
නුවර ඉඳල ආපු බස් එකෙන් මම බැස්සෙ මාතලේ අඹ ගහ යට ස්ටෑන්ඩ් එකේදි, වෙලාව අට පහු උනා විතරයි, ඒ එක්කම මම දැක්ක නවයට බකමූණ හරහා ගිරිතලේට යන ප්‍රයිවට් බස් එක ඇවිත් ස්ටෑන්ඩ් එකට ගහනව, ඕන හැටියෙ වෙලාව තියන නිසා මම ගියා පත්තරයක් ගන්ඩ, මගෙ පුරුද්දක් තමයි බස් එහෙක දුර ගමනක් යනවනම් අනිවාර්යයෙන් පොතක් නැත්නම් පත්තරයක් වත් බලන එක,
පත්තරේකුත් අරගෙන මම නැග්ග බස් එකට,කවුරුවත් වැඩිය නැහැ තාම, ඉස්සරහම වම් පැත්තෙ සීට් එකේ වයසක ජෝඩුවක් විතරක් හිටිය, මම මගේ සුපුරුදු අසුන, වම් පැත්තෙ අන්තිම සීට් එකට කලින් සීට් එකේ ජනේලෙ පැත්තෙ ඉඳගෙන වීදුරුව ඇරල බෑග් එක උකුලෙ තියාගත්තා,
අවුරුදු අටක්ම මම වැඩ කලේ ආණ්ඩුවේ සුප්‍රසිද්ධ වාරිමාර්ග කටයුතු සම්බන්ධ ආයතනයක පොළොන්නරු සහ මඩකලපු දිස්ත්‍රික්ක මායිමේ තිබුනු ව්‍යාපෘතියක, ඒ මුලු කාලෙම මම ගෙදර ආවෙ මාසෙකට එක වතාවයි,වැටුප් අරගෙන දවස් තුනක් නැත්නම් හතරක් නිවාඩු දාල ඇවිත් මාසයක් වැඩ කරන්ඩ බලාගෙන ආපහු යනවා,අපේ රාජකාරි සොබාවෙ හැටියට ඉරිදා, පෝය, රජයේ නිවාඩු මොකවත්ම නැහැ,එක දිගටම වැඩ, ඒකෙ එච්චර අමාරුවක් තේරුනෙත් නැහැ, අපි යාලුවො කට්ටිය හොඳ විනෝදෙන් කාලෙ ගත කරපු නිසා,මම කසාද බැඳල නොහිටිය නිසාත්, ගෙදර වෙන ප්‍රශ්න නොතිබුනු නිසාත්, මේ වැඩ පිළිවෙලට බාධාවක් උනේ නැහැ.
ඉතිං ඔන්න ඔහොම දැහැමෙන් සෙමෙන් ජීවිතේ ගෙවාගෙන ඉන්නකොට මට හම්බ උනා අපේ ආයතනයෙම වෙනත් අංශයකට ස්ථාන මාරුවක්, ගෙදරට වඩාත් කිට්ටු තැනකට, බකමූණට, දන්නව නේද බකමූණ, නුවර අනුරාධපුරේ පාරෙ ගිහින් නාවුලින් දකුණට හැරිල තව කිලෝ මීටර් තිස් දෙකක් ගිහාම තමයි බකමූණ තියෙන්නෙ,
තව වැදගත් කාරණාවක් තමයි මෙතන සති අන්තය නිවාඩු, සති අන්තය කිව්වට සෙනසුරාද හවස් වරුවයි, ඉරිදා දවසයි, ඒත් මදෑ ඉතිං කලිං එහෙම එකක් වත් නොතිබුනු කොට,ඉතිං මම දැං කරන්නෙ සෙනසුරාදා හවස ගෙදර ඇවිත් සඳුදා උදේ ආපහු වැඩට යන එකයි,
මේත් මේ එහෙම සඳුදා උදේ වැඩට යන දවසක්,
පත්තරේ තිබුනු මොකක් හරි වැදගත් ප්‍රවෘත්තියකට සමවැදිල හිටිය නිසාවෙන් මට බස් එක පිටත් වෙනව වත් තේරුනේ නැහැ,සීට් උනත් බාගයක් විතර තමයි පිරිල තිබුනෙ,ඊට පස්සෙ නුග ගහ ලඟ ස්ටෑන්ඩ් එකෙන් තව කීප දෙනෙක් නැග්ග, මගෙ සීට් එකයි තව ඉස්සරහම සීට් දෙක තුනකුයි වගේ තමයි හිස්ව තිබුනෙ,
ඊලඟට නවත්තන්නෙ අලුවිහාරෙ, එතෙනදි කවුද මගේ සීට් එකේ ඉඳගන්නව මට දැනුනු නිසා හෙමිහිට පත්තරේ බැලිල්ල පොඩ්ඩකට නවත්තල ඒ පැත්ත බැලුවා,ප්‍රොෆයිල් එක විතරයි පෙනෙන්නෙ, ඒ කිව්වෙ පැති පෙනුම, ම්ම්ම්............ ප්‍රොෆයිල් එක නම් නරකම නැහැ වගේ, ගුරුවරියක් කියල තමයි හිතෙන්නෙ,ඔසරිය ලා කොළ පාටයි, උකුලෙ තියෙන හෑන්ඩ් බෑග් එක දකුණතින් අල්ලගෙන ඉස්සරහ සීට් එකේ ඇන්ද උඩ පොල්ල වමතින් අල්ලගෙන කෙලින්ම ඉදිරිය බලාගෙන ඉන්නවා,
ඔයිට කලිනුත් ඕන හැටිය ගැහැණු, කෙල්ලො හම්බ වෙලා තිබුනට, බස් වල එක ලඟ වාඩි වෙලා ගිහින් තිබුනට, ඒ කවුරු ගැනවත් මගේ හිතේ විශේෂයක් ඇති උනේ නැහැ, හැබැයි මොකදෝ මංදා, මට මෙයාට කතා කරන්ඩම හිතුනා,නිකම් කලිං දැක පුරුදු ගතියක් වගේ හිතට දැනුනත් එක්ක,අර සංසාර පුරුද්දක්ද මොකක්ද කියන්නෙ, අන්න ඒක වෙන්ඩ ඇති සමහර විට,
මුලිම්ම බැලුවා මුද්දක් එහෙම දාලදෝ කියල, වමත පේන්ඩ තියෙන නිසා ඒක එච්චර අමාරුවක් උනේ නැහැ, සුලඟිල්ලෙ නම් පොඩි මුද්දක් පේනවා, ඒත් ඒක එහෙම එකක් වෙන්ඩ බැහැ, හරි ඒ වැඩේ සාර්ථකයි, දැං ඊලඟ ප්‍රශ්නෙ කොහොමෙයි කතාව පටං ගන්නෙ කියල,
අනික් ප්‍රශ්නෙ තමයි මේ පාරෙ මග දිගට ඉස්කෝල, කතා කරන්ඩත් ඉස්සරවෙලා බැස්සොත් වැඩේ හබක්, අනික කතාකරන්ඩ ගිහිල්ල සවුත්තු වෙන්ඩත් බැහැනෙ, ඔය වාගෙ මගෙ යාලුවෙකුට වුනාය කියන සිද්ධියකුත් මට මතක් උනා, මේ ඇත්තටම වෙච්ච එකක්ද, නැත්නම් හදාපු එකක් ද මන්දා, මෙන්න මෙහෙමයි කතාව, මිනිහාත් ඔය වගෙ ලඟ ඉඳං හිටපු කෙල්ලෙක්ගෙං අහල තියෙනව බස් එකේදි "මිස්, ටීච් කරනවද?" කියල, "නෑ, මම මේ බස් එකේ ඉඳං යනව" ඔන්න හම්බ උනු උත්තරේ, ඒකනෙ, එහෙම වැඩක් උනොත් නම් ඉඳල ඕන නැහැ, මේ බස් එකේ මම දන්න කීප දෙනෙකුත් ඉන්නව, එහෙම උනොත් හතර විළි ලැජ්ජාවයි නෙව,
කොන්දොස්තර ගොයියා ඔන්න ආව සල්ලි එකතු කරන්ඩ, හරි දැං දැන ගත්තහැකි මෙයා බහින තැන, මම කොන්දොස්තරට සල්ලි දුන්නා, මිනිහා මම බහින තැන දන්න නිසා ටිකට් එක දුන්නා, මෙන්න මෙයත් සල්ලි දුන්න, කොන්දොස්තර ඒ විදිහමයි, බහින තැන ඇහුවෙ නැහැ ටිකට් එක දුන්නා, ඒ කියන්නෙ මෙයා නිතර මේ බස් එකේ යන කෙනෙක්, ඒ කාරණේ හොයාගත්තට මට වැඩක් නැහැනෙ, මට ඕන බහින තැන දැන ගන්ඩනෙ, ඉතිං මොකෝ කොරන්නෙ?
මේ වෙලාවෙ බස් එක යන්නෙ ලොකු වංගු තියෙන හරියක, මේ සීට් හදල තියෙන්නෙ දෙන්නෙකුට නෙවෙයි මිනිස්සු එකහමාරකට, මම දැක්ක එයා බොහොම අමාරුවෙං වගෙ සීට් එකේ එල්ලිල ඉන්නව,හරි නැහැ නෙව, මොනව උනත් මනුස්සකම තියෙන්ඩ එපාය, මම පත්තරේ නවල බෑග් එකට දාගත්තා, ඊට පස්සෙ පුලුවන් තරම් ජනේලෙ පැත්තට වුනා, එයා මා දිහා මුල් වතාවට කෙලිං බලල තෑන්ක්ස් කිව්ව, පොඩ්ඩක් හිනා උනා, හ්ම්ම්....., ඉදිරි පෙනුමත් නරකම නැහැ,මමත් හිනා උනා,දැං අපි දෙන්නම ආයෙ ඉස්සරහ බලා ගත්ත, ඔන්න ආයෙ යනව,
ඉස්සරහට එන්නෙ ඉස්කෝල තියෙන හරිය, වහාම කතා කරන්ඩම වෙනවා, මම කතා කලා,
" මිස් ටීච් කරනවද?" එයා දිහා බලල පොඩි හිනාවකුත් දාල එහෙම,ඇහුවා,
" ඔව්" පිළිතුර ආව මද සිනහවකුත් එක්ක, නරකම නැහැ,
ඊ ලඟ ප්‍රශ්නෙ, " කොයි ඉස්කෝලෙද?"
" ........... ඉස්කෝලෙ" හරි, එතනට බස් එක යන්ඩ ටිකක් වෙලා යනව, හොඳටම වෙලාව තියෙනව,
එතකොට මට මතක් උනේ මගෙ ඔෆිස් එකේ යාලුවෙක්ගෙ වයිෆ් වැඩ කරන්නෙත් ඔය ඉස්කෝලෙ කියන එක.
"මගෙ යාලුවෙක්ගෙ වයිෆ් ඔය ඉස්කෝලෙ උගන්නව, දන්නවද .........ව?"
"අපෝ, එයා මගෙ හොඳ යාලුවෙක්නෙ, ප්‍රයිමරි එකට උගන්නන්නෙ,"
"දැං එතකොට මේ වෙලාවට ගිහිල්ල ඇද්ද, දැනටම නමයහමාරත් පහු වෙලානෙ"
"ඇති, මම ෆිසිකල් ට්‍රේනිං නෙ කරන්නෙ, ඒ නිසා ප්‍රින්සිපල් මට කියල තියෙන්නෙ පරක්කු වෙලා ආවට කමක් නැහැ කියල"
ඔන්න, කතා කරන්ඩ පොටක් අහු උනා, මේ පාරෙ දිගටම තියෙන්නෙ දුෂ්කර කියල වර්ග කරපු ඉස්කෝල, මුල් පත්වීම් ලැබුනු අය අනිවාර්ය දුෂ්කර සේවා කාලයක් සම්පූර්ණ කරන්ඩ ඕනෙ කියල ඒ කාලෙ නියමයක් තිබුනු නිසා, මාතලේ නුවර වගෙ පලාත් වලින් ගුරුවරු, ගුරුවරියො සෑහෙන්ඩ මේ පැත්තෙ ඉස්කෝල වල ඉගැන්නුව, ඉගැන්නුව කියනවට වඩා හොඳයි පොත අත්සන් කලා කියන එක, මොකද මේ වැඩි දෙනෙක් කලේ උදේ පරක්කු වෙලා ඇවිත් හවස පුලුවන් තරම් කලින් ගෙවල් බලා යන එක, මම ඇත්තටම හිටියෙ මේ වැඩේ ගැන හරිම තරහකින්,
"ඉතිං, එහෙම පුලුවන්ද, පරක්කු වෙලා රාජකාරියට එන්ඩ, නියම වෙලාවක් තියෙනවනෙ වැඩට එන්ඩයි, යන්ඩයි?" මම ඇහුවා,
"ප්‍රින්සිපල් මට ඒකට අවසර දීල තියෙන්නෙ,අනික ඔයා මොකටද ඒ ගැන කරදර වෙන්නෙ?, ඔයා මම දැක්කෙත් අදමයි, "
"මේකනෙ මිස්, මම දැකපු දවසෙන් වැඩක් නැහැනෙ, මම කියන්නෙ ඇත්තද, නැද්ද, කියන එකනෙ වැදගත්, බොරුද?"
"මොකක්ද දැං ඔය ඔයා කියන ඇත්ත?, මම පරක්කු වෙලා ගියාට මම හවස ඉස්කෝලෙන් පස්සෙ ළමයින්ට ක්‍රීඩා පුහුණු වැඩ කරනවනෙ, ඉතිං මොකක්ද ප්‍රශ්නෙ?"
එයා ටිකක් තරහෙන් වගේ කතා කලේ, දෙයියෝ සාක්කි, මම වැඩේ සවුත්තු කර ගත්තා වද්ද? වහාම ඩැමේජ් කන්ට්‍රෝල් මෝඩ් එකට යන්ඩ වෙයි වාගෙ, වැඩේ ෂේප් කර ගන්ඩ ඕන මොනව කරල හරි,
"නැහැ, මිස් ගැන පෞද්ගලිකව නෙවෙයි මම කිව්වෙ, ඔයා හරියට රාජකාරිය කරනව ඇති, ගොඩක් දෙනෙක් එහෙම කරන්නෙ නැහැ, ඒකයි මම කිව්වෙ"
"ඔව්, එහෙම කරන අයත් නැත්තෙමත් නැහැ "එයා මගේ දිහා බලල හිනාවෙලා එකඟ උනා,හරි යන්තම් වැඩේ ෂේප් වගේ,
මමත් එයා දිහා බලල හිනා උනා,
මේ වෙනකොට කතාවෙන් කතාවෙන් ඔන්න එයා බහින තැනටත් ආව,
"මම බහින්නම්" කියල එයා බැස්සා,
බැහැල මට හිනා වීගෙනම පාර හරහා මාරුවෙලා ඉස්කෝලෙ ගේට්ටුවෙන් ඇතුල් උනා,
මමත් හිනාවීගෙන එයා දිහාවම බලාගෙන හිටියා,
ඇය හා මා හමු වූ මුල්ම දිනය පිළිබඳව මසිතේ නොමැකෙන සේ සටහන් වී ඇති සේයාවන් නැවත පෙලගැස්වුමකි මේ.
අද ඇගේ උපන් දිනය නිසාවෙන් මේ සටහන තැබූයෙමි.
Incidents occur everyday in our life,
Most of them are ordinary, everyday happenings,
But once in a blue moon, an incident may be life defining,
And you only get to realize it in retrospect,
Well, I can say with all my heart, that was my life defining moment indeed,






