රූපවාහිනි වැඩසටහනක් නැරඹීමෙන් මුල් වරට දෙනෙතට කඳුළු පිරුනේ කළු හිසකෙස් ඇති රොබින්හුඩ් මිය ගියදා සේ මතකයේ ඇත. එයින් අනතුරුව නොයෙකුත් හින්දි චිත්‍රපටවල වීරයන් ගුටි කද්දි, වීරවීරිය නිවාස අඩස්සියට පත් වද්දී ඔවුන් වෙනුවෙන් හදපතුලෙන් නැගී ආ වේදනාවෙන් හොරෙන් හොරෙන් හැඬුවා මතකය.
තවද, ඉඳහිට හෝ ‘ක්යා මත්සේ ක්යාමත් තක්’ චිත්‍රපටයේ සේ වීරයා සහ වීරවරිය යන දෙදෙනාම හෝ එක්කෙනෙකු හෝ මියගිය විට බිම පෙරළි හඬන්නට ලැජ්ජාවෙන් ඉකි ගසමින් හැඬු හැටිද මතකය. ඒ ද නිදිමරාගෙනය. කාලයත් සමඟ රූපවාහිනි වැඩසටහන් හා චිත්‍රපටවලට හඬන හැඬුම් අමතකව යාම පුදුමයට කාරණයකි.
දැන් විකාශය වන බොහොමයක් වැඩසටහන් බැලුවද පෙනෙන්නේ නැත. වෙන වැඩක් නැති වේලාවක හෝ යමක් ගැන කල්පනා කරමින් සිටින විට හෝ රූපවාහිනිය දල්වාගෙන නෙත් යොමා සිටීම හැර උවමනාවෙන් බලන්නට දෙයක් අද විකාශය වන්නේම නැති තරම්ය. දැන් කල්පනා කර බලන විට එකල ද වැදගත් වැඩසටහන් විකාශය වී නැති බව සිතෙන අතර එකල නිදිමරාගෙන චිත්‍රපට බැලූ අපි නම් වූ පොඩි එව්වෝ දැන් අහුවුනා නං පස්ස පැත්තට දෙකක් දී ඇඳට දමන බවද සහතිකය. :)
Life is Beautiful
පසුගිය සෙනසුරාදා රාත්‍රී 10.30 ට පමණ රූපවාහිනිය දල්වා ගත්තේ ද කල් මැරීමේ උවමනාවට මිස යමක් දැකීමේ උවමනාවෙන් නොවේ. ඒ සැමිතුමා එයාලාගේ “කොල්ලෝ ටික” හා එක් ව වාර්ෂික අවුරුදු සැමරුමට එක්වීමට ගොස් සිටි නිසාය. කෙසේ හෝ ස්වාධීන රූපවාහිනියේ විකාශය වෙමින් පැවති චිත්‍රපටය විනාඩි කිහිපයක් ගත වද්දීම මගේ අවධානය දිනා ගැනීමට සමත්විය. එය දුටුමතින් හිතුනේ චාලි චැප්ලින් ගේ කාලයේ නිපදවූවක් ලෙසය. එහි නම වූයේ, Life is Beautiful යන්නයි.
වේදිකා නාට්‍යයක සේ දෙබස් සහිත වූ එහි දිව ගිය ආදර කථාව සරළ, අතිශයින් සිත් ඇදගන්නා සුළු වූවක් විය. ඉහළ මධ්‍යම පාන්තික ඉතාලි ජාතික යුවතියක් හා තමාගේම පොත් හලක් ආරම්භ කිරීමේ බලාපොරොත්තුව ඇතිව, සිය මාමාගේ ආපනශාලාවේ වේටර්වරයෙකු සේ සේවය කරන යුදෙව් තරුණයකු අතර ඇති ආදර කථාව ප්‍රේක්ෂකයා සිනා ගන්වමින් දිවයයි. ඔහු, ඇගේ සියලු නෑ හිතමිතුරන් ඉදිරිපිටදී සිය ආදරවන්තිය රැගෙන යන්නේ ඇය හා විවාහ අපේක්ෂිත ව සිටිනා තරුණයා අන්දමන්ද කරමිනි.
ඔවුන්ගේ පුත් ජොෂුවා හා ඔවුන් දෙදෙන ඉතාමත් සාමකාමී සතුටු පිරුණු පවුලක් ලෙස චිත්‍රපටය අපට පෙන්නුම් කරයි. ප්‍රධානම වැදගත්දේ මෙහි පියා සර්වසුභවාදි ලෙස සිතන අයෙකු වීමයි. කිසිම දුක්බර දේකට ඔහුගේ මුහුණට දුකක සේයාවක් වත් ගෙන ඒමට හැකියාවක් ලැබෙන්නේ නැත.
දිනක් පිය පුතු දෙදෙනා ඔවුන්ගේ පොත් හල වෙත යන විට, අසල රසකැවිලි හලක් වෙත පුතු දිව යයි. “යුදෙව්වන්ට හා බල්ලන්ට ඇතුළුවීම තහනම්” එහි සඳහන් වැකිය දුටු පුතු හැකිලි පියා වෙත දිව එයි. ඒ ඔවුන් යුදෙව්වන් නිසාය. එහිදී පියා පුතු සනසන ආකාරය සරළය. සියුම්ය. විනෝදයක් ගෙන එයි. එහෙත් ඒ වැකි පෙලට යටින් දිව යන උපහාසය තේරුම් ගත යුතුව තිබේ.
කෙසේ හෝ ඒ ලස්සන පවුල වෙත අභාග්‍ය පැමිණේ. පුතුගේ උපන්දිනය දා අම්මා සිය මෑණියන් කැඳවාගෙන ඒමට ගොස් සිටියදි හිට්ලර්ගේ හමුදා විසින් පිය පුතු දෙදෙනාත් ඔවුන්ගේ නෑයින් සමූහයත් රැගෙන යයි. ජොෂුවාගේ අම්මා පැමිණ සිදු වී ඇති දෙය වටහා ගන්නී, ඇය ද විගස ඔවුන් පසු පස යන්නීය. ඇය යුදෙව් ජාතික කාන්තාවක් නොවුවත් හමුදා නිලධාරියා හා කථා කොට එම දුම්රියට ම නැග ගන්නීය. අනතුරුව දිව යන කථාව මා කියනවාට වඩා ඔබ ම නැරඹීම වඩා සුදුසු බව මා මෙන්ම ඔබද සිතනු ඇතැයි සිතමි. චිත්‍රපටය අවසන් වන විට බොහොම විට මා මෙන් ම ඔබද හඬමින් සිටිනු ඇති බව මට සිතේ.
ඉතාමත් අනුවේදනීය වූ කථා ප්‍රවෘත්තියක්, සර්ව සුභවාදී චරිතයක් හා නාට්‍යමය ස්වරූපය භාවිතා කරමින් සාර්ථක ව ඉදිරිපත් කර තිබීම අපූරුය. පියෙකුගේ දාරක ස්නේහය, සැමියෙකුගේ ආදරය, මිනිසකුගේ දරාගැනීමේ ශක්තිය, ඕනෑම දුකක දී එයට සිනා මුසුව මුහුණ දීමේ හැකියාව ආදී වු නොයෙකුත් දේ මුළු චිත්‍රපටය පුරාවට ම අපට පෙන්නුම් කරයි. ඒ පියා තරම් දුක් කරදර දරා ගැනීමට සැබෑ ලෝකයේ මිනිසුන්ට නොහැකි වුවත්, තමන්ගේ ජිවන අන්දරය සාර්ථක ව ලියා ගැනීමට යහපත් මිනිසුන්ට මෙම චිත්‍රපටය ඉවහල් වනු නොඅනුමානය.
ජර්මන් බස නොදත්ත ද නාසි නිලධාරියා ගේ කථාව, සිය පුතුගේ හිත හැදෙන පරිද්දෙන්
පරිවර්තනය කරන්නට ඉදිරිපත් වෙමින්
හිට්ලර්ගේ වදකාගාර වල දී තිබූනු අප කියවා අසා තිබෙන තදබල නීති අනුව මෙහි දැක්වෙන සේ කටයුතු කිරීමට හැකි වූවාද යන්න නම් ගැටළු සහගතය. මූලික කථාවට හානී නොවන පරිදි කටයුතු කිරීම නිසා එසේ වන්නට ඇතැයි සිතමි.
දහසක් දේ කියැවුනු අවස්ථාව
මුළු කථාවම සර්වසුභවාදී පියා කේන්ද්‍ර කරගනිමින් ඔහු වටා දිව ගියද, අප චිත්‍රපටයෙන් කියවා ගත යුතු තවත් වැදගත් යමක් මම දිටීමි. මෙය කියවන මගේ මිතුරු පිරිස, පසු ලියැවිල්ලක් සේ මට ම එය ලියන්නට ඉඩ නොතබාවී දෝ කියා විමසා බලන්නට සිතුවෙමි. චිත්‍රපටය නරඹන්න. සමහරවිට සංවේදී ඔබ මනසට ද මසැසින් එය ගෙනයාවි.
චිත්‍රපටයේ වගතුග හා ලැබූ සම්මාන
මෙහි ප්‍රධාන චරිතය රඟ දක්වන Roberto Benigni මෙහි අධ්‍යක්ෂවරයා වන අතර Vincenzo Cerami හා එක්ව මෙය ලියා ඇත්තේද ඔහු විසිනි. චිත්‍රපටයේ ඔහුගේ බිරිඳගේ චරිතය රඟ දක්වන්නේ, සැබෑ ජීවිතයේද ඔහුගේ බිරිඳ වන Nicoletta Braschi වන අතර ඇය ඔහුගේ නිර්මාණ බොහොමයක ප්‍රධාන චරිතය රඟ දක්වා තිබේ.
පෙර දී සඳහන් කල පරිදි මෙය දුටු මතින් දැනෙන්නේ චාලි චැප්ලින් යුගයේ චිත්‍රපටයක් සේ වුවද, මෙය නිපදවා තිබෙන්නේ 1997 වර්ෂයේදීය. 1998 කැනාස් අන්තර්ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙම චිත්‍රපටය 71 වන ඇකඩමි සම්මාන උළෙලේ හොඳම සංගීතය, හොඳම නාට්‍යානූරූපී චිත්‍රපටය, හොඳම විදේශ චිත්‍රපටය හා හොඳම නළුවා යන සම්මාන ද දිනාගෙන ඇත. එයට අමතරව හොඳම අධ්‍යක්ෂණය ආදී වූ තවත් සම්මාන තුනකට නිර්දේශ වී තිබේ.
චිත්‍රපටය මෙතැනින් ඩව්න්ලෝඩ් කරගත හැකිය.
චිත්‍රපටය මෙතැනින් ඩව්න්ලෝඩ් කරගත හැකිය.