Friday, July 28, 2017

519. විල්බගෙ අලියා, නුඹ කොතැන හිටියම මොකද? සහ වෙනත් කතා…

ගියපාර අර කේරළේට පීනන්ට හදපු අලි නාම්බා ගැන කියල එහෙම මට මතක්වෙච්චි අලි කතාවකුත් කියන්නම්ය කියල හිතුවට ඒ අපේක්සාව ඉස්ට කරගන්ට උනේ නෑ. ඒ හින්ද අද විල්බ ගැන පොඩ්ඩක් විස්තර කරලම කතාව කියන්නං. කියන්ට යන කතාවටත් ඒක වැදගත්. මොකද මේ අලිකතාවෙ විල්බත් ප්‍රධාන චරිතයක්.

ආ..විල්බා කිව්වෙ අර මම කියාපු එයා ෆෝස් නන් කමිෂන්ඩ් ඔෆිසර්... නන් කමිෂන්ඩ් කිව්වම මතක් වෙන්නෙ නන් පේරියල් එස්ටේට් එක. හෝටන් තැන්නෙ ලෝකාන්තෙන් පහළට පැන්නයි කියමු කවුරු හරි. අහසෙ පාවෙලා ගිහිල්ල වැටෙන්නෙ බලංගොඩ බෙලිහුල් ඔය කිට්ටුව තියෙන නන් පේරියල් වත්තට.

විල්බ ඇවිල්ල ජා ඇල. හොඳ භක්තිමත් කතෝලිකය. ඒ වගේමයි කුණුහරප කියන එව්ව කියන්නෙ කටේ තොලේ නොගෑවී. ආය කෙල්ලො ගෑණු ඉන්නවය කියල ගානක් නෑ. ඔහේ ඇදල අරිනව කුණු හරුප. අපි ඉතිං ඒ දවස්වල කණේ සබනුත් තියෙන පොඩි කොල්ලොනෙ. කටවල් ඇරගෙන බලා උන්නෙ විල්බ කුණුහරප වපුරන දිහා. විල්බ උගෙ වයිෆ් ඉස්සරහත් කිසි ගින්නක් නැතුව කුණු හරප කියනව. ඒ යෝදිටත් එව්වයෙ ගානක් නෑ. පුරුදුවෙලා තියන විදිහ වෙන්ටැ මයෙ හිතේ. ඒ වගෙම තමයි මිසිස් විල්බට්ට හොඳට බොන්ටත් පුලුවනි. අපිට ඒ කාලෙ ඉතිං ඕකත් මහ පුදුමයක්.

හරි හරි ඒ සියලු විස්තර පසුවට. දැං එමු විල්බගෙ අලි කතාවට. හෙක්ටෙයාර් දහ පාලොස්දාහක කුඹුරු කරන්ට වතුර දුන්නු මහ ඇලට අපේ ඔෆිස් එකේ ඉඳල තිබ්බෙ මීටර් තුන්සීයක වගෙ දුරක්. ZD කියල අමරිකන් කොම්පැණියක් ඒ ඇල හදපු හින්ද ඒකෙ නිල නාමය වම් ඉවුර ප්‍රධාන ඇල මාර්ගය (L.B.M.C. or Left bank main canal) වෙනුවට අපි කවුරුත් කිව්වෙ ZD ඇල කියල. 

ඕක මට මතක විදිහට අඩුම ගානෙ අඩි පණහක් හැටක් වගෙ ගැඹුරුයි. පළලත් ඇති අඩි දෙසීයක් විතර. පතුල සහ දෙපැත්තම උඩට යනකල්ම කොන්ක්‍රීට් ආස්තරණය (Concrete lined) කරල තියෙන්නෙ ජල හානිය වළක්වා ගන්ට. ජලය ගලා යාමේදී ඝර්ෂණය (Friction) නිසා වෙන වේගය අඩුවීම අවම කරගන්ට කොන්ක්‍රීට් එක ඉතාම සුමටයි සහ සුමුදුයි. මේ පල්ලෙහා තියෙන්නෙ අන්න එහෙම ඇළක පින්තූරයක්. 

කොන්ක්‍රීට් ආස්තරණය කල ඇල මාර්ගයක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

ඉතිං වැඩේ කියන්නෙ මොකෙක් හරි සතෙක් බැරිවෙලාවත් ඕක වැටුනොත් ගොඩ එනව බොරු. වතුර පිරිල තියෙනම් ඔය මොකක් හරි කරල දඟලල ගොඩ එතෑකි. ඒත් කුඹුරු නොකෙරෙන කාලෙට ඇලේ වතුර එවන්නෙ නෑ. ඒ කාලෙ ඉතිං අලියෙක්, මුවෙක්, ගෝනෙක් එහෙම වැටුනොත් සොරිම තමයි. ආය ගොඩ එනව බොරු.

ඉතිං කොහොමත් මාස දෙක තුනකට සැරයක් ඔය මහ ඇළට අලියෙක් වැටෙනවම තමයි. එදාට ඉතිං අහල පහල ගම්වල කොල්ලො කුරුට්ටොන්ට මඟුල් වගෙ තමයි. මෝටර් බයිසිකල් පුෂ් බයිසිකල් වල නැඟල ඇල ඉවුර උඩ ඉඳගෙන හෝන් ගගහ අර අහිංසක සතා එහාට පන්නගෙන යනව. ඊට පස්සෙ මෙහාට පන්නගෙන එනව. අලිය ඉතිං වලිගෙත් උඩ තියාගෙන මෙලෝ සිහියක් නැතුව දුවනව එහාට මෙහාට. පමණක් එවුං ගොඩට එන්ට ෆුල් ට්‍රයි කරල නියපොතු හිටං ගැලවිල ගිහිල්ල ලේ ගලනව.

ඔය අලිංගෙ නියපොතු බොහොම ඉක්මනට වැවෙනව කියල දන්නවද? කැළේ ඉන්න අලින්ට නම් අවුලක් නෑ  ගල් බොරලු උඩිං දවසට කිලෝ මීටර් ගාණක් කෑම හොයාගෙන ඇවිදින හින්ද උංගෙ නියපොතු ස්වභාවිකවම ගෙවෙනව. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ හීලෑ අලි ඇත්තුන්ට. විශේෂයෙන්ම සත්වෝද්‍යාන වල ඉන්න එවුන්ට. උංගෙ නියපොතු ගෙවෙන්න විදිහක් නෑනෙ. ඒ හින්ද එව්ව කාලෙන් කාලෙට කප්පවන්ට වෙනව. ඒකත් හෙණ කෝස් එකක්. පොඩි ඉලෙක්ට්‍රික් කියත් තියනව ඒ වැඩේට. දෙහිවල සත්වෝද්‍යානෙ ඔය වැඩේ කරන්නෙ ප්‍රසම්පාදන (ඒ කිව්වෙ ටෙන්ඩර්) කැඳවල.

හරි හරි ආයම එමු අලි ඇළට වැටෙන එක ගැන කතාවට. කොල්ලො කුරුට්ටො අර අලියට වද දෙන අතරෙ වැඩිහිටියො ඇවිල්ල උංවල එලවල දාල අලියට කන්ට කොල අතු එහෙම ගෙනත් දානව. ඒ අතරෙ පොළොන්නරුවෙ වනජීවී එකට පණිවිඩයක් යවනව. ඔන්න දවස් දෙක තුනකට පස්සෙ වන ජීවි එකෙන් එනව. ඇවිල්ල බොහෝවිට කරන්නෙ මාදුරුඔය මෙහෙයුම් කාර්යාලයට දන්වනව ඇලේ වතුර එවන්ටය කියල. ඔන්න ෆුල් වතුර එකක් ආහම අලි රාජයත් ඒ එක්කම උඩට පාවෙලා එනව. ඉතුරු හරිය කඹ දාල බැකෝ එකක් ගෙනල්ල අලියව ගොඩට ඇදල ගන්නව. ඒ වෙනකොට අලිය හොඳටම හෙම්බත් වෙලා. සමහර එවුන් ඒත් දණිපනි ගාල කැලේ දෙවනත් කරගෙන දුවනව. සමහර සෝමාරි අලි එතනම ඇල බන්ඩ් එකේ වැටිල ඉන්නව දවසක් විතර. එහෙම උනහම වනජීවී එකෙන් උංට බෙහෙත් විදිනව. බොහෝවිට ඔය එක්ස්ටැසි නැත්නම් මෙතෆෙටමයින් වගෙ එව්වයෙ Elephant version එක වෙන්ට ඇති.

එහෙම බෙහෙත් විද්දම ඌ ටිකකින් නැඟිටල යනව. ඒත් සමහර එවුන්ට එහෙමත් යන්ට අමාරුයි. බාගෙට කෙලින් වෙලා ආයම හරහ වැටෙනව. එහෙම අලිය හරහ වැටිල ඉන්නකොට රෑ දෙගොඩ හරියෙ සමහර වෙලාවට උගෙ රංචුවත් එනව ඌව බලන්ට. ඇවිල්ල ඌට නැඟිට්ටවගන්ට රෑ තිස්සෙ ට්‍රයි කරල අසාර්ථක උනහම උදේම හතර දිසාවටම ඇහෙන්ට මහ හයියෙං කුංචනාද පවත්තල යනව. 

ඒ මං හිතන්නෙ මිනිස්සුන්ට වෝනිං එකක් වෙන්නැති. "උඹල බලාගෙනයි අපේ එකාට හිරිහැරයක් කලොත් එහෙම.. අපි අදත් රෑ වෙලා එනව. ඕන වුනොත් හෙටත් එනව...." අන්න එහෙම වෙන්න ඇති. අර අන්තරේ නායක රැවුල් කාරයා කොල්ලො කෙල්ලො ටික ඉස්සෙල්ල යවල උංට පොලීසියෙං මදි නොකියන්ට සබ්බුව වැදුනට පස්සෙ ඇවිල්ල ටී.වී. මයික් ඉස්සරහ වැඩ්ඩ වෙන්නෙ.."අද ගුටි කෑවට අපි හෙටත් එනව"  කියල..අන්න එහෙම වෙන්ට ඇති...හෙහ්,හෙහ්,

දැන් මේ කතාව ඉස්සරහට ගෙනියන්ට තවත් කාරණයක් කියල ඉන්ට ඕන. ඒ දවස්වල අපේ ඔය වැඩිහිටි සහෝදර නිලධාරීන් බොහෝ දෙනෙක් කුඹුරු වැඩ කලා. ඒ කිව්වෙ කුඹුරු හිමි ගොවියො එක්ක පොඩි එකඟතාවයකට ඇවිල්ල වියදම දුන්නම අස්වැන්නෙං සීයට ගානක් ලැබෙනව. පවුල් පන්සල් වෙලා දරුවො තුන් හතර දෙනා ඉන්න උදවියට ඒ අමතර ආදායම ලොකු හයියක්. අපි ඒ කාලෙ ඔය පොඩි එවුන්නෙ. අපි ඔව්ව කලේ නෑ. 

විල්බට් අයිය ආපු ගමන්ම ඔය වැඩේට බැස්ස. "නිකම්ම මේ හද්ද කැලේ ඉන්න එකේ කීයක් හරි සාධාරණව හොයාගත්තට මක් වෙනවද මල්ලි?"  එහෙමයි මනුස්සය අපි දැක්ක කිව්වෙ. ඉතිං විල්බ හවුල් වෙච්චි කුඹුර තිබ්බෙ ඔය මහ ඇළත් එක්කම පාවුල. ඇලත් එක්කම තියෙන හින්ද කවදාවත් වතුර හිඟයක් එන්නෙ නැතිවෙයි කියල ඔය කුඹුරු කෑල්ල විල්බට රෙකමන්ඩ් කලේ අපේ චන්දරේ.

ඉතිං මට මතක විදිහට ඒ අසූපහේ මහේ කුඹුරු කරන කාලෙ. විල්බගෙ කුඹුරත් බොහොම සාරෙට හැදිල තිබ්බ. එක දවසක් සුපුරුදු පරිදි අලියෙක් මහ ඇළට වැටිල කියන ආරංචියට අපිත් ජීප් එකක නැඟල බලන්ට ගියා. ආය මොනවද? අර මම කලින් කියපු සීන් කෝන් එක ඒ විදිහටම රඟ දැක්වෙනව. කොල්ලො අර සතා පස්සෙ එලවගෙන යනව එහාට මෙහාට. ඌ ආත බූත කඩාගෙන දුවනව කෑගහගෙන. වැඩිහිටියො ඇවිල්ල කොල්ලොන්ට බැනල එලවල දානව. 

ඒ කිට්ටුව දවසක රෑත් අපි විල්බගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පලු ගහ යට සෙට් වුනා. හුළං අත මාරුවෙනකොට එතකොටත් ඇහෙනව අලි කෑගහන සද්දෙ. ඒ අර ඇලේ ඉන්න අලියගෙ රංචුවෙ කට්ටිය ඇවිල්ල. ඇළ වට කරගෙන කෑගහනව. ඒ සද්දෙත් තිබ්බෙ බොහොම දුක් වේදනාවක්. 

"සික් මේ සත්තු කෑ ගහන සද්දෙ අහගෙන ඉන්ටම බෑනෙ..." මම එහෙම කියල පපඩම් කෑල්ලක් අතට ගත්ත. 

"අනේ මන්ද වයිල්ඩ් ලයිෆ් එකෙන් කවදා එයිද කියල  දැනටම මේ යස්සය ඇළට වැටිල දවස් තුනකුත් උනානෙ" විල්බට් එහෙම කිව්ව.

"හැබෑට කවදාවත් වන ජීවී එකෙන් මෙච්චර පරක්කු වෙලා නෑනෙ...මොකද දන්නෙ නෑ"  ඒ චන්දරේ..

එදා අපි කර්තව්‍යය අහවරයක් කරල වැලිපාර පුරහම ආපහු අපේ ක්වාටර්ස් එකට එද්දිත් හුලං අතත් එක්ක අලි කෑගහන සද්දෙ අපේ පස්සෙං ආව.

පහුවදා උදේ වැඩට ගිහිල්ල මම දවල්ට කන්න ක්වාටර්ස් එකට එනකොට කට්ටියම වටවෙලා බර කතාවක්.."මොකෝ බං? මොකක්ද කේස් එක?" මම ගෙට ගොඩවුනේ එහෙම අහගෙන..

"වනජීවී එකෙං ඇවිල්ල අලිය ගොඩ දාන්ටයි යන්නෙ....අපි යන්ට කියල ඉන්නෙ බලන්ට. උඹත් එනවද?

"බෑ බං මට හවස වැදගත් වැඩක් තියනව"

"මොකක්ද බං ඔච්චරම වැදගත් වැඩේ?"

"අර D2 ඇලේ එක ලඟම ඩ්‍රොප්ස් තුනක් එනව. අද ඒ ටික සෙට් අවුට් කරන්ට ඕන. ඔය වැඩේ හරියට කෙරුනෙ නැත්තං හබක්. උඹල දන්නවනෙ ඒ සයිට් එකේ ඉන්න ගුණතිලක බාසා මහ පණ්ඩිතයනෙ"

ඇල මාර්ගයක් නිර්මාණය කරනකොට ඒකෙ පතුල එක නියමිත ආනතියකට තියෙන්න ඕන. ආනතිය වැඩිවුනොත් වතුර ගලන වේගය වැඩිවෙලා පතුලයි දෙපැත්තෙ ඉවුරයි හේදිල යනව. ආනතිය අඩුවුනොත් වෙන්නෙ වතුර ගලන වේගය නියමිත අගයට වඩා අඩුවෙන එක. ඉතිං පිහිටි පොළවෙ මට්ටම එක පාරටම වෙනස් වුනහම මේ නියමිත පතුලෙ ආනතිය පවත්වා ගන්ට හදන්ට වෙනව කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එකක්. එතනදි ඇලේ පතුලෙ ලෙවල් එක එකපාරටම අඩුවෙනව. එව්වට කියන්නෙ බැසුම් නිර්මිත නොහොත් ඩ්‍රොප් ස්ට්‍රක්චර්ස් කියල.


ඔය ෆොටෝ එකේ තියෙන්නෙ පොළවෙ බෑවුම
වැඩි හින්ද එක ලඟම හදපු ඩ්‍රොප් නිර්මිත කීපයක්...

සෙට් අවුට් කරනව කියන්නෙ යම් නිර්මිතයක් ඉදිකරන්නට ෆවුන්ඩේෂන් කපන්ට පටන් ගන්ට ඉස්සෙල්ල පොළවෙ නූල් ගහන එකට.

ඉතිං ඔය ඩ්‍රොප් එකේ ඉහළ සහ පහළ මට්ටම් හරියටම තිබ්බෙ නැත්නම් ඇළ මාර්ගයෙන් බලාපොරොත්තුවෙන ප්‍රයෝජනේ ඒ විදිහටම ලබාගන්ට අසීරු වෙනව. සමහර කොන්ත්‍රාත්කාරයො ගාව ඉන්න හෙඩ් බාස්ල අති පණ්ඩිතයො. කාලයක් ඇළවල්වල වැඩම කරල ඒ අය හිතාගෙන ඉන්නෙ තමං ඇළවල් ඉදිකිරීම ගැන සර්වඥ කියල. 

"අනේ මහත්තයො ඕකෙ ලෙවල් හරියට තියන එක මහ ලොකු දෙයක්ද? අපි නොදන්න සුලුස්..මහත්තයට කියන්ට අපි මෙව්ව කරන්ට පටන් ගන්නකොට මහත්තය ඉපදිලාවත් නැතුව ඇති..."

ඒ ඔය වගෙ අති පණ්ඩිත බාස් කෙනෙක් දවසක්දා මගෙ මූණටම කියපු කතාවක්. ඒ ඔය වැවක ස්ලූස් එකක් (ස්ලූස් එක කියන්නෙ හොරොව්ව. හොරොව්ව දන්නවනෙ. වැවෙන් වතුර පිට කරන්නෙ හොරොව්ව ඇරල. පොළොන්නරුවෙ ගිය අය දැකල ඇති අර නටබුන් එහෙම තියන හරිය පහු කරල නගරය පැත්තට යනකොට දකුණු පැත්තෙ පේනව පරාක්‍රම සමුද්‍රයෙ හොරොව්වෙං වතුර පිට වෙනව) හදන්ට ඇවිල්ල ඒ බාස්ගෙන් කලින් ස්ලූස් කරල තියනවද කියල ඇහුවම එහෙමයි කිව්වෙ. මමත් ඉතිං "හා..එහෙමෙයි?" කියල අහල හිනාවෙල නිකං හිටිය.


මේ තියෙන්නෙ පරාක්‍රමේ සොරොව්ව....

ඔය මම ඉපදිල නැති කතාව මා එක්ක ඔහොම කිව්වට මං නැති වෙලාවෙ මනුස්සයගෙ ගෝල බාලයන්ට කියල තියෙන්නෙ වෙන විදිහකට. ඒ වැඩපලේම හිටිය පොඩි එකෙක්. ඌ මගෙ හොඳ යාලුව. ඌ තමයි පස්සෙ දවසක මට ඔය ගැන කිව්වෙ. උං එක්ක බාසා කියල තියෙන්නෙ අපෙ අප්පච්චිගෙ දණිස් ගැන මොකක්ද කතාවක්...හෙහ්,හෙහ්.

ඉතිං අර ඩ්‍රොප්ස් වල වැඩෙත් කරල හවස් කරේ මම ආපහු එනකොට අපේ චමරියෙ සාලෙ කට්ටියම ඒකරාසීවෙලා බර කතාවක්. ඔහොම සබාතොමෝ මුලු දෙන්නෙ මොකක් හරි බොහොම වැදගත් කාරණාවකට.කන්තලේ වැව් බැම්ම කඩාගෙන ගිය එක, කිතුල් උතුව සමූහ ඝාතනය ඒ අපේ කට්ටිය සාලෙ රැස්වෙලා දීර්ඝ වශයෙන් සාකාච්ඡා කරපු සිද්ධීන්. ඉතිං එදත් මම එනකොට කට්ටිය මෙන්න සාලෙ රැස්වෙලා ඉන්නව. 

"ඒයි මොකද බං සීන් එක? අර ඇළේ වැටිච්ච අලිය ගොඩ ගත්තෙ නැද්ද?" මම ගෙට ගොඩ වුනේ එහෙම අහගෙන..

"ගත්ත...ගත්ත...වනජීවී එකෙන් බැකෝ එකක් ගෙනල්ල ළණු දාල අන්න ඒකව ඇලෙං ගොඩට නං ගත්ත" චන්දරේ මට උත්තර දුන්න.

"ඉතිං? දැං මොකද වෙලා තියෙන්නෙ?" තව මොනව හරි සිරා කේස් එකක් වෙලා තියනව කියල මට ඉවෙං වගෙ තේරුණා. "කියාපල්ලකො බං නලවන්නෙ නැතුව.."

"හෙහ්..අලිය ගොඩට ගත්තට බං ඌ දවස් ගානක් ඇලේ ඉඳල හාමත් වෙලා වගේ ඉන්නෙ."

"ඉතිං?"

"ඉතිං ඌ අන්න මහ ඇළ පල්ලෙහා වැටිල ඉන්නව හතර ගාතෙ දාල…"

"ඉතිං? ඒ සතා ඔය දවසක් දෙකක් ඉඳල ඇඟට පණ ආහම යයි යන්ට. උඹල මෙහෙම වටවෙලා සාකච්ඡා කරන්ට තරං දෙයක්ද බං ඒක?" මම කමිසෙ ගලවල මගෙ කාමරේ බෝල කූඩුවෙ එල්ලල ආපහු සාලෙට ආව. 

"හෙහ්...හෙහ්..උඹ ඔහොම කියන්නෙ බං අලිය වැටිල ඉන්නෙ කොහෙද කියල උඹ දන්නෙ නැති හින්දනෙ."

"ඌ කොහෙ හිටියම මොකද බං? ඔය ඉන්න තැනක ඉන්නෙ නැතැයි...." මම එහෙම කියල සාලෙ කෑම මේසෙ උඩ තිබ්බ ෆිල්ටර් එකෙන් වතුර වීදුරුවක් පුරවගෙන එක හුස්මට බොන්ට ගත්ත.

නුඹ කොතැන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා..දීපිකා ප්‍රියදර්ශනී එහෙම කිව්වෙ ඔය මම කියන කාලෙට හුඟක්ම පහුවෙලා. එහෙම නැත්තං ඒ වෙලාවෙ මම ඒ සින්දුව අනිවාර්යයෙන්ම කියන එකත් කියනව. නුඹ කොතැන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා…

මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැළුවම මොකද
සඳ කොතැන දිළුනම මොකද 
නුඹ කොතැන සිටියම මොකද

මල කොතැන පිපුණම මොකද
පිපුණු වග මල දන්නවා
ගඟ කොතැන ගැළුවම මොකද
ගලන වග ගඟ දන්නවා

සඳ කොතැන දිළුනම මොකද
දිලෙන වග සඳ දන්නවා 
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

විලේ ලස්සන තවත් විල් දියෙ
මලුත් පිපුණොත් තමා
දොළේ ලස්සන තවත් දොළ දියෙ
පෙණත් නැගුනොත් තමා

සඳේ ලස්සන තවත් සඳ දියෙ
තරුත් දිළුනොත් තමා
නුඹේ ලස්සන තවත්නුඹෙ සිතෙ
මාත් සිටියොත් තමා....

පද - අතුල ජයදේව
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

දීපිකාගෙ ඒ ගීයට කැමති අය ඒ ගීතය අහල ඇවිල්ලම අලියගෙ කතාවෙ ඉතුරු හරිය අහන්න. නැත්තං අලියගෙ කතාව අහල ඉවරවෙලාම ගිහිල්ල සිංදුව අහන්න. ඔබගේ කැමැත්තක්...



"යකෝ ඒ අලිය ගිහිල්ල වැටිල ඉන්නෙ විල්බට් අයියගෙ කුඹුරෙ." චන්දරේ පුටුවෙනුත් නැඟිටල කෑගැහුව.

"හුටා..." තව පොඩ්ඩෙං බොන්ට ගත්තු වතුර උගුර මයෙ ඉස්පොල්ලෙ ගිහිල්ල මහ ජංජාලයක් වෙනව. "මොකක්? විල්බගෙ කුඹුරෙ?..දෙයියෝ සාක්කි එහෙනං දැං කුඹුරෙං ගන්ට දෙයක් නැතුව ඇතිනෙ..ඉතිං ඉතිං මොකෝ විල්බට් අයිය කියන්නෙ?" 

"වෙන එක වචනයක්වත් කියන්නෙ නෑ. දැං පැය දෙක තුනක ඉඳල කුණු හබ්බම තමයි කටෙං පිටවෙන්නෙ…"

"ඉතිං කාටද ඔය බණින්නෙ?"

"ඔය කුඹුරෙ වැටිල ඉන්න අලියගෙං පටං ගත්තාම උගෙ සහෝදර සහෝදරියො මව්පියො ආතල මුත්තලගෙ ඉඳල, දළඳා මාළිගාවෙ කරඬුව වඩම්මන රාජා..........." 

(මම ඔය කියන කාලෙ රාජා තමයි කරඬුව අරගෙන ගියේ. ඊට වසර කීපයකට පස්සෙ රාජා මියගියා. දැං අර මාළිගාව අහල පහලම පොඩි කුටියක් හදල සුරක්ෂිත කරල තැන්පත් කරල තියෙන්නෙ...සාමාන්‍යයෙන් අපි අර පුලුං පුරවනව කියන්නෙ... අන්න ඒ රාජා තමයි)

" ………….එතකොට එතනිං ගිහාම පනාමුරේ ඇත් රාජා,එතකොට කණ්ඩුල ඇතා,නාලාගිරි හස්තියා,අයිරාවණ ඇතා......කොටිම්ම බුදු හාමුදුරුවො අර පාරිලෙයිය නම් වනයට වැඩම කරපු වෙලාවෙ ඇප උපස්ථාන කරපු ඇතාට පවා හොඳ හුප්පද කියලයි ඔන්න බණින්නෙ…"

"අඩේ මාර ආතල් එකක්නෙ. මටත් බලන්ට ඕන ඔය සීන් එක. යමල්ල විල්බගෙ කුඹුර දිහාවෙ"

මටත් ආය ඉතිං ඔයිට වැඩි දෙයක් තියනවය? ගෝලය හදල දීපු කහට එකත් බීල චන්දරය එක්කලා මම පාරට බැස්ස.

"යමංකො නියම සීන් එක...හෙහ්,හෙහ්." එහෙම කියල චන්දරය ඉස්සර වුනා.

කුඹුර පැත්තෙ යනව තමයි. මොන සමයංද? ඒ පැත්ත පළාතෙ කිට්ටු කරන්ට බෑ. සෙනඟ එක සීයකට හමාරකට වැඩියි. මමත් වදෙං පොරෙං කිට්ටුවෙලා සීන් එක බැලුව. හස්ති රාජ තෙමේ ඉන්නව කුඹුර මැද්දෑවෙම පත බෑවිල. බලනකොටත් දුකයි. කොල්ලො කුරුට්ටො ගෑණු මිනිස්සු වට වෙලා ඌට සාත්තු සප්පායම් කරනව. කොළ අතු යනාදිය කඩාගෙන ඇවිල්ල ඌට කව්වෝනව. එහෙම කොළ අතු කඩන්ට යන්ට කම්මැලි ගෑණු පිරිමි විල්බට් අයියගෙ කුඹුරෙ යස අගේට පීදී ගෙන එන ගොයම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උදුරල අලියගෙ කටේ ඔබනව. ඌට එව්ව කන්ට සිහියක් පතක් නෑ. ඇස් දෙකත් පියාගෙන ඌ එහෙම්මම පැත්ත වැටිල ඔහේ ඉන්නව.

විඩෙං විඩේ වන ජීවී එකේ කට්ටිය ඇවිල්ල අලිය සුවසේ ඉන්නවද කියල පරීක්සා කරල යනව. වනජීවී එකෙන් එන වෙලාවට මිනිස්සු සුට්ටක් විතර එහා මෙහා වෙලා ඉඩ දීල නිලදාරීන් යනවත් එක්කම අලිය වටේ එක් රොක් වෙනව. එක් රොක් වෙලා උගෙ කටේ විල්බට් අයියගෙ ගොයං ඔබනව. ඒ සීන් එක දැකල මට මැරෙන්ට හිනා.....

එදා රෑත් අපි විල්බගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පළු ගහය යට සෙට් වුනා. වෙනද තුන්කාලක් විතරම ගහන්නෙ විල්බ. අද අර පුරුද්දට වගෙ බෝතලේ ගෙනාවට මිනිහට බොන්ට පිරියක් නෑ. කළ දුටු කල වල ඉහගං අබරෝ කියල කියලත් තියෙන එකේ චන්දරයයි මමයි සට සට ගාල ගසල ඇරිය. අපි දෙන්නට එදා හොඳ ගණං. විල්බ කලේ අලියගෙං පටංගත්තම ඌව නරඹන්ට එන ගෑණු මිනිස්සුං ජාතක කරපු අම්ම අප්පලට හිටං දෙස් දෙවොල් තියන එක. 

"නෑ මල්ලි මම කියන්නෙ බලන්ටකො මේ XX XXXX කොල්ලො ...මුංලා මේකිලා වල් අලි දැකල නැද්ද? මාසෙකට සැරයක් කොහොමත් කොහෙ හරි ගමක ගෙයක් දෙකක් අලි කඩනව. නැත්තං අලි ගහල කවුරු හරි මැරෙනව. එහෙම එකේ දැක්කද හවහ වැළ නොකැඩී මේ XXXXX පුතාල ආපු හැටි ලෑන්ඩ් මාස්ටර්වල පැටවීගෙන අලිය බලන්ට. අම්මගෙ රෙද්දෙ අලිය. එහෙම ඇවිල්ල මගෙ කුඹුරත් විනාස කරල යනව මේ වල් බූරුවො..."

කොහොම හරි හත වගෙ වෙනකොට මිනිස්සු යන්ට ගිහිල්ල. ගිහිල්ල ඒ පැත්ත පොඩ්ඩක් බලල එන්ට කියල යවපු විල්බට් අයියගෙ ගෝලය ඇවිල්ල අපි එක්ක විස්තරේ කිව්ව.

ඒත් පැය බාගයක් ගියේ නෑ ඒ පැත්තෙං ඇහෙන්ට ගත්ත අලිංගෙ සද්දෙ. අර මොකද්ද ඒකට කියන්නෙ? හේසාරවේ ද නෑ නෙ. හරි කුංච නාදෙ අන්න ඒක …

"විල්බට් අයිය මළ කෙලියයි අර අලි වටේ ආයම ඇවිල්ලද කොහෙද නේද?"

"මදැයි අර අලිය බලන්ට එන XXXXX පුතාල මදිවට ඒ පාර XXXX අලිත් ඇවිල්ල මට පේන්නෙ. හපොයි මෙදා පාර නම් ඔය කුඹුරු කෑල්ලෙං එක වී ඇටයක් ගන්න එක බොරු…" විල්බට් අයිය කුණු හරප වැලක් කියල අලිංට බැන්න. 

කොහොම හරි අර අසරණ අලියා තෙමේ දවස් දෙකක්ද කොහෙද විල්බගෙ කුඹුරෙ වැටිල හිටිය. දවල්ට ලෙඩෙක් බලන්ට ඉස්පිරිතාලෙ යනව වගෙ සෙනඟ වැල නොකැඩි ඌව බලන්ට ආව. ඇවිල්ල විල්බගෙ කුඹුර පාගල කරල අසානාසි කරල දැම්ම. රෑ වෙනකොට මිනිස්සු ගෙවල් වලට ගියා. ඊට පස්සෙ ඔන්න අපේ අසරණ අලියගෙ යාලු අලි රංචුවෙ වාරෙ. උං ඇවිල්ල එළිවෙනකල් අලියට සාත්තු සප්පයං කරල යනව. ඒ අතරෙ කුඹුරෙ අර මිනිස්සුංගෙ පයට නොපෑගී බේරිල තියන හරිය වංගෙඩි ගෙනල්ල තැලුව වගෙ විනාස කරල දානව.

"මට පේන්නෙ බං මේ XXX අලියට දැං සනීපයි. ඌට මේකෙ ආතල් එක රහ වැටිල බොරුවට වැටිල ඉන්නවද කොහෙද.."

දෙවෙනි දවසෙ නැත්තං තුන්වෙනි දවසෙ ඔෆිස් එක ඉස්සරහදි හම්බ වෙලා විල්බට් අයිය මා එක්ක බොහොම විස්සෝපෙං කිව්ව. ආ ඒ වෙනකොට වනජීවී එකෙං ටාපොලීන් එකක් ගෙනල්ල අලියට දවල්ට අව්ව හින්ද කූඩාරමක් වගෙ එකකුත් අටවලයි තිබ්බෙ. විල්බ ඒ හින්ද වනජීවි එකේ ලොක්කගෙ අම්මගෙ ඉඳලම උගෙ කුණුහරප කියන ලිස්ට් එකට ඇතුලත් කරගෙන තිබ්බෙ.

කොහොමහරි එදා රෑ අලි රංචුව ඇවිල්ල අපේ අසරණ අලියව නැඟිට්ටවල එක්කගෙන ගිහිල්ල තිබ්බ. ඒත් ඒ වෙනකොට විල්බගෙ කුඹුරෙං ගන්ට දෙයක් නෑ. විල්බ කොහොම හරි අපේ චන්දරයටත් දොස් කියල තිබ්බ මොකද චන්දරය තමයි ඔය ඇළ පහලම තියන කුඹුරට වතුරෙං අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල රෙකමන්ඩඩ්ඩඩ් කරල අයිතිකාරය එක්කත් කතා  කරල දීල තිබ්බෙ. චන්දරයටත් මල පැනල මාසයක් විතර විල්බගෙ මූණ බැලුවෙත් නෑ. පස්සෙ දෙන්න හොඳ වුනා. 

ඊට පස්සෙ උනත් ඔය පොඩි කර්මාන්තයක් කරනකොට අපි කවුරුහරි අහනව "විල්බට් අයියෙ අර ඇලේ වැටිච්චි අලිය හින්ද විල්බට් අයියට මාර වැඩේ නේද වුනේ?" කියල.ඒ ඇති විල්බට. "අනේ මල්ලි මොනවද මේ කියන්නෙ? ඒ XXX අලිය නම් මගෙ පූරුවෙ හතුරෙක්ද කොහෙද.." ඔන්න ඔහොමයි විල්බට් අයිය කතන්දරේ පටන් ගන්නෙ....

පලි - මේ පාරත් කතන්දරේ නම් ටිකක් විතර දිග වැඩිවුනා. ඒත් තව දවසකට අදින එකේ තේරුමක් නෑ කියල හිතල ඔන්න ඔහෙ ලියල දැම්ම...හෙහ්,හෙහ්,

Friday, July 21, 2017

518. කේරළයට පිහිනූ වන අලියා සහ වෙනත් අතුරු කථා.......


නාවික හමුදා භටයින් වන අලියා බේරාගැනීමේ
මෙහෙයුමේ යෙදී සිටින අයුරු ඉහත
ඡායාරූපයෙන් දැක්වේ.

පහත පළවෙන්නෙ වත්පොතේ පළවූ මෙත්මලී දිසානායක මහත්මියගේ/මෙනෙවියගේ නිර්මාණයක්. කාලෙකට පස්සෙ වත්පොතේ මම කියවපු විශිෂ්ඨයි කියල සැකයකින් තොරව නිර්දේශ කලහැකි නිර්මාණයක්. 

පුවතක් : "මුහුදේ ගසාගෙන යමින් සිටි අලියෙක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගන්නා ලදුව ගොඩබිමට ගෙන එයි."

1. ගහගෙන ගිය අලියා - තූ..නෙදකින් අඩු කුලේ පර හැත්ත. උෂ්ණ කාලෙ වෙනසකටත් එක්ක පීනන්න කියල මුහුදට බැස්ස. මුන් ඒ ටිකට මාව කුදලගෙන ආපහු හිටපු තැනටම අරන් ආවා. ඒ කාලේ නම් මෙහෙම නෑ අපේ හාමුදුරුවනේ.. ඒකට දැන් අලියෙකුට මුහුදට බැහැල අත පය දිගෑරල පීනන්නවත් නිදහසක් ලෑ.

2. කේරලයේ අලිච්චියක් - එයා මට කිව්වේ සත් සමුදුර තරණය කරලා හරි නිවාඩුවට ඔයාව බලන්න එනවා සුදෝ කියල. ඒ වුණාට සමුදුරක්තියා ඒකෙන් බාගයක්වත් තරණය කරන්න එයාට බැරි වුණා. පස්සේ කිව්වේ නම් මිනිස්සු එයාව අල්ලාගෙන ගොඩට ගෙනිච්චා කියල. මම නම් හිතන්නේ ඕකත් මගෙන් ගැලවෙන්න ගහපු කෙප්පයක්. අර කෝකිලායිවල ඉන්න අලි උඩිච්චියක් එක්ක මෙයාගේ මොකක්හරි තියෙනවා කියල මට ඒ දවස්වලම තේරුණා.

3. එහා කැලේ අලි අම්මෙක් - දැක්කනේ..අර අලිවතීගෙ කොල්ලා ගැන මේ ටිකේ මිනිස්සු හැමෝම කතා වෙනවලු. අන්න ඒකටත් එක්ක අපේ එකා. පීනන්න නෙවෙයි උක් ගහක් කඩාගෙන කන්නත් මූ නෙවෙයි කැලෙන් එළියට බහින්නේ. ඒ කාලේ අපි හැතැප්ම ගාණක් ගිහින් කන්න හොයාගත්තේ.. මුන්ට සැප වැඩියි.

4. අලි උඩිච්චි - ඇත්ත කියනවා. තමුසේ මාව අනාථ කරලා හොරෙන් රට පනින්න නේද ලෑස්ති වුණේ. නෑ..නෑ.. කට වහනවා.. පීනන්න නම් ඔච්චර දුර යන්න ඕනයි. බොරුකාරයා..මේ මගුල කෙරෙන්නේ නෑ. මං අර දළයියට අපේ අම්මලාව හම්බවෙන්න කියල පණිවිඩයක් යවල ඉවරයි. තමුසේ වෙන අතක් බලාගන්නවා..හුහ්..

5. ශ්‍රී ලංකා නාවික හමුදාව - පීනාගෙන ඔස්ට්‍රේලියාවට යන්න තියා හිතන්නවත් එපා. ඔබට කිසිදා එහි පාතැබීමට ඉඩක් ලැබෙන්නේ නෑ. අපි ඔබව කුදලාගෙන ගොඩ බිමට ගෙන එනවා සත්තයි.

6. බුකි පේජ් විශාරදයෙක් - මේකට සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන චාලි ඔස්ටින්.

හරි වත්පොත ගැන කතාව එතකින් නිමියේය.

පුදුම වැඩේ කියන්නෙ ඔය මොනවම හරි අපූරු දෙයක් සිද්ද උනහම කොහෙන් හරිම කැරකිල මටත් ඒ වගේම දෙයක් වෙලා තියනව. එහෙමත් නැත්නම් ඒ වගේ සිද්දියක් ගැන මම අහල තියනව. ආය ඉතිං පුදුම වෙන්ට දේකුත් නෑනෙ අඩ සිය වසකට අධික කාලයක් මේ දෙරණ මත ජීවත් උනහම.....:)

දෙරණ කිව්වෙ අර අදද රෙන චැනල් එක එහෙම නෙවෙයි හොඳද? මෙතන දෙරණ කිව්වෙ මිහිකතට. එහෙමත් නැත්නම් මහ පොළවට. උහුලන දෙරණ Bearing earth...මෙතන බෙයාරිං අර්ත් කිව්වෙ මහ පොළවෙ බෙයාරිං ගිහිල්ල කියල එහෙම නෙවෙයි හොඳද? උහුලනව කියන අර්තයෙන්. අපි එදවස ඔය හතර හන්දි ගලවල ආයම කෙමිෆික්ස් දාල අලවල වගෙ දෙලොවටම නැතුව ඇවිදින කෙල්ලන්ට කිව්වෙ "අන්න බං අරකිගෙ බෙයාරිං ගිහිල්ලද කොහෙද" කියල...

හරි හරි හරි එහෙනං ආයම එමු අර අලිය කේරළේට පීනන්ට මූදට බැස්ස සීන් කෝන් එක අහපුවාම මට මතක් වෙනවයි කිව්ව කතාවට. මේ ඇවිල්ල නමසිය අසූපහේ කතාවක්. හෙහ්..හෙහ්..ඒ වෙනකොට මෙලොව එළිය දැකලත් නැති උදවිය මෙතන නෑ නේද?... "No, no Nangi you can't possibly remember that. You were not born then. Actually not even in the relevant process yet.."

මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද? 

අපෙ අම්මල එස්.එස්.සී කරන කාලෙ (එස්.එස්.සී. කියන්නෙ Senior school certificate නොහොත් ජේෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය) සිංහල සාහිත්‍යය විෂයට නියම කරල තිබිල තියනව නවකථා දෙකක්. බොහෝවිට ඒ යුගයේ ජනප්‍රිය නවකථා කරුවන්ගෙ පොත්. ඩබ්ල්යු. ඒ. සිල්වා මහත්මයගෙ කැළෑහඳ, විජයබා කොල්ලය..එහෙම නැත්නම් මාර්ටින් වික්‍රමසිංහ මහත්මයගෙ ගම් පෙරළිය, රෝහිණී... අන්න ඒ වගෙ පොත්...ඒ පොත්වලින් කොටසක් දීල විභාගෙට අරම අහනව.

" මිසිස් ජයපාල දන්නෙ නෑ මගෙ අත්තා. උන්දෑ එහෙමකට ප්‍රසිද්ධ මනුස්සයෙක් නම් නෙවෙයි. ඒත් මම මේ කියන්න ආවෙ මිසිස් ජයපාල දන්නවද උන්දැ මුං කිරිබත් කන විදිහ? උන්දැ කිරිබත් කන්නෙ එක්කො උණු උණුවෙන්ම එහෙම නැත්නම් හොඳටම හීල් වෙන්ට ඇරල. ඒ හින්ද මාත් හිතුව මගේ පළිය එක්කො උණු උණුවෙම ගන්ට ඕන. එහෙම නැත්නම් හොඳටම හීල් වෙලා ගන්ට ඕන කියල. ඉතිං හොඳට හිතල බලල මම තෝරගත්තෙ හොඳටම හීල් වෙලා පළිය ගන්ට..." මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද?

වර්තමානයෙදිත් එහෙම ප්‍රශ්ණ අහනවද නම් මන්ද..මම කිව්වෙ කොහොමද මේ වගෙ එකක් ඇහුවොත් සාපෙලට ..

"වඳුර කිව්වා..වඳුර කිව්ව..වඳුර කිව්ව..හිටපංකො XX XXX වටුවො කාලකන්නියො ටික මේ වැස්ස පායනකල්..මම තොපෙ XXXXXX ඉඳල XXXX පස්ස බලන්නෙ" මෙය කවුරුන් විසින් කාට කුමක් අරභයා කොතැනකදී පවසන ලද්දක්ද?

ඉතිං අර මම කලින් කියපු "No, no Nangi you cant possibly remember that. You were not born then. Actually not even in the relevant process yet.." කතාව නම් කියල තියෙන්නෙ අපේ නෙලුම් විලේ බින්දි නෝන මහත්තැන්ගෙ ලොකු දෝණි එයාගෙ නංගිට....

මොකක් හරි අතීත සිද්ධියක් ගැන කතා කරද්දි නංගි කිව්වලු "ඔව් මටත් ඒක මතකයි" කියල., ඒ ගමන අක්ක ඔහොම කිව්වලු. "ඒක වෙන්ට බෑ..ඔයා එතකොට ඉපදිලාවත් නෑ. ඔයාට මතක තියෙන්ට විදිහක් නෑ" කියල. ඒ කතාව හගිස්සුවන්ට තමයි අර නොට් ඊවන් ඉන් ද ප්‍රෝසස් කතාවකුත් කියල තියෙන්නෙ. 

කාලෙකට ඉස්සර බින්දි නෝන නෙළුම් විලේ ඇතිවෙච්චි සංවාදයකදි ඔය කතාව කිව්ව. මම ඕක ඒ කිට්ටුව තිබ්බ අපේ මධු සාදයකදි කියල  කට්ටිය මැරෙන්ට හිනා වුනා. ඒ වෙලාවෙ පොඩි එවුංගෙ ඔය අමර ටෝක්ස් ගැන සෑහෙන්න කතා වුනා. අර කොකෙක් චිමිනියෙං එන කතාව. එතකොට අර පුතාව පාරෙ කාර් ගනං කරන්ට යවපු කතාව එහෙම.... හෙහ්,හෙහ්,

හරි දැන්වත් කියමුකො අලි කතාව. ඒ කතාව මෙහෙමයි. ඒ කාලෙ අපි ඔය කැලේ මැද්දෑවෙ ඇලවල්, පාරවල්, පාලං, බෝක්කු එහෙම හදන කාලෙනෙ. මුලින්ම අපේ ඔෆිස්වල, කෑම්ප් වල, එතකොට බඩු ගබඩාවල එහෙම මුරට හිටියෙ ඔය චෙක් රෝලෙං ගත්තු පොඩි කොල්ලො. ටික ටික ඔෆිස් එහෙම ලොකු වෙලා ගබඩා වලින් බඩු නිකුත් කිරීමේ කටයුතු එහෙම ටිකක් සංකීර්ණ වුනාට පස්සෙ ආරක්ෂක අංශය ඒ ගැන වෙනම පුහුණුවක් ලබපු කට්ටියකට භාරදීමේ අවශ්‍යතාවයක් මතුවුන. 

ඒ පාර අපේ හෙඩ් ඔෆිස් එකෙන් කලේ විශ්‍රාමලත් අධිකාරි නොලත් හමුදා නිලධාරීන් පිරිසක් බඳවගෙන ඒ අය යටතේ අවි පුහුණුවක් එහෙම ලැබූ ආරක්ෂක නිලධාරීන් තුන් හතරදෙනා ගානෙ අපේ ඔෆිස් වලට අනුයුක්ත කලා. අර මම කලින් කියපු ප්‍රධානියා හැඳින්වුනේ සී.එස්.ඕ. යන නමින් (Chief Security Officer)

ඉතිං ඔන්න අපේ ඔෆිස් එකට සී.එස්.ඕ. වෙලා ආවෙ ගුවන් හමුදාවෙ වැඩ කරල විශ්‍රාම ගිය නිලධාරියෙක්. ත්‍රිවිධ හමුදාවල සේවය කරන අයට වසර 12, වසර 18 සහ වසර 22 සේවය කලාම විශ්‍රාම යන්ට හැකියාව තියනව. නිලධාරීන්ටත් ඒ වරප්‍රසාදය තියනවද කියල නම් අයි හෑව් නෝ අයිඩියා ඇට් ඕල්. දන්න කියන කෙනෙක් ප්ලීස් ඉන්ෆෝම් මී. අනේ අපේ විචාතුමා හිටියනම් මේ ප්‍රශ්නෙට අනිවාර්යයෙන් උත්තරයක් දෙයි.. ආය මොනවද? එහෙම නිලධාරීන්ට ඒ වරප්‍රසාදය නැත්නම් ඒකට හේතු මොනවද? ඒ සම්ප්‍රදාය ඇතිවුනෙ ක්‍රිස්තු වර්ෂ කීවෙනි සියවසේද කියල එහෙමත් මූලාශ්‍ර සහිතව. 

ආ..විචා කියනකොට මතක් වුනේ..මම මේ කියන අපේ සී.එස්.ඕ. ඇවිල්ල ගුවන් හමුදාවෙ අධිකාරී නොලත් නිලධාරීන් (Non-commissioned Officers) අතර ඉහළම රෑන්ක් එක දැරුවයි කියල දවසක් මනුස්සයගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පලු ගහ යට ටීපෝවක් වටේ ඉඳගෙන දිඹුලාගල කන්ද ඉහලින් හඳ පායාගෙන එනව නරඹමින් ඉන්දැද්දි එයයිමයි අපි දැක්ක කිව්වෙ. 

ඔව්..ඔව්..ඉතිං ආය ටීපෝ එක වටේ හිටිය කිව්වට එහෙම නිකම්මත් හිටිය නෙවෙයි. ඇයි වදේ දිගට හරහට වටකරං කන මදුරු මාර සේනාව මැද්දෙ රෑ දෙගොඩ හරියක් පහු වෙනකල් මිදුලෙ පලු ගස් යට ටීපෝ වටේට ඉඳගෙන හඳ පායනව බලාගෙන ඉන්ට මොකෝ අපිට පිස්සුවක්වත් තිබුණයි කියල ඔහෙල හිතනවැයි? ඔව්..ඔව්..ටීපෝ එක උඩ මොනවද බෝතල් දෙක තුනකුත් ඔන්න ඔහෙ තිබ්බ තමයි. ආය මොකටෙයි බොරු කියන්නෙ?

ඉතිං කාලෙකට ඉස්සර මම ලියපු බ්ලොග් පෝස්ට් එහෙක කමෙන්ට් එහෙකටද කොහෙද කිව්ව ඔය ගැන. මෙන්න මේ විදිහට එයාෆෝස් ඔෆිසර් කෙනෙක් මට කලකට ඉස්සර මුණ ගැහුනය, මනුස්සය එයා ෆෝස් එකේ ඉහලම නන් කමිෂන්ඩ් ඔෆිසර් රෑන්ක් එක වන මේ තනතුර දැරුවය කියල. ඒ දවස්වල මට ඔය අර මනුස්සය කියාපු තනතුර මතක තිබ්බට දැන් හරියටම මතක නෑ. චීෆ් වොරන්ට් ඔෆිසර් වගෙ මොකක් හරි. හරි ඒක මොකක් හරි. වැඩේ උනේ ඕක කියවල විචා ගොඩ උනෙ නැද්ද මගෙ කරට ගෝණියකුත් නැතුවම.

"යමක් ලියනකොට නිවැරදි තොරතුරු හොයල බලල ලියන්ට ඕන නේද? දැං ඔහේ මේ ලියපුව නිවැරදිය කියල කවුරු හරි හිතුවොත් ඒ මනුස්සය අමාරුවෙ වැටෙනව නේද? ඔහෙට වෙඩි තියන්නයි වටින්නෙ මෙහෙම වැඩ කරනවට..." 

අරකද මේකද රටේ නැති එව්ව...ඒ කාලෙ මම විචාරක තුමාව ඒ හැටි අඳුනන්නෙත් නෑ. ඒ හින්ද මට ඉතිං ඇත්තම කිව්වොත් ටිකක් විතර මලත් පැන්න මුලින්ම. ඒත් පස්සෙ මට තේරුණ එතුමා මෙහෙම කියන්නෙ කිසිම යටි අරමුණක් ඇතුව නෙවෙයි හුදෙක් නිවැරදි තොරතුරු පාඨකයින්ට ලබාදීමේ එකම අරමුණ ඇතුව කියල. ඒ හින්ද මම ඉතිං වරදක් වුනානම් සමාවෙන්න කියල කිව්ව. ඊට පස්සෙ විචා මට මතක විදිහට දීර්ඝ විස්තරයක් ලිව්ව ඔය හමුදාවල Non-commissioned Officer Ranks ගැන.

මතු සම්බන්ධයි (වෙන එකක් හින්ද නෙවෙයි කතන්දරේ අද ඉවර කරනවනම් වචන 2500 වගෙ පනිනව. දැට්ස් ටූ ලෝං නෝ? )

පලි - ටූ ලෝං ගැලිය මතකද? උපකාරක පද - අයි.එම්.ආර්. ඒ. ඊරිය ගොල්ල, ජනවර්ජන සහ මනුතාපය.

Friday, July 14, 2017

517. මුදලිහාමිගේ ජයග්‍රහණය, හැම්ලින් නගරය සහ අසභ්‍ය වදන් දැන සිටීමේ වැදගත්කම.

"You just can't be nice all the time.
Sometimes you just need to do the right things,
not nice things "

මේ පහුගිය දවස්වල කුණුහරුප නොහොත් අසභ්‍ය යැයි සැළකිය හැකි කතන්දර රැල්ලක් ගියානෙ වත්පොත පුරාම. මම අර කලින් ලියපු තාපසයගෙ කතාවත් එහෙම බලනවනම් අසභ්‍ය ගණයට දැම්මැහැකි. මම ඕක ලියම්දෝ නොලියම්දෝ කියල දවස් කීපයක්ම හිතලයි අන්තිමට ඔන්න ඔහෙ යන කැකිරි වත්තකිං පලච්චාවෙ කියල ලියල දැම්මෙ. වඳුරු කුණුහරුප කියල වචනයක් අහල තිබ්බට එහෙම කියන්නෙ ඇයිදැයි දන්නෙනම් නැත. දන්න කෙනෙක් කිව්වොත් පිංසිද්ද වෙච්චාවෙ.

කුණුහරුප නොහොත් අසභ්‍ය වචන ගැන මගේ පළවෙනි අත්දැකීම මෙහෙමයි. මම එතකොට හිටියෙ හයවන ශ්‍රේණියෙ. පළමුවන ශ්‍රේණියට ඒ කාලෙ ඇතුලත්කර ගත්තෙ වයස පහ පිරුනහම හින්ද මගෙ වයස ඇති එකොළහකට වගෙ කිට්ටුකරල. අපේ සිංහල සහ ඉංග්‍රීසි පෙළ පොත්වල තිබ්බ අපූරු කතන්දර. මුල්ක් රාජ් ආනන්ද් නම්වූ සුප්‍රසිද්ධ ඉන්දීය ලේඛකයා ලියූ කැදැල්ලෙන් ඉවතට පියාඹන්නට බියවන කුඩා මුහුදු ලිහිණි පැටවකු පිළිබඳ අපූරු කතාවක් මට තවම මතකයි. ඒ එක්කම ඈත පිටිසර පොඩි ඉස්කෝලෙක ඉඳල මීටර් සීය දුවන්ට කොළඹ ඇවිල්ල කොළඹ දරුවන් පරාජය කරන මුදලිහාමිගෙ කතාවත් කිසිදාක අමතක වෙන එකක් නෑ. කතාවෙ නම මීටර් සියය. ඒ කතාවෙ මට මතක කොටසක් මෙහෙමයි.

"කමෝන් සුරාජ්, කමෝන් ඩයාන් හතර වටින්ම බලන්ට ඇවිල්ල ඉන්න කට්ටිය කෑගහනව. ඔය අතරෙ ඉතිං කවුද ඉන්නෙ කමෝන් මුදලිහාමි කියල කෑගහන්ට. එහෙම කෑ ගහනවනම් ඉතිං අපේ මහත්තය තමයි. ඒත් මේ දෙනෝදාහක් මැද්දෑවෙ අපෙ මහත්තය කැගැහුවත් කොහෙ කියල ඇහෙන්ටද? ගිය මාසෙ කැකිරාවෙ තිබ්බ දිස්ත්‍රික් තරඟෙදි නම් අපේ ඉස්කෝලෙන් තරඟ වලට ගිය අනික් අය කමෝන් මුදලිහාමි කියල කෑගැහුව."

"ඔව්ව හිත හිත ඉඳල හරියන්නෙ නෑ. වේගෙං දුවල දිනන්ට ඕන. ආ කවුද ඒ ලඟම අඩි සද්දයක් ඇහෙන්නෙ? දුවන ගමන්ම හෙමීට ඔලුව හරෝලා බලන්ට ඕන. මහත්තයනම් කියල දුන්නෙ දුවද්දි වටපිට කොහෙවත් බලන්ට එපා කියල. ඒත් කමක් නෑ බලමු පොඩ්ඩක්.. ආ.. ඒ අර තරඟෙ පටන්ගද්දි මට එහා ලේන් එකේ හිටපු උල් සපත්තු කාරය නේද ලඟ ලඟම එන්නෙ? එයාගෙ උල් සපත්තුවට මගෙ කකුල් පෑගුනොත් එහෙම ලෙලි යයිද මන්ද ..."

"ආ..මෙන්න උල් සපත්තු කාරය මාව පහුකලා. හෙහ්, එයාට පුලුවන්ද කිරි බණ්ඩ මාමගෙ රබ්බඩය තරං හයියෙං දුවන්ට. රබ්බඩයා කොළදිං කාලෙං පස්සෙ අත ඇරල දැම්මම රැලේ වැටිල මුරණ්ඩු වෙනව. ආයම කුඹුරු වැඩ පටං ගන්ට ඉස්සර අල්ලල බෙල්ලට ළණුව දාගන්ට ඕන. ගමෙන්ම රබ්බඩය අල්ලන්ට පුලුවන් මට විතරයි. බලමු තව ටිකක් හයියෙං දුවල උල් සපත්තුකාරය රබ්බඩය තරමටම දස්සයෙක්ද කියල. මොන? ඔය යස අගේට පහු වුනේ...තව ටිකයි මගෙ හිතේ..ආ අන්න පාර හරහට පීත්ත පටිය ඇදල තියනව..මම දිනුම් ඒ කියන්නෙ."

"ආ..මේ කොහේටද මාව එක්ක යන්නෙ? අන්න උල් සපත්තු කාරයත් කවුද ඇවිල්ල එක්ක යනව. නම් ගම් අහල ලියාගන්ට වෙන්න ඇති. ඒ යන්ට කලිං උල් සපත්තු කාරය මං ගාවට ආව. ඔයා හරිම දක්ෂයි. මම සුබ පතනව ඔයාට. එහෙම කියල මගෙ අත අරගෙන මිරිකුවා එයා. මොනව උනත් කොළඹ රටේ ඉන්නෙ හොඳ අය. අපේ මහත්තයත් ඒ එක්කම ඇවිල්ල මගෙ කිහිල්ල යටිං අත්දෙක දාල මාව උස්සල ආයම බිමිං තියල මගෙ ඔලුව අතගෑව. මම සහසුද්දෙන්ම දැනගෙන හිටිය කොල්ලො උඹ දිනනව කියල. මහත්තයගෙ ඇස්වල ඒ වෙලාවෙ කඳුළු පිරිල තිබ්බ. ලොකු සන්තෝසයක් ආවමත් මිනිස්සුන්ට ඇඬෙනව කියල මම අහල තියනව. ඒක වෙන්ට ඇති අපෙ මහත්තයගෙ ඇස්වල කඳුළු තිබ්බෙ..............."

මතකෙන් ලිව්ව හින්ද කතන්දරේ කෑලි අඩුත් ඇති. ඒ වගේම මගෙ අතිං වැටිච්චි කෑලිත් ඇති. ඔය කතාවෙ නම නම් මීටර් සියය. ඒත් ලිව්වෙ කවුද කියලනම් මතක නැත. මේ ඊයෙ පෙරේද ඒත් මුහුණු පොතේද කොහෙද මේ කතාව ගැන ඇතිවුණු සාකච්ඡාවකදි සඳහන් වුනා මේ කතාවෙ රචකයා රාජකීය විද්‍යාලයෙ හිටපු නියෝජ්‍ය විදුහල්පතිතුමෙක්ය කියල. නම පියසේන හෝ ඊට කිට්ටු නමක් වෙන්න ඕන. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ අධ්‍යාපන රසකතා ලියන අපේ දයා මහත්මයා. එතුමටත් හොඳටම හැකියාව තියෙනව මේ විදිහෙ බොහොම අපූරු කතන්දර ලියන්න. පොතක් උනත් පලකලෑකි කිසි බයක් හැකක් නැතුවම...හෙහ්,හෙහ්,

ඉතිං අපේ කාලෙ පාඩම් පොත් ගැන කිව්වොත් ඉංග්‍රීසි සහ සිංහල දෙකම බොහොම අපූරු විෂයයන් ගැන බොහෝ කරුණු පිරිල තිබ්බ එව්වයෙ. ඒ කෙටි පාඩම කියවල ඒ ගැන තව දුරටත් හදාරන්ට, ඒ ගැන පරතෙරටම හොයාගෙන කියවන්ට නොතිත් ආශාවක් ඇතිවෙන විදිහටයි ඒ පාඩම් සකසල තිබ්බෙ. මම මේ අද එහෙම පාඩම් නැහැ කියල කියනව එහෙම නෙවෙයි. අදත් එහෙම පාඩම් ඇති. මම කියන්නෙ අපි ඉගෙන ගත්තු කාලෙ පොත් ගැන.

තෝර් හෙයර්ඩාල් නම් නෝවීජියානු ගවේෂකයාගේ කොන්ටිකි යාත්‍රාව ගැන මම ඉස්සෙල්ලම කියෙව්වෙ සිංහල හතේ නැත්නම් අටේ පොතේ. එතකොට ඔලිම්පික් ක්‍රීඩා ගැන. කාර්තේජය සහ හැනිබාල් ගැන. තමන්කඩුව රන් සන්නස ගැන. ඒත් ඒ සිංහල පොත්වලින්ම තමයි.ඊට අමතරව හැම සිංහල පොතකම අනිවාර්යයෙන්ම තිබ්බ ටී.බී. ඉලංගරත්න මහත්මයගෙ පොතකින් කොටසක්. එතුමා ඒ කාලෙ දේශීය සහ විදේශීය වෙළඳ ඇමති...හෙහ්,හෙහ්..

හැබැයි එකක් තියෙන්නෙ ඉලංගරත්න මහත්මයගෙ කතා බොහොම රසවත් නිසා අවුලකුත් නෑ. විලම්බීත පොතෙන් උපුටාගත් කොටසක් තිබ්බ සිංහල හයේ පොතේ පැණිකජු කියල.

"පූසාගේ කටට නිවනක් නැත. ඌ කෑගැසූ ගමන්ය. ආය බළලුන්ටත් පැණිකජු එසේ තමන්ටම කියාගත් තිලක බළලාගේ බඩ මැදින් වමත යවා ඌ ඔසවාගෙන ගොස් කුස්සියේ දොරෙන් පිටතට දමා දොර වසා දැමුවේය."

ඊට පස්සෙ හතේ අටේ පොත්වල තිබ්බ ඉලංගරත්න මහත්මයගෙම අඹ යහළුවෝ සහ සසර පොත්වලින් උපුටාගත් කොටස්..

හරි දැන් මේ ආවෙ කුණු හරුප ගැන මගේ පළමු අත්දැකීම කියන්ටනෙ.. "ඒක කියන්ට ඇහිල්ල ඒක නොකිය තමුං මොකද්ද මේ කරන කුණුහරුපෙ?" කියල ඔහෙල මට බයිනවත් ඇති. හෙහ්, හරි හරි එහෙනං ඔන්න ඒ කතාව කියමු.

හයේ පංතියට නියමිත ඉංග්‍රීසි පොතේ තිබ්බ අර සුප්‍රසිද්ධ ළමා කතාව. "The pied piper of Hamlin town" අහල තියනවනෙ නේද? අර හැම්ලින් නගරය මී උවදුරෙන් බේරල දෙන්ට ඉදිරිපත් වෙන්නෙ නළා වාදකයෙක්...අන්න ඒ කතාව.

ඉතිං දවසක් ඔන්න ඉංග්‍රීසි විෂයට නියමිත කාල පරිච්ඡයේදි අපේ ඉංග්‍රීසි ගුරුතුමා ඔය පාඩම කරන්ට පටන් ගත්ත. බොහොම තරුණ ගුරුවරයෙක් හිටියෙ එදා පාඩම කරන්ට. ඒකාලෙ මාස දෙක තුනකට වගෙ කාලයකට තාවකාලිකව තරුණ ගුරුවර ගුරුවරියො පාසල් වලට අනුයුක්ත කරන සිරිතක් තිබ්බ. විශේෂයෙන්ම ඉංග්‍රීසි විද්‍යාව සහ ගණිතය යන විෂයයන්වලට. මම හිතන්නෙ ගුරු විද්‍යාල වලින් අවසාන විභාගයට ඉස්සෙල්ල ප්‍රායෝගික පුහුණුවකට එවන අය වෙන්ට ඕන. මට ඒ ගැන පැහැදිලි අදහසක් නම් නෑ. බොහෝවිට අපේ දයා මහත්මය ඒ වගේම හෙන්රි මහත්මය වගෙ උදවිය ඒ ගැන දන්නව ඇති.

ඉතිං එහෙම පුහුණුවන ගුරුවරු උගන්වන විට සමහරවිට ඔවුන්ගෙ කථිකාචාර්යවරයෙක් හෝ වරියක් ඇවිල්ල පංතියෙ පස්සටම වෙලා ඉඳගෙන ඔවුන් ඉගැන්වීමේ කටයුතු සාර්ථකව කරනවද කියල නීරීක්ෂණය කරන සිරිතකුත් තිබ්බ. ඉතිං මේ ප්‍රස්තුත දවසත් එහෙම එකක්. අපේ පංතියෙ පිටිපස්සෙම ඉඳගෙන හිටිය ඔසරියකින් සැරසුණු බොහොම තේජාන්විතව කාන්තාවක්. 

ඉතිං අපේ තරුණ ගුරුතුමා ඔන්න පාඩම පටන් ගත්තා කියමුකො. පාඩමේ මාතෘකාව ඒ කිව්වෙ "The pied piper of Hamlin town"  කියල විතරයි ගුරුතුමාට කියන්ට වුනේ. මගේ ලඟම හිටපු කුමාරසිංහ හිකි හිකි ගාල හිනැහෙන්ට ගත්තෙ නැද්ද?

ගුරුතුමා පාඩම නවත්තල කුමාරසිංහගෙ මූණ දිහා එක එල්ලේම බලා හිටිය ටික වෙලාවක්. ඒ එක්කම කුමාරසිංහගෙ හිනාව ක්‍රමයෙන් අඩුවෙලා නැවතිලා ගියා. සර් ආයම පාඩම පටන් ගත්ත. හැම්ලින් ටවුන් කියන කොටම කුමාරසිංහ ආයම හිනාවෙන්ට ගත්තෙ නැද්ද? මේ වැඩේ තුන්වෙනි පාරටත් උනහම සර්ගෙ ඉවසීමේ සීමාව පැන්න. අනික මම හිතන්නෙ එතුමාගේ හැකියාව අධීක්ෂණය කරන්ට අර කාන්තාවකුත් පංතියෙ පිටිපස්සෙ ඉන්න හින්ද එතුමට තවත් තරහ යන්ට ඇති.

"කුමාරසිංහ මේ වැඩේ මෙහෙම කරන්ට බෑනෙ. කොහොමද මෙහෙම පාඩම කරන්නෙ? ඔයා අනික් අයටත් බාධා කරනවනෙ. යනව පංතියෙන් එළියට. ගිහිල්ල අතන දොරගාව දණ ගහගෙන ඉන්නව" 

සර් එහෙම නියෝග කලා කුමාරසිංහ ගාවටම ගිහිල්ල. කුමාරසිංහ එදා ඔය විදිහට විකාර කලාට හොඳ කීකරු ළමයෙක්. අනේ කියන පමාවට පංතියෙන් එළියට ගිහිල්ල දණ ගහ ගත්ත. හැබැයි එතන ඉඳලත් සර් හැම්ලින් ටවුන් කියල කියන කියන වාරයක් වාරයක් පාසා මිනිහට හිනාව නවත්ත ගන්ට නම් බැරිවුනා.

කුමාරෙ ඇයි එහෙම හිනාවුනේ? කියල මටනම් ලොකුම ප්‍රශ්ණයක්. කාල පරිච්ඡේදය ඉවර වෙලා සර් පොතුත් අරගෙන කුමාරෙටත් රවල අර මැඩම් එක්ක එළියට ගියා විතරයි අපි කට්ටිය ගිහිල්ල කුමාරෙ වටකර ගත්ත. 

"මේ මොකද බං ඔයා අරම හිනාවුනේ?......." මම ඇහුව. 

ඒ කාලෙ මට මතක විදිහට අපි බං කියල කිව්වට උඹ කියල එකිනෙකාට ආමන්ත්‍රණය කලේ නැද්ද කොහෙද? උඹ කියන්නෙ හොඳ නැති වචනයක් කියලයි අපි ඒ කාලෙ හිතාගෙන හිටියෙ. බං අවුලක් නෑ. 

කුමාරෙ ආයම හිනාවෙන්ට ගත්ත. "ඇයි බං ඔයා දන්නෙ නැද්ද? "

"මොකක්ද දන්නෙ නැත්තෙ? "

"අර සර් කිව්ව වචනෙ..... ඒක කුණුහබ්බයක්.."

"කොයි වචනෙද?"

"මොකක්ද අද කරපු පාඩමේ මාතෘකාව?"

"The pied piper of Hamlin town" මම කිව්ව. 

කුමාරෙ ආයම හිනාවෙන්ට ගත්ත. "හැම්ලින් කියන්නෙ කුණුබ්බයක්.. "

"මොකක්? ඔයාට පිස්සුද? ඒක කොහොමද කුණුහරුපයක් වෙන්නෙ? ඒක ඒ ටවුන් එකක නමක්නෙ."

"ටවුමක් හරි මොකක් හරි ඒක කුණුහබ්බයක් එච්චරයි මම දන්නෙ. හප්පා දණ ගහගෙන ඉඳලම මගෙ කකුල් දෙකත් රිදෙනව." කුමාර පාතට නැමිල දණිස් අතගාන්ට ගත්ත. 

"හරි කවුද දැං ඔයාට ඔහොම දෙයක් කිව්වෙ?" මට මේ කතාව සහසුද්දෙන්ම දැනගන්ටම ඕන.

"අපෙ තාත්තගෙ කඩේ වැඩ කරන කළු ගුණේ තමයි මට කිව්වෙ.."

කුමාරෙගෙ තාත්ත කෑගල්ල නගරයෙ මුල් පෙලේ මාලු ව්‍යාපාරිකයෙක්. නිවාඩු දවස්වල කුමාරෙ තාත්තගෙ මාලු කඩේ ඉන්නව මම කීප සැරයක්ම දැකල තියනව.

ඒ තමයි මම ඉගෙන ගත්ත මුල්ම අසභ්‍ය වදන.....

අසභ්‍ය වදන් ගැන කියද්දි මතක්වෙන තව කතාවක් තියනව. එහෙනං ඔන්නොහෙ ඒකත් කියලම දාමුකොයි නැද්ද? මේ කතාව අර කලින් එක වගෙ දුරාතීතයෙ සිද්ද වෙච්චි එකක් නම් නෙවෙයි. මේ බොහොම මෑතක. හරියටම කිව්වොත් නයින්ටීන් නයින්ටි නයින්.....

ඒ මම අර වාරිමාර්ග ව්‍යාපෘතියෙ රස්සාවෙන් අයින්වෙලා ගෙදර ඇවිදින් ගෙවෙන මුල්ම මාසෙ වගෙ. අලුත් රස්සාවක් හම්බවෙනකල් මම පේරාදෙණිය පාරෙ N.I.B.M. එකේ පරිගණක පාඨමාලාවක් කලා. ඒකෙ පංති පැවැත්වුනේ සති අන්තයෙ. ඒ හින්ද සතියෙ දවස්වල මම නිදහස්.ඒ කාලෙ මම හිටියෙ අපේ මහගෙදර. අපේ එතුමීටත් ඔය හදිස්සියෙ නුවරට ස්ථාන මාරුවක් ගන්ට නොහැකිවුන නිසා එවුන්දැ එවුන්දැගෙ මාතලේ මහ ගෙදර ඉඳල ඉස්කෝලෙට ගියා. එවුන්දැ එහෙ. මම මෙහෙ. ඔබ ඔබේ පැලේ මම මගේ පැලේ.

ඔය කාලෙ ගෙදර හිටියෙ අපෙ අම්මයි තව අම්මගෙ අයිය කෙනෙක් බැඳල හිටපු නැන්ද කෙනෙකුයි. ඒ වෙනකොට ඒ මාම නැතිවෙලත් සෑහෙන කලක්. නැන්දගෙ දරුවොත් ලොකු මහත් වෙලා දීග තලග ගිහිල්ල හින්ද අම්මගෙ තනියටත් එක්ක ඒ නැන්ද අපේ ගෙදර ඇවිල්ල හිටිය.

ඔය කාලෙ කවුදෝ අසමජ්ජාතියෙක් රෑට රෑට ටෙලිෆෝන් එකෙන් ගෙදරට කතා කරල අනම් මනම් මනමාල කතා කියන්ට පටන්ගෙන තිබ්බ. ඔහොම ඉන්නව විශේෂයෙන් ඔය Night shift වැඩ කරන අසනීප කාරයො. ඔය මොකක් හරි නම්බර් එකකට කතා කරල ඒ ගෙදර ගෑණු විතරයි ඉන්නෙ එහෙම කියල දැනගත්තම ඔය තමන්ගෙ අසහනේ පිටකරගන්ට බලනව.

"අනේ පුතේ මේක හරි කරදරයක්නෙ. මේ කාලකන්නිය රෑ තිස්සෙ කතා කරනව. ටෙලිෆෝන් එක නොගෙන ඉන්ටත් බෑ කාගෙන් හරි හදිසි පණිවිඩයක්ද දන්නෙ නෑනෙ"

අම්ම මා එක්කල කිව්වෙ ගෙදර ආපු දවසෙමයි. අපේ ඒ කාලෙ තිබ්බෙ අර රේඩියෝ ටෙලිෆෝන් එකක් හින්ද සී.එල්.අයි (Caller line identification) දාල ඒ යකාගෙ නොම්බරේ හොයාගන්ටත් බෑ. එකම ප්‍රතිකර්මෙ ටෙලිකොම් එකට පැමිණිළි කරල ඒ යකා කතා කරන නොම්මරේ හොයාගෙන මොකක් හරි ක්‍රියාමාර්ගයක් ගන්න එක.

"හරි හරි ඉන්ඩකො. මම දැං ගෙදර ඉන්නවනෙ. අම්ම කලබල නැතුව ඉන්නකො" මම එහෙම කිව්ව. 

කොහොම හරි ඊට පස්සෙ ටික දවසක් යනකල්  ඒ මනමාලයා කතා කලේ නම් නැහැ. 

"මිනිහටම එපා වෙන්ට ඇති. අපෝ ඇති යන්තම්" අම්ම එහෙම කියල හිනාවුනා.

සතියකට වගෙ පස්සෙ දවසක මගෙ පරණ යාලුවෙක් අපෙ ගෙදර ආව මාව හම්බ වෙන්ට. 

ආගිය තොරතුරු කතාකරල මනුස්සය මට කිව්ව "යමු බං එහෙනං හීන්වට මොනවහරි කරන්ට. කාලෙකින්නෙ හම්බ වුනෙත් උඹව" කියල. මාත් ඉතිං හාංය කියල ගියා කියමුකො. 

අපි ගියේ කිරිබත්කුඹුරෙ රේල් ගේට්ටුව ගාවම තියෙන දුම්රිය කෞතුකාගාරය දැකල ඇති නේද? අන්න ඊට පිටිපස්සෙ ඒ දවස්වල තිබ්බ පොඩි රෙස්ටෝරන්ට් එකක්. අන්න ඒකට. කොහොම හරි දන්නවනෙ... පොඩිවට කරන්ට ගිය වැඩේ අන්තිමට තව යාලුවො දෙන්නෙකුත් කෝල් කරල ගෙන්න ගෙන මෙගා ප්‍රොජෙක්ට් එකක් නොහොත් මහා පරිමාණ ව්‍යාපෘතියක් වෙලයි අහවරයක් වුනේ.

මම ගෙදර ආවෙ අඩි දෙකක් පොළවට උඩිං. අපේ ගෙදරට එන්ට එදවස තිබ්බෙ අඟල් එකහමාරෙ මැටල් ගල් දාපු සුට්ටි අඩි පාරක් වගෙ එකක්. ඒ මැටල් ගල් වලිං සීයට අනූවක්ම මම යන්තමට දනිපණි ගාගෙන ගෙදර ඉස්සරහ දොර ගාවට ලඟාවෙනකොට රූටල ගිහිල්ල තිබ්බෙ පාරෙං පල්ලෙහා වෙලේ ඔන්න කොටිම්ම. එච්චරම මනරංජනීයයි චිත්තාකර්ෂණීයයි එදා අඩිපාර දිගේ මගේ ගමන. ඒ වෙලත් අපේම හින්ද අවුලක් නෑ.

"නිල් නුවං පෙනෙන පඳුර වලා සුරාවෙන් වෙලී…………………"

"ට්‍රීං..ට්‍රීං.." මම බෙල් එක ගැහුව. 

අම්ම ඇවිල්ල දොර ඇරිය....

"අම්ම මොකෝ මේ නිදියන්නෙ නැතුව කරන්නෙ?" මම ගේ ඇතුලට විසිවෙන අතරෙ ඇහුව.

"හ්ම්ම්ම්..නිදි තමයි..කොහෙද පුතා ගියේ? හොඳටම බීල නේද?" 

අම්ම ඉව ඇල්ලුව. ආය ඉවක් අල්ලන්ට දෙයක් නෑ. බැලූ බැල්මට පේනව කිලෝමීටර් දෙකකට වගෙ එහා ඉඳල උනත්....හෙහ්,හෙහ්,

"මොන? ඒ හැටි බිව්වෙ නෑ ආයෙ…"

"නෑ තමයි මට පේනව..ඇති ගෙදරටවත් ආව..කාලද ඉන්නෙ?"

"නෑ කෑවෙ නම් නෑ..ඒත් දැං කන්ට නම් බෑ මොන විදිහකටවත්.....මම වොෂ් එකක් දාල නිදාගන්නව. අම්මත් ගිහිල්ල නිදාගන්න. කෝ නැන්ද ?"

"නැන්ද නිදි..ආ..ඒක නෙවෙයි පුතා අර කාලකන්නියා අද කතා කලානෙ හතර පස් පාරක්ම.."

"මොන කාලකන්නියද? "

"අර මං කිව්වෙ රෑට රෑට කෝල් දීල ඒක මේක කියනව කියල... අන්න ඒකා.."

"හරි ආයම කතා කලොත් මම ඌට කතා කරන්නං. අම්ම ගිහිල්ල කාමරේ දොර වහගෙන නිදාගන්ටකො."

වොෂ් එකක් දාගෙන ඇවිල්ල මම නිදාගන්ට ගියා විතරයි මෙන්න ටෙලිෆෝන් එක රිං වෙන්ට ගත්ත. මම ආව සාලෙට. අම්මත් නැඟිටල ආව.

"අම්ම ගිහිල්ල දොරත් වහගෙන නිදාගන්ට.."

"මොකද ඔයා කරන්ට යන්නෙ?"

"වෙන ආය අහවල් දෙයක් කරන්ටද ඒ මිනිහට බොහොම කරුණාවෙන් කියන්ට යන්නෙ මේ වැඩේ වහාම නවත්වන්ටෙයි කියල. හරි මම ඒක කරන්නං. අම්ම ගිහිල්ල නිදාගන්ට. දොරත් වහගෙන…ප්ලීස් "

අම්ම මා දිහා ටික වෙලාවක් බලාගෙන ඉඳල ගිහිල්ල දොරවහගත්ත. ටෙලිෆෝන් එක දිගටම රිං වෙනව.....

මම ටෙලිෆෝන් එක ලඟම තිබ්බ පුටුවෙ ඉඳගෙන දීර්ඝ සහ සුහද සාකච්ඡාවකට සුදානමින් හරිබරි ගැහුන. ඊට පස්සෙ හෙමීට රිසීවරේ අරං කණේ තියාගත්ත. හැබැයි වචනයක් වත් කතා කලේ නෑ..

"හෙල්ලෝ?……" එහා පැත්තෙං ඇදපැදල කිව්ව. "මොකද අනේ ඔයා ටෙලිෆෝන් එක ගන්ට මෙච්චර පරක්කු උනේ?"

මම හොඳ හුස්මක් ඉහලට ගත්ත. කටහඬ පිටතට නෑහෙන්ට වමතිං රිසීවරේ ආවරණය කරගත්ත. 

"මෙච්චර වෙලා පරක්කු උනේද? පරක්කු උනේ මම ගිහිල්ල හිටිය තොගෙ ***** *****,තෝ දැනගං. වල් පඳුරු **** ****, තෝ මේ කරන දහදුරා වැඩේ අදම නැවැත්තුවෙ නැත්තං මම තොගෙ *****************,"

(එතුමාගේ පවුලේ අනෙකුත් සාමාජිකයින් පිළිබඳව මවිසින් ක්‍රියාත්මක කරන්නට අපේක්ෂිත ක්‍රියාමාර්ගයක් පිලිබඳව මම මෙහිදී එතුමා දැනුවත් කළෙමි)

"තෝ දන්නවද තොපි වාගෙ එවුං උප්පාද වෙන්නෙ ******** ගාල්වල ********* ****** වෙලාවල්වල…" 

(එතුමා එතුමන්ගේ ගරු මෑණියන්ගේ ගර්භාෂය තුල පිළිසිඳගත් පරිසරය සහ ඊට උපස්ථම්භකවූ කරුණු කාරණා මෙහිදී මවිසින් එතුමාට මනාව පැහැදිලි කලෙමි) 

"ඒ හින්ද මේ ටික හොඳට අහගං ******** ********* මම කලිං කිව්ව විදිහට මේ වැඩේ අදම නවත්තපං. නැත්තං නොකිව්වයි කියන්ට එපා මම තොගෙ ටෙලිපෝන් නොම්මරේ හොයාගෙන තොගෙ ගෙදරටම ඇවිල්ල ******** *******" 

(මේ අවස්ථාවේහිදී එතුමාගේ ගෙදර වසන ගිරවා, බල්ලා පූසා ආදී සුරතල් සත්වයින් අරභයා මවිසින් ක්‍රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ක්‍රියා මාර්ග පිළිබඳව මවිසින් එතුමා ඉතා සුහදව දැනුවත් කරන්නට යෙදුනු බව සැලකුව මනාය)

කොහොමහරි මට හිතෙන්නෙ මේ වෙලාවෙ තමයි මිනිහට හරි සිහිය ආවෙ. සම්මා සතිය. මෙච්චර වෙලා මිනිහ තුස්නිම්බූත වෙලා ඊට අමතරව අන්දුන් කුන්දුන් වෙලා ඉන්ට ඇති ටෙලිෆෝන් රිසීවරෙත් කණේ ගහගෙන. Totally Unexpected හෙවත් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවුනු දෙයක් එක පාරට උනහම මිනිස්සුන්ට එහෙම වෙනව. ඒකට ඉංග්‍රීසියෙන් කියන්නෙ Being Paashaaniboothaized කියල. හෙහ්..හෙහ්...අයි නෝ පුතා..මට එහෙම වෙලා තියනව.

ඉතිං සම්මා සතිය පහල උන ගමං මිනිහ දඩස් ගාල ටෙලිෆෝන් එක තිබ්බ. එච්චරයි. එදයිං එදයිත් හරි මිනිහ "ආ හලෝ කොහොමද සැප සනීප?" කියල අහන්ටවත් කතා කලේ නම් නැත. 

May be he still is paashaaniboothized..heh, heh..who knows?

පලි - පහුවදා උදේ වරුවම ඔලුව පුපුරන්ඩ තරං කැක්කුම. ඒත් යාන්තමට එක විදිහක් උන ගමන්ම අම්ම එපා කියද්දි මම අර වෙලේ තිබ්බ මැටල් ගල් එකතු කරල ආයම පාරට දැම්ම. නකතං වෙන්ට දාල එකහමාරෙ මැටල් උඩිං රෑට රෑට රූට රූට එන එකෙත් මාරම ආතල් එකක් තියනව.ඒක පට්ට.....හෙහ්,හෙහ්

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...