Tuesday, December 11, 2012

146. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....27


එදින පටන් දඩයක්කාරයා සහ සුද්දී, ( මහෝඝයෙහි ගසාගෙන පැමිණි ඒ අපූර්ව යුවතිය නමින් සුද්දී බව මේ දින කිහිපයට ඔබගේ මතකයෙන් බැහැරව ගොස් නොමැති බව උපකල්පනය කරන්නෙමි ) ඒකාකාරී ජීවන රටාවකට හුරු වූවෝය. තම සුපුරුදු නිශ්ශබ්ද සහ නිසංසල ජීවන රටාව යලි කිසිදිනෙක අනුගමනයකිරීමට නොලැබෙන බව මනාව වටහාගත් නමුදු දඩයක්කාරයා තම දෛවය අනුව නියම වූ පරිදි සුද්දී සමඟ ජීවිතයට කෙමෙන් හැඩගැසුණේය. 

සුද්දීගේ ආගමනයක් සමඟම දඩයක්කාරයාගේ ජීවිතය ඔහු කැමති වුවද අකමැති වුවද විශාල විපර්යාසයකට බඳුන් විය.මෙතෙක් ඔහු ගත කලේ වනයේ නිදැල්ලේ වැඩෙන වල් සතකුගේ ජීවිතයට වඩා ඉතාමත් මඳ වශයෙන් පමණක් වෙනස් වූ දිවියකි. 

හුදෙකලාව දිවිගෙවන සමයෙහි ගෙපැලෙන් බැහැරව දින දෙකතුනක් වනයේ වන සතුනගේ චර්යාවන් නරඹමින් මින් පෙර පය නොගැටුණු මහ හිමයේ දුර බැහැර ඉසව්හි කිසිදු අරමුණක් රහිතව ඉබාගාතේ සරමින්කාලය ගත කිරීමට දඩයක්කාරයාහට කිසිදු ගැටලුවක් උදක්ම නොවීය. එහෙත් සුද්දිය ඔහුගේ ජීවිතයට ඇතුළු වූ දා පටන් රාත්‍රියෙහි ඝනාන්ධකාරය වන පෙත වසා පැතිර යාමට ප්‍රථම ගෙපැල වෙත ළඟාවීමට ඔහු කෙළෙසක හෝ වග බලාගත්තේ ඒ තමන්ගේ යුතුකම බව වටහාගත් සෙයකිනි. 

එසේම දඩයක්කාරයා යනුවෙන් හැඳින්වුවද සතුන් ඝාතනය ඔහු දැඩි ලෙස පිළිකෙව් කළේය. දඩයම බලවත් ලෙස අරුචි කල දඩයක්කාරයෙක් යන්න ඔබට මහත් උත්ප්‍රාසාත්මක යෙදුමක් ලෙස දිස්වනුයේ නම් මම ඔබට කිසිසේත්ම දොස් නොපවරන්නෙමි.එසේමය ඒ උත්ප්‍රාසය දනවන්නෙකි. එසේම ඒ පරම සත්‍යය ද වන බව මම ඔබට පවසන්නෙමි. 

එදවස දඩයමට වූ බලවත් අකමැත්ත හේතුකොටගෙනම සහල් මිටක් හෝ ඉරිඟු කරලක් හෝ දෙකක් ගෙපැලෙහි සොයාගත නොහැකිවූ කල්හි දිනක් හෝ දෙකක් හීං ඇළෙහි ගලායන්නා වූ සිහිල් දියෙන් සැණහී නිරාහාරවම ගෙපිලෙහි වැතිර නින්දට යාම ඔහුට කිසිසේත් අරුමයක් නොවීය. 

එහෙත් සුද්දීගේ අනපේක්ෂිත ආගමනයත් හා සමඟම ඔහුගේ ජීවිතයේ නිරායාසයෙන් සිදුවූ දහසකුත් එකක් වෙනස්කම් අතර ප්‍රධාන වූයේ ද ප්‍රස්තුත කාරණයමැයි. බලවත් අකමැත්ත මැඩපවත්වාගෙන අවම වශයෙන් දින තුනකට වරක් හෝ දඩයමෙහි යෙදීමට ඔහුට සිදුවීය. දඩයමෙහි යෙදීමට දඩයක්කාරයා හට බල කෙරෙනු ලැබීය. 

ජීවිතයේ සිදුවන්නාවූ තමන් අරුචි දෑ උපේක්ෂාසහගතව නොසැළී පිළිගැන්මට ඔහුගේ වූ සහජ නැඹුරුව උක්ත කුදු මහත් විපර්යාස සියල්ල මුවින් නොබැණ ඉවසීමට මතු නොව ඒ තම ඉරණම යයි සිතා ඒ අනුව කටයුතු කිරීමටද දඩයක්කාරයාට උපස්ථම්භක වූයේය. 

හරිත තුරු ලතාදියෙන් සැදුම්ලත් වන පෙත ගෙපැලට අත පොවන මානයතෙක් නොනැවත වර්ධනය වූයේ අවම වශයෙන් කැති පහරක හෝ බාධාවකින් තොරවය. ගෙපැල සත්‍ය වශයෙන්ම වනයටම බිලි නොවූයේ වසරේ බක් මස පටන් නිකිණි වැස්ස දක්වා වූ වෙල්ලස්සේ හරිත පත් කසාවන් පරඬැල් බවට හැරවෙන දෘඩතර නියඟය වාර්ෂිකව ස්වභාවික මර්දකයක් ලෙස තම කාර්යය අනලස්ව ඉටු කල බැවිනි. 

යුවතිය ගෙපැලෙහි වාසයට පැමිණ බොහෝ දිනක් ගත නොවීය. මෙතෙක් කිසිදු උපද්‍රවයකින් තොරව වර්ධනය වූ වන බූටෑව ගෙපැල ඉදිරිපිට වූ කඩුල්ල ද ඉක්මවා පසු බසිනට සිදු වූයේය.ගෙපැල පසුපස බිත්තියට හේත්තු කොට මළ කා දුර්වර්ණ වී ගිය කැති තලයක් හරඹ කරමින් සුද්දී වෙහෙසෙන අයුරු දුටු දඩයක්කාරයා කම්මලට ගොස් පණ පොවාගෙන ආ කැති තලයකට මිටක් සවිකොට වන බූටෑව කපා හෙලි පෙහෙලි කිරීමට ඇයට සහාය විය. 

එතෙකින් නොනැවතුනු ඈ ගෙපැලෙහි කැඩී බිඳීගිය තැන් අඩුලුහුඬුකම් තමනට හැකි පරිදි සම්පූර්ණ කොට ඒ ප්‍රියමනාප මෙන්ම පිරිසිදු වාසස්ථානයක් බවට පත් කරවූවාය. 

ජීවිතය පිළිබඳ කිසිදු අරමුණක් හෝ ඉදිරි බලාපොරොත්තුවක් තබා යටත් පිරිසෙයින් ඒ පිළිබඳව කිසිදු හැඟීමකින් හෝ තොරව ඉබාගාතේ දිවි ගෙවූ අප කථානායක තෙමේටද මේ නව විපර්යාසයට හැඩ ගැසෙන්නට සිදූවූයේය. 

ගෙපැලෙහි පියස්ස හෙවිල්ලා අළුත් වැඩියා කරනු උදෙසා ඉළුක් රැගෙන එනු පිණිස දිනෙක සුද්දී උදෑසනින්ම කැති කොටයක් ද රැගෙන හීං ඇළ එගොඩ ඉස්මත්තේ චිරාත් කාලයක් හේන් කෙටීම උදෙසා ගැමියන් වන පෙත ගිණි ලෑම නිසාම හටගත් තලාව කරා පිටත් වනු දුටු දඩයක්කාරයාද ඇය පසුපස වැටුණේ කිසිදු නිශ්චිත අරමුණකින් තොරව නිරායාසයෙනි. 

එසේම තනමත්තක් උසට වර්ධනය වී පෙනෙනා තෙක් මානයේ පැතිරගිය ඉළුක් යායට වදින්නට තැත්කල සුද්දීගේ සුරත ග්‍රහණය කොට හෙතෙම ඇය නතර කරනුයේද කිසිදු නිශ්චිත අදහසක් හෝ අරමුණක් සහිතව නොව හුදෙක් නිරුත්සාහකවය. 

එහෙත් ඇගේ සුරතින් කැති කොටය රැගෙන ඈ දෙස මොහොතක් බලා හුන් දඩයක්කාරයා ඉක්බිති ඉළුක් යායට වැද ඉළුක් කපන්නට වූයේ තමන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙන්ම ඒ කුමක් උදෙසාද යන්න පිළිබඳවද නිශ්චිත වූ අදහසක් සිතෙහි දරාගෙනය. 

ඔහු ආයාසයකින් තොරව කැපූ ඉළුක් පඳුරු තැනින් තැන විසිරුවා දමනු දුටු ඇය හිඳගෙන හුන් ගල් තලාවෙන් බැස ඔහු ඇමතුවාය. 

'' මේ අයියෙ...ඔය කපන එව්ව තැං තැං වල විසු කොරන්නෙ නැතුව මේං මෙහෙම එක තැනකට ගොඩ ගහන්ටකො ......'' 

සිනා මුසු මුවින් ඈ පැවසූවට ඔහු හිස වනා එකඟතාවය පළකළේ නිරතව හුන් කාර්යය නැවැත්වීමකින් පවා තොරවය. 

කැපූ ඉළුක් සවිමත් කැබැල්ල වැල් පොටකින් තරව බැඳගත් ඔවුහු තුන් හතර වරකට ඒ හිස තබා රැගෙනවිත් ගෙමිදුලෙහි ඇතිරූහ. 

ගිණි උඳුනක උණුසුම පරදන දැඩි හිරු එළියේ වරුවක් අතුරා හේබා ගිය ඉළුක් එක්ට හිප්පා සවිමත්ව මිටි බැඳීමට දඩයක්කාරයාහට සුද්දී සහාය වූවාය. 

තරුණයා සහ තරුණිය එකතුව ගෙපැළෙහි වහල හෙවිල්ලා අවසන් වූයේ කළු කපා අඳුර අවට පරිසරය වසාගෙන හෝරාවකට ආසන්න කාලයක් ඉකුත්වූ ඉක්බිතිය. 

උදෑසන පටන් එක එල්ලේ විවේකයක් නොමැතිව වෙහෙස වීමෙන් කාර්යය අවසන් වන විට දඩයක්කාරයා මෙන්ම සුද්දීද බලවත් ලෙස විඩාවට පත්ව සිටියෝය. අවසන සියළු කටයුතු නිමා කල අනතුරුව මොහොතින් මොහොත කැටි ගැසෙන අඳුර අතරින් පිය මනිමින් ඔවුහු හීං ඇළේ වක්කලම වෙත ළඟා වූවෝය. 

ඒ මහා ගංවතුර බැසගොස් මසකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. එලෙසම සුද්දී ඔහු හා වාසයට පැමිණ ද එලෙසම වූ කාලයක් ගෙවී ගොසිනි.මේ මුළු කාලය තුල දඩයක්කාරයා තරුණියගේ නිරුවත එකද වරක් හෝ නොදුටුවේය. එසේමය. එහි කිසිදු අරුමයක් නොමැත්තේය. ඒ දඩයක්කාරයා අවිඥාණකව එවන් අවස්ථා මඟ හැරීමට ක්‍රියාකල බැවිනි.බිම් කළුවර පතිත වෙද්දී ගොම්මනේ ගෙපැළ බලා එන දඩයක්කාරයා කිහිප දිනයක්ම හීං ඇළේ වක්කලමේ දිය කෙළිමින් සුද්දි ස්නානය කරන හඬ අසා හිටි පියවර නතර වූයේය.සිහින් හඬින් කුමක් දෝ කවි පද කිහිපයක් ද මුමුණමින් කෙළිදෙලෙන් ඇය ස්නානය කරන ශබ්දය මොහොතක් අසා හුන් දඩයක්කාරයා නිසොල්මනේ ගෙපැල වෙත පැමිණියේය. 

සුද්දි ස්නානය කරනුයේ පූර්ණ නිරුවතින් බව හොඳින් දන්නා නමුදු කිසිම විටෙක එදෙසට ගොස් ඇගේ නිරුවත නැරඹීමෙහි ලා කිසිදු පෙළඹවීමක් හෝ ආශාවක් තමා තුල ඇති නොවනුයේ මන්දැයි විශ්ලේෂණය කොට සිතා බැලීමට ඔහු කාලය මිඩංගු නොකලේය. ඒ ඔහුට තවත් එක් සංසිද්ධියක්ම පමණක්ම විය. 

ගම් නායකයාගේ තරුණ දියණිය හා සමඟ දඩයක්කාරයාගේ වූ ඉතා ලුහුඬු සම්බන්ධය පිළිබඳව මම ඔබට පැවසුවෙමි. එසඳ ඒ යුවතිය නෙත ගැටුනු වහාම දඩයක්කාරයාගෙ සිතතුල හටගත් ආශාව සහ අනුරාගය සුද්දී දුටු කල්හි ඔහු තුල හට නොගන්නේ මන්ද යන්න ඔහුට උභතෝකෝටික ගැටළුවක්ම වූයේය. එහෙත් ඒ පිළිබඳව වැඩි දුර සිත වෙහෙසවීමට ඔහුට කිසිසේත්ම අවශ්‍ය නොවීය. 

එහෙත් දඩයක්කාරයා තම සුපුරුදු උපේක්ෂාවෙන් යුතුව අවලෝකනය කොට කිසිදු තැකීමකින් තොරව ඉවත හල ප්‍රස්තුත කාරණය පිළිබඳව ඒ හා සමාන ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට සුද්දීට කෙසේවත් හැකිවූයේ නැත. 

නව යොවුන් වියේ පසුවන යුවතියක සිතෙහි නිරායාසයෙන් හට ගන්නා වූ කාමාශාවට අතිරේකව ඇගේ චිත්තාභ්‍යන්තරය නිරතුරු කොණහමින් ඇයට වද දුන් තවත් එක් කරුණක් වූයේය. මව සහ පියා හැරෙන්නට මේ මිහි මත සුද්දීගේ ඥාතීයකු හෝ හිත මිත්‍රයකු වශයෙන් කිසිවෙකු ඇය දැන සිටියේ නැත.එබැවින් හුදු අහඹුවකින් ඇගේ ජීවිතයට ඇතුළු වූ දඩයක්කාරයා ඇයට එකම හිතු මිතුරා මෙන්ම ආරක්ෂකයා ද වූයේය. 

තම මතු දිවිය සුරක්ෂිත කොටගනු උදෙසා ගත යුතු ප්‍රශස්ත පියවර තම ආරක්ෂකයා හා සමඟ ඉතා සමීප සබඳතාවයක් ඇතිකරගැන්ම බව එකහෙලාම අවබෝධ කරගත් සුද්දී ඒ මුදුන්පත් කරගනු උදෙසා සියලු උපක්‍රම යෙදුවාය. 

එදවස හුදකලාව ජීවිතය ගෙවූ කල්හි දඩයක්කාරයා බොහෝ විට නින්දට වන්නේ පිල් කඩෙහිය. යුවතිය ඔහු හා වාසයට පැමිණි පසුවද එහි කිසිදු වෙනසක් නොවීය. සුද්දීට නිදනු පිණිස සවිමත් දඬු වලින් ඔහු ගෙපැලෙහි එක් පසෙක මැස්සක් තනා නිම කලේය. ඒ මත ඇතිරූ මුව සමක් මත ඇය නිදන අතර දඩයක්කාරයා සුපුරුදු ලෙස පිල්කඩෙහි නින්දට වන්නේය. 

යුවතිය ගෙපැළෙහි වාසයට පැමිණ ගත වී තිබුණේ දින කිහිපයකි. ඉර හැරුණු හෝරාවෙහි පටන් ඇරඹි පොද වැස්ස අඳුරු වැටෙන විටත් තුරල්ව නොතිබිණි.සුපුරුදු ලෙස පිල්කඩෙහි වැතිරගත් දඩයක්කාරයා කඩමාළු වී ගිය පොරෝණය තුල ඇකිලී නින්දට වන්නේය.එහෙත් මධ්‍යම රාත්‍රිය ගෙවීයන්නා හාම ඔහුගේ උරහිස දැඩිව සොලවා කිසිවකු ඔහු අවදිකරවීමට තැත්දරනු දැනී හේ වහා දැස විවර කලේය. 

ඇය ඔහු දෙස දැඩි අනුකම්පාවෙන් යුතුව විසල් කොටගත් දැසින් යුතුව බලා සිටියාය. 

'' අනේ අයියෙ…. අයිය මෙහෙම එළියෙ හීතලේ කුදහනකොට මම කොහොමද ඇතුලෙ නිදියන්නෙ?....එක්කො අය්යත් එන්ට ඇතුලට...නැත්නම් මාත් එනව මෙතනට…'' 


යුවතිය නිදන දඬු මැස්ස වූයේ පසුපස ගෙපැළෙහි බිත්තියට ආසන්නවය. දඩයක්කාරයා නිදන්නට වූයේ දොර පැළැල්ල අසලම අතුරාගත් වියළී දරදඬු වී ගිය මුව සමක් මතය. 

මෙසේ ගෙතුල නිදන්නට වන් බොහෝ දිනවල රාත්‍රියේ වශ්චිම යාමයක්ද ගතවනතුරු ඔහු නින්දට පිවිසීමට අපොහොසත් විය.කුඩා කල සිටම සුළු ශබ්දයකින් හෝ අවදිවන සුළු සැහැල්ලු නින්දකට පුරුදුව සිටි දඩයක්කාරයාට පියවර කිහිපයක් ඔබ්බෙන් නිදන සොඳුරු තරුණ යුවතියක හා සමඟ ඇය නොසලකා නින්දට පිවිසීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවිණි.එසේම ඔහු මෙන්ම ඇයද නිදි වර්ජිත බව එහා මෙහා පෙරළෙමින් වරින් වර නඟන සුසුම් හඬ කියාපෑවේය. 

එහෙත් කුමන හෝ දඩයක්කාරයාට වටහාගත නොහෙන යම් හේතුවක් නිසා ඇය කෙරෙහි කිසිදු අනුරාගී සිතුවිලි මාත්‍රයක් හෝ ඔහු සිතෙහි නූපන්නේය. 

මතු සම්බන්ධයි........ 

14 comments:

  1. මං මේ තකහනියක් ආපහු ගොහින් බැලුවෙ කවද්ද මේකිගෙ නම සුද්දි කියලා අපට කිවුවෙ කියලයි.. බොලේ හැබෑට, එහෙම කියාලා තියෙනවා නොවැ.. :)

    පලි: නොදකිං මේ ගෑනු තමන්ගෙ පොරෝජනේ වෙනුවෙන් අහිංසක පිරිමින්ව පොළෝඹගන්න හැටි.. :P

    ReplyDelete
    Replies
    1. අනේද කියන්නේ බුරෝ..මේක ලියන්නේ පිරිමියෙක් බොල . DD

      Delete
    2. අනේ නෑ බොලව්...සුද්දි ගැන බොහෝම අනුකම්පා සහගත දුරුස්ටි කෝනෙකිං තමයි මම බැලුවෙ....තමන්ගෙ පැවැත්ම ගැන සලකල බැලුවම ඒ මනුස්ස දූට වෙන කරන්ට දෙයක් තිබුනෙම නෑ.....

      Delete
  2. //එදින පටන් දඩයක්කාරයා සහ සුද්දී, ( මහෝඝයෙහි ගසාගෙන පැමිණි ඒ අපූර්ව යුවතිය නමින් සුද්දී බව මේ දින කිහිපයට ඔබගේ මතකයෙන් බැහැරව ගොස් නොමැති බව උපකල්පනය කරන්නෙමි ) ඒකාකාරී ජීවන රටාවකට හුරු වූවෝය. තම සුපුරුදු නිශ්ශබ්ද සහ නිසංසල ජීවන රටාව යලි කිසිදිනෙක අනුගමනයකිරීමට නොලැබෙන බව මනාව වටහාගත් නමුදු දඩයක්කාරයා තම දෛවය අනුව නියම වූ පරිදි සුද්දී සමඟ ජීවිතයට කෙමෙන් හැඩගැසුණේය.//

    ඉතා වටිනා අවස්ථාවක් මග හැරී තිබේ. "ඉක්බිති ඔවුහු සතුටින් ජීවත් වූහ" වගේ සුට්ටං කෑල්ලක් මේ කොටස අගට එකතු කිරීමෙන්, මේක මෙතනම අහවර කිරීමට තිබුණේය.

    ReplyDelete
    Replies
    1. ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් උනේ නෑනෙ බං..... That's the broom here, my dear thisara ..heh, heh,

      Delete
  3. මන් උන්නේ ''කසාදයෙන් පසු ජීවිතය එකාකාරී විණැයි '' අවලාද නගන ..සාමාන්‍ය කතාවක් වුනා කියා . නැත නැත මගේ බලවත් චිත්ත පිරිතිය බලද්දී මේ දඩ් වෙජිටෙරියන්ය . ''මස් මාංශ'' ගැන ඇල්මක් නැත්තේමය . නිවාඩුව අහවර වගෙය . නැත්නම් ''ඉඳල හිටලා ගෙදර එන්නේ . ඒ ඇවිල්ලත් පොත මයි'' කියා අක්කණ්ඩිය ගමරට ගොස් වත්ද ..[ ''අම්මපා මේ ගෑනු ඕන නැති එකක් නැහැ .කතාව කියවල නිකා ඉන්නැතුව .''.] . ඔය කුටු කුටු ගැන එව්වා අපට ඇහෙන්නේ නැහැ කියලද හිතන් ඉන්නේ ..D

    ReplyDelete
    Replies
    1. අනේ නෑ බොලේ..ඒ අහිංසකී මොකවත් කලේ නෑ..අලුත් කොම්පියුටරයක් ගත්ත..ඒකෙ හිංගල වල ලෙඩක් බින්දි....යුනිකෝඩ් වලින් ලියද්දි ටයිප් කරල තත්පර 30 කට විතර පස්සෙ තමා සිංහල අකුර වැටෙන්නෙ....වැරදිල තිබ්බොත් එහෙම ආය හොදි ඕන නෑ..දැන්නම් යාන්තමට එක විදිහක්...ඒත් තාම පරණ ස්පීඩ් එකට ආවෙ නෑ...ඒ අව් අස්සෙ අර මල්දම ලියන්ටත් එපාය..ඔව්ව මෙව්ව නිසා තමයි මේ පාර සති තුනක්ම පරක්කු උනේ.....සමාවන සේක්වා!!!

      Delete
  4. මේ යකාට මොනවා වෙලාද......

    ReplyDelete
    Replies
    1. කාටද බං?...මටද? දඩයක්කාරයටද?....මට වෙච්චි දේනං ආන්න උඩහ ලියද්දෙදි බින්දිට කිව....

      දඩයක්කාරය ගැනනං උඹ අහන්නෙ උන්දැ ඇවිල්ල බොහොම සංකීර්ණ චරිතයක්...උන්දැටවත් උන්දැව තේරුම් ගන්ට බෑ බොහොම වෙලාවට.....:) :)

      Delete
  5. දඩයක්කාරයත් බූට් එකක් කන්න ඇති ඉස්කෝලෙ කාලෙ.. ඒකයි ඔය :P

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, ඒකත් කියන්න බෑ තමයි....යසිත්,

      Delete
  6. උත්ප්‍රාසය දනවන ලදි!!!!! එය පරම සත්‍යයක් යැයි ද අවබෝධ විණ!!!!!!

    ReplyDelete
    Replies
    1. ඔබට ඒ අවබෝධ විනිනම් එපමණකි!!!! මාගේ වෑයම සඵල වූයේ යයි සිත මහත් වූ ආනන්දයෙන් පිරී ඉතිරී ගියේය අරුණි!!!!!

      Delete
  7. දඩයක්කාරයවයි කෙලීවයි දැකපු කල්! :D

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...