Thursday, March 21, 2013

171. විමලෙගෙ වාං පතුල් නොහොත් ලාංකේය බෞද්ධ සාහිත්යයෙන් අංශු මාත්රයක්....


විමලෙය බටු මිරිස් පාගාගෙන ගිය කතාව අන්තිමට මම කිව්ව් බොලාට මතකෙයි ? උගෙ වාංපතුල් කතාව ඊලඟට කියඤ්ඤංය කියාල හිට තමයි හිතාන හිටියෙ. ඒ කතාව කියන්ට ගිහිල්ල අර කොහෙද යන කබරයෙක් එක්ක ඔට්ටුවෙලා වෙච්චි වැඩේ ඒ කතාව කියන්ට බැරිම වෙලා ගියා. ඊටත් පස්සෙ නයි ගැනයි මාලිංගලා ගැනයි කොන්ත නෝනල ගැනයි අන්තිමටම අර ලලනාව නිසා මෙරිල් ලොක්කි ගැනයි ලියන්ට වෙච්චි නිසා වාංපතුල් කතාව ඩිංගෙං ඩිංග මගෑරිලා ගියා. හරි අද ඔන්න ඒක කියන්ටයි මේ හදන්නෙ..... 

රයිට් එන්ඩ බලන්ඩ කට්ටියම පං පැදුරු එහෙම උහාගෙන. දිගඇර ගන්ට ඔය ඉඩ තියෙන තියෙන කොහෙං හරි...බණ අහන්ට ගිහිල්ල වගෙ නිදාවැටෙන්ට ඔට්ටු නෑ හොඳද? 

බණ අහන්ට ගිහිල්ල නින්ද ගිය චාලට් අක්කගෙ කතාව අහල තියද?..එක්කොත් ඕන නෑ.. ඒක සුට්ටක් විතර අසබ්බිය පැත්තට බරයි.කාලෙකට ඉස්සර මම ඔය කතාව ලිව්ව අන්තිම පේළියෙ. 

මොනම දේකට හරි පුරුදු උනහම ඒක අතෑර ගන්ට බෑ. දැං මේ පඳුරු වටේ තැලිල්ලටත් වෙලා තියෙන්නෙ අන්න ඒක. මටත් ඒක ඇබ්බැහි වෙලා. ඔබ තමුන්නාන්සෙලත් මෙතෙන්ට එන්නෙ පඳුරු වටේ තලනව බලන්ටම හිතාගෙන. එහෙම තලන්නෙ නැතුව ලබ්බ ගලේ ගැහුව වගෙ කතන්දරේ කියැව්වොත් මට නෙසෑහෙන්ට වගපල කියන්ටත් බැරි නෑ..හුහ්, කොයි බොල උඹෙ පඳුරු තැලිල්ල? අපි මේ ආවෙ ඒක බලන්ටමය. බොට වටිනවය තැලිල්ල අතෑරල මෙහෙම එක පාරට කතාව කියන්ටය...අරකද මේකද කියල. ඒ නිසා ඉන්ටලාකො සුට්ටං පඳුරු තැලිල්ලක් කරලම ඉන්ට. 

මේ පඳුරු තැලිල්ල බණ අහනවාට අදාලයි හොඳද? ඔන්න එක ගමක් තිබ්බලු. ගමේ එක පන්සලක් තිබ්බලු. පන්සලේ එක හාමුදුරුකෙනෙක් හිටියලු. මේ ගමේ හිටියලු ටිකක් වයසක පාහෙ හීරළුවෙක්.හීරළුවයි කියන්නෙ සිවුර ලූ කියන තේරුමෙන්. දෙහිගහ උඩ වනල යනව කියන්නෙත් ඕකටම තමයි. 

" හුහ්, ඒ උන්නාන්සෙගෙ කල්කිරියාව නං මට ඇල්ලුවෙම නෑ. දැක්කනෙ අර තේඋඩිච්චියො රැලත් වට කොරගෙන බෝ මළුවටම ඇහෙන්ට පලාපු කැකිරි පැලිල්ල. මයෙ ඉහේ උකුණො බිමට පැන්නෙ නැතුව විතරයි, මේ ඇත්තමයි. තව ඒ හැටි කාලයක් යන්නෙ නෑ මම අද කිව්ව කියල හිතාගනිල්ල. ඔය උන්නාන්සෙ චීවරේ දෙහිගහේ වනල ඔය මාර දූතියක් එක්ක හඳ පානෙ ගියේ නැත්තං මට ඉජුහ් ඉජුහ් කියාපල්ල.... ඉජුහ් ඉජුහ්..." 

එහෙම තමයි දාහක් බුදුන් බුදුවන පාලොස්සක පෝය දවසෙ දස සිල් සමාදං වෙච්චි අපේ සර්දාවන්ත උපාසිකාවො. ඔව්, විසාකා,සාමා, බන්දුල මල්ලිකා යනාදී වසයෙන් වූ බවුද්ද සාසනයේ මහා උපාසිකාවන්ගේ පරපුරෙන් පැවත එන්නාවූ මහෝපාසිකාවො බෝ මලුවෙ ඉඳගෙන දර්ම සාකච්චා පවත්වන්නෙ... 


ඔය හීරලුව කියන එක ටිකක් විතර අපහාසාත්මක වගෙ හින්ද අපි මෙතන ඉඳල යොදමු උපැවිදි කියන වචනෙ.බොලාට ඒ වචනෙ පුරුදු වෙනකල් මම විතින් බ්‍රැකට්ස් තුල දාන්නං හීරළුවා කියල මෙන්න මෙහෙම . උපැවිද්දා ( හීරළුවා ) උපැවිද්දා කිව්වම නිකං දුන්නෙං විද්දා වගෙ අදහසකුත් එනව වගෙ නේද?...හෙහ්, හෙහ්.... 

හරි කොහොම හරි අර උපැවිද්දා ( හීරලුවා ) ඇවිල්ල මහම වාතයක් ඇණයක්, තුවාලයක්,පේන් ඉන් ද ආස් වෙලා හිටියෙ අර මම කියාපු හාමුදුරුවන්ට. 

උපැවිද්ස්ගෙ ( හීරල්ස් ) හාමුදුරුවරු එක්ක පුදුම තරහක් තිබ්බෙ. එහෙම වෙන්ට හේතු කීපයක් තිබ්බ. එක හේතුවක් විතරක් කියන්නම්. මොකද අනික් හේතු කියන්ට ගියොත් අර බී.බී. එස්. ( Bloody Bull Shit ) කස්ටිය රෙදි... සමාවෙන්න, චීවර කරට අරගෙන එන්ට බැරි නෑ මේ පැත්තෙ. 

ඒ කියන්ට පුලුවන් හේතුව තමයි ඔය ලංකාවෙ පංසල් වල පැවතගෙන එන පංසලේ අයිතිය පරම්පරාවට බාර දෙන සිරිත. මේ කාලෙ නම් කොහොමද කියන්ට දන්නෙ නෑ ඒත් අපි හිච්චි එවුං කාලෙ ඔය සිරිත තදේටම තිබ්බ. පංසලේ නායක ගොයිය අපවත් වෙන්ට කිට්ටු වෙනකොට තමංගෙ පරම්පරාවෙ කවුරුහරි පොඩි එකෙක් මහණ කරනව තමංගෙං පස්සෙ පංසලේ අයිතිය බාරවෙන විදිහට වැඩේ සැට් කරල. 

මම ඕක සහසුද්දෙම්ම දන්නෙ මටත් පොඩි කාලෙ ඔහොම ඔෆර් එකක් ආපු හින්ද....හෙහ්, හෙහ්, අපෙ අම්මයෙ මාම කෙනෙක් වෙන හාංදුරු කෙනෙක් උන්න ඔය ටිකක් දුර බැහැර පංසලක නායක පදවියෙ. ඉස්තානෙ ඇවිදිල්ල හිට රජමහ විහාරයක් දන්නවද? සෙල්ලං නෑ හරිය?....ඉතිං අම්ම මයෙං ඇහුව..පුතේ උඹ කැමතිය මහණ වෙන්ට? කියල....ඒ දවස් වල මයෙ බඩ බැඳ ගත්තු යාලුව තමයි ගල් වල ගාව ගෙදර ජයසීලි..මම කිව්ව හා. මං කැමතියි, හැබැයි ජයසීලිවත් එක්ක යන්ට ඕනෙ කියල. එහෙම බෑනෙ කියාපි අම්ම. එතනිං රජමහ විහාරෙ නායක පදවිය පිළිබඳ ඔෆර් එක අහවරයි. 

පස්සෙ ඒ ඔෆර් එක අපෙ පුංචි අම්මයෙ පුතාට ආව. ඒකා නම් මහණ උනා. ඒත් අර නායක උන්නාන්සෙ අපවත් වෙනකල් වත් ඒ අසමජ්ජාතිය හිටියෙ නෑ සිවුරෙ. දෙහිගහේ වනල ආව..යස්..උපැවිදි උනා… 

අම්මප මට අනන්ත හිතිල තියෙනව අපරාදෙ එදා ඒ ඔෆර් එක බාර ගත්තෙ නැත්තෙ කියල..අම්මද බොල එහෙනං කොහොමද මම අද?...යාන වාහනද? කන්ට බොන්ටද? අතට පයට රූමත් මානවිකාවන්ද? ශිහ්, කියල වැඩක් නෑ..මොකදෑ කොරන්නෙ ඉතිං?..ලැබීම නෑ ළමයි. ලැබීම නෑ... 

Right after a spot of B.A.B. ( Beating about the Bush ) now lets get back to the story...පඳුර වටේ තැලීමකින් අනතුරුව යලි ප්‍රධාන කථා වස්තුව වෙත.... 

ඉතිං අර උපැවිද්දටත් වෙලා තීයෙන්නෙ ඔන්න ඕක. වෙනත් නොයෙක් දුක් කරදර, සිත් බිඳීම් ඔක්කොම විඳ දරාගෙන පන්සලේ හිටියට අන්තිමට ඒ ඔක්කොම එපා වෙලා තියෙන්නෙ ලොකු හාමුදුරුවො පංසල බාර දෙන්ට හිතාගෙන තමංගෙ බෑණෙක්ව ගෙනල්ල මහණ කරපු දවසෙ.එදා මිනිහ රෑ දෙගොඩහරියෙ පංසලට ආයුබෝවන් කිව්ව සදහටම. පස්සෙ පවුලක් පංසලක් කරගෙන දෙයියනේ කියල හිටියට මිනිහගෙ අර හාමුදුරුවරු එක්ක තිබ්බ තරහ හිතේ පැහැව පැහැව තිබ්බ. 

ඉතිං මිනිහ කලේ මොකක්ද පෝය දවසෙ හාමුදුරුවො බණ කියනවනෙ. ඔන්න ඉන්නව ඉස්සරහටම වෙලා. ඒ කරල හාමුදුරුවො කියන බණ කතාවෙන් මොකක් හරි කොටසක් අල්ලගෙන කිසිම තේරුමක් නැති ප්‍රශ්න අහල හාමුදුරුවො විහිලුවට ලක් කරල දානව.හාමුදුරුවන්ට මේ වැඩේ හින්ද ජීවිතෙත් එක්ක එපා වෙලයි තිබුනෙ. දවසක් අල්ලපු ගමේ පන්සලේදි හාමුදුරුවො මේ විස්තරේ කිව්ව එහෙ හාමුදුරුවො එක්ක බොහොම දුකසේ. 

" හැබෑට? ඒකත් එහෙමද?...හරි ස්ථවිර බයවෙන්ට ඕන කමක් නෑ. ලබන බදාදනෙ පාලොස්වක පෝය. මම එන්නම් එදාට බණට...." 

අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවො කිව්ව. තට්ටෙත් අත ගගා… 

ඔන්න දවසක් හවස ගමට එන අන්තිම බස් එක .....පොල් පටෝල සෙනඟ. ආය නෑ ඇඟිල්ලක් ගහන්ට ඉඩක්. අපෙ ජේමිස් මාමත් ඉන්නව බස් එකේ ඉස්සරහ හාමුදුරු සීට් එක ගාවම හිටගෙන. උන්දැ එදා කොරටුවෙ බුලත් ටික ටවුමට අරං ගිහිල්ල විකුණල හන්දියෙ බාර් එකෙන් කාලක් ක්‍රියාකරල අප්පමාදෝ අමර පදං වෙලයි හිටියෙ. බස් එකේ කවුලුවලිං එන හුලං පාරට මතේ තවත් වැඩි වෙල හීංවට වගෙ නින්දකුත් යනව. ඔය අස්සෙ බස් එක එලවන කිරි බණ්ඩ ෆුල් ඩම් දාල හිටගෙන කපනව ස්ටියරිං එක... වැලමිටි වංගුනෙ පාර දිගටම.බස් එක වංගු ගන්නකොට ජේමිස් මාම එහෙම්මම පැද්දිල ගිහිල්ල නතර වෙන්නෙ අර ඉස්සරහම සීට් එකේ ඉඳගෙන හිටපු හාමුදුරුවංගෙ කරේ හාමුදුරුවොත් දෙතුං පාරක්ම ඔළුව උස්සල ජේමිස් මාම දිහාවෙ රවල බැලුව. මොන? උන්දැට කොහෙද එව්ව පේන්නෙ මේ වෙලාවෙ..... 

ඔන්න ආයෙම වැලමිටි වංගුවක්..කිරි බණ්ඩ ආයෙම නැඟිටල කැපුව. ජේමිස් අයිය ආයෙම පාවෙලා ගිහිල්ල මේ පාරනම් ඉන්ද උනා හාංදුරුවංගෙ කර උඩම. හාමුදුරුවන්ට මෙදා පොටේ නම් තද උනා කියන්නෙ තට්ටෙත් එක්ක රතු උනා පිනිජම්බුවක් හා සමානව.. 

" හා, හා, නගිනව නගිනව මගෙ ඔලුව උඩටම….." 

හාංදුරුවො ගර්ජනා කලා ඉවසුං නැති කේන්තියෙං, 

ඔන්න ඒ සද්දෙට තමයි ජේමිස්සයියගෙ හොඳ සිහිය ආවෙ. උන්දැ අඩවන් වෙල තිබ්බ ඇස් දෙතුන් පාරක් ඇහිපිල්ලං ගහල ඊට පස් සෙ ඇස් හීං කරල එබිල බැලුව හමුදුරුවො දිහාවෙ. ආයෙම නලලත් රැලිකරගෙන බලා හිටිය හාමුදුරුවන්ගෙ තට්ටෙ දිහාවෙ. ඒ කරල නැමිල වැන්ද හාමුදුරුවන්ට… 

" අවසර ….නෑ කමක් නෑ අපෙ හාමුදුරුවනෙ..අද මට සුට්ටක් වැඩියි වගෙ. ඔතන ලිස්සන්ට ඇහැකි, මම මෙතනම ඉන්නං, ආරාදනාවට බොහොම ඉස්තූතියි " 

උන්දැ එහෙම කියල ආයෙම හාමුදුරුවංගෙ කරට හේත්තු උනා. 

ඔන්න ඉතිං කිව්වත් වගෙ පෝය දවසෙ අල්ලපු ගමේ පන්සලේ හාංදුරුවො වැඩපි බණට.ඊස් මීස් නෑ සෙනඟ. ඔන්න හාමුදුරුවො දැහැත් විටක් කාරිය සප්පායං වෙල පටන් ගත්ත බණ දේසනාව. සිදුහත් කුමාරය බුද්ධත්වයට පත්වීම තමයි එදා මාතෘකාව. 

" ඉතිං පිංවතුනි, මේ සිදුහත් තාපසය සුජාතා සිටුදියණිය පූජ කරපු කිරිබත් අනුභව කරල එහෙම ඒ අසලින්ම ගලාගිය නේරංජනා ගංගාව අසලට ගිහිල්ල මේ විදිහට අධිෂ්ඨානයක් කරනවා……….අද දින මගේ සම් මස් ඇට නහර……...." 

හාමුදුරුවන්ට එච්චරයි කියන්ට හම්බ උනේ. අපෙ කතානායක උපැවිදි තෙමේ නැඟී සිට මෙසේ පැවසීය. 

" අවසර අපෙ හාමුදුරුවනේ, මට පොඩි ගැටළුවක් ඇතිඋනා,  ඒ ගැන ඔබ වහන්සෙගෙන් විමසන්ට අවසරද? " 

ගමේ හාමුදුරුවො අදාල පුද්ගලයව කලින්ම පෙන්නල දීල තිබ්බෙ මේ ආගන්තුක හාමුදුරුවන්ට.." අන්න අර ඉන්නෙ..ඔය යකා තමයි දෙවිදත්තරය" කියල. 

ඉතිං අර බණ කියන හාමුදුරුවොත් සිනා මුසු මුහුණින් කිව්ව මෙහෙම…. 

" නෑ, නෑ, උපාසක මහත්මය ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මම හරිම සන්තෝෂයි. අපි බණ අහනකොට ඔය කියන ඔක්කොම අහගෙන ඉඳල අන්තිමට සාදු...සාදු කියල වැඩක් නෑ. බණ අහද්දි හිතේ ඇතිවෙන යම් යම් කුකුස්, ගැටළු ඒ වෙලාවෙම අහල විමසල විසඳ ගන්ට අවශ්‍යයයි.බොහොම හොඳයි උපාසක මහත්මය . කියන්න බලන්න ඔබට ඇතිවුනු ගැටළුව.." 

" මේකයි අපෙ හාමුදුරුවනෙ. මට ඇතිවුනු ගැටලුව..දැන් ඔබ වහන්සෙ ඔය නේරංජනා නම් ගංගාව ගැන කිව්ව නෙව. එතකොට ඔය නේරංජනා නම් ගංගාව පටං ගන්නෙ කොතනින්ද? මට දැනගන්ට ඕනෙ අන්න ඒක……" 

" ආන්න බලන්න පින්වතුනි. මේ උපාසක මහත්මයට ඇතිවෙලා තියෙන්නෙ එසේ මෙසේ පුද්ගලයෙකුට ඇතිවෙන ගැටළුවක්, ප්‍රශ්නයක්, කුකුසක් එහෙම නෙවෙයි. ඉතාම බුද්ධිමත් ඒ වගේම සසර පුරා ධර්ම ගවේෂණයේ යෙදෙන මහ පිනැති බුද්ධිමතෙකුට පමණයි මේ වගෙ විචිකිච්ඡාවන් පහළ වෙන්නෙ.ඇත්තටම මේ වගෙ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ ඔය හැමෝටම කියා දෙන එකත් තේරුමක් නැති වැඩක්. ඒ නිසා මම ඒ ගැටලුවට පිළිතුර ඔය උපාසක මහත්මයට විතරක් කියන්නම්. එන්නකො ඔය උපාසක මහත්මය මේ මාලඟට. හරි තව ටිකක් එන්න. හරි අපි ආයෙම බලමු මොකක්ද මේ ගැටළුව කියාල...නේරංජනා නම් ගඟ පටං ගන්නෙ කොතනින්ද? ඒක නේද ඔය මහත්මයගෙ ගැටළුව? " 

" එහෙමයි අපෙ හාමුදුරුවනේ……" 

" හරි මේ කණ පත් කරන්ටකො මෙහාට..ආන්න එහෙම…….නේරංජනා ගඟ පටං ගන්නෙ තොගෙ ****ගෙ රෙද්ද අස්සෙං " 

" මම හිතන්නෙ ඒ උපාසක මහත්මයගෙ සියලු සැක දුරුවෙලා ඒ ධර්ම ගැටළුවට නිසි පිළිතුරක් ලැබුනයි කියල මම හිතනව.... මේ අනෙකුත් පිංවතුන්ටත් අවශ්‍යනම් ඒ පිළිතුර මේ උපාසක මහත්මයගෙන් නිවාඩු පාඩුව අසා දැනගන්ට පුළුවනි. හරි මම මේ කිය කිය හිටියෙ එතකොට සිදුහත් තාපසය නේරංජනා ගං ඉවුරට ගිහිල්ල..........." 

Sunday, March 17, 2013

170. හැත්තෑව දශකයේ ප්රේමයක් හෙවත් උපංගෙයි නුහුගුණේ. A love affair of the seventies and built-in lunacy.

ඉතාම සොඳුරු අතීතාස්මරණයට බොහෝවිට හේතුවනුයේ ඉතාම අහඹු සිදුවීම්ය. මේ දිනවල ඉන්දියාවේ පැවත්වෙන ඕස්ට්‍රේලියා ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය ශ්‍රී ලංකාවේ පවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියට පරදවා මගේ අවධානය දිනාගැන්මට සමත්වී ඇත. ඉන්දීය සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් දෙකේම දැඩි තරඟකාරිත්වයට අමතරව ගාල්ලේ පැවැත්වුනු බංග්ලාදේශය හා ප්‍රථම ටෙස්ට් තරඟය කිසිදු උනන්දුවක් ජනිත කරවීමට අසමත්වූ ඇල් මැරුනු තරඟයක් වීම ඊට බොහෝ සේ බලපෑවේය. 

ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරඟ වලදී සිරිතක් ලෙස කරුණු කාරණා සිද්ධ වනුයේ පහත සඳහන් අයුරෙනි. 1. මහේල හෝ සංගා ශතකයක් හෝ ද්විත්ව ශතකයක් රැස්කරයි. 2. ශ්‍රී ලංකාව ප්‍රථම ඉනිමෙහිදී ලකුණු 400 හෝ 500 රැස්කරගනී.3. අවම වශයෙන් එක් ඉණිමක හෝ රංගන හේරත් කඩුළු පහක් හෝ හයක් බිඳ හෙලයි. 4. දින තුනක් ඇතුලත, උපරිම වශයෙන් සිව්වන දින දිවා ආහාර විවේකයට පෙර තරඟය නිමා වන්නේ ශ්‍රී ලංකාවට බොහෝ විට ඉණිමක ජයක් අත්කර දෙමිනි. 

දින තුනකින් හෝ හතරකින් ටෙස්ට් තරඟයක් නිමාවන අන්දමේ තණ තිල්ලක් සකස්කිරීම පිළිබඳව ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තනතිල්ල භාරකරු ජයනන්ද වර්ණවීරට දැඩි දෝෂාරෝපණ එල්ල වූවාට සැක නැත. ඉන් බලවත් සිත් තැවුලට පත් හෙතෙම " ඉඳා උඹලට... කාල වරෙල්ලකො, හදන්නම් මේ පාර දවස් පහක් නෙවෙයි දහයක් උනත් කිසි ගින්නක් නැතුව ගහන්න පුලුවන් පිච් එකක් "තමාටම සපථ කොට ගත්තේ එවැනි තණ තිල්ලක් තරඟය සඳහා සකස් කළේය.ඔහු එය කෙතරම් මනාව ඉටු කලේද යත් පිති කරුවෝ කඩුල්ල අසල පදිංචි වූවෝ " මුත්තාපල් නොයම් "යයි තොල් මතුරමිනි..සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය තෙක් තරඟය පැවත්වූයේ වුවද තීරනයක් දැකගත නොහැකිවනු ඇතැයි ප්‍රවීණ ක්‍රිකට් විචාරකයෝ එකහෙලා පැවසූහ. 

මෙලෙස ඇල්මැරුණු ස්වභාවයකින් පැවැත්වෙන ශ්‍රී ලංකා-බංග්ලාදේශ තරඟාවලිය අතහැර පසුගිය සෙනසුරාදා දිවා ආහාර විවේකයෙහිදී මම ඉන්දියා- ඕස්ට්‍රේලියා තෙවන ටෙස්ට් තරඟය නරඹමින් සිටියෙමි. තම මංගල ටෙස්ට් තරඟයට සහභාගීවන ඉන්දීය ආරම්භක පිතිකරු ශිකාර් ධවාන් කලකින් මා නුදුටු චිත්තාකර්ෂණීය පිතිහරඹයක නිරතවෙමින් ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන්හට පහර දුන්නේ කලකට ඉහත විවියන් රිචර්ඩ්ස් පන්දු යවන්නන් අමු අමුවේ මරා දමමින් පන්දුවට පහරදුන් අයුරු සිහියට නංවමිනි. 

තම මංගල තරඟයෙහි පිතිකරුවකු රැස්කල වේගවත්ම ශතකය කරා ධවාන් ළඟාවනු හිඳවුන් අසුනෙහි පසුපසට හොඳින් වාරුවී දෑත ළයමත බැඳගත්වනම මම බලා සිටියෙමි.එක්වරම කිසිවකු මා හා සංවාදයෙහි යෙදීමට අදහස් කරන බව දන්වන සංඥාව යාන්තමට මට ඇසිණි. 

" අයියෙ උඹ බ්‍රිජස් ඔෆ් මැඩිසන් කවුන්ටි ෆිල්ම් එක බලල තියනවද? " 

" අඩේ නෑ නෙව. මම පොත නම් කියවල තියනව. කවදාහරි බලන්න ඕනමය කියල හිතාගෙනම ඉන්න ෆිල්ම්ස් ලැයිස්තුවෙන් එකක්. මෙරිල් ස්ට්‍රීප් සහ ක්ලින්ට් ඊස්ට්වුඩ්…. මගෙ ෆේවරිට් නළු නිලියො දෙන්නෙක්. " 


මෙරිල් ස්ට්‍රීප් පිළිබඳව, ඇගේ චිත්‍රපට පිළිබඳව, ගැහැණුන් තුල නිසර්ගයෙන්ම පවතින්නේයයි ඇය පවසන ( මෙහි ඇය යනුයෙන් අදහස් කරනුයේ මෙරිල් ස්ට්‍රීප් නොව මා හා සංවාදයෙහි යෙදුනු නුහුගුණ සපිරි ලලනාව බව සැලකුව මනාය ) ඉන් බිල්ට් ලුනසි පිළිබඳව ( ඊට පර්යාය පදයක් ලෙස මා යෝජනා කල ඉන් බිල්ට් එක්සෙන්ට්‍රිසිටි නොහොත් උපන්ගෙයි නුහුගුණය යන්නට ඇය එකහෙලා එකඟවූවාය. ) බොහෝ දේ කථාකල ඉක්බිති ඇය අවසන මෙසේ පැවසුවාය. 

" ලියාපංකො බං මෙරිල් අම්මණ්ඩි ගැන. …" 

ඒ වන විට මෙරිල් අරභයා දීර්ඝ කාලයකට ඉහත ඇරඹී අද දක්වාම මසිත නිදන්ගතව පැවතියාවූ චමත්කාරය සහ ගෞරවය නැවත වරක් පණගසා දළු දමා විකසිත වන්නට තැත් දරමින් වූ බැවින් මම එකෙහෙලා ඊට එකඟ වීමි. 

********************************************* 

බොහෝ ඈත අතීතයේ කාලයේ මිහිදුමින් වැසීගිය එක් දිනෙක රාත්‍රියෙහි මම නිදි වරාගෙන ලියමින් උන්නෙමි. 

මේස විදුලි පහන පමණක් දල්වා තිබුනේ මගේ කුටි සඟයාහට ( Room Mate ) බාධා නොවනු පිණිසය. එහෙත් එක්වරම හෙතෙම නින්දෙන් අවදිව සයනයෙහි හිඳගත්තේය. 

" මොකද බං කරන්නෙ මේ දෙගොඩහරියෙ?...මොනවද ඔය උඹ *** විකාගෙන ලියන්නෙ? " 

" මේ අර වසන්තිගෙ වැඩක් බං. එයාගෙ නංගිගෙ එසයින්මන්ට් එකක්. " 

වසන්ති පිළිබඳව ඔබගේ මතකය අලුත් කිරීමට මට මඳක් අවසර. නොහැඟවූ ආදරය නමින් මා ලියූ මතක සටහන් පෙලෙහි අප කාර්යාලයෙහි එකල සේවය කල ප්‍රිය මනාප යුවතියක පිළිබඳ මම සඳහන් කලෙමි.ඒ වසන්තීය.ඇය හා මා අතර ආදරය ද නොවුනු එහෙත් ආදරය නොවන්නේද නොවුනු යම් බැඳීමක් එකල වූ බව ද මම එහිදී ඔබට පැවසුවෙමි.ඇගේ නැඟනිය ඒ දිනවල විශ්ව විද්‍යාලයීය සිසුවියක වූවාය.මම ඒ ලියමින් සිටියේ වසන්තීගේ නැඟනියට අවශ්‍ය වූ නිබන්ධනයකි. 

" ඔව් ඉතිං උඹ මොකද? චීත්තයක්,ගවුමක් කිව්වොත් මදැයි , එලිවෙනකල් හරි නිදිමරාගෙන කරල දෙයි..හා..හා..ඕන එකක් අපිට මොකද? " 

මගේ පිටට පහරක් පහරක් එල්ල කල ඔහු මහ හඬින් සිනාසෙමින් නැවත හිසේ සිට දෙපතුල දක්වා පොරෝනයෙන් වසාගෙන නිදන්නට විය. 

කවට කමට හෝ ඔහු එල්ල කල චෝදනාව පිළිබඳව කිසිවක් නොපවසාම මම ඔබට ඊට කලකට පසු සිදුවූවක් පවසමි. 

නගරාසන්නයෙන් කුඩා ඉඩම් කැබැල්ලක් මිලදීගත් නමුදු නිවෙසක් ඉඳිකිරීමට වත්කමක් නොවූ බැවින් ඒ ඇය හා මම කුළි නිවෙස් වල වාසය කල සමයයි. 

" මේ...මේක හරියන්නෙ නෑ. ඔයාට මොනවද මේ එක එකීගෙ බඩු ගෙනල්ල දෙන්න තියෙන උවමනාව? මීට පස්සෙ බඩු ගේන්න ඔයා යන්න ඕන නෑ තේරුණාද? මම යන්නම්. " 

ඒ මගේ දයාබර ප්‍රියාම්බිකාවියයි. එදවස හීරැස්සගල අප වාසය කල නිවස අසලම ඒ ආසන්නයේම පිහිටි පෞද්ගලික රෝහලක හෙදියන් වශයෙන් සේවය කල තරුණියෝ රැසක් නේවාසිකව විසූහ.ඔවුනට එදිනෙදා අවශ්‍ය සිල්ලර ආහාර හෝ සබන් දත් බෙහෙත් වන් පාරිභෝගික ද්‍රව්‍ය ඔවුන් ගෙන්වාගත්තේ මා ලවාය. 

" අනේ අයියෙ කඩේටද යන්නෙ..අපිටත් ගෙනල්ල දෙනවද පාන් තුනකුයි ලක්ස් කෑලි............ " 

එවන් කාරුණික ඉල්ලීමක් ප්‍රතික්ෂේප කරනුයේ කෙලෙසකද? උත්පත්තියෙන්ම මම එවන් දයාබර ලලනා ඉල්ලීම් හමුවෙහි, විදුලි බිල නොගෙවා විදුලිය විසන්ධි කල ඉක්බිති ශීතකරණය තුල එක් ඇසිල්ලෙකින් දියවයන වෙඬරු බිඳක් මෙන් හුණුවන්නාවූ හදවතක් සහිතව උපන්නෙක්මි. 

ඒ බැව් වටහාගැන්මට මා ප්‍රියම්බිකාවිය කිසිසේත් සමත් නොවන බව ඇය යලිත් වරක් මොනවට ඔප්පු කලාය. 

" මේ අපෙ ඉස්කෝලෙ කිට්ටුවම ඇනෙක්ස් එකක් වේකන්ට් වෙනව ලබන මාසෙ. අපි යමු ඒකට. මට ඉස්කෝලෙට පයින් යන දුර. " 

********************************************* 

මගේ වහා හුණුවන හදවත, චීත්ත, ගවුම් සහ ප්‍රියම්බිකාවිය පිළිබඳ ඒ අතුරු කථාවෙන් ඉක්බිති යළි මෙරිල් නෝනා මහත්මිය මට හමුවූ අයුරු පැවසීමට නොහොත් ප්‍රධාන ප්‍රස්තුතයට යලි පිවිසෙමු. 

ඒ ක්‍රි. ව. 1980 හෝ 1981 විය යුතුය. මසකට අවම වශයෙන් දෙවරක් හෝ එදවස මුල්වරට හොලිවුඩ් හි තිරගතවූ විගසම පාහේ කොලඹ නගරයෙහි ඉංගිරිසි චිත්‍රපට උදෙසාම වෙන් වූ චිත්‍රපට ශාලා කිහිපයෙන් එකක ප්‍රදර්ශනය වන චිත්‍රපටයක් නැරඹීම අපගේ සිරිත විය. ඒ බොහෝවිට සෙනසුරාදා සවස 3.30 දර්ශනයයි.ක්‍රියාදාම චිත්‍රපට, ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳ නිමැවුනු චිත්‍රපට සහ කාම සම්භෝගය යන්තමින් හෝ පිළිබිඹු වන චිත්‍රපට අපගේ ප්‍රමුඛතා ලැයිස්තුවෙහි ඉහලින්ම තිබිණි. 

පසුකලෙක ඒ කඩා බිඳ දමා පිහිටි ස්ථානයේ සුවිසල් සුඛෝපභෝගී නිවෙස් සංකීර්ණයක් ගොඩ නැඟූ එම්පයර් සිනමා හලෙහි ඒ සතියේම ප්‍රදර්ශනය වීම ඇරඹුනු චිත්‍රපටයක් නැරඹීමට එක් ශනිදා සන්ධ්‍යාවෙක මගේ කිට්ටුම මිතුරන් දෙදෙනෙකු ද සමඟ ගියෙමි. චිත්‍රපටයෙහි නම මතකයට නො එන මුදු ඒ බෲස් ලීගේ චිත්‍රපටයක් බව මතකයේ රැඳී ඇත. දර්ශනය ඇරඹීමට හෝරාවකට ද ප්‍රථම ශාලාව වෙත ලඟා වූ නමුදු ඒ වනවිටද සියළු දොරටු වසා House Full යනුවෙන් සඳහන් පුවරුවක් ප්‍රදර්ශනය කොට තිබිණි. 

" ඉතින් මොකේද දං වලඳන්නෙ? ෂෙහ්, දවසම අපරාදෙ…" 

සෙමෙන් සෙමෙන් විහාර මහා දේවී උද්‍යානය අසබඩ මාර්ගය ඔස්සේ ලිප්ටන් වට රවුම දෙසට ඇවිද යමින් මම පැවසුවෙමි. 

" මේ අඩේ..ඔලිම්පියා එකේ අලුත් ෆිල්ම් එකක් දාල ඊයෙ. මම කියන්නද? අපි ඒක බලමු. " 

මගේ එක් මිතුරකු පැවසූයේ ඒ අසල පිහිටි මාර ගසක සෙවණේ නතර වෙමිනි. 

" ඊයෙ දැම්ම එකක් නම් මේ වෙනකොට එතනත් හවුස් ෆුල් තමයි. " 


" නෑ බං ඊයෙ අපෙ අයිය එතනිං එනකොටත් ඒ හැටි සෙනඟක් ඉඳල නෑ. " 

" අඩේ එහෙනං මහ ජරාවක් වෙන්ට ඇති. මොකක්ද බං නම? " 


" මොකක්ද බං ඒ අපබ්බ්‍රංස නම? " 

අනෙකා ඇසුවේ ඒ අසලම වූ කුඩා පෙට්ටි කඩයෙන් සිගරට් කිහිපයක් මිල දී ගනිමිනි. 

" වර්සස් කියන්නෙ නම් විරුද්ධව කියන එකනෙ. ඔය කියන්නෙ මම හිතන්නෙ නඩුවක් ගැන වෙන්න ඕන...." මම පැවසුවෙමි. 

" කවුද බං ඕකෙ ඉන්නෙ? " 

" මෙරිල් ස්ට්‍රීප් කියල නම තිබ්බෙ කියලයි අයිය කිව්වෙ…" 

" එහෙම නළුවෙක් ගැන ඔය ඇහුවමයි…." 

" ඔය කිව්වෙ..යකෝ මෙරිල් ස්ට්‍රීප් කියන්නෙ නළුවෙක් නෙවෙයි නිළියක්....." 

" අම්මප?.....මෙරිල් කියන්නෙ පිරිමි නමක්නෙ ...." 

එදවස අගලවත්ත ආසනයේ මන්ත්‍රීවරයා වූ මෙරිල් කාරියවසම් මහතා සිහිකල මම පැවසුවෙමි. 

මෙරිල් ස්ට්‍රීප් ගැන පළමු වරට මම දැනගත්තේ එදා විහාර මහා දේවී උද්‍යානය අසල ඒ මාරගස යටදීය. එකල අපේ සිනමා වීරවරියෝ වූවාහු සිල්වියා ක්‍රිස්ටල්, ජැකලීන් බිසට්, උර්සුලා ඇන්ඩ්‍රස්, බෝ ඩෙරෙක් සහ එවකට දහසය වියේ පමන වූ බෲක් ෂීල්ඩ්ස් ය. 

" යමල්ලකො මෙරිල්වත් බලාගමුකො එහෙනං " 

මාර්ග අංක 140 බස් රථයක මරදානට පැමිණි අපි ඩාර්ලි පාර ඔස්සෙ නිව් ඔලිම්පියා ශාලාව වෙත ලඟා වීමු. ඒ වනවිට දර්ශනය ආරම්භ වීමට ඉතා ආසන්න වී තිබූ නමුදු ශාලාව තුල බොහෝ ආසන හිස්ව පැවතිනි. 

" අම්මප මූට මට …...මේ මේක දහ ජරාවක් එහෙමනම් අද උඹේ ගානෙ අපි ඔක්කෝටම රෑ කෑම හරිද? ....." 

චිත්‍රපටය නරඹනුවස් අප පොළඹවාලූ මිතුරා දෙස රවා බලමින් මම දෙවන පෙළෙහි අසුන් ගතිමි. 

බිරිඳ තමා අතහැර ගිය පසුව තම කුඩා පුතණුවන් සමඟ ජීවිතයට මුහුණ දීමට වෙර දරන පියකු පිළිබඳව ගෙතුනු ඒ චිත්‍රපටය අප සියලු දෙනාගේ හද ඇද බැද තබා ගැනීමට සමත්වූයේ නිතැනිණි. 

නුපුරුදු උච්චාරණය හේතුකොටගෙන සමහර වදන් දුරවබෝධ වුවද එහි කියැවෙන භාවාතිශය එමෙන්ම සංවේදී අන්දරය වටහා ගැන්මට ඒ කිසිසේත් බාධාවක් නොවිණි. 

චිත්‍රපටයේ අවසාන දර්ශනය; අධිකරණයෙන් දරුවාගේ භාරකාරත්වය හිමිවූ මව ( මෙරිල් ස්ට්‍රීප් ) දරුවා භාර ගැන්මට පැමිණියද දරුවාගේ පියා (ඩස්ටින් හොෆ්මන් ) හටම දරුවා භාරදී ඔවුන් දෙදෙන වෙන්ව යන දර්ශනය දශක තුනකට අධික කාලයක් ගත වී ගියද තවමත් මගේ මතකයේ රැඳී ඇත. 

On the morning that Billy is to move in with Joanna, Ted and Billy make breakfast together, mirroring the meal that Ted tried to cook the first morning after Joanna left. They share a tender hug knowing that this is their last daily breakfast together. Joanna calls on the intercom, asking Ted to come down to the lobby. She tells Ted how much she loves and wants Billy, but she knows his true home is with Ted. She will therefore not take him. As she enters the elevator to go and talk to Billy, she asks her ex-husband "How do I look?" The movie ends with the elevator doors closing on the emotional Joanna, right after Ted answers, "You look terrific." 

චිත්‍රපටය අවසානයේ මරදානේ ගාමිණී ගෘහභාණ්ඩ වෙලඳ සැල අසල එකල වූ තෝස කඩයට වී අපි තෝස සහ ඉඳිආප්ප අනුභව කලෙමු. 

" දැං මොකද කියන්නෙ ? මම ඔක්කොගෙම බිල ගෙවන්න ඕනද? " 

චිත්‍රපටය නැරඹීමට ප්‍රථම මගේ තර්ජනය සිහිකරමින් තර්ජනයට ලක්වූ මිතුරා විමසීය. 

" ඕනනං ගෙවපං …...ඒත් අපි බලකරන්නෙ නෑ. " 

එකිනෙකාගේ කරට අත්දමාගෙන සිනහසෙමින් අපි ආනන්දය ඉදිරිපස බස් නැවතුම වෙත පිය නැඟීමු. 

මෙරිල් ස්ට්‍රීප් නම්වූ ඇය එලෙස මගේ ජීවිතයට අහඹුලෙස ඇතුළු වූවාය. පාසල් සමය අවසන්ව අගනුවර අතහැර ඒමට ප්‍රථම ඇගේ තවත් චිත්‍රපට දෙකල් නැරඹීමේ භාග්‍යය මට උදාවිය. එනම් " ද ඩියර් හන්ටර් " සහ " ද ෆ්‍රෙන්ච් ලෙෆ්ටිනන්ට්ස් වුමන් " යන චිත්‍රපටය. 

ද්වීතීය අධ්‍යාපනය සහ ඉන්පසු රැකියාවක් ලැබ කැළෑ වැදීමට සිදුවූ කාලයෙහිදී ඉංගිරිසි චිත්‍රපට මතු නොව සිංහල චිත්‍රපට පවා නැරඹීමට අවකාශයක් ලැබුණේ ඉතා කලාතුරකිනි. එබැවින් මෙරිල් සමඟ මගේ ඇසුර අවම මට්ටමක පැවතියද ප්‍රේම පුරාණයක රඟදුන් මානවිකාවියක් කිසිදාක මතකයෙන් එකලාව බැහැරව නොයන්නක් සේ ඇයද මසිතෙහි එක් සොඳුරු මතක ලතා මඬුල්ලක මේ ගතවූ දශක තුනකට අධික කාලය මුලුල්ලේ වසන්නීය. 

එහෙත් හැකි පමණ මම ඇගේ රංග කෞශල්‍යය පිළිබඳ තොරතුරු සොයා ගතිමි. වසර දෙකකට පෙර ඇය බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනි මාගරට් තැචර් ලෙස ද අයන් ලේඩි චිත්‍රපටයේ රඟපාමින් තෙවන ඔස්කා සම්මානය ද දිනා ගත්තීය. 

ඇය ඔස්කා සම්මානයට 17 වරක් නිර්දේශව වාර්තාවක් ද තබා ඇත්තීය. 

අතීත මතක සැමරුම් අවසානයෙහි බොහෝ දීර්ඝතර ගොමු වටා තැලීමකින් ( Beating about the bush ) අනතුරුව ප්‍රිය සහෘදය, අප නැවත පසුගිය සෙනසුරාදා සවස වෙත පෙරළා පැමිණ සිටින්නෙමු. 

" ලියාපංකො බං මෙරිල් අම්මණ්ඩි ගැන. …" 

උක්ත නුහුගුණාපිත ලලනාව මා හා පැවසුවාය. නැත.. ඒ වනාහී ඉල්ලීමකට වඩා හුරු වනුයේ නියෝගයකටය. වන්නාටය... මම ඒ නියෝගය පිලිගෙන ඈ සඳහන් කල චිත්‍රපටය නැවත නැරඹීමි. 

උස් මහත් වූ දරුවන් දෙදෙනෙකුගේ මවක වන හතළිස් විය ද සපුරා ඇති ෆ්‍රැන්සෙස්කා ජොන්සන්, සැමියා සහ දරුවන් දින කිහිපයකට නිවසින් බැහැරව ගිය කලෙක ජීවිතයේ ප්‍රථම වරට ඇස ගැටෙන අමුත්තකු සමඟ ප්‍රේමයෙන් බැඳෙයි. ඒ අධ්‍යාත්මික ප්‍රේමයක් ම නොවේ. රාගික ප්‍රේමයක් මද නොවේ. අඩු වැඩි වශයෙන් ඒ දෙකේම සංකලනයකි. 

" And in that moment, everything I knew to be true about myself up until then was gone. I was acting like another woman, yet I was more myself than ever before. " 

මේ ඒ අපූර්ව මොහොත පිළිබඳව ෆ්‍රැන්සෙස්කාගේ නිර්වචනයයි. ඉතා තැන්පත් සහ සතුටුදායක විවාහ දිවියක් ගෙවන හතළිස් වියැති කාන්තාවක් මෙලෙස හැසිරීමට පෙළඹෙනුයේ මන්ද? උක්ත නුහුගුණාපිත ලලනාව පවසන පරිදි ඉතිරින් හට ආවේනික වූ Built-in Lunacy නිසාද? උපංගෙයි නුහුගුණේ? හේතුව එයද? පිලිතුරු නැති ප්‍රශ්න මෙලොව බොහෝ වෙති. හරිහැටි පිළිතුරක් නොවීම ම ඒ ප්‍රශ්නයෙහි චිත්තාකර්ශනීය බව වර්ධනය කරන බන මගේ හැඟීමයි. 

සතර දිනක් මුලුල්ලේ ඔවුන් දෙදෙනාගේම ජීවිත උඩු යටිකුරු කරමින් හමා ගිය චණ්ඩ මාරුතයකට ඉක්බිති ඇය නිසොල්මන්ව හිඳ තම ජීවිතය පිළිබඳව තීරණයක් ගන්නීය. ඒ තමා පිලිබඳව නොව තම සැමියා සහ දරු දෙදෙනා පිලිබඳව බොහෝ දුර සිතා එලඹ ගන්නාවූ තීරණයකි. 

Francesca: Robert, please. You don't understand, no-one does. When a woman makes the choice to marry, to have children; in one way her life begins but in another way it stops. You build a life of details. You become a mother, a wife and you stop and stay steady so that your children can move. And when they leave they take your life of details with them. And then you're expected move again only you don't remember what moves you because no-one has asked in so long. Not even yourself. You never in your life think that love like this can happen to you. 

Robert Kincaid: But now that you have it... 

Francesca: I want to keep it forever. I want to love you the way I do now the rest of my life. Don't you understand... we'll lose it if we leave. I can't make an entire life disappear to start a new one. All I can do is try to hold onto to both. Help me. Help me not lose loving you. 

එක් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැලෙන සන්ධ්‍යාවක ඔවුහු සමු ගත්තෝය. හුදෙක් සොඳුරු මතක සැමරුම් පමණක් හදතුල රඳවාගත් පියා ඔවුහු සමුගත්තෝය. 

************************************* 

විශේෂ ස්තූතිය - මගේ සෙනෙහස දිනූ තවත් එක් නුහුගුණාපිත ලලනාවක් පිළිබඳ මගේ මතක සැමරුම් යලි අවදිකොට මේ සොඳුරු සටහනට මඟ පෑදූ ඔබට, ඒ නුහුගුණාපිත මා හිතවත් ලලනාවට. 


Wednesday, March 13, 2013

169. කොන්ත නෝනාගේ කොණ්ඩය, මාලිංගගේ කොණ්ඩය සහ කාගෙ කාගෙත් විනය..Of Hairstyles & Discipline


රටේ ප්‍රශ්න අමතක කරන්ට ජනමාද්දිය මොනවා හරි විගඩමක් කරළියට අරං එනව. නාග නලඟන අල්ලාගෙන කාලයක් දැඟලුව. ඊට පස්සෙ හොරණ පොල් කෙල්ල උඩ දැම්ම. දැං මාලිංග අල්ලගෙන නටනව.ආණ්ඩුවේ රූපවාහිනී දෙකට මේ දවස්වල වැදගත්ම ප්‍රශ්නය මාලිංගගේ නොහොබිනා හැසිරීම. හෙට අනිද්දා ජිනීවා වල මානව හිමිකම් කමිටුව රැස්වෙනව. ඒ ගැන වගේ වගක් නෑ. ඒක වගේද මේ මාලිංග කොරපු එක. මූ හිටුවා පස් ගහන්ට ඕනෑය. මේක මුගේ ජම්මේ වැරැද්දය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයිං එක්ක කොන්තරත් ගහන්නෙ ඔවුන්ව එක එක මට්ටම් අනුව බෙදලාය. ඒ අනුව මාලිංග අයිති වෙන්නේ පළවෙනි මට්ටමටය. 

එහෙම තත්වෙක ඉන්න ක්‍රීඩකයන් හැසිරෙන දිහා බලලාය පුංචි එවුන් ඉගෙන ගන්නේ. ඒ නිසා ඒ ක්‍රීඩකයිං විනයක් ඇතුව ඉන්ට ඕනෑය. ආණ්ඩුව උදේ හවස ඉවරයක් නැතුව කියන්නේ ඒකය. ඇත්තම කිව්වොත් මාලිංගගේ කොණ්ඩෙට මම කැමති නැත. ඒත් උගේ යෝකර් පන්දුවට මම කැමතිය. ඔස්ට්‍රේලියන්, ඉන්දියන්, එංගලන්ත, පකිස්තාන, දකුණු අප්‍රිකානු.... ඔය කොහෙං කවුරු ආවත් මාලිංගගේ යෝකර් එක වැටෙන්නේ කෙලින්ම කකුලේ ඇඟිලි වලටය. ඒ බෝලෙට විස්තර විචාරකයන් කියන්නෙ Toe Crusher කියාය. මෙන්න මෙහෙමය.මේක වැඩ දාලා පණ පිහිටුවල කියන්නෙ ස්වර්ගස්ත උනු ටෝනි ග්‍රේග් නම් දීග ජන්තුවාය. 

" Incomes Malinga ( ටෝනි කියන්නෙ මාලිංග කියල නෙවෙයි මලිංගා කියලයි ) right arm over the wicket with his unique slinging round arm action into Pieterson…another of those trademark toe crushers of malinga, right on target as always……." 

අනික් පැත්තෙ එවුංගෙ කකුලෙ ඇඟිලිවලට හරියටම කිරල මැනල යෝකර් දානකල් මට මාලිංග එක්ක කිසිම කොක්කක් නෑ. උගෙ කොණ්ඩෙ කොහොම තිබ්බත් මට එකයි. අර කතාවකුත් තියෙන්නෙ කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියටයි කියල. 

ඔය කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියටය කියල කියන කතාව හැදිච්චි හැටි අහල තියද?...නියම කතාව ඒක..ඕක මේ සුද්දගෙ කාලෙ වෙච්චි එකක්. කොන්ත නෝනය කියන්නෙ මරදානෙ හිටපු නගර සෝබිනියක්..දන්නවනෙ එහෙම කිව්වම කවුද ඒ කියල නේද?..හරි හරි... ඔක්කොමල දන්නව..ඔන්න දවසක් තම වුර්තියෙ යෙදිල ඉන්දැද්දි Ms. කොන්ත නෝනව පොලිසියෙං අල්ලං ගිහිල්ල දැම්ම උසාවි.... හොඳද?...නඩුකාරය ඇවිල්ල සුද්දෙක් ....ඔන්න ඉතිං පොලීසියෙං විස්තරේ කිව්ව " My Lord, this woman has been arrested while soliciting in a public place..." 

මට හැමදාම තිබ්බ ප්‍රශ්නයක් සොලිසයිටිං කියල නගර සෝබිනී රැකියාවෙ යෙදෙනවටත් කියනව. ඒ වගේම නීතීඥයන්ටත් සොලිසිටර් කියල කියනව. ඒ කිව්වෙ ඉංගිරිසි බාසාව අනුව ඒ දෙකම එකයි කියල සලකනවද මන්ද...ඒක කොහොම වෙතත් අද බහුතරයක් පෙරකදෝරුවො හැසිරෙන්නෙ නම් ඒ දෙකම එකයි කියල ඔප්පු කරන එක තම ජීවිතයෙ එකම අභිලාෂය කරගත්තු අය වගෙ..හෙහ්, හෙහ්, 

හරි ආපහු සුද්දගෙ උසාවියට...නඩුකාර සුද්ද බොහ්..හ්..හෝම දරුණු මනුස්සය. ආය නෑ කාටවත් සමාවක්..පෙර වැරදි නැති නිසා ලිහිල් දඬුවම් ..එව්ව නෑ මිනිහ ගාව...මේ කතාව ඇහුනම මිනිහගෙ මූණ රතු උනා පිණි ජම්බෙ වගෙ. කණ්ණාඩිය පාත් කරල කොන්ත නෝන දිහා රවල බැලුව බැලිල්ලක් කොහොමද දන්නවද?....ආං හරි ඒ වගේ තමයි.... 

" Soliciting huh?..maximum fine , maximum fine...." සුද්ද බෙරිහන් දුන්න. 

කොන්ත නෝන මෙව්වයෙ අගක් මුලක් මොකවත්ම දන්නෙ නෑ..විත්ති කූඩුවට වෙලා විටකුත් හප හප නඩුකාරයගෙයි පෙරකදෝරුවංගෙයි මූණු දිහා මාරුවෙං මාරුවට බල බල හිටියෙ. 

තෝල්කය ආව විත්ති කූඩුව ලඟට. " දඩේ දහයයි. ඒක ගෙවල තමුංට යන්ට පුලුවෙනි. " බොහොම ගාම්බීර තාලෙට දැනුම් දුන්නා. 

කොන්ත නෝනට ඉහිලුං නැතුව ගියා මේ කතාවට.. 

" ඈ මහත්තයෝ, ඔය රුපියල් දහයෙ දඩේ ගෙවන එක නං ඒ හැටි කජ්ජක් නෙවෙයි. ඒත් මං අදනෙ දන්නෙ මයෙ මේකත් අයිති ආණ්ඩුවට කියල " 

ඇඳං හිටපු රෙද්ද උස්සල වටේටම පෙන්නල උන්දැ කෑගැහුව.තෝල්කය බය වෙච්ච පාර කලන්තෙ දැම්ම කියලයි කියන්නෙ. නඩුකාරයට දැන ගන්ට ඕන උනා කොන්ත නෝන කිව්වෙ මොකක්ද කියල. ඒක පරිවර්තනය කරල කිව්වම මිනිහ ඇස් දෙකෙං කඳුලු පනිනකල් හිනා උනාලු. මිනිහ කොච්චර සන්තෝස උනාද කිව්වොත් දඩෙත් අවලංගු කරලයි කියනව කොන්ත නෝනව නිදහස් කරල තියෙන්නෙ. 

මෙන්න මෙහෙමලු නඩුකාරයගෙ තීන්දුව.... 

" That’s a very sound & valid point of law ..what you showed this court a little while ago comes under strictly private property act. Or at least I think so…in that case when you generate an income renting out your own private property whether the government is entitled to tax it is a very debatable question. but anyway as there is no clear precedence in this regard, for the moment I accept your submission & hereby exonerate & release you. " 

හැබැයි තෝල්කය විරුද්ද උනාලු ඒ Interpretation එකට. 

" My Lord, I most humbly disagree with your viewpoint. At the very moment a private property is leased out with an express intention of generating an income it ceases to be strictly private. It automatically becomes a public property and therefore is liable to be taxed. " 

ඒත් නඩුකාරය එකඟ උනේ නෑ ඒ තර්කයට. මිනිහ කොන්ත නෝනව නිදහස් කලා. අන්න එහෙමයි ඒ කාලෙ ..සුද්දො ඇවිල්ල අන්තිම සාදාරණයි. 

ඔන්න ඔය කතාව ටිකක් සභ්‍ය විදිහට හරෝල තමයි ඔය කොන්ත නෝනගෙ කොණ්ඩෙ කොන්ත නෝනට ඕන හැටියට කියන කතාව ඇතිවෙලා තියෙන්නෙ... 

හරි ආයෙම මාලිංගගෙ කොණ්ඩෙට...මම මේ කිය කිය හිටියෙ ඒ මනුස්සයගෙ කොණ්ඩෙ ඒ මනුස්සයට ඕන විදිහට තිබ්බම අපිට මොකද කියන එකයි.ඒ වගේම තමා මාලිංග ටෙස්ට් ගහන්නෙ නැතුව අයි.පී. එල්. ගහන එක....ඉතිං මොකද?...හැමදාම ක්‍රිකට් වලිං හම්බ කරන්න බෑනෙ. ඉතිං පුලුවං උපරිම කාලයක් උපරිම සල්ලි හම්බ කරගන්ට මාලිංගටත් අයිතියක් නැද්ද?...මේ අපි හැමෝටම වගෙ..නෑ..එයාටත් ඒ අයිතිය තියනව...ඒක අනිවාර්යයයි.ඊලඟට අපේ මේ ජනමාද්දිය කාරයින්ට තියෙන තව ප්‍රශ්නයක් තමයි මේ ක්‍රිකට් ගහන කට්ටිය අච්චර හම්බ කරනව මෙච්චර හම්බ කරනව ගාන. ඕන්න කට්ටියගෙ නමත් එක්ක ගනන් දානව පත්තරේ මහේලට මෙච්චරයි, සංගට මෙච්චරයි....කියල. ඒ ගනං දක්කම ඉතිං මිනිස්සු කුලප්පු වෙනව..අර මිනිස්සුංට බනින්නෙ අම්ම මෝ නැතුව. 

ඇයි දෙයියෝ සාක්කි මේ යක්කුංට තේරෙන්නෙ නැති හැටි මිනිස්සු කියන ජාතිය එකිනෙකාට වෙනස් කියල. මම මහේල නෙවෙයි. මහේල කරන සෙල්ලං මට කරන්ට බෑ, ඒ මනුස්සයගෙ උපතින් ගෙනාපු සහ පස්සෙ ස්ව උත්සාහයෙන් වැඩි දියුණු කරගත්තු ක්‍රීඩා කෞශල්‍යය නිසා මහේල ලක්ස ගනන් හම්බ කරනව. ඒකෙ හැටි එහෙම තමයි.මහේලගෙ දක්ෂතාවය සංගගෙ දක්ෂතාවය බොහොම කලාතුරකින් කෙනෙකුට පිහිටන දෙයක්. ඉතිං ඒක පාවිච්චි කරල ඒ මිනිස්සු ලක්ෂ ගනන් හම්බ කරනව. ඉතිං මොකද? ඔහෙ හම්බ කරගත්තාවෙ...මේකෙ වැඩේ මිනිස්සු ඔක්කොම මේක දන්නව. ඒත් පත්තර වලින් ටී. වී. වලින් පොඩ්ඩක් ඇවිස්සුවම ඔන්න කුලප්පු වෙනව. අඩේ මුංට මොකටද ඔච්චර කෝටි ගනං සල්ලි. නරකද ඔව්වයිං කොටසක් නැති බැරි මිනිස්සුන්ට දුන්නනං....හොඳයි තමයි, ඒත් ඒක තීරණය කරන්න ඕන ඒ සල්ලි හම්බ කරන උදවිය මිසක වෙන කවුරුවත් නෙවෙයි. වෙන කාටවත්ම බෑ එහෙම කියන්න.අච්චර දීපං මෙච්චර දීපං කියන්න. 

අනික මේ දේසප්පෙරේමය. ඕන එකකට ඕක තමයි ඉස්සරහට දාන්නෙ...දැං ඔය ක්‍රිකට් ක්‍රීඩකයො ගිවිසුං අස්සං නොකර හිටපු දවස් කීපෙට රාජ්ය මාධ්‍ය ගැහුවෙම ඔය තුරුම්පුව..දේශ ප්‍රේමයේ තුරුම්පුව..අපි ක්‍රිකට් ආයතනය ගැනම බලමු. ඕකෙ සල්ලි ගැහුවෙ කෝටි ගණං වලින් ..එහෙම කිව්වෙ එක පාරක් වෙන කවුරුවත් නෙවෙයි ක්‍රීඩා ඇමති තුමාමයි. ඒත් ඒ හතර වරං ගහපු මිනිස්සුන්ට කිසිම දෙයක් උනේ නෑ. උං යස අගේට සල්ලිත් අරං අයිං වෙලා ගියා. එවුං එක්ක එකතු වෙලා හොරා කාපු තව හත් අට දෙනෙක් තවම ඉන්නව නිල තල වල.ඒ ගසා කාපුවට හරියන්ඩ තමයි ක්‍රීඩකයන්ට මෙච්චර කල් දුන්නු දීමනාවට මෙදා පොටේ බැස්ටිය දෙන්නෙ.අනේ අපි නොදන්න ලයිව්.... 

එතකොට කෝ අර හොර තක්කඩිංගෙ දේසප්‍රේමය? කෝ එවුංගෙ විනය? 

පාරවල් දිගේ ගිනි දවල් මරා ගන්නව මංත්‍රීල, සංවිධායකල. හෝටල් වල දෙනෝදාහක් ඉස්සරහ ගෑණු දූෂණය කරනව ප්‍රාදේශීය දේසපාලුවො..පාර්ලිමේන්තුවෙ මංත්‍රීල කියන එවුම්ම රටේ අග විනිසුරුට ඊටත් වඩා කාන්තාවකට වට කරගෙන නොහොබිනා කතා කියනව.එවුන්ගෙ විනය ගැන කතා කරන්ට කවුරුත් නෑ.මාලිංගගෙ විනය තමයි හැමෝටම ලොකු වෙල තියෙන්නෙ. අනේ සකෝ බල ලෝ කිව්වලු... 

අනික් කාරනේ මේකයි. දැං ඔය ක්‍රිකට් ක්‍රීඩකයො ගිවිසුං අස්සං කිරිල්ල ප්‍රතික්සේප කලේ මොකද? ඉල්ලීං හතරක් හින්ද...එතකොට සනත් ජයසූරිය ගරු මන්ත්‍රී තුමා එයාල හම්බවෙලා සාකච්ඡා කරනකල් එයාල ඒ දැඩි ස්ථාවරයෙ හිටිය. ඉල්ලීම් ලැබෙනකල් අස්සං කරන්නෙම නෑ නෑමයි කියල. ජයසූරිය ගරු දකුණු පළාත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා එක්ක එක සාකච්චාවයි තිබ්බෙ. මෙන්න පහුවදා කිසි කතාවක් නැතුව ඔක්කොමල පෝලිමට ගිහිල්ල අස්සං කලා. දැං මොකද මෙතන වෙන්ට ඇත්තෙ?...හිතාගන්ට පුලුවන්නෙ නේද?...ජයසූරිය ගොයිය ඔය සාකච්චාවට එන්ට ඇත්තෙ ඔතන ඉන්න ක්‍රීඩකයන් බොහෝ දෙනෙක් එක්ක එකට සෙල්ලං කරපු ජේස්ට ක්‍රීඩකයෙක් හැටියටද? ඇවිල්ල මෙහෙම කියන්ට ඇති කියල හිතනවද?. අනේ සුදු මල්ලිලා මම මේ ඔයාලගෙ අයිය කෙනෙක් කියල හිතාගෙන මම කියන එක අහන්ටකො. හොඳ ළමයි වගෙ ඕකට අත්සන් කරන්ටකො. 

ජයසූරිය තේරීම් කමිටුවෙ සබාපති. තෙරීම් කමිටුවෙ සබාපති හැටියට එයාට ක්‍රීඩකයන්ගෙ ගිවිසුම් ගැන කිසිම ඇඟිලි ගැහිල්ලක් නෑ. එයයිට තියෙන්නෙ ක්‍රිකට් ආයතනය එක්ක ගිවිසුමකට බැඳිල ඉන්න ක්‍රීඩකයින් අතරින් හොඳම එකොළොස් දෙනා තෝරන එක. එතකොට මොකක් වෙන්න ඇතියි කියලද අපිට හිතන්න වෙන්නෙ?....ජයසූරිය සාකච්චාවට ආවෙ රජයේ නියෝජිතය හැටියට..ඇවිල්ල කියන්න ඇති මෙහෙම....( පරිකල්පන ශක්තිය ඇත්තෝ පරිකල්පන ශක්තිය භාවිතා කරත්වා !!! ) 

ඉතිං ඔහොම අස්සෙ තමං මාද්දිය වේදියො කියල මහ ලොකුවට හිතාගෙන ඉන්න උදවිය අනම් මනම් අහන්න ආහම තරහ යන්නෙ නැත්තෙ කාටද? 

ඔය මාද්දිය වේදියංගෙ තරම බලා ගන්ට හොඳම තැන තමයි සති පතා තියෙන රජයේ ප්‍රවෘත්ති සාකච්චාව. ඒකට ඇවිල්ල අර රජයේ මාද්දිය පොරකාසක කියන ගොබිල කියන අන්දරේගෙ කතා මීක් කියන්නෙ නැතුව අහගෙන ආපහු එන්ට පුලුවන් ලංකාවෙ මාද්දිය වේදියොයි කියල තමම්ම කියාගන්න ජාතියටම විතරයි. 

එක අතකට ඒකෙ වැරැද්දකුත් නෑ. තමංගෙ රස්සාව කරන හටි තමං දැනගන්ට එපාය..ඒක කියල දෙන්ට මට තියෙන අයිතිය මොකද්ද?...හෙහ්, හෙහ්, 

මොකදෑ කොරන්නෙ ඉතිං?..උයා ගත්තු දෙයක් කාල, වෙන දෙයක් බලාගෙන පැත්තකට වෙලා ඉන්ට තමයි වෙලා තියෙන්නෙ... 

එසඳ මම පසෙකටවී බලා සිටින්නෙමි. 

Monday, March 11, 2013

168. නාගයා වනාහී......


නාගයා වනාහී දෙවැදෑරුම්ය. ඉන් සත්ව විද්‍යාත්මක නාගයා පිළිබඳව ගැටළුවක් තිබිය නොහැක.දුටු වහාම නාගයකු හඳුනාගත නොහැක්කෙක් නොමැත. ඒ තරමට නාගයා අපේ ජීවිතයට සම්බන්ධය. දරුවකු මව් කුස පිළිසිඳගත් බව සියලු සැක දුරුකොට ඉඳුරා ස්ථිර කොට ගැන්ම වර්තමානයෙහි ඉතා පහසුය. ඒ සඳහා ගර්භනී මූත්‍ර පරීක්ෂාවක් උදක්ම ප්‍රමාණවත්ය. 

ක්ෂුද්‍ර අතුරු කතාවකට මදක් මට අවසර... 

" මිසිස් විජේසිංහ මට ඔයාට කියන්ට බොහොම සතුටුදායක ආරංචියක් තියනවා " 

" මම මිසිස් නෙවෙයි ඩොක්ටර්... මිස්…" 

" ආහ්, එහෙමද? එහෙනම් මිස් විජේසිංහ මට ඔයාට කියන්ට බොහොම අසතුටුදායක ආරංචියක් තියනවා." 

ස්ව පහැදිළියි ( Self Explanatory ) නේද? 

එදවස ගර්භනී පරීක්ෂාවන් වර්තමානයේ මෙන් සුලභ නොවූ කල දරුවකු පිලිසිඳ ගැනීමක් පිළිබඳව ආරම්භක දින කීපය තුල ස්ථිරව දැන ගැනුමට වූයේ එකම ක්‍රමයකි. ඒ හැඳින්වූයේ නාග ස්වප්න දර්ශන පරීක්ෂාව යනුවෙනි. ඒ මනුෂ්‍ය වර්ගයාගේ ඉදිරි පැවැත්ම උදෙසා නාගයින් ඉටුකල අමිල මෙහෙයකි. 

බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව සවන සතිය ගත කලේ මුචලින්ද නම් මහා නාගරාජයාගේ සෙවණෙහිය. ඒ අනපේක්ෂිතව ඇද හැලුනු ධාරානිපාත වර්ෂාවකින් ආරක්ෂා වනු උදෙසාය. බුදුන් වහන්සේට ඒ සා උපකාරයක් කල මුචලින්ද නාග රාජයාගේ ශ්‍රී නාමය පවා දැනට දශක දෙක තුනක සිට කෙළෙසීමට ලක් වූයේ නාගයා යන්නට පර්යාය සංකේතාත්මක භාවිතයක් සමාජයෙහි ප්‍රචලිත වීම ඇරඹුනු දා පටන්ය. නාගයා වනාහී දෙවදෑරුම් යයි ආරම්භයේදීම මම ඔබට පැවසූයේ එබැවිනි. 

" කෝ අද මුචලින්දයා?..." එසේත් නොමැතිනම් " ඕකා හරිම මුචා." .....යනුවෙන් කිසිවකු හැඳින්වෙනුයේ කිසිසේත්ම ඔහු තමන් තෙමෙමින් වුවද බුදුනට සෙවණ සැපයීමට එකෙහෙලාම ඉදිරිපත්වන අයුරු ශ්‍රද්ධාවන්තයකු, පුණ්‍යවන්තයකු බව හැඟවීමට නම් නොවේ. එසේ ගෞරව නාමයක්, විරුදාවලියක් නිර්මාණය වීමට හේතු වූ කථා පුවත පැවසීමට පළමුවෙන් අවසර... 

පුවත්පත් මාධ්‍යයට වඩාත් නිවැරදිව කිවහොත් චිත්‍රකථා මාධ්‍යයට ව්‍යාවහාර භාෂාව කෙරෙහි කල හැකි බලපෑම පිළිබඳව මේ මාහැඟි නිදර්ශනයෙකැයි මම එකහෙලා විශ්වාස කරමි. 

ඒ හැත්තෑව දශකයේ මැද භාගයයි.සිත්තර නමින් එළිදැක්වුනු සතිපතා චිත්‍රකථා පත්‍රය දිවයින පුරා යොවුන් වියේ පසුවූවන් අතර පමණක් නොව අප දෙමව්පියන්ගේ වයස් මට්ටමේ වැඩිහිටියන් අතර පවා ඉමහත් ජනප්‍රියත්වයක් අත්කරගත් සමයයි.නගරයේ තිබූ එකම පුවත්පත් අලෙවිහලෙන් සිත්තර මිලදී ගැන්ම පවුලේ වැඩිමලා වශයෙන් මට භාරවී තිබූ රාජකාරීන් අතුරින් මවිසින් කිසිදු කන්කෙඳිරිගෑමකින් තොරව ඉටුකල එකම රාජකාරිය විය. 

නිවසට ආපසු එන අතර මඟ රජයේ තානායම අසල සුවිසල් නුග රුකක් විය. මහා මාර්ගයෙන් තරමක් ඔබ්බෙහි පිහිටි ඒ වනස්පතිය සෙවණෙහි පැතිරුණු ගල් තලාවක්ද වූයේ මා පූර්ව අත් බවෙක කල මහා පුණ්‍ය කර්මයක් පළදීමෙකින් යැයි එදවස මසිතට නැඟුනේ වරක් හෝ දෙවරක් නොවේ. ඒ ගල්තලාව මත සුව පහසුව හිඳගන්නා මම එතැනින් නැඟී සිටිනුයේ සිත්තර පත්‍රය මුල සිට අග දක්වා පූර්ණ වශයෙන් කියවා හමාර කිරීමෙන් පසුවය. නිවසෙහි පුල පුලා බලා සිටිනා අවශේෂ සාමාජිකයන්හට සිත්තර කියවීමට ලැබෙනුයේ ඉන් අනතුරුවය. 

එදවස සිත්තර පත්‍රයේ පලවූ චිත්‍ර කතා විශේෂාංග අතුරින් කැමිලස් පෙරේරා මහතා නිර්මාණය කල ගජමෑන් සුවිශේෂී වූයේ එදවස එහි ගැබ්වූ තියුණු උපහාස රසය හේතුකොටගෙනය.දශක සතරකට ආසන්න කාලයක් ගතවීද ඔහු තවමත් කාටූන් නිර්මානයෙහි යෙදෙයි. එහෙත් එලෙස ඉතා දීර්ඝ කාලයක් එකම ක්ෂේත්‍රයක නිර්මාණකරනයෙහි යෙදෙන්නෙකුට නිරායාසයෙන් මුහුණ දීමට සිදුවන ඒකාකාරිත්වය හේතුකොටගෙන නිර්මානයන්හි රසය හීන වීයෑමේ ඛේදවාචකයට ඔහු ද අද මුහුන දී සිටියි. ප්‍රස්තුතයෙන් මඳක් බැහැර වූවාට කමන්න. 

මේ පසුබිම සකස් කිරීම නාගයා යන එතෙක් විශඝෝර උරගයෙකුට පමණක් සීමාවී තිබූ නාමකරණය යම් සුවිශේෂී ගතිලක්ෂණයකින් හෙබි පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හැඳින්වීමට භාවිතා කිරීම ආරම්භ වූ අන්දම විස්තර කිරීමටයි. 

එක් සතියක ගජ මෑන් කථාංගයෙහි වූයේ එහි සුපුරුදු චරිතයක් වන මන්ත්‍රී බිරිඳ සහ ගජමෑන් අතර දෙබසකි. ගජමෑන් නිරුත්තරව හයාගත් මුවින් යුතුව බලා සිටියදී මන්ත්‍රී බිරිඳ නොකඩවා කථා කරන්නීය. ඒ මෙවන් ඒකපාත්‍ර භාෂනයකි ( Monologue ) 

" ඒකයැ ගජමෑන්..ඊයෙ රෑ හරි වැඩක්නෙ උනේ, නයෙක් ආවනෙ අපෙ බංගලාවට,ඉස්සෙල්ලම ඌ දැකල තියෙන්නෙ අපෙ සර්වන්ට් ....අර පහුගිය මාසෙ මහත්තය රට ඉඳල ගෙනාවෙ දොර දෙකේ ෆ්‍රිජ් එක යට මුලින්ම ඉඳල තියෙන්නෙ. ඊට පස්සෙ එතනින් එලෙව්වම අපෙ අර සාලෙ තියන බුරුත කැබිනට් එක ඒක උඩට නැග්ග. මම පණ බයේ හිටියෙ එතන තිබ්බ මගෙ ක්‍රිස්ටල් මල් වාස් හතර පෙරලයි කියල. එව්ව වටිනව බර ගානක්. හොඳ වෙලාවට එහෙම උනේ උනේ නෑ.එතනින් බැහැල ඌ කරපු වැඩේ සාලෙ ලොකු ටර්කිෂ් කාපට් එක උඩිං ගිහිල්ල පුටු දහයෙ මැහෝගනි ඩිනර් ටේබල් එක යටින් ඇදිල ගිහිල්ල .........." 

මෙලෙස මන්ත්‍රී බිරිඳ ඔවුන්ගේ සියලු වත්කම් සහ නිවසෙහි ඇති සුඛෝපභෝගී භාණ්ඩ පිළිබඳ විස්තරයක් නයාගේ පැමිණීම මුවාවෙන් ගජමෑන් සමඟ පවසයි. ඒ කථාංගය එකල කොපමණ ජනප්‍රිය වූවාද යත් " නයා එලවීම "' නොහොත් " නයෙක් නැටවීම " යන්න තමන්ගේ පුරාජේරුව පිළිබඳ පුරසාරම් දෙඩීම හැඳින්වීමේ පර්යාය පදයක් ලෙස භාවිතයට එක වූයේ නිතැණිනි. එළෙසින්ම එසේ කරන්නා නිරායාසයෙන්ම " නයා " යනුවෙන් හැඳින්විණි 

සත්ව විද්යාත්මක නයෙක් මෙන් නොව සංකේතාත්මක නයෙක් පිළිබඳව එක පැහැර නිගමනයකට එලඹීම ඉතා අසීරුය. මගේ පෞද්ගලික අත්දැකීමක් මෙහිලා ඔබ හා පැවසීමට මට ඔබගේ කාරුණික අවසරය දෙනු මැනවි. 

මුල් වරට රැකියාවට ගිය ඉක්බිති එකිනෙකාගේ ගම් ප්‍රදේශ පිළිබඳව විස්තර විමසද්දී අපේ එක් සගයෙක් පැවසූයේ " මම කොලඹ " යන්න පමණකි. ඉතා ප්‍රිය මනාප පුද්ගලයෙකුවූ ඔහු පසුව අපගේ සමීප මිතුරෙකු විය. කලක් ගතවූ පසු එක් දිනක හේ තමා පිළිබඳ සත්‍ය තොරතුරු අපට හෙළිකලේය. ඒ අනුව ඔහුගේ නිවස පිහිටියේ කොලඹ හතේ බාන්ස් පෙදෙසේය.ඊට අමතරව දෙමව්පියන්හෝ වෙනත් විස්තර පැවසීමට හේ මැළි විය. 

" අනේ ඕකගෙ නයෙක් බං..බාන්ස් ප්ලේස් එකේ ගෙයක් තියන එකෙක් මොකටද මේ හද්ද කැළේකට ඇවිල්ල දුක් විඳින්නෙ.." 

ඒ ඔහුගේ ප්‍රකාශය පිළිබඳව මගේ මිතුරන්ගේ පොදු නිගමනයයි. ඊට එකඟ වීමට මට ද සිදුවිය.ඊට ද මාස කිහිපයකට පසුව සේවය ස්ථිර කිරීම සඳහා සම්මුඛ පරීක්ෂණයක් ප්‍රධාන කාර්යාලයෙහි පැවැත්විනි. 

" ඒයි මචං උඹ යමං අපේ ගෙදර...... එහෙ ඉඳල පහුවදා උදේම හෙඩ් ඔෆිස් යමු. " නයා මා සමඟ පැවසීය. ඔහු නොදැන සිටියද මා හැර අනෙක් සියළු මිතුරන් ඒ වනවිට ඔහු හැඳින්වූයේ එළෙසය. 

" හා..පලයං පලයං.. උඹව එක්කයයි ඌ බාන්ස් ප්ලේස් එකටම, බලාගෙන ඉඳපං…" 

එහෙත් නයා පවසනුයේ සත්‍යයක් වියයුතු බවට ඒ වනවිට මට හැඟෙමින් පැවතිණි. මගේ කිසිදු ඉල්ලීමකින් තොරව ඔහු කල ආරාධනය යමක් සඟවා තබා ගැන්මට උත්සාහ කරන්නෙකුගේ ස්වභාවයක් නොවන බව මට සිතිණි. 

නයා මා රැගෙන ගියේ නිවසකට නොව මාළිගාවකටය.ඔහු පැවසූයේ සම්පූර්ණ සත්‍යය බව, නිවැරදිව පැවසුවහොත් ඔහු පවසා තිබුනේ සත්‍යයෙන් අංශු මාත්‍රයකි. ඔහුගේ මව්පියෝ අද ද දිවයිනේ ඉතාම ප්‍රසිද්ධ පෞද්ගලික නිෂ්පාදන සමාගමක කොටස් හිමිකරුවෝ වූහ. පියා එහි කළමනාකාර අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කල අතර මව අධ්‍යක්ෂ වරියක් විය.ඔහුගේ එකම වැඩිමහල් සොහොයුරා ඒ වනවිට විදේශීය විශ්ව විද්යාලයක ඉගෙනුම ලබමින් හුන් අතර කුඩා කල සිටම ස්වාධීන අදහස් වලින් යුතු වූ මගේ මිතුරා දෙමව්පියන්ගේ බලවත් විරුද්ධත්වය මධ්‍යයේ මේ රැකියාව ලබාගෙන තිබේ. 

ඔහුට රැකියාවෙහි නිරත වීමට ඉඩ ලැබුනේ වසරකටද අඩු කාලයකි. දෙමව්පියන්ගේ බලවත් ඉල්ලීම මත ඔහු රැකියාවෙන් ඉවත්ව නීති විද්යාලයට අතුලත් විය. වසර දහයකට පමණ පෙර ඔහු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත්වූ බව මම අහඹුලෙස කුමන හෝ ඉරිදා පත්‍රයක මූල්‍ය තොරතුරු අතිරේකයක පලවී තිබෙනු දුටුවෙමි. 


කාලයේ මිහිදුම් සළු මෑත් කොට ඔබට මේ අතීත කථාව පැවසීමට මට අවශ්‍ය වූයේ අප නයා ඇරීමක් යයි එක එල්ලේ වර්ග කරන්නක් අදාල පුද්ගලයාට ඉතා සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ කිසිදු වැදගත් කමක් නොමැති සාමාන්‍ය දෙයක් වීමට බොහෝවිට අවස්ථාව ඇති බව පහදා දීමටය. 

සංකේතාත්මක නයෙකු පිළිබඳව නිගමනයකට එළඹීම ඉතා අසීරු බව මම මුලින්ම පැවසූයේ එහෙයිනි. 


එසේම නයින් පිලිබඳව මෙතරම් කලබල වන්නේ කුමකටද යන්නද මට නොතේරේ. මගේ හොඳම මිතුරන් අතරේ නයින් ද වූහ. ඒ ඔවුන්ගේ ඇබ්බැහි කමකි. ඉන් අන්‍යයන්ට හානියක් නොවන්නේ නම් ඔවුන්ගේ සතුටට බාධා කිරීමට ඔබට හෝ මට ඇති අයිතිය කුමක්ද? 

මෙලොව කිසිදු තැනක අපට අවශ්‍ය පරිදිම හෝ අපේ රුචිය පරිදිම කටයුතු සිදුවන්නේ නැත. මේ සරල සත්‍යය තේරුම් නොගන්නේ මන්ද හෝ ඒ සඳහා උත්සාහයක් හෝ නොගන්නේ මන්ද යනු මට වටහා ගත නොහැක. 

ලෝකය තනි යායක්....යන්න අද බොහෝ විට භාවිතා වන Catch Phrase එකකි. එහෙත් ලෝකය එසේ වුවද කිසිදා එහි වසන මිනිසුන් එකිනෙකා හා සර්වසම නොවේ.ඔවුන් එකිනෙකා ඔවුන්ගේම සුවිශේෂී අනන්‍ය තාවයක් ( Distinctive Identity ) සහ අනූපම පෞරුෂයක් ( Unique Personality ) සහිත වූවෝ වෙති.ලොවෙහි පැවැත්ම රඳා පවතිනුයේ ඒ සුවිශේෂී අනන්‍යතාවය මතය. ඒ අනූපම පෞරුෂය මතය. 

Friday, March 8, 2013

167. වාං පතුල් ගැන නොහොත් දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....


රයිට් එහෙනං එන්ට බලන්ට කට්ටියම ..ඉඳගන්ටලාකො හත්තට පොලකිං බණ අහන්ට වගෙ...ඔය කොහෙට කොහෙට හරි හේත්තු වෙල කකුළු කාරිය දිගඇරගෙන..අද කියන්ට යන්නෙ විමලෙගෙ වාං පතුල් කතාව.ඔය මොකෑ ලන්ත දේස වාසීන් දඩයමට උපං හපන්නු. විමලෙත් රස්සාවට එන්ට කලිං නං දරාපු දඩයක්කාරය.අපි ඔය කැළේ ඇතුලෙ ජීප් එකේ එහෙම යනකොට අතෑරල දාපු වැව් පිටැන්නි වල ඉන්නව පමණක් වෙලාවට මුවෝ රංචු රංචු හැන්දෑ කොරේ ඉරේලිය වැටිල දිලිසි දිලිසි. අපි ඔන්න දවසක ජීප් එක ..... ඒ දවස්වල තිබ්බෙ 31 ශ්‍රී හාරදාස් කාණ්ඩෙ කොළපාට මිට්සුබිසි ජීප් එව්ව අපිට දීල..ලෝං වීල් බේස්..ආය නෑ පට්ට වාහනේ..කැළේ කොළේ Off Road යන්ටද, දඹුල්ල හබරණ කොරියන් කාරයො හදාපු ලංකාවෙ පළවෙනි හයිවේ එකේ හැටට හැටේ සුරුස් ගාල යන්ටද ඔය කෝකටත් මිට්සුබිසි ජීප් එක කියාපු වාහනේ. 

ඒ වගෙ වාහනයක් ආවෙම නෑ ඊට පස් සෙ...එතනදි උනේ මයෙ හිතේ ඇමරිකන් ඩිසයින් එකයි ජපං තාක්සනෙයි දෙක එකතු වෙච්චි එකෙන් තමයි එච්චර සාර්ථක වාහනයක් හැදුනෙ. ජිප් කියල අපි වාහන වර්ගයක් හැඳින්නුවට ඇත්තටම ජීප් කියන්නෙ ඇමරිකාවෙ වාහන හදන සමාගමක්.1988 විතර වෙනකල් ජපානෙ මිට්සුබිෂි සමාගම ජීප් කෝපරේෂන් එක්ක එකතුවෙලා මිට්සුබිෂි ජීප් එක හැදුව. ඊට පස් සෙ තමයි ජපනා පජෙරෝ එක හදන්ට පටන් ගත්තෙ. 

හරි ඒ නිමා වූයේ ජීප් පිළිබඳ අතුරු කතාව නොහොත් වැල් වටාරමයි. නැවත ප්‍රස්තුත ප්‍රධාන කථාවට සැණෙකින්... 

අපි ඔය කැළේ ඇතුලෙ ජීප් එකේ එහෙම යනකොට අතෑරල දාපු වැව් පිටැන්නි වල ඉන්නව පමණක් වෙලාවට මුවෝ රංචු රංචු හැන්දෑ කොරේ ඉරේලිය වැටිල දිලිසි දිලිසි.අපි ඔන්න දවසක ජීප් එක පලු ගහක් යට නවත්තල හෙමීට බැහැල ජීප් එකටම හේත්තුව දාල මුවංගෙ සෙල්ලං බලාන ඉන්නව. 

ඔය කියන දවස්වල අපෙ එකෙක් ගාවවත් තිබ්බෙ නෑ හරි හමං කැමරාවක්...අම්මප හොඳ ලෙන්ස් සෙට් එකක් තියන කැමරාවක් තිබ්බනම් පොටෝ ගන්ට තිබ්බ චායාරූප තරඟ වලින් දිනන්ට තරමෙ... 

ඔහොම අපි මුවෝ බල බල ඉන්දදැද්දි ඔන්න විමලෙය දකුනු හක්කෙ තියන හපේ මාරුකරනව උතුරු හක්කට...ඒ කරල පැත්තකට හැරිල කෙලපාරක් දෙනව දකුනතේ දබරැඟිල්ලයි මැදඟිල්ලයි එකට තියල ඒ මැදිං ජිප් එක ඉස්සරහ තිබ්බ කරඹ පඳුරෙං බාගයක් ලේ පාට වෙල යන්ට. ඒ කරල උඩ බලාගෙන හපේ එහාට මෙහාට මාරු කරකර අනික් එවුං දිහා හොරෙං බලල මෙහෙම කියනව.. 

" අම්මප මයෙ කානු දෙකේ තුවක්කු බටේ තිබ්බ නං එක වෙඩිල්ලයි තියන්නෙ, ආං අර ඉස්සරහම හුඹහ ගාව ඉන්න මුව නාම්බා කැරකිල උඩ පැනල මැරිල වැටෙන්ට " 

අනික් එවුං විමලෙව කන්ට වගෙ රවන්නෙ.. 

"නෙද්දකිං විතරක් මේ පව්කාරය කිව්ව කතාව බලාපල්ලකො අර අහිංසක සතා දිහා බලාගෙන.... මොන හිතකිංද බං ඔහොම කියන්නෙ උඹ? "

ඔය අපේ ඉන්නවනෙ සත්ගුණවත් පරාර්තකාමී ඉඩං අහිමි දානපති උදවිය..ඔන්න එවුං පටං ගන්නව විමලයට දෙස්ස කපන්ට. විමලෙත් අරින්නෙ නෑ මා දිහා බලල ඇහැක් කාරිය ගහනව ඒකා....ආයෙම හපේ මාරු කොරනව අනික් හක්කට.... 

" අහිංසකයි තමයි බං කවුද නෑ කිව්වෙ...ඒත් තවත් අහිංසකයි පදමට පහේ කාරිය වැටිල මද ගින්නෙ ඉදිල මේසෙට වැඩැම්මුවම...හෙහ්, හෙහ්, " 

විමලෙය බඩ හොල්ල හොල්ල හිනාවෙනව. අනික් එවුන් නේද?....ඌව කන්ට පුලුවන් නම් කාවි එතනම ලුණුත් නැතුව..ඒ තරමට මල...හෙහ්, හෙහ්, 

ජීප් නවත්තගෙන ඉන්නව කිව්වම තව කතාවක් මතක් උනා ඔන්න..වැල් වටාරං නං තමයි..ඒත් මෙතෙන්ට එන උදවිය හුඟ දෙනෙක් ඔය වැල් වටාරං වලට බොහොම මනාපයි කියල කියල තියන හංද ඒකත් කියලම ඉඤ්ඤංකො හොඳද? 

අපෙ ඔය ඉඳිකිරීම් වැඩ කෙරුනෙ කොන්ත්‍රාත් ක්‍රමයට. ඒ කිව්වෙ අපෙ ආයතනයෙ ලියාපදිංචි කොන්ත්‍රාත් කාරයො ඉන්නව. ඒ අයට පිළිවෙලට වැඩ ප්‍රදානය කරනව. 

" හා.. මෙහෙ වරෙං මයෙ අප්පච්චි..උඹ මෙන්න මෙතන හික් ගහ ගාව ඉඳල ආං අර වංගුවට එහායිං තියෙන නුග ඇටුවම ගාවට යනකල් තියෙන බෝක්කු ටික ඔක්කොම හදාපං...හරිය? " 

" ඒයි කිරිපුතා..ඉතිං කොහොමෙයි බොල?...තාත්තගෙ කොන්දෙ අමාරුව දැං හොඳෙයි?...හරි බොලාට දැං සල්ලිත් අමාරු ඇති නෙව..ම්ම්ම්ම්ම්..උඹට මම දෙන්නං හරි..මගේ මේ දකුණු කකුල ගාව ඉඳල ආං අර ...මේ මෙතනට වරෙං බං...අන්න හරි ආං අර පේනව නේද අතන දුඹුරු පාට බල්ලෙක් ඉන්නව.... ඒකා නෙවෙයි බං ....ඒ බල්ල කොහෙද දුඹුරු පාට?....අර ඊට එහායිං ඉන්න එකා..හරි ඌ තමයි..අන්න එතනට වෙනකල් තියන ඔක්කොම පෝල් බට ( පෝල් බට කියන්නෙ කුඹුරු වලට ඇලේ ඉඳල වතුර දෙන බට ) ටික එලාන පලයං ගිනි කසය වගෙ.ඉවර උනාම මට කියාපං තව වැඩක් පංගාර්තු කොරන්ට..." ඔන්න ඔහොම 

ඉතිං ඔහොම කොන්ත්‍රාත් කොරන්ට ඇවිල්ල හිටිය අකුරණ පැත්තෙ මුස්ලිම් මහත්මයෙක්. මම මහත්මයෙක් කියල කියන්නෙ මහත්මයෙක් කියාල කැත නැතුව කියන්ට පුළුවන් මනුස්සයෙක් හින්ද. පැංසොං පලච්ච ඉංගිරිස් ගුරු තුමෙක්.ඔය අපෙ හෙන්රීස් ද ඩූඩ් ගෙ එහෙම සීනියර් පොරක් හෙහ්, හෙහ්,....හොඳ මහත්තයෙක් උනාට අපේ එවුංට ඔය ලොක්කව පෙන්නන්ටම බෑ. නයාට අනුගකොල වාගෙ ඔන්න කොටිම්ම. හිතාගන්ට පුළුවන්ද හේතුව?.....හෙහ්, හෙහ්, වෙන මොකවත් නෙවෙයි කඩ්ඩ කඩ්ඩ...ඒ මනුස්සයට අර අවුරුදු හතළිහක විතර පුරුද්ද අතැරගන්ට පුළුවන මේ මාස හයකිං?...උන්දැ ඉන්නෙ කඩුව අතට ගත්තු ගමන්...අපිව දැක්ක හැටියෙ කඩුව වනාගෙන එන්නෙ සටනට... 

නෝමල් කඩ්ඩ නං ඔය මොකක් හරි කොරල සේප් උනෑකි..මිනිහ එක්ක එව්ව බෑ..ක්ලැසික් කඩ්ඩ තියෙන්නෙ...ශේක්ස්පියර් නාට්ටිය ලිවෙ අන්න ඒ කඩ්ඩ...ඉතිං අපේ එවුංට මිනිහ පෙන්නන්ට බැරි එක පුදුමයක්ද? රයිට් පඳුර වටේ තැලිල්ල ඔය මදෑ...බහිමු කතාවට...අපේ චමරි ( චමරි කිව්වෙ අපි හත් අට දෙනා නැවතිලා හිටපු ක්වාටර්ස් වලට )ඕන කෑම බීම බඩු ගේන්ට සතියකට සැරයක් දෙනව ජීප් එකක් කදුරුවෙලට යන්ට. 

මාසෙං මාසෙට මාරුවෙං මාරුවට අපි චමරියෙ ඉන්න අයගෙං කවුරු හරි බාරගන්නව Chummery Management එක. ඒ කිව්වෙ මාසෙ මුල හැමෝගෙන්ම සල්ලි එකතු කරල, ඕන කරන කෑම බීම ගෙනල්ල එදිනෙදා උයන්නෙ මොනවද කියල ගෝලයට ( උයන්ට හිටිය කොලුවට අපි කිව්වෙ ගෝලයයි කියල ) දැනුම් දීල ඒ විදිහට හරියට කෙරෙනවද කියල හොයා බලල මාසෙ අන්තිමට මුළු වියදම එක එක්කෙනා හිටපු දවස් ගනන අනුව සමානුපාතිකව බෙදල චමරිය ක්ලෝස් කරල දාන එක ඒ මාසෙ චමරිය බාර ගන්න පුද්ගලයගෙ වගකීම.... 

ඉතිං ඔන්න චමරිය කරන්ට මගෙ ටර්න් එක ආපු වෙලාවක්. කදුරුවෙල යන්ට ජීප් එක ආව අපෙ කවාටර්ස් එක ඉස්සරහට. මම යන්ට ලෑස්තිවෙලා එලියට බැස්ස. ඒ වෙලාවෙ ඔන්න මගෙ තව යාලුවෙක් කොණ්ඩෙ කපාගන්ටද මොකටද කියල ඌත් නැග්ග ජීප් එකට. මිනිහගෙ නම නිව්ටන්...ආහ්.. මේ කියන දවස්වල මිනිහ වැටිල හිටියෙ අර මම කලින් කියාපු ඉංග්‍රීසි ගුරු තුමාගෙ සයිට් එකට. ගිය වෙලාවෙ ඉඳලම කඩ්ඩ කියල නිව්ටන්ට ජීවිතෙත් එක්ක එපා වෙලයි හිටියෙ. 

" ඇයි වීරෙ බලාපංකො මචං මේක සිංහල රට...අනික මේ හද්ද කැළෑව මැද්දෑවෙ. මේ නසරානිය කඩ්ඩෙම්මනෙ කතාව. මම වෙලාවක ඕකට කතාකරනව සුද්ද සිංහලෙං උතුර දකුන මාරුවෙන්ට ඌ දන්නෙ නෑ නිව්ටන් කියන්නෙ කව්ද කියල….." 

නිව්ටා දවසක් මා එක්ක කිව්ව දෙකක් දාගත්තු වෙලාවක.. 

ඔන්න රෑ අටහමාරට විතර ඇති.... අපි බඩුත් අරගෙන ආපහු එනව, ජීප් එක පුරවල හාල්, පරිප්පු, මුංඇට කඩල..කව්පී...තුනපහ..අරවද මෙව්වද ඔක්කොම...ඔය මිට්සුබිෂි ජිප් වල ඉස්සරහ ඩ්‍රයිවර් එක්ක දෙන්නයි , පිටිපස්සෙ මූණිං මූණ බලාගෙන හරස් සීට් දෙකයි. එක සීට් එහෙක තුන් දෙනෙක්ට පහසුවෙන් ගිහෑකි. මම ඉස්සරහ සීට් එකේ ජනේලෙ ගාව. පිටිපස්සෙත් ඔය කවුරු කවුරු හරි හිටිය.... නිව්ට හිටියෙ අන්තිම කෙලවරේ..පිටිපස්සෙ දොර ගාවම. 

එදා කොහොමහරි හඳත් නැති දවසක්...ඇටපල් කළුවර...කෑම්ප් එකට කිලෝ මීටර් පහක විතර මානෙ ප්න්න අපි එනව. පාරෙ තාර නෑ. නිකම්ම ග්‍රෙවල් විතරයි. ජීප් එකේ වෝල්ට් දොලහෙ බැටරියෙන් පණගැන්වුනු හෙඩ් ලෑම්ප්ස් දෙකේ එලිය කළුවර ඉරාගෙන ඈතට විහිදෙනව තනි කෙලින්. එදා කොහොම හරි බඩු වලට ඕඩර් එක දීල නිව්ටයි මායි කදුරුවෙල මහ ඉස්පිරිතාලෙ ඉස්සරහ රෙස්ටෝරන්ට් එකෙන් බියර් බෝතලේ ගානෙ ගැහැව්ව. ඒ ලාවට තියෙන බියර් මතයි, වටේ පිටේ මෙලෝ දෙයක් පේන්නෙ නැති කමයි ජිප් එකේ එන්ජිමේ ඒකාකාරී සද්දයයි ..ඔය ඔක්කොම නිසා මම හිතන්නෙ මට ලාවට නින්ද යන්න ඇති. 

එක විඩේටම මට ඇහැරුනේ ජීප් එකේ බ්‍රේක් පාරට. දනි පනිගාල ඉස්සරහ තිබ්බ හැන්ඩ්ල් එක අල්ලගෙන මම හැරුන ඩ්‍රයිවර් දිහාට. රියදුරු තෙමේ නමින් මුතුබණ්ඩා වීය. 

"මුතූ මොකෝ බං?..." මම ඇහුව . 

මේ වෙනකොට ජීප් එකේ හෙඩ් ලයිට්සුත් ඕෆ් කරල. හතර අතම ගන අන්දකාරෙ. 

" මහත්තය කබරයද කොහෙද ඉන්නව ඉස්සරහ වංගුවෙ …" 

ඔන්න දැං ආයෙම පොඩ්ඩක් පඳුරු තැලිල්ලක් කරන්ට වෙනව..ඒ මොකටද?..පාත්‍ර වර්ගයාට මේ දැන් එක්වුණු අති ගෞරවාර්හ කබරයා මහතා පාඨක ඔබ තමුන්නාන්සේලාට හඳුන්වා දීම උදෙසා. රයිට් කබරයාස් ගෙ පැටිකිරිය මෙහෙමයි. කබරය කියන්නෙ තනි අලියෙක්. අලියෙක් කිව්වට යාන්තමට මෝදු වෙච්ච දල දෙකකුත් තිබ්බ.ඒ නිසා ඇත්තම කියනව නං ඇතෙක් මත් නෙවෙයි ඒත් වෙන්ට ඇතෙක්..හරි මොකා හරි..ඌට කබරය කිව්වෙ උගෙ ඉස්සරහ කකුල් දෙකෙයි එක කණකයි කබර වගෙ පැල්ලං තිබ්බ හින්දයි කියලයි මිනිස්සු කියන්නෙ.මමත් දෙතුං පාරක් ඔය කබරයව දැකල තියනව. අනේ අප්පේ මම නං ඒකගෙ කබර නරඹනු උදෙසා හිටිය එකක් නෑ. පන එපා කියල දිව්ව මිසක. 

ඔය කබ්රාල් නාහෙට අහන්නෙ නැති ගොබිල. ඒ අහල පහල ගම්මාන වල මිනිස්සු කීප දෙනෙක් පස්සෙ එලවල තිබ්බ. එක පාරක් පුෂ් බයිසිකල් කාරයෙක් පස්සෙ පන්නල මිනිහ බයිසිකලේ දාල කොහෙටද ඇලකටද කොහෙද දණි පණිගාල පැන්නට පස්සෙං පහු බයිසිකලේ එක්කල ඔට්ටු වෙලා කුඩු සංසාර කරල දාල තිබ්බ. ඔන්න ඔහොම රෙපියුටේෂන් එකක් සහිත කබරයා තමයි ඉස්සරහ වංගුවෙ ඉන්නෙ. අපි ජීප් එක ඇතුලෙ සියලු ලයිට් නිවල ඉන්නව. මීක් සද්දයක් නෑ. වටේ පිටේ ඇහෙන්නෙ රැහැයියංගෙ නාදෙ විතරයි.එක වෙලාවකට රැහැයි සද්දෙ වැඩි වේගන ගිහිල්ල එක පාරටම නවතිනව. ඒ රැහැයි සද්දෙත් නතර වෙච්ච වෙලාවක ඔන්න මොකක්ද අමුතු හිතාගන්න බැරි සද්දයක් ඇහෙන්න ගත්ත ඉස්සරහ වංගුව දිහායිං 


" මුතූ හෙඩ් එක ඩිප් කරල ඔන් කරපංකො " මම හෙමිහිට කිව්ව. 

යාන්තමට වංගුවට පැතිරිච්චි එලියෙං අපි දැක්ක කබරය ඉන්නව වංගුව ළඟම අඩි විස්සකට වගෙ එහා ඉළුක් ලන්දෙ. අපි දිහාට හැරිල නෙවෙයි ..පැත්තකට හැරිල..ඌ තණකොල පඳුරු හොඬෙං ගලවල පස් එහෙම අයිං වෙන්ට කකුලෙ ගහනව කටේ දාගන්ට ඉස්සරවෙලා. ඒ සද්දෙ තමයි අපට අර ඉස්සරවෙලා ඇහුනෙ.. 

" ඕෆ් කරපං යකෝ ලයිට් එක. උඹලට පිස්සුද?..ඕක දැං ලයිට් එලියට මෙහෙට ආවොත් මහ ජංජාලයක් වෙන්නෙ.." 

දත්මිටිකාගෙන එහෙම කිව්වෙ නිව්ටා...මුතූ ලයිට් එක ඕෆ් කලා.. 

අපි ආයෙම අටපල් කළුවරේ ගිලිල හිටිය. රැහැයි සද්දෙ විතරයි..ඒ ඇර මුලු ලෝකෙම නිස්සද්දයි..ආ නෑ..ඒ අතරෙ රැහැයි සද්දේ නතරවුනු වෙලාවට අර කබරයා තණකොල පඳුරුවල පස් ගසා දාන සද්දෙ හොඳටම ඇහුනා. 

ඔහොම අපි හිටිය සෑහෙන වෙලාවක්.....වෙලාව ගැනනම් මතකයක් නෑ..පරාන බය කියන එක ආහම ඔය වෙලාවක් කාටද මතක තියෙන්නෙ...නැද්ද?..ඔන්න හිටි හැටියෙම පිටි පස්සෙං වැටිච්චි එක පාරටම තව වාහනේක හෙඩ් ලයිට් එළියක්. 

" දෙයියෝ සාක්කි මේ මොකාද මේ වෙලාවෙ? දැං අර යකා කුලප්පු උනොත් අපි ඔක්කොම ඉවරයි " 

නිව්ටන් පිටිපස්සෙ දොරේ වීදුරුවෙං බලා හිටියෙ දකිණු අතිං ඇස් දෙකත් මුවාකරගෙන ලයිට් එලියෙ සැර නිසා. 

ඒ ආපු වාහනේ ජීප් එක ලඟටම ඇවිල්ල නැවැත්තුව. ඒ කරල හෙඩ් ලයිට් දෙතුං පාරක් ඕෆ් කරල ආයෙම ඔන් කලා… 

" නිව්ටන් කවුද බලාපං ඒ? " මම පස්ස හැරිල කිව්ව.. 

" පේන්නෙ නෑ හරියටම..දෙයියෝ සාක්කි මේ අර සම්සුඩීන්නෙ. මේ ******* ***** කොහෙ යනවද මේ රෑ ජාමෙ. " 

අර මම කලින් කිව්ව ඉංග්‍රීසි ගුරුතුමාගෙ නම සම්සුඩීන්.මිනිහට තිබ්බ සුදු පාට කැන්ටර් ලොරියක්.යකඩ බාර් වගේකුත් පටවල තිබ්බ ලොරියෙ යාන්තමට පෙනුන. ආයෙම හෙඩ් ලයිට් ඔන් සහ ඕෆ්.. 

" මූට නං පිස්සු...කබරයත් එක්ක සෙල්ලං කරන්ඩද මේ ******** ***** හදන්නෙ.." නිව්ටන්ට කතාකරගන්ට බෑ මල.. 

" ඒ මනුස්සයට කෑ ගහල වැඩක් වෙන්නෙ නෑනෙ බං කබරය ඉන්නෙ ඉස්සරහ වංගුවෙ..කොහොමත් අපේ ජීප් එක නිසා උංට ඒකව පේන්නෙ නෑ. දැං ඔය මිනිහ හෝන් ගැහුවොත්නං මල කෙලියයි වෙන්නෙ. මේ නිව්ටා..උඹ බැහැල ගිහිල්ල සම්සුවට විස්තරේ කියාපං…" 

" පිස්සුද උඹට?..මම එක අඩියක් තියන්නෙ නෑ ජීප් එකෙං එළියට..උඹට ඕන නං බැහැල ගිහිල්ල කියාපං…" නිව්ටා මගෙ ඇඟට ගොඩ උනා. 

ඒ කතාවත් ඇත්ත තමයි . මම ඊට පස්සෙ මොකවත් කියන්ට ගියේ එහෙම නෑ. 

ඔන්න තව ටිකකිං ලොරිය රේස් කරන්ට පටං ගත්ත. 

" ආං අරූ ඒ පාර එන්ජින් එක රේස් කරනව. ඊලඟට ඕක හෝං එකත් ගහල කබරය කුලප්පු කලේ නැත්තං බලපං" මම හෙමිහිට කිව්ව 

" ඕකගෙ ඔය දහිර වාට්ටුවෙ හෝන් එක වැඩ නෑ දෙයියො බැලුව වගෙ වෙලාවට. නැත්තං මෙලහට ඔය ***** ***** ඕක ගහල මේ පලාත දෙවනත් වෙන්ට. " නිව්ටා කිව්වෙ තටම තටම.. 

" මේක හරියන්නෙ නෑ..මූ එක්ක බෑ..ඉඳපං මම ඕකට.." 

නිව්ටා එහෙම කියල පිටිපස්සෙ දොර ඇරල බැස්ස බිමට. ඔන්න ලොරියෙනුත් සම්සුඩීන් ගොයියත් ලොරියෙන් බිමට බැස්ස. තනි සුදු ඇඳුම, තොප්පිය ඇටපල් කලුවරේ දිලිසුනා. 

" Oh, Mr. Newton…I was wondering….whats the matter now? Is there any trouble? " සම්සුඩීන් එතන ඉඳලම කෑගැහුව. 

" මූට හෙමීට කතා කරන්ට බැරි හැටියක් අම්මප…" නිව්ට එහෙම කියල ගියා ඉස්සරහට. 

" ට්‍රබල්?..... ට්‍රබල් තමයි ඕයි දෙයියෝ සාක්කි කබරය ඉස්සරහ.....වෙන ඇති රෙද්දෙ ට්‍රබල් එකක් නෑ…

නිව්ට එහෙම කියල ආපහු ඇවිල්ල ජීප් එකට නැඟල දොර වහ ගත්ත.බඩ පපුව හීතල වෙලා තිබිච්ච වෙලාවක නෙවෙයි නං අනෙ අම්මප මැරෙන්ඩ හිනා යනව ඌ ඒ කියපු විදිහට. 

" අනෙ අම්මප මේ වගෙ වෙලාවකත් මූට බෑනෙ කඩ්ඩ වනන්නෙ නැතුව ඉන්ට. කබරය ඇවිල්ල දේයි දේයි ගාල හතර අතේ දෙනකොටත් මූ මම දන්නව කබරයටත් කඩ්ඩ දානව... ට්‍රබල්... උගෙ ආච්චිගෙ ට්‍රබල්.." 

නිව්ටන් තනියම කියවනව පිටිපස්සෙ කළුවරට වෙලා. තව ටිකකින් ආයෙම අපි හෙඩ් ලයිට් ඔන් කරල බලනකොට කබරය පේන්ට හිටියෙ නෑ.නිව්ටගෙයි සම්සුවගෙයි පටලැවිල්ලට ඌත් බය උනාද මන්ද කොහොම හරි ඌ යන්ට ගිහිල්ල..අපිත් දෙයියන්ට පිං පෙත් එහෙම දීල ජීප් එක ස්ටාට් කරගෙන එන්ට ආව. 

පසුව ලියමි - 

අනේ අදනං සමාවෙන්ටම ඕන...වාංපතුල් කතාව ලියන්ට කියලයි ඉඳගත්තෙ..ඒක ගැන එක වචනයක් ලියන්ට බැරිඋනා...හරි ලබන පාරනං ඒ ගැන ලියනව ලියනව ලියනවමයි... 

Monday, March 4, 2013

166. බටු, මිරිස් , තක්කාලි සමඟ සඟක් ගැන කතාවක්.....


අර සද්දන්ත පේමයක කතාව මතකයි නේද? අන්න ඒ කතන්දරේ කියද්දි මම කිව මතකද විමලෙ අයිය ගැන ...අර මොකෑලන්තෙ පැත්තෙ ගෙවල් තියෙන්නෙ කියල මම කිව්වෙ....අපෙ ජනූ නඟත් ඔය මොකෑලන්තෙ කිට්ටුව තමයි. ඔවුන්දැ මා එක්ක නමෝ විත්තියෙං කතා දමාපු වෙලේ මම ඇහුවනෙ නඟේ උඹැහෙ කොයි පළාතෙද හැබැහැට කියාල? අනේ උන්දැ කියාපි අයියෙ උඹ දන්නවය මොකෑ ලන්තෙ..මං ඇවිල්ල ආන්න එහෙ කියාල..අනේ මට ඉහිලුං නැති තන්තෝසයක් ආව නෙව..අඩේ බොලේ මයෙ හොඳම යාලුවෙකුත් ඉන්නව බොලේ ඔය පැත්තෙ...ඕකා ගැන කතා බොහොමයි..ලියඤ්ඤංකො වෙලාවක මං කිව්ව. ඒ අවුරුදු දෙහෙකට එහා පැත්තෙ. ඉතිං මං හිතුව අර මම කිව්ව මොකෑ ලන්තෙ මයෙ යාලුව..විමලෙයා ගැන ආයෙම ඇදිල ආපු එකේ ඒ කතා දෙක තුන කියල ඉවරයක් කොරල දාන්ට ඕනය කියල.

ඔය ජානුස් මහ උජාරුවට අපිත් ඇවිල්ල මොකෑලන්තෙ කිව්වට උන්දැ හරියටම බැලුවොත් ඉන්නෙ මොකෑලංතෙ දේස සීමාවෙ..මායිං ගම්මාන කියල අර පහුගිය කාලෙ කිව්වෙ..අන්න එව්ව වගෙ..උන්දැ ඉන්න හරියට කියන්නෙ මහදඹාන කියල..

හරි එවුන්දැ ගැන ඔය මදැයි ...දැං විමලෙ අයියගෙ කතාව...

ඔය විමලෙය ඇවිදිල්ල හිට හරිම හොඳ එකා. ඒ කාලෙ අපි රස්සාවට ගිය අලුත. අවුරුදු විසි දෙකයි. ඒ කාලෙත් විමලෙයට අවුරුදු තිස් පහක් වගෙ ඇති. අපි ඉතිං ඔය වැඩිමාලු සීනියර් කට්ටිය හැඳින්නුවෙ අයිය කියල පොදුවෙ.විමලෙ කැමති උනේ නෑ ඒකට. අඩේ මේ ඔය අයිය බයිය කතා ඕන නෑ. හරී? අයිය කිව්වම එක්කො නිකං පාතාල නායකයෙක් වගෙ..එහෙම නැහ්නං උඹලගෙ ඕන එපාකං ඔක්කොම පිරිමහන වැඩිහිටියෙක් වගේ..මම ඔය දෙකටම අයිති නෑනෙ..ඒ නිසා එක්කො මට මිස්ට විමලසිරි කියාපල්ල නැත්තං විමලෙ කියාපල්ල..ඇහුනද?...විමලෙ අපිට එහෙම කිව්වෙ ආපු මුල්ම දවසෙ. මිනිහගෙ හැටි එහෙම තමයි.

විමලෙ ගැන කතා තියනව පොතකට සෑහෙන්ට. විට මරුව...නිදියගන්නෙත් හපේ හක්කෙ තියාගෙන.

අවුරුද්දකට පාරක් තියෙනව අපෙ වුර්තීය සමිතියෙ වාර්සික සමුලුව. ඕක කොළඹ තියෙන්නෙ. දවස් තුනක ඩියුටි ලීව් ගමං වියදං ( අර බටා කියන්නෙ..දන්නව නේද? ආං එව්ව ) යැපීම් දීමනා ( Subsistence Allowance ) අරව මෙව්ව ඔක්කොම ගෙවනව ඕකට සහබාගි වෙනවට. පරන යාලුවො හම්බ වෙන්ට, ඒ වගේම හවහට බොරැල්ලෙ අපෙ තියනව සුවිසේසී පොට් එකක්..ඔතනට සැට් වෙල පොඩි මෙව්ව එකක් ගන්ට තියෙන අවස්තාව නිසා අපි ඉතිං ඔය දවස එනකල් ඇඟිලි ගැන ගැන ඉන්නෙ.

අපෙ තව යාලුවෙක්ගෙ මාම කෙනෙක් සිස්සත්තයක් හම්බවෙල එංගලන්තෙටද ඇමරිකාවටද කොහෙද ගියා ඔය කිට්ටුව. මනුස්සය එනකොට ගෙනල්ල තිබ්බ සඟක්. සඟ දන්නවනෙ නේද?...හාංදුරුවො එහෙම නෙවෙයි..:)......සංගිලෑස් කියන්නෙ ආන්න එව්ව.....ඒං එව්ව්යිං කූස්ටමක් ගෙනැව්ව කියන්ටකො අර මාම පොර ඔය ගිය තැනකිං.....මෙලොව සංසාර දෙයක් පේන්නෙ නෑ ඕක දාගත්තම. එහෙ හිම වැටෙන කාලෙට දාන එකක් ඒක. හිම උඩට අව්ව වැටිල පරාවර්තනේ වෙනකොට ඇස් වලට හරිම අමාරුයි කියනවනෙ. ඒ කාලෙට දාන්න හදපු එකක් තමයි ඒ සඟ. පට්ට දවල් උනත් ඕක දාගත්තම ආය නෑ කනා මුට්ටි බිඳින්ට ඇස් ගැට ගැහුවහෙ.....දෙන්නෙක් දෙපැත්තෙං අල්ලගෙන එක්ක යන්ට ඕන සඟ පැළඳි පොරව...හෙහ්, හෙහ්,

ඒ දවස්වල අපි පොඩි සිංදු කෑල්ලකුත් හදල තිබ්බ ....හෙහ්, හෙහ්,

සඟ පැළඳ මම එන්නෙම් සොඳුරිය සඳ කිඳුරු කත ඔබ දකිනටා...හා..හා....හා…
සඟ පළඳමිනා....නෙතු නොපෙනෙනා....
කණ වැල අල්ලා...මම එමි ඔබ දකිනටා..සඟ පළඳමිනා…

ඒ දවස්වල අපෙ කෑම්ප් එකේම කෙල්ලො සැට් කරං හිටපු එවුං පිරියම්බිකාව බලන්ට ගියේ ඔය සඟ පැලඳ....අපි දෙන්නෙක් දෙපැත්තෙං අත් දෙකෙං අල්ලගෙන ගිහිල්ල පේමවන්තය කෙල්ල ඉන්න තැනට ඇරලෝනව...ඊට පස්සෙ සඟ අරගෙන ආපහු එනව..ඊළඟ එකාට පැළඳගෙන යන්ට උගෙ කෙල්ල බලන්ට...

අර වාර්සික සමුලුවට කොළඹ යනකොට ඔය සඟ පැලඳගෙන යන්ට ඕනය කියල දොලදුකක් ආව විමලෙට.අනන්ත එපා කිව්ව..කොහෙද?..ඕකට යමක් හිතුනොත් හිතුනම තමයි...අන්තිම ඇට්ටරය…

කලින් දවසත් නිවාඩු හම්බ වෙන නිසා මම ගෙදර ආව. රැස්වීම දවසෙ උදේ කෝච්චියෙ ගියා කොළඹ. විමලෙයි තව දෙතුන් දෙනෙකුයි පාන්දර බස් එකේ එනව කිව්ව. ඒක උදේ නමය වගෙ වෙනකොට කොටුවට එනව. දහයටනෙ රැස්වීම. හොඳටම වෙලාව ඇති එන්ට. ඒත් ඔන්න එකොලහ දොලහ උනා මුං කවුරුත් නෑ. දොලහට තියනව බ්‍රේක් එකක්. සෝටීස් දෙක තුනක් කාල තේකක් කාරිය බොන්ට.අපි තේ බිබී ඉන්නකොට මෙන්න මුං ටික දුවගෙන ආපි තුම්මුනිං දාඩිය දාගෙන.

" ඒයි මොකෝ බොලා මෙච්චර වෙලා?...බස් එක කැඩුනෙයි? " 
ඒ අපේ තව යාලුවෙක්..ඌ ඇවිල්ල බෙන්තර ගඟෙන් එහා…

" කොහේද බාල්ල ලැට්ටෙක?.." 
විමලෙය ටොයිලට් එක පැත්තට ගියා. සඟ නෑ පේන්ට

" කෝ බං අරකගෙ සඟ?.." මම ඇහුව

" සඟ තමයි..මතක් කරන්ට එපා ඔය මඟුල...ඉඳහංකො වෙච්චි දේ කියන්ට. විමලෙය බස් එකේ බුදියගෙන ආවෙත් සඟ දාගෙන. ගැලෙව්වෙම නෑ..පිටකොටුවෙ බස් එක නැවත්තුවනෙ. අපි බෑග් එහෙම හොයාගෙන බහිනකොට විමලෙය බැහැලත් ඉවරයි. ඊට පස්සෙනෙ සීන් එක. පූරුවෙ වාසනාවකට මැරුං නොකා බේරුණෙ….."

" ඈ??? ඒ මොකද බං ඒ?..... ඉතිං කියාපංකො තවත් තෙපර බාන්නෙ නැතුව …" 
ඔය වෙනකොට අහල පහල හිටපු ඔක්කොම අපි වටේ රැස් වෙලා…


" බලපං අරූ එනවද කියල..විමලෙය......" 
කතන්දරේ කියන එකා වටපිට බැලුව. විමලෙය හොඳ එකා වගේම තමයි තද උනාම ඉපදෙනව මැරෙනව පේන්නෙ නෑ...


" මචං ගුණසිංහ පුරේ අලුත් බස්ටෑන්ඩෙකට යන පාර දෙපැත්තෙ අර බටු මිරිස් තක්කලි දෙහි එහෙම තියාගෙන වෙලදං කරන්නෙ...දෙයියෝ සාක්කි කිව්වට විස්වාස කරපං...මූට තාම බාගෙට නිදිමතේද නැත්තං අර හෙන්රි කල්දේරගෙ ජාතියෙ සඟ හින්දද මෙලෝ හසරක් පෙනුනෙ නැතුවද මන්ද බස් එකෙං බැහැපු ගමං ආය මොනවද අර බටු මිරිස් තක්කලි ඔක්කොම පාගාගෙන නෙව මේකා ගියේ..." 

" දෙයියෝ සාක්කි අම්බරුවො කොළේ මඩවනව වගෙ තියෙන්ට ඇති.... තොපි හතර දෙනාටම වට පෝරියල් එක දුන්නෙ නැතුව ඇති අම්මගෙං බීපු කිරි කටිං එන්ට....හෙහ්, හෙහ්, " 
යන්තං හිනාව නවත්තගත්ත හැටියෙ මම කිව්ව.


" හෙහ්...උඹටනං හිනා..මේං බලාපං මතක් වෙනකොටත් මගෙ මයිල් කෙලිං වෙන හැටි……" 
එහෙම කිව්වට අපි කවුරුත් උගෙ මයිල් බලන්ට ගියේ නෑ..

" හරි හරි ඒ මයිල් පස්සෙ බලන්ට බැරිය. ඊට කලිං වෙච්ච දේ කියාපං...තව ටිකකිං ආයෙම මීටිං එකත් පටන් ගනීවි…" 

" ආය මොනවද අම්ම මෝ නැතුව බැණගෙන උං ඔක්කොම අපි තුං දෙනා වට කරගත්තෙ නැතෑ පරාස්සයො රැලක් වගෙ. මචං දහ අතේ වැඳල සමාව ඉල්ලල යන්තං එතනිං පැන ගත්තෙ...ඒත් රුපියල් පණහක් දෙන්ට උනා අලාබෙට. "

" තුංදෙනා කිව්වෙ ? "

" තුංදෙනා කිව්වෙ විමලය ඇර අපි තුංදෙනා තමයි අහු උනේ……"

" ඈ???..ඒ කොහොමද විමලය විතරක් ඒකෙං බේරුණෙ?...ඌනෙ කර මුලටම අහුවෙන්ට ඕන…" 

" ඔන්න බලාපල්ලකො ඒකෙත් හැටි කියන්නෙ .....ඌ අර එළෝලුත් පාගගෙන පේමන්ට් එක මැදිං ගියා යන්ට එහා පැත්තටම. ඒ මිනිස්සුත් තුස්නිම්බූත වෙල වගෙ බලා හිටිය මේකා කිසි ගානක් නැතුව නාලාගිරිය වගෙ බටු මිරිස් උඩිං ඇවිදං යන දිහාවෙ. උංට හොඳ සිහිය එනකොට විමලය යන්ටත් ගිහිල්ල. අපි තමයි උන්ට අහු උනේ. "

" ඉතිං?..."


" ඉතිං තමයි..යන්තං අර මාර සේනාවෙං ගැලවිල පණ එපා කියල දුවල ඇවිල්ල අපි විමලය හෙවුව. මෙන්න මේකා ඉන්නව පෙට්ටි කඩයක් ළඟ සිගරට් එකකුත් ලෝඩ් කරගෙන..හරියට කොළඹ නගරාදිපති වාගෙ. මට නේද?....යස්සය ආරූඩ උනා ඔලු ගෙඩියට. මොකද බං උඹ අර කලේ?....යන්තං කතාකරගන්ට පුළුවන් වෙච්ච වෙලාවෙ මම ඇහුව. "'

" ඇයි???? මොකද මම කලේ?....මෙන්න මේකා අහපි කිසි ගානක් නැතුව.

" ඇයි යකෝ උඹ අර බටු මිරිස් ගොඩවල් පාගගෙන ආවෙ...ඒකයි අපි මේ කියන්නෙ…"

" මම???.... බටු මිරිස් පාගගෙන ආව?....පිස්සුද බොලාට?....කොහෙ තිබ්බ බටු මිරිසක්ද? ….ඕන්න අච්චර හරියක් කරල ඉවරවෙල අන්තිමට ඌ කියාපු එක"

" ඉතිං උඹල මොකද කලේ?....." 

ආයෙම මම ඇහුව තොල් දෙකත් හපාගෙන.

" මොනව කරන්ඩද බං?...අපි කටවල් ඇරගෙන ඌ දිහාවෙ බලා හිටිය…."

" නෑ බං විමලෙය ඇත්තම වෙන්ට ඇති කියන්ට ඇත්තෙ. බටු මිරිස් දැක්කනං ඌ කීයටවත් එව්ව පාගගෙන යන්නෙ නෑනෙ…" 

" ඒ මොනව හරි කමක් නෑ...මෙහෙ දීපිය ඔය සඟ..ආයෙම උඹ කොලඹදි මේක දැම්මොත් බලාගෙනයි..එහෙම කියල මම ගලවල ගත්ත උගෙ සඟ…" 
හරියටම ඔන්න ඔතනදි අපෙ රැස්වීම ආයෙ පටංගන්නව කියල ලේකම් තුමා ඇවිල්ල කියාගෙන ගියා. අපි ඔක්කොම ගියා ඔඩිටෝරියම් එක ඇතුලට.

" මේ මචං වීරෙ... අර බූරුව මගෙ සඟ අරගෙන දෙන්නෙ නෑ..ඌට කියපං හොඳ හිතිං ඒක දෙන්නෙයි කියල....මේ මොකක්ද විකාර වගයක් කියවනව ඒකා ...බටු මිරිස් කතාවක්…..දෙයියංගෙ හාල් කැවිලද කොහෙද " 
මට එහා පැත්තෙ සීට් එකේ ඉඳගත්තු විමලෙ මගෙ කණට කරල කිව්ව රැස්වීම යන අතරෙදි.

" හරි බං ඉඳහංකො…...මම ඉල්ලල දෙන්නං…" 
මම කිව්ව තොල් හපාගෙන ඉස්සරහ බලාගෙන.

විමලයගෙ වාං පතුල් කතාව කියඤ්ඤං ඊළඟට...හොඳද?


LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...