Friday, October 5, 2018

610. නුඹ කොයිතරම් සුවඳද මගෙ හිත ගාව....


දැල්වෙන පොල්තෙල් පහන් දෙකක්
ඉහත සේයාරුවෙහි දැක්වේ.
Google Images

ඊයෙ රෑ යාමෙ ඔය පොඩි එකක් ගන්න ගමං යූ ටියුබ් එකේ ඉබාගාතෙ සැරිසරද්දි අසංක ප්‍රියමන්ත සහ මාලිනී බුලත්සිංහලගෙ "සඳ දිය දෙවුනුසේ සිනහව පිපුනාම...." ගීතය ආයෙම ඇහුව. සිය දහස් වාරයක් ඇහුවත් එපා වෙන්නෙ නැති ගීතයක්....

ගීතය අහද්දි මට හිතුන ඒ ගැන කතාවක් ලිව්ව නම් කොතරම් අපූරුද කොතරම් අපූරුද කියල...ඒ ගමන මගෙ හිතට ආවෙ ජයසේන සහ චුට්ටි මැණිකෙ..මගෙ සදාදරණීය පෙම් යුවල...හෙහ්,හෙහ්

*******************************

"ආහ්..ජයසේන මාම...මොකෝ මේ සමන්පිච්ච මල් වට්ටියකුත් අරගෙන?"

"අද පසළොස්වක පෝයනෙ පොඩි මහත්තය...."

"හරි හරි...මට අමතක උනානෙ....මමත් මේ පෝය නිවාඩුවට ගෙදර ආව…"

"කවදද ආවෙ? අද වෙන්න ඇති..ඊයෙ හවස්කරේ මම මේ පැත්තෙ ඇවිල්ල ගියා දැක්කෙ නෑනෙව.."

"ඔව්..ඔව්..අද උදේ ආවෙ…"

"නෝන එහෙමත් ආවය?"

"නෑ..නෑ..මේ එක දවසට ඒ ගොල්ලො එක්ක එන එකේ තේරුමක් නෑනෙ…"

"පොඩි මහත්තය අදම යනවද?"

"ඔව්...නමයට දහයට  වගෙ පිටත් උනහම පැය තුනකින් වගෙ ගිහෑකි. රෑට පාරෙ වාහනත් අඩුයිනෙ…"

"ආ..ජයසේන ආවද? මම මේ ඒත් බැලුවෙ මොකෝ පරක්කු කියල... මල් අරං ආව නේද? මම පොල්තෙලුයි පහන්තිරයි ගත්ත"

චුට්ටි මැණිකෙ එහෙම කියාගෙන වලව්වෙ ආලින්දෙට ගොඩවෙන පඩි හත අට බැහැගෙන ආවෙ පාළොස්වක හඳ වගේම හිනාවීගෙන. චුට්ටි මැණිකෙට මේ ලබන බිනර මහට පණස් තුනක් වයස. මමත් ඒ පළෝලෙ. මට පණස් තුන ලැබුනෙ පොසොන් මහේ.

"ලොකු පුතා රෑට කාලනෙ යන්නෙ නේද?"

"ඔව් අම්මෙ …"

"මම පන්සලට ගිහිල්ල විගැහින් එන්නම්කො…"

"හරි හරි අම්මල ගිහිල්ල එන්නකො...ආ...මම ඕනනම් කාර් එකේ ගිහිල්ල දාන්නම් පන්සලේ මකර තොරණ ගාවටම…"

චුට්ටි මැණිකෙ මගෙ මූණ බලල ඒ එක්කම ආපහු පොඩි මහත්තය දිහාට හැරුන.

"නෑ..ඕන නෑ..ජයෙයි..නෑ මේ ජයසේනයි මායි ඉම නියර දිගේ ගිහිල්ල සපත්තු පාළමෙන් එගොඩ වෙලා යන්නම්.එහෙමට දුරක් නෑනෙ.."

"හරි හරි අම්මගෙ කැමැත්තක්...මම කොහොමත් දන්නව අම්ම බැහැයි කියල කියනව කියල. මම මේ නිකමට වගෙ ඇහුවෙ.."

පොඩි මහත්තය එහෙම කියල මා දිහා බලල හිනාවෙලා පඩි පෙළ නැඟල වලව්ව ඇතුලට ගියා.

ඉම නියර පුරාවට පාළොස්වක හඳ එළිය දෝරෙ ගලල තිබ්බෙ යටිපහු කරගෙන යන්ට ලෝබ හිතෙන විදිහට. 

"පොඩි මහත්තය මොකවත් හිතුවද මන්ද…" ඉම නියරෙං එගොඩ වෙලා ජේමිස් බාප්පලගේ වත්ත ඉමේ හැදිල පාරත් එක්ක වහගෙන වැඩ වසන මහා නුග ගස් රාජය ගාවින් පන්සල පැත්තට හැරෙනවත් එක්කම මම ඇහුවෙ ඔලුව හරවල චූටි මැණිකෙ දිහාවෙ බලන ගමන්.

"හිහ් හිහ් …" චුට්ටි මැණිකෙ හිනාවුනා.

ඒ හිනහව තාමත් අවුරුදු හතළිහකට ඉස්සෙල්ල හිනහවමයි. ඇරපු අතක් නෑ. ඒ දවස්වලත් ඔහොමමයි. මොනව හරි පොඩි දෙයක් ඇති චුට්ටි මැනිකෙට කැකිරි පළන්ට…

"මොකද අනේ ඔය හිනාවෙන විදිහ?" මම නලල රැළිකරගෙන අහනව. 

"ඇයි මොකක්ද මම හිනාවෙන විදිහෙ වැරැද්ද?"

"නෑ..මම මේ කිව්වෙ වළව්වක මැණිකෙ කෙනෙක් නේද? ඔහොම හිනාවෙන එක හොඳද?"

"ආය මැණිකෙලට කියල වෙනම හිනාවෙන්ට විදිහක් නෑ මනුස්සයො..වළව්කාරයොයි අනික් අවසේස මිනිස්සුයි ඔක්කොම හිනාවෙන්නෙ එකම විදිහට.."

"හ්ම්ම්ම්...ඒ උනාට.."

"මේ කට වහගන්නවද මාව තරහ ගස්සන්නෙ නැතුව...තමුං අපේ අම්මටත් එහානෙ..අපෙ අම්මවත් මට ඔහොම නීති දාන්න එන්නෙ නෑනෙ…"

"ඇයි මම නීති දාන්න ආවොත් මොනවද මට කරන්නෙ?" මම කට කොණකින් හිනාවීගෙන ඇහුවෙ හම්බවෙන උත්තරේ දැනගෙනමයි…

"කරන්නෙද? කරන්නෙ අපේ අලිය ලව්ව පාගවන එක...හිහ්..හිහ්...හිහ්…"

"අර කැහැටු අලිය ලව්ව? හුහ්...ඌට මිනිහෙක් පාගන්න තියා ඇඟේ වහන මැස්සෙක් එළව ගන්ට පණක් තියන එකක්ය…"

ඒ වෙනකොටත් හොඳටම අබල දුබල වෙලා හිටිය කණ්ඩුලයා ඒ කිව්වෙ වලව්වෙ අලියා වලව්වෙම පිටිපස්සෙ ඌටම හදපු මඩුවක මරණාසන්නව හිටියෙ. ඌට වෙදකම් කරන්ට මහ නිළමෙ ඔන්න ඔය හෙම්මාතගම පැත්තෙන් ගෙන්නපු නම් දරාපු අලි වෙදෙක් ඒ දවස්වල වළව්වෙම නැවතිල ඌට පහිණිපත් කලා.

"හිහ්..හිහ්..ජයේට බයවෙන්ට දෙයක් නෑ..ලොකු පුතා දන්නව…"

"මොකක්ද දන්නෙ?" මම ඇසුත් ලොකු කරගෙන ඇහුව.

"දන්නෙද? දන්නෙ දැනගන්ට ඕන එව්ව ඔක්කොම…" චුට්ටි මැණිකෙගෙ හිනහව ආයමත් පිං කනත්තෙ දෙණිය පුරහට විහිදුනා.

පන්සල පාවුල ඇළේ ඒ කාලෙ වගෙ එහෙමට වතුරක් නෑ. අවුරුදු විස්සකට විතර එහා තරම ප්‍රාදේසීය සබාවෙන් ඇළ හරහට සපත්තු පාළමක් දැම්ම. ඊට කළින් මයෙ මතක ඇති කාලෙක ඉඳල අපි එගොඩ මෙගොඩ වුනේ දියවරණ කොට දෙකකින් දාපු ඒ දණ්ඩකින්. යම්තමට වගෙ අත්වැලකුත් තිබ්බ උනාට ඒ ඒ දණ්ඩෙන් එගොඩ වෙන එක නුපුරුදු කෙනෙකුට ලේසි නෑ. 

නුවර කොන්වන්ට් එකට ගිය චුට්ටි මැණිකෙ වළව්වෙ අඟහිඟකම් හින්ද අස් කරගෙන ඇවිදින් ගමේ ඉස්කෝලෙට දාල නිළමෙ අපෙ අප්පච්චිට පණිවිඩයක් එවල තිබ්බ වළව්වට එන්ටෙයි කියල. ඉතිං අප්පච්චි තකහණියක් වළව්වට ගිහාම මහ නිළමෙ කිව්වලු චුට්ටි මැණිකෙත් මගෙ පංතියෙ හින්ද පාර තොට ඩිංගක් පුරුදු පුහුණු වෙනකල් මට වළව්වට ඇවිල්ල චුට්ටි මැණිකෙව ඉස්කෝලෙට එක්කල යන්ටෙයි කියාල.

ඉතිං ඔන්න චුට්ටි මැණිකෙ ඉස්කෝලෙට එක්ක යන මුල්ම දවස. උදේ පානු පැයට මම වළව්වට ගියහම චුට්ටි මැණිකෙ මා එක්ක ආවෙ මට රටේ නැති ආඩපාලි කිය කිය. මගෙ කොණ්ඩෙ දිග වැඩියි කිව්ව. එයයිගෙ ඇස් දෙක දිහා කෙලින් බලල කතා කරන්ට තහංචියි කිව්ව. 

"අපෙ අප්පච්චිටත් පිස්සුද කොහෙදනෙ..අපේ ගමේ ඉස්කෝලෙට යන්ට මට මොකටද මාර්ග උපදේසකයො..ඊටත් ඒ වැඩේ පංගනාතු කොරල තියෙන්නෙත් මේ යස්සයටනෙ..හැටි විතරක්..." ඔන්න ඔහොම මට ඇහෙන්ටම තොල මතුර මතුරයි චුට්ටි මැණිකෙ මා එක්කලා ආවෙ. 

ඒ දවස්වල අපි පිරිමි ළමයි ඉස්කොලෙට ඇන්දෙ සුදු බැනියමයි සරමයි. ගෑණු ළමයි ළමා සාරිය.

ඔන්න ඉතිං අපි දෙන්න ඒ දණ්ඩ ගාවටත් ආවය කියමුකො. චුට්ටි මැණිකෙ මඟ දිගටම සුටු පුටු ගගා මට ආඩපාලි කිය කිය ආවෙ. මම නෑහුනා වගෙ අහක බලාගෙන ආව. අහක බලාගෙන ආවෙ ඒ ආඩපාලි අහල මට හිනායන හින්ද. ආය හිනා වෙනව දැක්කොත් මට දමල අනින්ටත් බැරි කමක් නෑ මේ අම්මණ්ඩි කියල මට බයහිතුන. 

ඇළේ එදා වතුර පාර අඩුයි. යාය පුරාම මහ කන්නෙ අස්සැද්දුං පටන්ගෙන හින්ද ඇළ දිගටම ඇනිකට් හරස් කරල ගොවියො වතුර හරව ගන්නව. වතුර අඩු ඒකයි.

"චුට්ටි මැණිකෙ ඇළට බැහැල එගොඩ වෙනවද? අද ඒ හැටි වතුරකුත් නෑ.." මම අහක බලාගෙනම ඇහුව…

"ඇයි මට ඒ දණ්ඩෙන් එගොඩ වෙන්ට බෑයි කියල හිතුවද? මේ එකක් මතක තියාගන්නව..මට මේ තමුන්ල කියන කරන එව්ව ඔක්කොම පුලුවන් දන්නවද? වළව්වල මැණිකෙල කියන්නෙ මොකවත් කර කියාගන්ට බැරි අත දරුවො කියලද තමා හිතාගෙන ඉන්නෙ?" චුට්ටි මැණිකෙ මට පිප්පුව.

චුට්ටි මැණිකෙට මේ තමා කතාව කොහෙන් පුරුදු වෙලාද මන්ද..නුවර කොන්වන්ට් එකේදි එහෙමද මන්ද ළමයි ලමයි කියාගන්නෙ..වෙලාවක අහල බලන්ට ඕන...මම එහෙම හිතුව..ඒ එක්කම අප්පේ ඔව්ව අහන්ට ගිහිල්ල ආයම බැණුං අහන්ට වෙයි කියලත් හිතුන.

පස්සෙ දවසක මම ඇත්තටම් චුට්ටි මැණිකෙගෙන් ඕක ඇහුව..

"මේ ඔයා අර මුලම දවස්වල මට තමා කියල කිව්වෙ..මතකද?"

"ඔව්..ඉතිං?" චුට්ටි මැණිකෙ හිනාවුනා.

"කොහෙන්ද ඒ වචනෙ පුරුදු වුනේ හැබෑට? මම හිතුවෙ නුවර කොන්වන්ට් එකෙන්ය කියල.."

"පිස්සුද මනුස්සයො..ඔන්න කිව්ව එකක්..ඔය අපෙ අප්පච්චි ගමේ මිනිස්සුන්ගෙ සුලු සුලු පැමිණිළි විබාග කරනකොට ඒ මිනිස්සුන්ට කතා කරන්නෙ තමා තමා කියල..තමා මොකද එහෙම කිව්වෙ? තමාට කොහෙන්ද ඒ සල්ලි? අන්න ඒ වගෙ..අප්පච්චිගෙන් තමයි මම ඒ වචනෙ පුරුදු වුනේ.."

"ඔන්න බලාගන්නව මම ඒ දණ්ඩෙන් එගොඩ වෙන හැටි…"

එහෙම කියල චුට්ටි මැණිකෙ ඒ දණ්ඩට පය තියල අඩි පහක් හයක් විතරයි යන්ට හම්බවුනේ...සමබරතාවය නැතිව ගිහිල්ල අත්දෙක එහාට මෙහාට වනල බොහොම අමාරුවෙන් ඇළට නොවැටි බේරිල ආපහු මෙගොඩට පැනගත්ත. මූණකටත් එක්ක රතුවෙලා තිබ්බෙ මහිතේ ලැජ්ජාවටද කෙන්තියටද මන්ද..ඒ දෙකටමත් වෙන්ට ඇති බොහොමයක් වෙලාවට...

"මොකද මනුස්සයො හිනාවෙන්නෙ?" මෙන්න මේ අම්මණ්ඩි මෙගොඩට ආපු ගමං මගෙ ඇඟට ගොඩ උනේ නැතැයි..

"අනේ මම නම් හිනා උනේ නෑ.." මම විගහට කිව්ව.

ඇත්තම කිව්වොත් මට හිනාගියානම් තමයි. කාටද අප්පා හිනා නොයන්නෙ එහෙම වෙලාවකට. ඒත් මම විගැහිං හිනාව මූණෙං අකාමකා දැම්ම. ඒ හින්ද චුට්ටි මැණිකෙ මට බැණ අඬගැහැව්වෙ ඒ හිනාව දැකල වෙන්ට බෑ. ලැජ්ජාව වහගන්ට වෙන්ට ඕන.

පස්සෙං පහු මම එයයිට ඒ දණ්ඩෙන් සමබරව එගොඩ වෙන හැටි කියල දුන්න. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ජීවිතේ සමබරව ගෙනියන අන්දම ගැන තවත් බොහෝ දේවල් එයැයි මටත් මම එයැයිටත් කියල දෙන තරමට අපි දෙන්න කිට්ටු වෙලා හිටියෙ...

සපත්තු පාළමෙන් එගොඩ වෙන හැමදාකම අපි දෙන්නටම ඔය ඒ දණ්ඩෙන් එගොඩ වෙන්ඩ ගිහිල්ල වෙච්චි හෙයියම්මාරුව මතක් වෙනව. අදත් එහෙමයි. මම හොරැහින් චුට්ටි මැණිකෙ දිහා බැලුවෙ හරියටම එයැයිත් මා දිහා බලන මොහොතෙමයි. ඊලඟ මොහොතෙ අපි දෙන්නගෙම හිනහ පිපිරුනේ එකටමයි.

පන්සලේ එහෙමකට කියල සෙනඟක් හිටියෙ නෑ. නුවර කොළඹ දිහා රස්සාවල් කරන කොල්ලො කෙල්ලො නම් පෝයට ගෙදර ආවත් පන්සලට එන්නෙම නෑ. පෝයට වතාවතක් වගෙ පන්සලට ඇවිල්ල මලක් පහනක් පූජා කරන චාරිත්තරේ මම හිතන්නෙ අපේ පරම්පරාවෙන්ම ඉවර වෙලා යාවි.

මම අපේ මිදුලෙ සමන් පිච්ච පඳුරෙන් කඩාගෙන ආපු මල් අපි දෙන්නම බුදුගෙයි මලසුන උඩ තිබ්බ. ඊට පස්සෙ පස්සට වෙලා දෑත් එක්කරල බුදු පිළිමෙ වන්දනා කලා.

පන්සල් වත්ත වටේටම තිබ්බෙ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කරවපු දැවැන්ත ගල් ප්‍රාකාරයක්. ඒ ගල් ප්‍රාකාරෙ තැනින් තැන තුන් හුළස් හැඩේට හදල තිබ්බ පොල්තෙල් පහන් පත්තු කරන්ට පුලුවන් විදිහට කවුළු. 

චුට්ටි මැණිකෙයි මමයි එක ආසන්නෙම ඒ පහන් කවුළු දෙකක පහන් දෙකක් තියල පත්තුකලා. තිරේ පොල්තෙල් උරාගත්තම දැල්ල එක විඩේම වැඩි උනා. ඒ කහපාට පහන් එළියෙන් මම දැක්ක චුට්ටි මැණිකෙගෙ මූණ රත්තරන් පාටට දිළිසෙනව. 

"බුදු හාමුදුරුවන්ට මල් තියල වැඳල ඔයා මොනවද ජයේ ප්‍රාර්තනා කලේ?" චුට්ටි මැණිකෙ පහන් දැල්ල දිහා බලාගෙනම යම්තමට ඇහෙන නෑහෙන හඬින් ඇහුව. 

"ඔයා කරපු ප්‍රාර්තනාවම තමයි සුබා.." මම දිග සුසුමක් හෙලල හෙමිහිට කිව්ව...

*******************************

සඳ දිය දෙවුන සේ සිනහව පිපුණාම 
නුඹ කොයි තරම් සුවඳ ද මගෙ සිත ගාව
දෑ කුල සිරිත් සිටි සඳ මඟ අවුරාන
හමුවී වැලපෙමු ද මෙලෙසින් හැමදාම

නෑඹුල් පැතුම් අහසට නැඟ රහසේම 
දිලිසෙන්නේ ද පුර පස වී සඳපාන 
ඒ හඳ ඇයි ද දියවක වී ගොළු රෑක 
දිය වී ගිහින් රැඳුණේ තරු ඇස ගාව

ළය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ 
සෝදා හළ හැකි ද ගැරහුම් රළ ගාව 
කඩඉම ළඟ ඉඳන් වත් නුඹ හැමදාම 
මට අත වනාපන් නළියන නල සේම... 

අසංක ප්‍රියමන්ත පීරිස් - මාලිනී බුලත්සිංහල 
නිලාර් එන්. කාසිම් / සමන්ත පෙරේරා


35 comments:

  1. අාසම සින්දුවක් වගේම අාසම කතාවක්..

    ReplyDelete
    Replies
    1. මෙකුවි,

      කාලෙකට පස්සෙ ජයසේනයි සුබයි මතක් උනා බං...

      බොහොම ස්තූතියි නෝනා....:)

      Delete
  2. අසංක ප්‍රියමන්තගෙ මොළේ කොලොප්පං වෙන්ට කලියෙන් කියාපු ඔය වගේ ලස්සන සිංදු කීපයක්ම තියෙනවා.. අපරාදෙ මේ මනුස්සයාට වෙච්චි දේ..

    ජයසේන ගමෙන් යන්ට ගියා නෙවද බං? දැන් කොහොමෙයි මේ ආයෙ සුබා එක්ක එකට පන්සල් යන්නෙ?

    නූපුර නිහඬවිය

    ReplyDelete
    Replies
    1. බූරා,

      /අපරාදෙ මේ මනුස්සයාට වෙච්චි දේ../

      එකඟයි..අමරදේවගෙ තැන ගන්ට හිටපු මනුස්සය..සංසාරේ..සංසාරේ...

      /ජයසේන ගමෙන් යන්ට ගියා නෙවද බං? දැන් කොහොමෙයි මේ ආයෙ සුබා එක්ක එකට පන්සල් යන්නෙ?/

      මේ සමාන්තර විශ්වයක බං....:)

      Delete
    2. බූරා අසංක ප්‍රියමන්තත් අජිත් බණ්ඩාර වගේ තමයි. කොපි කරන්න පුළුවන්, එයාගේ ගීත වුණත් සංගීතය කරන කෙනා කියළා දෙන විදියට කියනවා. අමරදේව මාස්ටර් තියා කිංස්ලි පීරිස් ලඟට වත් එන්න බෑ. මම මෙහෙම කියන්නේ, සංගීත සංදර්ශන වල නා ගන්නවා දැකලා තියෙන නිසා.

      Delete
  3. හම්මේ ඉතින්..
    කතාව නම් හොඳටම හිතට වැදුනා බන්...

    ජයසෙනයි චුට්ටි යි විතරක් නෙමෙයි, මට මගේ පරණ මතකෙකුත් ආපහු එලියට ආව...

    ගිහින් එන්නම්ම්...

    ReplyDelete
    Replies
    1. විභී,

      පරණ මතකෙ ගැන ලියහංකො එහෙනං....:)

      Delete
  4. බොලාටත් ඉතිං පොඩ එකක් ගත්තම තමයි මෙහෙම ලස්සනට ලියන්න පුලුවං. ලොකු ඒව ගන්න වෙලාවට වෙන්නැති අර බහුබූත පුවක් එශැනිං ලියවෙන්නෙ. හැක්..

    අර ගල් ප්‍රාකාරෙ කලේ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කියල කොහොමද ශුවර් කරගත්තෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි බංස්! ලංකාවෙ තියෙන ලෙන්-විහාර ඔක්කොම වගේ වළගම්බා රජ්ජුරුවො කරපුවා කියන්නෙ, ඒ වගේ තමා මේකත්...

      Delete
    2. Prasanna,

      /අර ගල් ප්‍රාකාරෙ කලේ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කියල කොහොමද ශුවර් කරගත්තෙ./

      ගුන්නෑපාන රජමහා විහාරෙ ඔය ගල් ප්‍රාකාරය විතරක් නෙවෙයි තව බොහොමයක් ඉදිකිරීම් කලාය කියන්නෙ දෙවෙනි විමලධර්මසූරිය රජ්ජුරුවො කියල තමයි පුරාවිද්‍යාත්මක සාක්ෂිවලින් කියවෙන්නෙ...

      Delete
    3. බූරා,

      කිව්වත් වාගෙ ලංකාව පුරහම තියනව නේද වළගම්බා ගොයිය කෙරෙව්වයි කියන ලෙන් විහාර?...

      මට හිතෙන්නෙ මෙහෙමයි වෙන්න ඇත්තෙ..වළගම්බට ලෙන් විහාර කොරව කොරව රටවටේ ඇවිදින එක හෙණම ආතල් එකක් වෙන්න ඇති. ඒ පාර ෂුවර් ඇන්ඩ් ෂොට් මනුස්සය සොළීන් එක්ක යුද්ද කිරිල්ල පැත්තක තියල ලෙන් විහාර හදව හදව රට වටේ යන්ට ඇති.

      සොළීන් එක්ක යුද්දෙට ගියෙත් අවුරුදු විස්සකටද කොහෙද පස්සෙයි කියනවනෙ නේද?

      Delete
  5. හම්මේ එකේ ලස්සන... රවි අයියේ / මාමේ ඔයාට බැරිද දිනපතා ඔය පොඩි එකක් අරගෙන මේ වගේ ලස්සන ලස්සන කතා අපිට දෙන්න... මේක මම ආසම සින්දුවක් අසංකගේ ඇත්ත තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ...

    ReplyDelete
    Replies
    1. සඳවතී,

      හරි හරි බං අවුලක් නෑ කතා ලියමු..කතා ලියමු..

      අනික බං නිකම්ම කතා අහන්ට හදන්නෙ බොලාට අනේ මාමෙ මේ සල්ලි වියදං කරල මොකවත් පොඩි එකක් ඇරගෙන කතා ලියහංකො කියල එක රුපියල් පහක් එව්වනං මක් වෙනවය?

      Delete
    2. හප්පච්යේ ඔයැයි ඔය ඉන්න දේසේ සුපියල් පහට කරන්නත් දේවල් තීනවද ...අපිටනම් තා ටික දවසකින් විල්බැරෝවෙන් කාසි අරන් යන්න වෙනෝ පොඩි එකක් ගන්න .... හි හී

      Delete
  6. Mamath awa :) ada indan kiyawanna.

    ReplyDelete
  7. මේ දවස්වල මෙහෙට (ටසිරිලකට) හොඳටම වැස්ස​....හිටගෙන පු* හෝදන්න පුලුවන් ගානට තදින් වහින නිසා දැනෙන සීතල ගතිය අඩු වෙන්නත් එක්ක මමත් හීනියට එකක් දලා දෙවෙනි වඩියත් වීදුරුවට දාගෙන ලැපත් ඔන් කරාම මතක් වුනා මේ පැත්තට ඇවිත් යන්න​.මෙන්න තවත් පෝස්ට් එකක් දාලා.. කතාව නම් නියමයි රවීතුමෝ...

    ReplyDelete
    Replies
    1. පමල්,

      යස්... සී ලංකාවෙ නැතිවෙන්න වහිනව නේද? අපේ ගෙදරත් අර තාප්ප කර්මාන්තයක් පටන්ගෙන බාගෙට කරල අතෑරල දාල තියෙන්නෙ වැස්ස පායන කල්...

      Thanks Pamal...:)

      Delete
  8. අදේ කමෙන්ට් එක පබිලිස් වෙලා නෑ. මේක ගොඩක් සංවේදී.හොඳම නිදහස් සිතුවිලි වලින් එකක්.

    ReplyDelete
    Replies
    1. සඳවතිය,

      ඒ මොකෝ බොලේ පබිලිස් නොවුනෙ? මම ස්පෑම් එකෙත් ගෙහුං හිට බැලුව..ම්හු...

      පබිලිස් කිව්වම මතක් උනේ අපේ සිංහල හයේ නැත්නම් හතේ පොතේ තිබ්බ කතාවක් "වැල කෑ පබිලා" කියල..හෙහ්,හෙහ්,

      Delete
    2. හිහ් හී....

      Delete
  9. මරු... මේ දෙන්න ගැන මිට කලින් කතාවල ලියල තියෙනවද? අපරාදේ කියන්න බෑ මැවෙන්න ලියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      ඔව් බං මම අර "කොළරා කාලේ ආලේ..." කතා මාලාවෙ ලිව්වෙ මේ යුවල ගැනනෙ...

      Thanks Pathum...:)

      Delete
  10. අයියා මේ දෙන්නාගේ කතාවට මීට කළින් වෙන අවසානයක් දීපු හින්දා මේකට වෙන නම් දෙකක් දාන්න තිබ්බනේ. කොහොමවුණත් කමක් නෑ, කළින් ලස්සනම එහෙමම මේ වචනවලත් තියෙනවා. අර මං වළව්වෙ රාජකාරි කරන කාලේ උත්සන්න වෙලා තිබ්බ බරපතල රෝග තත්ත්වයක් ආයෙ මතු වෙන්න ඇවිල්ලා මං බොහොම අමාරුවෙන් නවත්තගත්තා. :D

    සින්දුවෙ වචන හරි ලස්සනයි. නිලාර් කාසිම්ගෙ නේ, පුදුමයක් නෑ ඉතිං. ඒත් මේක ගීතයක් හැටියටනම් මම එච්චරම ආසා නෑ. මං හිතන්නේ ගායකයාගේ හඬ මට වැඩියෙන් ඇහිලා තියෙන විදිහේ වැරැද්දක් වෙන්න ඕන. :)

    ReplyDelete
    Replies
    1. Siththami,

      /අයියා මේ දෙන්නාගේ කතාවට මීට කළින් වෙන අවසානයක් දීපු හින්දා මේකට වෙන නම් දෙකක් දාන්න තිබ්බනේ./

      එහෙම හරි යන්නෙ නෑ බං..ඒ නම් දෙක නැත්තං කතාව හරියට එන්නෙ නෑ...ජයසේන සහ චුට්ටි මැණිකෙ නොහොත් සුබා කියල ලියනකොට තමයි ජයසේනගෙ චරිතයට ආරූඪ වෙලා වගෙ ලියන්ට පුලුවන්...I am sure you know very well what I am saying....:)

      /ර මං වළව්වෙ රාජකාරි කරන කාලේ උත්සන්න වෙලා තිබ්බ බරපතල රෝග තත්ත්වයක් ආයෙ මතු වෙන්න ඇවිල්ලා මං බොහොම අමාරුවෙන් නවත්තගත්තා. :D/

      මම දන්නව...පිළිතුරු කතාවක් ලියන්ට හිතුන නේ?...:)

      /මං හිතන්නේ ගායකයාගේ හඬ මට වැඩියෙන් ඇහිලා තියෙන විදිහේ වැරැද්දක් වෙන්න ඕන. :)/

      මම හිතන්නෙ ඒක තමයි හේතුව..මේ යකා පස්සෙ ගම කාගත්තනෙ රත්තරං පුතී...කියල...

      Delete
  11. නිලාර්ගෙ මම කැමතිම ගීතය

    ReplyDelete
  12. කැමතිම සින්දු වලින් එකක්. අපරාදේ අසංකයා. දැන් නම් මේ යකා සින්දු කියනවා දැක්කම TV එක පොළොවේ ගහන්න හිතෙනවා. ලිපිය ගැන ඉතිං කියන්න දෙයක් නෑ. මෙහෙම ලිපි ලියැවෙන්නෙ නැත්නම් මේ බ්ලොග් එක වැඩකුත් නෑ :)

    ReplyDelete
  13. ලස්සන සින්දුවකට ලිව්ව ලස්සන කතාවක්.මේ සින්දු වලට පාදක වෙච්චි කතන්දර,අත්දැකීම් නම් සමහරවිට සින්දු තරම් ලස්සන නැතිව ඇති.

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...