සෙනෙහස මගේ, මහ මෙර වගේ......1
සෙනෙහස මගේ, මහ මෙර වගේ......2
මම ගෙට ගිහිල්ල දවල්ට උයපු මඤ්ඤොක්ක කෑලි ටිකකුයි, කඩල වගේකුයි ගෙනැල්ල රන්බණ්ඩට දීල, ආයෙම පුටුවෙ දිගා වෙලා රන්බණ්ඩගෙ මූණ දිහා බලාගෙන හිටියෙ මිනිහට කතාව පටන් ගන්න කියල නොකියා කියමිනුයි.
" මේ පාර යන්නෙ මගෙ ගමට මහත්තය " වැට අයිනෙන් යන පාර පෙන්නල රන්බණ්ඩ කිව්ව. " අපෙ අත්ත නුවර කිට්ටුව කෙනෙක්. එයා තමා තරුණ කාලෙ මෙහෙ ඇවිත් පදිංචි වෙලා තියෙන්නෙ,ඒ කිව්වෙ සුද්දන්ගෙ කාලෙ "
මොකෙක් හරි නිශාචර කුරුල්ලෙක් ජෑම් ගහේ අතු අතරෙ ඉඳල ඉගිල්ලිල ගියා.ඒ දිහා ඔලුව හරවල බලල රන්බණ්ඩ " බස්සෙක්ද කොහෙද" කියල ආයෙම කතාව පටන් ගත්තා.
" මීට අවුරුදු පහලවකට විතර ඉහතදි, මට එතකොට විසි පහ ලැබුවා විතරයි, මම හරි දඩබ්බරයා. මාව ගමේ තියාගන්ඩම බැරි තැන අප්පච්චි මාව යැව්ව අත්තලගෙ ගමට නුවර කිට්ටුව ගුන්නෑපානට "
" කොහෙට කිව්ව, ගුන්නෑපානට? " ඇස් පියාගෙන කතාව අහගෙන උන්නු මම, එක පාරටම පුටුවෙ කෙලින් උනා.
" ඇයි, ඇයි මහත්තය දන්නවද ගුන්නෑපාන? "
මම මොකෝ නොදන්නෙ ගුන්නෑපාන? එයා......., ගිය සතියෙ ආයෙ නේන්නම මගෙන් වෙන් වෙලා ගිය එයා ගුන්නෑපානෙනෙ.
" නෑ, නෑ, එහෙමට දන්නෙ නැහැ, මගෙ යාලුවෙක් හිටිය ඒ කිට්ටුව,ඒකයි එහෙම ඇහුවෙ "
" මාව ගිහිල්ල නැවැත්තුවෙ නෑකමට මට මාම වෙන කෙනෙකුගෙ ගෙදර. මාමට හිටියෙ එකම දුවයි.පොඩි කඩ කෑල්ලකුත් තිබුන ඒ අයට. මම ඔය කඩෙත් වැඩ කරගෙන වත්ත පිටියත් බලාගෙන හිටිය "
" මගෙ නෑනගෙ නම සිරිමලී.නමටම ගැලපෙන ඒ වගෙ සිරියාවන්ත කෙල්ලෙක් මම කවදාවත් දැක්කෙ නෑ මහත්තය.ඒ කෙල්ල නිසා මම මගෙ මොරෝමකං ඔක්කොම අතෑරල දාල හොඳ මිනිහෙක් උනා. මගෙ ජීවිතේට අලුත් බලාපොරොත්තුවක් අරමුණක් ආව.මම මගෙ මුලු හදවතින්ම සිරිමලීට ආදරේ කලා. ඒ කෙල්ලත් මට ආදරෙයි කියල කවදාවත් වචනෙන් නොකිව්වට මට ආදරෙයි කියල මම දැනං හිටියා. එව්ව කවුරුත් කියන්ඩ ඕන නැහැ, මහත්තය, ඒ වගෙ දේවල් දැනෙන්නෙ පපුවට "
" ඔහොම කාලයක් ගිහාම, කඩේ ටික ටික දියුණු වෙලා වෙලඳාම සරු උනා.ඔය කාලෙ මගෙ මල්ලිව කඩේ වැඩට ගෙන්න ගන්ඩ කියල අප්පච්චි කිව්ව, ඒ නිසා මම මල්ලිවත් එක්කගෙන ආව. ඔන්න ඔතන තමයි මහත්තය මට වැරදුනෙ "
" මල්ලිගෙ නම හීන්බණ්ඩා.මල්ලි මට වඩා අවුරුදු තුනක් බාලයි. සිරිමලීගෙ වයසට මට වඩා ගැලපෙන්නෙ එයා. ඇවිත් ටික දවසකින්ම මට තේරුනා මල්ලි සිරිමලී ගැන උනන්දු වෙනවා කියල.මල්ලි මට වඩා හැඩ රුවයි, පිළිවෙලයි.අනික මලී මට සෙනෙහෙවන්ත උනාට එයා කෙලින්ම මට ආදරෙයි කියල කියල තිබුනෙත් නැහැ "
මේ වෙනකොට මට බොන එක අමතකම වෙලා තිබුනෙ. ඒත් රන්බණ්ඩගෙ වීදුරුව හිස් වෙලා කියල දැක්කම,ගෙට ගිහින් තව බෝතලයක් ගෙනැල්ල මූඩිය කඩල අතට දීල, මම ආපහු ඉඳ ගත්ත.වීදුරුවක් පුරවගෙන රන්බණ්ඩා ආයෙම කතාව කියන්න පටන් ගත්තා.
මේ කොයිම වෙලාවකවත්, මිනිහ මාදිහාවෙ කෙලින් බැලුවෙ නැහැ. හඳ එලියෙ මිදුලෙ එහෙ මෙහෙ දඟලන, කණමැදිරි එළි දිහාවෙ බලාගෙනයි, මිනිහ කතාව කිව්වෙ. මමත් පුටුවෙ දිගා වෙලා ඇසුත් පියාගෙන බොහොම ඈත ලෝකෙකින් ඇහෙන, ගලාඑන හඬකට ඇහුම් කන් දෙනව වගෙ අහගෙන හිටියා.
" මේ ප්‍රශ්නෙ මගෙ හිතට රැයක් දවාලක් නැතුව වද දුන්නා.එක අතකින් මගෙ සෙනෙහෙවන්ත කම. අනික් අතින් සහෝදරකම. ඒ ඔක්කොටම වැඩිය මලීගෙ හිතේ අපි දෙන්නගෙන් කාටද සෙනේ කියල හරියටම නොදන්න නිසා හිතේ තිබිච්ච දෙගිඩියාව "
කතාව නැවතුනා. මම දෑස් බාගෙට ඇරියා.රන්බණ්ඩා වීදුරුව උඩට උස්සල, කට්ටෙ ගානට අරක්කු වක්කරගෙන, එක හුස්මට බීල, ආයෙම කතාව පටන් ගත්තා.
" ඒ දෙගිඩියාව එක දවසක නැත්තටම නැති උනා මහත්තය.නැත්තටම නැතිඋනා. එදා මම මල්ලිව පිටත් කලා එන්ඩ තිබ්බ ණය වගයක් එකතු කරගෙන එන්ඩ.මල්ලියි මායි දෙන්නම කෑවෙ මලීලගෙ ගෙදරින්.එදා දෙක විතර වෙනකනුත් මල්ලි ආවෙ නැති නිසා මම ඒ ලඟම බඹ පණහක් හැටක් එහායින් තිබ්බ මලීලගෙ ගෙදෙට්ට ගියා බඩගිනි වැඩි නිසාම "
මම ඇස් ඇරල පුටුවෙ කෙලින් වෙලා ඉඳගෙන වීදුරුව අතට ගත්තා.
" ගෙදර ඉස්සරහ දොර ඇරල දාල තිබ්බ නිසා මම කෙලින්ම කුස්සියටම ගියා. කුස්සියට ඇතුල් වෙච්චි මම එහෙම්මම ගල් වෙලා දොරකඩ නැවතුනා. මල්ලියි මලීයි දෙන්න කුස්සියෙ බංකුවෙ වාඩි වෙලා. මලී මල්ලිගෙ උරහිසට වාරුවෙලා. මල්ලි මලීගෙ මූණ ඉඹිනවා. මගෙ අඩි සද්දෙවත් නෑහෙන තරමට ඒ දෙන්න එයාලගෙ ලෝකෙ "
කතාව නවත්තල රන්බණ්ඩා ලයිට් එලිය වටේ කැරකෙන මැස්සො දිහා බලාගෙන හිටියා. වීදුරුවෙ අරක්කු ඩිංග මම උගුරට හලා ගත්තා.
" මාව ඉස්සෙල්ලම දැක්කෙ මලී. බය වෙච්ච පාර එහෙම්මම නැඟිටල බිරාන්ත වෙලා බිම බලාගෙන හිටියා. මල්ලි හෙමිහිට මගෙ දිහා නොබලම එලියට ගියා "
" මමත් එහෙම්මම ටික වෙලාවක් ගොලු වෙලා හිටියා. මට කියාගන්ඩ දෙයක් හිතාගන්ඩ වත් බැරි උනා ඒ වෙලාවෙ.එක අතකට මොනවයි කියල කියන්ඩද?එහෙම සිද්ධියක් ඇස් පනා පිට දැක්කම, තමන්ගෙ මුලු ජීවිතේම ඇස් පනාපිට කඩා වැටුනම මොනවයි කියල කියන්ඩද? ඒ වගෙ වෙලාවකට වචන වලින් කිසිම ප්‍රයෝජනයක් නැහැ මහත්තයා.කිසිම ප්‍රයෝජනයක් නැහැ. මහත්තයට තේරෙනව නේද මම කියන එක? " රන්බණ්ඩා කතාව පටන් ගත්තටම පස්සෙ පළවෙනි පාරට මගෙ මූණ බලල ඇහුවා.
මොනව කියනවද? රන්බණ්ඩා, ඔය වගෙ දේකට මමත් මූණ දීල තව සුමානයක් වත් ගියේ නැහැ, මම එහෙම කිව්වෙ නැහැ,ඔලුව විතරක් වනල ඔව් කියන එක ඇඟෙව්වා.
" එදා රෑ මම කෑවෙ නැහැ. කඩේ කලින්ම වහල දාල පිටිපස්සෙ කාමරේ ඇඳට වෙලා මගෙ ජීවිතේම කඩා වැටුනු හැටි හිත හිත හිටියා. ඔය දවස්වල මම අරක්කු බොන එක නවත්තලම දාල තිබ්බෙ. මලී මගෙ ජීවිතේට ඇතුලු උනාට පස්සෙ මට ඒ වගෙ දේවල්වල උවමනාවක් තිබ්බෙම නැහැ. ඒත් එදානම් මට හිත විකාර වෙනකල් බොන්ඩ ලොකුම ඕනකමක් තිබ්බට ඒකටවත් නැඟිටල එලියට යන්ඩ බැරි තරම් හිත වේදනාවෙන් පුපුරු ගහමින් තිබ්බෙ "
උදේ මම කඩේ ඇරියෙ නැහැ. ඉස්සරහ බංකුවෙ ඉඳන් පාර දිහාවෙ බලා ඉන්නකොට මල්ලි හෙමිහිට කඩුල්ල පැනල එනව මම දැක්කා.
" හීන්බණ්ඩා " මම කතාකලා. මල්ලි එහෙම්මම නැවතුනා. ඒත් මා දිහා බැලුවෙ නැහැ. " මල්ලි,මම අද ගමේ යනවා. ආයෙ එන්ඩ බලාපොරොත්තුවක් නැහැ. උඹ මේ කඩේ කරගෙන මෙහෙ හිටපං " මම අමාරුවෙන් ඒ ටික කියා ගත්තා.
මතු සම්බන්ධයි............