සෑම දවසක් ම හොඳ දවසක්. හොඳ ම හොඳ දවසක්. ඒ හොඳම හොඳ දවස, පෝරණුවක දහදිය පෙරාගෙන තැම්බෙන-දැවෙන වේදනාත්මක දවසක් කරන්න යාර 6කට පුළුවන්! ඔව් යාර 6කට පුළුවන්! අද එහෙම දවසක්. සාරියක් ඇඳගෙන දරුවාගේ දෙමව්පිය රැස්වීමට යන්න වුණු දවසක්!
උදෑසන දරුවන් පාසල් වෙත ඇරලවා, ගෙදර පැමිණ හිතත් සමග යුද්ධ කරමින් යාර හය සිරුරේ දවටාගෙන, පාසල වෙත නැවත ඇදුනෙමි. පුද්ගලික වාහනයේ යන නිසා පහසුවක් වුණත් අන් බොහෝ මව්වරු තකහනියේ යාර හයේ ඒවා අරගෙන පැමිණ තිබුණේ පොදු ප්‍රවාහන සේවයේ පිහිට ලබමින්.
"ඔහොම ම ඉන්න. ආයේ ස්ටාර්ට් කරන්න එපා. දැන් සංදීප එනවා. එතකම් පරිස්සමින් ඉන්න"
“මේ ඉන්න, ෆෝන් එකේ බැටර් 2%යි, අහගන්න මං ඉන්න තැන" කියා ඉක්මනින් ඉන්න තැන කියා ගතිමි.
යාර හයේ සිල්ක් පෝරණුව යමාමහ පෙළහර පාමින් තිබුණි. පසෙකින් ගිණි පිටවන රස්න ය. ඒ අතරේ දහදියෙන් බත් වෙලා ය. ගිනිත් දියත් එකවර නිපදවන යාර හයේ යමාමහ පෙළහර!
ඒ අතරේ ම ෆෝන් එකේ ඕෆ්ලයින් මැප් එකට ගොස් ඉන්න සීමාවේ ස්ක්‍රීන් ශොට් එකක් ගෙන, ඉන්න තැන සළකුණු කර මොහොතකට ඩේටා ඔන් කර සැමියාටත්, මග එමින් සිටි සංදීප මල්ලීටත් වට්ස්ඇප් කෙරුවෙමි. අනතුරු ව සැමියා අමතා ඒ බව දැන්වූවෙමි.
දරුවෝ දෙන්නාගේ ම බෝතල් වල වතුර අහවර ය. දෙදෙනා එතැන තිබූ පන්සලට යවා වතුර ගෙනෙන ලෙස දැන්වූවෙමි. අනතුරු ව බොනට්ටුව විවර කර වාහනයට යම් සහනයක් සිසිලසක් ලබා දෙන්නට කටයුතු කෙරුවෙමි.
පන්සල් වත්තේ ඇති ගස් වල සෙවණ නිසා ඇතිවුණු සිසිල් පරිසරය නිසා මදින් මද සහනයක් දැනෙන්නට විය. මුලින් නතර කළ තැන ම ඉන්න වුණා නම් ඌර්ධවපාතනය (ඝණ ද්‍රව්‍ය ද්‍රව නොවී ඝණ වශයෙන් ම වාෂ්ප වීම) වනු ඇත.
ආපදාවක් වූ විට මේ ආකාරයට සහයෝගයට එන්නට ඕනෑ ම විටෙක කෙනෙකු දෙන්නෙකු ඉන්නා නිසා හොඳයි. එසේ නොවුණා නම් එතරම් අපහසුවෙන් ඉඳිද්දි තව තවත් කෙතරම් නම් අපහසුවට පත්වන්නට සිදු වනු ඇති ද?
මේ දවස්වල ස්වභාව ධර්මයත් යමාමහ පෙළහර හා කිට්ටු යමක් පාමින් සිටියි. උදේට සෞම්‍ය ව සිටින උන්දෑ දවල්ට ගිණි පුපුරු විසි කරයි. හවස් වද්දි පාරවල් යටකරමින් මොර සූරන වැසි ගෙන එයි. යාර හයේ නිල ඇඳුමට බැඳුණු කාන්තාවෝ මග දිගට කෙතරම් අපහසුතාවන්ට පත් වනවා ඇති ද?
ඇයි මිනිස්සු තව කෙනෙකුට ජීවත් වීම අපහසු කරවන්නේ? අමාරුවෙන් අපහසුවෙන් තමන්ගේ ජීවිතය ගෙන යන්න වෙන තැනට තල්ලු කරන්නේ? ඇයි මේ? සාරි පටලැවි මරදාන ස්ටේෂන් එකේ දී රේල් පාරට ඇද වැටුණු කාන්තාවන් පිළිබඳ අසා ඇත්තෙමි. සාරි පොටවල් පාරේ යන වාහන වල පැටලී වුණු අනතුරු අසා ඇත්තෙමි. මගේ ම මම්මා (අම්මාගේ නංගි) සහ මාමා මෝටර් සයිකලයේ යද්දි මම්මාගේ සාරි පොට බයිසිකල් රෝදයේ පැටලැවි ඇඹරි ඉරී වෙන්වුණු නිසා ඒ අය අද යහතින් ජීවත් වෙති. එසේ නොවුණා නම් බයිසිකලය පෙරලී කුමනාකාරයේ අනතුරක් වන්නට තිබුණාදැයි අප දන්නේ නැත.
සාරි වල මිල ගණන් දන්නෝ දනිති. යට සායවල්, හැට්ට මැහීම්, ඒවාට අවශ්‍ය ලයිනින් ආදිය එකතු වුණා ම යම් ලකයක් ඇති සාරියක් සකසා ගන්නට අඩුම තරමින් රුපියල් 10,000/-ක් 12,000/-ක් වැය වේ. මේ රටේ මිනිස්සුන්ට මේ කාලයේ අඩුපාඩුවකට ඇත්තේ රුපියල් දහ දොළොස්දාහකට සකසා ගත් සාරියක් පමණි.
සාරියෙන් නම්බුව රැකීම පිළිබඳ කතා පවත්වන මිනිස්සුන්ගේ මොළයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ඇතිවන විමතියේ නිමක් නැත. හිතන්න හිතන්න විමතිය දලු ලා වැඩේ.
බඩ රවුමක් පෙනේ.
පපුවෙන් පදාසයක් පෙනේ.
පිටෙන් අඩ හඳක් හෝ ඊට වැඩියෙන් පෙනේ.
ඒ රකිනවා කියන නම්බුව රැකේ දැයි සැක සිතේ.
මරදාන ස්ටේෂන් එක ලඟ උදේ 6.30.-7.30 අතර හිඳ බලන්න. සාරි ඔසරි රූරා වැටි වැටී, ඉරට පෙර දුවන ගුරු මහත්මීන් කොපමණදැයි දැක බලා ගන්න. මොන සාපයක් ද මේ?
සමහරවිට මේ නිතී පවත්වාගෙන යන්න කාන්තාවන් ම අනුබල දෙමින් සිටින බව ඇත්තකි. ඒ කාරණා කෙසේ වුවත්, දැයේ කාන්තාවට මේ සිදුකරන අනිසි බලපෑම, සාරියෙන් රටේ නම්බුව රකින්න යෑම, නොනවතින තාක් කල් මේ රටට යහපතක් නොවනු ඇත. එය ආවාට ගියාට කී කතාවක් නොවන බව සළකන්න. මා එසේ කියන්නේ,
මෙවැනි හද්දා මෝඩ නීති මත පිහිටා කටයුතු කරන්න හිතන මොළවල කවදාවත් සැබෑ දියුණුවට වැදගත්වන වටිනා, නව අදහස් නූපදින නිසා ය.
එවැනි අදහස් උපදින්න තරම් ඒ හිත් නිවහල් නොවන නිසා ය.
ගෝත්‍රිකත්වයේ තැනිතලාවේ වැජඹෙන ඔවුන්ට දියුණුවේ කඳු මුදුනට නැග ගන්නා ආකාරය නොවැටහෙන නිසා ය.
යාර හයක් දවටාගෙන හැඩ වැඩ ගේනා
ReplyDeleteසූර කමකි පෝරණුවක ඉවසුම් පානා
මාර ලොවක් සිහිවන හිරු රශ්මිය පේනා
පාර අයිනෙ වැඩ ගොඩ වී රන්දිල් නෝනා....
ජයවේවා අක්කේ!!!!
ඇත්ත වශයෙන් ම කවියකින් පිළිතුරු ලියන්න, සාරියට ඇති අකමැත්ත මට ඉඩ දෙන්නේ නැහැ. සමාවන්න
Deleteතවත් දවසක්!
ReplyDeleteමම කතාවේ අගින් පටන් ගන්නම් මේ වගේ අවස්ථාවකදී පොඩි පහේ තාක්ෂණික උපදෙසක් ගන්න එක හොඳයි.
නමුත් මම ඔය ගැන ලියලා තියෙනවා පෝස්ට් එකක්.
ඒක තමයි මේක!
https://thattayagekolama.blogspot.com/2019/04/138-i.html
සාරි කථාව නම් පුදුම කරුමයක් තමයි. ඒක දෙවෙනි වෙන්නේ අර මනමාලයෝ අඳින "එළිෆන්ට් සූට්" එකට විතරයි!
දැං අහයි "ඒ මොකක්ද ඒ" කියලා!
පොඩි එකෙක් මගි ගෙදරක ගියාම මනා හෙවත් මනමාලයා ඇඳලා තිබ්බේ අර උඩරට බම්බුවලු! (ඇත්තට ඕක අපේ ඇඳුමකුත් නෙවෙයි! ඉන්දියාවෙන් ආපු කෙහෙල් මලක්!) ඉතින් අර පොඩි එකා ඒ වගේ සූට් එකක් ඊට ඉස්සෙල්ලා දැකලා තිබ්බේ මහනුවර දළදා මාළිගාවේ රාජා සීන් එකේ යන කොට ඇඳලා ඉන්න එක විතරලු!
ඉතිං අර පොඩි එකා මහ හයියෙන් කිව්වලු "තාත්තේ තාත්තේ අන්න අරයා "එළිෆන්ට් සූට්" එකක් ඇඳලා කියලා!
ඇත්තටම ඕක නිකංම නිකං කථාවක් නෙවෙයි අපේ යාලුවෙකුගේ පොඩි එකෙක් කියපු කථාවක්!
ඉතිං වැඩක් නැති මල හත්තිලව් හින්දා කියාගෙන ලියාගෙන ආපු එකත් මග ඇරෙනවා තව පොඩ්ඩෙන්.
ඉතිං අර තුම්පොට්ටියද මොකක්ද එකට විතරක් දෙවෙනි වෙන සාරිය මේ ඝර්ම කලාපීය රටවලට යෝජනා උනේ; ඕක ආවේ අයිස් ඒජ් එකේදිද කියලත් හිතෙනවා!
අර කවුදෝ කිව්වා වගේ අපේ රටේ සියළුම ගරු ගාම්භීර කං තියෙන්නේ "රෙද්දේ" ය.
රට නොව කොඩියය!
ස්ත්‍රී ආරක්ෂාව නොව සාරිය ය!!
හාමුදුරු ගොයියන්ගේ සිල්වත් බව නොව සිවුරය!!!
කොහොම උනත් මගේ "මගහිටිනැති වෙන්න!" කියන පෝස්ට් එක බලල ඉන්න!
This comment has been removed by the author.
Deleteස්තූතියි. "මගහිටිනැති වෙන්න!" බැලුව. ඒකෙ පිහිටෙන් අතපසු වෙච්ච වැඩත් කර ගත්තා.
Deleteඒ බොහොම වටිනා ලිපිය කියෙව්වා. මට වෙලා තිබුණේ වතුර ඉවරවීම. එයාලට අමතක වුණත් මං මතක් කරලා බොනට් එක ඇරලා තිබ්බ නිසා එන්ජින් රාජයාගේ කේන්තිය නිවිලා තිබුණා, ආ සැනින් වතුර බොන්න පුලුවන් තරමට. ස්තුතියි අයියේ
Deleteමොනවා උනත් ලියන්න පටන් ගැනීම ගැන මෙන්න මගේ මෙව්ව එක!
ReplyDelete🙏🙏🙏
Deleteලංකාවෙ බහුතර සම හරක්ට... ඇඳුම එක්ක තියෙන්නෙ පුදුම රැජාවක්. රෙද්දෙ, රැව්ලෙ... සිලෙ/ සංවරකම / ගාම්බීර බව හොයල මේ කෙලවං ඉන්නව මදිද මන්ද 😁
ReplyDeleteමං ඉස්කෝලෙන් අවුට් වෙලා සැටිපිකට් ටික ගන්න යද්දි අම්මට සාරිය ඇදන් එන්න තියල හරවල යැව්ව. ගිය දවසෙ ලැස්තිකරල තිබ්බ ෆයිල් එකම මිසින්. උප්පැන්නෙ ඉඳල හදාගනන උනා අලුතින්
ඉතිං බලන්නකෝ 🙄
Delete👍👍👍👍👍👍👍
ReplyDelete😊😊😊😊😊😊😊
Deleteනියමයි. +++++++++🙏✌️
ReplyDeleteස්තුතියි 🙏
Delete
ReplyDeleteඅකමැත්තෙන් වැඩක් යනකොට කරන්නට
'පුවක් ගහෙත් දෙබලකි' තඩි කරුමයට!
අකැමැත්තෙන් පැටලුව ඔය සාරියට
රන්දිල් හිටියනේ? ලස්සන හැඩ-රුවට
ඔව් ඔව් හිටියා හිටියා, ගෙදර තියෙන බැරල් එකකට රෙද්දක් ඔතලා බලන්න අනේ 😁
Deleteලකේ පංකාවෙ ඔය වගේ වඳුරු කුණුහරුප තමයි ඉතිං සභ‍්‍යත්වය රකින්න තියෙන්නෙ.
ReplyDeleteයකෝ එතකොට හැමදාම සරම අඳින පියාත් එදාට කලිසමක් ඇඳං යන්න ඕනද?
බ්ලොග් එක පාලුවට නො ඇර රන්දිල් හරි ලියන එක අගය කළ යුතුයි :)
ReplyDeleteසාරි නම් එපාම උනා ලංකාවේ ඉන්න කාලේ. මගේ අදහස නම් ඒක ඉඳහිට උත්සව වෙලාවකට අඳින්න සුදුසු දෙයක් මිසක් එදිනෙදා අඳින්න ගැලපෙන දෙයක් නොවන බව.
This comment has been removed by the author.
ReplyDeletePraසන්ன සහ මලීට දැමූ රිප්ලයිස් දෙවරක් අතුරුදන්විය. හේතුව නොදනිමි
ReplyDeleteතැංකියු :D
Deleteරන් නංගෝ, මේ දැන් ඩ්‍රැකියාගේ අඩවියට කොමන්ටුවක් දාලා ආවේ සිංහල බ්ලොග් පීක් එකේ අපි කියවපු මාගල් සයිස් පෝස්ට් ගැන කියලා.
ReplyDeleteමොන හුටප්පරේ වුනත් කාලෙකට පසුව රන්දිල් ස්ටයිල් මාගල් පෝස්ටුවක් කියෙව්වා. හරියට ලොතරැයියක් ගන්නවා වගේ වැඩක්, මේ දවස්වල කොමන්ට් කිරීම. එකම කීපවතාවක් කොටලා ට්‍රයි කරාම ඉඳහිට පෝස්ට් වෙන්නේ.
අපේ සංගිරිස්කුරුතේ වෙනස් කරන්න අමාරු තවත් එකක් මේකියන යාර හය. නංගි විශ්වාස කරනවා ද වසරේ වැඩිම කාලයක් සෙන්ටිග්‍රේඩ් 35ට වඩා දිවා උශ්ණත්වයක් පවතින මැදපෙරදිග නගර වල පවා ඔය යාර හය පටලවාගෙන යන උදවිය ඉන්නවා.
ආරංචි ඇතිනේ ශනිදා දහයට! බ්ලොග් පෝස්ට් ගැන, රන් නංගාටත්, රවියාණෝටත් ආරාධනා කරනවා.
රං පාඨකයෝ! එහෙව් කාලයක්. මං හිතන්නේ දෙවන සමය උදාවෙමින් තියෙනවා වගේ.
Deleteශනිදා 10ට ලියනවා කිය කියා හිටියාට එදාට මොකක් හරි වෙනවා. කලින් ලියලා තියන්න හිතෙන්නෙත් නැහැ, ලිව්ව ම පබ්ලිෂ් කරන්න හිතෙනවා. මොනතරම් වර්චුවල් මිතුරන් හිටියත් බ්ලොග් මිතුරන් හා තිබෙන බැඳීම හා සම කරන්න බැහැ. පෑනේ මිතුරෝ වගේ යතුරු මිතුරෝ! ස්තුතියි ඩීන් අයියේ
සාරියෙ තමයි හැදියාව තියෙන්නේ.😃😄
ReplyDeleteවැස්සට අහුවුණා ම හේදෙනවා ඉතිං. සාරියේනේ තියෙන්නෙ :D
Delete
ReplyDelete"මෙමඟින් පාසලේ, දියණියගේ මෙන්ම ඔබගේත් ගෞරවය සුරැකෙනු ඇත" හපොයි!!😠.
බබාගෙ ඉස්කෝලෙ ප්‍රින්සිපල් මේ පෝස්ට් එක කියෙව්වොත් ඇස් ඇරෙන්නත් බැරි නෑ.
මං බයෙන් ඉන්නේ, ඇස් ඇරෙයි ද දරුවන්ට දොර වැහෙයි ද කියලා :(
Delete