Saturday, April 24, 2010

46-02. මා වනපොත් කල තවත් සුභාෂිතය කවියක්

නපුරු කලට සත හට වෙයි විපත
එදුරු නොවෙයි කල කම් පල දෙවා මිස
තඹුරු වනය විකසිත වන බව සවස
කවුරු විසින් වැලකිය හැකි මෙදිය කුස

සවසට නෙළුම් මල් පරවීම වැලක්වන්නට හැකි කෙනෙකු මේ දියතේ නැත. එසේම නරක කලක් ඇතිවූ කලට කෙනෙකුට සිදුවන කරදර පල දීම ද වැළකිය නොහැක.

46-01. මම මුලින්ම පාඩම් කරපු සුභාෂිතය කවිය

පින් මද පුතුන් සියයක් හැදුවත් නිසරු
ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු
එක පුන් සඳින් දුරුවෙයි ලොව ගණ අඳුරු
කෙන තරු රැසින් එලෙසට නොම වේය දුරු

මෝඩ, ගුණ මකු දරුවන් සියයකට වඩා එක් ගුණවත් දරුවෙකු හැදීම වටින්නේ තරු කොතරම් ප්‍රමාණයක් පායාවත් මකන්න බැරි අඳුර එක් පුන් සඳකින් දුරු කරන්නා සේය.

Friday, April 23, 2010

45. සතුටු වෙමි, සිහින දකිමි, සසල වෙමි, දුක් වෙමි, බිය වෙමි, එහෙත් අවසානයේ සැනසෙමි




සතුටු වෙමි මම.................
මා ලය මඩලෙන් දොරේ ගලනා
අපරිමිත වූ ස්නේහයෙන්,
නොඅඩු වූ ක්ෂීර සාරයෙන්,
පෝෂණය වී දිනෙන් දින
පිය නගන්නට වෙර දරන
මා දූ සිඟිත්තිය...................
සිඟිති දසන් පෙන්වා
පාන සිනාවෙන් ප්‍රමුදිතව
අපිරිමිතව
සතුටු වෙමි මම.....................


සිහින දකිමි මම.....................
අපේ ලොව එළිය කරමින
මිණි පහනක්ව හිනැහෙන
අපේ රං මැණික මතු දිනෙක................
ලබැඳිව අප රකින
ලබැඳියක වී,
දයාවෙන් කුටුම්භය රකිනා
දයාබර මවක වී,
යහපතම ඉත සිතින් ඉටු කරනා
යහපත් කාන්තාවක වී,
පා තැබූ හැම තැනම දුල්වන
මිණි පහනක්ම වේමැයි
පියවි දෙනෙතින්
සිහින දකිමි මම.....................


සසල වෙමි මම.....................
සිනිදු පෙරවන පෙරවා,
මෘදු ඇඳුම් අන්දා,
පා වැසුම් පළන්දා,
හිස් වැසුම් රන්දා,
අවැසි හැම දැය නොඅඩුව,
සුදු දෝණිය මගට
ගෙනියන සඳ..................................

ඒ කිසිත් නොමැතිව
සැඩ හිරු රැසින් දැවී ගිය නගරයේ
කැබලි වී ගිය ඇඳුම් අන්දා
දුගී වූත් එනිසාම අසරණ වූත්
මව් තුරුල්ලේ හාමතින් නිදිබරව
ගුලී ගැසී ගිය පඬරලා පතක්වන්
දූ සිඟිත්තක් පුත් සිඟිත්තෙක් දැක
හදවතේ මහා බරකින් යුතුව
සසල වෙමි මම.....................



දුක් වෙමි මම.....................
අප දයාවිය අප දෙදෙන
මැදට වී
සුව යහනේ සුභ සිහින
හා සිනා පාමින්
නිදි සුවය ලබන කල.....................

රෑ අහසින් හෙවිල්ලා
රළු පොළොවෙන් යහන් සදා
හුළං පොදින් කුස පුරවා
සීත පින්නෙන් ගත පෙරවා
නින්දත් නොන්දත් අතර
හඬා වැටෙන දූ සිඟිත්තන්
පුත් සිඟිත්තන් සිහිව
දෙනෙතට නැගෙන කඳුලින් යුතුව
දුක් වෙමි මම.....................



බිය වෙමි මම.....................
අප සඳවතිය වැඩිවියට පත්
දැනුම් තේරුම් ඇත්තියකව
ලොවට පා නගන මතු දිනයේ.....................
අද මා දුකට පත් කරන
මා සිත සසල කරවන
ඒ සිඟිත්තියන් ද සිඟිත්තන් ද
වැඩිවියට පත් ව
මා දියණියගේ ලොවට
විස මුසු කරන
විෂම සමාජයක්ම වේදැයි
සිතින් සැලී සැලී
බිය වෙමි මම.....................

සැනසෙමි මම.....................
ඊයෙත් අදත් හෙටත්
හැමදාමත්
එවන් වූ සමාජයක්
පැවතියේමැයි පවතින්නේමැයි............

ඒ විසෙන් මා දූ රකින්නට
දූගේ පියාණන් වැනිම වූ
දයාබර සැමි සඳක්
මා දූගේ ලෝකයට
සොමි සඳ කිරණක්
මතු දිනෙක ගෙනෙනු
දකින රිසියෙන්
අදට
සැනසෙමි මම.................




Tuesday, April 20, 2010

44. ඉර පායන්නට පෙර........

ඉර පායන්නට පෙර
අසන්නට අවැසිය යමක්

ඔයා මට තවමත්
ඉස්සර වගේම ආදරෙයිද?
ඔව් මම ආදරෙයි
ඉස්සර වගේම ආදරෙයි

ඇත්තටම ආදරෙයිද?
ඔව් මම ඇත්තටම ආදරෙයි

එහෙනම් මොනවද මේ මිනිස්සු කියන්නේ?
ඉර පායන්නට පෙර කියන්න මට

මිනිස්සු මොනවා කිව්වත්
මම ඔයාට ආදරෙයි

මුළු හදවතින්ම?
ඔව් මුළු හදවතින්ම

කිසිම අඩුපාඩුවක් නැතිව?
ඔව් කිසිම අඩුපාඩුවක් නැතිව

එහෙනම් මොනවාද මේ මිනිස්සු කියන්නේ?
ඉර පායන්නට පෙර කියන්න මට

මිනිස්සු කියන්නේ එයාලාට පේන දේ,

ඒ කියන්නේ......................?

ඔව් ඒක තමයි.............!!!!

ඒ කියන්නේ උඹ ඌටත් ආදරෙයි?
ඉර පායන්න කලින් මට ඇත්ත කියපන්

ඔව් මම ආදරෙයි,
ඇත්තටම, මුළු හදවතින්ම, කිසි අඩුපාඩුවක් නැතිවම
ආදරෙයි.........................


**********************************************

ඉර පායා ආවේය
වෙනදා වාගේම ඉර පායා ආවේය

හිරුගේ සැඩ රැස් දරාගත නොහැකිව
රැයේ වට පිණිබිඳු සැනින් වියැකී ගියසේම
සින්නකරව ආදරය ලියා නොදුන් වරදට
පිහි තුඩින් වට ලේබිඳු සෙමින් කැටි වූ වගයි

Wednesday, April 7, 2010

43. මිලින වූ හසිතය

ඔබ මා මුල් වරට මුන ගැසුනු
අවධිය මා හට සිහිවෙයි
කළු වුනත් දැකුම්කළු යනු කුමක්දැයි
පුංචි කෙල්ලක වුනත් මා
මුල් වරට වටහා ගත්තේ ඔබ නිසාවෙනි

නමටම ඔබිනා වූ
ඔබේ සිනාව
දෑස් පුංචි කර මුතුවන් දසන් පෙන්වා
ඔබ පෑ සිනාව
දැනුත් මැවී පෙනෙන්නා සේය
නමටම ඔබිනා වූ
ඔබේ ඒ සිනාව
දැන් දැන් මා හඬවනු දැනේ

හවැන්නේ දී මුල් වරට
අප එකම පංතියකදී මුන ගැසීමු
දෙවන වරට මුන ගැසුනේ
නම වැන්නේදීය
එදාත් මා දුටුවේ හවැන්නේදී දුටු
සුපුරුදු සිනාවමය

මිතුරියන් ඔබ වෙතට ඇදෙනා වූ
ලකුණක් ඔබ වෙත වීය
මිතුරියන් පමණක්ද?
අපේ සදාදරණීය ගුරුතුමිය
ඉඳුමිණි මහත්මිය පවා
ඔබට ඉමහත් දයාවකින් බැඳුනාය

එකොළොස් වසරකට පසු
මුල් වරට
ඔබේ ඒ සිනාව
මූණු පොතින් දිටිමි
මිතුරු ඇරයුම් එව්වෙමි
නැවතත් දකින රිසින් සැබෑවටම
සිනා පිරි ඔබේ මුව
ඒ ඇරයුම පිළි නොගෙනම
ඔබ අප අතහැර ගියාය
සදහටම අප අතහැර ගියාය

ආදරණිය මිතුරිය
හසිතා
මතු අත් භවයේදී හෝ
ඔබේ පැතුම් ඉටු වේවා යි
පතනෙමි ප්‍රිය මිතුරිය

(මෙයින් ඔබ්බට තවත්
වදන් නොමැත මා හට)





Tuesday, April 6, 2010

42. අවුරුද්දත් කිට්ටු කිට්ටු......................

සියලු මිතුරු මිතුරියන් වෙත දන්වා සිටින වග නම්..........................


අද පටන් ලබන 19 වන දින දක්වා අපේ කන්තෝරුවේ අවුරුදු නිවාඩුව කාලයවේ.

මට හිතෙන අයුරට ඒ කාලය තුල නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියටත් නිවාඩු දෙන්නට සිදුවේ.


හේතුව අපේ නව නිවසට තාමත් අන්තර්ජාල (අ)පහසුකම ලබාගෙන නොමැති වීමත් ලබා ගත්තද, අම්මා කෙනෙකු, බිරිඳක, වශයෙන් කොම්පියුටරය ඉදිරිපිට වාඩි වී කී බෝඩය ඔබ ඔබා සිටිනවාට වඩා වැඩ මේ අවුරුදු කාලේ මට ඇති නිසාත්ය.






බ්ලොග් මැරතන් දුවන්නටද ආසා නැත්තේම නොවේ.එහෙත් ඕවා කරන්නට ගොස් අගේට ඉන්න මහත්තයාගේ ඉවසීමේ සීමාව පැන පැන ගියහොත් මට දුවන්නට පාරද මදිවනු ඇත.


තාම කිසිදාක තනිවම සාදා නැතත් මේ පාර මගේ අතින්ම කැවුම් කොකිස් ටිකක් හදා ගන්නට හිතේ මනාපයක් ඇත. මහත්තයත් අගේට සතුටු වනු ඇත. ඇයි 'බිරින්දෑට දැන් ඒකත් පුළුවන්' කියලා මහත්තයාට හිතෙද්දී මට ලකුණු කිහිපයක් වැටී ආදරය තව තවත් වැඩිවනු ඇත. ඉතිං වැඩ ටිකක් පෙන්වීමට මේ නිවාඩු කාලය යොදා ගැනීමට සිතාගෙන සිටිමි. (චූටි නංගීට කෝල් එකක් දී ගෙන්වා ගැනීමට සිදුවේ. තනිව කීවාට තනිවම හැදුවෝත් මටවත් කෑමට බැරි යම්කිසි වෙනයම් ආහාරයක් නිපදවීමට ඉඩඇති බව, නැති කරගත යුතුව ඇත).

මේ වර වෙන වර වලට වඩා අපේ ආර්ථිකයේ යම්කිසි දරුණු පසුබෑමක් දකින්නට ලැබේ. දූගේ කටයුතු නිසා නොදැනීම කල් ගිය වෙඩින් ඇල්බම් එකේ කටයුතු කඩිමුඩියේ සම්පූර්ණ කර ගත්තේ අවුරුද්දට එන පිරිසත්, අපි යාමට හිතාගෙන සිටින දිහාස් වල පිරිසත් එය දැකීමට ඉමහත් මනාපයකින් පසු වීමය. කෙසේ හෝ එය සම්පූර්ණ වීම සතුටට කාරණයක් වුවද හිතුවාට වඩා වැඩි මුදලක් ඒ සඳහා වැය වීම පසුම්බියට දරුණු ආබාධයක් සෑදෙන්නට එක් හේතුවක් විය. කවදා හරි අපේ මතකයද අමතක වන වයස එළඹී කල ඒ දිනයේ සුන්දර මතකයන් වශයෙන් ඉතිරි වන්නේ එය පමණක් නිසා පසුතැවිල්ලක් නම් නැත.




කුමක් කරන්නදෝ හෝයි හදවත ලබ්...ඩබ්...ලබ්...ඩබ්... කියමින් අසයි. ඩොන් නෝ ඩොන් නෝ යි මොළය පිළිතුරු සපයයි.
අනේ අම්මේ කී දෙනෙක් කියලාද? ප්‍රධාන පිරිස දුවත් අපි දෙන්නත් එක්කම එකලොස් දෙනයි. පරිවාර පිරිස තාම ගණන් සාදා නොමැත. සාදන්නට දැන්ම බලාපොරොත්තුවක්ද නොමැත. පුංචි පවුල රත්තරන් කියලා එහෙම කියපු කෙනාට හිතෙන්න ඇත්තේ මේවගේ අවුරුදු කාලෙක වෙන්න ඇති. කොහොම හරි ප්‍රධාන පිරිස සමඟ අවුරුදු සමරා වැඩේ අහවර කරනු මිස පෙර සිතා සිටි පරිද්දෙන් අම්මාගේ ගම් පළාතේ යාමට නොසිතිය යුතුව ඇත. ගියානම් සියල්ල සතුටු වනු ඇත. එයාලාටම පෙන්වන්න ඕනෑ නිසා කඩිමුඩියේ සාදා ගත් ඇල්බම් එකත් (අයියලා මල්ලිලාගේ භාෂාවෙන් කියනවා නම්) කිරි ටොයියා වගේ බැබලි බැබලි තියෙන නිසා ආඩම්බරෙන් පෙන්වන්නට පුළුවන. අම්මෝ ................. ඕනෑ නැත. ආපු වෙලාවක පෙන්වන්නට සිතාගත යුතුව ඇත. වත්කමේ හැටියට පිංකමක් කරගෙන අවුරුද්ද සතුටින් සැමරීමට සිතාගත්තෙමු.

එවිට,

අවුරුද්දත් කිට්ටු කිට්ටු...................... පසුම්බියට තට්ටු තට්ටු...................... කියා ගීතය සංශෝධනය නොකර,


අවුරුද්දත් කිට්ටු කිට්ටු..................... එරබදු මල් පොට්ටු පොට්ටු..............ම කියාගෙන සිටිය හැකිවනු ඇත.

අක්කලා නංගිලා අයියලා (වගේ ඉන්න අංකල්ලා ) මල්ලිලා ඇතුළු සැම දෙනාටම සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා ‍!!!!!!!!!!!!!!!! කියා පතමින් අදට මගේ කථාව මින් අවසන් කරමි.




Thursday, April 1, 2010

41. නැන්දම්මා කොකා මැරූ හැටි නොහොත් ...........................

දූගේ තාත්තා පොඩි කාලේ ඉඳන්ම සුරතල් මසුන් ඇති කරන්න පුරුදු වුනු කෙනෙක්.

රොබින් හුඩ් කථාවේ චරිත, වටේ පිටේ යහළුවෝ සමඟ රඟපාන ගමන්,

ඒ අයත් එක්කම ක්‍රිකට් උණුසුම ඇති කාලෙට ක්‍රිකට් ද ගොයම් කපපු කාලෙට එල්ලේ ද ගහන ගමන්,

හුලං ඇති කාලෙට සරුංගල් යවන ගමන්,

පාසලේ ක්‍රීඩා උත්සව ඇති කාලෙට ඒවා ගෙදරත් ඇවිත් කරන ගමන්,

වෙසක් කාලෙට කූඩු, තොරණ හදන ගමන්,

පොසොන් කාලෙට මිහින්තල හදන ගමන්,

ඔය කොයි කොයි කාලෙටත් පොදුවේ එයා කරලා තියෙන එකම දේ සුරතල් මසුන් හදන එකයි.

දැන් කියලා ඒකේ වෙනසක් නැහැ. කොහේ හරි යද්දී සුරතල් මසුන් විකිණීමට ඇති වෙළෙඳ සැලක් දුටුවොත් නතර කරනවාමයි. වෙලාවකට මට බයිසිකලෙන් බැහැලා නැගලා ඇති වෙනවා. බොහෝ වෙලාවට ඉඳහිට යන පැති වලට එයා ගමන් මාර්ගය හදාගෙන තිබෙන්නේ ඒ වගේ වෙළෙඳ සැල් කිහිපයක්ම ආවරණය වන විදිහටයි. සමහර වෙලාවට ඉතිං පරංගි කෝට්ටෙත් යනවා. ඉතිං මාත් යනවා.

ඉතිං මේ කථාව ලියන්න ගත්තේ එයාගේ මත්ස්‍ය සුරතලයට ඇති වු අකරතැබ්බයක් හා ඒ හා සම්බන්ධ තවත් කථාවක් කීමටයි. පසුගිය දවස් වල ඇතිව තිබූ වැසි රහිත කාලය නිසා ද කොහේද අතරමං වූ කොකෙකු සැමිගේ මාළු ටැංකි පැත්තේ කැරකෙන්න පටන් අරං තිබුණා. පසුගිය සති අන්තයේ අපි මොණරාගල ගිය අතර පැමිණෙන විට අනේ, ලස්සනට පීන පීනා හිටපු ෆයිටර් වර්ගයේ සති කිහිපයක් වයසැති පුංචි මාළු ළමයි ටිකයි තව කිහිප දෙනෙකුයි නැහැලු. කොක් හාමි මේ සඳහා වගකිවයුතු බව සැමගේ ඒකමතික තීරණය වුණා.

මේ සඳහා යම්කිසි ක්‍රියාමාර්ගයක් ගතයුතු බව අපි කථාවුනත් නිශ්චිත තීරණයකට එළඹියේ නැහැ.

කොහොම හරි මේ සතියේ දවසක ‍උදේ මම ආහාර සුදානම් කරමින් සිටින විට සැමීගේ අම්මා කෑ ගසන හඬක් ඇසුනා.


“පුතේ.............. කොකා මැරිලා............. මාළු කාලා කොකා මැරිලා................”





එක්වරම හිතුනේ අනේ ............ කියලා විතරයි මට.

සැමි දෙස බැලූ කල ඔහු හිනා වුනේ සෑහීමකට පත් වූ මනසින් යැයි මට හිතුණා.

"ඇයි ඒක කොහොමද වුනේ?,................. ඔයා මොනවා හරි කලාද?" මම ඇසුවා.

කිසිම දුකක් මුණේ නැහැ. මට හිතා ගන්නත් බැහැ, තමන්ගේ මාළු බේරෙණ නිසා කොකා මැරුණ එක හොඳයි කියලා හිතන්න තරම් මෙයා දරුණු වුනේ කොහොමද? අම්මා තවම හඬ නගනවා.

" කියන්න ඔයා මොකද කලේ?.........." මම අතින් අල්ලගෙන ඇහුවා.

"නැහැ නිකං දැලේ පැටලිලා මැරෙන්න ඇති.............."

ඒත් මට විශ්වාස වුනේ නැහැ. මූණ බැලුවම හිතෙනවා මෙයාගේ සම්බන්ධයක් නම් තියෙනවාමයි කියලා.

"අනේ කියන්න ඔයා මොනවා හරි කලාද?"

"නැහැ නිකං පොඩි ගැජමැටික් එකක්" කියා සතුටින් හිනා වුණා.

මම විගසින් හැරුනා. සැමිටත් තවදුරටත් එතැන ඉන්න බැහැ වගේ මට නොපෙනෙන ඉසව්වකට ගියා.

අයියෝ මට හිතුණු දේවල්නම් .................... මෙච්චර දරුණු වෙන්න පුළුවන්ද මගේ ආදරේට? 'සමහර වෙලාවට අපි හිතනවාට වඩා මිනිසුන් ‍කොච්චරක් නම් වෙනස්ද?' මට හිතුණා. මට ඇ‍ෙඬෙන්නත් ආවා. අම්මා තාම කෑ ගහනවා. මට මැරූණු අසරණ කොකා මැවිලා පෙනුනා. බලන්න නම් යන්නේ නැහැ කියලා හිතා ගත්ත මම අතට අහුවුණු හාල් මැස්සන්ගේ බෙලි ටික කඩා ගෙන කඩා ගෙන ගියා.

"අම්මේ .............. අම්මේ ........................." සැමි කිසිම දුකක සේයාවක්වත් නැතිව අම්මාට කථා කලා.

අම්මත් හිනැහෙමින් ආවා. " කොකා මැරිලා"

දෙදෙනාටම මා නොපෙනෙන නිසා හොඳයි. මම හිතා ගත්තා. 'මෙච්චර නපුරු මිනිස්සු වුනේ කොහොමද මේ අය'.

ගිය අවුරුදෙත් මේ කාලෙට ඔය වගේම කොකෙක් ආවා. ඒත් වැස්ස නැති කාලේ. පාර දිගේ අපුරුවට පිය මැන මැන ඇවිත් තියලා ගිය දෙයක් ගන්න එනවා වගේ තමයි අපේ ගෙදරට ආවේ. පව් ................... පස්සේ වැස්සට පසු ඒ සතා ආවේ නැහැ. චුට්ටක් ඉවසන්න බැරි වුනානේ මෙයාට.




"කෑ ගහන්න එපා වටේ මිනිස්සුන්ටත් ඇහෙයි" සැමි පවසනවා අම්මාට. දෙන්නම හිනා වෙනවා වැඩේ සාර්ථකයි කියලා.

මම කිව්වානේ මේ සිද්ධිය වුනේ මේ සතියේ දවසක කියලා.

ඉතිං අදත් මේ සතියේ දවසක් කියලා ඔයාලාට අමතක වුණා වගේම, අද අප්‍රියෙල් මාසේ පළමුවැනිදා කියලා මටත් අමතක වුනානේ.


නැන්දම්මා කොකා මැරූ හැටි නොහොත් ........................... ලේලියව අප්‍රියෙල් මෝඩයා කරපු හැටි....... ඔන්න ඔහොමලු වුණා කියන්නේ.

කට්ටිය කථාව කියෙව්වානේ. දැන් මෙතැනට නොගිය අය ගිහින් ඡන්දෙත් දාලාම යනවාද තරහ නැතිව.

40. මස්, මාළු, බිත්තර සහ අපි.

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...