Saturday, September 3, 2016

439. The Story Of My Marriage - 25 - චෙන්නයි ත්‍රිරෝද රථ රියදුරු සංගමය සමඟ දඟර නැටුමක් සහ මගේ ගැලවුම්කාර සර්දාර්වරයා….


Salza Dancing
  Channing Tatum & Jenna Duwan-Tatum 

ඒ ඉංගිරිසි වදන ඔහුට වැටහිණ."වොකේ……"එසේ පවසමින් ඔහු යලිත් හඬ නඟා සිනාසුනේය.සිනාසෙමින්ම ඔහුගේ සුරත වම් උරහිස ඉහළින් පසුපසට දිගු කලේය. මම ඔහුගේ සුරත මගේ සුරතින් ගෙන සෙලවීමි.

යලිත් මහ හඬින් සිනාසුනු හැඩිදැඩියා ත්‍රිරෝද රිය අවසාන ගියරයට දමා ගත්තේ කෙමෙන් ගණ අඳුරින් වැසී යමින් තුබුණු චෙන්නයි නගර මධ්‍යයට මහත් වේගයෙන් ධාවනය කලේය.

ත්‍රිරෝද රියේ අසුනෙහි හැකිපමන ඉදිරියට වී මම වේගයෙන් අප පසුකරමින් ඇදීයන චෙන්නයි නගරය දෙස කුතුහලයෙන් යුතුව බලා සිටියෙමි. අනන්‍යාගේ පුරවරය...දිනෙක මෙය මගේද පුරවරය වනු ඇත. මට සුපුරුදු උතුරු ඉන්දියානු නගරයන්ට වඩා චෙන්නයිහී කැපීපෙනෙන වෙනසක් නොවීය. මිනිසුන්, ගැහැණුන් සහ බඩු බාහිරාදිය පුරවාගෙන මනස විකල්වූ කලෙක මෙන් එහා මෙහා ධාවනයවන ත්‍රිරෝද රථ, දොර ජනෙල් වලින් පවා ඉවතට වැක්කෙරෙන පරිදි මගීන් පටවාගත් කබල් බස් රථ, ජීවිතයම එපාවුණු අයුරු කිසිදු අරමුණකින් තොරව එහා මෙහා ගමන් කරන රථවාහන හැසිරවීමෙහි නියුතු පොලිස් නිලධාරීන්, එළවලු, පළතුරු, සහල්, සීනි, සපත්තු, රස කැවිලි, සෙල්ලම් බඩු ආදී නානා විධ බඩු භාණ්ඩ විකිණූ මාර්ගයටම යාබද තැනුනු කුඩා කඩ ආදිය වෙනත් ඕනෑම ඉන්දියානු නගරයක මෙන්ම චෙන්නයිහිද සුලභව දක්නට ලැබිණි.

ඒ සියලු සමානතා අතර සියළු මාර්ග නාම පුවරු සහ වෙළඳසැල් නාම පුවරුවල සඳහන් වූයේ ද්‍රවිඩ අක්ෂර පමණක් වීම කැපී පෙණුනු ලක්ෂණයකි. ද්‍රවිඩ අක්ෂර මගේ මතකයට ගෙන ආවෙ බොහෝ වෙලා ඒ දෙස ඇසිපිය නොහෙලා බලාසිටියකල බලවත් හිස රුදාවක් ඇතිකරවනාසුලු දෘෂ්ඨි මායා රූප සටහන්ය. (Optical Illusions)

සියළු ද්‍රවිඩ ගැහැණු මල් පඳුරක් හිසින් ගෙන සරන්නාක්මෙන් හිසේ මල් ගවසා සිටි අතර සියලු ද්‍රවිඩ පිරිමි කලිසම් පිළිකෙව් කරන්නෝ කේ.එෆ්.සී. සහ මැක්ඩොනල්ඩ්ස් වැනි නවීන පන්නයේ අවන්හල් කරාද ලුංගි හැඳ පැමිණි සිටියහ. (ඔබ සහ මම උපන්දාසිට හැඳ පුරුදු සරම ඉන්දියානුවන් හඳුන්වනුයේ ලුංගි යන නාමයෙනි. ශ්‍රී ලාංකිකයින් භාවිතා කරන සරොම යනු මලයාසියානු සම්භවයක් සහිත වදනකි)

නගරයෙහි සියලුම තාප්ප, දැන්වීම් පුවරු, කසල භාජන සහ බස් රථවල වර්ග අඟල් හතරකට වඩා වැඩි සියළුම ඉඩකඩ චිත්‍රපට පෝස්ටර වලින් වැසී තිබිණි. ඒ චිත්‍රපටයන්හි ප්‍රධාන චරිතයට පණදෙන්නාවූ වීරයින්ගේ වයස්ගත මුහුණු දුටු කල්හි ඔබගේ මවගේ පියාගේ බාල සොහොයුරා නොහොත් ඔබගේ හීංඅත්තාටද කිසිදු ගැටළුවකින් හෝ අපහසුවකින් තොරව ඒ චරිතය රඟපානු හැකි බවට ඔබට නිසැකව සිතෙනු ඇත.

සියළුම චිත්‍රපට වීරයෝ ස්ථුල,තට්ටය පෑදුනවුන් වූ අතර ඊට අමතරව අවම වශයෙන් අඟල් තුනහමාරක් පමණ ඝනකමැති උඩු රැවුල් දරා සිටියෝය. ඊට ප්‍රත්‍යනික ලෙස (On the contrary)  ඒ වීරයින් හා ආලිංගනයෙහි යෙදී හුන් වීරවරියෝ දෑස්පියාගත්වනම හෝදලා වතුර බීමට හැකි මට්ටමේ රූමතියෝ වූහ.

සියලු දකුණු ඉන්දියානු පුරුෂයින් මේ ආකාරනම් දකුණු ඉන්දියානු ස්ත්‍රීන් උතුරු ඉන්දියානු පුරුෂයින් හට යම් විශේෂිත ඇල්මක් දක්වන බවට මගේ මව කල ප්‍රකාශයෙහි බොහෝවිට යම් සත්‍යතාවයක් තිබිය හැකි බව මට සිතිණි.

"මේ තමයි IIT එක"

කිලෝමීටරයකටත් වඩා දිගුවූ IIT-Chennai ආයතනයේ මායිම් තාප්පය අසලින් ත්‍රිරෝද රිය ධාවනය කරවමින් රියදුරා පැවසීය. මම මූලික උපාධිය ලබාගත්තේ නව දිල්ලියේ IIT ආයතනයෙන් බව මම මේ කතාව ආරම්භයේදී පැවසූ බව මා දයාබර පාඨකය ඔබගේ මතකයෙහි රැඳී ඇතැයි මම මෙහිදී උපකල්පනය කරමි. (IIT = Indian Institute Of Technology)

"අඩ්යාට්, සයිඩාපෙට්, මාම්බලම්….." අප පසුකොට යන ප්‍රදේශයන්හි නම් රියදුරා මට ඇසෙන පරිදි හඬඟා පැවසුවේය.

ඔහු පැවසූ නම් විස්ස හෝ විසිපහෙන් මගේ මතකයේ ඇත්තේ ඉහත කිහිපය පමණි. ඔහු පැවසූ බොහෝ නම් උච්ඡාරණය කීරිමට අවම වශයෙන් මීටර් දෙසියයක් පමණ දුරක් ගතවූ බැව් සැලකීමෙන් ඒ නම් කොපමණ දිගු වන්නට ඇත්දැයි නිගමනය කිරීම මම ඔබටම භාර කරමි මා හිතවත/හිතවතිය.

ජීවිතයේ එදිනෙදා කටයුතු වලදී අප විසින් බොහෝ විට පිරවියයුතු නා නා පෝරම කොළ සහ ඉල්ලුම් පත්‍රවල තම ලිපිනය ලිවිය යුතු ස්ථානය පිරවීමට මේ ප්‍රදේශවල වසන අවාසනාවන්තයින් කොපමණ වෙහෙසක් ගත යුතුද එමෙන්ම කොපමණ කාලය අපතේ හැරිය යුතුදැයි සිතට නැඟෙන කල මහද ඔවුන් කෙරෙහි මහත් අනුකම්පාවකින් බරවිය. යම් ඉසිඹුවක් ලද වහා මෙහි පැමිණ නිවසින් නිවසට ගොස් මේ අසරණයින් හමුවී ඔවුන් පත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව මගේ සාතිශය සංවේගය ඔවුන් වෙත පළකල යුතුයැයි මම දැඩිව අධිෂ්ඨාන කොට ගතිමි.

ශිව....ස..ක්...ති.....අම්...බල...වානර්...පරමේ..ස්වර වීදියේ මුලින්ම පිහිටි නිවසෙහි සීනුව මම නාද කරමි. ඇරුණු දොරකඩ එළිපත්තේ සිටිනුයේ සුදු වේට්ටියක් හැඳගත් මැදිවියේ මහතෙකි.

"ඔව්.? " ඔහු නළල රැලි ගන්වමින් මගෙන් විමසයි.

"මහත්මයා මගෙ නම ක්‍රිෂ්.."

"ඔව්..ඉතිං?"

"මම මේ ආවෙ මගෙ කණගාටුව ප්‍රකාශ කරන්ට…"

"කණගාටුව ප්‍රකාශ කරන්ට? මොනව ගැනද? "

"නෑ...මම ..මේ කියන්නෙ බලන්ට මේ වීදියෙ නමේ දිග….." මැදිවියේ මහතාගේ මුව මදක්විවරවේ

"සි...ව..ස..ක්...ති.....අම්...බල...වානර්...පරමේ..ස්වර නම කියන්ට උනත් යනව මිනිත්තු පහකට එහා පැත්තෙ…" මැදිවියේ මහතාගේ මුව ක්‍රමානුකූලව තව තවත් විවරවේ.

"මම මේ කියන්ට ආවෙ මේ වගෙ දිග නමක් ඔය පෝරම කොල වල පුරවන්ට එහෙම කොච්චර වෙලාවක්…"

දඩාස් යන අනුකරණයෙන් දොර වැසිනි. "පිස්සු යක්කු…" වැසුනු දොරින් අනෙක් පස හිඳ මැදිවියේ මහතා එවන් වදනක් සෙමින් තොල මතුරනු මටයන්තමට ඇසිණි.

ක්ෂණිකව ත්‍රිරෝද රිය මහත් හඬින් තිරිංග තදකොට නතර වූයේය. සිවසක්තිඅම්බලවානර් පරමේස්වර වීදියේ ඊලඟ නිවසේ දොරටුවට තට්ටු කිරීමට සුරත එසවූ මම ඒ පහත දමා හැඩිදැඩියා දෙසට හැරුණෙමි. 

"මොකද එක පාරට නැවැත්තුවෙ?" මම ආංගික අභිනයෙන් විමසීමි.

කිසිවක් නොදෙඩූ රියදුරා ත්‍රිරෝද රියෙන් බැස දෑත එක්කොට හිසනවා වැන්දේය.

"මොකද මේ?" මම යලිත් අභිනයෙන් විමසීමි. 

"තලයිවර් …."

ගෞරවාන්විත ස්වරයකින් එසේ පවසමින් දෑත් එක්කොටගත් වනම රියදුරා හිසින් සංඥාකොට අප ඉදිරියේ අහස උසට නැඟීගිය ප්‍රචාරක පුවරුවක් දැක්වීය. අඩි පණහකට නොඅඩු උසකින් යුතු එය "පඩයප්පා" නම් ද්‍රවිඩ චිත්‍රපටය උදෙසා ඉදිවූවකි. එහි වූ නළු නිළියන් කිහිප දෙනා අතරින් මම එක් නළුවකු වහා හඳුනාගතිමි.

"රජ්නිකාන්ත්…..?" වන්දනාමාන කටයුතු අතහැර මාදෙස හැරී බැලූ රියදුරාගේ මුහුණ පුළුල් සිනහවකින් පිරී ගියේය. මම අවම වශයෙන් චෙන්නයිහී වන්දාමානයට පාත්‍රවන ජීවමාන දෙවිවරුන්ගෙන් එකෙක් හෝ හැඳිනගැන්මට සමත්වීම ඔහුගේ බලවත් අමන්දානන්දයට හේතු වන්නට ඇත.

නුංගම්බක්කම් පෙදෙසේ සුවිසල් අඹ තුරු පෙළකින් සෙවණ වූ වීදින් පසුකොට අපි ලෝයෝලා විද්‍යාලය වෙත ළඟාවීමු. මාර්ගය අසබඩ බස් නැවතුමක රැඳී උන් කාන්තාවක් අපට මගේ නවාතැන පිහිටි "චින්නප්පා ටවර්ස්" වෙත ලඟාවිය හැකි මාර්ගය පැහැදිලි කලාය.

නියමිත ස්ථානයෙහිදී ත්‍රිරෝද රියෙන් එළියට බැස මම රියදුරාට රුපියල් සියයේ නෝට්ටුවක් දුනිමි. ඉතිරි මුදල් ලැබුණු පසුව ඔහුගේ මිත්‍රශීලි සහ සුහද හැසිරීමට ස්තූතිය පළකරනු උදෙසා තවත් රුපියල් දහයක මුදලක් ඔහුට දියයුතුයැයි මම ඉටා ගතිමි.

"අංජි " මඳක් හඬනඟා එසේ පැවසූ හැඩිදැඩියා යලි තම සුරතේ ඇඟිලි විදහා පෙන්වූයේය. 

"වාට්?..." ඔහු කියන්න කිසිසේත් වටහාගත නොහැකිවූ මම විමසූයෙමි. 

ඔහු මගේ මුහුණට එබී නැවතද දෙතුන් වරක් අතෙහි ඇඟිලි විදහාලීය. "අංජි...අංජි..අංජි."

එවර මට ඔහු කියන්නට තැත් කරන්න වැටහිණි. "වට්?... යූ වෝන්ට් ෆයිව් හන්ඩ්‍රඩ්?..ආ යූ මෑඩ්?"

"ඉල්ල මෑඩ්…" හැඩිදැඩියා බිරුසන් දුන්නේ මවිසින් ත්‍රිරෝද රියෙන් ගමන් මලු ඉවත්කොටගැනීම වළක්වනු වස් මා ඉදිරියට පැමිණ මඟ අවුරමිනි. "ඉල්ල මෑඩ්..ඉල්ල මෑඩ්..අංජි..අංජි.." ඒ අතර ඔහු නොනවත්වා එසේ බිරුසන් දුන්නේය.

පාළුවට ගිය වීදියේ මේවනවිට මගෙන් රුපියල් පන්සීයක් ඉල්ලමින් කෑගසන හැඩිදැඩි රියදුරා සහ මම හැරුනු කල අන් කිසිවකුත් නොවීය. අත් ඔරලෝසුවෙහි වේලාව රාත්‍රි නවය ලෙස සටහන් වී තිබියද මිනිස් පුලුටක් හෝ දක්නට නොමැති වීදියෙහි පාළුබව හේතුකොටගෙන වේලාව අළුයම දෙකට පමණ ආසන්න සේ මට හැඟිණි. අප පසුකොට යාමට පැමිණි තවත් ත්‍රිරෝද රිය දෙකක් දුටු හැඩිදැඩියා වහා පාරට පැන ඒ නවත්වා ලීය. එයින් එක් ත්‍රිරෝද රියක ඉදිරි අසුනේ රියදුරන් දෙදෙනෙකු වූහ. හැඩිදැඩියා ප්‍රමුඛ රියදුරෝ සිව්දෙන වරින්වර මා දෙස හැරී බලමින් උස් හඬින් කථා කරන්නට වූහ. ක්‍රමයෙන් ඔවුනගේ අභිනයන් වේගවත් වන්නා හා සමඟම ස්වරයද උච්ඡ වන්නට වූයේය.

"ෆයිව් හන්ඩ්රඩ්" රියදුරු සංගමයේ මදක් හෝ ඉංග්‍රීසි කථාකල හැකි තැනැත්තා මා දෙස හැරී බලා සුරත දිගුකොට පැවසීය. 

"වට්..ෆයිව් හන්ඩ්රඩ්? නෝ ෆයිව් හන්ඩ්රඩ්... " මම එකහෙලාම පැවසීමි. "ඔන්ලි ෆිෆ්ටි"

"හේයියියි.." එක් රියදුරෙක් වියරුවෙන් මෙන් කෑගැසීය. 

ඉක්බිති ඔවුන් සිව්දෙනම මා වටකොටගෙන සෙමෙන් පාද තබමින් කැරකෙන්නට වූහ. සැණෙකින් මගේ මතකයට පැමිණියේ අනන්‍යා හා සමඟ මම නැරඹූ කොලිවුඩ් චිත්‍රපටයකි. එහිද මේ හා සර්වසම වූ දර්ශණයක් විය. එම චිත්‍රපටය මා වටා කරකැවෙන රියදුරු සංගමය ද නරඹා ඇති බවට කිසිදු සැකයක් නොවීය. එහි නම මට මතකයට නගාගත හැක්කේනම් රියදුරු සංගමයේ සිව් කට්ටුව අමතා ඔවුන් එම චිත්‍රපයට නරඹාඇති බව මට සහතිකයැයි පැවසිය හැකිබව සිහිව මගේ මුවග සිනහවකින් විවර වූයේය.

මගේ මද සිනහව රියදුරු සංගමය තවත් කෝප ගන්වන්නට හේතුවිය. ඔවුහු අතපය එහා මෙහා වනමින් මට තර්ජනය කරන්නට වූහ.

" මේ හලෝ විකාර නැතුව මගෙ බෑග් දෙක ගන්ට දෙනවා මට යන්ට. ඊට පස්සෙ තමුසෙලා හතර දෙනා අන්න අර අතන තියෙන ලයිට් කණුව වටේට එලිවෙනකල් හරි කමක් නෑ ඔය ආදිවාසී ඩාන්ස් එක දාගන්නව. මගෙන් කිසිම බාධාවක් නෑ." මම ඔවුන් අමතා පැවසීමි.

"ඉල්ල බෑග්..ඉල්ල බෑග්..යූ පේමන්ට්...යූ ගෝ…" ඔවුන් අතරවූ ඉංග්‍රීසි භාෂා විශාරදයා මගේ දකුණු කණට ඉතා ආසන්නව ගිරිය යටින් හඬ තැලීය. මම වහා දෑතින් දෙකන් වසා ගතිමි. 

නවදිල්ලියෙහි වායු සමීකෘත කාර්යාලයක සැපපහසු ලෙස කල්ගෙවිය හැකිව තිබියදී මේ නාඳුනන නගරයක පාළු මාවතක ආදි වාසීන් සිව්දෙනෙකු මධ්‍යයේ මම නටන මේ නාඩගමෙහි අර්ථය කුමක්දැයි මම යලිත් වරක් කල්පනා කලෙමි. ආදරය යනු මෙයද? අනන්‍යාට මා කොපමණ ආදරය කලද, සමහරවිට මේ මංපහරන්නන් ඇයගේ ඥාතීන් වියහැකිවුවද, මේ සිදුවන අත්තනෝමතික බලහත්කාරය ඉදිරියේ අවසන මගේ පන්ජාබි රුහිරු කැකෑරෙන්නට වූයේය.

එසේ හෙයින් ආදිවාසී නැටුමෙන් හෙම්බත්වහුන් මම තීරණයක් ගතිමි. "හරි අපි යමු පොලීසියට"

"ඉල්ල පොලිස්..ඉල්ල පොලිස්…" මගේ රියදුරා තම සුරත මිටිකොට මගේ මුහුණ ඉදිරියෙහි සෙළවීය. මිනිත්තු විස්සකට පමණ පෙර මා හා අතට අත දීමටද ඔහු භාවිතාකලේ එම සුරතමය.

"මේක චෙන්නයි, චෙන්නයි කියන්නෙ අපේ ගම. මෙහෙ පොලිසියත් අපේ පොලිසිය. මේ උතුරු ඉන්දියාව නෙවෙයි.එන්නෝඩ පූලා කොම්බුඩා යූ නෝත් ඉන්ඩියන් බාස්ටර්ඩ්…" ඉංගිරිසි විශාරද තෙමේ යටිගිරියෙන් කෑගැසීය.

ඔහු ද්‍රවිඩ භාෂාවෙන් පැවසූ අසභ්‍ය වදන්වල අර්ථය මම පසුව අනන්‍යාගෙන් විමසීමි. ඉන් අනතුරුව උද්ගතවූ තත්ත්වය මා ප්‍රිය පාඨකයිනි මම ඉදිරියේදී ඔබට පවසන්නෙමි.

මා වටා සෙමෙන් සෙමෙන් කරකැවෙනා ද්‍රවිඩ රියදුරන් සතරදෙනාගේ දත් සුදුපැහැයෙන් දිලෙනු ඒ ඝන අඳුර මධ්‍යයේ මට පැහැදිලිව දැකගත හැකිවූයේ එක්කෝ ඔවුන් විටින් විට සිනාසුණු නිසා හෝ දත් නියවා ගෙරවූ නිසා (Snarl) විය යුතුය. ද්‍රවිඩ පිරිමින් වනාහී ස්වභාවයෙන්ම කුලෑටි සහ බයාදු බවට මා මෙතෙක් දැනසිටි එකම ද්‍රවිඩ පිරිමියා වන අනන්‍යාගේ පියා ආශ්‍රයෙන් මා එළඹි උපකල්පනය කිසිසේත් නිරවද්‍ය නොවන බව මොනවට ඔප්පු කරවමින් ඔව්හු ඒ පාළු වීදියේ තර්ජනාත්මක අයුරින් මා වටා කරකැවෙමින් හුන්හ.

"කෙළියා..." මට එසේ කියවුණේ මා වටා කරකැවෙමින් හුන් එක් තක්කඩියකු තම කළිසම් සාක්කුවට අත යවා ඉන් යමක් සෙමෙන් පිටතට ගනු දුටු කල්හිය. එහෙත් මගේ බිය අහේතුක බව මට වැටහුණේ ඒ තියුණු පිහියක් හෝ කලාකිරිඤ්ඤයක් වැන්නක් නොව සිගරට් පැකට්ටුවක් සහ ගිණි පෙට්ටියක් බව දුටු විටය.

හෙතෙම සිගරට් පැකට්ටුව විවරකොට ඉන් පිටතට ගත් එක් සිගරට්ටුවක් සුරතේ මහපටගිල්ලේ නියපොත්ත මත තබා ඉහළට විද්දේ ඒ සැණෙකින් ඉහළට විසිවී ගොස් දෙතොල් අතර රැඳවෙනා පරිදිය. ඒ සමඟ හේ මාදෙස නෙත් කොණකින් බලා සාවඥ ලෙස සිනාසී සිගරට්ටුව ගිණිකූරකින් දල්වා ගත්තේය. ඒ ද කුමන හෝ ද්‍රවිඩ චිත්‍රපටයක යම් වීරවරයකු රඟන ජවනිකාවක් යලි රඟදක්වමින් බව මට කිසිදු සැකයක් නොවීය.

ඒ මැරවරයා එළෙස සිගරට් දල්වමින් රඟන අතර මම නොඉවසිල්ලෙන් පාලු මංපෙත දෙපසටම නෙත් යොමුකලේ මේ අකරතැබ්බයෙන් මා මුදාගත හැකි කවරකු හෝ ප්‍රාදූර්භූත වෙතැයි පතමිණි.

ඒ හා සමඟම ඒ අසලම වූ මහල් කිහිපයකින් යුතු ගොඩනැඟිල්ලෙන් යමෙකු පිටතට පැමිණියේය. ගොඩනැඟිල්ල ඉදිරිපස වූ විදුලි පහන් කණුවේ දුබල ආලෝකයෙන් ඔහුගේ හිසෙහි බැඳි රත් පැහැ ජටාව දුටු මට මගේ ඇස් අදහා ගත නොහැකිවිය.එසේය. ඒ වනාහී පන්ජාබියෙකි. සර්දාර්වරයෙකි. චෙන්නයි නගර මධ්‍යයේ සර්දාර්වරයකු දැකීම නව දිල්ලි නගර මධ්‍යයේ හිම වළසකු දැකීම තරම් ආශ්චර්යජනකය.

ඔහු මේ රාත්‍රියේ පිටතට පැමිණ ඇත්තේ පදික වේදිකාව අසල ගාල්කොට තිබූ ඔහුගේ මෝටර් රථය ආවරණය කරනු උදෙසාය. ඒ කෙසේ හෝ ඔහු වනාහී ද්‍රෞපදිය ගළවාගැන්මට පැමිණි ක්‍රිෂ්ණාය. සැනසුම් සහගත සිතුවිලි රාශියකින් මසිත පිරවෙද්දී මම හඬ නඟා ඔහු ඇමතුවෙමි.

" අංකල්………………."

තම මෝටර් රිය ආවරණය කීරීමේ කාර්යය මඳකට අත්හිටවූ ඔහු හිස ඔසවා බැලීය. මා වටකොට ගෙන සිටින මැරයින් සිව්දෙනා සහ අසල නතරකොට ඇති ත්‍රිරෝද රිය තුන දුටු ඔහු වහා තත්වය වටහා ගත්තේ යුහුසුළුව අප වෙත ලඟාවූයේය. මැරයෝ වහා ඔහු දෙසට හැරුණෝය.

"එන්නා? " අංකල් හඬනඟා විමසුවේය.

රියදුරු මැරයෝ වහා ඔහු වටකොට ගෙන තම පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කළෝය. සරදාර්වරයා ඔවුන් අමතා ව්‍යාක්ත දෙමළෙන් යම් ප්‍රශ්න කිහිපයක් ඇසූයේ ඔහුට හොඳින් තත්වය අවබෝධ කොටගැන්මට විය යුතුය. සර්දාර්වරයකු චෙන්නයිහී උපන් ද්‍රවිඩයකුසේ ද්‍රවිඩ භාෂාවෙන් චතුර ලෙස කථාකරනු දැක්ම පවා විශ්මය ජනකය.

"හරි දැන් මට කියන්න. ඔයා එන්නෙ කොහෙ ඉඳලද?" ඔහු මදෙස හැරී විමසුවේය. 

"එයාපෝට් එකේ ඉඳල.. "

"එයාපෝට් එකේ ඉඳල මෙතනට කවුද පන්සීයක් දෙන්නෙ? උපරිම රුපියල් සීයයි." සර්දාර්වරයා ස්ථිරසාර හඬින් තම තීරණය ප්‍රකාශයට පත් කලේය.

රියදුරෝ සිව්දෙනම බොහෝසේ කළබල වූවෝ එකම විට කථාකරමින් මේ තීරණයට තම බලවත් විරෝධය පාන්නට වූහ. "ඉල්ල ඉල්ල" යන දෙවදන බොහෝ වාරයක් භාවිතා කරමින් ඔවුහු සර්දාර්වරයා හා සමඟ වාදයට එළඹියෝය.

එහෙත් මිනිත්තු පහක පමණ කාලයක් වාදවිවාද කල පසු ඔවුහු රුපියල් සියයක් ගමන් ගාස්තුව වශයෙන් ලබා ගැනීමට එකඟ වූහ. සර්දාර්වරයාගේ ව්‍යක්ත ද්‍රවිඩ භාෂා නිපුණත්වය මෙන්ම ඔවුන්ගේ ඉල්ලීමේ වූ අසාධාරණත්වය ඔවුන්ම දැනසිටීම එසේ එකඟත්වයටකට පැමිණීමට හේතුවූවා විය හැක.

මගේ රියදුරා මගේ ගමන්මළු ත්‍රිරෝද රියෙන් ඉවතට ගෙන පදික වේදිකාව මත තබා මගේ රුපියල් සියයද කමිස සාක්කුවේ දමාගෙන තම මිතුරන්ද සමඟ නික්ම ගියේය.

"ස්තූතියි අංකල්,…" මම සර්දාර්වර්යා අමතා මගේ කෘතඥතාවය පළ කලෙමි. "ගොඩක් කල්ද මෙහෙ ..මම ..ඇහුවෙ මේ චෙන්නයි වලට ඇවිල්ල?"

"අපොයි ඔව්..බොහොම කල්..මම ඔය ළමයට එක අවවාදයක් දෙන්නද? මම හිටපු කල් විතර නම් මෙහෙ ඉන්න හිතන්න වත් එපා" ඔහු මගේ එක ගමන් මල්ලක් අතට ගත්තේය. "ඔයා පංජාබි නේද?"

මම සිනාසී හිස සලා ඒ එසේයයි ඇඟවීමි. 

"මගෙ ගෙදර එන්න ඕන වෙලාවක... චිකන් කෑල්ලක් කන්න නැත්නම් ඩ්‍රින්ක් එකක් එහෙම ඕන උනහම.."

මම යලිත් වරක් සිනාසී හිස සැලීමි.

"ආ තව වැදගත් දෙයක් කියන්න තියනව. ඔයා ඉන්න බිල්ඩිං එකේ මස් මාංශ තහනම්. වෙජිටේරියන්. ඒ එක්කම ඇල්කොහොල් සපුරා තහනම්."

"නෑහ්? "

"එහෙම තමයි මෙහෙ මිනිස්සුන්ගෙ හැටි. ජීවිතේ රසවිඳින්න කියල දෙයියො මවල තියන ඕනම දෙයක් මේ මිනිස්සු සලකන්නෙ වැරදි දේවල් නොකලයුතු දේවල් හැටියට"

මගේ නේවාසිකාගාරය පිහිටි ගොඩනැඟිල්ලේ විදුලි සෝපානය අසලදී සර්දාර්වරයා එසේ පවසා මගෙන් සමුගෙන ගොඩනැගිල්ලේ දොරටුවෙන් නික්ම පිටතවූ ඝන අඳුරට වැදනොපෙනී ගියේය.

*******************************************

අද කථාංගයට යොදන ඡායාරූපය කුමක් විය යුතුදැයි මම බොහෝසේ සිතුවෙමි. ඉතාම සුදුසු වනුයේ මා වටා ත්‍රිරෝද රථ රියදුරන් සිව් දෙනෙකු කරකැවෙමින් රංගනයක වැන්නක නියැලෙනු දැක්වෙන ඡායාරූපයක් වුවද එවැන්නක් සොයා ගැනීම ඉතා අසීරු විය. එබැවින් මම ඉතා ප්‍රියකරනා "සල්සා" නැටුමෙහි ඡායාරූපයක් මෙහි යෙදුවෙමි. සල්සා යනු 70 දශකයේ නිව්යෝක් නගරයෙහි ආරම්භවී ලොව පුරා පැතිරුනු ලතින් අමරිකානු ආභාෂය සහිත නැටුම් විශේෂයකි. "ඩියර් ජෝන්" චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ "චැනිං ටේටම්" සහ ඔහුගේ බිරිඳ "ජෙනා ඩූවන් ටේටම්" මේ ජවනිකාවේ පෙනී සිටිති.

නැටුම් ආශ්‍රිත කථා තේමාවකින් යුත් චිත්‍රපටයන්ට මම බොහෝ සේ ප්‍රියකරන්නෙමි. "චැනිං ටේටම්" සහ "ජෙනා ටේටම්" රඟන "Step Up" එවන් එක් චිත්‍රපටයකි. ඉක්බිති "Step Up" චිත්‍රපටමාලාවේ තවත් අනුයාත චිත්‍රපට හතරක් හෝ පහක් තිරගතවූ අතර ඒ සියල්ල එකසේ ජනප්‍රිය විය.

"Step Up" චිත්‍රපටයේ වීඩියෝවක් පහතින් ඇත.


48 comments:

  1. ත්‍රීවීල් එක 40kmph වගේ වේගෙන් ගියානම් මීටර් දෙසීයක් යන්න තප්පර 18ක් විතර යනවනෙ තප්පරේකට අකුරු 3ක් විතර කියාගත්තොත් එක නමකට අකුරු 54ක් විතර කියලා හිතාගන්නම් :D
    දෙවියන්ට වගේ නලුවොන්ට සලකන හිංදාම වෙන්නැති ඉන්දියාවේ සිනමාව ඒ වගෙ තැනක ඇත්තෙ.

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      / ත්‍රීවීල් එක 40kmph වගේ වේගෙන් ගියානම් මීටර් දෙසීයක් යන්න තප්පර 18ක් විතර යනවනෙ තප්පරේකට අකුරු 3ක් විතර කියාගත්තොත් එක නමකට අකුරු 54ක් විතර කියලා හිතාගන්නම් :D /

      යස් මීටර් දෙසීයක් යනව කියන්නෙ ගේමක් නෑ. චෙන්නයිවල තමයි තියනවය කියන්නෙ ලෝකෙ දෙවෙනියට දිගම වීදිය. නම මින්ට් ස්ට්‍රීට්. දිග කිලෝ මීටර් 2.6 ක්.

      Delete
    2. ඔන්න පාර ගැනත් බැලුවා ගූගල් ස්‍ට්‍රීට් විව් ඉන්දියාව ප්‍රතික්ෂේප කලානෙ නැත්තං හොඳට බලාගන්න තිබුණා :)
      ලඟදී දකුණු ඉන්දියන් ඉන්ජෙක් වැඩබිම් සේවකයින් දැනුවත් කරන්න කරපු කතාවක් මාත් අහගෙන හිටියා තේරෙයිද බලන්න ආතල් බුවෙක් ඇක්ට් කර කර කියපු හිංදා හොඳට තේරුනා . අන්තිමට කිව්වා මෙහෙ සරම් ඇඳගෙන එලියට යන්න එපා මේ චෙන්නායි නෙමෙයි චෙන්නායි නම් ලුංගි ඩාන්ස ලුංගි ඩාන්ස දාන්න තිබ්බා කියල ඩාන්ස් එක දාලම පෙන්නුවා :D

      Delete

  2. //"එහෙම තමයි මෙහෙ මිනිස්සුන්ගෙ හැටි. ජීවිතේ රසවිඳින්න කියල දෙයියො මවල තියන ඕනම දෙයක් මේ මිනිස්සු සලකන්නෙ වැරදි දේවල් නොකලයුතු දේවල් හැටියට"//

    එහෙත් එහෙමද? මෙහෙත් එහෙමනෙ

    ReplyDelete
    Replies
    1. කෙමෙන්ට් එකක් දාන්න කොපි කරගෙනම ආවේ අපරාදේ, මෙතනම +++++++++++++++++ දාලා යන්නම්

      Delete
    2. ඔය කොහේ ගැනද කියන්නෙ.

      Delete
    3. ඉයන්,

      පලාගෙන යනකොට කොහෙත් එහෙම තමයි...:)

      Delete
    4. Same here Nut Man
      +++++++++++++++++++++++++

      Delete
  3. ඉතිං ඉන්දියන් ත්‍රීවීල් කාරයෙක් හරි ලොයෙලා කොලේජ් හරි නුන්ගම්බක්කම් ටවුමේ පිංතුරයක් හරි දැම්ම නං ඉවරනෙ. නුන්ගම්බක්කම් කියන කොටත් ආසයි බං.මම චෙන්නායි ගිහිං ඉස්සෙල්ලම පදිංචි වෙලා හිටියෙ නුන්ගම්බක්කම් වල ගේක. අප්පා ඒ වගේ ලස්සන කාලයක්.

    ReplyDelete
    Replies
    1. හැලප,

      ෂික් කියන්ට එපාය...එහෙමනම් මම කොහොම හරි හොයල නුංගම්බක්කම්වල ෆෝටොස් එකක් දානවනෙ. හරි ලබන එකට දාන්නං...:)

      Delete
  4. අද බෑ. හෙට එඤ්ඤං

    ReplyDelete
  5. සියලු දකුණු ඉන්දියානු පුරුෂයින් මේ ආකාරනම් දකුණු ඉන්දියානු ස්ත්‍රීන් උතුරු ඉන්දියානු පුරුෂයින් හට යම් විශේෂිත ඇල්මක් දක්වන බවට මගේ මව කල ප්‍රකාශයෙහි බොහෝවිට යම් සත්‍යතාවයක් තිබිය හැකි බව මට සිතිණි.//////// correct

    ReplyDelete
    Replies
    1. එයාල විතරමද? අපි ඊටත් දකුනේනේ

      Delete
    2. ඇණයා,

      හැබෑට කිව්වත් වගෙ අපි ඊටත් දකුණෙ නේද?

      Delete
  6. අර ඉන්දියානු ත්‍රස්තවාදී රියදුරන් අතින් උඩුකුරුඤ්ඤං නොවී බේරුන එකයි පුදුමේ.

    ReplyDelete
    Replies
    1. විචා,

      එහෙනං එහෙනං...:)

      Delete
  7. Dear Ravi, As I could not wait, I downloaded the .pdf English version of this novel and finished yesterday. oya kiyana tharam rahak nethi unath kiyawala iwara kala. Can you suggest some other novels of Chetan Bhagat and of R K Narayan or any other author in this calibre for me to give a try please? Your writing style is amazing buddy. Thanks

    ReplyDelete
    Replies
    1. Anonymous,

      First of all thanks for your appreciation....

      Chetan Bhagat has written 6 novels to date.

      1. Five Point Someone
      2. One Night @ the Call Center
      3. The 3 Mistakes of My Life 
      4. 2 States , The story of my life
      5. Revolution 2020 
      6. Half Girlfriend 

      They are all light-hearted writings about how young Indians cope with problems they encounter in today's life. So if you like that genre go for them too..:)

      R.K. Narayan has written so many books. I have read only about five or six. But I can safely recommend any book written by him.

      Sir V.S.Naipaul is a Trinidadian writer of Indian origin. May be you would like to read Khushwant Singh, Arvind Adiga, Vikram Seth & Amitav Ghosh too.

      Delete
  8. කථාව නම්හොඳට පරිවර්තනය කරල තියෙනවා. හැබැයි මට හම්බ වෙච්ච මොන ඉන්දියන්කාරයත් මහ වැඩකට නැති එවුන්. එක පාරක් ඔය උතුරු ඉන්දියාවෙ එකෙක් හම්බවෙලා මම ඇහුවා මොන රටෙන්ද කියලා, මූ කියපි I am from North India කියලා. මම එතකොට ඇහුවා එතකොට උතුරු ඉන්දියාව, දකුණු ඉන්දියාව, නැගෙනහිර ඉන්දියාව කිය කිය රටවල් කීපයක් තියෙනවද කියලා. මිනිහා ඇඹරිලා කියනවා, එහෙම නෑ එක රටයි තියෙන්නෙ කියලා. ඊට පස්සෙ මම කිව්වා උතුරෙද, දකුණෙද, නැගෙනහිරද මට වැඩක් නෑ, මටනම් උඹ ඉන්දියානුවෙක් විතරයි කියලා.

    ReplyDelete
    Replies
    1. ඔහොම එකක් ඇහුවමයි, UP කියල නේවේද කිවේ? රොබට් ටත් ඉන්දියාවේ නළුවෙක්ගේ වගේ ලුක් එකක් තියෙද්දිත් ඌ එහෙම කිව්වේ, UK (උත්තර්ඛාන්ද්) එකෙක් වෙන්නැති.

      Delete
    2. රොබර්ට්,

      එහෙම එවුන් ඉන්නව...:)

      Delete
    3. උන් එහෙම කියනවා තමයි. අකුනේ උනුත් උථුඑ උන්ට කැමති නැහැ නේද.

      Delete
  9. ක්‍රිෂ්ගෙ පිනකට අර මනුස්සයා ආවේ...
    කොහොමද සැලකිල්ල, පිළිගන්න දුන්න අතම ගහන්නත් දික් කළා... මට නම් හිතට වැදුනේ ඒ කොටස:D..


    ReplyDelete
    Replies
    1. නිර්මාණි,

      එහෙනම් එහෙනම් පිනකටම තමයි...:)

      Delete
  10. මාතෘකාව දැක්කගමන් මතක්වුනේ චින්තා ලක්ශ්මි සිංහාරච්චි මහත්මියගේ පරිවර්තනයක තිබුන දඟර නැටුම. පොතේ නම මතකවිදිහට නිහඬ වනපෙත හරි මොකක් හරි.

    ReplyDelete
    Replies
    1. කටුස්සා,

      කියවල නෑ බං...:)

      Delete
    2. පොතේ හරිනම අරණකට පෙම්බැඳ..... ෂික්...ඒ නම අමතක වෙන්න තරම් මම බල්ලෙක් වෙලා

      Delete
    3. This comment has been removed by the author.

      Delete
  11. ඉල්ල මීටර්ල එක්ක වලි, සුන්දර මතක සටහන්

    ඉක්මනට දාන්න IIT එන්ටරන්ස් විභාගේ ගැන වීඩියෝ ලින්ක් එකක් තියා ඉන්නවා එපිසෝඩ් එක එනකම්, තව නම් බලා ඉන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      IIT එන්ට්‍රන්ස් විභාගේ ගැන?

      Delete
  12. ඒ කියන්නේ ඉන්දියාවේ ටැක්සි කාරයින්ගෙන් අඩම්තේට්ටම් විඳලා තියෙන්නේ මම විතරක් නෙවෙයි..

    අනන්‍යා මතක් කලාට ස්තුතියි රවී.. අයෙත් ලියන්න පටන් ගන්න ඕන මගේ අනන්‍යා ගේ කතාව..

    ReplyDelete
    Replies
    1. අම්බලං,

      අම්මට වූඩූ තාත්තට ගෝයා කිව්වලු..උඹේ අර අනන්‍යා කතාව නේද? උඹ තෙපර බබා ඉඳල අන්තිමට එක කොටසයි ලිව්වෙ නේද? ෂික්...මොකක්ද ඒකෙ නම? මේ වාදීබසිංහ සංජීවනී ද මොකක්ද නේද? ...හෙහ්,හෙහ්,

      Delete
  13. සල්සා එක්ස්පර්ට්ලා පුංචි කොන්ඩ ගෙඩියක් තදට බැඳගෙන් නේද නටන්නේ

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      එහෙමද? මට එච්චරම නෝට් නෑ.

      Delete
  14. හැක්.. අර සර්ද‍ාර් කාරය ආවෙ නැත්තං ඉතිං කන්න හම්බ වෙන්නෙ අති විශිෂ්ට‍යි සර් කෑමක් තමයි.

    ඔහේටත් තිබුණෙ අර රැජිනිකාන්ත් අයියට බිම දිගාවෙලා වඳින්න නෙ.

    ReplyDelete
    Replies
    1. Prasanna,

      එහෙම බිම දිගාවෙලා වඳිනවට කියන්නෙ දණ්ඩ නමස්කාරය....:)

      Delete
  15. මම බල බල හිටියෙ ඔන්න ගැහුවා මෙන්න ගැහුවා දැං ගැහුවා කියකියා. කොහෙද මේ මොට්ට ටැක්සි කාරයෝ ගැහුවෙ නෑනේ . ශික් අම්මප

    ReplyDelete
  16. මම බල බල හිටියෙ ඔන්න ගැහුවා මෙන්න ගැහුවා දැං ගැහුවා කියකියා. කොහෙද මේ මොට්ට ටැක්සි කාරයෝ ගැහුවෙ නෑනේ . ශික් අම්මප

    ReplyDelete
    Replies
    1. දෙපාරක්ම ගහන්න බෑ කියල උංට දුක හිතෙන්න ඇති බං.

      Delete
  17. මේ පාරෙ නම දිග වැඩි එක ගැන කණගාටුව ප්‍රකාශ කරන්න යන සීන් එක උඹගේ වැඩක් නේද? :) ඔය වගේ අඤැඤකොරොස් අදහස් සාමාන්‍යයෙන් පහල වෙන්නෙ උඹට තමා.

    ප්‍රභාකරන්ටත් අනුගාමිකයෝ කිව්වේ තලෙයිවර් (boss) කියලා නේද?

    ReplyDelete
    Replies
    1. //ඔය වගේ අඤැඤකොරොස් අදහස් සාමාන්‍යයෙන් පහල වෙන්නෙ උඹට තමා.//
      නැතුව නැතුව, සත්ගුණවත් මහා දානපති සොරි.. මහා ප්‍රාග්ඥ ර.වී. තුමාට ඇර වෙන කාටද ඔය අදහස් පහල වෙන්නෙ.

      Delete
  18. යන්තම් බේරිලා නේද.. මමත් හිතුවෙ ගිය විදිහට ගුටි කයි කියලා...

    ReplyDelete
  19. කෙටියෙන්ම කිව්වොතින් ඔබේ ලිවීමේ රටාව නම් බොහොම රසවත් රවී...

    නොදන්නා වැඩිහිටි පිරිමි කෙනෙකුට අංකල් කියලා කතා කිරීමේ ගැටළුවක් ඉන්දියාවෙත් නැහැ වගෙයි නේද...?

    මේක කියව්වද්දී මතක් වුනේ 2006 වගේ කාලේ දිල්ලි එයාර්පොර්ට් එකෙන් බැහැල, ටැක්සි එකේ යද්දී දැක්කේ ඒකෙ පැති කන්නාඩි නැහැයි කියල...මගේ පුදුමය සෑහෙන අමාරුවෙන් දරාගත්තේ...ඒ කාලෙත් අපේ අම්බලන්ගොඩ අය්ය මගේ යාළුවා...ඉන්දියා ගිහින් ඇවිත් එයාගෙන් ඇහුවම කිව්වා ඒ එහෙ හැටි තමයි කියල...

    චෙන්නායි එයාර්පොර්ට් එක ගැන මගේ හිතේ තියෙන්නේ අපේ ලංකාවේ එළවලු පොළක් ගැන වගේ හැඟීමක්...

    ReplyDelete
  20. හරි ලස්සනට ලියලා රවී.. මේ පාරේ නමේ දිග ගැන කියවන කොට මට මතක් වෙන්නෙ ඕනම ෆොර්ම් එකක් පුරවද්දි මම මුණ දෙන අපහසුතාවය.. මගේ මුලු නම අකුරු 46 ක් දිගයි, මගෙ සැමියගේ ඊටත් වඩා දිගයි..

    ReplyDelete
  21. Story put to blog is very intresting thing. I like too it.

    ReplyDelete
  22. මුන් ගහන්නේ නම් නැතිවෙයි. එළිවෙනකන් වටේ ඇවිද ඇවිද ඉඳියි. අර ජය ලලිතට වඳින්නෙත් මෙයාලමනේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...