව නිසාවෙන්
    නුඹට දීමට යමක් නැතිව ගිය නිසාවෙන්
    පුදමි කවි පද ම'හද ලියූ නුඹ නිසාවෙන්

    නුඹට කවි ලීව
    මම
    ෴ තනි තරුව ෴

    ReplyDelete
  3. Podi Kumarihami,

    තනිතරුව මෙන් ඔබද,
    කඳුලු පිස සිනාසෙන,
    දවස එනතෙක් හිඳිමි,
    එදින මම සිනාසෙමි,

    ReplyDelete
  4. Anonymous - ෴ තනි තරුව ෴,


    තනිතරුව දුර අහස තනිව දිලි නිසාවෙන්,
    මම දෙරණ මත හිඳිමි අසරණවු නියායෙන්,
    කළහැකිවු එකම දේ මෙපමණවු නිසාවෙන්,
    නුඹෙ සිනහ දකිනු වස් පෙරුම් පිරු නිසාවෙන්,

    ReplyDelete
  5. Hi glad to visit here today! enjoy reading few posts . the best is the blog post abt office get together!

    I have written few more posts in Ahasgawwa abt Rajastan as u request before .hope u have visited there .

    ReplyDelete
  6. ප්‍රේම කීර්තිද අල්විස් නම් වූ අසම සම ගී පද රචකයානන් අතින් පබැදුන වික්ටර් රත්නායකයන් ගයන "තනි තරුවේ තනි තරුවේ ඔබත් ඔහොම ඔතන ඉන්න මමත් මෙහෙම මෙතන ඉන්නවා" ගීතය මේ පද පෙළ කියවද්දී මට නිතැතින් මතක් විය, හෟදයාන්ගම පබැදුමක් ඇත්තටම ලස්සනයි

    ReplyDelete
  7. TG,

    Thank you so much for the information, will visit & see,

    Many thanks for your appreciation,

    ReplyDelete
  8. සොඳුරු මිනිසා,

    ස්තුතියි සහෝදරයා,"තනි තරුවේ"ගීතය ඔබට සිහියට නැඟුනු බව පැවසීමම මට ඉමහත් දිරියකි,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...