Friday, January 25, 2019

624. ඉතිං ඊට පස්සෙ.....සහ බලංගොඩ සරත්මධු - Reminiscences Of Unforgettable Seventies…..


බලංගොඩ සරත් මධු සහ ඉතිං ඊට පස්සෙ...

බලංගොඩ සරත්මධු අභාවප්‍රාප්ත වෙලා. ඒ කියන්නෙ මැරිල...මැරිල කියල කෙලින්ම කියන එක නිකම් මේ හරි නෑ හරි නෑ වගෙ කියල මට හිතෙන හින්ද ඔන්න අභාවප්‍රාප්ත වෙලා කියල ලිව්ව. එහෙම හිතෙන්නෙ අපි ඇවිල්ල අර "Old school type" උදවිය හින්දය කියලයි මයෙ කම්පනාව. ඒ කියන්නෙ පරණ සැම්පලේ කට්ටිය..හෙහ්...හෙහ්...

ඔය මැරුණය කියන එකට colloquial නොහොත් කටවහරේ යෙදෙන වචන කීපයක් තියනව. වල කජ්ජ ගැහැව්ව, වැලිගම්පිටි ගියා, උඩු කුරුඤ්ඤං උනා...ඔන්න ඔය වගෙ. ඒ වගේම සම්භාව්‍ය වචන කීපයකුත් තියනව. දිවංගත වුනා, කළුරිය කලා.... හාමුදුරුවරු නම් ඉතිං වළකජ්ජ ගහන්නෙත් නෑ මැරෙන්නෙත් නෑ, කළුරිය කරන්නෙත් නෑ...එතුමන්ලා කරන්නෙ අපවත් වෙන එක...

දැං අර බෙල්ලංවිල හාමුදුරුවො අලිය ගහල මළ එක එක පත්තරේක තිබ්බෙ මෙහෙමලු. 

"විහාරාද්ධිගෘහිත හස්ති රාජයාණන්ගේ අනපේක්ෂිත ප්‍රහාරය කරණ කොටගෙන අප ස්වාමීන් වහන්සේ අපවත්වී වදාළ සේක...." 

ඒ හෙඩිම දාපු එකා හිතන්න ඇති හාමුදුරුකෙනෙක් ගැනනෙ ලියන්නෙ ඒ හින්ද හාමුදුරුවො මරාපු ඇතා ගැන උනත් ගෞරව සම්ප්‍රයුක්තව ලියන්ට ඕනය කියල. මරු පුවක්පක් කාලාවේඩියො නේ?

තව අපි පොඩි කාලෙ ලොකු ලොකු උදවිය මලාම ගෞරවාන්විතව කියන වචනයක් තිබ්බ. කීර්තිභාව ශේෂෝපගත විය. ඒ කියන්නෙ කීර්තිය ඉතුරු කරල මනුස්සය මැරිල ගියා කියල…

දිවංගත කියලත් ඒ කාලෙ මැරුණට කියල තියනව. දැන් නම් මම හිතන්නෙ ඒ වචනෙ භාවිතා වෙන්නෙම නැති තරම්. චන්ද්‍රිකාගෙ ඩැඩා නොහොත් ඇස්.ඩබ්ලියු. ආර්. ඩී. උන්නැහෙ ගැන කියනකොට තමයි ඔය දිවංගත කියල බොහෝවිට කියන්නෙ. දිවංගත බණ්ඩාරනායක මහතා..අන්න එහෙම..

ඒ ගැන අපූරු කතාවක් මම බ්ලොග් එකේ ලිව්ව කාලෙකට ඉස්සර වෙලා. ඒ කතන්දරේ නොකියවපු බොහෝ අලුත් පාටකයින් සහ පාටිකාවියන් වෙනුවෙන් ආයම පාරක් ඒක මම දමන්නම්කො. කතන්දරේ කලින් කියවල තියන සුධීමත්හු තෙමේ කමා කර වදාරන සේක්වා! සිද්ධි රස්තු! 

මෙන්න ඒ කතාව...........

ඔන්න ආයම දවසක් එයාලගෙ ඉස්කෝලෙ වාර්ෂික ක්‍රීඩා උත්සවය. වාර්ෂිකද ද්වි වාර්ෂිකද මන්ද...ඔව්..මට මතක විදිහට දැං ඉස්කෝලවල ස්පෝට්ස් මීට් තියන්නෙ අවුරුදු දෙකකට සැරයක්. ඒ ඒ අතරට වැටෙන අවුරුද්දෙ කරන්නෙ අධ්‍යාපන චාරිකාවක් යන එක. ඔන්න ඔහොම මොකක්ද තමයි දැං ක්‍රියා පටිපාටිය. 

ඉතිං අර මම කිව්ව ස්පෝට්ස් මීට් එක දවසෙ දහයට වගෙ එයාලගෙ ඉස්කෝලෙට ගියා. කට්ටිය ඉතිං මාව සාදරයෙන් පිළිඅරගෙන සංග්‍රහ කරල මමත් වේදිකාවෙ පිටිපස්සට වෙන්ට ඉඳගෙන හිටිය. ඈට ඉතිං ඕං දහසක් රාජකාරි. ක්‍රීඩා භාර ගුරුතුමියනෙ. හැමදේම හොයල බලන්ට එපාය...එහාට දුවනව මෙහාට දුවනව ඔලුවෙ කැප් එකකුත් දාගෙන පයිල් මිටියකුත් කිහිල්ලෙ ගහගෙන...හෙහ්,හෙහ්, 

ටිකකිං ඈ ඇවිල්ල මම ලඟම අසුනෙ ඉඳගත්ත. "හප්පේ පණ යනව අප්ප..මේ කට්ට අවුවෙ එහෙ මෙහෙ දුවන්ට ගියාම…."

"ඒක නම් ඇත්ත..මමත් මොනවහරි කරන්න තියනවනම් කියන්න.."

"නෑ..දැන් ආය එහෙමට වැඩක් නෑ..ආ..මේ ඉන්ඩකො මරු වැඩක් කියන්ට.. අර අතන ළමයි උස පනින තැන ඉන්නව නේද සුදු උස පිරිමි ළමයෙක්.."

"කෝ කවුද? කොයි එක්කෙනාද?"

"අර අත්දෙක පස්සට බැඳගෙන ඉන්නෙ..අන්න..අන්න..දැං මේ පැත්තට හැරුන.."

"හරි හරි මම දැක්ක.. ඉතිං මොකක්ද ඒ ළමයගෙ විශේෂෙ? "

"හිහ්..මොකක්ද දන්නවද විශේෂෙ? විශේෂෙ ඇවිල්ල ඒ ළමයගෙ නම…"

"මොකක්ද නම?"

"දිවංගත බණ්ඩාරනායක…"

"මොකක්?" මගෙ ඇස් දෙකත් එක්ක උඩ ගියා…"දිවංගත බණ්ඩාරනායක? බොරු කියන්ට එපා අනේ..එහෙමත් නං තියනවද ආය?"

"ආය බොරු කියන්නෙ මොකටද මං? ඔය ළමය මගෙ පංතියෙ ඉන්නෙ. සම්පූර්ණ නම එච්. එම්. ඩී. බණ්ඩාරනායක. හේරත් මුදියන්සේලාගේ දිවංගත බණ්ඩාරනායක…."

මම පස්සෙ විදුහල්පතිතුමාගෙන් විස්තරේ ඇහුව. එතුමාගෙ නම හේරත් අයිය. කේ.බී. හේරත්. එතුමා ඒ ගමේම කෙනෙක්. එහෙම මගෙ කුතුහලය සංසිඳව ගන්ට ඇහුව උනත් එතකොටත් මම හිතාගෙන ඉවරයි වෙලා තියෙන්නෙ මොකක්ද කියල.. හේරත් අයිය මගෙ අනුමානය තහවුරු කලා. 

"ඔව්..මල්ලි...කතාව සම්පූර්ණ ඇත්ත.... ඔය ළමයගෙ අම්ම නෑකමට මගෙ දුවෙක් වෙන්නෙ. තාත්ත නම් මෙහෙ මනුස්සයෙක් නෙවෙයි ඔන්න ඔය කළුන්දෑව පැත්තෙ…."

(කළුන්දෑව ගැනත් වචනයක් කියන්න ඕන. කළුන්දෑව තියෙන්නෙ දඹුල්ල -බකමූණ පාරෙ... ලංකාවෙ දැනට ස්ථිර සාක්ෂි සහිතව පිළිගතහැකි අඛණ්ඩව මිනිසුන් පදිංචිව සිටින පැරණිම ගම්මානයක් කියලයි කළුන්දෑව සැලකෙන්නෙ. මම කොහෙදි හරි ඔය ගැන කියෙව්ව මතකයි මොකක් හරි පර්යේෂණයක් ගැන ලියවුනු පොතක. මුළු ලෝකෙම වැඩිම කාලයක් එක දිගටම මිනිස්සු පදිංචි වෙලා හිටිය නගරය මොකක්ද කියල දන්නවද? ඒ සිරියාවෙ අගනුවර....ඩැමස්කස් නගරය. අවුරුදු 11,000 කට කලින් ඉඳල ඩැමස්කස් නගරයෙ මිනිස්සු ඉන්නවය කියල තමයි විද්වතුන්ගෙ පිළිගැනීම) 

"ඉතිං මේ මනුස්සයගෙ පරම්පරාවම ඇටුවම් බැහැපු ශ්‍රී ලංකා කාරයො. බණ්ඩාරනායක මහත්තයට තාම දෙයියන්ට වගෙ සලකන්නෙ. හැබැයි මහ මෝඩය. ඔය පත්තරවල එහෙම ලිපි පලවෙනවනෙ දිවංගත බණ්ඩාරනායක මහතා කියල. එව්ව දැකල මේ යස්සය කල්පනා කරල තියෙන්නෙ දිවංගත කියන්නෙ බණ්ඩාරනායක මහත්තයගෙ මුල් නම කියල. ඉතිං කෙල්ලො තුන්දෙනෙකුට පස්සෙ කොල්ලෙක් ඉපදුනහම දැම්ම නම දිවංගත බණ්ඩාරනායක කියල ..." හේරත් අයිය සවිස්තර පැහැදිලි කිරීමක් ඉදිරිපත් කලා.

"හෙහ්,හෙහ්, හොඳ වෙලාවට මිනිහ දැකල තියෙන්නෙ පත්තරේ ඔච්චරයි, ඒ කියන්නෙ ඔය දිවංගත කෑල්ල විතරයි. කොහොමද හේරත් අයියෙ මෙහෙම නම දැම්මනං? හේරත් මුදියන්සේලාගේ පොදුජන යුගයේ නිර්මාතෘ ජනතා නායක දිවංගත බණ්ඩාරනායක කියල හෙහ්,හෙහ්," හේරත් අයියයි මායි දෙන්නම හක හක ගාල හිනාවුනා.

ඉතිං ඔය සරත්මධු මහත්මය අභාවප්‍රාප්ත වුනු සිද්ධිය මම දැනගත්තෙ මේ දවස් දෙක තුනකට ඉස්සෙල්ල උනාට වැඩේ වෙලා තියෙන්නෙ මාස හතර පහකට වගෙ ඉස්සර. මට ඔහොම සීන් කෝන්ස් අනන්ත වෙලා තියනව. 

රජීව් ගාන්ධි මරපු එක නෑ..නෑ.. එහෙම කියන එක වැරදියිනෙ...අභාවප්‍රාප්ත කරවපු එක මතකයිනෙ නේද? 1991 අවුරුද්දෙ මැයි මාසෙ වගෙ වෙන්න ඕන. මම ඒ දවස්වල වැඩ කලේ මහවැලි ව්‍යාපාරෙ. වැලිකන්දෙ. ඒ සීන්ස් එක වෙනකොට මම සතියක් වගෙ නිවාඩු දාල ගෙදර ගිහිල්ල. කොහොම හරි ආපහු නිවාඩු ඉවරවෙලා වැඩට එනනුත් මම දන්නෙ නෑ රජීව් අභාවප්‍රාප්ත කරවලය කියල. 


රජීව්ගෙ දුව ප්‍රියංකා ගාන්ධි වඩ්රා මේ මැයි මාසෙ තියන ඉන්දියානු මහ මැතිවරණයට ඉදිරිපත් වෙනව කියලයි කියන්නෙ. ප්‍රියංකාගෙ අයිය රහුල් දැන් සෑහෙන කාලෙක ඉඳල ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයෙ නායකත්වය දැරුවට මනුස්සයගෙ නායකත්වයෙ අර නායකයෙකුට අවශ්‍ය Charisma එක නැත්නම් ජනකාන්ත භාවය (ජනයා ආකර්ෂණය කරගැනීමේ හැකියාව) නැහැ කියල තමයි කියන්නෙ.

ආයම ඒ පාර ට්‍රැක් පැන්න..යකෝ සාක්කි උඹල අද මට මේ සරත්මධු ලොක්ක ගැන ලියල අහවරයක් කරන්ඩ දෙන්නෙ නැද්ද හැබෑටම ආ? ඔන්න නොකිව්වයි කියන්න එහෙම එපල්ල.....ආය එහෙම බාදා කොරන්න ඔට්ටු නෑ හොඳේ...කෙලින්ම මෙතැන් සිට අදාල කතාව...

හැත්තෑව දශකයෙ මැද භාගයෙ විතර බළංගොඩ සරත්මධු යොවුන් වියේ උන්නු කොල්ලො කෙල්ලො අතර විතරක් නෙවෙයි වැඩිහිටියො අතරත් ඉතාම ජනප්‍රිය වුනේ සිත්තර පත්තරේට ඇඳපු ඉතිං ඊට පස්සෙ..කතාව හින්ද..ඒ කතාව ගැන වික්ටර් රත්නායක ගොයිය පස්සෙ දවසක සිංදුවකුත් කිව්ව…

ඉතිං ඊට පස්සේ..ඔබේ රන් පිළිරූ..
පාට පාට දේදුනු සේ මා සිසාරා 
මහද මැණික් පහනක් වූවා...
ඉතිං ඊට පස්සේ…



දේදුනු කියන්නෙ ඉතිං ඊට පස්සෙ කතාවෙ කතා නායිකාව...කතා නායකය කැලුම්...දේදුනුට හිටිය මරුමුස් අයියෙක්..නම සේනක...දේදුනුගෙ අම්මයි තාත්තයි නෑ..ආයම්ම කියල වයසක ගෑණු කෙනෙක් ගෙදර හිටිය. උන්දැ තමයි ගෙදර ඉවුම් පිහුම් කටයුතු එහෙම ඔක්කොම කරන්නෙ...

දේදුනුගෙ හොඳම යාලුව ශිවන්ති...තව දිස්නා කියල කෙල්ලෙකුත් හිටිය වගෙ මතකයි. ඔය කෙල්ලො සෙට් එක ඉස්කෝලෙ යන වයසෙ. කැලුම් නම් මොකක්ද රස්සාවක් කරනව. මොකක් හරි මේ ලිපිකරු වැඩක් වගෙ මට මතක..කැලුම්ගෙ යාලුව බෙනී...බෙනීට බයික් එකක් තියනව..දෙන්නම එකම බෝඩිමේ නැවතිල ඉන්නෙ...

ඉතිං බස් හෝල්ට් එකේදි දැකල තමයි කැලුම් දේදුනුට ලයින් පාර දාන්නෙ. දේදුනුගෙ කොණ්ඩෙ තියනව ඉණ ගාවට. තනිකරම අක් බඹරු. ඒ කිව්වෙ කර්ලි හෙයාර්...ඔය කොණ්ඩෙ හින්ද තමයි ඒ කාලෙ කොල්ලො කෙල්ලො අතරෙ දේදුනු බොහොම ජනප්‍රිය වුනේ.. දේදුණුගෙ වගෙ කොණ්ඩයක් තියනවයි කියන්නෙ අප්පට සෝරු ආය නෑ රූප රාජිනියක් කියල තමයි ඒ කාලෙ පිළිගැනුනෙ...

දේදුනු කැලුම් දෙන්න සිරීපාදෙ යන සීන් එකක්..එතකොට ප්‍රංශෙ යන සීන් එකක් එහෙමත් ඔය කතාවෙ තිබ්බ මට මතකයි. පැරීසියෙ අයිෆල් කුළුණ උඩදි තමයි අහම්බෙන් කැලුම්ට දේදුණුව හම්බ වෙන්නෙ..අම්මට වූඩු කොහොමද ඒක? අපි ඉතිං ඇච්චො බැච්චො කාලෙනෙ...ඌර්ණ රෝම ධාතුව රෝමෝදගමනය වෙනව ඔය වගෙ ආතල් ද බ්‍රේව් සීන්ස් කියවන කොට..කියවනකොට නෙවෙයි ඇත්තම කිව්වොත් බලන කොට.

ආ...බස් එකේදි දේදුණු කැලුම්ට කම්මුලට ගහන සීන් එකකුත් තිබ්බ...ඒ පොඩි මිස් අන්ඩර්ස්කර්ට් එකක් නොහොත් මුද්‍රණ දෝෂයක් කරණ කොටගෙන. පස්සෙ දේදුණුට වැඩේ තේරිල කැලුම්ගෙන් සමාව ගන්නව. 

ඒ කම්මුලට ගහපු දවසෙ ඉඳල ඊළඟ සතියෙ සිත්තර පත්තරේ ඇවිල්ල මොකද උනේ කියල දැනගන්නකල් මට ඒ සතියෙම හරියකට නින්ද ගියෙත් නෑ ඔන්න. ඉස්කෝලෙ ඉන්ටිබල් එකේදිත් කතා කරන්නෙ ඕක. ටක් ෂොප් එකට ගිහිල්ල ලෑලි දොරේ එල්ලීගෙන "අයියෙ අයියෙ පාන් කාලයි වඩේ එකයි පෙලේන්ටියයි..." කියල කෑගහන අතරෙත් ලඟ ඉන්න එකා එක්කලා කතා කරන්නෙ ඔය ගැන. 

"අනේ බං මොකක් වෙයිද දන්නෙ නෑ නේද? මෙහෙම්මම වැඩේ නැති වෙලා යයිද?" අන්න එහෙම..

ඒ කාලෙ අපිට ඔන්නම් දහතුනක් දාහතරක් වගේ ඇති වයස..අර කතාවට කියන්නෙ යන්තම් පස්පොළ කළුවීගෙන එන කාලෙ කියල..අර කොහාටද කිරි උනාගෙන එනවයි කියලත් කියන්නෙ ..හෙහ්..හෙහ්..අන්න ඒ කාලෙ..ආදරේ ලව් සීන්ස් ගැන එහෙමකත අවබෝධයක් එහෙම නෑ..ඒත් ඒ වගෙ මොන මොනවදෝ දැනීගෙන දැනීගෙන එන කාලෙ...

කුච් කුච් හෝතා හේ කියල ඔය කියන්නෙ..අන්න ඒක…

තුම් පාස ආයේ….
යූ මුස්කුරායේ…..
තුම් නේන ජානෙ ක්‍යා – සපනේ දිකායේ .... …



ඔය කාලෙ අපි හිටියෙ කෑගල්ලෙ..කච්චේරි නිල නිවාසවල...ඒ නිල නිවාසෙ වත්තම තියනව අක්කරයක් විතර..සුද්දගෙ කාලෙ හදපුවනෙ..දන්නවනෙ සුද්දගෙ වැඩ..අනික ඒ කාලෙ ඉඩ කඩම් හිඟයක් කියලය ආය. අර බංග්ලෝ ටයිප් බංගසාල ගෙයක්. ඔය බංග්ලෝ කියන වචනෙ ඉංග්‍රීසි බාසාවට අවයි කියන්නෙ හින්දි බාසාවෙන්. බංග්ලෝ කියල හැඳින්වෙන්නෙ ඉස්සරහ පැත්තෙ වැරැන්ඩාවක් තියන තනි තට්ටුවෙ විසාල නිවාසයක්...

පිටකෝට්ටෙ බංගලා හන්දියෙත් ඒ කාලෙ මට හිතෙන්නෙ ඒ විදිහෙ බංගලාවක් තියෙන්න ඇති... අපි පොඩි කාලෙ සෙල්ලම් කරනකොට අම්මලට එහෙම හොරෙං කියපු කවියක් වගෙ එකක් මතකයි..

සීයා මනමාලයා..
නාකි ඉළන්දාරියා..
බංගලාවෙ බත්ම කාල එන්න එන්න ලස්සනයි…

ඉතිං අපේ බංගලාවෙ ගේට්ටුව ගාව ඉඳල ගෙදරට එන්ට තියනව මිදුල මැදින් රවුමට විහිදුනු ගල් අල්ලපු පාරක්. කොහොමත් යාර හැට හැත්තෑවක් වගෙ තියනව ඒ පාර ගේට්ටුව ගාව ඉඳල ගෙට ගොඩවෙනකල්.

ඒ දවස්වල පත්තර කාරය උදේම එනව බයිසිකලේ පත්තර මිටිත් බැඳගෙන වැහැපිනං එහෙම  කියල සුදු පාට ඉටි කොලේකිනුත් වහගෙනයි ඒ මනුස්සය එන්නෙ. මට මතක නෑ කෑගල්ලෙ පත්තර ඒජන්සිය කලේ කවුද කියල..හැබැයි අපි අනුරාධපුරේ ඉන්නකොටනම් පත්තර ඒජන්සිය කලේ කඩ පණහෙ ස්වර්ණා ස්ටෝර්ස් කට්ටිය.

ඉතිං අපි කෑගල්ලෙ ඉන්නකොට පත්තර කාරය උදේම එනව හය වෙනකොට. ඒ මනුස්සය ආවට පස්සෙ සල්ලි හොයාගෙන යනකොට පරක්කු වෙන හින්ද අපි කරන්නෙ කලින් දවසෙ රෑ හරියටම ගන්න පත්තරවලට ඕන සල්ලි ගාන ගේට්ටුවෙ බකට් කම්බියකින් ගැට ගහල තියන භාජනේට දාල තියන එක. ඒ භාජනේ රෝස පාට ප්ලාස්ටික් කෝප්පයක්. නංගිලා එහෙම පොඩි කාලෙ කිරි බිව්ව එක. අර මූඩියෙම තියෙන්නෙ පැත්තක කිරි උරල බොන්ට උඩට නෙරාපු කෑල්ලක්. අන්න ඒ ජාතියෙ එකක්. එව්වට කියන්නෙ "Feeding cup" කියල.

ඒ දවස්වල තිබ්බෙ ලේක් හවුස් සහ ටයිම්ස් එකේ පත්තර විතරයි. අපේ ගෙදරට ගත්තෙ Daily News සහ දිනමිණ...දිනමිණ සත පහළවයි ඩේලි නිව්ස් සත විස්සයි වගෙයි මතක..සිත්තර මුලින්ම ආවෙ සත විසි පහකටද කොහෙද..

ආ ඒ කාලෙ ලේක් හවුස් එකෙන් ගහපු සතුට කියල චිත්‍ර කතා පත්තරේකුත් තිබුන. සතුට ආවෙ මුලින්ම 1972 අවුරුද්දෙ. ලංකාවෙ මුල්ම චිත්‍රකතා පත්තරේ...ලේක් හවුස් එක රජයට පවරා ගත්තම මට මතක විදිහට සතුට පත්තරේ නම මධුර කියල වෙනස් වුනා. එහෙම උනේ ලේක් හවුස් ලොක්කා රංජිත් විජේවර්ධනගෙ නමට තමයි සතුට කියන නම තිබිල තියෙන්නෙ. අන්න ඒ හින්දයි..පස්සෙ රංජිත් විජේවර්ධන සතුට කියල ආයම පත්තරයක් පටන් ගත්ත.ඒ උනාට ඒක අර කලින් සතුට වගෙ නැඟල ගියේ නෑ.

ඉතිං කලින්දා හවස පහුවදා පත්තරවලට ඕන ගාණ අම්මගෙන් ඉල්ලගෙන ගේට්ටුවෙ ගැට ගහල තියෙන කෝප්පෙට දාන එකයි පහුවදා උදේට පත්තරේ අරං එන එකයි පවුලෙ වැඩිමලා හැටියට නිල බලයෙන්ම මට පැවරිලයි තිබුනෙ. පැවරිලා තිබ්බ කිව්වට වඩා මම හිතන්නෙ නිල බලයෙන් මම පවරගෙනයි තිබ්බෙ කියල කිව්වනම් තමයි වඩා හරි....හෙහ්...හෙහ්...

පත්තර කාරය ඇවිල්ල පත්තර ගේට්ටුවෙ කම්බි දැලේ ගහල බෙල් එකත් දෙතුන් පාරක් ගහල යන්ට යනව. බෙල් එකේ සද්දෙ ඇහෙනකොටම මම පනිනව මිදුලට..ආය නෑ...තප්පර දෙකෙන් මම ගේට්ටුව ගාව. තප්පර දෙකෙන් ගේට්ටුව ගාවට ගියාට මට ආපහු ගෙදරට එන්ට යනව අඩු ගානෙ විනාඩි දහයක්වත්. විශේෂයෙන්ම සිත්තර තියන දවසට. මට මතක විදිහට සිත්තර ආවෙ සිකුරාදද කොහෙද...මම ඉතිං කරන්නෙ එක කතාවක් කියවනව. අඩියක් ඉස්සරහට තියනව. එහෙම්මම හිටි පියවර නැවතිල තව කතාවක් කියවනව..තව අඩියක් තියනව..

බලා ඉඳල බලා ඉඳල මේ ජෝගිය ඉවසන්ටම බැරි තැන අප්පච්චි බහිනව මිදුලට...කෑම කාමරේ ජනේලෙ අයිනෙ තියන අලිගැටපේර ගහ ගාවට ඇවිල්ල උන්දැ කෑගහනව.

"මොනවද ළමයො ඔය කරන්නෙ? ඔය පත්තරේ ආය කවුරුවත් අරගෙන යන්නෙ නෑ..හවස ගෙදර ඇවිල්ල කියවනවකො.."

"හරි හරි මේ එනව මේ එනව.." මම අඩි දෙකක් පය ඉක්මන් කරල ඇවිල්ල ආයම නවතිනව..

"දැං මම දන්නව ඉස්කෝලෙ යන්ටත් පරක්කු වෙනව..හරි ඔය අනික් පත්තර දෙක ගෙනල්ල දීල ඕන එකක් කරගන්නව.." අප්පච්චි ආයම කෑගහනව. 

අපෙ අප්පච්චි උදේට සිරුරු කිස උදෙසා බාත් රූම් එකට යන්නෙ අනිවාර්යයෙන්ම ඩේලි නිව්ස් එකත් අරගෙනම තමයි. ඒ කරල කොමෝඩ් එක උඩ ඉඳගෙන පත්තරෙන් බාගයක් බලලයි එලිය එන්නෙ..

"ලේක් හවුස් එක හදිස්සියෙ වැහුවොත් එහෙම මෙයා ඔය වැඩේ කොහොම කරගනියිද මන්ද.." අම්ම එහෙම කියනව මට ඇහිල තියනව කීප විඩයක්..

සරත්මධු හැබැයි වැඩි කාලයක් සිත්තරේ හිටියෙ නෑ. එයාගෙම චිත්‍රකතා පත්තරයක් පටන්ගෙන ගියා. මට මතක විදිහට ඒ පත්තරේ නම  සිනෙත්‍ර වගෙ. හැබැයි ඒක සිත්තර තරම් ජනප්‍රිය වුනේ නෑ. සරත්මධු ගියාට පස්සෙ සිත්තරට "ඉතිං ඊට පස්සෙ..." ඇන්දෙ ගුණපාල ජයලත්. ඒත් ඒ මනුස්සයට වැඩේ අල්ලගෙන යන්ට බැරි වුනා. බෲස්ලී වගේ ජිම් කෙලී වගේ කරාටි කාරයො ඇඳල කතාවට බලෙන් ඔබ්බවන්ට ගිහිල්ල එයා වැඩේ වණ කරගත්ත. 

සරත් මධු සිත්තරේට ඇන්ද ඉතිං ඊට පස්සෙට අමතරව යුනිකෝ කියල වීර කථාවක්...අර වීර පුරුෂයො ඉන්නෙ බැලුම් බෝල වගෙ මස් පිඩු තියෙන..කොයි වෙලෙත් මුව මස් ගාත් පිටින් පුච්චල කන්නෙ ..අන්න ඒ ජාතියෙ කට්ටිය.. යුනිකෝගෙ යාලුවො දෙන්න ඇවිල්ල ඔමේගා සහ තන්ඩර්. යුනිකෝ ගෙ අස්සයටත් හරිම අපූරු නමක් තිබ්බ. මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ නෑ. ඔය අතපය බැලුම් බෝල වගේ ඉන්න වීර පුරුෂයො කොච්චර අපේ හිත් ඇදගත්තද කිව්වොත් ඒ කාලෙ බුදුවීම චිත්‍රයට නඟන්න කියල චිත්‍ර මැඩම් කිව්වම අපි බුදු හාමුදුරුවො අඳින්නෙත් අත පය බෝල බෝල වගෙ මස් පිඬු එක්ක...හෙහ්...හෙහ්...

සිත්තරට කලින් සතුට පත්තරේට සරත්මධු ඇන්ද ඒත් ඔය ඇස් වගගත්තු වීර පුරුෂයෙක්ගෙ කතාවක් ඒකෙ නම නිව්රෝ..නිව්රෝ හිටියෙ කොටි හමකින් හදපු ඇඳුමක් ඇඳගෙන…

සල්ෆා, ලිට්මස්, කොපර් එහෙම හිටපු ෆීලික්ස් බී. පෙරේරා ඇඳපු සල්ෆා කතාව..එතකොට ජිනප්‍රේම බෝදාහන්දි ඇඳපු කතාව...ඉන්ද්‍රජිත් රන්ජන් දන්තනාරායන ඇඳපු සුවඳි කතාව...සරත් කවිරත්නගෙ හිතට වහල් වීමි...සුසිල් ප්‍රේමරත්නගෙ ජූඩි..(ජූඩි කියන්නෙ ජේම්ස් හැඩ්ලි චේස්ගෙ කතාවක් කොපි කරල ලියපු එකක්...No Orchids For Miss Blandish...) රෆික් ඩීන් ගෙ ස්පාටකස්...ඒ එක්කම ක්ලින්ට් ඊස්ට්වුඩ්ගෙ චිත්‍රපට ආශ්‍රයෙන් ඇඳපු කතා...

සතුට සහ සිත්තර ගැන තවත් කියන්න තියෙන විස්තර නම් බොහෝමයි. ඒත් මට හිතෙනව දැනට මේ ඇති කියල..Tomorrow is another day…isn't it now?

ඉතිං සරත්මධු මහත්මයා..ඔබට බොහෝම ස්තූතියි ...අපේ යොවුන් විය බොහොම ආනන්ද ජනක සමයක් බවට පත් කලාට ඔබට ඇත්තටම පිං...සුබ ගමන් මිත්‍රයා!

Friday, January 18, 2019

623. පුවක් එෂැණිං 52 - Preface To An Aathal Murder House Story & Trampachchi's Mexican Wall…..


මොකවත් අකුරු හත අටක් ලියන එක කොච්චර කම්මැලි වැඩක් උනත් අර බැඳගත්ත බෙරේ ගහන්ටම එපාය කියල කියන්නැහෙ දැං මේ මංගල්ලෙ අතඇරල දාන්ටම බැරි සයිස් එකක්නෙ තියෙන්නෙ. ඒ කියන්නෙ මයෙ පාටක පාටකාවියන් වෙනුවෙන් මොකවත් අඩුම ගානෙ සතියකට සැරයක් හරි ලියන්ටම එපාය.

"පාටකාවියන් තක්සලා දොරිං....ඉස්සිලා හොරෙං බලාවි ගස්සලා ඉඟත්..." අන්න එහෙම අපූරු සිංදුවකිත් කියල තියනවනෙ අර ජානක වික්‍රමසිංහ කියල කියන ගොබිල...

ඉතිං මොකද්ද මේ ගමන ලියන්නෙ කියල කම්පනා කොරද්දි මට හිතුනෙ අර මම පහුගිය සති දෙක තුනේ ලියාපු මව් ගුණ සමර තවම ඉවර නැතුවා උනත් මේ වංගියෙ ඒ ගැන ලියන එක සුට්ටකට අතපහු කරල විමලෙගෙ වාම්පතුල් කතාවක් ලිව්වනම් මක් වෙනවද හැබෑටම කියල. 

අපි ඔය ඒ කාලෙ වළස්මුල්ලෙ මල ගෙදරක ගිහිල්ල ආපහු එද්දි දවල් කෑමට ගියා ගාල්ලෙ අපෙ හොඳ හිතවත් යාලුවෙක්ගෙ ගෙදර. හොඳ හිතවත් යාලුවෙක්ය කියන්නෙ ඌත් අපිත් එකට වැඩ කරපු එකෙක්. ඒත් ඒකා ඒකටත් මල ගෙදර එන්න ඕනමයි කියල දහ අතේ වඳිද්දි අපි ඌව මල ගෙදර එක්ක ගියේ නෑ. යන ගමන් ගාල්ලෙ බස්සල ගියා අපි හෙට උදේම එනව උඹ අපිට දවල්ට කෑමයි බොන්ඩයි සූදානම් කරල තියාපන්ය කියල. 

කිව්ව වගේම අපි ආය මොනවද මිනියට එගෙම වැඳල කතා කරල ආපහු උදේ දහය වෙනකොට ආව ගාල්ලට. අරූගෙ ගම දංගෙදර. මට නම් මෙලෝ දෙයක් මතක නෑ කොහෙද කියල. ඒත් මම හිතන්නෙ මේක කියවන ගාල්ලෙ උදවිය දන්නව ඇති දංගෙදර කියන්නෙ කොහෙද කියල.....

හරි ඉතිං මම ඔය ඒකගෙ ගෙදර ගිහිල්ල වෙච්චි ආතල් එක ගැන ලියන්ට තමයි හිතාගෙන උන්නෙ මේ ගමන.....ඒත් අඩේ මේ පහුගිය දවස් දෙක තුනේ වගේ වෙච්චි පුල් ආතල් ද බ්‍රේව් සීන්ස් කෝන්ස් අහල දැකල මට හිතුන අර දංගෙදර කතන්දරේ පස්සෙ ලියමුය අද ඒ ආතල් සීන් එව්ව ගැන ලිව්වනම් ආය මක් වෙනවදැයි කියල...

ඒ හින්ද ආයමත් එහෙනං ඔන්න කාලීන පුවක් ඇසුරින් පුවක් එසැණින්...හෙහ්..හෙහ්..අන්තිමට පුවක් එසැණිං එකක් ලියාල තියෙන්නෙ 2018 ඔක්තෝබර් 12 වෙනිද..ඒ අංක 51...ඒ හින්ද අද ලියන්නෙ 52 වෙනි පුවක් එසැණිං හොඳේ?

ඉස්සොරෝම විදෙස් පුවක්...

අපේ අතිගරු ට්‍රම්පච්චි මේ දවස්වල දෙකොණ විලක්කුවකුත් අතින්ගෙන මැක්සිකං වෝල් නාඩගම නටනවාය. ට්‍රම්පච්චි අවුරුදු දෙහෙකට ඉස්සරවෙලා ජනාදිපති කමට ඉදිරිපත් වෙලා රටවටේ යද්දි දුන්නු ප්‍රදානම චන්ද පොරොන්දුවක් වනාහී උන්දෑ POTUS (President Of The United States) උනහම මැක්සිකෝව එක්ක තියන බෝඩරේ නොහොත් දේසසීමාවේ දිගටම මහා තාප්පයක් බඳිනවාය කියලාය.

ඒ අනවසර සංක්‍රමණිකයින් නැවැත්වීමටය. වැඩේ හොඳය. රටකට එන අනවසර සංක්‍රමනිකයින් නවත්වා ගන්ට වැඩ කටයුතු කරන්ට ඕනම රටකට අයිතිය තියනවාය. ඒත් වැඩේ කියෙන්නෙ මේ තාප්ප බඳින සීන් කෝන් එක ට්‍රම්පච්චි තනිකරම පාවිච්චි කලේ චන්ද කාලෙ මිනිස්සුන්ගෙ හැඟීම් ඇවිස්සීමටය කියලත් මතයක් තියන එකය. අර පොදු හතුරෙක් මවල උගුර ලේ රහ වෙනකල් කෑගැහුවම මිනිස්සුන්ගෙ හැඟීම් අවුස්සන එක බොහොම ලේසිය. හැඟීම් බරවුනු මිනිසුන් තුල බුද්ධියට තර්කයට ඉඩක් කොහෙත්ම නැත.

අවිචාරවත් මිනිසුන්ගේ හැඟීම් අවුස්සා ඡන්ද දිනන අන්දම ගැන ශ්‍රී ලංකාවෙන්ද බොහෝ උදාහරණ ඇත. මතකනෙ මේ සීන් එක නේද?..."අපෙ හාන්දුන්නේ..මම කිසිම දවසක රට ජාතිය ආගම පාවාදෙන්නේ නෑ..මාව විදුලි පුටුවෙ තියල මැරුවත් එහෙමම තමයි.." දේයි දේයි දේයි..(දුහුනන් දැනුම් උදෙසා..ඒ දේයි දේයි යනු දෑතින්ම පපුවට ගසාගන්නා හඬයි. Beating his chest like a giant Gorilla in Dehiwala zoo...) 

ට්‍රම්පච්චී අවුරුදු දෙකකට ඉස්සෙල්ල ඔය තාප්පෙ බඳින එක බඳිනවයි අම්මපල්ලා කිය කිය රටවටේ යන ගමන් ඒ තාප්පෙට වියදං වෙන මුදල මෙක්සිකෝවෙන් කොක්කෙං හරි කෙක්කෙං හරි ලබා ගන්නා බවද දහාතේ දිවුරා කීවේය. 

"What do we need most to make America great again?" ට්‍රම්පච්චී අත් දෙකම උස්සා බෙරිහන් දී ඇසුවේය.

"We need a wall along Mexican border......" ට්‍රම්පච්චිගෙ සට්ටඹියෝ උඩ පනිමින් කෑගැසුවෝය. 

"Who is going to pay for that wall?" ට්‍රම්පච්චි ආයමත් මරහඬ තැලුවේය. 

"Mexico is going to pay for that wall..." සට්ටඹියෝ අහසේ පියාඹන උකුස්සෝද බියපත්ව මහ පොළවට ඇදවැටෙන අන්දමේ මහා නාදයක් නැඟුවෝය.

එහෙත් කෑගහලා මරහඬ තියලා මිනිස්සු කුලප්පු කරලා චන්ද අරගෙන නායකත්වය ගත්තාට ප්‍රස්න විසඳන එක ලේසි නැති බව එදත් අදත් කවදත් නැවත නැවතත් ඔප්පු වෙමින් පවතිනා සත්‍යයකි. ඒ පරම සත්‍යය ශ්‍රී ලංකාවට මෙන්ම අමරිකා එක්සත් ජනපදයටද එකසේ පොදුය.

ඒ නිසාම ට්‍රම්පච්චී කොහොම හරි දිනලා POTUS උනාට තාප්ප බැඳිල්ල දිනෙන් දින කල් ගියේය. මැක්සිකෝව කොහොමත් සල්ලි දෙන්ට බෑ කිව්වේය. අනුංගෙ තාප්ප වලට සල්ලි දෙන්ට මැක්සිකෝ කාරයින්ට මොකෝ පිස්සුවක් ඇත?

"You have to pay full cost for this wall you know Mr. President…" 

ට්‍රම්පච්චි ඒ දවස්වල හිටපු මෙක්සිකන් ජනාධිපතිට කිව්වම මෙක්සිකෝවෙන් උත්තර හම්බුනේ මෙහෙමය.

"No nos importa una mierda tu pared, si quieres que una pared con sangre la construyas tú mismo…"

මට නම් ඒ කිව්වෙ මක්කදැයි තේරෙන්නේ නැතිය. ඉස්පාඤ්ඤ බාසාව දන්න කෙනෙක් ඒ කියලා තියෙන්නෙ මොකදැයි කියලා කියල දෙන්ට යෙදුනොත් එහෙම උදක්මැ අගනේය. එහෙම කලොත් මම කුරුතඤ්ඤ කියන එක වෙනවා වෙනවා සත්තමය. හිම කුණාටු හමාවි...සුළි සුළං හමාවි..ඒත් වසන්තය එනවා සත්තමය.

දෙයියම්පල්ල කිව්වට ඇස් වහක් කටවහක් නෑ, මේ මුහුණු පොතේ ඉන්නෙ පුදුම නිර්මාණාත්මක හැකියාවක් තියෙන කොල්ලො කෙල්ලො නෙව. අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වර්තමානයේ මුහුණ දීල ඉන්න ඉතාම ශෝචනීය තත්ත්වය ගැන මෙහෙම පෝස්ට් එකක් තිබ්බ මුහුණු පොතේ...හෙහ්..හෙහ්...

"ටෙස්ට් මැච් පරදීවි..One Day වයිට් වොෂ් වේවි... ඒත් හෙට අපි T-ටුවෙන්ටිය දිනනවා සත්තයි...." මේක දාල තිබ්බෙ නවසීලන්තෙ එක්ක T-20 මැච් එක ගහන්ට කලින් දවසෙ. කොහොම හරි T-20 ගේම් එකත් පැරදුනා...ඒක වෙනම කතාවක්..හෙහ්..හෙහ්..

ඉතිං අපේ ඩොනල්ඩ් ට්‍රම්පච්චී මැක්සිකන් තාප්පෙ බඳින්ට ඩොලර් බිලියන හයකට කිට්ටු ගාණක් කොන්ග්‍රස් මණ්ඩලෙන් ඉල්ලුවම ඒ ඉල්ලීම කොන්ග්‍රස් එකෙං ප්‍රතික්සේප උනෙමි. එහෙම උනේ මේ පහුගිය නොවැම්බරේ තිබ්බ මිඩ් ටර්ම් මැතිවරණයෙන් කොන්ග්‍රස් එකේ බහුතර බලට ට්‍රම්පච්චිගෙ විරුද්ද පක්සය වන ඩිමෝක්‍රටික් පක්සයට ගිය හින්දාය.

අපේ පාර්ලිමේන්තුවට වගේම අමරිකාවේ රජය වියදම් කරන මුදල් අනුමත කිරීමට බලය තිබෙන්නේ කොන්ග්‍රස් මණ්ඩලයටය. මතකනෙ අර පහුගිය දවස්වල ගමරාළය යකාට දුම්මල ගැහුවහෙ යකා නටල මරා අගමැති කලාම පාර්ලිමේන්තුව මරාගෙ වැය ශීර්ෂය කපා හැරිය අන්දම. අන්න ඒ වගේම තමයි අමරිකාවෙත්...

ඉතින් දැන් පොරගෙ තාප්පෙ බැඳ ගන්ට අයිරුවක් නැතුව ට්‍රම්පච්චි ඉන්නේ ෆුල් අන්දොස් වෙලාය. පොරත් හැබැයි වැඩේ අත ඇරියෙ එහෙම නැත. උපන්තේකට පනාවක් එහෙම පෙන්නලාවත් නැති කොණ්ඩෙ එහෙම අතින්ම තලා හදාගෙන ට්‍රම්පට් ගොයියාද ගේමට ලැහැත්ති උනෙමි.

ඒ කෙසේද කියනවානම් අමරිකානු ආණ්ඩුවේ සේවක පඩි නඩි එහෙම ගෙවන්ට මුදල් අනුමත කිරීම කොන්ග්‍රස් මණ්ඩලෙන් කලාට ජනාදිපතිට ඕනනම් ඒ ප්‍රතිපාදන වලට අනුමැතිය නොදී ඉන්නට පුලුවන්ය. එහෙම උනාම එක්කෝ ආයම මුදල් අනුමත වෙනකල් ඒ සේවකයින් ගෙදර නවතින්ට ඕනෑය. නැත්නම් පඩි නැතුව වැඩ කරන්ට ඕනෑය. ඒකට කියන්නෙ ආණ්ඩුව වසා දැමීම නොහොත් "Government Shutdown" කියාය. ඒ කියන්නේ ගෝරමේන්තුවේ ලෙන් දොර වැහීමය.

"ගල්ලෙන බ්‍රෝකන්…. ලෙන්දොර ඕපන්…" එහෙම කිව්වේ මනමේ කුමාරයාය. 

"අඩේ මනමේ කුමාරය නෙවෙයි නේද සිංහබාහු නේද ගල්ලෙන බිඳගෙන ගියේ?"

"අම්මට උඩු ඒ යකත් එහෙම කලාද? කව්ද දන්නෙ? කලිං කියන්ට එපාය…"

"Shut down"  කිව්වම ඔන්න මට මතක් වුනේ මම කුකුළේගඟ ව්‍යාපෘතියෙ රාජකාරි කරන කාලෙ සති දෙකකට සැරයක් සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙකම නිවාඩුවක් දෙනවාය. ඒකට කියන්නෙත් "Shut down එක" කියාය. ඒ ෂට් ඩවුන් එකට කොම්පැණිය ඒ කිව්වෙ ස්කන්ස්කා එක ගානෙ අපිට ගම් රටවල් බලා යන්ට සුඛෝපභෝගී බස් පහසුකම් ද සපයනවාය.

ඒ ෂට් ඩවුන් එකට ගෙවල් බලා එන එකද වෙනම ආතල් එකක්ය. නුවර බලා එන බස් එක හවස තේ බොන්ට නවත්තන්නේ අඟුරුවැල්ලේය. බස් එකේ කට්ටිය සීයට දහයක් විතර තේ බොන්ට යද්දි සීයට අනූවක්ම රෙදි කරට අරගෙන දුවන්නේ අඟුරුවැල්ල රටබීම සාප්පුව වෙතටය. ඒ ගැන වෙනම දවසක කියන්ට ඉඩ හසර තබාගෙන අදට මෙතනින් නවත්තන්නම්ය. නැත්නම් අද මේ ට්‍රම්පච්චිගෙ විස්තරේ කියලා අහවරයක් කරනවා බොරුය.

අමරිකන් ෂට්ඩවුන් ඉතිහාසයේ දීර්ඝතම ෂට්ඩවුන් එක මේකය. දැනට දින 23 හෝ 24 ක් වගෙ ගාණක් වැඩේ ඇදුනාය. එතන වුනේ ට්‍රම්පච්චිත් එක අඟලක්වත් පස්සට යන්නට සූදානම් නැති එකය. පසුබැසිය යුතු තැන පසුබසින්නට නොදන්නාකමද අමුම අමු ගොන් කමකි. 

"Hey Guys..You remember some one just like that closer to home? I mean someone stubborn as a mule who thinks he knows everything…"

ට්‍රම්පච්චීට මේ වගෙ මරි මෝඩ වැඩක් කරන්නට හිතට ගට ආවෙ මම ඔය කලින් කියපු හාදයගෙ අලුගුත්තේරුකං ගැන අහ දැක්කට පස්සෙය කියලත් අමරිකාව පුරා දනන් තුඩ තුඩ රාවයක් පැතිරෙනවය කියලත් ආරංචියක් තියනවාය. ඔය ට්‍රම්පච්චි ඕන එකටයි එපා එකටයි හැම එකට පුරුද්දක් වසයෙන් ට්විටර් පණිවිඩ නිකුත් කරනවාය. ෂට් ඩවුන් සෙල්ලමට බහින්ට ඉස්සර මනුස්සය මෙන්න මෙහෙම ට්විටර් පණිවිඩයක් නිකුත් කලාය කියලත් ආරංචිය.

"If a two bit joker of a president from an obscure third world country can shut down a whole country on a fantasy, why can't I the most powerful man in the whole world just shut down the government until I get money to build my dream wall?"

අමරිකන් ෂට් ඩවුන් ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයා බලමින් ඉන්ටර්නැට්ටේ එහා මෙහා සැරිසරද්දී POTUS ගේ පඩිය ගැන මේ විස්තරද දැනගන්නට ලැබුනෙමි. 

ඒ විස්තර අනුව අමරිකන් ජනාධිපතිට පඩි ගෙවන්නේ මාස තුනකට නොහොත් කාර්තුවකට වරකි. POTUS ගේ වාර්ෂික වැටුප ඩොලර් 400,000.00 කි. ඒ අනුව කාර්තුවකට වැටුප ඩොලර් ලක්ෂයකි. මාසෙකට ගණං හදල බැලුවම මාසික වැටුප ඩොලර් 33,333.33 කි. රුපියල් වලින් නම් මිලියන හයක් නොහොත් ලක්ෂ හැටකි.

සී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු හතුරුසිංහටද මාසෙකට ලක්ෂ 60 ක් ගෙවන බව ඔය කොහේදෝ තිබිලා කියෙව්වා මට මතකය. හැබැයි එහූ වැටුපක් අරගෙන ඉටුකරන රාජකාරි නැතහොත් අවුට්පුට් එක අතින් බැලුවම නම් ට්‍රම්පා සහ හතුරා කරට කරය. දෙන්නගෙන්ම මෙලෝම වැඩක් නැත. කයිය විතරය.

කොහොම හරි මේ ෂට් ඩවුන් එක තව සති දෙක තුනක්වත් ඇදෙන ලකුණු පෙනෙන්නට ඇත්තේය. ඒ අව් අස්සේ ට්‍රම්පච්චිට විරුද්ධව දෝසාබියෝගයක් ගෙනෙන කතාවක්ද කණින් කොණින් ඇසෙන්නට පටන්ගෙන ඇත.

එෂැණිං පුවත් තව බොහොමයක් ලියන්නට ඇත. 

අර ලියුම බාරදෙන්ට ගිය වෙලාවෙ කිලී මහරාජා නටපු නාඩගම....

සිරස ගොං යක්කුන් ඒ ගැන සුදුවෑන් ගොට්ටාගෙන් , නීලකාස මරාගෙන් සහ මැරවිං සිල්වාගෙං වොයිස් කට් අරං ප්‍රචාරය කිරීම...

ජාතියේ පචායුදේ පොතක් ලියා රුපියල් කෝටියක් වන්දි ගෙවීමට සිදුවීම...(අපි මෙච්චර කල් අහල තිබ්බෙ මිනිස්සු පොත් ලියල අච්චර හම්බ කලා මෙව්ච්චර හම්බ කලා කියල විතරයි. ඒත් පොතක් ලියල අතිං සල්ලි ගෙවන්ට වෙච්චි සීන් එකක් ඔය ඇහුවමයි..ඒකත් වත් පොතේ තිබ්බ එකක්...හෙහ්..හෙහ්)

ඊගාවට අර මැදගොඩ අබේ උන්නැහැ පචායුදයා වෙනුවෙන් සල්ලි පිණ්ඩපාතෙ යනවය & ඒ ගැන අවසර ගන්ට මල්වතු ලොක්ක හම්බ වෙන්ට ගියාම මල්වතු ගොයිය අබයව එලෝ ගත්තයි කියන කතාව. 

ඒ කතන්දර දෙකම අතේ රෝල්...අබේ අර සිල් රෙදි කේස් එකට සල්ලි හිඟමනේ ගිහිල්ල නාගත්තු නෑම හින්ද ආයම නම් හොර තක්කඩිංගෙ දඩ ගෙවන්ට සල්ලි හිඟමනේ යන එකක් නම් නෑ කියලයි මට හිතෙන්නෙ. ඔය හැමතැනම ප්‍රචාරය වෙන වීඩියෝ එකත් එකටම එඩිට් කරපු එකක් වෙන්න ඕන..

ඒ කොහොම උනත් බොරුවක් කියල දැනගෙනම උනත් මමත් ෆුල් ආතල් එක ගත්ත එව්ව බලල.....

කිව්වම මොකද මමත් මූණු පොතේ පෝස්ට් එකක් දැම්ම "කාලෝ අයංතේ අබේ...මේ ඔබට සල්ලි හිඟමනේ යෑමට කාලයයි" කියල. ඒක නම් මම දැම්මෙ තනිකරම ආතල් එකට......:)

Friday, January 4, 2019

622. මව් ගුණ සමර - 4 - අයාලේ ගිය සිතක සටහන් සමඟ ගවනර් ජෙනරල් ගැන කතාවක්

From Google Images

අපිට ජීවිතේ කිසිම දෙයක් අපි හිතන පතන විදිහට කරගන්ට නම් ලැබෙන්නෙ නෑ..නෑ..නෑම තමයි...ඒක වෙන්නෙ මෙහෙමයි..අපෙ ප්‍රියම්බිකා තොමෝගෙ අප්පච්චි නැත්නම් වසර තුනකට පමණ පෙර අභාවප්‍රාප්ත මගෙ මාමණ්ඩි හිටියනං කියයි "ඔව්ව ගණං ගන්ට එපා රවි පුතා... එහෙම තමයි ඒකෙ අවයවය" කියල...හෙහ්...හෙහ්..

දැං ඔන්න පොඩි උදාහරණයක් ගත්තොත් කවදකහරි මගෙ විවාහ මංගල්ලෙ මෙන්න මෙහෙමයි කරන්නෙ කියල මම පොඩි කාලෙ ඉඳලම හිතාගෙන උන්න. ඒ ඔය පොඩි කාලෙය කිව්වෙ එකල්හි ඒ සිදුහත් කුමරාණෝ යශෝධරා කුමරිය හා සමඟ උත්සව ශ්‍රීයෙන් යුතුවැ මිණිරුවන් රැසක් මස්තකයෙහි සරණ බන්ධන ප්‍රාප්තවී....කියල හයේ නැත්නම් හත වසරේ බුද්ධාගම පොතේ තිබ්බ පාඩමක කියවපු කාලෙ නම් එහෙම නෙවෙයි. ඒකාලෙ ඔය ගිරව "පෙත්තප්පු බත් කෑවද?" කියල බත් කනව කියන්නෙ මොකක්ද කියල මෙලොව සංසාරයක් දන්නෙ නැතුව කියවනව වගෙ අපි ඔය සරණ බන්ධන සීන් කියෙව්වට ඒ කියන්නෙ අහවල් දෙයක්ද කියල තේරුමක් නම් තිබුනෙම නෑ.

ඒ දවස්වල අපිට නොමිලේ පෙළපොත් ලැබුනෙ නෑ. තුන්වන පාසල් වාරෙ අන්තිම දවසෙ ඒ කියන්නෙ බොහෝවිට දෙසැම්බර් පළවෙනි සතියෙ සිකුරාද නිවාඩු දෙනකොට ඊළඟ වසරට නියමිත පාඩම් පොත් පංතිභාර ගුරුතුමී හෝ ගුරුතුමා කළු ලෑල්ලෙ ලියනව. අපි ඉතිං ඒ ලැයිස්තුව පරිස්සමට කොපි පොතක අන්තිම පිටුවෙ ලියාගෙන ගිහිල්ල අම්මට දුන්නම අම්ම දෙසැම්බර් පඩි ගත්තම පොත් සාප්පුවට ගිහිල්ල හිට ඒ පොත් තොගේ අරං දෙනව. ඩබල් රූල් පොත්, තනි රූල් පොත්, කොටු රූල් පොත්, මකන කෑලි, පැන්සල්, අඩි රූල් කවකටු පෙට්ටි යනාදී සියලු අංගෝ පාංග ඇතුලුව...

පාඨ ග්‍රන්ථ නොහොත් පෙළ පොත් තිබ්බෙත් ආණ්ඩුවෙන් ගහපු එව්ව නෙවෙයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙ අනුමැතියට යටත්ව විවිධ ඒ විෂයය පිළිබඳව ප්‍රාමාණික විද්වතුන් ලියාපු පොත් තමයි අපි පාවිච්චි කලේ. එව්වයෙ දෙවෙනි පිටුවෙ තිබ්බ මෙහෙම ලියල....අ.ග්‍ර.ප්‍ර.උ.මණ්ඩලය විසින් රජයේ පාඨශාලාවන්හි භාවිතයට සුදුසු බවට අනුමත කරන ලදී. (එහෙම කෙටියෙන් හැඳින්නුවෙ අධ්‍යාපන ග්‍රන්ථ ප්‍රකාශන උපදේශක මණ්ඩලය) ඊටත් යටින් මෙහෙමත් තිබ්බ අනුමත කරන බලධාරියගෙ නම... ඩබ්ලිව්.ඩී.සී. මහතන්තිල. අ.ග්‍ර.ප්‍ර.උ.මණ්ඩලයේ ලේකම්...

ඉතිං මම මේ කියන්න ආවෙ ඒ කාලෙ බුද්ධාගම පෙළ පොත් ලිව්වෙ ජයසේකර අබේරුවන් කියල මහත්මයෙක්. එතකොට භූගෝල විද්‍යාව, ඉතිහාසය සහ සමාජ අධ්‍යයනය පෙළ පොත් ලිව්වෙ පී. රූබන් පීරිස් කියල මහත්මයෙක්. එතුමාගෙ ලිපිනයත් තිබුන මට මතක විදිහට රෝහල පාර, කළුබෝවිල. පස්සෙ කාලෙක මම කොළඹ ආවට පස්සෙ ඔය කළුබෝවිල රෝහල පැත්තෙ යනකොට මම දැක්ක පී. රූබන් පීරිස් මාවත කියල නාම පුවරුවක්. එකත් එකටම ඒ මහත්මය ජීවත් වෙච්චි නිවස පිහිටල තිබුනු පාර වෙන්න ඕන.

කොළඹට ප්‍රධාන රෝහල් පහක් තියනව. ඇස්වාට්ටුව හන්දියෙ මහ ඉස්පිරිතාලෙ සහ ජයවර්ධනපුර රෝහල.. එතකොට දෙකයි. ඊට පස්සෙ උතුරු කොළඹ මහ රෝහල තියෙන්නෙ රාගම. දකුණු කොළඹ රෝහල කළුබෝවිල සහ මැද කොළඹ රෝහල තියෙන්නෙ මාළිගාවත්තෙ ජයන්ත වීරසේකර මාවතේ.

එතනම පොඩ්ඩක් එහායින් ඒ කාලෙ (ඒ කාලෙ කියල මම කිව්වෙ හැත්තෑ හතේ අටේ වගෙ) තිබ්බ බී.සී.සී. (British Ceylon Corporation) කොම්පැණියෙ පොල්තෙල් මෝලක්. හප්පා ඒ කාලෙ ඔතනින් යන එන කොට හුළං අතත් එක්ක එනව පොල්තෙල් සුවඳ ඉන්ඩ හිටින්ඩ බෑ. ඒ පැක්ටරියට අල්ලලම තිබ්බ දුම්රිය නිල නිවාස. ඒ නිල නිවාසයක හිටිය අපෙ අම්මගෙ අයිය කෙනෙක්. ඒ කියන්නෙ මගෙ මාම කෙනෙක්. 

අර මම කලින් කතාවෙ කිවෙ අපේ ගෙදර නැන්ද කෙනෙක් ඇවිල්ල නැවතිල හිටිය කියල. ආන්න ඒ නැන්ද කසාද බැඳල හිටියෙ ඔන්න ඔය මාමව. මම ඉතිං සමහර සති අන්ත වල ඉස්කෝලෙ ඇරිල පයින්ම යනව ඔය කියපු මාමලගෙ ගෙදර. කැටවලමුල්ල ලේන් එක දිගේ ඇවිල්ල දෙමටගොඩ රේල් බෝක්කුව යටින් ආවම එතනම දකුණු අත පැත්තෙ තමයි මම ඔය කියල දුම්රිය නිවාස තිබ්බෙ.

ඔය බී.සී.සී. එක ඉස්සරහ බෝඩ් එකක් ගහල තිබ්බ රජයට පවරාගත් සීමාසහිත බ්‍රිටිෂ් සිලෝන් කෝපරේෂන් කියල. ඉංග්‍රීසියෙන් තිබ්බෙ Government Owned Business Undertaking Of British Ceylon Corporation...අන්න එහෙම. 

යූ.ඇන්.පී ආණ්ඩුවෙන් ඒ කාලෙ එහෙම දේවල් කලා. එක එක ව්‍යාපාර රජයට පවරාගෙන පරිපාලනය කලා. එව්වට කිව්වෙ G.O.B.U. (Government Owned Business Undertaking) කියල. පාඩු ලබල වහල දාන්ඩ වෙන ව්‍යාපාර වගේම දේශපාලන හේතූන් මතත් එහෙම දේවල් කලා කියලයි කියන්නෙ. මරදානෙ ටවර් රඟහල ලඟ තිබ්බ බුහාරි හෝටලයත් එහෙම රජයට පවරාගත්තු G.O.B.U. එකක්. බුහාරි හෝටලේ බිරියානි ඒ කාලෙ රට පුරාම ප්‍රසිද්ධයි. ඇත්ත පත්තරේ සිරා ඒ දවස්වල කතු වැකියක් ලියල තිබ්බ "ජේ.ආර්. බුරියානි වෙළඳාමට බහී" කියල.

රෝහල් ගැන කතාව ඇදිල ආපු එකේ මම මේ ගිය සතියෙ වගෙ මුහුණු පොතේ කියවපු අපූරු තොරතුරකුත් කියලම ඉන්නම්කො ඔබ තමුන්නාන්සෙලාගේ දැන ගැන්ම උදෙසා. 

ශල්‍යාගාර නොහොත් ඔපරේෂන් කරන තැන්වලට ඉංග්‍රීසියෙන් කියන්නෙ Operation Theaters කියලනෙ. දන්නවද ඇයි එහෙම කියන්නෙ කියල? මට සෑහෙන කාලෙක ඉඳල තිබ්බ ප්‍රස්නයක් ඕක.

අවුරුදු සීයකට හමාරකට වගෙ ඉස්සර ශල්‍යාගාර හදල තිබ්බයි කියන්නෙ ශල්‍යාගාරය වටේටම ඉහළ මහලක් තියෙන විදිහටලු. ඒ කියන්නෙ හරියටම සිනමා ශාලාවක නැත්නම් නෘත්‍යාගාරයක බැල්කනියක් වගේ. පල්ලෙහා සැත්කමක් කෙරෙද්දි ඒ බැල්කනියෙ වෛද්‍ය සිසු සිසුවියො ඉඳගෙන බලා හිටියලු සැත්කම කෙරෙන ආකාරය දැකබලාගෙන ඉගෙන ගන්නා පරමාර්ථයෙන්. ඉතිං ඒ කාලෙ ශල්‍යාගාරය නෘත්‍යාගාරයක් වගේ නිර්මාණය වෙලා තිබුණු හින්දලු Operations Theaters කියන නම භාවිතයට ආවයි කියන්නෙ.

දැං ආයෙම අර මගෙ විවාහ මංගල්‍යය කතාවට ගියොත් මම ඉතිං හිතාගෙන හිටිය කවදකහරි මම බඳින්නෙ මෙහෙමයි කියල. ඒ කිව්වෙ ඔය නිළමෙ ඇඳුම්, ඔටුනු, තුප්පොට්ටි, බඳ පටි, කඩු, කිණිසි අරව මෙව්ව මොකවත්ම නෑ කෙලින්ම අඳින්නෙ ජාතික ඇඳුම. එතකොට පෝරුවෙ චාරිත්‍ර වාරිත්‍ර පොල් බිඳිලි, අස්ටක කියවිලි මොකවත්ම නෑ. රෙජිස්ටරේ අත්සන් කලා එච්චරයි. ඒ කරල මගෙ යාලු ඥාති හිතමිත්‍රාදීන්ට හොඳට බඩ පුරා බීම සහිතව කෑම වේලක් දෙනව ගාතෙ දාල වැටෙන්ඩ. අන්න එහෙමයි මගේ තිබ්බ අහිංසක බලාපොරොත්තුව. 

මම ඉතිං ඒ කාලෙ දෙකක් දාගත්තම ඔය විස්තරේ කියල ඇති යාලුවො එක්ක අනන්ත වාරයක්. ඒ කියන කියන වෙලාවක් ඇත්තං බැඳල කරල කාරිය හිටපු මගෙ යාලුවො කිව්වෙ "පිස්සුද බං? උඹ ඔය හිතාගෙන ඉන්න එව්ව කොරන්ට හම්බවෙන්නෙ නෑ බලාපංකො..." කියල.

මම කිව්වෙ "ආ..බලා ඉඳපංකො මම ඔහොම නොකරයිද කියල එහෙනං..." අන්න එහෙම. ඒත් අන්තිමට උනේ මොකක්ද? අපි දෙන්න එකතු වෙලා අපේ මංගල්ලෙ ලොජිස්ටික්ස් සැලසුම් කරද්දි  මම අපේ උන්දැට ඔය අයිඩියා එක හෙමිහිට දැම්ම. නිකං අර කියන්නෙ මුට්ටිය දාල බලනව කියල. අන්න එහෙම නිකමට මුට්ටිය දාල බැලුව. ආය මොනවද කෙලිය නේද තාප්පෙටම. (ඔය මුට්ටිය දාල බලනව කියන කතාවෙ උපත නම් ඔය අය හැමෝම වගෙ දන්නව ඇතිනෙ. එනිසාවෙන් ඒ විස්තරේ මම ආයම පාරක් මෙතන කියන්ට යන්නෙ නෑ)

ඉතිං මංගල්ලෙ පැවැත්වෙන විදිහ නොහොත් ක්‍රියා පටිපාටිය ගැන නිකමට මුට්ටිය දාල බැලුව විතරයි අපේ උන්දැ දුන්නෙ නැද්ද මුට්ටියට කෙලින්ම දෑත බදල හොඳ පොළු පාරක්. ඒ කිව්වෙ කෙලින්ම ඇස් දෙකේ කඳුළු පුරවගෙන මෙහෙම කිව්වනෙ. "අනේ එහෙම කොහොමද ඒයි? අපේ පවුලෙ කවුරුවත්ම ඔහොම වෙඩිං එකක් අරගෙන නෑනෙ. අපෙ අම්මල අප්පච්චිල කොහොමද ලොකු අම්මලට මාමලට නැන්දලට මාමලට මූණ දෙන්නෙ?" 

 මම ඉතිං ඒ පාර "ආ..එහෙමත් එකක්ද හ්ම්ම්ම්..කලිං කියන්ට එපාය..කවුද ඔහොම දෙයක් දන්නෙ? හරි හරි එහෙනං ඕන එකක්... ඔයා කියන විදිහකට කරමු" කියල පසු බැස්ස.

කෙළිය නේද තාප්පෙටම කියනකොට මට මතක් උනේ අපේ ට්‍රම්පච්චි. ට්‍රම්පා මේ දවස්වල තාප්ප කේස් එකක් හින්ද ඇමරිකාවෙ කොන්ග්‍රස් එකත් එක්ක ෆුල් මලෙං ඉන්නෙ. කොන්ග්‍රස් එකත් අරින්නෙ නෑ. ගේමම ඉල්ලනව. වැඩේ තියෙන්නෙ පහුගිය නොවැම්බර් වල තිබ්බ මිඩ් ටර්ම් ඉලෙක්ෂන් එකෙන් කොන්ග්‍රස් එකේ වැඩි බලය හිමිවුනේ ට්‍රම්පච්චි විරුද්ධ පක්ෂයට. ඒ කිව්වෙ ඩිමෝක්‍රටික් එකට. බරක් ඔබාමා හිලරි ක්ලින්ටන් එහෙම ඒ පක්ෂයෙ උදවිය.

අමරිකාවෙ කොන්ග්‍රස් එක කියන්නෙ අපේ පාර්ලිමේන්තුව වගේ. ට්‍රම්පච්චිගෙ ඡන්ද පොරොන්දුවක් තමයි අමරිකා-මෙක්සිකන් දේශසීමාවෙ දිගටම මහ විසාල තාප්පයක් ගහනව කියන එක. සෙල්ලං තාප්පයකුත් නෙවෙයි ඒක. අඩි 30-40 වගෙ උස. සැතපුම් මම හිතන්නෙ 1200 වගෙ ගානක් දිගයි. සම්පූර්ණ වියදමට ට්‍රම්පච්චි ඉල්ලනව ඩොලර් බිලියන 5ක්. වැඩේ කියන්නෙ ඩිමෝක්‍රටික් පක්ෂයෙ උදවිය කියන්නෙ මේක මේ කිසිම තේරුමක් නැති නාස්තිකාර වැඩක්ය ඒ නිසාවෙන් අපි උඹට සත පහක්වත් දෙන්නෙ නැතිය කියල.

අපේ පාර්ලිමේන්තුව වගේම තමයි අමරිකාවෙ කොන්ග්‍රස් එකෙන් තමයි රටේ සියලුම වියදම් අනුමත කරන්නෙ. මතකනෙ පාර්ලිමේන්තුව අපේ බ්‍රොයිලර් අගමැතිතුමාගෙ වියදම් ඔක්කොම කපා හැරිය. ඊට පස්සෙ අමාත්‍යාංශ වැය ශීර්ෂත් කපා හැරිය. මෙහෙත් එහෙමයි එහෙත් එහෙමයි. ඒ හින්ද ට්‍රම්පච්චි දැං ඉන්නෙ අර කූඤ්ඤෙ ගලවල කිරිපල්ල ලෑලි පලු දෙකට අහුවෙච්චි වඳුර වගෙ විරව පට්ටං ගහගෙන.

හැබැයි එකක් තියෙන්නෙ ට්‍රම්පච්චිත් අරින පාටක් නෑ. දැං සති දෙහෙකට කිට්ටු වෙන්ට ඉඳල අමරිකාවෙ බහුතරයක් ෆෙඩරල් ආයතන වලට වියදමට සල්ලි නෑ. ට්‍රම්පච්චි ඒ සල්ලි නවත්තල. ඒකට කියන්නෙ Government Shutdown කියල. හරියට අපේ අර ගමරාළයි පාර්ලිමේන්තුවයි අතරෙ තිබ්බ කඹ ඇදිල්ල වගෙ..හෙහ්,හෙහ්,

ඒ අස්සෙ මෙහෙම ආරංචියකුත් ආව අද මේ ටිකකට ඉස්සෙල්ල. දැං ට්‍රම්පච්චි ඔය තාප්පෙට ඩොලර් බිලියන පහක් ඉල්ලනවයි කියල ඩිමෝක්‍රටික් අය කිව්වට ට්‍රම්පච්චි කියන්නෙ ඩිමෝක්‍රටික් එකෙන් කියන ගාන වැරදියි තාප්පෙට එච්චර යන්නෙ නැතිය කියල. අන්තිමට දැන් දෙගොල්ලොම එකඟවෙලා අපේ රෝසි නංගි ඇමරිකාවට ගෙන්නල හරියටම ගාන ඩොලර් බිලියන කීයද කියල කොන්ග්‍රස් එක ඉස්සරහ කියව ගන්ට. කොහොමද ඒක? 

අප්පටසිරි ගජ නැන්දට කජු මද කිව්වලු..දැනටම කතන්දරේ වචන 1200 කට කිට්ටුවෙන්ට ලියල. ඒත් අම්ම ගැන එක වචනයක් ලියල නෑනෙ. "මේ සුට්ටි පුතා දීයා කන්ට එපාය..." අපෙ අත්තම්ම හිටියනම් එහෙම කියයි හක හක ගාල හිනා වෙවී....හෙහ්,හෙහ්..හරි හරි එහෙනම් අම්ම ගැන ලියන්නං මෙතැක් පටන්. 

පහුගිය සටහනට නිර්නාමික මහතෙක් හෝ මහත්මියක් කමෙන්ට් එකක් දාල තිබ්බ මෙහෙම.

/ සැන්ඩි නැතිව අරක්කු බී, හොදට බොරේ හිටින්නට හදාපු හරක් මස් කරියක් සමග කිරිබත් කා අලුත් අවුරුද්දේ වැඩ ආරම්භ කරමු !!! /

ඔය කමෙන්ට් එක කියෙව්වම මට මතක් වුනේ අපෙ අම්ම ගවමස් භක්ෂණයට බොහොම ප්‍රියමනාපයි. අන්තිම අවුරුදු දහයක් පහළවක් වගෙ මහළු වයසට ආවේණික ජීර්ණ අපහසුතා කරණ කොටගෙන ගවමස් ආහාරයෙන් වැළකී සිටිය නම් තමයි. ඒත් එතුමිය එතකල් ගව මස් පරිභෝජනය කලා. 

ඔය ආසාව ඇති උනයි කියල කියන්නෙ මෙහෙමයි. අම්මගෙ අප්පච්චි ඒ කිව්වෙ මගෙ ආතා වැඩකරල තියෙන්නෙ සී.ජී.ආර්. එකේ නොහොත් ලංකා දුම් රිය සේවයෙ. අන්තිමට විශ්‍රාම ගිහිල්ල තියෙන්නෙ හෙඩ් ෆයර්මන් හැටියට. ඒ දවස්වල දිව්ව අඟුරු කෝච්චි ක්‍රියාත්මක උනේ වාෂ්ප බලයෙන්. ඒ වාෂ්ප ලබාගත්තෙ වතුර උතුරවල. ඒ වතුර උණු කලේ ඉන්ධන හැටියට අඟුරු දහනය කරල. හෙඩ් ෆයර්මන්ගෙ රාජකාරිය තමයි වතුර උණුකරන බොයිලේරුවෙ ගින්න නිවෙන්නට නොදී පවත්වාගන්න එක.

නාවල පිටියෙ තියනව දුම්රිය දෙපාර්තමේන්තුවෙ  ධාවනාගාරයක්. (Running Shed) බොහොමයක් වෙලාවට ආතා වැඩ කලාය කියන්නෙ පොල්ගහවෙල ඉඳල නාවලපිටියට යන කෝච්චි වල. ඉතිං නාවල පිටියෙ ස්ටේෂන් එක ලඟම ඒ දවස්වල තිබිල තියනව මුස්ලිම් මුදලාලිලගෙ බත්කඩ පෙළක්. ඔය බත් කඩවල අනිවාර්යයෙන්ම හරක් මස් උයනවනෙ. 

ඒ කාලෙ මම ඔය කියන්නෙ තිස් හතළිස් ගණංවල බහුතරයක් සිංහලයො හරක් මස් කෑවෙ නෑ. ඒ මදිවට හරක් මස් කන අය වසළයො කියලයි සැලකුවයි කියන්නෙ. අර මතකනෙ අනගාරික ධර්මපාල තුමාගෙ "සිංහලයිනි ගෙරි මස් නොකනු" ව්‍යාපාරය. එතුමා ඒ ව්‍යාපාරයත් රට පුරා අරගෙන ගියේ නමසිය විසි ගණං වලනෙ. ඒ හින්ද ඒකෙ බලපෑමත් නොසෑහෙන්න තියෙන්නෙ ඇති. 

ඉතිං කියන්නත් දෙයක් නෑනෙ අපෙ ආතත් ගවමස් නොකන්නෙක්. ඒත් කොහොම හරි නාවලපිටි ගිය දවස් කීපෙකදි මුන්දැට අර මුස්ලිම් කඩවල් වලින් බත් කාල හරක් මස් රහ වැටුන. මම හිතන්නෙ පලවෙනි දවසෙ නිකමට වගෙ රහ බලන්ට කෑල්ලක් කන්ට ඇති. සමහරවිට මුද්ලාලි බල කරන්ට ඇති. "නේ..නේ..දොරේ යේක නිකමට වගෙ අද කේල්ලක් කාල බලන්ටකෝ කෝමද එරච්චි රෂ කියල..ඇමදාම කන්ට ඕන නේ..අදට විතරක් කන්ටකො මම කියනවට" කියල

ඉතිං මට හිතෙන්නෙ කාපු දවසෙම ආතට රහ වැටුන ගවනර් ජෙනරල්. (මමයි අපෙ උන්දැයි ගව මස් හැඳින්නුවෙ ගවනර් ජෙනරල් කියල) වෙලාව කියන්නෙ එතනම එහා පැත්තෙ මුස්ලිම් මුදලාලි කෙනෙකුගෙ හරක් මස් කඩේකුත් තිබිල තියනව.ඒ පාර ආත කරල තියෙන්නෙ සතියකට සැරයක් විතර ඔතනින් හබරල කොලේක ඔතාපු හරක්මස් රාත්තලක් දෙකක ගෙදර අරගෙන එන්ට පුරුදු වෙලා තියනව. 

ගෙදර කට්ටිය ඒ කිව්වෙ අත්තම්ම ඇතුලු දරුවො හරක් මස් කන්නෙ නෑනෙ. ඒ හින්ද ආත කරල තියෙන්නෙ ගේ පිටිපස්සෙ පාලු කමතක තිබ්බ පොඩි පැළක තමයි මස් උයල තියෙන්නෙ. කොහොම හරි මුලින් මුලින් එහෙම කලාට පස්සෙ පස්සෙ ගෙදර ඔක්කෝටම ගවනර් ජෙනරල් රහ වැටුන කියමුකො. ඊට පස්සෙ ඉතිං අවුලක් නැතුව ගෙදර ඔක්කොමල හරක් මස් කන්ට පටන්ගෙන තියනව. ඒත් වටේ පිටේ අයට ආරංචි නොවෙන්ට හොරෙං වගේ තමයි වැඩේ කරල තියෙන්නෙ.

අපි පොඩි දවස්වලනම් හරක්මස් කන එක එච්චර ගණං ගත්තෙ නෑ කවුරුත්. අනික සැවුල් මාංශ කියන්නෙ ඒ කාලෙ සුඛෝපභෝගී ආහාරයක්. (මතකනෙ මගෙ අර කතාව..පිළිස්සූ සැවුලකු නිසා අහිමිවූ මගේ ආදරය...එතනදිත් ඔය කිසිම කෙනෙක් අත ගහන්ට බයවෙලා මඟුල් මෙසේ උඩ බැබලි බැබලි හිටපු පිළිස්සූ සැවුළා හින්දනෙ මගෙ ආදරේට කණ කොකා ඇඬුවෙ...හෙහ්...හෙහ්) කරඳගොල්ල, බයිරහා, පුස්සැල්ලාව අරක මේක අටෝරාසියක් මහා පරිමාණ කුකුල් ගොවිපොලවල් තිබ්බෙත් නෑ ඒ කාලෙ. 

බ්‍රොයිලර් කුකුල්ලුත් නෑ බ්‍රොයිලර් අගමැතිලත් නෑ ඔන්න කොටිම්ම. හෙහ්..හෙහ්....ඉඳහිටල මාස තුන හතරකට සැරයක් කුකුල් මස් ටිකක් කෑවෙ අපේ ගෙදර ගරාජ් එක පිටිපස්සෙ තිබ්බ කුකුල් කූඩුවට කළවැද්දෙක් හරි මුගටියෙක් හරි පැනල ඌට කිකිළිව මැරුවට අරගෙන යන්ට බැරිවුන දවසට විතරයි.

ගෙදර ඇති කරපු සතාය කියල අනික් අය පැත්ත පලාතට නාවට අපේ ගෙදර හිටපු අම්මගෙ බැඳපු නැති අයිය කෙනෙක් ඒ කිව්වෙ මගෙ මාම කෙනෙක්...එයා තමයි ඔය කුකුල් මේච්චලේ කලේ.. ඊට අමතරව උන්දැ එලුවොත් හැදුව...එළු ගාල පිටිපස්සෙ වතුර මුට්ටියක් උණු කරල කිකිළි සුද්ද කරල ඒ ලිපේම අප්පල්ලෙක මස් ටික හොඳට පහේ දාල උයනව. අපෙ අත්තම්මයි මායි හෙමීට සුවඳ අහල පහල පැතිරෙනකොට එතෙන්ට කිට්ටු කරනව හෙහ්...හෙහ්..

හරි ඉතිං මට වයස අවුරුදු දෙකක් තුනක් වගෙ කාලෙ ගෙදර හරක්මස් ඉව්වට මට කන්න බෑ. එකක් දැවිල්ල වැඩියි. මට මතක විදිහට අපි පොඩි දවස්වල ගෙදර හදන කිසිම මසක් මාලුවක් අපි පොඩි එවුන්ට කියල මිරිස් තුනපහ අඩුවෙන් දාල ඉව්වෙ නෑ. හායි හූයි ගාල අපිත් වැඩිහිටියො එක්කලා හරි හරියට එව්වත් එක්ක බත් කෑව. කාල කට දිව තොළ දනව ඉවසන්ටම බැරිනං අත්තම්ම අල්ලට සීනි හැන්දක් දෙකක් දානව. 

මට පොඩි කාලෙ මස් කන්ට බැරි අනික් කාරනෙ මස් හයිය වැඩියි. ගවනර් කොහොමත් හයියයිනෙ. සේර අනම් මනම් දාල ඉව්වත් එහෙමට මෙලෙකක් නෑ. අපි අනුරාධපුරේ ඉන්න කාලෙ නම් අපෙ අර මාම කරන්නෙ කොහෙං හරි හොරාට ගෙනාපු ගංජා කොළ හීන්වට කපල මස් උයන කොට ඒකට දානව. ඒත් ඔය එහෙම කලාම මස් මෙලෙක් වෙනවයි කියල තමයි. 

ඉතිං මම අර පුංචිම කාලෙ අම්ම කරනවයි කියන්නෙ හරක් මස් හෝදල අම්ම හපලලු මට දෙන්නෙ. ඒ අම්ම හපපු මස් තමයි මම කන්නෙ..හෙහ්,හෙහ්...

ඒ දවස්වල මම අම්ම එනකල් ඉන්නවලු බත් කන්ට..අම්ම ආවම අම්ම පස්සෙන්ම යනවලු "අම්ම හපලා අම්ම හපලා ..." කිය කිය. 

ඒ කාලෙ එහෙම කලාට ටිකක් ලොකු මහත් වෙනකොට ඒ කිව්වෙ අවුරුදු හය හතක් වගෙ මට ඔය කතාව මතක් කරන එකත් මහ ලැජ්ජාවක්ලු. එහෙම වෙලාවට මම රටෙත් නොහිට පැනල දුවනවලු. අපෙ පොඩි අම්මගෙ දුවල "අම්ම හපලා අම්ම හපලා..." කියල මට සවුත්තුව දානකොට මම උං පාරෙ පන්නනවලු තඩි ගහන්ට...හෙහ්,හෙහ්..

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...