Wednesday, January 30, 2013

158. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....31

 
විසල් වූ වාළිඹේගල ගිරිහිස දඩයක්කාරයාගේ දර්ශන පථය සිසාරා නැඟී සිටියේ තම ශක්තිය පිළිබඳ දෘඩතර සහ නොසැළෙන විශ්වාසයකින් යුතුව, කිසිවක් හෝ කිසිවෙකු කෙරෙහි තැකීමකින් තොරව අනන්තය දෙස යොමුවූ දෙනෙතින් යුතුව මිහිමත එරමිණිය ගොතා හිඳ සිටිනා යෝධයකු පරිද්දෙනි. කෙමෙන් අස්තගත හිරුමඬලෙන් නික්ම තැන තැන රැකවලුන් මෙන් පිහිටි විසල් ගල්කුළු රත්පැහැයෙන් වර්ණ ගැන්වූ රත්වන් සැඳෑ හිරුරැස් පහස විඳිමින් ඔහු වාලිඹේගල මස්තකය වෙත ලඟාවෙමින් සිටියේය.

මෙතෙක් සුළඟේ තීව්‍රතාව සහ හමාඑන දිශාව අනුව අඩු වැඩි වෙමින් කඩින් කඩ ඇසුණු ඒ ළයාන්විත ගීත රාවයක් වන්වූ හඬ අනවරතව ඇසෙන්නට වූ අතර දඩයක්කාරයා පසුකොට යන වන පියස කිසිදු සත්ව හඬකින් හෝ තොරව දැඩි නිශ්ශබ්දතාවයෙහි නිමග්නව පැවතීම අපුර්ව වන්නා හා සමඟම ඔහු සිතට මින් පෙර කිසිදිනෙක නොවූ වීරූ ගුප්තමය හැඟීමකින් පුරවාලීය.

අවසන හිරු බැසයාමට අඩ හෝරාවකට පමණ පළමු දඩයක්කාරයා ගිරිහිස මස්තකයට මඳක් පහලින් පිහිටියාවූ නොයෙක් හැඩයෙන් යුතු ගල් කුළුවලින් රැසකින් ගැවසීගත් කුඩා තැනිබිමක් වන් වූ එතැනට ළඟා වූයේය.එහි කෙළවරෙක ඉදිරියට නැමීගත් ගල් පියස්සෙක සෙවණේ ඒ සුවිසල් ගල් ගුහාව පිහිටියේය.

අරමුණකින් තොරව ඉබාගාතේ වනයේ ඇවිද යන කල්හි කිහිප වරක් දඩයක්කාරයා මේ තැනිබිමටද පැමිණ ඇත. අවසන් වරට ඔහු මෙතැනට පැමිණියේ මීට වසරකට පමණ පෙර බව දඩයක්කාරයාට හදිසියේම සිහිවිය.එදවස මේ ගල් ගුහාව දිවි දෙනකගේ නිවහන විය.එදිනද මෙසේම සැඳෑ හිරුගේ රත්පැහැ කිරණ පසුබිම්කොටගෙන දිවිදෙන තම පැටවුන් හා කෙළිදෙලෙන් ගුහාව අභියස වැතිර හිඳිනා අයුරු සෙල් පිලිමයක් සේ නිසලව නුදුරින් වූ ගල් කුලක් මත හිඳ බොහෝ වේලාවක් බලාහුන් මතකය දඩයක්කාරයාගේ සිත පහන් කලේය.

ඒ ගීතමය සජ්ජායනාව නික්මෙනුයේ නිසැකවම ගල් ලෙන අභ්‍යන්තරයෙන්ම බව ඔහුට පසක් වූයේ ඔහු පියවර තබනා වේගය මඳක් බාල කරවමිනි.ජීවිතයේ කිසි දිනෙක මින් පෙර නෑසූ විරූ ඒ ලයාන්විත ගායනය ගල් ලෙන අභ්‍යන්තරයේ පැන නැංගේ කුඩා තැනිතලාව සිසාරා ගලා ගොස් පහළ තුරු මුදුන් පමණක් කෙමෙන් දැඩි වන්නාවූ සැඳෑ අඳුර අතරින් යන්තමට දිස්වන මහ වන පියස එකනින්නාද කොට මැකී ගියේය.

ගල්ලෙන වඩාත් ආසන්නයට ළඟාවීමට කිසියම් චකිතයක් වන් හැඟීමක් හේතුකොටගෙන පැකිලුනු දඩයක්කාරයා ඒ තැනි බිම්කඩෙහි ගල්ලෙන් ද්වාරය එක එල්ලේ පියවර පන් තිසක් පමණ මොබ්බෙන් වූ හාත්පස පැතිරගිය හරිතවන් පත්ගොමුවෙන් හා අහසට නැඟුනු මහත්වූ ශාඛාවන්ගෙන් නික්ම පොළොව කරා එල්ලුනු පරිශාකාවන්ගෙන් සැදුම්ලත් මහ නුග රුකක් සෙවනෙහි උක්කුටිකයෙන් හිඳගත්තේ දෙදණ මත රඳවා ගත් දෑත් ඇතිව ඒ අපූර්ව ගායනයට මහත් උනන්දුවෙන් යුතුව සවන් දුන්නේය.

ඒ ලයාන්විතවූ ගායනයෙහි පැවති ගාම්භීරතාව දඩයක්කාරයාගේ සිත නොයෙක් අපූර්ව සිතුවිල්ලෙන් පුරවාලීය. ඉන් මෝහනයත් මානසික භ්‍රාන්තියත් අතර වූ තත්වයක් කෙරෙහි ප්‍රවේශවූ හෙතෙම කාලය ගතවන බව පවා නොදැන එලෙසම නිසොල්මන්ව නුග ගස සෙවණේ ඇණ තබාගත්වනම හුන්නේ ආශ්වාස ප්‍රශ්වාසය පවා මොහොතකට අමතක කරමිනි.

එසේ ගෙවීගිය කාලාන්තරයකට පසු දඩයක්කාරයා එක්වනම අවදිවිය. තමන් පත්ව හුන් සම්මෝහයානුරූප තත්වයෙන් එක්වරම මිදීමට හේතුවූ කරුණ එකෙනෙහිම ඔහුට පැහැදිලි වූයේය. මුළුමහත් වන පෙත පුරා පැතිර පැවතියේ දැඩි නිහඬ තාවයකි.ගල්ලෙන් ද්වාරයෙන් නිකුත් වූ සජ්ජායනාව නැවතී තිබිණි.ඒ දැඩි නිහඬතාවය දඩයක්කාරයා අවදි කරවූයේය. හේ එළෙසින්ම ඇණතබාගත්වනම තවත් කාලයක් ලෙන් ද්වාරය දෙස බලාගත්වනම පසුවිය.කෙමෙන් නිහඬත්වයේ ගැලී තිබි වනපෙත යලි සක්‍රිය වන්නට වූයේය.වවුලකු හෝ එවන් වෙනත් නිශාචර පක්ෂියකුගේ තටු සැළීම නුග ගසේ ඉහල අතු අතරින් ඇසුණි.යටි වන බූටෑවෙහි සාවකු වන් තවත් කුඩා සත්වයකු සක්මන් කරද්දී නැඟෙනා පරඬැල්යටිපහු වන හඬ නොනවත්වා ඇසෙන්නට වූයේය.

දඩයක්කාරයා නැඟිට සිටියේය.

තවත් එක් වරක් ගල්ලෙන් ද්වාරය දෙස බලා අඳුරේම නුගගස සෙවණෙන් බැහැර වූයේ ගල්කුළු අතරින් විහිදී ගිය මාවත ඔස්සේ තැනිතලා බිම් කඩෙන් බැහැරව කන්ද බසින්නට වූයේය. අවසන් වරට ගල් ලෙන දෙස බැලූ විට එතුල යන්තමින් දැල්වෙනා කසාවන් ආලෝකයක සේයාව ඔහු නෙත ගැටුනු බවට ඔහු සිත තුල සැකයක් වූවද දඩයක්කාරයා ඒ පිළීබඳ වැඩිදුරටත්නොසිතුවේය. ඔහු වනය හරහා වැටුනු මඟ ඔස්සේ ගමන් කලේ බොහෝසේ කල්පනාකාරීවය.ජීවිතයේ වෙන කිසිදු සිදුවීමකට ආසක්ත නොවූ අයුරු අද දින මේ සිදුවූව ඔහුගේ සිත ඇදගෙන තිබිණි.

පිළ මත වැතිරගත්වනම ගෙතුලින් නැඟෙන කුඩාවුන් දෙදෙනගේ නිදි දෙඩවිලි ද අසමින් බොහෝවේලා නිදිවර්ජිතව හුන් දඩයක්කරයාගේ සිත පුර්ණ වශයෙන් පිරී තිබුණේ වාළිඹේගල මස්තකයෙහිදී ඇසූ චිත්තාකර්ෂණීය සජ්ජායනයෙනි.

ඉන්පසු එළඹි දින කිහිපය මුළුල්ලේම දඩයක්කාරයා ඉතා කාර්ය බහුල විය. වැඩෙන වයසේ පසුවන දරුවන් දෙදෙනා සහ ඇඹේණියගේ අවශ්‍යතාවයක් සම්පූර්ණ කිරීම ඔහුගේ යුතුකම වූවා මෙන්ම හේ කිසිදිනෙක ඒ පැහැර නොහැරීමට ද වගබලා ගති.පසුදින දඩයමක යෙදීම උදෙසා ඔහුට හීංඇළ ඉහත්තාවේ කෝන්ගස්කඩ ඉක්මවා හූහඬ තුනක් පමණ දුරින් පිහිටි ඉළුක් තලාව තෙක් ගමන් කිරීමට සිදුවූයේය.කාණු දෙකේ නවතම තුවක්කු රැගෙන දඩ මස් සොයමින් මුහුදුබඩ සෙයිලමේ සිට පැමිණෙන සත්ව ඝාතකයින්ගෙන් වාළිඹේගල අවට වනගහණයට කිසිදු අඩුවක් නොවීම ඊට හේතුවිය.

ඉළුක් තලාවෙහි රැකසිට ගෝන නාම්බකු දඩයම් කොටගත් දඩයක්කාරයා එදින මුළු රාත්‍රිය ද පසුදින උදේ වරුව ද එහිම ගෙවා දැම්මේ හමගසා තීරු කපාගත් ලේ වැකි මස් මැස්සක් බැඳ වියලා ගැන්මටය.

ගම්මානය කෙලවරක තම වෙළඳ ව්‍යාපාරය පවත්වාගෙන යන ඝණව වැදුනු බැම සඟලකින් සහ නිරන්තරව අඩක් වැසුණු දෙනෙතින් යුතුවූ දක්ෂිණ දිශාවේ සිට ආගමනිතයා පිළිබඳ ඔබගේ මතකය නැවත අළුත් කරගත මැනවි, මා ප්‍රිය සොයුර / සොයුරිය.

ඔහුගේ වෙළඳ ව්‍යාපාරය මේ වන විට බොහෝ දියුණු තත්වයකට පත්වී තිබිණි. ආසන්නයේම වූ මුහුදුබඩ නගරයට වියළි මස් සැපයීමේ ඒකාධිකාරිය නිතැනින්ම හිමිකරගෙන සිටි අඩවන් වූ දෙනෙතින් යුතු තැනැත්තා තමනට සහය පිණිස තම තරුණ පුත්‍රයා ද කැඳවා ගත්තේය. පාරිභෝගිකයින් හා සමඟ ගණුදෙනු බොහෝ විට ඉටු කෙරුණේ යොවුන් වියේ පසුවූ උක්ත තරුණයා අතිනි.

ගින්නෙන් හොඳින් වියළාගත් මස් තීරු රැසක් සවිමත් පට්ටා යොදා තදින් බැඳ ඒ කොළ පිරිවැස්සක දවටා ඒ උරමත තබාගත් දඩයක්කාරයා දෙවන දින ඉර හැරෙන්නට පලමු ගෙපැල වෙත ළඟා වූයේය.

දඩයම් කල ගෝන හෝ මුව ගාතයක් හෝ දෙකක් එසේත් නොමැත්තේනම් වියළාගත් මස් තීරු මිටියක් රැගෙන අවශ්‍ය කලහලමනා ඒ හිලව්වට රැගෙන එනු පිණිස ඝනව වැඩුණු ඇසි බැම ඇත්තාගේ වෙලඳ සල වෙතට යාම මීට වසරකට පමණ පෙර සිට දඩයක්කාරයා නවතා දැමීය. ඊට හේතු වූයේ දරුවන් උස් මහත් වත්ම ඔවුනට අවශ්‍ය වන්නේ කුමක්ද පිළිබඳව ඔහුට වඩා දැන සිටිනුයේ සුද්දී බැවින් ඒ කාර්ය භාරය නිතැනින්ම ඇය වෙත පැවරීමය. මුල් වර හෝ දෙවර දඩයක්කාරයද ඈ සමඟ වෙළඳ සල වෙත ගිය නමුදු පසුව දරුවන්ගේ අවශ්‍යතා කෙමෙන් වැඩි වත්ම වෙළඳ සල වෙත යායුතු වාර සංඛ්‍යාව ද ඒ හා සමඟම සමානුපාතිකව ඉහල ගියෙන් පසුකාලීනව ඇය තනිවම ඒ කටයුත්තෙහි යෙදුනීය.

මෙදිනද ඒ සුපුරුදු ක්‍රියා පටිපාටිය අනුව රැගෙන ආ මස් පිරිවැස්ස නිවෙස එලිපත්තෙහි හිඳ කුඩාවෙකුගේ ඇඳුමක් එලලමින් හුන් සුද්දී අසල බිම තැබූ දඩයක්කාරයා අනතුරුව කඩුල්ල අසල වැල්ලෙහි කෙලි දෙලෙන් පසු වූ දරුවන් දෙදෙනා අසල නතරව මොහොතක් ඔවුන් දෙස සෙනෙහස පිරි දෙනෙතින් බලා හිඳ පහත්ව ඔවුනගේ හිරු රැසින් රත්ව ගිය හිස් සෙමෙන් අතගා කඩුල්ලෙන් පැන වනයට පිවිසියේය.

දඩයක්කාරයාගේ දෙපා යොමුවූයේ කුමන දෙසකටද යන්න ඔබට කිසිසේත්ම වෙසෙසින් පැවසිය යුත්තක් නොවන වග මම අතැඹුලක් සේ දනිමි, ප්‍රිය සොයුර / සොයුරිය..ඒ එසේමය. ඔහු දෙපා නිරායාසයෙන්ම යොමු වූයේ වාළිඹේගල ගිරිහිස දෙසටය.

ගිරි හිස පාමුලට ලඟාවනු හා සමඟම අවට වන පියස හාත්පස වසා පැතිරගත් අසාමාන්‍ය නිහඬතාව ඔහු සවන් පතිත වූයේ යම් සංඥාවක් ද නිරායාසයෙන්ම මනසට ලබා දෙමිනි. එසේමය. ගිරිහිස කරා නැග්ම අරඹා නොබෝ වේලාවකින් ඔහුට ඒ ලයාන්විත මෙන්ම ගාම්භීර වූ ගායනය / සජ්ජායනය ඇසෙන්නට වූයේය.

වරින්වර සුලඟේ දිශාවෙහි වෙනස අනුව තීව්‍රතාවය උච්චාවචනය වන සජ්ජායනා හඬට සවන් යොමාගත් වනම බිමටම යොමුකොටගත් නෙතින් ද යුතුව ගිරිහිස වූ තැනිබිම වෙත ලඟාවූ දඩයක්කාරයා පෙර දින ඔහුට සුපුරුදු වනස්පතිය සෙවණෙහි ඇණ තබා හිඳ ගත්තේ දෑස ද පියාගනිමිනි.

පළමු දින මෙන්ම මෙදින ද සුපුරුදු සම්මෝහයෙහි ගැලී කාලය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව ගත වූ කලාන්තරයකින් පසුව එක්වරම දඩයක්කාරයා දෑස් විවර කලේය.

විවර වූ දෑසට ලක්වූ ඒ අපූර්ව දර්ශනයෙන් විස්මයාවහ වූ ඔහු එදෙස බලා සිටියේ ඇසිපිය හෙලීමට පමා අමතකවූ පරිද්දෙනි.

ගිරිහිස පිහිටි තැනිබිම පිළිබඳ මවිසින් මීට පැවසූව මතකයට නඟා ගන්න.එහි එක් අන්තයක පිහිටි දැවැන්ත වනස්පතිය ද එලෙසම ඔබගේ මතකයට නඟා ගන්න. දඩයක්කාරයා හිඳ සිටියේ මේ වනස්පතිය සෙවණෙහිය. වනස්පතිය පසුබිම් කොට බැසයන මලහිරුගේ රත්වන් රැස් ධාරාවෝ උස්ව වැඩුණු අතුපතරින් ඉපිද පොලව කරා ඇදී ආ පරිශාඛාවන්ගෙන් වටවුනු මේ අඩක් ආවරණිත ලතා මඬුල්ලක් වැන්න අද්භූත සහ ගූඪ ආලෝකයකින් පිරවූවෝය.

ඒ විසාරිත ආලෝකයෙන් නැහැවෙමින් ඔහු ඉදිරියේ පිහිටි ශෛලමය වේදිකාවක් වන් ගල් තලාවක් මත බද්ධ පර්යංකයෙන් වැඩ සිටියේ ආරෝහ පරිණාහ සම්පන්න රන්වන් දේහයකින් යුතු අඳුරුවන් කසාවතක් ඒකාංශ කොට වම් දසරුව වසා හැඳි ප්‍රසන්න පෙනුමැති පුරුෂයෙකි.


මතු සම්බන්ධයි........


16 comments:

  1. Reminds me of 'Wild White Boy' (Sudu Wedda).. Hans heard the Pirith sajjayana of that buddhist monk and going to see him.. :-)

    ReplyDelete
    Replies
    1. බුරාට මතක් වෙච්ච එකම තමයි මටත් මතක් උනේ... ඒ කතාවම මෙතන කියන විදිය වෙනස් වෙලා වගේ දැනුනේ....

      Delete
    2. අඩේ වෙන්න ඇති අප්පා...සුට්ටි කාලෙ මයෙ ප්‍රියතම කතාවක්නෙ සුදු වැද්දා...මයෙ යටි හිතේ ඔය කතාව නිදන් ගත වෙලා තිබිල මේ කාලෙකට පස්සෙ එලියට එනව වෙන්න පුළුවන්...

      බූර්ස් මල්ලි, උඹ කිව්වට පස්සෙ තමයි ඔන්න මට ඔහොම සීන් එකක් හෑන්ස්ගෙ කතාවෙ තිබ්බ නෙවද කියල මතක් උනේ...ඔය හාමුදුරුවො හම්බ වෙන්න හෑන්ස් යන්නෙ බං අර ගැස්පල එක්ක මුහුදුබඩට යන්ට ඉස්සරවෙලාද? ඊට පස්සෙද? ඒ හාමුදුරුවො භාවනානුයෝගීව ඉන්න අපූරු චිත්‍රයක් එහෙමත් තිබ්බ වගේ මතකයි...

      Delete
    3. ගැස්පා යි එඩ්මන්ඩ් යි එක්ක මුහුදුබඩට යන්නෙ කතාවෙ අන්තිම හරියෙනෙ.. මේක ඊට කලින් වෙන දෙයක්, අනික හෑන්ස් එක වතාවක් නෙවෙයි කීප වතාවක්ම ඔය හාමුදුරුවො මුණගැහෙන්න යනවා..

      Delete
  2. ශිෂ්‍යයෙක්, ගෘහමූලිකයෙක් වෙච්ච දඩයක්කාරයා විශ්‍රාමික නොවීම සන්නාසියෙක් වේවි ද?!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අරුණි...මගෙ පොඩි කාලෙන් වචනයක් මතක් කරල දුන්නට..

      සන්නාසියා…

      අපි පොඩි කාලෙ අත්තම්ම අපිව බයකරන්නෙ ඔය සන්නාසින් ගැන කියල...උන්දැ කිව්වෙ නම් තන්නාසියා කියල… :)

      " දැනෙයි ඔන්න... තන්නාසියෙක් ඇවිල්ල අල්ලගෙන ගිහාම…. මේ කරුවලේ ඉඳගෙන සෙල්ලං කරනකොට "

      Delete
  3. ලස්සන කථාවක්... ඔක්කොම ටික කියෙවුවා එක දිගට....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නෙළුම්...:) :)

      Delete
  4. හ්ම්ම්.. දඩයක්කාරය රහතන් වහන්සෙ නමක්වත් දැක්කද ? තව හුඟක් කල් මතු සම්බන්ද වෙනෙකක් නෑ නේද අය්යෙ?

    ReplyDelete
    Replies
    1. / හ්ම්ම්.. දඩයක්කාරය රහතන් වහන්සෙ නමක්වත් දැක්කද ? /

      ම්ම්..රහත් වෙලාමත් නම් නෑ...ඒත් මේ ධාන්‍යලාභී ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේ නමක්.....

      ධාන්‍යලාභී....දන්නවනෙ ඒ වචනෙ තේරුම නේද?..ඒ කියන්නෙ බොලං...මෙනේරි, කුරක්කන්, උඳු වන් ධාන්‍ය වර්ග ලාභයට ලැබෙනුයේ කවරෙකුටද හේ ධාන්‍යලාභී යනුවෙන් හැඳින්වේ. ආන්න තේරුණා නෙවද?...කොහෙද අපිම එපාය මෙව්ව කියල දෙන්ට...දැං ඔය උගන්නනකොට සිස්සයෙක් ඇහුව මැඩං.මොකක්ද ධාන්‍යලාභී කියන්නෙ කියල...දෙන්ට බැරිය ඇට්ටි හැලෙන්ට....හෙහ්, හෙහ්,

      / තව හුඟක් කල් මතු සම්බන්ද වෙනෙකක් නෑ නේද අය්යෙ? /

      නෑ නෑ නඟේ...මේ අවසාන දින කීපය...එන්න නරඹන්න ප්‍රීතිවන්න...පමාවී පසුතැවිලි නොවන්න..හෙහ්, හෙහ්,

      Delete
  5. " .දැං ඔය උගන්නනකොට සිස්සයෙක් ඇහුව මැඩං.මොකක්ද ධාන්‍යලාභී කියන්නෙ කියල...දෙන්ට බැරිය ඇට්ටි හැලෙන්ට....හෙහ්, හෙහ්, "

    ඔය හදන්නෙ දෙයියනේ කියල කරගෙන ඉන්න රස්සාවත් නැති කරන්න... අහුවෙයි මං එහෙනං....

    ReplyDelete
    Replies
    1. අහුවෙන්නෙ නැහැයි කියල ෂුවර් ඇන්ඩ් ෂොට් දන්න නිසානෙ බොලේ බය නැතුව කිව්වෙ....:) :)

      Delete
  6. හ්ම්ම්ම් වෙනස් වර්ගයේ නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෝරළේ මහත්තයා..:)

      Delete
  7. කියෝලා ගියාට කමෙන්ටුවක් කොටන්න බැරි වුනා නෙව .

    අගෙයි ..දඩස් රහත් වෙන්න වගේ යන්නේ . සුද්දී නිතරම කඩේට යවන එකක් මට අල්ලනේ නැහැ .සුද්දිව කඩේ කොලුට පන්ගනාතු කරලා මුන්ද මහන වෙන්ට වත්ද හදන්නේ .

    මතු සම්බන්ධයි ....හික්

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතිං බොලා එක්ක බැරි ඕක නෙව..කතාව බලල කියන්ට තියෙන දෙයක් කියල යන්නෙ නැතුව..අඩු ගානෙ පස් පඩංගුවෙ බැනල හරි යන්නෙ නැතුව..ආව මෙතන අනාවැකි පොරකාස කොරන්ට...:) :)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...