Friday, May 15, 2015

319. ගුරුවරියක සමඟ මගේ ජීවිතය 21 - විසිවසරක ශේෂ පත්‍රය. - The Balance Sheet After Twenty Years

මේ ලෝකෙ ගනිච්චියක් නැතුව සුළඟේ ලෙලෙනා මල් සේ දඟ පා හිතුමතේ ජීවිතේ ගත කරපු යුගය නිමාවී තිත් ඉර උඩ අත්සන් කරන්ට මටත් සිද්ද වුනාය කියමුකො.Signed On The Dotted Line. 

එයාලගෙ ගෙදර මැද සාලෙ තියනව අප්පච්චිගෙ ලියන මේසෙ. සියඹලා ලීයෙන් හදල ඔප දාල දෙපැත්තෙ ලාච්චු එහෙම තියන බොහොම කලාත්මක සහ ඒ වගේම කෞතුක භාණ්ඩයක් ඒක.මට ඔය මේසෙ දෑවැද්දට දෙන්ට පොරොන්දු වෙලයි හිටියෙ එයාලගෙ අප්පච්චි. ඒ මේසෙ වෙනද බිත්තිය අයිනට වෙන්ට තියෙන්නෙ. අද ඔන්න ඒක සාලෙ මැදටම ඇදල. මේසෙ උඩ වෙනදට තියන රේඩියෝ සෙට් එක, අප්පච්චිගෙ ෆයිල් බයිල් දිනපොත් එහෙමත් අයින් කරල සුදු පාට/ කහ පාට වගෙ අර මල් කැටයම් තියෙන මේස රෙද්දක් එළල.මේසෙ පිටිපස්සෙ අප්පච්චි වෙනද ඉඳගන්න කුෂන් පුටුවෙ බොහොම ගාම්භීර විදිහට ඉඳගෙන ඉන්නව විවාහ ලේකම් නෝනා මහත්මිය. ඒ ඉස්සරහ පුටු දෙකක අපි දෙන්න.සාක්කිකාරයො දෙන්න දෙපැත්තෙ හිටගෙන ඉන්නව. මගෙ පැත්තෙන් මගෙ හොඳම යාලුව සුමනෙ. එතුමීගෙ පැත්තෙං එයාලගෙ අක්ක බැඳපු ඒ අයිය. අනික් අය ඔක්කොම එකත්පස්ව පිටිපස්සෙ හිටගෙන ඉන්නව. 

" දැන් මොන නීතිය යටතේද මේ විවාහය ලියාපදිංචි කරන්නෙ? " විවාහ ලේකම් නෝන මහත්තය අපි හැමෝගෙම මූණු බලල ඇහුව. එහෙම එකක් ගැන දිගදුරට හිතල තිබ්බෙ නැති හින්ද මම එයාගෙ මූණ බැලුව.එයා මගෙ මූණ බැලුව. 

ජන වර්ගය සිංහල නම් උඩරට විවාහය සහ සාමාන්‍ය විවාහය කියල විවාහය ලියාපදිංචි කල හැකි ක්‍රම දෙකක් තියනව. අපේ විවාහය ඔය ක්‍රම දෙකෙන් කැමති ක්‍රමයක් යටතෙ ලියාපදිංචි කරන්ට පුලුවනි. මොකද අපි දෙන්නම උඩරැටියො හින්ද එක්කො උඩරට නීතිය යටතෙ පුලුවනි. උඩරැටියො කියල නිර්වචනය කෙරෙන්නෙ 1815 අවුරුද්දෙ උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවෙ උඩරට රාජධානිය කියල සැලකුනු ප්‍රදේශයක ඉපදුනු පුද්ගලයින්.ඒ වගේම ශ්‍රී ලාංකිකයො හින්ද සාමාන්‍ය විවාහ නීතිය යටතෙත් පුලුවන්. පාතරට නීතිය කියන්නෙත් ඒකටමයි. ඔය විස්තරෙත් මම දැනගත්තෙ පස්සෙන් පහු. එදා ඔය මොකවත්ම මම දැනගෙන හිටියෙ නෑ.

" මොකක්ද දැන් ඔය දෙකේ ප්‍රධාන වෙනස්කම්? " මම ඇහුව. 

" ප්‍රධාන වෙනස්කම් මෙහෙම කිව්වැකි. පාතරට නීතිය යටතේ විවාහය ලියාපදිංචි කලාම ඒක උඩරට නීතිය යටතෙ ලියාපදිංචිකල විවාහයකට වඩා ස්ථිරයි.අවලංගු කරන්ට එහෙම ටිකක් අමාරුයි. " විවාහ ලේකම් නෝන මහත්තය කිව්ව.

" අප්පටසිරි එහෙමද? එහෙනං උඩරට විදිහට බඳින එක තමයි කෝකටත් හොඳ…." මා ගාව හිටගෙන හිටපු සුමනෙට විතරක් ඇහෙන්ට කට කොණකින් මම කිව්ව. 

" මට ඇහුන කිව්ව එක…." ඈ ඇස් කොණකින් මා දිහා බලල තොල මැතිරුවා. 

" නෑ මේ මම කිව්වෙ...." මම මේසෙ උඩ තිබ්බ පෑන අරගෙන ඒකෙ ක්ලිප් එක ගලවල ආයම හයිකලා.

" හ්ම්ම්ම්..මම කියන්ටද? කෝකටත් අපි පහතරට ක්‍රමේට මේ විවාහය ලියාපදිංචි කරමු. "

විවාහ ලේකම්තුමිය පිටිපස්සෙ හිටපු එයාලගෙ අප්පච්චිගෙ මූණ බලල කිව්ව. ඔය ලේකම් නෝනා එයාලගෙ අප්පච්චිගෙ ලඟම ඥාතී. මම හිතන්නෙ මගෙ මූණ දැක්කම ඒ ඇත්තිට හිතෙන්ට ඇති කෝකටත් තෛලය කියල පාතරට ක්‍රමේට මේ වැඩේ කරල දාන එක කාගෙ කාගෙත් ඇඟට ගුණයි කියල. කොහොම හරි අන්තිමට එහෙමතමයි වැඩේ සිද්ද වුනේ..පාතරට ක්‍රමේට අපි බැන්දෙ.

බැඳල ඇවිල්ල අපි නිලනිවාසෙක පදිංචි වුනානෙ. බකමූණ බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල පොඩි කන්දක් නඟින්ට ඕන අපි හිටපු ක්වාටර්ස් එකට. අපේ ගේත් එක්කම උඩහින් තිබ්බ ක්වාටර්ස් එකේ හිටියෙ අපේ ඔෆිස් එකේ එකවුන්ට්ස් ක්ලාක් කෙනෙක්, ඇගේ සැමියා සහ දරුවන් දෙන්න එක්ක. ඇගේ නම ජයන්ති. ජයන්ති එච්චර උස මහත නෑ. වැඩි කතාබහක් එහෙමත් නෑ. ඒත් ගතිගුණ අතිනුත් අවුලක් කියන්ට තරම් නෑ. කා එක්කත් සුහදව තමන්ගෙ රාජකාරිය කරගෙන හිටිය. ජයන්තිගෙ මහත්තය බණ්ඩාර සමුපකාර පරීක්ෂක කෙනෙක්. ටිකක් දුරක මම හිතන්නෙ ගිරිතලේද කොහෙද වැඩ කලේ. මොන හේතුවක්ද මන්ද අපෙ ප්‍රියම්බිකා තොමෝට ඔය ජයන්තිව එච්චර ඇල්ලුවෙ නෑ මුල ඉඳලම. 

" මට ඒ මනුස්සය එච්චර දිරවන්නෙ නෑ ඒයි…." ඔන්න ඔහොමයි මම ඒ ගැන ඇහුවම කිව්වෙ. 

" ඇයි ඔයාට මොකවත් කිව්වද? "

" මට මොනව කියන්ටද? කිව්වනං දනී මම...එහෙම මොකවත් කිව්ව එකකට එහෙම නෙවෙයි."

" එහෙනං? "

" ඒක මට කියන්ට තේරෙන්නෙ නෑ. ඒත් මට එයාව අල්ලන්නෙ නෑ. "

" හ්ම්ම්ම්..ඒකත් එහෙමද? ..." 

එහෙම කියල මම සද්ද නැතුව නිකා හිටිය. හේතුවක් කියන්ටත් බැරිනං ඉතිං ආය දිගින් දිගටම කතාකරල වැඩක් නෑනෙ. අනික ඔය කාන්තා තර්කන විධික්‍රම එයාලටම විතරයි තේරෙන්නෙ. මෙලොව විචාර ක්‍රමයකට අහුවෙන එව්ව නෙවෙයිනෙ. අනික් අතට මම ජයන්තිගෙ ගුණ වර්ණනා කරන්ට ගිහිල්ල ආය මෙතන නැති ලෙඩ දාගන්නෙ මොකටද? එහෙම හිතල හා එහෙනං ඒකත් හොඳයි කියල මම ආය මොකවත් කියන්ට ගියේ නෑ.

ඔහොම මයෙ හිතේ මාස දෙකක් විතර ගියයි කියමුකො. එක සෙනසුරාදාවක අපි දෙන්න රෑට කාල එහෙම පිටිපස්සෙ මිදුල් කෑල්ලෙ හාන්සි පුටු දෙකකුත් තියාගෙන ඔය අනම්මනම් වල් පල් කතා කරමින් උන්න.

" හෙට උදේට මුංඇට තම්බල කමු පොලුත් එක්ක. " ඔන්න එතුමී හිටපු ගමං කියාපි. 

" මොකෝ මේ හිටපු ගමං? විශේෂයෙන් කන්ට මොකවත් ආසාවක් වගෙ එහෙම….." මම එතනිං කතාව නවත්තල අහක බලා ගත්ත. උන්දැගෙ මූන කටත් එක්ක රතුවෙනව මම හොරැහින් බලාගෙන.. 

" ආය බූතයක් කතා කරනව. එහෙම මොකවත් නෙවෙයි හලෝ......"

" ආ..එහෙමද?..... එහෙනං? "

" මට නිකමට හිතුන ..එච්චරයි...ඇයි එහෙම නිකමට හිතෙන්ට බැරිද? " ඈ මා දිහාම බලාගෙන කියාගෙන ගියා.. 

" නෑ මම මේ කිව්වෙ මුංඇට සීතලයි එහෙම කියල ඔයාමනෙ……"

" හරි , හරි..සීතලයි තමයි..ඒත් ඔය සුමානෙකට දෙහෙකට වගෙ දවසක් කෑවට අවුලක් වෙන්නෙ නෑ,මොකෝ හැමදාම කනවය? "

" හ්ම්ම්ම්. ඕන එකක්. සෞඛ්‍යය සහ ශාරීරික අධ්‍යාපනේ කරන්නෙ මමයැ? ඔයානෙ? ඔයා දන්නව ඇතිනෙ එව්වයෙ ගුණාගුණ….."

" ආය මොකවත් වෙන්නෙ නෑ..ඉඳහිටල මුංඇට ටිකක් කෑවට..ඉන්ට මම බලල එන්නං මුංඇට ඇතිවෙන්ට තියනවද කියල…" ඈ නැඟිටල අපෙ ගබඩා කාමරේ දොර ඇරල ඇතුලට ගියා.

" හොඳ වෙලාවට බැලුවෙ ඒයි..තියෙන ටික මදි..ඔයා ටවුමට ගිහිල්ල අරං එනට එහෙනං කිලෝ එකක් විතර…"

පහුවදා ඉරිදනෙ. කොහොමත් අපි දෙන්න ඉරිදට ක්වාටර්ස් එකේ ඉන්නවනං අට වගෙ වෙනකල් නිදාගන්නව.මම නැඟිටල මූණ කට හෝදල තේ හැදුව. තේ එක බොන ගමං ඈ කලින් දවසෙ පෙඟෙන්ට දාල තිබ්බ මුං ඇට ඇලුමිනියම් සාස්පානක දාල ලිපේ තිබ්බ. ඒ වෙනකොට අපි ඉව්වෙ අර ඉලෙක්ට්‍රික් කොයිල් එක තියන ලිපකිං. ගෑස් කුකර් එකක් ගත්තෙ තව මාස දෙක තුනක් අනාගතයෙදි.

රූපවාහිනියෙ ඉරිද උදේ ඒ දවස්වල විකාශය කලා ආයුබෝවන් කියල වැඩසටහනක්. පාලිත පෙරේරා, චන්දන තිලකරත්න වගෙ දක්ෂ මාධ්‍යවේදීන් මෙහෙයවපු ආයුබෝවන් වැඩසටහනට මොහාන් සමරනායකගෙ විදේශ ප්‍රවෘත්ති විචාරයක් සහ ආචාර්ය රොහාන් සමරජීවගෙ තොරතුරු තාක්ෂණය සහ සන්නිවේදනය පිළිබඳව වැඩසටහනක් ඇතුලත් වුනා. මම ඔය ආයුබෝවන් ප්‍රෝග්‍රම් එක අනිවාර්යයෙන් බලනව.

ටික වෙලාවකින් එතුමියත් ඇවිල්ල මා ගාවින් ඉඳගත්ත. " මොකද අද මුවං මාම කියන්නෙ? "

එයාලගෙ අක්කගෙ දුවට එතකොට වයස අවුරුදු තුනක් වගෙ ඇති. බහ තෝරන වයසනෙ. වීක් එන්ඩ් එකට එතුමීගෙ ගෙදර ගියාම උදේ මම ඔය ආයුබෝවන් බලනකොට ඔය කෙල්ලත් ඇවිල්ල මා එක්ක එක සැටියෙ ඉඳගෙන ටී.වී.එක දිහා බලා ඉන්නව. ඒකි මොහාන් සමරනායකට කියන්නෙ මුවං මාම කියල.

" දන්නෙනැද්ද ඉතිං...හැමදාම කියන එක තමයි...වියට්නාම් යුද්දෙ ගැනයි, ප්‍රංශ විප්ලවය ගැනයි අමරිකන් නිදහස් අරගලය ගැනයි බලාහිටිය වගෙ ඔය කියන්නෙ...හෙහ්,හෙහ්, "

මොහාන් සමරනායක ඒ කාලෙ චන්ද්‍රිකා ගාව වැඩකලේ ජනාධිපති ලේකම් කාර්යාලයෙ. ඒ කාලෙත් කඩේ ගියානම් තමයි ඒත් මේ පහුගිය දවස්වල මහින්දට කඩේ ගියා වගෙ විලිලැජ්ජ නැති විදිහට නිහීන ආකාරයට කඩේ ගියේ නෑ. කඩේ යෑම වුනත් පිළිවෙලක් ඇතුව කලා. මහින්ද එක්ක ඒ සෙල්ලං කරන්ට බැරිවුනානෙ කාටවත්ම.හෙහ්,හෙහ්.චන්ද්‍රිකා එක්ක මිනිස්සු දෙපැත්තම ෂේප් කරගෙන වැඩ කලාට මහින්ද එක්ක එහෙම බැරිවුනා. මහින්දට මස් රාත්තලම ඕන වුනා. ආත්මයම පාවල දෙන්ට උනා මහින්දට සට්ටඹිකම් කරන වුන්ට.

" හැබැයි මොහාන් ගොයිය මොනව වුනත් අපූරුවට පදනමක් ඇතුව විස්තර කරනව නේද? " එතුමී එහෙම කියල පුටුවෙ හරි බරි ගැහිල ඉඳගත්ත. 

" මොකද මුංඇට ආතල් එකේ තත්වය? …" මම ඇහුව ටී.වී. එක දිහාවෙ බලාගෙනම

චන්දන, ආසියාවෙ රටවල විශේෂයෙන්ම මේ දකුණු ආසියාවෙ රටවල දේශපාලනයෙ එක පොදු ලක්ෂණයක් තමයි......මොහාන් දෙනව ඇට්ටි හැලෙන්ට. 

" මුංඇට එක තැම්බිල ඉවරයි මම වතුර පෙරල පියන ඇරල ආව ටිකක් නිවෙන්ට කියල. තව විනාඩි විස්සකින් වගෙ නිවෙයි. එතකොට කමු. "

" ඕ.කේ..මැඩම්...හරි…"

චන්දන..ප්‍රජාතන්තවාදය ලෝකයට දායාද කලාය කියල සැලකෙන්නෙ ආදී ග්‍රීක්........ මොහාන්ගෙ විදේශ විත්ති විචාරය අහගෙන තව විනාඩි හත අටක් ගත වෙන්ට ඇති.

" ම්ම්ම්ම්..මේ.. මොනවහරි පිච්චෙන ගඳක් වගෙ එනව නේද? " නහය පුම්බල හතර අත ඉව කරල මම ඇහුව. මගෙ නහය සාමාන්‍යයෙන් බොහොම සංවේදී අවයවයක්.අනික අයට යම් ගඳ සුවඳක් දැනෙන්ට කලින් ඒක මට දැනෙනව. 

" ම්ම්ම්..නෑනෙ මට එහෙම එකක් එන්නෙ නෑනෙ.ආ..ඉන්ට පොඩ්ඩක්..ඔව්..ඔව්..මටත් දැනෙනව වගෙ දැන්නං...."

දෙවන ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍යය හිට්ලර් පරදවා ජයග්‍රහණය කරා මෙහෙයවපු වින්ස්ටන් චර්චිල් යුද ජයග්‍රහණයත් එක්කම පවත්වපු මහ මැතිවරණයෙන් පරාජයට.....

" එන්න එන්නම අර මොනවද පිච්චෙන ගඳ වැඩියිනේ ඒයි…" මම නැඟිටල නළලත් රැලි කරගෙන වටපිට බැලුව..

" හිහ්...හිහ්..හිහ්…." මෙන්න එතුමී කොක් හඬලා හිනාවෙනව. 

" මොකද අනේ මේ නිකම්ම හිනාවෙන්නෙ? ඔයාට පිස්සුද? "

" අද හම්බවෙයි ජයන්තිට බණ්ඩාරගෙන්..හිහ්...හිහ්...එහෙ බතද කොහෙද පිච්චෙන්නෙ.. "

" හෙහ්..එහෙමද? " 

" ඔව්,ඔව්,එහෙ වෙන්න ඕන. නැත්තං මෙච්චර තදින් පිච්චෙන ගඳ එන්ට විදිහක් නෑනෙ..අනේ මන්ද මේ මිනිස්සුන්ට නහය නැද්ද කියල…" එතුමී තව දුරටත් කියෙව්වා.

මැතිවරණ පරාජයෙන් පස්සෙ අගමැති කමින් ඉවත් වෙද්දි චර්චිල් කිව්ව "Democracy is the worst form of government, except for all those other forms…………….

" මේ.... මේක හරියන්නෙ නෑ..ඔයාට ෂුවර්ද කුස්සියෙ මුං ඇට එක…"

මම එහෙම කියනවත් එක්කම එතුමී නැඟිටල අඩියට දෙකට සාලෙන් පිටිපස්සෙ කුස්සියට යන දොර ඇරිය. සාලෙන් එලියට ගිහාම පොඩි ලොබි එකක් වගෙ කෑල්ලක් තියනව. එතනම එහා පැත්තෙ තියනව කුස්සියෙ දොර.එතුමී පැනපු ගමං කුස්සියෙ දොරත් ඇරිය. ඒ එක්කම එතනම ගල් ගැහුන. කුස්සියෙං එකයි දුම. මම එතුමීව පැත්තකට තල්ලු කරල කුස්සියට එබිල බැලුව. කොයිල් ඉලෙක්ට්‍රික් ලිප උඩ තියෙන සාස්පාන රතු පාටින් දිලිසෙනව. ඒක ඇතුලෙ තිබ්බ මුංඇට නම් මේ වෙනකොට දැලි අඟුරුවගෙ වෙලා.දුම දානව හෝ ගාල. මට එක පාරටම හිතුනෙ කොයිල් එකත් ගිණි අරගෙන වයර් එකත් පිච්චිල ගේම ගිණිගනියි කියල. මම නමෝ විත්තියෙන්ම කලේ අඩියට දෙකට ආපහු සාලෙට දුවල මේන් ස්විච් එක ඕෆ් කරල දාපු එක.

ලිප උඩ තියන සාස්පානෙ අඬු දෙකට පොල්කටු හැන්දක් රිංගවල උස්සල අරගෙන මම කුස්සියෙ ජනේලෙ ගාව තිබ්බ සින්ක් එකට දාල කරාමෙ ඇරිය. චෝස් ගාල ආයම දුම් කඳක් ඉහළ නැග්ග. කුස්සියෙ ජනේලෙයි, දොරයි දෙකම ෆුල් ඇරල දාල මම ආපහු හැරුන. එතුමී සාලෙ දොර ගාව ඉන්නව බිරාන්ත වෙලා වගෙ ඇස් දෙකත් ලොකු කරගෙන. 

" ලිප ඕෆ් කලා කියලයි මම හිතාගෙන හිටියෙ. " ඈ ඇහෙන නෑහෙන අඬින් කිව්ව. 

මොකද අනේ... ඔච්චරටම සිහියක් නැද්ද? නරක නෑ වැඩේ..තව පොඩ්ඩෙන් ගේත් එක්ක ගිණි ගන්ට තීබ්බ. මදැය ඔයාත් කරන වැඩ..මොන ලෝකෙද ඉන්නෙ හැබෑට? ඔයිං එකක් , දෙකක් නැත්තං ඔය ඔක්කොම කියන්ට හිතාගෙනයි මම ඈ දිහාට හැරුනෙ. ඒත් ඇගේ දෑස්වල බියපත් බැල්ම දැක්කම කියන්ට හිතාගෙන උන්නු දේවල් මම එහෙම්මම ආපහු ගිල ගත්ත.

මම ඈ ලඟට ගිහිල්ල ඇගෙ අතක් අල්ල ගත්ත " හරි හරි ඒකෙ ප්‍රශ්ණයක් නෑ,...ඔයා හිතල කරපු දෙයක්ය..වැරදීමක්නෙ...." එහෙම කියල ඇගේ දෑස් දිහාවෙ බලල හිනාවුනා.පපුව හිස් වෙලාමයන්ට දිග සුසුමක් හෙලල ඈ මගේ පපුවට තුරුලු වෙලා ඉකි බිඳින්න ගත්ත.

" හරි හරි... දැන් ඔය මොකටද අඬන්නෙ? " මම ඇගෙ හිස පිරිමදින අතරෙ ඇහුව. 

" මට බය හිතුන ඔයා මට හොඳටම බණියි කියල. "

" හෙහ්, බණින්ට තමයි හිටියෙ..හරි හරි එව්ව දැං අල්ලල දාමු. " තවමත් වතුර ගලන කුස්සියෙ කරාමෙ වහල දාල මම ඈ එක්කම ගිහිල්ල ටී.වී. එක ඉස්සරහ වාඩිවුනා.

චන්දන මේ වගෙ අවස්ථාවක අපි හුදු හැඟීම් වලට වහල් නොවී බුද්ධියට ඉඩ දෙන්ට ඕන.විශේෂයෙන්ම පූරවාදර්ශ නැති ගැටලු මතු වුනහම තමන්ගෙ ඉන්ස්ටින්ක්ට් එක ඒ කියන්නෙ සහජ බුද්ධියෙන් තීරණයක් ගන්ට ඕන. මොහාන් සමරනායක තවම කතා කරනව.

" හරි දැං ඔය මුංඇට කේස් එක අල්ලල දාන්ට…. කීයද වෙලාව? " සාලෙ බිත්තියෙ එල්ලල තිබ්බ බිත්ති ඔරලෝසුවෙ වෙලාව නමයයි විස්සයි. 

" තවම නවයහමාරටවත් නෑනෙ. ටවුමෙ මධුර හෝටලේ තාම තියනව ෂුවර් එකටම ඉඳිආප්ප. ඉන්ට මම කලිසමක් දාගෙන ගිහිල්ල ඉඳිආප්ප සීයකුයි…"

" මොකක්? ඉඳිආප්ප සීයක්? කාට කන්ටද ඉඳිආප්ප සීයක්? පීස්සුද මන්දා....."

මම ඈ දිහාවෙ හිනාවෙවී බලාඉන්නව ඈ දැක්කෙ එතකොටයි. ඇගේ මූණ රතුවුනා. 

" යන්ට ඔයා හරි නරකයි දන්නවද? "

ඒ මීට විසිවසරකට පමණ පෙරය. ඊයේ රාත්‍රියෙහි මම ඇය හා සුපුරුදු පරිදි කථා කලෙමි. 

" හෙට දවස මතකයි නේද? "

" හිහ්..මොකෝ අමතක? "

" ඔයාට මතකද අර දවසක් උදේට මුං ඇට තම්බන්ට ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව? "

"හිහ්, හිහ්.. මොකෝ අමතක?..ඒකත් මතකයි...හොඳට මතකයි…"

විසිවසරක ශේෂපත්‍රය.....ඒ මොනිකා රුවන්පතිරණ නම් අකල්හි අප අතරින් වියෝවූ ප්‍රතිභාපූර්ණ කිවිඳියගේ කවිපොතක නම. මගේ විවාහ දිවියට විසිවසක් ගත්වූ ඉක්බිති ලියැවෙන මේ හෘදයාංගම සටහනට මවිසින් ඒ මැය යෙදූයේ ඊට වඩා උචිත වූවක් මසිතට නොනැඟි බැවිනි. ශේෂපත්‍රය යනු ගණකාධිකරණයෙහි යෙදෙන පාරිභාෂික වදනකි. සමාගමක හෝ ව්‍යාපාරයක ලාභය හෝ පාඩුව අවසාන වශයෙන් සාරාංශ ගතකොට දක්වාලන සටහන ශේෂපත්‍රයයි. එසේ හෙයින් මගේ දිවියේ විසිවසරක ශේෂ පත්‍රය යනු විසිවසරක් අවසානයේ මට සහ ඇයට ඉතිරිව ඇති යමක්වේද හුදෙක් එපමණකි. එනම් ඇගේ සහ මාගේ නොමියෙන සදාතනික සෙනෙහස මිස අනෙකක් නොවේ.

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ, 
සැතැපුනු දා දුටු කින්නර පෙම් සිහිනේ, 
මහලු වෙලා අද සඳ වාගේ,
යෞවන රෑ සඳු,
බලාන උන්නාවේ, 

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා, 
අපි යමු මේ රෑ අනාගතය සොයලා, 
නලමුදු සුවඳේ නිදන මලේ,
මට මල් රොනවුලු,
සුවඳ දැනේ ළඳුනේ,

මා ළඟටම තව ලංවෙලා, 
හිඳින්න නිහඬ නුවන් පියා,
මා සීතාවෝ සැතැපෙන නින්දේ,
නූපුර හෝ ප්‍රියේ,
පාසුළැඟිල්ලේ අදනම් අවදිනොවේ,
කුසුම් කැකුළ නිදනා තුරා,


95 comments:

  1. සුබම සුබ ඇනිවසරියක් වේවා.....හරිම ලස්සන සටහනක්. සුන්දර අත්දැකීමක්. හදවතින්ම කොටපු එකක්. අපිටත් වෙච්ච ඔය වගේ අලකලංචි විදුලි කොටන්නාසේ හිතේ ඇඳී ගියා. මේක කියෝන කාටත් එහෙම වෙයි.
    හරිම අපුරුයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම වටිනවා

      Delete
    2. අනෙක් අයගේ වාගෙම මගේත් සුබපැතුම් පිළිගන්න

      Delete
    3. බින්දි,

      ස්තූතියි බින්දි.....:)

      Delete
    4. ගුණසිංහ මහත්මා,

      ඔබටත් ස්තූතියි...:)

      Delete
    5. Bindi,

      / අපිටත් වෙච්ච ඔය වගේ අලකලංචි විදුලි කොටන්නාසේ හිතේ ඇඳී ගියා /

      හපොයි එහෙම වෙච්චි එව්ව තියනව හැටහුටහමාරක්..වැඩිපුරම මට වෙච්චි එව්ව තමයි..අර චර්චිල් කිව්වනෙ " ඉතිහාසය ලියනුයේ ජයග්‍රාහකයින් විසිනි. " කියල. ඒ වගෙ මම බ්ලොග් එක ලියන හින්ද මට වෙච්චි එව්ව ලියවෙන්නෙ නෑ. එතුමී ලියන්ට ගත්තු දවසට මට දුවන්ට පාරවල් මදිවෙනව පැණිදෙණියෙ...හෙහ්, හෙහ්, ඇත්තටම එහෙම එකක් නෑ. අපි දෙන්නම අපිටම හිනාවෙන්ට බොහොම කැමතියි. අපෙ ඔය යාලුවො සෙට් උනහම එයාම තමයි ඔය මුංඇට මෙහෙයුම ( Opearation Greengram ) ඇදල ගන්නෙ. ඒ කරල මට බාර දෙනව බැට්න් එක.. " මෙයා තමයි ඕක පලිප්පු දාල කියන්ට දන්නෙ " අන්න එහෙම කියල

      Mix a little foolishness with your serious plans. It is lovely to be silly at the right moment. - Horace

      If you can't laugh at yourself, then how can you laugh at anybody else? I think people see the human side of you when you do that. - Payne Stewart

      Delete
  2. Happy anniversary! twenty years... such a long time... such a short time! :)

    ReplyDelete
    Replies
    1. Malithi,

      Yes Malithi...of course. Those twenty years went by in a flash, in a blink of an eye, in the time it takes to exhale a breath and those twenty years when you think of it may have taken an eon, an eternity and more, forever and beyond. May be it would sound like a paradox but it was the truth.....:)

      Delete
  3. මේක විවාහ සංවත්සරයට ඇයට දුන් අපූරු තෑග්ගක් වගේ.
    ඔබ දෙපලටම සතුට සැනසුම සෙනෙහස සපිරි සුබ විවාහ සංවත්සරයක් පතමි!.

    ReplyDelete
    Replies
    1. සඳවියමන්,

      බොහොම ස්තූතියි....:)

      Delete
  4. ඔබ දෙපළට වාසනාවන්ත විවාහ සංවත්සරයකට ආසිරි.
    කතාවනං අපූරුයි. අර හොට් ප්ලේට් එක තිබ්බ හැටි මැවිල පේනව වගේ.
    ඔය කේස් එකට සම්පූර්ණෙං වග කියන්න ඕන අර මුවං මාම තමයි ඉඳගෙන.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      / ඔය කේස් එකට සම්පූර්ණෙං වග කියන්න ඕන අර මුවං මාම තමයි ඉඳගෙන. /

      යස් මල්ලි...ඒ කතාවත් ඇත්ත බලාගෙන යනකොට ..ඔය ප්‍රෝග්‍රම් එක තිබ්බෙ නැත්තං මමත් කුස්සියෙනෙ. එහෙනං ඔය ලිපේ ස්විච් එක කොහොමහරි ඕෆ් වෙනව.

      ඔය ක්වාටර්ස්වල කුස්සිය හුන්ඩුවක් වගෙ. අන්න හෙන්රිය දන්නව. ඕකා ඉස්සෙල්ලම කුල්ල ගැන උගන්නන්ට බතලයායෙද කොහෙද ගිහිල්ල ඔය ජාතියෙ ක්වාටර්ස් එකක් තමයි ඉඳල තියෙන්නෙ. ඉතිං දෙන්නෙක් ඔය කුස්සිය ඇතුලෙ ඉන්නකොට ලබ්බෙ තොයිලෙ වගෙ තමයි. එහෙං මෙහෙං වදින්ට ගත්තම අන්තිමට උයන එක අතැරල දාල වෙන එව්වට සැට් වෙන්නෙ...හෙහ්,හෙහ්,

      Thank You Prasanna...:)

      Delete
  5. දෙන්නටම හැපී ඇනිවසරියක් වේවා!
    ජයන්ති එක්ක තිබුන කේස් එක මොකද්ද බං?
    මම හැමදාමත් ඉල්ලපු උඹේ 'ගුරුවරියක් සමග මෙව්ව එක' තව කොටස් කීපයක්වත් දාපංකො!

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / දෙන්නටම හැපී ඇනිවසරියක් වේවා! /

      බොහොම ස්තූතියි මල්ලි...:)

      / ජයන්ති එක්ක තිබුන කේස් එක මොකද්ද බං? /

      අනේ මන්ද බං...මම ඊට පස්සෙ ඔය ගැන ඇහුවෙත් නෑ. අපෙ උන්දැට තියනව ඔය ගතිය...දුටු මනතින් සමහර අය බඩ බැඳගන්නව, ඒ වගේම තව සමහරු පේන්ට බෑ...

      / මම හැමදාමත් ඉල්ලපු උඹේ 'ගුරුවරියක් සමග මෙව්ව එක' තව කොටස් කීපයක්වත් දාපංකො! /

      හරි මල්ලි උඹ කියනව තමයි නිතරම..මට මතකයි..ඉඳහං ඒ ඔක්කොම ලියන්නං...ලියන්නං...හෙහ්,හෙහ්,

      Delete
    2. රවී අයියේ ලබන චන්දෙට ඉල්ලුවොත් නරකද ? දෙන පොරොන්දු වල හැටියට ඇතුලට පැන ගන්න තරම් මනාප ටිකක් ගන්න බැරි වෙන එකක් නෑ.. හෙහ් හෙහ් හෙහ්

      Delete
  6. හැප්පි ඇනිවසරියක් වේවා....

    මේක දැක්ක ගමන් මාත් අපෙ මහත්තය‌ෙගන් ඇහුවෙ ... මේ .. අපි බැඳලත් අවුරදු පහක් වෙනව නේද... කියල... මෙයා ඔලුවෙ අත ගහගෙන කියනව... හම්මෝ... මේ ගෑණිව බැඳල අවුරුදු පහට මගේ ඉල ඇට ටික විතරක් කැඩිල බේරුනා මදැයි... කියල.... හි හි... බයික් ඇක්සිඩන්ට් එකක් වෙලා මාසයක් ගෙදර උන්දැ....

    ( හි හි..... මේව තමා තෑගි කියන්නෙ... නැද්ද මං අහන්නෙ.... කාඩ් එක කුඩු වෙන කතාවකුත් එක්ක පැණි බේරෙන ආදරේ.... )

    ReplyDelete
    Replies
    1. හිරු,

      / හැප්පි ඇනිවසරියක් වේවා.... /

      තැන්ක්යූ..තැන්ක්යූ...තැන්ක්යූ… :)

      / මේක දැක්ක ගමන් මාත් අපෙ මහත්තය‌ෙගන් ඇහුවෙ ... මේ .. අපි බැඳලත් අවුරදු පහක් වෙනව නේද... කියල... /

      ඇති අර කිව්වත් වගෙ ඒ අහිංසකය ඉතුරු වෙලා ඉන්නව.....

      / හි හි..... මේව තමා තෑගි කියන්නෙ... නැද්ද මං අහන්නෙ.... කාඩ් එක කුඩු වෙන කතාවකුත් එක්ක පැණි බේරෙන ආදරේ.... /

      ආය අහවල් කාඩ්...මට වෙලා තියන දේවල් එක්ක බැලුවම ඔය මුං කේස් එක වෙරි සිම්පල්..;)

      Delete
  7. දෙන්නාටම සුබම සුබ ඇනිවසරියක් වේවා.. ශේෂ පත්‍රයේ හර බැර තවත් ලියන්න කාලය ලැබේවා යැයි පතමි....

    ReplyDelete
  8. සුභ ඇනිවසරියක් වේවා !!!!! දෙපලටම. ජයන්තිට බණ්ඩාරගෙන් ගුටිකන්ඩ හීන මවපු එකනම් නියම සීන් එක,
    කසාද බැන්ද අලුත අපි පොතේ හැටියට කෑම කාපු කශ්ටිය. පොත කිවුවෙ සූප ශාත්‍ර පොත. රොටියක් පිච්චුවත් රවුම එක ගානට.

    ReplyDelete
    Replies
    1. කම්මල,

      / කසාද බැන්ද අලුත අපි පොතේ හැටියට කෑම කාපු කශ්ටිය. පොත කිවුවෙ සූප ශාත්‍ර පොත. රොටියක් පිච්චුවත් රවුම එක ගානට. /

      හෙහ් ආය මොනවද? එතුමියත් ඔය කේක් එහෙම හැදුව පොත බලාගෙන..මම තමයි පොත බලාගෙන විස්තරේ කියන්ට ඕන…

      " ආ ඉන්ට බලන්ට ගම්මිරිස්, සුදුලූණු, කොත්තමල්ලි යනාදිය ග්‍රෑම් 50 ක් පමණ ගෙන……"

      " ඔය මොකක්ද ඔය කියවන්නෙ? ගම්මිරිස් දානවය කේක් වලට? "

      " ඔයා පෙරලල දුන්නු රෙසිපි එක තමයි මම මේ කියන්නෙ…"

      " කෝ ඉන්ට බලන්ට ..හයියෝ…. ඔය කියවන්නෙ මොලගතන්නි සුප් එකේ රෙසිපි එකනෙ. ඊලඟ පිටුව බලන්ට. "



      " පිස්සුද හැබෑටම? මේ කේක් එකට ඕන අඩුවැඩිය ඔක්කොම ගෙනාවට පස්සෙ …"

      Thank you so much…Kammala,

      Delete
    2. බැන්ද ගමන් මටත් ගෙනත් දුන්නනේ ගුණසේන සුප සාත්තර පොතක්. එයාගේ තාත්ත අම්මට එයින් එකක් දුන්න කියලා.පවුලේ සම්ප්‍රදාය රකින්න. ඕක ඉඳල හිටලා පෙරළලා බැලුවේ පොත් කියවීමේ ආසාව නිසා. ඒ මිසක් ආයේ ඕකෙන් ඉගෙන ගත්තු දෙයක් නම් නැහැ. මොලගතන්නි වගේම පතහ මැඩියන් ඉවීම කියන දෙක තමා මම හරිම පුදුමෙන් කියෙව්වේ.

      Delete
    3. බින්දි,

      පතහ මැඩියන්? එහෙම එකකුත් ඒකෙ තිබ්බද?

      Delete
    4. පතාමැඩිය කියන්නෙ Halibut අර එක පැත්තෙ ඇස් දෙකම තියෙන්නෙ. හැලිබොරෙන්ජ් හදන්නෙ ඔවුන්ගෙ තෙල්වලින් තමා...
      හර්ෂ

      Delete
    5. හර්ෂ,

      බොහොමතම ස්තූතියි, අපි හැමදාම අලුතෙන් මොනවහරි ඉගෙන ගන්නව කියනෙන් ඕක තමයි. හැලිබට් මත්ස්‍යයගෙ ඇස් දෙකම එකම පැත්තෙ තියන ඒ මම දැනගෙන හිටියෙ නෑ. හර්ෂ හරි ඒත් හැලිබට් ඉපදෙනකොට ඇස් දෙක දෙපැත්තෙ තියෙන්නෙ.මාස හයකට පස්සෙ එක ඇහැක් යනව අනික් පැත්තට...හෙහ්,හෙහ්,

      Halibut are dark brown on the top side with an off-white underbelly and have very small scales invisible to the naked eye embedded in their skin. At birth, they have an eye on each side of the head, and swim like a salmon. After six months, one eye migrates to the other side, making them look more like flounder. At the same time, the stationary-eyed side darkens to match the top side, while the other side remains white. This color scheme disguises halibut from above (blending with the ocean floor) and from below (blending into the light from the sky) and is known as countershading.

      / හැලිබොරෙන්ජ් හදන්නෙ ඔවුන්ගෙ තෙල්වලින් තමා...  /

      හැලිබට්ගෙ අක්මාවෙන් ගන්න තෙල් සහ දොඩම් මිශ්‍ර පානයක් හැලිබොරේන්ජ් ( Halibet liver oil + Orange ). පොඩි අයට දෙනව විටමින් D බහුල නිසා.

      කොඩ් නම් මත්ස්‍යයගෙ තෙලුත් එහෙමයි. අසනීප බොහොමයකට ගුණදායක බව හිඔයාගෙන තියනව.හදවත් රෝගවලට හොඳයි කියල කියන ඔමේගා 3 තියෙන්නෙ බහුලව ඔය මත්ස්‍ය තෙල්වල.

      Cod liver oil is used for high cholesterol, high triglycerides, kidney disease in people with diabetes, high blood pressure, heart disease, osteoarthritis, depression, anautoimmune disease called systemic lupus erythematosus (SLE), glaucoma, and middle ear infections (otitis media).

      Delete
  9. ඉර මඩලටත් සඳ මඩලටත් විසි වන විවාහ සංවත්සරයට සුභ පැතුම් !

    ReplyDelete
    Replies
    1. රන්දිල්,

      My Dearest Landlady…Thank You..Thank You…Thank You So So So Much…:)

      Delete
  10. සුබ ඇනිවර්සරියක් වේවා....

    කතාවටත් වඩා සිත්ගත්තේ අරමුණයි, ඇත්තටම සතුටුයි

    ReplyDelete
    Replies
    1. උපේක්ෂා,

      ඔබටත් බොහොම ස්තූතියි මැඩම්....:)

      Delete
  11. //මම ඈ ලඟට ගිහිල්ල ඇගෙ අතක් අල්ල ගත්ත " හරි හරි ඒකෙ ප්‍රශ්ණයක් නෑ,...ඔයා හිතල කරපු දෙයක්ය..වැරදීමක්නෙ...." එහෙම කියල ඇගේ දෑස් දිහාවෙ බලල හිනාවුනා.//
    ඔන්න ඕකනේ කලා ඉන්න බැරි ....වැරද්දක් උනාම බැන්න නම් ඉවසන්න තිබ්බා ..............ඔහොම කරාම ඇතිවෙන හැගීම ආයේ කියල වැඩක් නෑ ...........අඩන්න පුළුවන් දවස් ගානක්..........

    සුබම සුබ විවාහ සංවත්සරයක් ..........අක්කට මොනාද අරන් දෙන්නේ ඔයත් එක්ක අවු .20ක් ඉහ ගහල හිටියට ...ලේසි පහසු දෙයක්යැ ..........:)

    ReplyDelete
    Replies
    1. Sacheera,

      / ඔන්න ඕකනේ කලා ඉන්න බැරි ....වැරද්දක් උනාම බැන්න නම් ඉවසන්න තිබ්බා ..............ඔහොම කරාම ඇතිවෙන හැගීම ආයේ කියල වැඩක් නෑ ...........අඩන්න පුළුවන් දවස් ගානක්.......... /

      ඔන්න ඉතිං බලාපං..කොහොමද මේ රාජ්ජෙ කරන්නෙ කියල. බැන්නෙ නැතුවම ඒකත් වැරදියි. බැරිවෙලාවත් බැන්නනං ඒක ඇති දවස් ගාණක් අඬන්ට....:)

      / සුබම සුබ විවාහ සංවත්සරයක් ..........අක්කට මොනාද අරන් දෙන්නේ ඔයත් එක්ක අවු .20ක් ඉහ ගහල හිටියට ...ලේසි පහසු දෙයක්යැ .. /

      හෙහ්..වෙන මොනව දෙන්නද බං...විසිවසරක ශේෂපත්‍රය තමයි...අද මම කතාකලාම එයයි ඇහුව මෙහෙම…

      " ඉතිං මොනවද මට දෙන්නෙ? "

      " අවුරුදු විස්සක් මා හද පුරා ඉතිරගිය අපරිමිත සෙනෙහස........"

      " හරි හරි ඔය සෙනෙහස ඉතිං අවුරුදු විස්සක් තිබ්බ එක හෙට අනිද්ද වෙනකොට ඉවරවෙන එකක් නෑනෙ…. නේද? අර ඩිසයින් ක්ලබ් එකට ලස්සන ටොප්ස් වගයක් ඇවීල්ල තියනව. හෙට අනිද්ද වෙනකොට එව්වනං ඉවර වෙයි. මගෙ එකවුන්ට් එකට දාන්ටකො සල්ලි සෑහෙන්න…..එයිං තුන හතරක්වත් අරං බලන්ට…"

      Thank You so much Sachini....:)

      Delete
  12. මං නං විවාහ සංවත්සර ගැන උදාහරණෙට ගන්නේ විස්කි.

    කල් යන්න යන්න පදම හොඳයි. රෙඩ් ලේබල්, බ්ලැක් ලේබල්, ඩබල් බ්ලැක් ලේබල්, ගෝල්ඩ් ලේබල්, ග්‍රීන් ලේබල්, ප්ලැටිනම් ලේබල්, බ්ලූ ලේබල්...!!!

    ඒ වගේම කල් යන්න යන්න හරි ගණං!

    ජයවේවා!

    ReplyDelete
    Replies
    1. Rasika,

      Love is like a friendship caught on fire. In the beginning a flame, very pretty, often hot and fierce, but still only light and flickering. As love grows older, our hearts mature and our love becomes as coals, deep-burning and unquenchable. - Bruce Lee

      Thank You Rasika…:)

      Delete
  13. එක පාරටම පරණ මාතෘකාවක් පටන් අරං තියෙනකොට මාව කරකෝල අතෑරිය වගේ උනා.පස්සෙයි තේරුණේ.සුබම සුබ ඇනිවසරියක් වේවා.අපේ විසිවසර තිබුනෙ ගිය අවුරුද්දෙ.

    ReplyDelete
    Replies
    1. හැලප,

      අපිට අවුරුද්දකට කලින් එහෙනං නේද?...ස්තූතියි හැලප.....:)

      Delete
  14. ඉන්නෙත් විප්‍රවාසෙ, බලන්නෙත් ෆෝන් කට්ටෙන්, ඒත් මේකට සුභ නොපත කොහොමෙයි. උඹල දෙන්නට හැපි ඇනිවසරියක්...ඊලඟ ආත්මෙවත් බලුපූට්ටු දැක්කම අහක බලාන යමු කියල මේ දවස්වල මටත් හිතිල තීන්නෙ - ඉ.උ

    ReplyDelete
    Replies
    1. ඉන්දික,

      මේ මොකෝ බොල?...කෝ සිංහයා?..අනික මොකෝ මේ බලු පූට්ටු කතාව? මම හිතාගෙන හිටියෙ බොට එහෙම ප්‍රශ්නයක් නෑ කියල....

      Anyway…Thanks So much Indika….:)

      Delete
  15. සුභ විවාහ සංවත්සරයක් වේවා දෙන්නටම... අපි අතරමං උනා නෙව එකපාරටම.. හම්මේ යකොඩෝ ඔය වගේ නීති දෙකක් තියනවා කියල රෙජිස්ටාර් ගෑණි නිකමට වත් කිව්වෙ නෑ නෙව .. එක නෙවෙයි විවාහ රෙජිස්ටාර් ගෑණු උදවිය අඩි දෙකතුනක් උඩින් යන්න හේතුවක් තියනවද? අපෙත් නෑදෑයෙක් ඉන්නවා. පුදුම මහන්තත්ත කමක්...

    ReplyDelete
    Replies
    1. මමත් රෙජිස්ට්‍රාර්,උඹට ආයෙ බඳින්න ඕනෑ නං කෙල්ලෙක් හරි ගෑනියක් හරි එක්කං වරෙන්.කිසිම මහන්තත්ත කමක් නෑ.පට ගාල බන්දල දෙන්නං.තේරුණාද සජ්ජෝ.

      Delete
    2. සජ්ජා,

      රෙජිස්ට්‍රාර්ල එහෙමද බං?.....හෙහ්,හෙහ්,..Thanks To You Too...:)

      Delete
    3. හැලප,

      අම්මප උබ මොන රෙජිස්ට්‍රාර්ද? කොරනෙල් රාළහාමි කෙනෙක් වත්ද?

      Delete
  16. කේකලෙන් මල්ලක් අරං අවුරුදු විස්සක් එහෙනං.....සුබම ඇනිවසරියක් වේවා.... මගෙත් විසිපහ එනව ලඟ ලඟ..
    හර්ෂ

    ReplyDelete
    Replies
    1. හර්ෂ,

      කේතලෙන් මල්ලක්..හෙහ්,හෙහ්, කේතලේ එක්ක අවුරුදු විස්සක්ම හිටියනෙ ...:)

      හර්ෂගෙ විසිපහද?.....:) බොහොම ස්තූතියි හර්ෂ...

      Delete
  17. සුබ අනාගතයක් වේවා. අවුරුදු විස්සක් පවුල් කනවා කියන එකත් ලේසි කෙලියක්ද?

    ReplyDelete
    Replies
    1. "Adam and Eve had an ideal marriage. He didn't have to hear about all the men she could have married... and she didn't have to hear about how well his mother cooked."
      -Anonymous

      Delete
    2. ඇනෝ..ස්තූතියි....අවුරුදු විස්සක්...ම්ම්ම්..එච්චර අමාරුවක් උනෙත් නෑ කල්පනා කරල බලනකොට...හෙහ්,හෙහ්,

      Delete
    3. Pra,

      Adam was returning home late one night at paradise after drinking with the dodo and the unicorn. Eve got angry and yelled at him:

      "YOU ARE SEEING ANOTHER WOMAN"

      Adam responded: "Don't be silly, you are the only woman on earth", and went to sleep.

      Later that night Adam woke up. filling a tickle in his chest and saw it was Eve.

      "What the heck are you doing?", he asked.

      "I'm counting your ribs", she responded.

      Delete
  18. හැපි හැපී T20 .. හැපී දෙකයි 20 දෙකයි.. ඒ කියන්නේ දෙන්නටම හොඳේ..
    පට්ටම ඇනිවසසරි ප්‍රසන්ට් එකක්.. ඔය කිව්වට ජයන්තිත් එක්ක වැඩිපුර මොකුත් ආලවට්ටම් පෑවේ නෑ කියල ශුවර් ම ශුවර්ද? ගෑනුන්ට ඉව තියෙනවා.. හැක්.. ජය වේවා! විස්සට එකසිය විස්සක් දෙන්න දෙමාල්ලෝටම ආවඩා ආයුබෝවේවා!

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / ඔය කිව්වට ජයන්තිත් එක්ක වැඩිපුර මොකුත් ආලවට්ටම් පෑවේ නෑ කියල ශුවර් ම ශුවර්ද? ගෑනුන්ට ඉව තියෙනවා. /

      අනේ නෑ බං...අරකා බණ්ඩාරය පරිප්පු ගෝනියක් ඔලුවට අතෑරලයි මාව මරන්නෙ එහෙමනං...ඒකා සමූපකාරෙනෙ වැඩ...

      Thank You Kalyana….:)

      Delete
  19. මටත් හරි ආසාවක් ඇති වුනා කසාද බැදල මුං ඇට පුච්චන්න.... ඒත් ඉතින් හැම පිරිමියම රවි අයිය වගේ නැහැනේ..... ඒ නිසා ඔන්න ඔහේ මෙහෙම්ම ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      අම්මපල්ල උඹටත් එන විපිරියාස කම්පනාවල්.....:)

      Delete
  20. සුබ විවාහ සංවත්සරයක් රවීයියාට සහා අක්කාට!

    ඇත්තටම ඔය එකගේ කන කතන්දරය අයිති වෙන්නෙත් උඩරට විවහා සම්ප්‍රදායටද ?නැතිනම් එක වෙනින් මොකක් හරිද ?කොහොම වුනත් එකම රටේ එක එක පළත් වලට එක එක නීති තියෙන එක නම් වෙනස් කරන්න ඕනේ.

    මුං ඇට වල සීතල යන්ට වෙන්න ඇතිනේ රවීයියේ මුං ඇට ටිකක් රත් කොරලා ගන්ට හදන්න ඇත්තේ භාර්‍ය තොමෝ.:D

    ReplyDelete
    Replies
    1. Manoj,

      / ඇත්තටම ඔය එකගේ කන කතන්දරය අයිති වෙන්නෙත් උඩරට විවහා සම්ප්‍රදායටද ?නැතිනම් එක වෙනින් මොකක් හරිද ? /

      මම දන්න විදිහට මල්ලි එකගෙයි කෑම බහුලව පැවතුනෙ උඩරට. පවුලේ දේපල බෙදීයාම වලක්වාගැනීම තමයි මූලික පරමාර්ථය වුනේ.

      විවාහ ලියාපදිංචි කරන්ට ගත්තට පස්සෙ කසාදෙට අත්සන් කලේ සම්ප්‍රදායානුකූලව වැඩිමහල් සහෝදරයා. දරුවන්ගෙ උප්පැන්න සහතිකවල පියාගෙ නම හැටියට යෙදෙන්නෙත් ඒ වැඩිමහල් සහෝදරයගෙ නම.

      ඒ නිලවශයෙන් එහෙමවුනාට බාල සහෝදරයටත් සියලු අයිතිවාසිකම් හිමිවෙනව කියල තමයි චාරිත්‍රානුකූලව පිළිගැනීම.

      / කොහොම වුනත් එකම රටේ එක එක පළත් වලට එක එක නීති තියෙන එක නම් වෙනස් කරන්න ඕනේ. /

      දැං මුලු ලෝකෙම ට්‍රෙන්ඩ් එක මල්ලි ඒ ඒ ප්‍රදේශවල චාරිත්‍ර වාරිත්‍ර අනුව පිළිගැනීම්, සම්ප්‍රදායන්, විශ්වාසයන් අනුව තමන්ට තමන්ව පාලනය කර ගැනීමේ සහ අණ පණත් පණවා ගැනීමේ බලතල තියෙන්න ඕනය කියන මතය.

      Thanks Manoj….:)

      Delete
  21. ඉරටය් සඳටය් ඔය විදියට හැමදාම සතුටින් ඉන්න මගෙනුත් සුභ පැතුම්.. ජීවිතේ වෙන මොනාද ඕනේ ඔය ඇරෙන්න ..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      අන්න ඒකනෙ බං..නැද්ද? What else do you need in Life?...Thanks Mekuwi…:)

      Delete
  22. හප්පේ! හරිම සන්තෝසයි ඈ!
    හැපිම හැපි ඇනිවසරියක් වේවා ඔයාල දෙන්නට!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බස්සි!!!

      Delete
  23. හැපි වෙඩින් ඇනිවර්සරියක් දෙන්නටම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  24. සුභ පැතුම් දෙන්නටම. දවස ලස්සන බ්ලොගයකින් සමරලා තියෙනවා.

    ReplyDelete
  25. දෙන්නටම හැපී ඇනිවසරියක් වේවා !

    ReplyDelete
  26. Very Happy Anniversary, මචං. දැන් එතකොට ගුරුවරීගේ කතාව අවුරුද්දකට සැරයක් පළවෙන කතාවක් වුනා නේද? අර බොග් ටයිට් වෙච්ච කොලුවගේ බොග දැන් ෆොසිලයිස් වෙලා ඇති. මතකද මන්දා...

    ReplyDelete
    Replies
    1. Dude,

      / අර බොග් ටයිට් වෙච්ච කොලුවගේ බොග දැන් ෆොසිලයිස් වෙලා ඇති. මතකද මන්දා…/

      දෙයියම්පල්ල..උඹටත් වෙන මොකවත් වැදගත් දෙයක් නැද්ද මතක තියාගන්ට එහෙම?

      Thanks Henry...:)

      Delete
  27. දශක දෙකකට පසුව ඉල්ලුම් පත්‍ර වල
    3. විවාහක අවිවාහක බව:...............
    කියන තැන තිත් උඩ "විවාහ කයි" කියල ලියන්නේ නැතුව "විවාහකයි" කියල ලියන්නට පුළුවන් වීමත් කොතරම් ජයග්‍රහණයක් ද රවී!

    සංවත්සර සුබ පැතුම් දෙදෙනාටම!

    ReplyDelete
    Replies
    1. “ In every marriage more than a week old, there are grounds for divorce. The trick is to find and continue to find grounds for marriage.”  - Robert Anderson

      keeping finding reasons for marriage every day for the last 20 years , Raigam…:)

      Thanks so much!!

      Delete
    2. he! he!! Don't be disappointed, this is from one of the greatest;

      “Men marry women with the hope they will never change. Women marry men with the hope they will change. Invariably they are both disappointed.

      ― Albert Einstein

      Delete
    3. Raigam,

      Albert Einstein…he is definitely the genius of our time. Apart from being the most influential and celebrated intellectual of recent past, his thoughts on life , society and human nature was really inspiring and insightful

      Following are some of his thoughts….

      " Any man who can drive safely while kissing a pretty girl is simply not giving the kiss the attention it deserves.” 

      “ Two things are infinite: the universe and human stupidity; and I'm not sure about the universe.” 

      “ There are only two ways to live your life. One is as though nothing is a miracle. The other is as though everything is a miracle.” 

      “ If you can't explain it to a six year old, you don't understand it yourself.” 

      “ Violence sometimes may have cleared away obstructions quickly, but it never has proved itself creative”

      Delete
  28. ගුටි ඇනුමක්, දත් හලා ගැනීමක් නැතුව අවුරුදු විස්සක් විවාහ ජීවිතය ගතකිරීම එක්තරා ආකාරයක පුන්‍යකර්මයක්. විවාහ වී එකට එක්වී ජීවත්වීම අපේ ගමේ හැඳින්වෙන්නෙ ‘පවුල් කෑම‘ නමින්. අනුංගෙ පවුල් කන්නැතිව තමුංගෙ පවුල කාගෙන ජීවත්වීම තමයි මනුස්සයාගේ යුතුකම. දෙන්න දෙපොලෙ හිටියත් සණ්ඩු සරුවල් නොවී සාමෙං ඉන්නෙක ඊටත් වඩා යහපත්. ඉතිං තවත් දශක ගණනාවක් දෙන්නත් එක්ක සතුටිං, සාමෙං, සහයෝගෙං ඉන්න ලැබේවා කියල අපි මෙන්න මෙහෙම සුබාසිරි ගෙන එනව.
    ටපර ටප්ට ටප ටප ටං
    රවී මහත්මයා සමග එම මැතිනිය විවාහ වුන.
    ‘ඩඟර ටට්ට ටප ටප ටං‘

    විසිවැනි සංවත්සරයයි අද දින දෙදෙනා සමරන ‘
    ඩිඟි ඩිඟි ඩං ටකර පටං‘
    තව සිය වසරක් යනතුරු දෙදෙනම සතුටින් සිටිනට
    ‘ටකර ටකට ටක ඩඟ ඩං‘
    ආසිරි පතනෙමු දෙදෙනට මතු භවයෙත් එකට ඉන්න
    ‘ඩකං ඩකං බුම්ම්ම්.......‘

    හොඳයි එහෙනං පිංවත්නි තවත් චිරාත් කාලයක් දෙදෙනා එකාවන්ව එක්සිත්ව එක්සත්ව ජීවත්වෙලා මතු උපදින ආත්මභාවයන්ගෙත් මේ දෙදෙනාටම අඹු සැමියං වසයෙන් ජීවත් වන්නට වරම් ලැබේවායි කියල අපි සුභාශිංසන ගෙන එමු.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      අම්මද බොල මල් හතයි විරිදුව...උඹ රබං සද්දෙත් දීල තියන නිසා කටිම්ම ඒකත් දුන්නැහැකි නවල..බොහොම ස්තූතියි...සුරංග...:)

      Delete
  29. සුබ ඇනිවසරි එකක් වේවා රවී අයියේ සහ අක්කේ..
    අපිත් 4 වෙනි එක පහු කළා ගිය මාසේ.

    ඔය සිංදුව මම හෙනම ආස සිංදුවක්. හැබැයි අද වෙනකම් මෙන්න මේ "නූපුර හෝ ප්‍රියේ," කියන කොටසේ තේරුම හරියටම ෂුවර් නෑ.. පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ


    ReplyDelete
    Replies
    1. පැතුම්,

      / සුබ ඇනිවසරි එකක් වේවා රවී අයියේ සහ අක්කේ.. /

      ස්තූතියි, ස්තූතියි ස්තූතියි මලේ...:)

      / අපිත් 4 වෙනි එක පහු කළා ගිය මාසේ. /

      වෙරි ගුඩ්..වෙරි ගුඩ්...තව හතළිහකට මගෙන් සුබපැතුම්

      / ඔය සිංදුව මම හෙනම ආස සිංදුවක්. හැබැයි අද වෙනකම් මෙන්න මේ "නූපුර හෝ ප්‍රියේ," කියන කොටසේ තේරුම හරියටම ෂුවර් නෑ.. පොඩ්ඩක් පැහැදිලි කරන්නකෝ /

      පැතුම්, මෙතන කියවෙන්නෙ තමන් ලඟටම වෙලා නිහඬව හිඳිනා බිරිඳක් පිළිබඳව කියලයි මම හිතන්නෙ.

      නූපුර කියන්නෙ කාන්තාවො වළලුකර පලඳින ආභරණ විශේෂයක් ( Anklet ) නූපුර පවා නිහඬව හිඳී කියලයි අදහස් කරන්නෙ මම හිතන්නෙ.

      නූපුර ගැන මම ලියපු කතාවක් මල්ලි මේ....

      Delete
    2. charana-ranita-mani-npuraya pari purita-surata-vitanam |
      mukhara-vishru khala-mekhalaya, saka chakraha-chumbana-danam (Krishnam, sakhi he) ||6||

      “As we enjoyed amorous play, the jewel-studded ankle-bells on my feet rang out seeing His love. Unite me at once with that Sri Krishna who catches me by the hair, repeatedly kisses my face. “

      Delete
    3. " As we enjoyed amorous play, the jewel-studded ankle-bells on my feet rang out with the sound ‘runjhun’. Although my waist-bells were very talkative, they gradually came undone. Unite me at once with that Sri Krsna who catches me by the hair, repeatedly kisses my face and engages in sensual games to the fullest extent "

      Gita Govinda by Jayadeva

      Thanks ..Ano...:)

      Delete
    4. නම ලියන්න අමතක වුනානෙ..
      ඉස්සර අපේ වෙදමාමා හැන්දෑවට හාන්සි පුටුවෙ දිගෑදිලා ගීත ගෝවින්දයෙ ශ්ලෝක කියනව. මම පොඩි එකා ඒත් සමහර ඒව තවම මතකයි.
      "ධීර සමීරේ යමුනා තීරේ වසති වනේ වනමාලී
      ගෝපී පීන පයෝධර මර්ධන චංචල කර යුග ශාලී"
      හර්ෂ...

      Delete
    5. හෙහ්, මේ හර්ෂනෙ..:)

      ගීත ගෝවින්දය මම කියෙව්වෙ ඉංග්‍රීසි එක. සිංහල පරිවර්තන දෙකක් තියනව මම දන්න විදිහට. එකක් අළවුඉසි සැබිහෙළගෙ. අනික සුචරිත ගම්ලත්ගෙ. ඒ දෙකෙන් සුචරිත ගම්ලත්ගෙ පරිවර්තනය වඩා සාර්ථකයි කියල තමයි මම අහල තියෙන්නෙ. කොහොමහරි මට තවම සිංහල ගීත ගෝවින්දය කියවන්ට බැරිවුනා...

      නොඉවසිලි අවලකෙලි ඇරඹුණිය නොපමාව,
      රාධාව රති විකල පරදනුව ශ්‍රී කෘෂ්ණ,
      නැගුනිය ඔහු මතෙහි අධික විය රති වේග,
      පුළුලුකුල නිසල විය,
      ළමැද කම්පිත විය,
      කරලතා ලිහිල් විය,
      පියවුනිය නෙත් උපුල්,
      පැරදුනිය රාධාව,
      ළඳුන් රති පරාක්‍රම,
      කෙසේ නම් පරදනුව,

      Delete
  30. විස්සක් කියන්නේ සුළු පටු දඬුවමක්ද බොලව්.
    මිණී මැරුමකට වරදකාරය උනත් ඒ තරම දිග දඬුවම් කාලයක් දෙන්නේ නැහැ මම හිතන්නේ.

    හෙහ් හෙහ්... විහිළුවක් හොඳේ, සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්...
    ඊයේ හදිස්සියේ ඔඩිට් එකකට යන ගමන් පෝස්ට් එක කියෙව්වට කමෙන්ට් එකක් කොටන්න වෙලාවක් උනේ නැහැ.
    එහෙමයි කියල නැහැ, රවී අයියල නැතත් හවස් අතේ අපි සංවත්සරේනම් සැමරුවා...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      / විස්සක් කියන්නේ සුළු පටු දඬුවමක්ද බොලව්. මිණී මැරුමකට වරදකාරය උනත් ඒ තරම දිග දඬුවම් කාලයක් දෙන්නේ නැහැ මම හිතන්නේ. /

      මරු කතාවක් මතක් වුනා. ඔන්න පොරක් විසිපස්වන විවාහ සංවත්සරය සමරනවලු. කට්ටියම ෆුල් ආතල් එකේ ඉන්න අතරෙ පොර තනියම මුල්ලකට වෙලා ෆුල් සෑඩ් මූඩ් එකි ඉන්නව දැකල පොරගෙ පොඩි කාලෙ ඉඳලම අතිජාත මිත්‍රය ඌ ගාවට ගියාලු.

      " මොකෝ මචං? මෙච්චර මේ කට්ටිය ආතල් එකේ ඉඳිද්දි උඹ පැත්තකට වෙලා මූඩ් ගහල? "

      " උඹට මතකද බැඳල අවුරුදු පහකිං මම උඹට මෙහෙම කිව්ව. මචං මට මේ ගෑණිත් එක්ක ඉන්ට බෑ.මම මේකිව මරණවා..එතකොට මොනවද දන්නවද උඹ කිව්වෙ? "

      " උඹ ඔහොම ඒ කාලෙ අප්සෙට් එකේ හිටියනම් මතකයි. ඒත් මම මොනවද කිව්වෙ කියලනම් මට මතකයක් නෑ. මොකක්ද මම කිව්වෙ?.."

      " උඹ කිව්වෙ මෙහෙමයි. ඔය වැඩේ කරන්ට එපා බං. උඹට අවුරුදු විස්සක් හිරේට යන්ට වෙනව ඔහොම කලොත්..මම ඒ පාර උඹේ අවවාදෙ පිළිඅරගෙන ඒ වැඩේ අතෑරල දැම්ම. "

      '" හරි ඉතිං අද මොකද උඹ මේ මූඩ් ගහල ? "

      " නෑ බං මම මේ කල්පනා කලේ එදා උඹට බම්බු ගහගන්ටෙයි කියල මම හිතපු දේ කලානම් අද මම නිදහස් මිනිහෙක්නෙ. "

      / සංවත්සරය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්… /

      ස්තූතියි ලොක්කා,

      / එහෙමයි කියල නැහැ, රවී අයියල නැතත් හවස් අතේ අපි සංවත්සරේනම් සැමරුවා../

      අන්න එහෙමනෙ නියම මිත්‍රයො...හෙහ්,හෙහ්,

      Delete
  31. Happy platinum anniversary Mr. & Mrs. Weerasinghe

    ReplyDelete
    Replies
    1. Pra,

      My Godness..don't mention Platinum.China would be more than enough… I love tradition

      Thanks so much pra

      Delete
  32. සුභ උපන්දිනක් වේවා....!! මේ.. මම කිව්වෙ විවාහය දෙවනි ඉපදීම කියනවනෙ.. ඒ නිසා...
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ගස් ලෝගී,

      හෙහ්, එහෙමත් කියනවනෙ නේද? මම හිතන්නෙ අපි ඉපදෙන්නෙ අඬාගෙනනෙ. බොහොම අකමති තැනකට යනව වගේනෙ අපි එළියට එන්නෙ. බඳින එකත් ඒ වගෙ තමයි ඇඬුවෙ නැතුවට කියල හිතල තමයි එහෙම කතාවක් කියන්නෙ...:)

      තෑන්ක්ස් ගස්...:)

      Delete
  33. සෑර්, එහෙනං චියෙර්ස් කිව්වා ඈ!

    ~සුස්ති~

    ReplyDelete
    Replies
    1. සූස්ති,

      මේ ගුණේද නැත්තං වෙන කවුරුවද්ද? හරි...කවුරුහරි කමක් නෑ...බොහොම ස්තූතියි...:)

      Delete
  34. අලුත ගෙනා මනමාලි කාලෙ ප්‍රෙෂර් කුකර් එකේ මුං ඇට තම්බන්න ගිහිං පුච්චාගත්තු මගේ යාලුවෙක් ඉන්නවා. කට්ටිය තාම කියන්නෙ මුං ඇට කියලා. පව් ඉතිං.

    ReplyDelete
    Replies
    1. මාධවී,

      අලුත ගෙනා මනමලියො ප්‍රෙෂර් කුකර් එකේ උයන්ට ගිහාම ඔහොම වෙන එක අහන්ටත් දෙයක්ද? අපේ කාලෙ නං අලුත ගෙනා මනමාලියො කලේ හාල් පතක් ගරාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා....අන්න ඒ වගෙ සත්කාර්යයන්...

      Delete
  35. සුභම සුභ විවාහ සංවත්සරයක් වේවා ඔබ දෙපලටම

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැව්.....:)

      Delete
  36. ///" දැන් මොන නීතිය යටතේද මේ විවාහය ලියාපදිංචි කරන්නෙ? "///

    කොරන්න තිබ්බෙ ගාන්ධර්ව ක්‍රමේට... :-)

    ReplyDelete
  37. හප්පොච්චියේ....................හිරේ යාම ලේසි කෙලියක් නෙවේ. මමත් දැන් හිරේ ගිහින් අවුරුදු 34 ක් වෙනවා.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...