Friday, July 28, 2017

519. විල්බගෙ අලියා, නුඹ කොතැන හිටියම මොකද? සහ වෙනත් කතා…

ගියපාර අර කේරළේට පීනන්ට හදපු අලි නාම්බා ගැන කියල එහෙම මට මතක්වෙච්චි අලි කතාවකුත් කියන්නම්ය කියල හිතුවට ඒ අපේක්සාව ඉස්ට කරගන්ට උනේ නෑ. ඒ හින්ද අද විල්බ ගැන පොඩ්ඩක් විස්තර කරලම කතාව කියන්නං. කියන්ට යන කතාවටත් ඒක වැදගත්. මොකද මේ අලිකතාවෙ විල්බත් ප්‍රධාන චරිතයක්.

ආ..විල්බා කිව්වෙ අර මම කියාපු එයා ෆෝස් නන් කමිෂන්ඩ් ඔෆිසර්... නන් කමිෂන්ඩ් කිව්වම මතක් වෙන්නෙ නන් පේරියල් එස්ටේට් එක. හෝටන් තැන්නෙ ලෝකාන්තෙන් පහළට පැන්නයි කියමු කවුරු හරි. අහසෙ පාවෙලා ගිහිල්ල වැටෙන්නෙ බලංගොඩ බෙලිහුල් ඔය කිට්ටුව තියෙන නන් පේරියල් වත්තට.

විල්බ ඇවිල්ල ජා ඇල. හොඳ භක්තිමත් කතෝලිකය. ඒ වගේමයි කුණුහරප කියන එව්ව කියන්නෙ කටේ තොලේ නොගෑවී. ආය කෙල්ලො ගෑණු ඉන්නවය කියල ගානක් නෑ. ඔහේ ඇදල අරිනව කුණු හරුප. අපි ඉතිං ඒ දවස්වල කණේ සබනුත් තියෙන පොඩි කොල්ලොනෙ. කටවල් ඇරගෙන බලා උන්නෙ විල්බ කුණුහරප වපුරන දිහා. විල්බ උගෙ වයිෆ් ඉස්සරහත් කිසි ගින්නක් නැතුව කුණු හරප කියනව. ඒ යෝදිටත් එව්වයෙ ගානක් නෑ. පුරුදුවෙලා තියන විදිහ වෙන්ටැ මයෙ හිතේ. ඒ වගෙම තමයි මිසිස් විල්බට්ට හොඳට බොන්ටත් පුලුවනි. අපිට ඒ කාලෙ ඉතිං ඕකත් මහ පුදුමයක්.

හරි හරි ඒ සියලු විස්තර පසුවට. දැං එමු විල්බගෙ අලි කතාවට. හෙක්ටෙයාර් දහ පාලොස්දාහක කුඹුරු කරන්ට වතුර දුන්නු මහ ඇලට අපේ ඔෆිස් එකේ ඉඳල තිබ්බෙ මීටර් තුන්සීයක වගෙ දුරක්. ZD කියල අමරිකන් කොම්පැණියක් ඒ ඇල හදපු හින්ද ඒකෙ නිල නාමය වම් ඉවුර ප්‍රධාන ඇල මාර්ගය (L.B.M.C. or Left bank main canal) වෙනුවට අපි කවුරුත් කිව්වෙ ZD ඇල කියල. 

ඕක මට මතක විදිහට අඩුම ගානෙ අඩි පණහක් හැටක් වගෙ ගැඹුරුයි. පළලත් ඇති අඩි දෙසීයක් විතර. පතුල සහ දෙපැත්තම උඩට යනකල්ම කොන්ක්‍රීට් ආස්තරණය (Concrete lined) කරල තියෙන්නෙ ජල හානිය වළක්වා ගන්ට. ජලය ගලා යාමේදී ඝර්ෂණය (Friction) නිසා වෙන වේගය අඩුවීම අවම කරගන්ට කොන්ක්‍රීට් එක ඉතාම සුමටයි සහ සුමුදුයි. මේ පල්ලෙහා තියෙන්නෙ අන්න එහෙම ඇළක පින්තූරයක්. 

කොන්ක්‍රීට් ආස්තරණය කල ඇල මාර්ගයක්
ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

ඉතිං වැඩේ කියන්නෙ මොකෙක් හරි සතෙක් බැරිවෙලාවත් ඕක වැටුනොත් ගොඩ එනව බොරු. වතුර පිරිල තියෙනම් ඔය මොකක් හරි කරල දඟලල ගොඩ එතෑකි. ඒත් කුඹුරු නොකෙරෙන කාලෙට ඇලේ වතුර එවන්නෙ නෑ. ඒ කාලෙ ඉතිං අලියෙක්, මුවෙක්, ගෝනෙක් එහෙම වැටුනොත් සොරිම තමයි. ආය ගොඩ එනව බොරු.

ඉතිං කොහොමත් මාස දෙක තුනකට සැරයක් ඔය මහ ඇළට අලියෙක් වැටෙනවම තමයි. එදාට ඉතිං අහල පහල ගම්වල කොල්ලො කුරුට්ටොන්ට මඟුල් වගෙ තමයි. මෝටර් බයිසිකල් පුෂ් බයිසිකල් වල නැඟල ඇල ඉවුර උඩ ඉඳගෙන හෝන් ගගහ අර අහිංසක සතා එහාට පන්නගෙන යනව. ඊට පස්සෙ මෙහාට පන්නගෙන එනව. අලිය ඉතිං වලිගෙත් උඩ තියාගෙන මෙලෝ සිහියක් නැතුව දුවනව එහාට මෙහාට. පමණක් එවුං ගොඩට එන්ට ෆුල් ට්‍රයි කරල නියපොතු හිටං ගැලවිල ගිහිල්ල ලේ ගලනව.

ඔය අලිංගෙ නියපොතු බොහොම ඉක්මනට වැවෙනව කියල දන්නවද? කැළේ ඉන්න අලින්ට නම් අවුලක් නෑ  ගල් බොරලු උඩිං දවසට කිලෝ මීටර් ගාණක් කෑම හොයාගෙන ඇවිදින හින්ද උංගෙ නියපොතු ස්වභාවිකවම ගෙවෙනව. ඒත් ප්‍රශ්නෙ වෙන්නෙ හීලෑ අලි ඇත්තුන්ට. විශේෂයෙන්ම සත්වෝද්‍යාන වල ඉන්න එවුන්ට. උංගෙ නියපොතු ගෙවෙන්න විදිහක් නෑනෙ. ඒ හින්ද එව්ව කාලෙන් කාලෙට කප්පවන්ට වෙනව. ඒකත් හෙණ කෝස් එකක්. පොඩි ඉලෙක්ට්‍රික් කියත් තියනව ඒ වැඩේට. දෙහිවල සත්වෝද්‍යානෙ ඔය වැඩේ කරන්නෙ ප්‍රසම්පාදන (ඒ කිව්වෙ ටෙන්ඩර්) කැඳවල.

හරි හරි ආයම එමු අලි ඇළට වැටෙන එක ගැන කතාවට. කොල්ලො කුරුට්ටො අර අලියට වද දෙන අතරෙ වැඩිහිටියො ඇවිල්ල උංවල එලවල දාල අලියට කන්ට කොල අතු එහෙම ගෙනත් දානව. ඒ අතරෙ පොළොන්නරුවෙ වනජීවී එකට පණිවිඩයක් යවනව. ඔන්න දවස් දෙක තුනකට පස්සෙ වන ජීවි එකෙන් එනව. ඇවිල්ල බොහෝවිට කරන්නෙ මාදුරුඔය මෙහෙයුම් කාර්යාලයට දන්වනව ඇලේ වතුර එවන්ටය කියල. ඔන්න ෆුල් වතුර එකක් ආහම අලි රාජයත් ඒ එක්කම උඩට පාවෙලා එනව. ඉතුරු හරිය කඹ දාල බැකෝ එකක් ගෙනල්ල අලියව ගොඩට ඇදල ගන්නව. ඒ වෙනකොට අලිය හොඳටම හෙම්බත් වෙලා. සමහර එවුන් ඒත් දණිපනි ගාල කැලේ දෙවනත් කරගෙන දුවනව. සමහර සෝමාරි අලි එතනම ඇල බන්ඩ් එකේ වැටිල ඉන්නව දවසක් විතර. එහෙම උනහම වනජීවී එකෙන් උංට බෙහෙත් විදිනව. බොහෝවිට ඔය එක්ස්ටැසි නැත්නම් මෙතෆෙටමයින් වගෙ එව්වයෙ Elephant version එක වෙන්ට ඇති.

එහෙම බෙහෙත් විද්දම ඌ ටිකකින් නැඟිටල යනව. ඒත් සමහර එවුන්ට එහෙමත් යන්ට අමාරුයි. බාගෙට කෙලින් වෙලා ආයම හරහ වැටෙනව. එහෙම අලිය හරහ වැටිල ඉන්නකොට රෑ දෙගොඩ හරියෙ සමහර වෙලාවට උගෙ රංචුවත් එනව ඌව බලන්ට. ඇවිල්ල ඌට නැඟිට්ටවගන්ට රෑ තිස්සෙ ට්‍රයි කරල අසාර්ථක උනහම උදේම හතර දිසාවටම ඇහෙන්ට මහ හයියෙං කුංචනාද පවත්තල යනව. 

ඒ මං හිතන්නෙ මිනිස්සුන්ට වෝනිං එකක් වෙන්නැති. "උඹල බලාගෙනයි අපේ එකාට හිරිහැරයක් කලොත් එහෙම.. අපි අදත් රෑ වෙලා එනව. ඕන වුනොත් හෙටත් එනව...." අන්න එහෙම වෙන්න ඇති. අර අන්තරේ නායක රැවුල් කාරයා කොල්ලො කෙල්ලො ටික ඉස්සෙල්ල යවල උංට පොලීසියෙං මදි නොකියන්ට සබ්බුව වැදුනට පස්සෙ ඇවිල්ල ටී.වී. මයික් ඉස්සරහ වැඩ්ඩ වෙන්නෙ.."අද ගුටි කෑවට අපි හෙටත් එනව"  කියල..අන්න එහෙම වෙන්ට ඇති...හෙහ්,හෙහ්,

දැන් මේ කතාව ඉස්සරහට ගෙනියන්ට තවත් කාරණයක් කියල ඉන්ට ඕන. ඒ දවස්වල අපේ ඔය වැඩිහිටි සහෝදර නිලධාරීන් බොහෝ දෙනෙක් කුඹුරු වැඩ කලා. ඒ කිව්වෙ කුඹුරු හිමි ගොවියො එක්ක පොඩි එකඟතාවයකට ඇවිල්ල වියදම දුන්නම අස්වැන්නෙං සීයට ගානක් ලැබෙනව. පවුල් පන්සල් වෙලා දරුවො තුන් හතර දෙනා ඉන්න උදවියට ඒ අමතර ආදායම ලොකු හයියක්. අපි ඒ කාලෙ ඔය පොඩි එවුන්නෙ. අපි ඔව්ව කලේ නෑ. 

විල්බට් අයිය ආපු ගමන්ම ඔය වැඩේට බැස්ස. "නිකම්ම මේ හද්ද කැලේ ඉන්න එකේ කීයක් හරි සාධාරණව හොයාගත්තට මක් වෙනවද මල්ලි?"  එහෙමයි මනුස්සය අපි දැක්ක කිව්වෙ. ඉතිං විල්බ හවුල් වෙච්චි කුඹුර තිබ්බෙ ඔය මහ ඇළත් එක්කම පාවුල. ඇලත් එක්කම තියෙන හින්ද කවදාවත් වතුර හිඟයක් එන්නෙ නැතිවෙයි කියල ඔය කුඹුරු කෑල්ල විල්බට රෙකමන්ඩ් කලේ අපේ චන්දරේ.

ඉතිං මට මතක විදිහට ඒ අසූපහේ මහේ කුඹුරු කරන කාලෙ. විල්බගෙ කුඹුරත් බොහොම සාරෙට හැදිල තිබ්බ. එක දවසක් සුපුරුදු පරිදි අලියෙක් මහ ඇළට වැටිල කියන ආරංචියට අපිත් ජීප් එකක නැඟල බලන්ට ගියා. ආය මොනවද? අර මම කලින් කියපු සීන් කෝන් එක ඒ විදිහටම රඟ දැක්වෙනව. කොල්ලො අර සතා පස්සෙ එලවගෙන යනව එහාට මෙහාට. ඌ ආත බූත කඩාගෙන දුවනව කෑගහගෙන. වැඩිහිටියො ඇවිල්ල කොල්ලොන්ට බැනල එලවල දානව. 

ඒ කිට්ටුව දවසක රෑත් අපි විල්බගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පලු ගහ යට සෙට් වුනා. හුළං අත මාරුවෙනකොට එතකොටත් ඇහෙනව අලි කෑගහන සද්දෙ. ඒ අර ඇලේ ඉන්න අලියගෙ රංචුවෙ කට්ටිය ඇවිල්ල. ඇළ වට කරගෙන කෑගහනව. ඒ සද්දෙත් තිබ්බෙ බොහොම දුක් වේදනාවක්. 

"සික් මේ සත්තු කෑ ගහන සද්දෙ අහගෙන ඉන්ටම බෑනෙ..." මම එහෙම කියල පපඩම් කෑල්ලක් අතට ගත්ත. 

"අනේ මන්ද වයිල්ඩ් ලයිෆ් එකෙන් කවදා එයිද කියල  දැනටම මේ යස්සය ඇළට වැටිල දවස් තුනකුත් උනානෙ" විල්බට් එහෙම කිව්ව.

"හැබෑට කවදාවත් වන ජීවී එකෙන් මෙච්චර පරක්කු වෙලා නෑනෙ...මොකද දන්නෙ නෑ"  ඒ චන්දරේ..

එදා අපි කර්තව්‍යය අහවරයක් කරල වැලිපාර පුරහම ආපහු අපේ ක්වාටර්ස් එකට එද්දිත් හුලං අතත් එක්ක අලි කෑගහන සද්දෙ අපේ පස්සෙං ආව.

පහුවදා උදේ වැඩට ගිහිල්ල මම දවල්ට කන්න ක්වාටර්ස් එකට එනකොට කට්ටියම වටවෙලා බර කතාවක්.."මොකෝ බං? මොකක්ද කේස් එක?" මම ගෙට ගොඩවුනේ එහෙම අහගෙන..

"වනජීවී එකෙං ඇවිල්ල අලිය ගොඩ දාන්ටයි යන්නෙ....අපි යන්ට කියල ඉන්නෙ බලන්ට. උඹත් එනවද?

"බෑ බං මට හවස වැදගත් වැඩක් තියනව"

"මොකක්ද බං ඔච්චරම වැදගත් වැඩේ?"

"අර D2 ඇලේ එක ලඟම ඩ්‍රොප්ස් තුනක් එනව. අද ඒ ටික සෙට් අවුට් කරන්ට ඕන. ඔය වැඩේ හරියට කෙරුනෙ නැත්තං හබක්. උඹල දන්නවනෙ ඒ සයිට් එකේ ඉන්න ගුණතිලක බාසා මහ පණ්ඩිතයනෙ"

ඇල මාර්ගයක් නිර්මාණය කරනකොට ඒකෙ පතුල එක නියමිත ආනතියකට තියෙන්න ඕන. ආනතිය වැඩිවුනොත් වතුර ගලන වේගය වැඩිවෙලා පතුලයි දෙපැත්තෙ ඉවුරයි හේදිල යනව. ආනතිය අඩුවුනොත් වෙන්නෙ වතුර ගලන වේගය නියමිත අගයට වඩා අඩුවෙන එක. ඉතිං පිහිටි පොළවෙ මට්ටම එක පාරටම වෙනස් වුනහම මේ නියමිත පතුලෙ ආනතිය පවත්වා ගන්ට හදන්ට වෙනව කොන්ක්‍රීට් ස්ට්‍රක්චර් එකක්. එතනදි ඇලේ පතුලෙ ලෙවල් එක එකපාරටම අඩුවෙනව. එව්වට කියන්නෙ බැසුම් නිර්මිත නොහොත් ඩ්‍රොප් ස්ට්‍රක්චර්ස් කියල.


ඔය ෆොටෝ එකේ තියෙන්නෙ පොළවෙ බෑවුම
වැඩි හින්ද එක ලඟම හදපු ඩ්‍රොප් නිර්මිත කීපයක්...

සෙට් අවුට් කරනව කියන්නෙ යම් නිර්මිතයක් ඉදිකරන්නට ෆවුන්ඩේෂන් කපන්ට පටන් ගන්ට ඉස්සෙල්ල පොළවෙ නූල් ගහන එකට.

ඉතිං ඔය ඩ්‍රොප් එකේ ඉහළ සහ පහළ මට්ටම් හරියටම තිබ්බෙ නැත්නම් ඇළ මාර්ගයෙන් බලාපොරොත්තුවෙන ප්‍රයෝජනේ ඒ විදිහටම ලබාගන්ට අසීරු වෙනව. සමහර කොන්ත්‍රාත්කාරයො ගාව ඉන්න හෙඩ් බාස්ල අති පණ්ඩිතයො. කාලයක් ඇළවල්වල වැඩම කරල ඒ අය හිතාගෙන ඉන්නෙ තමං ඇළවල් ඉදිකිරීම ගැන සර්වඥ කියල. 

"අනේ මහත්තයො ඕකෙ ලෙවල් හරියට තියන එක මහ ලොකු දෙයක්ද? අපි නොදන්න සුලුස්..මහත්තයට කියන්ට අපි මෙව්ව කරන්ට පටන් ගන්නකොට මහත්තය ඉපදිලාවත් නැතුව ඇති..."

ඒ ඔය වගෙ අති පණ්ඩිත බාස් කෙනෙක් දවසක්දා මගෙ මූණටම කියපු කතාවක්. ඒ ඔය වැවක ස්ලූස් එකක් (ස්ලූස් එක කියන්නෙ හොරොව්ව. හොරොව්ව දන්නවනෙ. වැවෙන් වතුර පිට කරන්නෙ හොරොව්ව ඇරල. පොළොන්නරුවෙ ගිය අය දැකල ඇති අර නටබුන් එහෙම තියන හරිය පහු කරල නගරය පැත්තට යනකොට දකුණු පැත්තෙ පේනව පරාක්‍රම සමුද්‍රයෙ හොරොව්වෙං වතුර පිට වෙනව) හදන්ට ඇවිල්ල ඒ බාස්ගෙන් කලින් ස්ලූස් කරල තියනවද කියල ඇහුවම එහෙමයි කිව්වෙ. මමත් ඉතිං "හා..එහෙමෙයි?" කියල අහල හිනාවෙල නිකං හිටිය.


මේ තියෙන්නෙ පරාක්‍රමේ සොරොව්ව....

ඔය මම ඉපදිල නැති කතාව මා එක්ක ඔහොම කිව්වට මං නැති වෙලාවෙ මනුස්සයගෙ ගෝල බාලයන්ට කියල තියෙන්නෙ වෙන විදිහකට. ඒ වැඩපලේම හිටිය පොඩි එකෙක්. ඌ මගෙ හොඳ යාලුව. ඌ තමයි පස්සෙ දවසක මට ඔය ගැන කිව්වෙ. උං එක්ක බාසා කියල තියෙන්නෙ අපෙ අප්පච්චිගෙ දණිස් ගැන මොකක්ද කතාවක්...හෙහ්,හෙහ්.

ඉතිං අර ඩ්‍රොප්ස් වල වැඩෙත් කරල හවස් කරේ මම ආපහු එනකොට අපේ චමරියෙ සාලෙ කට්ටියම ඒකරාසීවෙලා බර කතාවක්. ඔහොම සබාතොමෝ මුලු දෙන්නෙ මොකක් හරි බොහොම වැදගත් කාරණාවකට.කන්තලේ වැව් බැම්ම කඩාගෙන ගිය එක, කිතුල් උතුව සමූහ ඝාතනය ඒ අපේ කට්ටිය සාලෙ රැස්වෙලා දීර්ඝ වශයෙන් සාකාච්ඡා කරපු සිද්ධීන්. ඉතිං එදත් මම එනකොට කට්ටිය මෙන්න සාලෙ රැස්වෙලා ඉන්නව. 

"ඒයි මොකද බං සීන් එක? අර ඇළේ වැටිච්ච අලිය ගොඩ ගත්තෙ නැද්ද?" මම ගෙට ගොඩ වුනේ එහෙම අහගෙන..

"ගත්ත...ගත්ත...වනජීවී එකෙන් බැකෝ එකක් ගෙනල්ල ළණු දාල අන්න ඒකව ඇලෙං ගොඩට නං ගත්ත" චන්දරේ මට උත්තර දුන්න.

"ඉතිං? දැං මොකද වෙලා තියෙන්නෙ?" තව මොනව හරි සිරා කේස් එකක් වෙලා තියනව කියල මට ඉවෙං වගෙ තේරුණා. "කියාපල්ලකො බං නලවන්නෙ නැතුව.."

"හෙහ්..අලිය ගොඩට ගත්තට බං ඌ දවස් ගානක් ඇලේ ඉඳල හාමත් වෙලා වගේ ඉන්නෙ."

"ඉතිං?"

"ඉතිං ඌ අන්න මහ ඇළ පල්ලෙහා වැටිල ඉන්නව හතර ගාතෙ දාල…"

"ඉතිං? ඒ සතා ඔය දවසක් දෙකක් ඉඳල ඇඟට පණ ආහම යයි යන්ට. උඹල මෙහෙම වටවෙලා සාකච්ඡා කරන්ට තරං දෙයක්ද බං ඒක?" මම කමිසෙ ගලවල මගෙ කාමරේ බෝල කූඩුවෙ එල්ලල ආපහු සාලෙට ආව. 

"හෙහ්...හෙහ්..උඹ ඔහොම කියන්නෙ බං අලිය වැටිල ඉන්නෙ කොහෙද කියල උඹ දන්නෙ නැති හින්දනෙ."

"ඌ කොහෙ හිටියම මොකද බං? ඔය ඉන්න තැනක ඉන්නෙ නැතැයි...." මම එහෙම කියල සාලෙ කෑම මේසෙ උඩ තිබ්බ ෆිල්ටර් එකෙන් වතුර වීදුරුවක් පුරවගෙන එක හුස්මට බොන්ට ගත්ත.

නුඹ කොතැන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා..දීපිකා ප්‍රියදර්ශනී එහෙම කිව්වෙ ඔය මම කියන කාලෙට හුඟක්ම පහුවෙලා. එහෙම නැත්තං ඒ වෙලාවෙ මම ඒ සින්දුව අනිවාර්යයෙන්ම කියන එකත් කියනව. නුඹ කොතැන හිටියම මොකද නුඹ ඉන්න බව මම දන්නවා…

මල කොතැන පිපුණම මොකද
ගඟ කොතැන ගැළුවම මොකද
සඳ කොතැන දිළුනම මොකද 
නුඹ කොතැන සිටියම මොකද

මල කොතැන පිපුණම මොකද
පිපුණු වග මල දන්නවා
ගඟ කොතැන ගැළුවම මොකද
ගලන වග ගඟ දන්නවා

සඳ කොතැන දිළුනම මොකද
දිලෙන වග සඳ දන්නවා 
නුඹ කොතැන සිටියම මොකද
නුඹ ඉන්න බව මං දන්නවා

විලේ ලස්සන තවත් විල් දියෙ
මලුත් පිපුණොත් තමා
දොළේ ලස්සන තවත් දොළ දියෙ
පෙණත් නැගුනොත් තමා

සඳේ ලස්සන තවත් සඳ දියෙ
තරුත් දිළුනොත් තමා
නුඹේ ලස්සන තවත්නුඹෙ සිතෙ
මාත් සිටියොත් තමා....

පද - අතුල ජයදේව
ස්වර - සුරේෂ් මාලියැද්දේ
හඬ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

දීපිකාගෙ ඒ ගීයට කැමති අය ඒ ගීතය අහල ඇවිල්ලම අලියගෙ කතාවෙ ඉතුරු හරිය අහන්න. නැත්තං අලියගෙ කතාව අහල ඉවරවෙලාම ගිහිල්ල සිංදුව අහන්න. ඔබගේ කැමැත්තක්...



"යකෝ ඒ අලිය ගිහිල්ල වැටිල ඉන්නෙ විල්බට් අයියගෙ කුඹුරෙ." චන්දරේ පුටුවෙනුත් නැඟිටල කෑගැහුව.

"හුටා..." තව පොඩ්ඩෙං බොන්ට ගත්තු වතුර උගුර මයෙ ඉස්පොල්ලෙ ගිහිල්ල මහ ජංජාලයක් වෙනව. "මොකක්? විල්බගෙ කුඹුරෙ?..දෙයියෝ සාක්කි එහෙනං දැං කුඹුරෙං ගන්ට දෙයක් නැතුව ඇතිනෙ..ඉතිං ඉතිං මොකෝ විල්බට් අයිය කියන්නෙ?" 

"වෙන එක වචනයක්වත් කියන්නෙ නෑ. දැං පැය දෙක තුනක ඉඳල කුණු හබ්බම තමයි කටෙං පිටවෙන්නෙ…"

"ඉතිං කාටද ඔය බණින්නෙ?"

"ඔය කුඹුරෙ වැටිල ඉන්න අලියගෙං පටං ගත්තාම උගෙ සහෝදර සහෝදරියො මව්පියො ආතල මුත්තලගෙ ඉඳල, දළඳා මාළිගාවෙ කරඬුව වඩම්මන රාජා..........." 

(මම ඔය කියන කාලෙ රාජා තමයි කරඬුව අරගෙන ගියේ. ඊට වසර කීපයකට පස්සෙ රාජා මියගියා. දැං අර මාළිගාව අහල පහලම පොඩි කුටියක් හදල සුරක්ෂිත කරල තැන්පත් කරල තියෙන්නෙ...සාමාන්‍යයෙන් අපි අර පුලුං පුරවනව කියන්නෙ... අන්න ඒ රාජා තමයි)

" ………….එතකොට එතනිං ගිහාම පනාමුරේ ඇත් රාජා,එතකොට කණ්ඩුල ඇතා,නාලාගිරි හස්තියා,අයිරාවණ ඇතා......කොටිම්ම බුදු හාමුදුරුවො අර පාරිලෙයිය නම් වනයට වැඩම කරපු වෙලාවෙ ඇප උපස්ථාන කරපු ඇතාට පවා හොඳ හුප්පද කියලයි ඔන්න බණින්නෙ…"

"අඩේ මාර ආතල් එකක්නෙ. මටත් බලන්ට ඕන ඔය සීන් එක. යමල්ල විල්බගෙ කුඹුර දිහාවෙ"

මටත් ආය ඉතිං ඔයිට වැඩි දෙයක් තියනවය? ගෝලය හදල දීපු කහට එකත් බීල චන්දරය එක්කලා මම පාරට බැස්ස.

"යමංකො නියම සීන් එක...හෙහ්,හෙහ්." එහෙම කියල චන්දරය ඉස්සර වුනා.

කුඹුර පැත්තෙ යනව තමයි. මොන සමයංද? ඒ පැත්ත පළාතෙ කිට්ටු කරන්ට බෑ. සෙනඟ එක සීයකට හමාරකට වැඩියි. මමත් වදෙං පොරෙං කිට්ටුවෙලා සීන් එක බැලුව. හස්ති රාජ තෙමේ ඉන්නව කුඹුර මැද්දෑවෙම පත බෑවිල. බලනකොටත් දුකයි. කොල්ලො කුරුට්ටො ගෑණු මිනිස්සු වට වෙලා ඌට සාත්තු සප්පායම් කරනව. කොළ අතු යනාදිය කඩාගෙන ඇවිල්ල ඌට කව්වෝනව. එහෙම කොළ අතු කඩන්ට යන්ට කම්මැලි ගෑණු පිරිමි විල්බට් අයියගෙ කුඹුරෙ යස අගේට පීදී ගෙන එන ගොයම කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව උදුරල අලියගෙ කටේ ඔබනව. ඌට එව්ව කන්ට සිහියක් පතක් නෑ. ඇස් දෙකත් පියාගෙන ඌ එහෙම්මම පැත්ත වැටිල ඔහේ ඉන්නව.

විඩෙං විඩේ වන ජීවී එකේ කට්ටිය ඇවිල්ල අලිය සුවසේ ඉන්නවද කියල පරීක්සා කරල යනව. වනජීවී එකෙන් එන වෙලාවට මිනිස්සු සුට්ටක් විතර එහා මෙහා වෙලා ඉඩ දීල නිලදාරීන් යනවත් එක්කම අලිය වටේ එක් රොක් වෙනව. එක් රොක් වෙලා උගෙ කටේ විල්බට් අයියගෙ ගොයං ඔබනව. ඒ සීන් එක දැකල මට මැරෙන්ට හිනා.....

එදා රෑත් අපි විල්බගෙ ක්වාටර්ස් එක ඉස්සරහ පළු ගහය යට සෙට් වුනා. වෙනද තුන්කාලක් විතරම ගහන්නෙ විල්බ. අද අර පුරුද්දට වගෙ බෝතලේ ගෙනාවට මිනිහට බොන්ට පිරියක් නෑ. කළ දුටු කල වල ඉහගං අබරෝ කියල කියලත් තියෙන එකේ චන්දරයයි මමයි සට සට ගාල ගසල ඇරිය. අපි දෙන්නට එදා හොඳ ගණං. විල්බ කලේ අලියගෙං පටංගත්තම ඌව නරඹන්ට එන ගෑණු මිනිස්සුං ජාතක කරපු අම්ම අප්පලට හිටං දෙස් දෙවොල් තියන එක. 

"නෑ මල්ලි මම කියන්නෙ බලන්ටකො මේ XX XXXX කොල්ලො ...මුංලා මේකිලා වල් අලි දැකල නැද්ද? මාසෙකට සැරයක් කොහොමත් කොහෙ හරි ගමක ගෙයක් දෙකක් අලි කඩනව. නැත්තං අලි ගහල කවුරු හරි මැරෙනව. එහෙම එකේ දැක්කද හවහ වැළ නොකැඩී මේ XXXXX පුතාල ආපු හැටි ලෑන්ඩ් මාස්ටර්වල පැටවීගෙන අලිය බලන්ට. අම්මගෙ රෙද්දෙ අලිය. එහෙම ඇවිල්ල මගෙ කුඹුරත් විනාස කරල යනව මේ වල් බූරුවො..."

කොහොම හරි හත වගෙ වෙනකොට මිනිස්සු යන්ට ගිහිල්ල. ගිහිල්ල ඒ පැත්ත පොඩ්ඩක් බලල එන්ට කියල යවපු විල්බට් අයියගෙ ගෝලය ඇවිල්ල අපි එක්ක විස්තරේ කිව්ව.

ඒත් පැය බාගයක් ගියේ නෑ ඒ පැත්තෙං ඇහෙන්ට ගත්ත අලිංගෙ සද්දෙ. අර මොකද්ද ඒකට කියන්නෙ? හේසාරවේ ද නෑ නෙ. හරි කුංච නාදෙ අන්න ඒක …

"විල්බට් අයිය මළ කෙලියයි අර අලි වටේ ආයම ඇවිල්ලද කොහෙද නේද?"

"මදැයි අර අලිය බලන්ට එන XXXXX පුතාල මදිවට ඒ පාර XXXX අලිත් ඇවිල්ල මට පේන්නෙ. හපොයි මෙදා පාර නම් ඔය කුඹුරු කෑල්ලෙං එක වී ඇටයක් ගන්න එක බොරු…" විල්බට් අයිය කුණු හරප වැලක් කියල අලිංට බැන්න. 

කොහොම හරි අර අසරණ අලියා තෙමේ දවස් දෙකක්ද කොහෙද විල්බගෙ කුඹුරෙ වැටිල හිටිය. දවල්ට ලෙඩෙක් බලන්ට ඉස්පිරිතාලෙ යනව වගෙ සෙනඟ වැල නොකැඩි ඌව බලන්ට ආව. ඇවිල්ල විල්බගෙ කුඹුර පාගල කරල අසානාසි කරල දැම්ම. රෑ වෙනකොට මිනිස්සු ගෙවල් වලට ගියා. ඊට පස්සෙ ඔන්න අපේ අසරණ අලියගෙ යාලු අලි රංචුවෙ වාරෙ. උං ඇවිල්ල එළිවෙනකල් අලියට සාත්තු සප්පයං කරල යනව. ඒ අතරෙ කුඹුරෙ අර මිනිස්සුංගෙ පයට නොපෑගී බේරිල තියන හරිය වංගෙඩි ගෙනල්ල තැලුව වගෙ විනාස කරල දානව.

"මට පේන්නෙ බං මේ XXX අලියට දැං සනීපයි. ඌට මේකෙ ආතල් එක රහ වැටිල බොරුවට වැටිල ඉන්නවද කොහෙද.."

දෙවෙනි දවසෙ නැත්තං තුන්වෙනි දවසෙ ඔෆිස් එක ඉස්සරහදි හම්බ වෙලා විල්බට් අයිය මා එක්ක බොහොම විස්සෝපෙං කිව්ව. ආ ඒ වෙනකොට වනජීවී එකෙං ටාපොලීන් එකක් ගෙනල්ල අලියට දවල්ට අව්ව හින්ද කූඩාරමක් වගෙ එකකුත් අටවලයි තිබ්බෙ. විල්බ ඒ හින්ද වනජීවි එකේ ලොක්කගෙ අම්මගෙ ඉඳලම උගෙ කුණුහරප කියන ලිස්ට් එකට ඇතුලත් කරගෙන තිබ්බෙ.

කොහොමහරි එදා රෑ අලි රංචුව ඇවිල්ල අපේ අසරණ අලියව නැඟිට්ටවල එක්කගෙන ගිහිල්ල තිබ්බ. ඒත් ඒ වෙනකොට විල්බගෙ කුඹුරෙං ගන්ට දෙයක් නෑ. විල්බ කොහොම හරි අපේ චන්දරයටත් දොස් කියල තිබ්බ මොකද චන්දරය තමයි ඔය ඇළ පහලම තියන කුඹුරට වතුරෙං අඩුපාඩුවක් වෙන්නෙ නෑ කියල රෙකමන්ඩඩ්ඩඩ් කරල අයිතිකාරය එක්කත් කතා  කරල දීල තිබ්බෙ. චන්දරයටත් මල පැනල මාසයක් විතර විල්බගෙ මූණ බැලුවෙත් නෑ. පස්සෙ දෙන්න හොඳ වුනා. 

ඊට පස්සෙ උනත් ඔය පොඩි කර්මාන්තයක් කරනකොට අපි කවුරුහරි අහනව "විල්බට් අයියෙ අර ඇලේ වැටිච්චි අලිය හින්ද විල්බට් අයියට මාර වැඩේ නේද වුනේ?" කියල.ඒ ඇති විල්බට. "අනේ මල්ලි මොනවද මේ කියන්නෙ? ඒ XXX අලිය නම් මගෙ පූරුවෙ හතුරෙක්ද කොහෙද.." ඔන්න ඔහොමයි විල්බට් අයිය කතන්දරේ පටන් ගන්නෙ....

පලි - මේ පාරත් කතන්දරේ නම් ටිකක් විතර දිග වැඩිවුනා. ඒත් තව දවසකට අදින එකේ තේරුමක් නෑ කියල හිතල ඔන්න ඔහෙ ලියල දැම්ම...හෙහ්,හෙහ්,

39 comments:

  1. හෙහ්..හෙහ්.. ඔය වෙලාවට තමයි සිංහල ටයිප් කරන්නම බැරි උනානං හොඳයි කියල හිතෙන්නේ.. එහෙනම් දෙන්න තිබ්බ කොමෙන්ට් එක මෙහෙම ..
    "Xxxxxxx xxx xx xx xxxx xxxx xx xxx x xxxxc"

    ReplyDelete
  2. Replies
    1. අලියාගේ කකුලේ නියපොතු කපන ටෙන්ඩරේ... හුහ්.....
      කෙබරත් අහල තියෙනවා මෙහෙමත් එව්වා මේ ඇහුවමයි !!!

      හා කෝ ඉතින්...

      මේ දීල තියෙන වැඩකරදර එක්ක බැලුවහම ඔය වල් අලි ( ආ.. නෑ නෑ .. වන අලි) ගෙවල් පොඩි පට්ටම් කරලා දානවය කියන්නේ සාධාරණ කෝපය තමයි ඉතින්! අලියෙක් විදියට හිතුවනම් තේරෙයි

      Delete
    2. Likhitha,

      Why Heh?

      / අලියාගේ කකුලේ නියපොතු කපන ටෙන්ඩරේ... හුහ්.....
      කෙබරත් අහල තියෙනවා මෙහෙමත් එව්වා මේ ඇහුවමයි !!! /

      උඹල ඔය ඒ ගැන දන්නෙ නැත්තෙ ඒක පත්තරවල එහෙම දාන්නෙ නැති හින්ද..

      ටෙන්ඩර් වල ක්‍රමයක් තියනවනෙ පොදු මහජනයට ප්‍රසිද්ධ කරන්නෙ නැතුව සීමිත ප්‍රසම්පාදන කැඳවීම (Limited tender call up ) කියල. ඒ කියන්නෙ ඒ වැඩේට පළපුරුදු කොන්ත්‍රාත්කරුවන්ගෙන් පමණක් සීමිතව අයදුම්පත් කැඳවීම.නිකං කාලෙ නහත්ති කරන එක වලක්ව ගන්ට එහෙම කරන්නෙ. ඔය අලි නියපොතු ටෙන්ඩරෙත් එහෙම එකක්. හතර පස් දෙනයි ඕකට එක්ස්පර්ට්ල ඉන්නෙ. එයාලගෙන් තමයි ටෙන්ඩර් කෝල් කරන්නෙ.

      ඔන්න බොරුනං ඉඳහංකො මම උඹටත් ටෙන්ඩර් ෆෝර්ම් එකක් අරගෙන දෙන්නංකො.මගෙ බෙස්ට් ප්‍රෙන් කෙනෙක්ගෙ අක්ක තමයි දෙහිවල සතුන් වත්තෙ ඒ කටයුතු බාරව ඉන්නෙ. ඒ හින්ද අයි කැන් ගෙට් යූ අ ටෙන්ඩට් ෆෝම් නෝ ප්‍රොබ්ලම් ඇට් ඕල්.

      හැබැයි උඹ ඔය වැඩේට පලපුරුද්ද තියනව කියල ලිඛිත සාක්ෂි ඕන. දැනට මෙහෙම කරමු. හස්බන්ඩ්ගෙන් සහතිකයක් ගන්ට බැරිවෙයිද උන්දැගෙ නියපොතු කපන්නෙ උඹය කියල? ඒක ඇතිවෙයි මයෙ හිතේ දැනට...

      Delete
  3. "මේ වය්ශ්‍යාවගෙ පුතා හැම නියං කාලෙටම කොරන්ඩ පුලුවං එකක් කියලනෙ මේ ස්ත්‍රී නිමිත්ත මයෙ ඇඟේ ගැහුවෙ"

    ආං එහෙම ඔව්වා හිංගලේට පෙර්ලියෑකි.

    ReplyDelete
    Replies
    1. සුරා,

      උඹත් මහ අරුම පුදුම මූදු XXXXXනෙ බං..

      අර ලමය ඩෙංගු හැදිල ඉඳල ගෙදර ආවෙ ඊයෙයි කියල උඹමයි කිව්වෙ. ඒ අව් අස්සෙ හැමනියං කාලෙ කරන වැඩෙත් කරන්ට ගියාද?

      අනික ඒ මදිවට ස්ත්‍රී නිමිත්ත ගැන කියල ඒ අහිංසකීට දෙස් දෙවොල් තියන එක හරිද මං අහන්නෙ..ඉවසල ඉතිං සතියක් දෙකක්..

      Delete
    2. me මූදු XXXXX කතාව කොහෙන්ද ආවේ කියල කල්පනා කලේ. ඒ දවස් වල මාතර පැත්තේ මගේ යාලුවෙකුත් ඕක නිතරම කියනවා.

      Delete
  4. ඉගෙනගන්න , හිනාවෙන්න දේවල් ගොඩයි. නියම පෝස්ට් එක රවී.

    ReplyDelete
  5. හෙක්.. හෙක්.. මාර ආතල් සීන් එක ඕයි ඒක. මොනවත් නෑ අලි ටික කුඹුර පාගල ආයෙ ගල්රෝලෙන් තැලුව වගේ බිම සකස්කරල දෙන්න ඇති.
    බොලත් ඉතිං ගහෙන් වැටිච්ච මිනිහගෙ දේවාලෙ වඳින්න ගිය ගොනාගෙ ඔලුවට පතබෑවුනා වගේ අර අසරණය ගෙනාපු බෝතලේ ගසල දැම්ම නේද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      /වත් නෑ අලි ටික කුඹුර පාගල ආයෙ ගල්රෝලෙන් තැලුව වගේ බිම සකස්කරල දෙන්න ඇති./

      ආය මොනවද? ගොයම් කිරි වැදීගෙන එනකොටම දවස් තුන හතරක් වතුර නවත්තනව. එතකොට නිකම් මේ පදම් කරපු මැටි වගෙ පසක් කුඹුරෙ තියෙන්නෙ.ඕක නියමෙට තැලෙනව.

      ඉතිං දවල් තිස්සෙ මිනිස්සු සීයක් විතර්යි රෑ එළිවෙනකල් අලි දහයක් දොළහක් ඕකෙ ඩෙඟා නැටුවට පස්සෙ හිතාගංකො කුඹුර කොහොම තියෙන්ට ඇතිද කියල..හරියට අර ටොං පහේ රෝලෙං තලපු කෙත්තාරාමෙ පිච් එක වගේ...හෙහ්,හෙහ්,

      /අර අසරණය ගෙනාපු බෝතලේ ගසල දැම්ම නේද?/

      හෙහ්,හෙහ්, ආය මොනවද? විල්බ උගෙ ලැයිස්තුව සාක්කුවෙන් අරගෙන පිළිවෙලට ඒකෙ ඉන්න එවුංට කුණුහරප කියාගෙන කියාගෙන ඇවිල්ල බොන්ට බලනකොට බඩු ඉවරයි. ඊට පස්සෙ ඌ ලිස්ට් එකේ අන්තිම නම් දෙකට දාගන්නව චන්දරේගෙයි මගෙයි නම්...:)

      ඕකට කියන්නෙ KDKVI මෙතඩ් කියල කල දුටු කල වල ඉහ ගැනීමේ ක්‍රමවේදය...

      Delete
  6. https://www.merriam-webster.com/dictionary/nonpareil
    රවි W ගේ කතා වගේ තමයි
    Also, Nonesuch

    ReplyDelete
    Replies
    1. Pra,

      /රවි W ගේ කතා වගේ තමයි/

      Thanks Pra...

      /Also, Nonesuch/

      නොවේ එවන් වින්දනයක් ලොවේ........:)

      Delete
  7. කුඹුරෙන් අලි ලාභයක් වෙලා තියෙන්නෙ :D

    තනිකර කොන්ක්‍රීට් ඇලේ වාසියට වඩා අවාසි වැඩියි කියලා කතාවක් අහල තියනව දෙපැත්තේ ගස් හැදෙන්නෙත් නැති නිසා වාෂ්ප වෙන එක වැඩිලු සාමාන්‍ය ඇලක වතුර පොලවට උරාගන්න එක රොන්මඩ තැම්පත් වුනාට පස්සෙ ගොඩක් දුරට පාලනය වෙනවලු

    ReplyDelete
    Replies
    1. [°•_•°] {`^`…´^´} (~•`_´•~),

      /තනිකර කොන්ක්‍රීට් ඇලේ වාසියට වඩා අවාසි වැඩියි කියලා කතාවක් අහල තියනව..../

      ඕක මලේ මෙහෙමයි සීන් එක..ඔය හැම මෙතඩ් එකකම වාසි අවාසි දෙකම තියනව...දැං කොන්ක්‍රීට් ආස්තරණය කලාම ජල හානිය අඩුයි, ඒ වගේම නඩත්තුව පහසුයි.ඒ වගේම ජල කළමණාකරණයටත් උදව්වක් වෙනව.

      අනික් අතට උඹ කිව්ව වගේ ආය අහල පහල ගහක් කොලක් වත් හැදෙන්නෙ නම් නෑ..තනිකරම මුඩු බිමක් ඇළ දෙපැත්ත.

      දිගටම ලයිනිං කලේ ප්‍රධාන ඇළයි ප්‍රධාන අතු ඇළවලුයි විතරයි. එතනින් එහාට තිබ්බ බෙදුම් ඇළවල් සහ උප බෙදුම් ඇළවල් ලයිනිං කලේ නෑ.(ලයිනිං කලානම් කලේ අත්‍යාවශ්‍ය ඒ කිව්වෙ වතුර විශාල වශයෙන් කාන්දු වෙන තැන් විතරයී)

      අනික කාලෙන් කාලෙට එන ට්‍රෙන්ඩ්ස් සහ කන්සෙප්ට්ස් අනුවත් ඔය මෙතොඩලජි එක තීරණය වෙනව. සමහරවිට අද වගෙ කලෙක නම් වියදම වැඩි වුනත් ලයිනිං නොකර හදන්ට තිබ්බ. මොකද අද තිරසාර සංවර්ධනය (Sustainable development) පරිසරය රැකගැනීම සහ හරිත සංකල්පයනෙ Watch words වෙලා තියෙන්නෙ.

      Delete
  8. අයියෝ.. මදැයි විල්බට් ට වෙච්චි අලි අලාභය!

    //එක්ස්ටැසි නැත්නම් මෙතෆෙටමයින් වගෙ එව්වයෙ Elephant version// :D එහෙමවුණා නම් අලියා එසැණින් නැගිටලා කුඹුර පාගලා ඩාන්ස් එකක් කාරිය දාලා යනවා දවස් ගණන් දපලා ඉන්නේ නැතිව!

    සින්දුව අහලා තියෙනවා කලින්, ඒකෙ ලස්සනක් වගේම මොකක්දෝ අවුලක් වගේ එකකුත් දැනෙනවා අහද්දී. මගේ අවුලක් වෙන්නත් පුළුවන්! :)

    ReplyDelete
    Replies


    1. මලී,

      /එහෙමවුණා නම් අලියා එසැණින් නැගිටලා කුඹුර පාගලා ඩාන්ස් එකක් කාරිය දාලා යනවා දවස් ගණන් දපලා ඉන්නේ නැතිව!/

      හෙහ් කිව්වත් වගෙ එහෙම වුනානම් සම් ටයිම්ස් අලි රංචුවටයි වන ජීවි එකටයි ඌ පස්සෙ මෙලෝ සිහියක් නැතුව පන්නන්ට වෙන්ටත් තිබ්බ ඌව ආපහු අල්ලගන්ට..:)

      /සින්දුව අහලා තියෙනවා කලින්, ඒකෙ ලස්සනක් වගේම මොකක්දෝ අවුලක් වගේ එකකුත් දැනෙනවා අහද්දී. මගේ අවුලක් වෙන්නත් පුළුවන්! :)/

      එහෙම සින්දු කවි එහෙම තියනව. මොකක්දෝ අවුලක් වගෙත් දැනෙනව. ඒත් ඒ මොකක්ද කියල කාටවත් තේරුම් කරන්ට බෑ. තේරුම් කරනව තියා බොහෝවිට අපිටවත් ෂුවර් නෑ...I know that feeling exactly...:)

      Delete
  9. විල්බගෙ කුඹුර කරපු පොරගෙන් මොකුත් ප්‍රතිචාරයක් තිබ්බෙ නැද්ද මචං.

    අර ගෑණු විල්බගෙ කුඹුරෙන් ගොයම් අහුරු අහුරු උදුරලා අලියට කවන්න හදන එක නම් මට එතන හිටිය වගේ මැවිලා පෙනුනා. අනුන්ගෙ බඩුවලින් දාන පාරමිතා පුරන්න අපේ උං හරි දස්සයිනෙ කොහොමත්.

    ReplyDelete
    Replies
    1. Dude,

      /විල්බගෙ කුඹුර කරපු පොරගෙන් මොකුත් ප්‍රතිචාරයක් තිබ්බෙ නැද්ද මචං. /

      කුඹුර අයිතිකාරය පලාතෙ ආවෙ නෑ. පස්සෙ අපිට ආරංචි වුනේ..විල්බ එක්ක ගනුදෙනු ගැන මත භේදයක් හින්ද මහත්තයම වියදම් කරල කරගන්ට මට කීයක්වත් එපා කියල මිනිහ අයින් වෙලා. විල්බමයි මිනිස්සු දාල කරවල තියෙන්නෙ. ඒ හින්ද සම්පූර්ණ අලාභෙම විල්බට. එදයිං එදයි ආයම එහෙං යනකල්ම විල්බ නෙවෙයි කුඹුරක් දිහා ඇහැක් ඇරල බැලුවෙ. කුඹුරක් ගැන මතක් කලත් ඌ කුණුහරුප කියනව..

      /අර ගෑණු විල්බගෙ කුඹුරෙන් ගොයම් අහුරු අහුරු උදුරලා අලියට කවන්න හදන එක නම් මට එතන හිටිය වගේ මැවිලා පෙනුනා/

      හෙහ්..හෙහ්..කියල වැඩක් නෑ බං ..මට මේ දැං මතක් වෙනකොටත් මැරෙන්ට හිනා...:)

      වනජීවී එකෙං ඇවිල්ල උංට බලු බැණුං බනින්නෙ...යකුනේ මේ මැරෙන්ට වැටිල ඉන්න සතාට තොපි ගොයං ගිල්ලන්ට හදන්නෙ පිස්සු හැදිලද කියල

      Delete
    2. අනුන්ගේ දානේ ගෙවල් වල හොදි බෙදනවා කියන්නේ ඕවට තමයි ඩූඩ්

      Delete
    3. ඩුඩා : ඕවට කියන්නේ අනුන්ගේ දානේ ගෙවල් වල හොදි බෙදනවා කියළා.

      Delete
    4. අන්න අලුත් යෙදුමක් ඉගෙනගත්තා. ස්තුතියි දිල්රුක්. ඒක හරියටම හරි.

      Delete
  10. නියමයි. ගොඩාක් හිනාවුනා. පින්තූර විස්තර කරන එකනම් ගොඩාක් වටිනවා.

    ReplyDelete
    Replies
    1. කටකාරි,

      අපේ නිර්මාණි නෝනගෙ පෝස්ට් එකක් බලල මම ඔය පින්තූර විස්තර කරන වැඩේ පටන් ගත්තෙ..

      ස්තූතියි ඔය නෝනා මහත්මයාටත්...:)

      Delete
  11. අනේ අසරණ විල්බා... විල්බටත් වඩා අසරණයි හැබැයි ඔය නිතරම ඇලට වැටෙන වන අලි.පොඩි පහේ දුකක්ද ඉතින් උන් විදින්නේ.ඔන්න මමනම් අලියගෙ කතාව කියවල ඉවරවෙලාම දීපිකා නෝනගේ ගීතය ඇහුවා මම කැමතිම ගීතයක් තමා ඒක.

    ReplyDelete
    Replies
    1. සොඳුරු,

      /විල්බටත් වඩා අසරණයි හැබැයි ඔය නිතරම ඇලට වැටෙන වන අලි.පොඩි පහේ දුකක්ද ඉතින් උන් විදින්නේ./

      ඒකනම් සහතික ඇත්ත. මිනිසුන්ගෙ සුභ සිද්ධිය උදෙසා දුක් විඳින්නෙ වචනයක් කතා කරගන්ට බැරි අහිංසක සත්තු...:(

      Delete
  12. ගිය සතියෙත් ලියන ගමන් ඉඳල, තාම දැම්මේ නැති උනාම මම ඒත් බැලුව මොකද කියල.

    "Good things take time" කියන්නේ නිකන් නෙවෙයිනේ. මේ කතාව නම් මරු!

    හැබැයි අර අලියව කුලප්පු කරන එක නම් හරි නපුරුයි අනේ. මිනිස්සුම හදන ඇලවල් වලට වැටිල දුක් විඳින සත්තුන්ව තවත් වෙහෙස කරවන එක නම් හරිම වැරදියි.

    ඔය ZD ඇලේ නේද මීට වසර කිහිපයකට කලින් මොකක් හරි අවාසනාවන්ත සිදුවීමක් වෙලා මිනිස්සු මිය ගියේ? මට ZD ඇල ගැන නිවුස් වලට ඇහුව මතකයි. ඒ ZD ඇලත්, මේ ZD ඇලත්, එකම වේද රවී තුමණි?

    තව පොඩි ප්‍රශ්නයක් තියනව. ZD ඇලෙත් ඔය පින්තූරේ වගේ බෑවුමක් තියද? සත්තුන්ට ඒ බෑවුම දිගේ නගින්න බැරිද වතුර නැති කාලෙට? අලි වැටුනම වනජීවී එකෙන් ඇවිත් බේරාගන්නවා නේ? අනිත් සත්තු? එහෙමම මැරෙනවද? නැත්නම් ආහාර පිණිස ගන්නවද?

    ReplyDelete
    Replies
    1. ඔය බාසුන්නැහේ ලා නම් ඔහොම කතා හරියට කියනවා තමයි. මම ෆීල්ඩ් එකේ වැඩට ගියෙ නැති නිසා වැඩිය සෙට් උනේ නෑ. ට්‍රේනින් කාලේ ඉතින් මමත් ට්‍රේනින් නිසා මම ඕවට වැඩිය ඇත දාන්න ගියේ නෑ. හිටපු ගමන් ඉතින් එයාලම "මිස් මේකට ලෙවල් එක ගහල දෙන්න" කියල කිවුවම, ඒක කරල දුන්න විතරයි.

      Delete
    2. //ඔය ZD ඇලේ නේද මීට වසර කිහිපයකට කලින් මොකක් හරි අවාසනාවන්ත සිදුවීමක් වෙලා මිනිස්සු මිය ගියේ?// මම හිතන්නෙ ඔය කියන ඇල ලොග්ගල්ලාඔය අන්තර් නිම්න ඇල. මහියංගනේ යනකොට යන්න වෙන්නෙ ඒ ඇල අයිනෙන්.
      මේ පැත්තෙ බස් එකකුත් කාලෙකට කලින් ඒකට වැටිල බර ගානක් මැරුන.
      රවිය කියන්නෙ ඒකමද දල්ලෑ.

      Delete
  13. Kalyana,

    /එහෙනම් දෙන්න තිබ්බ කොමෙන්ට් එක මෙහෙම ..
    "Xxxxxxx xxx xx xx xxxx xxxx xx xxx x xxxxc"/

    එක පාරක් අපේ අභාවප්‍රාප්ත ඔබා අයිය කිව්ව මෙහෙම " තොපේ මේ අපබ්‍රංස කෙහෙම්මල් බාසාවක් හින්ද මීට පස්සෙ කමෙන්ට් කරන්ට වෙන්නෙ හස්ත මුද්‍රාවෙන් තමයි" කියල..

    උඹත් එහෙම කරහං මලේ...හෙහ්,හෙහ්,

    ReplyDelete
  14. ඇත්තටම අලියා ආතල් එකට තව දවසක් දෙකක් හිටියද දන්නේ නෑ. අලිත් සාත්තුවට හරි කැමති ජාතියක්. කුඹුර නිකං තියෙන්න ඇති උල්කාපාතයක් වැටුණා වගේ.

    ReplyDelete
  15. කතාවක් ඉවර වෙනකං ලිව්වමද කොහෙද .....

    ReplyDelete
  16. :d :d :d :|D
    මේ කතාව අවසානයේ සිනාව පමණයි...
    මොනව උනත් අලිය පවු... මිනිස්සු ඒකත් ජෝක් එකක් කර ගන්නවා... විල්බට්ට අපි හිනා උනාට ඒ මනුස්සයාගෙ හිතේ කොච්චර දුකක් තියෙන්න ඇද්ද....

    ReplyDelete
  17. නියමයි , අදමයි අපි මේ පැත්තට ගොඩ උනේ . වෙලාවක් තිබ්බොත් අපේ පැත්තටත් එන්න

    ReplyDelete
  18. පව් විල්බ . ඒ වුනාට ඌටමයි හිනා වුනේ.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...