Saturday, July 3, 2021

158. පුස්තකාල පූසා සහ කළු උස මනුස්සයෙක් සමගින් ගෙදර'වට සිතියම


    හරි වැඩක් මට වුණේ. පසුගිය දවස් 40ක වගේ කාලයක් තුල පොත් 20ක් කියවලා අවසානයේ ඒ පොත් 20 මා තුල ඇති කළ සිතුවිලි ගැන සම්පිණ්ඩනයක් ලියන්න ගත්ත කටු සටහන (Draft) අන්න තවම බ්ලොගර් ලිපි ගොනුවේ සේව් කරපු ගමන්. (සගයා නම් දකින්න ඇති)

    අපේ තරුරසි අක්කයි මායි පොත් හුවමාරු කරගෙන කියනවා මේ දවස් වල. අර විස්සෙන් 5-6ක් ඒ හුවමාරුවේ පොත්. මෙදා සැරේ අක්කා පොත් 9ක් එවා තිබුණා. පොත් 20 ගැන ලියන්න ගන්න අතරතුරේ ඒ 9න් එකක් කියවන්න ගත්ත එක තමයි මට වුණු හරි වැඩේ.

    ඒ පොත 'පුස්තකාල පූසා සහ තවත් කතා'. ලියලා තියෙන්නේ ප්‍රින්ස් සේනාධීර කියලා මහතැන් කෙනෙක්. අර කතාවට කියන්නේ, "‌ශෙහ්!... අන්න පොත්!" අන්න ඒ කතාව මේ පොතටත් කියන්න පුළුවන් කිසි ලෝභ කමක් නැති ව.


    විස්තර ලියනවා නම් එක කතාවක් ගානේ ලියන්න තරම් විස්තර. අනේ මන්දා කෙටි කතා! කියලා අතට ගත්ත පොතේ කතා 8 ම එක දවසින් කියවලා ඉවර කරන්න ජවය දුන්නේ පළමු කතාවෙන්මයි. භාවිත රචනා විලාශයේ වෙනස, එක වගේ කතා කියවලා කම්මැලිකම අමාරුවෙන් දරාගෙන හිටපු හිතට ගෙනාවේ පුදුමාකාර අස්වැසිල්ලක්. මං මොකුත් වැඩියේ කියන්නේ නැහැ. ඔයාලා ම කියවලා බලන්න. මේක කියවන්න ම ඔනෑ පොතක්! කියලා විතරක් කියන්නම්.

    ඉතින් ඊ ගාවට ඒ මහතැන්ගේ ම "කළු උස මනුස්සයෙක්" පොත අතට ගම් දෝ නොගම් දෝ කියලා දෙකට දෙවාරේ හිතලා හිතලා, ඒ පොතින් කලින් පොත නිසා ඇතිවුණු ප්‍රහර්ශය නැති වේදෝ කියන බයට වෙන පොතක් අතට ගන්න හිතුවා. මොකද මේ පොත් දෙක 2020, 2021 කියන එක ලඟ අවුරුදු දෙකේ නිකුත් වෙලා තියෙන්නේ. 

    ඒ පණ්ඩිතකම් නිසා මං ඊ ගාවට අතට ගත්තේ ලියනගේ අමරකීර්ති මහතැන්ගේ "ගෙදර'වට සිතියම"

    ඒ මහතැන්ගේ සේරම පොත් වගේ මං කියවලා තියෙනවා. වෙනදාටත් වඩා නිදහසකින් ස්ත්‍රී ලාලිත්‍යය, මිනිස් සබඳතා හී මාන, රට වැටුණු තැන ආදී කාරණා ගැන ඉතාමත් සරළව, නමුත් හිසට ටොකු අනිමින් පෙන්වා දෙමින් රචනා කර තිබෙනවා.

    සිනමාවේ ‌ඛේදාන්තය, රට රැකගත් කාණ්ඩේ රණවිරුවන්ගේ ‌ඛේදාන්තය, තුන්වෙනි ලෝකයෙන් ඌන සංවර්ධිත ලැයිස්තුවට යෑමට ඔන්න මෙන්න ඉන්නා රටක ‌‌වත, ඒ රටේ අධ්‍යාපනයේ ගමන් මග වැනි කාරණා ඔස්සේත් නොවැළැක්විය හැකි ලෙස අප රට ජන ජීවිතයට බද්ධ වී ඇති 88-89 කාලයේ වේදනාවත් කතන්දර 8ක් පුරා සිතුවම් කර තිබෙනවා. ඒ කතා 8ත් එක දවසින් කියවලා ඉවර කළා.



    ඉතින් ඊට පස්සේ මම "කළු උස මනුස්සයෙක්" කියවන්න ගත්තා. එක ලඟ අවුරුදු දෙකේ පළ වුණා කියලා, කිසිම අඩුපාඩුවක් නැහැ. පොත් දෙකින් කොයි පොත ද වැඩියෙන් හොඳ කියලා හිතා ගන්නත් බැහැ. හැබැයි මේ පොතේ භාවිත රචනා ශෛලිය වෙනස්. කතා 8න් තුනක විතර ලියුම් ඔස්සේ කතාව ගොඩ නැගෙනවා. ඒ වියමන් හරි ම රසයි. වෙන වචනයක් නැහැ. එයිනුත් 'ලියුම් මාත්‍රාව' කියන කතාව පුදුමාකාර ‌වින්දනීය වේදනාවක් ඇති කරනවා. 'අසූනවයට පස්සේ' කතාවේ ලියුම ලියන මනුස්සයා අහන ප්‍රශ්න වලට ටිකින් ටික උස් මහත් වෙන දරුවෝ ඉන්න දෙමව්පියන් හැටියට අපටත් උත්තර දී ගත නොහැකි නේදැයි වරින් වර හිතෙන්න ගන්නවා. අපේ දරුවෝ එවැනි පියවර වලට ගියොත් කොයි තරම් නම් ප්‍රවේශමෙන් ඒ කාරණාවට ප්‍රවේශ විය යුතුදැයි රචකයා අපිත් සමග මානසික ගනුදෙනුවකින් සාකච්ඡා කරනවා.

    මා කියවා ඇති පොත් වල දැක නැති දෙයක් මේ පොතේ හමුවෙනවා. එක ම මාතෘකාවෙන් කතා දෙකක්. කියවලා ම බලන්න. ඒ කතා දෙක ඒ තරම් වටින කතා දෙකක්.

    බොහෝ කතා වල අමරකීර්ති මහතාගේ කතා වල වගේ ම නොවැළැක්විය හැකි 88-89 ජන ජීවිතයට ඇලී ගැලී සිටින අයුරු දක්වා තිබුණත් ඒ සියල්ල ම පාහේ වෙනදා කියවා නැති මාන ඔස්සේ දිව යනවා.

    ඇත්තම කියනවා නම් 8 වෙනි කතාව කියවන එක මදකට පසෙකින් තබා මේ ලිපිය මේ ලිය ලියා ඉන්නේ. අද නොලිව්වොත් ආයේ ලියන්න වෙන්නේ සඳුදා. ඒ වෙනකොට මේ ලියමනට මගෙන් අසාධාරණයක් වෙලා තියෙන්න පුළුවන් (කම්මැලිකම නිසා)



    සමස්තය සළකා බලද්දි මට මේ කතා ‌සේරම එක හා සමාන හෝ එක ලඟින් යන හෝ දැනීමක් ඇති කරපු කතා ගොන්නක්. මම කැමති රීතියේ කතා. සංකේත විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා, කතාවට වඩා සංකේත උද්දීපනය වෙලා, අවසානයේ සංකේත මල්ලේ කතාව හොයා ගන්න බැරි ව යන බොහෝ කතන්දර අතර සංකේතත්, කතන්දරයත් පත අට එකට හිඳුවා සාදන ලද ඖෂධීය පානයක් වගේ මේ කතන්දර 24 (තාම 23) මහා දැනවීමක් හිතට දනවලා තියෙනවා. විශේෂයෙන් ප්‍රින්ස්ගේ පළමු කෙටි කතා පොත් දෙක වන මේ පොත් දෙකේ දි එයා ගොඩක් ප්‍රවේශමෙන් වචන එකතු කරලා, රටා මවමින් වියමන කර ඇති බව පැහැදිලියි. ඒ වගේ ම මගේ දැනීමේ හැටියට ඒ කාර්යය අතිශයින් සාර්ථකයි.

    




12 comments:

  1. කියවල බලමුනේ එහනම්

    ReplyDelete
    Replies
    1. 'ප්‍රථම ප්‍රේමය ඔබ නොවේ' 40 වෙනි පොත දක්වා ලිස්ට් එකේ ඉන්නවා. ඊ ගාවට ඒක වෙන්න තිබුණා, තරු අක්කාගේ පොත් ටික කියවලා ඉවර වෙන්න ඕනෑ මුලින්.

      Delete
  2. අපිටත් ඔහොම පොත් දෙනවා නම් පිං ඈ !
    මම මේ බැලුවේ ඉරිසියා කරනවද නැතිනම් මාර හොඳ කමෙන්ට් එකක් ලියනවද කියල. අහ්.. ඉරිසියා කරන්න ලේසිනෙ

    ReplyDelete
    Replies
    1. ඉරිසියා කරන්න එපා අනේ. හුවමාරුවක්! හුවමාරුවක්! කියවලා ආයේ යවනවා

      Delete
  3. හොඳටම බයයි කියවන්නට මෙවැනි ලිපි
    නරක් කරනවා ඒවා 'රසික අපි'
    පොත් සාගරේ කිමිදිල වෙනු පිණිස happy
    හිත දෙයි, එවිට නවතිනවනෙ මගේ ලිපි!

    ReplyDelete
    Replies
    1. එහෙම බැහැ, එහෙම බැහැ. ඒවා කියවලා ඒ ගැනත් ලියන එකයි හොඳ

      Delete
  4. මේ මනුස්සයගෙ එක කෙටිකතාවක්වත් කියවල නෑනෙ යකෝ සාක්කි...පංච මහා විලිලැජ්ජාවයි!

    ReplyDelete
    Replies
    1. මාත් ඔය කියෙව්වමයි. පළමුවෙනි පොත් දෙකනේ.

      Delete
  5. මුහුණුපොතෙනුත් සමු අරන් පොත් කියවන සහ ලියන බව ආරන්චි වුනා. අපූරුයිනෙ ඒකත්.

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ! එහෙමවත් පොත් කියවන්න ආපහු යන්න පුලුවන් ද බැලුවා

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...