Wednesday, January 30, 2013

158. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....31

 
විසල් වූ වාළිඹේගල ගිරිහිස දඩයක්කාරයාගේ දර්ශන පථය සිසාරා නැඟී සිටියේ තම ශක්තිය පිළිබඳ දෘඩතර සහ නොසැළෙන විශ්වාසයකින් යුතුව, කිසිවක් හෝ කිසිවෙකු කෙරෙහි තැකීමකින් තොරව අනන්තය දෙස යොමුවූ දෙනෙතින් යුතුව මිහිමත එරමිණිය ගොතා හිඳ සිටිනා යෝධයකු පරිද්දෙනි. කෙමෙන් අස්තගත හිරුමඬලෙන් නික්ම තැන තැන රැකවලුන් මෙන් පිහිටි විසල් ගල්කුළු රත්පැහැයෙන් වර්ණ ගැන්වූ රත්වන් සැඳෑ හිරුරැස් පහස විඳිමින් ඔහු වාලිඹේගල මස්තකය වෙත ලඟාවෙමින් සිටියේය.

මෙතෙක් සුළඟේ තීව්‍රතාව සහ හමාඑන දිශාව අනුව අඩු වැඩි වෙමින් කඩින් කඩ ඇසුණු ඒ ළයාන්විත ගීත රාවයක් වන්වූ හඬ අනවරතව ඇසෙන්නට වූ අතර දඩයක්කාරයා පසුකොට යන වන පියස කිසිදු සත්ව හඬකින් හෝ තොරව දැඩි නිශ්ශබ්දතාවයෙහි නිමග්නව පැවතීම අපුර්ව වන්නා හා සමඟම ඔහු සිතට මින් පෙර කිසිදිනෙක නොවූ වීරූ ගුප්තමය හැඟීමකින් පුරවාලීය.

අවසන හිරු බැසයාමට අඩ හෝරාවකට පමණ පළමු දඩයක්කාරයා ගිරිහිස මස්තකයට මඳක් පහලින් පිහිටියාවූ නොයෙක් හැඩයෙන් යුතු ගල් කුළුවලින් රැසකින් ගැවසීගත් කුඩා තැනිබිමක් වන් වූ එතැනට ළඟා වූයේය.එහි කෙළවරෙක ඉදිරියට නැමීගත් ගල් පියස්සෙක සෙවණේ ඒ සුවිසල් ගල් ගුහාව පිහිටියේය.

අරමුණකින් තොරව ඉබාගාතේ වනයේ ඇවිද යන කල්හි කිහිප වරක් දඩයක්කාරයා මේ තැනිබිමටද පැමිණ ඇත. අවසන් වරට ඔහු මෙතැනට පැමිණියේ මීට වසරකට පමණ පෙර බව දඩයක්කාරයාට හදිසියේම සිහිවිය.එදවස මේ ගල් ගුහාව දිවි දෙනකගේ නිවහන විය.එදිනද මෙසේම සැඳෑ හිරුගේ රත්පැහැ කිරණ පසුබිම්කොටගෙන දිවිදෙන තම පැටවුන් හා කෙළිදෙලෙන් ගුහාව අභියස වැතිර හිඳිනා අයුරු සෙල් පිලිමයක් සේ නිසලව නුදුරින් වූ ගල් කුලක් මත හිඳ බොහෝ වේලාවක් බලාහුන් මතකය දඩයක්කාරයාගේ සිත පහන් කලේය.

ඒ ගීතමය සජ්ජායනාව නික්මෙනුයේ නිසැකවම ගල් ලෙන අභ්‍යන්තරයෙන්ම බව ඔහුට පසක් වූයේ ඔහු පියවර තබනා වේගය මඳක් බාල කරවමිනි.ජීවිතයේ කිසි දිනෙක මින් පෙර නෑසූ විරූ ඒ ලයාන්විත ගායනය ගල් ලෙන අභ්‍යන්තරයේ පැන නැංගේ කුඩා තැනිතලාව සිසාරා ගලා ගොස් පහළ තුරු මුදුන් පමණක් කෙමෙන් දැඩි වන්නාවූ සැඳෑ අඳුර අතරින් යන්තමට දිස්වන මහ වන පියස එකනින්නාද කොට මැකී ගියේය.

ගල්ලෙන වඩාත් ආසන්නයට ළඟාවීමට කිසියම් චකිතයක් වන් හැඟීමක් හේතුකොටගෙන පැකිලුනු දඩයක්කාරයා ඒ තැනි බිම්කඩෙහි ගල්ලෙන් ද්වාරය එක එල්ලේ පියවර පන් තිසක් පමණ මොබ්බෙන් වූ හාත්පස පැතිරගිය හරිතවන් පත්ගොමුවෙන් හා අහසට නැඟුනු මහත්වූ ශාඛාවන්ගෙන් නික්ම පොළොව කරා එල්ලුනු පරිශාකාවන්ගෙන් සැදුම්ලත් මහ නුග රුකක් සෙවනෙහි උක්කුටිකයෙන් හිඳගත්තේ දෙදණ මත රඳවා ගත් දෑත් ඇතිව ඒ අපූර්ව ගායනයට මහත් උනන්දුවෙන් යුතුව සවන් දුන්නේය.

ඒ ලයාන්විතවූ ගායනයෙහි පැවති ගාම්භීරතාව දඩයක්කාරයාගේ සිත නොයෙක් අපූර්ව සිතුවිල්ලෙන් පුරවාලීය. ඉන් මෝහනයත් මානසික භ්‍රාන්තියත් අතර වූ තත්වයක් කෙරෙහි ප්‍රවේශවූ හෙතෙම කාලය ගතවන බව පවා නොදැන එලෙසම නිසොල්මන්ව නුග ගස සෙවණේ ඇණ තබාගත්වනම හුන්නේ ආශ්වාස ප්‍රශ්වාසය පවා මොහොතකට අමතක කරමිනි.

එසේ ගෙවීගිය කාලාන්තරයකට පසු දඩයක්කාරයා එක්වනම අවදිවිය. තමන් පත්ව හුන් සම්මෝහයානුරූප තත්වයෙන් එක්වරම මිදීමට හේතුවූ කරුණ එකෙනෙහිම ඔහුට පැහැදිලි වූයේය. මුළුමහත් වන පෙත පුරා පැතිර පැවතියේ දැඩි නිහඬ තාවයකි.ගල්ලෙන් ද්වාරයෙන් නිකුත් වූ සජ්ජායනාව නැවතී තිබිණි.ඒ දැඩි නිහඬතාවය දඩයක්කාරයා අවදි කරවූයේය. හේ එළෙසින්ම ඇණතබාගත්වනම තවත් කාලයක් ලෙන් ද්වාරය දෙස බලාගත්වනම පසුවිය.කෙමෙන් නිහඬත්වයේ ගැලී තිබි වනපෙත යලි සක්‍රිය වන්නට වූයේය.වවුලකු හෝ එවන් වෙනත් නිශාචර පක්ෂියකුගේ තටු සැළීම නුග ගසේ ඉහල අතු අතරින් ඇසුණි.යටි වන බූටෑවෙහි සාවකු වන් තවත් කුඩා සත්වයකු සක්මන් කරද්දී නැඟෙනා පරඬැල්යටිපහු වන හඬ නොනවත්වා ඇසෙන්නට වූයේය.

දඩයක්කාරයා නැඟිට සිටියේය.

තවත් එක් වරක් ගල්ලෙන් ද්වාරය දෙස බලා අඳුරේම නුගගස සෙවණෙන් බැහැර වූයේ ගල්කුළු අතරින් විහිදී ගිය මාවත ඔස්සේ තැනිතලා බිම් කඩෙන් බැහැරව කන්ද බසින්නට වූයේය. අවසන් වරට ගල් ලෙන දෙස බැලූ විට එතුල යන්තමින් දැල්වෙනා කසාවන් ආලෝකයක සේයාව ඔහු නෙත ගැටුනු බවට ඔහු සිත තුල සැකයක් වූවද දඩයක්කාරයා ඒ පිළීබඳ වැඩිදුරටත්නොසිතුවේය. ඔහු වනය හරහා වැටුනු මඟ ඔස්සේ ගමන් කලේ බොහෝසේ කල්පනාකාරීවය.ජීවිතයේ වෙන කිසිදු සිදුවීමකට ආසක්ත නොවූ අයුරු අද දින මේ සිදුවූව ඔහුගේ සිත ඇදගෙන තිබිණි.

පිළ මත වැතිරගත්වනම ගෙතුලින් නැඟෙන කුඩාවුන් දෙදෙනගේ නිදි දෙඩවිලි ද අසමින් බොහෝවේලා නිදිවර්ජිතව හුන් දඩයක්කරයාගේ සිත පුර්ණ වශයෙන් පිරී තිබුණේ වාළිඹේගල මස්තකයෙහිදී ඇසූ චිත්තාකර්ෂණීය සජ්ජායනයෙනි.

ඉන්පසු එළඹි දින කිහිපය මුළුල්ලේම දඩයක්කාරයා ඉතා කාර්ය බහුල විය. වැඩෙන වයසේ පසුවන දරුවන් දෙදෙනා සහ ඇඹේණියගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම ඔහුගේ යුතුකම වූවා මෙන්ම හේ කිසිදිනෙක ඒ පැහැර නොහැරීමට ද වගබලා ගති.පසුදින දඩයමක යෙදීම උදෙසා ඔහුට හීංඇළ ඉහත්තාවේ කෝන්ගස්කඩ ඉක්මවා හූහඬ තුනක් පමණ දුරින් පිහිටි ඉළුක් තලාව තෙක් ගමන් කිරීමට සිදුවූයේය.කාණු දෙකේ නවතම තුවක්කු රැගෙන දඩ මස් සොයමින් මුහුදුබඩ සෙයිලමේ සිට පැමිණෙන සත්ව ඝාතකයින්ගෙන් වාළිඹේගල අවට වනගහණයට කිසිදු අඩුවක් නොවීම ඊට හේතුවිය.

ඉළුක් තලාවෙහි රැකසිට ගෝන නාම්බකු දඩයම් කොටගත් දඩයක්කාරයා එදින මුළු රාත්‍රිය ද පසුදින උදේ වරුව ද එහිම ගෙවා දැම්මේ හමගසා තීරු කපාගත් ලේ වැකි මස් මැස්සක් බැඳ වියලා ගැන්මටය.

ගම්මානය කෙලවරක තම වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන යන ඝණව වැදුනු බැම සඟලකින් සහ නිරන්තරව අඩක් වැසුණු දෙනෙතින් යුතුවූ දක්ෂිණ දිශාවේ සිට ආගමනිතයා පිළිබඳ ඔබගේ මතකය නැවත අළුත් කරගත මැනවි, මා ප්‍රිය සොයුර / සොයුරිය.

ඔහුගේ වෙළඳ ව්‍යාපාරය මේ වන විට බොහෝ දියුණු තත්වයකට පත්වී තිබිණි. ආසන්නයේම වූ මුහුදුබඩ නගරයට වියළි මස් සැපයීමේ ඒකාධිකාරිය නිතැනින්ම හිමිකරගෙන සිටි අඩවන් වූ දෙනෙතින් යුතු තැනැත්තා තමනට සහය පිණිස තම තරුණ පුත්‍රයා ද කැඳවා ගත්තේය. පාරිභෝගිකයින් හා සමඟ ගණුදෙනු බොහෝ විට ඉටු කෙරුණේ යොවුන් වියේ පසුවූ උක්ත තරුණයා අතිනි.

ගින්නෙන් හොඳින් වියළාගත් මස් තීරු රැසක් සවිමත් පට්ටා යොදා තදින් බැඳ ඒ කොළ පිරිවැස්සක දවටා ඒ උරමත තබාගත් දඩයක්කාරයා දෙවන දින ඉර හැරෙන්නට පලමු ගෙපැල වෙත ළඟා වූයේය.

දඩයම් කල ගෝන හෝ මුව ගාතයක් හෝ දෙකක් එසේත් නොමැත්තේනම් වියළාගත් මස් තීරු මිටියක් රැගෙන අවශ්‍ය කලහලමනා ඒ හිලව්වට රැගෙන එනු පිණිස ඝනව වැඩුණු ඇසි බැම ඇත්තාගේ වෙලඳ සල වෙතට යාම මීට වසරකට පමණ පෙර සිට දඩයක්කාරයා නවතා දැමීය. ඊට හේතු වූයේ දරුවන් උස් මහත් වත්ම ඔවුනට අවශ්‍ය වන්නේ කුමක්ද පිළිබඳව ඔහුට වඩා දැන සිටිනුයේ සුද්දී බැවින් ඒ කාර්ය භාරය නිතැනින්ම ඇය වෙත පැවරීමය. මුල් වර හෝ දෙවර දඩයක්කාරයද ඈ සමඟ වෙළඳ සල වෙත ගිය නමුදු පසුව දරුවන්ගේ අවශ්‍යතා කෙමෙන් වැඩි වත්ම වෙළඳ සල වෙත යායුතු වාර සංඛ්‍යාව ද ඒ හා සමඟම සමානුපාතිකව ඉහල ගියෙන් පසුකාලීනව ඇය තනිවම ඒ කටයුත්තෙහි යෙදුනීය.

මෙදිනද ඒ සුපුරුදු ක්‍රියා පටිපාටිය අනුව රැගෙන ආ මස් පිරිවැස්ස නිවෙස එලිපත්තෙහි හිඳ කුඩාවෙකුගේ ඇඳුමක් එලලමින් හුන් සුද්දී අසල බිම තැබූ දඩයක්කාරයා අනතුරුව කඩුල්ල අසල වැල්ලෙහි කෙලි දෙලෙන් පසු වූ දරුවන් දෙදෙනා අසල නතරව මොහොතක් ඔවුන් දෙස සෙනෙහස පිරි දෙනෙතින් බලා හිඳ පහත්ව ඔවුනගේ හිරු රැසින් රත්ව ගිය හිස් සෙමෙන් අතගා කඩුල්ලෙන් පැන වනයට පිවිසියේය.

දඩයක්කාරයාගේ දෙපා යොමුවූයේ කුමන දෙසකටද යන්න ඔබට කිසිසේත්ම වෙසෙසින් පැවසිය යුත්තක් නොවන වග මම අතැඹුලක් සේ දනිමි, ප්‍රිය සොයුර / සොයුරිය..ඒ එසේමය. ඔහු දෙපා නිරායාසයෙන්ම යොමු වූයේ වාළිඹේගල ගිරිහිස දෙසටය.

ගිරි හිස පාමුලට ලඟාවනු හා සමඟම අවට වන පියස හාත්පස වසා පැතිරගත් අසාමාන්‍ය නිහඬතාව ඔහු සවන් පතිත වූයේ යම් සංඥාවක් ද නිරායාසයෙන්ම මනසට ලබා දෙමිනි. එසේමය. ගිරිහිස කරා නැග්ම අරඹා නොබෝ වේලාවකින් ඔහුට ඒ ලයාන්විත මෙන්ම ගාම්භීර වූ ගායනය / සජ්ජායනය ඇසෙන්නට වූයේය.

වරින්වර සුලඟේ දිශාවෙහි වෙනස අනුව තීව්‍රතාවය උච්චාවචනය වන සජ්ජායනා හඬට සවන් යොමාගත් වනම බිමටම යොමුකොටගත් නෙතින් ද යුතුව ගිරිහිස වූ තැනිබිම වෙත ලඟාවූ දඩයක්කාරයා පෙර දින ඔහුට සුපුරුදු වනස්පතිය සෙවණෙහි ඇණ තබා හිඳ ගත්තේ දෑස ද පියාගනිමිනි.

පළමු දින මෙන්ම මෙදින ද සුපුරුදු සම්මෝහයෙහි ගැලී කාලය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව ගත වූ කලාන්තරයකින් පසුව එක්වරම දඩයක්කාරයා දෑස් විවර කලේය.

විවර වූ දෑසට ලක්වූ ඒ අපූර්ව දර්ශනයෙන් විස්මයාවහ වූ ඔහු එදෙස බලා සිටියේ ඇසිපිය හෙලීමට පමා අමතකවූ පරිද්දෙනි.

ගිරිහිස පිහිටි තැනිබිම පිළිබඳ මවිසින් මීට පැවසූව මතකයට නඟා ගන්න.එහි එක් අන්තයක පිහිටි දැවැන්ත වනස්පතිය ද එලෙසම ඔබගේ මතකයට නඟා ගන්න. දඩයක්කාරයා හිඳ සිටියේ මේ වනස්පතිය සෙවණෙහිය. වනස්පතිය පසුබිම් කොට බැසයන මලහිරුගේ රත්වන් රැස් ධාරාවෝ උස්ව වැඩුණු අතුපතරින් ඉපිද පොලව කරා ඇදී ආ පරිශාඛාවන්ගෙන් වටවුනු මේ අඩක් ආවරණිත ලතා මඬුල්ලක් වැන්න අද්භූත සහ ගූඪ ආලෝකයකින් පිරවූවෝය.

ඒ විසාරිත ආලෝකයෙන් නැහැවෙමින් ඔහු ඉදිරියේ පිහිටි ශෛලමය වේදිකාවක් වන් ගල් තලාවක් මත බද්ධ පර්යංකයෙන් වැඩ සිටියේ ආරෝහ පරිණාහ සම්පන්න රන්වන් දේහයකින් යුතු අඳුරුවන් කසාවතක් ඒකාංශ කොට වම් දසරුව වසා හැඳි ප්‍රසන්න පෙනුමැති පුරුෂයෙකි.


මතු සම්බන්ධයි........


Monday, January 28, 2013

157. කෝසල සිහින - සතළොස් වැන්න


පසල් දනව්බද වාර්ෂික චාරිකාවෙහි සතියකට අධික කාලයක් මුළුල්ලේ නියැළුණු පසේනදී කොසොළ් රජ තෙමේ සාවත්‍ය නුවර බලා පෙරළා පැමිණියේ අධික විඩාව කරණ කොටගෙන රාත්‍රි භෝජනය නිමකල වහා සිරියහන් ගැබට වැද නින්දට වන්නේය. 

එහෙත් රජ තෙමේ රාත්‍රියෙහි පශ්චිම භාගයෙහිදී මහත්සේ බියපත්වැ දහදිය වැකුනු සිරුරැතිව නින්දෙන් අවදිවූයේ සයනයෙහි හිඳගත්වනම උකටලීවැ දෑත් හිසෙහි ගසාගත් වනමැ බලා සිටියෝය. 

එකල රජුගේ අග මෙහෙසිය වූ මල්ලිකාවෝ ද සිය සමුණානන් නිදි වර්ජිතව බලවත් සේ වික්ෂෝපශීලීවැ හිඳිනු දුටුවේ වහා නැඟී සිට පියා මෙසේ විචාලෝය. 

'' මා ප්‍රිය හිමියනි. ඔබ කුමන හෙයින් මේ පශ්චිම යාමයෙහි නිදි වර්ජිතවැ පසුවන්නෝ වේදැයි '' මහත් වූ සෙනෙහසින් යුතුව විමසුවෝය. 

එකල්හි රජ තෙමේ මහත් බිය රැඳි නෙතින් යුක්තවැ මල්ලිකාවන් අමතන්නේ මෙසේ පැවසුවෝය. 

'' මින් පෙර මවිසින් දක්නා ලද සොළොසක් වූ ස්වප්නයෝ තොපට මතක ඇතැයි සිතනෙමි. මා ප්‍රිය දේවිය. මෙවර මවිසින් දක්නා ලද්දේ ඒ සියළු ස්වප්නයන්ට වඩා බියකරුවූ ස්වප්නයෙකි. අහෝ, බලනු මැන ..ඒ සිහිවන කල්හි පවා මා සියොලඟ රොමෝද්ගමනය වන අයුරු..'' 

මෙසේ පවසා උදක්මැ මහත් අසරණ විලාශයෙන් මල්ලිකාව දෙස බලා සිටියාහුය. 

එකල කොසොල් රජුගේ බිය දුරු කරනු වස් මල්ලිකාවෝ මෙසේ සැනසුම් බස් තෙපලූයේ උන් අස්වසාලීය. 

'' නොබා හිඳිනු මැන මහ රජතුමනි, පෙර දුටු ස්වප්න සොළොස විභාග කොට ඒ පිළිබඳ නිසි තතු ඔබට සැලකොට ඔබේ අස්ථාන භීතිය තුරන් කලෝ ලොව්තුරා බුදු රජාණෝය. එතුමෝ මෙවරද ඔබට සරණ වනු සැකයෙක් නැති. හෙට දින උදෑසනක්ම දෙව්රම් වෙහෙරට ගොස් එතුමා බැහැදැක මෙපවත් පවසනු මැන. එතෙක් සිතෙහි කනස්සළු උදෑසන නැඟෙන ළහිරු රැසින් මිහිදුම් පහවයන්නාක් මෙන් දුරුකොටැ සුවසේ සැතපෙනු මැනැව '' යයි සෙනෙහස් පෙරදැරි කොටමැ පැවසූහ. 

කොසොල් රජ තෙමේ නින්දත් නොනින්දත් අතර රාත්‍රියෙහි ඉතිරිය ගෙවාදැමූයේ උදෑසන අහර කිස නිමකල වහා රාජ සභාවට හෝ සහභාගී නොවූයේ ශ්වේත වර්ණයෙන් බබලන්නාවූ අසුන් සිව් දෙනෙකු යෙදූ සිය රාජකීය රථයට පැන නැංගේ එකෙණෙහිම දෙව්රම් වෙහෙර බලා පිටත් වූවෝය. බුදුන් වහන්සේ උදෑසන අහර වැළඳීම නිමා කොට ධර්ම ශාලාවෙහි වැඩ හිඳ පෘථග්ජනයින්ට පැණනැඟෙනා ධර්මය සමබන්ධ වූ කුකුස් විසඳීමෙහිලා යෙදෙමින් උන්නෝය. අනඳ තෙරුන්ගේ අවසරයෙන් එහි පිවිසි කොසොල් රජතුමෝ බුදුන් නැමද පසෙකට වී එකත්පස්වැ හිඳ සිටියෝය. උන් උකටලී මුහුණ දුටු බුදු රජානෝ මන්දස්මිතියක් පාමින් මෙසේ විචාලෝය. 

'' කිමෙක්ද මහරජ?..තොප කිසියම් සිත් තැවුලෙකින් පෙලෙන බවක් හැඟෙයි. නොවලහා පවසනු මැන...තොප සිත් පෙලන කාරණය… '' 

මෙසේ බුදුන් වහන්සේගෙන් අවසර ලද රජ්ජුරුවෝ සිත් දිරිගෙන යලිදු දොහොත් මුදුන් දී නමස්කාර කොට මෙසේ පැවසුවෝය. 

'' ස්වාමීනී. ඊයේ රාත්‍රියෙහි ඉතා භයානක සිහිනයෙක් දුටුවෙම්. ඒ මොහොතේ පටන් මාගේ රාජ්‍යයට යම් විපතක් දෝයි සිත් කනස්සසල්ලෙන් පසුවෙම්හ. ඔබ වහන්සේ මින් පෙර සිහින සොළොසවිසඳා මා සිත් තැවුල් දුරු කල ලීලායෙන් මෙවරද මසිත් සහහාලන බවට වූ අචල විශ්වාසයෙන් උදෑසනම ඔබ තුමන් බැහැදැකීමට පැමිණියෙමි. '' 

එසඳ බුදුන් වහන්සේ සුරත ඔසවා රජුට ආශීර්වාද කලේ මෙසේ පැවසූ සේක. 

'' බිය නොවන්න, මහ රජතුමණි, නොවලහා පවසනු මැන ඔබ දර්ශනය කල ඒ ස්වප්නය. '' 

'' එසේය ස්වාමීණී..නොයෙක් වෙසින් යුතු රුදුරු සතුන් රැලක් මම දුටුවෙමි. ඔවුහු කුමන වර්ගයකට අයත්වන්නේද යන්න අවිනිශ්චිතය.එහෙත් ඔවුහු මහා භයංකර ගර්ජනා කෙරෙමින් දුටු දුටුවනට කඩා පනිමින් ඉතා රුදුරුව හැසිරෙති. මහජනයාගෙන් බහුතරයක් උන්ගේ විප්‍රකාර නරඹමින් ප්‍රීතියෙන් ඔල්වරසන් දෙන්නාහ. එසේම ඔවුන් හා එක්වැ ඔවුන් පසුපස යමින් පිලී හිස සිසාරවමින් අනුග්‍රහ දක්වන්නාහ. මේ විප්‍රකාර පිළිකෙව් කරනා වූ සුළුතරය කිසිවක් කරකියාගත නොහැකිව උකටලීවැ බලා සිටින්නාහ. මෙවන් ක්‍රියාවන් වැළක්වීම තම රාජ කාර්යය වූ ආරක්ෂක රාජ පුරුෂයෝ ද මොවුන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නාහ. රට කරවන පාලකයෝද අවස්ථානුකූල වාසි තකා කිසිත් නොකොටැ උදාසීනවැ බලා සිටින්නාහ. ස්වාමීනී, මේ මාගේ රාජ්‍යයට පැමිණෙන යම් විපතක පෙරනිමිති වේ දෝයි සිතා කනස්සලු වන්නමෝදැයි '' පවසා සිටියෝය. 

එකල්හි බුදුන් වහන්සේ කෝසල රජුන් අමතා මෙසේ වදාලෝය. ඒ කෙසේද යත්., 

'' නොබා හිඳිනු මැන මහ රජ තුමනි, ඔබට බියවීමෙහිලා කිසිදු කරුණක් නැත්තේමය.මේ ඔබට හෝ ඔබගේ රාජ්‍යයට වන විපතක පෙර නිමිති නොවේ. බොහෝ කලක් ඇවෑමෙන් මේ දඹදිව ආසන්නයේම අනෙක් රාජ්‍යයක සිදුවන්නකි. මගේ ධර්මය සුපිරිසිදුව පවත්නා එකම දේශය ඒ බවට කටමැත දෙඩූවද ඒ දේශයෙහි එදවස පවතිනුයේ කිසිලෙසකින්වත් මවිසින් වදාල ධර්මය නොවේ.පාලකයෝ තමනට රිසි පරිදි රිසි දේ කරති. තමන් පත් කරන ලද්දේ මහජනයා විසින් බව අමතක කොට ලාපියා තම සුඛ විහරණයම උදර පෝෂණයම මුඛ්‍ය පරමාර්ථ කොට ගත්තේ මුළු මහත් දේශයම කෙළි මඬලක් සේ සලකා කටයුතු කරන්නාහ. '' 

'' පාලකයින් යහ මඟ යැවීමෙහි කාර්ය භාරය හිමි පැවිද්දෝ ලාභ ප්‍රයෝජන යාන වාහන ආදී ලෞකික සම්පත් මහත් කොට සලකන්නේ පාලකයින්ට පිරිත් නූල් බැඳීම තම ප්‍රධානම කාර්යය සේ සලකන්නෝය. ජේෂ්ඨ පැවිද්දන් එසේ අඳ ගොළු බිහිරන්සේ හැසිරෙන අතර අනෙකුත් ලාබාල පැවිද්දෝ තමන් කෙරෙහි අවධානය යොමු කරවා ගැනීම උදෙසා නොයෙකුත් විගඩම්හි යෙදෙන්නෝය.මාගේ ශාසනයෙහි ආරක්ෂකයින් වශයෙන් තුමූම පත් කරගත්තාහු කලින් කලට නොයෙකුත් කලි කලහ කරන්නෝය.වරෙක අන්‍යාගමික පූජ්‍ය ස්ථාන වලට කඩා වැදී රා කල සොලොසක් පානය කොට මත්වූහස්තීන් මෙන් කිසිදු සංවරයකින් තොරවැ හැසිරෙන්නාහ. " 

'' වරෙක ගිහියන්හට සිටිය යුතු දරුවන් ගණන නියම කිරීම පවා තමන්ට අයත් කාර්යයක් සේ සලකා කටයුතු කිරීමෙන් සමච්චලයට ලක්වන්නාහ. ඒ එසේම මාගේ නමින් අවන්හලක් පවත්වාගෙන යන බවට චෝදනා කරමින් මහා ගාලගෝට්ටියක් කරන්නාහ.රජතුමනි මාගේ ශාසනයෙහි මවිසින් අනුදැන වදාලේ ධර්මයට ද පෙර විනය ප්‍රමුඛස්ථාබයෙහි තබා කටයුතු කරන ලෙසටය. එහෙත් මොවුනගේ නොමේරූ හැසිරීම ධර්මය කෙරෙහි ආසක්ත වන්නාවූ බුද්ධිමත්හුද ඒ කෙරෙහු කලකිරවා එයින් ඈත් කෙරෙති. '' 

'' ස්වාමීනී. මඳක් සමාවුව මැන. එහෙත් ඔබ වහන්සේ නමින් අවන්හලක් පවත්වාගෙන යාම ඔබ වහන්සේට කරනා නිගරුවෙක් නොවේද? ඉන් ඔබ වහන්සේට අපහාසයක් නොවන්නේද?... '' 

රජතුමෝ දෑඟිලි බැඳගත්වනම විමසූවෝ හිස නමා ආචාර දක්වමිනි. 

'' ඒ කෙසේද මහරජ...මා නමින් අවන් හලක් පවාගෙන යාම මට අගරුවක් වන්නේ කෙසේද?...අඳ බාල පුරුෂයින් කිහිප දෙනෙක් එකතුව එසේ කල පමණින් මාගේ කීර්තිය පළුදු වේ හෝ එසේත් නැත්නම් ධර්මය කිලිටි වේ යයි උපකල්පනය කල හැක්කේ ඊටද වඩා අඳ බාල පුද්ගලයෙකුටමය. එසේම මගේ ධර්මයට කිසි දිනෙක ආරක්ෂක සේවාවක්ද අවශ්‍ය නොවේ.ධර්මය විසින්මැ ධර්මය රැමෙනු ඇති. ධර්මයෙහි හැසිරෙන්නා ද ධර්මය විසින්මැ රැකෙනු ඇති. මාගේ ධර්මයට තමන් විසින්මැ රැකෙනු නොහැකිවැ ආරක්ෂක සේනාවක පිහිට අවශ්‍ය වන්නේ යම් දිනකද එදින එකෙනෙහිම ධර්මයෙහි වලංගුතාවය, ධර්මයෙහි සදාතනික භාවය, ධර්මයෙහි සර්වකාලීන බව අහෝසි වෙයි.එකල්හි මාගේ ධර්මයද නැසී යන්නාහ. සියලු සංස්කාර ධර්මයෝ අනිත්‍ය බව මවිසින් වදාල බව මතක තබා ගනු මැනව. මාගේ ධර්මයද ඒ සංස්කාර ධර්මයන්ටම අයිති වන්නාහ. මාගේ ධර්මය අහෝසි වීමට නියමිත කල් එලඹිකල කිසිවෙකුට කිසිදු ආරක්ෂක සේනාවකට ඒ වැලැක්විය නොහැක. '' 

බුදු රජානන් වහන්සේ මෙසේ පවසා කෝසල රජුන්ගේ බිය දුරුකොට ඔහු සිත් සැනසවූ වග මෙසේ දත යුත්තේය. 

කෝසල සිහින සතලොස් වැන්න මෙසේ නිම වූ වගයි 

Thursday, January 24, 2013

156. මොන පිස්සුද?....ඒකා තාත්තෙ කිව්ව විතරයි.....


ඊයෙ දහයට වගෙ ඇති වෙලාව. දෙකට කලින් ඉවර කරන්න ඕන වැඩක මම එරිල හිටියෙ නහයටත් උඩින්.ටෙලිෆෝන් එක වැදුන… 

" Mr Ravi….There is someone on the line who wants to speak to you..... " 

ඒ පල්ලෙහා තට්ටුවෙ අපෙ රිසෙප්ෂනිස්ට් …. 

" Okay……"මම කිව්ව. 

" Is this Mr. Ravi?....Our general manager would like to speak to you........... " 

පිලිපීන් කෙල්ලක් කතාකලේ..මෙහෙ ගොඩක් කම්පනීස් වල රිසෙප්ෂනිස්ට්ල පිලිපීන් කෙල්ලො..උං කතා කරන විදිහෙං අඳුන ගත්තැහැකි පට ගාල.. 

" No problem, put him on …" 

රිසීවර් එක උරහිසටයි කනටයි හිරකරගෙන කම්පියුටර් එකේ යතුරු ඔබන ගමන්ම මම කිව්ව. 

ආන්න උරහිසෙන් තවත් පොරෝජනයක්....ඔය දෙකයි පනහෙ බබලත්තුංට අඬන්ට දෙනවට වඩා උරහිසෙං තව පොරෝජන බොහොමයක් තියනව..( සිත්තමී..ඇහුණැයි බොට? ) හරි, දසරුවෙන් ප්‍රයෝජන ගැන ඒ ඇති..ආපහු ඊයෙ උදේ අපේ ඔෆිස් එකට.... 

ඔන්න මම දැන් බලාගෙන ඉන්නව අර General Manager කතා කරනකල්.තත්පර විස්සක් විතර බලල මම කතා කලා… 

" හෙලෝ...හෙලෝ…." 

මොන?....කිසිම සද්දයක් නෑ...උරහිසත් රිදෙන්ට ඇල්ලුව. ඒ පාර ඔන්න මම ඕන කෙහෙල්මලක් කියල කෝල් එක කට් කරල නිකා හිටිය. නිකා හිටිය කියන්නෙ නිකා හිටියෙ නෑ. මම අර කිව්වෙ කලින් හදිස්සි වැඩක් ගැන. ඒක කරන්ට පටන් ගත්ත. 

ඔන්න හවස හතරට විතර ආයෙම මට කෝල් එකක් ආව.පල්ලෙහා කවුද ඉන්නව කියල මාව හම්බ වෙන්න ඇවිල්ල. ගිහිල්ල බැලුවම මෙහෙ ගිණි නිවාරණ උපකරණ ගෙන්වන කම්පනි එකක Sales Executive කෙනෙක්. මිනිහ ලංකාවෙ ...මුස්ලිම්...ඉතිං කෝපි එකක් එහෙම බොන ගමන් අපි කතාකලා. 

" උදේ අපේ බොස් කතා කලා මිස්ට රවීට. කෝල් එක කට් වුනා කියලයි මට කිව්වෙ ලොක්ක. " 

" ආ..දහයට වගෙ නේද?.....අනේ සොරි..කට් උනා නෙවෙයි...මම හදිසි වැඩක ඒ වෙලාවෙ හිටියෙ....මම විනාඩියක් විතරම ලයින් එකේ හිටියනෙ..සද්දයක් නැති තැන මමයි ලයින් එක කට් කලේ...."' 

මිනිහ අහක බලාගෙන හිනා උනා.. 

" අපේ බොස්ට හිටපු ගමන් ගොතයක් එනව. නිතරමත්නම් නෑ. ස්ට්‍රෙස් වෙනකොට වැඩියි. මේ ටිකේ ටිකක් දරුණුයි කේස් එක.එහෙම උනාම එයාට වචනයක් එන්න සෑහෙන වෙලාවක් යනව. උදේ වෙන්න ඇත්තෙ ඒකයි. "' 

ඒ කතාව එතනින් ඉවරයි. ඒත් මේ ගොත ගහන බොස්ගෙ කතාව හින්ද මට එසඳ, එකල මා යොවුන් වියෙහිදී අත්දුටු සිදුවීම් කීපයක් මතකයට ආව. යම් කෙනෙකුගෙ ශාරීරික අබල දුබලතාවයකට උසුළු විසුළු කරන එක ඒ තරම් සුදුසු නම් නැහැ තමයි.ඒත් බොහොමයක් වෙලාවට අපි එහෙම කරනව. ඇත්තටම මම මේ කතා කියන්න හිතුවෙ එහෙම කිසිම කෙනෙක්ව උපහාසයට ලක්කරන්න හිතල නම් නෙවෙයි.ඇත්තටම වෙච්චි සිදුවීම් කිහිපයක් කියල පොඩ්ඩක් හිනාවෙල ජීවිතේ බර හෑල්ලු කරගන්ට එච්චරයි..... 

අර අපි පොඩි කාලෙ කතන්දර පටන් ගන්න විදිහ මතකෙයි? 

එකමත් එක කාලෙක...නැත්නම් යටගිය දවසට දවස් දෙකකට පස් සෙ දවසක බරණැස බ්‍රක්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්‍ය කරන සමයේහි..... 

ඒ වගෙ මයෙ කතා ඉතිං පටන් ගන්නෙ ...මේක සිද්ද උනේ මම උතුරු මැද සහ නැහෙනහිර පළාත් මායිමේ ව්‍යාපෘතියක වැඩ කරන කාලෙදි.....ඔන්න ඔය විදිහටනෙ...ඉතිං මේකත් ඒ සුපුරුදු පූර්විකාවෙන්ම තමයි පටන් ගන්න වෙන්නෙ.. 

ජයනාත් හොඳ කොල්ලා...මට එහෙම වැඩිය අවුරුදු දෙකක් විතර වැඩිමහල්..ගම වලස්මුල්ල පැත්තෙ...උස මහතයි... සුදුයි. ඒත් පොඩි කේස් එකක් තිබ්බ, මිනිහ ගොතයි...කාලෙකට එච්චරම දරුණු නෑ...ඒත් කාලෙකට කතා කරගන්නම බෑ. 

මම මේ කියන යුගයෙ මොබයිල් තියා ලෑන්ඩ් ෆෝන්ස් උනත් දැං වගෙ පඳුරක් පඳුරක් ගානෙ තිබ්බෙ නෑ.අපෙ ගෙදර අහල පහලක ටෙලිෆෝන් එකක් තිබ්බෙ පන්සලේ විතරයි. හදිස්සියකට පණිවිඩයක් දෙන්න ඉතිං ලොකු හාංදුරුවන්ට කතා කරල ගෙදරට පණිඩිඩයක් යවල අප්පච්චිට පන්සලට ඇවිල්ල ඉන්න කියල කියන්න ඕන. 

රට හැමතැනම ටෙලිපෝං පෙට්ටි හයි කර කර යන්ට පටං ගත්ත ඔය කාලෙ.මුලින්ම මට මතක ට්‍රයිටෙල් ද මොකක්ද කියල කම්පනි එහෙකින් ඔය වැඩේ පටන් ගත්තෙ. අපෙ කෑම්ප් එක කිට්ටුව හැතැම්ම බාගයක් විතර එහාට වෙන්ට තිබ්බ පොඩි ටවුමක් වගෙ එකක්. ටවුමක්ය කිව්වට බස් ස්ටෑන්ඩ් එහෙකුයි කඩ කීපෙකුයි විතරයි ඔතන තිබුනෙ.මඩකලපු පාර අයිනෙ...ඔතනත් හයි කරපි ටෙලිපෝං පෙට්ටියක්....අපිට නේද මාර හැපී......ඒ හැටි ගෙවල් වලට කතා නොකලත් ඔය වගෙ එකක් තියන එකම මදෑ. අනික ඒ දවස් වල ඔය මල් නෙලීම වගෙ අනම් මනම් අපි දන්නෙවත් නෑ....අම්මප ඇත්තම ඇත්ත.... 

ජයනාත්ලගෙ අල්ලපු ගෙදරට ඔන්න ටෙලිෆෝන් එකක් ගත්තලු. ඔන්න ඌට වැහුන ටෙලිෆෝන් පිස්සුව.ඔය බොක්ස් එහෙක මට මතක විදිහට විනාඩියකට ගාස්තුව රුපියල් දෙකයි. ජයනාතයත් ඔන්න අපි ඔක්කෝමල සන්තකේටම තියන රුපියල් දෙකේ එව්ව ටික එකතුකරගෙන ඔන්න යනව ගෙදරට කෝල් ගන්න කියල. ඒ කරල ඔන්න රෑ වේගන එනකොට ආපහු එනව. මූණ හරි නෑ. 

" මොකද මචං?..... " අපි අහනව.. 

" හ..හ්.....හරියට..ක ක්..කතාකරගන්න බැරි උනා බං …"' ඌ කියනව. 

අපි ඉතිං ඕක වැඩි ගානකට ගත්තෙ නෑ. එක දවසක් ඔන්න අපේ තව යාලුවෙක් ආව අපි පොඩි ආතල් එකක් අරගෙන එහෙම රිලැක්ස් එකේ ඉන්න තැනට.ඔය වෙලාවෙ ජයනාතය ගිහිල්ල සුපුරුදු ලෙස කෝල් ගන්ට. ඔන්න කතාව ඇදිල ආව උගේ මේ අබූත කෝල් ගැනිල්ලට. 

" මාර වැඩක්නෙ බං ...මේ මනුස්සය රුපියල් දෙකේ එව්ව මල්ලක් එකතු කරගෙන යනව. ඒත් ඇහුවම කියන්නෙ කතා කලේ නෑ කියල.." මම කිව්ව. 

අර ආවයි කිව යාලුව...මිනිහගෙ නම සරත්චන්ද්‍ර....ඌ ටික වෙලාවක් සද්ද නැතුව ඉඳල පොඩි එකක් අරගත්ත. ….දීපං දුමක්....මම සිගරට් එහෙකුත් පත්තු කරල දුන්න...උගුරු දෙකක් එහෙම ඇදල අපි ඒ වෙලාවෙ එතන හතර දෙනෙක් හිටිය…. ඔක්කොගෙම මූණු දිහා අනුපිළිවෙලට බලං ඉඳල මෙහෙම කිව්ව. 

" අනේ මචං මම කිව්වයි කියලනං ජයනාතයට දැනගන්න තියන්න එපා.මට ඔය ජයාගෙ කෝල් ගැනිල්ලෙ හොරේ ඊයෙ අහු උනානෙ. මේකා රුපියල් දෙක දානව බොක්ස් එකට. ඒ කරල රිසීවර් එක අතට අරගෙන ඔන්න කතා කරනව....මූ තටමල තටමල ඔන්න හ..හ...හ..හ..හ..හලෝ........තා.....තා...තා...ත....තාත්තෙ කියන කොට ඔන්න විනාඩිය ඉවරයි. කෝල් එක කට් වෙනව. අයෙම රුපියල් දෙකක් දානව. ඒ විනාඩියෙත් කියන්නෙ තාත්තෙ කියල විතරයි.ඉතිං බං ඔය විදිහට මහ බැංකුවෙං ගහන ගහන දෙකේ කාසි ඔක්කොම මූට දුන්නත් මූට කියන්න වෙන්නෙ තාත්තෙ කියල විතරයි......" 

අපි එකා එකා මූණිං මූණ බලාගෙන උන්න අර මොනවද කාපු රිලව් වගෙ හිනාවෙන්ඩද අඬන්ඩද කියල හිතාගන්ට බැරුව. 

" මචං මේක කියල උඹල ජයනාතයට නෝන්ඩිය දානව එහෙම නෙවෙයි ඔන්න...හරි නෑනෙ ..." 

එදා රෑ නිදාගන්ට ඉස්සර මම කාටත් ඇහෙන්ට කිව්ව. හැබැයි කිව්වත් වාගෙ ඊට මාස තුනකට විතර පස් සෙ ඌ හෙඩ් ඔෆිස් එකට ට්‍රාන්ස්ෆර් එකක් හම්බ වෙල යනකල්ම කවුරුත් ඌ ඉන්න තැන ඔය ගැන කටක් හෙල්ලුවෙ නෑ..හැබැයි ඌ නැති තැන යාවජීව මාතෘකාව ඕක. 

අපේ ඉන්නවනෙ නිර්මානශීලී කට්ටිය. උං ඔය කතාවෙ විවිධ වර්ෂන්ස් හැදුව. එකක් ඔන්න ජයනාත්ගෙ තාත්තයි අම්මයි දෙන්නමත් ගොතයිලු.ඉතිං මූ එක පාරක් රුපියල් දෙක දාල තා..තා..තා..ත් ..තෙ කියනවනෙ.මූ කල්පනා කරනව ඊලඟ රුපියල් දෙකත් දාල ආයෙම තා..තා....තා...ත්..තෙ කියන්ට ගියොත් ඒකත් ඉවරනෙ. ඒ නිසා දෙවෙනි රුපියල් දෙක දාල මේකා රිසීවර් එක කනේ තියං ඉන්නව මොකවත් කියන්නෙ නෑ. තාත්ත කතා කරනකල්..අප්පට සිරි තාත්තත් ගොතයිනෙ. ඒරුපියල් දෙකේ තාත්ත පු.....පු...පු...පු.......පුතේ කියනව විතරයි. ඉතිං මාරුවෙං මාරුවට ඔහොම තමයි වෙන්නෙ..එක රුපියල් දෙහෙක මූ තාත්තෙ කියනව ඊළඟ රුපියල් දෙකේ මුගෙ තාත්ත පුතේ කියනව. 

අනික් වර්ෂන් එකේ හැටියට තාත්තයි අම්මයි ගොත නෑ. ඉතිං අල්ලපු ගෙදරට ගිහිල්ල පැයකට විතර පස් සෙ තාත්ත එනව ගෙදර. 

" මොකද අනේ මෙච්චර වෙල?..." අම්ම අහනව තාත්තගෙං... 

" පුතා කතා කලානෙ හාමිනේ…"' 


" අනේ ඉතිං,…. මොකද කොළුව කිව්වෙ? සනීපෙන් ඉන්නවය කිව්වද? "' 

" ඒ මොකවත් කිව්වෙ නෑ පුතා…"' 

" ඈ......එහෙනම් මේ පැයක් විතර පුතා මොනවද කිව්වෙ? "' 

" තාත්තෙ කිව්ව එච්චරයි "' 

" ඈ..පැයක්ම එච්චරද කිව්වෙ?.. " 

" ඔව්…" 

ඉතිං ඔන්න මේ ජයා හෙඩ් ඔෆිස් ගියාට පස් සෙ මට ලියුම් එවනව. මයෙ බුදු පිටා ඌ...පුල්ස්කැප් පිටු දෙකක විතර මාගලක් ඔන්න මෙහෙම.... 

හි...හි...හි...හිතවත් වි..වී..වී......වීරේ වෙ..වෙත, 

ඔ..ඔ...ඔ.....ඔබගේ...සැ..සැ..සැපදුක්......කෙ...කෙ...කෙසේද? 

ඔ.ඔ.ඔ.ඔළුව ම..ම...ම...ඤ්....ඤ්..ඤ් ඤං වෙ..වෙ...වෙනව උගේ ලි...ලි...ලියුං කි...කි..කියවන්ට ..ගි..ගි..ගිහාම..හෙ..හෙ..හෙහ්...හෙ...හෙ....හෙහ් : : : :) : : : :) 

හෙඩ් ඔෆිස් එකේදි එක කෙල්ලක් මිනිහ ගැන උනන්දුයි කියල ජයනාතය මට ලියා එව්ව. ඒත් මිනිහ ඒකිට කැමති නෑ කියලත් කියල තිබ්බ.ඒත් අන්තිමට මිනිහ බැන්දෙ අර කෙල්ලමයි. ඒ දවස්වල නේවාසික ට්‍රේනිං එකක් ඇවිල්ල මට යන්ට බැරි උනා වෙඩිං එකට.පස්සෙ හෙඩ් ඔෆිස් ගිය වෙලාවක කැන්ටිමේ පෙලේන්ටියක් ගහන ගමං මම ඇහුව උගෙං ඔය විස්තරේ... 

" ඒ බං උඹ කෙල්ලට ඒ හැටි කැමැත්තක් තිබ්බෙ නෑ නේද? ඒත් අන්තිමට මොකෝ බොලේ ඒකිම බැන්දෙ?.." 

" අනේ වී..වී..රෙ..මා..මා..ර..වැඩක්නෙ මට උනේ...ඒ ඒ ඒකි දවසක් ම..ම....මගෙන් කෙලින්ම ඇහුවනෙ  මම කැ..කැ..කැමතිද කි...කි..කියල...එයාව බ..බ..බඳින්ට… " 

" ඉතිං උඹ කෙලින්ම බෑ කිව්වනං ඉවරයිනෙ මචං...." 

" බෑ කි..කි..කියල කි..කි...කියන්ට...ත......ත...තමයි..මම හැ..හැ..හැදුවෙ...ඒත් බෑ..කි..කි..කියල කියා..ග..ග..ගන්නකොට ඒ..ඒකි ගෙ..ගෙ..ගෙවල් දෙකටමත් කි..කි...කියල කේ..කේ...කේන්දරත් බ..බ..බලවල ඉ...ඉ...ඉවරයි. " 

Monday, January 21, 2013

155. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....30


අප බොහෝ දෙනෙකුට කාලය ගතව යන්නේ අසුරු සැණෙකිනි. දඩයක්කාරයාහටද අසුරු සැණෙකින් නොවූවද සැලකිය යුතු වේගයකින් කාලය ගෙවී යමින් පැවතිනි. නිවුන් දරු උපතෙන් පසු ගතවූ වසර පහක් හෝ හයකට ආසන්න කාලය ඔහුට හැඟී ගියේ තමන් පිටස්තරයෙකුව අනිමිස ලෝචනයෙන් නෙතු යොමා සිටියදී තමන් ඉදිරියේ දිග හැරෙනා සිදුවීම දාමයක් මෙනි.ඒ වසර පහ හෝ හය ගෙවූයේ තමා නොව වෙනත් පුද්ගලයෙකියි ඔහුට සිතුනේ වරක් දෙවරක් නොවේ.

ඔහුගේ දරු දෙදෙනා හා දඩයක්කාරයා අතර පැවතියේද බොහෝ දුරට සංකීර්ණ සබඳතාවකි.වනවාසීන් අතර දරුවන් සහ දෙමව්පියන්ගේ සහසම්බන්ධය බොහෝවිට දුරස්ථ වූවකි.දරුවන් වැදීම මෙන්ම ඔවුන්ට අවශ්‍ය ආහාරපානාදිය සැපයීම ඔවුන් අතින් ඉටුවූයේ හුදු සවයංක්‍රීය හෝ යාන්ත්‍රික කාර්යයක් ලෙසිනි.තමලෙයින් උපත ලද දරුවනට අවශ්‍ය ආහාර සැපයීමට අපොහොසත්වීම ඔවුහු කිසිවිටෙක මදිකමක් කොට නොසැළකුවෝය. එසේ අපොහොසත්වීම ඔවුනට කිසිදු ලෙසකින් සිත්තැවුල් වීමටද හේතු නොවීය. 


ඒ එසේම කිරෙන් ඇරුණු වහාම කොලු කුරුට්ටෝද හාත් පස වසා පැතිරි මහා ආහාර ගබඩාවක් වූ වන පියසට වැද සුදහ ගින්න නිවාගැන්මට පුරුදුවූයේ නිතැණිනි.ඔබ ආහාර සපයාගැනීමේ ක්‍රමවේදය දන්නේද මහ වනයෙහි ඔබ කිසිදිනෙක නිරාහර නොවනු ඇත.කර වටා නිතොර රැඳි ගල් දුන්නට ගොදුරු වූ දඬු ලෙහෙනෙකු හෝ සාවකු පුළුස්සා ගත් කල, එසේත් නැතහොත් පත්හුලක සහායෙන් හාරාගත් ගෝනලයක් හෝ හිඟුරලයක් තම්බාගත් කල ඒ ඔවුනට රජ බොජුනක්ම වූයේය.

දඩයක්කාරයා දරුවන් කෙරෙහි වූ තම සෙනෙහස කිසිවිටෙක එළිපිට නොදැක්වීය.ස්වභාවයෙන්ම අන්තර්වර්තී ( Introvert ) පුද්ගලයකු වූහෙයින් හේ කිසිවිටෙක තම හැඟීම් විවෘතව ප්‍රදර්ශනය නොකලේය.දරුවන් සම්බන්ධව ද ඔහුගෙන් පලවූයේ එවන් උපේක්ෂා සහගත හැඟීම් විරහිත ස්වභාවයකි. එහෙත් ඔහු සිත තුල ඔවුන් කෙරෙහි සෙනෙහසක් ඇල්මක් වැන්නක් දැඩි සීතල රාත්‍රි කාලයන්හි ගෙමිදුලෙහි දැල්වෙන ගිණි මැලය අළුයම් කාලය වන විට නිවීගියද විටින් විට හමා එන සුළං රැල්ලකින් අළු ඉවත්ව වූ ගිණි පුළිඟු එක් වරම දැල්වුණේ ඒ හා සමඟම කිසියම් උණුසුමක් ඉතිරිකොට නිවී ගියේය.

එසේ වුවද ඔහු සුද්දීට මෙන්ම දරු දෙදෙනාටද අවශ්‍ය ආහාර සහ වෙනත් කලමනා නොකඩවා සැපයීම කිසි විටෙක පැහැර නොහැරියේය. ඒ සඳහා අවම වශයෙන් දින දෙකකට වරක් හෝ දඩයමක් කිරීමට සිදුවීම සිතට මහත් තැවුලක් ගෙන දුන්නද සුපුරුදු උපේක්ෂාවෙන් ඔහු ඒ ඉවසීය.

දරු දෙදෙනාගේද ඔහු කෙරෙහි වූයේ එක්තරා දුරකට ගුප්ත යැයි හැඳින්විය හැකි අයුරු වූ බැඳීමකි.ඔවුහු කිසි විටෙක දඩයක්කාරයාගේ ඇකයෙහි තුරුළුව කෙලි දෙලෙන් ගත කරනු වස් උත්සුක නොවූහ. එසේ වුවද ඔහු ගෙපැලෙහි දිවා කාලයෙහි රැඳී සිටිනා දුර්ලභ අවස්ථාවන්හි ගෙපැල පසුපස වනගහනය ආසන්නයේ වර්ධනය වී අහස පුරා පැතිර ගිය වනස්පතිය පාමුළ මධ්‍යාහ්නයේ වුව පැතිර පවත්නා සිහිල් සෙවණෙහි ඇණ තබාගත්වනම අඩක් පියවුනු දෑසින් යුතුව නිසොල්මනේ කල්ගෙවනා දඩයක්කාරයාගේ දෙපා අසල කෙලි දෙලෙන් හැසිරීමටද ඔවුහු කිසිසේත් බිය නොවූහ.

ඔවුනගේ කෙලි සෙල්ලමින් විටින් විට දඩයක්කාරයාගේ මානසික සම්මෝහය ( Mental stupor ) බිඳී ගියද ඔහු කලේ දෙතොලග නැඟි මඳ සිනහවකින් යුතුව ඔවුන් දෙස දයාර්ද්‍ර බැල්මක් හෙලා නැවත දෑස පියාගැනීම පමණකි.

සුද්දී සහ ඔහු අතර පැවතියේද කිසිදු අයුරකින් සාමාන්‍ය යයි කිව නොහැකි සබඳ තාවයකි. නිවුන් දරු උපතින් පොහොය හතරක් හෝ පහක් ගෙවී යන තෙක් ඔහු ගෙපැල තුලම රාත්‍රි නින්දට වන්නේය. ඒ අතර කාලයෙහිදී කිහිප විටක් ඔවුහු කාම සම්භෝගයෙහිද යෙදුනෝය. දරුවන් දෙදෙනා එක හුස්මට මුළු රාත්‍රිය පුරා නිදාගත්තේ ඉතා කලාතුරකිනි.රාත්‍රිය මධ්‍යයේ දරුවන් අවදිව හඬන්නට වන් වූ කල්හි සුද්දී ඔහු කෙරෙන් ඉවත්ව ඔවුන් වෙත ගියාය. ඔවුන් ඇගේ දෙතනයෙන් කිරි උරා බොන අයුරු අසමින් කෙමෙන් යථා තත්වයට පත්වන තම අශ්වාස ප්‍රශ්වාසයට සවන් දෙමින් දඩයක්කාරයා එවිට දෑස් පියාගත් වනම වැතිර හුන්නේය.

එදවස මෝසම් වැසි යලිදු පමා සමයෙක් විය. දිවා කල වනපෙත පුරා පැතිර තිබූ ගත පෙලන දාහය අඳුරු වැටුනු පසුද ඉහිල් වූයේ ඉතා මඳ වශයෙනි. එබැවින් ගෙපැල තුල වූ උණුසුම ඉවසිය නොහැකි වූ දඩයක්කාරයා ජීවිත කාලයක් තිස්සේ සුපුරුදු අයුරු පිල්කඩෙහිම වැතිර නිදන්නට වූයේය.

ඉන්පසුව දරුවන් නිදිගත් ඉක්බිති සමහර රාත්‍රීයාමයන්හි සුද්දී ඔහු වෙත පැමිණියා ඔහු අසල වැතිර ගත්තීය. එහෙත් අදාල ක්‍රියාකාරකමෙහි තීව්‍රතාව අවරෝහණය වී යන්නා හාම ඊට සමානුපාතිකව අනුයාත සිදුවීම් දෙකක් අතර කාල පරතරයද ආරෝහණයවී ගියේ අවසන එවන් සිදුවීමක් අවසානයට සිදු වූ දින මතකයට නඟා ගැනීමට පවා අසීරු වූ දිනයක් උදාවිය.

දඩයක්කාරයා දිවා කාලය මුලුමනින්ම පාහේ ගෙපැලින් බැහැරව ගතකිරීමට පුරුදුවිය. කුඩා කල පටන්ම මේ ඔහු අනුදත් ජීවිත චර්යාව වූ හෙයින් එහි ඔහුට කිසිදු අරුමයෙක් නොවීය.

අහස් කුස පුරා අතුපතර විහිදා මධ්‍යාහ්නයෙහි පවා සැඩ හිරුරැස ආවරණය කොට සිහිලස සදන මහා වනස්පතියක සෙවණෙහි ඇසි පියකුදු නොසොල්වා නිසොල්මන්ව හිඳ හරිත අතුපතරින් පෙරී ආ හිරු රැසින් නැහැවුණු රන්වන් සිරුරින් යුතුවැ හරිත වන් ලතණ බුදිමින් නිදැල්ලේ හැසිරෙන මුව පොව්වන් දෙස බලාසිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

වර්ෂාව කලකින් නොලැබ තණපත් දුර්වර්ණව වියලී ගිය ගල් කුළුවලින් වටවුණු තැනිතලා බිම රත්වීමෙන් ඉහල ගිය උණුසුම් වා රැලි මතුයෙහි විදහාගත් පියාපතින් යුතුව නිදැල්ලේ පාව යන උකුසු යුවලක් දෙස සුරත නලළ මත තබා හිරුරැසින් ආවරණය කොටගත් දෙනෙතින් ඇසිපිය නොහෙලා බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

රාත්‍රියෙහි මරාගත් මුවකු හෝ ගෝනකුගේ මාංශය කුස පුරා අනුභව කොට හීං ඇළේ වක්කලම එපිට පසුගිය මෝසම් වර්ෂාව හා සමඟ වනය සිසාරා හමා ආ චණ්ඩ මාරුතය කරණ කොටගෙන ඇදවැටුනු කුඹුක් කඳ මත අලස සුවය විඳිමින් වරින් වර මුව අයා ඈණුම් හරිමින් නිදන දිවි නාම්බා දෙස නිසොල්මන්ව බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

හීං ඇළේ දිය නැම්මේ ගලා එනු ලබන ජල දහර ස්වභාවික ගල් වැටියක් හේතුකොටගෙන හරස් වී සැදුනු දියවලෙහි, පතුලෙහි වූ සුමුදු සහ සුමට තිරුවාණ ගල් පවා පැහැදිලිව පෙනෙන සේ සුපැහැදිලි වූ ජලයෙහි සෙමින් වරල් සලමින් ඒ මේ අත පිහිනායන ලූලන් දෙස හිස නැඹුරු කොටගත් වනම බලා සිටීමට දඩයක්කාරයා ප්‍රිය කලේය.

මෙසේ එක් දිනක රූස්ස පළුගසක් සෙවණෙහි හිඳ ඔහු ඒ අසලම දුව පනිනා සා පොව්වන් යුවලකගේ විප්‍රකාර නරඹමින් සිටියේය. එක් වරම සුළඟ හමනා දිශාවේ වෙනසත් සමඟම ඉතා සිහින් ගීත රාවයක් වැන්නක් ඔහුගේ සවනට වන්නේය.වික්ෂිප්ත වූ දඩයක්කාරයා එකෙණෙහිම හිස ඔසවා ඒ හඬ පැමිණි දෙස විපරම් කල නමුදු එක්වරම හමා ආ සුලඟ සමඟ ඇසුණා වූ ඒ හඬ සුලඟ සමඟම වියැකී ගියේය.

සුලඟ හමන දිශාව අනුව ඒ ගීතමය හඬ පැමිණියේ වාළිඹේගල දිශාවෙන් බව නිසැකවම දැන සිටි දඩයක්කාරයා යලිදු ඒ බලාපොරොත්තුවෙන් සවනේන්ද්‍රිය තියුණු ලෙස ඒ දෙසට යොමුකොටගත් වනම පොරොත්තු වූයේය. ඔහු උපකල්පනය කල ලෙසම නොබෝ වේලාවකට ප්‍රථම යලිදු ඒ ගීතමය හඬ වනය සිසාරා පැතිර ගියේ ප්‍රථම වරට වඩා බොහෝ සේ පැහැදිලි සහ තීව්‍ර ලෙසය. ඔහු දෙපා අසල දුව පනිමින් හුන් සා පොව්වන් දෙදෙනා ද එක් වරම සිටි පියම නතරව ඒ හඬ පැමිණි දෙස විපරම් කරමින් තම දිගැති සවන් ඒ දෙසට හරවමින් විපරම් කලෝය.

ඒ හඬ පැමිණි දිශාව පිළිබඳව දඩයක්කාරයාට කිසිදු සැකයක් නොවීය. ඒ වාළිඹේගල කඳු මුදුනට මඳක් පහලින් වූ තුඟු ගල් කුළු අතර හොඳින් ආවරණව පිහිටි ගුහාව දෙසිනි. වහා ඉද්ද ගැසුවාක් මෙන් නැඟී සිටි දඩයක්කාරයා හිස ඔසවා මඳ වේලාවක් වාළිඹේගල පර්වත මස්තකය දෙස බලාගත්වනම කල්පනාවෙන් බරවූයේය. ඉනික්බිති තීරණයකට එළඹුනු අයුරු හිස පහත් කොටගත්වනම මොහොතක් පසුවූයේ වාළිඹේගල දෙසට දෙසට ගමන් කරන්නට වූයේය.


මතු සම්බන්ධයි........ 

( ඔන්න තව එකම එක පාරයි මතු සම්බන්ධයි කියල දාන්නෙ...පොඩි කාලෙ අර දිවේ කතිරෙ ගහල පොරොන්දු වෙන්නෙ..ඔන්න මමත් එහෙම දිවේ කතිරෙ ගහලම පොරොන්දු උනා..හරිය? )


Thursday, January 17, 2013

154. හුණු වටයේ කතාව - දශක සතරක මතක

හැත්තෑව දශකය...ඔන්න ආයෙමත් පටන් ගත්ත....ඒත් කොරන්ට දෙයක් නෑ....හැත්තෑව දශකයෙ යව්වන යව්වනියො හැටියට දෙයියෝ සාක්කි හැත්තෑව දශකය නැතුව ආය ජූතක බමුණගෙ අමුඩ ලේන්සුව ගැන කතා කොරන්ටය? 

නාට්‍ය චිත්‍රපට සංගීතය ඔය හැම කලා අංශයක්ම ඔය දවස්වල පුදුම විදිහෙ දියුණුවක් ලැබුව. 

බෙල්ලෙ උපන් ලප තුනක් එක පෙළට තියන කුළුඳුල් තරුණියක් මුණ ගැහුන විලී අබේනායකට......ගාමිණී , මාලිනී. ලෙස්ටර් - නිධානය 

අබිලිං මාමා මිහිදුම අතරින් පිය මනිමින් බොඳව නොපෙනී යන තුරු සිරිසේන බලා හිටිය දොරකඩට වෙලා…...ජෝ , මහගමසේකර..තුංමංහංදිය 

මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනව...දුක් ගීයක් ලියනු මැනව...නන්නා ඳුනනා ඔබගේ...ඒ..ඒ ..ඒ ..ඒ… හිත කීරිගැහෙන ඒ හඬ වාතලයට මුසුව යද්දි ඔවුන් තුන්දෙනා කෙමෙක් ඉහලට නැඟෙන දුම් රොටු සුළඟේ විසිර අතුරුදන් වෙලා යනව හිස් ඔහේ බලන් හිටිය…..කළං, විමල්, සෝමසිරි, විජය...අමරදේව සමඟ පතිරාජ 

හෙලන් මා දැල විසි කරල මාළු අල්ලනව වෙරළෙ පොල් ගහක් යට ඉඳගෙන බේබි මහත්තය බලා හිටිය ඇහිපිය නොගහ…..මාලිනී, විජය..පතිරාජ...බඹරු ඇවිත් 

ශ්‍රී සම්බුද්ධ සද්ධර්ම අනුහසින් ...කමලාසනාරූඪ සරස්වතී ආශිර්වාදයෙන්..රසික ඔබ මිලනයෙන් ආනන්දජනකවූ මේ සොඳුරු රාත්‍රී යාමයේ සුව හසක් සවන් යුග ප්‍රීතියෙන් උදම් වේවා..ප්‍රීතියෙන් උදම් වේවා!!!!! - මේ ඊයෙ පෙරෙයිද අවසන් ප්‍රසංගය පැවත්වුනු ස..... මංගල දර්ශනය.. වික්ටර් 

ඒ අතර වේදිකාවේ භූමිකාව...ලූෂන් සමඟ රතු හැට්ටකාරි....හෙන්රි ගේ මකරා..ලන්ස්ලොට් ලෙස ධර්මසිරි බණ්ඩාරනායක... 

අවසානයේ හුණු වටය....මවිසින් මේ සියළු අනුපාන, කටගැසුම් ඔබ වෙත ගෙන ආයේ මේ කූට ප්‍රාප්තිය වෙතය. ඒ මක් නිසාද යනු ඔබට සටහන අවසානයේ වැටහෙනු මට නොඅනුමානය. 

බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ උත්තරීතර කලා නිර්මාණය... 

දෙයක් වේනම් මෙදියත...සුදුස්සාටම අයිති වියයුතු. කල්ප විනාශය තෙක්ම වලංගු එහෙත් මෙදියත කිසිදාක ක්‍රියාත්මක නොවුනු, ක්‍රියාත්මක නොවන එසේම ක්‍රියාත්මක වේයයි සිතියද නොහැකි සනාතන ධර්මතාවය.... 

හුණු වටයේදී බ්‍රෙෂ්ට් අනුගමනය කල දුරස්ථකරණයේ රංග කලා රීතිය...එදවස කුඩා දරුවකුව සිටි මට කිසිසේත්ම නොවැටහුණු නමුදු පසු කලෙක දුරස්ථකරණය පිළිබඳ යම් තරමකට හදාරා හුණු වටය යලි නැරඹූකල්හි බ්‍රෙෂ්ට් ඒ පිළිබඳ කෙතරම් සැලකිලිමත් වී තිබිණිදැයි මට පසක් විය. 

නාට්‍යය යනු වේදිකාව මත රඟදැක්වෙන්නක් විනා සත්‍ය සිදුවීමක් නොවන බව ප්‍රේක්ෂකයාට නිරතුරු ඒත්තුගැන්වීම නාට්‍ය කරුවාගේ කාර්ය භාරය වියයුතුබව බ්‍රෙෂ්ට් තරයේ ඇදහූයේය.වේදිකාවේ පාත්‍ර වර්ගයා හා සමඟ අනන්‍ය වීම , එහි රඟ දැක්වෙන නාටකය හා භාවාතිශය ලෙස ඒකාත්මික වීම මඟින් ප්‍රේක්ෂකයා නාට්‍යයකින් ලැබිය යුතු බුද්ධිමය අවදි කිරීමෙන් වැලකෙන බව ඔහු පැවසුවේය. 

අසඩක් විනිශ්චයකරුවකුවූ හොර දෙටුවෙකු මඟින් ඔහු තැත්කලේ අපට ඒ පණිවිඩය ලබා දීමටය.අප අවදි කිරීමටය. එහෙත් බ්‍රෙෂ්ට්ගේ අපේක්ෂාව කෙතරම් දුරට ඉටුවිණිදැයි යන්න පිළිබඳ මට ඇත්තේ සැකයකි. 

අසඩක්........ 



හුදු බලලෝභී පාලකයාගේ අවශ්‍යතාවය මත විනිසුරු අසුනට ඔසවනු ලැබූ හොර දෙටුවෙක්...එහෙත් ඔහු වනාහී දයාර්ද්‍ර ගුණ සපිරි මානව වර්ගයා කෙරෙහි දයාබර සිතැති හොරදෙටුවෙක්ම විය.විනිශ්චයාසනාරූඪ වූ වහාම ඔහු පවසන මේ උදාන වාක්‍යය හුණුවටය මුල්වරට නරඹා ගෙවීගිය මේ දශක සතරකට ආසන්න කාලය මුළුල්ලේ මසිත නොමැකී රැඳී පවතිනුයේ කුමන හේතුවක් නිසා ද යනු අදටත් මම නොදන්නෙමි. 

" හැමදාමත් නඩුකාරයා කියන්නෙ හොරෙක් . ඔන්න මේ පාර ඒ සම්ප්‍රදාය තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල හොරෙක් නඩුකාරයෙක් උනා...……'' 

- අසඩක් - විනිසුරුවරයකු වූ සොර දෙටුවා - හුණු වටයේ කතාව. 






Tuesday, January 15, 2013

153. සද්දන්ත ප්රේමයක අවසානය එසේ සනිටුහන් විය........


දඩයක්කාරයො කියන්නෙ කැලෑවල ඉන්න කට්ටියක්නෙ. එහෙ කොහෙන්ද බූල් බූල් තුවා?...ඔව් අනේ අර රෝස මල් එහෙම තියෙන බූල් බූල් තුවා....අර මම අපෙ අම්මණ්ඩිගෙ කඳුලු පිහින්නෙ....අන්න හරි අර බින්දි මැඩමුත් මේ ළඟදි ගත්තෙ සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව .....අන්න එව්ව තමයි.........ඉතිං අර සොඳුරු යුවතිය කඳුලු ගහනකොට දඩයක්කාරයට කරන්ට තිබ්බෙ එකම වැඩයි...අමුඩෙ ගලෝල සොඳුරු යුවතියගෙ කඳුලු පිහින එක විතරයි... 


'' සොඳුර තොප වෙනුවෙන් මසිත් පිරි සෙනෙහස මෙතෙකැයි කිව නොහැක. ඔබ නෙතින් ගලායන මේ කඳුලු දහරා පිසහරිනු වස් මා සතු එකම අමුඩ රාජයා එකෙණෙහිම ගලවා ලීමට පවා මම මොහොතකදු පමා නොවන්නෙමි. '' 


ෂෙහ්, අකලංක ප්‍රේමය එක වැකියකට කැටිකල මේ වගෙ අවස්ථාවක් ගැන අහලවත් තියෙනවද ඔය ගොල්ල? 


අම්මප මයෙ ඇහැටත් ආව කඳුලු......බූල් තුවාය ගෙදර නෙව....බෙඩ් සීට් එකෙන් වත් දැනට පිහල දාමු.... 


ඔන්න බලන්ට පොඩිත්තක් කල්පනා කරල එහෙම කරන එක පිරිමියෙක්ට ඉස්තිරියාවක් වෙනුවෙන් කරන්ට පුලුවන් ඉහලම කැපකිරීමක් නෙවෙයිද කියල...සික් ඇඳං ඉන්න අමුඩෙ ගලෝල කෙල්ලෙක්ගෙ කඳුලු පිහිනවයි කියන එක මගේ කල්පනාවෙ හැටියට සෙනෙහස ප්‍රකාශ කරන්ට පුලුවන් අන්තිම උත්කෘෂ්ඨ, පරම රමණීය, අති සංවේදී, අනභිභවනීය ක්‍රමයක්...ඒකෙ ආයෙ නෑ හෝදන්ට දෙයක් එහෙම..ඒත් ඔන්න බලන්ට පිංවතුනි මේ බබලතුංගෙ තියෙන මොරෝම ගතිය කියන්නෙ අර බින්දි එකටත් දැම්ම් නෙව කෝචොක් එකක් " එකෙණෙහිම ඈ සිහි විසඥ වූවාය '' කියල.. 


අලි මදිවට හරක්, හරක් මදිවට කිණිතුල්ලො කීවැහෙ ඒකටම එකතු උනා අර ජනනි කියන මානවිකාව.....'' මමත් ඕකමයි කියන්ට හිටියෙ " එවුන්දැ කියාපි...ඊටත් පස්සෙ දවසක යුවතියට තාම සිහිය ආවෙ නෑ කියලත් ජනූගෙ හිත සෝකෙං බරවෙල තිබ්බ...ඒ ටීකාවට උත්තර බැන්දෙ මම මෙහෙම " අඩේ බං කෙල්ලො සිහි නැතිවෙනව එහෙම නැත්තං වියාවහාර බාසාවෙං කියනව නං පේන්ට් වෙනව කියන්නෙත් මාරම ආතල් කේස් එකක්...ඉඳහංකො මට මතක වෙච්චි පරන සීන් එකක් වෙලාවක කියඤ්ඤං '' 


මේ දඩයක්කාරයගෙ කතාවෙ මාස තුනකට විතර ඉස්සර බින්දි නෝන මහත්තැං දාපු කමෙන්ට් එහෙකට මම ලියාපු පිළිතුර...එතනදි මම කිව්ව කලංතෙ දානවයි කිව්වම මට සෝක් කතාවක් මතක් උනාය , වෙලාවක කියඤ්ඤම්ය කියාල..ඔන්න දැං තමයි ඒ වෙලාව හම්බ උනේ....ඉතිං සකියනි...මෙන්න ඒ කතාව.... 


මේ කියන්ට යන සිද්ධියත් උනේ මම අර කලින් කියාපු උතුරු මැද පලාතෙ නැගෙනහිර මායිමේ ව්‍යාපෘතියක වැඩ කරන කාලෙ.... 


දිඹුලාගල ආරණ්‍යය තියෙන්නෙ ඔය අපි හිටපු හරියෙ ඉඳල කිලෝ මීටර් විස්සක විතර මානෙ. පෝය නිවාඩුව මාසෙ අන්තිමට වගෙ වැටුනොත් නම් පඩිත් සාක්කුවෙ දාගෙන කවුරුත් වාගෙ ගෙවල් බලා යන්ව..එහෙම නැතුව මාසෙ මැද්දෑවකට එහෙම පුරා හඳ මුදුං උනොත් අපි ඔය ජීප් දෙක තුනක පැටවිල දිඹුලාගල යන එක ඒ දවස්වල සිරිතක් වෙලා තිබුනෙ.... 


ඔය පෝයක් මාසෙ මැද වැටිච්චි දවසක තමයි මේ සීන් එක උනේ...අපි කට්ටියක් එදා දවල්ට කාපු ගමංම වගෙ ඒ කිව්වෙ දෙකට විතර පිටත් උනා දිඹුලාගල යන්ට...ඔය පැත්තට පායන්නෙ ආයෙ නෑ දෙහි පඳුරු හිටං කරකුට්ටං වෙලා යන්ට ගිරීස්මෙ ඇල්ලුහම..දවල්ට සතා සීපාව උනත් ගහක් කොලක් හෙවනෙ ඉන්නව මිසක එලිපෙහෙලියට එන්නෙ නෑ...ඒත් අපි හිටියෙ අර බොහොම නරක වයසෙ...හිතිච්චි දේ කරන අපිට බැරි දෙයක් නෑ කියල ආත්මාභිමානය ඉහිං කනිං පිරිච්ච නව යොවුන් වයසෙ...අපි පස් හයදෙනෙක් ඔය කලින්ම ගියේ දිඹුලාගල ගුහාවට යන්ට. 


දිඹුලාගල නායක හාමුදුරුවො...අර කොටි වෙඩි තියල මැරුවෙ....ඒ හාමුදුරුවො මුල්ම කාලෙ දිඹුලාගලට ඇවිල්ල පදිංචි උනයි කියන්නෙ ඔය ගල් ගුහාවක...දිඹුලාගල පන්සලට යන පාරෙන් හැරිල කැලේ මැදිං කන්දක් උඩට යන්ට තියනව කිලෝ මීටර් තුන හතරක්....හරි හමං පාරක් කියල එකක් නෑ......ගලින් ගලට පැන පැන යන්ට තියෙන්නෙ බොහෝ විට. 


ඔය ගමන යන්ට ඕන කියල අපි පෙරුම් පිරුවෙ බොහොම කාලෙක ඉඳල...ඇති වැඩකට නෙවෙයි...නිකං මේ කොළු කමට...අපි මෙහෙම ගමනකුත් ගියයි කියල පොඩි පුරාජේරුවක් එහෙම කියන්ටත් පුලුවන් නෙව පස්සෙ කාලෙක...ඔන්න කොටින්ම මම අද මේ කතාව කියන්නෙත් එහෙම ගියායින් නෙව...හෙහ්, හෙහ්, 


ඔය දවස්වල අපේ ඔෆිස් එකට ඇවිල්ල හිටිය අලුත් පත්වීමක් අරගෙන තමාලි කියල ටයිපිස්ට් ළමයෙක්. හරිම අහිංසක අපූරු ගෑණු දරුව..ටිකක් විතර පුෂ්ටිමත් පැත්තට බරයි හැබැයි...ම්ම්ම්ම් ඔය සිමෙන්ති කොට්ට දෙහෙකට වැඩි උනත් අඩු එහෙම නෑ... 


අපෙ සාද නිවාසයෙ ( Chummery කියන ඉංගිරිසි වචනෙ සිංහලට පෙරලල තිබ්බෙ සාද නිවාසය කියලයි ඒ දවස්වල. කොයි ලෝකෙං හොයාගත්තු එකක්ද නං දෙයියො තමයි දන්නෙ ...) මයෙ අල්ලපු කාමරේ රූම් මේට් ඇවිල්ල ගිනිගත්හේන පැත්තෙ. නම චමින්ද......ඕකා හරියටම මැස්සො බීපු ගොයං ගහ වගෙ..හුළඟටත් වැටෙන සයිස්...කොච්චර කෑවත් ඇඟට අල්ලන්නෙ නෑ...හැබැයි හොඳ ලස්සන කොලුව..කොන්ඩෙ තනිකරම අක් බඹුරු. ඇඩ්වඩ් ගොයියගෙ වගෙ ඔන්න කොටිම්ම....දන්නවනෙ ඇඩ්වඩ් ගොයිය නේද?...මේ දවස්වල ඔය රණවිරු ඉස්ටාර් එහෙම විනිස්චේ කොරන්නෙ..ආං උන්දැ.. 


ඔන්න ඉතිං බලාපල්ලකො වැඩක හැටි කියන්නෙ මේ යක්සයට හිත ගියා අර තමාලි කෙල්ලට..කාගෙ හිතද?...එඩ්වඩ්ගෙ නෙවෙයි බොලව්..අර මම කිව්ව හීනැස්සගෙ..මයෙ යාලුවගෙ...චමින්දයගෙ... 


ඔය පෝය දාට කලින්දා හවහ ඔන්න අපි මිදුලෙ රවුමට පුටු තියාන.....හෙහ්, හෙහ්, දන්නව නෙව....ආය අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ...ඉතිං රවුමට පුටු තියාන ඉන්නව හඳ දිහාවෙ බලාගෙන....හවස වැඩ ඇරිල ඇවිත් අපි කරන්නෙ ටේබල් ටෙනිස් අතක් එහෙම ගහල කාරිය නා කියාගෙන ඔය මිදුලෙ රවුමට වාඩිවෙලා ඉන්න එක තමයි. අපෙ අතරෙ ඉන්න ප්‍රේමවන්තයො ඉන්නවනෙ...ඔය ප්‍රේමවන්තයො දෙවැදෑරුම්....Resident පෙම්වත්තු සහ Non-resident පෙම්වත්තු... Resident පෙම්වත්තු කිව්වෙ ගෑණු දරුවත් අපෙ කෑම්ප් එකේම ඉන්න අය.ඒ කිව්වෙ රස්සාවට ඇවිල්ල හිච් වෙච්චි අය. Non-resident පෙම්වත්තු කියන්නෙ ඒකෙ විරුද්ධාර්ථෙ. එවුංගෙ කෙල්ලො ඉන්නෙ පිට. උං ඉතිං කොරන්නෙ හවසට නාල එහෙම සැං පොඩ්ඩකුත් ගහගෙන කඩදහි කොලේකටත් සැං ටිකක් ඉහල සෙනෙහෙ කොල ලියන්ට පටන් ගන්න එක. 


සමහර එවුංට සැට් වෙල හිටියෙ නූතන ගජමං නෝනල...උංට එවන ලියුම තනිකරම කවියෙං....කිව්වට මක් වෙනවද ආය බොරුවක් එහෙම නෙවෙයි මටත් යහමිං ඕඩර් තිබ්බ ඒ දවස්වල කවි ලියාදෙන්ට...නික නිකම්ම වගෙ තමයි එව්ව ලියල දුන්නෙ.හෙහ්, ඔය අනුං වෙනුවෙං කවි ලිවිල්ලට ගිහිල්ල මට එක පාරක් හරිම හෙයියම්මාරුවකුත් උනානෙ....හරි ඒක වෙනම කියඤ්ඤං......ආය දවසක.... 


රෙසිඩන්ට් පෙම්වත්තු ඔය ක්‍රීඩා වලට යන්නෙ නෑ. උන්දල ආපු ගමං නාල කරල කිට මරාගෙන යනව කෙල්ලො ඉන්න චමරියට. ඒ ගිහාම ආය එන්නෙ රෑට කන්ට බලාගෙන තමයි. ඔය දවස්වල ඒ පැත්තෙ කොටි කේස් හරියට. අපේ කෑම්ප් එක වටේත් බංකර් තිබ්බ හත අටක්ම. ඉතිං අර අපේ පෙම්වත්තු හවසට යන සුපුරුදු ගමනට අපි කිව්වෙ බංකරේ ඩියුටි යනවයි කියල.... 


හරි දැං මේ පෝය දාට කලින්දා නෙව.අපි මිදුලෙ රවුමට පුටු තියාන බුද්දාලම්බන පිරීතියෙං ඔද වැඩිල ඉන්න තැනට අන්න අරූ ඇවිල්ල ඉඳගත්ත. කවුද ආවෙ? චමින්දය... 


ඒකයෙ මූණ හොඳ නෑ.... 


" මොකෝ බං? " විමලෙ ඇහුව.... 


" මේ හරි වැඩේනෙ .... " චමින්දය තටමනව... 


" ඉතිං කියාපංකො බලන්ට ...මොකක්ද ඔය වැඩේ කියල…" ඒ මම 


" මේ තමාලි……." තමාලි මතකනෙ අර බොහෝසේ පිරිපුන් ගැහැණු දරුවා... 


" මේ...තමාලිත් හෙට එන්න ඕනය කියනවනෙ......." චමින්ද බොහොම හෙමිහිට ඒ ටික කිව්වෙ.. 


" යකෝ උඹ මොකටද එව්ව එයාට කියන්ට ගියේ? " විමලෙ කෑගැහුව. 


" මට කිය වුනා කතාකරකර ඉන්දැද්දි …" චමින්දය අඬන්ඩ වගෙ. ඕක කොහොමත් ළඳ බොලඳ පොර.හරිම අහිංසකය. 


ඉතිං මොකද කොරන්නෙ?....චමින්දය දාල යන්නත් බෑ. අන්තිමට අපි තීරණය කලා තමාලිත් එක්ක යන්න….. වෙන මොනව කරන්නද? 


" හැබැයි මේ ඒකි විතරයි හොඳද?...අනික් කෙල්ලො ඔක්කොම ලෑස්ති කරගන්ට එහෙම බෑ..හරිද?.... " අපි අරූට කොන්දේසි දැම්ම. 


" හරි, හරි….. එහෙම වෙන කවුරුවත් එන්ට කෙනෙක් නෑ. හෙට උදේ අනික් තුන් දෙනාම ගමේ යනව.... " චමින්දයගෙ මූණෙං එකයි හිනාව. 


ඔන්න පහුවදා දවාලට කාල එහෙම දෙකට විතර අපි පිටත් උනා දිඹුලාගල....අපේ චමරියෙ හය දෙනයි මාත් එක්ක..ඊට අමතරව තමාලි.... 


දිඹුලාගල ගල උඩ තියනව අහස් මන්දිරේ කියල එකක්. ඒකට යන පාරෙ මඟක් ගිහිල්ල හැරිල කැලේ මැදිං තමයි ඔය ගුහාවට යන්ට ඕන...අපි පස් දෙනා ඉස්සර වෙල ගිය. පේමවන්තයො ජෝඩුව ඉතිං දන්නවනෙ. ඇලී ගැලී ...උකුළු මුකුළු රටේ නැති එව්ව...ඔව්ව කර කර පහු වෙල ආව...ටිකක් දුර ගිහිල්ල ගලක් උඩ ඉඳගෙන අපි ඉන්නව මුං දෙන්න එනකල්... 


කොහොමින් කොහොමින් හරි ගුහාවට යනකොට හවස හතරාමාර වගෙ උනා. ඔය ගුහාව වවුල් විමානෙ. අපි ඉතිං ඕක ඇතුලෙ වවුල් වසුරු එහෙම පුළුවන් තරම් මඟඇරල ටිකක් එහෙ මෙහෙ ඇවිදල ආපහු පල්ලම් බහින්ට පටන් ගත්ත. කළුවර වැටෙන්ට කලියෙං ජීප් එක ගාවට යාගන්ටත් එපාය. අනික ඔය කැලේ වලස්සු එහෙමත් හිටිය ඒ දවස්වල.... 


ඔය කඳුවලට නඟිනවට වඩා අමාරුයි ඒ එක්කම ආපහු බහිනකොට....කකුල් නිකං දණිහෙං නැවෙනව අනික් පැත්තට රබර් වගෙ ....කන්දෙ මඟක් දුර බහිද්දි එක පාරටම පිටිපස්සෙම්ම ආපු විමලෙ ගලක් පල්ලෙ ඇදං වැටිච්චි..ඒ වෙලාවෙ මොකක් උනාද කියල ඌටත් හරියට නිච්චියක් නැහැල්ලු. එක පාරටම ගලකින් අනික් ගලට පනිද්දි ගලපල්ලෙ ඇදං වැටුන කියල විතරයි විමලය දන්නෙ.අපි කට්ටියම වට වෙල මේකව නැඟිට්ටෙව්ව. බරපතල තුවාලයක් නම් වෙලා නෑ. ඒත් වම් කකුලෙ දනිස්සෙං පල්ලෙහා කලිසමත් ඉරාගෙන පලාතක්ම හම ගිහිල්ල. ලේ ගලනව ඕසෙට. 


කලිසම උඩට කරල නවල වැල් පොටකිං ගැටගහල අපි බැලුව මේකගෙ ලේ නවත්තන්ඩ විදිහක්.විමලයම තමයි ඔය ඔව්වට හොඳ කැලෑ කොලජාති ගැන දන්නෙ..ඕක ඔය ජනූලගෙ මොකෑලන්තෙ කිට්ටුව එකෙක්. වාං පතුල් මොඩල්..ඒ කිව්වෙ ඕක සෙරෙප්පු සපත්තු ඔක්කෝටම කියන්නෙ වාංපතුල් කියල...ඕක එක්ක දවසක් කදුරුවෙල ටවුමෙ බාටා ජෝඩුවක් ගන්ට ගිහිල්ල කප්පච්චියේ වෙච්ච නව නිංගිරාවක්....ඒ කතාව සහ විමලෙගෙ තවත් නොයෙක් කතා තියනව එව්ව පස්සෙ හොඳද? 


ඉතිං විමලයම පෙන්නපු කොල ජාති වගයක් කඩල ඇන්න තලල අපි උගෙ තුවාල වලට තියල ඔය තිබ්බ ලේන්සු එහෙම එකතු කරල බැන්ද....ලේ නම් යන්තමට නැවතුනයි කියමු. ඒත් මූට පයිං යන්ට බෑ පහලට.උහාන තමයි යන්ට වෙන්නෙ. වෙලාවට විමලයත් ඒ හැටි මහත දෙහෙත එකෙක් නෙවෙයි. දෙන්නෙක් ඔන්න උගෙ කිහිලි යටින් අත දාල උස්ස ගත්ත. තව එකෙක් කකුල් දෙක දිහායින් පරිස්සමට උහාගෙන ඔන්න දැං අය්යනායක දෙයි හාංදුරුවංගෙ පිහිටයි කියල ආයෙම පල්ලං බහින්ට සූජානං උනාය කියල කියමුකො. 


" ඒයි අනේ මචං....පොඩ්ඩක් හිටපල්ල......" ඒ චමින්දය. 


මේ කලබල අස්සෙ අපට පෙම් යුවල අමතක වෙලාම තිබ්බෙ. මෙන්න උන් දෙන්න ඉන්නව ටිකක් එහායිං ගහක් යට ගල්තලාවක ඉඳගෙන. තමාලි අරූගෙ උකුලෙ ඔළුව තියාගෙන..දෙයියෝ සාක්කි මෙච්චර දෙයක් වෙලත් මුං දෙන්නට ගානක්වත් නැති හැටි. මේ කලබල අස්සෙත් පේම ජවනිකා...මම ඔහොම කිව්වෙ නෑ, හිතුව විතරයි. 


" ඒයි යමං බං විගහට, රෑවෙලා පාර පේන්නෙත් නැතිඋනොත් තමයි කෙළිය.." .අන්න ඒ ටික තමයි මම කිව්වෙ. 


" අනේ මචං..තමාලිට කලන්තෙ වගෙයිලු… " චමින්ද කිව්වෙ කෙඳිරිගානව වගෙ. 


මදෑ..ඔය තියෙන්නෙ තාප්පෙට විතරක් නෙවෙයි ගේට්ටුවටත් කෙලල...අලි මදිවට හරක්...හරක් මදිවට කිණිතුල්ලො කිව්වළු...ඉතිං මොකේදැයි දං වලඳන්නෙ කියල ඇහුවලු ලොකු හාමුදුරුවො....මයෙ හිතට ඔය වගෙ කල්පනා ගලාගෙන ආව එක දිගට. 


" ලේ දැක්කම තමාලිට කලන්තෙ හැදෙනවලු......." චමිය ආයෙම කිව්ව බොහොම අහිංසක තාලෙට.... 


" තමාලි තමාලි……." මම කතා කලා....ම්හු.. නෑ උත්තරයක්.... 


එකෙක් ගාව තිබ්බ වතුර බෝතලේකිං ටිකක් ඉස්සට පස්සෙ ඔන්න යන්තමට ඇස් ඇරිය....ඔළුව උස්සල බලල අපි වටවෙලා ඉන්නව දැක්කම ආයෙම බිම බලා ගත්ත. 


"මොකද ඔයාට? නැඟිටල හෙමිහිට වත් කන්ද බහින්ට පුලුවන් වෙයිද? " 


" පුළුවන්......." 


කෙල්ල එහෙම කියල නැඟිටින්ඩ හැදුව. මොන?...ආයෙම ඉඳගත්ත හිටපු විදිහට ගල්තලාව උඩම. 


" මෙයාට තවම අමාරුයි වගෙ බං..අපි තව ටිකක් ඉඳල යමුද? " 


" එහෙම ඉන්ට බෑනෙ බං...තව ටිකකිං කලුවර වැටෙනව...අනික දැං මේ දෙන්න නිසා අපිට කොහොමත් යන්ට වෙන්නෙ බොහොම හෙමීට . ඒ නිසා කරන්ට දෙයක් නෑ. බැරි මරගාතෙ හරි දැම්මම පිටත් වෙමු …." මම කිව්වෙ චමින්දයගෙ උරෙස්සට අත තියල. 


එහෙම තමයි උනේ...විමලෙගෙ උරහිස් වටේ අත් දාල දෙන්නෙක් වාරුකරගත්ත. තනි කකුලෙන් කුන්දු පැන පැන වගෙ ඔන්න පල්ලං බහින්ට පටන් ගත්ත. උගෙ වැඩේ නං හරිය කියමුකො. දැං මේ තමාලිගෙ වැඩේ...මේ අම්මණ්ඩි ආම් බාං කොරන්ට ලේසි නෑ. කොහොමත් ඔය මහත කෙල්ලො ඉන්නව නේද?...හපොයි උංගෙ සරීර.....අවයව කියන එව්ව යන්නෙ අයිතිකාරයට ඕන දිහාවට නෙවෙයි. එවුන්ට ඕන දිහාවලට.කොහොමත් පණ කඳ ඇතුව ඉන්න කොටත් එහෙම කොට නිකමට හිතාගන්ටකො බගෙට පණ නැතුව ඉන්න අරුංදැගෙ අවයව කොහොමට තියෙන්ට ඇද්ද කියල...මොනවද ඉතිං,. අවයව ගියේ තනිකරම උන්ට ඕන දිහාවලට. අඩි දහයක් යන්ට හම්බුනේ නෑ චමින්දයට මේ වැඩේ තනියම බැහැයි කියල තේරුනා මට. 


තමාලිගෙ අවයව එව්වට ඕන දිහාවෙ යනව කිසි ගානක් නැතුව. තමාලි ඇස් දෙක බාගෙට පියාගෙන ඒ පස්සෙ යනව. තමාලි පස්සෙං අරූ ඇදිල යනව ඔය කෝච්චි වලට හරක් අහු උනාම ඒ පස්සෙං ඇමිණිල ඇදිල යන්නෙ ආන්න ඒ වගේ... 


" මචං ...ඒයි උඹත් වරෙංකො... පොඩි සපෝට් එකක් දීපංකො ..." 


බැරිම තැන චමින්ද මා දිහා බලල කිව.......ඉතිං මොකද කොරන්නෙ?...දසමසක් කුසේ හොවාල ලේ කිරී ලෙසින් පොවාල පුංචි කාලේ ඌව හැදුව උගෙ මතු බුදුබව ලබනා මෑණියන් වහන්සෙගෙ නිම් හිම් නැති ගුණ කඳ සිහිකරල එහෙම මමත් කර ගැහුව පැත්තකට......හප්පච්චියෙ..මේ කල්ප බාගයක් විතර ගිහිල්ලත් තාමත් මතක් වෙනකොට මයෙ මයිල් කෙලිං වෙනව.කෙලින් වෙල නිකා හිටපියකො..ඒත් නෑ..කෙලින් වෙලා හිටගෙන සට සට ගල වෙව්ලනව. 


කොහොම හරි අයියනායක දෙයිහාමුදුරුවො පිහිට උනා අපිට මම හිතන්නෙ..කිසිම අතිරේක අතුරු ආන්තරාවක් නැතුව කන්ද පාවුල තිබ්බ ජීප් එක ලඟට ආව ඇහැ පානෙට තියෙද්දිම. 


ඒ කතාව වනාහී එතනින් නිමියේය. 


පසු කතාව මෙහෙමයි...එදා ඔය ගමන ගිහිල්ල ආවයිං පස් සෙ චමින්දය වැඩි උනන්දුවක් දැක්කුවෙ නෑ බංකරේ ඩියුටි එහෙම යන්ට.අපි සෙල්ලං කරන්ට යනකොට ඔන්න ඌත් එනව අපේ පස්සෙං මචං මත් එනව අද ටී.ටී. ගහන්ට කියාගෙන...මේක බැරිම තැන අපි කට්ටිය කෙලින්ම ඌ එක්ක සාකච්චා කලා මේ ගැන.... 


" මේ මල්ලි..කෙලින්ම කියාපං මොකද දැං වෙලා තියෙන්නෙ? උඹ මොකද දැං අරහෙ පලාතෙ වත් යන්නෙ නැත්තෙ? " 


ඒ විමලෙ...ඕකා කකුල ලෙලි ගහගත්තයින්නෙ මේ ඔක්කොම සිද්ද උනේ..... 


" මට බෑ අයියෙ....මම ඒ වැඩේ අත ඇරල දානව..... " 


චමිය කෙලිම්ම කිව්ව. 


" හරි මචං උඹට එහෙම හිතෙනව නං ඒකෙ අවුලක් නෑ. තීරණය තියෙන්නෙ උඹ අතේ ...ඒක හරිද වැරදිද කියන්න අපි කවුද?..ඒත් එදා අර කෙල්ල කලංතෙ දාපු එක ගැන විතරක් නම් උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ මට කියන්න තියෙන්නෙ ඒ ගැන ආයෙම පාරක් හිතන්න කියලයි. එදා එහෙම උනාට හැමදාම එහෙම වෙන එකක් නෑනෙ බං.... " 


ඔන්න ඔහොමයි මම කිව්වෙ. 


" බෑ මචං ඒක හරියන්නෙ නෑ.මම හොඳට හිතලයි මේ තීරණය ගත්තෙ. කාටද පුළුවං මාසෙකට සැරයක් හැමදාම ඒ අම්මණ්ඩි වත්තං කරගෙන එහෙ මෙහෙ යන්න?....." 


චමින්දය ඔහොම කියාගෙන නැඟිටල ගියා අපි කවුරුවත් දිහාවෙ නොබලම... 


අපි එකිනෙකාගෙ මූණු දිහාවෙ බලං හිටිය එහෙමම. 


කිව්වට විස්වාස කරන්ට මේ ඇත්තමයි..මෙච්චර කාලයක් ගිහිල්ලත් තාමත් මම කල්පනා කරනව එදා ඒ චමිය කිව්ව කතාවෙ තේරුම මොකද්ද කියල....හෙහ්, හෙහ්, 


******************************************************


ප. ලි - අනෙ අම්මප...මේ ඇත්තමයි, මතු සම්බන්ධයි අගට නොදා කතාවක් ලියනව කියන්නෙ නිකං ඒ ලියපු එකෙනුත් වැඩක් නැති ගානයි.... :) :) 


Thursday, January 10, 2013

152. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....29


දඩයක්කාරයා සහ සුද්දීගෙ ජීවිතය මෝසම් වර්ෂාව මාසයක් හෝ දෙකක් පමාවීමෙන් පසු නිසොල්මන්ව හැල්මේ ගලා බසින හීං ඇළ මෙන් ආයාසයකින් තොරව ගලා ගියේය.ඔහු සතියකට දෙවරක් හෝ තුන්වරක් ගෝණකු හෝ මුව නාම්බකු ඉලක්ක කොට ගිණි බිඳ මස් ගාතයක් හෝ දෙකක් හුවමාරු කොට අවශ්‍ය කළමනාදිය පිරුණු ගෝණි මල්ලක් කර මතින් රැගෙන ආවේය.ඇය එහිවූ වියළි ආහාර ද්‍රව්‍ය සහ අනෙකුත් අඩුවැඩිය ප්‍රවේශමෙන් පාවිච්චි කරමින් ආහාර පිළියෙල කලාය.ගෙපැල අවට මෝසම් වැසි සමයට අනතුරුව සීග්‍රයෙන් වර්ධනය වන වන ප්‍රවාහය කපා හෙළි පෙහෙළි කිර්‍රිම දඩයක්කාරයාගේ කාර්ය භාරයට අයත්විය. සුද්දී ගෙපැල සහ ගෙමිදුල මනා ලෙස පිරිසිදුව පවත්වාගැන්මට වග බලා ගත්තීය. 

එදින ගිගුරුම් සහිත මේඝය ගෙපැලෙහි පියස්ස මත බොරළු පතිත වන්නාක් මෙන් ඇද හැළුණු රාත්‍රිය පිළිබඳ මම ඔබට පැවසුවෙමි.ඔවුහු එදින ප්‍රථම වරට කාම සම්භෝගයෙහි යෙදුනහ. යුවතිය ගැහැණියක් බවට එදින ඒ සවන් පාරවන ගිගුරුම් මධ්‍යයේ පත්වූවා සේම ඒ දඩයක්කාරයාගේද මංගල ලිංගික අත්දැකීම වූයේය.එසේ හෙයින් එදින ඔවුහු දෙදෙනම එදින එකම මොහොතකදී ස්වකීය නොඉඳුල් බව බිඳගත් බව පැවසූවද ඒ කිසිසේත්ම අසත්‍යයක් නොවේ. 

ඉන් පසුවද සුද්දීගේ මූලිකත්වය ගැනීම මතම ඔවුන් අතර එම කටයුත්ත නොසිදුවූයේ නොවේ. ඔහුගේ ඉඳුරන් අවදි කරවීමේ ක්‍රමෝපායන් පිළිබඳව මනාසේ අධ්‍යයනය කල සුද්දීගේ ආලිංගනයන් හමුවේ ඔහුටම අඩංගු නොවූ ඉඳුරන් අවදි වූ කල ඔහු යාන්ත්‍රිකව ඔහුගෙන් ඉටුවිය යුතු කාර්යෙහි නිරත විය. සුද්දී ඔහුගේ මේ හැඟීම් විනිර්මුක්ත භාවය පිළිබඳව දැනුවත් වූවා හෝ නොවූවා ඒ අරභයා එකද වදනක් හෝ නොපැවසුවාය. 

කාම සම්භෝගයෙහි යෙදීම මිනිසුන් විසින් විවිධාංගකෘත ජීවන දර්ශනයක් බවට පත්කොටගෙන ඇති නමුදු එම සංකල්පය නිර්මාණය කිරීමෙහි ලා ස්වභාව ධර්මයා ඉන් අපේක්ෂා කලේ එකම ප්‍රතිඵලයකි. එනම් මිනිස් වර්ගයා නොනැසී ඉදිරියට පවත්වාගෙන යාමයි.ඒ එසේම දඩයක්කාරයා එම කර්තව්‍යයෙහි නිරත වූයේ තම අකමැත්තෙන් වේවා එසේම සුද්දීගේ පෙළඹවීම මත වේවා ඒ සාධක පිළිබඳව කිසිදු තැකීමක් නොකොට සවභාව ධර්මයා තමන්ගෙන් අපේක්ෂිත කාර්යය අනලස්ව ඉටු කළේය. 

එසේය සහෘදය...අහස් කුස ඒකාලෝක කරමින් පැතිර ගිය අකුණු සැර මධ්‍යයේ මහ වැසි වට ඒ පළමු රාත්‍රිය, සුද්දී යුවතියකව සිට ගැහැණියක් බවට පත් ඒ රාත්‍රියෙන්..සමාවන්න...මඳකට ප්‍රස්තුතයෙන් බැහැර වීමට මට අවසර..යුවතියක ගැහැණියක බවට පත් වීම යන යෙදුම පිළිබඳව කිසිදු ගැටළුවෙක් නැති. ඒ එවන් අවස්ථාවක් හැඳින්වීමට යෙදෙන පොදු ව්‍යවහාරයයි. එදින ඒ මහ වැසි වට රාත්‍රිය දඩයක්කාරයාගේද පළමු එවන් අත්දැකීම බව මවිසින් පවසන්නට යෙදුනා ඔබට මතක ඇතැයි සිතනෙමි.දඩයක්කරයා එදින ගැටවරයකුව සිට පුරුෂයෙකු බවට පත්වීයැයි පැවසිය හැකිදැයි මා සිත් තුල කුකුසකි. 

කම් නැත. එදින ඒ රාත්‍රියෙහි එනම් සුද්දී තොමෝ ගැහැණියක මෙන්ම දඩයක්කාර තෙම පුරුෂයකු බවටද පත් වූ ඒ රාත්‍රියෙහි පටන් එක් පුරා සඳක් මෝදුව පරිපූර්ණත්වයට පත්ව අවපසට යාමට පළමුව ඕ ගැබ්බර වූවාය. 

එක් දිනෙක සුපුරුදු ලෙස පිල්කඩෙහි ඇලවී හුන් ඔහු වෙත පැමිණි ඇය ඔහු අසල හිඳ ඔහුගේ උරහිසෙහි හිස හොවා ගත්තීය. අවට පරිසරය හමා එන සුළං රැල්ලකින් ගසක පත්‍රයක් සෙලවෙන සිහින් හඬෙන් පවා තොරවූ මේ රාත්‍රිය දැඩි නිහඬතාවයක ගිලී තිබිණි. 

සුද්දිය ඔහුගේ ජීවිතයට ඇතුළු වූ පසු තම ජීවිතයේ සිදුවූ විපර්යාසයන් පිළිබඳව දඩයක්කාරයාගේ සිතෙහි පැවතියේ අපැහැදිලි හැඟීමකි.එම විපර්යාසයන් තමනට රුචි වේද එසේ නොවේද යන්න අරභයා ඔහු වනයේ හුදකලාව සරන අතර විවේකයෙන් පසුවන බොහෝ විට සිතට වද දෙමින් කල්පනා කළේය.එහෙත් ඒ සිත් තුල කිමිද කල බොහෝ ව්‍යායාම අනතුරුවද එක හෙලා නිගමනයකට එළඹීම දඩයක්කාරයාට අපහසු විය.එක් තීරණයකට එළඹිය නොහැකි වූ ඉක්බිති ඔහු ඒ පිළිබඳව සිතට වද දීම අතහැර දැමීය. 

ජීවිතයේ නිසල භාවය බිඳ වැටුම හේතුකොටගෙන දඩයක්කාරයාගේ සිතේ හටගත් තැවුල දුරුවීගියේ මෙවන් අවස්ථාවන්හිදීය සඳ මඬල කොහොඹ අතුපතරින් එබෙමින් ගෙමිදුල කිරි වතුරෙන් නහවනු අඩක් පියැවුණු නෙතින් නරඹමින් හිඳිනා අතර සුද්දී තම උරහිසට ඈ හිස වාරු කොට සිටිද්දී ඇගේ හිස සෙමෙන් පිරිමදිමින් ඈ හුස්ම ගන්නා හඬට සවන් දීමට ඔහු බොහෝසේ ප්‍රිය කලේ ඔහුටම හරි හැටි වටහාගත නොහෙන යම් හේතුවක් නිසාය. 

එදින ද සුපුරුදු ලෙස ඔහුගේ උරහිසට වාරුව උන් ඇය එක් වරම හිස ඔසවා ඔහු දෙස දිළිසෙන නෙතින් යුතුව බලා සිටියාය.ඉනික්බිති සෙමෙන් ඔහුගේ සුරත ගෙන තම කුස මත තබා තදකොට ඔහු දෙස බලා සිනාසුණාය. 

මඳක් නෙරාගිය ඇගේ කුස තුල සිහින් දැඟලීමක් වැන්නක් ඔහු සුරතට සත්‍ය වශයෙන්ම දැනුනිද නො එසේවීනම් ඒ ඔහුගේ සිත් සෝදිසියට උපන් මායාවක් දැයි හරි හැටි කිව නොහැකි වුවද එවන් යමක් දඩයක්කාරයාට හැඟිණ. 

සුද්දී කෙරෙහි එක්වණම සිත තුල පහල ව පිරී ඉතිරී ගිය දයාබර හැඟීමකින් ඔද වැඩී ගිය දඩයක්කාරයා සෙමෙන් පහත්ව ඇගේ නලලත සිපගත්තේය. 

ඇගේ කුස කෙමෙන් ආරා එත්ම මෙතෙක් ඇය අතින් ඉටු වූ වැඩ පල බහුතරයක් දඩයක්කාරයා ස්ව කැමැත්තෙන්ම භාර ගත්තේය.එහෙත් ඇය බැරි මරගාතයේ වුවද අවසන් දිනය දක්වාම හැකි පමණ වෙහෙස වූවාය. 

" තනියම ඔය වැඩේ කරගන්ට පුළුවනිද? " 

ඔහු ඇසුවේ ඇය ගැබ්බරවී බොහෝ කාලයක් ඉකුත්ව යන්නටද පෙරාතුවය. 

" මට පුළුවෙනි. මට දැනුම් තේරුම් තියෙන කාලෙ අපෙ අම්මණ්ඩිට දරුවො දෙන්නෙක් ලැබුණ. උන්දැට උදව් කලේ මම. අම්මණ්ඩි ඒ වත් පිළිවෙත් ඔක්කොම මට කියල දීලයි තියෙන්නෙ. මට පුළුවන්….." 

ඈ පැවසුවේ දඩයක්කරයා දෙස බලා මඳ සිනහවක් නඟමිනි. 

පිළිතුරු ලෙස යාන්ත්‍රිකව සිනහවක් නැඟූ දඩයක්කාරයාගේ සිත එසැනින් වසර තිහක පමණ අතීතයකට දිව ගියේය. ගෙපැල මධ්‍යයේ දැල්වූ පොල්තෙල් පහනින් නිකුත් වූ කහවන් මලානික එළිය.....ගෙබිම අතුරූ ගෝනි පඩංගු දෙකක් මත වැතිර බලවත් වේදනාවෙන් තොල් සපාගනිමින් පසුවන ස්ත්‍රියක්...ඔව්. ඒ දඩයක්කාරයාගේ මෑණියන්ය. ඇය මියගියේ දරු ප්‍රසූතියකදීය. වසර ගණනාවක් ඇවෑමෙන් පසු වුවද එතෙකුදු සිතින් මැකී නොගිය එසේම කෙදිනක හෝ සිතින් මැකී යතැයි සිතිය නොහෙන ඒ සෝ බර සිදුවීම සිතින් පළවා හරිනු වස් දඩයක්කාරයා දෑස තදින් පියාගත් වනම මොහොතක් පසු විය. ඉක්බිති පපුව පුරාගත් හුස්මක් සෙමෙන් පහළට හෙලා ළය සැහැල්ලු කොට ගත්තේය. 

" එතකොට ඒ දරුවො දෙන්න? …" 

ඔහු එවර විචාලේ සුද්දී දෙසට හැරෙමිනි. 

" එක්කෙනෙක් මැරුණ වැදූගෙයි සන්නියෙන්. අපෙ අපුච්ච ගාව ඔය කොයි ලෙඩේටත් බේත් තිබ්බට කරුමෙට ඒ වෙලාවෙ බේත් පත්තියං උනේ නෑ. ඊලඟට හම්බ උනේ කෙල්ලෙක්. මයෙ නඟා. අවුරුදු මයෙ හිතේ තුනක් විතර කාලෙදි සරපයෙක් ගහල මියෑදුන...." 

ඇගේ ස්වරයේ වූයේ සංවේගයක් නොව කිසියම් හිස් බවකි. 

" මට හිතෙන්නෙ මයෙ කුසේ ඉන්නෙ එක දරුවෙක් නෙවෙයි වගෙ… '' 

රාත්‍රි අහරකිස නිමාව පිළෙහි වැතිර සිටි සුද්දී පැවසූයේ බොහෝ සේ ඉදිරියට නෙරා ආ උදරය සෙමෙන් පිරිමදිමිනි. බොහෝ සේ නෙරා ඒම නිසාම සම තුනීවී සුදුමැළි පැහැයක් ගෙන තිබූ ඇගේ උදරය දෙස විශ්මයපත් දෑසින් බලාසිටියා විනා දඩයක්කාරයා ඒ ස්පර්ශකිරීමට පවා අකමැතිවූයේ කිසියම් බියක් වැනි හැඟීමකිනි. 

ඔහු වහා ඇගේ මුහුණ වෙත යොමු කලේ ප්‍රශ්නාර්ථයක් කැටිවුනු බැල්මකි. 

" නෑ, මට එහෙම තේරෙනව......දෙන්නෙක්වත් අඩුම ගානෙ.... " 

ඈ වෙහෙසකර සිනහවක් පලකලාය. 

ඊසාන මෝසම තවත් වරක් වෙල්ලස්ස මහ වනය මෙන්ම එහි නිවැසියන්ද රවටාලීය.පසුගිය දින කිහිපය මුළුල්ලේ වාළිඹේගල ඉහලින් ඈත ක්ෂිතිජ රේඛාවේ නැගෙනහිර මුහුදු වෙරළ ඉහල අහස වරින්වර ඒකාලෝක කරමින් විහිද ගිය රිදී රේඛාවෝ මිහිකත මෙන්ම මිනිසුන් හා තිරිසනුන්ද දාහය නිවාලමින් සනසවන මහ වැස්සක් වෙනුවට හුදෙක් සිහිල් සුළං රැලි කීපයක් පමණක් වනය සිසාරා හමාගියපසු අතුරුදන් වූවෝය.ඒ හා සමඟම උදාවූ පුන්සඳ වටා වූ දම් පැහැති වලයාකාර රැස් වල්ලල යනු අනිවාර්ය නියං සමයක් උදාවීමේ නොවරදින පෙර නිමිති බව දඩයක්කාරයා නිසැකවම දැන සිටියේය. 

" හඳ පිරීගෙන එන දවස්වලට තමයි දරු ගැබ් හෑල්ලු වෙන්නෙත්……" 

ඇය පැවසූයේ කොහොඹ අතු පතරින් පෙරී එන සඳ රැස් ගෙමිදුල විසිරි වියලි තුරුපත් මත පතිතව මවන සහසක් රටාවන් දෙනෙතු යොමාගත් වනමය. 

ඈ ලාබාල යුවතියක් වුවද දාරක ප්‍රසූතය සම්බන්ධව මනා දැනුමකින් යුතු බව ස්ථිර කරවමින් ඊට දින දෙකකට පසු ඈ ප්‍රසව වේදනාවෙන් පෙලෙන්නට වූවාය. 

" අද මට දැනෙනව ගැබ්බර හෑල්ලු වෙන්ට යනව කියල. …

හතර අතින් අඳුර ගලා එද්දී ඈ ඔහුට පැවසුවාය. 

විසල් වූ දෙනෙතින් යුතුව ඔහු ඈ දෙස බලා සිටියේය. 

" බය වෙන්ට ඕන නෑ අයියා...මම කිව්වනෙ මට මේ වැඩේ කරන්ට පුළුවන්ය කියල. " 

ඈ ඔහුගේ සුරත පිරිමදිමින් පැවසුවාය. ඇයට ඔහු ධෛර්යයක් වනු වෙනුවට ඔහුගේ බිය දුරු කිරීමට ඇයට සිදුවීම යම් පමණකට උත්ප්‍රසාත්මක සිදුවීමක් බව සත්‍යයකි. එහෙත් දඩයක්කාරයාගේ සිත තුල හට ගත්තේ තමා කෙරෙහිම වූ පිළිකුලකි. පපුව පුරා හුස්මක් ඉහළට ගත් ඔහු බිය පූර්ණ වශයෙන් පහව නොගියද ඒ පාලනය කොට ගත්තේ තමාගෙන් ඉටුවියයුතු කාර්යයට සූදානම් විය. 

" අයිය කැමති නම් එලියෙන් ඉන්න. ඒත් මම කියන වෙලාවට ඉල්ලන එව්ව දෙන්න. එච්චරයි බය වෙන්න එපා......" 

" නෑ……………….." 

ඔහු ඇගේ සුරතෙහි ග්‍රහණය දැඩි කොට සෙමෙන් පැවසුවේය. 

" මම බය නෑ..ඔයා බය නැත්නම් මම මොකටද බය වෙන්නෙ?..." 

විළි රුදා ක්‍රමයෙන් උග්‍ර වූ පසු සුද්දී කෙඳිරි ගාන්නට වූවාය. දඩයක්කාරයා ඇගේ මුහුණ ජලයෙන් පෙඟවූ රෙදි කඩකින් පිසදමමින් සහ තොලගට ජලය බිඳෙන් බිඳ වත් කරමින් ඈ අසල ඇණ තබාගෙන හුන්නේය.වසර ගණනකට පෙර අතීතයේ මෙතැනම සිදුවූ මීට සාකල්‍යයෙන්ම සමාන වූ සිදුවීමක රූ සටහන් වරින්වර ඔහු සිතට නැඟෙන්නට වූ නමුදු හේ ඒ දැඩි ආයාසයකින් සිතින් බැහැර කරලීය. 

වැරෙන් හුස්ම ගනිමින් සිටි සුද්දී එක් වරම දැඩි ආයාසයක් දරා මුවින් අව්‍යාක්ත රාවයක් නිකුත් කරමින් නිහඬ වූවාය. ඒ සමඟම ගෙපැල පුරා පැතිර ගියේ බිළිඳු හැඬුම් රාවයකි. 

මතු සම්බන්ධයි........ 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...