Friday, December 29, 2017

552. If A Tree Falls In A Forest And No One Is Around To Hear It, Does It Make A Sound?

A Fallen Tree In A Forest
මහවන මැද  ඇද වැටුනු ගසක් ඉහත ඡායාරූපයෙහි දැක්වේ.

"හපෝ කුවේට් එයාර්පෝට් එකනම් ගන්ට දෙයක් නෑ ඒයි...හරියකට ඉඳගන්ට සීට්වත් නෑ. මිනිස්සු පනහක් හැටක් වගෙ බිම ඉඳගෙන ඔන්න හිටියෙ කොටින්ම" ස්නානය කොට අවසානයේ  කෙහෙවැටිය දුඹුරු පැහැති තුවායක් ආධාරයෙන් තෙත මාත්තු කරමින් ඇය පැවසුවාය.

"හ්ම්ම්ම්…" සයනයෙහි සුවපහසු අයුරින් දිගාවී ඇගේ ඉරියව් නරඹමින් හුන් මම පැවසුවෙමි.

මෙලෙස සයනයෙහි සුවපහසු ලෙස දිගාවී ඇය උදෑසන පාසල් යනු උදෙසා සූදානම්වන අයුරු නැරඹීමට හෝ රාත්‍රියෙහි නින්දට පළමු කණ්නාඩි මේසය ඉදිරිපිටවූ ස්ටූලය මත හිඳ හිස පීරන අයුරු නැරඹීමට හෝ නිදන කාමරයෙහි එහා මෙහා යමින් දවල් දවසේ සිදුවීම් සවිස්තරව පවසනු ඇසීමට මතක ඇති කලක සිට මම බොහෝසේ ප්‍රිය කලෙමි.

"හ්ම්ම් හ්ම්ම් ගගා ඉන්නෙ? ඔයත් මොනවහරි කියන්නකො…" ඇය කාමරය පුරා කරන සක්මන නවතා මදෙස හැරී නොපහන් දෑසින් යුතුව විමසීය.

"හරි හරි ඔයා කතා කරන්නකො...ඇහුම් කන්දෙන්ටත් කවුරුහරි ඉන්න එපාය…"

"ඒකත් හරි තමයි බලාගෙන යනකොට.."

"ඔව්..එහෙම තියරි එකකුත් තියනව…"

"තියරි එකක්? ඒ මොකක්ද ඒ?"

"ඒකට කියන්නෙ If a tree falls in a forest තියරි කියල…"

"ඔය ඉතිං?.... ඕක තව ටිකක් පැහැදිලි කරන්න බැරිද?"

"හ්ම්ම්ම්..මෙහෙම කියමුකො...මහ වන මැද වනස්පතියක් ඉදිරී බිම පතිත වුවහොත් ඒ ශබ්දය ඇසීමට කිසිදු සතෙකු හෝ මිනිසකු ඒ අවට නොවූයේ නම් සත්‍යය වශයෙන්ම එහිදී යම් ශබ්දයක් ඇතිවිනිද? අන්න ඒකයි විසඳිය යුතු ගැටළුව…"

"අනේ මේ...මට ඔය විකාර ගැන කල්පනා කරල ඔලුව නරක් කරගන්ට කිසිම ඕන කමක් නෑ…"

"එහෙම නෑ කියල බෑ...ඔයාට කල්පනා කරන්ටම වෙනව…. මොකද ඒ තියරි එක අනුව මම හ්ම්ම් හ්ම්ම් ගගා හරි ඇහුම්කන් දුන්නෙ නැත්තං ඔයා කතා කලේම නෑ වෙනව...ශබ්දයක් පිටවෙලාම නෑ වෙනව....Think about it…"

"මේ මම දැන් එක පාරකුත් කිව්වනෙ...මගෙ ඔලුව විකාර කරන්නෙ නැතුව ඔය ඉන්න විදිහකට ඉන්නවද?"

"හරි හරි ඒක අල්ලල දාන්න..මොකක්ද අර කුවේට් එයාපෝට් එක ගැන කිව්වෙ?"

අවසාන මොහොතේ ගුවන් ප්‍රවේශපත් වෙන්කිරීමට සිදුවූ බැවින් ඇය මෙවර මෙහි පැමිණියේ කුවේට් නගරය හරහා වට වන්දනාවක නිරතවය. ඒ වනවිට කටුනායක සිට දෝහා දක්වා නොනවත්වා පියාසර කරනා ගුවන්සේවාවන්හි ආසන ඉතිරිව නොතිබිණි. කටුනායක-කුවේට් සහ කුවේට්-දෝහා ලෙස අතරමැද හෝරා දෙක හමාරක විරාමයක් සහිතව යෙදුනු ගුවන් ගමනින් අනතුරුව ඇය බොහෝසේ විඩාපත්ව සිටියාය.

"නෑ මම මේ කිව්වෙ කුවේට් එයාපෝට් එකේ පහසුකම් නම් හොඳටම මදි කියල…" සයනයෙහි මා අසලින් හිඳගනිමින් ඇය පැවසුවාය.

නිහඬතාවයෙන් ගතවූ මිනිත්තු කිහිපයකින් පසු ඇය යලි මා ඇමතුවාය.

"මේ මම අහන්නමයි හිටියෙ...ඔයා අර බ්ලොග්ද මොනවද කියල එකක් ලියනව නේද? අර මේ පහුගිය දවස්වල මොනවද තෑගි වගේකුත් හම්බවුනේ?"

ඕනෑම දෙයක් හෝ සිදුවීමක් හෝ පුද්ගලයෙකු පිළිබඳව සෝපාහාසාත්මකව කථා කිරීමට ඇති හැකියාව ඇය උපතින්ම ගෙන ආවක් විය යුතුය. ඇගේ පියාණන් ද එවන් නර්මාලාප බිණීමෙහිලා උපන් සමතෙකි.

දශක දෙකකට පමණ පෙර මම එදවස සේවය කල වාරිමාර්ග හා සම්බන්ධ ආයතනයෙන් ඉවත්වූ ඉක්බිති මගේ සහෝදර නිලධාරීහු ඉවත්වූවන්ට උපහාර පිණිස උත්සවයක් සංවිධානය කළෝය. ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි මහවැලි කේන්ද්‍රයෙහි පැවැත්වුනු එම උත්සවයෙහිදී ප්‍රදානය කල සමරු ඵලකයද රැගෙන මම ආපසු නිවසට පැමිණියෙමි.

"මොකක්ද දැං ඔය තකහනියක් කොළඹ ගිහිල්ල හම්බවෙච්චි සම්මානෙ?" ඇය විමසුවාය. 

"මේක…" මම සමරු ඵලකය ඇයට පෑවෙමි. 

"හයියෝ..මොකක්ද අනේ ඔය?... පිඟානක්ද දුන්නෙ අවුරුදු පහළවක් වැඩ කලාට?" ඇය සිනාසෙමින් විමසුවාය.

මම ඉතා සන්සුන්ව ඇයට කරුණු පැහැදිලි කලෙමි. "මේ..මම අවුරුදු පහලවක් වැඩ කරපු තැනින් නෙවෙයි මේක දුන්නෙ..මේක දුන්නෙ මගෙ යාලුවො එකතු වෙලා..අනික මේක මේ සමරු තෑග්ගක්..ඒකෙ දිග පලල එහෙමත් නැත්තං වටිනාකම නෙවෙයි හොයන්න ඕන...Just the thought behind it…"

මම කෝපයට පත්ව ඇති බව වටහා ගත් ඇය මා වෙත පැමිණ මගේ සුරත ගත්තාය. "හරි හරි ඒ මම කියපු එක ගණං ගන්න එපා. දන්නවනෙ මම ඔය කටට ආපු එක අර මොකක්ද පොළවෙ ගැහුව වගෙ ඔහෙ කියල දානවනෙ…"

"ඒකතාව නම් ඇත්තම ඇත්ත…" මම සිනාසෙමින් පැවසුවෙමි. එසේමය. ඒ ඇගේ සහජ ගති ස්වභාවයයි.

එම අතීතාස්මරණයෙන් ඉක්බිති යලි වර්තමානයට….

"මේ මම අහන්නමයි හිටියෙ...ඔයා අර බ්ලොග්ද මොනවද කියල එකක් ලියනව නේද? අර මේ පහුගිය දවස්වල මොනවද තෑගි වගේකුත් හම්බවුනේ?"

"හ්ම්ම්ම්ම්..ලියනව තමයි..ඉතිං මොකෝ?" මම හිස යම්තමට හරවා රැළිකොටගත් දෙබැම යටින් ඇය දෙස බලමින් විමසූයෙමි.

"ආ..නෑ...නෑ.....කලබල වෙන්න ඕන නෑ… අද දවසටම කම්පියුටරේට කෙටුවෙ නැති හින්දයි ඇහුවෙ..හිහ්...හිහ්…"

"ඒ වැඩේ මම අල්ලල දැම්ම…"

"අනේ..නිකං බොරු කියන්න එපා ...මම දන්නෙ නැද්ද ඔයා ඔය බොලොග් කෙරුවාවට වහවැටිලනෙ හිටියෙ..එහෙම එකේ අල්ලල දායි එහෙනං මේං කියල…"

"හරි හරි ඇත්තම කියන්නංකො එහෙනං..ඔයා ආවට පස්සෙ මට හිතුන කොයි වෙලෙත් කොම්පියුටරේ ඉස්සරහ වාඩිවෙලා ඉන්න එක හරි නැහැ කියල…"

"අන්න එහෙම එන්න...මට ආදරෙත් තියනව එහෙනං…" ඇය එසේ පැවසුවේ මගේ හිස අතගාමිනි.

********************************************

ඉයන්ගෙ අලුත් පෝස්ට් එක ගැන පොඩ්ඩක් කතා කලොත් හොඳයි කියල හිතෙනව මේ එක්කම. මොකද මම මේ ලියපු කරුණු කාරණා ඉයන් මතුකරන කරුණු කාරණා වලටත් ඉතාම අදාලයි කියල මට හිතෙනව.

වෛවාහික බන්ධනයක් අවශ්‍යද නැද්ද කියල සාකච්ඡා කරන්ට කලින් එහෙම බන්ධනයක් අවශ්‍ය වුනේ ඇයි සහ එහෙම බන්ධනයක් ස්වාභාවිකද කියන කාරණය අපි පොඩ්ඩක් සලකා බලමු.

ගැහැණු පිරිමි දෙදෙනෙක් අතර ඇතිවන බැඳීම පරිසරයෙ අනික් සතුන් එක්ක සැසඳුවාම අස්වාභාවිකයි වගෙ කියල හිතුනට එහෙම නෙවෙයි කියලයි මගේ අදහස. මොකද එහෙම අනෙක් සතුන් අතර නැති දෙදෙනෙක් අතර ඇතිවන දීර්ඝ කාලීන බැඳීමක් මිනිස් ස්ත්‍රිය සහ පුරුෂයා අතර ඇති වෙන්නෙත් ස්වාභාවික අවශ්‍යතාවන් අනුවමයි. 

මම මේ ගැන ඉස්සෙල්ලම කියෙව්වෙ අවුරුදු තිස් පහකට වගෙ ඉස්සෙල්ල. "ඩෙස්මන්ඩ් මොරිස්" නම් සුප්‍රසිද්ධ මානව විද්‍යාඥයා ලියපු නිරුවත් වානරයා නම් පොතෙන්. මුල් පොතේ නම "The Naked Ape" නිරුවත් වානරයා නමින් පරිවර්තනය කලේ එස්. එම්. බන්දුසීල මහත්මයා. 

ඒ පොතේ ඩෙස්මන්ඩ් මොරිස් අපූරුවට පැහැදිලි කරනව විවාහය නම් අනෙකුත් සතුන් අතර නැති බැඳීමක් මිනිසුන් අතර ඇතිවුනේ කොහොමද යන කාරණය.

ඩෙස්මා කියන විදිහට හේතුව මේකයි. එහෙම නැත්තං අපෙ උන්දැගෙ අප්පච්චි කියන විදිහට මේකයි ඒකෙ අවයවය. දැං අපි අනික් අවසේස සත්තු ගමු. උංට පැටියෙක් හම්බ උනාම ඉපදිලා පැයක් දෙකක් ඇතුලත නැත්නම් උපරිමව වරුවක් දවසක් වගෙ ඇතුලත ඒ පොඩි එවුංට තමන්ගෙ කටයුතු සෑහෙන දුරකට තනියම කරගන්ට පුලුවනි. ටික ටික දුව පනින්ට අම්මගෙ තනේ හොයාගෙන කිරි බොන්ට වගෙ දේවල් බොහොම ඉක්මනට උංට පුලුවන් වෙනව. 

මේ විදිහට හැකි ඉක්මනින් තමන්ගෙ ආරක්ෂාව තමන්ම සලසාගන්න තත්වයට පැටවෙක් පත්වෙන එක බොහොම වැදගත් වර්ගයාගෙ මතු පැවැත්ම උදෙසා. ඒ කියන්නෙ කොයි මොහොතේ සතුරෙකුගෙන් ප්‍රහාරයක් එල්ල වෙයිද කියල නොදන්න නිසා. ඒ වෙලාවට රැලේ අනික් සත්තුන්ට තම තමන්ගෙ ආරක්ෂාව සලසාගන්නව මිසක පැටව් ගැන බලන්ට වෙලාවක් නැහැ. තමන් හිසට තම අතමය සෙවණැල්ල.

ආදීකල්පික මිනිසුන්ගෙත් තත්වයත් එහෙම වෙන්න ඇති. ඉපදිල බොහොම ඉක්මනට මිනිස් පැටවුන්ට තමන්ගෙ කටයුතු තමන්ට කරගන්ට අඩුගණනෙ බොහෝ දුරටවත් පුලුවන් වෙන්න ඇති. ඒ තත්වය අවුලක් නොවෙන්නෙ ජීවත්වීමට අවශ්‍ය වන්නෙ සහජයෙන් එන දැනුම පමණක් වෙනතෙක් පමණයි. 

ඒ කියන්නෙ කන්නෙ මොනවද? බොන්නෙ මොනවද?සතුරන්ගෙන් ආරක්ෂා වෙන්නෙ කොහොමද? වර්ගයා බෝ කරන්නෙ කොහොමද? කියන සහජයෙන් එන මූලික දැනුම ජීවිතේට ප්‍රමාණවත් වෙනතාක් ගැටළුවක් වෙන්නෙ නෑ. ඒත් මානව වර්ගයා පරිණාමය වෙද්දි ඒ සහජ දැනුම පමනක් ප්‍රමාණවත් නොවෙනකොට ඔන්න ගැටළුවක් ආවා. ඒ කියන්නෙ එක මිනිස් පරම්පරාවක් වැඩි දියුණු කල දැනුම, ලබාගත්තු ඥාණය අනුයාත පරම්පරාවට ලබාදීම අත්‍යාවශ්‍ය කාරණයක් වුනා මිනිස් වර්ගයාගේ ඉදිරි ගමන උදෙසා.

ඒ උදෙසාම මිනිස් දරුවාට දීර්ඝ ළමා කාලයක් ගත කරන්ට සිදුවුනා වැඩිහිටියන්ගෙන් දැනුම ලබා ගැනීම සඳහා. ඉතිං විසඳාගත යුතු ගැටළුව වුනේ මේ දීර්ඝ ළමා කාලයෙදි මිනිස් දරුවා ඉතාම අනාරක්ෂිතයි. ඔහුට හෝ ඇයට තමන්ගෙ එදිනෙදා කටයුතු පවා කර ගැනීමේ හැකියාවක් නෑ. බොහොම අසරණයි. සතුරන්ට ඉතාම පහසු ගොදුරක්. 

ඉතින් ඒ කාලයෙදි ඔවුන්ට ආරක්ෂාව අත්‍යාවශ්‍යයයි. ඒ ආරක්ෂාව ස්ත්‍රියකට නැත්නම් මවට පමණක් ලබා දීම අපහසුයි. ඒකට පුරුෂයෙකුගෙ නැත්නම් පියෙකුගෙ දායකත්වයත් ඕනමයි. ඔන්න ඔය අවස්ථාවෙ ඔය කාරණය මුල්කරගෙන අඹුසැමි බැඳීම ඇතිවුනා කියලයි මොරිස් කියන්නෙ. ඒ කියන්නෙ කොටින්ම මිනිස් පරිණාමයේදි මතුවුනු අත්‍යාවශ්‍ය සාධකයක් විදිහට.

ඉතිං අනික් අතට මෙහෙම එක ස්ත්‍රියකට බැඳෙන එක පරිණාමීය අවශ්‍යතාවයක් වුනාට මිනිසුන්ගේ සහජයට විරුද්ධයි. එතකොට මේ දෙක අතර සනාතන ගැටුමක් පවතිනව. සමහර පිරිමින්ගෙ බන්ධන ස්වභාවය ප්‍රබල වෙනකොට සමහර පිරිමින්ගෙ සහජ ස්වභාවය ප්‍රබලයි.

ඒ වගේම අනික් හැමදෙයක්ම වගෙ යම් චාරිත්‍රයක අවශ්‍යතාවය ක්ෂීණ වෙලා ගියාම වෙන්නෙ ඒ චාරිත්‍රය ස්වභාවික මරණයකට පත්වෙනව. විවාහයටත් අද වෙලා තියෙන්නෙ ඒක කියලයි මට හිතෙන්නෙ. දරුවන්ට දැනුම ලබා දීම තව දුරටත් දෙමව්පියන්ගෙ කාර්යභාරයට අයිති නැහැ. ඒ වගේම වර්තමාන සමාජයෙ දරුවන්ට දෙමව්පියන්ගෙන් දැඩි ආරක්ෂාවක් ඕනත් නෑ. එහෙම ඕන වුනත් දෙමව්පියන්ට විසි හතර පැයේම එහෙම ආරක්ෂාවක් ලබා දෙන්නත් බෑ. 

ඒ හින්ද මම හිතන්නෙ නුදුරු අනාගතයෙදි වෛවාහික බන්ධනය කියන ප්‍රපංචයම ස්වාභාවික මරණයකට පත්වෙයි. එතකල් එහෙම බන්ධනයක අවශ්‍යතාවය දැනෙන අය ඒ කිව්වෙ අර පරිණාමික ක්‍රියාවලියට පක්ෂ අය තව විදිහකින් කිව්වොත් මේ මම වගෙ කට්ටිය එහෙම බන්ධනය වෙයි. එහෙම එකක් ඕනම නෑ කියල හිතන අය ඒ කිව්වෙ සහජයට ඉඩ දෙන අය ඒ විදිහට ඉඳියි.

යූ අන්ඩර්ස්කර්ට් මයි ඩියර්ස්?

Thursday, December 14, 2017

551. The Story Of My Marriage - 54 - "When I am really happy I have to cry" said Ananya's Mother with tears streming down her cheeks….

බිම වාඩිවී ආහාර ගන්නා දකුණු ඉන්දියානු පවුලක් 

අනන්‍යා මංජුගේ කුටියෙන් පිටව ගොස් තවත් මිනිත්තු පහකට පමණ ආසන්න කාලයක් ගතවූ ඉක්බිති මම ඉන් පිටතට පැමිණියෙමි.

ඒ වනවිට සාලයෙහි රැස්වහුන් පිරිස අතර හරිෂ් අරභයා කෙරුණු විටින් විට "ආහ්.....රියලි? ඊස් දැට් සෝ?..." යන විස්මයාන්විත රාවයන්ගෙන් සමලංකෘතවූ කතා බහ යම් පමණකට අඩුවගොස් තිබිණ. 

සුහද හමුවකදී අනිවාර්යයෙන් සාකච්ඡා කලයුතු මාතෘකාවන් පිළිබඳ සාකච්ඡා කොට අවසාන වූ පසු තමිල්නාඩු පුරුෂ පක්ෂයේ සාමාන්‍ය පිළිවෙත වූ පුවත්පත දිග හැරගැනීම වෙත වැඩිමහල් පුරුෂයින් යොමුව සිටි අතර කාන්තා පක්ෂය වෘත්තීය නාටිකාංගනාවන් තම රංගනයන් ඇරඹුමට ප්‍රථම ප්‍රේක්ෂකාගාරය වෙත හිස මඳක් නවා ඉදිරිපස සියළු දසන් දක්වා කෙරෙන සිනහවන් බඳු සිනහවන් සෑම මිනිත්තු පහකට වරක්ම පාහේ එකිනෙකා වෙත පාමින් සෝපාවන්හි හොඳහැටි දිගඇදී හුන්නෝය.

යෝජිත මනාල මහතා තෙමේ තම කලිසම් සාක්කුවෙන් පිටතට ගත් නවතම මෝටරොලා ස්ටාර්ටැක් ජංගම දුරකථනයට නෙතු යොමාගත්වනම විද්‍යුත් තැපැල් පණිවිඩ පිරික්සමින් සිටියේය. 

අනන්‍යාගේ මෑණියෝ ඇගේ සුපුරුදු පොසිලගත ආදිකල්පික නාගයින් විශේෂයක් සිහිගන්වනසුළු තෙලෙහි බදිනලද කටගැසුම් විශේෂයක් පිළිගන්වමින් අමුත්තන් අතර එහා මෙහා ගමන් කළාය. එම කටගැසුම් විශේෂය හඳුන්වනුයේ "මුරුක්කු" යන නමින් බව අනන්‍යා මා සමඟ පසු දිනක පැවසුවාය. 

සාලයෙහි අසුන්ගෙන හුන් කිසිවකු එකිනෙකා හා කතාබහ නොකලහ. අවකාශය පුරා පැතිරගිය දැඩි නිශ්ශබ්දතාවය වරින්වර බිඳී ගියේ පුරුෂ පක්ෂය කියවන පුවත්පත්වල පිටු පෙරළීමේදී පැනනඟින සර සර ශබ්දය සහ කාන්තා පාර්ශවය මුරුක්කු සැපීමේදී නිකුත්වන කටස් ශබ්දයෙන් පමණකි. පන්ජාබි නිවසක සාලයක මෙවන් පිරිසක් රැස්ව සිටියදී මෙබඳු නිශ්ශබ්දතාවයක් පවතීනම් ඔබට ඊට හේතුභූත විය හැකි කරුණු කිහිපයක් කිසිදු සැකයකින් තොරව මෙපරිදි අනුමාන කල හැක.

පළමුව බොහෝවිට ඒ රැස්ව සිටින්නන්ගේ ආසන්නතම ඥාතියෙකු හෝ හිතවතෙකුගේ අනපේක්ෂිත අභාවයක් විය හැක. 

එසේ නොමැත්තේනම් රැස්ව සිටින්නන් කිහිප දෙනෙකු අතර දුරදිග ගොස් නඩු මාර්ගයට පිවිසෙන්නට පමණ උග්‍ර ඉඩම් අර්බුදයක් පැවතිය හැක. 

එසේත් නැතහොත් දිවා ආහාරය පිළියෙල කරද්දී කිසිවකුහට පරිප්පු වෑංජනයට පනීර් යෙදීමට අමතක වීමද එවන් දැඩි නිශ්ශබ්දතාවයකට බොහෝ පහසුවෙන් හේතුවිය හැක.

(පනීර් යනු යොදය රහිත කිරි දෙහි ඇඹුල් හෝ විනාකිරි යොදා මුදවා සාදාගන්නා ඉවීමේදී බොහෝ වෑංජන වලටද එකතු කරගන්නා යෝගට් වැනි කිරි ආහාරයකි.උතුරු ඉන්දියානුවෝ සෑම ආහාර වේලකටම පාහේ පනීර් එකතුකොට ගනිති.)

එහෙත් මේ වනාහී අනන්‍යාගේ මව්පියන් ඇතුළු අතිමහත් බහුතරයක් චෙන්නයි නිවැසියන්ගේ සාමාන්‍ය චර්යාවයි. මහත් ප්‍රීතියට පත්ව ඉතා උනන්දුවෙන් යුතුව නිවට පිවිසෙන අමුත්තන් පිළිගන්නා ඔවුහු ඉතා ඉක්මණින් නීරස කටගැසුම් සපමින් පුවත්පත්වල පිටු පෙරළමින් වරින්වර එකිනෙකා දෙස නිහඬ සිනහවන් පාමින් නිසොල්මන්ව සෝපාමත හිඳගත්වනම සිටිනා ගොළු බිහිරි තත්වයට පත්වන්නෝය.

ඉතිං ඔන්න මම හෙමිහිට සාලෙට ඇතුලු උනයි කියමුකො. මුරුක්කු හපමිං පත්තර බලමිං මිනිත්තු පහකට සැරයක් විතර එකිනෙකා දිහා බලල යම්තමට තොල් විරිත්තා ගනිමින් උන්නු අමුත්තො හැමෝම එක සැරේටම මා දිහාට හැරුන. අනන්‍යාගෙ අම්ම මාව දැක්ක විතරයි පුදුම සතා දැක්ක වගෙ කටත් බාගෙට ඇරගත්ත. අනන්‍යා අම්මට එහා පැත්තෙ ඉඳගෙන හිටිය. ඈට මූණලා ඒ ඉස්සරහම හිටියෙ හරිෂ්ගෙ අම්මයි තාත්තයි දෙන්න.

මම ඉතිං හෙමීට ගිහිල්ල මංජු මට එයයිගෙ කාමරේට කතා කරන්ට ඉස්සරවෙලා අර මම ඉඳගෙන හිටිය කිව්වෙ සාලෙ මුල්ලක තිබ්බ පුටුවක. අන්න ඒකෙ ආයම ඉඳගත්ත.

"මේ තමයි අපේ මංජුගෙ ටියුෂන් මාස්ටර්……" අනන්‍යාගෙ අම්ම මාව කට්ටියට අඳුන්වල දුන්න.

මම සාලෙට ඇතුල්වෙනකොට හැරිල මා දිහා බලල ඒ එක්කම ආපහු තම තමන් නිරත වෙලා උන්නු ඉතාම වැදගත් රාජකාරිවලට ඒ කිව්වෙ මුරුක්කු හපන්ඩ එතකොට පත්තර වල පිටු පෙරලන්ට වගෙ දේවල්වලට ආයම යොමුවෙලා හිටිය සාලෙ හිටපු කට්ටිය එකපාරටම ආයම පාරක් හැරිල මා දිහා බැලුව. මයෙ හිතේ "මොකාද බොල මේ හිමිදිරි පාන්දර ටයි පොල්ලකි කෝට් බෑයකි එහෙමත් සැරසිල කොලු ගැටවුන්ට ටියුසං දිදී ඇවිදින ගොබිල?" කියල වෙන්ටැති බොහෝවිට.

"මේ අයිය අක්කත් එක්ක එකට ඉගෙන ගෙන තියනව අයි.අයි.එම්.ඒ. එකේ….." මංජු එහෙම කියල මගෙ නම්බු කටුව යම්තමට ආරක්සා කරල දුන්න. නැත්තං අර අනන්‍යාගෙ අම්ම කිව්ව විදිහට මේ මිනිස්සු හිතන්ට ඇත්තෙ මම නිකම්ම නිකං හාංචිපයිස් ටියුසං කාරයෙක් කියල වෙන්න ඕන එකත් එකටම.

"අහ්...තමුනුත් අයි.අයි.එම්.ඒ. එකේ ඉගෙන ගත්තද? මගෙ යාලුවො බොහොම දෙනෙක් ඉන්නව මම හිතන්නෙ තමුන්ලගෙ සීනියර්ස්ල වෙන්න ඕන බොහෝවිට…" හරිෂ් පොහොන් එකෙං ඔලුව උස්සල බුරුසුවට යටිං කිව්ව.

"ආ..එහෙමෙයි? ඒක හොඳයි…." මම එහෙම කියල හරිසා එක්ක යම්තමට විරිත්තල හිනාවුනා. නැත්තං හරි නැහැ නෙව. මොනව උනත් අයි.අයි.එම්.ඒ. එකේ ගහුරවේ තියන්ට එපාය දිවිහිමියෙං.

ඇත්තටම මට ඕන උනේ හරිසගෙ බුරුසුව එක අතකිං අල්ල පාත් කරල අනික් අතිං අනන්‍යාගෙ අම්ම හදපු මුරුක්කු තුන හතරක් උගෙ නාහෙ ඇතුලට යවල දබරැඟිල්ලෙං ඇති වීරියෙං පුලුවං තරං දුරකට ඇතුලට තල්ලු කරන්ට. එක පාරටම ඉඳගෙන ඉන්න පුටුවෙං නැඟිටල "ඔහෙ හිටපිය ගෙරි බුරුසුව ම තොට හොඳ වැඩක් කරන්ට...." කියල කෑගහල එහෙම කලොත් මොකක් වෙයිද කියල හිතල මට හිනායන්ටත් ආව.

අනන්‍යාගෙ තාත්ත හරිෂ්ගෙ තාත්ත දිහාට හැරිල දෙමළෙං මොන මොනවද කිව්ව…"චෙන්නයි සිටි... බෑන්ක් පෝස්ටඩ් ..පන්ජාබි ෆෙලෝ….." ඒ ටික විතරයි ඒ කියාපු විස්තරෙං මට තේරුනෙ. ඒ ජුංඩත් තේරුනේ එහෙම කිව්වෙ ඉංග්‍රීසියෙං හින්ද.

හැමෝම අනන්‍යාගෙ තාත්තගෙ කරුණු පැහැදිලි කිරීම අහල මං හිතන්නෙ සැනසුම් සුසුම් පිටකරන්ට ඇති. මම පන්ජාබි කියල කිව්ව ගමං එතනිං එහාට මම ගැන එයාලට කරදර වෙන්ට කිසිම හේතුවක් නෑ. මම කෙලිම්ම තනිකරම පිටස්තරයෙක්. "නතිං ටු ඩූ විත් අස් ඇටෝල්..හී ඊස් ඩෙෆිනීට්ලි ඇන් අවුට්සයිඩර්.." එයාල එහෙම තොල මතුරගන්ට ඇති. ඇත්තම කිව්වොත් මට එහෙම ඇහුන ඇහුන වගෙත් දැනුන.

"අනන්‍යා කතා කරන්නකො මේ හරිෂ් එක්ක.."

අනන්‍යාගෙ අම්ම අනන්‍යාගෙ කණට කරල රහසිං කිව්ව. රහසිං කිව්ව කියල ඒ අම්මණ්ඩි හිතාගෙන උන්නට ඒ අහල පහල උන්නු හැමෝන්ටම ඒක ඇහුන.

"ඔයා කොච්චර කල් මේ පාර ඉන්දියාවෙ ඉන්නවද?" 

අනන්‍යා හරිෂ් දිහාට හැරිල ඇහුව. ඇගේ දෑතෙ පැළඳගෙන උන්නෙ රත්තරං වළලු මිහිරි සංගීතමය හඬක් නඟමින් එකිනෙක ගැටුන. මොනවට මේ අම්මණ්ඩි අද මේ වළලු දැම්මද මන්ද. ඕනම නැති දෙයක්නෙ. එහෙම වළලු එහෙම දාගෙන ඉන්න කොට හරිෂ් උනත් හිතයි මෙයා එයාට බොහොම කැමතියි කියල. ඔය වළලු දැමිල්ල ගැන අහන්ටම ඕන පුලුවන් ඉක්මනටම. ඒත් ඉතිං වැඩක් වෙන එකක් නෑ. මම දන්නෙ නැද්ද මෙවුන්දැගෙ හැටි. ඔය මොකක් හරි කියල ලස්සනට ලිස්සල යාවි...

"සති දෙකයි මට ඉන්න වෙන්නෙ. අපේ වාර්ෂික සමුළුව මේ පාර තියෙන්නෙ බාලි දූපතේ. මට තව සති දෙකකිං අනිවාර්යයෙංම ඒකට යන්න වෙනව" හරිෂ් බුරුසුව හොල්ල හොල්ල කිව්ව. 

"බාලි? ඒ කොහෙද ඒ?" එහෙම ඇහුවෙ අනන්‍යාගෙ ආන්ටි කෙනෙක්.

"බාලි කියන්නෙ ඉන්දුනීසියාවට අයිති විසාල දූපතක්. චෙන්නයි ඉඳල සිංගප්පූරුව හරහ තමයි ප්ලේන් එකේ යන්න වෙන්නෙ. ගමනට හරියටම පැය අටක් යනව" හරිෂ්ගෙ අම්ම ඔලුවත් හොල්ල හොල්ල එහෙම කිව්වෙ සතියකට දෙපාරක් වගෙ බාලි ගිහිල්ල ඇවිල්ල හොඳ පලපුරුද්දක් තියෙන කෙනෙක් විදිහට.

හැමෝම තම තමාට අයිති ඔළුගෙඩි ඒ කිවෙ තමංගෙ බෙල්ලෙ උඩ වැජඹෙන ඔළුගෙඩි ඉතාම සීරුවෙන් ඒ වගේම ඉතාම කල්පනාබරව සිරස් අතට ඉහල පහල හොල්ලල බාලි දූපත පිළිබඳ ඒ තොරතුරු තම තමංට අයිති අදාල ඔලුවලට දාගත්ත. චෙන්නයි වාසීන්ගෙ තවත් ලක්සනයක් ඕන්න ඕක. ඒ කිව්වෙ දැනුම සහ තොරතුරු වලට බොහොම ලැදියි. අනන්‍යාගෙ පවුලෙ උදවියත් එහෙමම තමයි. තමන්ට කිසිම ප්‍රයෝජනයක් නොවුනත් දැනුම රැස්කරගන්ට බොහොම කැමතියි.

ඉතිං අපි කට්ටිය ඔන්න එකිනෙකා නැඟිටල කෑම මේසෙට ගියා. කෑම මේසෙ කියන්න බෑ ඇත්තම කිව්වොත් ඩයිනිං ටේබල් නෙවෙයි මේක ඇවිදිල්ල හිට ඩයිනිං ෆ්ලෝ. සාලෙ කෙළවරක බිම ලොකු කළාලයක් එළල තිබ්බ. ඒ වනාහී මේසයයි. ඒ කළාලෙ පැත්තක කෙහෙල් කොළ ගොඩගහල තිබ්බ. ඒ වනාහී පිඟං.

මට පෙනුනෙම ඒ කෙහෙල් කොළ වෙනදට වඩා තද කොළ පාටයි වගේ. ඒ මගේ හිතේ පැහැවන ඊරිසියාව හින්ද වෙන්න ඇති සමහරවිට. අර ඉංග්‍රීසි බාසාවෙ මෙහෙමත් කියනවනෙ. "I went green with envy" කියල. ඒ කියන්නෙ ඊරිසියාවෙ පාට කොළ පාට කියලනෙ කියන්නෙ.

ඉතිං බිම තප්පලං ගහල ඉඳගෙන ආන්ටිල ඔක්කොම එකතුවෙලා තරඟෙට වගෙ අර හරිස් ගොයියගෙ කෙහෙල් කොළේට තියන තරමක් කෑම ගොඩ ගැහුව.

"අයියෝ අයියෝ මට වැඩියි. අනේ මේ හොඳටම වැඩියි හොඳටම වැඩියි" හරිසා එහෙම කෑගහල "මේ බලන්නකො ඉඩ්ලිම හයක් මේකෙ. මේ හැටි කොහෙට්ට කන්ඩද අප්පේ? කාට හරි ඕනද? මටනම් ඇත්තටම වැඩියි…"

මිනිහ එහෙම කියල අනන්‍යා දිහා හොරැහිං බලල ඉඩ්ලි එකක් ඈගෙ කෙහෙල් කොලේ තිබ්බ. 

"අනේ හරිම ස්වීට් අනේ...ඩිඩ් යූ සී දැට්?..මයී...සෝ ස්වීට්.." ආන්ටිල දෙතුං දෙනෙක්ම හරියට කලිං කතා කරගෙන වගෙ එක සැරේ අත් උඩ විසික්ක කරල හීං අඬිං කෑගැහුව.

"දැක්ක නේද එයා ඔයාට දැනටම කොච්චර ආදරේද කියල?....ඔයා නම් පුදුම ලකී අනේ..වෙරි වෙරි ලකී ගර්ල්…" අනන්‍යා ලඟම හිටපු තප්ප දෝරුවක් වගෙ ආන්ටි කෙනෙක් අනන්‍යාගෙ මූණ අත ගෑව. 

මට නේද ඌරු ජුවල් ගියාය කියන්නෙ මෙහෙම වෙලාවට එන කේන්තියට වෙන්න ඕන. මට හිතුනෙම මගෙ ඉස්සරහ තිබ්බ කෙහෙල් කොලේ රෝල් කරල එක හුස්මට කාගෙන කාගෙන යන්ට. එහෙම නැත්තං?…... ඔව් එහෙම නැත්තං මොකක්ද හැබෑටම? ...මම කියන්ටම ඕනෙ නෑනෙ ඔබ තමුන්නාන්සෙල තමුන්නාන්සියොම හිතාගන්ට එහෙම නැත්තං මොකක්ද කියල…

ආ මේ තියෙන්නෙ කෙහෙල් කොලේ කනවට වඩා මේක කරානං කීයත් හොඳයි. කලාලෙ මැදම බැබලි බැබලි තිබ්බ සාම්බාර් බාජනේ දිහා බලාගෙන මම එහෙම හිතුව.....දෙයියම්ප මට හැටියක් නෑනෙ මේ සාම්බාර් අර යස්සයගෙ ඉස්මුදුනෙ ඉඳල හලන්න..මිරිස් කෑලියි, ලූනු කෑලියි, කරපිංචයි උන්දැගෙ සපාරි සූට් එක පුරාම ගලන කොට කොහොමද සනීපෙ...හෙහ්..හෙහ්...

ඉඩ්ලි එක අනන්‍යාගෙ කෙහෙල් කොලේට දැම්මම ඒකට සබාවෙන් ආව ධනාත්මක ප්‍රතිචාර හින්ද මම හිතන්නෙ හරිෂ් ගොයිය උෂාර් උනාද කොහෙද. ඒ කලවැද්ද ඊලඟට පටන් ගත්ත අර මෝඩ ගෑනු රොත්ත මිනිහගෙ කෙහෙල් කොළේට ගොඩ ගහපු ඔක්කොම එකින් එක අරගෙන අනන්‍යාගෙ පතට බෙදන්ට. උප්මා, පොංගල්, චට්නි එතිං ගිහාම යම්තමට තෙලෙං බැදපු කෙසෙල් පෙති එව්වයි මෙව්වයි ඔක්කොම මෙන්න මේ යකා පටංගත්ත අර කෙල්ලට ගොඩ ගහන්ට. 

අර ආන්ටිල කට්ටියත් මේ යකා මෝඩය වගෙ එහෙම කරන කරන පාරක් පාරක් ගානෙ ආහ් ඌහ් ගාන්ටයි ඉඟි මරන්ටයි ඇස් ගහන්ටයි ගත්තෙ නැද්ද? අනේ දෙයියම්ප මට මෙවුං ඔක්කෝටම කොණක ඉඳල තලන්ට නැති හැටියක් පිට හරහට අර මඩු වලිගයක්ද මොකක්ද එකකිංවත්...(ඔය මඩු වලිග ගැනත් මට කිව්වෙ මගෙ අර ලංකාවෙ යාලුව..ලොක්ක...)

"අපි මංගල්ලෙට දින තීරනේ කරනකොට ඇමරිකාවෙ නිවාඩු දවස් අල්ලල දින දාගත්තොත් හොඳයි නේද? නෑ මම මේ කිව්වෙ එහෙ ඉඳල හරිෂ්ගෙ යාලුවන්ට එහෙම එන්ට ලේසිවෙන්ට…"

ශෝභා ආන්ටි එහෙම කිව්වම මගෙ මාලු නටන්ට ගත්ත බලා ඉන්දැද්දි.

"කලබල වෙන්නෙ මොකටද ආන්ටි?..තව එව්වට කල් තියනව"

අනන්‍යා මගෙ දිහාවෙ හොරෙං බලල කිව්ව. "තෑන්ක්ස් අනන්‍යා මෙතන ඉන්න පිස්සො පිස්සියො රැලට එහෙම අවවාදයක් හරි දුන්නට.." මම හෙමිහිට මටම කියාගත්ත.

"අයිය ඔයාට නිකං සනීප නෑ වගේ නේද?"

මංජු මට ඉඩ්ලි දාල තිබ්බ තැටිය දික්කලා. මම ඔලුව දෙපැත්තට වැනුව. ඉඩ්ලි එපා කියන්ට සහ ඒ එක්කම මට අවුලක් නෑ කියල කියන්ටත් එක්කම. මංජු එක්ක මම දැං මාස දෙකක් විතර සතියට  අඩුම ගානෙ දවස් තුනක් විතරවත් ගත කරනවනෙ. කොල්ලට ඒ හින්ද මගෙ මූඩ් පට ගාල මීටර් වෙනව.

ඉතිං ඔය බහුරූ කෝලම් මැද උදේ කෑම වැඩේ හෙමිහිට ගලාගෙන ගියාය කියමුකො. මෙන්න වැඩේ අහවරයක් වෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මෙච්චර වෙලා මෙතන නටපු ජවුසං ඒ කිව්වෙ අර පිස්සගෙ ඉඩ්ලි බෙදිලි ඒ එක්කම වයසක ගෑණුංගෙ ඉඟි මැරිලි ආහ් ඌහ් ගෑවිලි ඔක්කොම දෙකේ කොලේට වැටෙන වැඩක් කලේ නැද්ද අපේ මේ අනන්‍යාගෙ මව් තුමිය. ඒ මොකක්ද දන්නවය? ඒ අම්මණ්ඩි එක පාරටම අනෝරා වැස්සක් කඩාවැටෙනව වගෙ අඬන්ට තියාගත්තෙ නැද්ද?

"අම්මා..ඇයි අම්මා?"

අනන්‍යා දනිපනිගාල නැඟිටල ඇවිල්ල අම්ම ලඟ දණ ගහගෙන ඇහුව. අම්ම ඒත් වචනයක්වත් කතා කලේ නෑ. එක දිගටම ඔලුව දෙපැත්තට වන වන එක සීරුවට අඬන්ට ගත්ත. කම්මුල් දිගේ කඳුලු බේරෙනව. මංජු අම්ම අඬනව දිහා බලාගෙනම තව ඉඩ්ලි කෑල්ලක් කටේ දාගත්ත. සපාරි සූට් අංකල්ල සෙට් එක නම් අම්මගෙ මේ වැලපිල්ල තඹ පයිසෙකට මායිං කලේ නෑ.

අම්ම ලඟම ඉඳගෙන හිටියෙ සුරුචි ආන්ටි..

"රාධා…. අනේ ඇයි රාධා?" එයා අම්මගෙ උරහිසට අතක් තියල හෙල්ලුව.

"මොකවත් නෑ අනේ……….." අම්ම අඬ අඬාම කිව්ව. "මට සන්තෝසෙ උහුල ගන්ට බෑ. එහෙම උනාම මට ඇඬෙන එක නවත්ත ගන්ට බෑ…."

අම්ම එහෙම කිව්වෙ කොපමණ හැඟීම්බර සහ ඒ වගේම දයාර්ද්‍ර වූ ස්වරයකින්ද යත් මටත් ඇඬෙන්ට වගෙ ආව ඔන්න ආය වෙන කතා කුමටද? අම්ම දිහා බයවෙලා වගෙ බලාගෙන හිටපු ආන්ටිල ඔක්කොම පිටි අල්ලෙං කඳුලක් පිහගත්ත. හරිෂ්ගෙ අම්ම ඇවිල්ල අනන්‍යාගෙ අම්මව වැළඳ ගත්ත.

මම හීන්සැරේ ඔලුව හරවල අනන්‍යා දිහාවෙ බැලුව. ඒ වෙලාවෙම එයත් මගෙ දිහා බලල ඇස් කරකවල දිග සුසුමක් හෙලුව. ඒ මට කිව්වෙ අම්මගෙ හැටි ඔහොම තමයි ඔව්ව ගණං ගන්ට එපා කියල....හෙහ්,හෙහ්,

"අනේ අපෙ දරුවො කොච්චරනම් ඉක්මනට ලොකු මහත් වෙනවද?" එක ආන්ටි කෙනෙක් එහෙම කියල හීල්ලුවා.

"දරුවො ලොකු වෙනව තමයි ඒ එක්කම ඔහෙලා වයසට යනව..ඒක තමයි ලෝක සොබාවෙ…" මම ඒ මනුස්සය දිහා බලාගෙන තොල් මැතුරුව.

"ඉඳපල්ලකො මම බොලා ඔක්කෝටම හොඳ වැඩක් කරන්නංකො ආය ජීවිත කාලෙටම මතක හිටින්ට…" කුස්සියෙ සින්ක් එකෙං අත හෝදන අතරෙ මම මටම සපථ කර ගත්ත...දිවුරා පොරොන්දු වුනා.

Tuesday, December 5, 2017

550. The Story Of My Marriage - 53 - The Taste Of Her Strawberry Lip Gloss Lingered On My Lips……


ලිප් ග්ලොස් ආලේප කල යුවතියක් ඉහත ඡායාරූපයෙහි
දැක්වේ.ස්ට්‍රෝබෙරි, ඇප්‍රිකට්, දූරියන්, කටුවැල්බටු,
අසමෝදගම්, පෙරුංකායම්, පත්පාඩගම් වැනි බොහෝ
රසයන්ගෙන් යුත් ලිප් ග්ලොස් වර්ග
අද වෙළඳ පොලේ ඇත.

අද ලියන්නෙ පන්සිය පණස් වෙනි වියුණු සටහන නැත්තං සරලව කිව්වොත් බ්ලොග් පෝස්ට්ටෙක. පන්සිය පණහක් ලියන්ට අවුරුදු හතක් ගියා. සෙල්ලං නෑ. ඇවරේජ් බැලුවොත් අවුරුද්දකට දළ වශයෙන් පෝස්ට් 78.6714 වගෙ. ඒ වාක්‍යයෙ වැරැද්දක් තියනව ...හා මොකක්ද? 

බුදු හාමුදුරුවොත් පන්සිය පණහක් ආත්ම භාව වල ඉපදිල පෙරුම් පිරුවයි කියනවනෙ බුදු බව ලබන්ට. බුදු බව පතනා වෙසතුරු නිරිඳා තම සියළු ධනය දුගියට දෙමිනා...

වෙසතුරු නිරිඳා දුගියන්ට ධනය බෙදල දුන්නු එකනම් ඇත්ත. ඒත් ඒ ධනය එහෙම බෙදල දෙන්ට එව්වයෙ තනි අයිතිකාරය වෙස්සන්තර ගොයියද කියන එකනම් මට එදවස ඉඳලම තිබ්බ පස්නයක්. රජ්ජුරුවන්ට ඔහොම රන් රිදී මුතු මැණික් තියෙන්ට මොකෝ රජ්ජුරුවො කියන මනුස්සය ධනය හම්බ කරලය? නැද්ද? ඒ ඔක්කොම රටේ මහජනයගෙ සල්ලි. වෙස්සන්තර ලොක්ක තමංගෙ වගෙ බෙදල තියෙන්නෙ ඇත්තම කිව්වොත් තමංගෙ සල්ලි නෙවෙයි.....

හරි වැල්වටාරම් ඇති. බහිමු ප්‍රස්තුත කතා පුවතට. ඒ කිව්වෙ අර කිරිස් සහ අනන්නියාගෙ කතන්දරේට....

රයිට් ගහමු තරු වැට ඉස්සෙල්ලම (Okay, hit the star fence first….)

****************************************

මංජුගෙ පස්සෙං මම මංජුගෙ කාමරේට ගියා.මංජුගෙ ඇඳ උඩ ඉඳගෙන හිටියෙ අනන්‍යා…..අර එදා මම ඇයට විවාහ යෝජනාව කරපු දවසෙ ඇඳගෙන හිටිය නිල්පාට සාරිය වගේම සාරියකුත් ඇඳගෙන..ඒකමදත් මන්ද.... 

අර මතකනෙ නේද? ඇගේ රැකියා ඉන්ටර්වීව් එකෙ දවසෙ අර මම ඉන්ටවීව් බෝඩ් එක ඉස්සරහම දණ ගහල ඇගෙන් එහෙම ඇහුවෙ...."Ananaya Swaminathan, I Krish Malhothra loves you from all of my heart and would like to have you by my side all my life. So would you please marry me?" කියලනෙ මම ඇහුවෙ..ඇයි මතක නැද්ද අනේ?

"මොකෝ මෙතන කරන්නෙ? ඔයයිගෙ මනමාලය අන්න අරෙහෙ සාලෙ ඉන්නව සෝපාව උඩ පට්ටල වෙලා හරියට හම්ටි ඩම්ටි සැටොන වෝල් වගෙ. ඇයි ගිහිල්ල වනක්කම් වෙල්කම් ටු මයි හෝම් කියල කියන්නෙ නැද්ද?"

තරහ කොන්ටෝල් කරගන්ට කොච්චර මාන්සි ගත්තත් ඒ ටික මගෙ කටෙං පිටවුනෙ සබ් මැෂින් ගන් එකකින් උණ්ඩ පිටවෙනව වගෙ.

බිම බලාගෙන හිටපු අනන්‍යා ඔලුව උස්සල මගෙ දිහා ටික වෙලාවක් බලාගෙන හිටිය. ඒ ඇස්වල තියෙන්නෙ දුකක්ද වේදනාවක්ද නැත්නම් තරහවක්ද කියල ඈ ගැන ඔච්චර හොඳට දන්න මටත් හිතාගන්න බැරිවුනා. ඒ වෙනකොටත් මගෙ කේන්තිය අතුරුදන් වෙලා ඇයට ඒ විදිහට එකපාරටම කඩාගෙන පැනල දොස්කිව්ව එක ගැන තැවුලක් මගෙ හිතේ හෙමීට මෝදුවෙන්ට පටන්ගෙන තිබ්බ.

ඇය ඔලුව හරවල මල්ලි දිහා බැලුව. "මංජු ….මල්ලි ඔයා ටිකකට මෙතනින් යනවද?"

මේ වෙනකොටත් මංජු ආයම ප්‍රශ්නෝත්තර පොතකුත් අරගෙන මේසෙ ඉස්සරහ ඉඳගෙනත් ඉවරයි. "අයියෝ අක්කෙ..මට බෑ කොහෙවත් යන්න..මට ගණං දෙක තුනක් තියනව හදන්න"

"ඒ දෙක තුන පස්සෙ හදා ගන්න. දැන් මෙතනින් යන්න ප්ලීස්.."

"මම කොහේට යන්නද?" මංජු නහයෙන් අඬන්න ගත්ත. 

"අර සාලෙට ගිහිල්ල ඇවිල්ල ඉන්න කට්ටිය එක්ක මොනවහරි කතා කරන්න. නැත්නම් අම්ම කුස්සියෙ ඇති. එහෙට ගිහිල්ල අම්මට මොකක් හරි උදව්වක් කරන්න. ඒ මොකක් උනත් මට කමක් නෑ. දැනට මෙතනින් යන්නකො හොඳ ළමය වගෙ"

භෞතික විද්‍යා ප්‍රශ්නෝත්තර පොත කිහිලි ගහගෙන මංජු බැරි බැරි ගාතෙ නැඟිටල සාලෙට ගියා. ඒත් එහෙම ගියේ යන්ට ඉස්සෙල්ල අනන්‍යායි මායි දෙන්නම දිහා රවාගෙන වගෙ බලා ඉඳල ඊට පස්සෙ.

මංජු කාමරෙන් ගියාට පස්සෙ මම ඇඳේ වාඩිවෙලා ඉන්න අනන්‍යාට පිටුපාල ජනේලෙ ගාවට ගිහිල්ල එතනම එළියෙ තියන අඹ ගහ දිහාවෙ බලා ඉන්ට ගත්ත.

"I am sorry Krish …" අනන්‍යා හෙමිහිට කිව්ව.

ඒ වෙලාවෙ හැටියට ඈ නොකියුතුවම තිබ්බ වචනෙ ඒක....අයෑම් සොරි...කෙහෙල්මල...මේ වෙනකොට නිවිලම ගිහිල්ල තිබ්බ මගේ කේන්තිය ආයම එක පාරටම මතුවුනේ දිගු වේලාවක් තිස්සෙ දුම් ගගහ ඇතුලෙන් පත්තුවෙන කොළරොඩු ගොඩක් එකපාරටම බහ් ගාල ගිණි ගන්නව වගේ.

අන්න ඒක තමයි නියමම වචනෙ...බහ්....ඔන්න ඉතිං බහ් ගාල කොළ රොඩු ගොඩ ගිණිගත්තය කියමුකො. මම ඒ සැණෙමින් ආපහු ඈ දිහාට හැරුන. "අම්මප මට ඔය සොරි කියන වචනෙ හදපු එකා හම්බ වුනොත් එහෙම අර පේන අඹ ගහේ කකුල් දෙකෙං එල්ලල තියනව සති දෙකක් විතර වතුර උගුරක්වත් නොදී....." මම ජනේලෙං එලියෙ පේන අඹ ගහ දිහාට අත දික්කරල කිව්ව.

"හරිම ලේසියිනෙ ඕනම දෙයක් කරල සොරි කියන්න. හෙට ඔයා අර සඟාව බැඳල, අනිද්ද මට කියයි කිරිස් අයෑම් චොරි කියල..බම්බුව තමයි...සොරි..සොරි...හුහ් වෙන වැඩක් නෑ...සොරි කිව්වම ඔක්කොම හරි…"

අනන්‍යා ඒ පාර ඔලුව උස්සල බැලුව. ඒ පාරනම් ඇගේ ඇස් දිළිසෙන්ට පටන්ගෙන තිබ්බ. මම හිතන්නෙ අනිවාර්යයෙන්ම ඇයටත් කේන්ති ගිහිල්ල වෙන්න ඕන. 

"මේ ක්‍රිෂ්..නිකං මෙතන පිස්සෙක් වගෙ කෑගහන්ට ඕන නෑ. මම මේ වැඩේට කැමති වුනේම ශෝභා නැන්දගෙ කරදරෙං බේරෙන්ට. මට හැමදාම රටේ නැති බොරු කිය කිය මඟ ඇර ඇර ඉන්න බෑනෙ. ඒ හින්දයි මම කිව්වෙ ශෝභා නැන්දට එයාලට එහෙනං එන්න කියන්න කියල. ඒත් මම පැහැදිලිව කිව්ව මම කැමතිනම් විතරයි වැඩේ කෙරෙන්නෙ කියල. මෙයාල ඇවිල්ල ගියාට පස්සෙ මම කැමති නෑ කියනව. මම බෑ කියනව. එතකොට වැඩේ ඉවරයිනෙ...."

"ආ..ආ...එහෙමද ආස?.... ඔව්නෙ හැබෑටම...වැඩේ ඉවරවෙයි මේං කියල...ඔන්න බලන්නකො එහෙනං මම අද කිව්වය කියල ලියල හරි කමක් නෑ තියාගන්න...ඔයාට මේකෙං ගැලවෙන එක ලේසි වෙන්නෙ නෑ…"

"හරි හරි ඒක මගේ වැඩක්නෙ......මම ඒක බලාගන්නං…. ඔයා කරදර වෙන්න ඕන නෑ ඒ ගැන"

"හරි ඒ ඔක්කොම හරිය කියමුකො..ඒත් ඔයා ඇයි මට මෙහෙම දෙයක් ගැන නිකමටවත් කිව්වෙ නැත්තෙ?"

"කිව්වෙ නැත්තෙද? කිව්වෙ නැත්තෙ විශේෂයෙං කියන්ට තරං වැදගත්කමක් මේකෙ නැති හින්ද. අනික එහෙම බලනවනං ඔයත් අර ගියේ බූමිතෙල් කරත්ත තුන හතරක්ද කොහෙද තියන කෙල්ලෙක් බලන්ට... මොකක්ද මේ මට නම මතක නෑනෙ.."

"ඩොලී….."

"ආන්න හරි…. ඔය මතක තියෙන්නෙ යස අගේට. මම බොරුවට කිව්වෙ ඒ බූමිතෙල් කරත්තකාරිගෙ නම මතක නෑ කියල..ඔයාට මතකද කියල බලන්න" 

ඈ එහෙම කිව්වෙ ඇස් කොණකිං මා දිහා බලල. කේන්ති පිටම උනත් මට හිනහවකුත් නම්  ආව. ඒත් මම බොහොම අමාරුවෙං හිනාව ගිල ගත්ත.

"නම අමතක මොකද ආය?... හරි වැඩක්නෙ..අනික නිකම් මිනිස්සුන්ට අපහාස කරන්ට එපා හොඳද? ඩොලීට තියෙන්නෙ බූමිතෙල් කරත්ත නෙවෙයි පෙට්රල් ෂෙඩ්...දන්නවද පෙට්රල් ෂෙඩ්.."

"හරි හරි මට ඇති වැඩක් නෑ එයාගෙ කෙහෙම්මල් පෙට්රල් ෂෙඩ් එකෙං…"

"අනික් කාරණේ මම ඩොලීව බලන්ට ගියා තමයි. ඒත් ඒක කොහෙත්ම මනමාලියෙක් බලන්ට යන නිල ගමනක් නෙවෙයි. අම්මයි මායි ඔය නිකමට වගෙ පම්මි ආන්ටිලගෙ දිහා ගියේ…"

"ඉතිං ඒක තමයි මමත් මේ  කියන්නෙ. අද මේ කට්ටිය අපේ ගෙදර ආපු ගමනත් ඒ වගේම එකක් තමයි. අම්ම මට කිව්ව හරිෂ්ලගෙ කට්ටිය අද මේ නිකමට වගෙ එන්නෙ කියල"

"ඔව්..ඔව්..නිකමට තමයි...මම හිතන්නෙ අම්ම ඔයාගෙයි අර සඟාගෙයි කේන්දර බැලෙව්වෙත් නිකමට වෙන්න ඇති..මොකටද ඉතිං මම කියන්නෙ"

"ඒ කේන්දර බැලවිල්ල තනිකරම ශෝභා නැන්දගෙ වැඩක්...මට ඒකට දොස් කියන්න එහෙම ඔට්ටු නෑ ඔන්න...ආ..ඒක නෙවෙයි...මම මේ අහන්නමයි හිටියෙ..ඇයි හරිෂ්ට සඟා කියන්නෙ?"

"සඟා කියන්නෙ මේ උදේ පාන්දරත් සන්ග්ලාස් දාගෙන ඉන්න හින්ද...එහෙම සෝබන කාරයින්ට අපි කියන්නෙ සඟාල කියල තමයි…"

"ෂෝක් නම…. සඟා...හිහ්..හිහ්…" ඈ හිනාවුනා. මටත් ඉබේම හිනාගියා.

"අන්න එහෙම ඉන්නකො...මූණ බස්සෙක් වගෙ තියාගෙන ඉන්නකොට වස අජූවයි.." ඈ ඉඟිමරල කිව්ව.

"අනන්‍යා ……………" ඇගේ මෑණියන් කෑගහන හඬ කාමරය පුරා පැතිරුනා.

"මම යන්න ඕන…" ඈ ඉඳගෙන හිටපු ඇඳෙන් නැඟිට්ට.

"ඇයි ඔයා මේ තරං ලස්සන සාරියක් ඇන්දෙ අද?"

"අම්මයි මේක තේරුවෙ. මට මේක අඳින්ට බෑ කියන්ට හේතුවක් හිතාගන්ට බැරිවුනා...ඒකයි මේක ඇන්දෙ…ඇන්දෙ නෙවෙයි අඳින්ට සිද්ද වුනේ..."

"හරි හරි ඒකත් හරි තමයි එක අතකට…" මම කිව්ව.

"I love you Krish....And I know that you love me too....So don't act like a fool and  let time decide... Everything will be all right..I believe so and I know that...." ඇය එහෙම කියල දොර ගාවට ගියා. "මම යන්න ඕන දැං…"

"I love you too Ananya…So why not just get married?..You and me….Okay... what about today itself?"

"ඉවසන්න ක්‍රිෂ් ඉවසන්න...ප්ලීස්..." ඇය මගේ දෑස් වලට එබෙමින් පැවසුවා. "මේ මම දැන්නම් යන්නම ඕන..නැත්නම් තව ටිකකින් අප්පා එයි මාව හොයාගෙන මෙහාට..ඩූ යූ වෝන්ට් දැට්? අයි ඩෝන්ට් තින්ක් සෝ…."

ඈ පා ඇඟිලි තුඩු වලින් ඉස්සිල මගේ තොල් හෙමිහිට සිපගත්ත. ඇගේ තොල් ගැල්වුමේ (Lip gloss) ස්ට්රෝබෙරි රසය මගේ මුවට දැනුන.

Friday, December 1, 2017

549. The Story Of My Marriage - 52 - Remembering Again One Unforgettable Day….

ගිය පාර ඇපිසෝඩ්ඩෙකේ අනන්නියාගෙ කතන්දරේ ලියනවට වඩා සීයට අනූවක්ම කලේ අර කොහෙවත් ඉන්න බුරුසුවෙකුට මඩ ගහපු එකය කියල මයෙ යාවජීව රසිකාවියො කීප දෙනෙක්ම වගපල කියල තිබ්බ. එක අම්මණ්ඩියක් චේද එහෙමත් ගණං කොරල සංකියාලේකන අනුසාරයෙම්මයි චෝදනා ඉදිරිපත් කරල තිබ්බෙ. 

අන්න දැක්ක නේද මට ඉන්න රසිකාවියො එහෙම තමයි. නිකං ඔය ආවට ගියාට කුණු පොල් ගෙඩිය හොල්ලන්නැහෙ කච කච ගාන්නෙ නෑ. යම්ම කිසි චෝදනාවක් කරනවනං කරුණු කාරණ සහිතව සාදක එහෙම පෙන්නල තමයි එහෙම කරන්නෙ.


දැං බලන්ට ඔය අපේ අගමැටි ටුමානෝට බැඳුංකර වංජාව ගැන චෝදනා මුකයෙං කතා කරන අය එහෙම සාදක සහිතවද කතා කරන්නෙ? මොන විකාරද? කටට ආවට ඔය කියනව මිසක්කා ඒ චෝදනා එකක්වත් උසාවියක ඔප්පු කොරගන්ට පුලුහං එව්ව එහෙම නෙවෙයි. ඒ හින්දමනෙ එටුමා කිසිම බයක් හැකක් නැතුව පුල් සූට් ගහල නැන්දම්මගෙ මඟුල් ගෙදර සාක්කියට අස්සං කරන්ට යන්නැහෙ එන්නෙ කොමිසම ඉදිරියට ප්‍රස්න වලට උත්තර දෙන්ට. 

නෑ මම මේ නිකමට වගෙ අහන්නෙ.  ඔහේලත්  බාලකපක්සගාතීව සහ සමූලගාතනයෙන් තොරව නිකමට වගෙ හිතල බලන්ට හොරෙකුට තක්කඩියෙකුට ඔහොම ටයි පොල්ලක් දාල අපූරු කෝට් බෑයකිනුත් සැරසිල බය නැතුව එන්ට පුලුවංද කොමිසම ඉස්සරහට සාක්කි දෙන්ට. අන්න නියම ජනටා පුට්ටරයො. ඒකටත් එක්ක අර බුරුසුව...නෙද්දකිං විතරක්....බුරුසුව නං බැරිය බුරුස් හාමිනෙත්....

"ගෙදර දොරේ වැඩපල එතකොට කිරි දෙවිලි තනකොල කැපිලි එහෙම අහවරයි වගේනං නිකමට මේ පැත්තෙ ඇවිල්ල අර ඩිපෙන්ඩරේ පාට වෙනස් කරපු එක ගැන සුට්ටං කට උත්තරයක් දීල යන්ටකො අමනාපයක් එහෙම නැත්තං මයෙ හොඳ සුදු මැනිකෙ වගෙ..." කියල පනිවිඩයක් යැව්ව විතරයි පහුවදා පුදුම ජල්ලියක්නෙ ඇල්ලුවෙ. 



ඇල්ල වැල්ලවාය බුත්තල කතරගම දිහා ඉඳල සෙනඟ ඇද්දෙ. "අපේ අම්මාට ජය වේවා!" ..."අම්මාගෙං පලි ගැනීම වහා නවතනු!"... "අම්මේ අප ඔබ සමඟයි..."...."අම්මා අමා අමොද කරුනා නිදානේ ඔබගේ මුවින් පෑගෙනා ...ඔබගේ මුවින් පෑගෙනා..අම්මේ ඔබගෙ පා යුවල යට වෑහෙනා...දූවිලි වාගේ...."

අනේ අප්පේ එහෙම විගඩමක්. අපෙ අත්තම්ම හිටියනං "අනේ හොඳ විස්සාසෙට ගන්ට සුට්ටි පුතේ මයෙ ඉහේ උකුනො බිමට පැන්න හතර විලි ලැජ්ජහේ" කියල කියාවි එකත් එකටම.

අපෙ අප්පේ ඇති ඇති ඇති..හොඳටෝම ඇති. මෙහෙම ගියොත් අදත් මෙතන බුරුසුවට දමාගෙන තඩි ගහන එක ඇරෙන්ට වෙන දෙයක් කරන්ට වෙන්නෙ නෑ. ඔන්න දැං  මට මැවිල පේනව පේනව වගෙ මේ හරියට කියෝගෙන කියෝගෙන එනකොට සිත්තමී එතකොට මානවී එහෙම බර බර ගාල දත් කූරු කනව......

මෝස්ට් ප්‍රොබබ්ලි මෙහෙමත් කියනව ඇති සුටු පුටු ගාල කට ඇතුලෙං...."අම්මාපල්ල මේ මිනිහට යමක් කියනවට වඩා හොඳයි දැං ඔය මදැයි බොලේ අවුරුදු හතලිස් හතක් දේසපාලනේ කොරල රට විනාස කොලා.... දැංවත් දෙයියනේ කියල ගමට ගිහිල්ල යන තැනකට සුගතියක් වෙන්ට කියලවත් හතර පෝයට සිල් අරගෙන එහෙම ඉන්නවද අපිට මල වදයක් නොවී කියල අර බුරුසුවා තෙමේට කියන එක...කොහෙද මේ යකා අහන්නෙත් නෑ අර බුරුසුවා අහන්නෙත් නෑ කියන කිසිම දෙයක්...මුංට ඕන එවම තමයි කොරන්නෙ....දෙයියම්ප දෙන්නම එකයි..."

හප්පෝ ඒ ඇති ඒ ඇති...ආයම බුරුසුව ගැනමනෙ බොලේ ලියවෙන්නෙ....හරි හරි හරි.....ඕකේ මාකේ.......ඔන්න මෙතනිං එහාට නං එල්ලාම් මුඩිංජි..කලාස් ඇන්ඩ් චැප්ටර් ක්ලෝස්ඩ්...දැං ෆුල් ටයිම් අනන්‍යාගෙ කතාව...

තරු වැටක් ගහලම වැඩේ පටං ගමු………වඩියුසේ ගයිස් ඇන්ඩ් ගැල්ස්?

***********************************************

තරු මල් යායම පොඩිකර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අඳුරේ උන්නෙමි ලොවම එපා වී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ

අඩේ මම මේ කල්පනා කලේ කිරිස් ගොයිය දැං ඉන්න කරන්ට් මූඩ් එකේ හැටියට මේ සිංදුව අගේට ගැලපෙනව නෙවදැයි කියල...

තරු මල් යායම
පොඩිකර අහස් විලේ
ඉර හඳ මිරිකා
දියකර සාගරයේ
අඳුරේ උන්නෙමි ලොවම එපා වී
මා හැරදා ඈ ගිය දවසේ
මා හැරදා ඈ ගිය දවසේ

දුක පැවසූවෙමි අසනා කෙනෙක් නැතී
පාළු නැසූවෙමි තනියට කෙනෙක් නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල උමතුවෙනි

තරු මල් යායම...

නුවර උයන් මැද හමුවූ ළඳුන් නැතී
යටැසින් බැලු නෙත් රහසින් කතා නැතී
තැවුනේ දැවුනේ පිරිසිදු සිතකින්
එකම ළඳක් වෙත පෙම් කල නිසාවෙනි

තරු මල් යායම...


අංකලයා මට උදේ කෑමට ඉන්ටෙයි කියල බලකරලම කිව්වෙ මොකක් හෝ යටි අදහසක් ඇතුව වෙන්න ඕන ආය ඒකෙ දෙකක් නෑ. ඔය මනුස්සය හොඳට හිතල මතල වැඩකරන්නෙ හීන් නූලෙං. සමහරවිට හරිෂ්ගෙ යසෝ කීර්තිය මගෙ දෑහැටම දැකබලා ගන්ට සලස්සල මයෙ ඇස් නිලංකාර කරවල මෙතනින්ම අනන්‍යා ගැන මගෙ තියන බලාපොරොත්තු අතෑර ගන්ට සලස්වන්ට වගෙ මොකක් හරි පැලෑනක් මිනිහගෙ හිතේ වැඩ කලා වෙන්ටත් ඇති. කවුරු දන්නවද? හුහ් ඒත් එව්ව කොහෙද මාත් එක්ක..බලමුකො...

මම ඉතිං සබාතොමෝගෙන් පුලුවන් තරං දුරස්වෙලා සාලෙ මුල්ලක තිබ්බ පුටුවක අයිනක ඉඳගෙන බලා හිටිය. හරියට අර රෑ ටීවි එකේ මහා භාරතය නැත්නම් රාමායණය වගෙ කතන්දර යනකොට ගෙදර උදවිය කුස්සියෙ වැඩ පල කරන කොලුවට එව්ව බලන්ට කතා කලාම ඒකා ඇවිල්ල පැත්තකට වෙලා පුටුවක යන්තමට වගෙ ඉඳගෙන බයෙං බයෙං වගෙ බලා ඉන්නෙ. ආන්න ඒ වගේ....

"මේ...මාව පිටත් කරල ඉන්නවද? මට හැකි ඉක්මනිං ගියානං හොඳයි.. අනික මේ වෙලාව හොඳට හයර් වදින වෙලාව.." ටැක්සි රියදුරා සාලෙ දොරෙං ඔලුව ඇතුලට දාල කිව්ව. 

හරිෂ් ඔලුව හරවල ඒ දිහා බලල ආපහු අහක බලාගත්ත. මයෙ හිතේ ටැක්සි කාරයෙකුට ගාස්තුව ගෙවන එක මිනිහගෙ තත්ත්වෙට මදිකමක් වගෙ කියල හිතුව වෙන්න ඇති. මේ වෙනකොටත් ගම්මැදි හෑලි කියවන්ට පටන්ගෙන තිබ්බ කාන්තා පක්සයත් මොහොතකට කතා බතා නවත්තල ටැක්සිකාරය දිහා හැරිල බලල ආපහු කතාව පටං ගත්ත.

හරිෂ්ගෙ තාත්ත අන්තිමට එළියට බැස්ස ටැක්සි කාරයගෙ ගණං බේරන්ට. නෝට්ටු කීපයක් අතේ ගුලි කරගෙන මනුස්සය එළියට බැස්සට මිනිත්තු පහක් වගෙ ගෙවිල ගියත් ආපහු ඇතුලට ආවෙ නං නෑ. ටිකිං ටික එලියෙ කතා බහේ සද්දෙ වැඩිවුනා. දෙන්න හොඳ හැටියට ටැක්සි ගාස්තුව ගැන කේවෙල් කරගන්න සද්දෙ සාලෙටත් යස අගේට ඇහෙන්ට ගත්ත. ඒ සද්දෙ නෑහුනා වගෙ සාලෙ උන්නු බබලත්තු ටික දිගටම තමංගෙ වල්පල් සහ පූච්චානං කතාබහ සාරෙටම කරගෙන ගියා.

"අපෙ පුතාට එම්.අයි.ටී. එකෙං දැං කීප සැරයක් කතා කලා…" හරිෂ්ගෙ අම්ම ඔලු ගෙඩිය නටව නටව කිව්ව. 

"නෑහ්?..." බබලත්තු හැමෝම තම බලවත් විෂ්මය පලකලා.

"පිස්සුද අයිසෙ? තමුසෙ හිතන්නෙ මම මෝඩයෙක් කියලද?" හරිෂ්ගෙ තාත්ත එළියෙ ඉඳල ටැක්සි කාරය හිතන දේ දැනගන්ට උත්සාහ කලා.

"ඉතිං මොකටද හරිෂ්ට ඔය අයි.එම්.ටී. ද මොකක්ද එකෙං කතා කලේ?" ශෝභා නැන්දා ඇහැව්ව.

"තමුං මෝඩයෙක්ද නැද්ද කියල මට වඩා............" ටැක්සි කාරය කියපු අනික් හරිය හරියට අහගන්ට බැරිවුනා ඒ එක්කම හරිෂ්ගෙ අම්ම ෆුල් වොලියුම් දාල මෙහෙම කිව්ව හින්ද…"අයි.එම්.ටී නෙවෙයි අනේ එම්.අයි.ටී….. එම්.අයි.ටී…"

"හරි හරි මොකක් හරි... ඉතිං මොකටද හරිෂ්ට එහෙට කතා කරන්නෙ?"

"එහෙට කතා කරන්නෙ එතන හොඳ රස්සාවකට. ලොකුම ලොකු රස්සාවක්. අනික එතන ලොක්ක හරිෂ්ට පුදුම කැමැත්තක් තියෙන්නෙ. එතන රස්සාවට එනවනම් පී.එච්.ඩී. එකක් කරන්ට ඔක්කොම වියදං එයාල දෙන්නං කියලත් කිව්ව"

"අප්පේ ඒක කොච්චර එකක්ද?" බබලත්තු ඔක්කොමල එක හඬින් බලවත් සතුට ප්‍රකාස කලා.

අපේ පන්ජාබි බබලත්තු අතර මනමාලයකුගෙ ඉහළම සුදුසුකම කියල සැළකෙන්නෙ මාබල් ටයිල් අල්ලපු ගෙයක් තියන එක.

"ආය මොනවද කවිතා එයාලට සල්ලි උතුරනව. ගෙදර කුස්සියෙත් බිමට මාබල් අල්ලල තියෙන්නෙ ඔන්න කොටින්ම..." එයාගෙ යාලුවෙකුගෙ දුවකට මනමාලයෙක් බලන්ට ගිහිල්ල ආපහු ගෙදර යන ගමං අපේ ගෙදර ඇවිල්ල සාලෙ සෝපාවෙ ඉඳගෙන ඇස් දෙකත් නටව නටව අම්ම එක්ක දවසක් ඔහොම කිව්වෙ ෂිප්රා ලොකු අම්ම.

මම ඒ වෙලාවෙ එතනම තිබ්බ හන්සි පුටුවෙ ඉඳගෙන පත්තරයක් බලනව.

"හප්පේ අක්කෙ...කුස්සියටත් මාබල්?" අම්මගෙ ඇස් දෙකත් මාබල් ටයිල් දෙකක් විතර විසාල වුනා.

"දැං ගෙවල් වලට මාබල් අල්ලන්නෙ නෑ ලොකු අම්මෙ…" මම පත්තරේ පාත් කරල කිව්ව. 

"එහෙනං?" ලොකු අම්ම ඇහුව.

"දැං අලුත්ම ෆැෂන් එක තමයි පොළවට තාර දාන එක…"

"ඈ?..... "

"අනේ මෙයාගෙ විකාරනෙ අක්කෙ.." අම්ම මට රැව්ව.

අපෙ අම්මල ලොකු අම්මල අතරෙ මාබල් පොළවට තියන පිළිගැනීම වගේමයි චෙන්නයි බබලත්තු අතරෙ පිටරට උපාධියකට තියෙන පිළිගැනීම. ඒ අතරිනුත් අයි.ටී. උපාධියක්. අයි.ටී. උපාධි අතරිනුත් ඇමරිකාවෙ අයි.ටී. උපාධියක්.

"හුහ් මිනිහ හිතන්න ඇති මම මෝඩයෙක්ය කියල. මම කිව්ව මිනිහට කංවල ඇඟිලි ගහ ගන්ට. මම කිව්ව තමුසෙ දන්නවද මගෙ පුතා ඇමරිකාවෙ රස්සාව කරන්නෙ. එයාට එහෙ ගේකුත් තියනව..දැනගන්නව අන්න ඒක කියල….." හරිෂ්ගෙ තාත්ත එහෙම කෑගහගෙන ගෙට ඇවිදිං දඩාස්ගාල සෝපාවක වාඩි වුනා.

"ඉතිං? ඉතිං? හොඳම වැඩේ.....ඔයා එහෙම කියපු එක හොඳයි..මිනිහ මොකද කිව්වෙ?" හරිෂ්ගෙ අම්ම පුතණ්ඩියගෙ පම්පෝරිය මොහොතකට නවත්තල ඇහුව. අනික් බබලත්තු ටිකත් හරිෂ්ගෙ තාත්ත දිහාට හැරුන ඒ ගමන. 

"මිනිහ ඒ ගමන අහනව හරි හරි ඉතිං මට දැං මොකද කරන්න කියන්නෙ කියල.."

"ඉතිං?"

"මම කිව්ව ඒ වගෙ උගතෙක් බුද්දිමතෙක් තමුංගෙ වාහනේ එන එකත් තමුංට ලොකු නම්බුවක්ය කියල.."

"ඒ පාර මොකද මිනිහ කිව්වෙ?"

"ඔව්..ඔව්..ඇත්තම තමයි. හරිනං මම ඔයාලට සල්ලි දෙන්න වටිනව..එහෙම නේද? කියල මිනිහ ඒ පාර අහනව.."

"අන්න මිනිහට අන්තිමට හරි තේරුණා…" හරිෂ්ගෙ අම්ම බොහොම සන්තෝසෙං කෑගැහුව.

"පස්සෙ ඉතිං මම ආය මොකටද කේවෙල් කරන්නෙ කියල රුපියල් විස්සක් දුන්න. මිනිහ දෙතුං පාරක් රුපියල් විස්සයි මගෙ මූණයි දිහාවෙ මාරුවෙං මාරුවට බලල කට කොණකිං හිනාවෙලා යන්ට ගියා…." හරිෂ්ගෙ තාත්ත ගෙ මූණෙං එකයි හිනාව…

"ඉතිං අනේ අර කතාව කියන්නකො...අර එම්.අයි.ටී. කතාව ඔයා ඒක ඉවරකලේ නෑනෙ.." අනන්‍යාගෙ අම්ම කිව්ව.

"ආ හරිෂ් දැන් වැඩ කරන්නෙ සිස්කෝ කම්පණි එකේනෙ. ඒකෙ ලොක්ක හරිෂ්ට අයිං වෙලා යන්න දෙන්නෙම නෑ. හරිෂ් අස් උනොත් එයා කොම්පැණිය වහලම දානව කියල කියනවනෙ අනේ බලන්නකො ඉතිං…" හරිෂ්ගෙ අම්ම එහම කියල මහ හයියෙං හිනාවුනා...."එක අතකට බලනකොට පිස්සු නේද?"

"නෑ …නෑ...එහෙම කියන්න එපා. ඒ මනුස්සය හරිෂ්ගෙ නියම වටිනාකම දන්න හින්දයි එහෙම කියනව ඇත්තෙ" ශෝභා නැන්ද කිව්ව. "දැං බලන්න ඔයා උනත් කොච්චර ආඩම්බර වෙන්න ඕනද පුතා ගැන...අනික අතට වෙන කෙනෙක් නං කොච්චර පම්පෝරි ගහයිද? ඔයා එහෙම නෑ. ඒ කියන්නෙ ඔයාගෙ නිහතමානී කම…"

හරිෂ්ගෙ අම්ම ඒ කතාවට බොහොම හැඟීම්බර වුනා. හෑන්ඩ් බෑග් එකෙං ගත්තු අවුරුදු තුන හතරක ළමයෙකුගෙ විළි වහන්ට පුලුවං තරමෙ රතුයි කොළයි කොටු කොටු ලේන්සුවකිං ඇස් අග තෙත මාත්තු කරගත්ත. මේ වගෙ අවස්ථාවක ඇති දැඩි හැඟීම්බර ස්වභාවය හින්දමද කොහෙද බබලත්තු කට්ටිය මොහොතකට ගොළු වුනා.

"ෂ්..ෂ්...මේ...මේ..ක්‍රිෂ් අයියා…" සාලෙට ඔලුව දාල මංජු මට කසුකුසුවෙං කතා කලා.

මම ඒ දිහාවෙ බලනකොට මංජු මට ඔලුවෙනුයි අතෙනුයි දෙකෙන්ම කතා කලා බොහොම හදිස්සියකිං වගේ.

බෑ..බෑ..මට බෑ...... හඬ නෑහෙන්ට එහෙම කියන ගමං මම ඔළුවත් දෙපැත්තට වැනුව යම් අපැහැදිලිතාවයක් එහෙම තියනවනම් ඒකත් දුරුවෙලා යන්ට කියල. ඔය ෂුවර් එකටම මොකක් හරි ගණං හරි ෆිසික්ස් හරි ගැටළුවක් විසඳ ගන්ට බැරිවෙලා වෙන්ට ඕන. හුහ්...මට නම් බෑ...කෙහෙල්මල් ගණිත ගැටළු...මට දැං එච්චර තමයි අඩු...

මම හිතන දේ ඉවෙන් වගෙ තේරිලාද කොහෙද මංජු නෑ..නෑ.... කියල අතිං කිව්ව. ඊට පස්සෙ කලින්ටත් වඩා හදිස්සියකිං ආයමත් මට එයා ඉන්න තැනට එන්න කියල කතා කරන්ට ගත්ත.

ආය මොනව බලන්ටද ගිහිල්ල. ඔය යකා කතා කරන්නෙ මොනව හරි විෂය කරුණු ගැන මඟුලක් අහගන්ට තමයි....මම එහෙම හිතල අහක බලා ගත්තත් ආයම හිතුන කමක් නෑ ගිහිල්ලම බලනව. මොකක් හරි ගණිත නැත්තං ෆිසික්ස් ප්‍රශ්නයක් නම් හොඳ දෙකක් කියල ආපහු එන එකනෙ තියෙන්නෙ..හුහ්...එහෙම හිතල මම සබාතොමෝ එකේ හැමෝටම හොරෙං හෙමීට නැඟිටල මංජුවා ඉන්න තැනට ගියා..

"මොකද මංජු?..ඔන්න පස්සෙන් පහු නොකිව්වයි කියන්න නම එපා...මම කලිම්ම කිව්ව..ප්‍රක්ෂිප්ත, බල ඝූර්ණ, ගුරුත්ව කේන්ද්‍ර එහෙමත් නැත්තං උඩුකුරු තෙරපුම ගැන මොකවත් අහන්න එහෙම ඔට්ටු නෑ. එහෙම ඇහුවට මේ වෙලාවෙ මම උත්තර දෙන්නෙත් නෑ"

"නෑ..නෑ..මම කිව්වනෙ... එහෙම එකක් නෙවෙයි..යංකො මගෙ කාමරේට.."

මංජුගෙ පස්සෙං මම මංජුගෙ කාමරේට ගියා. මංජුගෙ ඇඳ උඩ ඉඳගෙන හිටියෙ අනන්‍යා…..අර එදා මම ඇයට විවාහ යෝජනාව කරපු දවසෙ ඇඳගෙන හිටිය නිල්පාට සාරිය වගේම සාරියකුත් ඇඳගෙන..ඒකමදත් මන්ද.... 

අර මතකනෙ නේද? ඇගේ රැකියා ඉන්ටර්වීව් එකෙ දවසෙ අර මම ඉන්ටවීව් බෝඩ් එක ඉස්සරහම දණ ගහල ඇගෙන් එහෙම ඇහුවෙ...."Ananaya Swaminathan... I, Krish Malhothra loves you from all of my heart and would very much  like to have you by my side all my life. So would you please marry me?" කියලනෙ මම ඇහුවෙ..ඇයි මතක නැද්ද අනේ?

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...