ඔව්.... එදා මුළු වනාන්තරයටම සතුටු දවසක්. කාලාන්තරයකින් උදා වෙන සතුටු දවසක්. පුංචි පුංචි සත්තු, ඒ කිව්වේ හාවෝ, මි මින්නෝ, ඉබ්බෝ, වගේ වයස ගියත් ප්‍රමාණෙන් කුඩා සත්තු වගේම මුවන්, ගෝනුන්, ජිරාෆ් වගේ ප්‍රමාණෙන් විශාල සත්තුත්, තාරාවෝ, පාත්තයෝ, හංසයෝ ආදී කුරුළු පැලැන්තියත් හරිම උද්යෝගයෙන් හිටියේ. මුළු වනාන්තරය පීරාවත් සොයා ගත නොහැකි, අවුරුදු ගණනාවකින් කිසිම කෙනෙකු දැක නොමැති කපටි රාජ, සුත්තරකාර, කෛරාටික නරියා, කාලෙකට පසු සිංහයා විසින් සොයා ගැනීම තමයි මේ සතුටු දවසට හේතුව.

කිසිදා නරියෙකු නොදැකපු, පරම්පරා ගණනක් වයස සත්තුත් මේ වනාන්තරයේ සිටියා. ඉතිං දැන් මේ සූදානම, "නරියෙකු දෑහට දැකලා නැහැ" යන ලෝකාපවාදයෙන් ඒ සත්තු මුදා ගැනීමේ මහා මෙහෙයුමයි.

ඒ සඳහා කවදාත් වගේ සිංහයා, කොටියා, වෘකයා ආදී වූ ප්‍රභූ පැලැන්තිය මූලික වුනා. ඒ සඳහා වේදිකා නිමැවීම, ආසන පැනවීම, අවට පිරිසිදු කිරීම වගේම ඉහත සඳහන් කරන්නට යෙදුනු සතුන්ට, සංදර්ශනය අතරතුරදී අවශ්‍ය වන ආහාරපානාදීය සූදානම් කිරීමටත් ප්‍රභූ පැලැන්තියේ අනුදැනුම මත හයිනා, දිය බල්ලා, අඳුන් දිවියා ආදීන් දිවා රෑ නොබලා වෙහෙසුනා.
නරියා යනු මහා සම්මත රජ්ජුරුවන්ගේ කාලයේ පටන් ම සිටි කෛරාටිකයාය. නූල් සුත්තර කාරයාය. ලබු කිරිබත් කෑමට ගොස් මට්ටු වුවත්, මිදි කන්නට ගොස් ලැජ්ජාවට පත් වුවත්, කපුටා රවටා කේජූ කෑල්ල ගන්නට තරම් නොපසුබට ලෙස කපටි කමේ යෙදුනෙකි. මගුල් කන්නට ගොස් වැඩේ වන වුවත් එතැනින් නොනැවතී, ගම දියැණිය පෙලවහට ගන්නට ගොස් වැඩ වරද්දා ගත්තේද මේ නරියාය. කපටි කම කොතැනද එතැන නරියාය. නරියා කොතැනද එතැන කපටි කමය. ඉතිං කාලාන්තරයක් අතුරුදන්ව සිටි මේ කපටියා කොහෙන් හෝ මතුව කෙසේ හෝ සිංහයාගේ රැහැනට හසුව තිබෙන මොහොතේ වහ වහා ගොස් බලා ගත යුතුය.
මේ පිළිබඳව දැන්වීම් වනාන්තරයේ ගස් වල දිස් වෙන්න පටන් ගත්තා. සංවිධායක කමිටුව සේම ප්‍රේක්ෂක සත්ත්වයනුත් හරිම උද්යෝගයෙන් දිනයට සූදානම් වුනා. තම තමන්ගේ පැටවුන් ට අවශ්‍ය ආහාර පානාදිය වාසස්ථානයේ තබා වන මැදට පිටත්ව යන්නට සියලු සතුන් සූදානම් වුනා. සමහර සතෙකුට මෙය දින දෙක තුනක ගමනක් වුනත් කිසිම සතෙකු පසු බට වුනේ නැහැ. ඒ මක් නිසාද කිවහොත් මේ මහා කපටියා, සිංහයාගේ ඇස් වසා වහා වහා අතුරුදන්ව සැඟව යන්නට ඉඩ ඇති නිසාය.
ඉතිං දිනය උදා වුනා. මහා හිමිදියේ පිටත්ව සියලුම සතුන් වේදිකා බැඳි ස්ථානයට රොක් වන්නට වුනා. වෘකයා, සතුන් එකිනෙකා දොරින් ඇතුලු කලේ ඔවුන්ගේ විස්තර ලබා ගනිමිනුයි. වේදිකාව විශාල කවාකාර හැඩ ගත්තක්. ඒ කවය වටේ වූ විශාල ගස් එකිනෙක ඇද, කවයේම යාබද ගස් හී ගැට ගසා, ඉහලින්, දෙපස ඇති ගස් වල අතු ඇද රැහැන් වලින් ගැට ගසා හැකි පමණ සංවෘතව වේදිකාව නිමවන්නට සංවිධායක මණ්ඩලය වෙහෙස ගත්තේ නරියා පුංචි හිලකින් හෝ පැන යාමට හැකි නිසා බව දැනුවත් සතුන් විස්තර කරන්නට පටන් ගත්තා.
සියලුම සතුන් තම තමන්ට පනවා තිබුණු ආසන මත හිඳ ගත් පසු, නිශ්ෂබ්ද වීමේ විධානය ඇසුනා. පලින් පල දැල්වී තිබුනු පහන් නොවෙයි නම් සංවෘත ශාලාව සම්පූර්ණයෙන්ම අඳුරු වනු ඇති. මද වේලාවකින් කූඩුවක් ඔසවාගෙන හයිනාත් වෘකයාත් සෙමින් සෙමින්, ලී වැට මගින් ආවරණය කරන ලද වේදිකාව මතට පැමිණුනා. සියල්ලෝම ඉහලට ගත් සුසුම රඳවාගෙන, දෙනෙත් නෙරවාගෙන කූඩුව දෙස බලා සිටියේ උන් හිටි තැන් පවා අමතකව ගිය අයුරින්.
කූඩුව වේදිකාවේ ස්ථාන ගත කල දෙදෙනා පහන් හතරක් පහක් ගෙනැවිත් එය අසලින් තැබුවේ සතුන්ට කපටි රාජ, කෛරාටික, නූල් සූත්තරකාර නරියා නිසි අයුරින් දර්ශනය වන ලෙසින්.අනතුරුව කූඩුවේ දොර හැරි ඔවුන් දෙදෙනා වේදිකාවෙන් ඉවත්ව වේදිකාවේ දොර වසනු ලැබුවා.

ඔන්න සතා !!!. කාලාන්තරයක් සැඟව වාසය කල, කපටි රාජ, කෛරාටික, නූල් සූත්තරකාර නරියා, සෙමින් සෙමින් කූඩුවෙන් එළියට විත් වේදිකාව පුරා සරන්න ගත්තා. උපන් තේකට දැක නැති තරමේ තියුණු, කපටි ඇස්. කට්ට කෛරාටික හිනාව. සෙමින් වැනෙන වලිගය. මේ සතා හරියට සරන්නේ, කාට අංචියක් අදින්නෙම්දැයි කල්පනා කරමින් වාගේය.
අං දෙකක් ඇති, විශාල කුර ඇති, අලියෙකු සේ දැවැන්ත සතෙකු ලෙස නරියා ගැන සිතා සිටි අය නම් මද පමණින් අපේක්ෂාභංගත්වයට පත් වෙලාද මන්දා. එහෙත් කිසිදාක නැති ආකාරයේ සතෙකු නිසා සියල්ලෝම මීයට පිම්බාක් සේ නරියා දෙසම බලා සිටියි. මේ අතරේ නරියා ගැන අර්ථ කථනයක් දෙමින්, වේදිකාවට පිටතින්, වේදිකාව වටා ගමන් කරන්නේ කොටියාය. සියලුම අර්ථ කථනයන්ගෙන් කියැවුනේ, මහ සම්මත රජ්ජුරුවන්නේ කාලයේ පටන් නරියා කල යස කපටි කම්ය. ඒ හැම එකක් අවසානයේදීම මේ සතා කොයි මොහොතේ හෝ අතුරුදහන් විය හැකි බවට අනතුරු හඟවන්නටද කොටියා අමතක කලේ නැත.
කොටියා දෙස මොහොතක් බලා සිටි නරියා හූ....... හූ......... කියමින් සුපුරුදු කෑ ගැසීම පටන් ගත්තා. අනෙක් සත්තු සැනෙකින් කලබලයට පත් වුනා. සමහරෙක් දුව යන්නට උත්සහ කලා. ඒත් විචක්ශණශීලි කොටියා සහ සිංහයා සියල්ලෝම සන්සුන් කලේ, ඒ නරියාගේ හැටි සොභාව බව කියමින්. මේ හූ........... ගෑමේ අදහස මද වේලාවකින් "නරියා සිය කපටි කම් භාවිතා කොට සැඟව යන්නට අර අදින බවය" කියමින් සිංහයා තව දුරටත් කරුණු පැහැදිලි කලා.
හෝරාවක් පමණ සංදර්ශනය පැවතුනා. හෝරා භාගයක් පමණ නරියා කෑ ගැසුවා. "පේනවද මුගේ තියෙන කපටි පෙනුම. ඒ වගේම තමයි කෑ ගැහිල්ලත්" කියමින් සතුන් එකිනෙකා හා පවසා ගත්තා.
කාලය ගත වුනා. විටින් විට සිහි කෙරුණු මොහොත එක් වනම පැමිණුනා. වෙදිකාව මැද විවරයක් තුලින් නරියා එක් වරම නොපෙනී ගියා. "අන්න පැන්නා අන්න පැන්නා" කියමින් සතුන් සියලුම දෙනා තමන්ගේ ආසන වලින් නැගිට වේදිකාව දෙසට ලං වුනා. ඒත් නරියා ගිය අතක් සොයා ගන්නට නම් බැරි වුනා.
සංවෘත වේදිකාව විවෘත කරමින්, කවය වටා වේදිකාව දෙසට නැමී තිබුනා වූ ගස් එක් වනම කෙලින් වූවා. සතුන් සේරම උඩ ගොස් බිම වැටුනා සේ දැනුනද බිමට නම් වැටුනේ නැහැ. කවය වටා වූ ගස් වල ඉහලින් ගැට ගසා තිබුණු රැහැන් මගින් රැඳුනු, අති විශාල දැලක් මතට සියලුම සතුන් වැටුනා. ඔවුන් එකිනෙකාගේ ඇඟ මතට වැටී තුවාල ලබා තෙරපී දැල තුල පොළොවට අඩි 5ක් පමණ ඉහලින් පැද්දි පැද්දි සිටියා. ඒ වැටුනු වැටිල්ල නිසාම කුරුළු පැලැන්තියත් තෙරපී ගියා මිස ගැලවී බේරෙන්නට හැකියාවක් ලැබුවේ නැහැ. සිංහයාත්, වෘකයාත්, කොටියාත්, හයිනාත්, දියබල්ලාත්, අඳුන් දිවියාත් දැල වටා නරි හිනා පාමින් සක්මන් කරන අයුරු සතුන් අතුරින් එකෙකු දෙන්නෙකු දුටුවා.
****************************
මම වෙමි නරියා එහි නැත දෝස
තම වැඩ බලා කටයුතු කලා මිස
කමකට නැති වැඩ කර නැත කිසිම ලෙස
යම රජ හමුවේ වුව දිවුරමි එලෙස
දැක ගන්නට දැක නැති නරියෙකු ආවේ අද
කර ගන්නට වෙන වැඩ නුඹලා හට නැතිවාද
අල්ලන්නට දැල් එලු සැම ගැන දන්නවද
කල් යන්නට මත්තෙන් පැන දුවනවද
නුඹලා මෝඩ රැළ මක්කද කරන්නේ
හිවලා නැත කිසි ලෙස හැංගෙන්නේ
මරළා තොපි රැළ මුං අද කන්නේ
කවලා හැදූ දරුවන් කොහොමද රැකෙන්නේ
මේ බස අහෝ මිතුරනි ! කන් දී අසන්නේ
මේ දෙස නුඹලා හට අවැඩම වන්නේ
මේ ලෙස දස දහසක් කල් සිදු වන්නේ
මේ පස රැඳී නුඹ මව්පිය ලෙය හඬන්නේ
පෙන්වන දෙය දෙස මිස ඇඟිලි දෙස
නොතබන ලෙස නුඹගේ නියම ඇස
පවසන දනන් සිටියත් ලොව සතර දෙස
පළමුව බලනු ! ඇඟිල්ල හිමි කෙනා දෙස
******************************* නරියා හූ හූ......... කියමින් කියූ කව, සදාකල්හීම වනාන්තරයේ ගස් අතර රැව් පිළිරැව් දේවී. දස දහසක් කල් මේ සංසිද්ධිය සිදු වුනා සේම පෙර සිටි නරි කී කවිත් දිගින් දිගටම රැව් පිළි රැව් දුන්නා. ඉදිරියටත් එසේම වේවි. එහෙත් ඒවාට කන් දෙන්නවත්, තේරුම් ගන්නවත්, පසු පරම්පරාව දැනුවත් කරන්නවත් කිසිම කෙනෙකුට හැකියාවක් නොලැබෙන්නේ, මරු තුරුලට ආසන්න වූ මොහොතේදී පමණක් සත්‍යය වැටහෙන නිසාවෙනි.
මේ කථාවේ නරියා නැවතත් සිංහාදීන්ගේ කරමතින් සුපුරුදු ගල් ගුහාවට යැවුනා. තමන්ගේ හිතැති සහෝදර නරීන් සමගින් ඔහු නැවතත් එක් වුනා. ඒ වගේම ඉහත කවිය තමන්ගේ පසු පරම්පරාවට මුඛ පරම්පරාවෙන් ගෙනියන්නට ද ඔහු අමතක කලේ නැත්තේ, කිසි දිනෙක දැක නැති තමන්ට නාම මාත්‍රයෙන් පවා වෛර කරන, පිටත ලෝකයේ සත්ත්වයන් ගැන උපන් අනුකම්පාවෙනි.