Tuesday, January 15, 2013

153. සද්දන්ත ප්රේමයක අවසානය එසේ සනිටුහන් විය........


දඩයක්කාරයො කියන්නෙ කැලෑවල ඉන්න කට්ටියක්නෙ. එහෙ කොහෙන්ද බූල් බූල් තුවා?...ඔව් අනේ අර රෝස මල් එහෙම තියෙන බූල් බූල් තුවා....අර මම අපෙ අම්මණ්ඩිගෙ කඳුලු පිහින්නෙ....අන්න හරි අර බින්දි මැඩමුත් මේ ළඟදි ගත්තෙ සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව .....අන්න එව්ව තමයි.........ඉතිං අර සොඳුරු යුවතිය කඳුලු ගහනකොට දඩයක්කාරයට කරන්ට තිබ්බෙ එකම වැඩයි...අමුඩෙ ගලෝල සොඳුරු යුවතියගෙ කඳුලු පිහින එක විතරයි... 


'' සොඳුර තොප වෙනුවෙන් මසිත් පිරි සෙනෙහස මෙතෙකැයි කිව නොහැක. ඔබ නෙතින් ගලායන මේ කඳුලු දහරා පිසහරිනු වස් මා සතු එකම අමුඩ රාජයා එකෙණෙහිම ගලවා ලීමට පවා මම මොහොතකදු පමා නොවන්නෙමි. '' 


ෂෙහ්, අකලංක ප්‍රේමය එක වැකියකට කැටිකල මේ වගෙ අවස්ථාවක් ගැන අහලවත් තියෙනවද ඔය ගොල්ල? 


අම්මප මයෙ ඇහැටත් ආව කඳුලු......බූල් තුවාය ගෙදර නෙව....බෙඩ් සීට් එකෙන් වත් දැනට පිහල දාමු.... 


ඔන්න බලන්ට පොඩිත්තක් කල්පනා කරල එහෙම කරන එක පිරිමියෙක්ට ඉස්තිරියාවක් වෙනුවෙන් කරන්ට පුලුවන් ඉහලම කැපකිරීමක් නෙවෙයිද කියල...සික් ඇඳං ඉන්න අමුඩෙ ගලෝල කෙල්ලෙක්ගෙ කඳුලු පිහිනවයි කියන එක මගේ කල්පනාවෙ හැටියට සෙනෙහස ප්‍රකාශ කරන්ට පුලුවන් අන්තිම උත්කෘෂ්ඨ, පරම රමණීය, අති සංවේදී, අනභිභවනීය ක්‍රමයක්...ඒකෙ ආයෙ නෑ හෝදන්ට දෙයක් එහෙම..ඒත් ඔන්න බලන්ට පිංවතුනි මේ බබලතුංගෙ තියෙන මොරෝම ගතිය කියන්නෙ අර බින්දි එකටත් දැම්ම් නෙව කෝචොක් එකක් " එකෙණෙහිම ඈ සිහි විසඥ වූවාය '' කියල.. 


අලි මදිවට හරක්, හරක් මදිවට කිණිතුල්ලො කීවැහෙ ඒකටම එකතු උනා අර ජනනි කියන මානවිකාව.....'' මමත් ඕකමයි කියන්ට හිටියෙ " එවුන්දැ කියාපි...ඊටත් පස්සෙ දවසක යුවතියට තාම සිහිය ආවෙ නෑ කියලත් ජනූගෙ හිත සෝකෙං බරවෙල තිබ්බ...ඒ ටීකාවට උත්තර බැන්දෙ මම මෙහෙම " අඩේ බං කෙල්ලො සිහි නැතිවෙනව එහෙම නැත්තං වියාවහාර බාසාවෙං කියනව නං පේන්ට් වෙනව කියන්නෙත් මාරම ආතල් කේස් එකක්...ඉඳහංකො මට මතක වෙච්චි පරන සීන් එකක් වෙලාවක කියඤ්ඤං '' 


මේ දඩයක්කාරයගෙ කතාවෙ මාස තුනකට විතර ඉස්සර බින්දි නෝන මහත්තැං දාපු කමෙන්ට් එහෙකට මම ලියාපු පිළිතුර...එතනදි මම කිව්ව කලංතෙ දානවයි කිව්වම මට සෝක් කතාවක් මතක් උනාය , වෙලාවක කියඤ්ඤම්ය කියාල..ඔන්න දැං තමයි ඒ වෙලාව හම්බ උනේ....ඉතිං සකියනි...මෙන්න ඒ කතාව.... 


මේ කියන්ට යන සිද්ධියත් උනේ මම අර කලින් කියාපු උතුරු මැද පලාතෙ නැගෙනහිර මායිමේ ව්‍යාපෘතියක වැඩ කරන කාලෙ.... 


දිඹුලාගල ආරණ්‍යය තියෙන්නෙ ඔය අපි හිටපු හරියෙ ඉඳල කිලෝ මීටර් විස්සක විතර මානෙ. පෝය නිවාඩුව මාසෙ අන්තිමට වගෙ වැටුනොත් නම් පඩිත් සාක්කුවෙ දාගෙන කවුරුත් වාගෙ ගෙවල් බලා යන්ව..එහෙම නැතුව මාසෙ මැද්දෑවකට එහෙම පුරා හඳ මුදුං උනොත් අපි ඔය ජීප් දෙක තුනක පැටවිල දිඹුලාගල යන එක ඒ දවස්වල සිරිතක් වෙලා තිබුනෙ.... 


ඔය පෝයක් මාසෙ මැද වැටිච්චි දවසක තමයි මේ සීන් එක උනේ...අපි කට්ටියක් එදා දවල්ට කාපු ගමංම වගෙ ඒ කිව්වෙ දෙකට විතර පිටත් උනා දිඹුලාගල යන්ට...ඔය පැත්තට පායන්නෙ ආයෙ නෑ දෙහි පඳුරු හිටං කරකුට්ටං වෙලා යන්ට ගිරීස්මෙ ඇල්ලුහම..දවල්ට සතා සීපාව උනත් ගහක් කොලක් හෙවනෙ ඉන්නව මිසක එලිපෙහෙලියට එන්නෙ නෑ...ඒත් අපි හිටියෙ අර බොහොම නරක වයසෙ...හිතිච්චි දේ කරන අපිට බැරි දෙයක් නෑ කියල ආත්මාභිමානය ඉහිං කනිං පිරිච්ච නව යොවුන් වයසෙ...අපි පස් හයදෙනෙක් ඔය කලින්ම ගියේ දිඹුලාගල ගුහාවට යන්ට. 


දිඹුලාගල නායක හාමුදුරුවො...අර කොටි වෙඩි තියල මැරුවෙ....ඒ හාමුදුරුවො මුල්ම කාලෙ දිඹුලාගලට ඇවිල්ල පදිංචි උනයි කියන්නෙ ඔය ගල් ගුහාවක...දිඹුලාගල පන්සලට යන පාරෙන් හැරිල කැලේ මැදිං කන්දක් උඩට යන්ට තියනව කිලෝ මීටර් තුන හතරක්....හරි හමං පාරක් කියල එකක් නෑ......ගලින් ගලට පැන පැන යන්ට තියෙන්නෙ බොහෝ විට. 


ඔය ගමන යන්ට ඕන කියල අපි පෙරුම් පිරුවෙ බොහොම කාලෙක ඉඳල...ඇති වැඩකට නෙවෙයි...නිකං මේ කොළු කමට...අපි මෙහෙම ගමනකුත් ගියයි කියල පොඩි පුරාජේරුවක් එහෙම කියන්ටත් පුලුවන් නෙව පස්සෙ කාලෙක...ඔන්න කොටින්ම මම අද මේ කතාව කියන්නෙත් එහෙම ගියායින් නෙව...හෙහ්, හෙහ්, 


ඔය දවස්වල අපේ ඔෆිස් එකට ඇවිල්ල හිටිය අලුත් පත්වීමක් අරගෙන තමාලි කියල ටයිපිස්ට් ළමයෙක්. හරිම අහිංසක අපූරු ගෑණු දරුව..ටිකක් විතර පුෂ්ටිමත් පැත්තට බරයි හැබැයි...ම්ම්ම්ම් ඔය සිමෙන්ති කොට්ට දෙහෙකට වැඩි උනත් අඩු එහෙම නෑ... 


අපෙ සාද නිවාසයෙ ( Chummery කියන ඉංගිරිසි වචනෙ සිංහලට පෙරලල තිබ්බෙ සාද නිවාසය කියලයි ඒ දවස්වල. කොයි ලෝකෙං හොයාගත්තු එකක්ද නං දෙයියො තමයි දන්නෙ ...) මයෙ අල්ලපු කාමරේ රූම් මේට් ඇවිල්ල ගිනිගත්හේන පැත්තෙ. නම චමින්ද......ඕකා හරියටම මැස්සො බීපු ගොයං ගහ වගෙ..හුළඟටත් වැටෙන සයිස්...කොච්චර කෑවත් ඇඟට අල්ලන්නෙ නෑ...හැබැයි හොඳ ලස්සන කොලුව..කොන්ඩෙ තනිකරම අක් බඹුරු. ඇඩ්වඩ් ගොයියගෙ වගෙ ඔන්න කොටිම්ම....දන්නවනෙ ඇඩ්වඩ් ගොයිය නේද?...මේ දවස්වල ඔය රණවිරු ඉස්ටාර් එහෙම විනිස්චේ කොරන්නෙ..ආං උන්දැ.. 


ඔන්න ඉතිං බලාපල්ලකො වැඩක හැටි කියන්නෙ මේ යක්සයට හිත ගියා අර තමාලි කෙල්ලට..කාගෙ හිතද?...එඩ්වඩ්ගෙ නෙවෙයි බොලව්..අර මම කිව්ව හීනැස්සගෙ..මයෙ යාලුවගෙ...චමින්දයගෙ... 


ඔය පෝය දාට කලින්දා හවහ ඔන්න අපි මිදුලෙ රවුමට පුටු තියාන.....හෙහ්, හෙහ්, දන්නව නෙව....ආය අමුතුවෙන් කියන්ට ඕන නෑනෙ...ඉතිං රවුමට පුටු තියාන ඉන්නව හඳ දිහාවෙ බලාගෙන....හවස වැඩ ඇරිල ඇවිත් අපි කරන්නෙ ටේබල් ටෙනිස් අතක් එහෙම ගහල කාරිය නා කියාගෙන ඔය මිදුලෙ රවුමට වාඩිවෙලා ඉන්න එක තමයි. අපෙ අතරෙ ඉන්න ප්‍රේමවන්තයො ඉන්නවනෙ...ඔය ප්‍රේමවන්තයො දෙවැදෑරුම්....Resident පෙම්වත්තු සහ Non-resident පෙම්වත්තු... Resident පෙම්වත්තු කිව්වෙ ගෑණු දරුවත් අපෙ කෑම්ප් එකේම ඉන්න අය.ඒ කිව්වෙ රස්සාවට ඇවිල්ල හිච් වෙච්චි අය. Non-resident පෙම්වත්තු කියන්නෙ ඒකෙ විරුද්ධාර්ථෙ. එවුංගෙ කෙල්ලො ඉන්නෙ පිට. උං ඉතිං කොරන්නෙ හවසට නාල එහෙම සැං පොඩ්ඩකුත් ගහගෙන කඩදහි කොලේකටත් සැං ටිකක් ඉහල සෙනෙහෙ කොල ලියන්ට පටන් ගන්න එක. 


සමහර එවුංට සැට් වෙල හිටියෙ නූතන ගජමං නෝනල...උංට එවන ලියුම තනිකරම කවියෙං....කිව්වට මක් වෙනවද ආය බොරුවක් එහෙම නෙවෙයි මටත් යහමිං ඕඩර් තිබ්බ ඒ දවස්වල කවි ලියාදෙන්ට...නික නිකම්ම වගෙ තමයි එව්ව ලියල දුන්නෙ.හෙහ්, ඔය අනුං වෙනුවෙං කවි ලිවිල්ලට ගිහිල්ල මට එක පාරක් හරිම හෙයියම්මාරුවකුත් උනානෙ....හරි ඒක වෙනම කියඤ්ඤං......ආය දවසක.... 


රෙසිඩන්ට් පෙම්වත්තු ඔය ක්‍රීඩා වලට යන්නෙ නෑ. උන්දල ආපු ගමං නාල කරල කිට මරාගෙන යනව කෙල්ලො ඉන්න චමරියට. ඒ ගිහාම ආය එන්නෙ රෑට කන්ට බලාගෙන තමයි. ඔය දවස්වල ඒ පැත්තෙ කොටි කේස් හරියට. අපේ කෑම්ප් එක වටේත් බංකර් තිබ්බ හත අටක්ම. ඉතිං අර අපේ පෙම්වත්තු හවසට යන සුපුරුදු ගමනට අපි කිව්වෙ බංකරේ ඩියුටි යනවයි කියල.... 


හරි දැං මේ පෝය දාට කලින්දා නෙව.අපි මිදුලෙ රවුමට පුටු තියාන බුද්දාලම්බන පිරීතියෙං ඔද වැඩිල ඉන්න තැනට අන්න අරූ ඇවිල්ල ඉඳගත්ත. කවුද ආවෙ? චමින්දය... 


ඒකයෙ මූණ හොඳ නෑ.... 


" මොකෝ බං? " විමලෙ ඇහුව.... 


" මේ හරි වැඩේනෙ .... " චමින්දය තටමනව... 


" ඉතිං කියාපංකො බලන්ට ...මොකක්ද ඔය වැඩේ කියල…" ඒ මම 


" මේ තමාලි……." තමාලි මතකනෙ අර බොහෝසේ පිරිපුන් ගැහැණු දරුවා... 


" මේ...තමාලිත් හෙට එන්න ඕනය කියනවනෙ......." චමින්ද බොහොම හෙමිහිට ඒ ටික කිව්වෙ.. 


" යකෝ උඹ මොකටද එව්ව එයාට කියන්ට ගියේ? " විමලෙ කෑගැහුව. 


" මට කිය වුනා කතාකරකර ඉන්දැද්දි …" චමින්දය අඬන්ඩ වගෙ. ඕක කොහොමත් ළඳ බොලඳ පොර.හරිම අහිංසකය. 


ඉතිං මොකද කොරන්නෙ?....චමින්දය දාල යන්නත් බෑ. අන්තිමට අපි තීරණය කලා තමාලිත් එක්ක යන්න….. වෙන මොනව කරන්නද? 


" හැබැයි මේ ඒකි විතරයි හොඳද?...අනික් කෙල්ලො ඔක්කොම ලෑස්ති කරගන්ට එහෙම බෑ..හරිද?.... " අපි අරූට කොන්දේසි දැම්ම. 


" හරි, හරි….. එහෙම වෙන කවුරුවත් එන්ට කෙනෙක් නෑ. හෙට උදේ අනික් තුන් දෙනාම ගමේ යනව.... " චමින්දයගෙ මූණෙං එකයි හිනාව. 


ඔන්න පහුවදා දවාලට කාල එහෙම දෙකට විතර අපි පිටත් උනා දිඹුලාගල....අපේ චමරියෙ හය දෙනයි මාත් එක්ක..ඊට අමතරව තමාලි.... 


දිඹුලාගල ගල උඩ තියනව අහස් මන්දිරේ කියල එකක්. ඒකට යන පාරෙ මඟක් ගිහිල්ල හැරිල කැලේ මැදිං තමයි ඔය ගුහාවට යන්ට ඕන...අපි පස් දෙනා ඉස්සර වෙල ගිය. පේමවන්තයො ජෝඩුව ඉතිං දන්නවනෙ. ඇලී ගැලී ...උකුළු මුකුළු රටේ නැති එව්ව...ඔව්ව කර කර පහු වෙල ආව...ටිකක් දුර ගිහිල්ල ගලක් උඩ ඉඳගෙන අපි ඉන්නව මුං දෙන්න එනකල්... 


කොහොමින් කොහොමින් හරි ගුහාවට යනකොට හවස හතරාමාර වගෙ උනා. ඔය ගුහාව වවුල් විමානෙ. අපි ඉතිං ඕක ඇතුලෙ වවුල් වසුරු එහෙම පුළුවන් තරම් මඟඇරල ටිකක් එහෙ මෙහෙ ඇවිදල ආපහු පල්ලම් බහින්ට පටන් ගත්ත. කළුවර වැටෙන්ට කලියෙං ජීප් එක ගාවට යාගන්ටත් එපාය. අනික ඔය කැලේ වලස්සු එහෙමත් හිටිය ඒ දවස්වල.... 


ඔය කඳුවලට නඟිනවට වඩා අමාරුයි ඒ එක්කම ආපහු බහිනකොට....කකුල් නිකං දණිහෙං නැවෙනව අනික් පැත්තට රබර් වගෙ ....කන්දෙ මඟක් දුර බහිද්දි එක පාරටම පිටිපස්සෙම්ම ආපු විමලෙ ගලක් පල්ලෙ ඇදං වැටිච්චි..ඒ වෙලාවෙ මොකක් උනාද කියල ඌටත් හරියට නිච්චියක් නැහැල්ලු. එක පාරටම ගලකින් අනික් ගලට පනිද්දි ගලපල්ලෙ ඇදං වැටුන කියල විතරයි විමලය දන්නෙ.අපි කට්ටියම වට වෙල මේකව නැඟිට්ටෙව්ව. බරපතල තුවාලයක් නම් වෙලා නෑ. ඒත් වම් කකුලෙ දනිස්සෙං පල්ලෙහා කලිසමත් ඉරාගෙන පලාතක්ම හම ගිහිල්ල. ලේ ගලනව ඕසෙට. 


කලිසම උඩට කරල නවල වැල් පොටකිං ගැටගහල අපි බැලුව මේකගෙ ලේ නවත්තන්ඩ විදිහක්.විමලයම තමයි ඔය ඔව්වට හොඳ කැලෑ කොලජාති ගැන දන්නෙ..ඕක ඔය ජනූලගෙ මොකෑලන්තෙ කිට්ටුව එකෙක්. වාං පතුල් මොඩල්..ඒ කිව්වෙ ඕක සෙරෙප්පු සපත්තු ඔක්කෝටම කියන්නෙ වාංපතුල් කියල...ඕක එක්ක දවසක් කදුරුවෙල ටවුමෙ බාටා ජෝඩුවක් ගන්ට ගිහිල්ල කප්පච්චියේ වෙච්ච නව නිංගිරාවක්....ඒ කතාව සහ විමලෙගෙ තවත් නොයෙක් කතා තියනව එව්ව පස්සෙ හොඳද? 


ඉතිං විමලයම පෙන්නපු කොල ජාති වගයක් කඩල ඇන්න තලල අපි උගෙ තුවාල වලට තියල ඔය තිබ්බ ලේන්සු එහෙම එකතු කරල බැන්ද....ලේ නම් යන්තමට නැවතුනයි කියමු. ඒත් මූට පයිං යන්ට බෑ පහලට.උහාන තමයි යන්ට වෙන්නෙ. වෙලාවට විමලයත් ඒ හැටි මහත දෙහෙත එකෙක් නෙවෙයි. දෙන්නෙක් ඔන්න උගෙ කිහිලි යටින් අත දාල උස්ස ගත්ත. තව එකෙක් කකුල් දෙක දිහායින් පරිස්සමට උහාගෙන ඔන්න දැං අය්යනායක දෙයි හාංදුරුවංගෙ පිහිටයි කියල ආයෙම පල්ලං බහින්ට සූජානං උනාය කියල කියමුකො. 


" ඒයි අනේ මචං....පොඩ්ඩක් හිටපල්ල......" ඒ චමින්දය. 


මේ කලබල අස්සෙ අපට පෙම් යුවල අමතක වෙලාම තිබ්බෙ. මෙන්න උන් දෙන්න ඉන්නව ටිකක් එහායිං ගහක් යට ගල්තලාවක ඉඳගෙන. තමාලි අරූගෙ උකුලෙ ඔළුව තියාගෙන..දෙයියෝ සාක්කි මෙච්චර දෙයක් වෙලත් මුං දෙන්නට ගානක්වත් නැති හැටි. මේ කලබල අස්සෙත් පේම ජවනිකා...මම ඔහොම කිව්වෙ නෑ, හිතුව විතරයි. 


" ඒයි යමං බං විගහට, රෑවෙලා පාර පේන්නෙත් නැතිඋනොත් තමයි කෙළිය.." .අන්න ඒ ටික තමයි මම කිව්වෙ. 


" අනේ මචං..තමාලිට කලන්තෙ වගෙයිලු… " චමින්ද කිව්වෙ කෙඳිරිගානව වගෙ. 


මදෑ..ඔය තියෙන්නෙ තාප්පෙට විතරක් නෙවෙයි ගේට්ටුවටත් කෙලල...අලි මදිවට හරක්...හරක් මදිවට කිණිතුල්ලො කිව්වළු...ඉතිං මොකේදැයි දං වලඳන්නෙ කියල ඇහුවලු ලොකු හාමුදුරුවො....මයෙ හිතට ඔය වගෙ කල්පනා ගලාගෙන ආව එක දිගට. 


" ලේ දැක්කම තමාලිට කලන්තෙ හැදෙනවලු......." චමිය ආයෙම කිව්ව බොහොම අහිංසක තාලෙට.... 


" තමාලි තමාලි……." මම කතා කලා....ම්හු.. නෑ උත්තරයක්.... 


එකෙක් ගාව තිබ්බ වතුර බෝතලේකිං ටිකක් ඉස්සට පස්සෙ ඔන්න යන්තමට ඇස් ඇරිය....ඔළුව උස්සල බලල අපි වටවෙලා ඉන්නව දැක්කම ආයෙම බිම බලා ගත්ත. 


"මොකද ඔයාට? නැඟිටල හෙමිහිට වත් කන්ද බහින්ට පුලුවන් වෙයිද? " 


" පුළුවන්......." 


කෙල්ල එහෙම කියල නැඟිටින්ඩ හැදුව. මොන?...ආයෙම ඉඳගත්ත හිටපු විදිහට ගල්තලාව උඩම. 


" මෙයාට තවම අමාරුයි වගෙ බං..අපි තව ටිකක් ඉඳල යමුද? " 


" එහෙම ඉන්ට බෑනෙ බං...තව ටිකකිං කලුවර වැටෙනව...අනික දැං මේ දෙන්න නිසා අපිට කොහොමත් යන්ට වෙන්නෙ බොහොම හෙමීට . ඒ නිසා කරන්ට දෙයක් නෑ. බැරි මරගාතෙ හරි දැම්මම පිටත් වෙමු …." මම කිව්වෙ චමින්දයගෙ උරෙස්සට අත තියල. 


එහෙම තමයි උනේ...විමලෙගෙ උරහිස් වටේ අත් දාල දෙන්නෙක් වාරුකරගත්ත. තනි කකුලෙන් කුන්දු පැන පැන වගෙ ඔන්න පල්ලං බහින්ට පටන් ගත්ත. උගෙ වැඩේ නං හරිය කියමුකො. දැං මේ තමාලිගෙ වැඩේ...මේ අම්මණ්ඩි ආම් බාං කොරන්ට ලේසි නෑ. කොහොමත් ඔය මහත කෙල්ලො ඉන්නව නේද?...හපොයි උංගෙ සරීර.....අවයව කියන එව්ව යන්නෙ අයිතිකාරයට ඕන දිහාවට නෙවෙයි. එවුන්ට ඕන දිහාවලට.කොහොමත් පණ කඳ ඇතුව ඉන්න කොටත් එහෙම කොට නිකමට හිතාගන්ටකො බගෙට පණ නැතුව ඉන්න අරුංදැගෙ අවයව කොහොමට තියෙන්ට ඇද්ද කියල...මොනවද ඉතිං,. අවයව ගියේ තනිකරම උන්ට ඕන දිහාවලට. අඩි දහයක් යන්ට හම්බුනේ නෑ චමින්දයට මේ වැඩේ තනියම බැහැයි කියල තේරුනා මට. 


තමාලිගෙ අවයව එව්වට ඕන දිහාවෙ යනව කිසි ගානක් නැතුව. තමාලි ඇස් දෙක බාගෙට පියාගෙන ඒ පස්සෙ යනව. තමාලි පස්සෙං අරූ ඇදිල යනව ඔය කෝච්චි වලට හරක් අහු උනාම ඒ පස්සෙං ඇමිණිල ඇදිල යන්නෙ ආන්න ඒ වගේ... 


" මචං ...ඒයි උඹත් වරෙංකො... පොඩි සපෝට් එකක් දීපංකො ..." 


බැරිම තැන චමින්ද මා දිහා බලල කිව.......ඉතිං මොකද කොරන්නෙ?...දසමසක් කුසේ හොවාල ලේ කිරී ලෙසින් පොවාල පුංචි කාලේ ඌව හැදුව උගෙ මතු බුදුබව ලබනා මෑණියන් වහන්සෙගෙ නිම් හිම් නැති ගුණ කඳ සිහිකරල එහෙම මමත් කර ගැහුව පැත්තකට......හප්පච්චියෙ..මේ කල්ප බාගයක් විතර ගිහිල්ලත් තාමත් මතක් වෙනකොට මයෙ මයිල් කෙලිං වෙනව.කෙලින් වෙල නිකා හිටපියකො..ඒත් නෑ..කෙලින් වෙලා හිටගෙන සට සට ගල වෙව්ලනව. 


කොහොම හරි අයියනායක දෙයිහාමුදුරුවො පිහිට උනා අපිට මම හිතන්නෙ..කිසිම අතිරේක අතුරු ආන්තරාවක් නැතුව කන්ද පාවුල තිබ්බ ජීප් එක ලඟට ආව ඇහැ පානෙට තියෙද්දිම. 


ඒ කතාව වනාහී එතනින් නිමියේය. 


පසු කතාව මෙහෙමයි...එදා ඔය ගමන ගිහිල්ල ආවයිං පස් සෙ චමින්දය වැඩි උනන්දුවක් දැක්කුවෙ නෑ බංකරේ ඩියුටි එහෙම යන්ට.අපි සෙල්ලං කරන්ට යනකොට ඔන්න ඌත් එනව අපේ පස්සෙං මචං මත් එනව අද ටී.ටී. ගහන්ට කියාගෙන...මේක බැරිම තැන අපි කට්ටිය කෙලින්ම ඌ එක්ක සාකච්චා කලා මේ ගැන.... 


" මේ මල්ලි..කෙලින්ම කියාපං මොකද දැං වෙලා තියෙන්නෙ? උඹ මොකද දැං අරහෙ පලාතෙ වත් යන්නෙ නැත්තෙ? " 


ඒ විමලෙ...ඕකා කකුල ලෙලි ගහගත්තයින්නෙ මේ ඔක්කොම සිද්ද උනේ..... 


" මට බෑ අයියෙ....මම ඒ වැඩේ අත ඇරල දානව..... " 


චමිය කෙලිම්ම කිව්ව. 


" හරි මචං උඹට එහෙම හිතෙනව නං ඒකෙ අවුලක් නෑ. තීරණය තියෙන්නෙ උඹ අතේ ...ඒක හරිද වැරදිද කියන්න අපි කවුද?..ඒත් එදා අර කෙල්ල කලංතෙ දාපු එක ගැන විතරක් නම් උඹට ප්‍රශ්නෙ තියෙන්නෙ මට කියන්න තියෙන්නෙ ඒ ගැන ආයෙම පාරක් හිතන්න කියලයි. එදා එහෙම උනාට හැමදාම එහෙම වෙන එකක් නෑනෙ බං.... " 


ඔන්න ඔහොමයි මම කිව්වෙ. 


" බෑ මචං ඒක හරියන්නෙ නෑ.මම හොඳට හිතලයි මේ තීරණය ගත්තෙ. කාටද පුළුවං මාසෙකට සැරයක් හැමදාම ඒ අම්මණ්ඩි වත්තං කරගෙන එහෙ මෙහෙ යන්න?....." 


චමින්දය ඔහොම කියාගෙන නැඟිටල ගියා අපි කවුරුවත් දිහාවෙ නොබලම... 


අපි එකිනෙකාගෙ මූණු දිහාවෙ බලං හිටිය එහෙමම. 


කිව්වට විස්වාස කරන්ට මේ ඇත්තමයි..මෙච්චර කාලයක් ගිහිල්ලත් තාමත් මම කල්පනා කරනව එදා ඒ චමිය කිව්ව කතාවෙ තේරුම මොකද්ද කියල....හෙහ්, හෙහ්, 


******************************************************


ප. ලි - අනෙ අම්මප...මේ ඇත්තමයි, මතු සම්බන්ධයි අගට නොදා කතාවක් ලියනව කියන්නෙ නිකං ඒ ලියපු එකෙනුත් වැඩක් නැති ගානයි.... :) :) 


28 comments:

  1. මට නම් පේන්නේ, මේක ලියලා තියෙන්නේ තමන්ගේ සරීරේ තමන්ට ඔනේ පැත්තට නොගිය වෙලාවක.

    ලිවිල්ල නම් කියලා වැඩක් නෑ රවි :)

    අර 'දඩයක්කාරයාගේ කතාව' මෙතනින් ඉවරද? ඒ කියන්නේ ,
    //අමුඩෙ ගලෝල සොඳුරු යුවතියගෙ කඳුලු පිහින එක විතරයි...


    '' සොඳුර තොප වෙනුවෙන් මසිත් පිරි සෙනෙහස මෙතෙකැයි කිව නොහැක. ඔබ නෙතින් ගලායන මේ කඳුලු දහරා පිසහරිනු වස් මා සතු එකම අමුඩ රාජයා එකෙණෙහිම ගලවා ලීමට පවා මම මොහොතකදු පමා නොවන්නෙමි. '' //

    " එකෙණෙහිම ඈ සිහි විසඥ වූවාය ''

    අපරාදේ කියන්ට බෑ...කතාව ඉතින් මහ කැලෙන්ම පටන් අරගෙන මහ කැලෙන්ම ඉවර කරලා තියනවා.

    දැන් ඉතින් විමලේගේ කතා පටන් ගමු. මම මේ කල්පනා කලේ, කාගේ හරි කඳුලු පිහදාන්ට ඕනේ වෙලාවට විමලේ මොනා කරයිද කියලා. :D:D:D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොඩි මැණිකේ...හෙහ්, හෙහ්,

      දඩයක්කාරයගෙ කතාව ඉවර උනයි කියල කවුද කිව්වෙ?....නෑ තව ඉවර නෑ...කොටස් තුන හතරක් තව ලියන්ට වෙයි...

      Delete
  2. ඉස්සර ටීවී එකේ නම් කිව්වෙ 'සුඑන්සු' බොන්න කියලා, ඔය කාලෙට... අම්මලා නම් දෙහි මිරිකලා බොන්න දෙනවා දුවලට... අනේ සමහරුන්ට ගානක් වත් නෑ..

    මට ඔය දඩයක්කාරයගෙ වරුණාව නම් අල්ලන්නෙම නෑ... ඒ හින්ද පස් පාගන්නෑ කියලා උන්නෙ... කවි මඩුවක් වගේ එකක් දැම්මොත් බලමු....

    ReplyDelete
    Replies
    1. දාමු දාමු කවි මඩුවක් දාමු...දිල්ලගෙ ගෙවල් පැත්තෙ තමයි කවි මඩුවකට නියම...තිසර මලේ ඒ පැත්තෙ වරෙංකො...දාමු කලිං වගෙ..එක්කො අර අම්මණ්ඩි බ්ලොග් ලියයි නැත්තං නවත්තල දාල නිකං ඉඳී...හෙහ්, හෙහ්,

      Delete
  3. ඕක හිනාවෙන්න කාරණාවක් නෙවෙයි.... චමින්දයා මෝඩයා උනාට ඔයාලා තරම් මෝඩ නෑ කියලා පේනවා.. මොකද ඔය කේස් එක එනවා සමහර කෙල්ලන්ට නීරක්තිය වගේ තත්ව වලදිත් මට අහලා තියෙන විදියට.. විටමින් ඌනතා වලට එහෙමත්.. ඒක නිසා මිනිහා කියපු කතාව හරි... ( පස්සේ කාලෙකදිත් ලෙඩක් වැටෙන්න පුළුවන් හින්දා එහෙම කිව්වේ..) අනිත් එක ඉතිං ඇත්තටම ගොයම් ගහට හෙනගැහුවා වගේ හිටපු ඌට ඒක ආම්බාම් කරන්න බෑ කියලා කලින්ම තේරුන එක හොඳයි.. අපේ මහත්තයා දැං නේ ඕක තේරුම් අරං තියෙන්නේ.... හි හි..

    ReplyDelete
    Replies
    1. / ඕක හිනාවෙන්න කාරණාවක් නෙවෙයි.... /

      අනේ ඔන්න මම නං හිනා උනේ නෑ හොඳේ?

      / අපේ මහත්තයා දැං නේ ඕක තේරුම් අරං තියෙන්නේ.... හි හි.. /

      ඇත්ත ඇත්ත සැටිපිකට් ටෘත්...අපි ඔය හුඟක් එව්ව තේරුං ගන්නකොට බොහ්හෝම ප්‍රාක්කුයි....හත් වළාමෙ, වෙච්චි දේට මක්කොරන්ඩද...කියල ඔය පොඩ්ඩක් හිනාවෙල කාරිය නිකා ඉන්නව...:) :)

      Delete
  4. ඔන්න ඔහේ දඩස් ටයි සුද්දිටයි කුඩා ගහගන්න කියල මෙන්න මේ වගේ කතා ලියන්න බුදු අය්යේ . උඹ නම් ඉපදිලා ඉන්නේ කතා කියනන්ම තමයි . අපිවත් දිඹුලාගල දොක්කන් ගිහින් ආවා වගේ . ඔය වෙන බ්ලොග් වල දාන කොමෙන්ට් ටිකම වුනත් ඇති දවසගානේ බ්ලොග් එක ලියන්න .

    හොඳ වෙලාවට ළමයි ගෙදර එන්න කලින් මේක කියෙව්වේ . උන්ටත් ඕන එකක් නැහැ . අම්ම මොකද ඔච්චර හිනා වෙන්නේ අහයි .

    තමාලි පව් . එවුනාට ඉතින් චමින්දයටත් දොසක් කියන්න බැරිය .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බින්දි.....ඉඳපං ඉඳපං ඉවසල.... තව බොහොම සේසයයි ලියන්ට තියෙන්නෙ දඩයක්කාරය එතකොට අහවරයි...හෙහ්, හෙහ්,

      Delete
  5. මොනව හරි තේරුම් අරගන චමිය මගදීම නවත්තපු එක ලොකු දෙයක්.දැන් අපිට අහන්න දකින්න ලැබෙන,දන්නා/නොදන්නා කිරියි,පැණියි වගේ ඉන්න දෙන්න දෙමහල්ලෝ දෙන්නට දෙන්න අපහස/නින්දා කරගන වෙන්වෙනවට වැඩිය.මෙයා කුක්කු පැටිය චමිය කියපු කතාව තාමත් නොතේරෙන:):)

    ReplyDelete
    Replies
    1. ඔන්න ඕකනෙ කියන්නෙ..යමක් දන්නෙ නෑ කිව්වමත් විස්වාස කරන්නෙ නෑ නෙව...ඉතිං මොකද කොරන්නෙ?

      ස්තූතියි කෙන්ජි....

      Delete
  6. සික් ඉතරක්! මාත්තුරුකාව දැක්කහම මං මේ දුවගෙන ආවෙ අදවත් අර අවුරුද්දක් තිස්සේ ඇදපු දඩයක්කාරයගෙ කතාව අහවරයක් කරල දාලය, මීට පස්සෙ අපට නිවී හැනහිල්ලේ හුස්මක් කටක් අරන් අලුත් කතාවක් කියවන්ට ලැබේවිය කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව.. මොන!? ඒ ගමන මේකා දඩයක්කාරයගෙ කතාවට අතුරු කතාත් එකතු කොරන්ට පට්ටාං අරන්.. අන්තිමේදි මේකත් නිකං අර පංචතන්ත්‍රය වගේ වෙයිද දන්නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අනේ නෑ මලේ..එහෙම ආයෙ කතා මොකවත් නෑ...මම ඔය බින්දිටයි ජනූටයි වෙච්චි පොරොන්දුවක් ඉටු කලා නෙව..මම එහෙමයි හෙහ්, හෙහ්, පුරුස පක්සෙට කෝම වෙතත් කාන්තාවන්ට වෙන පොරොන්දු නම් ඉටු කොරනව බෙල්ල ගහල ගියත්...ඕව්වොව් වොව්..මගේ හැටි එහෙම තමයි....හෙහ්, හෙහ්,

      ඉඳහංකො ඉවසල බං දැං මාස දහයක් තිස්සෙ ඉවසා වැදෑරුව වගෙ තව සති දෙක තුනක්...මේ දඩයක්කාරයගෙයි සුද්දිගෙයි මංගල්ලෙ මම ඉවරයක් කරනව.. ඒකරල ලියනව අලුත් කතාවක්..දනටම ටිකක් දුරට ලියාලයි තියෙන්නෙ බොට කිව්වම මොකද ආය?

      ඉඳපං උඹට විතරක් දෙන්නම් Sneak Pre-view එකක්… :) :)

      ****************************************

      " කුමරියකට පෙම් කළෙමි "

      ගෙදර දොරකඩින් එළියට බැහැපු හැටියෙ මිදුල මැද්දෑවෙ තියෙන රූස්ස පළුගහේ අතු අස්සෙන් පෙනෙන්නෙ දිඹුලාගල කන්ද.පොළව කට්ට වෙලා පැලෙන තරමට ඉරු දෙයියො රැස්පොට් පෙන්නන ජූලි අගෝස්තු මාසවල පළුගහෙත් කොළ හැලෙනව.එතකොටනම් දිඹුලාගල කන්ද මුදුනෙ දාගැබයි ගන්ටාර කුළුනයි අත දික්කරල අල්ලන්ට පුලුවන් තරම් කියලයි හිතෙන්නෙ.පාළොස්වක දවස්වලට විශේෂයෙන්ම පොසොන් පෝය දවසට කන්ද පාමුල ඉඳං මුදුනටම ලයිට් පත්තුවෙනව කොච්චර බලා හිටියත් ඇතිවෙන්නෙ නෑ.පෙලක් වෙලාවට හුළං අත මේ පැත්තට හැරුනහම ගන්ටාර නාදෙත් ඇහෙන්ට ගන්නව. යාන්තමට සාදුකාරෙත් අහන්ට අහැකි හොඳින් කන්දිහෑව්වොත්.

      මේ දුරුත්තෙ හින්ද පළු ගහේ කොළ ඕසෙට. ඉල් මහ උඳුවප් මහ කියන්නෙ රජරටට බැඳගෙන වහින කාලෙ. හත්දා වැස්ස වහින්නෙ ඔය කාලෙට. මම මෙහෙ ආපු කිට්ටුව නම් ඒ කිව්වෙ අවුරුදු විස්සකට විතර එහාදි උඳුවප් මහේ වහින හත්දා වැස්ස කම්මුතුවක් වෙන්නෙ මනම්පිටිය ගල්ලෑල්ල දිහාවෙ මඩකලපු පාරත් ගංවතුරට යට වෙලා.පරාක්‍රම සමුද්‍රෙ හොරොව් ඇරියම දෙගොඩ තලා ගලන වතුරෙං මේ පළාතම යට වෙනව. ඒ වතුර බැහැල යන්ට ආයෙ අඩුම ගනනෙ තුන් දොහක්වත් යන එක යනවමයි.

      ඒත් දැන් මතක ඇති කාලෙක ඒ විදිහට දෙගොඩ තලා යන්ට වැස්සෙ නෑ. සොබාව දර්මයාත් දැං වැඩ ඕන ඕන විදිහට. මිනිස්සු වාගෙම තමා. හිතුනොත් වස්සනව.නැත්නම් නිකං ඉන්නව....හෙහ්, හෙහ්,

      පළුගහ යට පොඩි කනප්පුව උඩ බාගෙ බෝතලයක්....කනප්පුවෙ පොලිෂ් එක පිච්චිල තියෙන්නෙ අසෝක වීදුරුවෙ අඩියෙ ගානට රවුම් රවුම් සිය ගානකින්. පහුගිය අවුරුදු ගානට කී පාරක් අසෝක වීදුරුව මාතින් මේ කනප්පුවෙන් ඉස්සිල ආයෙම තියවෙන්ට ඇද්ද මේ කනප්පුව උඩින්.....

      නුවර ඉඳල ආවෙ අර්ධ සුඛෝපභෝගී බස් එකක උනාට මුළු සරීරෙම නිකං පොල්ලකිං තලාදැම්මහෙ කෙඩෙත්තුයි.සීට් උසට තිබ්බට දණිස් පොල්කටු දෙක නිකටෙ වදිනව නෙව ඒ සීට් වල ඉඳගත්තම.අම්මයෙ බඩේ ඉන්න විදිහ ආයෙම මතක් කරක්ල දෙන්නද කොහෙද ඔය විදිහට සීට් හදාල ඇත්තෙ...

      එකක් දාගත්තනම් අමාරුව ඔක්කොම යයි..හ්ම්ම්...බලමු එහෙමවත් කරල...

      මගෙ උරෙස්සට ෂර්ට් එකක් වැටුන. හැරිල බලද්දි වසන්ති....එයා මයියොක්ක පීරිසිය කනප්පුව උඩ තියල මා දිහා බලල හිනා උනා...කවදාවත් වරදින්නෙ නැති හිනහව.ජීවිතේ දාල පිස්සිල ගියත් හිත කීරි ගැහිල යන දුකකින් පිරිල තිබ්බත් වසන්තිගෙ මේ හිනාව කවදාවත් මැකුණෙ නෑ. මටත් බොහෝ වෙලාවට ජීවිතේට පන්නරයක් උනේ ඒ හිනාව. මෙච්චර ප්‍රශ්න තියාගෙන මේකිට හිනා වෙන්ට පුලුවන් නම් ඇයි මට බැරි?..එහෙම හිතල ඒ හිනාව මටත් බෝ කරගන්ට බැරිවෙයිද කියල බලන්ට මම ඇගෙ තොල් වැරෙන් සිප ගත්තු අවස්ථා අනන්තයි අප්‍රමාණයි.

      " මහත්තය සීතලේ නිසා මම ෂර්ට් එක ගෙනාව. "

      Delete
    2. ඇගේ ස්වරයෙ තිබ්බෙ දැඩි සෙනෙහසක්. අම්ම කෙනෙක් තමන්ගෙ පොඩි එකාට දක්වන විදිහෙ නිරාමිස සෙනෙහසක්. මම යාන්තමට හිනා වෙනගමන් ඇගෙ ඉණ වටේ අත දාල මා ලඟට ඇදල ගත්ත.

      " ඉන්නකො මහත්තය ලිපේ කිරි කොස් ඇතිළිය..මම ඒක බලල එන්නම්….."

      වසන්ති මගෙන් හෙමීට මිදිල ගෙට ගියේ හිනාවෙමින් ....රෑ හත අට වෙනකල් දෙවට දිගේ මිනිස්සු එහෙ මෙහෙ යනව. මිනිස්සුන්ට පේන්ට ඔය කෝලිත්තං කරනවට වසන්ති කැමති නෑ....

      මම ෂර්ට් එක ඇඳගෙන ඇඳි පුටුවෙ දිගා උනා. වේවැල් බැහැල හොඳටම.මේ පුටුවටත් දැං සෑහෙන වයසයි. ඔව්. ඉස්සෙල්ලාම මම මෙහෙ ඇවිල්ල ගේ යාන්තමට අටවගත්තු ගමන් කදුරුවෙල ටවුමට ගිහිල්ල සිරිසේන අයියගෙ නිසාන් වැනට් එකේ වහලෙ උඩ පටවං ආපු පුටු හතරෙං දැං ඉතුරු මේක විතරයි. දැං සිරිසේන අයියත් නෑ. වැනට් එකත් නෑ....

      ඊටත් කලින් ඇඳුම් කෑලි දෙක තුනකුත් අරගෙන මම මුලින්ම කදුරුවෙලින් නුවර ඉඳන් ඇවිදින් බැහැල රත්මල් තැන්නට ආවෙත් සිරිසේන අයියගෙ ඔය වැනට් එකේම තමයි. එදා ඒ ගමන මතකයට ආවම ඒ එක්කම ඊට කලින් සිදුවීමුත් එකින් එක පස්සෙ මගෙ මතකය එන්ට ගත්තෙ වැල නොකැඩී.

      හරි මගෙ කතාව මම පටන්ගන්නම් පහුගිය අඟහරුවාද ඉඳල..ඒ කියන්නෙ දවස් තුනකට ඉස්සරවෙල.

      ගෙදර හිටියොත්, ඒ වගේම කන්නෙ පටන්ගෙන බෙදුම් ඇලේ වතුර ඇරල තිබ්බොත් මගෙ අනිවාර්ය පුරුද්දක් උදේ නැඟිට්ට හැටියෙ දත් බුරුසුවත් කටේ ගහගෙන පල්ලෙහා බස්නාව ලඟට ගිහිල්ල මූණ කට හෝදල ඒ එක්කම ඇති පදං වතුරෙ ගිලිල නාගන්න එක.ඒ එක්කම ඔය ෂර්ට් කලිසං තියනව නං ඒ දෙක තුනකුත් හෝදල තුවායත් කරේ දාගෙන එනකොට වසන්ති උදේ කෑම ලෑස්ති කරල. ගොඩක් වෙලාවට සම්බෝලයක් මලවල කට්ට කරෝල කෑල්ලක් පුස්සල කැකුළු බත්,....... මට ඔය මොනව තිබ්බත් බත් ඩිංගිත්තක් විතර හරි යන්නෙ නැතිය කියල වසන්ති හොඳාකාරවම දන්නව.

      එදත් මම නාගෙන ඇවිල්ල කුස්සිය පිටිපස්සෙ දර මඩුව එපිටහ එරමුදු ගහයි දොඩං ගහයි අල්ලල බැඳපු වැලේ තෙත ඇඳුම් වනන්ට ගත්ත. සාලෙ තිබ්බ රේඩියෝ එකේ උදේ ප්‍රවෘත්තිවලින් පස්සෙ ප්‍රචාරය වෙන මරණ දැන්වීම් වල අන්තිම හරියයි මට ඇහුනෙ ඒ වෙලාවෙ.

      " …………………..අභාවප්‍රාප්ත වූයෙන් අවසන් කටයුතු 24 වන බ්‍රහස්පතින්දා පවුලේ සුසාන භූමියේදී සිදු කෙරේ. පහළ වලව්ව, අමුණුගම , ගුන්නෑපාන "

      අතට ගත්තු තෙත කලිසම එහෙම්මම අතේ තියාගෙන මම ගල් ගැහිල බලා හිටිය. ඒත් මට කිසිම දෙයක් ඒ වෙලාවෙ පෙනුනෙ නෑ. වසන්ති කුස්සියෙ ජනේලෙන් බලල මා ලඟට ඇවිල්ල කලිසම මගේ අතින් ගන්න කල්ම මම එහෙමම ඉඳල තියනව ඒකත් මිරිකගෙන...වසන්තිමයි මට පස්සෙ කිව්වෙ.

      මරණ දැන්වීමෙ මට ඇහුනෙ අන්තිම කොටස උනාට ඒ ගැන මගෙ හිතේ කිසිම සැකයක් තිබ්බෙ නෑ.ඔව්. මගෙ ජීවිතේ එයා සම්බන්ධ අනික් හැමදෙයක්ම ගැනම මයෙ හිතේ තිබ්බෙ දෙගිඩියාවක් උනාට මේ ගැන නම් මගෙ හිතේ අබමල් රේණුවක තරම් වත් සැකයක් තිබ්බෙම නෑ.

      Delete
    3. ෂුහ්! ඔය තියෙන්නෙ බොලං, අර උඹ හැමදාමත් කියන්නැහේ මල් හතයි, පහන් දාහතරයි, හඳුක්කූරු විසිඅටයි.!! මේක කියවන්ට තව සති ගනන් බලන් ඉන්ට බෑ බොලං.. මේ මාසෙ අහවර වෙන්ට කලියෙං දඩයක්කාරයාව අභ්‍යවකාශෙට හරි, අර වර්ම් හෝල් එකකිං වෙන චක්‍රාවාටයකට හරි යවලා අහක්කොල්ලා මේ කතාව පට්ටාං ගනිං මයෙ බුදු අයියෙ..

      // ඒත් දැන් මතක ඇති කාලෙක ඒ විදිහට දෙගොඩ තලා යන්ට වැස්සෙ නෑ. සොබාව දර්මයාත් දැං වැඩ ඕන ඕන විදිහට. මිනිස්සු වාගෙම තමා. හිතුනොත් වස්සනව.නැත්නම් නිකං ඉන්නව.... //

      මොකද බොල වහින්නැත්තෙ.!? මේ පහුගියදාත් වැහැලා තිබුනා නෙවැ මනම්පිටිය පාළම යටවෙන්ට..

      Delete
    4. අයියෙ මේ අර ජයසේනගෙයි චුට්ටි මැණිකෙගෙයි කතාවද?

      Delete
    5. මේ ඔවුන් දෙදෙනාගේ කතාව නොවේ. නොවන්නේ ද නොවේ...හෙහ්, හෙහ්, තේරුණාය බොට?....

      Delete
  7. එඩ්වඩ් ගොයියා වගේ කිව්වහම මට එක පාරටම මතක් උනේ අර වැම්පයර් එඩ්වඩ්වනේ. අන්තිමට බැලුවහම එයාටත් සමානකමක් තියෙනවා වගේ, මොකෝ උන්දැගෙ කෙලීටත් ලේ දැක්කහම කලන්තෙ හැදෙනවනේ. :)

    ReplyDelete
    Replies
    1. ආහ්..ට්විලයිට් සාගා.....ඕන ඔය කිසි කෙනෙක් හොඳක් කියන්නෙ නැති ඉංගිරිසි පොත් මම අනන්ත කියවල තියනව...ඔය කතාව නම් මට ඇල්ලුවෙම නෑ. අනේ මන්ද මොකද කියල...දෙතුන් පාරක්ම ගත්ත කියවන්ට කියල...අල්ලල දාල තියනව අන්න....කියවපු අන්තිම පිටුව නමපු පාර එහෙම්මමම්...:)

      Delete
  8. //ප. ලි - අනෙ අම්මප...මේ ඇත්තමයි, මතු සම්බන්ධයි අගට නොදා කතාවක් ලියනව කියන්නෙ නිකං ඒ ලියපු එකෙනුත් වැඩක් නැති ගානයි.... :) :) //

    අපරාදෙ කියන්න බෑ රවී මේ කතාවෙ අගට මතුසම්බන්ධයි කියලා නොදැම්මට තව කතා හතර පහකටම ඉඩ හදලා අවුස්සලා තියලා තමා තිත තියලා තියෙන්නෙ..දැන් ඉතින් අර කතන්දර කාරයා වගේ වෙන්ඩ කතන්දර ලැයිස්තුවක් හරි ගස්සා ගන්න කාලෙ හරි..

    ReplyDelete
    Replies
    1. ලියන්නං ලියන්නං හැකි ඉක්මනට...ඈසුනෑස් පොස්සිබොල්....:) :)

      Delete
  9. අපෝයි. බර වාහන ලයිසන්ස් ගත්ත නම් ගොඩනෙ. ඕවෑ පවර් ස්ටියරිං නැද්ද බං?
    henryblogwalker (මට හිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ කොහෙද බං පවර් ස්ටියරිං?

      Delete
  10. නියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/

    ReplyDelete
  11. හයියෝ. සල්ලි... දෙය්යගෙ මල්ලි

    ReplyDelete
  12. දැන් මම මේකට කොමෙන්ටුවක් දාන්නම ඕනෙද අහ් ??? දැම්මත් මම කුඩු...නැතත් ඉතින් කුඩු නේ නේද රවී?

    ReplyDelete
    Replies
    1. එහෙම වෙන්නෙ නෑ බොල..උඹත් අර තමාලි වගෙ අටේ දහයෙ බාන්ඩයක් නං විතරයි වැඩේ කිරිමෙල් වෙන්නෙ....ඉඟ සුඟ ගත හැකි මිටින මොඩල් නං ලේ දැකල කලන්තෙ දැම්මත් අවුලක් නෑ...හෙහ්, හෙහ්

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...