Monday, November 14, 2011

සුභ උපන් දිනයක් වේවා !!!

අද නිදහස් සිතුවිලි හී නිවැසි,
බ්ලොග්කාර,
කවිකාර,
කතන්දරකාර,
රවී වීරසිංහ නම් වූ අප ලබැඳි මිතුරාගේ උපන්දිනයයි.

මීට වඩා බොහොම දිග ලිපියකින් සුභ පතන්න හිටියේ.
එය කියවා ඔබට චුට්ටක් විතර හිනා වෙලා, විනෝද වෙන්න තිබුනා.
එහෙත් අපේ තවත් ලබැඳි මිතුරෙකුගේ පියාණන්ගේ අභාවය
හේතුකොටගෙන එම ලිපිය පල කිරීම කල් දමන්නට සිතුවා.
කල් දැමුවා පමණයි !
මේ මාසය අවසන් වන්නට පෙර එය පළ වේවි.



ඉතිං එන්න අපේ රවීට සුභ පතමු !!!

HAPPY BIRTHDAY DEAR RAVI

!!!!!!!


Tuesday, November 8, 2011

89. 'දස' කථාව 'විසි' වූ හැටි

කථා අංක 01

පළමු වැසියා : මං කොච්චර මහන්සි වුනාද එයාට ඔය රස්සාව ‍හදලා දෙන්න. මං නැත්තං කරයි එයා රස්සා...... දැන් ඒකටත් එක්ක. අනේ කාලේ වනේ වාසේ කියන්නේ මෙව්වට තමයි

දෙවන වැසියා : අම්මෝ... දෙයියෝ මගේ මූණ බලලා මට රස්සාව ලැබුනා. ඔය ඉන්ටර් වීව් එකට යන්න කලින් දවසේ මං බෝධි පූජාවක් තිබ්බා. දේවාලෙට ගිහින් භාරත් වුනා. ඒවායේ පිහිට තමයි ඉතිං



**********************

කථා අංක 02

a වැසියා : ඒක තමයි කියන්නේ. අපි බොහොම හොඳින් ජීවත් වෙන මිනිස්සු. මට වැරැද්දක් කලොත්, ඒකාට හොඳක් වෙලා නැහැ. ඔය පේනවානේ ඉතිං. ඒත් උන්දැ බැන්නා කියලා මගේ හිතේ වෛරයක් නැහැ. ඒකයි ඔය අතක් කැඩිලා ඉතිරි වුනේ.

b වැසියා : මං කාටවත් වරදක් කරන්නේ නැහැ. දැන් මේ ඇක්සිඩන්ට් එකම බලපං. වෙන එකෙක් නං මැරිලා. වැරැද්දක් නැති නිසා තමයි මේ අතක් කැඩිලා බේරුනේ.




**********************

කථා අංක 03

I වැසියා : අනේ අම්මාපල්ලා විලි සංගේ නැති එවුන්. පේනවද අර කෙල්ල ඇඳන් යන ඇඳුම. උඩටත් නැහැ පහළටත් නැහැ.

II වැසියා : අර බලන්නකෝ අර ඇන්ටිලා බලන් ඉන්න හැටි. ඉරිසියාවෙද කොහිද, ඇයි ඉතිං එයාලාගේ කාලේ මේ පැට්න් තිබුනේ නැහැනේ.... හි හි හි



**********************

කථා අංක 04

A වැසියා : අපි ගත්තා විතරයි, ඉස්සරහ ගෙදර අයටත් ගන්න ඕනෑ වුනා කාර් එකක්. එදා ඉඳන්ම අපිව කොපි කරපු එක තමයි කලේ. ඔය ගේට්ටුවත් අපේ එක කොපි කරලා තමයි හැදුවේ.

B වැසියා : ඉස්සරහ ගෙදර අක්කා හැම තැනම කියනවාය කියන්නේ අපි එයාලාව කොපි කලා කියලා. හරි වැඩේනේ. ලෝකේ මුල්ම කාර් එක අරං තියෙන්නෙත් එයාලා, මුල්ම ගේට්ටුව දාලා තියෙන්නෙත් එයාලා. හිහ් හිහ් හිහ්



*********************

කථා අංක 05

1 වැසියා : මචං මං අරූට දුන්නා ඇට්ටි හැලෙන්ඩ. හැරෙන හැරෙන පැත්තට දුන්නා. ඌ හිතුවා මදි මාත් එක්ක වාද කරන්න. හිමීන් මාරු වෙලා ගියා. හෙහ් හෙහ් හෙහ්

2 වැසියා : පිස්සුද මචං. ඌ මහ අමුම අමු පිස්සෙක්. මං ටිකක් කථා කරලා බැලුවා. ඔය වගේ හරක් එක්ක වාද කරලා වැඩක් නැහැ බං. මං එතැනින් මාරු වුනා.



*********************
කථා අංක 06

අ වැසියා : මිනිහා ගිය උඩ. කොහොම හිටපු එකෙක්ද, ප්‍රොමෝෂන් එකත් එක්ක මිනිහා දැන් යන්නේ අඩි තුන හතරක් උඩින්. බලමුකෝ බලමුකෝ. අපිත් ඉන්නේ මේ රටේනේ

ආ වැසියා : ඉස්සර වගේ බැහැ දැන්. රෙස්පොන්සිබිලිටි වැඩි වෙලා. හැම කෙනාවම අතේ දුරින් තියා ගන්න වෙලා තියෙන්නේ. නැත්තං ඩියුටි එක හරියට කරන්න බැරි වෙනවා. ඩියුටි එකේදි යාළු කං බලලා බැහැ.



*********************

කථා අංක 07

පොඩි වැසියා : අම්මලා තාත්තාලා අපට යමක් කමක් හොයලා තියලා තිබුනා නං අද කොච්චර ලේසිද අපට. මෙච්චර නහින්න ඕනෑද, අල්ලපු ගෙදර කට්ටිය කොච්චර ලේසි පාසුවෙන් ජීවත් වෙනවද? අපි තාම පටන් ගත්ත තැන

ලොකු වැසියා : අපිත් ගොඩ නැගුනේ අපේ විහින්. දුක් විඳලා, ගෙවල් දොරවල් හදාගෙන, යාන වාහන අරගෙන, දරුවෝ හදාගෙන සේරම කර ගත්තේ අපි දෙන්නා. දරුවොත් දැන් තමන්ගේ ලෝක තමන්ම හදා ගන්ට ඕ‍නා. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. නැත්තං ලේසි පාසුවට ගියහම ආඩ තාලෙට යනවා.




*********************

කථා අංක 08

1.1 වැසියා : නොගිහිනුත් බැහැ. ගියේ නැත්තං තැන් තැන් වල ආඩපාලි කිය කියා යයි. ඔන්න ඔහේ ගිහින් එමු.

1.2 වැසියා : මං නැත්තං ‍උන්දැලා මැරිච්චි තැන් වල ගසුත් පැල වෙලා. ඒකනේ අවුරුද්දකට සැරයක් බරටම අරගෙන මගේ කකුල් දෙක ගාවට එන්නේ.



*********************

කථා අංක 09


මයිනර් වැසියා : එව්වා හ‍ඳේ. අලුතින් ඇවිල්ලා අපිට පාර්ට් දාන්න ! අපි එදා ඉඳන් හිටපු මිනිස්සු. අද්දියක්සතුමාත් මාත් එක්ක අඩි ගහලා තියෙනවා. අද ඊයේ ආපු එවුන් කොහිද අපිත් එක්ක හැප්පෙන්නේ?

සීනියර් වැසියා : මේ ඔෆිස් එකේ ඩිසප්ලීන් නම් අන්තිමයි. මයිනර් ස්ටාෆ් එකට කියලා තේ එකක්වත් ගෙන්න ගන්න බැහැ. ඩිරෙක්ටර්ස්ලාගේ වැරදි තමයි ඉතිං. ඉදිරියේදී මං මේ ගැන නිසි පියවර ගන්නවා.





*********************

කථා අංක 10

ආනා වැසියා : ඔයැලැයි අම්මලා අර කුඹුක් ගහ කෑල්ල මල්ලිට ලිව්වානේ. යස කුඹුරු කෑල්ල. ඉන්නකං කන්න අස්සද්දන්න පුළුවන්. කොච්චර වුනත් ඔයා ඒක අස්සද්දන්න වෙච්චි මහන්සිය හිතලාවත් අම්මලාට ඒක අපට දෙන්න තිබුනා. තේක්ක කෑල්ලෙන් මොනවා කරන්නද අපි? ඔය තේක්ක පැල වලට සාත්තු කර කර ඉන්න තමයි වෙන්නේ ඔයාට හැමදාම

ආවන්නා වැසියා : බලන්න අච්චර වටිනා තේක්ක කෑල්ල, අයියාට ලිව්වානේ. ඔයාට මේ වෙල දීලා. දැන් ඉතිං අස්සද්දපංකෝ පණ දාගෙන. අයියා යසට තව අවුරුදු 8කින් 10කින් ගස් ටික කපලා කෝටිපතියෙක් වෙයි. ඔයා? ඔයා නිකම්ම නිකං ගොයියා තමයි ඉතිං.



**********************

මේ කථා ටික කියවලා, මහා නරි දැක්ම දැක ගන්න බැරි වුනා නං ඒකත් බලලාම යන්න එහෙනං

Monday, November 7, 2011

88. මහා නරි දැක්ම

ඔව්.... එදා මුළු වනාන්තරයටම සතුටු දවසක්. කාලාන්තරයකින් උදා වෙන සතුටු දවසක්. පුංචි පුංචි සත්තු, ඒ කිව්වේ හාවෝ, මි මින්නෝ, ඉබ්බෝ, වගේ වයස ගියත් ප්‍රමාණෙන් කුඩා සත්තු වගේම මුවන්, ගෝනුන්, ජිරාෆ් වගේ ප්‍රමාණෙන් විශාල සත්තුත්, තාරාවෝ, පාත්තයෝ, හංසයෝ ආදී කුරුළු පැලැන්තියත් හරිම උද්යෝගයෙන් හිටියේ. මුළු වනාන්තරය පීරාවත් සොයා ගත නොහැකි, අවුරුදු ගණනාවකින් කිසිම කෙනෙකු දැක නොමැති කපටි රාජ, සුත්තරකාර, කෛරාටික නරියා, කාලෙකට පසු සිංහයා විසින් සොයා ගැනීම තමයි මේ සතුටු දවසට හේතුව.


කිසිදා නරියෙකු නොදැකපු, පරම්පරා ගණනක් වයස සත්තුත් මේ වනාන්තරයේ සිටියා. ඉතිං දැන් මේ සූදානම, "නරියෙකු දෑහට දැකලා නැහැ" යන ලෝකාපවාදයෙන් ඒ සත්තු මුදා ගැනීමේ මහා මෙහෙයුමයි.



ඒ සඳහා කවදාත් වගේ සිංහයා, කොටියා,
වෘකයා ආදී වූ ප්‍රභූ පැලැන්තිය මූලික වුනා. ඒ සඳහා වේදිකා නිමැවීම, ආසන පැනවීම, අවට පිරිසිදු කිරීම වගේම ඉහත සඳහන් කරන්නට යෙදුනු සතුන්ට, සංදර්ශනය අතරතුරදී අවශ්‍ය වන ආහාරපානාදීය සූදානම් කිරීමටත් ප්‍රභූ පැලැන්තියේ අනුදැනුම මත හයිනා, දිය බල්ලා, අඳුන් දිවියා ආදීන් දිවා රෑ නොබලා වෙහෙසුනා.

නරියා යනු මහා සම්මත රජ්ජුරුවන්ගේ කාලයේ පටන් ම සිටි කෛරාටිකයාය. නූල් සුත්තර කාරයාය‍. ලබු කිරිබත් කෑමට ගොස් මට්ටු වුවත්, මිදි කන්නට ගොස් ලැජ්ජාවට පත් වුවත්, කපුටා රවටා කේජූ කෑල්ල ගන්නට තරම් නොපසුබට
ලෙස කපටි කමේ යෙදුනෙකි. මගුල් කන්නට ගොස් වැඩේ වන වුවත් එතැනින් නොනැවතී, ගම දියැණිය පෙලවහට ගන්නට ගොස් වැඩ වරද්දා ගත්තේද මේ නරියාය. කපටි කම කොතැනද එතැන නරියාය. නරියා කොතැනද එතැන කපටි කමය. ඉතිං කාලාන්තරයක් අතුරුදන්ව සිටි මේ කපටියා කොහෙන් හෝ මතුව කෙසේ හෝ සිංහයාගේ රැහැනට හසුව තිබෙන මොහොතේ වහ වහා ගොස් බලා ගත යුතුය.

මේ පිළිබඳව දැන්වීම් වනාන්තරයේ ගස් වල දිස් වෙන්න පටන් ගත්තා. සංවිධායක කමිටුව සේම ප්‍රේක්ෂක සත්ත්වයනුත් හරිම උද්යෝගයෙන් දිනයට සූදානම් වුනා. තම තමන්ගේ පැටවුන් ට අවශ්‍ය ආහාර පානාදිය වාසස්ථානයේ තබා වන මැදට පිටත්ව යන්නට සියලු සතුන් සූදානම් වුනා. සමහර සතෙකුට මෙය දින දෙක
තුනක ගමනක් වුනත් කිසිම සතෙකු පසු බට වුනේ නැහැ. ඒ මක් නිසාද කිවහොත් මේ මහා කපටියා, සිංහයාගේ ඇස් වසා වහා වහා අතුරුදන්ව සැඟව යන්නට ඉඩ ඇති නිසාය.

ඉතිං දිනය උදා වුනා. මහා හිමිදියේ පිටත්ව සියලුම
සතුන් වේදිකා බැඳි ස්ථානයට රොක් වන්නට වුනා. වෘකයා, සතුන් එකිනෙකා දොරින් ඇතුලු කලේ ඔවුන්ගේ විස්තර ලබා ගනිමිනුයි. වේදිකාව විශාල කවාකාර හැඩ ගත්තක්. ඒ කවය වටේ වූ විශාල ගස් එකිනෙක ඇද, කවයේම යාබද ගස් හී ගැට ගසා, ඉහලින්, දෙපස ඇති ගස් වල අතු ඇද රැහැන් වලින් ගැට ගසා හැකි පමණ සංවෘතව වේදිකාව නිමවන්නට සංවිධායක මණ්ඩලය වෙහෙස ගත්තේ නරියා පුංචි හිලකින් හෝ පැන යාමට හැකි නිසා බව දැනුවත් සතුන් විස්තර කරන්නට පටන් ගත්තා.

සියලුම සතුන් තම තමන්ට පනවා තිබුණු ආසන මත හිඳ ගත් පසු, නිශ්ෂබ්ද වීමේ විධානය ඇසුනා. පලින් පල දැල්වී තිබුනු පහන් නොවෙයි නම් සංවෘත ශාලාව සම්පූර්ණයෙන්ම අඳුරු වනු ඇති. මද වේලාවකින් කූඩුවක් ඔසවාගෙන හයිනාත් වෘකයාත් සෙමින් සෙමින්, ලී වැට මගින් ආවරණය කරන ලද වේදිකාව මතට
පැමිණුනා. සියල්ලෝම ඉහලට ගත් සුසුම රඳවාගෙන, දෙනෙත් නෙරවාගෙන කූඩුව දෙස බලා සිටියේ උන් හිටි තැන් පවා අමතකව ගිය අයුරින්. කූඩුව වේදිකාවේ ස්ථාන ගත කල දෙදෙනා පහන් හතරක් පහක් ගෙනැවිත් එය අසලින් තැබුවේ සතුන්ට කපටි රාජ, කෛරාටික, නූල් සූත්තරකාර නරියා නිසි අයුරින් දර්ශනය වන ලෙසින්.අනතුරුව කූඩුවේ දොර හැරි ඔවුන් දෙදෙනා වේදිකාවෙන් ඉවත්ව වේදිකාවේ දොර වසනු ලැබුවා.


ඔන්න සතා !!!. කාලාන්තරයක් සැඟව වාසය කල, කපටි රාජ, කෛරාටික, නූල් සූත්තරකාර නරියා, සෙමින් ‍සෙමින් කූඩුවෙන් එළියට විත් වේදිකාව පුරා සරන්න ගත්තා. උපන් තේකට දැක නැති තරමේ තියුණු, කපටි ඇස්. කට්ට කෛරාටික හිනාව. සෙමින් වැනෙන වලිගය. ‍මේ සතා හරියට සරන්නේ, කාට අංචියක් අදින්නෙම්දැයි කල්පනා කරමින් වාගේය.


අං දෙකක් ඇති, විශාල කුර ඇති, අලියෙකු සේ දැවැන්ත සතෙකු ලෙස නරියා ගැන සිතා සිටි අය නම් මද පමණින් අපේක්ෂාභංගත්වයට පත් වෙලාද මන්දා. එහෙත් කිසිදාක නැති ආකාරයේ සතෙකු නිසා සියල්ලෝම මීයට පිම්බාක් සේ නරියා දෙසම බලා සිටියි. මේ අතරේ නරියා ගැන අර්ථ කථනයක් දෙමින්, වේදිකාවට පිටතින්, වේදිකාව වටා ගමන් කරන්නේ කොටියාය. ‍සියලුම අර්ථ කථනයන්ගෙන් කියැවුනේ, මහ සම්මත රජ්ජුරුවන්නේ කාලයේ පටන් නරියා කල යස කපටි කම්ය. ඒ හැම එකක් අවසානයේදීම මේ සතා කොයි මොහොතේ හෝ අතුරුදහන් විය හැකි බවට අනතුරු හඟවන්නටද කොටියා අමතක කලේ නැත.


කොටියා දෙස මොහොතක් බලා සිටි නරියා හූ....... හූ......... කියමින් සුපුරුදු කෑ ගැසීම පටන් ගත්තා. අනෙක් සත්තු සැනෙකින් කලබලයට පත් වුනා. සමහරෙක් දුව යන්නට උත්සහ කලා. ඒත් විචක්ශණශීලි කොටියා සහ සිංහයා සියල්ලෝම සන්සුන් කලේ, ඒ නරියාගේ හැටි සොභාව බව කියමින්. මේ හූ........... ගෑමේ අදහස මද වේලාවකින් "නරියා සිය කපටි කම් භාවිතා කොට සැඟව යන්නට අර අදින බවය" කියමින් සිංහයා තව දුරටත් කරුණු පැහැදිලි කලා.


හෝරාවක් පමණ සංදර්ශනය පැවතුනා. හෝරා භාගයක් පමණ නරියා කෑ ගැසුවා. "පේනවද මුගේ තියෙන කපටි පෙනුම. ඒ වගේම තමයි කෑ ගැහිල්ලත්" කියමින් සතුන් එකිනෙකා හා පවසා ගත්තා.


කාලය ගත වුනා. විටින් විට සිහි කෙරුණු මොහොත එක් වනම පැමිණුනා. වෙදිකාව මැද විවරයක් තුලින් නරියා එක් වරම නොපෙනී ගියා. "අන්න පැන්නා අන්න පැන්නා" කියමින් සතුන් සියලුම දෙනා තමන්ගේ ආසන වලින් නැගිට වේදිකාව දෙසට ලං වුනා. ඒත් නරියා ගිය අතක් සොයා ගන්නට නම් බැරි වුනා.


සංවෘත වේදිකාව විවෘත කරමින්, කවය වටා වේදිකාව දෙසට නැමී තිබුනා වූ ගස් එක් වනම කෙලින් වූවා. සතුන් සේරම උඩ ගොස් බිම වැටුනා සේ දැනුනද බිමට නම් වැටුනේ නැහැ. කවය වටා වූ ගස් වල ඉහලින් ගැට ගසා තිබුණු රැහැන් මගින් රැඳුනු, අති විශාල දැලක් මතට සියලුම සතුන් වැටුනා. ඔවුන් එකිනෙකාගේ ඇඟ මතට වැටී තුවාල ලබා තෙරපී දැල තුල පොළොවට අඩි 5ක් පමණ ඉහලින් පැද්දි පැද්දි සිටියා. ඒ වැටුනු වැටිල්ල නිසාම කුරුළු පැලැන්තියත් තෙරපී ගියා මිස ගැලවී බේරෙන්නට හැකියාවක් ලැබුවේ නැහැ. සිංහයාත්, වෘකයාත්, කොටියාත්, හයිනාත්, දියබල්ලාත්, අඳුන් දිවියාත් දැල වටා නරි හිනා පාමින් සක්මන් කරන අයුරු සතුන් අතුරින් එකෙකු දෙන්නෙකු දුටුවා.



****************************

මම වෙමි නරියා එහි නැත දෝස
තම වැඩ බලා කටයුතු කලා මිස
කමකට නැති වැඩ කර නැත කිසිම ලෙස
යම රජ හමුවේ වුව දිවුරමි එලෙස

දැක ගන්නට දැක නැති නරියෙකු ආවේ අද
කර ගන්නට වෙන වැඩ නුඹලා හට නැතිවාද
අල්ලන්නට දැල් එලු සැම ගැන දන්නවද
කල් යන්නට මත්තෙන් පැන දුවනවද

නුඹලා මෝඩ රැළ මක්කද කරන්නේ
හිවලා නැත කිසි ලෙස හැංගෙන්නේ
මරළා තොපි රැළ මුං අද කන්නේ
කවලා හැදූ දරුවන් කොහොමද රැකෙන්නේ

මේ බස අහෝ මිතුරනි ! කන් දී අසන්නේ
මේ දෙස නුඹලා හට අවැඩම වන්නේ
මේ ලෙස දස දහසක් කල් සිදු වන්නේ
මේ පස රැඳී නුඹ මව්පිය ලෙය හඬන්නේ

පෙන්වන දෙය දෙස මිස ඇඟිලි දෙස
නොතබන ලෙස නුඹගේ නියම ඇස
පවසන දනන් සිටියත් ලොව සතර දෙස
පළමුව බලනු ! ඇඟිල්ල හිමි කෙනා දෙස

*******************************

නරියා හූ හූ......... කියමින් කියූ කව, සදාකල්හීම වනාන්තරයේ ගස් අතර රැව් පිළිරැව් දේවී. දස දහසක් කල් මේ සංසිද්ධිය සිදු වුනා සේම පෙර සිටි නරි කී කවිත් දිගින් දිගටම රැව් පිළි රැව් දුන්නා. ඉදිරියටත් එසේම වේවි. එහෙත් ඒවාට කන් දෙන්නවත්, තේරුම් ගන්නවත්, පසු පරම්පරාව දැනුවත් කරන්නවත් කිසිම කෙනෙකුට හැකියාවක් නොලැබෙන්නේ, මරු තුරුලට ආසන්න වූ මොහොතේදී පමණක් සත්‍යය වැටහෙන නිසාවෙනි.

මේ කථාවේ නරියා නැවතත් සිංහාදීන්ගේ කරමතින් සුපුරුදු ගල් ගුහාවට යැවුනා. තමන්ගේ හිතැති සහෝදර නරීන් සමගින් ඔහු නැවතත් එක් වුනා. ඒ වගේම ඉහත කවිය තමන්ගේ පසු පරම්පරාවට මුඛ පරම්පරාවෙන් ගෙනියන්නට ද ඔහු අමතක කලේ නැත්තේ, කිසි දිනෙක දැක නැති තමන්ට නාම මාත්‍රයෙන් පවා වෛර කරන, පිටත ලෝකයේ සත්ත්වයන් ගැන උපන් අනුකම්පාවෙනි.


Sunday, November 6, 2011

59. නොහැඟවූ ආදරය......The Unexpressed Love......2



Part 1



රමණි අක්කා මුළුතැන්ගෙයි සිට ඉදිරියට පැමිණියේ දෑත් පිසදමමිනි.......'' මම මේ කුස්සියෙ පොඩි වැඩක් කලා '' ඈ අප හා සිනාසුනේ අප බොහෝ කලක සිට දන්නාහඳුනන්නියක මෙනි. ඈ රූමත් යයි ගැහැණියක මනින සම්මත මිණුම් දඬුවෙන් රූමත් නොවූවද කෙනෙකුගේ සිත් වහා ඇදගන්නාසුළු ලාලිත්යයකට හිමිකම් කීවාය.....යොවුන් වියෙහි එළිපත්තෙහි සිටි අප ඈ වෙත වශීවීම කවරනම් පුදුමයක්ද?

සාලයෙහි අසුන්ගෙන අපි ආගිය කතාබහෙන් ස්වල්ප වේලාවක් ගෙවීමු,

'' ගුණේ තේ හදන්ඩද?........'' රමණි අක්ක ගුණේ අයියාදෙස බැලූයේ ප්රශ්නාර්ථයෙන් දෙබැම ඉහලට නංවාගෙනය.

'' ම්ම්ම්ම්.....මොකද මල්ලිල කියන්නෙ.... තේද?...නැත්නම්........'' ගුණේ අයියා ඉඳුරාම බැලූයේ මා දෙසය.

'' අනේ මන්ද අයියෙ.....'' මම බිම බලාගෙන ඇඹරුණෙමි.

'' අඩෝ, උඹ අක්ක ඉන්න හින්ද අද ඇඹරෙනව නේද?...........අක්ක...... මේක වෙනදට බේරන්ඩ බෑ.......අද කොහොමද...........'' එකෙක් මහහඬින් පැවසුවේ මාදෙසට දබරැඟිල්ල ද දිගු කරමිණි.

'' අනේ බොරු කියන්න එපා... මේ මල්ලි එහෙම නෑ, මට කිව්වැහැකි දැක්ක ගමන්ම '' රමණි අක්කා මදෙස බලා සිනාසෙමින් පැවසුවාය.

ඈ එසේ පැවසුවේ මා පත්වූ අපහසුතාවයෙන් ගලවා ගැනීමට බව මම පැහැදිලිව දැන සිටිය ද එහි ඊට එහා ගිය යමක් ඇතැයි සිතන්නට මම වඩාත් රුචි වූයෙමි.

" අපි වැඩේ එළියට ගමුද අයියෙ?....." නන්දෙ ඇසුවේ ඔහුට ඉහින් කනින් දහදිය ගැලීමය මත්පැන් වඩි දෙකක් හොඳටම ප්රමාණවත් බැවිනි.

ඒ දිනවල අපේ කඳවුරට විදිලිය සැපයූයේ විදුලි ජනක යන්ත්රයක් මඟිනි.කොතෙක් අලුත්වැඩියා කලද නියමිත ප්රබලතාවයෙන් ඉන් විදුලිය උත්පාදනය නොවූ අතර එබැවින් විදුලි පංකා ආදියෙන් ලැබෙන සිසිලස කිසිසේත්ම ප්රමාණවත් නොවිණි.

" හරි මල්ලි....ඒකත් හොඳයි....මේ ජෙනිය සත පහක වැඩක් නෑ......එළියෙ ෂෝක් හුළඟකුත් තියනව......යමු එහෙනම් එළියට ''

අපගේ කඳවුර ඉඳිකර තිබුනේ හිස් බිම්කඩක් වටා නිවාස පිහිටන ආකාරයට බව මා කලින් පැවසුවා ඔබට මතක ඇතැයි සිතමි.හිස් බිම්කඩ අපගේ ක්රීඩාපිටිය වූ අතර ඒ වටා පිහිටි නිවාස ඉඳිකිරීම සඳහා අවශ්ය අවම ප්රමාණයක් ගස් කපා, ඉතිරි සියලු ගස් ඉතිරි කොට තිබිණි.පළු, වීර, කෝං සහ මයිල වැනි වියළි කලාපයට ආවේණික ගස් ඉතිරි කොට එහි යටි වන බූටෑව පමණක් කැතිගා ඉවත් කොට තිබුණු හෙයින් සත්ය වශයෙන්ම අපේ කඳවුරු භූමිය ඇසට සුවදෙන්නක් වූයේ නිතැණිනි.

පුටු ඔසවාගෙන එළිමහනට පැමිණි අපි ගුණේ අයියාගේ නිවෙස පසුපස තිබූ රූස්ස වීර ගස සෙවණේ අසුන් ගතිමු.

වීර ගසේ අතු අතරින් පුරා සඳේ රැස් ගලා එමින් තිබූ අතර.......ආහ්...සමාවෙන්න........එදින සඳ පායා නොතිබූ ඝන අඳුර රජකල දිනයක් විය.පුරා සඳ පායා තිබූ බව පවසා කතාවට රොමෑන්ටික් ගතියක් එක්කල හැකිව තිබූ නමුදු එසේ කිරීමට මම නොකැමැත්තෙමි.සත්යය සිදුවූ ආකාරයෙන්ම පැවසීම මගේ අභිප්රායයි.

නිවසේ වැසිකිළියේ සිට විදුලි වයරයක් ඇදගෙන පැමිණි නන්දේ එහි අග රැඳි විදුලි බුබුල වීර ගසේ පහත අත්තක එල්ලා දැල්වීය.

වීර ගස කේන්ද්ර්ය කරගත් අඩි තිහක පමණ අරයෙන් යුතු වෘත්තයක පරිධියට අඳුර පළාගියේය.ඉන් ඉවත ඒ මේ අත පියඹන කළාමැදිරියන්ගේ ආලෝකය පමණක් ගිණි මැලයක් ඉහල නටන ගිණි පුළිඟු මෙන් දිස් විනි.

එළිමහනේ සාදයක් පැවැත්වීමේදී ගිණි මැලයක් ගැසීම අපේ පුරුද්දක් වූ අතර ඒ චිරාගත සම්ප්රදාය නොබිඳී පවත්වා ගත යුතු බැවින්, මම තව දෙදෙනෙකුත් සමඟ වියළි දර ඉපල් සොයාගෙනවුත් ගිණි මැලයක් ඇවිලවීමි.

" ඔය මදෑ මල්ලි එන්න එන්න වැඩේ පටන් ගමු... '' ගෙතුලට ගිය ගුණේ අයියා ආපසු පැමිණියේ පරණ අරක්කු බෝතලයක් ද රැගෙනය.

'' ගොන්සාල් එකෙන් ගත්තෙ මල්ලි......නියම බඩු '' ඔහු බෝතලය මට දිගු කලේය.

එකල කුරුණෑගල ගොන්සාල් රටබීම හලෙහි අරක්කු කිසිමවිට මිශ්ර නොකරන හොඳම අරක්කු බවට විශ්වාසයක් අපේ සගයින් අතර පැවතිණි. එබැවින් කුරුණෑගල අවට වාසය කරන්නන් නිවෙස් බලාගොස් ආපසු පැමිණෙන විට, ඔවුන් ලවා ගොන්සාල් එකෙන් අරක්කු ගෙන්වා ගැනීමේ පුරුද්දක් ද මත්පැනට ලැදි බොහෝ දෙනෙකු තුල තිබිණි.

මම බෝතලය අතට නොගෙන නැවතත් ඇඹරෙනු දුටු හෙතෙම "හරි හරි මමම කඩන්නම්කො '' පවසා මූඩිය කරකවා ඉවත් කලේය. ඉන්පසු තම වීදුරුවට අරක්කු ස්වල්පයක් වත්කොට '' ගන්න එහෙනම් '' පවසා බෝතලය අපට දිගු කලේය. බෝතලය රවුමේ ගිය අතර වෙනදාට වඩා බොහෝ අඩුවෙන් අරක්කු වත් කරගත් මම සෝඩා වීදුරුව පිරෙනතෙක් පුරවා ගතිමි.

අරක්කු බෝතලය දෙකක් දෙවැන්න තුනක් , වූයේ නොදැනීමය...සාදය ද මධ්යම රාත්රිය තෙක් ඇදී ගියේය.රමණි අක්කා ද කිසිදු චකිතයකින් තොරව අප සමඟ කෙලි කවට කම් වල යෙදෙමින් රැඳී උන්නාය. කටගැසුම් අවසන් වීමට ආසන්න වූ වහාම ඕ මුළුතැන් ගෙට ගොස් අළුතින් යමක් පිළියෙල කොටගෙන පැමිණියාය.

සාදයක් අවසාන වීමට පෙර අනිවාර්ය කටයුත්තක් වන ගීත ගැයීමේ වාරය එළඹිණි.

'' ර...ර් ........රමනි අක්ක.......සිංදු...වක් කියන්ටම්ම ඕන......'' එකෙක් වදන් පටලැවෙමින් කොහොමදෝ කියා ගත්තේය.

රමණි අක්කා සිනාමුසු මුහුණින් ගුණේ අයියා දෙස බැලුවාය.....ඔහු හිස වනා අනුමැතිය පලකල ඉක්බිති ඈ ගැයුවාය.....හිස් බෝතලයකට රුපියලේ කාසියකින් තට්ටු කරන නාදය සහ අපේ කිසිම රිද්මයකට අනුකූල නොවූ අත්පුඩි තැලීම පමණක් සංගීතය කොටගෙන ඇය ගැයුවාය. මා විශ්වාස කරන්න මගේ හිතවතුනි,ඇගේ ගැයුම වෘත්තීය ගායිකාවකට දෙවෙනි නොවිණි.

අවසන අපි එකා එකා අත්පුඩි තැලීම නතර කලේ ඒ ඇයට රුකුලක් නොව හුදෙක් බාධාවක්ම බව අපටම වැටහුණු හෙයිනි.

පිපුණු මලේ රුව එමල දනීදෝ,
මලකි දුවේ නුඹ හැඩරුව බලන්නෙපා......හැඩරුව බලන්නෙපා,
නැතිබැරිකම....මුතු මාල හතක් වී,
කඩුල්ල පැන එයි...නුඹ අත කර ලනදා, නුඹ අත කර ලන දා,

කටු මැටි බිත්තිය හැඩ කර අඳිනා
රෑ සෙවණැල්ලෙන් හිස පීරන්නේ,
නොතලන් සිත මා ආදර දියණියනේ.......ආදර දියණියනේ,

පාළු කණට නුඹෙ අත නොගැටෙන්නයි,
වීදුරු කැඩපත බිඳ දැමුවේ,
නොතලන් සිත මා ආදර දියණියනේ.......ආදර දියණියනේ,

ළිඳේ අඩිය හිරු නොබලන පින්නේ,
එබී ළිඳට නුඹ ඇයි හිනැහෙන්නේ,
නොතලන් සිත මා ආදර දියණියනේ.......ආදර දියණියනේ,

ඇගේ මියුරු හඬ රාත්රි අඳුරට මුසුව අනන්තය තෙක් පාව ගිය සඳ අපි සවන් අදහා ගත නොහැකිසේ ඈ දෙසම බලා සිටියෙමු.

අවසන ඇගේ ගැයුම නිමා වූ පසු අප එකිනෙකා සිහින ලොවින් මිදෙන්නට වූයෙමු.

'' ශහ්....අක්ක මාරයිනෙ.......අක්ක අපරාදෙ ගෙදරට වෙලා ඉන්නෙ.......අක්ක සංගීතය ඉගෙන ගෙන නම් තියනව අනිවාර්යයෙන්ම.......'' ගුණේ අයියාගේ බිරිඳ රැකියාවක් නොකල බව ඔහු වරෙක පැවසූ බව සිහිවූ මම පැවසුවෙමි.

ගුණේ අයියා එක්වරම අක්කාගේ මුහුණ බැලූ අතර ඈ මඳ සිනහවකින් ඔහු වෙත නැවී කුමක්දෝ පැවසුවාය.

'' හරි දැන් මම කිව්වනෙ, මල්ලිල සිංදුවක් කියන්නකො........ '' අප සැමගේ මුහුණු බලමින් ඈ ඉල්ලා සිටියාය.

සැමදාම සිදුවන ලෙස සැමගේ දෑස මදෙස යොමුවිය......ගායනයට මගේ සහජයෙන්ම ලැබුණු යම් දක්ෂතාවයක් ඇතිබව මේ අවස්ථාවේ පවසන්නේ නොපවසා නොහැකි නිසාම මිස වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව පැවසිය යුතුමය.

'' ආහ්....මල්ලිද මෙතන ඉන්න ගායකය.......හරි..හරි...ඉතින් කියන්නකො මල්ලි '' ඈ මා දෙස ඉඳුරාම බලා ඉල්ලා සිටියාය. හේතුව කුමක් හෝ වේවා ඇගේ නෙත් දිලිසෙනු මම හොඳින්ම දුටු බව මට සහතික කොට පැවසිය හැක. නැතහොත් අවම වශයෙන් එසේ සිතීමට හෝ මම කැමැත්තෙමි.

මද පමණට බමන සිත ගීයක් ගැයීමට සුදුසුම තත්වයේ පැවතියේය. බුර බුරා ඇවිලෙන ගිණි මැලය දෙස මොහොතක් බලා සිටි මම දෑස් පියාගෙන අමරදේවයන් සමඟ මොහොතකට ඒක මිතික වීමි.

මින්දද හී සර වැදී සැළෙන හද,
නංවන දුක්ගී ඔබට ඇසෙනවද?
චන්දන මල් අතුරා ඇති යහනක,
කන්ද කපා පායන් රන් පුන් සඳ,

ලා...ලාලල්ලා......ලාලල්ලා...ලා ලා ලා.....ලා ලල ලා....ල ල ලා....

තුරඟකු පිට නැඟි නීල වලාකුළු,
ගුවන් ගැබින් ඔබ ඇදෙන වෙලේ,
පිබිදුණු දෑසින් බලා ඉඳිමි මම,
පිබිදුණු දෑසින් බලා ඉඳිමි මම,
සතුටු සිනා කැන් හද පුරවා,

මෙතුවක් කල් මුව මඬල වසා සිටි,
අන්ධකාර සළුපටින් මුදා,
නෙත්මිණි පහනින් පහන් කරනු මැන,
නෙත්මිණි පහනින් පහන් කරනු මැන,
අනාගතේ මං පෙත පාදා......

නන්දේ බෝතල් ආදිය තිබූ කුඩා කනප්පුවට සෙමෙන් තට්ටු කරමින් තාලය ඇල්ලූ අතර දෑස් පියාගෙන ගීය ගැයූ මම අවසන ගීතය හමාර කොට දෑස් හැරීමි.රමණි අක්කා දෑස් පියාගෙන දෑත ලයේ බැඳගත් ගමන් ගීතයට සමවැදී සිටියාය.

මතු සම්බන්ධයි.......

Image: flickr.com

Friday, November 4, 2011

58. නොහැඟවූ ආදරය......Unexpressed Love..........1




ජීවිතයේ මුල්වරට ස්ථිර රැකියාවක් මට ලැබුනේ, උතුරුමැද පළාතේ නැගෙනහිර මායිමට ආසන්නව, අර්ධ රාජ්ය ආයතනයක ව්යාපෘතියකය.එකල වයස විසිගනන්වල මුල් අවදියේ සිටි මා මෙන්ම තවත් මගේ වයසේම මිතුරන් කණ්ඩායමක් සමඟ විවිධ වයස් කාණ්ඩවල පුද්ගලයින් රැසක් එහි සේවය කලෝය. ඝණ වනය මධ්යයේ වූ හිස් බිම් කඩක් වටා ඉදිකෙරුනු තාවකාලික තනිකඩ නිවාස අපේ නිවහන් වීය.කඳවුරේ නේවාසිකව සිටි හතලිහක පමණ වූ සියල්ලෝම පිරිමින් වූ අතර ඒ අතර විවාහකයෝ මාසය අවසානයේ වැටුප් ලැබූ පසු නිවෙස් බලාගොස් දින තුන හතරක් අඹු දරුවන් සමග ගතකර නැවත පැමිණියෝය. නව යොවුන් වියේ පසුවූ අපි බොහෝවිට නිවෙස් බලා ගියේ, දෙමසකට හෝ තුන් මසකට වරකි.

කොන්ත්රාත් කරුවන් විසින් ලහි ලහියේ විවාහක නිවාස කිහිපයක් නිමකරනු ලැබුයේ මේ අතරය.

" ඒයි ලොක්ක කිව්ව මැරීඩ් ක්වාටර්ස් වලට එන්න කැමති අයට ලියුම් දෙන්නෙයි කියල " එක් දිනක සවස කාර්යාලයේ ලිපිකරුවකු වූ ධර්මේ පැවසුවේ අප සේවය නිමවී පැමිණ ස්නානය කරන අතරය.

" අපිට මොන මැරීඩ් ක්වාටර්ස් ද බං? හෙහ්....හෙහ්...... "' මම සිනාසුණෙමි.

" අන්න ගුණේ අයිය නම් අදම ලියුමක් දුන්න.......''

'' ගුණේ අයිය?.....පළයං බං පච නොගහ......ගුණෙ අයියට මම දන්න විදිහට ඉස්කෝලෙ යන පොඩි එවුන් දෙන්නෙක් ඉන්නවනෙ......ඉතිං කොහොමද මේ කැළේ මැදට ඇවිල්ල........''

'' එව්ව මම දන්නෙ නෑ......බොස් අදම ඇපෲව් කලා......ලබන සුමානෙ වයිෆ් එක්ක එනවයි කිව්වෙ ගුණේ.......''

තව දුරටත් මේ කතාව කීමට පෙර ගුණේ අයියා පිළිබඳව යමක් පැවසිය යුතුමය. වයස තිස්පහක් පමණ වූ ගුණේ අයියා ඉතා තැන්පත් පුද්ගලයෙක් වූ අතර, කඳවුරේ සැමගේ සිත් දිනා ගත්තෙකි. කුරුණෑගල සිට කිලෝ මීටර තිහක පමණ දුරක පිහිටි පිටිසර ප්රදේශයක වාසය කල හෙතෙම පාසල් යන වයසේ දරුවන් දෙදෙනෙකුගේ පියෙකු බව ඔහුගේ කතා බහින් අපි දැන සිටියෙමු.

ස්වල්ප වශයෙන් මත්පැන් පානයෙහි යෙදුන ද හේ කිසිදිනක ඒ කෙරෙහි ලොල්නොවීය.එහෙත් අප සාදය අවසන් කරන තෙක්, නිදිමරාගෙන අප හා රැඳීසිටීම ඔහු පුරුද්දක් වශයෙන් කලේය.

දින කිහිපයක් ගතවිය. එක් දිනක සුපුරුදු ලෙස සේවය අවසානයේ අපි අපගේ නේවාසිකාගාරයේ තේ පානය කරමින් සිටියෙමු.

කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකකින් සැරසුණු ගුණේ අයියා ගොඩ වැඩුනේ මේ අවස්ථාවේදීය..... " මල්ලි මම අද වයිෆ් එක්කරගෙන ආව............ඉතින් රෑ කෑමට අපේ දිහාවෙ එන්ඩෙයි කියන්ඩයි මේ ආවෙ........ පොඩි කර්මාන්තෙකුත් තියනව ඊට කලින්..........හෙහ්, හෙහ්, ''

'' ඉතිං අයියෙ එතකොට පොඩි එවුන්?.....'' මම ඇසීමි.

'' දැන් නිවාඩු කාලෙනෙ මල්ලි.........ඒ දෙන්න අපෙ අම්මට හරිම එකතුයි...එහෙ නැවැත්තුව.......අනික වැඩි කාලයක් මෙහෙ ඉන්න වයිෆ්ගෙ කැමැත්තකුත් නෑ....වැඩිම උනොත් මාසයක් ඉඳියි.......'' .ගුණේ අයියා පැවසූයේ සාලයේ මේසය මත වූ ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් වත් කර ගන්නා අතරය.

ගුණේ අයියා පිටත්ව ගිය පසු අප අතර සාකච්ඡාවූයේ රාත්රියේ පැවැත්වෙන සාදය පිළිබඳවය.

'' ඒයි මගෙ කලිසම අයන් කරලත් නැහැ බං........'' එකෙක් පැවසූ අතර, '' මඟුලක් කතා කරනව, මේ අඩි දහය යන්ට මොන කලිසම්ද බං? ඔන්න ඔහෙ සරම ඇඳපන්..... '' තවෙකෙක් කීවේ මහ හඬින් සිනාසෙමිනි.

'' ඒයි සමරෙ...... උඹ යන්නෙ නැත්නම් මට අර උඹ මනමාලි බලන්ඩ යන්ඩ මස්සපු කලිසම දීහං හොඳද?.......'' ගිනිගත්හේන ප්රදේශයෙන් පැමිණි සමරේ පසුගිය සතියේ ඒ කිට්ටුවම යෝජිත මනාලියක බැලීමට ගොස් තිබිණි. ඔහු මේ දිනවල මඳක් උණ ගතියකින් ද පෙලුණි.

'' පලයන්ඩ.....මට දැන් හොඳයි මාත් එනව........මට බෑ මේකෙ තනියම ඉන්ඩ '' මෙතෙක් ඇඳේ දිගාවී සිටි සමරේ පැවසූයේ බැරි මරගාතේ නැඟී සිටිමිනි.

'' පිස්සු කෙලින්ඩ එපා බං.....උඹට තියෙන්නෙ මැලේරියාව....අද රෑ තිස්සෙ ඇවිදල අමාරු උනොත් හෙට ඉස්පිරිතාලෙ නවතින්නයි වෙන්නෙ....... '' නන්දේ පැවසූයේ මා දෙස බලා ඉඟි මරමිනි.සමරේ ලෙඩ රෝග වලට බොහෝසෙයින් බිය වන්නෙකි.

'' මේ මචං සමරෙ, මෙහෙම කරපං..... යන්ඩම ඕනනම් උඹ බෙඩ් ෂීට් එකක් පොරවගනිං මූණ විතරක් පේන්ඩ.....එහෙම හොඳයි නේද නන්දෙ?.........'' මම නන්දේගේ පිටට පහරක් ගසමින් ඇසුවේ සිනාව ගිල ගැනීමට අසාර්ථක උත්සාහයක් ගනිමිනි

'' ඒ අදහසත් නරකම නෑ........හැබැයි ගුණේගෙ වයිෆ් හෙට පාන්දරම ආපහු යනව ඒක නම් ෂුවර්....අනික ඒ මනුස්සයට අද නූල් බඳින්ඩ උනේ නැත්නම් ඇති. ''

සියල්ලෝම නැවත හඬනඟා සිනාසුණෝය.

පුරුද්දක් ලෙස මත්පැන් බී ඇදවැටෙන තවෙකෙකුට සෙස්සෝ අවවාද දුන්හ. '' මේ උඹ අද කරපට් වෙන්නෙ එහෙම නෑ තේරුණාද?.....හතර විළි ලැජ්ජාවයි අර අක්ක ඉස්සරහ සවුත්තු උනොත් එහෙම ''

පිරිමින් රැසක් පමණක් වසන තැනකට පළමු වරට ගැහැණියක ගේ ආගමනය..... අපේ යොවුන් සිත් තුල කෙතරම් ආස්වාදයක් ඇතිකිරීමට සමත් විනිද?.... ඇය අපේම සොයුරකුගේ බිරිඳය...එසේම අප කිසිවකු සිත් තුල නොමනා අදහස් මාත්රයක් හෝ නොවුනු බව මට දිවුරා සහතික විය හැක.ඒ හුදෙක් ගැහැණු රුව කෙරෙහි නිතැනින්ම ඇලී යන වයස පසුකරමින් සිටි අපගේ සිත් සතන් තුල හටගත් අහිංසක ආශාවක් පමණකි.

අවසන ගැටළුව මතු වූයේ ගෙනයාමට සුදුසු ත්යාගයක් පිළිබඳවය.භාග්යයකට මෙන් අපේ එක් මිතුරෙක් නිවසට ගෙන යාමට මිළදීගත් පිඟන් කට්ටලයක් හමුවිය. ඔහුට ඒ හා සමාන වෙනත් පිඟන් කට්ටලයක් මිලදී ගැනීමට මුදල් ලබාදෙන පොරොන්දුව පිට ඒ ලබාගැනීමට අපි සමත් වීමු.


'' දැන් කවද්ද උඹල මට මේකට සල්ලි දෙන්නෙ? මම ලබන සතියෙ ගෙදර යන්නයි ඉන්නෙ,''

'' හරි බන් දෙන්නම්......පඩි ගත්තු ගමන් දෙන්නම් '' මම පොරොන්දු වීමි.

'' අඩෝ..... පඩි දෙන්ඩ තව සති දෙකකටත් වැඩිය තියනවනෙ .......මම ඕක අරන් කෙල්ලගෙ ගෙදර යන්නයි හිටියෙ මේ වීක් එන්ඩ් එකේ. ''

'' මේ අඬන්නෙ නැතුව ඉඳහං, මේ වැදගත් ගමනක් යන්න ලෑස්ති වෙන වෙලාවෙ........උඹට ලබන සුමානෙ කෙල්ලගෙ ගෙදර යන්නම ඕන නම් මම දෙන්නම් නැන්දම්මට ලියුමක් අපි පිඟන් සෙට් එක හදිස්සියකට ඉල්ල ගත්තය........පඩි ගත්තු ගමන් ආපහු අරන් දෙන බවට පොරොන්දු වෙනවය කියල ''.........මම පැවසූයේ කෝකටත් ඔහුගේ අත දිග මානයෙන් ඈතට වෙමිණි.

'' මම තොට කිව්වය කිය හිතාගං .........පුතා ''

දිනකට කොපමණ වාරයක් මා ප්රිය මිතුරන් විසින් මගේ සදාදරණීය මව ස්මරණය කරන්නේද යන්න පිළිබඳ දන්නේ නම් ඈ බලවත් ප්රීතියෙන් උද්දාමයට පත්වන බවට මට කිසිදු සැකයක් නැත. මට ඇති එකම සංවේගය නම් ඒ පිළිබඳව ඈ හා විස්තර පැවසීමට කිසිදු ක්රමයක් නොමැති වීම පමණකි.

අවසන මේ සියලු පොර ඇල්ලීම්, ගාල ගෝට්ටි නිමවී බිම් කළුවර වැටී එද්දී, පත්තර කඩදාසියක ඔතා ගත් ත්යාගයද පෙරටු කරගෙන අපි ගුණේ අයියාගේ නිවෙස බලා පිටත් වීමු.

'' ....මල්ලිල එන්න.......'' ගුණේ අයියා අප පිළිගත්තේ මුවපුරා පැතිරුණු සිනහවකිනි.....'' රමණී එන්නකො.....මෙන්න මේ මල්ලිල ඇවිල්ල......''

මතු සම්බන්ධයි.......

Wednesday, November 2, 2011

87. අපට සුභ පැතුම් !!!!!!!!

2002 වසරේ නොවැම්බර් මාසේ දෙවැනිදා........... ඒ කිව්වේ හරියටම ක්‍රිස්තියානු ආගමානුකූල ව ගත්තහම මළවුන්ගේ දා,
අපි දෙන්නා අතට කරගත් අපේ අත්............
ඒ විදිහට ම අත් නොහැර වසර 9ක් පුරාවට අල්ලාගෙන හිටියාට අපි දෙන්නාටම බොහොම පිං...... බොහොම ස්තුතියි....

ඒ විදිහට අල්ලාගෙන ආපු අත් 2008 දෙසැම්බර් මාසේ පස් වනදා අපේම කරගත්ත අපි දෙන්නාට ආයෙමත් ස්තුතියි....




ඔන්න ඔහොම අත්වැල් බැඳගත් අපි 2009 සැප්තැම්බර් මස හත්වෙනිදා, අපට කිසිම දෙයක් නොවටිනා තරම් වටිනා ඒ පැටික්කි මේ ලෝකෙට ගෙනාවටත් අපි දෙන්නාට පිං...... නැවතත් අපි දෙන්නාට ස්තුතියි.




********************************

ඉතිං මීට වසර නමයකට පෙරාතුව අත්වැල් බැඳගත් අපි, සසර වසනාතුරාවටම ඒ අත්, අත් නොහැර ඒ ගමන යමු නේද?

ඉතිං එහෙනං ඔන්න අපට සුභ පැතුම්

!!!!!!!!





Tuesday, November 1, 2011

57. සත් බිලියනයක් සහ තවත් ටිකක් අතර වු මාගේ අතිරික්ත සහෘදයනි.......




පසුගිය සතියේ ජනමාධ්යයන්හි ප්රධාන පුවත බවට පත්වූයේ ලෝක ජනගහණය බිලියන 7 ඉක්මවීමයි.මිලියන, බිලියන සහ ට්රි‍ලියන භාවිතයට පෙර පැවති ගණන ක්රමය අනුව මේ අගය කෝටි හත්සීයකි.

ලෝක ජනගහණය එක ස්ථානයකට රැස්කලායයි සිතන්න. එක් පුද්ගලයෙකුට අඩි 2 x 2 ප්රමාණයක්, එනම් වර්ග අඩි 4 ක ප්ර මාණයක් සිටගෙන සිටීමට අවශ්ය යයි උපකල්පනය කලහොත් වර්තමාන මුලු ලෝක ජනගහනයට, අපේ සහෝදර සහෝදරියන්ට, දූ දරුවන්ට,මව්වරු සහ පියවරුන්ට උරෙනුර ගැටී හිඳීමට වර්ග කිලෝමීටර 2602 ප්රමාණයක් අවශ්ය වේ. එක් පාදයක් කිලෝ මීටර 51 වූ සම චතුරශ්රයක්......මෙවන් භූමි භාගයක් සම්පූර්ණයෙන්ම මිනිසුන්ගෙන් වැසී ඇති අන්දම සිතාගැනීමට උත්සාහ කරන්න.......මේ ඉඩකඩ ප්රමාණය පිළිබඳව අදහසක් ලබාගැන්මට බස්නාහිර පළාතේ දිස්ත්රික්ක වල වර්ග ප්රමාණය සමඟ සසඳන්න.

කොළඹ දිස්ත්රික්කය - වර්ග කිලෝමීටර 642, ගම්පහ දිස්ත්රික්කය - වර්ග කිලෝමීටර 1386.6, කළුතර දිස්ත්රික්කය - වර්ග කිලෝ මීටර 1606

දහ හතරවන සියවස මුල්භාගයේදී යුරෝපය පුරා පැතිර ගිය
මහා දුර්භික්ෂයෙන් සහ මහාමාරියෙන් පසු 1350 පමණ ලෝක ජනගහනය මිලියන 350 ක් දක්වා පහල ගිය බව ඇස්තමේන්තු කොට ඇත. එදින සිට ජනගහනය සීඝ්රයෙන් වර්ධනය වූයේ කර්මාන්ත සහ කෘෂිකර්මාන්ත අංශයන්හි ඇතිවූ විප්ලවීය දියුණුව, සෞඛ්යය සහ සනීපාරක්ෂක කටයුතු වල ඇතුවූ නව සොයාගැනීම් හේතුකොටගෙනය.

මෙම ඝාතීය වර්ධනය
(Exponential Growth )
හේතුකොටගෙන ලෝක ජනගහන වර්ධනයේ වැදගත් සන්ධිස්ථාන සනිටුහන් කල කාල සීමාවන් සහ එක් එක් බිලියනයේ සිට අනුයාත බිලියනය දක්වා ළඟාවීමට ගත වූ කාළය අධ්යයනය කිරීම චිත්තාකර්ෂණීය කටයුත්තක් වනු නොඅනුමානය.


1. පළමු බිලියනය වසර 1804 දී
2. දෙවන බිලියනය වසර 1927 දී
3. තෙවන බිලියනය වසර 1960 දී
4. සිව්වන බිලියනය වසර 1974 දී
5. පස්වන බිලියනය වසර 1987 දී
6. සයවන බිලියනය වසර 1999 දී
7. සත්වන බිලියනය වසර 2011 දී
8. අටවන බිලියනය 2025 - 2030 අතරදී
9. නවවන බිලියනය 2045 - 2050 අතරදී

මේ කඩඉම් වලට ළඟාවීමට ගත වූ කාල පරාසයන් මෙසේය.

1. පළමු බිලියනයේ සිට දෙවන බිලියනය දක්වා ගතවූ කාලය වසර 123
2. දෙවන බිලියනයේ සිට තෙවන බිලියනය දක්වා - වසර 33
3. තෙවන බිලියනයේ සිට සිව්වන බිලියනය දක්වා - වසර 14
4. සිව්වන බිලියනයේ සිට පස්වන බිලියනය දක්වා - වසර 13
5. පස්වන බිලියනයේ සිට සයවන බිලියනය දක්වා - වසර 12
6. සයවන බිලියනයේ සිට සත්වන බිලියනය දක්වා - වසර 12
7. සත්වන බිලියනයේ සිට අටවන බිලියනය දක්වා - උපකල්පිත කාලය වසර 16
8. අටවන බිලියනයේ සිට නව වන බිලියනය දක්වා - උපකල්පිත කාලය වසර 19


විවිධ විද්වතුන්ගේ පුරෝකථන අනුව වසර 2050 දී ලෝක ජනගහණය බිලියන 7.4 සිට 10.6 දක්වා අතර වෙනස් විය හැක.

එසේම වසර 2150 පුරෝකථනය බිලියන 3.2 ක අවමයක සිට බිලියන 24.8 ක සිතාගැනීමට පවා නොහැකි අගයක් දක්වා වෙනස්වේ.

මෙහිදී පැන නඟින තාර්කික ඊලඟ ගැටළුව වෙන්නෙ පෘථිවියට දරා සිටිය හැකි ප්රශස්ත ජනගහණය
(Optimum Population ) කොපමණද?, දැනටමත් අප එම සීමාව පසුකර ඇතිද? යන්නයි.Paul R. Ehrlich
ගේ ප්රධානත්වයෙන් යුතු කණ්ඩායමක් විසින් කල අධ්යයනයක් අනුව පෘථිවියේ ප්රශස්ත ජනගහණය වනුයේ බිලියන 1.5 සහ බිලියන 2 අතර ප්රමාණයකි.ඒ අනුව වසර 1927 වන විට පෘථිවිය ප්රශස්ත ලෙස දරාගත හැකි ජනගහණ උපරිම මට්ටමට ළඟා වී සිටියාය.වෙනත් අයුරකින් පැවසුවහොත් එදින සිට මේ දක්වා පෘථිවිය දරාගත නොහැකි එසේම දිනෙන් දින අසීමිත ලෙස ඉහල යන නිවැසියන් රාශියක් වෙනුවෙන් ධාරකයා ලෙස අසහාය කාර්ය භාරයක් ඉටු කරයි.

පෘථිවියේ සම්පත් කිසිවක් අසීමිත නොවේ.දිනෙන් දින සීඝ්රයෙන් ක්ෂය වන සම්පත් හමුවේ පෘථිවිය තම සත්කාරය අත්හැර දමන දිනයක් එළඹේද?ඇගේ අනාරාධිත සහ අතිරික්ත නිවැසියන් වන අපි කුමක් කල යුතුද?.....බිලියන සතකට අධික වූ ද සෑම තත්පරයකදීම තිදෙනෙක් හෝ සිව්දෙනෙක් බැගින් වර්ධනය වන ගහණයක සාමාජිකයින් අතරින් මාගේ අතිරික්ත සහෘදයනි.....අප අදම විසඳාගත යුතු බරපතලම සහ වැදගත්ම පැනය එයයි....හෙට බොහෝවිට ප්රමාද වැඩි විය හැක.....නැත, හෙට අනිවාර්යයෙන්ම ප්රමාද වැඩියි!!!

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...