Thursday, January 23, 2014

241. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 9 - පශ්චාත් සතික රැස්වීම් මධුසාද සහ අසභ්‍ය නොවන අසභ්‍ය වදනින් මඩපාතට බැණ වැදීම.


මේ දියබෙදුම ඇනිකට් එක. ගිරිතලේ සහ මින්නේරි වැව් වලට වතුර බෙදිල යන්නෙ මෙතනින්...


ගිය සුමානෙ ලිව්ව කොටසෙත් ගුරුවරී ගැන මොකවත්ම නෑ කියල රූ තොමෝ ආඩපාලියක් කියල තිබ්බනෙ..එතකොට මම කිව්ව හරි ඔන්න ඊලඟ පාරනම් ලියනවාමයි මයි මයි කියල...

මතකයි නේ?.කිරිදෙන ගොයියා සහ සියාතු මාම ගැන පට්ටන්දරේ මම පටන් ගත්තෙ අපෙ සතික ( සාතික නෙවෙයි හරි වචනෙ සතික…. එහෙම කිව්වෙත් රූම තමයි. ) රැස්වීම ගැන කියන්ට ගිහිල්ල. අපෙ සතික රැස්වීම තිබ්බෙ සෙනසුරාද උදේ. මම වැඩ කරපු තරමක් වැඩකලේ එක්කො දවස් 6 සතියක් එහෙම නැත්තං දවස් 5 1/2 සතියක්. ප්‍රයිවට් එව්වයෙ වැඩ කරනකොට එහෙම තමයි. කිව්වට විස්වාස කරන්ට ඔයාල මේ පහුගිය අගෝස්තුවෙ තමයි මට ජීවිතේ පළවෙනි පාරට දවස් පහේ සතියක් වැඩ කරන්ට සෙට් උනේ. ඒකත් ඕල්ටර්නේටිව් වීක් එන්ඩ්ස්...සතියක් ඇර සතියක්... මැද සතිය දවස් හයේ සතියක්.

හරි ඉතිං ඔය ප්‍රස්තුත කාලෙ සෙනසුරාද සතික රැස්වීම ඉවරවෙන්නෙ කොයිවෙලාවෙද කියල අපි ඇඟිලි ගැන ගැන ඉන්නෙ. සාමන්‍යයෙන් දහයට වගෙ තඩි කේක් කෑල්ලකුත් එක්ක ටී එකක් දෙනව. එකොළහ, එකොළහයි කාල වගෙ වෙනකොට රැස්වීම ඉවරයි. ඒත් ඔය සමහර එවුං ඉන්නවනෙ They Really Like To hear Their Own Voices..හෙහ්, හෙහ්, නාකි බල්ලො පුත්තලං යනව වගෙ නැවති නැවති වට පිට බල බල දෙනව ටෝක් එක..අපිට නේද?...මයිල් කෙලිං වෙනව..

අපි ඉතිං ඔහොම නොඉවසිල්ලෙං බලාගෙන ඉන්නෙ වෙන මොහොකටවත් නෙවෙයි ටවුමෙම තියන අපෙ එකෙක්ගෙම ක්වාටර්ස් එකකට සෙට් වෙලා පොඩි ආතල් එකක් ගන්ට. ක්වාටර්ස් අයිති කාරය විවාහකයෙක්. ඒත් බාරියා තොමෝ සහ දරු මල්ලො හිටියෙ උගෙ ගමේ.. සතික රැස්වීම ඉවර වෙනකල් ඌත් ඉන්නෙ ඇඟිලි ගැන ගැන. ඒනම් අපි වගෙ දුෂ්චරිතයක නියැලෙන්ඩ එහෙම නෙවෙයි ගෙදර දුවන්ට. ක්වාටර්ස් එකේ එක යතුරක් ඌ අපිට දීල යනව.අපි ඉතිං ටී.වී. එකත් හෙමීට දාගෙන නැත්තං කැසට් එකේ සිංදුවක් දාගෙන සතුටු සාමීචියෙ යෙදෙමින් හෙමිහිට සන්තර්පණය වෙනව. නකතං වෙනකලුත් බෑ ඉතිං. බස් එකේ ගෙවල් වලට යන්ටත් එපාය. ඒ නිසා හෙමිහිට එකක් දෙකක් ඉවර කරල ඒ ඉස්සරහම තිබ්බ මධුර හෝටලෙං බත් පාර්සල් ගෙන්නගෙන කාල ගෙවල් වලට යනව. සතිකව අනිවාර්යයෙන් මේ ආතල් එක පවත්තගෙන ආව අපි. හදිස්සියෙවත් රැස්වීම නොතිබ්බ උනත් එකෙක් වත් ගෙවල් වලට ගියේ නෑ ඔය සුපුරුදු කර්තව්‍යයේ නියැලිල මිසක.

ඔතන බොන එකම නෙවෙයි පරමාර්තය. ඒක ඇවිල්ල සෝෂල් ඔකේෂන් එකක්. හැමෝටම තියනව මොකක් හෝ පහුගිය සතියෙ වෙච්චි දෙයක් කියන්ට. හෙමීට දෙක තුන ඇණ ගන්න අතරෙ ඔය කතන්දර කියල අපි හිනා වෙනව වහලෙ උළු උඩයන තරමට.

" ඒයි මේක අහපංකො ගිය අඟහරුවාද චන්දරය කරපු දෙයක්...." ඒ සුමනෙ...

" මොකද්ද බං? අපි දන්නෙ නෑනෙ. ඉතිං කියාපංකො.." ඔන්න අනික් එවුන් ඔක්කොම සාවදාන වෙනව.

" මම නෙවෙයි වීරෙ තමයි කතාව කියන්ට හොඳ...වීරෙ..මේ උඹ කියාපංකො එහෙනං…"

" මේ නිකං බොරු කියන්ට එපා හරිද? මම යනව ඔන්න යන්ට.." චන්දරය නැඟිටිනව…

" හරි, හරි බං ඌට කතාව කියන්ට දීපංකො..ඊට පස්සෙ ඌ බොරුනං කිව්වෙ උඹත් කියාපං එහෙම නෙවෙයි උනේ..මෙන්න මෙහෙමයි උනේ කියල." අනික් එවුං චන්දරය අස්වසල වාඩිකරවනව.

" හරි බං වීරෙ උඹ කියාපං කතාව.."

මම එකක් වක්කරගෙනම කතාව පටන් ගන්නව.

" පහුගිය අඟහරුවාද මචං හැමතැනම රැස්වීම්, උඹල දන්නවනෙ මේ දවස්වල යෝද ඇලේ වතුර ඇත්තෙම නෑනෙ. ඉතිං හැමතැනම වතුරට මරාගන්නව. "

උඩහ කඳුකරේට පායල මහවැලි ගඟ හිඳුනම අපිට තමයි කෙලවෙන්නෙ. පොල්ගොල්ලෙන් හරවන වතුර බෝවතැන්නෙ උමඟ හරහා ඇවිල්ල ඇලහැර ඇනිකට් එකෙන් යෝද ඇලට වැටෙනව. යෝද ඇල මහසෙන් රජ්ජුරුවො කෙරෙව්වයි කියලයි කියන්නෙ. යෝද ඇලෙන් තමයි ගිරිතලේ සහ මින්නේරිය කියන මහ වැව් දෙකටම වතුර දෙන්නෙ. මින්නේරියට පස්සෙ කවුඩුලු වැව හරහා ඒ වතුර කන්තලේ ත්‍රිකුණාමල කිට්ටුවටම යනව. ඔය යෝද ඇලෙන් තමයි අපිට වතුර ලැබෙන්නෙ. ගම්පල කොත්මලේ දිහාට ඉඩෝරෙ අල්ලල මහවැලි ගඟ හිඳුනම මින්නේරිය ගිරිතලේට වතුර දෙන්ට ඕන නිසා අපිට දෙන වතුර ප්‍රමාණය අඩු කරනව. අප්පෝ..ඒ කාලෙටනම් රස්සාව ඕනම නෑ. වතුර බෙදන්ට ගියාම සංසාරෙත් එක්ක එපා වෙනව.

අඟහරුවාද වතුර මුර ක්‍රමයක් ගැන කතා කරන්ට මමයි සුමනෙයි දෙන්නම ගියා රැස්වීම් දෙහෙකට. ඊට කලින් දවසෙ මඩපාත ආව මිනිහගෙ කුඹුර බාගෙට මැරිලයි කියල නාහෙං අඬාගෙන.

මඩපාත කියන්නෙ මහ එක විදිහක මිනිහෙක්. හරිම පෝරිසාදය. අපි එක්ක කොහොම වෙතත් මිනිහගෙම ඇලේ අනික් කුඹුරු කාරයො එක්කවත් කිසිම නෑ ඇයිහොඳයියක්. ඉතිං එහෙම මිනිහෙකුට පුලුවනිය සුහදව වතුර ටික බෙදාගන්ට. මඩයගෙ කුඹුර මැරුනෙ නැත්තං තමයි පුදුමෙ..ඒත් වැඩේ ඔයි යකාට දේසපාලන හයිය තියනව. වල් අලිය පැරදිලා පුටුව පත් වෙච්ච අලුතනෙ. කෙලින්ම ඇමතිගාවටම ගිහිල්ල තමයි නවතින්නෙ. ඒ නිසා අපි කරන්නෙ මිනිහ ඇවිල්ල ඇඬුවම ගිහිල්ල බලල පොඩ්ඩක් මොනව හරි කරන එක. රස්සාව බේරගන්ටත් එපාය..මේ ඔක්කොම කෙළි කරන්නෙ ඔය හම්බවෙන දෙකයි පණහ හින්ද නෙව. කොයිම වෙලාවකවත් ඒක අමතක කරන්ට නරකයි.

චන්දරයට බාර දුන්න වැඩේ ගිහිල්ල මඩයගෙ කුඹුර බලල මොනවහරි කරන්ට කියල. උදේ දහයට වෙලාවත් දාගත්ත. ඉතිං සුමනෙයි මායි අර කියාපු රැස්වීම් දෙකට ගිහිල්ල එනකොට ඔන්න දවල් දෙකත් පහුවෙලා. පාං කියාගන්ට බැරුව ආවෙ. ඇවිල්ල ක්වටර්ස් එක ගාව බහිනකොටම අපෙ උයන්ට හිටපු ගෝලය, පියා මල්ලි, දුවගෙන ආව ඉස්සරහට..

" මහත්තය මහත්තය අන්න මඩපාත මෙහාට ඇවිල්ල මහත්තයල ඔක්කෝටම බැණල ගියා යන්ට ඇමතිතුමා හම්බවෙන්ට යනවයි කියල "

සුමනෙයි මායි මූණෙං මූණ බලාගත්ත. ඒ මොකක්ද ඒ පාර කඩා වැටිච්චි මරාලෙ?

" ෂුවර් එකටම චන්දරය උදේ යන්න නැතුව ඇති ඕකගෙ කුඹුර බලන්ට. ඒකයි කේස් එක. මොකද සුමනෙ කරන්නෙ? "

" පියා, මඩපාත ගිහිල්ල දැං කොච්චර වෙලාද? "

" පැය බාගයක් වගෙ ඇති මහත්තය.."

" ඕක මෙලාටත් ගිහිල්ලද දන්නෙ නෑ ඇමතිය හම්බ වෙන්න. මූලග්ගිනි කාරයනෙ."


" නෑ මහත්තය තාම යන්ට නෑ. පොළොන්නරුව පැත්තට ආය තියෙන්නෙ තුනයි කාල. සම්පත් බස් එක. "

" මේ විරෙ මම කියන්නද? යමං පොඩ්ඩක් ගිහිල්ල බලල මේක මොකක් හරි කරල ෂේප් කරල දාමු. මේ යක්සය කඩාගෙන ගිහිල්ල ඇමතියට කිව්වොත් මොකෙන් මොක වෙයිද දන්නෙ නෑ. "


අපේ ක්වාටර්ස් එකේ ඉඳල යාර දෙසීයක් වගෙ තරම දුරින් තමයි තියෙන්නෙ බස් නවත්තන හන්දිය. බඩගින්නත් අමතක කරල අපි තකහණියක් ගියා හන්දියට. හන්දිය පේන්ටත් ඉස්සරවෙලා ඔන්න ඇහෙන්ට ගත්ත බණින සද්දෙ.

" මඩය නේද? " සුමනෙ බයික් එක පදින ගමන්ම ඔලුව යන්තං හරෝල ඇහුව.

" ආය වෙන කවුද? ඔය ඇහෙන්නෙ අම්ම මෝ නැතුව බණිනව. "

මඩය බණින්නෙ අපිට. ඕකුං දන්නෙ නෑ මගෙ හැටි. ඔවුං ඔක්කෝටම හොඳ පාඩමක් උගන්නලයි මම මෙදා පාර පස්ස බලන්නෙ...ඔන්න ඔහොමයි බණින්නෙ. ඔය අතරට අසබ්බිය වචන දෙක තුනකුත් අත අරිනව.

ඔය හන්දියෙ ඉන්නව සෙනඟ දහයක් දොළහක් කොයි වෙලාවෙත්. මේ මනුස්සයගෙ කැම්බැල්ලෙ හින්ද තවත් කට්ටිය පිරෙනව මොකද මේ සීන් එක කියල බලන්ට. හතර විලි ලැජ්ජාවෙ පස් වෙනි එක..සික්...අපි බයික් එක ටිකක් මෙහායිං නැවැත්තුව. මම බැහැල මඩයට කතාකලා.

" මඩපාත..මේ ..එන්ඩකො මෙහාට. "

මොනව උනත් මඩය මා එක්ක ෂේප්. මම ඔය ටවුමෙදි හම්බ උනහම උණු උණු කිඹුල්ලු, විස්කිරිඤ්ඤ, ඥාණකතා එහෙම අරන්දීල ඉඟුරු ප්ලේන් ටී ගහනව මිනිහ එක්ක. මඩය අපි ගාවට ආව.

" මොකද මඩපාත මේ කෑ
හන්නෙ? " සුමනෙ ඇහුව..

" නෑ මහත්තය. අර චන්ද්‍රසිරි මහත්තය බලන්ට කරපු දහපදුරා වැඩේ…"

" ඈ මොකක්ද බං ඒ? උඹෙ කුඹුර බලන්ට ආවෙ නැද්ද එයා? "

" කුඹුර බලන්ට ආවෙත් නං නෑ. ඒක පැත්තක තිබ්බාවෙකො. පස්සෙ හරි බලාගන්ට බැරිය කුඹුර. දහයට එනව කිව්ව. මම එකොළහ වෙනකල් හිටිය. ඒත් නෑ. ඒ පාර මම ගෙදර ගියා. මේ පැයකට විතර ඉස්සරවෙලා මට චන්ද්‍රසිරි මහත්තයව හම්බ උනා සමූපකාරෙ ගාවදි. හොඳටම බීල හිටියෙ. මම ඇහුවම මොකද මහත්තය උදේ එනවයි කියල මගෙ කුඹුර බලන්ට ආවෙ නැත්තෙ කියල අර දෙනෝ දාහක් ඉස්සරහ මට අමු තිත්ත කතාවෙන් බැන්නනෙ ඔය මනුස්සය. "

" නෑ????..මේ අපේ චන්දරේ? "


" නෑ නෙවෙයි ඔව්..අපේ චන්දරේ තමයි ආය..වෙන කවුද?...මහත්තය හිතනවනම් මම බොරු කියනවයි කියල මෙන්න එතන ඒ වෙලාවෙ හිටපු අය...මේ ඔක්කොම ඉස්සරහ තමයි මට කුණුහරපෙන් බැන්නෙ. මේ අය සාක්කි කියයි මම වෙනුවෙන්. "

මඩපාත සාක්කුවෙන් ගත්තු තනිරූල් පොතකිං ඉරාගත්තු කොළයක් මට දික් කලා. ඒ නම් ලැයිස්තුවක් 1. ජී. ඇම්. සේනාරත්න...නො. 23, යාය 29 2. ඇම්. කළුබණ්ඩා නො 5, යාය 31 ඔන්න ඔය වගෙ නම් දොළහක් තිබ්බ ඒකෙ.

" හරි, හරි මඩේ..ඔයාට අසාධාරණයක් වෙන්න ඇති. වැරැද්දක් උනාය කියල අපිත් පිළිගන්නව. එන්නකො අපි මේක කතා කරල විසඳගමු."

" හුහ්, කතා කරන්ට? බීල ඉන්න මිනිස්සු එක්ක මොන කතාද මහත්තය. ඒ මනුස්සය හොඳටම බීල ඉන්නෙ. අනික මේ රාජකාරි වෙලාවෙ එයා කොහොමද එහෙම බොන්නෙ?..මම මේක ඉහළටම ගෙනියනව. ඇමතිතුමා හම්බ වෙන්න යන්නයි මම මේ පාරට බැස්සෙ. බලමු එයාට මම කුණුහරප උගන්නනංකො මතක හිටින්ටම. "


මඩය ආයම කෑ ගහන්ට ගත්ත….

" හරි, හරි බං කලබොල නොවී ඉඳහංකො පොඩ්ඩක්. අපි මෙහෙම කරමු. එහෙම දෙයක් වෙලා තියනං චන්ද්‍රසිරි මහත්තය මඩපාතගෙං සමාව ගත්තම ඇතිනේද? මොකද කියන්නෙ? "

" බෑ..බෑ..මහත්තය ඒක හරියන්නෙ නෑ. මේකට මොකක් හරි අච්චුවක් කරන්නම ඕන...අච්චුවක් කරන්නම ඕන.."

" එහෙම නෙවෙයි මඩේ..ඔන්න ඕක අතෑරලා දාහං . මිනිස්සු කවුරු අතිනුත් වැරදි වෙනවනෙ බං...හරි වරෙං ප්ලේන්ටියක් ගහමු. අපි වැඩේ හොඳ විදිහට උඹටත් අසාදාරණයක් නොවෙන්ට විසඳන්නංකො..හරිනෙ එහෙනං…"


" අනේ මන්ද..මහත්තය කියන දේකට උඩිං යන්ටත් බෑ..හරි, හරි, එහෙනං එහෙම කරමු. ඒ මහත්තය සමාව ගන්නවනං මම වැඩේ අල්ලල දාන්නං.."

" ආන්න ඒකනෙ බං..මේ ඔක්කොම අපි ඉන්නකං විතරයිනෙ. අද අපි හිටිය..හෙට මොනව වෙයිද කවුද දන්නෙ? වරෙං වරෙං ප්ලේන්ටියක් ගහමු. "


දවල්ට කාලත් නෑ. සුමනෙටයි මටයි මාර බඩගිනි. ඉස්පිරිතාලෙ ඉස්සරහ බේකරියෙ කිඹුලො බාන වෙලාව. හප්පා උණු කිඹුලො කියන්නෙ දිව්‍ය බෝජනයක්. අනික මේ කකුල් දෙකත් වෙව්ලන තරමට බඩගිනි වෙලාවෙ.

කිඹුලො දෙන්න ගානෙ කාල ඉඟුරු පෙලේන්ටිය ගානෙත් බීල අපි සිරිවර්ධන අයියගෙ කඩෙං එළියට බැස්ස. මඩපාත බයිසිකලේ නැඟල ගෙදර ගියා. සුමනෙයි මායි නැග්ග උගෙ සී.ජී. 125 එකට. බඩගින්නත් මඟ ඇරුන කිඹුලො දෙන්න බැස්සුවයිං..

" මචං මම කියන්ටද? අපි යමු චන්දරය හම්බවෙලා මොකද්ද උනේ කියල අහගන්ට." මම සුමනෙගෙ උරෙස්සට අතක් තියල කිව්ව.

" ඕකේ..එහෙම කරමු. "

චන්දරය ඒ ටිකේ තනියම හිටියෙ. වයිෆ් බබානිස් හම්බවෙන්ට ගමේ ගිහිල්ල. උගෙ ක්වාටර්ස් එකේ දොරට ගැහුව ගැහුව මොන? මීක් කියන සද්දක්වත් නෑ.

" දෙයියෝ සාක්කි. මේකා ගේ ඇතුලෙ මැරිල වත්ද? "

සාලෙ ජනේලෙ වීදුරුවට මූණ කිට්ටු කරල ඇතුල බලන්ට මම උත්සාහ කලා. කොහෙද? එව්වට චන්දරය පත්තර අලවල. මොකවත්ම පේන්නෙ නෑ.

" ආයම ගහපං දොරට බලන්ට…" සුමනෙ ගේ වටයක් ගිහිල්ල ඇවිල්ල කිව්ව....

ඇති වීරියෙං මම ආයෙම දොරට තඩි බෑව.

" කවුද යකෝ?..." ඔන්න යාන්තමට ගේ ඇතුලෙං සද්දයක් ආව.

" චන්දරේ අඩේ මේ දොර ඇරහං බං..මොකද්ද බං මේ ගිනි දවාලෙ උඹ බුදිද? "

ඔන්න චන්දරය සරමත් ඇඳ ඇඳ ඇවිදිං දොර ඇරිය..කෙලින් ඉන්ට බෑ ඌට...හෙහ්, හෙහ්,

" හප්පච්චියේ බං උඹ හොඳටම බීල නේද මේ මහ දවාලෙ? පිස්සුද බං හැබෑටම?.."

" අර අපෙ අයිය කාරය ඇවිල්ලනෙ රට ඉඳල.."

" කවුද?......"

" අර කනත්තට එහා පාරෙ ගෙදර..මම කිව්වෙ අපෙ වයිෆ්ලගෙ දුරින් නෑයො වෙන අයිය කෙනෙක් මෙහෙ ඉන්නවය කියල. මනුස්සය ඉන්නෙ ලිබියාවෙ. ඊයෙ ගෙදර ඇවිල්ල. උදේ මම අර මඩපාතගෙ කුඹුර බලන්ට යනකොට මෙන්න මේ යකා ඉන්නව ගේ ඉස්සරහ. "


" හෙහ්, හෙහ්, උඹ ඉතිං මඩයගෙ වැඩේ අල්ලල දාල අයිය එක්ක සෙට් උනා. එහෙම නේද? "

" නෑ බං..මම ගියා මඩයගෙ කුඹුරට. දහයටනෙ එනව කිව්වෙ. දහයාමාර වෙනකල් එතන හිටිය. ඒ යක්සය ආවෙ නෑ. ඊට පස්සෙ තමයි ඇවිල්ල පොඩි ආතල් එකක් ගත්තෙ. ඉඳපංකො පොඩ්ඩක්.."


චන්දරය සරම දෑතිම්ම අලල්ගෙන කාමරේ ඇතුලට ගියා. ඒකා එලියට ආවෙ බ්ලැක් ඇන්ඩ් වයිට් බෝතලේකුත් අරගෙන.ඔය කාලෙ අපි ඉතිං විස්කි සුට්ටක් අපෙ බඩට යන්නෙ ඔහොම රට ගිය ඇත්තෙක්ගෙ පිහිටෙන් තමයි.

" අම්මට උඩු..මේක කඩලත් නෑනෙ. " මම බෝතලේ හරව හරව බැලුව. කළු බල්ලයි සුදු බල්ලයි…

" පොර ගෙනල්ල බෝතල් හත අටක්ම. අපි දෙන්නයි තව මනුස්සයගෙ යාලුවෙකුයි ගැහුව බෝතලයක්ම. ඒයි මට නම් බෑ. උඹල දෙන්න ඕක ගහපල්ල. "

" මොකද සුමනෙ කරන්නෙ? "


" මොනව කරන්ටද දැං තුනහමාරයි නේද? බඩගින්නත් ඒ හැටිම නං නෑ. එහෙනං මොනවහරි කන ගමන් මේක බොමු. හරි මම මොනව හරි අරං එන්නම්…" සුමනෙ නැඟිට්ට.

" ඕන නෑ වෙන මොකවත්. අයිය ගෙනාපු සොසේජස් වගයක් අපි බයිට් එකට හැදුවෙ. ඉතුරු ටික මිනිහ මට ඔතල දුන්න. ඉඳහං අරං එන්න. "

ආය මොනවද? Black & White...සුදු බල්ලා සහ කළු බල්ලා..Cheers!!!. දිව්‍ය ඖෂධයක්ම වේවා!!! ….සුමනෙයි මායි වීදුරු උඩට උස්සල සව්දිය පිරුවා...චන්දරය වේගයෙන් ඇසි පිය ගසමින් හිනාවීගන ඒ දිහා බලා හිටිය.

වෙන වල්පල් කතා කලා මිසක මඩපාතගෙ සීන් එක ගැන සුමනෙවත් මංවත් චන්දරේගෙන් ඇහුවෙ නෑ. ඒක අපි කතාකරගත්තු දෙයක් එහෙම නෙවෙයි. නිහඬ එකඟතාවයක් වගේ.

" ආ.. ඒක නෙවෙයි මට මරු වැඩක් උනානෙ මේ දවල්…." 

ටික වෙලාවකට පස්සෙ චන්දරේ කිව්වෙ අත මිට මොලෝල මේසේට පාරකුත් ගහල.

අත මිට මොළෝල මේසෙට ගහනව කිව්වම තව මරු කතාවක් මතක් උනා ඔන්න..ඒක මම පස්සෙ වෙලාවක කියන්නං.

" මොකක්ද මරු වැඩේ?..." මොකවත්ම නොදන්න ගානට මම ඇහුව.

" අයියට සිගරට් ඕනය කියල මිනිහත් එක්ක අපි දෙන්න මගෙ බයික් එකේ ආව අර සමූපකාරෙ ගාව කඩේට. එතනදි මඩපාතය හම්බ උනානෙ. "

" ඉතිං? …"

" ඒ යකා මාව දැක්ක ගමං මට බොහොම නරක විදිහට බැන්නනෙ බං..මම රාජකාරිය හරියට කලේ නෑය කියල...අර අයියත් ඉන්න තැන.මට වස ලැජ්ජාව. මම ඒත් ඉවසල එන්ට ආව.."


" හෙහ්, හෙහ්, හෙහ්, හේ.." සුමනෙයි මායි දෙන්නම ඔන්න හිනාවෙන්ට ගත්ත

" මොකද උඹල හිනාවෙන්නෙ? "

" හෙහ්, ඉවසල එන්ට ආව නේද උඹ?..ඒක තමයි අර මඩපාතය ඇමති හම්බ වෙන්ට යන්නෙ උඹ ඌට කුණු හරපෙං ප්‍රසිද්ධියෙ අපහාස කලාය කියල පෙත්සමක් බාරදෙන්ට...."

" මොකක්? මුගෙ අම්මට...මේකා තියන්ට වටිනවද?...මම එහෙම නරක විදිහට කිසිදෙයක් කිව්වෙ නෑ බං..එහෙමත් කරනවද මම? "


මූ නෑමයි කියන්නෙ………

" එහෙම නෙමෙයි චන්දරේ ඇත්තම කියාපං..උඹට තද වෙන එකත් සාධාරණයිනෙ..මඩය කුණුහරප කිව්වම උඹත් පොඩි එකක් හරි කියන්ට ඇති. ඇත්ත කියාපංකො.." මම ඇහුව.

අපිටත් දැං පදං වීගෙන එන්නෙ…..

" හෙහ්, හෙහ්, මෙහෙමයි ඇත්තම කිව්වොත්.." චන්දරය අන්තිමට කිව්ව..

" මම කිව්වෙ මෙච්චරයි. මේ මඩපාත උඹ මාත් එක්කල පාට් දාන්ට එන්ට එපා තේරුණාද? උඹ කවුද මට රාජකාරි උගන්නන්ට? උඹෙ අම්මට *** ***** තමයි ඔය ලෑස්ති වෙන්නෙ..**** බල්ලා.....ඔන්න ඔච්චරයි මම කිව්වෙ දෙයියම්පා, බුදුම්පා.."

" හෙහ්, හෙහ්, අන්න ඒකනෙ..ඉතිං බලාපං වීරෙ..අර මඩපාතය නිකං අනීවාරතේනෙ මූට දෙස් තියන්නෙ...මූ ඔච්චරනෙ කියල තියෙන්නෙ. ඕකෙ නරක් දෙයක් මොකවත් ...කොහ්..කොහ්... "

සුමනෙ සොසේජ් කෑල්ලක් පිටගුරේ ගිහිල්ල ඇස් උඩ තියාන කහින්ඩ ගත්ත. ඇස් වල කඳුලු පුරවගෙන හිනාවෙන ගමන්ම මම සුමනෙගෙ පිටට තඩි බෑව.

ඊළඟ සෙනසුරාදා සතික සාකච්ඡාව ඉවර වෙලා අපෙ මධු සාදයෙදි ඔය කතාව මම කියල අපි ආයෙම කඳුළු පනිනකල් හිනාඋනා. ඒ සතික මධු සාදයෙ එක කතාවක්.

ගුණේත් අපේ ඔය එක යාළුවෙක්. ගුණයගෙ හිටිය යාලුවෙක් මනුස්සයට සමහර අකුරු කියවෙන්නෙ නෑ හරියට. අපිට ඇහෙන්නෙ මිනිහ කියන එක නෙවෙයි වෙනම එකක්. උදාහරණයක් විදිහට මිනිහ තයන්න වෙනුවට කියවන්නෙ කයන්න.

ඔන්න ටික දවසක් මිනිහ හිටියෙ නෑ පේන්ට. දවසක් ඒත් ඔය සතික මධු සාදය වෙලාවෙ මම ඇහුව ගුණේගෙං..

" මචං අර උඹේ යාලුව... තයන්නයි කයන්නයි මාරුවෙන්නෙ.මිනිහ දැක්කෙ නෑනෙ හුඟ දවසකින්. "

" හෙහ්, හෙහ්, ඌට මරු වැඩේනෙ වෙලා තියෙන්නෙ....මිනිහ ඔන්න ගියාලු….."


හරි ඒ කතන්දරෙත් පස්සට හොඳද? නැත්තං අදත් ගුරුවරී ගැන කිසිම දෙයක් කියන්ට බැරිවෙනව. රූ ගෙන් බැණුං අහල ඉවරයක් නැති වෙනව.

ඉතිං ඔන්න මම බැන්දයි කියමුකො.බැඳල දෙන්නත් එක්කලා ඇවිල්ල ක්වාටර්ස් එකක පදිංචි උනාය කියලත් කියමුකො.

ඔන්න ඊලඟ සෙනසුරාද කට්ටිය සතික රැස්වීම ඉවර වෙල තකහනියෙ පිටත් උනා සුපුරුදු කර්තව්‍යයට.

" එහෙනං මචං උඹ එන්නෙ නෑනෙ. අපි යනව. අපි උඹව මතක් කරන්නං වැඩේ නැඟල යද්දි. "

" හරි බං එහෙනං පලයල්ල…. මම ලබන සුමානෙ දිහාටවත් සෙට් වෙන්ට බලන්නං."
.එහෙම කියල මම බෝම දුකෙං බලා හිටිය උං යන දිහාවෙ. ඒ පළවෙනි සති අන්තය.

ඊළඟට දෙවෙනි සති අන්තයත් එහෙම්මම ගෙවිල ගියා.

" මචං එහෙනං අපි යනව. " කට්ටිය රැස්වීම ඉවර වෙලා එහෙම අත වනාගෙන ගියා.

" හරි බං ලබන සුමානෙවත් බලමු. …" මම ආයෙම කිව්ව.

ඔන්න ඊලඟ සිකුරාද උදේම්ම එතුමිය ලෑස්ති වෙනව ඉස්කෝලෙ යන්ට.

" මේ ඒයි සති දෙකකින්ම ඔයාලගෙ ගෙදර ගියේ නෑනේද? "' මම ඇහුව බත් පෙට්ටියට ගෝව මැල්ලුම බෙදන ගමං..

" ඔව් අනේ. මේ වීක් එන්ඩ් එකේ ගිහිල්ල එන්ට යමුද? " ඔසරියෙ නෙරිය කන්ණාඩියෙන් බලල හදමින් ඇය ඇහුව.

" හරි වැඩේනෙ. මට හදිසි එස්ටිමේට් එකක් කරන්න තියනව. මම කල්පනා කලේ ඉරිදවත් ඉවරයක් කරන්නෙයි කියල. "

ඇගේ මූණ ඇඹුල් උනා.

" මේ මම නාවට කමක් නෑ. මම කියන්නද? ඔයා අද ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර ගිහිල්ල එන්න. එස්ටිමේට් වැඩේ මොනවහරි ෂේප්මන්ට් එකක් දාගන්ට පුලුවන් උනොත් මම හෙට රැස්වීම ඉවරවෙලා එන්නම්. එහෙම බැරි උනොත් ඔයා ඉරිද හවස බස් එකේ එන්න. "

මම අහක බලාගෙනම කිව්ව.

" හා බලමුකො එහෙනං එහෙමවත්" බත් පෙට්ටිය ඔතාගන්න ගමන් ඇය කිව්ව.

" අද එයා ඉස්කෝලෙ ඇරිල එහෙම්මම ගෙදර යනව. මචං හෙට සෙට් වෙමු. " දහයට කැන්ටිමේ තේ බොන්ට ගිහිල්ල වඩයක් හපන ගමන් මම සුමනෙ එක්ක කිව්ව.

හවස පහට වගෙ මම ගෙදර යනකොට මෙන්න මේ උන්දැ ගෙදර ඇවිල්ල. ගේ ඉස්සරහ ඉන්දවල තිබ්බ එක්සෝරා පැලවලට වතුර දානව.

" ඇයි අනේ ඔයා ගෙදර ගියෙ නැද්ද? " එයා දැක්ක ගමං හිටිතැනම ගල් ගැහිල මම ඇහුව.

" මට තනියම ගෙදර යන්න බෑ කියල හිතුන ඒයි. අනික ඔයත් තනියමනෙ. ඒ නිසා මම ආව. …" ඇය මා දිහා බලල හිනා උනා.

Thursday, January 16, 2014

240. ගුරුවරියක සමඟ මගේ ජීවිතය - 8.....ආනන්තර්ය පාප කර්ම,කිරිදෙන කට්ටිය, පෝල් බටේ පාත් කිරීම සහ ජනාධිපති ජංගම සේවය.....



ගුරුවරියක සමඟ මගේ ජීවිතය කතා මාලාවෙ අන්තිමට මම ලිව්වෙ එතුමිගෙ උපන් දෙණිය දවසෙ පබිලිස් කොරාපු කතාව.ඒකෙ ඔය දිඹුලාගල හාංදුරුවො, දොස්තරල, කෙල්ලො වහ බීපුව රටේ නැති ඔක්කොම විලම්බීත ලිව්වට ඇත්තම කියනවනම් එවුන්දි ගැන බොහොම ඇබින්දයි ලියවුනේ.. ඕකට මට බොහොම වගපල අහන්ටත් වෙච්චි. බැරිම තැන මං කෑගැහැව්ව " මේ ඔහේ එක්ක නම් බෑ මේ රාජ්ජෙ කොරන්ට..ඔයයි ගැන ලිව්වම මාව කන්ට හදනව මොනවද අර ලියල තියෙන්නෙ? මට පාරෙ බැහැල යන්ට තියන එකත් නැති කරන්ටද හදන්නෙ ? කියල. නොලිය උන්නම ඒ පාර ලිව්වෙ නැහැයි කියල කණුකුණුව. මොකක්ද අප්ප මේකේ තේරුම හැබෑට? " ඕන්න ඔහොම....හෙහ්, හෙහ්, 

ඔහොම ටිකක් ඉඳහිටලවත් පොඩි සද්දයක් දාන්ට ඕන..නැත්තං හරියන්නෙ නෑ. එහෙම දැම්මයි කියල වැඩක් වෙන්නෙත් නෑ තමයි ඉතිං..ඒ උනාට එහෙම කියල හරියන්නෙ නෑනෙ..වැඩක් උනා නැතා සද්දයක් දාන්ට ඕන...

ඒකෙ ගුරුවරී ගැන මොකවත් නැතිය කියාල අපේ රූ නෝනා මහත්මිය ( ග.ක.) කමෙන්ට් එහෙකින් කියල තිබ්බ. ඒ මෙහෙම...ඒකට මම උත්තරේකුත් දුන්න...

රූ....December 13, 2013 at 11:02 PM

රවීගේ බිරින්දෑට සුභම සුභ උපන්දිනයක්..
(හාල් තුනපහ නැතුව උයන්ට බෑ කියලා ගෙදර යමු කීවා ඇරෙන්න උන්දෑ ගැන වෙන මොකවත් ලියලා නෑ නේන්නං!!)

Ravi December 14, 2013 at 2:21 AM

රූස්,

ඇත්තම කියන්නද? එතුමිය සම්බන්ධ සිද්ධීන් දෙකක් ගැන ලියන්ට හිතාගෙනයි ඉඳගත්තෙ. ඒත් මේ දොස්තරගෙ කතාව හින්ද වැඩේ කචල් උනා. මෙතනම පිටු හයක් වගෙ උනා. ඒ නිසා ගුරුවරියක සමඟ මගේ ජීවිතය ඉදිරි කොටස් වලට එව්ව ලියන්නං කියල හිතල මෙතනින් නවත්තල පබිලිස් කොලා. ඔන්න වෙච්චි වැඩේ.

පස්සෙ මෙකුවිත් ඒකම කියල තිබ්බ..ඉතිං ඔන්න ඒ වෙච්ච පොරොන්දුව ඉස්ට කරන්නයි මේ ලෑස්තිය.

අපෙ උන්දැගෙ පරම්පරාවම තනිකරම අමද්‍යප.මාමණ්ඩි මෙයාල පොඩි කාලෙ ඔය සතියකට සැරයක් වගෙ රා ඩිංගක් බුන්න මිසක පස්සෙදි ඒකත් අතෑරල දාල..මෙයයිගෙ ඉන්නව අයියල දෙන්නෙක්...මම ඉස්සොරෝම මාතලේ රත්නගිරියෙං කේක් තඩියකුත් ඇරගෙන එයයි බලන්ට යන කාලෙ ඒ අයියල දෙන්නත් මත්පැන් තියා බියර් ටිකක්වත් බොන්නෙ නෑ. ඒ කස්ටිය හිතාන ඉඳල තියෙන්නෙ සුරාමේරය කියන්නෙ පංචානන්තර්ය පාප කර්ම වලට දාන්ට බුදු හාමුදුරුවන්ට බයි මිස්ටේක් අමතක උන එකක්ය කියල. බුදුන්ගේ ලේ සෙලවීම, මව මැරීම, පියා මැරීම ගාවට හතර වෙනුව එන්ට ඕන මත්පැන් පානය කියල ඔන්න කොටිම්ම කිව්වොත්. හෙහ්, අපි එක්ක කොහෙද ඒ සෙල්ලං?...සූක්සම ලෙස කල්පනා කරල ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් එහෙම හදල මම දුන්න වැඩේ කිරිගහට කෙළ මෝලෙං ඇන්නැහෙ. ඒ ව්‍යාපෘතියෙ විස්තර වෙනම කියන්නංකො හොඳද?...වෙන මොකවත් ඕන නෑ. ඊළඟ අවුරුද්දෙ එයයිගෙ පොඩි අයිය බැන්ද... ඔන්න මගෙ ව්‍යාපෘතිය කොච්චර සාර්තකද කිව්වොත් මංගල මහ සබාව මැද්දෙ කපුවා දේයි ගාල ඇදගෙන වැටිච්චි ඉඳගෙන හිටපු පුටුවත් පෙරළගෙන. ඒකට නම් මම බැණුං ඇහුව කං පිරෙන්ට...

" අම්මාපල්ල මේ මනුස්සය නං....වෙනද මේ ගෙදර ඉස්සරහිං බීපු මිනිහෙක් වත් යන්නෙ නෑ..අනේ ඉතිං මම මොකටද කියන්නෙ?....." ඔන්න ඔහොම ..හෙහ්, හෙහ්,

ඉතිං එහෙම උනේ තිත් ඉර උඩ අස්සංකලාට පස්සෙනෙ. ඊට කලිං ඔය මත්පැන් බීමේ ආදීනව පුරස්නෙ මතු උනා අපි පේමෙං බැඳිල ඉන්න කාලෙ. " ඔයා බොනවද මෙයා ?." ...ඔහොම ඇහුවම වෙන මොනව කියන්නද? මම ඇත්තම කිව්ව.." පිස්සුද මෙයා මම කටේ තියන්නෙ නෑ ඔය ජරාව.." එහෙම කියන්ට බෑ කොහොමවත්ම..මොකද මම ඔය සන්තර්පනය වෙලා පිස්සු කෙලපුව අපිත් එක්ක එකට වැඩ කරපු එවුං ඔක්කොමල වගෙ දන්නව. අනික එයාලගෙ ගම කිට්ටුවත් හිටිය මාව දන්න දෙන්නෙක්ම.

අනික එහෙම නොවුනත් අහවල් දේකටද බොරු කියන්නෙ? ඒ හින්ද එතුමී එහෙම ඇහුවම මම මෙහෙම කිව්ව " මම බොනව...ඒත් බොන එක මට පුරුද්දක් වෙලා නෑ..ඒ වගේම අත්‍යාවශ්‍යයත් නෑ. ඒ නිසා අවුලක් නෑ..නොබී ඉන්ට උනත් මට පුළුවන් " එහෙමයි මම කිව්වෙ...බැන්දට පස්සෙ කටේ තියන්නෙ නෑ කියල ඔළුවෙ අත ගහල දිවුරන්ට ගියේ නෑ මම. අපරාදෙ කියන්ට බෑ උන්දැත් එහෙම පොරොන්දු වෙන්ටය , දිවුරන්ටය, ලේ වලින් අස්සං කරල දෙන්ටය කියල ගොන් පාට් දාන්ට ආවෙත් නෑ. ඔහොම වෙලාවට බල කලොත් ඕන පොරොන්දුවක් දෙනව වගේම එහෙම පොරොන්දුවල කිසිම වටිනාකමක් නැතය. බොන්ට හිතුනොත් ඒ මිනිහ කොහොමත් බොනවය කියල කාරණා මම වගේම එයත් සක්සුදක් සේ දැනගෙන හිටිය.

ඒ නිසා ඒ ගැන කතාව එතනිං ඉවරයි..ආ..ඒකෙ ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ. මම බලාගන්නංකො බැන්දට පස්සෙ උන්දැ එහෙම හිතන්න ඇති..ආ...බොන නොබොන එක මම බලගන්නංකො බැන්දට පස්සෙ... මමත් එහෙම හිතුව...හෙහ්, හෙහ්,

ඕක ඉතිං ඇත්තටම මෙහෙමයි...ආ..බැන්දයි කියල මම මගෙ කල්ක්‍රියාව දශම අළුක්කාලක්වත් වෙනස් කරන්නෙ නෑ. මගෙ ජොලිය එහෙමමයි කියල පරණ පුරුදු විදිහට යාලුවො එක්ක එව්රි වීක් එන්ඩ් එකේ පාටි දාන්න ගියොත් වැඩිකල් නොයා දීගෙ අතඇරෙන්ට පුලුවන්. ඒකෙ අනික් පැත්තත් එහෙමයි. හුහ්, එව්ව කොහෙද මාත් එක්ක?...බැන්දම මම කඳුලක් කටේ තියන්ට දෙන්නෙ නෑ කියල හිට්ලර්ගෙ නැන්දම්මගෙ භූමිකාව ඇට් කොරන්ට පිටපොට ගැහැව්වොත් ඒත් ඉතිං ඒ සන්තෑසියම තමයි. ඔතන ටිරිකිස් එක මෙහෙමයි. තමන්ට ඕන දේ කරගන්ට ඔන හීන් නූලෙං..බලෙං නිල නියෝග නිකුත් කරල බෑ. අපි කවුරුත් ස්වභාවයෙන්ම නියෝග වලට යටත් වෙන්ට කැමැත්තක් නෑ. ඒ වැඩේ කරන්ට ඕන තමන්ගෙම කැමැත්තෙන් එහෙම කරනවයි කියල අදාල පුද්ගලයට හිතෙන විදිහට. හෙහ්, හෙහ්, අපෙ උන්දැයි මමයි දෙන්නම ඔය සාස්තරේ මාස්ටර්ස් උපාදියක් ගන්ට තරමට හදාරල තියෙන්නෙ. දෙන්නම එක වෙලාවට ඔය එකම තියරිය ක්‍රියාත්මක කරන්ට ගිහිල්ල සමහර වෙලාවට හිනා වෙලාම ඉළ ඇදෙන සයිස් එකේ සීන්සුත් වෙනව..කිව්වම මොකද?

ඉතිං කොහොමහරි ඔන්න බැඳල කරල ක්වාටර්ස් එකටත් ආවය කියමුකො. ඒ දවස්වල අපිට සෙනසුරාද වරුවක් වැඩ. හෙනහුරාද තමයි සාතික ( Monthly කියන වචනෙ මාසික නම් Weekly කියන වචනෙ සාතික වෙන්න එපාය,... නැද්ද? ) ප්‍රගති සමාලෝචන රැස්වීම තියන්නෙ...පහුගිය සතියෙ කරපු වැඩ මොනවද? අමතක වෙච්ච වැඩ මොනවද?...වැඩ කරන්ඩ ගිහිල්ල ගුටි කාපු එව්ව මොනවද? වැඩ පැත්තක දාල සකෘදාගාමි වෙන්ට සන්තර්පණය වෙච්ච එව්ව මොනවද?..එව්ව සාකච්චා කරන්නෙ ඔතනදි........ ඔන්න ඔය වගෙ රැස්සීමක තමයි අර අමා ව්‍යාපෘතිය ගැන එහෙම අපට පැහැදිලි කලේ....

ඒ රැස්වීමෙදි කවුරු කවුරුත් පහුගිය සුමානෙ ඉටුකරපු රාජකාරි ගැන ඉදිරිපත් කොරන්න ඕන ප්‍රගති සමාලෝචනයක්...ඔන්න අපේ ප්‍රගති නිලදාරිය උදෙම්ම දුවගෙන එනව ප්‍රගති වාර්තා කොලේකුත් අරගෙන...ඕක හරි හොඳ එකා...බයිට් එකට කන්නෙ රටකජුම විතරයි.

" මචං අර යාය විසිතුනේ 45 කුඹුරෙ ..ම්ම්ම්..ඉඳපං බලන්ට ..ආ මේ තියෙන්නෙ...ජී. එම්. කිරිදෙන හරි ඒ මනුස්සයගෙ කුඹුරට වතුර නෑ කියල පැමිණිල්ලක් ඇවිත් තිබ්බ..මොකද දන්නෙ නෑ නේද ඒකෙ තත්වය…"

" කවුද නම කිව්වෙ? "

" ජී.එම්. කිරිදෙන…"

" මොකක්ද ජී.එම්. කියන්නෙ? "
මම අහනව. ..

ප්‍රගති මා දිහා රවාගෙන ඉන්නව අත් දෙකත් ඉණට තියාගෙන. " උගෙ නමෙන් වැඩක් නෑනෙ බං...නම මොක උනාම මොකද? මට ඕන ඒ කුඹුරට දැන් වතුර ප්‍රශ්නයක් තියනවද නැද්ද කියල දැනගන්ට…"

" ආ...නෑ..නෑ...හතළිස් පහේ කුඹුරට දැං වතුර ප්‍රශ්නයක් ඇත්තෙම නෑ.."

" ආ..වෙරි ගුඩ්..වෙරි ගුඩ්..ඉඳපං මම මේ කොලේ ඒක ලියාගන්නකල්.."

ප්‍රගති මගෙ මේසෙ උඩ තියාගෙන ලියනව ඔන්න.

" පසු විපරම සහ වර්තමාන තත්වය..අදාල කුඹුරු කට්ටියට තව දුරටත් ජල ගැටළුවක් නොපවතී. හරි..ඒ ටික ලිව්ව..දැං කියාපං උඹ කොහොමද ඒ වතුර ප්‍රශ්නෙ විසඳුවෙ කියල?...මනා ජල පරිපාලනයකින් යුතුව මුර ක්‍රමයකට ජලය බෙදා හැරීම මඟින් ගැටළුව විසඳන ලදී. එහෙම ලිව්වට කමක් නැද්ද? "

" ම්ම්ම්..ලිව්වට නම් කමක් නෑ...ඒත් ජල ප්‍රශ්නය විසඳුනෙ නං ඒ හින්ද නෙවෙයි. "
මම බිම බලාගෙන කිව්ව.

ඔන්න වටේ මේස වල ඉන්න එවුනුත් මගෙ දිහා බලාගෙන..

" එහෙනං? " ප්‍රගති ඔලුව උස්සල මගෙ මූණ බැලුව.

" හතළිස් පහේ කුඹුර මැරුණනෙ බං... ඒ නිසා කොහොමත් දැං වතුර ප්‍රශ්නයක් නෑ…"

" උඹේ අම්මට..යකෝ මේක විහිළුවක් නෙවෙයි...කොළඹටත් යනව මේ රිපෝට්ස්…"
ප්‍රගති වහලෙ උළු හෙල්ලෙන්ට කෑ ගැහුව.

ඔය කිරිදෙන ගොයිය ගැන තව සෝක් කතාවක් තියනව. අපෙ බොස් හැටියට ඔන්න පත් වෙලා ආව එක පාරක් නුවර ඉහල පෙලේ වලව්කාරයෙක්... ඒ දවස්වල රටේම ප්‍රසිද්ධ පෙළපත් නමක් මිනිහට තිබ්බෙ. හැබැයි හරිම නිවිච්ච තැන්පත් පුද්ගලය. ඔය මම කලින් කියපු කිරිදෙන ගොයියගෙ තිබ්බ සෑහෙන කාලෙක සිට පැවත එන ඉඩං ආරවුලක් අල්ලපු ඉඩංකාරය එක්ක ( අල්ලපු ඉඩං කාරය කියල විශේෂයෙන් කියන්ටත් ඕනද ආය?...අල්ලපු ඉඩංකාරය එක්ක නැතුව ඉඩං තුනකට එහා මනුස්සය එක්කත් මායිං ආරාවුල් තියෙන්න පුළුවංය....හෙහ්, හෙහ්, එහෙම හිතෙනව නේද? ඒත් කිව්වට විස්වාස කරන්ට ඒ පැත්තෙ එහෙම ආරාවුලුත් තිබ්බ )

ඉතිං අර උඩරට නිළමෙතුමා අපෙ ලොක්ක හැටියට පත්වෙලා ආහම කිරිදෙන ගොයියට ඕන උනා තමන්ගෙ උඩරට සම්බන්දෙ පාවිච්චි කරල අලුත් ලොක්කගෙං ඉඩම් ආරවුලේදි පොඩි වාසියක් ගන්ට. එහෙම හිතල බදාද දවසක ආව ලොක්ක හම්බවෙන්ට. බදාද කියන්නෙ මහජන දිනය.එදාට නිලදාරීන් ඔක්කොම ඉන්ට ඕන ඔපිස් එකේ මහජනයට පුලුවන් ඇවිල්ල තමන්ගෙ දුක් ගැනවිලි ඉදිරිපත් කරන්ට. ඉතිං ඔන්න කිරිදෙන ගොයිය ඇවිල්ල ලොක්ක ඉස්සරහ ඉඳගෙන පටන් ගත්ත හෑල්ල..අරකද මේකද ..මනුස්සය ඩි.එස්. සේනානායක උත්තමය කාලෙය ඉඩං හම්බ වෙලා ආවෙ..ඩී.එස්. එක්ක යෝද ඇලේ නාලත් තියනවය රටේ නැති විකාර...ලොක්ක ටිකක් වෙල අහගෙන ඉඳල මේක හරියන කෙලියක් නෙවෙයි කියල හිතල හෙමීට පයිල් එකක් ඇදගෙන ඒකෙ මොකක්ද වැඩක් කරන්න ගත්ත. කිරිදෙන තුමාට එව්වයෙ ගාණක් නෑ. රුහුණු කුමාරිගෙ බ්‍රේක් නැතිඋනා වගෙ තමයි..ඔහේ කියවනව..

අන්තිමට මනුස්සයටම තේරුණා ලොක්ක වැඩි අවධානයක් නෑ කියල. හෙමීට මේසෙ උඩට වැළමිට තියල ලොක්ක දිහාට නැමුණ..

" සර්.." ඔන්න ලොක්ක ඔලුව උස්සල බැලුව..

" ඔව් ?..."

" සර් අපිත් මේ මෙහෙ හිටියට නුවර පැත්තෙ හොඳ වැදගත් අය තමයි..අපි ඇවිල්ල මේ කිරිදෙන කට්ටිය…"

ලොක්ක ටිකක් වෙලා කිරිදෙන ගොයියගෙ මූණ දිහා බලා ඉඳල ආයෙම පයිල් එකට නැමුන. " ආ..බොහොම හොඳයි..බොහොම හොඳයි.....මමත් මේ හොය හොය හිටියෙ..හෙට උදේ ඉඳල මටත් කිරි බෝතලයක් එවන්න මතක ඇතුව...මම සල්ලි දෙන්නම්…"

ඔය කිරිදෙන ගොයිය වගෙ ඉන්නව වයසක ලොක්කො හරිම අමාරුකාරයො.හැමදාම මොනවා හරි පුරස්නයක්. එක්කො පෝල් බටේ ( පෝල් බටේ කියන්නෙ කෙත් ඇලෙන් කුඹුරු කට්ටියට වතුරදෙන කපොල්ල , FTO කියල නිල නාමකරණය, Farm Turn Out...ඒත් අපි කිව්වෙත් පෝල් බටේ කියල ) තියල තියන මට්ටම උස වැඩිය ඒක පාත් කරන්නෙයි කියයි, නැත්තං ඇලේ වතුර එන ඔක්කොම අනික් පෝල් වලට අදිනවයි කියල මිනිහගෙ පෝල් එක ලොකු කරල දෙන්න කියයි. එහෙමත්ම නැත්තං අනේ මහත්තයො, කුඹුරෙ වතුර අහනව වැඩියි, මුරේට අමතරව තව වතුර පාරක් දෙන්නෙයි කියයි.

වතුර මුරේ කියන්නෙ ඇලේ වතුර එන වෙලාවට කුඹුරු ඔක්කෝටම සමෝසමේ වතුර හරව ගන්ට හදල දෙන චාට් එක. ඔව්ව බොහොම පිළිවෙලට හදල පැය මිනිත්තු ගණං දාල දුන්නට ඒ විදිහට වැඩ කෙරෙන්නෙ නෑ සීයට අනූවක්. ඉතිං වතුරට මරාගන්නව.රෑ දෙගොඩ හරියෙ ඔන්න එනව ටෝච් පොළු එළිය කරගෙන බයිසිකල් වල නැඟගෙන උංට වතුර නෑ කියාගෙන. මම ඉතිං එවුංට තේ ටිකක් එහෙම හදල දීල උංගෙන්ම සිගරට් එහෙකුත් ගහල ඔය මොනවහරි කියල ෂේප් කරල අරිනව. ඔය මහ රෑ දෙගොඩ හරියෙ ගිහෑකිය වතුර බෙදන්ට. වෙන වැඩ නැතුවට. මුලින් නම් අපෙ උන්දැ ඔය මාර සේනාව එනකොට බය වෙලා තොල කට හිටං වේලගෙන බලා ඉන්නව. පස්සෙ පස්සෙ එයයිටත් ඕක ගානක් නැතුව ගියා. කම්මලේ බල්ලට හෙණ ගානක් නැතුවහෙ.

ඊටත් පස්සෙ ඔන්න එවුන්දැට ඕක ජොලියක් උනා. උංගෙ නං හිටං දන්නව, මම දන්නෙත් නෑ.

" අර සුමනසිරි මට හම්බ උනානෙ පන්සල ඉස්සරහදි. බයිසිකලේ යනගමං යන්නං නෝනා කියල හිනාවෙලා ගියා. " ඔන්න සමහර දවසට උන්දැ ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ගෙට ගොඩ වෙන්නෙ ඔහොම කියාගෙන.

" මොන?....කවුද සුමනසිරි කියන්නෙ?" මම අහනව.

" ඇයි අනේ අර දෙතුන් පාරක් ආවෙ වතුර නෑ කියල. කොණ්ඩෙ ටිකක් පොකුටු සුදු උස හාදය."

ආය ඔන්න දවසක පැල් බැඳගෙන වහිනව දවල් ඉඳලම..හීතලේ පොරවගෙන ඉන්නව අපි දෙන්න ඇඳට වෙල.

" මේ රෑත් එයිද දන්නෙ නෑ ඔයාගෙ වතුර කාරයො….." පොරෝණෙට තවත් ගුලිවෙන ගමන් උන්දැ කියනව.

" පිස්සුද හැබෑට? මේ උදේ ඉඳල වහිනව. කුඹුරු යටවෙලා ඇති මේ වෙනකොට. "

" එහෙනං ඔන්න බලන්ටකො කුඹුරු යටවෙලයි කියන්ට එයි ඔයාව හොයාගෙන.."

" අම්මප කියන්ටත් බෑ තමයි. එහෙමත් බැරි පුතයල නෙවෙයි ඕකුං..මේ…. අද මේ වැස්සෙ..උංට කෝපි ටිකක් වත් දෙමු ආවොත්. "

" අනේ මටනං බෑ කෝපි හදන්ට මේ පට්ට සීතලේ නැඟිටල. ඔයාවනෙ හොයාගෙන එන්නෙ. ඔයාම හදල දෙන එකයි ඇත්තෙ. " උන්දැ බිත්තිය පැත්තට හැරිල ඔළුවෙ ඉඳං පොරෝ ගන්නව.

ඔය වගෙ හිටපු එක වස කරදරකාරයෙක් තමයි සියාතු මාම. අවුරුදු හැත්තෑවක් විතර ඇති. ඒත් හොඳට හයි හත්තිය තියනව. හැමදාම මොකක් හරි අඬෝවැඩියාවක් කියාගෙන ඔෆිස් එකට එනව. වැඩියක්ම උන්දැගෙ පෝල් බටේ පාත් කරගන්ට තමයි. එහෙම හිතූමනාපෙ පෝල් බට පාත් කරන්ට බෑ. ඇලේ වතුර කාටත් සමව බෙදල දෙන්න ඒ බට සම්මත මට්ටමක තියෙන්න ඕන. වැඩේ කියන්නෙ ඔය වයසක මිනිස්සු ඉන්නව නේ? කොච්චර කිව්වත් ඔය සරළ කාරණේ තේරුං ගන්නෙ නෑ.

සියාතුවත් අර කිරිදෙන ගොයිය වගෙ ඩී.ඇස්. එක්ක යෝද ඇලේ නාපු කෙනෙක් තමයි..සියාතුව කියන්නෙම මිනිහගෙ පෝල් එක පාත් කරල දෙන්ටලු. ඇලේ පල්ලෙහ ගොවියො එකහෙලා විරුද්දයි ඒ වැඩේට..

" මේ අත්තෙ…. උඹ ඩී.එස්. එක්ක නෑව නෙවෙයි එකට පුක හේදුවයි කියමු... ඉතිං අපිට පාංද? එහෙම කියල උඹට වතුර ඔක්කොම දීල අපේ කුඹුරු මැරෙන්ට අරින්ට කියලද උඹ කියන්නෙ? " කොල්ලො එහෙමයි සියාතුවට බණින්නෙ. මාත් ඉතිං පැත්තක ඉඳල උංට පොඩි සපෝට් එකක් දීල කුල්මත් කරනව හෙහ්,හෙහ්.

සියාතුවත් අරින්නෙ නෑ..සතියකට දෙපාරක් විතර ඔය විස්තරේ ඔක්කොම ලියල පෙස්සමක් උස්සං එනව ඔෆිස් එකට.අන්තිමට මිනිහ අපි එක්කත් බොහොම වෛර උනා මේ පෝල් බට වැඩේ හින්ද. අපිට පුලුවන්කම තියෙද්දි මඟ අරිනවයි කියල. අපි කිව්වෙ මායි මගෙ බොස් අයි. ඊ. ...ඒ කිව්වෙ වාරිමාර්ග ඉංජිනේරු තුමයි එක්කලා. අපි බැරිම තැන උන්දැ ගේට්ටුවෙන් ඇතුල්වෙනකොට දුවනව හතරාතේ කඳුළු ගෑස් ගැහුව වගෙ.

ඒ දවස්වල ඔය ජනාධිපති ජංගම සේවය කියල එකක් තිබුනනෙ. ප්‍රේමදාස මහත්තය මට මතක විදිහට ඕක පටන් ගත්තෙ.ඕකෙන් ඇත්තටම වැඩකුත් නම් උනා. ඇත්ත කියන්ට එපාය. ඒත් ඒකට කරපු වියදමේ හැටියට නම්, තරමට නම් වැඩක් උනේ නෑ.

ච.බ.කු. වලව්වෙ හාමුත් ඔය ජංගම සේවෙ දිගටම ඉදිරියට අරංගියා. පොළොන්නරුවෙ රෝයල් එකේ තිබ්බ ඔය ජංගම සේවයක් මට මතක විදිහට 96 නැත්තං 97 අවුරුද්දෙ වගෙ. දවස් තුනක් ද කොහෙද තිබ්බ ආතල් එක. රජයේ දෙපාර්තමේන්තු, අර්ධ රාජ්‍ය ආයතන ඔය ඔක්කොම ගිහිල්ල එතන ඉන්ට ඕන එකත් පස්ව. මහජනයා ඇවිදිල්ල තමන්ගෙ පැමිණිළි ඉදිරිපත් කරනව. එව්වට විසඳුම් දෙන්ට ඕන. දවස අන්තිමට ආපු පැමිණිළි ගානයි විසඳපු ගානයි සීයට ගණං එහෙම දාල දෙන්ට ඕන වාර්තාවක් ජංගොම සේවෙ සම්බන්ධීකරණ නිලදාරියට. එව්ව එසැණින් රූපවාහිනියට එහෙම යවල රෑ අටේ ප්‍රවෘත්ති වලට කියනව ගැටළු 18, 312. 34 ආවය, එව්වයිං 12, 103. 67 කට ඔන් ද ස්පොට් විසඳුං දුන්නය. තව 8,156.43 කට සතියක් ඇතුලත විසඳුම් දෙන්නෙයි කියල ගරු ජනදිපතිනිය නියෝග කලාය කියල. ඔය ප්‍රවෘත්ති කියන කිරිකෑස් අංගනාවියො ඔය ගණං හිලව් කට අඹර, අඹර හුරතල් කොර කොර කියන හැටි.... අම්මප බලාඉන්ටම වැඩේ ඒක.

අර මගෙ යාලුව සුමනෙ මතකයි නේද? සුමනෙයි අපෙ අයි.ඊ. මහත්තයයි මායි තමයි ඔය ජංගොමේට ගියෙ. අහ්..තව එකක් කියන්ට ඕමනයි. ඔය ජංගොම සේවෙ ගැන දිවයිනේ දාල තිබ්බ පෝටොස් එහෙක අපි තුන්දෙනාම ඉන්නව...හෙහ්, හෙහ්, උපන් හඳවියකට ඔය මගෙ පෝටොස් එකක් කියල පත්තරේක වැටුනමයි..ඉස්සරහට ඉතිං කොහොම වෙයිද කියල කියන්ට බෑ..නැද්ද ළමයි?

ඔන්න අපි උදෙම්ම ගියානෙ රෝයල් එකට. ප්‍රෙසිඩෙන්ෂල් සිකුරුටි ඩිවිසං එකේ බබලත්තු තමයි ඉන්නෙ ඉණ ඉහ අතගාල බලන්ට. සැක හිතුනොත් ආය සමාවක් නෑ කිරිපල්ල දෙපරැංද අස්සෙ හිටං අතගාල බලනව. සුදු අත් මේස් දාල ඉන්නෙ ඒ නංගිල.

" මොකද බං ඔය මූණෙ හැටි. පාතාල නායකයෙක් වගෙ …" සුමනෙ එහෙම ඇහුවෙ චැක් පොයිංට් එක කිට්ටුවීගන එනකොට මම හදාගත්තු මූණ දැකල.

" ආහ්...පාතාල පොරක් වගෙද පේන්නෙ? හෙහ්..එහෙනං මගෙ වැඩේ සාර්තකයි.."

ම්හු..එහෙම දහසක් බලපොරොත්තු හිතේ පොදි ගහගෙන ගියාට එක දවසකවත් මගෙ අපේක්සා ඉස්ට උනේ නෑ. මගෙ මරුමුස් මූණ දැකල නංගිල කට කොණකිං හිනා උනා විතරයි.අයිඩෙන්ටිටි කාඩ් එක බලල යන්ට කිව්ව..අනිච්චේ දුක්කේ..අනික ඒ දවස් තුනේ මම සිවිල් පිට ගියෙත්...

හරි, හරි එව්ව ඇති..ඉතිං අපි තුංදෙනා ඔන්න ඉඳගෙන ඉන්නව කට්ටිය ඇතුලට එවනකල්. ඔන්න එකා දෙන්න එන්ට ගත්ත. විනාඩි අට දහයක් වාගෙ ගියාය කියමු. ම්හු නෑ මොකෙක්වත්..

" අඩේ..අපේ ගොවියන්ට ප්‍රශ්න නැතුවා වත්ද ? "

අයි.ඊ.මහත්තය සාක්කුවෙං ගත්ත බුලත් මඩිස්සලේ දිග අරින්ඩ ගත්ත... මඩිස්සලේ කිව්වට පත්තර පිට්ටක ඔතල තිබ්බ බුලත් පුවක්, හුණු දුංකල මැලයක් ඒ. ලොක්ක වයස පණහත් පැනල. පැංසොං පලච්චන්ට ඔන්න මෙන්න. ඒත් ආය නෑ...නියම බාන්ඩෙ..ඉළ නෑ කියන කතා වලට..

" ඒ වගේ අයි.ඊ. මහත්තය. ආය මොන ප්‍රශ්නද අපි එව්ව ඔක්කොම විසඳලනෙ තියෙන්නෙ." පුරස්න අනුක්‍රමිකව ලියාගන්ට දුන්නු පුල්ස්කැප් කොලේ ඉරි ගහන ගමං මම කිව්ව. අනු අංකය ඊළඟට ඉදිරිපත් කල ගැටළුව. ඊළඟට ඉදිරිපත් කල පුද්ගලයාගේ...මට එච්චරයි ලියන්ට හම්බ උනේ..

" ඒයි අන්න බලාපංකො කවුද ඉස්සරවෙලාම එන්නෙ කියල.." සුමනෙ මගෙ ඉළේට ඇන්න.

හප්පච්චියේ ...මේ පෝරිසාදය මෙතන්ටත් ඇවිල්ල...විනාසයි...සියාතු මාම..වෙන කවුරුවත් නෙවෙයි සුදෝ සුදු නැෂා එකක් ගහල බාටාවකුත් පයේ පැළඳගෙන එන්නෙ අපෙ සියාතු මාම.

ලොක්කගෙ ඇහැ පේනව ටිකක් හොරයි..ළඟටම එනකල් අපිව අඳුර ගත්තෙ නෑ..අඳුර ගත්ත ගමං මනුස්සය පස්සට විසි උනා වගෙ උනා. ඒ කරල අර ඔඩ්ඩි යකා දැක්කම දත කට පූට්ටු වෙනව වගෙ ගල් ගැහිල අපෙ දිහා බලා හිටිය. සුමනෙයි මායි තොල් විකාගෙන හිනාව පුපුරන එක නවත්ත ගනට හදනව බිම බලාගෙන..

අයි.ඊ. මහත්තය හොඳ විටක් කාරිය ඒදල හක්කෙ තියාගෙන දෙතුන් පාරක් හපල එහෙම සියාතුව දිහාවෙ ඔලුව උස්සල බැලුව.

" ආ..මේ අපේ සියාතු නෙව..කොහොමද ඉතිං සැප සනීප කාරිය.? "

ඔන්න සියාතු යාන්තමට වචන දෙක තුනක් ගැටගහගත්ත…" මේ..මේ..මේ..මහත්තයලමද මෙතනත්…"

අයි.ඊ. මහත්තය හක්ක එහාට මෙහාට කර කර දෙතුන් පාරක් විටේ හැපුව. ඒකරල වටපිට එහෙම බලල සද්දෙ අඩු කරල මෙහෙම කිව්ව..

" නැත්තං...උඹ හිතුවද චන්ද්‍රිකා මෙතන ඇවිදින් ඉඳගෙන සැදී පැහැදී ඉඳීය කියල උඹේ බටේ පාත් කරල දෙන්ට? "

සුමනෙගෙයි මගෙයි බොහොම අමාරුවෙං තද කරං හිටපු හිනාව පිපුරුනේ හරියටම එකම වෙලාවෙ.

Wednesday, January 8, 2014

239. උපන්දෙණිය, ලලනාවියන්ගේ ත්‍යාගය, සෙව්රංගා, ලොවීනා සහ ආණ්ඩුකාරයෙකුගේ කතාව.

මගෙ උපන්දෙනිය තිබ්බනෙ පහුගිය නොවැම්බරේ...අපෙ ලොක්කිගෙ අක්කගෙ දුව පොඩි කාලෙ උපන් දිනේට කිව්වෙ උපන්දෙනිය කියල...ඒ කෙල්ලගෙ තියනව ඔය වගෙ වචන මහ ගොඩක්...දැං ඒ ලෙවල් කරන්නෙ. මම ඔව්ව මතක් කලාම ලැජ්ජාවං ඇකිලෙනව.

ඉතිං මයෙ උපංදෙනිය දවසෙ මට කතා කලා මයෙ බෝම හිතේසිවන්ත ලලනාවියක්..සුබ උපංදිනයක් එහෙම පාර්තනා කරල අහකවෙලා එඋන්දි මෙහෙම අහපි.

" මොනවයි අයියෙ උඹට ඕන උපංදිනේට?"

" අනේ මට මොකවත් එපා බං...බොලා වගෙ ගුනයහපත් ලලනාවො ආස්සරේ කොරන්ට ලැබිච්චි එකම මදැයි බාං මට වෙන මොකවත්ම ඕන නෑ.."

මම එහෙම කිව්ව බොහොම ලෙංගතු හඬකිං.....ඔහොම කිව්වම ඔය අංගනාවියංගෙ කරෙත් ගිහෑකි ගෝණි නැතුවම..හෙහ්,හෙහ්, අපි නොදන්නවය ඔව්ව....

" හ්ම්ම්ම්..හ්ම්ම්ම්..හ්ම්ම්ම්." .කියල ඔන්න ලලනාවි ටිකක් එක විදිහක් වෙලා පස්සෙ ඇහැව්ව මෙහෙම..

" එහෙම නෙවෙයි අයියෙ..මම උඹට පොත් එවඤ්ඤංකො හත අටක් පාස්සල් කොරල..මොනවද ඕන?.."

" ආ..ඒකනං නඟේ අගේ ඇති කම්පනාව...එහෙනං මට එවාපං මෙන්න මෙව්ව.." කියල මම කිව්ව පොත් හතරක පහක වගෙ නං....

ඒ කරල මෙවුන්දැ ඕක කියල මයෙ තවත් හිතේසිවන්ත අංගනාවියකට..

" හා එහෙම කොහොමද ඔයා විතරක් රවි අයියට පොත් යවන්නෙ? මාත් යවන්ට ඕන.."

ඔන්න ඔහොම කියල ඒ මහගෙත් ඒ පාර පොත් එවිල්ලට සම්මාදං වෙච්චි.

" මේ අයියෙ අපි උඹට පොත් එවනව..ඒත් උඹ අපි මෙහෙම පොත් එව්වය...අපි වගෙ කුලුනු ගුනෙන් සපිරි කාන්තා රත්නයන් දෙකක් උඹ මෙහූ කාලෙකට දැකල තියා පොතක පතක වත් කියවල නැතය...අරමය....මෙහෙමය...මේම් මෙහෙමය..කියල බ්ලොග් පෝස්ට් එකක් නම් ලියන්ටම ඕන. " ඔන්න අන්තිමට උං කියාපු එක..කාල වරෙල්ලකො ඊට් ඇන්ඩ් කම්...

මම බොහොම පැහැදිලිව කිව්ව ... අනේ කෙල්ලනේ ඒකනම් කොරන්ට බැරිය..එහෙම කොරන එක හරි මදිය...ඕනම දේක තියෙන්ට ඕන නෙව ක්‍රමයක් සහ පිළිගත් සම්පරදායක්..මොන? ඔය බබලත්තු යමක් හිතුවොත් හිතුවම තමයි. උං ගැන ලියන්ට ඕනමය කිව්ව නෙව. අන්තිමට නොවඳිනා වැඳුං වැඳල අපි ආව පොඩි කොම්පෝරමයිස් එහෙකට. කොහොමද?

" මේ හා එහෙනං මෙහෙම කොම්මු..මම මේ විස්තරේ ලියඤ්ඤා..ඒත් බොලාගෙ නං දාන්නෙ නම් නෑ හොඳද?...ඒකනං මට කීයටවත් කොරන්ට බෑ...බෑ..බෑ..බෑ කිව්වොත් බෑම තමයි "

" හරි..හරි එළුව වගෙ කොච්චරවත් බෑ..බෑ...බෑ...ගාන්ට ඕන නෑ ඉතිං..උඹ එහෙම ලියාපංකො එහෙනං විස්තරේ…. නං ගං නොදා.....අපි කමෙන්ට් එකක් දාල කියන්නංකො අපියි පොත් එව්වෙ කියල…" ඔන්න ඒ පාර එවුංදල කියාපි..

" හා..ඒක ඕන එකක්..බොලාට කැමති දෙයක් කොරාපල්ල..කමෙන්ට් බැරිනං ඕන මංගල්ලයක්…"

අන්තිමට ඔන්න ඔහොමයි වැඩේ කෙරුනෙ..ඉතිං බලාපල්ලකො මේ බබලත්තු කියන ජාතිය...යම් දෙයක් කරන්නෙම තව මොනව හරි යටි වගාවක් බලාපොරොත්තුවෙම්ම නෙව.ඔවුංගෙ හැටියක්මයියොය.

හැබැයි අපරාදෙ කියන්ට බෑ හැරෙන තැපෑලෙං පොත් පාස්සලේ නං ඔය එවල තිබ්බෙ...

ඉස්සොරෝම කියෙව්වෙ ලොවීනා.....මොහන් රාජ් මඩවල....නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ යුගයෙ ඉඳල ලංකාවෙ දෙවෙනි ඉංගිරිසි ආණ්ඩුකාරයාගෙ කාලෙ දක්වා දිවෙන කතාවක්.



දස්කොන් - ප්‍රමිලා සුප්‍රසිද්ධ ප්‍රේම කතාවෙ ඉඳල සර් තෝමස් මෙට්ලන්ඩ් - ලැවීනියා කතාව දක්වා මෝහන් රාජ්ගෙ කතාව දිග හැරෙනව. ලැවීනියා මොහාන් වෙනස් කරනව ලොවීනා කියල. ඒත් ඇගේ රොඩී සහ පෘතුගීසි මිශ්‍ර ජන්මය වෙනසක් වෙන්නෙ නෑ.

" නෑ ලොකුමැණිකෙ....එතන උනේ මෙහෙමයිනෙ…"

රතු පැහැයට හුරු සරමක් දෙදණින් වියතක් පමණ පහළට හැඳ වසර කිහිපයකට පෙර සුදු පැහැයෙන් පැවතියායැයි සිතිය හැකි රෙදි කඩමාල්ලක් බඩ මැදින් වෙලාගත් වනම පිල්කඩ අසල ගල් බංකුවෙහි එකත්පස්ව හිඳිනා මහළු මිනිසා හිස මඳක් ඇළකොට හඬ පහත් කොට යමක් මුමුණයි.

" නෑ?????..." අත්තම්මා විස්මිත රාවයක් නඟන්නී රැළි වැටුණු සුරතින් මුව අඩක් වසාගනිමිනි.

" ඔය ඉතිං ලොකු මැණිකෙට කිව්වම විස්වාස නෑනෙ…" මහල්ලා පවසනුයේ නෝක්කාඩු හඬකිනි.

" නෑ..බං මම මේ කිව්වෙ....." අත්තම්මා ගෙමිදුල මධ්‍යයෙහි කළු ගලින් බැඳ ඇති මල් පාත්තියෙහි සරන සමනළුන් දෙස බලා සිටින මා දෙස හොරැහින් බලමින් පවසයි.

" මොකක්ද අත්තම්මා?.." මම එසැණින් ඈ දෙස හැරී බලා අසන්නෙමි.

" නෑ..නෑ...සුට්ටි පුතා ඔතන සෙල්ලං කරන්ටකො..මේක මේ අපේ කතාවක්…"

" උඹ ඉතිං ලොකු මැණිකෙ ආවය කියල ආරංචි වෙච්චි හැටියෙ දුවගෙන එනව මොනව හරි ගම්මැදි හෑලි, ඕප දූප ටිකක් කණේ තියල මොන මොනව හරි පොදි ගහගෙන යන්ට…"

දැවැන්ත කොස් ගෙඩියක් කරතබාගෙන එගොඩහ රබර් වත්ත මැදින් වැටී ඇති අඩි පාර දිගේ පැමිණි ලොකු මාමා එසේ පවසමින් උයන ගෙට ගොඩ වනුයේ සිනා සෙමිනි. මගෙ මවගේ වැඩිමහල් සහෝදරයා වූ ඔහු අවිවාහකව හිඳ මීට වසර හතකට පමණ පෙර මියගියේ අනූ හැවිරිදි වියේදීය.

මේ ජවනිකාව මෙසේ රඟදැක්වුනේ මා හිතවත/හිතවතිය, කඩුගන්නාවේ මාගේ මවගේ මහ ගෙදර ඉදිරිපසදීය. එදින සිට කාලය දශක සතරකුත් ඉක්මවා ගෙවී ගොස් ඇත. මගේ මිත්තණිය සහ මාමණ්ඩිය මියගොස් ඇති අතර සෙව්රංගා ද මියගොස් ඇති බවට සැකයක් නැත.....එසේය ..එදින මගේ අත්තම්මා සමඟ ලොකු මාමා පැවසූ පරිදි ගම්මැදිහෑලි පවසමින් ගල් බංකුවෙහි හිඳ සිටි මහල්ලා නමින් සෙව්රංගාය.

ඔහු එදවස ඒ අසලම වූ රොඩී ගම්මානයේ ගම් නායකයාය. බොහෝ කලක සිට අත්තම්මාගේ කුළුපග මිතුරෙකි. කෑගල්ලේ තානායම පසුකොට මඳක් ඉහළට ගිය පසු පිහිටා තිබූ කච්චේරියේ නිළ නිවාසයක අප සමඟ විසූ අත්තම්මා බොහෝ විට පාසල් නිවාඩු කාලයෙහි මාත් සමඟ තම මහ ගෙදරට පැමිණ දින කීපයක් ගත කිරීමට ඇබ්බැහිව සිටියාය.

මම ඉපිද සති දෙකක් ඉක්ම යාමටද පළමු මද්දුම දියණියට කුළුඳුලේ ලැබුණු පුත්‍රරත්නය දැක බලා දින කිහිපයකින් පෙරළා තම නිවස බලා යාමට බලාපොරොත්තුවෙන් පැමිණි ඇය එදින සිට අප සමඟ නතර වූවා, අප අතරින් වෙන්ව ගියේ ඒ මුණුබුරාද ඇතුළු තවත් තිදෙනෙකුගේ කර මතිනි. මගේ මිත්තණියගේ ඒ අනුවේදනීය ජීවන වෘත්තාන්තය සවිස්තරව පැවසීමට මේ අවස්ථාව නොවෙන බැවින් මට සමාවන්න මා පිය සහෘදයිනි/ සහෘදිනියනි.

" සෙව්රංගා හිටහං කොස් කෑල්ලකුත් අරගෙනම යන්ට..." අත්තම්මා පැවසූයේ නැඟිටිමිනි.

" එහෙමයි ලොකු මැණිකෙ.. "

සෙව්රංගා තම තැනින් තැන සුදුපැහැ ගැන්වුනු ගෙල දක්වා වැඩුණු කෙස්කළඹින් හෙබි හිස නමා පිළිතුරු දුන්නේය.සිංහල කුල ධුරාවලියෙහි ඉතා පහත්ම ලෙස සම්මත කුලයකට අයත් වුව ද ඔහුගේ දෙනෙතෙහිවූ ප්‍රෞඪ බැල්ම තවමත් ඉතා පැහැදිළිව මගේ මතකයේ රැඳී ඇත.

උරමත රඳවාගත් රෙදි ඔලගුවට සහල් සේරු දෙක තුනක් පොල් ගෙඩියක් හෝ දෙකක් සහ තුන පහ යනාදිය පුරවන අත්තම්මා කුමන හෝ මුදලක් ද සෙව්රංගාගේ අත මිට මෙළවීමට අම්තක නොකළාය. උඩරට කුළවත් පරපුරකට අයත් වුවද ඇය කුළ භේදය පිළිබඳව එතරම් තැකීමක් නොකළාය. කුළ භේදය පිළිබඳව මසිත දැඩි අප්‍රසාදයක් ඇතිවීමට මූලිකවම හේතුවූයේ සෙව්රංගා සමඟ මගේ මිත්ත්ණියගේ කුළුපඟ ඇසුර බවට මම සිතන්නෙමි.

සෙව්රංගා සහ ලොවීනා කථාවෙහි සඳහන් උඩුගල්පිටිය නම් රොඩී ගම්මානය අතර සම්බන්ධයක් ඇත්දැයි සොයාගැන්මට මම දැරූ උත්සාහය ව්‍යාර්ථ විය. මගේ මෑණියන් අමතා ඒ පිළිබඳව විමසූ මුත් ඒඅරභයා වැඩි දුර විස්තරයක් පැවසීමට ඈ අසමත් වූවාය.

රොඩී කුලේ ගැන ඊට පස්සෙ මට මතක තියෙන්නෙ 1976 තිරගත වෙච්ච හුලවාලි චිත්‍රපටය....චිත්‍රපටයක් වෙන්න කලින් ඒ දයා රාජපක්ෂගෙ චිත්‍ර කථාවක්...මට මතක විදිහට සිළුමිණේ පලවුනේ......ගාමිණී - ධාරා....සුවිනීතා - සුබා.... ටෝනි රණසිංහ- බිබිලෙ ඇත්තො...තවමත් මතකයි ඒ අද්විතීය භූමිකා නිරූපණය..ඒ වගේම සුනිල්... ධර්මසිරි සහ වික්ටර්..කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා...

කුඩා ගමේ මද්දහනේ අව් රශ්මිය නිවා...
උරේ කඳු පෙතේ දඩමං දිගේ ගියා මෙමා
එවන් ගමන් මා නම් ගියෙ සෙනෙහස ගැන සිතා
නුඹේ කරට රිදී පොටක් ප‍ළඳන්නයි සුභා

මගේ පැලට නුඹ කැන්දන් පැමිණි දොහේ එදා
මල් ගෝමර පිපුණු ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ළමැද වසා ගනින් කියා
මගේ අතින් දුන් සලුවෙන් ළමැද වසා ගියා
රිදී පොටක් කර ලන්නට වරම් නැතුව ගියා

ආල වඩන අකුරු පහේ තේරවිල්ල සකි
රෑට නිදන තනි පැදුරේ නැති සිහිනෙක සකී
ආලෙ බිඳුණු දා කුමකට කඳුළු හෙලනු සකී
ආල වඩන යන තේරුම බෝසත් කම සකී


පද - ධර්මසිරි ගමගේ
සංගීතය - වික්ටර් රත්නායක
හඬ - සුනිල් එදිරිසිංහ
චිත්‍රපටය - හුලවාලි 



ඊටත් පස් සෙ සෝමවීර සේනානායකගෙ චිත්‍ර කතාව සත්වෙනි දවස..මුලින් ඇන්දෙ බන්ධුල හරිශ්චන්ද්‍ර...අගටන්නයි වන්රක්කයි අක්කයි නංගියි ...නිමුන්නු...දෙන්නටම ලස්සනට සිංදු කියන්ට පුළුවන්..ටවුමෙ රෙකෝඩ් බාර් එකක් කරන තරුණයෙක් ( නම මතක් වෙන්නෙම නෑ අප්පා..හිටගෙන කම්පනා කලා...ඉඳගෙන බැලුව...මුනින් අතට ඉඳල බැලුව..ඔලුව දෙපරැන්ද අස්සෙ ගහගෙන කම්පනා කලා. ම්හු..එන්නෙම නෑ ) සහ මේ දෙන්න අතර ඇතිවෙන පෙම් පලහිලව්වක් ඔස්සෙ තමයි කතාව ගලාගෙන යන්නෙ.

සත්වෙනි දවස කියන නමේ තේරුම මේකයි. රොඩී අයට එක තැනක නැවතිලා ඉන්ට පුළුවන් දවස් හතයි කියලයි කියන්නෙ. දවස් හතකට වඩා හිටියොත් බතේ පණුවො ගහනවලු. ඒ කියන්නෙ එතැන අතෑරල යන්ට කාලය හරි කියන එකලු.

සත්වෙනි දවසෙනුත් ෆිල්ම් එකක් ගැහුව හේමසිරි සෙල්ලප්පෙරුම...ඒකෙ හිටියෙ නංගිට නම් මාලිනී..කොල්ලට සනත්ද කොහෙද?...ඔය වගෙ නිවුන්නු දෙන්නෙක්ට ප්‍රේම කරන තව කතාවක් තිබ්බ සිත්තර පත්තරේ ගිය..හිතට වහල් වීමි...සරත් කවිරත්නගෙ කතාවක්..ඒකෙනුත් පස්සෙ ෆිල්ම් එකක් ආව..සිටු කුමරියෝ..සනත්ගෙ පළවෙනි ෆිල්ම් එක....ඒකෙ නිවුන්නුන්ට හිටියෙ කවුද කියල නම් මතක නැත.

මම අනුරාදපුරේ ටෙක් යන කාලෙ ඔන්න එක පාරක් තිසා වැවේ බැම්මට පල්ලෙහායිං රොඩී අය කට්ටියක් පැල් අටවාන ඉන්නවයි කියල ආරංචි උනා..

" ඒයි මචං අන්න තිසා වැවේ බන්ඩෙක පල්ලෙහ රොඩී අය වගයක් ඇවිල්ල ඉන්නවලු. යමං බලන්ට.." දවල් කෑම විවේකෙදි කැන්ටිම පිටිපස්සෙ පේර ගහ යට කට්ටිය ඉඳගෙන කතා කර කර ඉන්දැද්දි මම කිව්ව.

" රොඩින්ගෙ මොනවද බං ආය බලන්ට තියෙන්නෙ? " ඔන්න එකෙක් කියාපි.

" බලන්ට? හෙහ්, උඹ හරියට දන්නෙ නැතුවනෙ ඔහොම කියන්නෙ. ගෑණු කෙල්ලො ඔක්කොම මචං ඉණෙං උඩ ඔක්කොම ඇරගෙනලු ඉන්නෙ.. "

" නෑ??? පලයං බං අල්ලෙ පලවෙන බොරු කියන්නෙ නැතුව… "

" බොරු නං නිකා ඉඳහං.. "


" අනේ ඇත්තද වීරෙ මේ කියන්නෙ? " ඒ අපේ පංතියෙ හිටපු කෙල්ලක්.

" ඇත්ත කියන්නෙ ආයෙ... මම ඊයෙ හවස ගියා බලන්ට.. "

" චී අනේ..ඔයාට ලැජ්ජාවක් කියල එකක් නැද්ද? "

" ලැජ්ජයි තමයි ඉතිං...මම ලොකු ගහකට මුවා වෙලා බලා හිටියෙ.."

" චික් විතරක්… "


" චික් කියන්නෙ?.....උඹල මේ අටේ දහයෙ හිටියට අපිට එහෙම චාන්ස් එකක්වත් දෙනවය. එහෙමනම් අපිට ඔය ගස් වලට මුවා වෙලා ඔව්ව බලන්ට වෙන්නෙ නෑනෙ.." මම කෝකටත් කියල නැඟිටල දුවන්ට ලෑස්ති පිට තමයි එහෙම කිව්වෙ.

" අම්මප උඹට ….ඉඳපං ඔහොම.." කෙල්ලො කට්ටියම මා පාරෙ එලවන්ට ගත්තෙ නැද්ද ඒ ගමන? හෙහ්, හෙහ්, ඒ මගේ ජීවිත ගමනෙ තවත් එක් සොඳුරු යුගයක්.

ලොවීනා කතාවෙ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන්ගෙ අන්තඃපුර කාන්තාවක් වන පුන්නා අබිරහස් ලෙස ගැබ් ගන්නව.රජ්ජුරුවන්ගෙ දඬුවම ඇය රොඩී රැහැට පිටුවහල් කිරීම. රොඩී රැහැටම නෙරපා හැරියා නොවුනත් ඔය වගෙ මට මතක් වෙච්ච තවත් සිද්ධියක් ආර්. එල්. ස්පිට්ල් දොස්තර මහත්මයගෙ සුදු වැද්දා කතාවෙ දෙවෙනි රාජසිංහ රජ්ජුරුවො තම ලේලිය වන නාලිනී කුමරිය සියලු යස ඉසුරුවලින් පහකොට සෙල්ලා නම් රජ වාසලට මස් සපයන මහලු වැද්දාට භාරදී රජ වාසලින් නෙරපා හැරීම.

පුන්නීගෙ මිණිබිරියගෙ මිණිබිරිය තමයි ලොවීනා...ලොවීනගෙ අම්මා රොඩී රැහේ පිංචි. අප්පා පුරුතුගීසි ...නම ඇවිල්ල අපොන්සෝ...කඩුගන්නාවෙ උඩුගල්පිටියෙ ඔවුන්ගෙ කුප්පායම කුලවතුන් පිරිසක් ගිණි තියන්ට යන ආරංචිය අහල ඉංගිරිසින්ගෙ යටතෙ පාලනය වන මුහුදු බඩට පලා එන ඔවුන් අවසානයෙ කුප්පායම අටව ගන්නෙ ගල්කිස්සෙ.ලංකාවෙ දෙවන ඉංගිරිසි ආණ්ඩුකාරවරයා සර් තෝමස් මෙට්ලන්ඩ් තමන්ගෙ බංගලාව හදන්නෙත් ගල්කිස්සෙ.ආණ්ඩුකාරයයි ලොවීනයි මුණ ගැහෙන්නෙ ඒ බංගලාවෙ පැවැත්වුනු රාත්‍රි සාදයකදි ලොවීනා ඇතුළු තරුණියන් කණ්ඩායමක් ඉදිරිපත් කරන නැටුමකදි.

කොහොමහරි මේ ආදරවන්තයින්ගෙ සම්බන්දෙට වංශවත් සිංහලයින් වගේම ඉංග්‍රීසීනුත් විරුද්ද උනයි කියලයි කියන්නෙ. අන්තිමට කොහොම කොහොම හරි වැඩි කල් නොයා තෝමස් මෙට්ලන්ඩ් ආපහු එංගලන්තෙට කැඳවල මෝල්ටාවෙ ආණ්ඩුකාරවරයා විදිහට පත් කරනව.

මොහන් රාජ් කියන විදිහටනම් ලොවීනගෙ ආදරය දිනා ගන්නෙ උතියා කියල රොඩී තරුණයෙක්මයි. ඇය ආණ්ඩුකාරය එක්ක ගත කරන්නෙ ඔහුට ඇති බිය සහ ඔහු නිසා රොඩී රැහැටම ලැබුනු වරප්‍රසාද නැතිවෙයි කියන සැකය නිසයි. ඒත් මම කැමති අර පරණ කතාවට. වියපත් ඉංගිරිසි වංශාධිපති ආණ්ඩුකාරවරයකු සහ නාඹර තරුණ වියේ පසුවන පෘතුගීසි සහ රොඩී මිශ්‍ර සම්භවයකින් යුතු රූමත් තරුණියක අතර ඇතිවන සෙනෙහසක්...එහෙම කිව්වම ඒක අස්වාභාවිකයි කියල හිතෙනව තමයි. ඒත් මම කැමති ඒ අස්වාභාවික ගතියට.

පොඩි කුමාරිහාමි එක පාරක් ලිව්ව මේ ලැවීනියගෙ කතාව..මේ මම ඒකට ලියපු ටීකාව සංශෝධන කීපයක් සහිතව.

My Dearest Lovina,

I am writing this to you sitting on a rock.....this is the east coast of Malta. I don’t suppose you know where it is. Just think of it as a very very far away place. So far away that it would take at least 2 full moons time to get here from where you are, where we were.

I am looking towards the sun arising out of the mist over the swirling blue waters of the Mediterranean. No....my dear I am not a sun worshiper........I prefer spending my time looking towards east because my love, I know that's where you would be thinking about me I am certain, at this very moment.........May be sitting on that rock where we used to have our secret rendezvous..... How my heart longs to hold you in my arms again. To place my lips tenderly upon your quivering lips....O, My dear that very thought is sufficient to drive me crazy, more so as I know deep down in my heart that it's hoping in vain.

When the rising golden sun dissipates the churning mist occasionally....actually more often than not....I can see your smiling face slowly manifesting in midst of coalescing haziness. A vista that makes my heart cry out in severe pain, an incoherent sound that originates deep down in my heart which I have to suppress somehow...however difficult that may be , because my love for you have to be hidden from the whole world whatever the cost would be.....

I am unable to put into words all my love for you...dearest....because how can you describe in mere words something that is divine.....Yes, that's what it is , My love for you is divine .......

I don't know when you would get this missive, in 3 months, 6 months or whether you would get this at all. All the same I am writing this hoping one day you would be reading this sitting on that rock...our special rock on the beach of paradise..........

I am dying Lovina....I am dying.....not only spiritually. I died in my mind that day when finally I said good bye and left you on the beach looking at me walking away, forlornly with tears streaming down.

I am dying bodily too. I feel something inside me had gone away. May be the will to live. I have no purpose in life to look forward to with thousands and thousands miles of endless sea separating us destining you and me never to meet again.....never ever again.

When we met for the first time, on that day I set foot on paradise, even then I knew that I am setting out on a journey for a destination unknown. But who can deny our destiny. What's written in the stars would happen. Whether we like or not.

You have your whole life before you....Lovina....so please get on with your life. try your best to forget me..........

Finally my dearest , My love.....let me take my leave from you.....for the very last time....most probably.....

Thank you dearest, for making my life so wonderful, a heavenly bliss for those six years...that was the best years of my life indeed.

With you always in my dreams, in my heart and in my soul,


Tom.

Wednesday, January 1, 2014

238. විස්සයි දහතුනෙන් විස්සයි දාහතරට නොහොත් අඩ සිය වසක ශේෂ පත්‍රය.



තුන් සිය හැට පස් දවසක් නැත්තං ඒ වගෙ තුන්සිය හැටපහේ එව්ව තුනක් ගිහාම එන තුන්සිය හැටහය දවසකට අපි අවුරුද්දක්ය කියල කියනව.අවුරුද්ද ගෙවිල යන අන්තිම දවස දෙසැම්බර් තිස් එක නැත්නම් අළුත් අවුරුද්දෙ මුල් දවස ජනවාරි පළවෙනිද කියන්නෙ ආය අවුරුද්දෙ ඉතිරි දවස් තුන්සිය හැට තුනට වැඩිය අමුත්තක් නෑ. 

අනික් අවසේස දවස් වගේම ඉර නඟිනව , ඉර බහිනව, හුළඟ හමනව ඔය කොව්වත් වෙනද වගේම සිද්ද වෙනව. ඒත් අපි අවුරුද්දක් ගෙවිල අලුත් අවුරුද්දක් ලබන කොට පොඩ්ඩක් නැවතිල හිතනව. ආපහු හැරිල බලනව. එතකොට අලුත් අවුරුද්දෙ මම මෙහෙම කරනව මෙහෙම කරනව කියල අදිස්ටාන කරගන්නව. එහෙම තමන්ටම වෙන පොරොන්දු ඒ විදිහටම රැකෙන්නෙ නෑ සීයට අනූනමයයි දසම නමයයි නමයක්ම. ඒත් ඒ මොනව උනත් පොරොන්දු අදිස්ටාන ඇතිකරගන්න එක උනත් මදැයි එක අතකට නැද්ද? 

මම සාමාන්‍යයෙන් එහෙම ආපහු හැරිල බලන්නෙවත් අමුතුවෙන් අදිස්ටාන කරගන්නෙවත් නම් නෑ. වෙන මොකවත් හින්ද නෙවෙයි කරුණු දෙකක් හින්ද. එක ගෙවිල ගිය අවුරුද්දෙ ආපහු හැරිල බලන්ට තරම් විශේෂ සිද්ධියක් නොවුනොත් ඉතින් එහෙම කරන්ට ඕන නෑ නෙව. දෙක අදිෂ්ඨාන.ඒක මෙහෙමයි. අලුත් අවුරුද්දෙ වැර වෑයමෙන් නවත්වන්ට තරම් නරක පුරුදු මට කවදාවත්ම තිබුණෙ නෑ. අනික මම මේ අවුරුද්දෙ මෙහෙම කරනව , මේ ඉළක්කයට ලඟා වෙනව , අන්න එහෙම කල්පනාවක් උනත් මගෙ හිතේ කවදාවත්ම තිබ්බෙ නෑ කියල තමයි කියන්න තියෙන්නෙ.

ඒත් විස්සයි දහතුන ටිකක් විතර විශේෂ වසරක්.

සුවිශේෂී කරුණු නැත්නං සිද්ධීන් හතරක්....අංක එක මැයි මාසෙ නම වෙනිද මගෙ රස්සාව නැතිඋනා. මගෙ ජීවිතේ ඒ අත්දැකීමට මුහුණ දුන්නු මුල්ම අවස්ථාව ඒ. කොච්චර ජීවිතේ අත්දැකීම් ලබල පදම් වෙලා හිටියත් අර ප්‍රේමදාස ජනාධිපතිතුමා කිව්ව වගෙ හොඳට තෙම්පරාදු වෙලා හිටිය උනත් ඒ වගෙ අත්දැකීමක් පෞද්ගලිකව ලබන එක නැත්නම් කාටත් තේරෙන බාසාවෙන් කිව්වොත් තමන්ටම වෙන එක දරාගන්න බොහොම අසීරු දෙයක්.

මැයි නමය කියන්නෙ බ්‍රහස්පතින්ද දවසක්. අපිට වැඩ වරුවයි බ්‍රහස්පතින්දට. දොළහමාරට ඕෆ්. ජූනි හය වෙනිද මගෙ මාසයක වාර්ෂික නිවාඩුව යන්ට මම නිවාඩු අයදුම්පත්‍ර දාලයි තිබ්බෙ. ප්‍රතිචාරයක් නැතිනිසා මැයි නම වෙනිද දහයට විතර මම මගෙ බොස් ( බොස් ඇවිල්ල කාන්තාවියක්, හෙහ්, හෙහ් ) හම්බවෙල ඇහුව " Madam, what about my annual leave application? " කියල. එතුමී කිව්ව " Ravi. HR Manager will get in touch with you " කියල. 

එකොළහමාරට විතර HR මැනේජර් ( ඒත් කාන්තාවියක් හෙහ්, හෙහ් ) මට කතා කලා.ඒ කරල මෙහෙම කිව්ව. " I am really sorry Ravi, but this is a company policy decision, You and some others would have to be retrenched. you don't have to come back to work. regarding your final settlements we would get in touch with you "

ඉතිං මොකේද දං වළඳන්නෙ කියල ඇහුවලු ලොකු හාංදුරුවො...මම ඉතිං මෙහෙම කිව්ව.." Ok madam, No problem, if that's a company decision what can I say other than thank you " ඒ කරල අවුරුදු හතරාමාරක් වැඩ කරපු තැනින් දොට්ට බැහැල එන්ට ආව. එහෙම එනකොට ඇතිවෙච්ච හැඟීම් කියල වැඩක් නෑ. ප්‍රායෝගිකව එහෙම දේකට මුහුණදෙන්ට සිද්ද වෙච්ච කෙනෙකුට විතරයි එහෙම වෙලාවක ඇතිවෙන අසරණ හැඟීම ගැන හරියාකාරව තේරුම් ගන්ට පුළුවන් වෙන්නෙ.

අනික මෙච්චර කාලෙකට වැඩ කරපු තැන්වලින් මම අස් උනා මිසක මාව අස් කරල නෑ කිසිම තැනකින්. මේ මුල්ම අවස්තාව. අවුලක් නෑ. There should be a first time for every thing .මේ සීන් එක ගැන වෙනම පෝස්ට් එකක් ලියන්ටයි මම හිතාගෙන ඉන්නෙ. ඒ නිසා දැනට ඔය මදැයි.

ඉතිං මාස තුනකට කිට්ටු කාලයක් රස්සාවක් හොයල අන්තිමට ඔන්න හම්බ උනා එකක්. දෙවෙනි සුවිශේෂී කාරණය එන්නෙ ඔන්න මෙතනදි. ඒ කිව්වෙ රස්සාවක් හොයාගන්න පත්තරේ දාල ඊටත් පස්සෙ ඉන්ටර්වීව් ගිහිල්ල නැහිච්ච නැහිල්ලෙදි මට බොහෝවිට පරහට හිටියෙ වෘත්තීය සුදුසුකම් නැතිවීම. පළපුරුද්ද විතරක් මදිනෙ. පිලිගත් වෘත්තීය සුදුසුකම් කියන එව්වත් අත්‍යාවශ්‍යයයි රැකියාවකට ඉදිරිපත් වෙද්දි.

අන්න ඒ නිසා මම හිතාගත්ත ආයෙම රස්සාවක් හම්බ උන ගමන් කරන්නෙ වැඩිදුර අධ්‍යාපනය ලබල වෘත්තීය සුදුසුකම් ලබාගන්න එක කියල.ඉතිං දෙයියනේ කියල රස්සාවක් හම්බවෙනවත් එක්කම මම ඔන්න වැඩිදුර අධ්‍යාපන කටයුත්තත් පටන් ගත්ත ඒ එක්කම දෙයියනේ කියල.

බාර්යා තොමෝ ඔය වැඩේට කියන්නෙ වැඩිහිටි අධ්‍යාපනය කියල  " කොහෙද ඔයාට මම ඒ කාලෙ ඉඳලමනෙ කියන්නෙ ඔය මොනව හරි කරන්න කියල..අපෙ ඉතිං රැවුල නෑනෙ." මගෙ වැඩිහිටි අධ්‍යාපනය ගැන කිව්වම උන්දැ ඔන්න ඔහොමයි කිව්වෙ...හෙහ්, හෙහ්...

ඊගාවට නොවැම්බර් දාහතර මගෙ උපන් දිනය. අඩ සියවසක් සපිරුණු දිනය..හෙහ්, හෙහ් අඩ සිය වසක ශේෂපත්‍රය...අවුරුදු පණහක් මම මොනවද කලේ? ජීවිතෙන් මම ලබාගත්තෙ මොනවද? අනික් අතට මගෙ නෑදෑයන්ට යාලුවනට මොනවද මම ආපහු දුන්නෙ? ...කල්පනා කරල බලන්ට වටින ප්‍රශ්නයක්..ඒ ගැනත් වෙනම ලියන්නංකො හොඳද?

දැන් අන්තිමටම මට ලැබුණු අලුත්ම අත්දැකීමක්. දිනය දෙසැම්බර් එකොළොස්වෙනිද...අපේ අපාර්ට්මන්ට් එකේ දොර කඩල හොරෙක් හෝ හොරු ඇතුල්වෙලා තිබ්බ. මගෙ සල්ලි සෑහෙන මුදලක් අරගෙන ගිහිල්ල.ඊට කලින් දවසෙ අපිට වැටුප් අත්තිකාරම් දුන්නෙ. අත්තිකාරම් නෙවෙයි හරියටම කිව්වොත් නොවැම්බර් පඩිය ටිකක් පරක්කු වෙයි කියල එතකල් දුන්න කොටස් ගෙවීමක්.හැම දේම වෙන්නෙ හොඳටයි කියනවනෙ. සම්පූර්ණ පඩිය නොදුන්නට අපෙ ලොක්කගෙ මෑණියන්ට පිං අනුමෝදන් කරමින් අපි හැමෝම උන්නෙ.ඒත් මුලු පඩියම දුන්න නම් හෝල් සේල් එකේ පඩියම ඉවරයි.

මම මේ කතාව ලොක්කට කිව්වම මොකක්ද දන්නවද මිනිහ ගත් කටටම 
කිව්වෙ? හෙහ්, හෙහ්.." Aaah..Ravi ..Do you understand now? …that’s why I am not paying you the whole salary at once , its actually for your own benefit " මම ඉතිං මොනවයි කියල කියන්ටද? " Yes sir, of course, of course " කියල හිනහවෙලා නිකං හිටිය. 

හොරකමක් ගැන ඔය මගේ දෙවෙනි අත්දැකීම, අපෙ බිරින්දෑගෙ ඉස්කෝලෙ නිල නිවාසයෙ ඉන්දැද්දි ඒත් ඉස්සරහ දොරේ අගුල පන්නල ගේ ඇතුලට ඇවිල්ල එයයිගෙ මොබයිල් ෆෝන් එක අරං ගිහිල්ල තිබ්බ. මෙතන සීන් එක ඊට වෙනස්. මගෙ කාමරේ පොත් ඔක්කොම ඇදල එහෙ මෙහෙ වීසිකරල දාල. මගෙ ඇඳුනුත් එහෙමයි. එහෙ මෙහෙ ඇදල දාල සීසීකඩ. එහෙම සීන් එකක් දකිද්දි හිතට ඇතිවෙන්නෙ මහ පුදුම අසරණ හැඟීමක්.

අපි හැමෝටම තියනව ආත්ම ගෞරවයක්.අපි නොදනුවත්ව කවුරුහරි අපෙ කාමරේට ඇතුල් වෙලා යකා නටනව කියන්නෙ ඒ ආත්ම ගෞරවය, ඒ අභිමානය දරුණු පසුබෑමකට ලක්වෙනවයි කියන එක. ආයම ඒ ආත්ම ගෞරවය නැවත ලබාගන්නවයි කියන්නෙ ඒ තරම් පහසු කාර්යයක් නම් නෙවෙයි.

ඉතිං මාගේ හිතවතුනි / හිතවතියනි….. විස්සයි දහතුන ගෙවිල ගියෙ ඔන්න ඔහොමයි. 

විස්සයි දහහතර ඔබ සැමට සුබ නව වසරක් වේවා!!!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...