වීරයා සමඟ ජයනි, රොෂාන් සහ චාන්දනී... |
මේ දවස්වල බොහොම අපූරු ටෙලි චිත්‍රපට කීපයක්ම විකාශය වෙනව රූපවාහිනී නාලිකා කීපයකම.
ඒ අතරින් ජාතික රූපවාහිනියෙ සති අන්තයෙ විකාශය වෙන "වීරයා ගෙදර ඇවිත්" ඇහැ පියාගෙන ප්‍රමුඛස්ථානයෙ තියන්ට පුළුවෙනි. ඒකෙ නලු නිලියො ආයෙ නෑ නොම්මර එක.....ටී.එන්.වයි.කේ.චාන්දනී සෙනෙවිරත්න, රොෂාන් රවීන්ද්‍ර, එතකොට ආනන්ද කුමාර උන්නැහැ, නෙතලි නානායක්කාර, ජයනි සේනානායක... ඒ හැමෝගෙම රංගනය විශිෂ්ඨයි. (ටී.එන්.වයි.කේ. කියන්නෙ තමන් නිළියක් යැයි කියාගන්නා...අර සිරසෙ අම්බරු රැල චාන්දනීට දුන්නු ගෞරව නාමයනෙ ඒක)..ආ..අර පොඩි එකත් කියල වැඩක් නෑ. උත්කෘෂ්ඨයි
අවුරුදු දෙකකට වගෙ කලින් ඔය සෙට් එකම (චාන්දනී, ආනන්ද සහ රොෂාන්) තවත් ඔය වගේම විශිෂ්ඨ රංගනයක යෙදුනා "බැද්දේ කුලවමිය" ටෙලි චිත්‍රපටයෙ. ඒකෙ මහේන්ද්‍ර පෙරේරාත් හිටිය. ඔය දෙතුන් දෙනා සෙට් උනොත් ආය නෑ නොම්මර එකේ වැඩක් තමයි. අවුරුදු පහළවකට වගෙ කලින් මහේන්ද්‍ර සහ චාන්දනී රඟපාපු "රළ බිඳෙන තැන.." කියන්නෙත් මේ මට්ටමේම විශිෂ්ඨ නිර්මාණයක්.
රළ බිඳෙන තැනේ හිටිය තවත් අපූර්ව රංගන ශිල්පියෙක්... විශ්වජිත් ගුණසේකර... මතකයි නේද "කූඹියෝ.." එකේ පොලිසියෙ ලොක්කගෙ චරිතය කලේ ඔහු..."රළ බිඳන තැන..." නිෂ්පාදකයා ආනන්ද අබේනායක. හැමදාම ඉතාම අපූර්ව නිර්මාණ බිහි කරන්නෙක්. කාලෙකට ඉස්සෙල්ල ඒත් රූපවාහිනියෙම ප්‍රචාරය වුනු "ජීවිතයට ඉඩ දෙන්න... " ඒත් ආනන්දගෙ නිර්මාණයක්. ඒකෙ රඟපෑවෙ චාන්දනී සහ බිමල් ජයකොඩි.
මම උසස් පෙළ කරන කාලෙ තිඹිරිගස්යායෙ අශෝකාරාමෙ භෞතික විද්‍යා උපකාරක පංතියකට ගියා. ඒ කාලෙ ඉතාම ජනප්‍රිය භෞතික විද්‍යා උපකාරක පංති ගුරුවරයකු වූ සේනාරත්න මහත්මයා තමයි පංතිය කලේ. චාන්දනී ඒ පංතියට ආව. ඇය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙ සිසුවියක්. අර සාක්කුවෙ එස්.පී.එම්. ඉංග්‍රීසි අකුරු තුන ගහල තියෙන කර නැති සුදු ගවුම තමයි පාවුළු බාලිකාවන්ගෙ නිල ඇඳුම.
ඉතින් චාන්දනී පංතියට එන්නෙ ඔය නිල ඇඳුම පිටින් හොකී පිත්තකුත් අරගෙන. මම හිතන්නෙ පාසල් වෙලාවෙන් පස්සෙ හොකී පුහුණුවෙලා වෙන්න ඕන. ඇය ඒ කාලෙත් සම වයසෙ කොල්ලො කෙල්ලො අතර ටිකක් ප්‍රසිද්ධයි මට මතක විදිහට සෝමලතා සුබසිංහ මහත්මියගෙ විකෘති නාට්‍යයෙ රඟපෑ නිසා. විකෘති නාට්‍යයෙ සෝමලතා මහත්මියගේ දියණිය කෞශල්‍යා ප්‍රනාන්දුත් රඟපෑවා.
කෞශල්‍යා ප්‍රනාන්දු, ශලනි තාරකා සහ රොෂාන් රවීන්ද්‍ර මේ පහුගිය කාලෙ විකාශය වුනු "තාරා" ටෙලි චිත්‍රපටයෙ රඟපෑව. "තාරා" කතාව අපට සිටින විශිෂ්ඨ ටෙලි නිර්මාණ කරුවෙක් වන නාමල් ජයසිංහගෙ.
"තාරා" එකේ ආය රඟපෑව මැල්කම් මචාඩෝ. මැල්කම් මම කෑගල්ලෙ ඉස්කෝලෙ යන කාලෙ අන්තිමටම නැවතිලා හිටපු මගෙ අතිජාත මිත්‍රයගෙ ගෙදරට අල්ලපු ගෙදර හිටියෙ. දැන් මම හිතන්නෙ මනුස්සය නීතිඥයෙක්.
ගාල්ලෙ කිතුලම්පිටියෙ හාදයෙක් ඔය කාලෙ අපි එක්ක ඔන්න ඔය අශෝකාරාමෙ සේනාරත්න සර්ගෙ පන්තියට ආව. පොර ඇවිල්ල ආනන්දියන් කෙනෙක්. මිනිහ පස්සෙ කාලෙක ආමි එකට ගියා. ඉතිං මම මේ කියන්න ආවෙ මේ යස්සයට අර චාන්දනී ළමය ගැන පිළිබඳ සිතක් පහල වුනාය කියමුකො.
"අනේ මචං හොඳ එකා වගෙ වරෙංකො මා එක්ක යන්ට..."
ඌ දවසක් ක්ලාස් එක පටන් ගන්නකල් අශෝකාරාමෙ ඝණ්ඨාර කුලුණ ගාවට වෙලා යන එන කෙල්ලො දිහා බලා ඉන්න අතරෙ මට පිණ්සෙන්ඩු වුනා.
"කොහෙද බං? …"
මම රතු සායක් සහ සුදු ටී ෂර්ට් එකක් ඇඳල එතනින් යන්ට ආපු ටිකක් විතර කොට මොඩල් කෙල්ලෙක් එක්ක යන්තමට හිනාවෙන ගමන් ඇහුව.ඒ කෙල්ලත් යන්තමට දත් පෙන්නල හිනාවෙලා අපේ පංති පැවැත්වුනු ලෑලි මඩුව පැත්තට ගියා.
"ක්ලාස් ඉවරවෙලා අර හොකී ස්ටික් එකක් අරං එන කෙල්ලගෙ පස්සෙං පොඩ්ඩක් යමුකො බං…පොඩි ෆලෝ එකක් දාල බලමු මොකද තත්වෙ කියල...හරිද? උඹ එනවනෙ?"
"උඹට පිස්සුද? මේ රෑ ඔය කෙල්ලො පස්සෙ ගිහිල්ල යකෝ ගුටි කන්ට උනේ නැත්තං ඇති. මට බෑ බං…"
ඔය අශෝකාරාමෙ ෆිසික්ස් ක්ලාස් එක තිබ්බෙ සතියෙ දවස් දෙකක හවස් වරුවෙ. මට මතක විදිහට අඟහරුවාදා සහ බෘහස්පතින්දා. හවස 5.30 ඉඳල 7.30 වෙනකල්. සාමාන්‍යයෙන් ඒ කාලෙ ටියුෂන් පන්ති තිබ්බෙ සෙනසුරාදා හෝ ඉරිදා උදේ හෝ හවස් වරුවෙ. සේනාරත්න සර්ගෙ සුභද්‍රාරාමෙ ඉරිද තිබ්බ උදේ සහ හවස පංති දෙකක්. එව්වගෙ ඉඩ නැතුව තමයි ඔය අශෝකාරාමෙ සතියෙ දින දෙකක ක්ලාස් එක පටන් ගත්තෙ.
"අනේ බං .." අරූ ආයම නාහෙන් අඬනව.
"මට බෑය කිව්වනෙ එක පාරක්...උඹ හදන්නෙ ඔය හොකී ස්ටික් එකෙං දෑත බදල ඉස් මුදුන තැරි ගැහිල යන්ට පාරක් කන්ට තමයි...හෙහ්..හෙහ්.."
තිඹිරිගස්යායෙ කලර් ලයිට්ස් ගාවම තිබ්බ හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණය ඉස්සරහ දෙනෝ දාහක් බලා ඉද්දි අර ළමය උඩ පැනල දෑත බදල හොකී ස්ටික් එකේ අර හාමුදුරු කුඩ මිට වගෙ තියන පැත්තෙන් අරූගෙ ඉස්මුදුනෙන් ඉස්ම බේරෙන්ට පතබානව මගෙ දෑස් ඉස්සරහ මැවිල වගෙ පෙනුන. මට හිනාව නවත්තගන්ටම බැරිවුනා. තාම උනත් "වීරයා ගෙදර ඇවිත්", "කළු ඇඳගෙන සුදු ඇවිදින්.." එව්වයෙ එහෙම චාන්දනී දකිනකොට මට ඒ සීන් එක මැවිල වගෙ පේනව.
මම අශෝකාරාමෙ ක්ලාස් එකට ගියාට ඉස්කෝලෙ මගෙ පංතියෙ යාලුවො ඔක්කොමල වගෙ ගියේ සුභද්‍රාරාමෙ උදේ ක්ලාස් එකට. ඒ හින්ද උං කරපු වැඩේ සුභද්‍රාරාමෙ ටික්ක එක්ක කතා කරගෙන ඒ කිට්ටුවම වගෙ මටත් සුභද්‍රාරාමෙ ක්ලාස් එකට යන්ට චාන්ස් එක හදල දුන්න. ඒ හින්ද අර කිතුලම්පිටියෙ හාදයගෙ ප්‍රේමාන්දරයට ඊට පස්සෙ අහවල් දෙයක් උනාද කියල මම නම් නොදන්නෙමි.
වීරයා ගෙදර ඇවිත් එකේ සති දෙකකට වගෙ ඉස්සෙල්ල විකාශය වුනා නෙතලි නානායක්කාර සහ රොෂාන් රවීන්ද්‍ර දෙන්නව ලණු දෙපටකින් ගැටගහල වැවක බැහැල නාන දර්ශනයක්. චාන්දනී සෙනෙවිරත්න වැව් ඉවුරෙ ගලක් උඩ ඉඳගෙන ඔලුවට රෙද්දකුත් දාගෙන ලණු දෙපට අල්ලගෙන ඉන්නව. ඒකෙ රොෂාන් සහ නෙතලි දෙන්නම රඟපාන්නෙ අන්ධ චරිත. අන්ධ හින්ද නොදැනුවත්වම වැවේ ගැඹුරු හරියට ගිහිල්ල ගිලෙයි කියලයි ඒ විදිහට ළණුවලින් ගැට ගහල තියෙන්නෙ. හරිම සංවේදී දර්ශනයක් ඇත්තටම.
ලණුවෙන් බැඳල නාල එහෙම තුන්දෙනා ගෙදර එනව... |
ඒ එක්කම ඒ වැවේ දර්ශනය දැක්කම මට මතක් වුනේ මම ජීවිතේ වැඩිපුරම කාලයක් ගත කරපු වියළි කළාපෙ. අපි අප්පච්චිගෙ ස්ථාන මාරුව හින්ද කෑගල්ලෙ ඉඳල අනුරාධපුරේට ගියේ 1975 අවුරුද්දෙ දෙසැම්බර් මාසෙ. අප්පච්චි ඒ අවුරුද්දෙ මැයි මාසෙ අනුරාධපුරේට ගියාට අවුරුද්ද මැද ඉස්කෝලෙ මාරු කරන්ට බැරි හින්ද අපේ අනික් කට්ටිය තව මාස අටක් කෑගල්ලෙ අපේ නිල නිවාසෙම හිටිය විශේෂ අවසරයක් පිට.
කෑගල්ල වගෙ බොහොම සෞම්‍ය සිසිල් දේශගුණයක් සහ වැසි සහිත කාළගුණයක් සහිත ප්‍රදේශයක ඉඳල එක පාරට අනුරාධපුරේ වගෙ කර්කශ වියළි දැඩි හිරුි රශ්මියෙන් දැවෙන ප්‍රදේශයකට ගියාම ඒ වෙනස අපිට බොහොම තදින් දැනුන. ඒත් නංගිල දෙන්නයි මායි අපි පොඩි එවුන් ඒ පරිසරයට බොහොම ඉක්මනටම හුරුවුනා.
මට මතකයි අපෙ අත්තම්මයි අපේ ගෙදරම හිටපු අම්මගෙ විවාහ නොවුනු වැඩිමහළු සහෝදරයෙක් වන මාම කෙනෙකුයි එක්ක අපි තුන්දෙනා අර දාස් දෙන අව්වෙ අනුරාධපුරේ නුවර වැවේ වැව් බැම්ම දිගේ කිලෝ මීටර් දෙකක් විතර ඇවිදගෙන ගියා අනුරාධපුරේ ගිය අලුතම වගෙ. ඒ 1976 ජනවාරි වෙන්න ඕන. නුවර වැවෙ තැනින් තැන පොඩි මඩ කඩිති වගෙ වතුර ජුංඩක් විතරයි ඉතුරු වෙලා තිබ්බෙ.ඒ ඇර මුළු වැවම වහගෙන තිබ්බෙ මහ විසාල ගස් සහිත ඝණ කැළෑවකින්.
අවුරුදු හත අටක්ම අනුරාධපුර ප්‍රදේශයට බලපෑ දැඩි නියඟය හින්ද වෙච්චි නස්පැත්තිය තමයි ඒ. එදා ඉතින් අපි ජීවිතේට වැවකින් නාල නැති හින්ද අර මඩ වතුරෙ බැහැගෙන ආසාවට හිස් පේන්ට් ටින් වලින් නෑව බොහොම සතුටින් හිනාවෙමින්. ඒ එක්කම ටිකක් එහායින් වැව මැදට වෙන්ට අලි පැටව් වගෙ තඩි මීහරක් පට්ටියක් මඩේ පෙරළිල හිටිය බොහොම නිසොල්මනේ හරියට වැවේ අයිතිකාරයො වගේ.
ඒත් ඒ අවුරුද්දෙම අගෝස්තු නිවාඩුව වෙනකොට තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඒ අවුරුද්දෙ ඒ කියන්නෙ 1976 අවුරුද්දෙ ජනවාරි 8 වෙනිද තමයි පොල්ගොල්ල වේල්ලෙ ජල දොරටු වහල මහවැළි වතුර රජරටට හැරෙව්වෙ. ජනවාරි 8 කියන්නෙ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ඒ කිව්වෙ සිරිමා මැතිණිගෙ පුරුසය එහෙමත් නැත්නම අනුර සහ චන්ද්‍රිකාගෙ තාත්තගෙ උපන් දිනේ.
ඉතිං ජනවාරි අට වෙනිද පොල්ගොල්ලෙන් උතුරට හැරවුනු මහවැලි ජලය බෝවතැන්න උමඟ හරහා මඟ තොට හම්බවෙන වැව් අමුණු පුරවගෙන අගෝස්තු වෙනකොට නුවර වැවට ළඟාවෙලා. අපි නුවරවැව තනායමේ මායිම් වැට එක්කම තිබ්බ ගල ගැලවුනු තාර පාර දිගේ ගිහිල්ල වැව් බැම්මට ගොඩ වෙනකොට මෙන්න බොලේ නුවර වැව ආය නෑ නිල්වන් සළුපිළියෙන් සැරසුනු සිටු කුමාරියක්වගෙ සැරසිල බලාගෙන ඉන්නව. පේනතෙක් මානෙ මුළු වැවම වතුරෙන් පිරිල.
හුළඟට උපදින දියරැලි ගොඩබිමට ගහගෙන ඇවිදින් වැව් බැම්මත් එක්කම පල්ලෙහායින් වැවිල තියෙන යෝධ ගස්වල මුල් අතර හැප්පිල බිඳිල යනව. මට මතක විදිහට බොහොමයක් තිබ්බෙ ලුණුවරණ වගෙ ගස්. ඈත වැව මැද්දෙ තිබ්බ පොඩි පොඩි මට්ටමේ ගස් දැනටම මැරෙන්ඩ පටන් අරගෙන. කොහොම හරි තව අවුරුදු හත අටක් යනතුරුත් මැරිච්ච යෝධ ගස්වල කළු පැහැ ගැනිච්ච කඳන් නුවර වැව මැද්දෑවෙ හරියට මුර සෙබළු සේනාංකයක් හිටි පියවර හිටගෙන ඉන්නව වගෙ විරාජමානව හිටිය මට මතකයි.
කලින් පාර එද්දි ඝණ කැලේ හින්ද වැහිල තිබ්බ මිහින්තලේ චෛත්‍යය ඈත වැව් බැම්මට උඩින් පේනව ඉර අව්වට දිළිසෙනව. අත්තම්ම තුන්පාරක්ම "සාදු සාදු සාදු" කියල දොහොත් මුදුන් තියල මිහින්තලේ චෛත්‍යයට වැන්ද.
වැවේ සෑහෙන වතුරක් පිරිල හින්ද අත්තම්ම මුලින්ම අපිට නාන්ට වතුරට බහින්ට දෙන්ට කැමති වුනේම නෑ. අනික මගෙ ඔලුවෙ පිටිපස්සෙ අර කොහාටද කැරකිච්ච සුළියක් තියනවලු. ඔය ඔලුව පිටිපස්සෙ ඔය වගෙ සුළි තියන අයට වතුරෙන් අපලයි කියල තමයි කියන්නෙ. දැන් නම් එහෙම සුළියක් හොයාගන්ටවත් නෑ. සුළි පෙනෙන්ට කොණ්ඩෙ තියෙන්ට එපාය නැද්ද එහෙනං?
කොහොම හරි අන්තිමේ අපේ වද කෙරිල්ලට අත්තම්ම ඉඩ දුන්න වැව් බැම්ම අයිනෙම ඉඳල අර කලින් පාර වගේම හිස් පේන්ට් ටින් වලින් නාගන්ට. අත්තම්මයි මාමයි අපිට එහායින් තන මත්තක් වතුරෙ බැහැගෙන නෑව අපේ ආරක්ෂාවට. මට ඉතිං හොඳටම හිත තව ටිකක් වැව මැදට යන්ටමයි. එහෙම දෙතුන් පාරක්ම යන්ට තනනකොට අත්තම්ම අන්තිමට තරවටු කලා.
"සුට්ටි පුතා මම ආයෙ කියන්නෙ එහෙම නැහැ ඔන්න හොඳද? අනික් දවසෙ ඉණේ තෙල්ගාර ළණු පොටක් බැඳලයි මම වැවට නාන්ට බහින්ට දෙන්නෙ..ඔන්න නොකිව්වයි කියන්ට එහෙම එපා.."
අර චාන්දනී සෙනෙවිරත්න ලණුව අල්ලගෙන ඉද්දි රොෂාන් රවීන්ද්‍රයි නෙතලි නානායක්කාරයි වැවේ බැහැල නාන දර්ශනය දැකපු ගමන් මට මතක් උනේ අපේ අත්තම්මගෙ ඔය තරවටුව...
සටහන - අපෙ අත්තම්ම තෙල්ගාර ලණු කියල හැඳින්නුවෙ Twine කියල කියන්නෙ අර...තුන් හතර පොටක් වෙළු කවල ශක්තිමත්ව අඹරපු සුදු පාට ලණු..එන්න එව්ව..ඒ කාලෙ නයිලෝන් තිබ්බෙ නැති හින්ද ළිඳේ කඹේට, එළුවො හරක් බල්ලො ගැටගහන්ට, කොසයක් තැඹිලි වල්ලක් වගෙ බාගන්ට යනාදී මෙකී නොකී කුදු මහත් කටයුතු සියල්ලටම ප්‍රයෝජනවත් වුනේ සහ යොදාගත්තෙ ඔය තෙල්ගාර ලණු...