Thursday, December 20, 2012

148. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....28


උදෑසන සිටම වට ධාරාණිපාත වර්ෂාව කරණකොටගෙන දසත පැතිර ගිය ඇඟ කිලිපොලා යන ශීතල දඩයක්කාරයාට යම් තරමකට අපහසුවක් වුවද නින්දට පිවිසීමට ඔහුට ඒ කිසිසේත්ම බාධකයක් නොවීය. 

ඒ රාත්‍රි දෙගොඩහරිය විය යුතුය.එක්වරම ඔහු පිබිදිමට හේතුව නොදත් නමුදු උඩු බැලි අතට නිදාසිටි ඉරියව්වෙන්ම දෑස් විවර කල දඩයක්කාරයාගේ නෙතට දිස් වූයේ ගෙපැල තුල කැටිගැසුනු කෑලි කැපිය හැකි ඝණ අන්ධකාරයයි. 

එකවරම නැඟී නොසිටිය හේ ඔත්වනම සිට මොහොතක් සංවිභාගශීලී විය.පිටත ධාරාණිපාත වර්ෂාව ඇදහැලෙන බව ගෙපැල වෙවුලුම් කමින් නැඟී එන ගිගුරුම් නාදය කිසිදු සැකයකින් තොරව කියා පෑවේය. ගෙපැල අභ්‍යන්තරය එකාලෝක කරමින් විහිද ගිය ආලෝක ධාරාවකට පසු ඒ පසුපස ඒ හා සමඟම පැතිර යන්නාවූ ගිගුරුම් හඬ දඩයක්කාරයාගේ සවන් විනිවිද ගියේය. ගිගුරුම් හඬ කෙමෙන් මැකී ගියේ සුපුරුදු නිශ්ශබ්දතාවය ගෙපැල තුලට ගෙන එමිනි. තම වම්පසින් ඇසෙන සිහින් ආශ්වාස ප්‍රශ්වාස නාදය ඔහු සවන් වන්නේ ඒ මොහොතේදීය. 

නිමේශයකින් ඒ සමඟම ගෙපැල අඳුර දුරුකල ආලෝකයෙන් ඔහුට දිස්වූයේ ඔහු අසල දණ ගසා සිටිනා ඒ යුවතියයි..එසේමය..ඒ සුද්දීය. 

දෙවුර වසා පෙරවූ සුදු පැහැ රෙදිකඩින් මෑත්ව අඩක් නිරාවරණය වූ ඇගේ ළය පෙදෙස වහ වහා උස් පහත් වූයේ භීතියකට පත්වූ කලක හෝ දැඩි ආවේගශීලී භාවයකට පත්වූ කලෙක මෙනි. ඇගේ විසල් වූ දෑස භීතියකට පත් වූ බවක් පල කල අතර වෙව්ලන පිරුණු රත් රත් පැහැ යටි තොල ඈ සිතෙහි පවත්නා ආවේගශීලී බව කියා පෑවේය. 

දඩයක්කාරයා ඇය දෙස වික්ෂිප්ත දෑසින් බලා සිටියේය.ඒ සමඟම ගෙපැලේ කටුමැටි බිත්ති අතරින් ගලා ආ ගිගුරුමක් යලි හාත්පස වෙව්ළුවාලීය. 

'' මට බයයි අයියෙ, '' ඇය සිහින් හඬින් කොඳුලාය. 

තමන් කරනුයේ කුමක්ද යන්න පිළිබඳව වැඩි දුර නොසිතාම දඩයක්කාරයා ඔහු දිගාවීසිටි මුව සම මත මඳක් පසෙකටවිය. ඒ නිහඬ ඇරයුම ඕ වහා වටහා ගත්තී ඔහු අසල දිගාවූවාය. 

දඩයක්කාරයා සහ සුද්දී!!!! අප කථා නායක තෙම සහ ඒ සොඳුරු යුවතිය!!! 

ගෙපැලෙහි අඳුර විටින් විට දුරුව ගියේ දෑස් ගිනිකණ වැටෙනා තරමේ විදිලි කෙටීම් හේතුකොටගෙනය.එක් වරම පුපුරා යන දැඩි ආලෝකය දඩයක්කාරයාගේ ඝන අඳුරට හුරුවූ දෙනෙත සැණෙකින් පියවීමට සමත් විය. ඒ සමඟම ඇසෙන ගිගුරුම් හඬ අපේක්ෂාවෙන් ඔහු දෑස් තදින් පියාගත්වනම පොරොත්තු විය. 

ඔහු අසල ඇය වැතිර හුන්නේ තම සිරුර ඔහු හා ස්පර්ශ නොවන පරිදිය. එහෙත් මේ අධික ශීත රාත්‍රියෙහි ඇගේ සිරුරින් නික්මෙන උණුසුම ඔහුට දැණින.ගිගුරුම් හඬක් සහ ආලෝක ධාරාවක් අතරතුර ගතවන කාල ප්‍රාන්තරයෙහිදී තදින් දෑස පියා ගත් වනම ළය පුරා හුස්ම ඉහළට ගත් දඩයක්කාරයාට නැහැ සිදුරු තුලින් ඇතුළුව පපුව පුරා පැතිර ගිය සුපුරුදු සුගන්ධයක් දැණිනි. 

දක්ෂිණ දිශාවෙහි සිට ආගමනිත, ඝනව වැඩුනු ඇස් බැමි යුගලයකින් ආවරණිත, තියුණු නෙතු සඟලකින් හෙබියා වූ පුද්ගලයකු පිළිබඳව මවිසින් සඳහන් කරනට යෙදුනු අයුරු ඔබගේ මතකයෙහි නොමැකී ඇතැයි මම උපකල්පනය කරමි.ගම්මානය කෙළවරෙක කුඩා කඩ බක්කියක් පළමුකොට ඇරඹූ හෙතෙම මේ වනවිට අවට වනවාසීන්ගේ අල්පේච්ඡ දිවියට අත්‍යාවශ්‍ය මෙන්ම ඔවුනට කිසිසේත් අවශ්‍ය නොවන පාරිභෝගික භාණ්ඩ ද තම කඩ බක්කියෙහි නිතොර රාක්ක පුරා අට්ටි ගසා ප්‍රදර්ශනය කලේ ඔවුනට ඒ සියල්ල මිලදී හෝ බොහෝ විට භාණ්ඩ හුවමාරුවෙන් ගන්නට බල කරමිනි. දින කිහිපයකට ඉහතදී මැරූ ගෝනකුගේ ගාතයක්ද රැගෙන ඔහු වෙත ගිය දඩයක්කාරයා තවමත් ඇසිරූ ලී පෙට්ටිවලම තිබූ මනා සුගන්ධයෙන් යුත් සබන් කැට කිහිපයක් ගෙන ආවේය. සබන් කැට කිහිපය ඔහු අතට දෙමින් ඝණව වැඩුණු බැමි යුගය යටින් වණික් කරුවා ඔහු දෙස හෙලූ විමසුම් බැල්ම හෝ සාවඥ මඳ සිනහව නුදුටුවාක් මෙන් දඩයක්කාරයා ආපිට හැරී තම දෙපා අසල තිබූ බඩු මල්ල ඔසවා ගත්තේය. 

දඩයක්කාරයා හා සමඟ ඔහුගේ ගෙපැළේ නිවසන යුවතිය කවුරුන්ද?....එසේම ඇය කොහේ සිට පැමිණියේද?..ඒ හැමටම වඩා ඇය හා දඩයක්කාරයා අතර පවතිනුයේ කුමනාකාර සම්බන්ධතාවයක්ද? මේ ගැටළු පිළිබඳව ගම්වාසීන් අතර නොයෙකුත් මති මතාන්තර මෙන්ම උපකල්පන, අනුමාන කිරීම් යනාදිය කොතෙකුත් පැවතුනේ නමුදු කිසිවෙකු ඒ පිළිබඳව දඩයක්කාරයාගෙන් විමසීමට පමණ ධෛර්යමත් නොවීය. ඔහු හා සමඟ මඳ වශයෙන් හෝ සම්බන්ධතා පවත්වාගෙන ගිය ඉහතකී වණික් කරුවා පවා දඩයක්කාරයාගේ නොසැළෙන දැඩි බැල්ම හමුවේ ඒ පිළිබඳව විමසීමට නිර්භීත නොවීය. 

ඝණ අන්ධකාරයෙහි මුව සම මත වැතිර ඇගේ ආශ්වාස ප්‍රශ්වාස හඬට සවන් දෙමින් හිඳිනා ඔහුගේ පපුව පුරා පැතිරගියේ එළෙස රැගෙන ආ සබන් සුවඳ මුසු ඇගේ සිරුරින් නික්මුණු සුද්දීටම ආවේණික වූ සුගන්ධයයි. 

ඒ සුවඳ පපුව පිරී යනසේ ඉහලට ඇද පෙණහළු පුරවා ගැන්මට දැඩි ආශාවක් උපන්න ද ඒ වෑයමෙන් මැඩගත් දඩයක්කාරයා එලෙසම නිසොල්මන්වම සිටියේය. 


එක්වරම ඉතා ආසන්නයේම පුපුරාගිය අකුණු පහරක ගිගිරුමෙන් ගෙපැල බිත්ති මතුනොව පියස්ස ද දෙදරා ගියේ ගත කිලිපොලන දැඩි ශීතල සුළං රැල්ලක් ද අඩක් විවරවූ පැළැල්ලෙන් ඔවුන් වෙත කඩා වද්දවමිනි. 

භීතියෙන් මුසපත්ව අව්‍යාක්ත රාවයක් නැඟූ ඕ දඩයක්කාරයාගේ ගෙල වැළඳ ඔහුගේ ළය මත මුහුණ සඟවා ගත්තීය. 

ආසන්නයේම අකුණක් පුපුරාගිය කල්හි ස්වාභාවිකව අනුයාත ප්‍රතිඵලය වනුයේ මේ වනවිට තරමක් තුරල් කොට තිබූ වර්ෂාව එක් වරම තිව්‍රතාව කිහිප ගුණයකින් වැඩි වී මානා සෙවිළි කල පියස්ස මත බොරළු පතිත වන්නාක් මෙන් ඇද හැලීමයි.ඒ මහ වැස්සට සවන් දෙමින් දඩයක්කාරයා මුව සම මත වැතිර සිටියේය. සුද්දී තවමත් බියපත්ව ඔහුගේ ළය මත මුහුණ සඟවාගත් පරිදි ඒ ඉරියව්වෙන්ම හුන්නාය. 

කෙමෙන් තම ඉරියව්ව මඳක් වෙනස්කල දඩයක්කාරයා දකුණත දිගහැර ඇගේ හිස මුදුව පිරිමදින්නට වූයේය.යුවතිය කුමක්දෝ සිහින් ස්වරයෙන් පවසනු කඩින් කඩ ඇසුණ ද වර්ෂාවේ කන්දොස්කිරියාව නිසා ඇය පවසන්න වටහා ගැන්මට ඔහු අසමත්විය. අකුණකින් පසු වසින මහ වැස්ස වැඩි වේලාවක් අල්ලා නොසිටී. ඒ එසේම කෙමෙන් වර්ෂාව තුරල් වී ගිය ඉක්බිති ඇය මුමුණන වදන් ඔහුට පැහැදිලිව ඇසුනේය. 


'' ඇයි අයිය මට මෙහෙම සළකන්නෙ?....මොකක්ද මගෙන් අයියට වෙච්චි වැරැද්ද?......මට මෙහෙම කරන්ට එපා අයිය…'' ඇය දිගටම ඔහු ළයට තුරුළුව හිඳගෙන තෙපලූයේ එම වදන් පෙළය. 

සළකන්නට එපා කියන්නේ කුමන විදිහේ සැලකීමකටදැයි ඔහු ඇසුයේ නැත. සලකන්නට එපා කියන්නේ මෙන්න මෙලෙස සැලකීමකටයැයි ඇය පැහැදිලි කලේද නැත. ඇය ඒ වදන් කිහිපය අතොරක් නොමැතිව කියාගෙන ගියාය. ඔහු මානා පියැස්සට වැහි බිඳු පතිත වන හඬට සවන් දෙන අතරම ඇගේ මිමිණුමටද සවන් දුන්නේය.ඒ ඇගේ හිස ද දකුණතින් පිරිමැදීම මොහොතකට හෝ නොනවත්වමිනි. 

ඇය කෙරෙහි මෙතෙක් තමන් තුල නූපන් කුමන හෝ අපරිමිත වූ චමත්කාර ජනක හැඟීමකින් තම සිත පිරීයනු දඩයකකාරයාට දැණින. ඒ ගම් නායකයාගේ දියණිය වූ අනෙක් යුවතිය අරභයා උපන් හැඟීමට සාකල්‍යයෙන් සමාන වූවක් නොවන බව ඔහු ඉඳුරා දත්තේය. එහෙත් ඒ සමඟම තම ගත උණුසුම් වනු ඔහුට දැණින. ඒ හැඟීම වූ කලී හීං ඇළ අසබඩ කුඹුක් සෙවණෙහිදී ගම් නායක දියණිය හා ආලිංගනයේදී ඔහු තුල හටගත් හැඟීමම බව ඔහුට එක් වරම වැටහිණි. ඔහු තුල ඇතිවූ වෙනස එකෙණෙහිම වටහා ගත් සේ ඇය ද සිය ඉරියව්ව වෙනස් කොට ඔහුගේ ලය පෙදෙස සිප ගන්නට වූවාය. 

කෙමෙන් ඔහුගේ ගෙල පසුකොට ඉහළට ඇදී ඈ යුවතිය අඩවන් දෙනෙතින් ඔහු දෙස මොහොතක් බලා සිටියේ සෙමෙන් පහත්ව ඔහුගේ දෙතොල තරව සිප ගත්තීය. 

මනුෂ්‍ය වර්ගයාගේ සහජ පෙළඹවීමක් වන කාම සම්භෝගයෙහි යෙදීම ඔවුන්ගේ ප්‍රාථමික අවශ්‍යතාවයන්ගෙන් ඉතාම ප්‍රබල වූවකි. අනදිමත් කාලයක සිට මෙදියත අසංඛ්‍ය සංඛ්‍යාත ගැහැණුන් මිනිසුන් කාම සම්භෝගයෙහි යෙදී ඇත්තාහ. ඒ හුදු කාමාශාව හේතු කොටගෙන මෙන්ම වෙනත් බොහෝ අවශේෂ හේතූන් කරණ කොටගෙනද විය හැක. 

එදින ඒ ගෙපැලෙහි ඇතිරූ මුව සම මත දඩයක්කාරයා සහ සුද්දී කාම සම්භෝගයෙහි යෙදුනේ හුදෙක් කාමාශාව නිසාමද නැතහොත් යටි පෙලින් දිවෙන වෙනත් අරමුණක් ඒ සඳහා හේතුවිණි ද යන්න පිළිබඳව සිත් නොවෙහෙසා අපි ඒ එදින එහි සිදුවූව එලෙසින් සිදුවූ වග පමණක් සිත්හි තබාගෙන ඉදිරියට යමු. 

පසුදින හිමිදිරියේම දඩයක්කාරයා අවදි වූයේ ගෙමිදුල පුරා දුව පනින කොණ්ඩ කුරුල්ලන් යුවලකගේ සතුටු සාමීචි නාදයෙනි.කළු කපා එළිය බළල්ලෑවෙන් ඇතුළුව ඔහුට තුරුළුව නිදන යුවතියගේ මුහුණෙහි තැවරී ඇති අයුරු ඔහු හිස මඳක් ඔසවා බලා සිටියේය. තවමත් රත්පැහැගත් ඈ දෙතොල මඳක් විවර වූයේ මඳ සිනහවකිනි.හිස ඔසවා ඔහුගේ ළය යලිත් වරක් සිපගත් ඈ පසෙකට හැරී යලි නින්දට වන්නාය. පොරෝනය ගෙන ඇගේ දෙවුර සහ උඩුකය වසා දැමූ දඩයක්කාරයා සීරුවෙන් නැඟිට දොර පැළැල්ල විවරකොට ගෙපැලින් පිටවිය. 

පෙර දින රාත්‍රියෙහි වූ සිදුවීම ඔහු සිත බොහෝසේ වික්ෂිප්ත කලේය.ඔහුටම වටහා ගත නොහැකි යම් අවිනිශ්චිත කරුණක් හේතුකොටගෙන තමන් අතින් සිදුවූයේ වරදකි යන හැඟීම ඔහු සිතින් බැහැර කොටගත නොහැකි විය. 

සිත කළඹවන යම් සිදුවීමකට අනතුරුව ඒ පිළිබඳව සිත මෙහෙයවා සිතුවිලි නිරවුල් කොට ගැනීමෙහිලා ඔහු නිතැනින්ම පිවිසෙන ක්ෂේම භූමියක් ඇත.ඒ ගෙපැළ අසල වන රොද මායිමේ පිහිටි ගල් තලාවයි.ගෙපැලින් පිටවූ දඩයක්කාරයා කල්පනාවෙන් බරවූ හිසින් යුතුව ඒ ගල්තලාව වෙත ළඟාවී එහි වූ සිරස් ගල් පොත්තට පිටදී අසුන් ගත්තේය. 

හිරු උදාවී සැඩ හිරු රැස් ඔහු සිරුර උණුසුම් කරන තුරුම දඩයක්කාරයා ඒ හිඳි ඉරියව්වෙන් එලෙසම හුන්නේ සෙල්මුවා පිළිමයක් පරිද්දෙනි. 

මතු සම්බන්ධයි........ 

Thursday, December 13, 2012

147. කඳුළු නෙතගට නැඟුනි නොදැනිම, මතක මං පෙත ඇවිද යන සඳ.....

ටික කාලෙකට ඉස්සරවෙලා මම වැඩකලා විදේශීය ඉදිකිරීම් සමාගමක. ඔය මම කියන දවස්වල එයාල ගම්පල - නුවර එළිය මාර්ගය පුළුල් කිරීමේ කටයුතු වල යෙදිලයි හිටියෙ. ඉතින් ඔන්න මම වැඩ කලේ තවලම්තැන්න කියන හරියෙ.අපෙ ගෙදර පැණිදෙණියෙ නෙව. ඉන්ටසිටියක නැග්ගනම් පැයකුත් කාලක් වගෙ යන්නෙ ගෙදර එන්න.ඉතින් ඔය කාලෙ අත්‍යාවශ්‍යම රාජකාරියක් සෙට් වෙල රෑ දෙගොඩ හරිය වෙනකල් වැඩ කරන්ට උනේ නැත්නම් මම හැමදාම හවසට ගෙදර ආව. 

මොනවද...වැලිමඩ හරි නුවර එළියෙ ඉඳල හරි කොළඹ හෝ නුවර යන ඉන්ටසිටියකට ගොඩ උනානං පැයකුත් කාලක් වගෙ යන්නෙ...පේරාදෙණියෙ යුනිවසිටියෙ පිහිටීම ගැන දන්න අය දන්නව ඇති..අක්බාර් හෝල් එක ගාවින් බැහැල කැම්පස් එක මැදින් ඇවිදිල්ල කන්ද බැහැල රේල් පාර පැන්නම පැණිදෙණිය....විනාඩි දහයයි යන්නෙ. ( අමුවෙන් ආපු දවසට ) එහෙම නැත්නම් කීයද?..විනාඩි විස්සක්?..තිහක්?...ම්හු..වැරදියි...එහෙම සන්තර්පනය වුනු දවසට විනාඩි පහයි...අර කන්ද බහිනව එක ගැම්මට...මුලම පඩියට අඩිය තියන එක විතරයි...බෲඌස් ගාල කන්ද පල්ලෙහ මම....හෙහ්, හෙහ්, 

හරි හරි ඒ එක හුස්මට කඳු බැහැපුව අල්ලල දාමු..ඒ ගැන කියන්ට නම් නෙවෙයි මේ හදන්නෙ.....හරි මේකයි කතාව හොඳද?....ඔය තවලම්තැන්න පැත්තට හිටපු ගමං පාත් වෙනව මීදුම....හවස හතර වගෙ වෙනකොට සමහර දවස්වලට ඇහැට ඇඟිල්ලෙං ඇන්නත් පේන්නෙ නෑ........ඒ තරමට හතර වටේම සුදුම සුදු පාටිං වැහිල...හරි ඔන්න අතුරු ප්‍රශ්නයක්....ලංකාවෙ වැඩිම මීදුම තියෙන නගරය මොකක්ද කියල දන්නවද?..මට බුදු ෂුවර් කවුරුත් දන්නෙ නෑ හරි උත්තරේ...හෙහ්, හෙහ්, 

හරි ආයෙම කතාවට...මම මේ කියන දවසත් අන්න ඒ වගෙ තුන විතර වෙනකොට මීදුම කඳුබාපු දවසක්....ගන සැරේට මීදුම ආහම අපි වැඩ නවත්තනව...නවත්තනව කිව්වට වඩා හොඳයි නවත්තන්ට සිද්ද වෙනව කිව්වනං...මොකද ඔය මීදුම අස්සෙ පාර හදාගෙන ගියොත් අන්තිමට පාර හැදෙන්නෙ නුවර එළියට නෙවෙයි...:) :) 

ටවුම මැද තිබුන රෙස්ටොරන්ට් එකක්...සැර ජාති..බියර් ඔය කොයිවත් ඒකෙ වැරදුනේ නෑ...ඉතිං ඔහොම මීදුම ඇවිල්ල වැඩ නවත්තපු දවසට අපි කරන්නෙ ඔය රෙස්ටෝරන්ට් එකේ පොඩි කර්තව්‍යයක නියැලෙන එක. 

බස් එකේ ගෙදර යන්ටත් ඕන නිසා මම ඉතිං සැර ජාති බාවිතාවෙං වැලකෙනව. අර පට්ට හීතලේ ගහනව වෙව්ල වෙව්ල බීර...... 

ඔය ප්‍රස්තෝචිත දවසක් ඔන්න එහෙම දවසක්...රෑ හතට වගෙ ආව පාරට...ඔන්න එතකොටම මීදුම කපාගෙන ආව කොළඹ බස් එකක්....හෝව් හෝව් කියල අත දැම්ම ...නැග්ග...නිදිමත එකසිය ගානට..ඒත් බුදියෙන්ට බෑ....මගෙ යාලුවෙක් ඔහොම..... පේරාදෙණියෙන් බහින්ට හිටපු එකාට නින්ද ගිගිල්ල බැස්සෙ කෑගල්ලෙං....බොහොම අමාරුවෙං ඇහැ ඇරගෙනම ඇවිල්ල අතුරු ආන්තරාවක් නැතුව බැස්ස ඉංජිනියරිං ෆැකල්ටි එක ගාවින්...අර කලින් කිවා පල්ලමත් බැස්ස පස්ස බිම ඇණ ගන්නෙ නැතුව...ඔහොම වෙලාවට ඔය කකුල ෂුවර් නැති වෙලාවට කරන්න ඕන පල්ලමේ පස්සෙං පස්සට බහින එක..එදානම් ඒ විදිහට රිවස් එකේද කොහොමද මන්ද අවුලක් නැතුව පල්ලම බැහැල පාරට නං ගොඩ උනා ඔන්න. 

ඒ දවස්වල අපි හිටියෙ අපෙ ලොක්කි උගන්නපු ඉස්කෝලෙම ගුරු නිල නිවාසෙ.ඉස්කෝලෙ මැදිං පඩි දෙසිය ගාණක් නැඟලයි ක්වාටර්ස් එකට යන්ට ඕන...හප්පච්චියේ ඕකට ගෑස් සිලින්ඩරේ උස්සං යන්ට මම විඳින දුකක්...පස්සෙ කලේ ගෑස් සිලින්ඩරේ පල්ලෙහ ඉස්කෝලෙ ඔෆිස් එකේ තියල කුකර් එක පහලට ගෙනල්ල, උයල, හට්ටි පිටිං උඩහට අර ගෙන යන එක....හෙහ්, හෙහ්, 

ඔන්න ආයෙම කතාවෙං පිට පැන්න..හරි මම ඉතිං මයෙ පෙන් ටෝච් එකත් ගහගෙන ඔන්න නඟිනව හෙමීට පඩි පෙළ...සිංදුවක් එහෙමත් කියාගෙන.... 

මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා, 
මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ පියේ, 
පා සුළඟිල්ලේ පදනම් අවදි නොවේ කුසුම් කැකුල නිදනා තුරා.... 

සඳ ගිරි පව්වේ පෙරදා සංසාරේ 
සැතපුණු දා දුටු කින්නර පෙම් සීනේ, 
මහලු වෙලා අද සඳ වාගේ යව්වන රෑ තරු බලාන උන්නාවේ... 

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා 
අපි යමු මේ රෑ අනාගතය සොයලා, 
නළ මුදු සුවඳේ නිදන මලේ මට මල් රොනගුළු සුවඳ දැනේ ලංවී... 

මා ලඟටම තව ලංවෙලා හිඳින්න නිහඬ නුවන් පියා, 
මා සීතාවෝ සැතපෙන නින්දේ නූපුර හෝ පියේ, 


සිංදුවෙ අන්තිම හරියට එනකොට ඔන්න ගේ දොරකඩටත් ඇවිදිල්ල කොහොමිං කොහොමිං හරි...අන්තිම මාත්‍රා ද අන්තරා ද පරාභව ද කොටස ( ජනූ..අනේ බොල මොකක්ද ඒකට කියන්නෙ?..උඹ නෙව ඔව්ව දන්නෙ...) හරි ඕන කෙහෙල්මලක් ඒ කොටස කිව්වෙ ඉස්සරහ දොරට ගහල තාලෙ අල්ලන ගමන්....සිංදුවත් ඉවර නං උනා... 

අඩේ කෝ මේ අම්මණ්ඩි ???????? 

ම්ම්ම්...ඇසුත් පුංචි කරල බැලුව….. ලයිටුත් ඔක්කොම නිවල...අම්මප තාම එච්චර රෑ වෙලත් නෑ නේද?....බලමු….. අඩේ තාම අටාමාරයිනෙ....මොකද බොලේ මේ?..... 

දොර හෙල්ලෙන්ට ගැහුව ටිකක් හයියෙං ඒ පාර.....ඔන්න සාලෙ ලයිට් එක වැටුන..සොයිබ දෙකයි දොර පොල්ලයි පන්නල ලොක්කි දොර ඇරිය....ම්ම්...නිදාගෙන හිටපු බවක් නම් පේන්නෙ නෑ....දොර ඇරියත් එක්කම මෙන්න ආපහු ගියා කාමරේට....මොකක් හරි ලොකු අවුලක් නම් වෙල තියනව...මම දොර ගාවම තිබ්බ නයෙ හාන්සි පුටුවෙ ඉඳගත්ත....ඕකෙ ඉඳගෙන තමයි මම පත්තර එහෙම බලන්නෙ.... 

ඒ කරල අනුලෝම සහ ප්‍රතිලෝම වශයෙන් දන්නවනෙ ඒ වචන දෙකේ තේරුම නේද?..ඒ කිව්වෙ ඇඟිලි තුඩට ලොං ගහක් ඇරගෙන ඒකෙ උඩ ඉඳල පහලට සහ පහල ඉඳල උඩට බලාගෙන යන ගමන් කල්පනා කරන එක...හරි අන්න එහෙම කල්පානා කලා බෝම ගැඹුරට මයෙං යං වැරැද්දක් වත් උනා දෝ හෝයි කියල..ම්හු එහෙම දෙයක් කොහොමටවත් මතකෙට එන්නෙ නෑ...නෑ...නෑම තමයි.... 

අන්තිමට නැඟිටල ගියා කාමරේට..මෙන්න මුන්ද ඇඳේ බිත්තිය පැත්තට හැරිල බුදි....පාත් වෙල බැලුව උරිස් එහෙම ගැස්සෙනවද කියල...එහෙම උනොත් නං කැටගරි ඒ ඩිසාස්ටර් එකක්...නෑ වෙලාවට එහෙම දෙයක් නම් පේන්ට නෑ....මම ඉඳ ගත්ත ඇඳෙන්… 

'' හරි දැං කියන්ටකො මොකද වෙල තියෙන්නෙ?... '' 

නෑ සද්දයක්…මීයාට අර කවුද පිම්බයි කියන්නෙ ..අන්න ඒ වගේ… 

'' මේ මොකද වෙලා තියෙන්නෙ කියනවද කරුණා කරල?...... '' 

ආයෙම ඇහුව බෝම ආදරෙං… 

" මොකවත් වෙලා නෑ....'' 

ඔන්න කියාපි බිත්තිය පැත්තට හැරිල ඉන්න ගමම්ම ….. 

ඔන්න මටත් ටිකක් විතර......ඒත් එහෙම හරි යන්නෙ නෑනෙ...හොඳට හුස්මක් ගත්ත උඩට...හෙමිට එකේ ඉඳල දහයට ගනන් කරමින් හුස්ම පිට කලා...හරි ඔක්කොම හරි හිත සංසුං …All Quiet On The Western Front………….. 

'' රයිට් ළමයා…... දැන් කියන්න බලන්න මොකද මේ වෙලා තියෙන්නෙ කියල....'' 

මම එයාගෙ උරහිසෙං ඇල්ලුව. 

එයා ඔන්න හැරුන මගෙ පැත්තට....ඇස් දිලිසුනේ ලයිට් එළියටද කඳුළු වලටද මන්ද… 

'' අද දිනේ කවදද?.......'' 

' හෑ????????....'' 

මගෙ කටත් ඇරුන බාගෙට....දෙසැම්බර් දහතුන නේද?....දෙය්යංටම ඔප්පු වෙච්චාවෙ....ලොක්කිගෙ බර්ත් ඩේ එක....දෙයියො සාලෙ හාංකවිසියක් වත් මතක් උනේ නැති හැටියක්...... 

මම එහෙම්මම ඔලුව පාත් කරගත්ත අත්දෙක ඔලුවෙ ගහගෙන... 

එයා ඒ පාර ඇඳේ ඉඳගෙන මගෙ උරහිසට ඔලුව තියාගත්ත… 

" මට දුක හිතුන....කමක් නෑ..ඒක අමතක කරල දාන්න...." 

අපෙ ගෙවල් කිට්ටුවම මීටර් දෙසීයක් විතර එහායින් ඔයිට සතියකට දෙහෙකට විතර ඉස්සර අලුතෙන් රෙස්ටෝරන්ට් එකක් දැම්ම..ඕකෙ මස් මාලු බිත්තර ඔක්කොම දාල පුදුම විදිහෙ රහට ස්පෙෂල් කොත්තුවක් දානව කියල ආරංචියක් ඇවිල්ල තිබුන. අපි දෙන්න කතා වෙල හිටියෙ එයාගෙ බර්ත් ඩේ එකට ඔතනිං කොත්තු දෙකක් ගෙනල්ල කමුය කියල 

'' හරි ඉන්නකො...තාම වහල නෑ කඩේ.....මම ගිහිල්ල කොත්තු දෙකක් අරගෙන එන්නං....'' 

මම නැඟිට්ට. 

'' ඕන නෑ අනේ මේ රෑ යන්ට..මම බත් ඉව්ව… '' 

'' හරි හරි බත් එක එහෙම්මම දාන්ටකො ෆ්‍රිජ් එකට...ඉන්න මම විගැහිං එන්නං. ….. '' 

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ 
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා 
පෙර සංසාරේ ඇසුර මතක් වී... 

ලේන කුලේ සිට ආගිය මඟ තොට 
සිටියා නොසැලෙන පහන් ටැඹක් වීනිවන් දකින තුරු මේ සංසාරේ 
පසු පස ආවා සෙවනැල්ලක් වී... 

තැලී සෙනේ සිත සැලී හඬන විට 
වැටී දෙපා ලඟ යශෝදරාවෝ 
පිපී නිවන් මල් සාධුකාර දී නිවී පහන් විය උදෑසනක් සේ.. 

ලා දළු බෝ පත් සෙමින් සැලෙන සේ 
යශෝදරා දේවී...වාවනු බැරි තැන රහසේ හැඬුවා 

මම ආයෙම පඩි පෙල බැස්සෙ ඔහොම මුමුණමින්....ඉස්කෝලෙ මිදුලෙ මැදක් ඇවිල්ල හැරිල බලනකොට එයා හිටිය දොර ගාව මා දිහා බලාගෙන.... 

සුනිල් දිය පිරි විලක් විය හුදකලාවේ, 
සුපුල් රත් නෙළුමක් පිපුනි නෙත් මනාවේ, 
විසල් පිණි බිඳු පතිත වූ පෙති තලාවේ, 
වහල් විනි විල කමල රූ දිසි වෙලාවේ, 

පිපුණ මලෙකට පෙමින් බැඳි ඒ බමරිඳු, 
ලිහුණ මුහුලස ගැවසි මල් දම් වතුසුදු, 
විසුල පෙති මත රැඳුනු කල් නෙක පිණිබිඳු, 
මුහුණ දකිනට නුඹේ එන්නෙමි අමයුරු, 

සෙනෙහෙ ගඟුලක් ගලා ගිය සළකුණු දිගේ, 
මෙනෙහෙ කරනෙමි ඔබෙ වත දිසි මුල් දිනේ, 
වෙලෙන මඳනල කොඳුරනා නම ඔබ ප්‍රියේ, 
මෙලෙස යලි හමුවුනේ පෙර අප පැතු ලෙසේ, 

සසර ගමන ද එක්ව යමි ඔබ සමඟිනා, 
කවර අරුමෙක් වීද අප හමුවුනු එදා, 
සවන සපිරෙන සුපෙම් ගී පද අසමිනා, 
නතර නොවනෙමි කැටුව එමි ඔබ අත ගෙනා,

 

Tuesday, December 11, 2012

146. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....27


එදින පටන් දඩයක්කාරයා සහ සුද්දී, ( මහෝඝයෙහි ගසාගෙන පැමිණි ඒ අපූර්ව යුවතිය නමින් සුද්දී බව මේ දින කිහිපයට ඔබගේ මතකයෙන් බැහැරව ගොස් නොමැති බව උපකල්පනය කරන්නෙමි ) ඒකාකාරී ජීවන රටාවකට හුරු වූවෝය. තම සුපුරුදු නිශ්ශබ්ද සහ නිසංසල ජීවන රටාව යලි කිසිදිනෙක අනුගමනයකිරීමට නොලැබෙන බව මනාව වටහාගත් නමුදු දඩයක්කාරයා තම දෛවය අනුව නියම වූ පරිදි සුද්දී සමඟ ජීවිතයට කෙමෙන් හැඩගැසුණේය. 

සුද්දීගේ ආගමනයක් සමඟම දඩයක්කාරයාගේ ජීවිතය ඔහු කැමති වුවද අකමැති වුවද විශාල විපර්යාසයකට බඳුන් විය.මෙතෙක් ඔහු ගත කලේ වනයේ නිදැල්ලේ වැඩෙන වල් සතකුගේ ජීවිතයට වඩා ඉතාමත් මඳ වශයෙන් පමණක් වෙනස් වූ දිවියකි. 

හුදෙකලාව දිවිගෙවන සමයෙහි ගෙපැලෙන් බැහැරව දින දෙකතුනක් වනයේ වන සතුනගේ චර්යාවන් නරඹමින් මින් පෙර පය නොගැටුණු මහ හිමයේ දුර බැහැර ඉසව්හි කිසිදු අරමුණක් රහිතව ඉබාගාතේ සරමින්කාලය ගත කිරීමට දඩයක්කාරයාහට කිසිදු ගැටලුවක් උදක්ම නොවීය. එහෙත් සුද්දිය ඔහුගේ ජීවිතයට ඇතුළු වූ දා පටන් රාත්‍රියෙහි ඝනාන්ධකාරය වන පෙත වසා පැතිර යාමට ප්‍රථම ගෙපැල වෙත ළඟාවීමට ඔහු කෙළෙසක හෝ වග බලාගත්තේ ඒ තමන්ගේ යුතුකම බව වටහාගත් සෙයකිනි. 

එසේම දඩයක්කාරයා යනුවෙන් හැඳින්වුවද සතුන් ඝාතනය ඔහු දැඩි ලෙස පිළිකෙව් කළේය. දඩයම බලවත් ලෙස අරුචි කල දඩයක්කාරයෙක් යන්න ඔබට මහත් උත්ප්‍රාසාත්මක යෙදුමක් ලෙස දිස්වනුයේ නම් මම ඔබට කිසිසේත්ම දොස් නොපවරන්නෙමි.එසේමය ඒ උත්ප්‍රාසය දනවන්නෙකි. එසේම ඒ පරම සත්‍යය ද වන බව මම ඔබට පවසන්නෙමි. 

එදවස දඩයමට වූ බලවත් අකමැත්ත හේතුකොටගෙනම සහල් මිටක් හෝ ඉරිඟු කරලක් හෝ දෙකක් ගෙපැලෙහි සොයාගත නොහැකිවූ කල්හි දිනක් හෝ දෙකක් හීං ඇළෙහි ගලායන්නා වූ සිහිල් දියෙන් සැණහී නිරාහාරවම ගෙපිලෙහි වැතිර නින්දට යාම ඔහුට කිසිසේත් අරුමයක් නොවීය. 

එහෙත් සුද්දීගේ අනපේක්ෂිත ආගමනයත් හා සමඟම ඔහුගේ ජීවිතයේ නිරායාසයෙන් සිදුවූ දහසකුත් එකක් වෙනස්කම් අතර ප්‍රධාන වූයේ ද ප්‍රස්තුත කාරණයමැයි. බලවත් අකමැත්ත මැඩපවත්වාගෙන අවම වශයෙන් දින තුනකට වරක් හෝ දඩයමෙහි යෙදීමට ඔහුට සිදුවීය. දඩයමෙහි යෙදීමට දඩයක්කාරයා හට බල කෙරෙනු ලැබීය. 

ජීවිතයේ සිදුවන්නාවූ තමන් අරුචි දෑ උපේක්ෂාසහගතව නොසැළී පිළිගැන්මට ඔහුගේ වූ සහජ නැඹුරුව උක්ත කුදු මහත් විපර්යාස සියල්ල මුවින් නොබැණ ඉවසීමට මතු නොව ඒ තම ඉරණම යයි සිතා ඒ අනුව කටයුතු කිරීමටද දඩයක්කාරයාට උපස්ථම්භක වූයේය. 

හරිත තුරු ලතාදියෙන් සැදුම්ලත් වන පෙත ගෙපැලට අත පොවන මානයතෙක් නොනැවත වර්ධනය වූයේ අවම වශයෙන් කැති පහරක හෝ බාධාවකින් තොරවය. ගෙපැල සත්‍ය වශයෙන්ම වනයටම බිලි නොවූයේ වසරේ බක් මස පටන් නිකිණි වැස්ස දක්වා වූ වෙල්ලස්සේ හරිත පත් කසාවන් පරඬැල් බවට හැරවෙන දෘඩතර නියඟය වාර්ෂිකව ස්වභාවික මර්දකයක් ලෙස තම කාර්යය අනලස්ව ඉටු කල බැවිනි. 

යුවතිය ගෙපැලෙහි වාසයට පැමිණ බොහෝ දිනක් ගත නොවීය. මෙතෙක් කිසිදු උපද්‍රවයකින් තොරව වර්ධනය වූ වන බූටෑව ගෙපැල ඉදිරිපිට වූ කඩුල්ල ද ඉක්මවා පසු බසිනට සිදු වූයේය.ගෙපැල පසුපස බිත්තියට හේත්තු කොට මළ කා දුර්වර්ණ වී ගිය කැති තලයක් හරඹ කරමින් සුද්දී වෙහෙසෙන අයුරු දුටු දඩයක්කාරයා කම්මලට ගොස් පණ පොවාගෙන ආ කැති තලයකට මිටක් සවිකොට වන බූටෑව කපා හෙලි පෙහෙලි කිරීමට ඇයට සහාය විය. 

එතෙකින් නොනැවතුනු ඈ ගෙපැලෙහි කැඩී බිඳීගිය තැන් අඩුලුහුඬුකම් තමනට හැකි පරිදි සම්පූර්ණ කොට ඒ ප්‍රියමනාප මෙන්ම පිරිසිදු වාසස්ථානයක් බවට පත් කරවූවාය. 

ජීවිතය පිළිබඳ කිසිදු අරමුණක් හෝ ඉදිරි බලාපොරොත්තුවක් තබා යටත් පිරිසෙයින් ඒ පිළිබඳව කිසිදු හැඟීමකින් හෝ තොරව ඉබාගාතේ දිවි ගෙවූ අප කථානායක තෙමේටද මේ නව විපර්යාසයට හැඩ ගැසෙන්නට සිදූවූයේය. 

ගෙපැලෙහි පියස්ස හෙවිල්ලා අළුත් වැඩියා කරනු උදෙසා ඉළුක් රැගෙන එනු පිණිස දිනෙක සුද්දී උදෑසනින්ම කැති කොටයක් ද රැගෙන හීං ඇළ එගොඩ ඉස්මත්තේ චිරාත් කාලයක් හේන් කෙටීම උදෙසා ගැමියන් වන පෙත ගිණි ලෑම නිසාම හටගත් තලාව කරා පිටත් වනු දුටු දඩයක්කාරයාද ඇය පසුපස වැටුණේ කිසිදු නිශ්චිත අරමුණකින් තොරව නිරායාසයෙනි. 

එසේම තනමත්තක් උසට වර්ධනය වී පෙනෙනා තෙක් මානයේ පැතිරගිය ඉළුක් යායට වදින්නට තැත්කල සුද්දීගේ සුරත ග්‍රහණය කොට හෙතෙම ඇය නතර කරනුයේද කිසිදු නිශ්චිත අදහසක් හෝ අරමුණක් සහිතව නොව හුදෙක් නිරුත්සාහකවය. 

එහෙත් ඇගේ සුරතින් කැති කොටය රැගෙන ඈ දෙස මොහොතක් බලා හුන් දඩයක්කාරයා ඉක්බිති ඉළුක් යායට වැද ඉළුක් කපන්නට වූයේ තමන් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ මෙන්ම ඒ කුමක් උදෙසාද යන්න පිළිබඳවද නිශ්චිත වූ අදහසක් සිතෙහි දරාගෙනය. 

ඔහු ආයාසයකින් තොරව කැපූ ඉළුක් පඳුරු තැනින් තැන විසිරුවා දමනු දුටු ඇය හිඳගෙන හුන් ගල් තලාවෙන් බැස ඔහු ඇමතුවාය. 

'' මේ අයියෙ...ඔය කපන එව්ව තැං තැං වල විසු කොරන්නෙ නැතුව මේං මෙහෙම එක තැනකට ගොඩ ගහන්ටකො ......'' 

සිනා මුසු මුවින් ඈ පැවසූවට ඔහු හිස වනා එකඟතාවය පළකළේ නිරතව හුන් කාර්යය නැවැත්වීමකින් පවා තොරවය. 

කැපූ ඉළුක් සවිමත් කැබැල්ල වැල් පොටකින් තරව බැඳගත් ඔවුහු තුන් හතර වරකට ඒ හිස තබා රැගෙනවිත් ගෙමිදුලෙහි ඇතිරූහ. 

ගිණි උඳුනක උණුසුම පරදන දැඩි හිරු එළියේ වරුවක් අතුරා හේබා ගිය ඉළුක් එක්ට හිප්පා සවිමත්ව මිටි බැඳීමට දඩයක්කාරයාහට සුද්දී සහාය වූවාය. 

තරුණයා සහ තරුණිය එකතුව ගෙපැළෙහි වහල හෙවිල්ලා අවසන් වූයේ කළු කපා අඳුර අවට පරිසරය වසාගෙන හෝරාවකට ආසන්න කාලයක් ඉකුත්වූ ඉක්බිතිය. 

උදෑසන පටන් එක එල්ලේ විවේකයක් නොමැතිව වෙහෙස වීමෙන් කාර්යය අවසන් වන විට දඩයක්කාරයා මෙන්ම සුද්දීද බලවත් ලෙස විඩාවට පත්ව සිටියෝය. අවසන සියළු කටයුතු නිමා කල අනතුරුව මොහොතින් මොහොත කැටි ගැසෙන අඳුර අතරින් පිය මනිමින් ඔවුහු හීං ඇළේ වක්කලම වෙත ළඟා වූවෝය. 

ඒ මහා ගංවතුර බැසගොස් මසකට ආසන්න කාලයක් ගෙවී ගොසිනි. එලෙසම සුද්දී ඔහු හා වාසයට පැමිණ ද එලෙසම වූ කාලයක් ගෙවී ගොසිනි.මේ මුළු කාලය තුල දඩයක්කාරයා තරුණියගේ නිරුවත එකද වරක් හෝ නොදුටුවේය. එසේමය. එහි කිසිදු අරුමයක් නොමැත්තේය. ඒ දඩයක්කාරයා අවිඥාණකව එවන් අවස්ථා මඟ හැරීමට ක්‍රියාකල බැවිනි.බිම් කළුවර පතිත වෙද්දී ගොම්මනේ ගෙපැළ බලා එන දඩයක්කාරයා කිහිප දිනයක්ම හීං ඇළේ වක්කලමේ දිය කෙළිමින් සුද්දි ස්නානය කරන හඬ අසා හිටි පියවර නතර වූයේය.සිහින් හඬින් කුමක් දෝ කවි පද කිහිපයක් ද මුමුණමින් කෙළිදෙලෙන් ඇය ස්නානය කරන ශබ්දය මොහොතක් අසා හුන් දඩයක්කාරයා නිසොල්මනේ ගෙපැල වෙත පැමිණියේය. 

සුද්දි ස්නානය කරනුයේ පූර්ණ නිරුවතින් බව හොඳින් දන්නා නමුදු කිසිම විටෙක එදෙසට ගොස් ඇගේ නිරුවත නැරඹීමෙහි ලා කිසිදු පෙළඹවීමක් හෝ ආශාවක් තමා තුල ඇති නොවනුයේ මන්දැයි විශ්ලේෂණය කොට සිතා බැලීමට ඔහු කාලය මිඩංගු නොකලේය. ඒ ඔහුට තවත් එක් සංසිද්ධියක්ම පමණක්ම විය. 

ගම් නායකයාගේ තරුණ දියණිය හා සමඟ දඩයක්කාරයාගේ වූ ඉතා ලුහුඬු සම්බන්ධය පිළිබඳව මම ඔබට පැවසුවෙමි. එසඳ ඒ යුවතිය නෙත ගැටුනු වහාම දඩයක්කාරයාගෙ සිතතුල හටගත් ආශාව සහ අනුරාගය සුද්දී දුටු කල්හි ඔහු තුල හට නොගන්නේ මන්ද යන්න ඔහුට උභතෝකෝටික ගැටළුවක්ම වූයේය. එහෙත් ඒ පිළිබඳව වැඩි දුර සිත වෙහෙසවීමට ඔහුට කිසිසේත්ම අවශ්‍ය නොවීය. 

එහෙත් දඩයක්කාරයා තම සුපුරුදු උපේක්ෂාවෙන් යුතුව අවලෝකනය කොට කිසිදු තැකීමකින් තොරව ඉවත හල ප්‍රස්තුත කාරණය පිළිබඳව ඒ හා සමාන ක්‍රියා මාර්ගයක් අනුගමනය කිරීමට සුද්දීට කෙසේවත් හැකිවූයේ නැත. 

නව යොවුන් වියේ පසුවන යුවතියක සිතෙහි නිරායාසයෙන් හට ගන්නා වූ කාමාශාවට අතිරේකව ඇගේ චිත්තාභ්‍යන්තරය නිරතුරු කොණහමින් ඇයට වද දුන් තවත් එක් කරුණක් වූයේය. මව සහ පියා හැරෙන්නට මේ මිහි මත සුද්දීගේ ඥාතීයකු හෝ හිත මිත්‍රයකු වශයෙන් කිසිවෙකු ඇය දැන සිටියේ නැත.එබැවින් හුදු අහඹුවකින් ඇගේ ජීවිතයට ඇතුළු වූ දඩයක්කාරයා ඇයට එකම හිතු මිතුරා මෙන්ම ආරක්ෂකයා ද වූයේය. 

තම මතු දිවිය සුරක්ෂිත කොටගනු උදෙසා ගත යුතු ප්‍රශස්ත පියවර තම ආරක්ෂකයා හා සමඟ ඉතා සමීප සබඳතාවයක් ඇතිකරගැන්ම බව එකහෙලාම අවබෝධ කරගත් සුද්දී ඒ මුදුන්පත් කරගනු උදෙසා සියලු උපක්‍රම යෙදුවාය. 

එදවස හුදකලාව ජීවිතය ගෙවූ කල්හි දඩයක්කාරයා බොහෝ විට නින්දට වන්නේ පිල් කඩෙහිය. යුවතිය ඔහු හා වාසයට පැමිණි පසුවද එහි කිසිදු වෙනසක් නොවීය. සුද්දීට නිදනු පිණිස සවිමත් දඬු වලින් ඔහු ගෙපැලෙහි එක් පසෙක මැස්සක් තනා නිම කලේය. ඒ මත ඇතිරූ මුව සමක් මත ඇය නිදන අතර දඩයක්කාරයා සුපුරුදු ලෙස පිල්කඩෙහි නින්දට වන්නේය. 

යුවතිය ගෙපැළෙහි වාසයට පැමිණ ගත වී තිබුණේ දින කිහිපයකි. ඉර හැරුණු හෝරාවෙහි පටන් ඇරඹි පොද වැස්ස අඳුරු වැටෙන විටත් තුරල්ව නොතිබිණි.සුපුරුදු ලෙස පිල්කඩෙහි වැතිරගත් දඩයක්කාරයා කඩමාළු වී ගිය පොරෝණය තුල ඇකිලී නින්දට වන්නේය.එහෙත් මධ්‍යම රාත්‍රිය ගෙවීයන්නා හාම ඔහුගේ උරහිස දැඩිව සොලවා කිසිවකු ඔහු අවදිකරවීමට තැත්දරනු දැනී හේ වහා දැස විවර කලේය. 

ඇය ඔහු දෙස දැඩි අනුකම්පාවෙන් යුතුව විසල් කොටගත් දැසින් යුතුව බලා සිටියාය. 

'' අනේ අයියෙ…. අයිය මෙහෙම එළියෙ හීතලේ කුදහනකොට මම කොහොමද ඇතුලෙ නිදියන්නෙ?....එක්කො අය්යත් එන්ට ඇතුලට...නැත්නම් මාත් එනව මෙතනට…'' 


යුවතිය නිදන දඬු මැස්ස වූයේ පසුපස ගෙපැළෙහි බිත්තියට ආසන්නවය. දඩයක්කාරයා නිදන්නට වූයේ දොර පැළැල්ල අසලම අතුරාගත් වියළී දරදඬු වී ගිය මුව සමක් මතය. 

මෙසේ ගෙතුල නිදන්නට වන් බොහෝ දිනවල රාත්‍රියේ වශ්චිම යාමයක්ද ගතවනතුරු ඔහු නින්දට පිවිසීමට අපොහොසත් විය.කුඩා කල සිටම සුළු ශබ්දයකින් හෝ අවදිවන සුළු සැහැල්ලු නින්දකට පුරුදුව සිටි දඩයක්කාරයාට පියවර කිහිපයක් ඔබ්බෙන් නිදන සොඳුරු තරුණ යුවතියක හා සමඟ ඇය නොසලකා නින්දට පිවිසීම කිසිසේත්ම පහසු කාර්යයක් නොවිණි.එසේම ඔහු මෙන්ම ඇයද නිදි වර්ජිත බව එහා මෙහා පෙරළෙමින් වරින් වර නඟන සුසුම් හඬ කියාපෑවේය. 

එහෙත් කුමන හෝ දඩයක්කාරයාට වටහාගත නොහෙන යම් හේතුවක් නිසා ඇය කෙරෙහි කිසිදු අනුරාගී සිතුවිලි මාත්‍රයක් හෝ ඔහු සිතෙහි නූපන්නේය. 

මතු සම්බන්ධයි........ 

Monday, November 19, 2012

145. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....26


එදින රාත්‍රියෙහි , රාත්‍රිය නොව සත්‍ය වශයෙන්ම ඒ හිමිදිරිය යනුවෙන් නිවැරදි විය යුතුය, උක්ත යුවතිය තම සංවේගජනක අන්දරය පවසා අවසන්වන විට අරුණළු පතිත වනු වස් ඉතිරිව තිබුනේ හෝරාකට මඳක් අධික කාලයක් බැවිනි.

පෙරදිග අහස පැහැපත්වන්නට ආරම්භ වන හෝරාව ආසන්න වන විට ද ඇය ඔහු උරහිසට වාරුවීගත් අයුරු එලෙසම සිටියාය. පිළිවෙලට ඉහළ පහළ වැටෙන ඇගේ ආශ්වාසයෙහි දීර්ඝ සහ ගැඹුරු ස්වභාවය ඇය තද නින්දට පත්ව සිටින අයුරු කියා පෑවේය.

ඔහුගේ සුරත ඇගේ හිස පිරිමැදීම නතරකොට මේ වනවිට ඇගේ උරහිස වටා ගොස් ඈ ඔහු වෙතට වාරුකොටගෙන තිබිණි. අතැඟිලි වලින් ඇරඹි හිරිවැටීමක් සුරත පුරා කෙමෙන් විහිද ගියද ඔහු ග්‍රහණය ලිහිල් නොකොට ඒ ඉවසා සිටියේ ඇගේ නින්දට බාධා කිරීමට වූ දැඩි අකමැත්ත නිසාමය.

හිමිදිරි අහස පැහැපත් වෙද්දී උඩුකයට සහ දෙදණට යටින් අත් යවා ඇය ඔසවාගත් දඩයක්කාරයා ගෙපැල තුලට ගොස් පෙට්ටගම අද්දර එලා තිබූ මුවසමෙහි ඇය දිගාකලේය. ඇය පොරවාගෙන හුන් රෙදිකඩ පරෙස්සමින් සකස් කොට, ඇලයකට හැරී සුරත මත තබාගත් හිසැතිව නිදන ඇය දෙස මොහොතක් බලා සිටියේ, ගෙපැල දොරකඩ ආවරණය කල බට පැළැල්ල වසා දමා සුපුරුදු පරිදි ගෙපිල මතුයෙහි දිගා වූයේය.

උදෑසන දඩයක්කාරයා අවදිවන විට හොඳින් එළිය වැටී තිබිණි. ඔහු එක් වරම අවදි වූයේ සවණට වන් නුපුරුදු කිසියම් ශබ්දයක් හේතුකොටගෙන බව නිදිමත නම් වලාවන් අතරින් පායන හිරු මඬලක් පරිදි ක්‍රමයෙන් හැඟී ගියද ඒ කවර ශබ්දයක්දැයි එකහෙලා සනිටුහන් කොටගත නොහුනු හෙයින් හේ එක් වරම දෑස් විවර නොකොට මඳක් පොරොත්තු වූයේය.

එහෙත් කිසිදු ලෙසකිනුදු ඒ හඬ කුමක්දැයි හඳුනාගත නොහැකිවූ කල්හි ඔහු සෙමෙන් දෑස විවර කළේය.

දඩයක්කාරයාගේ නිවහන වූ ගෙපැල ඉදිරිපිට වූ රූස්ස කොහොඹ රුක පිළිබඳව මේ කථාවෙහි කිහිප විටකදී මීට පෙර සඳහන් කෙරුණු බව ඔබගේ මතකයෙන් ගිලිහී ගොස් නොමැත්තේයයි යන උපකල්පනයේ පිහිටා සිට ඉදිරියට කථාව පැවසීමට මට අවසර දයාබර සහෘදය / සහෘදිනිය........

උක්ත කොහොඹ රුක සෙවණෙහි ඇය ගෙමිදුල අමදිමින් සිටියාය. අසල වූ වන බූටෑවෙන් සිඳ ගත්තේයැයි සිතිය හැකි හරිත වන් අතු රිකිලි කිහිපයක් එකට බැඳ නිමවාගත් දළ මුස්නයක් ආධාරයෙන් ඇය ගෙමිදුල අමදිමින් සිටියාය.

හිණෙන් නැවී ඉතා කඩිසර ලෙස ඇය එම කාර්‍ය්යෙහි නිරත වූවාය. පැය විසි හතරකට ද අඩු කාලයකට පූර්වයෙහී ජිවිතයත් මරණයත් අතර සටනක යෙදෙමින් මහෝඝයෙක ගසාගෙන පැමිණ, ආශ්චර්යයකින් මෙන් දිවි ගලවාගත්තියකගෙ කිසිදු ලක්ෂණයක් ඇය කෙරෙන් කිසිසේත්ම විද්‍යාමාන නොවීය.ඒ එසේමය. ජව සම්පන්න තාරුණ්‍යයෙන් මොනවට සපිරී ඔද වැඩුණු ඕ තොමෝ වහා අතීතයෙහි දුක්ඛ දෝමනස්සයන් යටපත් කොට ලා පියා ජීවිතය ඉදිරියට ගෙන යාමට ඉටා ගත්තාක් මෙනි.

කෙලින් වී හිඳ බිත්තියට වාරු වූ දඩයක්කාරයා ඔහුට පිටුපා අනලස්ව දැඩි අවධානයෙන් තම කර්තව්‍යයෙහි යෙදෙන ඈ දෙස අඩවන් දෙනෙතින් යුතුව බලා සිටියේය. මොහොතකින් ඔහු දෙතොලට මන්දස්මිතියක් නැඟුනේ නිරායාසයෙනි. ඒ මන්දස්මිතිය දෙතොල් විවරවන සිනහවක් බවට පත්වන්නට වෙර දරද්දී කිසිවෙකු තමා දෙස බලා සිටිනා වග සවනේන්ද්‍රියකින් දැනුනාක් මෙන් ඇය ඇමදීම එක වරම නවැත්වූවා සෙමෙන් හිස හරවා උරහිසට ඉහලින් ඔහු දෙස බැළුවාය.

ඉක්බිති ඇය සිනාසුණාය.

යෙදී හුන් කාර්‍යය එකෙණෙහිම නතර කල ඕ තොමෝ මිදුල අමදිමින් සිටි බෝලත්ත ද රැගෙන සෙමෙන් දඩයක්කාරයා වෙත පිය නැඟුවාය. එකද පරඬැලක් හෝ වියළි පත්‍රයක් ඉතිරි නොවනසේ මනාව අතුගා තිබූ ගෙමිදුල සුදු වැල්ලේ ඇගේ පා සටහන් එකිනෙක පසුපස සටහන් වූයේ බොහෝ ප්‍රවේශමෙන් ඇඳි චිත්‍රයක් මෙනි. පා සලකුණු පරීක්ෂාකිරීමෙන් ඕනෑම පුද්ගලයකුගේ දේහ ලක්ෂණ මෙන්ම ගතිගුණ පිළිබඳවද නිවැරදි අනාවැකි පැවසිය හැකිබව මහ දඩයක්කාරයා පැවසූවා මතු නොව ඒ ශාස්ත්‍රය ඉගැන්වූ බව ද දඩයක්කාරයාගේ සිතට එක වරම නැඟිනි.

එහෙත් දීර්ඝ කාලයකට ඉහත මහ දඩයක්කාරයා ඉගැන්වූ එම ශාස්ත්‍රය භාවිතයෙන් තොරවීම හේතුකොටගෙන මතකයෙන් මැකීගොස් තිබිණි.ඒ නැවත සිහියට නඟාගැන්මට කල උත්සාහය අසාර්ථක වූ කල ඔහු ඒ වෑයම අතහැර දැමීය.

දඩයක්කාරයා ආසන්නයෙම පිළෙහි හිඳගත් ඈ වරක් ඔහු දෙස හැරී බලා යලි ඉවත බලාගත්තී වදන් ඉතා ප්‍රවේශමෙන් තෝරාගනිමින් කථා කළාය.

'' මම ඊයෙ මයෙ කතාව කිව්ව අයියට.......අයිය කැමතිනම් විතරක් අයියගෙ කතාවත් මට කියන්න...''තම කථාව කෙසේ ආරම්භ කලයුත්තේද යන්න තීරණය කිරීම, ජීවිතයේ කිසිදිනක එක දිගට වචන දහයක් හෝ විස්සකට වැඩි සංඛ්‍යාවක් තෙපලා නොමැති දඩයක්කාරයා හට මහත් අපහසු කරුණක් වූයේය.

තම ජීවිත කථාව අරඹනුයේ කොතැනකින්දැයි තීරණය කරනු පිණිස දඩයක්කාරයා මොහොතක් දෑස් පියා ගත්තේය.

'' අයියගෙ නම මොකක්ද? ''ඈ එසේ ඇසුවේ දෑස් පියාගත්වනම පසුවන ඔහු දෙස මොහොතක් බලා සිටීමෙන් අනතුරුවය.

ඒ පැණයෙන් තිගැස්සුනු ඔහු වහා දෑස් හැර ඇය දෙස එක එල්ලේ බලා සිටියේ විශ්මය පත් දෑසිනි.

ඔහුගෙ බැල්ම දුටු ඇය හඬනඟා සිනාසුණාය.

'' මොකද මේ තුස්නිම්බූත වෙලා වගේ?...අයියට නැද්ද නමක් කියල එකක්?..'' ඇය තවමත් සිනාසෙන්නීය.

'' ඇත්තටම මට නමක් නෑ තමයි....'' ඇගෙ සිනහව කෙමෙන් වියැකී ගිය ඉක්බිති පැතිර ගිය නිශ්ශබ්දතාවය බිඳලමින් දඩයක්කාරයා තෙපලීය.

'' ඈ???? "'.....ඇගේ මුව විවර වූ අයුරු ඔහු දෙතොලට සිනගවක් ගෙන ආයේය.

'' එතකොට මිනිස්සු ඔයාට කතා කරන්නෙ... ඒයි මේ.... කියලද?...'' ඇගේ සිනා හඬ යලිදු ගෙමිදුල පුරා පැතිර ගියේ කොහොඹ අතු පතර සැඟව හුන් කොබෙයියන් යුවලක් වේගයෙන් පියාපත් සලමින් කොහේදෝ ඈතකට පළවා හරිමිනි.

'' මිනිස්සු මට කියන්නෙ දඩයක්කාරය කියලයි....'' සිනහව මැකීගිය ඉක්බිති දඩයක්කාරයා පැවසූයේ බැරෑරුම් ස්වරයකිනි.

'' ඒ ඉතිං අයිය දඩයං කරන නිසා වෙන්නැති...එහෙම නෙවෙයි ඔයයිගෙ අම්ම තාත්ත ඔයාට කතා කලේ මොනව කියලද?...''

'' පුතා කියල ...නැතුව ආයෙ වෙන අහවල් දෙයක් කියන්නද?...''
ඔහුගේ හඬෙහි වූ අවංක භාවය ඔහු මේ කරනුයේ රැවටිල්ලක් නොවන බව ඇයට ඒත්තු ගැන්වීය.

'' ආ...එහෙමද?......'' ඇය අවසානයේදී එය පිළිගත්තාය. එනම් දඩයක්කාරයාට දඩයක්කාරයා හැරුණු කොට වෙනත් නමක් නොමැති බව ඇය පිළිගත්තාය.

එසේ පිළිගත්බව ඇය හැඟවූයේ දෙතුන් වරක් හිස ඉහලට සොලවමින් ඔහු දෙස බලා සිනාසීමෙනි.

'' එතකොට අයියගෙ අපුච්චගෙ නම? ''හදිසියේම මතක් වූ පරිදි ඇය යළි විමසූයේ එක් වනමය.

'' ඒත් දඩයක්කාරයම තමයි.... '' ඔහුගෙ ස්වරයේ යාන්තමට තැවරී තිබූ නොඉවසිල්ල වටහා නොගත්තා හෝ නො එසේනම් වටහාගත්තද ඒ බව නොපෙන්වූවා විය හැක ඇය යලිදු සිනාමුසු මුහුණින් පිළිවිසියාය.

'' එතකොට අපුච්චයි අයියයි දෙන්නම දඩයක්කාරය කියල... ''ඇගේ පැණය අවසන් කිරීමට පෙර ඔහු කථාකලේය.යම්කිසිවෙකු පැණයක් විමසූ කල ඒ පිළිබඳව බොහෝසේ කල්පනාකොට ඉක්බිති ප්‍රවේශමෙන් වදන් තෝරා බේරාගෙන කෙටි පිළිතුරක් දෙනු විනා කිසිවෙකුගේ කථාවට බාධා කිරීමෙහිලා කිසිවිටෙක නොයෙදුනු බැවින් තමන්ගේ මේ හැසිරීම දඩයක්කාරයාටම මහත් විශ්මයට කාරණයක් විය.

'' නෑ අපුච්ච ඉන්න කාලෙ උන්දැ මහ දඩයක්කාරය...මම පොඩි දඩයක්කාරය...උන්දැ මියැදුනාට පස්සෙං පහු තමයි මම දඩයක්කාරය උනේ. ''

'' හරි, හරි.... ඒ කාලෙ අයිය පොඩි දඩයක්කාරය දැන් මහ දඩයක්කාරය..ආ..නෑ...නෑ...පොඩි දඩයක්කාරයෙක් දැන් නෑ නෙව ඒ නිසා අයිය නිකම්ම දඩයක්කාරය....එතකොට ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට අයිය මහ දඩයක්කාරය වෙනව...''
ඇය ඔහු දෙස නෙත් කොණකින් බැලුවාය.

'' එහෙමද දඩයක්කාර අයියෙ?......'' ඇය යලිත් වරක් හඬනඟා සිනාසුණාය.

ආයෙම පොඩි දඩයක්කාරයෙක් ඉන්න දවසට....එවන් අවස්ථාවක් පිළිබඳව සිහිනෙනුදු මින් පෙර සිතා නොසිටි දඩයක්කාරයා එක වරම කුමක් පැවසිය යුතුදැයි සිතාගත නොහුනේ නිරුත්තරව යුවතියගේ සිනාසෙන දෑස දෙස බලා සිටියේය.

දඩයක්කාරයා දෙස බලාගත්වනම සිටි ඇගේ සිනහව එක වරම අතුරුදන් වූයේය.

'' හරි හරි...අයියගෙ නම දඩයක්කාරය...අපුච්චගෙ නම මහ දඩයක්කාරය ..ඒ ටික දැන් මට කිව්වනෙ...දැන් අයිය කියනකො බලන්න අයියගෙ කතාව.... ''
දඩයක්කාරයා බොහෝ වෙලාවක් කොහොඹ ගස දෙස බලා සිටියේ තම ජීවිත පුවත යුවතිය හා සමඟ පවසනු පිණිස සිතුවිලි තෝරා බේරා එකලස් කරගනු පිණිසය. යුවතියද ඔහු කථාව ආරම්භ කරන තුරු නිසොල්මන්ව ඉවසිල්ලේ බලා සිටියාය.

අවසන සිතෙහි තව ජීවිත කථාව ගොණු කොටගත් දඩයක්කාරයා කථාව ඇරඹීය.

'' ඔන්න මෙහෙමයි අපෙ අප්පච්චි මට කිව්ව විදිහට අපේ කතාව.................... ''

හෝරා දෙකකට ආසන්න කාලයක් දඩයක්කාරයා තම කථාව ඇය හා සමඟ පැවසීය. කිසිදු හරස් ප්‍රශ්න විචාරීමකින් තොරව ඕ ඒ සාවධානව අසා සිටියාය.

කථාව මුළුමනින්ම පැවසීමට හෝරා දෙකකට ආසන්න කාලයක් ගත වූයේ දඩයක්කාරයාට එක් දිගට බොහෝ වේලාවක් කථා කොට පුරුද්දක් නොවීම හේතු කොට ගෙනය. ඔහුගේ කථාව අතරතුර දීර්ඝ නිශ්ශබ්දතාවයන්ගෙන් ගෙවී ගිය විරාමයන්ද බොහෝ තිබුණි.

අවසන දඩයක්කාරයා කථාව නිමකලේය. ඒ අතර සෙමෙන් ඔහු වෙත ඇදී ඒ යුවතිය ඔහුගේ උරහිසට යලිත් වරක් හිස තබා වාරු වූවාය. ඉක්බිති නිරායාසයෙන්ම සිදුවිය යුතු ඊලඟ පියවර ලෙස දඩයක්කරයා ඇගේ උඩුකය වටා තම සුරත යවා ඇය වැලඳ ගත්තේය.

මම මෙහෙ නවතින්නද අයියා?...ඇය ඔහුගෙන් කිසිදිනෙක ඇසුවේ නැත.

ඔයා එහෙනම් මෙහෙ නවතින්න.....ඔහු ඇයට කිසිදිනෙක පැවසුවේද නැත.

එහෙත් ඒ තමන්ගේ ඉරණම බව තමන්ගේ දෛවය බව ඔහු මෙන්ම ඇයද එක පැහැර දැන සිටියෝය.ජීවිත ගමනේ නොයෙක් කම් කටොළුවලට බඳුන් වී මංමුලා වුනු මනුෂ්‍යයින් දෙදෙනෙකු වූ ඔවුහු ජීවිතයට මුහුණ දීමෙහිලා තමන්ගේ උරුමය මේ යයි හොඳින් වටහා ගත්තෝ ඊට නොපැකිල මුහුණ දීමට සිත් දැඩි කරගත්තෝය.

මතු සම්බන්ධයි........

Wednesday, November 14, 2012

108. වසර හයකුත් තවත් ටිකක් ගත වී ගිය සඳ....

හිටි හැටියේ ඇවිත් අවුරුදු 6 1/2ක් විතර පරණ තැනක ඉඳන් අද වෙනකම් දිග කියැවෙන කථාවක් කියන්නයි මේ යන්නේ.

2006 මැයි මාසේ දවසක මම කලින් වැඩ කරපු තැන මාත් එක්ක වැඩ කරපු අක්කා කෙනෙක්, වෙනත් ආයතනයක සේවය කරන එයාගේ යාළුවෙක් නිසා හිස් වෙන තනතුරක් ගැන තොරතුරක් මට දුන්නා. ඒ තොරතුරට අනුව මම මගේ ජීව දත්ත සටහන් පතක් ඉහතින් කිව්ව යාළුවා මගින් එම ආයතනයට යොමු කලා. ඒ යොමු කිරීම අනුව දින කිහිපයකින් එම ආයතනයේ ප්‍රධානී තනතුරු උසුලන මහත්මයා දුරකථනයෙන් අමතලා සම්මුඛ පරීක්ෂණය සඳහා දින යොදා ගනු ලැබුවා. ඉතිං එදා සම්මුඛ පරීක්ෂණයට ගිය වෙලාවේ ගේට්ටුව ගාව හිටපු තරමක් උස කොන්ඩය ‍එහෙම පොඩ්ඩක් විතර සුදු පාට වුනු මහත්මයෙක්ගෙන් තමයි මං මුලින්ම මේ එතැනම ද කියලා හරියට දැන ගත්තේ. හැබැයි මට හරියටම කියන්න බැහැ, ඒ ඒ කාලේ අපේ කන්තෝරුවේ වැඩ කරපු ඉංජිනේරු මහත්මයාද, නැත්නම් ප්‍රමාණ සමීක්ෂක තනතුර දරපු මහත්මයාද කියලා. මොකද දෙන්නාම ටිකක් එක වගේ.

ඉතිං එදා සම්මුඛ පරීක්ෂණය පැවැත්වුනා. ආයේ ඉතිං මොනවද නේද? අනේ ඔයා කොහොම හරි අපේ කන්තෝරුවට එන්න, එන්න කියලා මාව බඳවා ගත්තේ..... : D

 මහ අමුතු කන්තෝරුවක්. මුළු කන්තෝරු කාර්යය මණ්ඩලයෙන් ම කාන්තා නියෝජනය මං එනකොට 0%. යාන්තං මං ආවාට පස්සේ එම අගය 7%ක් වගේ වුනා. ඒ වගේම එච්චර කල් නිදහස් කුරුල්ලෝ වගේ එහේ මෙහේ පියාඹමින්, කැමති තැනක කැමති විටෙක දුම් වැටියක් දල්වාගෙන, තිරිංග විරහිත වදන් මාලාවන් මුදා හරිමින්, හිටිය ඉතිරි 93% නිකං හිරේ විලංගුවේ දැම්මා වගේ වුනා කියලා මං දැන ගත්තේ ඊටත් ගොඩක් කාලෙකට පස්සේ. කොච්චරද කිව්වොත්, මම රාජකාරි නිමා කරලා, මගට ඇවිත් ආයේ මොනවා හරි අමතක වෙලා කන්තෝරුවට ගියොත් දොර ඇරිය ගමන් මට කන්තෝරුව පෙනෙන්නේ චිත්‍රපටවල පෙන්වන දිව්‍ය ලෝකයක් වගේ.......... දුම් වලා අතරින් එක එක අය ටිකෙන් ටික පේන්න ගන්නවා........ :)

ඇත්තටම කිව්වොත් කලින් වැඩ කරපු කන්තෝරුවේ වැඩ කරපු අවුරුදු 1 1/2 තුල ඇතිවුනු ගජමිතුරු කම් මේ කන්තෝරුවේ අද වෙනකම් වත් ඇති වෙලා නැහැ. ඒත් මේ හැමෝම ඉන්න වටපිටාවක ඉන්න එක අමාරු දෙයක් නෙමෙයි. කොටින් ම කිව්වොත් මේක යූසර් ෆ්‍රෙන්ඩ්ලි කන්තෝරුවක්.

ඉතිං මේ කන්තෝරුවේ මගේ ආසනය පිහිටලා තිබුනේ පහත මාලයේ. පහත මාලයේ අය එක්කවත් එච්චර කථා බහ කරන්න තරම් කාලයක්වත්, මාතෘකාවත් මට තිබුනේ නැහැ.ඉතිං ඉහළ මාලය ගැන කවර කථාද? ඉහල මාලයේ කාමර වශයෙන් 5ක් තිබුණා. එයිනුත් එකක් කාමරයක් බව මං දැන ගත්තේ අවුරුදු 2කට විතර පස්සේ මං හිතන්නේ. එච්චර කල් මං හිතන් හිටියේ ඒක තවත් වැසිකිළියක් කියලා. හපොයි මං ඒක කාත් එක්ක හරි කියලා, ඒ කෙනා ඒ කාමරය අයිති කෙනාටත් කිව්වා මං මෙහෙම කිව්වා කියලා. මට ලැජ්ජා හිතුනට එයාලා කට්ටිය නං හොඳට හිනා වුනා.

ඉතිං ඔය ඉහළ මාලයේ කාමර තුනක අධ්‍යක්ෂ වරු තිදෙනා වැඩ වාසය කල අතර අනෙක් කාමරයක (අර වැසිකිළිය කියලා හිතපු කාමරයේ) රථවාහන කළමණාකාර තැන හිටියා. ඉතිරි කාමරය වෙන් වෙලා තිබුණේ ප්‍රමාණ සමීක්ෂක වරුන්ට. ඔයිනුත් මට වඩා අවුරුදු 5ක් 6ක් වැඩිමහල් කෙනෙක් හිටියා. එයා එක්ක තමයි ගිය වෙලාවකවත් මං කථා බහ කරන්නේ. ඊට මෙහා පැත්තේ ආසනයේ හිටියේ ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂකතුමා. පුහ්.............. උන්දැගේ ආඩම්බර............ ලොකු ඇස් කණ්නාඩි කුට්ටමකුත් දාගෙන, එක අතක් මේසයට තියාගෙන, ඒ අත උඩ නිකට තියාගෙන, ඒ නිසා උඩ ගිය මුහුණේ තියෙන ඇස් දෙක කණ්නාඩියට යටින් මොනීටරයට යොමු කරගෙන, ඉන්න උන්දැ ගැන අපොයි මොන කථාද?

දැන් ඔහොම කිව්වාට ඉස්සර මට ඔහොම හිතුනේ නැහැ මං හිතන්නේ. බොහොම බය පක්ෂපාත හැඟීමක් තමයි ඒ කාලේ තිබුණේ. කාලයක් යනකොට මට දැනගන්න ලැබිලා තිබුනා උන්දැ එංගලන්තේ මහ රැජිණගෙනුත් ඩික්ටේෂන් ගන්න තරම් ඉංගිරිසි දැනුමැත්තෙක් වග. ඒ නිසා වෙන්න ඕනෑ, මගේ හොඳම යෙහෙළිය බරපතල ලෙස අසනීප වෙලා රෝහල් ගතව ඉන්න වෙලාවේ, ඇයගේ ඉල්ලීමකට අනුව ඇය වෙනුවෙන් රැකියාවෙන් ඉල්ලා අස්වීමේ ලිපියක් සකසා ගන්න එතුමා ගාවට යන්න මට හිතුනේ.

මං ආයේ කවදා ලිව්ව ඉල්ලා අස්වීමේ ලියුං ද, ඉතිං මං ගිහින් කිව්වා අනේ මට මෙහෙම එකක් ලියලා දෙන්නය කියලා‍. ඒ පාර උන්දැ කිව්වා, හා ඔය ළමයා ලියාගෙන එන්න අපි බලමු මොකද කරන්න පුළුවන්නේ කියලා. හ්ම් ඉතිං ලියාගෙන ගියා, පොඩ්ඩක් හලලා පොඩ්ඩක් එකතු කරලා ලස්සනට වැඩේ කරලා දුන්නා. මං හිතන්නේ ඒක තමයි මට මතක පළමු සිදුවීම.

ඊට පස්සේ ඉතිං මං ඔය එක එක පොත් ගෙනියලා, දවල් ආහාර ගන්න ගමන් කියවද්දි දැක්කොත්, පොත බලලා, "ආහ්... ඔයාත් කියවන්නේ නියම පොත්නේ", "ෂා... ඔය පොත නියම පොතක්" වගේ දේවල් කිව්වාත් මතකයේ තියෙනවා. ඒ වෙලාවට මට හිතුනේ, 'ඈ බොලේ මෙයා පොත් ගැනත් දන්නවද?' කියලා තමයි. පොතක් කියවනවා තියා අතින් අල්ලන කෙනෙක් කියලාවත් මට ඒ වෙනකොට හිතිලා තිබුනේ නැහැ.

තවත් මතක් වෙන දෙයක් තමයි. සමහර අය බක බක ගගා හිනා වෙවී, විහිළු කථා කියද්දි, මෙතුමා මූණ බැරෑරුම් ව හදාගෙන කියන දේවල් වලට අනිත් අය හිනා වෙද්දී, මට හිතා ගන්න බැරුව යනවා මේ කිව්වේ විහිළුවක්ද ඇත්තක්ද කියලා. ඔය හ‍ඳේ හාවාගේ මල්ලී‍ගේ පුතාගේ කසාදය වගේ දෙයක් ගත්තොත් ඒක ඇත්තටම වුනා වගේ මූණ හදාගෙන දින වකවානු එක්ක හරි කියන්න හැකියාවක් තිබුණා. ඇත්තටම එහෙම කථා කියද්දී බලාගෙන ම ඉන්න වැඩේ.‍........ අනිත් අය හිනා වුනත් මට නං හිනාවෙන්නද, බක පණ්ඩිත ‍විදිහට ඔළුව වනන්නද, නැත්තං ඇහුනේ නැහැ වගේ ඉන්නද කියලා හිතා ගන්නම බැරුව යනවා. :D

ඔය කොහොම වුනත් මේ කොට්ටෝරුවටත් නියම කෙසෙල් ගහක් අහුවුණු වැඩක් වුනා දවසක්. ඒක මං ඒ කාලේ මගේ පරණ බ්ලොග් එකේ ලිව්වා. ඒ බ්ලොග් එක මයි බ්ලොග් ඩොට් එල් කේ එකේ තිබිලා, දැන් මැකිලා ගිහින්. නැත්තං අද මං ඒකේ ලිංක් එකක් මෙතැන දානවා, අපේ කථානායකතුමා නෙළුම් කොලේ, කරවල බැදුමත් එක්ක ඇල් හාලේ බත් කාපු හැටි හුදී ජන පහන් සංවේගය උදෙසා දැන ගන්නත් එක්ක. සමහරවිට මං නොකීවට එතුමා ම ඔය ගැන කොයි වෙලාවේ හරි කියයි මං හිතන්නේ.

ඉතිං ඔය වගේ සවුත්තු වැඩ වගේම කලින්දා කන්තෝරුවේ උත්සවයකදී මූණ සාක්කුවේ හිටින තරමට යම් යම් දේවල් වලින් අනුමත වීම වගේ වැඩත් එතුමාට වෙලා තියෙනවා. ඒ වගේ මූණ සාක්කුවේ දාගන්න අනිත් අයට වගේ නෙමෙයි, ඔය මොන දේ වුනත්, රැකියාවේදී ඔහුට පහළ නිලයන් පමණක් නොවෙයි, ඉහළ නිලයන් පවා ඔහු කෙරේ යම්කිසි ගෞරවනීය හැඟීමකින් පසුවුනු වග නොරහසක්. ඒවා තමයි මිනිස්සුන්ගේ පැවැත්මේදී ඇති කරගන්න පෞරෂය සම්බන්ධ යම් යම් වැදගත් කාරණා.

කොහොම වුනත්, රැකියාවටම ඇලුනු, පිටත ලෝකයට වැසුනු මනසකින් හිටින කෙනෙක් කියලා මගේ හිතේ තිබුණු ප්‍රතිරූපය, ඔය පොත් කියවිල්ල වගේ දේවල් වලින් බොහොම සුළු වශයෙන් වෙනස් වුනත් එක කාරණයක් සිදුවීමෙන් පසුව හිතුවාට වඩා බොහෝ සෙයින් වෙනස් පුද්ගලයකු නේද යන්න මට වැටහෙන්න වුනා.

මේ කථාව නං ඔය දන්න කියන කිහිප දෙනෙකුටම මීට කලින් මං කියලා තියෙනවා.

ඒ තමයි අපේ විවාහයට පෙර එළඹුණු අවසාන ආදර සැමරුම් දිනය වෙනුවෙන් මං මහපු කතිර මැහුම් රූපයේ කතන්දරය. ඒක මං මහන දවස් වල එක දවසක් කන්තෝරුවේ පරණ ම සේවකයකුගේ විවාහ මංගල්‍යය උත්සවයක් නිසා බොහෝ පිරිසක් ඒ සඳහා පිටත්ව යන්නට යෙදුනා. ප්‍රමාණ සමීක්ෂක මහත්වරු දෙදෙනාත් මාත් හැර කන්තෝරු කාර්යය මණ්ඩලයේ එක්කෙනෙක් දෙන්නෙක් හිටියා  වගේ තමයි මතක. ඉතිං පහළ මාලයේ ඉන්න කම්මැලි නිසා, මැහුමත් අරගෙන ප්‍රමාණ සමීක්ෂක  කාමරයට ගිය මම කණිෂ්ඨ ප්‍රමාණ සමීක්ෂක තුමාගේ වැඩට බාධා ඇතිවන පරිද්දෙන් ඕපදුප කියවමින් මැහුම කරගෙන ගියා. ඔය අතරේ මගේ මැහුමේ තිබුණු වාක්‍යය මම මැහැව්වේ අග සිට මුලට. ඒ ඇයි කියලා මට මතක නැහැ. අවසානයේදී මුල්ම වචනය වෙච්චි, LOVE යන්න මහගන්න නූල් මදි වුනා. ඒක වෙන පාටකින් මහන්න සිදුවුනා. දැන් මොන පාටින්ද මහන්නේ කියලා මං දහ අතේ කල්පනා කරන අතරේ මගේ මිතුරාගෙනුත් ඒ ගැන අදහස් විමසුවා. ඒ බැරැරුම් ගැටළුවට මැදි වෙලා අපි දහ අතේ කල්පනා කරන අතරේ, ප්‍රධාන ප්‍රමාණ සමීක්ෂකතුමා සිය ආසනයෙන් නැගී හිටියා.

"හ්ම්......... මොන කරදරයක්ද ළමයා මේ....... හ්ම්... හ්ම්... කෝ බලන්න ඔය තියෙන නූල් ටික"යි කිව්ව ගමන් මට හිතන්නත් වෙලා මදි වුනා මේ මොකද වුනේ කියලා. මං පුදුම වුනාට කණිෂ්ඨ ප්‍ර. ස. නම් පුදුම වෙලා තිබුනේ නැහැ. සමහරවිට උන්දැ, මුන්දැගේ මේ හැකියාවන් ගැන දැනගෙන හිටියා වෙන්න පුළුවන්. මම ඉතිං නූල් පෙට්ටිය පෙන්වූවා.

"හා... හා... ඔය තියෙන්නේ රතු පාටක්. වචනේ ලව් නේ. මහන්න ළමයා රතු පාටින්" කිව්වා. අනේ හැබෑටම ලව් වලට රතු පාට ඈ............. ලව් වලට රතු පාට තියා ලව් කියලා එකක් ලෝකේ තියෙන වගක්වත් මුන්දැ දැනගෙන ඉන්න ඇති කියලා මං ඒ කාලේ කීයටවත් හිතලා තිබිලා නැහැ කියලා ඒ වෙලාවේ මට හිතුනා.

ඉතිං ඔය වැඩේ වුනේ, 2008 ඔක්තෝබර් අග වෙන්න ඕනෑ........ ඊට පස්සේ දෙසැම්බර් මුල අපේ විවාහය යෙදී තිබුනා. ඒකට මං එතුමාටත් ආරාධනා පත්‍රය දුන්නා. ආසනයෙන් නැගී හිටලා, දෝතින් පිළිඅරගෙන අපිට සුභ පැතුව නමුත් ඒ වෙනකොටත් එන්න වෙන්නේ නැහැ කියලා අපි හැමෝම දැනගෙන හිටියා. ඒකට හේතු වුනේ, පිට රට රැකියාවක් සඳහා නොවැම්බර් අග පිටත්ව යාමට තිබුණු නිසායි. ඔය සඳහා අවශ්‍ය කරන සියලු ලියැකියවිලි, ඒ වැඩේට උදව් කරපු එතුමාගේ යාළුවාට ඊ මේල් කිරීම ආදිය සිදුවුනේ මගේ අතින්. ඒකට හේතුව ඊමේල් කිව්වහම දුන්නෙන් ඊ තලයක් මාර්ගයෙන් යවන ආකාරයේ ලියුම් විශේෂයක් වියයුතු වග මිසක ඒ ගැන වගේ වගක් එතුමා දැන නොසිටීමයි. ඉතිං එහෙම බැහැනේ. ඒ ගැන දැනගන්නම එපැයි රට යනවා නම්. ඉතිං ජී මේල් හා යාහූ වර්ගයේ ඊමේල් ලිපින දෙකක් සාදා, දුනු ඊතල නොමැතිව ලියුං යවා ගන්න හැටි පහදා දුන්නේ මේ මං තමයි හිතවතුනි, ඔය දැන් ලොකු ලොකු වැඩ දැම්මාට... : D

ඉතිං ඔහොම රට ගියා. කාලෙත් ගියා. ටික කලක් ගත වද්දී, මේ සිංහල බ්ලොග් අවකාශේ, කොළොම්බස් ඇමරිකාව හොයා ගත්තා වගේ මං හොයා ගත්තා. නොයෙකුත් ලිපි ලිව්වා. මගේ මහත්තයා ගැන මගේ දුව ගැන සහ කන්තෝරුව ගැනත් ලිව්වා. ඔය අතරේ ඉංගිරිස්කාරයෙක් කොමෙන්ට් කරනවාත් ඉඳ හිට මං දැකලා තියෙනවා. මහත්තයා ගැන ලිව්ව එකකට ලියලා තිබුණු කොමෙන්ට් එකකින් ඔන්න ඒ නම් අපේ කථානායකතුමා ම වග මට වැටහුණා. ඒ ගැන කල විමසීමේදී, ඔහු මගේ බ්ලොග් එක කාලයක් තිස්සේ කියැව්වත් ඒ මං ම දැයි සැකයකින් පසූවූ බවත්, මහත්තයාගේ පිංතූරයක් එකතු කර තිබුණු ලිපියෙන් සැකය දුරු වූ වගත් පැවසුවා.

කන්තෝරුවේදී දැන හිටි පුද්ගලයාට වඩා බොහෝ සෙයින් වෙනස් පුද්ගලයකු අන්තර්ජාලය තුලින් මුණ ගැහුනා. සමහර විටෙක අනිත් අන්තර්ජාල මිතුරන් සේ ඔහුද හඳුනාගනු ලැබුවේ අන්තර්ජාලයෙන් ම වගෙයි මට දැනෙන්නේ. පසු පසුව, බොහෝ බ්ලොග් වල කොමෙන්ට් අතර ඔහුගේ අගනා (ලිපි තරම් දිග) කොමෙන්ට් දිස් වන්නට වුනා. ඒ ඔස්සේ කරපු කථා බහකට අනුව අවසානයේ නිදහස් සිතුවිලි හවුල් බ්ලොග් අඩවියක් බවට පත් කෙරුනා. ඒ කාලේ මගේ සමහර අන්තර්ජාල යාළුවෝ ඉතිං මට දෝස් මුරේ නොදැම්මාමත් නෙමෙයි...... : D ඒ වෙලාවට මං ඔය මොකක් හරි කියලා බේරිලා යනවා. ආ ඒ මගේ මාමා කෙනෙක්. එහෙමත් නැත්තං බාප්පා කෙනෙක් වගේ උත්තරයක් දීලා එදා දවසට බේරී සිටිමේ න්‍යායකුත් අනුගමනය කලා...... :) ඒත් එදා දෝස්මුරේ දැම්මත් ඒ සමහර යාළුවෝ අද සතුටු වෙනවා ඇති, අපේ සහෘද රවීගේ ලස්සන ලියැවිලි නිදහස් සිතුවිලි වලින් කියවලා. (ඇත්තම කිව්වොත් දැනටත් බනින අය ඉන්නවා, මොකද්ද යකෝ අර යාං හෑල්ල, දඩයක්කාරයාගේ කථාව කියලා........ :D මං එතකොට කියනවා අනේ මන්දා අනේ, මාත් තාම කියවලා නැහැ කියලා)

ඉතිං ඔයාලා බොහොම දෙනෙක් හොඳින් හඳුනන ඔහු බොහොම හිතවත්, මිතුරුකම් පවත්වන්නට හිතෙන ජාතියේ කෙනෙක් වග මුණ ගැහිලා තියෙන අය ඇවිත් කියයි. ඇත්තටම නොයෙකුත් අවස්ථා වලදී, දැනටත් රාජකාරීමය කටයුතු වලට මම ඔහුගෙන් උදව් ලබා ගන්නවා. බරපතල රාජකාරී ලියුම් ලියා ගන්න ගියාමත් එහෙමයි. ඔය අන්තර්ජාල වාසී මිතුරු මිතුරියන් අහන ගොඩක් ප්‍රශ්න වලට පිළිතුරු මං අහලා කියන්නේ  ඔහුගෙන් ම තමයි.

ඉතිං දැන් කිහිප දෙනෙකුම දන්නවානේ මං මේ තකහනියේ අද මොකද මේ ලිපිය ලිව්වේ කියලා. අද, නිදහස් සිතුවිලි වාසී, අපේ සහෘද, රවී වීරසිංහගේ උපන් දිනය. ඉතිං ඒ උපන්දිනයට සුභ පතන්න තමයි මේ යාං හෑල්ල මං ලිව්වේ. (යාං හෑල්ලකින් මොන සුභ පැතුම් ද නේද? ඒත් මේ ටික ලියන්න කියලා මං දැන් කාලෙක ඉඳන් හිතාගෙන හිටියේ. ඒක නිසා ඔන්න ඔහේ ලියලා දැම්මා. මොකද දැනටත් සමහර අය සමහර වෙලාවට කියනවානේ අර ඔයාගේ මාමා කාරයා කියලා............ :D :D :D )

Wednesday, November 7, 2012

144. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....25


වැසි වළාවන් පසුපස සැඟව ගත් බැවින් අඩසඳෙන් ගලා ආ මඳ එලිය ද අතුරුදන් විය. තුරුපත් සිලිසිය අතරින් හමා ආ සිහිල් සුළඟ ද එක් වරම නතර වූ කල ගත කිලිපෙවූ සිහිලස ද පහව ගියේය. 


'' එදා මුලු දවසම වැස්ස එක දිගටම....අපුච්චයි මායි දවසම අම්මණ්ඩිට තනි රැක්කා. කලින් දවසෙ දවල් මම ඔහෙ නිකමට වගෙ ඉඟුරු කරල් හත අටක් තැම්බුව. එව්වත් හොඳටම වේලිල තිබ්බෙ.එව්වයින් ඉතුරු වෙලා තිබ්බ කරල් තුන හතරක්..හවහ අඳුරු වැටීගෙන එනකොට...දවසම පැල් බැඳගෙන වැස්ස නිසා අමුතුවෙං ආයෙ අඳුරක් වැටෙන්ට කියල එකක් තිබ්බෙ නෑ....බඩ ගින්දර වැඩි නිසාම මම ඉඟුරු කරක් දෙකක් කාල අපුච්චටත් දෙකක් ද කොහෙද දුන්න. ...එදා රාත්තිරියෙ නම් මට හොඳටම නින්ද ගියා...තෙහෙට්ටුවටම...අපුච්ච පහුවදා මට කතා කරනකොට ඒත් මහ පාන්දර....'' 

'' දරුවො..අපි පිටත් වෙන්ට ඕන...වතුර එන්ට එන්ටම වැඩි වෙනව...අද දවල් වෙනකොට මෙහෙටත් අල්ලයි....'' 

" අපුච්චගෙ හැමදාමත් තිබ්බ කිසිදේකට කලබල නොවෙන ගති සොබාව ඒ වෙලාවෙත් උන්දැ ගාව තිබුන...මෙච්චර දෙයක් වෙලත් ඒ ඇස් දෙකේ තිබුනෙ පුදුම නිවිච්ච පෙනුමක්. මයෙත් හිතට ඒ නිසාම කිසිම බයක් හැකක් දැනුනෙ නෑ අයියෙ... ''

'' ගෙදරින් පිටවෙලා මඟට බහිනකොටම මට ඉවෙං වගෙ තේරුනා ආයෙම මෙතනට නම් එන්න වෙන්නෙ නෑ කියල. ඒ එක්කම මම කිසිම දෙයක් ගත්තෙ නෑ. ඒ වගෙ වෙලාවක ජීවිතේ ගැනවත් විස්වාසයක් නැතිව දොට්ට බහිනකොට වෙන මොනව අරං යන්ටද අයියෙ?........අනික එහෙම අරං යන්ට කියල දෙයක් අපෙ පැලේ තිබ්බෙත් නෑ...පැලේ දොරකොඩ ගාවට වෙලා මම ඔලුව උස්සල ආකහේ දිහාවෙ බැලුව. එතකොටත් වහිනව ආකහේ හිල් වෙලා වතුර වැක්කෙරෙන්නැහෙ. අඩි දහයක් දුර පාර පේන්නෙ නැති තරමයි වැස්සයි අඳුරයි හින්ද. '' 

'' ආපහු නොබලාම එහෙම්ම මඟට බැහැල වළලුකරට එරෙන මඩේ මම අඩි දහයක් පහලවක් ගිහිල්ල නැවතුනා. ඔලුව උස්සල ආකහේ දිහාවෙ බලා හිටිය. වැස්ස හරියට ගල් ගහන්න වගෙ. ඇස් කෙවෙනි අස්සට වැහි බිංදු කොච්චර වටුනද කිව්වොත් ඇස් පුපුරු ගහන්ට ගත්ත. '' 

'' දෑස් දෙක පියාන එහෙම්මම බිම බලාගෙන ටික වෙලාවක් ඉඳල මම හෙමිහිට ආපහු හැරුන. අපුච්ච එතකොටමයි ගෙපැලෙ දොරකඩින් එලි බැස්සෙ....දෑතිම්ම අම්මණ්ඩිවත් හරහට වඩාගෙන.....දණිස් යටිනුයි උරෙස්ස යටිනුයි අත් දෙක දාලයි උන්දැව උස්සාන හිටියෙ. '' 

'' අම්මණ්ඩිගෙ එක අතක් පාතට වැටිල ඔහේ එල්ලුනා. අපුච්ච අඩියක් අඩියක් තියන පාරක් පාරක් ගානෙ ඒ අත එහාටයි මෙහාටයි හෙල්ලුනා. බෙල්ල කඩං වැටිල ඔලුවත් එහෙම හෙල්ලුනෙ නැත්තෙ උන්දැ අම්මණ්ඩිගෙ ඔලුව කෙලින් කරල පපුවට හිප්පාගෙන අතකිං තද කොරානත් උන්නු හන්දයි....'' 

'' අපුච්ච මා ළඟට එන්ට ඉස්සරවෙල කඩුල්ලෙං පැනල පාරට ආව .අපෙ ගෙපැල තිබ්බෙ ඩිංගක් විතර උස බිමක. ඒ උස් බිමෙං පාතට බැස්සම අපිට යන්ට උනේ දණක් ඉතර වතුරෙ බැහැල. දවස් දෙහෙකිං විතර හරි හැටි කෑමක් නැති අහේමෙත් එක්ක හිතේ අමාරුවත් එකතුවෙල මම ඒ වතුරෙ පයක් උස්සල පයක් තිබ්බෙ හීනෙං ඇවිදින්නැහෙ. එක පාරක් මම ආපහු හැරිල බලද්දි අපුච්ච නැවතිල මා දිහා බලා ඉන්නව. මාත් එතනම නැවතිල උන්දැ දිහා බලා හිටිය.මෙ වෙනකොට වතුර අපේ ඉණ ගාවට විතර ඇවිල්ල. එහෙම්මම මා දිහා බලා හිටියට මට තේරුණ උන්දැට මාව පේන්නෙ නෑ ක්ක්යල. උන්දැ එක්කො සිහි විකල් වෙලා නැත්නම් බර කල්පනාවක හිටියෙ ඒ වෙලාවෙ. '' 

'' අපුච්චා....... මම එතනම ඉඳගෙන මහ හයියෙං කෑගැහුව...මට පුලුවන් වෙර යොදල කෑගැහුවට යාන්තමට උගුරෙං අඬක් පිට උනා විතරයි කියලත් මට තේරුණා..දාරානිපාත වරුසාවෙ ඉවරයක් නැති සද්දෙ හන්ද අපුච්චට මයෙ බෑඟිරි ගැහිල්ල ඇහුනද නම් මන්ද..ඒත් උන්දෙ එක පාරට නිංදෙං හෑරියා වගෙ මා දිහාවෙ බලල ආයෙම වතුරෙ දණිපනි ගාල එන්ට පටං ගත්ත. ටිකෙං ටික වතුර ගැඹුරු උනා...අපිට ඇලපාර හොයාගන්ටත් බැරි තරමයි. ඇල පාරෙං එගොඩ වෙලා අපුච්ච කොහෙ යන්ට තනනවද කියල මං දැනගෙන හිටියෙ නෑ. ඒත් අපුච්ච කොහෙ හරි මාව එක්කං යයිනෙ ආරක්සාව තියෙන තැනකට ආං ඒ විස්වාසෙ පිට මම කිසි දෙයක් නාහ උන්දැත් එක්කම පස්සෙං ගියා. '' 

'' වතුර පාර එන්ට එන්ටම සැර උනා.අන්තිමට අපුච්ච එහෙම්මම නැවතුනා.. ...මයෙ දිහා බොහොම කණගාටුවෙං වගෙ බලා ඉඳල දිග හුස්මක් හෙලල කිව්ව ..... දුවේ , සුද්දියෙ, මෙතනිං අපි තුං දෙනාට වෙං වෙන්ට වෙනව...අම්මණ්ඩිව කියාපං අපි යන්ට යනවයි කියාල ..."' 

'' මම අම්මණ්ඩිගෙ මූණයි ඇස් දෙකයි අත ගෑව. ......ඒ කරල දෑතිම්ම මූණ වහගෙන ඇඟිලි අස්සෙං බලාන උන්න.අපුච්චි අම්මව මේ වෙන කොට බොහොම සැරේට ගලායන වතුර පාරෙං හෙමීට තිබ්බ. '' 

'' අම්මණ්ඩි වතුර පාරෙ ඔහේ පාවෙලා ගියා...මුලින් හෙමීට ..ඒත් හැඩ පාර මැද්දෑවට සේන්දු උනාම වේගෙ ටික ටික වැඩිවෙල ගිහිල්ල අන්තිමට කුඹුක් ගස් අස්සෙං ඈතටම පාවෙලා....... නොපෙනීම..... යන්ට.... ගියා...... යන්ටම.....ගියා....අයිය...යන්ටම ...ගියා....'' 

ඇය අවසාන වදන් කිහිපය පැවසූයේ වදනින් වදන නවතමින් මෙන්ම එම වදන් උසුරුවීම සිතට මහත් වෙහෙසක් ගෙන දෙන්නාක් මෙනි. ඇගේ සිතෙහි උතුරායන සංවේගය වටහාගත් දඩයක්කාරයා ඈ වෙත තම සුරත දිගු කලේය. 

පෙරදී මෙන් ඉකිබිඳ නොහැඬූ නමුදු ඇය ඔහු වෙත වාරුව යලිදු උරහිසෙහි හිස සඟවාගත්තීය. 

'' අපුච්ච අම්මණ්ඩි නොපෙනී යනව බලා ඉඳල මා දිහාට හැරුන. ඉවරයි..මගේ ජීවිතේ එක යුගයක් ඉවරයි. දුවේ , අපි කොහොම හරි මේ හැඩ පාරෙං එගොඩ වෙන්ට ඕන. ඒක ලේසි වෙන්නෙ නෑ. ඒත් අපි තුන්දෙනා කුරා කූඹියෙකුටවත් හිතාමතා වරදක් කරල නැතිබව ඇත්තක් නම් ඒ වැඩේ එච්චරම අමාරු වෙන්න විදිහකුත් නෑ.යමු. උඹට හොඳට පීනන්ට පුලුවනිනෙ. මගේ ලඟින්ම වරෙන් හොඳද?...... මට මොනව උනත් උඹ ජීවිතේ අනතුරේ දාගෙන මට උදව් කරන්ට එන්ට එපා. මා ගැන නොසලකා උඹ ජීවිතේ බේරගනිං... උන්දැ නැමිල මගෙ නලල ඉම්බ...මට හිතෙන්නෙ උන්දැටත් හිතෙන්න ඇති ඒ මාව දකින අන්තිම මොහොතෙයි කියල...'' 

'' උන්දැයි මායි එක ලඟින්ම පීනුවට හැඩ පාරෙ මැදක් යනකොට වතුර ගලාගෙන ආවෙ නිකං පිස්සු වැටිල වගේ...ඒ වතුර පාරෙ සැරට අපුච්චට මාත් එක්ක පීනන්ට බැරිඋනා.පස්සෙ අපි දෙන්නම ගහගෙන යන්ට පටන් ගත්ත පහළට. දියවැලකට අහු උනා වගේ අපිව ගහගෙන ගියේ. '' 

'' දියවැලකට අහු උනාම කවදාවත් දියවැලට විරුද්දව පීනන්ට එපා කියයි මයෙ අපුච්ච මට කියා දීල තිබුනෙ......දුවේ, සුද්දියෙ හොඳට මතක තියාගනිං, දියවැලකට අහු උනොත් කවදාවත් දියවැල යන අතට විරුද්දව පීනල බේරෙන්ට තනන්ට එපා. ඒකෙං කිසිම පොරෝජනයක් වෙන්නෙ නෑ. නිකං හති වැටිල අන්තිමට දියේ ගිලෙන්ටයි වෙන්නෙ.බේරෙන්ට තියන එකම විදිහ තමයි දියවැල ගහගෙන යන අතට ඒත් එක්කම පාවෙලා යන්ට දීපං...ඒ කරල හෙමීට දිය වැලේ සැර ගතිය අඩු උනාම ඒකෙං බේරිල පැත්තකට වෙලා ඊට පස්සෙ ගොඩට පීනපං..තේරුණා නේද මයෙ දුවේ... ඒ කාලෙකට ඉස්සරයි අපුච්ච මට කියා දුන්නෙ. තේරුනා අපුච්චි.....මම ඒ වෙලාවෙ ඔලුව වැනුව....'' 

'' මම දියවැල දිගේ ගහගෙන ගියා පහලට. අපුච්චිත් ඒ එක්කම එනව මම දැක්ක.ටික වෙලාවකිං දියවැලේ සැර අඩු උනා...අපුච්චියි මායි දිය පාර මද තිබුණු ලොකු ගල් කුලකට ගොඩ වෙන්ට තැනුව...ගල ලිස්සන නිසා වැඩේ ලේසි උනේ නෑ. එක පාරටම මහ විසාල වතුර කඳක් කොහේදෝ ඉඳල ආව. අපුච්චි අන්තිම මොහොතෙ පුලුවන් වෙර දාල මාව ගල් තලාව උඩට තල්ලු කලා. ඒත් ආපු දිය පාරෙ සැරට උන්දැට ගොඩ වෙන්ට ලැබුනෙ නෑ. උන්දැ ගහගෙන ගියා පහලට.අපුච්චී...... මම කෑගැහුව උන්දැ ගහගෙන යනව බලා ඉඳල. එක පාරක්....තව පාරක්...තවත් පාරක්...ඔව්..තුන් පාරක් උන්දැ දිය යට ගිහිල්ල ආයෙම මතු උනා...ආයෙමත් මතු වෙයි කියල මම ඇස් දෙකත් ලොකු කරගෙන බලා හිටියට ආයෙම මම දැක්කෙ කැරකි කැරකි ගලායන වතුර කඳ විතරයි...මයෙ අපුච්ච ආයෙ මතු උනේ නෑ අයියණ්ඩී...'' 

යුවතිය යළි නිහඬ වූවාය. ඇගේ දුක්බර කථාවට සවන් දෙමින් සිටි දඩයක්කාරයාගේ සිතෙහි ඈ කෙරෙහි දැඩි අනුකම්පාවක් මෙන්ම ඇගේ කතාව අවසානයේ ඈ කුමක් අයැද සිටිනු ඇතිද?...තමනට සුපුරුදු ජීවන රටාව වෙනස් කොට ඇය හා සමඟ........ඔහුගේ සිතුවිලි දහර එක්වනම බිඳී ගියේ ඈ යලි කථාව ඇරඹූ හෙයිනි. 

'' එහෙම්මම ගල් ගැහිල මම ඒ ගල් තලාව උඩ හිටිය...කඩාගෙන බිඳගෙන එන වතුර පාර මං හිටපු ගල්තලාවෙ හැප්පෙන්නෙ මහ සද්දෙං...ඒ කරල දෙපැත්තට බෙදිල ගලාගෙන යනව පහළට. පොඩි වතුර රැල්ලක් විතරක් ගල් තලාව උඩට ගලා ඇවිල්ල මයෙ දෙපා තෙමනව...ඔහොම ගල් ගැහිල වගෙ ඒ දිය රැළි දිහා බලා ඉඳල එක පාරටම මම පැන්න අර මහ වතුරට...දැං උනත් මේ මොහොතෙ උනත් අයියෙ මම එහෙම පැන්නෙ ඇයි කියල මට හිතාගන්න බෑ...සමහරවිට ජීවිතේ එපාම වෙලා වෙන්න ඇති...... අම්මණ්ඩියි අපුච්චයි නැතුව මම විතරක් ජීවත් වෙලා මොටද කියල හිතුන වෙන්නත් පුළුවන්...නැත්නම් මැරිල ගියොත් මේ ඔක්කොගෙන්ම සහනයක් වෙයි කියල හිතුන වෙන්නත් පුළුවන්, ඔය මොකක් හරි මම ඒ වෙලාවෙ වතුරට පැන්න එච්චරයි මම දන්නෙ. '' 

ඇය නිහඬව හුන්නීය. ඔහුගේ උරහිසෙහි හිස හොවාගත් අයුරු නිහඬවම හුන්නීය. ඔහු ද නිහඬව හුන්නේය. ඈ වැලඳගත් සුරතින් ඇගේ හිස පිරිමදිමින් නිහඬවම හුන්නේය. 

ඇගේ හද ගැහෙනා රාවය ඔහුටද ඔහු හද ගැහෙනා රාවය ඇයටද පැහැදීලිව ඇසුණු ඒ කල්පාන්තයට මොහොතකට පෙර ඇතිවන්නේ යයි කියන දැඩි නිශ්ශබ්දතාවය බඳු නිහඬතාවයේ වෙලී ඔහු ද ඇය ද තම අනාගතය පිළිබඳ අවිනිශ්චිත හැඟුම් සමුදායක වෙළී කොහොඹ ගස වටා ගුලි ගැසෙන ඝණ අඳුර දෙස හිස් බැල්මෙන් බලා සිටියෝය. 

මතු සම්බන්ධයි........ 

Thursday, November 1, 2012

143. එක්තරා දඩයක්කාරයකුගේ කතාව...........The Saga of A Hunter.....24


සත් දිනක් මුලුල්ලේ ඇදහැලුනු වර්ෂාව ඇණහිට ගතව ගියේ දින දෙකක් පමණි. 

පායා මුදුන්වූ දෑකැත්තක් වන් අඩ සඳෙහි අවම වූ ආලෝකය ද වරින් වර ඒ වසා පැතිර ගිය තවමත් ජලයෙන් ගැබ්බර වැසි වළාවන් කරණ කොටගෙන පොළවට පතිත වූයේ බොහෝසෙයින් ඉඳහිටය.ක්‍රමයෙන් රෑ බෝ වී එද්දී කොහොඹ ගස වටා රැව්දුන් මා වවුලන්ගේ කලබැගෑනියද තුනී වී ගොස් එක් වරම මැකී ගියේ හාත්පස දැඩි නිහඬතාවයක ගිල්වමිනි. 

අඩ සඳ වැහි වලාවන්ගෙන් වැසීයාමෙහිදී සිදුවූ අඳුර පැතිරයාමහෝ වවුලන් ගේ කලබැගෑනියෙහි උච්චාවචනය පිළිබඳ ඒ යුවතියට කිසිදු හැඟීමක් නොවීය. ඇගේ ශෝකජනක වූ ජීවිත කථාව දඩයක්කාරයා හා පැවසීමෙහිදී නොවැළැක්විය හැකිලෙස ඒ සිත් පාරවන සිද්ධීන් යළි ස්මරණයට නැගීමෙන් සිත් කැලඹී ගිය ඕ තොමෝ වරින් වර දෙනෙත් පිරී යන කඳුලු වැළැක්වීමෙහිලා නිරර්ථක ප්‍රයත්නය අතැර දැම්මේ අවසන හිස උකුලේ හොවාගත්තී ඉකිබිඳ හැඬුවාය. 

ඈ හඬන දෙස නිමේශයක් හිස හරවා බලාසිටි අප කථා නායකයා නැඟිට ඈ වෙත ගොස් ඈ අසලින් හිඳගත්තේ ඇගේ හිස මුදුව පිරිමදිමිනි. කෙමෙන් වියැකී යමින් තිබූ ඇගේ ඉකිබිඳුම සැණෙකින් තීව්‍ර වී යන්නාක් හා සමඟම ඇය ඔහුගේ උරහිසෙහි හිස සඟවාගත්තීය. 

ඇගේ හැඬුම කෙමෙන් වියැකෙන තෙක් ඔහු සිය සුරතින් ඇගේ හිස පිරිමදිමින් ගෙපිල මත්තෙහි අඩ අඳුරෙහි බිත්තියට වාරුවී හිඳ සිටියේය.මීට පෙර ඔහුගේ මුළු ජීවිත කාලයෙහිම මෙසේ යුවතියක හා ඇඟෑලිව ගතකොට ඇති එකම අවස්ථාව වහා ඔහුගේ මතකයට නැඟින. 

ඒ මා ප්‍රිය සබඳ,ඔබ ද ඉතා හොඳින් දන්නා පරිදි ගම් නායකයාගේ දියණිය සමඟ හීං ඇළේ නැම්මේ රූස්ස කුඹුක් රුක සෙවණෙහි ගෙවූ චමත්කාර ජනක සහ සොඳුරු නිමේශයක් කිහිපය වේ.එහෙත් එදා ඔහු සිත මෙන්ම ගත ද කළඹවා පැන නැඟි හැඟුම් සම්භාරය හා වර්තමානයෙහි සිතෙහි උතුරායන හැඟුම් සමුදාය අතර එක් ප්‍රධාන වෙනසක් දඩයක්කාරයාට නිරායාසයෙන් පසක් විය. 

ඒ එසේමය. එදින සිදුවූ තවමත් ඔහු මතකයෙන් සපුරා බැහැරව නොගිය කිසිදිනෙක එසේවෙතැයි සිතිය ද නොහැකි ඒ සිදුවීම ඒ අවස්ථාවෙහිදී මතු නොව ඉන් අනතුරුව පවා මතකයට නැඟෙනා කල්හි ඔහු සිත මෙන්ම ගත ද නිරායාසයෙන් උණුසුම් වන්නේ මධ්‍යාහ්නයේ දැඩි හිරු එළියට නිරාවරණව නිරුවතින් ගෙපැල අබියස මහ ගල් තලාව මත සිටගත්වනම සැළකිය යුතු පමණ කාළයක් ගත කළාක් පරිද්දෙනි. 

එසේ ගත දවන හිරු එළියට නිරාවරණව බොහෝ වේලා ගත කල නොහැක.එසේම ඒ උණුසුම පවතින්නේද හිරුඑලියට නිරාවරණව හිඳිනා තුරු පමණි.එක්වනම අසුරු සැණින් ඒ හටගත්තාක් මෙන්ම අතුරුදන් ද වන්නේය. 

විසංසන්දනයෙහිදී (In Contrast),මේ අනපේක්ෂිතව මහෝඝයෙහි ඉපිලෙමින් පැමිණ ඔහු විසින් දිවි ගලවාගන්නට යෙදුණු සුනම්‍ය දිගු අඟපසඟින් යුත් ලලනාව හා සමඟ ලෙන්ගතුව ගතකරන කාළය අත්‍යන්තයෙන්ම සම කලහැක්කේ පුන් සඳ අහස මුදුනත ලොව එකලු කරමින් දිදුලන රාත්‍රියක ඔහුගේ ප්‍රියතම ගල් තලාව මත දිගෑදී දෝර ගලායන සඳ වතුරේ නැහැවෙමින් සිත සියලු සිතුවිලි වලින් විනිර්මුක්තව නිරාමිස ආහ්ලාදයක් විඳිමින් ගෙවූ කාලයකටය. 

එදින හා මෙදින අතර වෙනස පිළිබඳව ආවර්ජනයෙහි යෙදෙමින් ස්වයං විමර්ශනයක යෙදෙමින් ඔහු කල් ගෙවන අතර ඇගේ ඉකි බිඳුම් හඬ කෙමෙන් අඩුවී අවසන වියැකී ගියේය. 

අවසන ඇය නිශ්ශබ්දතාවය බිඳියේ ඔහුගේ උරහිසෙහි හොවාගත් සිය හිස නො ඔසවාමය.උරහිසට තද කොටගෙන සිටි මුව පමණක් මඳක් මෑත් කොටගත්තී,ඕ තොමෝ සිහින් එහෙත් පැහැදිලි ස්වරයෙන් ඔහු ඇමතුවාය. දෑස් පියාගත්වනම වුවද අවට පරිසරයෙන් නැඟෙන ශබ්දයන් කෙරෙහි සංවේදි වෙමින්ම දඩයක්කාරයා ඇයට සවන් දුන්නේ ඇගේ හිස පිරිමැදීම නොනවත්වමිනි. 


''මේ අනෝරා වැහි කෝඩෙ පටන් ගන්ට දවස් දෙකකට ඉස්සරවෙලා මයෙ අම්මණ්ඩි ලෙඩිං වැටුන. ඊට කලියෙං මං දන්න කාලෙක ඉඳලම උන්දැට ඉහෙං බහින ලෙඩක් අසනීපයක් තිබුණෙ නෑ...ගහක් ගලක් වගෙ උන්නෙ මයෙ අම්මණ්ඩි...'' ඈ නැවතත් ඉකි බිඳින්නට වූවාය. 

ඇගේ හැඬුම අවසන් වන තෙක් ඔහු උපේක්ෂා සහගතව පොරොත්තු වූයේ කාලාන්තරයකට ඉහත මියගිය සිය මෑණියන් පිළිබඳව සොඳුරු මතකයන් සිතට ගලාඑන අතරදීය. 

මෙවර ඕ තම හඬ අවදි කලා ඉකිබිඳුම වියැකී යන්නට ද පළමුවය. වරින් වර නැඟෙන ඉකිබිඳුම් අතරින් ඇසෙනා ඇගේ සොවින් මිරිකුණු හඬට සවන් දෙමින්ම ඔහු දෑස් පියාගත්තේය. 

''අපෙ අපුච්ච ලෙඩ රෝග....ඒ වගේම වෙදකං ගැන හොඳට දැනගෙන හිටිය.ඒත් මේ පාර අම්මණ්ඩිට හැදුන ලෙඩේ ගැන උන්දැත් අඳෝ සංසාරයක් දැනගෙන හිටියෙ නෑ.'' 

'' අනික මේ මුරුගසං වැහි කෝඩෙ...අපුච්ච දන්න රහස් බෙහෙත් පැළෑටි තියන නිල්ගල කන්දට යන්ට දෙතුන් පාරක්ම මහ වැස්සෙම එළියට බැහැලත් ආපහු ආව ගල්කෙම ඇල මංකඩින් එගොඩ වෙන්ට බැරුව දෙගොඩ තලා යන වතුර හින්ද...මාත් උන්දැත් එක්ක ගියා ඇල මංකඩට...අපුච්චට යස අගේට පීනියහැකි.ඒත් උන්දැ මඩ පාටට ගස් කොලං පාවේගන එන මහ වතුර කඳ දිහා බලා ඉඳල පපුව ඔක්කොම කඩාගෙන යන්ට වගෙ දිග හුස්මක් හෙලල මා දිහා බලල කිව්වෙ මෙච්චරයි.ඒ කියනකොටත් උන්දැගෙ ඇස් දෙකෙන් කඳුලු කඩා හැලුන කියල මට ඉවෙං වගෙ තේරුනට මහ වැස්ස හින්ද මම ඒ කඳුලු දැක්කෙ නම් නෑ අයියෙ... '' 

''මේ තමයි ලබා උපං හැටි මයෙ දුවේ...නිල්ගල කන්දට යන්ට මට අද වරං නෑ...පීනල එගොඩ උනත් මේ වතුර වැඩිවෙන හැටියට මම ඉත්තේරුවෙම්ම දන්නව මට ආපහු එන්ට බෑ..කරන්ට දෙයක් නෑ...අපි යමු ආපහු, '' 

'' ඒ වෙනකොට අම්මට හරි සිහියක් පතක් තිබුනෙ නෑ...උන්දැ ඔහේ ඇස් බාගෙට ඇරගෙන වහල දිහා බලාගෙන හිටිය. උන්දැගෙ ඉහ අද්දර පත්තු වෙච්චි පොල්තෙල් පාන බිත්ති අස්සෙං විඩෙං විඩේ හමාගෙන ආපු හුළං රැල්ලක් රැල්ලක් ගානෙ නිවෙන්ටම වගෙ අඩු වෙලා ගිහිල්ල ආයෙම එලිය විහිදුවල දැල්වුනා. '' 

අඩසඳ වලාවකට මුවාවී හාත්පස අඳුර ගලා ඒමද තවමත් හරිහැටි නොවියළුනු හරිත තුරු පතර රැඳි පිණි බිඳු වල සිහිලස උකහාගත් සිහිල් සුළංරැල්ලක් හමාවිත් ඔවුන්ගේ සිරුරු හිරිගඩු නැංවීම ද සිදුවූයේ එක් වරමය. 

උරහිසට වාරුවූ ඇගේ හිස සෙමෙන් ඉවතට කල ඔහු නැඟීසිටීමට තැත් කළේය. එක්වනම කථාව නැවැත්වූ ඇය සිය විසල් දෙනෙතින් ඔහු දෙස විමසුම් බැල්මක් හෙලුවාය.සිහින් සිනහවකින් ඇය දෙස බලා සන්සුන්ව හිඳින ලෙස සන් කල දඩයක්කාරයා ඇගේ හිස සෙමෙන් බිත්තියට වාරු කොට නැඟී සිටියේය. 

ගෙතුල වූ පෙට්ටගම මත අතුරා තිබූ උදෑසන දෙකඩ කල ශ්වේත වර්ණ රෙදි කඩින් ඉතිරි කොටස රැගෙන පැමිණි හේ ඒ යුවතියගේ උඩුකය ආවරණය වන සේ දැවටීය. 

කෘතඥතා පූර්වක මන්දස්මිතියකින් ඔහුට සංග්‍රහ කල යුවතිය ක්‍රමයෙන් දැඩිවන ශීතයෙන් වැළකෙනු වස් රෙදි කඩ තුලට තවත් ගුලි වූවාය.ඈ අසලම පිළෙහි හිඳගත් නමුදු දඩයක්කාරයා ඇය තමා වෙතට ළංකොටගැන්මට උත්සාහයක් නොදැරුවා සේම යුවතිය ද පෙර මෙන් ඔහු වෙත තුරුළු වීමට කිසිදු උත්සාහයක් නොගත්තී දෑත් පොරවාගත් වනම බිත්තියට හේත්තු වූ ලෙසම නිසොල්මන්ව හුන්නීය. 

මේ වන විට නිශාචර සත්වයින්ගේ නාදයන්ද වියැකී ගොස් වන පෙත ඝණ පොරෝනයකින් ආවරණය කලාක් බඳු දැඩි නිශ්ශබ්දතාවයක වෙලී පැවතිණ.මේ ගැඹුරු නිශ්ස්ශබ්දතාවයෙහිදී දඩයක්කාරයාගේ හෘද ස්ඵන්දන රාවය ඔහුට කොපමණ තදින් ඇසුණේ ද යත් ඒ යුවතියට ද ඇසෙන්නේදැයි සැක හැර ගනු උදෙසා ඔහු ඇය දෙස හිස නොහරවා නෙත් කොණින් බැල්මක් හෙළීය. ඇය ට ඒ ඇසුණි ද නැද්ද කෙසේ වුව ද ඕ උඩුකය ආවරණය වූ රෙදිකඩෙහි ඇකිළීගත් වනම හුන්නී දෑස් පියා ගත් වනමය. 

ඔහු දෑස් ඉවතට ගැනීමට පෙරම ක්ෂනයකින් දෑස් විවර කල ඈ තම කථාව යලි ඇරඹූයේ කථාව ඇරඹීමට කිසිවෙකුගෙන් සංඥාවක් ලැබෙන තෙක් පොරොත්තුව සිට ඒ අපේක්ෂාවන් ඉෂ්ඨ වූවාක් මෙනි. 

''එදා රෑ නම් දෙකින් එකක් වෙයිමයි කියල මට නිකම් ඉවෙන් වගෙ හැඟුන. ඇහැරල ඉන්ට කොච්චර උත්සාහ කලත් දන්නෙම නැතුව මට නින්ද ගිහිල්ල තිබ්බ...වැඩියම හිතේ අමාරුවටමයි....අපුච්ච මගෙ උරහිසෙං අල්ලල හොල්ලල මාව ඇහැරවනකොට යාන්තමට එළිය වැටීගෙන එනව...එළිය කිව්වට ඒ එළියක්මත් නෙවෙයි..අහස වහ ගත්ත කළුම කළු වැහි බීරිම මැද්දාවෙං යාන්තමට බේරිල එන මලානික මූසල එළියක්...අම්මණ්ඩි දිහාවෙ බලන්ට මට ඕන උනේ නෑ අයියා...මම දැනගෙන උන්න උන්දැ මියෑදිල කියල....අම්මණ්ඩි ලෙඩිං වැටුනු දවසෙමයි මයෙ හිත කීවෙ මෙදා පාර නම් ලොකු විනසයක් වෙලා තමයි කෙලෝරක් වෙන්නෙ කියල.ඒත් එහෙම දෙයක් වෙයි කියල හිතිං හිතාගෙන ඉන්න එක එකක්.ඇස් පනා පිට තමං හිතපු දේ...තමං බලාපොරොත්තු වෙච්චි දේ ඇත්ත උනහම මනුස්සයෙකුට මොනව උනත් ඒක දරන්ට අමාරුයි. '' 

මුළු මහත් විසල් ලොවෙහි මිනිස් වර්ගයාගෙන් ශේෂව ඇත්තේ ඇය ද ඔහු ද පමණක්මය යන සිතුවිල්ල එක් වරම දඩයක්කාරයාගේ සිතට නැඟුනේ කුමක් හෙයින් ද යන්න ඔහු නොදත්තේය.එහෙත් මෙතෙක් කාලයක් මුළුල්ලේ කිසි දිනෙක ඔහු සිතට එවන් ප්‍රේමණීය (Romantic) හැඟීමක් නොනැඟුනු බැවින් එක් වරම විපිලිසර වූ දඩයක්කාරයා වහා යුවතිය දෙස හිස හරවා බැලූයේ තම වතෙහි පළවූ විපර්යාසය ඇයටද හැඟුනිදැයි දැනගැන්මටය.එහෙත් ඇය හිස් බැල්මෙන් බලාගත්වනම සිටියේ ගෙමිදුල කැටිගැසුනු ඝණ අඳුර දෙසය. 

''අම්මණ්ඩි දෙපැත්තෙ ඉඳගෙන අපුච්චයි මායි එදා දවසම හිටිය ඔහේ බලාගෙන...අයිය විස්වාස කරනවද මයෙ මේ ඇස් දෙකෙං එදා එක කඳුලු බිංදුවක්කත් ගලාගෙන ගියේ නැහැ කිව්වහම...අද මම අඬපු විදිහට අයියට පුදුම ඇති එහෙම කියනකොටත් ඒත් ඒක තමයි ඇත්ත... '' 

පිළෙහි හිඳගත්වනම ඈ නොනවත්වා කථාකරගෙන ගියාය. දඩයක්කාරයා ඈට සවන් දෙමින් පිළෙහි වැතිර සිටියේය.මේ දර්ශනය එනම් පුරුෂයෙකු හා ස්ත්‍රියක එකිනෙකා අසළ අසුන්ගෙන සුහද කතාබහක නියැළෙනු එසේත් නොමැත්තේනම් එදින ඔවුන් මුහුණ පෑ අපූර්ව හෝ සාමාන්‍ය සිදුවීම් පිළිබඳව අන්‍යෝන්‍ය අදහස් හුවමාරුවක නියැලෙනු යනු ඉතාම සාමාන්‍ය, දුටුවෙකු කිසිසේත් නැවත ආපසු හැරී බැලීමට හෝ ඒ පිළිබඳව තව දුරටත් විභාග කිරීමට පොළඹවන සුලු දර්ශනයක් නොවන බව විශේෂයෙන් ඔබට කිවයුතු නොවන බව මම දනිමි මා හිතවත / හිතවතිය. 

ඒ එසේවුවද දඩයක්කාරයා එදින පිළෙහි වැතිර ඇගේ කථාවට සවන් දෙමින් හුන්නේ සිතෙහි මොහොතින් මොහොත නැඟී එන උද්වේගයන් සමූහයකට බඳුන් වෙමිනි.තමන් විසින් උදෑසන දිවි ගලවාගත් තමා පසෙක පිළෙහි අසුන්ගෙන හිඳිනා මේ යුවතිය තම ජීවිතයෙහි කොටසක් බවට පත්වීමට නියමිත බව ඔහුට ඉඳුරා හැඟෙන්නේය.ඇය කෙරෙහි බලවත් අනුකම්පාවක් මුසුවූ සෙනෙහෙයකට බොහෝ සෙයින් සමාන වූ චිත්තවේගයක් තම සිතෙහි එක් මෙතෙක් තමන් ද නොදැන සිටි පරිශ්‍රයක ක්ෂුද්‍ර මල් කැකුළක්වැ ඉපිද මේ ගතවන මොහොතක් පාසා අනවරතව විකසිතව වර්ධනය වෙමින් තම සිත පුරා සුගන්ධය පතුරුවමින් සිත තම ආධිපත්‍යයට නතු කර ගැන්මෙහි ලා බලවත් පරිශ්‍රමයක නිරත වන බව ඔහු කිසිදු සැකයෙකින් තොරව එකහෙලා දැන සිටියේය. 

එහෙත් ඔහු නොදැන සිටි කාරණය වූයේ, නැත, වඩාත් නිවැරැදිව කිවහොත් ඔහුට තීරණයක් ගැන්මට නොහැකිවූ කාරණය වූයේ ඒ බලපෑමට ඒ හැඟීමට ඉඩ දීමට ඔහු සූදානම් ද යන වගයි.මෙතෙක් නිදැල්ලේ සිතූ මනාපයේ ගෙවූ ජීවිතය,..... හරිත වන් තුරු ගොමු අතරින් කණට ඇසෙන නෑසෙන පමණ මුණු මුණුවක් දසත පතුරමින් ලැසි ගමනින් ගලා බස්නා නිල් දිය දහරක් මෙන් ගලා ගිය ජීවිතය..එක් වරම අසුරු සැණෙකින් වැසි රහිතව නිල් අහසින් පතිත අශනි දහරක් මෙන් මේ පැමිණි විපර්යාසයට ඉඩ දීමට ඔහු සූදානම් ද යන බලවත් ලෙස ව්‍යාකූල වූ ගැටළුව තියුණු සැතක් මෙන් හදවත පාරද්දී ඔහු ඇගේ,ඒ යුවතියගේ කථාවට සවන් දෙමින් ගෙපිළ මත වැතිර හුන්නේය. 

මතු සම්බන්ධයි........ 

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...