Friday, December 3, 2010

68. අපේ ආණ්ඩුව (රටේ ආණ්ඩුව නොවෙයි)



අපිට ආණ්ඩුවක් තිබේ. එය හරිම සිත්ගන්නා සුළුය. ඒ මන්ද යත්,

ජනාධිපති,
අගමැති,
කැබිනට් ඇමතිවරු,
කැබිනට් නොවන ඇමතිවරු,
විපක්ෂ නායක,
විපක්ෂයේ මන්ත්‍රීවරු,
සංස්ථා හා දෙපාර්තමේන්තු සභාපතිවරු හා ප්‍රධානින්,
අමාත්‍යාංශ ලේකම්වරු,
ආදී වූ සියලුම ධූරයන් පමණක් නොව පොදු මහජනතාවගෙන් අතිමහත්වූ බහුතරය
ද නියෝජනය කරනුයේ එක්
ස්ත්‍රියාවකුත් එක් පුරුෂයකුත් විසිනි.

ප්‍රධාන වශයෙන් ගත් කල,
ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයත්, වෙළඳ කටයුතු අමාත්‍යාංශයත්, ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු අමාත්‍යාංශයත්, ගෘහ නිර්මාණ හා ගෙවතු නිර්මාණ අමාත්‍යාංශයත්,
ඇමතිතුමාට සින්නක්කරවම ලබා දී ඇත. එහෙත් ඔහු සිතන්නේ ඔහු
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙකු ලෙසිනි. නිශ්චිත කාර්යය භාරයක් නොමැති විට අනේක විධ අමාත්‍යාංශවල කටයුතු වලට ඇඟිලි ගැසීමට සිදුවීම එයට හේතුවයි.

එලෙසම ඇමතිනියටද සිතෙන්නේ තමන්ද
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙකු ලෙසිනි. එයටද හේතුව පූර්වයේ සඳහන් කරන්නට යෙදුනු කාරණයයි. එනමුදු ප්‍රධාන වශයෙන් ගත් කල ඇයටද සින්නක්කරව ලියා දුන් අමාත්‍යාංශ කිහිපයක් ඇත.

ගෘහ පිරිසිදු කරණය හා ගෘහ පාලන අමාත්‍යාංශය, වෘක්ෂලතා රෝපණ හා වන සංවර්ධන අමාත්‍යාංශය, ආහාර ද්‍රව්‍ය සැලසුම් හා සැකසුම්කරණ අමාත්‍යාංශය,
අසල්වැසි රාජ්‍යය සමග සුහදතාව හා අන්න්‍යොන්්‍ය විශ්වාසය පවත්වා ගැනීම සඳහා වූ අමාත්‍යාංශය
ඒවා අතුරින් ප්‍රධාන වෙයි.

මෙම ආණ්ඩුව පිහිටුවන්නට පෙරම අමැතිතුමා විසින් සම්පාදනය කරගන්නට යෙදුනු රෙදිපිළි නැවත සැකසුම් යන්ත්‍රය ඇමතිනියට හරියාකාරව ක්‍රියා කරගන්නට නොහැකි නිසාවෙන්, (ඇත්තටම, නොහැකි සේ සිටින නිසාවෙන්)
පේෂ කර්මාන්ත අමාත්‍යාංශය නමින් නම් කෙරුනු එම අමාත්‍යාංශයද ඔහුට ම හිමිවී ඇත. ඒ අනුව ඇමතිතුමාට දිනපතාම එහි කටයුතු වල නිරත වන්නට සිදුවී ඇති අතර මෙයට අමතරව එම යන්ත්‍රය මගින් නැවත සකසන රෙදි පිළි ඇඟළුම් බවට පත් කර රත්කරන ලද යන්ත්‍රයෙන් කරන අවසන් නිමැවුම සිදුකිරීමේ කාර්යය භාරයද මෙම අමාත්‍යාංශයට ම අනුබද්ධව ඇත.

මේ අතර ඇමතිතුමා විසින් ආණ්ඩුව පිහිටුවන්නට පෙර සිටම ඇමතිකම් දැරු
කුමන අභයභුමි සංවර්ධන අමාත්‍යාංශයත්, මින්මැදුරු සංවර්ධන හා ජලජීවී අභිජනනය පිළිබඳ වූ අමාත්‍යාංශයත් පෙර පරිදිම ඔහු භාරයේ තබාගෙන තිබේ.

එම අමාත්‍යාංශයේ කටයුතු නිසා අනෙකුත් අමාත්‍යාශයන්හී කටයුතු වලට බාධා හා අවහිරතා ඇතිවන විට, එනම්
ප්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේ කටයුතු ප්‍රමාදවී පාර්ලිමේන්තුවෙන් පිටවන වේලාව එහෙ මෙහෙ වන විට ඇමතිතුමිය විරුද්ධ පක්ෂයේ අසුන්ගෙන් සුරුස් බුරුස් ගාමින් නියම විරුද්ධ පක්ෂ නායකයකුගේ ලක්ෂණ විදහා පෑම ආරම්භ කරනා බව අසල්වැසි රාජ්‍යයේ රටවැසියන් වන ඇමතිතුමාගේ පාර්ශවයේ පිරිසද අත්දැකීමෙන් දන්නා කරුණකි. මෙවන් විට අසල්වැසි රාජ්‍යයේ අගමැතිතුමියද මෙම රාජ්‍යයේ ඇමැතිතුමියට සහයෝගය පිණිස පැමිණ, මින්මැදුරු සංවර්ධනය මුවාවෙන් ජල හා විදුලිය අනිසිලෙස පරිභෝජනය කිරීමේ දෝෂ අප ඇමතිතුමා මත දමමින් හරි හරියට කරුණු දක්වනු ලබන අතර මෙම මින්මැදුරු සංවර්ධන අමාත්‍යාංශයත්, කුමන අභයභූමි සංවර්ධන අමාත්‍යාංශයත් එදා සිටම වියදම් මිස ලාභ නොලබන අමාත්‍යාංශ නිසාවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමිය යුතු බවට කරුණ එකින් එක ගෙනහැර පායි. එවිට එම සංවර්ධන කටයුතු විගස නිමවා ප්‍රවාහන හා සංචාරක කටයුතු අමාත්‍යාංශයේ යතුර අතට ගන්නා ඇමතිතුමා මෙරට පැංචිතුමිය අසල්වැසි රාජ්‍යයේ අගමැතිතුමිගේ අතමත තබා, ඇමතිතුමියද ගෙන පිටවයයි.

මෙයට අමතරව
ආහාර ද්‍රව්‍ය සැලසුම් හා සැකසුම්කරණ අමාත්‍යාංශයේ කටයුතු හී ඇමතිතුමිය නිරතව සිටිනා අවස්ථාවන්හී පොදුමහජනතාවගෙන් සුළුතරය වූ පැංචිතුමිය විරුද්ධත්වය ප්‍රකාශ කරමින් උද්ඝෝෂණ කරන්නට යෙදුනහොත් වහා ක්‍රියාත්මක වන ඇමතිතුමා කාන්තා හා ළමා සංවර්ධන අමාත්‍යාංශයේ වැඩකටයුතු සියතට ගෙන, ඉල්ලීම් වලට කන්දෙමින්, කියන කියන දේ කරමින් මහජනතාවගේ සිතසුව පිණිස කටයුතු ආරම්භ කරයි. මෙය අප ඇමතිතුමියට සිය කටයුතු නිසියාකාරව කරගෙන යාමට අතිමහත් රුකුලකි.‍ එසේ නොවුනා නම්, ඇමති මණ්ඩලය ම බඩගින්නේය.

තවද මේ ආකාරයටම අවස්ථානූකූලව අමාත්‍යාංශයන් හී කටයුතු හවුලේ බෙදා හදාගෙන පරිපාලනය කරන්නට සිදුවන අවස්ථා එමට තිබේ. උදාහරණයක් හැටියට,
වෘක්ෂලතා රෝපණ හා වන සංවර්ධන කටයුතු අමාත්‍යාංශයේ කටයුතු සඳහා ඇමතිතුමා සියලුම දේවල් අතමානයේ තබන නිසාවෙන් ඇමතිතුමියට පනුවන් සිටින පස් ගෙන පෝච්චිවලට දැමීම නම්වූ මහා භායනක, අතිභාරදූර කාර්යයේවත් යෙදීමට සිදුවන්නේ නැත. එනමුදු ඇමතිතුමිය වීරවරියක ලෙසින් මෙම අමාත්‍යාංශයේ කටයුතු ඇයගේ විනෝදාංශ ලෙසින් පවසමින් ඇමතිතුමා විසින් ම ඡායාරූපයට නගන ලද පිංතූර අන්තර්ජාලයේ පල කරයි. අප ඇමතිතුමාගේ නිහතමානී, නිරහංකාර ගුණය නිසාවෙන් ඇමතිතුමියගේ මෙම ගුණය අන්තර්ජාල වාසීන් දන්නේ නැත.

අප ඇමතිතුමා මෙම ආණ්ඩුව පිහිටුවන්නට පෙර සිටම ඇමතිකම් දැරූ තවත් අමාත්‍යාංශයක් වශයෙන්,
ක්‍රීඩා හා විනෝදාස්වාද කටයුතු අමාත්‍යාංශය හඳුන්වාදිය හැකි වුවද පසුව ලද අනේක විධ අමාත්‍යාංශ ගණනාව හේතුවෙන් එම අමාත්‍යාංශයේ කටයුතු බාලගිරි දෝෂයට ලක්ව ඇමතිතුමාගේ උදරය මදින් මද එළියට නෙරා එමින් පවතින බවක් පෙන්නුම් කරයි. ඒ කෙසේ වුවද මසකට වරක් දෙවරක් ඉරු දින සන්ධ්‍යා කාලයේ දී විනෝද උද්‍යාන බලා සිදු කෙරෙන කෙටි නිල සංචාර වලදී පැංචිතුමියත් ඇමතිතුමියත්, පැංචිතුමිය කැමති ආකාරයේ කටයුතු ඉෂ්ට සිද්ධ කරමින් ඉන්නා අතර එක්දින ක්‍රිකට් සංචාර සඳහා පැමිණි වයස 13 පහළ පමණ වන ක්‍රීඩකයන් හට කකුල් කඩිත්තුව හැදෙන තුරු දුවමින් පන්දු සෙවීමට කටයුතු සැලැස්වීම අප ඇමතිතුමා ඉතාමත් සතුටින් නිරතවන කටයුත්තකි. මෙහි අතුරුඵලයක් ලෙස අනතුරුව එළඹෙන සතිය තුල පාර්ලිමේන්තු කටයුතු අතරවාරයේ සභා කටයුතු මදකට නවතා විවිධ බාම් වර්ග ගාමින් ඇමතිතුමාගේ ඇදුනු අතපය යලි යථා තත්ත්යට ගැනීමේ කටයුතු වල යෙදීමට ද අප ඇමැතිතුමියට සිදුවෙයි.

තවද පැංචිතුමිය මෙරට පදිංචියට ඒමට පෙර
සිනමා ශාලා සංවර්ධනය කෙරෙමින්ද, නොයෙකුත් දේශීය නිල සංචාර සංවිධානය කෙරෙමින් ද, යහමින් කටයුතු සිද්ධ වුනු විනෝදාස්වාද දෙපාර්තමේන්තුව යළි නගා සිටුවීමට ගතයුතු ක්‍රියාමාර්ග ගැන ‍මේ දිනවල ඇමති මණ්ඩලය සාකච්ඡා කරමින් සිටින අතර ඒ සඳහා ඇරඹුමක් වශයෙන් එළඹෙන ඉරුදින මහනුවර ප්‍රදේශය බලා නිල සංචාරයක් සඳහා පිටත්වීමට අවශ්‍ය විධිවිධාන සිදු කෙරෙමින් පවති.

නුදුරු දිනෙකදී
අධ්‍යාපන අමාත්‍යාංශය පිහිටවූ පසුව අනෙකුත් සියලුම අමාත්‍යාශ වල කටයුතු වලට වඩා එම අමාත්‍යාංශයේ කටයුතු මූලික තන්හී තබා කටයුතු කිරීමට අප ඇමති මණ්ඩලය දැන් සිටම තීරණය කොට ඇත. අනෙකුත් අමාත්‍යාංශ කොතෙක් දුරට සාර්ථක වුවද අධ්‍යාපන අමාත්‍යාංශයේ සාර්ථකත්වය තරම් ඒවා නොවටිනා බව අප ඇමති මණ්ඩ‍ලයේ අදහසයි. මේ දිනවල එම අමාත්‍යාංශයේ කටයුතු සඳහා පෙරහුරුද පැවැත්වෙයි. තවද එම අමාත්‍යාංශය පිහිටු වීමේ මුල් ගල් තැබීමට මත්තෙන් තව එක් සිසුවෙක් බඳවා ගැනීමට මේ දිනවල නිල නොවන මට්ටමෙන් සාකච්ඡා පැවැත්වේ. කෙසේ වුවද ඒ පිළිබඳ කටයුතු යථා කාලයේ ථතා අයුරින් සිදුවනු ඇත.

අසල්වැසි රාජ්‍යය සමග සුහදතාව හා අන්න්‍යොන්‍ය විශ්වාසය පවත්වා ගැනීම සඳහා වූ අමාත්‍යාංශයේ කටයුතු මේ වනතුරුත් ඇමතිතුමිය යහපත් අයුරින් පවත්වාගෙන යන බව ඇමතිතුමාගේ අදහසයි. ඒත් කොයි මොහොතේ හෝ නොමනා දෙයක් සිදුවේදැයි එතුමා පරීක්ෂාවෙන් පසුවන්නේ, චිරාත් කාලයක් ති‍ස්සේ මෙවන් වූ අසල්වැසි රාජ්‍ය අතර උන්හිටි අඩියේ යුධමය වාතාවරණ ඇතිවීමේ ප්‍රවණතාවක් අප රටේ ඇති බැවිනි.

අප ඇමතිතුමියද ඒ පිළිබඳ ව සිය අවධානය නිරතුරුවම රඳවාගෙන සිටියි.
දෙරට අතර සුහදතාව වර්ධනය කරගනු වස් ඇය විසින් විවිධ ක්‍රියාමාර්ග විටින් විට අනුගමනය කරයි. එරට විශේෂ උත්සව දිනයන් මනාව සිහියේ තබාගෙන සිට, අවැසි ආකාරයෙත්, මෙරටින් ඒ සඳහා වෙන්කල හැකි ප්‍රතිපාදන ප්‍රමාණයේ හැටියටත් ගැලපෙන ත්‍යාග ගෙන එරට සංචාරයකට පිටත්වීම, එරට උප ඇමතිනියට විටින් විට අවැසි වෙන යම් යම් දේවල් ප්‍රදානය කිරීම, එරට අගමැතිතුමිය සමග සැඳෑ කාල වලදී සුහද සාකච්ඡා වල නිරත වීම ආදී වූ එකී‍ නොකී කටයතු වල යෙදෙමින් දෙරට අතර සුහදතාව වර්ධනය කර ගැනීමට අප ඇමැතිතුමිය ගන්නා උත්සහය ඇමතිතුමාගේ හිසේ මල් දහසක් පුබුදුවන සුළුය.

රත්තරං වළලු දාපු අත්දෙකකින් කෑම වේල ලබන්නට පිරිමි උදවිය මනාප බැවින් කෑම ලබාදෙන අතට රත්තරං වළලු දමන්නට ඇමතිතුමාට සිතුනා විය හැකිය. එබැවින්දෝ ඇමති මණ්ඩලය වෙත තුන් වේල නිමවා දෙන අප ඇමති තුමියගේ අතට එළඹෙන සතිය තුල රන් වළලු දෙකක් දැමීමට ඇමතිතුමා කටයුතු සිද්ධ කරමින් සිටින බවට නිල නොලත් ආරංචි මාර්ග මගින් ඇමතිතුමියගේ සවනට පතිත වීම හේතු කොට ගෙන ඇයද පසුවන්නේ ඉහේ පිපිණු මල් දහසක් දරාගෙනය.

මෙම ලිපිය සකසාගෙන යන මේ මොහොතේදී ඇත්තටම අප ඇමතිතුමියට හිතෙන්නේ ඇමතිතුමා
කාර්යය භාරයක් නොමැති ඇමති කෙනෙක් ය යන්න සත්‍යයක් බවයි. එලෙසම ඇමතිතුමියද කාර්යය භාරයක් නොමැති ඇමතිනියක් බවද ඇයට මෙහිදී මොනවට වැටහීගෙන එයි. එනම් මෙවන් ආණ්ඩු පවත්වාගෙන යනවිට එලෙස නිශ්චිත කාර්යය භාරයක් පමණක් භාරයට ගෙන ‘මේක මගේ, අරක ඔයාගේ’ කියමින් කටයුතු පැහැර හැරිය නොහැකි බවයි. හේතුව සියලුම අමාත්‍යාංශ වල කටයුතු කරගැනීමට තිබෙන්නේ දෙදෙනෙකුගෙන් සමන්විත ඇමති මණ්ඩලයක් බැවිනි. එම ඇමති මණ්ඩලයේ සාර්ථකත්වය මත පොදු මහජනතාව වු පැංචිතුමි ලාගේ අනාගත දිදුලීම අනුලෝමව සමානුපාතික වන නිසාවෙන් ඇමති මණ්ඩලය නිරතුරුවම සක්‍රීයව පැවතිය යුතුව ඇත. කොටින්ම පංගු පේරුවෙන් මේ ආණ්ඩුව සාර්ථකව පවත්වාගෙන යා නොහැකිය.

ඇමති මණ්ඩලයේ දෝෂ නිසා එක් ඇමති කෙනෙකු තනි කැමැත්තට, අනෙකා ඉවත් කර හෝ නොකර වෙනත් ඇමතිවරියක හෝ ඇමතිවරයකු බඳවාගෙන පොදු මහජනතාව අගාධයට හෙලූ අවස්ථාවන් ලොව කොතෙකුත් තිබේ.

එසේ අවාසනාවන්ත සිද්ධීන් වලට මුහුණ නොදී, සියලු ම කටයුතු යහපත් අයුරින් ඉෂ්ට සිද්ධ කරගන්නට නම්, එකා මෙන් එකමුතුව සකසුරුවමෙන් ආදරණීයව කටයුතු කලයුතු බව
අපි නම් වූ ඇමති මණ්ඩලය හැමදාම සිහි කරන්නෙමු.

අපට ජය වේවා !!!

වර්ෂ 2002 ක්වූ නොවැම්බර් මස 2 වන සෙනසුරාදා එළඹෙන්නට යෙදුන අවබෝධතා ගිවිසුමට එල්ල වූ නොයෙකුත් බාධක හිරිහැර කම්කටොළු මැද, එම ගිවිසුමට හානියක් නොවන ලෙස පවත්වාගෙන ආ අප, වර්ෂ 2008 ක් වූ දෙසැම්බර් මස 5 වන සිකුරාදා නිත්‍යානුකූලව පිහිටුවන්නට යෙදුනු අප ආණ්ඩුවේ දෙවර්ෂ පූර්ණය මෙම මස 5 වන ඉරු දිනට යෙදෙන අතර අද දින එදා මෙන්ම දෙසැම්බර් මාසයේ පළවෙනි සිකුරාදාව නිසාවෙන් මෙම ලිපිය මෙසේ පළ කරන්නට යෙදුනෙමි.


අවබෝධතා ගිවිසුම් සමය

පාර්ලිමේන්තුව නිල වශයෙන් පිහිටුවීම


පැංචිතුමියගේ ආගමනයට පෙර සූදානම
(මහනුවර නිල සංචාරය - 05/07/2009)


පැංචිතුමියගේ ආගමනය


වර්තමාන පාර්ලිමේන්තුවේ ගණ පූර්ණය

Monday, November 29, 2010

දරාගැනීමේ හැකියාව සහ රක්ෂණය, ඉදිකිරීම් ක්ෂේත්‍රය සහ ජීවිතය


මට හිතුන මුලින්ම මම රැකියාව කරන ක්ෂේත්‍රයේ, ඒ කියන්නෙ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉතාම වැදගත් ලෙස සැලකෙන කරුණු දෙකක් අපේ ජීවිත වලට, විශේෂයෙන් ජීවිතේ අපි ගොඩ නගා ගන්නා සම්බන්ධතා වලට අදාල වෙන්නෙ කොහොමද කියල විපරම් කරල බලන්ඩ,

ඕනෑම ඉදිකිරීමකට මේ කරුණු අදාල උනත් අපි ගොඩනැගිලි විතරක් සලකලා බලමු,

පළවෙනි කාරණය තමා, දරාගැනීමේ හැකියාව මැනීමේ පරීක්ෂණය, මේක ඉතාම වැදගත්, ඒ වගේම ඕනෑම ව්‍යාපෘතියක් පටන් ගන්ඩ පෙර අනිවාර්‍යයෙන්ම කළයුතු පරීක්ෂණයක්, ( Bearing Capacity Test කියල තමයි මේක හඳුන්වන්නෙ)

මේකෙන් කරන්නෙ ගොඩනැගිල්ල ඉදිකරන භූමිය ඉදිකලයුතු ගොඩනැගිල්ලේ බර දරාගැනීමට තරම් සමත්ද කියලා පරීක්ෂා කරන එක, ඉතිං කියන්ඩ දෙයක් නැහැනෙ පරීක්ෂණය අසමත් උනොත්, එක්කෝ ඒ භූමියේ දරාගැනීමේ හැකියාව වැඩි කිරීමට සුදුසු පියවර ගන්ඩ වෙනවා, එහෙම නැත්නම් එතන ඒ ගොඩනැගිල්ල ඉදිකිරීමේ අදහස අත ඇරල දාන්ඩ වෙනවා, වෙන ප්‍රතිකර්මයක් නැහැ,

මේ දරා ගැනීමේ හැකියාව පරීක්ෂාකිරීම අපි ගොඩනැගිලි වලට කලාට අපි ජීවිතේදි නම් කරන්නෙ නැහැ, ඇත්තටම බැලුවොත් එහෙම කරන්ඩත් බැහැ, ඒ කියන්නෙ අපි ජීවිතේ ගොඩ නගා ගන්නා සම්බන්ධතා බැලුවොත් එහෙම දෙයක් ආරම්භ කරන්නට පෙර මේ සම්බන්ධතාවය දරාගැනීමට, මෙතන ඇත්තටම කියන්ඩ ඕනෙ මේ සම්බන්ධතාවය බිඳ වැටුනොත් ඒ තත්වය දරාගැනීමට කියල, හැකියාවක් මට තියෙනවද කියල අපි හිතන්නෙ නැහැනෙ, එහෙම හිතනවයි කියන්නෙත් අපිටම මේ ගැන විශ්වාසයක් නැහැ කියන එකනෙ, අනික එහෙම සම්බන්ධයක් පටන් ගැම්මෙදිම සෘණාත්මක හිතන්ඩ අපි කවුරුවත් කැමති වෙන්නෙත් නැහැනෙ,

ඉතිං ඉදිකිරීමකදි මුලින්ම මේ Bearing Capacity Test එක කලාට ජීවිතේදි අපිට මේකට මුහුණ දෙන්ඩ වෙන්නෙ අපි ඉදිකරපු, එහෙම නැත්නම් වෙන කෙනෙක් අපේ හදවතේ ඉදිකරපු ගොඩනැගිල්ල, මොනයම් හේතුවක් නිසා හෝ බිඳී වැටුනට පස්සෙදියි,අපිට ඒ බිඳවැටීම දරාගත හැකිද කියන කාරණය මත තමයි අපි Test එක සමත්ද අසමත්ද කියලා තීරණය වෙන්නෙ,

මේක ඉතිං එක එක්කෙනාට හරිම වෙනස්, Bearing Capacity ඉහල අගයක් ගන්න අය ඒ කියන්නෙ ඕනම දෙයක් දරාගත හැකි අය වගේම පහළ අගයක් ගන්න ,මේ බිඳවැටීම දරාගත නොහැකි අයත් අපි අතර ඉන්නවා,

අනිත් කාරණේ තමා යම් කෙනෙක්ගෙ Bearing Capacity එක තීරණය වෙන්නෙ කාරණා කීපයක් මතයි, ඒ පුද්ගලයාගෙ මානසික තත්වය, බිඳවැටුනු සම්බන්ධතාව කොපමණ සමීප සම්බන්ධතාවයක්ද යන කරුණ, සම්බන්ධතාව බිඳ වැටීමට හේතු වු කරුණ හෝ කරුණු,ඥාති හිත මිත්‍රාදීන්ගෙන් ලැබෙන දිරිය මේ වගෙ කරුණු බොහෝ දුරට බල පානවා,

හැබැයි ඉතින් කියන්ඩ තියෙන්නෙ මොන හේතුවක් නිසා හරි මෙහෙම බිඳ වැටීමකට මුහුණ දුන්නොත් හැකි ඉක්මනට තමන්ගෙ Bearing Capacity එක වැඩි කරගෙන ජීවිතේට මුහුණ දෙන එක තමයි කල යුත්තේ, Bearing Capacity අඩු නම් ඉතින් එතන ඉඳං ජීවිතේ විඳවන්ඩ තමයි වෙන්නෙ,

දරාගැනීමේ හැකියාව ගැන එපමණයි, දැං දෙවෙනි කාරණාව,

දෙවෙනි කාරණාව තමයි රක්ෂනය,නැත්නම් Insure කිරීම, ඉදිකිරීමකට කලින් නොයෙක් මාදිලියේ රක්ෂණ අනිවාර්යයෙන් ලබාගතයුතු වෙනව එක එක කොටස් ආවරණය වෙන විදිහට, ඒත් මට හිතෙන්නෙ අපේ කතාවට ඉතාම අදාල වෙන්නෙ ඉදිකරන ගොඩනැගිල්ලෙ සම්පූර්ණ වටිනාකමත් සමඟ තවත් 10% අමතර ප්‍රමානයක් එකතු කරල, ඒ වටිනාකමට ලබාගතයුතු රක්ෂණයක් තියෙනවා,

මේ රක්ෂණයෙ පරමාර්ථය වෙන්නෙ ගොඩනැගිල්ල කඩා වැටී නැවත ඉඳිකිරීමට සිදුවුවහොත් ඒ සඳහා යන වියදම පියවා ගැනීමයි, අමතර 10% ක් එකතු කර ඇත්තේ කඩා වැටුනු ගොඩ නැගිල්ලේ සුන් බුන් ඉවත් කර අලුතින් ගොඩනැගිල්ල ඉදිකිරීමට සුදුසු පරිදි භූමිය සකස් කිරීමට යන වියදම පියවා ගැනීමටයි,

මේ කාරණය අපේ ජීවිතේට සම්බන්ධව කතා කලොත් අපිට ඉතාම වැදගත් වෙන්නෙ මෙන්න මේ 10% තමයි, මොකද බිඳ වැටුනු ගොඩනැගිල්ලෙ සුන් බුන් අපේ ජීවිතෙන් අයින් නොකර අලුත් ගොඩ නැගිල්ලක් හදන එක බොරු, අලුත් ගොඩනැගිල්ලක් හදන එක කොහොම වෙතත් කඩා වැටුනු ගොඩනැගිල්ලෙ සුන් බුන් ගොඩ ගහගෙන ඉන්න එකත් මහ වදයක් නෙව, ඒත් අපි හුඟ දෙනෙක් කරන්නෙම මේකනෙ, සුන් බුන් අයින් නොකර ඒ දිහාවෙ බලාගෙන කඩා වැටෙන්නට කලින් තිබ්බ ලස්සන මතක් කරකර දුක් වෙන එක, විඳවන එක,

ඉතිං අවසාන වශයෙන් කියන්ඩ තියෙන්නෙ මේ වගෙ අවස්ථාවක කල යුත්තෙ මුලින්ම අර 10% පාවිච්චි කරල සියලු සුන් බුන් වහාම හදවතින්/ජීවිතෙන් ඉවත් කරල නොපෙනෙන දුරකට ගිහින් දාන එක තමයි, ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ නම් අපි කරන්නෙ ඒකනෙ, ජීවිතේටත් ඒ වැඩ පිළිවෙල එහෙමම අදාලයි මට හිතෙන්නෙ,

Wednesday, November 24, 2010

තනි තරුවට ලියූ කවිය...............


සඳ කැලුම් දිය අතුල ගෙමිදුලේ ඇවිදයමි,
පිපි කුසුම් ගොමු අතර පිණි වැටෙන හඬ අසමි,
වලා පට සලු පැළැඳි සුරඟනක් සේ අහිමි,
හුදෙකලා තරු කුමරි නොසිතු මොහොතක දුටිමි,

හිරු මැකී ගිය පසුව දිදුලනා රෑ අහස,
පෙර අඹර පහන්වන විට මැකෙන රූ දසුන,
උදෑසන හිරු එළියෙ කුසුම් ගොමු මත දිදුල,
පිණි බිංදු නොවේ ඒ ඔබ නෙතින් ගැලු කඳුල,

දයාබර තනි තරුව,ඔබ අහස මුදුනතය,
කඳුලු බිඳු පතිත වේ පිණි ලෙසින මා අවට,
උදෑසන පිය මනිනු නොහැක මල්ගොමු අතර,
ඔබෙ කඳුලු මතින් පියවර තබනු නොහැක මට,

සැම රැයම ඔබ හඬනු මම බලා සිටින්නෙමි,
ඔබෙ කඳුලු බිඳු අතර මගෙ කඳුලු හෙලන්නෙමි,
තනි තරුව කඳුලු පිස සිනා සෙනු පතන්නෙමි,
එතෙක් ඔබ හා එක්ව පිණි කඳුලු හෙලන්නෙමි,

Tuesday, November 16, 2010

අද පටන්, මිතුරු සිතුවිලි වෙතත් නිදහස් සිතුවිලි හී ඉඩක්...........

මාගේ ලබැඳි මිත්‍රයෙකු, මගේ බ්ලොග් අඩවියේ සම හවුල් කරුවෙකු ලෙසින් අද පටන් සිය සිතුවිලි අකුරු කරනු ඇත. පහතින් දිස් වනුයේ එලෙසින් පළවන පළමු පැදි පෙළයි.

මගේ සෙනෙහස අපරිමිත, කිසිදා මහලු නොවේමය...................


සඳලු තලයේ වැතිර ඉමි,
සඳදිය පොදින් නැහැවෙමි,
හිසහොවා මා ඇකයෙහි,
නිදන්නී මා සඳවති,

අතැඟිලි සෙමෙන් අවදිකර,
පිරිමදිමි ඔබ වරලස,
නරකෙස් රොදකි ඉඳහිට,
මේ සඳරැසෙහි දිලිසෙන,

සිහින ලොව සැරිසරන,
බලාඉමි ඔබ වත දෙසම,
මුව මදහසින් විකසිත,
දෙතොල් වට මේ රැළි නොවෙද?

නරකෙස් උදක් නොදකිමි,
වතෙහි රැළි මම නොදුටිමි,
පෙරදින මසිත සොරාගති,
අදත් ඔබ මට එදා සඳවති

Friday, October 29, 2010

67. ලේ නැති මස්.........

මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්
හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මස් රාත්තල ලැබෙන්නේ නැහැ.

(එදා: වැනීසියේ වෙළෙන්දා)
............................................................................


මට අඩු නැතිව මස් රාත්තලම ඕනේ


ම්ම්ම්........... හොඳයි දෙන්නම්


හැබැයි එක ලේ බිංදුවක්වත් හලන්නේ නැතිව
කපන්න ඕනේ මොකද, ලේ වල අයිතිය මටයි


මොනවාද කියන්නේ?........... ඒ කොහොමද එහෙම කරන්නේ?
ඒක කොහොමටවත් කරන්න බැහැ.
ලේ හලන්නේ නැතුව මස් කපන්න?


ඒක මං දන්නේ නැහැ. එහෙනම් මේ මාසේ පඩිය ලැබෙන්නේ නැහැ.

(අද: මනුස්සකම් වැනසී ගිය වෙළෙන්දෝ)

Friday, September 24, 2010

66. පූජියාමා ව නිසලව බලා සිටී.

කාර්යාලයේ වාර්ෂික මිතුරු හමුව මේ සතියේ පැවැත්වීමට තීරණය කර ඇති බව මා දැන ගත්තේ පසුගිය සතියේය. ඒ පිළිබඳව කසුකුසුවක් පසු ගිය මාසය පුරාවටම තිබුණද නිශ්චිතව දිනයක් නම් කරන්නට යෙදුනු බව ස්ථිරව ම දැන ගත්තේ පසුගිය සතියේය. දැන් එළඹ ඇත්තේ භාර දූර ම අවස්ථාවයි.විවාහ වී වසර දෙකකට ආසන්න වුවද විවාහයෙන් පසුව මෙවන් උත්සවයක් සංවිධානය වන ප්‍රථම අවස්ථාව නිසා මෙය අපගේ යුග දිවියට අළුත් අත්දැකීමකි.එනමුදු විවාහයට පෙර ප්‍රේමවන්තයින් සේ ගෙවුනු යුගයේ නම් මෙවන් අවස්ථාවන් තුන හතරක්ම එළඹුනු අතර ඒ අවස්ථාවන් වලදී සිදුවුනු සිදු වීම් නිසාවෙන් මා සිතේ ඇත්තේ චකිතය පිරුණු තිගැස්මකි.



‘ඇය මෙය කොහොම පිළි ගනියිද?’



පෙර අවස්ථාවන් හී දී ඇයගේ හැසිරීම් සිහිවන විට නම් මා නොසන්සුන් වන අතර මේ ගමන නොගොසින් සිටින්නට සිතන්නට හැකියාවක් තිබේ දැයි මගේ සිතම පීරමි. නැත. මගේ සිත කැමති වනුයේ කෙසේ හෝ මේ ගමන යන්නටමය. ගොස් ආ පසු සිදුවන දේට ඒ වේලාවට මුහුණ දෙමි. කෙසේ වුවද ඈ මාගේ ආදරණීය භාර්යාවයි. ඇය විසින් එළඹෙන දරුණුම යුද්ධය කඳුළු සලා හඬමින් ආඩපාලි කිම පමණි. එය එවිට ඇය සනසමින් විසඳා ගැනීමට මා හට හැකියාවක් ඇති බව විශ්වාසය. එය පළපුරුද්දෙන් ලද හැකියාවකි. එබැවින් මේ ගමන මම යමි.



මා සේවය කරනුයේ සමාගම් කිහිපයක එකතුවක් වූ ආයතයනයකට බැවින් සේවක සංඛ්‍යාව 400ක් 500ක් පමණ වෙයි. පවුල් පිටින් ගෙට් ටුගෙදර් පැවැත්වීම ඉතාමත් අපහසු කාරණයක් බව මේ සේවක සංඛ්‍යාව හා සළකා බැලීමේදී ඕනෑම කෙනෙකුට වටහා ගත හැකිය. එබැවින්, මා බිරිඳ සේවය ක‍රන කාර්යාලයේ සෑම උත්සවයකට ම මා ආරාධනා ලැබුවද ඇයව අප ආයතනයේ එකඳු උත්සවයකටවත් මේ වනතුරු සහභාගී කරවා ගැනීමට මා හට නොහැකි විය. එය මගේ සිතට කණගාටුවක් උපදවන කරුණකි.



“පොඩි වැඩක් තියෙනවා ඔයාට කියන්න” පසුගිය සඳුදා වැඩ නිමවා නිවසට එන අතරතුරේ කල් යල් බලා පැවසුවෙමි.



“ඇයි?....... මොකද්ද?”



“අපේ ඇනුවල් ගෙට් ටුගෙදර් එක තියෙනවා මේ සතියේ............ පෝය කවද්ද?” අමතර පැනයකුත් සමඟ පැවසුවෙමි.



“අනිද්දානේ. 22 වෙනිදානේ. එදාටද තියෙන්නේ?” ඇය ඇසුවාය.



“ඒකනේ වැඩේ. 24 වෙනිදා තියෙන්නේ. 24 කවද්ද?”



“24 සිකුරාදානේ. ඇයි අනේ සතියේ දවසක්?” ඇය මවිතය පළ කරයි.



“ අනේ මන්දා. මට නං යන්නත් හිතක් නැහැ.” මම අවංකවම පැවසුවෙමි.



“ඇයි ඒ?” ඇය බලාපොරොත්තු සහිතව ඇසුවාය.



“පවුල් වල අය නැහැනේ. අනේ මන්දා ඔයාලාගේ වගේ නෙමෙයිනේ, බොස්ලා හිතන්නේ නැහැනේ, ගෙට්ටුගෙදර් එකක් වුනහම පවුල් වල අයත් එනවා නං හොඳයිනේ” ඇයගේ මුහුණ පැති කණ්නාඩියෙන් නිරීක්ෂණය කරමින් පැවසුවෙමි. පැහැදිලි වෙනසක් නොදුටුවෙමි. මීට අවුරුදු 4කට 5කට පෙර නම් ඒ වදන් පෙලම ඇති ඇයට ඇස් දෙකේ කඳුළු පුරවා ගන්නට. කාලයත් සමඟ ආලය වෙනස් වෙලාද?



“එහෙම කොහොමද අනේ. අපේ වගේයෑ. කොච්චර සෙනගක් ඉන්නවාද? ඔය සේරම පවුල් පිටින් ආවොත් හොඳට හිටියි” ඇය තර්කානුකූලව පවසා ආයතනයේ පැත්තට කථා කලාය.



“ෂික්.......... ඒ වුනාට............”



යතුරුපැදියට ඉන්ධන සපයා ගැනීමට ඉන්ධන හල වෙත හැරවූවෙමි.



“පන්සීයක”



මුදල් පසුම්බිය අතට ගෙන මුදල් ගන්නා ගමන් පැවසුවෙමි.



පසුම්බිය ඉරී හිල්වී ඇත. පැත්තක නූල්ද ගැලවී ඇත. කලිසම් සාක්කුවේ වදින පැත්තේ උඩු හම ගැලවී යටි හම මතුවී දම් පාටින් බබලයි. පසුම්බිය අතට ගන්නා සෑම විටම කිසිවකු එය දකීදැයි දෙනෙත් වටම සරන්නේ නිරායාසයෙනි. මේ මාගේ නොසැලකිල්ලද? දුප්පත් කමද? නැත. මේ පසුම්බිය මෙයට වසර තුනකට පෙර අපගේ ආදර සැමරුම් දිනයේදී ඇයගෙන් තිළිණ ලද්දකි. වෙළෙඳ නාමය සුපිරි වුවද, මද කලකින්ම පෙරකී දම්පාට මතුවිය. ඇයගෙන් ලද තිළිණය නිසාවෙන් ඉවත් කරන්නට හිතේ ඇතිවුනු ලෝභ කමින් තවමත් එයට මා සන්තකයේ පැවතීමට වාසනාව පෑදී ඇත.



ඇය කරනා බොහෝ දේවල් මගේ හිතට ඇති කරන්නේ ලෝභ කමක්මය. කරන්නට හිතුනොත් ඒ දේ කරන්නේමය. සැලසුම් සහගතව මගේ උපන්දිනයට යමක් කරන්නට ඇයට නොහැකී වූයේ එකම එක වරකි. ඒ අප විවාහ වූ අවුරුද්දේය. විවාහයෙන් දින 11කට පසුව මගේ උපන් දිනය යෙදුනු බැවින් ඇයට යමක් සැලසුම් කර ගත නොහැකි විය. පුංචි දෙයකින් හෝ මා සතුටු කරන්නට ඇය සෑම විටම උත්සහ දරන්නීය. මාත් එහෙමද?



ඇයට අනුව නම් ඇය මා හට දක්වන ආදරයටත් වඩා මම ඇයට ආදරය දක්වමි. ඒ ඇය සිතනා ආකාරයයි. සමහර විට මගේ හිතේ තිබෙනා වූ අකලංක වූද, ප්‍රේමණීය වූද හැඟීම මටත් වඩා හොඳින් ඇය වටහාගෙන ඇතිවා විය හැකිය. ඇය එසේ සිතනා විට මා හට සිතෙන්නේ ඇය මා කෙරේ දක්වන ආදරයට අලගු තබන්නටවත් මා හට නොහැකිය යනුවෙනි. සමහර විට එය මෙසේ විය නොහැකිද? අපගේ කුටුම්භයේ සතුට, සාමය, ආදරය මේ හැම දේම, හැම බැඳීමක්ම රැඳී රැකී තිබෙන රහස මේ දෙපැත්තට සිතනා සිතුවිලි විය නොහැකිද?



ඇය කිසි විටෙක කිසිම දෙසෙක මා නොමැතිව යාමට අකමැතිය. කන්තෝරුවේ පිරිස පමණක් සහභාගීවන යම් යම් අවස්ථාවන් වලට නිහතමානීව, තමන්ට පැමිණෙන්නට නොහැකි බව ඇය ප්‍රකාශ කරන්නේ මගෙන් විමසා බලාවත් නොවේ. පසුව එවන් අවස්ථාවන් වලට ආරාධනා අප දෙදෙනාටම පිළිගැන්වීමට ඇයගේ කන්තෝරුවේ සුහදශීලි පිරිස සැලකිලිමත්විය.



පිරිමියෙකුට ආදරය, විවාහය ජීවිතයේ කොටසක් වන විට ගැහැණියකට ජීවිතය යනු ආදරය සහ විවාහය වන බව සත්‍යයක් යැයි මට සිතේ. ආදරණීය සැමියෙකු, ආදරණීය පියෙකු වශයෙන් මා මගේ ජීවිතයේ ඒ කොටස ඉතාමත් වගකීමෙන් ලබැඳියාවෙන් ඉටු කරන බව, අප තිදෙන සතුටින් පසුවෙන විටෙක ප්‍රිතීයෙන් පිනායන මාගේ බිරිඳ මගේ සවනට කොඳුරා පවසන වදන් සාක්ෂි දරයි.



“ඔයා හරි ම හොඳයි තාත්ති”



එවන් විටෙක ප්‍රිතීය වෑහෙන දෙනෙතින් මදෙස බලා සිටින ඈ, අනතුරුව මගේ සවනට රහසින් පවසයි.



එනමුදු පිරිමියෙකු වශයෙන් මට ජීවිතයේ තවත් කොටස් ඇත. රැකියාව, මිතුරු සබඳතා, සමාජ ආශ්‍රය, සමාජයේ මාගේ පැවැත්ම, නව සබඳතා මගින් දියුණුව පිණිස නව මාර්ග මතුකරගැනීම මේවා මගේ ජීවිතයේ අනෙකුත් කොටස් අතර වේ. මාගේ කුටුම්බය ප්‍රධාන කොටගෙන ඇති මේ අනු කොටස් අමතක කල නොහේ. එසේ කලහොත් සිදුවනුයේ කණු ගැලවී ගිය කල බිමට පතිත වන ගොඩනැගිල්ලක් සේ ප්‍රධාන කොටසට අන්තරායකර අවස්ථාවක් එළඹීමය.



අනෙක් අතට මෙවන් අවස්ථාවක් මග හැරීම මදි කමක් ලෙස මට හැ‍‍ෙඟේ. සමාජයේ හැසිරීමට නොදන්නවුන් එලෙස මග හරින බව මා සිතේ පැලපදියම් වූ කරුණකි. කුඩා කල සිටම හොඳ සමාජ ආශ්‍රයක් ඇතිව සිටි මා වැන්නෙකු අතින් උත්සවයක් හිතා මතාම මග හැරීම කිසිවිටෙක නොසිදුවිය යුත්තකි. අනෙක් අතට ඉතාමත් වෙහෙසකර වූ රැකියාවට මද විරාමයක් ලැබ, ගීතයක් ගයා, නටා, මිතුරන් සමග මධුවිතෙන් මද පමණට සප්පායම් වී, නා, කා, විනෝද වීමට අවස්ථාවක් ලැබීමත් මහඟු කාරණයකි.



එහෙත් මේ හැම දේමත් පසෙකය.



'ඇය මොනවා කියාවිද?'



තවමත් අහස කළු වුනේවත් නැති නිසා වැස්සක් වසී කියා සිතීමට හැකියාවක් නැත.



එහෙත්............ මට පූජියාමා ව සිහිවේ.



“අපිට අද ටී ෂර්ට් එකක් ලැබෙනවා” ඊයේ උදේ වැඩට එන අතරතුරේ ඇයට පැවසුවෙමි.



“ෂා........ ‍ෂෝක්නේ. ගෙට්ටුගෙදර් එකට අඳින්නද?........... මටත් අඳින්න පුළුවන් වෙයි නේද?” ඇයට සතුටුය. මටත් සතුටුද? මම පැති කණ්නාඩියෙන් ඇගේ වුවන නිරීක්ෂණය කරමි. නැත. තවමත් අහස පැහැදිලිය.



“ඔව් පුළුවන් වෙයි” මම පැවසුවෙමි.



“හා.......... එහෙනං මං සැටර්ඩේ අඳින්නම්ද?” ඇයට වඩා සතුටුය. මේ මවාගත් සතුටක්ද?



මා දන්නා ඇයට අනුව නම්, ‘ඔය දෙන්නා නැතුව මං යන්නේ නැහැ’ කියා මං පවසන වදන් අසා ගන්නට ඇගේ සවන් පුල පුලා බලා සිටින බව දනිමි. ‘ඔය දෙන්නත් එක්ක යන්න පුළුවන් මේ පාර’ කියා පවසන්නට මට හැකියාවක් තිබේ නම්, අපේ මුළු කාර්යය මණ්ඩලයෙන්ම වඩාත්ම සතුටට පත්වන පුද්ගලයා මා බවත් ඔයා දන්නවාද?



දිනය ගෙවී දසත අඳුර පැතිරෙන්නට වූ විට,“ඔයා කොහේද?” ඇයට දුරකථන ඇමතුමක් දී ඇසීමි.



“මං මේ එන ගමන්. ඒක නෙමෙයි ටී ෂර්ට් එක ලැබුනාද? හෙට ඔයා ඒක නේද අඳින්නේ?” ඇය වෙනස් වී ඇත. වෙනදා නම් මෙවන් ගමනකට පෙර දින අහස බොහෝ සෙයින් අඳුරුය. වහින්නට ඔන්න මෙන්න සේය.



“ඔව් ලැබුනා. ඒක තමයි අඳින්නේ”



“කලිසම මොකද්ද?”



“ඩෙනිම් එකක් හොඳයි නේද?”



“හා.......... එහෙනම්. මං බහින්න ලං වෙලා කෝල් එකක් දෙන්නම්”



“හා...... හොඳයි”කාලය සෙමින් ගත විය.



කිහිප වරක්ම දුරකථන ඇමතුම් දුනිමි.



‘අද ඇයි දන්නේ නැහැ පරක්කු’


නැවත වරක් ඇමතිය යුතුය.



“කෝ ඔයා?”



“ ආ........... දැන් ලඟයි. තව විනාඩි තුනයි. දැන් එන්න ඔයා බස් හෝල්ට් එකට” අතීශයින් සාමාන්‍යයි. වෙනදා වාගෙමයි. අකුරක් අකුරක් පාසා හැඬුමක් සෙව්වෙමි. ඉකියක් සෙව්වෙමි. ඉඟියකුද නැත.



මට පාළුවක් වැනි හැඟීමක් දැනින. ඒ මන්දැයි නොදනිමි. මට අවැසි වන්නේ ඇය ඇ‍ෙඟේ දැවෙටෙමින් මගේ ගමන වැළකීමද? මූණ නොරොක් කරගෙන වැහිබර අහසක් මුහුණ මතට ගෙන ඒමද? මම සිතුවෙමි. නමුදු මගේ අවැසියාව මටම පැහැදිළි නැත.



“මොන පාටද ටී ෂර්ට් එක?” මගදි ඇය ඇසුවාය.



“නිල් පාටයි”


“ලස්සනයිද?”



“හොඳයි ටිකක් කල් අඳින්න පුළුවන් වගෙයි” පැති කණ්නාඩියෙන් සුපුරුදු පරිදි විමසුවෙමි. ම්හු............ පැති කණ්නාඩිය මට පැවසුවේය.



ඇත්තමට මා සොඳුරිය වෙනස් වීද? නැතහොත් කාලය සමගම ඈ පරිණත වීද? මාගේ පුරුදු ඇගේ මෘදු ගති මරා දැමුවාද? නැතහොත් සියලු හැඟීම් සඟවා මාගේ සතුට වෙනුවෙන් ඉවසනු විය නොහැකිද? මම නොසන්සුන් වීමි. හැමටම වඩා මගේ හිත පෑරෙන්නේ, ‘වඳින්න වඳින්න ගහන මිනිහාත් මෝඩයා ගහන්න ගහන්න වඳින මිනිහාත් මෝඩයා’ වැනි හැඟීමකින් ඇය පසුවනවාදැයි මට සිතෙන කළටය. ඇත්තටම දැන් නම් ඇය හඬා, ආඩපාලි කියනවා නම් මම ඉතාමත් කැමැත්තෙමි. මේ ලෙස අනියත සිතුවිල්ලේ කාලය ගත කරනවාට වඩා ඇයව සනසමින් කාලය ගත කර දමන්නට මම අතිශයින් කැමැත්තෙමි. කල හැකි යමක් නැත. අවසාන මිනිත්තුව දක්වා විමසිල්ලෙන් පසුවෙමි.



වෙනදා සුපුරුදු ලෙසම නිවසට ලඟා වීමු.



ඇය නාන කාමරයෙන් පැමිණ සිඟිති දියැණිය තුරුලට ගන්නාතුරු, දියැණිය සමග සෙල්ලම් කරනා අතරතුරේ ගමනට අවැසි කළමනා සුදානම් කලෙමි.



“ඔයා සෝදාගෙන එන්න. කාලා ඉක්මනට නිදිය ගමු. පාන්දර නැගිටින්නත් එපෑයැ” ඇගේ වදනට අවනතව මම නාන කාමරය දෙසට ‍ගියෙමි.



මා ගිය විගස ඇය කාමරයේ දොර වසා ගත්තාය. අගුල වැටෙන හඬද මට පැහැදිලිවම ඇසුණි. සියුම් සතුටක් සිත අද්දරින් ගියා සේ එක් මොහොතකට මට දැනුනාද? මද වේලාවකින් නැවතත් මා කාමරය වෙත ගියේ අමතක වූ යම් දෙයක් රැගෙන ඒමටය. මට ඇසුණු හඬ නිවැරදිය. අගුළු දමා ඇත.



“අම්මි...........” මම දොර හැඬලය කරකවන අතරතුරේ මා බිරිඳ ඇමතුවෙමි.



“ඇයි?................ ආ..... පොඩ්ඩක් ඉන්න” විනාඩි භාගයකට පමණ පසු දොර හැරින. වෙනසක් නැත. දියැණිය සෙල්ලම් බඩු කිහිපයක් අසල තබාගෙන බිම සිටී. ටිකිරි දසන් දක්වා සිනාසුනු ඈ නැගිට මා අසලට ඇදුනාය.



“ඇයි? ටවල් එකද?” මා බිරිඳ ඇසුවාය.



“ආ......... ඔව්......... ඔව්...........” කියමින් ඇය දුන් ටවලය අතට ගෙන ගියෙමි. නැවතත් විනාඩි පහකින් පමණ යම් වුවමනාවකට කාමරය වෙත යන විට නැවත වරක් දොර අගුළු දමා ඇත. ඇය හඬනවා වත්ද?



“ඇයි මේ දොර ලොක් කරලා” ‍මම ඇසුවෙමි.



“ඇයි අනේ?....... පොඩ්ඩක් ඉන්න” විනාඩියකට පමණ පසු දොර හැරුණි. එවරද වෙනසක් නැත. අවැසි දෙය රැගෙන මම පිටවීමි.



ඇඟපත සෝදා ගෙන, පහල මාලයේ කරන්නට තිබුනු යම් යම් කටයුතු වගයක්ද අහවර කොට ගමනට ඇවැසි දෑ සූදානම් කරනු පිණිසත්, ඒ අහවරව නිදනු පිණිසත් ඉහල මාලයට ගියෙමි. බිරිඳට හඬ ගසමින් නිකමට දොර හැඬලය කැරකූවෙමි. දොර හැරින. ඇය එවර දොර අගුළු දමා නැත. අම්මාත් දූත් නින්දේ සේ පෙණින.



ගමනට සූදානම් කරගත් අත් බෑගය ඇඳ පත්තේ එල්ලා ඇත. අළුත් ටී ෂර්ටයද ඒ අසලම ඇත. මේස්, කැප් තොප්පියක් සහ ඩෙනිම් කලිසමක්ද අතමානයේ තිබේ.



“අම්මි.........” බිරිඳ නිදි සේ සිටියද නිදි නැති බව දනිමි.



“ම්.........ම්.........”



“ඔයා ටී ෂර්ට් එක ඇඳලා බැලුවාද?” මම ටී ෂර්ට් එක ඇඟට තබමින් ඇසුවෙමි.



“නැහැ අනේ............. පස්සේ බැරියෑ” මම එය ඇඳ බැලුවෙමි. වරදක් නැත.



“හොඳයි නේද? පාටත් හොඳයි නේද?”



“ම්.......ම්....... හොඳයි. ලස්සනයි. මටත් ඇති වෙයි නේද? සාක්කුව තමයි කේස් එක” බිරිඳ පැවසුවාය.



“නැහැ ඒකේ අවුලක් නැහැ. අපේ ලේඩීස්ලාටත් මේකම තමා”



“ආ........... ඇත්තද?

දන්නවාද ඔය සාක්කුව මහලා තියෙන්නේ ෆිනිෂින් වලට ලේසියට. එතකොට ෂර්ට් එක ෆිනිෂ් කරන්න ලේසිනේ. නැත්තං බැඩ්ජස් මහලා ෆ්‍රොන්ට් පාර්ට් එක ෆිනිෂ් කරන්න වැඩි කාලයක් ගත වෙනවානේ. සාක්කුවේ බැඩ්ජ් එක මැහැව්වහම ලේසිනේ”



හිතේ යමක් තිබේ නම් ඇය මෙලෙස වැල් වටාරම් කථා කියන්නේ නැත.



‘ම්..., ඔව්..., නැහැ..., හා...,’ හිතේ යමක් වේ නම් ඇගේ වදන් එසේය.



“ආ............. ඒකත් ඇත්ත තමා නේ.”



මම ඇඳ පත්තේ එල්ලා තිබූ ගමන් බෑගය අතට ගතිමි. ඇය කොට්ටය ගෙන මදක් හිස එසවෙන ආකාරයට තබා ගත් බව දැන් කල්පනා කරන විට මට සිහිවේ.



බෑගය විවෘත කරන විට ම මට අමුත්තක් දැනින. ‘ආ....... මෙයාගේ පර්ස් එකත් මේකේ දාලා’ බිරිඳට උපන් දින ත්‍යාගයක් ලෙස ලැබුනු මුදල් පසුම්බිය එම බෑගයේ තිබී ඉවතට ගෙන කණ්නාඩි මේසය මත තබන්නට ගියෙමි.



එක් වරම, ‘හැ..........’ යනුවෙන් මට කියැවිණි. මේසය මත ඇගේ පසුම්බිය ඇත. එහෙනම්........ මේ මොකද්ද?



මා දයාබර බිරිඳ මා ලෝභ කමකින් යුතුව රැකි, ඇය විසින් තිළිණ කරන්නට යෙදුන, උඩු හම ගැලවී යටි හම මතු ව දම්පාටින් බැබැලුන ඒ පසුම්බියට විශ්‍රාම දීමට තීරණය කොට ඇත. අගනා නවතම මාදිලියේ පසුම්බියකින් මා තිළිණ ලබා ඇත. පරණ පසුම්බියේ තිබූ මා සන්තක සබ්බ සකල මනාවම නව පසුම්බියේ තැන්පත්ව ඇත.



සැබවින්ම මා බිරිඳ පරිණත වී ඇතැයි ඒ මොහොතේම මට වැටහුණි. ඇය දැන් පෙර සිටි ලඳ බොලඳ යුවතිය නොවේ. පුද්ගල හැඟීම් තේරුම් ගත හැකි, ඒවා වෙනස් කරන්නට නොගොස් ඒවාට අනුගත විය හැකි මට්ටමට ඇය පරිණත වී ඇත. මම ප්‍රිතීයෙන් පිනා යමි. අද දින සතුටු සිතින් මේ ගමන යන්නෙමි.



හඬමින් ආඩපාලි කියන ඈ සනසමින් සැනසෙන, එයින් සතුටට පත්වන පෙම්වත් චරිතයෙන් ඔබ්බට මාද පරිණත විය යුතුව ඇත. මම එසේ වන්නෙමි. එහෙත් එසේ වීමට පෙර, ගමන ගොස් පැමිණ තව සතියක පමණ කාලයක් විමසිල්ලේ සිටිය යුතුව ඇත. මන්ද යත් පූජියාමා ව ද නිසලව කල් යල් බලා සිටින නිසාවෙනි.



Tuesday, August 17, 2010

65. යොවුන් වසන්තයේ..........දුහුල් වලාකුලේ .........රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

අද අහන්නට ලැබුනු එක ගීතයක් නිසා අපි එතරම් අගේ නොකරපු, කොච්චර වටිනවා වුනත් එය අපි තේරුම් නොගත්ත, ආයේ ලබන ආත්මේ මිස මේ ආත්මේ නම් නොඑන කාලයක් ගැන හිත පුදුම විදිහට බරවුනා.

ආදරයට ගෙදරින් ආ බාධක, වැඩිදුර ඉගැනුම, රස්සාව, ‍නිවස ගොඩ නැගීම ආදී නොයෙකුත් දේවල් නිසා අතට ගත්ත වැලි මිටක් නොදැනීම ඇඟිලි අතරින් රූටා වැටෙන්නා සේ ජීවිතයේ වසන්ත කාලය නොගෙවිය යුතු අන්දමින් ගෙවුනා කියලා හරිම ලෝභ කමකින් හිත පිරුනා. තාමත් ඒ සිතුවිල්ලෙන් මිදෙන්න බැරිව ඒ සිතුවිල්ල අකුරු කරන්න උත්සහ කරනවා.

යොවුන් වියේ පෙම්වතුන් සේ වින්ද ප්‍රේමයේ කිසිම අඩුවක් නොවෙයි මා කියන්නේ. ඒත් ඒ ප්‍රේමය මරන්න මග රැක සිටී පිරිසගෙන් රැක ගෙන ඉදිරියට ගෙන යන්න දැරූ උත්සහයේදී, අවුරුදු 6ක් විතර අපි සම්පූර්ණයෙන් ගෙවලා තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයි ඒක රැක ගන්න නේද කියලා අද ඒ ගෙවුනු කාලය ගැන සිහිවුනාම දැන් වැටහෙනවා.

මග තොට යන්න නැහැ කවුරු හරි දකින කෙනෙක් කේලාම් කියයිදෝ, ඒ නැතත් අම්මා තාත්තා ම දකියිදෝ, එයින් අනතුරුව මොනවායින් මොනවා වෙයිදෝ, එහෙම ප්‍රශ්නයක් ආවොත් කියන උත්තර මොනවාදෝ................ ඔන්න ඔහොමයි අවුරුදු 6ම ගතවුනේ.

වහකදුරු, නයි පොළොංගු, කැති පොලු, ආදී දේවලින් විස්තර කරන්න පුළුවන් වුනු දෙපාර්ශවය එකඟතාවයට එන්න අවුරුදු 6ක්ම ගතකලා. ඒ අවුරුදු 6 තුල අපි දෙන්නා ලේ පයින්ට් සිය ගණනක් පුච්චන්න ඇති. අපි කාලය ගත කරලා තියෙන්නේ ප්‍රේම කරන්න නෙමෙයි. ලේ පුච්චන්න. අද අපි දෙන්නා ගැන මට පුදුම විදිහට දුක හිතෙනවා.

එහෙම නිමක් නැති බාධක ජය ගන්න පිඹුරුපත් සකස් කරමින් ආ ගමනේදී ඒ සොඳුරු වසන්තය අපට අමතක වුනා නේද කියලා දැන් තමයි වැටහෙන්නේ.

ඉන්න තැනක් හදා ගන්න, වැඩිදුර ඉගෙන ගන්න වගේ දේවලින් තමයි අපට අනාගතයක් තියෙන්නේ කියලා හිතපු අපි ඒ දේවල් කලා. ඇත්තටම ඒ දේවල් හරි. ඒ දේවල් නිසා නොවෙයි අපට ඒ යුගය මග හැරුනේ. ප්‍රේමයට තිබූ මරණීය දණ්ඩනය ලිහිල් කර ගන්න මාර්ග සොයන්න ගිහිනුයි අපට ඒ සොඳුරු යුගය මග හැරුනේ. ඒ බව අද හොඳටම තේරුනා. ඊට කලිනුත්, මගේ නංගිලා දෙන්නාට අද ගෙදරින් තිබෙන බාධාවිරහිත පරිසරය දකින ඒ බව විට ටික ටික තේරුනා. එයාලාට දෙපාර්ශවයෙන්ම ආශිර්වාද ලැබිලා, අද සතුටින් ඉන්නවා. පවුලේ විනෝද චාරිකා වලට වුනත් ඒ මල්ලිලාට එන්න තහනමක් නැහැ.

අපේ කාලයේදී අපි පවුල සමග මොන විනෝද චාරිකාද?

දෙන්නා සත්තු වත්තට ගියත් වැඩිපුරම බලන්නේ සත්තුන්ව නෙමෙයි ඇවිත් ඉන්න මිනිස්සුන්ව. ඇයි කවුරු ඉන්නවාද දන්නවැයැ. ප්‍රදර්ශන බලන්න ගියත් තියෙන දහයක් විතර වි‍ඩියෝ කැමරා සියල්ලටම මුවා වෙලා, වටේ ඉන්න මිනිස්සුන්ව ස්කෑන් කරනවා හැර බලපු ප්‍රදර්ශනයක් නැහැ කියලා අද හිතෙනවා. හම්බ කරපු සල්ලි වැඩි හරියක් වියදම් වුනේ කෑමට. හැමදාම හවසට වැඩ ඇරිලා යන ගමන් මොනවා හරි කන්න අවන්හලකට ගොඩ වැදිලා යන්නේ කන්න ඕනේ නිසා නොවෙයි, කථා කරන්න ඕනේ නිසා, ප්‍රශ්න සකච්ඡා කරන්න ඕනේ නිසා. (ඒ වෙච්ච මහත තාම ඇර ගන්න බැරි වුනා).

ඉතිං අවසානයේ‍ මෙහෙම සැනසීමක් ලැබීම ගැන සතුටුයි. දෙපාර්ශවයේ සාකච්ඡාවෙන් අනතුරුව විවාහය මාස පහක් අවසානයේ කෙරෙන්නට දින නියම වුනා. ඒ මාස පහ සැනසුම් සුසුමෙන් කාලය ගත කරන්නට නොවුනේ අධිවේගයෙන් විවාහයට සුදානම් විය යුතු වුනු නිසා. නමුත් පාර පුරා ස්කෑන් කරමින්, බයේ ගැහෙමින්, හැංගි හැංගි ගිය කාලය නිමා වුන එක නම් පුදුමාකාර සැනසීමක් වුනා.

විවාහය බොහොම හොඳින් සිද්ධවුනා. දැන් අපි හැමදෙනාම සතුටින් සමගියෙන් ඉන්නවා. අපි දෙන්නාට ම ඒ ගැන සතුටුයි.

2001 වසරින් පටන් ගත්තාට පසු හැම වසරකම අපේ ජීවිත වලට මොනවා හරි විශේෂත්වයක් සිදුවුනා. ඉඳින් 2008 විවාහ වුනු අපගේ ජීවිතයට 2009 දී පුංචි දූ කුමරි, රනුලිමා ආවා. එදා පටන් ඇය වෙනුවෙන් කැපවුනු අපට දැන් අම්මා, තාත්තා කියන වගකීමෙන් බැහැරව හුස්මක්වත් ගන්න පුළුවන්ද?

ඒ වගකීම නම් පුදුමාකාරයි. සැමියා මොන තරම් ගේ දොර වැඩට උපකාර කලත්, කොටින්ම කියනවා නම් ගේ දොර සියලුම කටයුතු, එකක් නෑර සියල්ලම වෙන කෙනෙකු ලවා කරවා ගත්තත්, අම්මා‍ කෙනෙක් තාත්තා කෙනෙක් කියන වගකීමෙන් මිදිලා දැන්අපට සැහැල්ලු වෙන්න බැහැ. ඒ හැඟීම පුදුමාකාරයි. පාරේ යනකොට ඉස්සරහ යන වාහනයක් එක පාරම නොහිතපු වෙලාවක තිරිංග තද කලත්, හිතට එන්නේ දුවගේ මුහුණයි.

මා මේ ලිපියේ මුලින් සඳහන් කරපු ගීතයේ රූප රාමු තුල මාලනී ෆොන්සේකා මහත්මියත් විජය කුමාරතුංග මහතාත් ඇතුළු පිරිස හැසිරෙන ආකාරයත්, නන්දා මාලනී මහත්මියගේ තරුණ අවධියේ හඬත් අපේ යොවුන් දිවිය ගෙවුනු අයුරු මට ආයෙත්, ආයෙත් සිහි කරනවනවා. ඔවුන් තරුණ දිවිය විඳින ආකාරයට අපට කවදාවත් විඳින්න බැරි වුනා නේද කියලා හිත ලෝභ කමකින් පිරිලා ගිහින්. මේ චිත්‍රපටය මං නරඹලා නැහැ. කථාවේ අන්තිමට දුඛාන්තයක්ද සුඛාන්තයක්ද කියලා ඒ නිසා මං දන්නේ නැහැ. ඒත් ඒ බව මේ ගීතය රසවිඳින්න මට බාධාවක් වුනේ නැහැ. ඔයාලාත් කැමති නම් බලන්න
.

යොවුන් වසන්තයේ

යොවුන් වසන්තයේ දුහුල් වලාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා

දිලිසෙන කඳුලේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී
ගංගාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සලා

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ග‍ෙඟේ දියඹ දිගේ

කොහොම වුනත් අපගේ ජීවිත වල සිදුවුනු, සිදුවෙන සිදුවීම් කිසිවකට වෙන කිසිවෙකුට දොස් නගන්න බැහැ. මේ හැම දේම පෙර ආත්මයේ කරන්නට යෙදුනු කුසලාකුසල කර්ම අනුව සිදුවුනු දේවල් බව අපි දෙන්නා විශ්වාස කරනවා. අපි කාට හරි කරපු දෙයක් අපට පල දෙන්න ඇති.

ඒ ආත්මයේ මොනවා කලාද කියලා නොදන්නවා වුනත් දැන් මගේ විශ්වාසය නම්, කෙනෙකුට වරදින්න යනවා, ඔහු හෝ ඇය කරදරයකට පත් වෙන්න යනවා කියලා අපට පේනවා නම් පුළුවන් තරම් ඒ කෙනාට තේරුම් කරලා දෙන්න උත්සහ කරන්න ඕනේ, නමුත් ඒ අය ඒ දේවල් තේරුම් නොගෙන සිය මාර්ගයේ නොපසුබටව යනවා නම් යන්න ඇරලා බලන් ඉන්න වෙනවා. ඒ ඒ අය ගෙනා කර්ම ශක්තිය අනුව ජීවිත සකස් වේවි. අමුතුවෙන් සකස් කරන්නට යාමෙන් සමහරවිට අපි අකුසල කර්මයක් කර ගන්නවා වෙන්නත් පුළුවන්. සමහරවිට අපි දකින දේට වඩා වෙනස් දෙයක් ඔවුන්ට පේනවා වෙන්නත් පුළුවන්. මොනවා වුනත් තමන් නොවෙයි නම් ඒ වෙනත් කෙනෙක්. වෙනත් කෙනෙකුගේ ජීවිතය අවවාදයෙන් ගොඩ ගත නොහැකි නම්, එය ඔහුට හෝ ඇයට හැඩ ගස්වා ගන්නට හැර කාලයට ඉඩ දී බලා සිටීම හැම අතින්ම ‍වඩාම හොඳම දේ හැටියට මං හිතනවා.

අවසාන වශයෙන් මං ප්‍රාර්ථනා කරනවා නොදැනීම ගෙවිලා ගිය වසන්තය ගැන දුක් නොවනු පිණිස ඔබ හැම දෙනාටම කටයුතු සැලසේවා !!!!!! කියා.

(මේ ලිපිය සටහන් කරන පුරාවටම සන්සරසිඳු මල්ලිව තමයි මතක් වුනේ. මල්ලියේ අපට වගේ උඹට නම් දුක් වෙන්න සිද්ධවෙන්න එපා. ඒකට දැන්මම කටයුතු සම්පාදනය කරගන්න)

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...