Wednesday, January 4, 2017

470. Me before you - The story of Lou and Will…..

Me before you & After you

ලුයිසා ක්ලාක් - 

ජීවිතය පිළිබඳ විශාල අපේක්ෂාවන් හෝ දීර්ඝ කාලීන ඉලක්කයන් කිසිවක් නොමැති විසිහය හැවිරිදි කෙළිලොල් යුවතියක වන  ලුයිසා ඇය වසන කුඩා නගරයේ ආපන ශාලාවක වේටර්වරියක වශයෙන් සේවය කරන්නීය. හදිසියේම ආපන ශාලාව වසාදැමීම නිසා රැකියාව අහිමිවන ඇයට සිදුවනුයේ හදිසි අනතුරක් හේතුකොටගෙන අත් පා මුළුමනින්ම අක්‍රීයව රෝද පුටුවකට සීමාවී දිවිගෙවන තිස්පස් හැවිරිදි විල්ට ඔහුගේ එදිනෙදා කටයුතු සඳහා සහාය වීමටය. එහෙත් පළමු දිනයේහිදීම ඇයට වැටහෙනුයේ විල්  කිසිසේත්ම ඇය නොරුස්සන බවකි. එහෙත් තම නිවසේ දැඩි ආර්ථික අපහසුතා හේතුකොටගෙන ලුයිසා කෙසේ හෝ මාස හයක කාලයකට සීමා වන මේ රැකියාවෙහි නිරතවීමට අධිෂ්ඨාන කරගනී. 

විලියම් ට්‍රේනර් - 

ලොව පුරා සංචාරය කරමින්, ස්කයි ඩයිවිං වන් අවදානම් සහගත ක්‍රීඩාවන්හි නිරතවෙමින්, තම ව්‍යාපාර කටයුතු සාර්ථකව පාලනය කරමින්, ඉතා නිදහස් ජීවිතයක් ගතකල විල් හදිසි අනතුරක් හේතුකොටගෙන මුළු ජීවිත කාලය පුරාම රෝද පුටුවකට සීමාවූ ජීවිතයක් ගතකල යුතු ආබාධිතයකු බවට පත්වෙයි. නිරන්තරයෙන් තමන් පෙලන දැඩි වේදනාව නිසාම කිසිවකු නුරුස්සන ඔහු වරක් තම දිවි නසාගැන්මට පවා තැත් කරයි. 

මේ ඔවුන් දෙදෙනාගේ අනුවේදනීය කථාවේ එක් පරිච්ඡේදයකි........ 

විල් සහ මා අතරවූ අප්‍රකාශිත ගැටුම සමනය කොට ගැන්මට අප දෙදෙනම චේතනාන්විතව කිසිදු උත්සාහයක් නොදැරූවද අප අතර සුහදත්වයක්ම නොවූවද යම් එකඟතාවයක් වැන්නක් වර්ධනය වෙමින් පැවතිණි. එහෙත් එය මුළුමනින්ම රඳා පැවතියේ ඔහුගේ දිනෙන් දිනට වෙනස්වන මනෝභාවයන් (Moods) සහ ඊටත් වඩා එදිනෙදා ඔහු විඳිනා වේදනාවේ තීව්‍රතාවය මතය. 

සමහර දිනවල උදෑසන ඔහුගේ තදින් පියාගත් තොල් සහ විරූපවූ මුව දුටු වහාම ඔහු එදින කිසිවකු සමඟ කථාකිරීමට පමණ හෝ නොකැමැති බව මම වටහා ගනිමි. එවන් දිනයන්හි ඔහුට බාධා නොවන ලෙස හැකි පමණ ඔහු මඟහරිමින් ඔහු ජීවත්වූ උපගෘහයෙහි (Annexe) වෙනත් කුමන හෝ කටයුත්තක නිරත වන්නෙමි. එහෙත් ඒ සමඟම ඔහුගේ අවශ්‍යතාවයන් පිළිබඳද සැළකිලිමත්වීමට මම වගබලා ගත්තේ ඒ පිළිබඳව කොතෙකුත් විමසමින් ඔහු වෙහෙසට පත්කිරීමට ද මැලිවූ බැවිනි. 

ඔහු විඳිනා වේදනාවන්ට හේතූන් බොහොමයක් විය. අක්‍රියාකාරී මාංශ පේශීන් ඔහුට බොහෝ වේදනා ගෙන දුන්නේය. ඒ ඔහුගේ භෞත චිකිත්සක වශයෙන් කටයුතු කල නේදන් තමන්ට හැකි පමණ ව්‍යායාම් කරවීමෙන්ද අනතුරුවය. මාංශ පේශීන්ගෙන් නැඟෙන වේදනාවට අමතරව විල් ජීර්ණ පද්ධතියේ අක්‍රමිකතා කරනකොටගෙන ඇතිවන ආමාශයේ වේදනාවෙන්ද, උරහිස් වේදනාවෙන්ද, ඒ සමඟම මූත්‍රාශයේ ආසාදනයකින්ද, නිරන්තරයෙන් පීඩා වින්දේය. 

යතුරු පැදි අනතුර සිදුවූ ආසන්නයේම දැඩි වේදනාව දරාගනු නොහැකිව විල් වේදනා නාශක පෙති විශාල ප්‍රමාණයක් වෛද්‍ය උපදෙස්ද නොතකා භාවිතා කොට තිබිණි. ඒ හේතුකොටගෙන මේ වනවිට ආමාශයේ හටගත් වණයකින්ද ඔහු දැඩිලෙස පීඩා වින්දේය. 

එළෙසම එකම ඉරියව්වෙන් දීර්ඝ කාලයක් හිඳ සිටීම හේතුකොටගෙන විටින් විට විල්ගේ පසුපස පෙදෙසෙහි තුවාල කිහිපයක් හටගත්තේය. කිහිපවරක් එම තුවාල සුවවනතෙක් ඔහුට සයනයෙහි මුණින් තලාව හිඳීමටද සිදුවිය. දවස මුලුල්ලේ එසේ සයනයෙහි ගත කිරීම ඔහු දැඩිව පිළිකුල් කල නමුදු ඒ සඳහා වෙනත් කිසිදු විකල්පයක් නොවිණි. 

එසේ සයනයෙහි ගත කිරීමට සිදුවූ සම්පූර්ණ කාලය විල් ගත කලේ ආයාසයෙන් මැඩපවත්වාගත් කෝපයෙන් දිළිසෙනා ඇසින් යුතුව ඔහුගේ හිස අසල වූ කුඩා මේසයක් මත තැබූ ගුවන් විදුලි යන්ත්‍රයට සවන් දෙමිනි. වරින් වර ඔහුට දරුණු හිසරදයක්ද වැළඳිනි. ඔහුගේ සිතතුල තෙරෙපෙන දැඩි කෝපය සහ අපේක්ෂා භංගත්වය ඊට හේතුවන්නට ඇතැයි මට සිතිණි. 

එහෙත් විල් වඩාත්ම බෙලහීන කලේ විටින් විට ඔහුගේ අත්ලෙහි සහ පතුලෙහි හටගෙන නිර්දයලෙස ඔහුපෙළන ලද ගින්දරෙන් පිළිස්සෙන්නාක් බඳුවූ දරුණු වේදනාවයි. එවන් අවස්ථාවලදී ඔහු කලේ තොල් සපාගනිමින් වේදනාව ඉවසීමට තැත්කිරීමය. සිසිල් ජලයෙහි පෙඟවූ තුවායක් වැන්නක් වහා ඔහුගේ අතුල් සහ පතුල් වටා එතීමෙන් තරමක් හෝ ඔහු පෙලන වේදනාව සමනය කිරීමට මම උත්සාහ කළෙමි. 

වේදනාව ඉතාම අධික වූ කල්හි ඔහුගේ කම්මුලෙහි සිහින් මස් පිඩුවක් ගැහෙන්නට වෙයි. එවිට ඉතා තදින් දෑස් පියාගන්නා විල්  සයනය මත වැතිර සිටිනා ඔහුගේ සිරුර අත්හැර කොහෙදෝ ඈතකට පාව යන්නාක් සේ මට සිතෙයි. සමහරවිට එවන් දරුණු වේදනාවක් විඳ දරාගැන්මට හැක්කේ එළෙස පමණක්ම වන්නට ඇත. 

ඔහුට කිසිදු ප්‍රයෝජනයක් නොමැති, එමෙන්ම කිසිදු හැඟීමක් නොදැනෙන අත් සහ පා නිසා මෙවන් දරුණු වේදනාවක් විඳීමට සිදුවීම බලවත් අසාධාරණයක් ලෙස මට බොහෝවිට සිතිණි. 

මෙසේ කොපමණ දරුණු වේදනාවකින් පෙලුනද විල් කිසිදු විටෙක ඒ ගැන වචනයකින් හෝ සඳහනක් නොකලේය. ඔහු පෙලෙනා වේදනාවේ තරම වටහා ගැන්මට මට සති කීපයක් ගතවූයේ එබැවිනි. ක්‍රමයෙන් මම ඔහුගේ හැඟීම් වහා වටහා ගැන්මට සමත් වූයෙමි. ඔහුගේ දීර්ඝ නිශ්ශබ්දතාවයන් එලෙසම ඇස් සිහින්ව මලානිකවීම් ආදියට මම වහා සංවේදී වන්නට උගතිමි. එළෙසම සමහරවිට ඔහු මා අමතා මෙසේ පවසයි. "ලුයිසා..සීතල වතුරයි අර තුවායයි ගේනවද කරුණාකරලා?" නැතහොත් "අර වේදනා නාශක පෙති දෙක තුනක් බිව්වොත් නම් දැන් හොඳයි වගේ..." එවිට වහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට මම ඉගෙන ගතිමි. 

සමහරවිට ඔහු පෙලන වේදනාව කොපමණ දරුණුද යත් ඔහුගේ මුහුණ මළමිනියක මෙන් සුදුමැලි වේ. ඒ වනාහී ඔහුට මෙන්ම මටද ඉතාමත් අභාග්‍යසම්පන්න දිනයන්ය. එහෙත් එවන් අභග්‍යසම්පන්න දිනයන් හැර අනෙක් දිනයන්හි අප දෙදෙන යම් සුහදතාවයකින් කතා බහ කලෙමු. මා සේවයට පැමිණි මුල්දිනයන්හි මෙන් ඔහු මා යමක් පැවසූවිට ඇණුම් පදයකින් ඊට පිළිතුරු දීමේ පුරුද්ද අත්හැරදැමීය. 

අද දිනද එසේ ඔහු වේදනාවෙන් නොපෙලෙන දිනයකි. එබැවින් ඔහුගේ මව එනම් ට්‍රේනර් මහත්මිය වසන්තය එළඹීමට පෙර විල් වාසය කරන උපගෘහය ශුද්ධ පවිත්‍ර කිරීමට සේවිකාවන් යෙදවිය යුතු බව පැවසූ කල්හි මම වහාම විල් ද සමඟ එළිමහනේ ඇවිදින්නට ගියෙමි. 

ට්‍රේනර් මැදුරෙහි අංගනය වටා ඉදිකොට ඇති දුඹුරුවන් ගලින් නිමවූ පවුර අසලින් දිවෙන කපා ඔපමට්ටම් කල ගල් ඇල්ලූ පෙත්මඟ ඔස්සේ විල් ඔහුගේ රෝද පුටුව සෙමෙන් ධාවනය කල අතර මම උදෑසන පතිත පිණි බිඳු තවමත් මැකී නොගිය හරිත තණ බිස්ස ඔස්සේ ඇවිද ගියෙමි. මා පැළඳ හුන් පැතලි සැටින් පාවහන් යුවල සීතල පින්නෙන් තෙත්ව අඳුරු පැහැගැන්විනි. 

"හ්ම්ම්ම්...ඔයාගෙ ඔය සපත්තු කුට්ටමේ පාට නම් හරිම අපූරුයි" විල් පැවසීය. 

හරිතවර්ණ මෝස්තරයකින් යුතු මේ පාවහන් යුවල මම මිලදී ගත්තේ නගරයේ අඩුම මිල පාවහන් වෙළඳ සැලෙනි.

"ඔයාගෙ සපත්තු කුට්ටම නම් හරිම අපූරුයි"
විල් පැවසීය.

"ඔයා දන්නවද? ඔයා ඇඳුම් අඳින්නෙ මේ අහල පහල කවුරුවත්ම අඳින විදිහට නම් නෙවෙයි. මම හැමදාම උදේ බොහොම නොඉවසිල්ලෙන් ඉන්නෙ අද මොකක්ද ඔයා ඇඳගෙන එන විච්චූර්ණ ඇඳුම කියල බලන්න..හෙහ්,හෙහ්," 

"හරි දැන් මට කියන්න කොහොමද මේ අහල පහල ඉන්න අය අඳින්නෙ කියල?" මම දෙබැම රැලිකොටගත්වනම විමසීමි. 

අප ගමන් ගන්නා මාර්ගය මතට ඇද වැටී තිබූ දිරාගිය අත්තක් මඟ හැරීමට විල් රෝද පුටුව ස්වල්පයක් වමට හැරවීය. 

"ඔය වුලන් හරි ලොම් වලින් හරි කරපු මහ මෑලි පාට සාමාන්‍ය ඇඳුමක් අඳියි. නැත්නම් අපෙ අම්මගෙ සමාජ මට්ටමේ කෙනෙක් නම් ටවුමෙ අර සුප්‍රසිද්ධ ඇඳුම් සාප්පු දෙක, ජේගර් හරි විස්ල්ස් හරි, අන්න ඒ දෙකෙන් එකකින් ගත්තු ඇඳුමක් අඳියි. එච්චරම තමයි" 

මම කිසිවක් නොදොඩා ඔහු දෙස බලා සිටියෙමි.

"ඉතිං කියන්නකො කොහෙන්ද ඔයා මේ අපූරු විලාසිතා පුරුදු වුනේ? මේ පුංචි නගරෙ ඇරුනු කොට වෙන කොහෙද ඔයා ජීවත්වෙලා තියෙන්නෙ?" 

"වෙන කොහෙවත් නෑ " 

"මොකක්? ඒ කියන්නෙ ඔයා උපන්දා ඉඳල මෙහෙමද හිටියෙ?" 

"ඔව් ඇත්තමයි මෙහෙ විතරමයි" ඔහු දෙස හැරුනු මම දෑත් ළය මත බැඳගත්වනම පෙත්මඟ මධ්‍යයේ සිටගතිමි. "ඉතිං? මොකද? මොකක්ද මුලු ජීවිත කාලෙම මෙහෙ හිටියම තියෙන අවුල?" 

"එහෙම දෙයක් මම හිතුවෙ නෑ ඇත්තම කිව්වොත්. මම කියන්නෙ මේ නගරෙ බොහොම පුංචියිනෙ.මෙහෙ කිසිම අලුත් දෙයක් සිද්ද වෙන්නෙ නෑ. මුලු නගරෙම පවතින්නෙ අන්න අර මාළිගාව හින්දනෙ." 

අපගේ කුඩා නගරයේ ආර්ථිකය රඳා පැවතුනේ සත්‍ය වශයෙන්ම නගරය අසල කඳු ගැටයක් මත පිහිටි පෞරාණික මාළිගයක් මතය. අප සිටින තැනට බොහෝ අපූරුවට දර්ශනය වූ එම මාළිගය දෙස අප දෙදෙන මඳක් ගමන අත්හිටුවා බලා සිටියෙමු. 

"මට හැම වෙලාවෙම හිතෙන්නෙ මේ වගෙ තැන් තියෙන්නෙ මිනිස්සුන්ට ලෝකෙ පුරහම ඇවිදල කරල මහන්සි උනාම ආපහු එන්ට කියලයි.එහෙම නැත්තං ඉතිං වෙන කොහේවත් ගැන හිතන්න තරම් පරිකල්පන ශක්තියක් නැති උදවියටත් මේ වගෙ තැනක් නරකම නෑ" විල් මදෙස ඇස් කොණකින් බලමින් පැවසීය. 

"බොහොම ස්තූතියි……." මම පැවසූයේ ඉවත බලාගනිමිනි. 

"නෑ ඇත්තම කියනවනම් මේ නගරෙ විතරක් අරං බැලුවම මොකවත් එහෙමකට වැරැද්දක් කියන්ටනම් නෑ. ඒත් ඔයාම හිතල බලන්නකො. මෙහෙ හරිම නිද්‍රාශීලියි නේද? මෙහෙ මොකවත්ම අලුත් දෙයක් සිද්ද වෙන්නෙ නෑ." 

"හ්ම්ම්ම්..තව?" 

"මෙහෙ මිනිස්සු හරිම ගතානුගතික විදිහට හිතන්නෙ. කිසිම වෙනසකට කැමති නැහැ." 

මම ඔහු දෙස බලා සිනාසුණෙමි. 

"ක්ලාක්, ඔයාගෙ වයස විසිහයයි. ඔයා මේ නගරෙන් පිටවෙලා යන්ට ඕනෙ. ඔයාගෙ ඔය අපූරු විලාසිතාවලින් සැරසිලා ලෝකෙ පුරා ඇවිදින්ට ඕන. පිටරටක බාර් එකකට ගිහිල්ල බියර් වීදුරුවක් හෝ වයින් වීදුරුවක් බොන්න ඕනෙ. මම කියන එක තේරෙනව නේද ඔයාට?" 

"මට මෙහෙ කිසිම ප්‍රශ්ණයක් නෑ. මම හොඳ සතුටෙන් මෙහෙ ඉන්නෙ" මම වහා ඔහුට හරස්කැපුවෙමි. 

"එහෙම වෙන්න විදිහක් නෑ ක්ලාක්... කරුණාකරල ඔයා එහෙම වෙන්න එපා"

"අනික් මිනිස්සු ජීවිතේ ගෙවන්න ඕන කොයි විදිහටද කියල ඒ ගොල්ලන්ට උපදෙස් දෙන්න ඔයා හරිම කැමතියි නේද?" 

"ඔව්, හැබැයි හැම වෙලාවෙම නම් නෙවෙයි. මම හරියි කියල මට ස්ථිරනම් විතරයි" විල් පැවසීය. "කරුණාකරල මගෙ තේ කෝප්පෙ තව ටිකක් මෙහාට හරවනවද? ඒක තියන විදිහට මට මෙතන ඉඳල බොන්න අමාරුයි" විල්ගේ රෝද පුටුවෙහි ඔහුට එහි හිඳගත්වනම හිස නොහරවාම බීම බටයක ආධාරයෙන් තේ හෝ වෙනත් පානයක් පානය කල හැකි ලෙස සකස්කල අල්ලුවක් ඇත. නිවසින් පිටවීමට පළමු මම එම අල්ලුවෙහි තේ වීදුරුවක් රැඳවූයෙමි. 

වහා ඔහු වෙත ගිය මම බීම බටය ඔහුගේ මුවට තවත් ආසන්න වනසේ අල්ලුව සකස් කළෙමි. හමායන සීතල සුළඟ හේතුකොටගෙන විල්ගේ කන් අගිසි රෝස පැහැයට හැරී තිබිණි. 

තේ උගුරක් පානය කල විල් මුව ඇඹුල් කලේය. "දෙයියනේ. ඔයා මීට කලින් අර අතන තේ කඩෙත් වැඩ කලා කිව්ව නේද? ඒත් ඇත්තම කිව්වොත් මේ තේ එකනම් අන්තිමයි." 

"ඔයාට එහෙම හිතෙන්නෙ මොකද දන්නවද? ඔයා ලෙස්බියන් තේ වලට පුරුදුවෙලා. අනික ඔය චීනෙං ගෙන්නන එක එක බෙහෙත් කොල දාපු මල්පෙති දාපු තේ එහෙම කිසිම වැඩකට ඇති තේ නෙවෙයිනෙ. එව්වට පුරුදු උනහම වෙන්නෙ හොඳ තේ එකක් බොන්ට බැරුව යනව. අන්න ඒකයි ඔයාටත් වෙලා තියෙන්නෙ" 

" මොකක්? ලෙස්බියන් තේ?....." විල් පානය කල තේ උගුර පිට උගුරේ යන්නට ඇත. ඔහු කහින්නට පටන් ගත්තේය. "මොනව උනත් ලෙස්බියන් තේ හොඳයි මේ වාර්නිෂ් වගෙ තේ වලට වැඩිය. මේ බලන්න මේ තේ කෝප්පෙ මට ඕනනම් මේ හැන්ද කෙලින් හිටවලා තිබ්බැහැකි" ඔහු යලිත් මදෙස බලා එසැණින් ඉවත බලා ගත්තේ සිනහවක් දෙතොලග සඟවමිනි. 

(පළතුරු, මල් හෝ වෙනත් ඖෂධයන්හි රස හෝ සුවඳ ගන්වා නිපදවන තේ සඳහා "ලෙස්බියන් තේ" යනුවෙන් කටවහරේ (Slang) යෙදෙයි.) 

"දැං ඒ කියන්නෙ මම තේ එකක් හැදුවත් ඒකෙත් මොකක් හරි වැරැද්දක් තියනව" මම ඔහු ඉදිරියේ වූ යකඩෙන් කල අසුනෙහි හිඳගෙන හරි බරි ගැසුනෙමි. 

මේ මම විල් සමඟ විවෘතව කථාකිරීමට අවස්ථාවක් ලැබෙන තුරු උදක්ම බලාපොරොත්තුව සිටි කරුණකි. "එතකොට මට මේක කියන්න කරුණාකරල..ඔයාට අයිතිය තියනව මම කරන කියන හැමදේකම මොකක් හරි අඩුපාඩුවක් දකින්නට එතකොට විවේචනය කරන්නට. ඒත් මම හරි වෙන කිසිම කෙනෙක් හරි ඔයාගෙ අඩුපාඩුවක් කියනවට ඔයා පොඩ්ඩක්වත් කැමැත්තක් නෑ. ඒක සාධාරණද කියල මට කියන්න" මම එක දිගට කියවාගෙන ගියෙමි. 

විල් හිස පහත්කොටගෙන ස්වල්ප වේලාවක් නිහඬව සිටියේය. අනතුරුව හිස එසවීය. "හරි ලුයිසා ක්ලාක් මෙනෙවිය. කියන්න. මොනවද ඔයාට මම ගැන කියන්න තියෙන්නෙ? මගෙ අඩුපාඩු වැරදි ඔක්කොම කියන්න…..කිසිම ප්‍රශ්නයක් නෑ" 

"ම්ම්ම්....බලමු……….." මම කල්පනාවේ නිරතවන බවක් ඇඟවීමි. "ඉස්සෙල්ලම ඔයාගෙ කොණ්ඩෙ කොට කරල කැපුවොත් හොඳයි. ඔහොම කොණ්ඩෙ වවාගෙන ඉන්නකොට ඔයා නිකං රස්තියාදුකාරයෙක් වගේ පේන්නෙ ඕනම කෙනෙකුට." 

"ඔන්න ඔන්න ඔයත් ඒ පාර මගෙ අම්ම වගේ වෙන්නයි හදන්නෙ." 

"අම්ම වගේ හරි වෙන කවුරුහරි වගේ හරි..මම කියන්නෙ ඇත්ත...හරි අඩුම ගානෙ ඔය වවාගෙන ඉන්න රැවුලවත් කපන්න බැරිද? ඔහොම රැවුල දිගට වැවුනම නිකං මේ කහනව කහනව වගේ දැනෙන්නෙ නැද්ද?" 

විල් වදනකුදු නොදොඩා මොහොතක් මාදෙස එක එල්ලේ බලා සිටියේය. මම සිනාසුනෙමි. "හිහ්.හිහ්..මම කිව්වෙ ඇත්ත නේද? කහනව නේද නොසෑහෙන්ඩ?...ඒක තමයි ...මම දන්නව නෙව. හරි ඔන්න අද හවස මම ඔයාගෙ ඔය රැවුල ඔක්කොම කපන එක කපනවාමයි .ආය ඒකෙ දෙකක් නෑ" 

"මොන පිස්සුද? මට බෑ………." 

"ආ..එහෙම කොහොමද? බෑ කියල නම් හරියන එකක් නෑ. ඔයා මගෙන් ඇහුවනෙ ඔයාගෙ අඩුපාඩු ගැන. ඉතින් එක අඩුපාඩුවක් තමයි ඔහොම රැවුල වවාගෙන ඉන්න එක. ඒ හින්ද මම හදන්නෙ ඒ අඩුපාඩුව නැතිකරල දාන්න. ඔයා කිසිදෙයක් කරන්න ඕන නෑ. සද්ද නැතුව ඉන්න එකයි තියෙන්නෙ. මම වැඩේ කරන්නම්කො" 

"මම එකහෙලාම එපාම කිව්වොත්?" 

"ඔයා එපාම කිව්වත් සමහරවිට මම ඒක කරන්න ඉඩ තියනව..හිහ්..හිහ්...අනික ඔය රැවුල තව දිගට වැවුනොත් මට ඔය රැවුල අස්සෙ රිංගල මැස්සො කැරපොත්තො එහෙම අල්ලන්ට වෙනව. සමහරවිට මීයො හිටං. එහෙමවුනොත් මට සමහරවිට ඔයාට විරුද්ධව කම්කරු උසාවියෙ නඩු දාන්ටත් වෙයි අනතුරුදායක රාජකාරි කටයුතු වෙනුවෙන් අතිරේක ගෙවීම් නොකිරීමට එරෙහිව..හිහ්..හිහ්..." මම එසේ පවසා අසුනින් නැඟිට හඬනඟා සිනාසුණෙමි. 

විල්ගේ දෙතොලග මතුවූ සිනහව වත පුරා පැතිර යාමට ගතවූයේ මොහොතකි. ඔහු එසේ නිරායාසයෙන් සිනාසෙන්නේ ඉතා කළාතුරකින් බැවින් මසිත මහත් ප්‍රමෝදයකින් පිරීගියේය. 

"ක්ලාක්…………" විල් මා ඇමතීය. "මට පොඩි උදව්වක් කරනවද?" 

"මොකක්ද?" 

"මගෙ වම් කණ පොඩ්ඩක් කහනවද? මේ..... මට ඉවසගන්ටම බැරි තරමට එතන කහනව"

"හරි මම ඔයාගෙ වම් කණ විතරක් නෙවෙයි ඕනනම් දකුණු කණ වුනත් කහන්නං. හැබැයි ඔයා අද හවස මට ඔයාගෙ රැවුල කපන්ඩ ඉඩ දෙන්නම ඕන. මොකද කියන්නෙ?" 

"ඔන්න ඕකනෙ කියන්නෙ..ඔය ඉතිං පොඩ්ඩක් ඉඩ දුන්නම…" 

"හරි හරි කලබල වෙන්න එපා. කිසිම ප්‍රශ්ණයක් වෙන එකක් නෑ. මමත් ජීවිතේට කාගෙවත් රැවුලක් කපලම නෑ. බලමුකො එහෙනම් නේද?


"මමත් ජීවිතේට කාගෙවත් රැවුලක් කපලම නෑ.
කපලම බලමු නේද?" 


******************************* 

විල් සහ ලුයිසාගෙ කතාව ගැන මට ඉස්සෙල්ලම කිව්වෙ අපේ සිත්තමී තරුණ නෝනා මහත්මිය. එතුමී මාස හතර පහකට ඉස්සෙල්ල "Me before you" පොතේ කොටසක් පරිවර්තනය කරල පෝස්ට් එකක් විදිහට පළකලා. ඉතිං සිත්තමීගෙ රසඥතාවය ගැන මම දන්න හින්ද මම ඇහුව ඒ පොතේ PDF කොපියක් එහෙම නැද්ද? කියල. ඒ පාර මට හැරෙන තැපෑලෙන් එකක් එවල තිබ්බ. 

ඒත් ඇත්තම කිව්වොත් මට ඔය කම්පියුටර් ස්ක්‍රීන් එකේ පොත් කියවන එක හරියට මරන්නා වගෙ. බැරිම නම් මිසක තමයි. අපි ඉතිං හැත්තෑවෙනි දශකයේ පොත් කියවන්ට පටංගත්තු උදවිය වෙච්චි. භෞතික පිට කවරයක් තියන , නහයට ලංකලාම කඩදාසි සුවඳයි මුද්‍රණ තීන්ත සුවඳයි එන හැබෑම පොතක් කියවන එක වගෙ කොහෙද කම්පියුටර් එක දිහා බලාගෙන කියවන එක? නෑ කියනවද? 

ඉතිං මේ මෙහෙට සිසිර කාලෙ. රීඩිං ලෑම්ප් එක පත්තු කරගෙන කොට්ට දෙක ඇඳ විට්ටමට හේත්තු කරල බ්ලැන්කට් එකකුත් පොරවගෙන පොතක් කියවන එකේ තියන අසමසම සතුට වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. ආ...යන්තං නින්ද යාගෙන එනකොට ඉබේම පොත බඩ හෝ පපුව උඩට වැටෙනව. මට එහෙම්මම නින්ද යනව. ආය සමහරවෙලාවට ඇහැරෙන්නෙ රෑ එකට දෙකට. දණිපනිගාල පොතේ අන්තිමට කියවපු තැන පිටුව නමල , පොත මේසෙ උඩ තියල, ලෑම්ප් එක ඕෆ් කරල මම නිදාගන්නව.......

ඉතිං ඔය කම්පියුටර් එකේ පොත් කියවීමට ඇති බලවත් නොකැමැත්ත හින්දම අර Me before you පොත කියවන එක දවසින් දවසම කල් ගියා. ඊට පස්සෙ මේ පහුගිය මාසෙ නත්තල් දවසෙ මම ගියා මෙහෙ අලුත විවෘත කරපු පොත් සාප්පුවකට. අප්පටසිරි ගජ..මෙන්න ඒකෙ පොත් රාක්කයක එක තට්ටුවක්ම පුරවල Jojo Moyes ගෙ පොත්. (Jojo Moyes කිව්වෙ අර Me before you පොතේ කතුවරිය, හොඳේ?) ඒ පාර Me before you පොතයි ඒකෙ අනුගාමී කෘතිය (Sequel) වන After you පොතයි දෙකම ගත්ත ඔන් ද ස්පොට්. තවම Me before you පොතේ කාලක් වත් කියවන්ට වුනේ නම් නෑ. ඒ කියවපු හරියෙ මට අල්ලල ගිය කොටසක් තමයි ඔය පරිවර්තනය කලේ.......

සුවිශේෂී ස්තූතිය - සිත්තමී නෝනා මහත්මියට.....

46 comments:

  1. මම පොත කියවල නෑ. ෆිල්ම් එක නම් බැලුවා. ෆිල්ම් එකෙන් නම් ඒ හැටි රසයක් දැනුනේ නෑ.. හැබැයි හෙන ලස්සන ෆිල්ම් එකක් කියල හැමෝම කියනවා. අනේ මන්ද.

    ෆිල්ම් එක බලද්දී නිකන් සීනි බෝල ගතියක් මට දැනුනේ.. පොතකින් මවා ගන්නවා වගේ නෑනේ කොහොමත්.


    ඔය පොතත් සිංහලෙන් මේකේ ලියන්න ගත්තොත් නම් රවියෝ වෙඩි තියනවා වයස බලන්නේ නැතුව හරි ද?

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      /ෆිල්ම් එක බලද්දී නිකන් සීනි බෝල ගතියක් මට දැනුනේ.. පොතකින් මවා ගන්නවා වගේ නෑනේ කොහොමත්./

      ෆිල්ම් එක නම් මම බැලුවෙ නෑ. මෙහෙ ඒක බලන්න බෑ.පොතේ මම කියවපු කොටස ටිකක් භාවාතිශය ගතියක් නම් තියනවා තමයි. භාවාතිශය කියන්නෙ සිංහලෙන් සැන්ටිමැන්ටල් කියන එක. ඒත් මාත් බොහෝ දුරට සැන්ටිමැන්ටල් බුවෙක් හින්ද අවුලක් වුනේ නෑ. සීනිබෝල කියල උඹ අදහස් කලේ මල්ලි මම හිතන්නෙ ඒ සැන්ටිමැන්ටල් සීන්ස් වෙන්න ඕන...හෙහ්,හෙහ්,

      /ඔය පොතත් සිංහලෙන් මේකේ ලියන්න ගත්තොත් නම් රවියෝ වෙඩි තියනවා වයස බලන්නේ නැතුව හරි ද?/

      පිස්සුද කොල්ලො? විකාරද අමරදේව... මේක සිංහලෙන් ලියන්නේ නැත.වෙන වැඩක් නෑ එහෙනං...

      (වෙන වැඩක් නෑ කන්ඩ..එහෙම කිව්වෙ අපෙ උන්දැගෙ ලොකු අම්ම කෙනෙක්. ඒ ලොකු අම්ම ජීවිතේ අන්තිම කාලෙ ඇඳේමයි හිටියෙ. කිසිම දෙයක් කන්නෙ නෑ. ලොකු අම්මගෙ දුවල එහෙම බත් අරං ගියාම බැණල පන්න ගන්නව. "අරං පලයල්ල මට එපා ඔව්ව..හුහ්..වෙන වැඩක් නෑ කන්ඩ" ඔහොමයි කියන්නෙ. ඉතිං ඒ අක්කල ආපහු යනව.."අනේ මල්ලි බලන්ටකො මේ අම්ම එක්ක බෑනෙ" එහෙම කියකිය. මට නේද? මැරෙන්ට හිනා)

      අපි පොඩි කාලෙ කිව්ව මෙහෙම කවියක්..

      සීනි දාල වෙඩි තියනව
      කූඹි කාල මැරිල යන්ට...

      Delete
  2. සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      එසේම වේවා එසේම වේවා..ඔබටද ඔබගේ ප්‍රියම්බිකාවටද සියලු නෑදෑ හිතවන්ටද සුබ නව වසරක්ම වේවා!!!

      Delete
  3. කරුණ කිවූ පොත හොඳයැයි සිතන්නෙමී
    වරුණ ලිවූ ඔබෙ ලිපියත් බලන්නෙමී
    පිරුණ සතුට රඳවගන්න කියන්නෙමී
    අරුණ මතින් සුභ වසරක් පතන්නෙමී........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      කරුණ කිව්වම මතක් වුනේ අපූරු ගීතයක්..

      රැයේ තුන්යම තබා අළුයම මුදා නිදි දැහැනින්
      කරුණ කිව මැන වෙලන මා සිත කල්පනා රැහැණින්

      සුබ නව වසරක් දුමී ඔබටත් පවුලේ සැමටත්!

      Delete
  4. මටත් කම්මැලිම වැඩක් කම්පියුටර් එකේ පොත් කියවනඑක

    ReplyDelete
    Replies
    1. මල්,

      අයියෝ එපා වෙනවා...:)

      අනික මම පොත් කියවන්න පුරුදු වෙලා තියෙන්නෙම ඇඳේ දිගාවෙලා. වෙන ඉරියව් හරියන්නෙම නෑ. ඒකත් එක හේතුවක් වෙන්න ඇති..:)

      Delete
  5. දැං ඔහේ හිතන්නෙ ඔහේගෙ මේ පල්හෑලි මොනිටරේ දිහා බලාගෙන කියෝන එක අපට හෙන ආතල් වැඩක් කියලද. හැක්..

    සුබ අලුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
    Replies
    1. දැං ඔහේ හිතන්නෙ ඔහේගෙ මේ පල්හෑලි මොනිටරේ දිහා බලාගෙන කියෝන එක අපට හෙන ආතල් වැඩක් කියලද. හැක්..HAK HAK HAK

      Delete
    2. හොඳ වෙලාවට අලුත් අවුරුද්දට සුබ පැතුවෙ. නැත්තං රවී අයිය ඩුබායි වල ඉඳල මිසයිලයක් එවනව ගොඩකවෙලට සෙනිකවම.

      Delete
    3. ප්‍රසන්න,

      තොට කියවන්ට බැරිනං නිකා ඉඳු...ආතල් හරි මොක හරි...:)

      Delete
    4. ප්‍රසන්න,

      සුබ නව වසරක් වේවා!!
      ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා!!
      ණයට බඩුගත් පාරිභෝගිකයින් නව වසරේ වැල නොකැඩී පැමිණ පෝළිං සෑදී ණය ගෙවත්වා!!
      බහුතරයක් පාරිභෝගිකයින්ට ඉතුරු සල්ලි අමතක වෙත්වා!!

      Delete
  6. මේ ටික කියෙව්වහම පොත කියවන්න ආසාව වැඩි උනා...

    ReplyDelete
    Replies
    1. තුශානි,

      අන්න එහෙම හිතුනනං එච්චරයි....:)

      Delete
  7. මටත් පොත කියවන්න ආසාවක් ඇතිවුනා උඹේ පෝස්ට් එක කියවලා. ඊට පස්සේ පැතුම්ගේ කමෙන්ට් එක කියෙව්වම ආපහු මොකක්ද හිතුනා.

    අපි දන්න කෙනෙක්ගේ(ඉතා ප්‍රසිද්ධ චරිතයක් ) පොඩි දුව මහරගම කැන්සර් හොස්පිට්ල් එකට ලෙඩෙක් බලන්න ගිය ගමන්වලදි, නේවාසික රෝගියෙක් සමග පෙම් සබඳතාවයක් පටන්ගත්තා. ඔහුගේ ජීවිතය සුවපත් කරගෙන විවාහවීමේ ස්තිර අදහසක් තිබුනා. මේ දුවගේ ගෙදරින් කැමතිත් වුනා අවසානයේදී. සීරියස් ලව් එකක්. හරි පුදුමයි ඒ දැරිවිගේ තරුන වයසත් එක්ක ඒ සිතුවිල්ල. ඒත් දැන් සති කිහිපයකට පෙර අර දරුවා ඉස්පිරිතාලයේදීම මිය ගියා. මේ කතාව මීට වඩා හරිම දුකයි. සංසාර කතාවක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. දුක හිතෙන කතාවක්නෙ අරූ...

      Delete
    2. ඒ සම්පූර්ණ කතාවම ඇහුවොත් ඇඬෙනවා.

      Delete
    3. ඔහොම අය ඉන්නෙ බොහොම කලාතුරකින්.

      Delete
    4. ප්‍රසන්න...මෙතන තියෙන් සුවිශේෂම කාරනේ තමයි මැයගේ පියා අතිශය ජනප්‍රිය කෙනෙක් වීම. එහෙම අයගේ ලමයි කෙලින පිස්සු බලපුවාම මේ කතාව අදහගන්නත් අමාරුයි.

      Delete
    5. අරූ, පොත කියවද්දී සමහර වෙලාවට දැනෙන හැඟීම වෙනස් ෆිල්ම් එක බලනවට වඩා. සරලවම මට දැනුනේ මෙච්චරයි. ඒ කෙල්ල සහ කොල්ලා අතරේ පට්ට ලව් එකක් ඇතිවෙන තරම් දෙයක් ඒ ෆිල්ම් ඒක බලද්දී මට දැනුනේ නෑ.. අම්බානක් සල්ලි තියෙන හැන්ඩ්සම් කොල්ලෙක් කෙරෙහි ඕනෑම කෙල්ලෙක් තුල ඇතිවෙන පොඩි ක්‍රෂ් එකක් වගේ එකක් විතරයි මට නම් පෙනුනේ.

      වෙනස් ම විදියේ පට්ටම ආදරයක් ගැන තියෙන අමුතු කතාවක් බැලුව නම
      Danish Girl

      Delete
    6. පැතුම්,

      /ඒ කෙල්ල සහ කොල්ලා අතරේ පට්ට ලව් එකක් ඇතිවෙන තරම් දෙයක් ඒ ෆිල්ම් ඒක බලද්දී මට දැනුනේ නෑ../

      කතාව ඇත්ත. ෆිල්ම් එකක ඒ හැඟීම දෙන්න හරි අමාරුයි.එහෙම වෙන්න නම් ඉතාම දක්ෂ නලුවෙක් හෝ නිළියක් වෙන්න ඕන. මේ දෙන්නම එහෙම සුපිරි නළුවො නෙවෙයි. සිරිමැදුර ෆිල්ම් එකේ මේ වගෙම චරිත දෙකක් (රෝද පුටුවක ඉන්න ධනවත් තරුණයෙක් සහ ඔහු බලාගන්න මෙහෙකාර තරුණියක් ) කලා රවීන්ද්‍ර සහ අනෝජා...අන්න ඇට්ටිං...හෙහ්,හෙහ්,

      අනික් අතට පොතක පාඨකයට ඒ හැඟීම දෙන්න පුලුවන් ලේසියෙන්ම දක්ෂ රචකයෙකුට. මම හිතන්නෙ මෙතන වෙලා තියෙන්නෙ අන්න ඒක.

      Delete
    7. Aru,

      /මටත් පොත කියවන්න ආසාවක් ඇතිවුනා උඹේ පෝස්ට් එක කියවලා. ඊට පස්සේ පැතුම්ගේ කමෙන්ට් එක කියෙව්වම ආපහු මොකක්ද හිතුනා/

      නෑ බං පැතුමා එහෙම කියන්නෙ පොත කියවල නැතුව ෆිල්ම් එක බලලනෙ. මම හිතන්නෙ පොත වෙනස්.

      /ඒත් දැන් සති කිහිපයකට පෙර අර දරුවා ඉස්පිරිතාලයේදීම මිය ගියා. මේ කතාව මීට වඩා හරිම දුකයි. සංසාර කතාවක් වෙන්න ඇති./

      අඩේ මාර දුක හිතෙන කතාවක්නෙ...හොඳ කෙටි කතාවක් ලිව්වැහැකි ඒකෙං

      Delete
  8. ෆිලුමට වඩා පොත රසයි වගේනේ. ශෙක්, පොත් ගොඩක් මේසේ උඩ, බොහොම ලොකු නස්තැල්ජියාවක් හැදෙන්නයි යන්නේ ... ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එතන තියන පොත් දෙකක නම් හරියට කියවගන්න බෑනේ

      Delete
    2. ඇණේ,

      ස්පීකර් එක උඩ තියෙන්නෙ Lee Childගෙ "The Visitor" සහ Stephen King ගෙ "The Green Mile"

      Delete
  9. දැන් ඉතින් ඔය එව්වාය කියන PDF එක හරි, ඒකෙ ලින්ක් එක හරි දැම්ම හෙනගහනවද මම අහන්නේ!

    ReplyDelete
  10. දැන් ඉතින් ඔය එව්වාය කියන PDF එක හරි, ඒකෙ ලින්ක් එක හරි දැම්ම හෙනගහනවද මම අහන්නේ!

    ReplyDelete
  11. Excellent translation Ravi. Got me craving to read.

    ReplyDelete
  12. You've chosen my favorite dialogue from the book ayya. :) I liked the movie too. But the book allows us to understand and analyze the characters better. Still couldn't touch the sequel.

    No need of thanking; anyway, you're welcome. :)

    Happy new year! :)

    ReplyDelete
    Replies
    1. Siththami,

      Thanks for the comment...I know you are so busy these days..:)

      Happy new year to you, Siththara & my little brother...heh,heh

      Delete
  13. // දණිපනිගාල පොතේ අන්තිමට කියවපු තැන පිටුව නමල පොත මේසෙ උඩ තියල ලෑම්ප් එක ඕෆ් කරල මම නිදාගන්නව //

    මට පේන්ටම බැරි ජාතියක් තමා ඔයා පොත්වල බලු කන් නවන එවුන්.. උඹ නාකියා නෙවෙයි නං දෝහාවලටම ඇවිල්ලා ඇවිල්ලා කණට දෙකක් දෙන්නෙ.. :-P

    ReplyDelete
    Replies
    1. බූරා,

      /මට පේන්ටම බැරි ජාතියක් තමා ඔයා පොත්වල බලු කන් නවන එවුන්../

      හෙහ්, එහෙම බලනකොට දැං මම හොඳයි බං...මීට කලිං මම කලේ කියවල නවත්තපු තැන පිටුවෙ කොණෙං පොඩි කෑල්ලක් ඉරල දාන එක. ඒ කාලෙ එහෙම උඹ මාව දන්නවනං කිණිස්සකිං දමල අනින්නෙ...හෙහ්,හෙහ්,

      Delete
  14. පුලුවන්නම් මේකත් පරිවර්තනය කරනවද? හොද පොතක් වගේ.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      සම්පූර්ණ පොතම පරිවර්තනය කරන එක නම් කරන්න අමාරුයි...:(

      Delete
    2. Ravi ayya, I really love to see how you would translate that Molahonkey Song in the book. :D Someone really really good (like you of course) should do it, otherwise it would be ruined.

      Delete
  15. අලුත් අවුරුද්දෙ අබිං පෝස්ට් එකක් දැම්මා එහෙනං.. දැන් ඉතිං ඔක්කොම වැඩ නවත්තලා පොත කියෝලා ෆිල්ම් එකත් බලපංකො..))

    ඔය ඊ බුක්ස් කියවන්න බැරිකම රවී මාමා හැත්තෑව දශකෙ පොත් කියවන්නෙක් වීම නිසා වෙන දෙයක් නෙමේ මයෙ හිතේ.දෙදාහෙන් පස්සෙ පොත් කියවන්න පටන් ගත්ත මටත් පිටුවෙන් පිටුව පෙරළලා පොත් කියවන එකෙන් ලබන සතුට කවදාවත් ඊ බුක් එකක් කියවලා ලබාගන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. වැසි දැරිය,

      /දෙදාහෙන් පස්සෙ පොත් කියවන්න පටන් ගත්ත මටත් පිටුවෙන් පිටුව පෙරළලා පොත් කියවන එකෙන් ලබන සතුට කවදාවත් ඊ බුක් එකක් කියවලා ලබාගන්න බැහැ./

      අප්පේ... ඔහේ ඉතිං මොකද? "ඔලුව ජපං, කඳ ජර්මං, කකුල ඉතාලී" කිව්ව වගෙ ඔහෙගෙ සරීර කූඩුව මේ දසකයෙ තිබ්බට ඔලුව තියෙන්නෙ වෙන කොහෙවත්නෙ...හෙහ්,හෙහ්,

      PS - අපහාසයක් නොව ප්‍රශංසාවක් බව කරුණාවෙන් සළකනු මැන.

      Delete
  16. සිත්තමී අක්ක කියුව නම් හොඳ පොතක් වෙන්න ඕනේ... එහෙනම් ඉතින් ඉතුරු කොටසත් කියවලා පාඨක රස වින්දනය උදෙසා බ්ලොගයේත් ලියන්නකෝ...

    ReplyDelete
    Replies
    1. ආ ඒක නෙවෙයි රවී අයියේ... වර්ෂයි මායි මේ ලඟදී හම්බුනාම ඔයාව මතක් කළා... සෑහෙන දේවල් කතා උනා...

      Delete
    2. නිර්මාණී...

      /සිත්තමී අක්ක කියුව නම් හොඳ පොතක් වෙන්න ඕනේ./

      එහෙනං එහෙනං ආය මොනවද?

      /වර්ෂයි මායි මේ ලඟදී හම්බුනාම ඔයාව මතක් කළා... සෑහෙන දේවල් කතා උනා.../

      ඔව්..වොව්..වොව්...ඕක ඉතිං කියන්ටත් දෙයක්ය? කෙල්ලො දෙන්නෙක් මුණගැහුනම අනිවා කතා කරන්නෙ ඉතිං හැම්සං කොල්ලෙක් ගැන තමයි...:)

      Delete
    3. දැං කවුද හැන්සං..? කවුද කොල්ලා..?

      අපි කතා වුණේ ඔයැයිගෙන් මේ බ්ලොග් ලෝකෙට වෙලා තියෙන විනාසෙ ගැන.. නැතුව වෙන මොනාවත් නෙමේ.නැද්ද අක්කෙ..))

      Delete
    4. අනිව... අපි ඒකම තමයි කතා කලේ...
      හිතේ ඇති හැන්සම් කොල්ලෙක් කියලා:D
      කොල්ලෙක් කියුවනම් කමක් නෑ... හැන්සම්:D

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...