විමලෙය බටු මිරිස් පාගාගෙන ගිය කතාව අන්තිමට මම කිව්ව් බොලාට මතකෙයි ? උගෙ වාංපතුල් කතාව ඊලඟට කියඤ්ඤංය කියාල හිට තමයි හිතාන හිටියෙ. ඒ කතාව කියන්ට ගිහිල්ල අර කොහෙද යන කබරයෙක් එක්ක ඔට්ටුවෙලා වෙච්චි වැඩේ ඒ කතාව කියන්ට බැරිම වෙලා ගියා. ඊටත් පස්සෙ නයි ගැනයි මාලිංගලා ගැනයි කොන්ත නෝනල ගැනයි අන්තිමටම අර ලලනාව නිසා මෙරිල් ලොක්කි ගැනයි ලියන්ට වෙච්චි නිසා වාංපතුල් කතාව ඩිංගෙං ඩිංග මගෑරිලා ගියා. හරි අද ඔන්න ඒක කියන්ටයි මේ හදන්නෙ.....
රයිට් එන්ඩ බලන්ඩ කට්ටියම පං පැදුරු එහෙම උහාගෙන. දිගඇර ගන්ට ඔය ඉඩ තියෙන තියෙන කොහෙං හරි...බණ අහන්ට ගිහිල්ල වගෙ නිදාවැටෙන්ට ඔට්ටු නෑ හොඳද?
බණ අහන්ට ගිහිල්ල නින්ද ගිය චාලට් අක්කගෙ කතාව අහල තියද?..එක්කොත් ඕන නෑ.. ඒක සුට්ටක් විතර අසබ්බිය පැත්තට බරයි.කාලෙකට ඉස්සර මම ඔය කතාව ලිව්ව අන්තිම පේළියෙ.
මොනම දේකට හරි පුරුදු උනහම ඒක අතෑර ගන්ට බෑ. දැං මේ පඳුරු වටේ තැලිල්ලටත් වෙලා තියෙන්නෙ අන්න ඒක. මටත් ඒක ඇබ්බැහි වෙලා. ඔබ තමුන්නාන්සෙලත් මෙතෙන්ට එන්නෙ පඳුරු වටේ තලනව බලන්ටම හිතාගෙන. එහෙම තලන්නෙ නැතුව ලබ්බ ගලේ ගැහුව වගෙ කතන්දරේ කියැව්වොත් මට නෙසෑහෙන්ට වගපල කියන්ටත් බැරි නෑ..හුහ්, කොයි බොල උඹෙ පඳුරු තැලිල්ල? අපි මේ ආවෙ ඒක බලන්ටමය. බොට වටිනවය තැලිල්ල අතෑරල මෙහෙම එක පාරට කතාව කියන්ටය...අරකද මේකද කියල. ඒ නිසා ඉන්ටලාකො සුට්ටං පඳුරු තැලිල්ලක් කරලම ඉන්ට.
මේ පඳුරු තැලිල්ල බණ අහනවාට අදාලයි හොඳද? ඔන්න එක ගමක් තිබ්බලු. ගමේ එක පන්සලක් තිබ්බලු. පන්සලේ එක හාමුදුරුකෙනෙක් හිටියලු. මේ ගමේ හිටියලු ටිකක් වයසක පාහෙ හීරළුවෙක්.හීරළුවයි කියන්නෙ සිවුර ලූ කියන තේරුමෙන්. දෙහිගහ උඩ වනල යනව කියන්නෙත් ඕකටම තමයි.
" හුහ්, ඒ උන්නාන්සෙගෙ කල්කිරියාව නං මට ඇල්ලුවෙම නෑ. දැක්කනෙ අර තේඋඩිච්චියො රැලත් වට කොරගෙන බෝ මළුවටම ඇහෙන්ට පලාපු කැකිරි පැලිල්ල. මයෙ ඉහේ උකුණො බිමට පැන්නෙ නැතුව විතරයි, මේ ඇත්තමයි. තව ඒ හැටි කාලයක් යන්නෙ නෑ මම අද කිව්ව කියල හිතාගනිල්ල. ඔය උන්නාන්සෙ චීවරේ දෙහිගහේ වනල ඔය මාර දූතියක් එක්ක හඳ පානෙ ගියේ නැත්තං මට ඉජුහ් ඉජුහ් කියාපල්ල.... ඉජුහ් ඉජුහ්..."
එහෙම තමයි දාහක් බුදුන් බුදුවන පාලොස්සක පෝය දවසෙ දස සිල් සමාදං වෙච්චි අපේ සර්දාවන්ත උපාසිකාවො. ඔව්, විසාකා,සාමා, බන්දුල මල්ලිකා යනාදී වසයෙන් වූ බවුද්ද සාසනයේ මහා උපාසිකාවන්ගේ පරපුරෙන් පැවත එන්නාවූ මහෝපාසිකාවො බෝ මලුවෙ ඉඳගෙන දර්ම සාකච්චා පවත්වන්නෙ...
ඔය හීරලුව කියන එක ටිකක් විතර අපහාසාත්මක වගෙ හින්ද අපි මෙතන ඉඳල යොදමු උපැවිදි කියන වචනෙ.බොලාට ඒ වචනෙ පුරුදු වෙනකල් මම විතින් බ්‍රැකට්ස් තුල දාන්නං හීරළුවා කියල මෙන්න මෙහෙම . උපැවිද්දා ( හීරළුවා ) උපැවිද්දා කිව්වම නිකං දුන්නෙං විද්දා වගෙ අදහසකුත් එනව වගෙ නේද?...හෙහ්, හෙහ්....
හරි කොහොම හරි අර උපැවිද්දා ( හීරලුවා ) ඇවිල්ල මහම වාතයක් ඇණයක්, තුවාලයක්,පේන් ඉන් ද ආස් වෙලා හිටියෙ අර මම කියාපු හාමුදුරුවන්ට.
උපැවිද්ස්ගෙ ( හීරල්ස් ) හාමුදුරුවරු එක්ක පුදුම තරහක් තිබ්බෙ. එහෙම වෙන්ට හේතු කීපයක් තිබ්බ. එක හේතුවක් විතරක් කියන්නම්. මොකද අනික් හේතු කියන්ට ගියොත් අර බී.බී. එස්. ( Bloody Bull Shit ) කස්ටිය රෙදි... සමාවෙන්න, චීවර කරට අරගෙන එන්ට බැරි නෑ මේ පැත්තෙ.
ඒ කියන්ට පුලුවන් හේතුව තමයි ඔය ලංකාවෙ පංසල් වල පැවතගෙන එන පංසලේ අයිතිය පරම්පරාවට බාර දෙන සිරිත. මේ කාලෙ නම් කොහොමද කියන්ට දන්නෙ නෑ ඒත් අපි හිච්චි එවුං කාලෙ ඔය සිරිත තදේටම තිබ්බ. පංසලේ නායක ගොයිය අපවත් වෙන්ට කිට්ටු වෙනකොට තමංගෙ පරම්පරාවෙ කවුරුහරි පොඩි එකෙක් මහණ කරනව තමංගෙං පස්සෙ පංසලේ අයිතිය බාරවෙන විදිහට වැඩේ සැට් කරල.
මම ඕක සහසුද්දෙම්ම දන්නෙ මටත් පොඩි කාලෙ ඔහොම ඔෆර් එකක් ආපු හින්ද....හෙහ්, හෙහ්, අපෙ අම්මයෙ මාම කෙනෙක් වෙන හාංදුරු කෙනෙක් උන්න ඔය ටිකක් දුර බැහැර පංසලක නායක පදවියෙ. ඉස්තානෙ ඇවිදිල්ල හිට රජමහ විහාරයක් දන්නවද? සෙල්ලං නෑ හරිය?....ඉතිං අම්ම මයෙං ඇහුව..පුතේ උඹ කැමතිය මහණ වෙන්ට? කියල....ඒ දවස් වල මයෙ බඩ බැඳ ගත්තු යාලුව තමයි ගල් වල ගාව ගෙදර ජයසීලි..මම කිව්ව හා. මං කැමතියි, හැබැයි ජයසීලිවත් එක්ක යන්ට ඕනෙ කියල. එහෙම බෑනෙ කියාපි අම්ම. එතනිං රජමහ විහාරෙ නායක පදවිය පිළිබඳ ඔෆර් එක අහවරයි.
පස්සෙ ඒ ඔෆර් එක අපෙ පුංචි අම්මයෙ පුතාට ආව. ඒකා නම් මහණ උනා. ඒත් අර නායක උන්නාන්සෙ අපවත් වෙනකල් වත් ඒ අසමජ්ජාතිය හිටියෙ නෑ සිවුරෙ. දෙහිගහේ වනල ආව..යස්..උපැවිදි උනා…
අම්මප මට අනන්ත හිතිල තියෙනව අපරාදෙ එදා ඒ ඔෆර් එක බාර ගත්තෙ නැත්තෙ කියල..අම්මද බොල එහෙනං කොහොමද මම අද?...යාන වාහනද? කන්ට බොන්ටද? අතට පයට රූමත් මානවිකාවන්ද? ශිහ්, කියල වැඩක් නෑ..මොකදෑ කොරන්නෙ ඉතිං?..ලැබීම නෑ ළමයි. ලැබීම නෑ...
Right after a spot of B.A.B. ( Beating about the Bush ) now lets get back to the story...පඳුර වටේ තැලීමකින් අනතුරුව යලි ප්‍රධාන කථා වස්තුව වෙත....
ඉතිං අර උපැවිද්දටත් වෙලා තීයෙන්නෙ ඔන්න ඕක. වෙනත් නොයෙක් දුක් කරදර, සිත් බිඳීම් ඔක්කොම විඳ දරාගෙන පන්සලේ හිටියට අන්තිමට ඒ ඔක්කොම එපා වෙලා තියෙන්නෙ ලොකු හාමුදුරුවො පංසල බාර දෙන්ට හිතාගෙන තමංගෙ බෑණෙක්ව ගෙනල්ල මහණ කරපු දවසෙ.එදා මිනිහ රෑ දෙගොඩහරියෙ පංසලට ආයුබෝවන් කිව්ව සදහටම. පස්සෙ පවුලක් පංසලක් කරගෙන දෙයියනේ කියල හිටියට මිනිහගෙ අර හාමුදුරුවරු එක්ක තිබ්බ තරහ හිතේ පැහැව පැහැව තිබ්බ.
ඉතිං මිනිහ කලේ මොකක්ද පෝය දවසෙ හාමුදුරුවො බණ කියනවනෙ. ඔන්න ඉන්නව ඉස්සරහටම වෙලා. ඒ කරල හාමුදුරුවො කියන බණ කතාවෙන් මොකක් හරි කොටසක් අල්ලගෙන කිසිම තේරුමක් නැති ප්‍රශ්න අහල හාමුදුරුවො විහිලුවට ලක් කරල දානව.හාමුදුරුවන්ට මේ වැඩේ හින්ද ජීවිතෙත් එක්ක එපා වෙලයි තිබුනෙ. දවසක් අල්ලපු ගමේ පන්සලේදි හාමුදුරුවො මේ විස්තරේ කිව්ව එහෙ හාමුදුරුවො එක්ක බොහොම දුකසේ.
" හැබෑට? ඒකත් එහෙමද?...හරි ස්ථවිර බයවෙන්ට ඕන කමක් නෑ. ලබන බදාදනෙ පාලොස්වක පෝය. මම එන්නම් එදාට බණට...."
අල්ලපු ගමේ පන්සලේ හාමුදුරුවො කිව්ව. තට්ටෙත් අත ගගා…
ඔන්න දවසක් හවස ගමට එන අන්තිම බස් එක .....පොල් පටෝල සෙනඟ. ආය නෑ ඇඟිල්ලක් ගහන්ට ඉඩක්. අපෙ ජේමිස් මාමත් ඉන්නව බස් එකේ ඉස්සරහ හාමුදුරු සීට් එක ගාවම හිටගෙන. උන්දැ එදා කොරටුවෙ බුලත් ටික ටවුමට අරං ගිහිල්ල විකුණල හන්දියෙ බාර් එකෙන් කාලක් ක්‍රියාකරල අප්පමාදෝ අමර පදං වෙලයි හිටියෙ. බස් එකේ කවුලුවලිං එන හුලං පාරට මතේ තවත් වැඩි වෙල හීංවට වගෙ නින්දකුත් යනව. ඔය අස්සෙ බස් එක එලවන කිරි බණ්ඩ ෆුල් ඩම් දාල හිටගෙන කපනව ස්ටියරිං එක... වැලමිටි වංගුනෙ පාර දිගටම.බස් එක වංගු ගන්නකොට ජේමිස් මාම එහෙම්මම පැද්දිල ගිහිල්ල නතර වෙන්නෙ අර ඉස්සරහම සීට් එකේ ඉඳගෙන හිටපු හාමුදුරුවංගෙ කරේ හාමුදුරුවොත් දෙතුං පාරක්ම ඔළුව උස්සල ජේමිස් මාම දිහාවෙ රවල බැලුව. මොන? උන්දැට කොහෙද එව්ව පේන්නෙ මේ වෙලාවෙ.....
ඔන්න ආයෙම වැලමිටි වංගුවක්..කිරි බණ්ඩ ආයෙම නැඟිටල කැපුව. ජේමිස් අයිය ආයෙම පාවෙලා ගිහිල්ල මේ පාරනම් ඉන්ද උනා හාංදුරුවංගෙ කර උඩම. හාමුදුරුවන්ට මෙදා පොටේ නම් තද උනා කියන්නෙ තට්ටෙත් එක්ක රතු උනා පිනිජම්බුවක් හා සමානව..
" හා, හා, නගිනව නගිනව මගෙ ඔලුව උඩටම….."
හාංදුරුවො ගර්ජනා කලා ඉවසුං නැති කේන්තියෙං,
ඔන්න ඒ සද්දෙට තමයි ජේමිස්සයියගෙ හොඳ සිහිය ආවෙ. උන්දැ අඩවන් වෙල තිබ්බ ඇස් දෙතුන් පාරක් ඇහිපිල්ලං ගහල ඊට පස් සෙ ඇස් හීං කරල එබිල බැලුව හමුදුරුවො දිහාවෙ. ආයෙම නලලත් රැලිකරගෙන බලා හිටිය හාමුදුරුවන්ගෙ තට්ටෙ දිහාවෙ. ඒ කරල නැමිල වැන්ද හාමුදුරුවන්ට…
" අවසර ….නෑ කමක් නෑ අපෙ හාමුදුරුවනෙ..අද මට සුට්ටක් වැඩියි වගෙ. ඔතන ලිස්සන්ට ඇහැකි, මම මෙතනම ඉන්නං, ආරාදනාවට බොහොම ඉස්තූතියි "
උන්දැ එහෙම කියල ආයෙම හාමුදුරුවංගෙ කරට හේත්තු උනා.
ඔන්න ඉතිං කිව්වත් වගෙ පෝය දවසෙ අල්ලපු ගමේ පන්සලේ හාංදුරුවො වැඩපි බණට.ඊස් මීස් නෑ සෙනඟ. ඔන්න හාමුදුරුවො දැහැත් විටක් කාරිය සප්පායං වෙල පටන් ගත්ත බණ දේසනාව. සිදුහත් කුමාරය බුද්ධත්වයට පත්වීම තමයි එදා මාතෘකාව.
" ඉතිං පිංවතුනි, මේ සිදුහත් තාපසය සුජාතා සිටුදියණිය පූජ කරපු කිරිබත් අනුභව කරල එහෙම ඒ අසලින්ම ගලාගිය නේරංජනා ගංගාව අසලට ගිහිල්ල මේ විදිහට අධිෂ්ඨානයක් කරනවා……….අද දින මගේ සම් මස් ඇට නහර……...."
හාමුදුරුවන්ට එච්චරයි කියන්ට හම්බ උනේ. අපෙ කතානායක උපැවිදි තෙමේ නැඟී සිට මෙසේ පැවසීය.
" අවසර අපෙ හාමුදුරුවනේ, මට පොඩි ගැටළුවක් ඇතිඋනා, ඒ ගැන ඔබ වහන්සෙගෙන් විමසන්ට අවසරද? "
ගමේ හාමුදුරුවො අදාල පුද්ගලයව කලින්ම පෙන්නල දීල තිබ්බෙ මේ ආගන්තුක හාමුදුරුවන්ට.." අන්න අර ඉන්නෙ..ඔය යකා තමයි දෙවිදත්තරය" කියල.
ඉතිං අර බණ කියන හාමුදුරුවොත් සිනා මුසු මුහුණින් කිව්ව මෙහෙම….
" නෑ, නෑ, උපාසක මහත්මය ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඇත්තටම මම හරිම සන්තෝෂයි. අපි බණ අහනකොට ඔය කියන ඔක්කොම අහගෙන ඉඳල අන්තිමට සාදු...සාදු කියල වැඩක් නෑ. බණ අහද්දි හිතේ ඇතිවෙන යම් යම් කුකුස්, ගැටළු ඒ වෙලාවෙම අහල විමසල විසඳ ගන්ට අවශ්‍යයයි.බොහොම හොඳයි උපාසක මහත්මය . කියන්න බලන්න ඔබට ඇතිවුනු ගැටළුව.."
" මේකයි අපෙ හාමුදුරුවනෙ. මට ඇතිවුනු ගැටලුව..දැන් ඔබ වහන්සෙ ඔය නේරංජනා නම් ගංගාව ගැන කිව්ව නෙව. එතකොට ඔය නේරංජනා නම් ගංගාව පටං ගන්නෙ කොතනින්ද? මට දැනගන්ට ඕනෙ අන්න ඒක……"
" ආන්න බලන්න පින්වතුනි. මේ උපාසක මහත්මයට ඇතිවෙලා තියෙන්නෙ එසේ මෙසේ පුද්ගලයෙකුට ඇතිවෙන ගැටළුවක්, ප්‍රශ්නයක්, කුකුසක් එහෙම නෙවෙයි. ඉතාම බුද්ධිමත් ඒ වගේම සසර පුරා ධර්ම ගවේෂණයේ යෙදෙන මහ පිනැති බුද්ධිමතෙකුට පමණයි මේ වගෙ විචිකිච්ඡාවන් පහළ වෙන්නෙ.ඇත්තටම මේ වගෙ ගැඹුරු ධර්ම කාරණා පිළිබඳ ඔය හැමෝටම කියා දෙන එකත් තේරුමක් නැති වැඩක්. ඒ නිසා මම ඒ ගැටලුවට පිළිතුර ඔය උපාසක මහත්මයට විතරක් කියන්නම්. එන්නකො ඔය උපාසක මහත්මය මේ මාලඟට. හරි තව ටිකක් එන්න. හරි අපි ආයෙම බලමු මොකක්ද මේ ගැටළුව කියාල...නේරංජනා නම් ගඟ පටං ගන්නෙ කොතනින්ද? ඒක නේද ඔය මහත්මයගෙ ගැටළුව? "
" එහෙමයි අපෙ හාමුදුරුවනේ……"
" හරි මේ කණ පත් කරන්ටකො මෙහාට..ආන්න එහෙම…….නේරංජනා ගඟ පටං ගන්නෙ තොගෙ ****ගෙ රෙද්ද අස්සෙං "
" මම හිතන්නෙ ඒ උපාසක මහත්මයගෙ සියලු සැක දුරුවෙලා ඒ ධර්ම ගැටළුවට නිසි පිළිතුරක් ලැබුනයි කියල මම හිතනව.... මේ අනෙකුත් පිංවතුන්ටත් අවශ්‍යනම් ඒ පිළිතුර මේ උපාසක මහත්මයගෙන් නිවාඩු පාඩුව අසා දැනගන්ට පුළුවනි. හරි මම මේ කිය කිය හිටියෙ එතකොට සිදුහත් තාපසය නේරංජනා ගං ඉවුරට ගිහිල්ල..........."





